Saturday, March 20, 2021

අවසානයක් නොවේ 31

අග්නි සිය දෙතොල් මත සිරස් අතට සුරතේ දබරැඟිල්ල තබා, නිහඬ වන ලෙස සන් කළා ය.

හිස ඔසවා අවට බැලූ ඩ්‍රේක් ගේ දෑසට එක්වරම ලක්වුණේ, තැන තැන විසිරෙන ගිණි පුපුරු වැනි කණා මැදිරියන් ය. රහස් දූරයේ සෙසු සාමාජිකයෝ ගල් තලාව මත එළන ලද සම්කඩවල් මත වැතිර සුව නින්දේ පසුවූහ.

හඬ නොනැගෙන සේ නැගිටගත් තාරා අනුව, ඇඩම් ද සීරුවෙන් නැගිට්ටේ ය. තමා පසුපස එන ලෙස අතින් සන් කළ තරුණිය සෙමෙන් සෙමෙන් ගල් ගුහාව අභ්‍යන්තරය දෙසට පිය නැගුවා ය.

30 කොටස...

සමින් සකස් කළ හැට්ටයක් සහ දෙදණ තෙක් පහතට වැටුණු ඉණකඩක් ඇඳ සිටි ඈ, දෑත් ඔසවා සිය දිගු කොණ්ඩය කරකවා ගුළියක් සේ හිස මුදුනේ ගැට ගසා ගත්තා ය. ඈ දෑත් ඔසවන විට ඉහළට නැඟුනු පටු, හුරුබුහුටි උරහිස් ද, ළැම ද, කොණ්ඩය ගැටගසද්දී නිරාවරණය වූ දිගු ගෙළ ද, එහි වූ කියඹු රොද ද, දෙස නාවුකයා මොහොතක් - දෙකක් බලා සිටියේ ය.

දකුණු දණ බිම ගසා පහත් වූ ඇඩම්, බුහුටි ලෙස සිය නාවුක කිණිස්ස සහිත සම් කොපුව වම් කෙණ්ඩයෙහි තබා සම්පටිවලින් ගැට ගසා ගත්තේ ය. සිය හිස ඉද්දර වූ තද නිල්පැහැ කබාය, සම්මානිත කඩුපත සහ උසැති පාවහන් යුවල දෑතට ගත් හෙතෙම, දුර්ගා පිටුපසින් ගල් ගුහාවේ ඇතුළට ගියේ, සිය දෙපයේ ඇඟිලි පුරුක් අතරින් සියුම් ශබ්දයක් හෝ නොනැඟෙන පරිද්දෙනි.

ගල් ගුහාව කෙළවර වූයේ ගල් පියස්ස බිම වූ ගල් තලාව හා ඒකාබද්ධ වීමෙනි. තනි කළු ගල් පර්වතයක් අනාදිමත් කාලයක සිට හැමූ සුළඟට මුුසු වූ සියුම් වැලි කැටවලින් ගෙවී, වැස්සේ සිසිලසට හා අව්වේ ගිණියමට ඛාදනය වී, දැවැන්ත ගල් ගුහාව සෑදී තිබූ බව පෙනුණි. 

ඉතා සැහැල්ලුවෙන් පියවර තබා යමින් සැළකිය යුතු වේගයකින් ගුහා අභ්‍යන්තරයට පිය නඟා ආ කාන්තාව, මොහොතක් නතර වූවා ය. ඇඩම් ඈ අසළට එත් ම, ඈ සුරතේ වූ කුඩා පන්දම අගට වමත ළං කොට අසුරු ගසන්නාක් මෙන් සිය මැදැඟිල්ලේ සහ මහපටැඟිල්ලේ තුඩුවල තැවරුණු යමක් එකට ඇතුල්ලුවා ය. එසැණින් ගිණි පුපුරු නංවමින් පන්දම ඇවිළුණේ නාවුකයා මවිතයට පත් කරවමිනි.

දෙ දෙනාගේ හිස්වල ගෑවෙන මට්ටමකට පහත් ව තිබූ ගුහාවේ ගල් පියස්ස, අඩි දෙක තුනක දුරින් පොළොවට ම පහත් වී තිබුණේ ය. එහෙත්, අග්නි සිය සුරතේ වූ පන්දම ඒ මේ අත වනද්දී, ඒ මේ අත දිශාගතවූ පන්දම් ආලෝකයෙන්, පහත් වූ ගල් පියස්සේ පැවති සිරස් අතට විහිදි පුළුල් පැල්මක් පෙනී නොපෙනී යන්නට විය. 

තාරා, වමත පසුපසට දිගු කර ඇඩම් ගේ දකුණතෙහි මැණික් කටුව අසලින් අල්ලා ගද්දී, ඇගේ ඇඟිලි අතර වූ සියුමැලි සුමුදු බව හා උණුසුම නාවුකයාට නොමඳව දැනුණි. පන්දම ඉස්සර කරගත් තරුණිය ගල් පැල්ම ඔස්සේ ඇතුළට රිංගා යද්දී, යුරෝපීයයාට ද කරන්නට වෙනත් විකල්පයක් තිබුණේ නැත.

එය අඩි හතක් පමණ උස් වූ, මඳ බෑවුමක් සහිත පටු මාර්ගයක් විය. හැකි පමණ තම පුළුල් උරහිස් හකුලාගත් ඇඩම්, දුර්ගා පිටුපසින් පිය නැඟුවේ ප්‍රවේසමිනි. කාන්තාවට ඉදිරියෙන් වූ පන්දම් එළියෙන් ඇගේ නාරි ලාලිත්‍යවත් හැඩය කැපී පෙනුනේ ය. නාවුකයාගේ දෑසට ලක්වුණු ඇගේ සිරුරේ පිටුපස අඳුරේ තිබුණ ද, පන්දම් එළියේ දීප්තියෙන්, කළුගල් පිළිමයකට රන් පැහැයෙන් පිටත රේඛා ඇන්දාක් මෙන් අසිරිමත් දසුනක් මැවීය. 

ඩ්‍රේක් ගේ සිතෙහි නැගෙමින් තිබූ සිතුවිලි හඳුනාගත්තාක් මෙන් දුර්ගා එක් වරම නතර විය. පන්දම සහිත සුරත ඉදිරියට දිගු කරගත් වනම තිබියදී, ඈ බඳින් සහ ගෙළින් වම්පසට අඩ වශයෙන් හැරී, සිය සහචරයා ගේ දෑස් දෙස බැලුවා ය.

"තව ටික දුරයි..." ඈ කෙඳුරුවා ය.

ඇඩම් හිස දකුණුපසට මඳක් ඇළ කර එකඟතාව පළ කළේ ය.

සියුම් සිනහවක සේයාවක් පැතිරුණු මුහුණින් යුතුව, තාරා නැවතත් ගමන ඇරඹුවා ය. සිරුරට ඉතා ම ආසන්නයේ පැවති ගල් බිත්තිවලින් නැඟුණු දැඩි සිසිලස තිබියදී අපූර්ව උණුසුමක් සිය දෙකණ පිටුපසින් නැඟී ලේ නහර ඔස්සේ සිරුර පුරා පැතිර යනු ඇඩම් හට දැනුණි.

දිය බිංදු ජලතලයක් මතට වැටෙන සිහින් හඬ, මඳ වෙලාවක් තිස්සේ ම දෝංකාර දෙමින් ඇසෙමින් පැවතිණි. තවත් පියවර දහයක් පමණ යද්දී, පටු ගල් කොරි‌ඩෝව අවසන් වී, දෙදෙනා ම ඉඩ කඩ ඇති පුළුල් ගුහාවකට පිවිසුණහ. එය හරියට ම කළගෙඩියක් වැනි ගෝලාකාර හැඩැති ගුහාවක් වූ අතර, එයින් පිටවීමට තවත් මඟක් නොවූ බව ඇඩම් දුටුවේ ය. ගුහාවේ පියස්සේ හරි මැද ට වන්නට පිහිටි පටු රවුම් විවරයකින් හඳ එලිය තීරුවක් ගළා විත්, ගුහාවේ  මැද වූ පොකුණකට වෑස්සිණ. තරමක බේසමක් වැනි ඒ පොකුණේ දියමත වැටෙන සඳ එළිය ඇති කළ පරාවර්තනය කළු නිල් පැහැයෙන් දිදුළන ගුහා බිත්ති මත නළියමින් මන්දාලෝකයකින් ගුහා අභ්‍යන්තරය පුරවා තිබුණි. ගුහාවේ ශෛලමය පියස්සෙන් පහළට එල්ලුණු සිහින් ගිරි ළඹයක් දිගේ වෑස්සෙමින් පැවති සියුම් තෙතමනයකින්, විටින් විට දිය බිංදු සැදී පොකුණු දිය මතට වැටෙයි. එයින් සඳ එළියෙන් රදී පැහැ ගැන්වී දිළිසෙන ජල තලයේ නිරන්තර දිය රැළි නැංවිණ. 

තාරා, පන්දම බිම ගසා නිවා දැමුවා ය. ඉන් නැඟුනු ගිණි පුපුරු කිහිපයක් ඉහළ ගොස් මොහොතකින් වියැකී ගියේ ය. කුඩා පොකුණ අසළට ඈ දිවගියේ දැරියකගේ බඳු කෙළිලොල් බවකිනි. පොකුණ අසළ බිම දෙපා නවා වාඩි වූ ඈ, නාවුකයාට ද, එහි එන ලෙස හිසින් සංඥා කළා ය.

දෑතේ වූ කබාය, පාවහන්, හා අසිපත ගුහා බිත්තිය අසළ ප්‍රවේසමෙන් තැබූ ඩ්‍රේක්, තරුණිය අසළ බිම වාඩි විය. 

"පොඩ්ඩක් අහගෙන ඉන්න... මේ වතුර බිංදු වැටෙන සද්දෙ..." තාරා සිය වමතේ ඇඟිලිතුඩු ඇඩම් ගේ දිගු ඇඟිලි අතරින් යවා අල්ලාගනිමින් කීවා ය. "මනස නිසංසල වෙන්න ඊට වඩා දෙයක් නෑ..."

ඩ්‍රේක් සෙමෙන් හිස සලමින් ඊට එකඟ විය. ඔහුගේ ඇඟිලි ද, තරුණියගේ ඇඟිලි අතර වෙලුනේ ය.

මඳ වේලාවකින් ඇඩම් තාරා දෙසට නැඹුරු වූයේ පැකිළෙමිනි. ඇය ඊට ප්‍රතිචාර වශයෙන් සිය උඩුකය මඳක් කරකවමින් ඔහු දෙසට හැරුණා ය. දෙ දෙනාගේ දැස්, එකිනෙක බැඳෙමින්... උණුසුම් හුස්ම එකපිට එක වැටෙන තරමින්... සමෙහි උණුසුම එකිනෙකාට දැනෙන තරමින්... දෙ දෙනා ළං වූයේ කිසිවක් ගැන නොසිතා ය.

අග්නි ගේ මුහුණ මතුපිට ට නාවුකයාගේ හුස්ම වැටෙද්දී, ඇගේ දෙතොල් යාන්තම් විවර වුණි. අඩවන් දෑසින් ඈ දුටුවේ පරාවර්තිත සඳ එළියෙන් දිළිසෙන ලා රත්පැහැ දෑස් යුවළකි.

ගුහාවේ බිම සැදුණු ගල්තළාව නොසිතූ ලෙස සුමට විය... සිසිල් විය... එහෙත් සුළු මොහොතකින් එහි උණුසුම පැතිර ගියේ ය.

*    *    *

නාවුකයාට තමන් සිහිනයක් බඳු මන්ද මෝහනයකින් අවදි වන්නා සේ දැනුණේ ය. සිය නිරුවත් සමට තුරුළු වුණු තරුණියගේ පහස නොවන්නට, එය සිහිනයක් ම බව ඔහු අදහාගන්නට තිබුණි. ඔහු සිය හැඩිදැඩි වමත මත වැතිර සිටි අග්නිය තුරුළු කරගෙන, සුරතේ ඇඟිලි ඇගේ ලිහුණු කෙස් කළඹ අතරින් යවා ඇගේ හිස පිරිමැද්දේ ය. 

https://www.pikist.com/free-photo-sswpt
"මම සමහරවිට ආපහු ඔයා දකින එකක් නෑ."

නාවුකයාගේ පුළුල් පපුවේ සිය මුහුණ සඟවාගෙන සිටි තාරා, සෙමෙන් මිමිණුවා ය.

"මම සමහරවිට ආපහු ඔයා දකින එකක් නෑ."

"ඇයි ඒ?" ඇඩම් ගැළී සිටි ආලස්‍යය අතුරුදන් වූයේ එක්වරම ය.

"රහස් දූරයේ බහුතර තීරණයට මම එකඟ නෑ ඩ්‍රේක්. ඒ වගේම ඒ තීරණයට විරුද්ධව වැඩ කරන්න මගෙ හෘද සාක්ෂිය මට බළකරනවා."

"ඒ කියන්නෙ, අපි මේ කැරැල්ලට උදව් කරනවා...?"

"අපි නෙවෙයි." ඈ හිස ඔසවා සිය සහකාරයාගේ දෑස් දෙස බැලුවා ය. "අපි නෙවෙයි ඩ්‍රේක්... ඔයා සුමනත්, වරුණත් වගේ ම රජතුමාගෙ රාජකාරියට බැඳුණු කෙනෙක්. ඔයාගෙ රාජකාරිය තමයි රජතුමා ආරක්ෂා කරන එක. ඒත් මම එහෙම නෙවෙයි. මට තියෙන්නෙ වෙනම වගකීමක්..."

දිගු හුස්මක් හෙළා නාවුකයා සිය පපුවේ පැවති බර සැහැල්ලු කර ගත්තේ ය.

"ඔය හැම දේකට ම වඩා මට දැනෙනවා, මට ඔයා එක්ක වඩා පහසුවෙන් කටයුතු කරන්න පුළුවන් බව." ඔහු ඇඟිලි තුඩින් දුර්ගාගේ නිකට අල්ලා ඉහළට එසවී ය. ඔහුගේ ලා රතු පැහැ දෑස් දෙස බැලූ තරුණිය එහි පැවති අධිෂ්ඨානය දුටුවාය. 

"කැරැල්ල සාර්ථක වුණොත් සමහරවිට ඔයාලට නිදහස ලැබෙන්නත් ඉඩ තියෙනවානේ." ඇගේ දෙතොල් හා දෙකොපුල් මඳ සිනහවකින් සැරසුණේ ය. "රාසිං දෙයියන්ට නේ උවමනා තමන්ගෙ රාජධානියෙ සුදු හම ඇති නිල් ඇස් ඇති පරම්පරාවක් බිහිකරව ගන්න. උන්දැ ආසයි අමුතු සත්ත්වයන්, අමුතු මිනිස්සුන් එකතු කරන්න. ඒත් මී ළඟ රජු ට ඒ වගේ උමතු ආශාවන් නොතිබෙන්න ඉඩ තියෙනව."

*    *    *

රිටිගල ජයතුංග වෙදැදුරු තැන දෑස් පිස දමමින් දොරකඩින් එළියට ආවේ ය. දෙගොඩහරි ජාමයේ තමන් නින්දෙන් අවදි කෙරුණේ සුලුපටු පුද්ගලයෙකු සඳහා නම් නොවන බව ඔහු නිගමනය කර තිබුණි. 

"ඇයි?" ඔහු තමන් අත වූ පිත්තල පහන ඔසවා එළිපත සිටි උසැති මිනිසා ගේ හිස සිට දෙතුල තෙක් නිරීක්ෂණය කළේ ය. රන්වන් කෙස්, තියුණු රත්පැහැ ඇස්, ප්‍රංශ රාජකීය නාවුක හමුදා නිල ඇඳුම, කොපුවෙන් අඟලක් - දෙකක් එළියට ඇදී තිබුුුණු යුරෝපීය සම්මානිත අසිපත... ජයතුංග වෙදැදුරු දකුණු පය ට සිය සිරුරේ බර පවරා, වම් පයින් ආරක්ෂක පහරක ට සූදානම් විය. අමුත්තාට පිටුපසින් සිටි කාන්තාව ඔහු දුටුවේ පසුව ය.

"අපි ආවෙ ජයසේන මුණගැහෙන්න..." දුර්ගා කීවේ පැකිළීමකින් තොරව ය.


තවත් කොටසක් ලියාගන්ට හැකි වුණු වේලාවක...

වැඩිපුර බලපු ලිපි