Thursday, December 29, 2022

උපාසකයෝ

"ඒයි ගොයියො, මොකද උඹ මං පිටි පස්සෙ ම එන්නෙ? හා, හා පලයන්, පලයන්, උඹ කන බොන දේ මගෙ පැලේ නෑ. හා, හා ආපහු පලයන්."

උපාසක උන්නැහේ තමා පිටුපසින් එන බලු කුක්කාට කීප වරක් ම මෙසේ කීවේය. ඊට අවනත නොවූවාක් මෙන් ඌ දිගට ම ඔහු පිටුපසින් දිව එයි. උපාසක උන්නැහේ නැවතී බලු කුක්කා කකුලෙන් තල්ලු කර ආපසු යවන්නට සැරසෙන විට ඌ උඩුබැල්ලෙන් පෙරළී දුක්මුසු බැල්මක් හෙළයි.

"එහෙනම් උඹ ආපහු යන්ඩ කැමති නෑ නේද? හා, එහෙනම් වරෙන්. හැබැයි, මං ඉන්න තැනට මෙහෙ ඉඳලා හුඟක් දුරයි. උඹට එච්චර දුර පයින් යන්ඩ පුළුවන් ද? පුළුවන් නම් වරෙන්. හැබැයි, එහෙ මස්, මාළු හෙම නෑ. ඇහුණ ද?"

ගම්මානයෙන් සැතපුම් හතරක් පමණ දුරින් පිහිටි මහගිරි කන්දේ නැගෙනහිර බෑවුමේ වරිච්චි බැඳ කටු මැටි ගැසූ බිත්ති හතරකින් හා බට කොළ හෙවිල්ලූ පියස්සකින් යුත් කුඩා පැල්පතක ජීවත් වන උපාසක උන්නැහේ දෙපෝයකට වරක් බිං කොහොඹ, ගම්මාලු කිරි, මීපැණි ආදී දුර්ලභ වනෞෂධ අත්බරක් රැගෙන ගම්මානයට යයි. ඒ ගමනේ දී ඔහු තමාට අවශ්‍ය පොල්, පුවක්, ලුණු, හුණු ආදිය වනෞෂධවලට හුවමාරු කරගෙන යයි. ඉබාගාතේ යමින් සිටි බලු පැටියා ඔහු පසු පසින් ආවේ ද එවැනි දිනකදීය. 

"උඹ තවම පොඩි එකානේ. දැන් කකුලුත් රිදෙනව ඇති. වරෙන් මං ටිකක් දුර උඹ වඩාගෙන යන්නම්."

තමා පසුපස "බාල දක්ෂ ගමනින්" එන බලු පැටියා වරින් වර උසුලාගෙන ගිය උපාසක උන්නැහේ පැය දෙකක පමණ ගමනින් පසු ස්වකීය පැල්පතට ළඟා විය.

ඒ පැල්පතට ඇතුළු වන දොරටුව අවුරා තිබුණේ බටකොළ පැළැල්ලකිනි. දොරකඩ එක එල්ලේ ම ආහාර පිසින තැනය. ළිපට උඩින් තනා තිබෙන දුම්මැස්සේ වළං කබල් කීපයකි. දුම්මැස්සේ තවත් පැත්තක පුවක් ගෙඩි කීපයක් හා වනෞෂධ කීප වර්ගයක් ද වේ. වියළී ගිය වැටකොලු, මෑ, බණ්ඩක්කා, සහ බඩඉරිඟු කරල් කීපයක් අටු කණුවේ එල්ලෙයි. මිරිස් ගල ළිපට දකුණු පසෙහිය. මන්නා පිහිය හා හිරමනය ළිප අසල මය. වම් පස වැලි කොස්ඇට මුල්ලකි.

ළිපට දකුණු පස බිත්තියේ ගෑවෙන්නට, ගෙබිම සිට අඩි තුනක් පමණ උස්වන සේ තනා, බට කොළ අතුරා ඊමත වැටකේ පැදුරක් එළා ඇති ලී මැස්ස වරෙක ඇඳකි, වරෙක මේසයකි. වෙසක් කළාපයකින් කපාගෙන කොහොල්ලෑවලින් අලවන ලද බුද්ධ පින්තූරයක් මැස්ස අසල බිත්තියේ වෙයි. උදැල්ලක්, වල් කැත්තක් හා යකඩ ඉන්නක් ද මැස්ස පාමුල බිත්තියට හේත්තු කර ඇත..

"මේක තමයි මගෙ මාළිගාව. හොඳයි නේද? දැන් ඉතින් උඹට නමකුත් ඕනෑ නේ. මොකක් ද හොඳ? කඩිය, කඩිය කියන නම හොඳයි නේද? ඔව්, ඒක හොඳයි, කඩියො මෙන්න මෙතන තමයි, උඹ නිදා ගන්නෙ."

තමා නිදා ගන්නා මැස්ස යටට ගෝනි කැබැල්ලක් එළමින් කී උපාසක උන්නැහේ තමා ගෙනා දෑ ඒ ඒ තැන්වල අඩුක්කළේය.  

"කඩියො, උඹට හුඟක් බඩගිනි ඇති නේද? උඹට මේව නම් කාල පුරුදු නැතුව ඇති. ඒත් මේවට පුරුදු වෙන්ඩ ඕනෑ. හිටපංකො මං පොල් ටිකක් වැඩියෙන් දාල අනල දෙන්නම්."

උපාසක උන්නැහේ බතලත්, පොලුත් එකට අනා, කොළපත් කෑල්ලක දමා කඩියාට දී, ඔහු ද බඩ පුරා කා බුලත් විටක් ද ඒදා ගත්තේය. කඩියා ද මහත් කෑදරකමින් බඩ පුරා ම කා, ළිප ළඟට ගොස් වක ගසාගෙන නින්දට සැරසුණේය.

"ඒයි ගොයියො. ඔය වැඩේ හරිනෑ. කෑම කාපු ගමන් නිදා ගන්නෙ කවුද? වරෙන් වරෙන් මගෙ වත්ත දිහා ටිකක් ඇවිදින්ඩ යන්ඩ වරෙන්. අප්පා! බඩ කොට්ටෙ වාගෙ පුරවගෙන."

උපාසක උන්නැහේ පැලෙන් පිටතට ආවේය. ඔහුගේ පැල්පත වටා මැනවින් සකස් කරන ලද කුඩා ගොවිපළකි. එහි වැවී තිබෙන මඤ්ඤොක්කා, බතල, මිරිස්, ලූනු, කෙසෙල් ආදිය ඔහුගේ ආහාරයට ප්‍රමාණවත්ය. මිදුලේ සරුවට වැවී ඇති "නාගවල්ලි කොවුලෙන්" වුවමනා තරමටත් වඩා බුලත් ලැබේ. ගොවිපළ වටා ඇති දඬුවැටෙන් ඔබ්බෙහි සීතල දිය ගලා බසින දොළ පාරකි. වැසි සමයේ දෙගොඩ තලා යන වතුර ගොවිපළේ දඬු වැටට ද කිට්ටු කරයි. මෙතරම් නියඟයකදී වුව ද, නොසිඳෙන මහා වක්කලමක් මේ දොළ පාරෙහි තිබීම නිසා, ඔහුට කිසි කලෙක නියඟය කරදරයක් නොවීය. කඩියා නිසා දැන් ඔහුට තනිකමක් ද නැත. කඩියා මේ පරිසරයට අනුකූල වන්නට වැඩි කලක් නොගත්තේය.

උපාසක උන්නැහේ ගොවිපළේ වැඩ කරන විට කඩියා ඒ සමීපයට වී බලා සිටියි.

"ඉරත් හැරිල වගෙයි. දැන් වැඩ නවත්තමු. නේද කංකානම?" උපාසක උන්නැහේ දවසේ වැඩ නතර කර දිය නා ගැනීමට දොළට යෑමට සැරසෙයි. කඩියා කලින් ම දොළ ළඟට ගොස් "ලක් දෙලක් ලක් දෙලක්" යි හඩ නංවමින් වතුර උගුරක් දෙකක් බී තොල කට ලෙවකමින් සිටියි.

"හා, එහෙනම් වතුර ටිකක් නා ගනිමු නේද?"

උපාසක උන්නැහේ පළමුවෙන් කඩියා නාවා ගල් පොත්ත උඩ තබා, දොළට බැස දියබුං ගසමින් නාන්නට පටන් ගනියි. සීතලෙන් වෙවුලන කඩියා තෙත සිඳුවා ගන්නට ඇඟපත සල සලා ගල් පොත්ත මත එතැන ම කැරකෙමින් කෙඳිරි ගායි. දිය නා ගැනීමෙන් පසු දෙදෙනා ම පැළට එති.

කඩියාට කෑම දීමෙන් පසුව මිස උපාසක උන්නැහේ කිසි දිනෙක කෑම නොකයි. තැම්බූ අල බතල හා කොස් දෙල් ආදිය කඩියාට දැන් හොඳට ම හුරුය. උපාසක උන්නැහේ කිසි දිනෙක බත් නොකයි. කුඩා කාලයේ වත් බත් කෑ බවක් ඔහුට මතක නැත. බත් පමණක් නොව, මස්, මාළු ආදිය ද ඔහුගේ කෑම වට්ටෝරුවට ඇතුළත් නොවේ. කඩියා ද, ටික කලෙකින් උපාසක උන්නැහේ මෙන් ම උපාසකයෙක් විය. මුල දී කුරුල්ලන්, ලෙහෙනුන් ආදී කුඩා සතුන්ට කුරුමානම් අල්ලන්නට සූදානම් වූ නමුත් එවැනි අවස්ථාවල උපාසක උන්නැහේ, "කඩියා, සත්තු එහෙම මරන්නෙ නෑ... මා ළඟ ඉන්නව නම් ඒ සෙල්ලම් බෑ." යි තර්ජනාත්මක ව කියන්නට වූ නිසා දෝ සතෙකු දෙස ඇස් ඇර බලන්නට වත් කඩියා උනන්දු නොවීය.


මේ අන්දමින් ඉතා ම ප්‍රීතියෙන් කල දවස ගත කළ මේ අඹ යාළුවන් දෙදෙනාගේ සිතින් ප්‍රීතිමත් භාවය ටිකින් ටික ඉවත් වන්නට වූයේ උපාසක උන්නැහේට කැලෑ උණ සෑදෙන්නට පටන් ගත් පසුවය. ඒ නිසා ඔවුන්ගේ දින චරියාව ද වෙනස් වන්නට විය. දවස් ගණනක් ම එක දිගට උණෙන් පෙළෙන්නට වූ උපාසක උන්නැහේට තමාගේ අසනීපයටත් වඩා වේදනාවට කාරණා වූයේ කඩියා නිරාහාරව සිටීමය. කඩියා මැස්ස යට වක ගසාගෙ කෙඳිරි ගායි. වරින් වර මැස්ස යටින් ඇදී ඉතා ම අමාරුවෙන් දෑත් උස්සා මැස්ස මත තබා දෙකකුලෙන් සිටගෙන උපාසක උන්නැහේගේ ඇඟ ලෙවකයි.

"අනේ කඩියො, උඹට නම් හුඟක් බඩගිනි ඇති තමයි. ඒත් මං මොනව කරන්ඩ ද? මේ කෙහෙල්මල් උණේ මෙදා පාර නම් බහින එකක් නෑ.මට උඹට කන්ඩ මොකුත් තම්බල දෙන්ඩ හැටියකුත් නෑ. උඹට බැරි ද ගම්මානෙට යන්ඩ, උඹ හෙමින් හෙමින් ගම්මානෙට ගිහින් මොකුත් අහුලගෙන කාපන්. මට සනීප වුණොත් උඹ එක්කගෙන එන්ඩ මං ආයෙත් එන්නම්." උපාසක උන්නැහේ දැරිය නොහැකි ශෝකයෙන් ස්වකීය දුබල අතින් කඩියාගේ හිස පිරිමදිමින් කියයි. කඩියා ඔහුගේ අත ද ලෙවකා යළි මැස්ස යටට ඇදී කෙඳිරි ගාන්නට පටන් ගනියි.

"මොනවා කරන්ඩ ද දෙයියනේ, මේ අසරණ සීපාවා නොහිටියා නම් මට එක හිත් හිතාගෙන මැරෙන්ඩ උණත් තිබුණා. ඌට දඩයමක් කරගෙන කන හැටි ‌ඉගෙන ගන්ඩ වත් ඉඩ නුදුන්නෙ මමයි. මට හිතුණා මා ළඟ ඉන්නා සතා උණත් මං වගේ ම උපාසකයෙක් වෙන්ඩ ඕනෑ කියල. කඩිය පුංචි කාලෙ දඩයම් කරන්ඩ හදනකොට වළක්කා ගත්තෙ ඒකයි. දැන් අපරාදේ මට ඉස්සර වෙලා ඌ බඩගින්නෙ ම මැරෙයි. දැන් උගෙ ඉළ ඇට ගණන් කරන්ඩ පුළුවනි. ඇඟේ මස් කලඳක් නෑ. මං හිතන්නෙ මෙදා පාර නම් මට සනීප වෙන එකක් නෑ. මං මැරෙන්ඩ බය නෑ. ඒ උණත් මේ අසරණ සීපාවා දුක් විඳින හැටි බලාගෙන ඉන්ඩ මට නම් බෑ. තම්බපු වැලි කොස් ඇට ටිකක් ඌ කෑවෙ දැන් දවස් තුනකට ඉස්සර වෙලා. මම නම් ඊයෙත් කොත්තමල්ලියි, පත්පාඩගනුයි ටිකක් තම්බගෙන බිව්වා. ඒත් කඩියා බිව්වෙ නෑ. ඒක දිහා බලලා තොල පිට ලෙවකාල ආයෙ මං දිහා බැලුවේ 'අනේ මට බඩගින්න උහුලන්න බෑ. ඒත් මෙව්ව නම් බොන්න බෑ' කියන්නා වගෙයි. මේ වද විඳිනවට වැඩියෙන් මැරෙන එක කොච්චර හොඳ ද? කඩියටත් එහෙම හිතෙනවා ඇති. ගිය පෝයට ගම්මානෙට යන්ඩ හම්බ උණෙත් නෑ. වෙනදා නම් මං නොගියා ම බේත් අවුසද හිඟ පාඩු වෙලා මුදලාලි මාව හොයාගෙන එනවා. මුදලාලි වත් ආවොත් මට කඩියා ගමට පිටත් කරන්ඩ පුළුවනි. ඌට කොච්චර කීවත් ඌ යන්නෙත් නෑ. මම කී සැරයක් මහන්සි ගත්ත ද ඌ ගමට පිටත් කරන්ඩ. බාගදාට ඌට දොළෙන් පීනල එගොඩ වෙන්ඩත් බැරුව ඇති. හරි! ඒක තමයි, ඌට ඒ දණ්ඩෙන් යන්නත් බෑ. මං අමාරුවෙන් වත් ගිහින් ඌ දොළේ එහා පැත්තෙන් තියන්ඩ ඕනෑ. හරි, ඒක හොඳයි."

උපාසක උන්නැහේ අමාරුවෙන් මැස්සෙන් බැස්සේය. බිත්තියට හේත්තු කර තිබුණු හැරමිටිය අතට ගත්තේය.

"කඩියො, මං උඹ එගොඩහින් ගෙනිහින් තියන්නම්; උඹ ගම්මානෙට පලයන්; වරෙන් වරෙන්."

උපාසක උන්නැහේ මිදුලට බැස්සේය. කඩියා ද දෙපසට වැනි වැනී ඔහු පිටි පසින් ඇදුණේය. දොළ හරහා දමා ඇති ඒදණ්ඩ ළඟට පැමිණි උපාසක උන්නැහේ හැරමිටිය ඒදණ්ඩ සමීපයෙන් තබා අමාරුවෙන්ගේ කඩියා වඩා ගත්තේය. දකුණතින් අත්වැල අල්ලාගෙන හෙමින් හෙමින් ඒ දණ්ඩ දිගේ දෙපා මාරු කළේය. වාරුව නැති ඔහු ගේ අත් පා වෙවුලන්නට විය. "මේ මොනවා කරන්ඩ හදනවදැ"යි අසන්නාක් මෙන් කඩියා කෙඳිරි ගාමින් උපාසක උන්නැහේගේ කණ ලෙව කෑවේය. එයින් ඔහුගේ මුළු ශරීරය ම කිළිපොළා ගියේය.

"ජබුස්"

වක්කලමට ඇද වැටුණු උපාසක උන්නැහේ දිය යට ගිළී, උඩ මතු වී යළිත් ගිළුණේය. දෙවන වර ඔහු මතු වන විට කඩියා යුහුසුලු ව උපාසක උන්නැහේගේ කෙස් වැටියෙන් ඩැහැගෙන වැහැරී ගිය අත් පා ගසමින් නව පණක් ලද්දාක් මෙන් ඉවුර දෙසට පීනන්නට විය. සිහි එළවා ගත් උපාසක තැන ඉවුරේ ගල් පරයක් බදාගත්තේය. කඩියා ඉවුර පහුරු ගාමින් ගොඩට නගින්නට තැත් කළ ද, උගේ ශක්තියය මුළුමනින් ම පිරිහී ගොස් තිබුණි. එක් අතකින් ගල බදාගත් උපාසක උන්නැහේ, අනික් අතින් කඩියා ගල උඩට තල්ලු කරන්නට පටන් ගත්තේය. බොහෝ අමාරුවෙන් ගල උඩට ඇදුණු කඩියා දුබල හඬින් බුරන්නට විය. උපාසක උන්නැහේගේ වෙවුලන දෑත් මඳින් මඳ බුරුල් වන්නට විය. එහෙත් දුබල හඩින් බිරීම හැර කඩියාට අන් කිසිවක් කළ හැකි නොවීය.

"රන්මලෝ, රන්මලෝ, අර බලපන්, ඉක්මන් කරපන්, අර පැත්තෙන් ඉක්මනට යං."

ඒ උපාසක උන්නැහේ බෙහෙත් බඩු සපයන මුදලාලිගේ කටහඬය. ඒ කටහඬ උපාසක උන්නැහේට හෝ කඩියාට හෝ නෑසුණා විය හැකිය. මොහොතකින් ඒ සමීපයට පැමිණි මුදලාලි, රන්මලාගේ උදව්වෙන් උපාසක උන්නැහේත් කඩියාත් දොළෙන් ගොඩට ගත්හ.

මව්බස කියවීම් පොතකින් උපුටා ගන්නා ලදි...

Saturday, December 24, 2022

උපමා කතා තුනක් - නත්තල් කළාපය 2022

අද උදේ (මේක ලීවේ 18 වෙනිදා සෙනසුරාදා) මමත්, බිරිඳත්, පුතාත් අවදි වුණේ එක ම වෙලාවක. නිවාඩු දවසත් නිසා, අපි ටිකක් කතා කරමින් හිටියා ඇඳට වෙලා. අපි පොඩි කාලෙ දි වගේ ම, පුතාට හරිම ආසයි ළඟ ළඟ ම එන නත්තල ගැන. ඉතින් එතනදි අපි අතර කතා බහට ලක් වුණේ නත්තල් දිනය හෙවත් දෙසැම්බර් 25 ජේසු ගේ උපන් දිනය නොවන බව. 

එතන දී මම කිව්වේ බයිබලයේ සුභාරංචිවල සඳහන් වන විදිහට ජේසු තුමාගේ උපත ගැන දේව දූතයෝ ගිහින් එළිමහනේ බැටළුවන් බලාගනිමින් හිටපු එඬේරුන්ට කියුවා කියා තිබෙන සඳහන. එහෙම එළිමහනේ ඉන්න බෑ දෙසැම්බර් මැද හරියේ තිබෙන අති දුෂ්කර සීතලත් එක්ක.

එතකොට පුතා මට තවත් කරුණක් පෙන්නුවා. ඒ තමයි ඒ දුෂ්කර සීතල නිසා ජේසු බබා නිකම්ම රෙදි කඩක ඔතලා ගව ඔරුවක තිබ්බා නම්, සීතලේ මියයන්නට ‌ඉඩ තිබුණු බව.

දිගින් දිගට ම කතා කරද්දී මම පුතාට ජේසු තුමා දේශනා කළ උපමා කතා කීපයක් කීවා. පහතින් ලියා තියෙන්නේ ඒවා.

නැතිවූ බැටළුවා:

ඔබට බැටළුවන් සීයක් සිටියා යැයි හිතන්න. එයින් එක බැටළුවෙක් නැති වුණා නම්, ඔබ අනික් බැටළුවන් අනූ නම දෙනා ම පිට්ටනියේ ඉදිද්දී, අත හැර දමා, නැතිවූ බැටළුවා සොයනවා නේද? ඌ හමු වූ විට ඔබ අතිශයින් ම සතුටට පත් වෙනවා නේද? 

අන්න ඒ වගේ, යහපත් මිනිසුන් අනූ නම දෙනෙකුට වඩා, නොමග ගිහින් සිට, ආපසු යහ මඟට හැරුණු එක් මිනිසෙක් උතුම්.


ණය කාරයෝ:

එක් අධිපතියෙක් ට කාසි දහසක් ණය වී සිටි සේවකයෙක් සිටියා. අධිපතියා ඔහුට ණය ගෙවන ලෙස කී වෙලාවේ, ඔහු අත මුදල් තිබුණේ නැහැ. ඉතින් ඔහු බැගෑපත් වෙලා, ණය ගෙවන්නට තවත් කාලය ඉල්ලා සිටියා. එවිට අධිපතියා ඔහු ගැන අනුකම්පා කර, ණය මුදලෙන් ඔහු නිදහස් කළා.

ඒ සේවකයා ට කාසි සීයක් ණය වූ තවත් සේවකයෙක් සිටියා. පළමුවැන්නා අනෙකාට ඒ ණය ගෙවන්නට බල කළා. ඒ වෙලාවේ දෙවැන්නා අතත් මුදල් තිබුණේ නැහැ. ඉතින් ඔහුත් සමාව ඉල්ලා, ණය ගෙවන්නට තවත් කාලය ඉල්ලා සිටියා.

නමුත් පළමුවැනි සේවකයා දෙවැන්නා ගැන අනුකම්පා කළේ නැහැ. ඔහු ණය ගෙවන තුරු සිර කළා.

මේ සිදුවීම අනෙක් අය විසින් අධිපතියාට සැළ වුණා. ඒ අධිපතියා පළමුවැනි සේවකයා ගෙන්වා මෙසේ කීවා.

"මම නුඹට අනුකම්පා කළා වගේ ම, නුඹත් අනෙකාට අනුකම්පා කරන්නට තිබුණා නේද? දැන් නුඹ මා හට ගෙවන්නට ඇති කාසි දහස ගෙවන තුරු මමත් නුඹ සිර භාරයට ගනිමි"

අපි වරදකට පසුතැවෙමින් සමාව අපේක්ෂා කරනවා නම්, අපට අනෙක් අය කරන වැරදි ගැනත් අපි සමාව දිය යුතුයි.


මේක විශේෂයෙන් ලීවේ මගේ ඉතා හිතවත් මිත්‍රයෙක් සහ සහෘදයෙක් වන අසංග රණසිංහ ආරච්චිට ම‌ගේ කලින් පෝස්ට් එකෙන් කරපු විහිලුවට යම්කිසි සිත් රිදීමක් වුණා නම්, මට සමාව දීමට ආදර්ශයක් වශයෙන්...

ටැලන්ට්:

හාම්පුතෙක් තමන්ගේ වෙළෙඳාම් කටයුතුවලට විදේශයකට ගියා. ඒ යන්න කලින් ඔහු තමන්ගේ සේවකයන් තුන්දෙනාට කතා කොට, ඔවුන්ට ටැලන්ට් (රන්කාසි විශේෂයක්) එක බැගින් දුන්නා.

කාලයකට පසු ආපිට ආ හාම්පුතා, සේවකයන් තුන්දෙනා කැඳවා, තමන් දුන් ටැලන්ට්වලට කළේ කුමක්දැයි ඇසුවා.

පළමුවෙනි සේවකයා, තමන් ඒ ටැලන්ට් කාසියෙන් කා බී විනෝද වුණු බව කීවා.

දෙවෙනි සේවකයා හනික මිදුලට දුව ගොස්, ගළක් යට ප්‍රවේසමෙන් තබා තිබූ ටැලන්ට් කාසිය රැගෙන ඇවිත් හාම්පුතා ට පෙන්නුවා.

තුන්වෙනි සේවකයා, තමන්ට දුන් ටැලන්ට් එකෙන් වෙළඳාමක් පටන් ගෙන දියුණු කර, එයින් උපයාගත් ටැලන්ට් මල්ලක් හාම්පුතාට දුන්නා.

මේ ලෝකයේ මිනිස්සුත් ඔය තුන් විදිහට අයත්. තමන්ට සහජයෙන් ලැබෙන කුසලතා නාස්ති කර විනාශ කරගන්නා අයත්, ඒ කුසලතාවන් හංගාගෙන තබාගෙන ඉන්නා අයත්, කුසලතාවන් ක්‍රියාවේ යොදවා දියුණු කරගන්නා අයත් වශයෙන්.


උපමා කතා තුනක් ලියන්නට ඉඳගත්තත්, බෝනස් හැටියට පහත කතාවත් කියවන්නට ඔබට අවස්ථාව ලැබෙනවා. ඒ, මේ උපමා කතා ලියද්දී මතක් වුණු විහිලු කතාවකුත් ලියා තියන්නට හිතුණු නිසා.

අකීකරු පුත්‍රයා:

එක් පොහොසත් මිනිසෙකුට අකීකරු පුතෙක් උන්නා. ඔහු තමන්ගේ පියාගේ ගොවිපළේ වැඩ කරනවා වෙනුවට, සල්ලි ටිකකුත් අරන් වෙනත් ප්‍රදේශයකට පැන ගියා.

තමන් ගෙනා සල්ලි ඉවර වෙන තුරු කා බී විනෝද වුණු ඔහු, මුදල් ඉවර වුණු පසු වෙනත් මිනිසෙකු ගේ ගොවිපොළක වැඩට ගියා.

ඔය අතර දුර්භික්ෂයක් ඇති වුණා. අර පුත්‍රයාට කන්නට සුදුසු දෙයක් ලබා ගන්න බැරි වුණා. ඔහුට කන්නට ලැබුණේ ඔහු වැඩ කළ ගොවිපොලේ ඌරන්ට කන්නට දමන ආහාර. 

ටික දවසක් ගත වෙද්දී ඔහු කල්පනා කළා, තමන්ගේ පියා ළඟ සිටිය කාලයේ හොඳින් කන්න බොන්න ලැබුණා. නමුත් පියාට අකීකරු වී පැනලා ඇවිත් සේවකයෙක් හැටියට සත්ත්ව ආහාර කමින් දුක් විඳිනවා. ඊට වඩා හොඳයි ආපසු පියා ළඟට ගිහින් සමාව ඉල්ලන එක.

එහෙම හිතා ඔහු ආපහු පියා ළඟට ගියා. ගිහින් කීවා, "තාත්තේ, මට සේවකයෙක් හැටියට සළකන්න. මම ඔබට විරුද්ධ වුණු නිසා..." කියා.

නමුත් තාත්තා ඔහු දැකලා ඉතා ම සතුටට පත් වුණා. ඔහු අනික් මිනිස්සුන්ට කෑ ගසා කීවා, "මෙන්න, මම මැරුණා කියා හිතාගෙන හිටි පුතා ආපිට ඇවිත්. මෙයා පිළිගන්න උත්සවයක් පවත්වමු. මම භෝජන සංග්‍රහයකට කියා තර කළ වස්සා දැන් මරන්න." 

ඒ ඇසුණු ඔහුගේ වැඩිමල් පුතා අමනාපයෙන් තාත්තා ගෙන් මෙහෙ ම ඇහුවා. "තාත්තේ, මම ඔබට අකීකරු නොවී, ඉතා ම කීකරු විදිහට වැඩ කරනවා. නමුත් මේ අකීකරු වෙලා පැනලා ගිය මල්ලි ආපසු ආවම ඔබ ඔහු පිළිගන්න හරකෙකුත් මරලා උත්සව පවත්වනවා..."

තාත්තා කීවා, "ඔව් පුතේ. හොඳ මිනිසුන් දාහකට වඩා, නරකට හැරී සිට, වැරදි තේරුම් ගෙන පසුතැවිලි වී ආපිට හොඳ අතට හැරෙන එක පවුකාරයෙක් උතුම්..."


ඔය කතාව ඉස්කෝලෙ දී කියා දුන්නු ටීචර් කෙනෙක් ඇහුවා "අකීකරු පුතා ආපහු ගෙදර ආ එක ගැන අමනාප වෙන්නේ කවුද?" කියලා.

එක ගෑණු ළමයෙක් අත උස්සගෙන නැඟිටලා කීවා...

"ටීච ටීච... තරකළ වස්සා" කියලා.


ඔබ සැමට සාමය සහ සමාදානය උදාවන සුභ නත්තලක් වේවා!

Sunday, December 18, 2022

හද පියුමේ කරුණා සුවඳ තවරාලූ ගුණෙ අයියා ට...


අපි පොඩි කාලේ, සංගීත වේදිකාවේ උන් වීරයා නිහාල් නෙල්සන් ය. කුඩා සිරුරක් තිබුණ ද, තමන්ගේ ගීතය ප්‍රේක්ෂකයා වෙත ඉදිරිපත් කිරීමෙහි දී ඔහු පෑවේ අපූර්ව දක්ෂතාවකි. ඔහු එය කළේ ආයාසයෙන් නොවේ. ඒ ඔහු තම ගීතය රසවිඳි ආකාරය ම ය. විශේෂයෙන් ඔහුගේ මයික්‍රෆෝනය අතින් අතට මාරු කිරීම, අත වටා කරකැවීම ආදී ඇක්ෂන් අපි කුඩා උන් ලෙසට බලා සිටියේ මවිතයකිනි.

අපි ගැටවර වියට එළඹෙන කල, නිහාල් නෙල්සන් තුළ පැවති අව්‍යාජ කතිකත්වය සහ සියලු දෙයෙහි සුභවාදී පැත්ත හුවා දැක්වීම මා හට නිරීක්ෂණය විය. ඔහු වේදිකාවට නැඟ, ඔහු හඳුන්වාදුන් නිවේදකයා, සංගීත කණ්ඩායම, අනුග්‍රාහක ආයතන, සංගීත සංදර්ශනය පවත්වන ප්‍රදේශයේ ජනතාව මෙන් ම විකාශය කෙරෙන රූපවාහිනී නාළිකාව ද නොමද අගැයීමකට ලක් කරයි. 

මේ ඊට උදාහරණයකි...


බයිලා යනු උසස් රසවින්දනය නොවේ යැයි බෙදීමක් පැවති කාලයක මතු වී, "ඇරපං කරාමේ - මේක අපේ පයිප්පේ" "මම දැම්මෙ පොල් එකයි - පොල් එකයි" වැනි ගීත ගයන්නට ඔහු තුළ තිබූ එඩිතරබව හෝ, ප්‍රබුද්ධ / පීචං බෙදීම ගණන් නොගැනීම ද අයෝමය ගතියක් ලෙස පෙනේ.

"එයාලා කියන ගීත ප්‍රබුද්ධයි - අපි කියන ගීත පීචං" යැයි ජෝතිපාල කියද්දී, "එයාලා ගයන ගීත ප්‍රබුද්ධයි නං අපේ ගීත සුප්‍රබුද්ධයි" යැයි කියන්නට ආත්ම විශ්වාසයක් මේ කුඩා මිනිසා තුළ පැවතුණේ ය.

ඔහුගේ ගීතවලින් වැඩිහරිය සමාජයේ පැවති යම් යම් කොටස් ස්පර්ෂ කරවන නිර්මාණ වීම ද තවත් විශේෂත්වයකි. "මේ කුඩු අත් ඇරියේ නැත්නම් මගෙ රට කුඩේ කුඩු" / "එපා එපා මස් කන්නට කිරි අම්මාගේ" / "මවු මහිමය මතු කොට" (දරුවන් විදේශයට විකිණීම ගැන) ආදී නිර්මාණවලින් සමාජ ප්‍රශ්න ගැන ද සඳහන් කරමින් ඔහු විශ්වාස කළ හැටියට සමාජයේ ගමන වෙනස් කිරීමට වෑයම් කළ බව ද පෙනේ. 

එසේම, ඔහු ගීත වැඩිහරියක් මඟින් සමාජයේ මතුපිටට ඉස්මතු නොවන පහළ සමාජ ස්තර පිළිබඳව ද කතා කරයි. විශේෂයෙන් ඔහුගේ "ගුණෙ අයියගෙ කාමරේ" යනු විචිත්‍ර නිරූපණයකි. 


සොමියට වරෙන් පුතා අගුලු දාලා නෑ දොරේ
අහපන් රියල් කථා ගුණෙ අයියගෙ කාමරේ
හිටපන් සයිඩ් එකෙන් වාඩි වෙලා සුමිතුරේ
මස්කට් පැණි බූන්දි තියෙනවා මගෙ කාමරේ

මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ //

පච්ච සිරාලා එතකොට කොච්චි එලාලා
ගුස්පි රොබාලා එයි මෙහෙ සොමිය සොයාලා
සැප විදලා මෂා වෙලා පීචං වීලා
කැපිලා යන්නෙ සක්විති සුව මෙහෙන් වළඳලා
නළුමන්ලා නිලිමන්ලා කැමරා කටාලා
අලිවංශෙන් වැඩ පෙන්වන සුපර් මෑන්ලා
බර පොරවල් ෆොරින්ස් කකුල් එකට වැටීලා
Two Thousand Three Thousand යයි විසිකරලා

මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ //

ටින්කිරි ටින් එකෙන් නැතිනම් ටොනික් ඩප්පියෙන්
ෆේස් ටු ෆේස් එනවා නම් වැඩ අතින් පයින්
සෙවල කිරල වැක්කෙරුවොත් තෙල් වීදාගමින්
වැලි ගල් කටු බොරු නෑ මගෙ වැඩ රාත්තලෙන්
කොත නම් කොත කුරුස වලට මගෙ ළඟ ඉඩ නැත
ඔය කාගෙත් වතගොත මගෙ ෆයිල් එකේ ඇත
දුකට සැපට මම එන්ටර් මම නැත බොරු ගොත
බ්ලේඩ් වලින් කැපෙන්නෙ නෑ කෙනෙකුගෙ හොඳ හිත

සොමියට වරෙන් පුතා අගුලු දාලා නෑ දොරේ.......

ගුණේ අයියගේ කාමරය සියලු දෙනා ට නිර්බාධව වවෘත ස්ථානයකි. විනෝදාස්වාදය පතා එයට ඇතුල් වන උදවියට අවශ්‍ය විය හැකි සියල්ල එහි ඇත. "මස්කට්, පැණි බූන්දි" ආදිය ප්‍රිය වන්නේ මත්ලෝලීන්ට ය. (නිදි ඒ ගැන යම් සඳහනක් කර තිබුණා)

ගුණේ අයියගේ කාමරයට විවිධාකාර චරිත ඇතුල් වෙති. සමහරුන් කැපී යන අතර, දළ කාරයෝ නිර්ලෝභීව මුදල් වියදම් කරති. 

අවසාන අන්තරා කොටසින් කියවෙන්නේ ගුණෙ අයියගේ ඇති සෘජු ගති ගුණ සහ හොඳ හිත ගැනය.

මෙකී සියලු නිර්මාණ අතර, මා කුඩා කල සිට ම හදවතට පිහි පාරක් මෙන් ඇණී ඇති එක් ගීතයක් වෙයි. ඒ "කරුණා සුවඳ තවරාලූ..." ගීතයයි.


මෙහි පදමාලාව නිහාල් නෙල්සන් සමඟ වර්නන් පෙරේරා විසින් ලියැවී ඇති අතර, තනුව නිහාල් නෙල්සන් ගේ ම ය. බයිලාවක් කිව නොහැකි තරම් ලයාන්විත සංගීතය ලාල් තේනබදු විසිනි.

ගායනය පමණක් ගත්ත ද, මේ ගීතයේ සමහර වචන, නිහාල් නෙල්සන් ආදරය කවමින් ඇද සුරතල් කරමින් ගායනා කරයි. එමතු ද නොව, මේ ගීතයේ දී නිහාල් නෙල්සන්ගේ වචන භාවිතය ද ඉතා උසස් වේ. ගුණෙ අයියාගේ කාමරේ ගැන කියද්දී ඊට සුදුසු වචන භාවිත කරන ඔහු මෙතැන දී, "හද පියුමේ" "උල්පත සැනසීමේ" "ඔබ මතු බුදු වී දහම් දෙසන විට මමත් නිවන් දකිනෙමි අම්මේ" වැනි ඉතා සුමුදු සහ අරුත් බර යෙදුම් භාවිත කරයි.

අම්මා ළඟ යම් යම් අවස්ථා වලදී අපි කවුරුත් පොඩි ළමයින් වෙමු. නමුත් අම්මා නැති කල...? අපේ ජීවිතවල දුෂ්කර අවස්ථාවල දී පෙර ලෙස දුවගෙන ඇවිත් අම්මා කියන්නේ කාට ද?

ජීවිතය කෙළවර වීම අනපේක්ෂිත වන්නා සේ ම, මේ ගීතයත් අවසාන පදයේ මැදක් හරියට එනතුරු ම සුපුරුදු රිද්මයෙන් ගැයී, එක වර ම අවසන් වෙයි.

ඒ වගේ අව්‍යාජ, සොඳුරු සංගීත ශිල්පියෙක් හැටියට අපි අද පෙන්වන්නේ කාව ද?

විශාල පෙරළියක් කළ, ගීත කැසට් සහ ගීත එකතු සියයකට වැඩි ගණනක් දායාද කළ, පුංචි යෝධයාහට සුව නින්දක් ප්‍රාර්ථනා කරමු.

Tuesday, December 6, 2022

පෙරකොදෝරු සහ දේශපාලු කතා

හිටපු ජනාධිපති/අගමැති/පා.ම. ගරු මැතිතුමෙක් මිය ගියා. මිය ගිහින් එයාගෙ ආත්මය ගියා චිත්‍රගුප්ත ගාවට. කවුද චිත්‍රගුප්ත? එයා තමයි යම රජුගේ ලේකම්.

//උපුටා ගැනීම //

//ඉන්දියානු පුරාවෘත්තයට අනුව චිත්‍රගුප්ත යනු මිනිසුන්ගේ ක්‍රියාවන් පිළිබඳ සම්පූර්ණ වාර්තා තබා ඔවුන්ගේ කර්මයට අනුව ඔවුන්ට විපාක දීමේ කාර්යය පැවරී ඇති හින්දු දෙවියෙකි’ චිත්‍රගුප්තට පැවරී ඇත්තේ මිනිසුන්ගේ ක්‍රියාවන් මත පදනම්ව ඔවුන්ගේ මරණයෙන් පසු ස්වර්ගයට හෝ නිරයට යනවාද යන්න තීරණය කිරීමයි’ චිත්‍රගුප්ත යනු බ්‍රහ්මයාගේ දහහත්වැනි මානසපුත්‍ර වේ’ ඔහු බ්‍රහ්මගේ ආත්මයෙන් සහ මනසින් මවා ඇති බව විශ්වාස කෙරෙන අතර ඒ අනුව බ්‍රාහ්මණයකු මෙන් වේද ලිවීමේ අයිතිය ඔහුට ලබා දී ඇති අතර ක්ෂත්‍රියකුගේ රාජකාරිය ද පැවරී තිබේ’//

චිත්‍රගුප්ත කිව්වා දේශපාලු තුමාට, "අපේ සිස්ටම් එක පොඩ්ඩක් අප්ඩේට් කරල තියෙන්නෙ, දේශපාලනඥයන් වෙනුවෙන්. දැන් අපි පැය විසි හතරක් එතුමාලට අපායෙ ගත කරන්න අවස්ථාව දෙනවා. ඊට පස්සෙ ඔබතුමාට තෝරාගන්න අවස්ථාව ලැබෙනවා, අපායට යනවද, දිව්‍ය ලෝකයට යනවද කියලා"

දේශපාලු තුමාට පුදුමයි. නමුත් එතුමා ඒකට කැමති වුණා. එක පාරට ම හාත්පස අඳුරු වෙලා, ආපහු අවදි වෙනකොට එතුමාගෙ ඇඟට දැනුනේ විල්ලුද වගේ සුවපහසු බවක්. එයා ඇස් දෙක තදින් පියා ගත්තා, මිනිස්සු වේදනාවෙන් කෑ ගහන සද්ද අහන්න අපේක්ෂාවෙන්, නමුත් ඇහුණේ බොහොම මෘදු සංගීතයක් විතරයි. මස් පිච්චෙන ගඳ අපේක්ෂා කළාට, දැනුණේ බාබකිව් එකකින් නැඟෙන, සෝස් මිශ්‍ර මස් රෝස්ට් වෙන සුවඳ.

"නැඟිටින්න හිටපු ජනාධිපතිතුමනි." ඉතා මිහිරි කටහඬක් ඇහිලා දේශපාලු තුමා ඇස් ඇරලා බැලුවා. සුරංගනාවියන් වගේ පෙනුම තිබුණු ගෑණු ළමයි දෙන්නෙක් අත දික් කරලා එතුමා ව නැඟිට්ටෙව්වා. එතුමා මෙතෙක් ඉඳලා තිබුණේ පිහාටු වගේ මෘදු ඇඳක. ඔහු දැක්කේ තරු හතේ හෝටල් කාමරයක්. 

"මම මේ කොහෙද?"

"අපායෙ" ගෑණු ළමයින්ට පිටුපසින් හිටපු උස මහත පිරිමියෙක් උත්තර දුන්නා බොහොම ගැඹුරු කටහඬකින්. "මම තමයි යම රජු. වෙල්කම්..."

එතන ඉඳන් දේශපාලු තුමාට ඉතාම ඉහළ මට්ටමේ සැළකිල්ලක් ලැබුණා. උසස් වර්ගවල ඇල්කොහොල්. විශිෂ්ඨ විදිහට පිස තිබූ කෑම බීම. ඇසුරට ලස්සන තරුණ ගෑණු ළමයි...

ඔහු සිටි හෝටල් කාමරයට ඉහළ මහලේ තිබුණ‌ෙ අපාය ක්ලබ් එක. අවසානයේ ඔහු නින්දට වටෙද්දී සිටියේ ඒ ක්ලබ් එකේ.

ඇහැරෙනකොට නැවතත් ඔහු චිත්‍රගුප්ත ගාව.

"ඉතින්... මොකද හිතන්නෙ?" චිත්‍රගුප්ත ඇසුවා. "ඔබ දිව්‍යලෝකයට යනවද? එතැන මෝසාට් ගේ සංගීතය. පළතුරු සහ නැවුම් එළවළු. කෙලි දෙලෙන් ගතකරන සාවුන්, බැටළුවන් සහ මුවන්..."

"හා පෝ...! හරිම බෝරිං... නෑ. නෑ. මම කැමතියි අපායට"

කටකොණකින් හිනාවුණු චිත්‍රගුප්ත, තමන් අතේ තිබුණු මහ පොතේ සටහනක් යෙදුවා. ඒ විගස හාත්පස අඳුරු වෙලා, දේශපාලු තුමා ආපහු ඇහැරුණේ ඉවසන්න බැරි තරමේ උණුසුමක් තිබූ පරිසරයකට.

විළාප හඬ හැම තැනම. බැලූ බැලූ අත දකින්න තිබුණේ ගින්නෙන් පිළිස්සෙන, යකඩ කියත්වලින් කැපෙන, ගිණියම් කටුවල ඇමිණෙන, මිනිස් සිරුරු.

"මේ මොකද්ද මේ?" දේශපාලු තුමා පුදුම වෙලා කෑ ගැහුවා. "කෝ මට ඊයෙ පෙන්නපු හෝටල් කාමරය? කෝ ක්ලබ් එක?"

"ආ... ඒ අපේ ප්‍රචාරක ව්‍යාපාරය." යම රජු කීවා. "දේශපාලු පවුකාරයෙක් තෝරා පත් කරගන්න තිබුණු කැම්පේන් එක ඉවරයි. අපි ඔබ තෝරා පත් කරගත්තා."

*    *    *

දවසක් මිනිහෙක් වෑන් එකක් පදවගෙන යනවා, ගමනක්. (ගමනක් නැතුව නින්දක් යනවෑ වෑන් එකක් එළවගෙන?) එහෙම යද්දි එයා දකිනවා, ලෝයර් කෙනෙක් පාර අයිනෙ හිටගෙන ඉන්නවා. ඉතින් සමාජයට මෙහෙවරක් කරන්න කියලා හිතාගෙන අර මනුස්සයා වාහනේ ඇඟට කපලා අර ලෝයර්ව යටකරගෙන යනවා. තව ටික දුරක් යද්දි මේ මනුස්සයා දකිනවා තවත් කළු කබා කාරයෙක්. ඉතින් තවත් සමාජ මෙහෙවරක් කරන්න කියලා ඇඟට කපන්න යද්දි ම තමයි එයා දකින්නෙ, ඒ ෆාදර් කෙනෙක් කියලා. ඉතින් පොඩ්ඩක් නතර කරලා ෆාදර්වත් වාහනේට නග්ග ගන්නව, ලිෆ්ට් එකක් දෙන්න.

ඔන්න ඉතින් ඔය විදිහට ඒ දෙන්නා යන්න පටන් ගන්නව ආපහු. ඒ යද්දි ප්‍රසා දකිනව පාර අයිනෙ ඉන්න තවත් කළු කෝට් කාරයෙක්ව. ‍මේ පාර හොඳට ම බලලා සැක ඇර ගන්න මිනිහා, තවත් සමාජ සත්කාරයක් කරන්න හිතාගෙන අරූ ගෙ ඇඟට කපනව. එතකොට ම තමා ප්‍රසා ට මතක් වෙන්නෙ "යකෝ! වාහනේ ෆාදර් කෙනෙක් ඉන්නව නේද" කියලා. 

ඉතිං අරූ යට වෙන්න ඔන්න මෙන්න තියෙද්දි ප්‍රසා ආපහු හරව ගන්නව වෑන් එක. ඒ උන්දැට ඇහෙනව "තඩ්" ගාලා සද්දයක්. පස්ස බලන කණ්ණාඩියෙන් බලනකොට, ප්‍රා ඉන්නව පදික වේදිකාවෙ වැටිලා ඇද වෙලා. ඉතිං ප්‍රසා කියනව වම් පැත්තට ඔලුව හරවලා, 

"අනේ සොරි ෆාදර්. මට එක මොහොතකට පොඩි මිස් එකක් වුණා. ඒත් මං හිතුවා අර ලෝයර් මහත්තයා වාහනේ හැප්පෙන එකක් නෑ කියලා."

"ඔව්. ඔව් මහත්තයා." ෆාදර් හිනා වෙලා කියනවා. "මාත් හිතුවා එයා බේරෙයි කියලා. ඉතිං මං එකපාරටම දොර ඇරලා වැහුවා, අඩුගානෙ දොරේවත් හැප්පෙන්න කියලා."

*    *    *

ප්‍රාදේශීය  සභාවෙ සභාපතිතුමා පන්සලට ගියා. පන්සල් ගිහිං හිටපු අසංගට කෝල් එකක් ආවා. කෝල් කළේ අජිත් කියලා, අසංගගෙ හොඳ ම යාළුවෙක්.

"අහවල් සභාපතිතුමා ආව නේද පංසලට?"

"ඔව් මචං" අසංග කිව්වා. 

"මචං මං සභාපතිතුමාගෙ වයිෆ් ඉස්සුවා රූම් එහෙකට. උඹ පුළුවන් තරං වෙලාවක් ඔය යකා පන්සලේ ම තියාගනිං." අජිත් කෝල් එක කට් කළා.

ඉතිං අසංගත් සභාපතිතුමාගෙ පස්සෙන් වැටුණා. සභාපතිතුමා වතාවත් කරලා, ලොකු හාමුදුරුවොත් හම්බුවෙලා, ආවාස ගෙයිං එළියට එද්දි, අසංගත් අරූ එක්ක හොඳටම ෆිට් වෙලා. 

ඉතිං දෙන්නා කතාවට වැටුණා. ගෑස්, විදුලිය, ටීචර්ලට සාරි ඇන්දවීම, අයියෝ හාමිනේ, එක්ලක්ෂ හැටදාහක අවයව පරිත්‍යාගය ආදී ට්‍රෙන්ඩ් වෙච්ච හැම මාතෘකාවක් ම කතා කළා.

සභාපතිතුමා එක පාරටම ඇහුවා, "අසංග මහත්තය මාත් එක්ක හොඳට දන්න අඳුනන උදවිය වගේ සෑහෙන වෙලාවක් කතා කළානෙ?" කියල.

අසංග හෙණ අවංකය නෙ. උන්දැට එකපාරටම බොරුවක් ගොතාගන්ඩ බැරි උනා. ඉතිං ඌ ඇත්ත ම කිව්වා. 

"සභාපතිතුමා, මගෙ යාළුවෙක් ඔබතුමාගෙ වයිෆ් ඇදලා රූම් එහෙකට. මට කිව්වා පුළුවන් තරං වෙලා ඔබතුමා පන්සලේ පරක්කු කරගන්ඩ කියලා."

සභාපතිතුමා හිනා වුණා. පස්සෙ අසංගගෙ කරට අතත් දාගත්තා.

"අනේ බං. උඹ පොඩ්ඩක් හොයල බලහං ඔය යාළුව ඉන්න තැනයි, උඹේ වයිෆ් ගෙදර ඉන්නවද කියන එකයි... මගෙ වයිෆ් ගිය අවුරුද්දෙ මැරුණෙ."

---------//---------

ඉහත සඳහන් එකෙක්ගෙන්වත් පිහි පාරක් නොකෑවොත් කමෙන්ට් කියවන්ඩ එන්නං.

Thursday, December 1, 2022

මල්බෙරි පඳුර වටේ යාම, වයසක මිනිසා සහ වීසල්... ළමා කවියක අඳුරු ඉතිහාසය.

බටහිර ළමා කවිවල ඉතිහාසය ගැන මීට කලින් ලියූ ලිපිවල තවත් කොටසක් හැටියට, අද මම ඉදිරිපත් කරනවා තවත් කවි කීපයක්.

මෙන්න පළමුවෙන් ම, මල්බෙරි පඳුර වටේ යාම...

මේ කවියේ විවිධ එකතු කිරීම් සහ විවිධ පදවැල් තිබුණත්, ඒ සියල්ල පටන් ගන්නේ මල්බෙරි පඳුර වටේ යාමෙන්. ඒ කවියේ තේරුම ගැන මත දෙකක් තිබෙනවා.

ආර්. එස්. ඩන්කන් වැනි ඉතිහාසඥයන් අදහස් කරන්නේ 18 වන සියවසේ වේක්ෆීල්ඩ් සිරගෙයි තිබූ සිරිතක් ගැන මෙයින් කියවෙන බව. ඒ කියන්නේ, එම සිරගෙයි රඳවා සිටි කාන්තා රැඳවියන් මල්බෙරි පඳුරක් වටේ ව්‍යායාම කරවීම මෙයින් අදහස් කෙරුණු බව.

තවත් අදහසක් වන්නේ 18 වන සහ 19 වන සියවස්වලදී බ්‍රිතාන්‍යයේ සේද නිෂ්පාදනය කිරීමට දැරූ ප්‍රයත්නය මෙයින් අදහස් වන බව. කෙසේ වෙතත්, බ්‍රිතාන්‍යයේ ශීත සෘතුව මල්බෙරි ශාකයේ ව්‍යාප්තියට හිතකර නොවූ නිසා, ඒ ප්‍රයත්නය ව්‍යර්ථ වුණා.

*    *    *

මේ වයසක මිනිසා...


මේ කවිය (කවි පෙළ) ගොඩක් දිගයි. ඒ වගේ ම ළමයින්ට උච්ඡාරණය හුරු කරවන්න භාවිත කරන බව තැන් කීපයක ම දැක්කා. මේක වේගයෙන් ගායනා කරද්දී, "නික් නැක් - පැඩිවැක්" වගේ යෙදුම් කියවීම මඟින් කුඩා ම ළමයින් ගේ ඉංග්‍රීසි වචන කියවීමේ හුරුව ඇති වන බව පෙනෙන්නට තියෙනවා.

අයර්ලන්තයේ වාසය කළ අපචාරී මහළු මිනිහෙක් ගැන මේ කවියෙන් කියවෙන බව විශ්වාස කරනවා. ඔහු තමන් වාසය කළ නිවස ළඟින් යන ළමයින් රවටා පැඩි වැක් සෙල්ලම කරන්නට අඬ ගසා ගන්නවා. ඔහු ගැන අනෙක් පුද්ගලයන් සහ ළමයින් ට අනතුරු ඇඟවීමට මේ කවිය භාවිත කළ බව විශ්වාස කරනවා.

*    *    *

පොප් ගෝස් ද වීසල්...


මේ කවිය හරිම විනෝද බර කවියක්. ඒ වගේ ම, පොප් ගෝස් ද වීසල් කියන පදය සාමාන්‍ය කථා ව්‍යවහාරයෙදිත් "ඒ පැත්ත බලල - මේ පැත්ත බලනකොට" වගේ තේරුමක් දෙන්න භාවිත කරනවා. බ්‍රිතාන්‍යයේ සහ ඇමරිකාවේ මේ කවියේ වෙනස් වෙනස් ක්‍රම දෙකක් පවතිනවා. මේ තිබෙන්නේ බ්‍රිතාන්‍යයේ ව්‍යවහාර කවිය:


Half a pound of tuppenny rice,
Half a pound of treacle.
That’s the way the money goes,
Pop! goes the weasel.

Up and down the City road,
In and out the Eagle,
That’s the way the money goes,
Pop! goes the weasel.

පැන්ස දෙකක හාල් වලට පවුං බාගෙයක්
පැණිවලට පවුං බාගෙයක්
සල්ලි යන්නෙ ඔය විදිහටයි
ඒ පැත්ත බලලා මේ පැත්ත බලනකොට

නගරේ පාරේ උඩට පහළට
ඊගල් එකේ ඇතුළට එළියට
සල්ලි යන්නෙ ඔය විදිහටයි
ඒ පැත්ත බලලා මේ පැත්ත බලනකොට

මේ කවියෙන් එංගලන්තයේ තිබුණු දුප්පත්කම ගැන කියවෙන බව විශ්වාස කරනවා. මෙහි, උකුස්සා හෙවත් ඊගල් යන පදයෙන් උතුරු ලන්ඩනයේ නගර වීදියේ පිහිටි ඊගල් තැබෑරුම හැඳින්වෙනවා. ඒ වගේ ම, පොප් කියන පදයෙන් උකස් කිරීම අදහස් වෙනවා. වීසල් යන්නෙන් කබාය හැඳින්වෙනවා. ඒ අනුව, එදිනෙදා කෑම බීමට සහ පොඩි අඩියක් ගැසීමට කබාය උකස් තියන්නට වෙන තත්ත්වයක් ගැන මෙයින් අදහස් කෙරෙනවා කියා හිතන්නත් පුළුවන්.

දුප්පත් අය නිතර තැබෑරුමට ගිහින් අතේ තිබෙන තුට්ටු දෙක අවසන් වෙන තුරු බීලා, අවසානයේ ඉණ ඉහ උකස් තබන තත්ත්වයට පත් වෙන බවත් මෙයින් අදහස් වෙනවා කියා හිතන්න පුළුවන්.

මූලාශ්‍ර:

https://www.bbc.com/culture/article/20150610-the-dark-side-of-nursery-rhymes

https://cafemom.com/parenting/meanings-nursery-rhymes-lullabies/

http://nurseryrhymesforbabies.com/history-of-this-old-man-song-2


කලින් ලියූ ලිපි

හේ ඩිඩ්ල් ඩිඩ්ල්

බා බා බ්ලැක් ෂීප්, අන්ධ මීයො තුන් දෙනා, ජැක්   සහ ජිල්

ලන්ඩන් පාලම, වයසක හබර්ඩ් අම්මා, හට්ටි ඩම්ටි 

රිං අරවුන්ඩ් ද රෝසීස්, ගූසි ගුසි ගැන්ඩර්, රොක් අ බයි බේබි

සපත්තුවේ ආච්චි, හිකරි ඩිකරි ඩොක්, මෆීන් මෑන්

ජැක් බි නිම්බල්, ජැක් හෝනර් සහ මේරි මේරි

පුංචි මෆිට් මෙනවිය, පැන්ස හයේ සිංදුව සහ වී විලී වින්කී

වැඩිපුර බලපු ලිපි