මෙතෙක් කතාව
නිවසේ පසුපස පැත්තට වන්නට තනා තිබූ
බරාඳයෙන් දුර්වල එළියක් තරුණ යුවළ දුටහ. ශාම් නිර්මළී දෙස බැලීය. නිහඬව තමා පසුපස
එන ලෙස ඇයට ඉඟි කළ ඔහු සෙමෙන් සෙමෙන් ඒ දෙසට ඇදුනේය. තණකොළ පොඩිවන තරමේ ඉතා සිහින්
හඬක් හෝ නොනැඟෙන පරිදි.....
ඔහු කැළයට ගිය මල් පඳුරක් අසළ ගුළි ගැසී
පරෙස්සමින් එතැනින් එබී බැලීය. එසැණින් ඔහු නැවත සිය හිස පිටුපසට ගති. නිර්මලී ඔහු
අසළම වූවා, ඔහුගේ මුහුණ දෙස බැලූවාය.
එබී බලන ලෙස ඔහු ඇයට මුහුණින් ඉඟි
කළේය.
බියපත් තරුණියද ඔහු අනුගමනය කළාය.
අඩ අඳුරින් පිරි බරාඳයේ බිම අවුරුදු
දහයත්, දාහතරත් අතර වියේ පසුවූ කුඩා කොල්ලන්
කිහිප දෙනෙක් වූහ. ඔවුන්ගෙන් වඩා වැඩිමල් බව පෙනුණු දෙදෙනකු අත දැල්වුණු සිගරැට්
විය.
ඉන් එකෙක් පහත් හඬින් කතාවක් කියමින්
සිටියේය.
‘‘.....මිනිස්සු හිතුවෙ ඒ දෙන්න ඇත්තටම
නැන්දයි බෑණයි කියලා. ඒත් ඒක එහෙම නෙවෙයි..... ඒ කොල්ලා..... වැම්පයර් එකෙක්.....’’
ඔහු දෑස් විදහා ගනිමින් අවට වූවන් දෙස බැලීය.
බියපත් ළමයින් උනුන් වෙත තුරුළු වෙමින්
කතාව අසා සිටියහ.
‘‘..... නැන්දා කියපු ගෑණි අරූට උදව් කළා.....
ඌ කවද හරි යන්තමින් හරි ලස්සන කෙල්ලෙක් දැක්කොත්..... එතනින් එහාට ඒ කෙල්ල ඉවරයි.
නැන්දා කොහොමහරි ඒ කෙල්ල එක්ක යාළු වෙනවා. යාළු වෙලා කොහොම හරි ඒකි එක්ක ගෙන එනවා
මේ ගෙදරටම..... පහුවෙනිදා ඉඳන් ඒ කෙල්ල ආගිය අතක් නෑ.....
‘‘.....මේ වැඩේ අවුරුදු ගාණක් මෙහෙම සිද්ධ
වුණා. ඒත් අන්තිමේ මූට දකින්න හම්බවුණා නැන්දගෙ ළඟම නෑයෙක් වෙන කෙල්ලෙක්. එතනින්
මේ සේරම වෙනස් වුණා.
‘‘..... නැන්දා ඌට කෙළින්ම කිව්වා ඒ කෙල්ලව
ගේන්න බෑ කියලා. ශාම්..... ඒ වැම්යර්ගෙ නම ශාම්..... ඌ කිව්වා කමක් නෑ කියලා. ඒත්
උගේ හිතේ තිබ්බ දේ එළියට පෙන්නුවෙ නෑ. ඒත් අන්තිමේ අර කෙල්ලගෙ මළ මිනිය හම්බ වුණා
මේ ගෙදර උඩ තට්ටුවෙ තිබිලා.....
‘‘ඇඟ ඔක්කොම සුදුමැළි වෙලා..... ලේ පොදක්වත්
නැතුව..... දරදඬු වෙලා..... නැන්දාට යකා නැග්ගා. ඒකි කෙළින්ම කිව්වා, ‘ශාම්, උඹේ වැඩ අදින් ඉවරයි. මම ඔක්කොම දේවල් පොලිසියට කියනවා’ කියලා..... එච්චරයි.’’
කොලූවා කතාව නවත්වා තම කතා කීමේ
හැකියාවේ ප‍්‍රතිඵලය මැන බැලීමට මෙන්, තමන්
වටා වූ පිරිස දෙස බැලීය. සියලූ දෙනා අයාගත් නෙතින් යුතුව ඔහු දෙස බලා සිටියහ. ශාම්
ඒ අතර සිය බෑගයෙන් වැසි කබාය ගෙන පොරවාගනිමින් සිටියේය.
‘‘ඉතින්..... එයා කිව්වද?’’ එකෙක් අවසානයේ වෙව්ලන කටහඬින් ඇසිය.
කොලූවා නැවත කතාව පටන් ගති.
‘‘නැන්දාට කවදාවත් පොලිසියට යන්න
හම්බවුණේ නෑ. ඊට පස්සෙ මිනිස්සු දැක්කෙ එයාගෙත් මළ මිනිය විතරයි. ඒකත් අර වගේම
සුදුමැළි වෙලා තිබ්බා.’’
අස්වාභාවික නිහඬතාවයක් පැතිර ගියේය.
‘‘ඊට පස්සෙ..... ඊට පස්සෙ ශාම්ට මොකද
වුණේ.....?’’ අවසානයේ එකෙක් ඇසීය.
‘‘මමයි ශාම්.....!’’ මහ හඬින් කියමින් ශාම් බරාඳය දෙසට කඩා පැන්නේය.
කළුවන් වැසිකබාය දෙපසින් විදහා ගත් ඔහු
භයංකර අවතාරයක් සේම දිස් විය. බියපත් කොලූවෙකුගේ අතේ වූ විදුලි පන්දමක එළිය
කෙළින්ම ශාම් ගේ සුදුමැළි මුහුණට වැදිණ.
ගත වූයේ නිමේෂයකි. කොලූවෝ සියළු දෙනාම
කෑගසමින් සීසීකඩ දිව ගියහ.
අකිල සහ ඇඩම් රැගත් දුම්රිය
ෆයර්මවුන්ට් වෙත ළඟාවෙද්දී රෑ බෝවී තිබිණ. රැයේ සීතල සහ මීදුම් බර සුළඟ සිහින්
හඬක් නංවමින් ගළා බැස්සේය. තරුණයාගේ විඩාබර ගත යම් තරමකට පුබුදුවමින්.....
දුම්රිය පොළෙන් පිටතට පැමිණි ඇඩම් තරුණයා වෙත හැරිණ.
‘‘අපට පරක්කු වෙන්න බෑ. අපි පරක්කු
වෙනවයි කියන්නෙ මේ වැම්පයර් වරයට තව අඩියක් ඉස්සරහට තියන්න ඉඩ ලැබෙන එකයි.
‘‘ඉතින්..... අපිට මහන්සි නොබලා තව පොඩි
ගමනක් යන්න තියෙනවා.....’’
‘‘කොහෙද?’’ අකිල ඇසීය.
‘‘යමුකො..... මම පෙන්නන්නම්.’’
දෙදෙන පාරට බටහ. දුම්රිය පොළ සමඟ
සමාන්තරව දිවුණු අඩිපාර හරහා යාර දෙතුන් සීයක් ඔබ්බෙන් පුළුල් පාරක් වැටී තිබිණ.
‘‘මේ පාර යන්නෙ ටවුන් එකට.....’’ මංසන්ධියේදී ඇඩම් පුළුල් පාර දක්වමින් කීය.
‘‘අපි යන්නෙ.....?’’
‘‘කෙළින්ම ඉස්සරහට.’’
‘‘දුරයි නම් අපිට ටැක්සියක් ගන්න
පුළුවන්.’’
ඇඩම් එකඟ නොවීය.
‘‘අපි වැඩ කරන්නෙ සූක්ෂ්ම සතුරෙක් එක්ක.
ඌ අපේ සළකුණක්වත් දැක්කොත් ආපහු පැනලා යයි, අපිට ආයෙ හොයාගන්න සෑහෙන්න අමාරු වෙයි.’’
දෙදෙන මං සන්ධිය පසු කර අඩිපාර දිගේ
ඉදිරියටම ගියහ. හන්දියේ දී ආලෝකමත් වූ අඩිපාර, තවත් ඉදිරියට යද්දී දෙපස ඝනව වැවුණු
ගස් වදුලින් වැසී තද අඳුරේ ගිළී ගියේය.
දෙදෙන ඉදිරියටම පිය නඟා ගියහ. කළුවර
අතරින්..... දෙපස හෙවුණු ගස් අතරින් වංගු ගැසි දිවගිය පටු මාවත පුරා රජැයූ පාළුව
අතරින්.....
මඟ දෙපස වූ පියවි ඇසට නොපෙනුණු සළකුණු
පිරික්සමින් ගිය කළුවන් වස්ත‍්‍රධාරියා එක් තැනක නැවතිණ. වලට වැවුණු කෝපි ගස්
වලින් අඩක් වැසී ගිය කුඩා නාම පුවරුව ඔහුට අඳුර අතරින් දැකිය හැක්කා සේ පෙනිණ.
එතැනින් දකුණත් පසට හැරුණු ඔහු, පසුපස එන තරුණයාද කැටිව, කාලයට හසුව වියැකී ගිය පටු පාරක් දිගේ යන්නට
ගති. ඒ පාර කෙළවර වූ ගරා වැටුණු මන්දිරයක නටඹුන් අඳුර අතරින් නැඟී සිටි බියකරු
භූතාත්මයක් සේ දිස් විය.
පාර දෙපස වූ වල් බිහිවූ බිම එක් කාලයක
ක‍්‍රමනුකූල වැවිල්ලක් පසුබිම් කරගත් සුන්දර උද්‍යානයක් ව තිබූ බව පෙනිණ. තැන තැන
වූ ගරා වැටුණු ප‍්‍රතිමා, ජරාවාස වූ පෙඳ පාසියෙන් පිරි පොකුණු,
ඒ වටා වැවුණු වල් තණ පඳුරින් ආකූල වී ගොස්.....
ඇඩම් තම දිග පිට කබායේ සාක්කුවක්
තුළින් ගත් යමක් අකිල වෙත දිගු කළේය. එය කුඩා ටෝච් එකක් විය. තරුණයා එය දල්වා ගති.
නමුත් හාත්පස ගිළගත් අන්ධකාරයට එරෙහිව එය ප‍්‍රමාණවත් වූයේ යන්තමිනි.
දෙදෙන මන්දිරයේ නටඹුන් වෙත පියනඟා එනු,
එහි ප‍්‍රධාන දොරටුවට ඉහලින් වූ පුළුල් දෙනෙතක්
බලා සිටියේය.
සෙමෙන් නැඟුණු ‘ස්..... ස්..... ස්.....’ හඬකින් තරුණයාගේ සියොළඟ හිරිගඩු නැංවින. ඔහු
සිය විදුලි පන්දම ඒ වෙත..... ප‍්‍රධාන දොරටුවෙහි ආරුක්කුව වෙත එල්ල කළේය. සට සට
හඬින් නැඟුණු තටු ගැසීමෙහි හඬක් සහිත බියකරු අඳුරු ගුළියක් එහි සිට අහසට නැගී,
තරුණයාගේ හිසට ඉහළින් ඇදී ගියේය. ඒ තරමක
බකමූණෙක් විය. ඌ නැඟූ මූසල හඬ අවට පැතිරුණු නිසලතාව මධ්‍යයේ පහත් තාරතාවකින් පැතිර
තුනී වී ගියේය.
ඇඩම් නොසැළී ඉදිරියටම ඇදිණ. ස්ථාවර
පියවරින්..... අකිල ඔහු පසුපසින් පිය එසවූයේ, තමා පසුකර යන බිත්ති වල අඳුරු හැඩතල දෙස බැලීමකිනුදු තොරවය.
මන්දිරයේ සාලය වී තිබූණු හිස් අවකාශය
තුලින් ගිය ඔවුහු එහි කෙළවරකින් විහිදුණු පටු කොරිඩෝරයකට වන්හ. යාර ගණනක් දුරට
කෙළින් වැටුණු එහි අනෙක් කෙළවරෙහි පිරී තද වුණු ඝණ අන්ධකාරය දෙසට, කළු වස්ත‍්‍රධාරියා පසුපසින් තරුණයා පිය නැඟීය.
කොරිඩෝරයේ දෙපස දුහුවිල්ලෙන් හා මකුළු දැලින් වැසුණු බිත්ති මත අකිලගේ විදුලි
පන්දම් එළිය බොඳ දිස්නයක් දුනි.
කොරිඩෝරයේ කෙළවර වූ කාමරයක විවට දොර
උළුවස්ස වසා පැතිරි, අවුරුදු ගණනක් පැරණි ඝන මකුළු දැල් ඉරා
දැමූ ඇඩම් එහි ඇතුල් විය. කෙළින්ම ගමන් කළ ඔවුහු කාමරයේ ඈත කොණක් දක්වා ගියහ.
එතැන වසා දැමුණු ඉතා පැරණි දොරක් විය.
ඇඩම් එතැන නැවතිණ. ඔහු සිය සිරුරේ වූ
සියළු ශක්තිය යොදා ඒ දොර විවර කරන්නට තැත් කළේය. සිය බෑගය බිම තබා, විදුලි පන්දම සාක්කුවේ ලාගත් තරුණයාද එයට හවුල්
විය. එහෙත් දැවැන්ත ලී දොර ඔවුන්ගේ ශක්තියට නිගා කරන්නා සේ තදින් පියැවී ගත් වනම
පසුවිය.
මිනිත්තු කිහිපයක අසාර්ථක තැතකින් පසු ඇඩම් නතර විය.
‘‘මෙතනම ඉන්න. මම වෙන විකල්පයක් හොයාගෙන
එන්නම්.’’ ඇඩම් නැවත කොරිඩෝරයේ අන්ධකාරය දෙසට
පිය නගමින් කීය. කාළකණ්ණි බවින් පිරුණු ඝන අඳුරේ තනි වූ තරුණයාට සිය සගයාගේ පියවර
කොරිඩෝරය දිගේ දෝංකාර දෙනු ඇසෙන්නට වන.
නිසල නිහඬ මිනිත්තු කිහිපයක් ගත විය.
එක්වනම දැවැන්ත දොර කිරි කිරි හඬ නංවමින් මළ බැඳුනු සරනේරු මත කරකැවෙමින් විවර
විය. අකිල විදුලි පන්දම ඒ වෙත එල්ල කළේය. ඔහුගේ හදගැස්ම ඔහුටම ඇසෙන්නට විය. එහි
වූයේ ඇඩම් ය.
‘‘මට වෙන පාරක් හම්බවුණා.’’ ඔහු කීවේය.
ඉහළට ගත් හුස්ම සැහැල්ලූවෙන් පිටකළ
තරුණයා ඔහු වෙත ගියේය. විවට දොරට ඔබ්බෙන් පහළට බැස යන පඩිපෙළක් විය. දෙදෙනාම එය
දිගේ පහතට බසින්නට ගත්හ. අකිල අතෙහි වූ විදුලි පන්දම් එළියෙන් පඩිපෙළ පාමුලෙහි වූ
කොළ පැහැති දෙනෙතක් දිළිසුම් දින. මඳ වේලාවක් නිසලව තරුණයා දෙස බලා සිටි ඒ
දෑස්..... එක්වනම ඔවුන් වෙතට පැනගෙන එන්නට විය. ඒ මහළු බළලෙකි. ඌ අකිලගේ දෙපා
අතරින් පැන එළියට දිව ගියේය.
පඩිපෙළ කෙළවර වූයේ නෙළූ කළුගලින්
තැනුනු කුඩා කාමරයකටය. පුස් ගඳින් ද, ඇති
තරම් දුහුවිල්ලෙන් ද, පිරුණු එහි කෙළවරක වූයේ අඩක් දිරා ගිය
හිස් මිනී පෙට්ටියකි. ඒ අසළම බිම හිස්කබළ දෙපළු වූ ඇට සැකිල්ලක් වැතිර තිබිණ. එහි
වමතෙහි ඇට කැබළි අතර සිරවූ ලොකු රිදී කුරුසියක් විදුලි පන්දම් එළියට දිළිසිණ. රක්ත
වර්ණයෙන් මළ බැඳුණු පුළුල් තලයකින් යුත් බරැති පොරවක් ඒ අසළම වැටී තිබිණ.
වසර ගණනාවකට පෙර සිදුවූ දරුණු අපරාධයක
නෂ්ඨාවශේෂයන් මේ අයුරින් දෙදෙනාගේ දෙපා මුළ වැතිර තිබිණ.
ඇට සැකිල්ලට අඩි කීපයක් නුදුරින් බිම
වැටී තිබුණේ බරැති මිටියකි. මිටියකින් අපේක්ෂිත ඇණගැසීමට හෝ ගල් කැඩීමට හෝ නොව
වෙනත් විශේෂිත කාර්යයකට සුදුසු වන පරිදි එය සකසා තිබිණ. ශක්තිමත් ලී මිට, බර යකඩ කුට්ටියකට නොගැළවෙන පරිදි වද්දා තිබිණ.
ඒ අසළම රවුම් ලී දඬු තුනක් විසිරී
තිබිණ. ඒවා අඩි එක හමාරක් පමණ දිගු වන සේ සාදා, අගිස් තියුණු ලෙස උල් කොට, ගින්නෙන් දැඩි බවට පත් කොට තිබිණ.
‘‘මේවා දශක ගණනාවකට කලින් මැරුණු
වැම්පයර් දඩයක්කාරයෙකුගේ.....’’ ඇඩම් ගේ පහත් කටහඬ නැගී ආයේය. ‘‘.....
මේවා වතිකානුවෙන්, ලාසා වලින්, අනුරාධපුරෙන් සහ මක්කමෙන් ආශීර්වාද
කරලයි තියෙන්නෙ. නියම ආවේගශීලී, සෘජු අරමුණක් ඇති, අරමුණට කැපවුණු කෙනෙක් ගෙ අතේදි මේවා බොහොම
බලවත්.....’’
ඔහු සිය සාමාන්‍ය පිළිවෙතින් බැහැරව
දිගු කතාවක් කරන්නට යන්නා සේ පෙනිණ. ඔහුගේ දෙතොළින් ගිළිහුණු සෑම වචනයක්ම කුඩා
බිම් කාමරයේ බිත්ති මඟින් පරාවර්තනය කෙරිණ.
‘‘..... මාත් විකුමුත් තීරණය කරලයි තිබුණෙ මේ
වැඬේ ඔයාටම කරන්න ඉඩ හරින්න. ඒක ඔයාගෙ හිතේ තියෙන පීඩනයට සහනයක් වෙයි කියලා
හිතුවා. මේවා එකතු කරගන්න. මේවා අපිට ප‍්‍රයෝජනවත් වෙන්නෙ වැම්පයර් වරයෙකුට එරෙහි
සටනකදි ආයුධ විදිහට.’’
තරුණයා පහත් වී ලී උල් ටික වමතට එකතු
කරගෙන, මිටිය සුරතට ගති. එහි බර තම අතට
වැටෙද්දී අති මානුෂික ශක්තියක් සිය සිරුර පුරා ගළා යන්නා සේ ඔහුට දැනිණ. ඔහු පහත්
වී ඇටසැකිල්ලේ වමතෙහි පැටළී තිබූ කුරුසියද මුදවා ගෙන, සාක්කුවේ ලා ගති.
‘‘එහෙනම්.....’’ ඇඩම් හඬ නැගීය. ‘‘ආපහු ටවුමට.....’’
උදෑසන පැහැදිලි හිරු එළිය හාත්පස වැතිර
තිබිණ. අවන්හල ඉදිරිපස අගුවේ රැස්ව සිටි මිනිස්සු අපූර්ව උද්යෝගයකින් යුතුව එක්
සිදුවීමක් දෙස බලා සිටියහ.
බල්ලෙක් ඉතා වේගයෙන් පාර දිගේ දිව
ගියේය. එක් තැනක නතර වූ ඌ තම පිටේ එක තැනක් කීපවිටක් තදින් ලෙවකෑවේය. මොහොතකින් ඌ
නැවත දුවන්නට විය.
මෙය යටකී මිනිසුන්ගේ මහත් විනෝදයට හේතු
වූ බව පෙනිණ.
‘‘පෙට්රල් ඉවර වුනහම නවතියි.....’’
එකෙක් කීය.
අනෙක් මිනිස්සු හඬනඟා සිනාසුණහ.
නැවතත් වේගයෙන් දිව ආ බල්ලා, අවන්හලෙන් එළියට බසිමින් සිටි සුදුමැළි කෙසඟ
තරුණයෙකුගේ දෙපයේ වැදී, කෑගසමින් ඉවතට දිව ගියේය.
තරුණයා අත කුඩා මල්ලක් විය. අවන්හලේ
කවුන්ටරයට පිටුපසින් සිටි මැදිවියේ ගැහැණිය විදහාගත් දෑසින් ඔහු දෙස බලා සිටියේ
වශීකරණයකට ලක් වූවක සේය. ඇය යමක් මතක් කරමින් සිටියාය.
‘‘ශාම්.....’’ ඈ තමාටම කියාගනිමින් ආපසු හැරුණාය. ‘‘.....එහෙනම් ආයෙත් ඇවිත්.....’’
මෙතෙක් පැවති පැහැදිළි හිරු එළිය
කෙමෙන් ගළා එන්නට වූ වැසි අඳුරකින් වැසී යන්නට විය. උදෑසනකට සුදුසු නොවූ සීතල වැසි
පොදින්, පාර මත වූ දුහුවිල්ල කෙමෙන් කෙමෙන් මඩ
දිය බවට හැරෙන්නට ගති. අඩි කිහිපයක් දුරින් ඇති දෙයක් පවා නොපෙනෙන තරමින්, හාත්පස වැසි අඳුරින් හා මිහිදුමින් වැසී ගියේය.
පෙඟුනු පුස් ගඳක් තුනීවට පැතිර යන්නට විය.
මීළඟ කොටස...
මීළඟ කොටස...