Tuesday, September 22, 2015

ඩ්‍රැක්‍යුලාගේ රාත්‍රී ප්‍රහාරය (මෙන්න ඩ්‍රැක්‍යුලා 2 කොටස) - The Night Attack (The historical figure of Dracula - Part 2)

මෙහි පළමු කොටස මෙතැනින්...

http://www.ucs.mun.ca/~emiller/Vlad9.jpg

ඔටෝමන් වරුන් 1453 දී කොන්ස්තන්තිනෝපලය අල්ලා ගැනීමෙන් පසු, මෙහ්මඩ් අනෙකුත් ප‍්‍රදේශ වෙත සිය අවධානය යොමු කළේය. ඇනටෝලියාව ඔටෝමන් වරුන්ට එරෙහිවූ අතර, නැගෙනහිරින් උසුන් හසන් ප‍්‍රමුඛ කොටගත් අනෙකුත් කුඩා ජනපද ඔටෝමන් වරුන්හට තර්ජනකාරී ලෙස හැසිරුණහ. බටහිරින් ඇල්බේනියාවේ ස්කැන්ඩ්බර්ග්, සුල්තාන් වරයාට හිරිහැරදායී වූ අතර, බොස්නියාව ඔටෝමන්වරුන්හට ජිස්යා බද්ද (මුස්ලිම් නොවන යටත් ජාතීන් මත පැණවූ බද්ද) ගෙවීම නිරන්තරයෙන් පැහැර හැරියහ. වලාචියා රාජ්‍යය ඩැන්‍යුබ් නදී ඉවුර පාලනය කළ අතර, මෙහ්මඩ් හට ඩැන්‍යුබ් ගංගාවේ බලය තමන් අතට ගැනීම අත්‍යවශ්‍ය සාධකයක් විය. ඒ, ඒ හරහා ශුද්ධවූ රෝම අධිරාජ්‍යයේ නාවුක ප‍්‍රහාරයන් ඔටෝමන් අධිරාජ්‍යයට එල්ල විය හැකි වූ හෙයිනි.

මෙසේ තිබියදීය, දෙවන පයස් පාප් වහන්සේ 1460 මැංචුවා සමුළුවේදී වසර තුනක් පැවතීමට ඇස්තමේන්තු කරන ලද නව කුරුස යුද්ධයක් කැඳවූයේ. මෙම සැළසුම අසාර්ථක වූ අතර, ඊට උනන්දුවක් දැක්වූ එකම යුරෝපීය නායකයා වූයේ ව්ලාඩ් ය. මේ පිළිබඳ යුරෝපීයයෝ දැක්වූ මන්දෝත්සාහී බව, අවස්ථාව කොටගත් මෙහ්මඩ් තම එදිරිවාදීන් හට පහර දුන්නේය. 1460 අගභාගයේ දී ඔහු සර්බියාවට අයත් වූ අවසාන ස්වාධීන නගරය වූ ස්මෙදරේවෝ අල්ලා ගත් අතර, 1461 දී ග‍්‍රීසියේ මොරෙයා හි පාලකයා, සිය උපරාජයෙකු බවට පත් කර ගත්තේය. ඊට නොබෝ කලකින්ම, ග‍්‍රීසියේ අගනුවර ද, මිස්ට‍්‍රා සහ කොරින්ත් යන නගරයන් ද සටනකින් තොරවම යටත් වූහ.

ව්ලාඩ් හට සිටි එකම යුද්ධ සගයා වූ මිහාලි ෂිලේගි 1460 දී බල්ගේරියාව හරහා ගමන් කරද්දී තුර්කි වරුන් විසින් අල්ලා ගන්නා ලදි. ඔහුගේ හමුදාව වධදී මරණ ලද අතර, ෂිලේගි කියතින් ඉරා ඝාතනය කෙරුණි. මෙම වසරේම අග භාගයේ දී මෙහ්මඩ් ගේ දූතයන් ව්ලාඩ් හමු වී, ප‍්‍රමාද වූ ජිස්යා බද්ද පිළිබඳව විමසූ විටය, එම දූතයන් ගේ තලප්පා, හිස් වලට තබා ඇණ ගසා මරණ ලද්දේ. 1460 සැප්තැම්බර් දිනැති ලිපියකින් ව්ලාඩ්, ක්‍රොන්ස්ටැඩ්ට් හි (වර්තමාන බ‍්‍රෑෂෝව්) ට‍්‍රාන්සිල්වේනියානු සැක්සන් වරුන් හට මෙහ්මඩ් ගේ ආක‍්‍රමණ සැළසුම් ගැන අනතුරු ඇඟවූ අතර, ඊට එරෙහිව ඔවුන්ගේ සහාය ඉල්ලීය.

ව්ලාඩ් 1459 සිට ජිස්යා බද්ද නොගෙවා සිටියේය. එම අවුරුද්දේ අවසාන භාගයේ දී මෙහ්මඩ් ඊට අමතරව තම හමුදාවේ ජැනිසරි (සැහැල්ලූ පාබළ) සේනාවට ආධුනික සෙබළුන් ලෙස බඳවා ගැනීමට පිරිමි ළමයින් 1000 ක් ද ඉල්ලා එවීය. එය ව්ලාඩ් ප‍්‍රතික්ෂේප කළ පසු තුර්කි වරුන් ඩැන්‍යුබ් නදිය තරණය කොට අවුත් ආධුනික සෙබළුන් ලෙස පුහුණු කිරීම සඳහා පිරිමි ළමයින් පැහැර ගන්නට විය. ව්ලාඩ් ඊට දැක්වූ ප‍්‍රතිචාරය වූයේ එසේ ආ තුර්කි වරුන් අල්ලා උල තැබීමයි. මෙම කළහය 1461 දක්වාම ඇදී ගිය අතර, අවසානයේ මෙහ්මඩ් මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා වොයිවෝඩ් වරයා කොන්ස්තන්තිනෝපලයට කැඳවීය.

ව්ලාඩ් 1461 නොවැම්බරයේ අග මෙහ්මඩ් වෙත ලිපියක් යවමින්, ට‍්‍රාන්සිල්වේනියානු සැක්සන් වරුන්ට එරෙහි තම යුධ ප‍්‍රයාණයන් නිසා තම ආදායම් මාර්ග හිස් වූ හෙයින් ජිස්යා බද්ද ගෙවිය නොහැකි බවත්, තමන් වලාචියාවෙන් පිටත්ව ආවිට හංගේරියාවේ රජු තම බලප‍්‍රදේශය අල්ලාගැනීමේ අවදානමක් ඇති නිසා කොන්ස්තන්තිනෝපලයට පැමිණිය නොහැකි බවත්, කියා සිටියේය. තමන්ට හැකියාවක් ලද වහාම සුල්තාන්වරයා වෙත රන් කාසි  ඕනෑම ප‍්‍රමාණයක් ගෙවීමටත්, තමන් වෙනුවෙන් වලාචියා ප‍්‍රදේශය පාලනය කිරීමට පාෂා වරයෙක් එවන්නේ නම් කොන්ස්තන්තිනෝපලයට පැමිණිය හැකි බවත් ඔහු වැඩිදුරටත් දැන්වීය. ඒ අතර ව්ලාඩ් සහ හංගේරියානු රජු අතර පැවති සංධානය පිළිබඳව සුල්තාන් වරයා හට රහස් ඔත්තු මූලාශ‍්‍ර මඟින් දැන්ගන්නට ලැබුණි. සුල්තාන්, ග්‍යුර්ග්‍ය හි දී ව්ලාඩ් සමඟ රාජ්‍ය තාන්ත‍්‍රික හමුවක් පැවැත්වීම සඳහා නිකොපොලිස් හි බේ වරයා වූ හම්සා පාෂා පිටත් කර එවීය. එහිදී අනපේක්ෂිත ප‍්‍රහාරයක් එල්ල කොට ව්ලාඩ් අල්ලාගෙන කොන්ස්තන්තිනෝපලයට රැගෙන එන ලෙස ඔහු හට රහසින් උපදෙස් දෙන ලදි. සතුරාට වඩා දුර දුටු ඩ‍්‍රැක්‍යුලා, අශ්වාරෝහකයන් 1,000 ක් පිරිවැරූ හම්සා ග්‍යුර්ග්‍යු ප‍්‍රදේශයට උතුරින් පිහිටි පටු දුර්ගයක් හරහා එද්දී රැකසිට පහර දුන්නේය. තුර්කිවරුන් වටළාගත් වලාචියානු සේනාව, අත් තුවක්කු වලින් පහර දී ආක‍්‍රමණිකයන් සියල්ල මරා දැමූහ. ඉතිහාසඥයන් පවසන්නේ, මාරාත්මක කලාත්මක බවකින් වෙඩිබෙහෙත් යොදාගත් මුල්ම යුරෝපීය කුරුස යුද්ධ සෙනෙවියන් අතරට ව්ලාඩ් එක් වන බවය. හංගේරියානු රජ වූ කෝවිනස් වෙත 1462 පෙබරවාරි 2 දින ලියූ ලිපියකින් ඔහු ග්‍යුර්ග්‍යු හි පැරණි වලාචියානු බළකොටුවක් ආසන්නයේදී හම්සා පාෂා අල්ලා ගත් බව දැන්වීය.

ඉන්පසු ව්ලාඩ් තුර්කි සෙනෙවියෙකු ලෙස වෙස් වළාගෙන, සිය අශ්වාරෝහක සේනාව ද රැගෙන ඔටෝමන් බළකොටුව වෙත පැමිණ, දොරටු විවෘත කරන ලෙස තුර්කි භාෂාවෙන් අණ කළේය. ඒ අනුව ඔවුන් විවර කර දුන් දොරටුවෙන් ඇතුල් වූ ඩ‍්‍රැක්‍යුලාගේ සේනාව බළකොටුවට පහර දී එය විනාශ කළහ.

ඊළඟ පියවර වශයෙන් ඔහු සතුරු සෙබළුන් ද, ඔවුන්ට පක්ෂපාතයැයි සැක කෙරුණු සාමාන්‍ය මිනිසුන්ද ඝාතණය කිරීමේ සංග‍්‍රාමයක් ඇරඹීය. මෙය පළමුව දකුණු වලාචියාවෙන් ආරම්භ කළ ව්ලාඩ්, දිය මිදුණු ඩැන්‍යුබ් නදිය හරහා ගොස් බල්ගේරියාවට ව්‍යාප්ත කළේය. බල්ගේරියාවේදී සිය සේනාව කුඩා කුඩා සමූහයන්ට බෙදූ ඔහු, දෙසතියක් ඇතුළත කිලෝ මීටර 800 ක් පමණ ආවරණය කරන්නට සමත් විය. එහිදී ඔවුන් තුර්කි වරුන් 23,000 කට වඩා මැරූහ. 1462 පෙබරවාරි දෙක දිනැති ලිපයක, ව්ලාඩ් කෝර්විනස් හට මෙසේ වාර්තා කරයි,

’‘මම වැඩිමහලූ මෙන්ම ළාබාල සාමාන්‍ය මිනිසුන් සහ ගැහැණුන් මැරවීමි. ඩැන්‍යුබ් නදිය මුහුදට වැටෙන ඔබ්ලූසිට්සා සහ නොවොසෙලෝ ප‍්‍රදේශයන්හි සිට චිලියා නගරයට නුදුරු රහෝවා දක්වා ද, පහළ ඩැන්‍යුබ් හි සිට සැමෝවිට් සහ ඝිග්හෙන් වැනි ප‍්‍රදේශ දක්වා ද වාසය කළවුන් මැරවීමි. අප විසින් මරන ලද තුර්කි වරුන්ගේ ගණන 23,884 කි. මේ ගණන අප විසින් ගිණි තබන ලද ගෙවල් තුළ සිටියවුන් ද, අපේ සෙබළුන් විසින් බෙලි කපන ලද තුර්කිවරුන් ද, ගණන් නොගෙන ය. උතුමාණනි, මෙයින් මා ඔහු (දෙවන මෙහ්මඩ් සුල්තාන්වරයා) සමඟ පැවති සාමය කඩකළ බව ඔබට දන්වා සිටිමි’’

බල්ගේරියානු ක‍්‍රිස්තියානි ආගමිකයන් හට අභය දානය දෙන ලද අතර, ඔවුන්ගෙන් බොහෝමයක් වලාචියා හි පදිංචියට ආහ. මෙම සමූල ඝාතනය ව්ලාඩ් විසින් ගණන් තබා ඇත්තේ මෙපරිද්දෙනි. ග්‍යුර්ග්‍යු හි දී 6,414 ක්, එනි සැලා හි 1,350 ක්, ඩ්‍යුරොස්ටර් හි 6,840 ක්, ඔර්සෝවා හි 343 ක්, හර්සෝවා හි 840 ක්, මැරොටින් හි 210 ක්, ටර්ටුකායා හි 630 ක්, ටර්නු, බැටින් සහ නොවොග‍්‍රාඩ් හි 384 ක්, සිස්ටෝව් හි 410 ක්, නිකොපොලිස් සහ ගිග්හෙන් හි 1,138 ක්, රාහෝවා හි 1,460 ක් වශයෙනි. මෙම විනාශකාරී ක‍්‍රියාවන් පිළිබඳව මෙහ්මඩ් හට සැළ වන විට ඔහු සිටියේ කොරින්ත් නගරය වටළමිනි. ඔහු බ්‍රේලා හි පිහිටි වලාචියානු වරාය විනාශ කිරීම පිණිස 18,000 ක හමුදාවක් සමඟ තම අගමැති වරයෙකු වහාම එවීය. ව්ලාඩ් ආපසු හැරී අවුත් මෙම හමුදාව පරාජය කළ අතර, ද ලෙසේ නම් ඉතාලියානු වංශ කතාව අනුව තුර්කි හමුදාවෙන් ඉතිරි වූයේ 8,000 ක් පමණි.

ව්ලාඩ් ගේ ජයග‍්‍රහණයන් ට‍්‍රාන්සිල්වේනියානු සැක්සන් නගර වලදී මෙන්ම, ඉතාලි ජනපද වලදී ද, පාප් තුමා විසින් ද, උත්කර්ෂවත් ලෙස සමරන ලදි. මාර්තු 4 දින කෝර්විනස් ගේ රාජසභාවේ දී මෙම ප‍්‍රවෘත්තිය ඇසූ වැනේසියානු දූතයෙක්, ‘‘සමස්ත ක‍්‍රිස්තියානි ලෝකයම ව්ලාඩ් ගේ සාර්ථක යුධ ප‍්‍රයාණය සැමරිය යුතුයැ’’ යි පැවසීය. ශුද්ධවූ දේශයේ වන්දනාවේ ගිය ඉංග‍්‍රීසි සංචාරකයෙකු වූ වේ හි විලියම් නැවත සිය රට බලා යන අතර, රෝඩ්ස් දූපත් වලදී මෙසේ ලිවීය. ‘‘රෝඩ්ස් හි හමුදා සෙබළුන් ව්ලාඩ් ගේ යුධ ප්‍රයාණයන් ගැන අසා, මෙවැනි ජයග‍්‍රහණයන් අත් කර දුන් දෙවියන් හට ස්තූති ගීතිකා ගයති. රෝඩ්ස් හි නගරාධිපති සිය සහෝදර සෙබළුන් සහ පුරවැසියන් හට පළතුරු සහ වයින් වලින් යුත් භෝජන සංග‍්‍රහයක් පවත්වයි.’’ කැෆ්ෆා හි ජිනෝවා වරුන් ව්ලාඩ් හට විශේෂයෙන් ස්තූති කළේ, නැව් 300 ක කණ්ඩායමක් යොදාගනිමින් සුල්තාන් වරයා සැළසුම් කර තිබූ කැෆ්ෆා ආක‍්‍රමණය, මෙම සිදුවීමෙන් වැළැකුණු හෙයිනි. බොහෝමයක් ඔටෝමන් වරු ව්ලාඩ් කෙරෙහි ත‍්‍රස්ත වූ අතර, සිය අධිරාජ්‍යයේ යුරෝපීය කොටස අතහැර ඇනටෝලියාව වෙත සංක‍්‍රමණය වූහ. මෙම පුවත් සැළවූ මෙහ්මඩ් කොරින්ත් නගරය වැටළීම අතහැර, තමන් ම ඩ‍්‍රැක්‍යුලාට මුහුණ දීමට තීරණය කළේය.

https://en.wikipedia.org/wiki/
File:Gentile_Bellini_003.jpg
 ජෙන්තිල් බෙලිනි විසින් අඳින ලද මෙහ්මඩ් ගේ ආලේඛ්‍යයක්

කොන්ස්තන්තිනෝපලය අල්ලා ගැනීමට රැස් කරන ලද සේනාවට පිරිස් බලයෙන් මෙන්ම යුධෝපකරණ අතින් ද සමාන හමුදාවක් රැස් කිරීමට මෙහ්මඩ් සිය අධිරාජ්‍යයේ සෑම දිසාවකටම දූතයන් යැවීය. එසේ රැස් කරන ලද හමුදාව සුල්තාන් විසින් ම 1462 අපේ‍්‍රල් 26 හෝ මැයි 17 දින, වලාචියාව ඔටෝමන් අධිරාජ්‍යයට ඈඳාගැනීමේ අටියෙන් මෙහෙයවන ලදි. සුල්තාන් වරාය සිය අග‍්‍රාමාත්‍ය වරයෙකුට ලියූ ලිපියක, තමන් මිනිසුන් 150,000 ක් කැටිව ගිය බව සඳහන් කරයි. බොහෝ මූලාශ‍්‍රයන් හි මෙම සංඛ්‍යාව අතිශයෝක්තියෙන් සඳහන් වේ. වඩා පිළිගත හැක්කේ බූඩා හි වැනීසියානු තානාපති වරයෙකු වූ ටොම්මාසි සඳහන් කරන, 60,000 ක නිත්‍ය හමුදාවක් හා  30,000 ක අනියම් හමුදාවක් වශයෙන් 90,000 ක් මිනිසුන් ඊට ඇතුළත් වූ බව ය. මෙම හමුදාවට, ජැනිසරි හෙවත් සැහැල්ලූ භටයන්, පාබළ භටයන්, සිපාහි හෙවත් අහ්වාරෝහකයන්, සයියාලේ හෙවත් මරාගෙන මැරෙන වහළුන් (සටන අවසානයේ පණ බේරාගත් වහළුන් හට නිදහස දෙන ලදි), දුනුවායන්, සුල්තාන්වරයා ගේ ආයුධ භාරව සිටි සහ හමුදාවේ පැති ආරක්ෂා කළ සිලාඃදර් භටයන්, හෙල්ල කරුවන්, ගිනි අවි දරන්නන්, සහ සුල්තාන් ගේ අංගාරක්ෂක සේනාංකය ද ඇතුළත් වූහ. ස්වේච්ඡාවෙන්ම මෙහ්මඩ් හට සේවය කරමින් සිටි ව්ලාඩ් ගේ අඩ - සොහොයුරා වූ කඩවසම් රාඩු යටතේ අශ්වාරෝහකයන් 4,000 ක් ගමන් කළහ. ඊට අමතරව ඔටෝමන් වරු කාල තුවක්කු 120 ක් ද, මං මාවත් සහ පාළම් තනන ඉංජිනේරුවන් හා වැඩ කරුවන් ද, සෙබළුන් හට ආගමික කටයුතු උදෙසා ඉස්ලාමීය උලෙමා සහ මුවෙසින් හි පූජකවරුන් ද, මෙහ්මඩ් හට උපදෙස් දීම හා සංග‍්‍රාමික තීරණ සඳහා උපකාර වීමට තාරකා ශාස්ත‍්‍රඥයන් ද, ‘මිනිසුන් ගේ රාත‍්‍රී සතුට වෙනුවෙන් වෙන් කරන ලදගැහැණුන් ද, ගෙන ගියහ. බයිසැන්ටියානු ඉතිහාසඥයෙකු වූ කැල්කොකොන්දයිල් වාර්තා කරන පරිදි, මෙම හමුදාව ඩැන්‍යුබ් ගෙඟන් එතෙර කරවීම සඳහා නැව් හිමියන් හට රන් කාසි 300,000 ක් ගෙවා තිබේ. ඒ, ට්‍රෛරීම් (හබල් පේළි තුනක් සහිත විශාල ගැලී යාත‍්‍රා) 25 ක් හා කුඩා යාත‍්‍රා 150 ක් සහිත වූ ඔටෝමන් නැව් හමුදාවට අමතර වශයෙනි.

ව්ලාඩ් හංගේරියාවේ රජුගෙන් යුධමය ආධාර ඉල්ලා සිටියේය. ඒ වෙනුවෙන් ඔහු තම ආගම ඕතඩොක්ස් නිකායෙන් කතෝලිකාගමය වෙත මාරු කිරීමට පවා එකඟ විය. එහෙත් කෝවිනස් ගෙන් ඩ‍්‍රැක්‍යුලා හට ලැබුණේ පොරොන්දු පමණකි. ඒ වෙනුවට ව්ලාඩ් තමන්ගේ හමුදාවක් සූදානම් කළේය. ඊට, හමුදා සේවයට සුදුසු වයසේ වූ පිරිමින් පමණක් නොව, කාන්තාවන් ද, වයස 12 න් ඉහළ ළමයින් ද ඇතුළත් වූ අතර, ජිප්සි වහළුන්ගෙන් සමන්විත සේනාංකයක් ද ඇතුළත් විය. විවිධ මුලාශ‍්‍රයන්හි වලාචියානු හමුදාවේ ප‍්‍රමාණය 22,000 සිට 30,900 දක්වා වූ බවට පැවසෙතත්, වඩා ජනප‍්‍රිය සංඛ්‍යාව වන්නේ 30,000 කි. මෙම හමුදාවේ බහුතරයක් දෙනා සාමාන්‍ය ගොවීන් සහ එඬේරුන් ගෙන් සමන්විත විය. අශ්වාරෝහක බෝයර්වරුන් සිටියේ සුළු ප‍්‍රමාණයකි. මොවුන්, හෙල්ල, කඩු සහ කිණිසි වලින් සන්නද්ධ වූ අතර, සන්නාහ ලෙස යකඩ පුරුක් වලින් සැදි චේන්මේල් දැරූහ. ව්ලාඩ් ගේ පෞද්ගලික ආරක්ෂක සේනාංකයට විදේශික අගම්පඩි සෙබළුන් හා ජිප්සි වරු ඇතුළත් වූහ. මෙම හමුදාව නික්ම යාමේදී ඔවුන් ඇමතූ ව්ලාඩ්, ‘‘මරණය ගැන සිතන අය මා සමඟ නොඑනවානම් හොඳය’’ යි කී බව පැවසේ.

තුර්කි හමුදා මුලින්ම ගොඩබැසීමට තැත් කළේ විදින් ඉවුරෙනි. එහෙත් වලාචියානු දුනුවායෝ එය වැළැක්වූහ. ජූනි 4 වැනි දා රාත‍්‍රියේ ඔටෝමන් වරුන් ගේ මිත‍්‍ර ජැනිසරි සේනාංකයක් ටර්න්‍යු සෙවරින් ඉවුරට ගොඩ බටහ. එහිදී ඔවුන් ගෙන් 300 ක් දෙනා වලාචියා ප‍්‍රහාරයන්ගෙන් මැරුම් කෑහ. මේ අතර උන් කොන්ස්තන්තීන් මිහායිලොවිච් නම් සර්බියානු ජැනිසරි හේවායෙක් එම සිදුවීම මෙසේ විස්තර කරයි,

‘‘රෑ බෝවී ගෙන එද්දී අපි අපේ යාත‍්‍රා වලට නැඟ, ඩැන්‍යුබ් ගඟ දිගේ පහළට යාත‍්‍රා කොට, ව්ලාඩ් ගේ හමුදා රඳවා සිටි ප‍්‍රදේශයෙන් මයිල කිහිපයක් පහතින් අනෙක් ඉවුරට සේන්දු වීමු. එහි අපි යුද අගල් කිහිපයක් කැන්නෙමු. ඒ සතුරු අශ්වාරෝහක හමුදා වැළැක්වීම පිණිස ය. ඉන් පසු අපි ආපසු ගඟ තරණය කොට ගොස්, ඉතිරි ජැනිසරි සේනාව ද ගඟ හරහා ප‍්‍රවාහනය කළෙමු. සම්පූර්ණ පාබල හමුදාවම මෙගොඩ වූ පසු, අපි මනාව සූදානම් වී ගෙනවුත් තිබූ කාලතුවක්කු සහ වෙනත් උපකරණ ද රැගෙන, ටිකෙන් ටික ව්ලාඩ් ගේ හමුදාව දෙසට ගමන් කිරීම ඇරඹුවෙමු. සතුරන් අප නැවැත්වූ විගස, අපි කාලතුවක්කු සූදානම් කරන්නට පටන් ගත් නමුත්, අපේ ජැනිසරි භටයන් 300 ක් දෙනා මරණයට පත් වීම වැළැක්විය නොහැකි විය. අපේ පාර්ශ්වය බොහෝ සේ දුර්වල වෙද්දී, අපි ගෙනවුත් තිබූ කාලතුවක්කු 120 මඟින් ආරක්ෂාව සළසා ගැනීමට සමත් වීමු... කාලතුවක්කු ප‍්‍රහාර නොකඩවා එල්ල කිරීම නිසා කුමාරයා ගේ හමුදාව පළවා හැර, අපේ යුධ පෙරමුණ ශක්තිමත් කර ගැනීමට හැකි විය... අපගේ හමුදාවන් ගඟ තරණය කිරීම වැළැක්විය නොහැකි බව දුටු ව්ලාඩ් පසුබැස්සේය. අධිරාජයා තම සම්පූර්ණ හමුදාවම ඩැන්‍යුබ් නදියෙන් එගොඩ වූ පසු, අප අතරේ බෙදා ගැනීම පිණිස රන් කාසි 30,000 ක් දුන්නේය.’’

ඔටෝමන් හමුදා ඉදිරියට එද්දී ව්ලාඩ් දැවුණු බිම(scorched earth) නම් යුධ උපක‍්‍රමය ක‍්‍රියාත්මක කළේය. ඒ අනුව ඔහු, දිය මූලාශ‍්‍ර වලට වස යෙදීය. දිය පහරවල් හරවා, වගුරු බිම් ඇති කළේය. වළවල් සාරා, ලී කොටන් සහ කොළ වලින් වසා, උගුල් ඇටවීය. සාමාන්‍ය ජනතාව මෙන්ම සතුන් ද, කඳුකරයට පළවා හැරියේ ය. මෙහ්මඩ් ගේ හමුදාව දින හතක් තිස්සේ ඉදිරියට එද්දී කිසිම මිනිහෙක්, කෑ හැකි තරමේ සතෙක් හෝ බීමට දිය පොදක් නොමැතිව හෙම්බත් වූහ. ව්ලාඩ් ගරිල්ලා ප‍්‍රහාර ක‍්‍රම දියත් කළ අතර, ඔහුගේ අශ්වාරෝහකයෝ පහර දී පැන යාමේ උපක‍්‍රම භාවිතා කළහ. ඊට අමතරව ඔහු ලාදුරු, ක්ෂයරෝගය, සිෆිලිස් වැනි මාරාත්මක රෝග වැළඳුනු මිනිසුන් සහ විශාල ප‍්‍රමාණයක් මහාමාරිය වසංගත රෝගීන්, තුර්කි වරුන් අතරට එවා සතුරා රෝගී කොට දුර්වල කළේය. ඒ සමඟම ඔටෝමන් හමුදාව අතර මහාමාරිය පැතිර ගියේය.

ඔටෝමන් හමුදාව බ්‍රේලා සහ චිලියා නගර වලට සුළු ප‍්‍රහාර එල්ල කිරීමට සමත් වුවත්, බරපතළ හාණි සිදු කිරීමට නොහැකි වූයේ, ව්ලාඩ් තෙමේම බල්ගේරියාවේ බොහොමයක් වරායන් විනාශ කර තිබූ හෙයිනි. සුල්තාන් වරයා හට වලාචියානු සොල්දාදුවෙකු අල්ලාගැනීමට හැකි වූ පුවතක් කැල්කොකොන්දයිල් වාර්තා කරයි. මෙහ්මඩ් මුලින් ම එම සොල්දාදුවා හට අල්ලස් දී, ඔහු ගෙන් තොරතුරු ලබා ගැනීමට උත්සාය කළේය. එය ව්‍යර්ථ වූ පසු ඔහු වධයට පත් කරන බවට තර්ජනය කළේය. එයින්ද පළක් වූයේ නැත. අවසානයේ එම සොල්දාදුවා අගය කරමින්, ‘‘තොපගේ ස්වාමියාට තොප වැන්නවුන් තවත් බොහෝ දෙනෙක් වී නම්, සුළු කලකින් ම ඔහුට ලෝකය යටත් කර ගැනීමට හැකි වනු ඇතැ’’ යි පැවසූ බව සඳහන් වේ.

බුකාරෙස්ට් බළකොටුව සහ ස්නැගෝව් දූපත අල්ලාගැනීමට දැරූ අසාර්ථක ප‍්‍රයත්නයන් ගෙන් පසුව, ඔටෝමන් හමුදාව ටර්ගොවිස්ට් අගනුවර වෙත ගමන් කරන්නට වූහ. ජූනි 17 දින රාත‍්‍රියේ අගනුවරට දකුණු පසින් ඔවුන් කඳවුරු ලා සිටියදී, ව්ලාඩ් ක්ෂණික ප‍්‍රහාරයක් එල්ල කළේය. එය කෙතරම් තීරණාත්මක වීද යත්, ‘‘රාත‍්‍රී ප‍්‍රහාරය’’ යනුවෙන් එය ප‍්‍රකට විය. මෙම ප‍්‍රහාරයට ඔහු යොදාගත්තේ මිනිසුන් 24,000 ක් යැයි කියවෙතත්, වඩා සත්‍ය සංඛ්‍යාව විය හැක්කේ 10,000 - 7,000 අතර අශ්වාරෝහකයන් පිරිසකැයි සැළකේ. කැල්කොකොන්දයිල් කියන අයුරින්, ප‍්‍රහාරය දියත් කිරීමට පෙර, තුර්කි වරයෙකු සේ වෙස් වළහා ගත් ව්ලාඩ් නිදහසේ තුර්කි කඳවුරට ඇතුල් වී, සුල්තාන් වරයාගේ කූඩාරම සොයාගෙන, කඳවුරෙහි සංවිධානය අධ්‍යයනය කළේය. කතුවරයා හඳුනාගෙන නැති වෙරෝනාහි වංශ කතාවට අනුව, ප‍්‍රහාරයක් එල්ල වුවහොත්, ඇති විය හැකි කළබලය අවම කිරීම පිණිස තුර්කි සෙබළුන් හට රාත‍්‍රයේ දී සිය කූඩාරම් වලින් බැහැර වීම මෙහ්මඩ් විසින් තහනම් කර තිබිණ. එහිම වැඩිදුරටත් සඳහන් වන්නේ මෙහ්මඩ් ගේ යුධ උපක‍්‍රම ගැන දැනගැනීමෙන් පසු, ව්ලාඩ් සතුරු සෙබළුන් කූඩාරම් වලට සීමා වී සිටි රාත‍්‍රියේම පහර දීමට තීරණය කළ බවයි. මෙම ප‍්‍රහාරය හිරු බැස ගොස් තුන් පැයකින් ආරම්භ වී, පසුදා අළුයම හතර වන තෙක් පැවතුණු බව සැළකේ. ඔටෝමන් කඳවුර තුළ එය මහත් කළබැගෑනියක් විය. වලාචියානු සෙබළු හොරණෑ වලින් මහත් ශබ්ද කළ අතර, ඔවුන්ගේ පන්දම් වලින් සටන දීප්තිමත් විය. ඔවුන් එක් ප‍්‍රහාරයක් නොව ප‍්‍රහාරයන් කීපයක් එල්ල කළහ. සංහාරයේ ප‍්‍රතිඵලය ගැන එක් එක් සටහන් වල ඇත්තේ විවිධාකාර තොරතුරු ය. සමහර මූලාශ‍්‍ර වලට අනුව වලාචියානුවෝ තුර්කි සෙබළුන් විශාල ප‍්‍රමාණයක් මැරූ අතර, වෙනත් තැන් වල සඳහන් වන්නේ ඔටෝමන් වරුන්ට වූයේ අවම හාණියක් බවය. කෙසේ හෝ අශ්වයන් හා ඔටුවන් බොහෝමයක් මරණ ලදි.

දෙවන වලාචියානු සේනාංකයක් භාරව සිටිමින්, එකවිට පහර දීමට විධාන ලබා සිටි ගේල් නම් බෝයර් සෙනෙවියෙකු, අපේක්ෂිත විනාශය කිරීමට තරම් නිර්භීත නොවූ බවට, සමහර ඉතිහාස ග‍්‍රන්ථ චෝදනා කරයි. ආසියානු අශ්වාරෝහක සේනාංකය මෙහෙයවූ ව්ලාඩ්, සුල්තාන් වරයාගේ කූඩාරම ඉළක්ක කරගත් නමුත්, වැරදීමෙන් ඔහු යැවුනේ අග‍්‍රාමාත්‍ය වරුන් දෙදෙනෙකු වූ ඉෂාක් පාෂා සහ මහ්මූද් පාෂා ගේ කූඩාරම වෙතය.

මෙම සටන පිළිබඳ වලාචියා පාර්ශ්වයේ වාර්තාවක්, වසර කිහිපයකට පසුව (ව්ලාඩ් කෝවිනස් රජු ගේ සිරකරුවකු ලෙස සිටියදී) බූඩා ගේ රාජසභාවෙහි දී වලාචියානු මහල්ලෙකු විසින් පවසන ලදුව, පාප් වහන්සේ ගේ නියෝජිතයෙකු වූ නිකොලෝ මොද්රූසා විසින් වාර්තා කර ඇත. ඒ අනුව,

භූමියේ ස්වාභාවික පිහිටීමේ වාසිය වලාචියානුවන් හට අත් වූ කන්දක දී, සුල්තාන් වරයා ව්ලාඩ් ව වටළා ගත්තේය. ඩ‍්‍රැක්‍යුලා, සිය කැමැත්තෙන්ම තමන් සමඟ ආ මිනිසුන් 24,000 දෙනෙකු අතරට වැදී ආවරණය වුනේය. ඔහුට පැවතියේ විකල්ප දෙකක් පමණි. එක්කෝ හාමතයෙන් මිය යාම හෝ, නැතහොත් සතුරා ගේ කුරිරු වධ බන්ධනයන්ට පත් වීම ය. එම විකල්ප දෙකම නිර්භීත මිනිසුන් හට තරම් නොවන බව වටහා ගත් ව්ලාඩ්, තම නම සදහට පවතින ක‍්‍රියාවක් කිරීමට අදිටන් කර ගත්තේය. ඔහු තම මිනිසුන් අමතා, තත්ත්වය පැහැදිළි කළේය. තුර්කි කඳවුරට ඇතුල් වීමට ඔවුන් පහසුවෙන් පොළඹවා ගත හැකි විය. එක්කෝ තමන් යුධබිමේදී නිර්භීත මරණයක් අත් කර ගෙන, ගෞරවයට පත් වනු පිණිස හෝ, දෛවය තමන්ට පක්ෂපාතී වන්නේ නම් විශේෂාකාරයකින් සතුරාගෙන් පළිගනු පිණිස හෝ, ඉදිරියට ආ තම සෙබළුන්, ව්ලාඩ් කොටස් දෙකකට බෙදීය. අඳුර වැටීගෙන එද්දී අපරීක්ෂාකාරී ලෙස කඳවුරෙන් පිටත හැසිරුණු තුර්කි සෙබළුන් කිහිප දෙනෙක් අල්ලාගත් ව්ලාඩ්, ඔවුන්ගේ මුවාවෙන් එක් සේනාංකයක් ද කැටිව ඔටෝමන් කඳවුරට ඇතුල් විය. කඳවුරේ ආරක්ෂා සංවිධාන දක්වාම ගිය ඔහු මුළු රැය පුරාවටම විදුලියක් සේ ඒ මේ අත තම සෙබළුන් විහිදුවමින් මහා සංහාරයක් කළේය. අනෙක් වලාචියානු සේනාංකය භාර දී තිබූ ගේල් නම් බෝයර් සෙන්පතියා ද, ව්ලාඩ් තරම් නිර්භීත වූයේ නම්, සිය කූඩාරම් වලින් පිට නොවීමට ඔටෝමන් සෙබළුන් හට පිට පිට ම දී තිබූ නියෝගයන් ද හේතුවෙන් වලාචියානුවන් හට නිසැකවම තමන් මෙතෙක් ලද ඉහළම ජයග‍්‍රහනය අත් කර ගැනීමට අවස්ථාව තිබුණි. නමුත් ගේල් සෙනෙවියා, කලින් එකඟවූ ආකාරයට, තමන්ට භාර වූ පැත්තෙන් කඳවුරට පහර දුන්නේ නැත. තම මිනිසුන්ගෙන් බොහොමයක් තුවාල ලැබූවද, බහුතරයක් සෙබළු මිය යාමකින් තොරව, ඒ සා මහත් ප‍්‍රහාරයක් එල්ල කළ ව්ලාඩ්, ඇදහිය නොහැකි අන්දමේ සංහාරයක් සිදු කළේය. අලූයම වන්නට කලින් ඔහු සතුරු කඳවුරෙන් නික්මී, තමන් ආ කඳුගැටයටම පෙරළා ගියේය. ඔහු ඔටෝමන් කඳවුර අනික් පිට පෙරළා, කෙතරම් ත‍්‍රාසයක් හා කළබැගෑනියක් ඇති කර තිබුණේද යත්, එක ද තුර්කි වරයෙකු හෝ ඔහු ළුහුබැඳීමට එඩිතර වූයේ නැත. මෙම සටනට සහභාගී වූවන් පසුව කී අන්දමට, මෙයින් තම යුධ ප‍්‍රයාණය පිළිබඳව සුල්තාන් වරයා තුළ තිබූ ආත්ම විශ්වාසය සහමුලින්ම බිඳ වැටී තිබිණ. එදින රාත‍්‍රියේම සුල්තාන් වරයා තම කඳවුර අතහැර නින්දිත ලෙස පළා ගියේය. ඔහුගේ මිතුරන් විසින් තදින් අමතා, ඔහුගේ අකැමැත්තෙන්ම වාගේ නැවත කැඳවාගෙන නොඑන්නට, මෙහ්මඩ් නවතින්නේ ගඟින් ද එතෙර ය.

මිහාලොග්ලූ අලි නම් බේ වරයා යටතේ වූ ඔටෝමන් ජැනිසරි භට පිරිසක් වලාචියානුවන් පසුපස එළවා ගොස් ඔවුන්ගෙන් 1,000 - 2,000 ක් අතර ගණනක් මැරූහ. ඩොමෙනිකෝ බල්බි වංශ කතාවට අනුව, මෙම සටනේ දී මියගිය මුළු වලාචියානුවන් ගණන 5,000 ක් වන අතර, ඔටෝමන් වරු 15,000 ක් මැරුම් කෑහ. සුල්තාන් වරයාගේ සහ ඔහුගේ හමුදාවේ චිත්ත ධෛර්යය පහත බැස තිබුණ ද, මෙහ්මඩ් අගනුවර වැටළීමට තීරණය කළේය. එහෙත් ඔවුන් ඊට ළඟා වන විට, නගරය පාළුවට ගොස් තිබූ අතර, නගර දොරටු සියල්ල විවර කොට දමා තිබිණ. තුර්කි හමුදාව අගනුවරට ඇතුල් වූහ. ඔවුන් හට පැය බාගයක් තිස්සේ ගමන් කිරීමට සිදු වූ මාර්ගය දෙපස, සිටුවා තිබූ උල් 20,000 ක පමණ, තුර්කි සෙබළුන් උල තබා තිබෙනු දැකිය හැකි විය. ඒ අතර වූ උසින් වැඩිම උලෙහි ඇමිණී තිබුණේ හම්සා පාෂාගේ නරක් වූ මළ සිරුර ය. ඒ ඔහුගේ ඉහළ නිළය සංකේතවත් කිරීමට ය. වෙනත් ඇතැම් මූලාශ‍්‍රයන්ට අනුව, අගනුවර වලාචියානු සෙබළුන් විසින් ආරක්ෂා කෙරුණු අතර, නගර ප‍්‍රාකාරයේ සිට මයිල 60 ක් පමණ වූ පිටත භූමිය පුරා, උලතබන ලද මළසිරුරු පැතිරී තිබිණ. කෙසේ හෝ, පැවති දර්ශනය ගැන සුල්තාන් වරයාගේ ප‍්‍රතිචාරය කැල්කොකොන්දයිල් වාර්තා කරන්නේ මෙසේය. 
‘‘සුල්තාන් වරයා විස්මයපත්ව ගල් ගැසී, මෙසේ කීය. තම බලප‍්‍රදේශය හා එහි වැසියන් පාලනය කිරීම පිළිබඳව දරුණු අවබෝධයක් ඇති, මෙතරම් දැවැන්ත කාර්යයන් ඉටු කළ මිනිසෙක් සිය උපන් බිමෙන් පළවා හැරීම කළ නොහැක්කකි. මෙවැනි දෑ කිරීමෙහි සමත් මිනිසෙක් ඉතා වටනේයැ.යි ඔහු කීය’’.

http://vignette2.wikia.nocookie.net/
vampirediaries/images/0/08/
Vlad-The-Impaler-dracula-untold-37680708-854-347.jpg
/revision/latest?cb=20141217165742
සතුරා අනපේක්ෂිතව ඇතුල් වීම වැළැක්වීම සඳහා එදින තුර්කි කඳවුරු බිම වටා ඉතා ගැඹුරු අගළක් කැණීමට මෙහ්මඩ් අණ කළේය. පසුදින (ජූනි 22) තුර්කි හමුදාව පසුබැස්සාහ.

ඇකර්මන් සහ චිලියා නගර ආපසු තම රාජ්‍යයට ඈඳාගැනීමට කල් යල් බලමින් සිටි ව්ලාඩ් ගේ ඤාති සොහොවුරෙකු ද වූ මෝල්දාවියාවේ තෙවන ස්ටෙෆන් රජු දින කීපයකට පසුව චිලියා නුවරට ප‍්‍රහාරයක් දියත් කළේය. 7,000 කින් යුත් වලාචියානු හමුදාවක් වහා ඒ වෙත ගොස් නගරය ආරක්ෂා කර ගැනීමට සමත් වූහ. එහිදී ස්ටෙෆන් රජු ගේ පාදය කාලතුවක්කු උණ්ඩයකින් තුවාල විය.

ජූනි 29 දින සුල්තාන් වරයා බ්‍රේලා වරායට සැපත් වූ අතර, එය ගිණිබත් කොට ඔහු ඇඩි‍්‍රයානාපෝල් වෙත යාත‍්‍රා කළේය. ඔහු එහි ළඟා වූයේ ජූලි 11 දින ය. 12 වැනිදා තුර්කි වරු, ව්ලාඩ් ඩ‍්‍රැක්‍යුලා ට එරෙහි සිය මහා විජයග‍්‍රහණයසැමරීමට උත්සව පැවැත්වූහ. ඔවුන් ස්වදේශිකයන් මහත් රාශියක් වහළුන් මෙන් අල්ලාගෙන සිටි අතර, පැහැරගත් ගවයන් හා අශ්වයන් 20,000 ක් ද සමඟ එම වහළුන් තමන් සමඟ දකුණු දෙසට පාගමනින් රැගෙන ගියහ.


මූලාශ්‍රය - විකිපීඩියා

මී ළඟ කොටස ළඟදීම බලාපොරොත්තු වන්න...

58 comments:

  1. හම්මෝ බං මේකේ දිග. ඒත් තොරතුරු ගොන්න නම් හරිම වටිනවා. සටහන බ්ලොග් රෝලේ අප් ඩේට් වෙන්නේ නෑ තාම. මාත් දැක්කේ ජී ප්ලස් වලින්....

    ReplyDelete
    Replies
    1. වෙන එකක් තියා මයෙ බ්ලොග් රෝලෙ අප්ඩේට් වෙන්නෙත් නෑ නලීන්. ඒක නිසා මං කීප පොළක ශෙයා කළා... ඉස්තූතියි ඔයත් ශෙයා කළාට.

      මේක දිගට ලිව්වෙ නයිට් අටෑක් එක පටන් ගත්ත තැන ඉඳං ඉවර වෙනකල් එක දිගට ලියන්න වුන නිසා...

      Delete
  2. පෝස්ට් එක දිග වුනාට ආසාවෙන් කියෙව්වා.
    කම්මැලි නැතිව කියවන්න හිතෙන විදියට ලස්සනට ලියල තියෙන නිසා වෙන්න ඇති ඒක කිවගෙන යද්දි මෙච්චර දිග පෝස්ටුවක් කියල දැනුනෙවත් නැත්තෙ..

    ඊළග කොටසත් ඉක්මනින්ම බලාපොරොත්තු වෙනවා..
    :D

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිදහසේ...,

      ලියාගෙන යද්දි මටත් දිග වැඩියි කියලා හිතුනෙ නෑ. ලියල ඉවර වෙලා සෝදුපත් බලද්දි තමයි පිටු හයක් කියලා දැක්කෙ.

      ඊළඟ කොටසත් අද ඉඳං ගජරාමෙට ලියනු ලැබේ.

      Delete
  3. හම්මේ..... ඔන්න ඒක කියෙවුවා.
    මගෙ බ්ලොග් රෝලෙනම් අප්ඩේට් වෙලා තිබුනා.

    ReplyDelete
    Replies
    1. දැන් මයෙ බ්ලොග් රෝලෙත් අප්ඩේට් වෙනවා...

      ටැංකිව් කසුන්, දාපු ගමං ඇවිත් කියවන්න වෙලාව කැප කළාට...

      Delete
  4. මෙන්න මේ මගුල් ලිපිය දෙවනි කොටසින් ඉවර කරපිය..

    ReplyDelete
    Replies
    1. අනිත් කොටසට කලිං අලි ප්‍රෙහ්ලිකා අංක 2 එනවනෙ බං. අවුලක් ගන්න එපා.

      දැං මොකෝ බං තත්ත්වෙ? උඹේ අවුල මොකද දැං?

      Delete
    2. මධුවාගේ බ්ලොග් එකේ තිබුන උඔගේ කමෙන්ට් එක අද ක්‍රියාත්මක කරනවා...එතන එකකට එකක් බැදුන කතා ගොඩක් බං..මේ වෙලාව මගේ නෙමෙයි වෙන්න ඇති බං ඒ නිසා අඩියක් පස්සට තියලා මගේ වෙලාව එනකන් බලාගෙන ඉන්න වෙනවා..

      මේ ලිපිය මම කියෙව්වා ඇත්තටම වටිනවා මේ තොරතුරැ ..ලොකු වුනාම හරි පොඩි මෙන්ඩට දෙනවා දැනට ඌට මේක බර වැඩියි..

      Delete
    3. හරි මචං. මුලිම්ම තමන්ගෙ ස්ථාවරය, නිවැරදිව සහ කෙළින් ප්‍රකාශ කිරීම වැදගත්. ඊට පස්සෙ කවුරු මොන දේවල් කිව්වත්, තමන්ගෙ ස්ථාවරයේම සිටීම වගේම, අනිත් උං කියන එක එක දේවල් පස්සෙ එල්ලි එල්ලි වාද කරන්න නොයාමත් වැදගත්. ඒ දේවල් කරලා සතියක් බලං ඉඳහං... ප්‍රතිඵලේ ධනාත්මක වෙයි.

      පොඩි මෙන්ඩා ලොකු මෙන්ඩෙක් උනාම, කුතුහලය පිරි සත්ත්වයෙක් වෙයි. එතකොට තමා මේ දේවල් වැදගත් වෙන්නෙ. :-)

      Delete
  5. නියමයි ඩ්‍රැකී. ඉස්තරම්.
    අර පින්තූරෙ තියෙනවා වගේ ෆිල්ම් එකේ ඔය උල තියලා තියෙන සීන් එකෙන් විලාඩ් වරුන්ගෙ උල තියන සම්ප්‍රදාය පෙන්නලා තියෙනවා නියමෙට.

    ReplyDelete
    Replies
    1. සිරාවටම බං. මට හෙණටම හිතට ඇල්ලුවා ෆිල්ම් එකේ ඒ කොටස. මේ පිංතූරෙ අරගෙන තියෙන්නෙත් ෆිල්ම් එකේ මුල් හරියෙම්ම තමා.

      Delete
    2. ඒ වගේ උල් ගොඩක් මැද්දෙන් යන උන්ගෙ හිත් වලට ඒක කොහොම දැනෙනවා ඇද්ද? මරන්න ගෙනියන උන් වගේ මානසිකත්වය අන්තිම අඩියටම වැටෙනවා ඇති. ඒත් එහෙම ගිහිනුත් යුද්ධයක් දිනනවා නම් ඒකට මොන තරම් හිතේ හයියක් තියෙන්න ඕනෙද.
      ඔය වගේම වැඩක් කරලා තියෙනවා රෝමයේදි. ස්පාර්ටකස් මුල් වෙලා වහල්ලු කරපු කැරැල්ල මැඩපවත්වලා ඒ අහු උන සේරම හැතැප්ම ගානක් දිගට පාර දෙපැත්තෙ කුරුසෙට තියලා ඇණ ගහලා තිබුණලු. කොහොම තියෙන්න ඇද්ද. ඇණ ගැහුව කියලා එක පාර මැරෙන්නෙත් නෑ. දවස් ගානක් තිස්සෙ දුක් විඳලා පණ ඇද ඇද, කපුටො ඇස් වලට කොට කොට ඉන්න උන් දකිනකොට මොකාද ආයෙ කැරලි ගහන්න හිතන්නෙ.
      ("ස්පාර්ටකස්" කියලා පට්ට පොතක් තියෙනවා මුළු සිද්දියම තියෙන. මං දැකලා නම් නෑ කඩේක තියෙනවා. ස්කෝලෙ පුස්තකාලෙ තිබිලා කියෙවුවෙ සිංහල සර් එක්ක තරඟෙට. පුළුවන්නම් හොයාගෙන කියවන්න. පිටු 800ක විතර පොතක් උනත් එක දිගට කියවන්න පුළුවන්)

      Delete
    3. /ඒ වගේ උල් ගොඩක් මැද්දෙන් යන උන්ගෙ හිත් වලට ඒක කොහොම දැනෙනවා ඇද්ද?/

      ඒකම තමා ව්ලාඩ් ගෙ අදහස වෙන්න ඇත්තෙ. මානසික ප්‍රහාර.

      හැබැයි මම කොහෙවත් කියලා නෑ ඔටෝමන් වරු දිනුවයි කියලා. උං පහුවදාම පසු බැස්සා. ගෙදර ඇවිත් වහසි කියන්නෙ, “මං දුන්නා කොහොමද දන්නවද...?“ කියලා. අන්න ඒ වගේ සැමරුම් උත්සවයක් තිබ්බා විතරයි.

      ස්පාටකස් මම කියෙව්වෙ මයෙ හිතේ, කැමා කියවපු කාලෙම තමා. පොත පිටවෙච්ච ගමං. ඊට කලිං මම ස්පාටකස් ෆිල්ම් එකත් බැලුවා. ටීඑන්එල් එකේ ඒ ෆිල්ම් එක යනව කියලා දැම්ම වෙලාවෙ, තාත්තා කිව්වා. “අන්න හොඳ ෆිල්ම් එකක්. බලන්න...“ කියලා. අපි දෙන්නා කළු සුදු ටීවී එකේ, තිත් මැද්දෙං බැලුවෙ. පස්සෙ ඒකෙ ඩීවීඩී එක ගත්තා. පරණ ෆිල්ම් එකක්. ඒක ඩිරෙක්ට් කරපු පොරමයි ස්පාටකස්ට රඟපෑවෙ මයෙ හිතේ. පොරගෙ නිකට බෙදිලා. ඒක දැන් ලෙජන්ඩ් එකක් වගේ වෙලා තියෙනවා. මං දැක්කා “මී මයිසෙල්ෆ් ඇන්ඩ් අයිරීන්“ ෆිල්ම් එකේ තියෙනවා, “ස්පාටකස් චින්“ කියලා වදනක්...

      Delete
    4. ඔටෝමන්වරු දිනුව කියන එක නෙවෙයි ඩ්‍රැකී මං අදහස් කලේ ඒ වගේ තැනක් පහු කරලා ගිහින් කවුරු හරි යුද්ධයක් දිනනවා නම් ඒ වගේ එකෙකුට මොන තරම් හිතේ හයියක් තියෙන්න ඕනෙද කියන එක. අඩුම තරමෙ ලොකු වෛරයකින් හරි ඉන්න ඕනෙ ඒ වගේ දේකින් මානසික වෙටෙන්නෙ නැතුව ඉන්න නම්.

      Delete
    5. අනිවාර්යෙං... එකඟයි. වැඩේ තියෙන්නෙ, සෙබළුන්ට මොන වෛරයක්ද? ඒක නිසා තමයි මයෙ හිතේ සුල්තාන් 12 ට වැඩි ළමයි ඉල්ලුවෙ බඳවගන්න. මතකද ඩ්‍රැක්‍යුලා අන්ටෝල්ඩ් ෆිල්ම් එකේ ඔටෝමන් වරයෙක් කියනවා, “ළමයි ප්‍රශ්න අහන්නෙ නෑ - මරණවා. චෝදනා කරන් නැතුව මැරෙනවා...“ වගේ කතාවක්. ළමා සොල්දාදුවො තමා ඔටෝමන් හමුදාවෙ පදනම. කොහොමද උං ටික අර උල් දැක්කහම...

      Delete
  6. කියෝගෙන, කියෝගෙන ගියා ඉවර උනාම මෙලෝදෙයක් මතක නෑ, ආපහු ටික ටික කියවල යන්තම් ගොඩ ගියා. මේ නම් ගම් හරියට ටැපලිලා වද දුන්න බං.

    ReplyDelete
    Replies
    1. ආතරයා මකන්න කලිං අල්ල ගත්තා ඕං...

      Delete
  7. කියෝගෙන, කියෝගෙන ගියා ඉවර උනාම මෙලෝදෙයක් මතක නෑ, ආපහු ටික ටික කියවල යන්තම් ගොඩ ගියා. මේ නම් ගම් හරියට ටැපලිලා වද දුන්න බං.

    ReplyDelete
    Replies
    1. ඇත්ත බොස්... මාත් හෙණ ගේමක් දුන්නා මේ ටික ලියන්න. ඇරත් ඉතිහාස මූලාශ්‍ර එකකට එකක් පොඩ්ඩ පොඩ්ඩ වෙනස්. ඒ හින්දා එකම සිද්ධීය ටිකකින් තව ටිකක් විස්තර කරලා දාලා තියෙනවා තැන් දෙකකම. අර ඔටෝමන් වරු ගඟෙන් එතෙර වෙච්ච එක එකක්, අනික නයිට් අටෑක් එක. ඒ දෙකම පස්සෙ තව විස්තර කරලා දාල තියෙනවා.

      Delete
  8. පුදුම ආසාවකින් කියෙව්වා...
    කෙලින්ම කියනවානම් එක හුස්මට කියෙව්වා...
    ඩ්‍රැකියුලා කියන්නේ එල කොල්ලෙක්නේ, ඌ මොකෙක් උනත් හෙණ වැඩ කරුවෙක්...
    කොහොමටත් ඔය සුල්තාන් ලා, තුර්කි කාරයෝ වගේ උන් එක්ක ෆයිට් කරන ඕනේ එකෙකුට මම කැමතියි...

    මගේ බ්ලොග් ලිස්ට් එකේ නම් පෝස්ට් එක අවුලක් නැතුව අප්ඩේට් වෙලා...

    ReplyDelete
    Replies
    1. දැන් ප්‍රශ්නෙ හරි - අප්ඩේට් වෙනවා.

      ඩ්‍රැක්‍යුලා එළ කොල්ලෙක් තමා. (දාහං පහක් !) අපේ එක පැත්තක් උගේ වැඩ ගැන මාර ඉන්ටරෙස්ට්. හැබැයි, ඒ වගේ පොරක් ආක්‍රමණිකයෙක් විදිහට ලංකාවට ආවොත්?

      Delete
  9. ඩ්‍රැකියා ගොඩක් මහන්සිවෙලා තියනවා මෙ ලිපියට.මටත් අවශ්‍යම කරන තොරතුරැ වගයක් මෙ පෝස්ටි එකේ තියනවා.
    පොස්ටි එක ලියලා කාරිය වෙහෙසකොරයි වගේනමි පොල් රා කටිටක් කාරිය ඇදබාලා විඩාව නිවාගනින් මලයා.හෙට රිප්ලයි කොරන්ඩ පුලුවන් නොවැ

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකියෝ උඹෙ දිග වැඩි කීවා නේද ? මගෙත් දිග වැඩිද බං ? ( නැ නැ වෙන එකක් නෙවෙයි,මෙ බිලොග් පොස්ටි ගැන ඇහුවෙ )

      Delete
    2. ඉස්තූතියි මනෝ... ඕං දවස් දෙකකම විරේකයක් (වැරදුනෙමි... විවේකයක්) ගත්තා එහෙනං.

      දිග වැඩිඋනාට, එක පාරිං ගිලින්න පුළුවං...

      (මාත් කිව්වෙ පෝස්ට් ගැන.)

      Delete
  10. හරිම වටිනවා.ඩ්‍රැකී පහුගිය කාලෙ වෙන වැඩක හිර වොල හිටපු හින්ද මට කියවන්න බැරිවුන තවත් ලිපි ගණනාවක් තියන බව පෙනෙනවා. කොච්චර දිග වුනත් ලිපිය සෑහෙන්නම වටිනවා.

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි සාරිකාස්,

      අපිට එකිනෙකාගෙන් කියවාගන්න ගොඩක් දේ ඇත...

      Delete
  11. ඩ්‍රැක් අන්තිමට ව්ලාඩ් ට එරෙහි විජයග්‍රහණ යක් ගැණ කියන්නෙ මොකද්ද. ඒ ගැන කියල නෑනෙ. එතකොට ඔය සටනකිං ව්ලාඩ් සෙත්ත වෙනාද..
    ඒ කියන්නෙ ඒ කාලෙත් තමන්නෙ උංට කෙලවන්න උං ඉදල තියෙයි. නෙහ්
    ව්ලාඩ් ලංකාවට ආව නං උට ුද්ධ කරන්න දෙයක් ඉතුරු වෙන්නෑ බං..

    මේ මේක විකිපීඩියා වෙන් නෙ පරිවර්තනය කලේ. නරකද සිංහල ව්කිපීඩ්යාවට දැම්මොත්. හුග දෙනෙක් අතර පැතිරයි. ඔව් ඉතිං හම මිසක් නම යන්නෑ ඇත්ත. ඒත් කියවන කෙනෙක්ට ප්‍රයෝජං වෙයි නේද.
    පුලුවං නං කරන්න උඹ සිරාම පොර

    ජයවේවා ඉතුරු ටික කියවන්න බලා ඉන්නා

    ReplyDelete
    Replies
    1. ‘ව්ලාඩ් ට එරෙහි විජයග්‍රහණය‘ කියන්නෙ තනිකරම ඔටෝමන් බයිලා එකක්... ගෙදර ඇවිත් මුවහමට තඩිබෑමක් වගේ දෙයක්.

      විකි අදහස ගොඩක් හොඳයි. මේ පොස්ට් ටික ඉවර වුනාම, ආයෙත් එඩිට් පාරක් දාලා, විකියට දානවා. අර කිව්ව වගේ අපි වගේම එකෙක්ට ප්‍රයෝජනවත් වෙයිනෙ.

      ජයවේවා!!

      Delete
  12. හරිම වටිනා විත්තරයක්. යුරෝපීය සහ මධ්‍යකාලීන ඉතිහාසයේ මෙවැනි රසවත් තොරතුරු තිබුනත්, මේ තරමින් හෝ සිංහල පාඨකයාට මෙවැනි විස්තර කියවන්න ලැබෙනවා අඩුයි. සංරක්ෂණය කර තබන්න වටිනා ලියවිල්ලක්. ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි විචාරක මහත්තයා... බ්ලොග් එකට දැම්ම කියන්නෙ සංරක්ෂණයක් තමා නේද?

      Delete
  13. ව්ලද් වීර පුරුෂයෙකු ලෙසටත් සමහර රුමේනියානුවන් සලකනවා, 1989 විතර මම රුමේනියාවට ගියා. කාර්පේතියන් කඳුකරය තරම් ලස්සන දසුනක් තවම දැකලා නැහැ

    ReplyDelete
    Replies
    1. ෂඃ... අහන්නත් සතුටුයි කාපේතියන් පැත්තට ගියා කිව්වම... අපිට නම් තාම ඉතිං ඒ වගේ ගිය කෙනෙක් අරං දාන පින්තූර තමයි රසවිඳින්න වෙන්නෙ.

      ව්ලාඩ් වීරයෙක් වෙච්ච හේතුව මීට කලින් පෝස්ට් එකේ යන්තමින් සඳහන් කළා. වැඩියත්ම, ඔටෝමන් වරුන්ට එරෙහි වෙන්න අනිත් යුරෝපීය නායකයන් බයවෙද්දි, ව්ලාඩ් මේ විදිහට නැගී සිටීම ලොකු හේතුවක්... ඒ වගේම රුමේනියාව “ඩ්‍රැක්‍යූලා“ ට ලැබුණු ප්‍රසිද්ධියක් අගය කරනවා. මට මතකයි පහුගිය අවුරුද්දක ව්ලාඩ් ගෙ රුව සටහන් වුනු මුද්දරත් නිකුත් කළා...

      Delete
  14. ටිකක් අඩුවෙන් ලිව්වා නම් වඩා හොඳයි. කොටස් වැඩි කරලා. හොඳ පරිවර්තනය.
    http://nelumyaya.com/?p=4309

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අජිත් ධර්මකීර්ති, අත හිතට වගේම උපදෙසට...

      Delete
  15. මගෙ බ්ලොග් රෝලෙත් update වෙන නිසා තමයි මම මෙතනට ඇවිත් ඉන්නේ. මේක සෑහෙන වෙහෙසකර වැඩක් බව මට හිතාගත්තෑකි. විශේෂයෙන්ම කියන්න ඕනෙ උඹ ස්ථාන නාම හැකිතාක් නිවැරදිව සිංහලට නගන්න අරන් තියෙන උත්සාහය පැසසියයුතුයි කියලා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අගය කිරීමට ඩූඩ්, මං හැබැයි මීට වඩා බලාපොරෝතු වුනේ ඩූඩ් ගෙන්, මගෙ වැරදි ඇතොත් නිවැරදි කිරීමයි. ඒක ගොකු හයියක්...!!!

      අර ස්ථාන නාම සහ පුද්ගල නාම පරිවර්තනයට මට ඉවහල් වුනේ, කේ. ජී. කරුණාතිලකගෙ පරිවර්තන කෘති පරිශීලනයෙන් ලැබුණු දැනුම... ඒ වගේම සමහර විට උච්ඡාරණ විධිය ඉන්ටනෙට් එකෙන් බලාගන්නත් පුළුවන්...

      Delete
  16. මචෝ උඹේ පෝස්ට් එක නිවී හැනහිල්ලෙ කියවලාම කමෙන්ටුවක් දාන්නං. සමා වෙයං ඈ...
    (මේ සීට් එක මම අල්ලලා තියෙන්නෙ)

    ReplyDelete
    Replies
    1. හම්බේ... වෝ ෆිල්ම් එකක් බැලුවා වගේ. හතේ පන්තියෙ සිලබස් එකට තියෙනවා මධ්‍යකාලීන යුරෝපයේ ඔය සිද්ධි ටික.

      Delete
    2. හරි හරි මචං, උඹ ඉතින් පුළුවන්තරම් අනිත් උංගෙ බ්ලොග් වලට අත දෙන හිත හොඳ බුවෙක්නෙ...

      දැන් ඉස්කෝල වල ඉතිහාසය විෂයය මාර ඇඩ්වාන්ස්ඩ්. අපි ඩිග්‍රියට ඉගෙන ගත්ත දේවල් පවා ඒ සිලබස් එකේ තියෙනවා මං දැක්කා. උදාහරණයක් විදිහට, පුරාණ ලංකාවේ සමාජ ස්තර හැදිලා තිබුණ විදිහ එහෙම...

      Delete
  17. මචෝ උඹේ පෝස්ට් එක නිවී හැනහිල්ලෙ කියවලාම කමෙන්ටුවක් දාන්නං. සමා වෙයං ඈ... (මේ සීට් එක මම අල්ලලා තියෙන්නෙ) x2

    සීරියස් ඈ

    ReplyDelete
    Replies
    1. හම්මෝ... උල තියල, ඇණ ගහල, කියතෙන් ඉරල, වෙඩි තියල කරන්න ඕන ඔක්කොම ටික කරලනෙ.
      නියම විස්තරේ ඈ...

      Delete
    2. ටැංකිව් ඈ...

      ඔය මොනව කරත්, අතුරුදහන් කරලා නෑනෙ. මරපු උං ඔක්කොම උල් වල ගහල ප්‍රදර්ශනේට තිබ්බනෙ... නැද්ද?

      Delete
  18. https://en.wikipedia.org/wiki/The_Historian
    කියෙව්වද?

    ReplyDelete
    Replies
    1. තවම නෑ ප්‍රාජේ... ඉස්පාසුවක් ආව ගමං කියවනවා ඕං... ස්තූතියි.

      Delete
  19. හම්මේ විශ්ව කෝෂයෙන් කොටසක් කියව්වා වගේ තමා ... පොඩ්ඩක් දිග වැඩි වුනත් ආකර්ශනීය කවදාවත් නොඅහපු තොරතුරු ගොන්නක්

    ReplyDelete
    Replies
    1. කුරුතඤ්ඤ වෙමි, ප්‍රේමණීය බිලාලයාණනි, හුරුද්දය වස්තුවෙම්ම මාගේ කුරුතඤ්ඤ බාවය පිළීගන්න...

      Delete
  20. කෝ යකෝ කමෙන්ට් එක සෙද්ද

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නෙ බොල... උඩිං...

      සෙද්ද...!!

      Delete
  21. නියමයි බං.මේකේ ඇති දිග වැඩියක් නැහැ.
    ඩ්‍රැක්‍යුලා,ව්ලාඩ් කියන්නේ එක් අයෙකු නේද? යුද වාර්තාකරණය අතිශෝක්තියෙන් කිරීම එදාත් තිබිලා තියෙනවානේ.
    ගරිල්ලා සටන් විතරක් නෙමේ මුලින්ම 'මිනිස් ජීව අවි' යොදා ගෙන තියෙන්නෙත් විලාඩ් වගේයි නේද?

    ReplyDelete
    Replies
    1. මටත් දිග වැඩි බව දැනුනෙ පළ කළාට පස්සෙ තමා. එකම කතන්දරේ සම්පූර්ණෙන් දාන්න ඕනෙ නිසයි දික් වුනේ.

      ව්ලාඩ් කියන්නෙ මුල් නම. ඩ්‍රැක්‍යුලා කියන්නෙ පෙළපත් නම. එයාගෙ තාත්තා දෙවන ව්ලාඩ් ඩ්‍රැක්‍යුලා. මෙයා තෙවන ව්ලාඩ් ඩ්‍රැක්‍යුලා. පොර ලතින් වලින් අත්සන් කරලා තියෙන්නෙ ‘ව්ලැඩිස්ලාවුස් ඩ්‍රැගූලියා‘ කියලා. වැන්හෙල්සිං ෆිල්ම් එකේ ඩ්‍රැක්‍යුලා වැන් හෙල්සිංට කියනවා, ‘මගෙ නම ව්ලැඩිස්ලාවුස් ඩ්‍රැගූලියා‘ කියලා.

      ගරිල්ලා සහ ජීව අවි භාවිතය ගැන-
      මුලින්ම නං නෙවෙයි මයෙ හිතේ, ඒ කාලේ මේ වගේ පහර දීම් බහුල ඇති. ලංකාවෙත් නුවර යුගේ මේ වගේ දේවල් තිබිලා තියෙනවා. සැරයක් ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවො මෙහෙම දෙයක් කරල තියෙනවා,

      ඔන්න කිතුල් ගහක් කපලා බිම දාලා, බොඩේ හාරනවා. ඒ කුහරෙට වෙඩි බේත් පුරවනවා. ඒ කඳ යට වළක් හාරලා, මරාගෙන මැරෙන සෙබළෙක් ඒකට දානවා. ඉංග්‍රීසි හමුදාව පයිං එද්දි, මහන්සියට අර කිතුල් කඳ උඩ වාඩිවෙලා ගිමං හරිද්දි, අර සෙබළා, කිතුල් කඳට ගිණි තියනවා.

      Delete
  22. අම්මේ පෝස්ට් එකක කියවලා කොමෙන්ට් ටික කියවලා ඉවර උනාම මගේ කොන්දත් රිදෙනවා......... පස්ටෙට ලියලනේ ඩ්රැකී කොලුවා......... ජයවේවා........... පරක්කු වෙලා දැක්කේ... එක සින්ඩියකවත් තිබ්බේ නෑ.....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බණ්ඩා. මං වෙඩි හඬ කියවන ගමං. කොටස් දෙකකට දාපු එක හොඳයි. හැබැයි උඹේ පාඨකයො උඹ තරම් ඇඩ්වාන්ස්ඩ් වෙලා නෑ තාම. ඒත් සැළෙන්න එපා...

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. හෙක්, ඩබොල් ඇක්ටින්......ප්‍රොෆයිල් ස්විච් වෙන්න ගිහින් කොරගත්ත වැඩක්.... කාටත් කියන්න එපා.....

      Delete
  23. හම්මෝ මෙයා නම් ඒ කාලේ ඉඳලා තියෙනවා. ඩ්‍රැකියුලාගේ පරම්පරාවේ කෙනෙක්මයි.:P

    ඇසුත් රිදෙනවා අප්පා...:(

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැක්‍යුලා කුමාරිහාමි ටිකක් පරක්කු වෙලා නේද ආවෙ?

      කියවලා ඇස් රිදෙනව නම්, හිතාගන්න පුළුවන් ඇතිනෙ ටයිප් කරලා ඇඟිලි වලට වෙච්ච දේ? නැවත පුරවන්න ආපිකෝ එකට දැම්මා ගෙවිච්ච ඇඟිලි ටික.

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි