Wednesday, December 25, 2019

නීතිය, යුක්තිය සහ ආදරය - නත්තල් කළාපය 2019

ඉෆිජියානා බිළීදීම - ‌ලෙයොනාර්ට් බ්‍රැමර් ‌ගේ චිත්‍රයක්
උපුටාගැනීම - (https://commons.wikimedia.org/wiki/
File:Bramer,_Leonaert_-_The_Sacrifice_of_Iphigenia_-_c._1623.jpg
)

ට්‍රෝයි යුද්ධයට යන ක්‍රීටයේ අගමෙන්නෝන් රජු, එහි සාර්ථකත්වය ‌වෙනුවෙන් පූජකයන්ගේ ඉගැන්වීම් අනුව තමන්ගෙ දුව බිලි දුන්නා. ඒක සමූහයක් ‌වෙනුවෙන් තමන්ගේ ‌පෞද්ගලිික බැඳීම කැප කිරීමක් වගේම, පවුලට සහ පුද්ගලයෙකුට එරෙහිව කරපු අපරාධයක්.

අපරාධයට එරෙහිව යුක්තිය ක්‍රියාත්මක වුණේ, යුද්ධය දිනා ආපිට තම ‌ගෙදරට ආ අගමෙම්නෝන් රජු, ඔහුගේ භාර්යාව ‌මෙන්ම අර බිළි‌දෙනලද දැරියගේ මව, සිය ‌පෙම්වතා ‌සමග එක්වී මරා දැමීමෙන්.

https://cdn.britannica.com/15/12115-004-DE1A8ABB/Electra-Orestes-Clytemnestra-presence-detail-Aegisthus-vase.jpg

ඒ අපරාධයට යුක්තිය ඉටු වුණේ අගමෙම්නෝන් රජු ‌ගේ ඖරස පුත්‍රයා වූ ඔරේෂස් තමන්ගේ පියා මැරූ තැනැත්තා මරා දැමීමෙන්.

ශිෂ්ඨාචාරයේ මුල් කාලයේ යුක්තිය ඉටු වුණේ පළිගැනීමේ ස්වරූපයෙන්. ඒක සමාජ සාරධර්මයක් ‌ලෙස පිළිගැණුනා.

හමුරාබි රජු "ඇසට ඇස, දත ට දත" නීතිය ‌ලේඛන ගත කරන්නෙ ඒ වගේ සමාජයක. පසුකාලීනව තව තවත් මානව සමාජය ශිෂ්ඨ සම්පන්න ‌වෙද්දී, මධ්‍යස්ථ පුද්ගලයෙක් විසින් ‌දෙපැත්තේම කරුණු විමසා ස්වාධීන තීරණයක් දීම වඩා යහපත් සහ සාධාරණ බව පිළිගැණුනා.

තව්රාත්, ‌බෛබලයේ පරණ ගිවිසුම සහ ෂාරියා හි අඩංගු වූ තද නීතිය, සමාජය විසින් තහවුරු කරගත්‌තේ සමාජය හික්මවීම මඟින් සමාජ විරෝධී ක්‍රියා තුරන් කිරීමට. "...දරුවෙක් අකීකරු වුණොත්, ඔහු නගරය මැදට ‌ගෙනැවිත්, ඔහු අකීකරු බව ප්‍රසිද්ධියේ කියා, ගල් ගසා මැරිය යුතුයි..." ඒ ප්‍රකාශය තියෙන්නෙ ‌බෛබලයේ පැරණි ගිවිසුමේ.

කාමයේ වරදවා හැසිරෙද්දීම අල්ලාගත් ගණිකාවක් ‌ජේසුතුමා ‌වෙත ‌අරගෙන ආවා. ඒ අරගෙන ආවේ ආගමික ඉගැන්වීම් අකුරටම පිළිපැද්ද අය සහ විනයධරයන් ‌ලෙස ප්‍රසිද්ධ අය. ‌

"මේ ගණිකාවක්. පවු කරද්දිම අල්ලාගත්තා. ‌මෝසෙස් උගන්වා තියෙන්නේ ගල් ගසා මරා දැමිය යුතුයි කියා. ඔබ ‌මේ ගැන කියන්නේ ‌මොකද්ද?" ඔවුන් ඇසුවා. එසේ ඇසුවේ ‌ජේසු තුමාගෙන් කොණක් අල්ලා ‌ගෙන ඔහු  වැරදි ‌දේ උගන්වන බව ‌පෙන්වා ‌දෙන්නයි.

ජේසු තුමා ඇඟිල්ලෙන් බිම ලියන්නට පටන් ගත්තා. ඒත් අර උදවියගේ කෑ ගැසීම් නැවතුණේ නෑ.

"ඔබ අතරින් පවු කර නැති තැනැත්තා ඇයට පළමු ගල ගසන්න" ‌ජේසු තුමා කීවේ ඔවුන්ගේ ‌ඉල්ලීම ‌කෙළවරක් නැති තැනට ආ පසුයි. එසේ කියා එතුමා ආපහු බිම ලියන්න ගත්තා.

වැඩිහිටියන්ගෙන් පටන් ‌ගෙන අර රැස්ව සිටි අය ‌එකා ‌දෙන්නා යන්න ගියා. අන්තිමේ එතැන ඉතිරි වුණේ අර ස්ත්‍රිය විතරයි.

අවසානයේ ‌ජේසු තුමා ඔලුව උස්සා බැලුවා.

"ඒ අය ‌කෝ? කවුරුවත් ඔබට වැරදි තැබු‌වේ නැද්ද?"

"නෑ. කවුරුවත් මට වැරදි තැබුවේ නෑ." ස්ත්‍රිය කිව්වා.

"එහෙනම් මමත් ඔබට වැරදි තියන්නේ නෑ. යන්න. ගිහින් පවු ‌නොකර ඉන්න" ‌ජේසු තුමා කිව්වා.
(ශු. ජුවාම්‌ 8: 1-11)

https://joequatronejr.files.wordpress.com/2011/07/mary-magdalene-stoned-jesus.jpg

නැතිවූ බැටළුවාගේ උපමාව, අකීකරු පුත්‍රයාගේ උපමාව ආදී ඉගැන්වීම්වලදී එතුමා පැහැදිළි කරන්නේ, ආගමික ජීවිත ගත කරන්නන් සියයකට වඩා, තමන්ගේ වරද අවංකව ‌තේරුම්ගෙන පසුතැවිලි වන එක පවුකාරයෙක් නිසා ‌දෙවියන් වහන්සේ සතුටු වන බව.

ඒක වෙනත් පැත්තකින් දැක්කොත්, අපරාධකාරයෙක් තමන් වැරදි මග යන බව ‌තේරුම් ගත්තොත්, ඒ ගැන අවංකව පසුතැවුනොත්, ඔහුට සමාජයට යහපත් මිනිහෙක් බවට පත්වෙන්න අවස්ථාව දීම හරිම වැදගත්. ඒ වගේම ඒ ගැන සමාජය සතුටු විය යුතුයි.

හොඳ මිනිසුන් වගේම, වැරදි කරමින් සිට ඒ වැරදි අවබෝධ කරගෙන ඒවා නිවැරදි කරගන්න උවමනාව දක්වන උදවියත්, ආදරය කරනු ලැබීමට සුදුසුුයි.

ඒ එක්ක බලනකොට, යුක්තිය කියන්නෙත් අශිෂ්ඨ සමාජයකට අවශ්‍ය වූ පළිගැනීමේ සංකල්පයක් මිසක්, වඩා මානුෂික සමාජයක තිබිය යුතු ‌දෙයක් ‌නොවේ.

අපරාධයක් ‌වෙනුවෙන් යුක්තිය ඉටු කරන තැනැත්තා, අර අපරාධකාරයාගෙන් ‌වෙනස් වන්නේ ඔහු පිටුපසින් සිට ඔහුට ශක්තිය ‌දෙන සමාජ සම්මතය නම් ආධාරකයෙන් විතරයි. අපරාධයකින් යම් කිසි මිනිසෙකුට ‌හෝ කණ්ඩායමකට හාණියක් පැමිණෙනවා. ඒක ‌වෙනුවෙන් ඉටු කරන යුක්තියෙන් සිදු ‌වෙන්නේ අපරාධකරුට හාණියක් සිදු කරන එකයි. ක්‍රියාව ගැන විතරක් හිතුවොත්, අපරාධකරුත්, යුක්තිය ඉටු කරන්නාත් යන ‌‌දෙන්නාම කරන්නේ එකම ක්‍රියාව. අපරාධකරු හදිසි ‌කෝපය ‌හෝ ද්වේෂය ‌හෝ අපරාධ සිතුවිල්ල නිසා කරන ක්‍රියාවම, යුක්තිය ඉටු කරන්නා, යුක්තිය නම් සංකල්පය නිසා කරනවා.

ජේසුතුමා ‌රෝම ශිෂ්ඨාචාරයේ යකඩ සපත්තුවට පෑගුණු දිළිඳු මසුන් මරන්නන් ‌හෝ සංචාරක ‌එඬේරුන් අතරින් මතුවෙලා අපට උගන්වන ‌දේ වර්තමාන සමාජයේ සාරධර්මවලටත් වඩා මට්ටම් ගණනාවකින් උසස්...

එතුමා කියන්නේ අපරාධකාරයාට දඬුවම් කිරීම කියන්නේ අපේම සහෝදර මනුෂ්‍යයෙකුට එරෙහිව සංවිධානාත්මක සමාජයක් විසින් තවත් අපරාධයක් කිරීමක්. කළ යුත්තේ එය ‌නොව, අපරාධකාරයාට ඔහුගේ වරද ‌තේරුම් ‌ගෙන ඒ ගැන පසුතැවීමට සහ නිවැරදි මගට පිවිසීමට උපකාර කිරීම සහ ඉඩ හැරීමයි. එසේ හරි මඟට හැරෙන තැනැත්තා ආදරයෙන් පිළිගැනීමයි...

ලෙයට ‌ලෙය ඉල්ලා සිටීම තිරිසන් කමක්.

එකල පේදුරු උන් වහන්සේ වෙතට අවුත්, ”ස්වාමීනි, මට විරුද්ධ ව පව් කරන මාගේ සහෝදරයාට මා කී වාරයක් කමා විය යුතු ද? සත් වාරයක් දක්වා දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය. ජේසුස් වහන්සේ ඔහුට කතා කොට, ”සත් වාරයක් නොව, සත් වාර සැත්තෑවකි.
”මන්ද, ස්වර්ග රාජ්‍යය මෙවැන්නකට උපමා කළ හැකි ය: සිය දාසයන් සමඟ ගණන් හිලව් බැලීමට තීරණය කරගත් රජෙක් විය. ඔහු එසේ කරන්න පටන්ගත් කල රුපියල් දෙකෝටියක් පමණ ණය වූ කෙනෙක් ඔහු වෙත ගෙනෙන ලද්දේ ය. ණය ගෙවීමට ඔහුට කිසිවක් නොතිබුණු බැවින්, ස්වාමියා ඔහු ද ඔහුගේ බිරිඳ හා දරුවන් ද ඔහු සන්තක සියල්ල ද විකුණා ණය ගෙවන්න අණ කෙළේ ය. එවිට ඒ දාසයා දණින් වැටී, ‘මා ගැන ඉවසන්න, මුළු ණය ගෙවන්නෙමි’යි කී ය. ඒ දාසයාගේ ස්වාමියා ඔහු ගැන අනුකම්පාවෙන් පිරී, ඔහු ණයෙන් නිදහස් කොට කමාව දුන්නේ ය.
එහෙත්, ඒ දාසයා නික්ම ගොස්, තම සහකාර දාසයන්ගෙන් තමාට රුපියල් දෙසීයක් පමණ ණය ව සිටි කෙනෙකු දැක, ඔහුගේ බෙල්ල මිරිකා ඔහු අල්ලාගෙන, ‘මගේ ණය ගෙවාපන්නැ’යි කී ය. එවිට ඔහුගේ සහකාර දාසයා බිම වැටී, ‘මා ගැන ඉවසන්න, ණය ගෙවන්නෙමි’යි කන්නලව් කරමින් කී ය. එහෙත්, ඔහු නොඉවසා ණය ගෙවන තෙක් ඔහු හිර අඩස්සි කෙළේ ය.
ඔහුගේ සහකාර දාසයෝ සිදුවූ දේ දැක, අතිශයින් ශෝක වී, අවුත් සිදුවූ සියල්ල තම ස්වාමියාට දැන්වූ හ. එවිට ඔහුගේ ස්වාමියා ඔහු කැඳවා කතා කොට, ‘දුෂ්ට දාසය, නුඹේ ඉල්ලීම නිසා මම ඒ ණය සියල්ල නුඹට කමා කෙළෙමි. මා නුඹට අනුකම්පා කළාක් මෙන් ම, නුඹත් නුඹේ සහකාර දාසයාට අනුකම්පා කළ යුතුව තිබුණා නොවේ දැ’යි ඇසී ය. ඔහුගේ ස්වාමියා කෝප ව ඔහු තමාට ගෙවිය යුතු සම්පූර්ණ ණය ගෙවන තෙක් ඔහු වධකයන්ට භාර දුන්නේ ය. ඔබත් එකිනෙකා තමාගේ සහෝදරයාට මුළු සිතින් කමා නොකරන්නහු නම්, ස්වර්ගයෙහි වැඩ වසන මාගේ පියාණන් වහන්සේ ද, එසේ ම ඔබටත් කමා නොකරනු ඇත.”
(ශු. මතෙව් 18:21-35)

අපි ‌කෙනෙකුට සමාව ‌දෙන්නේ නැත්නම්, අපේ වරදට සමාව බලාපොරොත්තු ‌වෙන්න අපට බෑ. වරද කරන අයට සමාව දීමට වාර ගණනක සීමාවක් නෑ. ඔහු වරද හදාගනීවි යන අපේක්ෂාවෙන් අසීමිතව සමාව දීම අවශ්‍යයි. ඒ වගේම වරද ‌තේරුම්ගෙන ආපිට හැරෙන තැනැත්තා ආදරයෙන් පිළිගැනීම වැදගත්.

බුදුන් ළඟ පැවිිදි වී රහත් භාවයට පත්වූ අංගුලිමාල ‌තෙරුන්ගේ කතාවෙනුුුුත් අපට ‌තේරුම්ගන්න පුළුවන් සත්‍යය ඒකයි.

නහී වේරේන වේරානී, සම්මන්තීධ කුදාචනං.
අවේරේනච සම්මන්තී, ඒස ධම්මෝ සනන්තනෝ....

(වෛරයෙන් වෛරය නොසංසිඳේ, අවෛරයෙන්ම වෛරය සංසිඳේ. මෙය සනාතන ධර්මතාවයකි.)

--------------------------------------------------
කලින් ලියූ නත්තල් කළාප

දන්න කියන ‌කෙනෙක්
ජේසු කුහක සදාචාරවාදයට එරෙහිව
මෝසස්ගේ ‌දෙවියන් සහ ‌ජේසුස්ගේ ‌දෙවියන්

බෛබලය සිංහලෙන් ඔන්ලයින් කියවන්න ‌මෙතනින්...

Wednesday, December 18, 2019

විකුම්ගෙ වික්‍රම - ගජබින්න නං නෙවෙයි ම නෙවෙයි :)

මගෙ කිට්ටුවර යාළුවො දන්නවා, මට රාජ්‍ය සේවයෙදි හම්බුණු හොඳම යාළුවන් කීපදෙනාගෙන් කෙනෙක්, එහෙමත් නැත්තම් එක් කුසේ නූපන් සහෝදරයෙක් තමයි විකුම් ජයසිංහ කියන්නෙ... අද කියන්න යන්නෙ විකුම් ගෙ එක්තරා වික්‍රමයක්. ඕං එහෙනං අහගන්ඩ කියෝගන්ඩ.

විකුම් ජයසිංහ මහතා එකවර දුර ඇමතුම් තුනකට පිළිතුරු දෙමින්...

විකුම් ඉතාම ආසාවෙන් ජර්මන් ටෙක් එකේ මෝටර් මිකෑනික් ඉගෙන ගනිමින් ඉද්දි, එයාගෙ අම්මාගෙ බලපෑමට රජයේ සේවයට එකතු වුණේ. ඉතිං විකුමගෙ ලේවල දුවන්නෙ පෙට්‍රල් - ඩීසල්... හදවත වෙනුවට තියෙන්නෙ ෆියුල් පොම්පයක්, නාඩි වැටෙන්නෙ හෙඩ් එකේ වෑල්වල රිද්මයට. කොටිම්ම කිව්වොත් මෝට මිකෑනික් ලෝකයක්...

ඒ වගේම මේ මනුස්සයා මේ තාක් කාලෙකට හම්බකළේ මිනිස්සු... සල්ලි නෙවෙයි. ඕනෙම වෙලාවක ඕනෙම කෙනෙක් උදව්වක් ඉල්ලුවොත් තමන්ගෙ සෞඛ්‍ය තත්ත්වය පවා කැප කරගෙන ඒක කරල දෙන්ඩ උපරිම කැපවීම කරනවා. ඒ වගේම එයාට ඉතාම හොඳ සහ ඕනෙම ක්ෂේත්‍රයකට අයිති යාලුවො සෙට් එකක් ඉන්නව.

ඉතිං ඔය කියපු යාලුවො සෙට් එකෙන් එකෙක් තමයි මාලුවා හෙවත් කුමාර. පොර කරන්නෙ ඇක්වේරියම් බිස්නස් එක. 

ඔය කුමාරගෙ එක ෂොප් එකකදි මම දැක්කා රුපියල් පහක් විතර සයිස් ඉබ්බො ජාතියක්. උන් මාලු ටැංකියක හදන්න පුළුවන්. ඔය ඉබ්බන්ගෙ පොටෝ එකක් ගහගෙන ගිහිං අපේ ඔපිස් එකේ වැඩකරපු අයිය කෙනෙකුට පෙන්නපුහාම, එයා උන්ගෙ නම "ලබි ඉබ්බා" බව අපිට කියා දුන්නා.

https://i.ytimg.com/vi/oGTg4OTZXSY/maxresdefault.jpg

ඉතිං එකපාරක් ඔය කුමාරගෙ ට්‍රින්කො පැත්තෙ තිබුණ ෂොප් එකක් වහලා බඩු ටික දාගෙන එන්න, විකුමා ලොරියක් අරං ත්‍රිකුණාමලේ ගියා... ඒ යද්දි හරියටම හබරණ කැලේ හරියෙදි ලොරියෙ පිටිපස්සෙ රෝදෙක පැච් එකක් ගියා.

ඉතිං මොකදැයි කරන්නෙ... විකුමා ලොරිය අයින් කරල නවත්තලා, වීල් බ්‍රෂ් එක අරන් රෝදෙ ඇණ බුරුල් කළා. ඒ කල්ලා හිටං ජැක්එක ගහන්ඩ බැලුවා. ගහන්ඩ බෑ... ඇයි කියලා බලනකොට, ලොරියෙ ජැක් එක ගෙනත් නෑ...


https://c8.alamy.com/comp/2A3P0RX/young-mechanic-changing-tire-character-2A3P0RX.jpg
දැං මොකදැයි කරන්නේ කියලා කල්පනා කර කර ඉන්නකොට තමයි වඳින්ඩ ගිය දේවාලෙ කුපාඩි කපුවෙක් උන්නා වගේ එයාකන්ඩිෂන් කරලා තිබුණා වගේ, තනි අලියෙක් ඒ පැත්තට කඩාගෙන බිඳගෙන එනව දැක්කෙ...

ඔන්න ඉතිං ඈත වලිගය රිටක් මෙන් කෙලින් කරගෙන පැයට හැටේ / අසූවෙ විතර වේගයෙන් දුවගෙන එන අලියා ය - මෑත තව පොඩ්ඩෙන් සුළුදිය පහවෙන සයිස් එකේ සිටිනා විකුම් ජයසිංහයන්ය. ඈත එබු එබූ පයින් මිහිකත සනහ සනහා දුවනගෙන එන අලියා ය - මෑත අත ගැසූ, ගැසූ වැඩේ කෙළවී සිටින විකුමා ය. ඈත හොඬයෙන් ගස් අතු කඩා උඩ විසිකරමින් ගුගුරවාගෙන දුවගෙන එන අලියාය - මෑත රෝදයේ නට් එකක් හණි හණික ගළවන විකුමාය... ඈත, ඈත කිව්වට දැන් ළඟ ළඟම දුවගෙන එන අලියාය - මෑත, එක නට් එකකුයි විල් බ්‍රෂ් එකයි අරං යාන්තමින් තඩි ගහකට මුවා වුණ විකුමාය...

අලියා දුවගෙන ආව වේගයට බ්‍රේක් ගහගන්ඩ බැරුව විකුමා මුවාවෙච්ච ගහේ හැප්පිලා තමයි නතර වුණේ. ඒ ආව වේගෙට උගෙ දළක් ගහ පසා කරගෙන ඇවිත් විකුමගෙ පැත්තෙන් අඩි තුනක් විතර එලියට ආව. අපේ යාලුවා බේරුනේ කෙස්ගහෙන්... පොර ඉක්මණිටම අර නට් එක දලේ තුඩට දාලා වීල් බ්‍රෂ් එකෙන් පොට දොළහක් කැරකුවා. ඒ නට් එකත් ඇත් දලේ පොට කපාගෙන ගිහිං හයි වුණා. 

විකුමගෙ සිරිතක් තමයි ඕනෙම වාහනයක් දෙවෙනි පාර පේන්ට් කරද්දි, ඇණේ දක්වා ගළවලා, ඇණ සහ නට් සියල්ල නිකල් බාත් දාන එක. ඒ නිකල් බාත් එකේ කොලිටිය නිසා තමයි ඇත් දළේ පොට කපාගෙන යන්ඩ තරම් නට් එක ශක්තිමත් වුණේ.

ඉතිං අලියත් මොකද වුණේ කියල හිතාගන්ඩ බැරිවෙලා, අඤ්ඤකොරෝෂණයට ලක්වෙලා ඉද්දි, විකුමා "දිරි...!" කිව්වා. අලියත් වැඩිදුර හිතන්නැතුව කණට ඇහුණු වොයිස් කමාන්ඩ් එකට අනුව ඉස්සරහ කකුල නවල ඉස්සුවා, ඇත්ගොව්වෙක් උන්නනං උන්දැට පිටට නගින්න. ඒ කකුල තිබුණෙ ලොරියෙ බඳට තෙරපිලා නිසා, ලොරියත් සෑහෙන තරම ඉස්සුණා.

විකුම් සුටුස් ගාල, රෝදෙ අනිත් නට් හතර ගළවල, ස්පෙයා වීල් එක දාගෙන, ඒකට ඇණ හතරක් විතරක් හයිකරගෙන, මෙහෙම බලලා මෙහෙම බලන පරක්කුවට ඔක්කොම උපකරණ ටිකයි ගළවපු රෝදෙයි ලොරියෙ පිටිපස්සට පටවගෙන, ලොරියට නැගගත්තා. 

විකුම් "පුරු...!" කිව්වා විතරයි අලියා අර උස්සගෙන හිටිය කකුල හිමිහිට බිමින් තිබ්බා. ඒත් එක්කම ලොරියත් බිමට පාත් වුණා. විකුමා දෙයියන්ට පිං දීගෙන ආපහු ගමන පටං ගත්තා.

ඔහොම පැය කාලක් යන්ඩ හම්බුණේ නෑ, ලොරියෙ පිටිපස්සෙන් සෑහෙනතරම ඈතින් කුඤ්චනාදයක් ඇහුණා. විකුම් සයිට් කණ්නාඩියෙන් බලද්දි අර අලියා... ඌ හොඬවැලත් උස්සගෙන සැළකියයුතු වේගයකින් එනව. 

ලොරිය යන්ඩ පුළුවන් හතළිහට - හැටට වගේ උපරිම වේගෙකට විතරයි. අලියා බොහොම සුවසේ අසූවට විතර දුවගෙන එනව. උගෙ දළේ ගහට තියල නට් එකක් දැම්මට ඌට කන්ඩ කේන්ති ඇති. විකුම්ව අහුවුණොත් හොඬෙන් අල්ලල පොළොවෙ ගහල ඒ උඩ ලම්බාඩා නටන්ඩ තරම් ආවේගයකින් අලියා එන බව විකුමට පෙනුනා. 

විකුමත් මොකද කළේ... බොහොම ඉස්සර දවසක් රයිනෝසිරස් කෙනෙක් අපේ අන්දිරිස් කිත්තගෙ තිරික්කලේ පස්සෙන් පන්නගෙන ආව වෙලාවක උන්දැ කරපු දේම තමයි. ඉස්සරහ හතරමං හන්දියෙන් වමට සිග්නල් දාලා දකුණට හැරෙව්වා. අලියත් අර පරණ කතාවෙ රයිනෝසිරස් වගේ සිග්නල්එක බලාගෙන වමට හැරිලා සෑහෙන දුරක් දුවලයි නතර වුණේ. ඒ තරමට වේගෙන් ඌ එළවගෙන ඇවිත්. මොකෝ, ඌට ABS බ්‍රේක් තියෙනවයැ? 

අලියා වමට දුවනවා සයිට් කණ්නාඩියෙන් දැකපු විකුම් යාන්තම් සැනසුම් සුසුමක් හෙලුවා. ඊට පස්සෙ ගමනට ලොකු බාධාවක් වුනේ නෑ. ඒත් හබරණ හන්දියට කිට්ටු වෙලා කඩමණ්ඩියෙ නතර කළාට පස්සෙ තමයි ආපහු අපේ යාලුවට දෙවෙනි කුඤ්චනාදය ඇහුනෙ. ඒ කඩමණ්ඩිය පිටිපස්සෙන්. කොහෙ ගියත් ඕනෙම වාහනයක් හබරණ හන්දියෙ කඩමණ්ඩිය හරහා යන බව දන්න අලියා ෂෝට් කට් එකකින් ඇවිත් හැංගිලා ඉඳලා.

ඌ බොහොම තේජාන්විතව කඩ පේළිය පිටිපස්සෙ ඉඳලා ඉස්සරහට ආවා. විකුම්ට කරකියාගන්න දෙයක් නෑ. පොර බිමට පාත්වෙලා වැලි අහුරක් ගත්තා. හීනි වැලි මිටකට ඉතිපිසෝ ගාතාව හත් වරක් මතුරලා ඒක හරියටම අලියගෙ ඇස් දෙකට ගැහුවහම අලියට ටික වෙලාවකට පේන් නැතුව යනව. ඒක කෙමක්...

විකුම් වෙවුලන කටහඬින් ඉතිපිසෝ ගාතාව කියද්දි අලියා ළඟටම ආවා. ඇවිත් හොඬ වැල ඉස්සුවා. උස්සලා ආපහු පාතට ගන්න ගමං ඒකෙන් අල්ලගෙන හිටපු යමක් විකුමගෙ දෙපා මුලට අතෑරියා. අතෑරලා ආපහු හැරිලා කැලේට ගියා. 

කඩේ හිටපු හැමෙ කෙනෙක්ගෙම ඇස් විකුම් දිහාට යොමුවෙලා තියෙද්දි විකුමා බැලුවෙ අර අලියා දාල ගියපු දේ මොකද්ද කියලා. එතන තිබුණෙ විකුමගෙ වීල් බ්‍රෂ් එකයි ඇත් දලේට හයි කරපු නට් එකයි. ලොරියෙ රෝදෙ මාරු කරලා, ආපහු උපකරණ ටික ලොරියට දාගද්දි වීල් බ්‍රෂ් එක අමතක වෙලා ඇවිත්. අලියා ඒකෙන් අර නට් එක ගළවගෙන ඒක ආපහු දෙන්ඩ තමයි මෙච්චර දුරක් පස්සෙන් එළවගෙන ඇවිත් තියෙන්නෙ. බලන්ඩ අලියගෙ තියෙන හැදියාව විතරක්...!


කලිං ලියපු ගජබින්න වලට පටුනක්.

Thursday, November 14, 2019

අවසානයක් නොවේ - හතර වෙනි කොටස...

https://ak7.picdn.net/shutterstock/videos/18500467/thumb/1.jpg


පළවෙනි කොටස
දෙවෙනි කොටස
තුන් වෙනි කොටස...

අතුරුදන් වූ සගයා සිටියේයැයි නීල්සන් පෙන්වූ ගලට කෙලින්ම අඩි පහළ‍ොවක් පමණ ඉහළින් ගසෙහි එල්ලෙමින් තිබුණේ රොල්ෆ්ගේ සිරුර ය. එය ගෙළට දැමූ වරපටකින් ගසෙහි අත්තක එල්ලා තිබුණි. ඔහුගේ කමිසය සහ පිට කබාය ඉදිරිපසින් ඉරා දමා තිබූ අතර, පපුව හරහා තියුණු තුඩකින් සූරා, අකුරු පහක්  සටහන් කර තිබුණි.
VOLTE

මිනිත්තුවක් දෙකක් නිසොල්මනේ යන්තම් පැද්දෙමින් තිබූ රොල්ෆ්ගේ දේහය එක්වරම, වරපටේ සිට පහළට ගිණි ඇවිලී ගියේය. මුළු සිරුරම එකම ගිනිමැළයක් වන්නට ගත වූයේ තප්පර කීපයකි... එසැණින් දැවී ගිය වරපට සිඳී, ගිණිගත් මළසිරුර නාවුකයන් සිවුදෙනා මැදට වැටුණි.

අද්මිරාල් හැඩිදැඩි වමතින් රොස්කෝ ගේ අත ග්‍රහණය කළේ එක් වරම ය. ඒ ඔහු සිය සහචරයා ගැන හොඳින් දැන සිටි නිසා ය. ටිරෙල්, රොස්කෝ ගේ ඇඟට පැන්නේ ද එවිගසම ය. එයින් තරබාරු නාවුකයා බිම ඇද වැටුණි. ඇන්ඩර්සන් හණික පහත් වී බිම වැටුණු මිනිසාගේ කට දෑතින්ම වසා ගැනීමෙන් ඔහුගේ මුවින් පිටවන්නට ගිය විළාපය නතර කෙරුණි.

"නීල්සන් නැගපං ඔය ගහට. මේ වැඩේ කරපු එකා තවම ගහ මුදුනෙ ඇති."

ඇඩම් ඇන්ඩර්සන් ගේ නියෝගය පරිදි කෙසඟ තරුණයා මුලින්ම බඳපටියෙහි ෆ්ලින්ට්ලොක් පිස්තෝලය ඇති බව පරීක්ෂා කළේය. දෙවනුව දකුණු බත්කෙන්දෙහි සම් පටිවලින් බැඳ තිබූ කිණිස්ස ඉන් මුදවාගෙන දත් අතරෙහි සිරකර ගත්තේ ය.  දැවැන්ත ගස අසළට ගිය ඔහු ගසෙන් පහළට එල්ලෙන වැල්වල සහ අතුවල එල්ලෙමින් ගසට නඟින්නට පටන් ගත්තේය.

අද්මිරාල්ගේ නියෝගයෙන් ද, නීල්සන් දැක්වූ එඩිතරකමෙන් ද රොස්කෝ සිහි එළවා ගත්තේය. එහෙත් ඒ මොහොතකට පමණි.

හුරු බුහුටි ලෙස ගසට නැගුණු තරුණ නාවිකයා ගසේ අතු පතරට ළඟා වූවා පමණකි... එකවරම අති මානුෂික ග්‍රහණයකින් ඔහුගේ ගෙළ සිර විය. සිහි විකල්ලෙන් මෙන් ගස අත හළ නීල්සන් සිය බොටුව වටා වෙලුණු රැහැන මුදවාගැනීමට නිරර්ථක උත්සාහයක් ගත්තේය. එසැණින්, බෙල්ලේ සිට පහළට ගැළූ තෛලමය දියරයකින් තම සියොළඟ තෙමීයනු ඔහුට දැණුනි.

නීල්සන් බෙල්ලෙන් එල්ලී දඟලමින් ගසෙහි ඉහළ අතුපතරට වේගයෙන් ඇදී යනු දුටු නාවුකයෝ එක මොහොතකට වික්ෂිප්ත වූහ. යටිගිරියෙන් කෑ ගැසීමට තැත් කරමින් රොස්කෝ කැළය බිඳගෙන දුවන්නට ගත්තේ, අද්මිරාල් සහ ටිරෙල් සිය පිස්තෝල එළියට ඇද ගසෙහි ඉහළ අතු පතරට වෙඩි තබනවාත් සමඟම ය. වෙඩි ශබ්දයෙන් කළබල වූ කුරුල්ලෝ සිය ගණනක් අවට තුරු මුදුන්වලින් ඉහළට නැඟුණහ. පිස්තෝලයෙහි කොටා තිබූ වෙඩිල්ල පත්තු කර, එය ආපසු කොපුවෙහි ලා ගත් ඇඩම්, කඩිසරව සිය මස්කිට් තුවක්කුව ගෙන ඉහළට එල්ල කළේ ය.

පුදුමයට පත් කළ සිදුවීම වූයේ එවිටය...

"ඉඳපං..." සිය මස්කිටයෙන් වෙඩි තැබීමට යන ටිරෙල් හට අද්මිරාල් කෑ ගැසුවේය.

එක නිමේෂයකට ගසෙහි ඉහළ අතු පතරින් මෑත් වූයේ ස්ත්‍රී රුවක් බව ඇඩම් මතක තිබුණි. එකෙණෙහිම එය ආපසු කොළ අතු අරතෙහි සැඟවී ගියත්, දිග කළුවන් කෙස් වැටියත්, රත් පැහැයට හුරු සමත්, දිවිසමක් වැනි යමක් දැවටුණු සුඛනම්‍ය ගතියක් පෑ සිරුරත් යුරෝපීයයාගේ සිතෙහි නොමැකෙන සේ කෙටුණි. ක්ෂණයකින්, ගිණි ගෙන දැවුණු නීල්සන් ගේ සිරුර, අඩි සීයක පමණ ඉහල සිට ඇඹරෙමින් බිමට පතිත විය.

ටිරෙල් තම අතකින් අදිනවා දැනී අද්මිරාල් සිහි එළවා ගත්තේය. වෙවුලන අතැඟිලිවලින් මස්කිට් තුවක්කුව තදින් අල්ලා ගත් ඔහු පස්සෙන් පස්සට ගියේය. තවමත් දැවෙමින් පැවති සිය සහචරයන් දෙදෙනාගේ මළ සිරුරුවලින් නැඟෙන පුළුටු ගඳ නාවුකයන් දෙදෙනාගේ නාස් පුඩු හකුළවන්නට සමත් විය. පියවර හත අටක් ආපස්සට ගිය නාවුකයෝ දෙදෙනා, ඔලුවට ඉහළින් වැවුණු ගස් අතු අතරින් මාරක ගසෙහි දර්ශනය වැසී යත්ම, ආපසු හැරී, පසු නොබලා දුවන්නට පටන් ගත්හ. අවට වැවුණු ගස්වල ඉහළ අතු පතරේ කිසියම් සතුන් රැළක්, යුරෝපීයයන් සමඟම දුවන්නට ගත්තේ ඔවුන් ළුහුබැඳ එන්නාක් මෙනි. දුවන වේගය අඩු නොකරම ඉහළ බැලූ අද්මිරාල් දුටුවේ, ඒ සතුන්ගේ බරින් ගස් අතු වේගයෙන් සෙලවෙන ආකාරය සහ අඳුරු ඡායාවන් පමණකි.

තමන් කෙතරම් දුරක් ආවාදැයි දෙදෙනාටම නිච්චියක් තිබුණේ නැත. එහෙත් කෙමෙන් කෙමෙන් පියවි සිහියට එළඹෙද්දී, නිවර්තන වැසි වනාන්තරයක භයංකරබව විසින් තමන් වටකරගෙන සිටිනු ඔවුන්ට හැඟුනේය. තෙත් බර සීතල වාතස්කන්ධය... නොනැවතී ගළන දියපාරක හඬ වැනි රෑහි හඬ... අවට විසිරුණු පාසි බැඳුනු ගල් ගෙඩි, මීවන පඳුරු සහ ආකූලව පැතිරුණු ලැහැබ... පොලොවෙන් මතුවී දඟර ගැසෙමින් ගස් මුදුන් කරා නැගුණු විශාල සර්පයන් වැනි වැල්... නූල් තරම් මහත කෙඳිවලින් බැඳුණු දැල්වල සිටි, අල්ලක් තරම් විශාල මකුළුවන්... ගස් අතුවලින් පහළට එල්ලෙමින් ගොදුරු සොයන කුඩා සර්පයන්... නාවුකයන් දෙදෙනාගේ පියවර හඬින් කලබල වී ඔවුන් එනවිටම වාගේ මඟහැර ගිය බව පෙනුණු සිවුපාවුන්... ඒ සියල්ලටමත් වඩා, හිස්වලට උඩින්, ගස් මුදුන් මතින් පනිමින් නොනවත්වා ළුහුබැඳ එන අබිරහස් සතුන්...

වනාන්තරය කෙළවර, වැව් ඉවුරකට සේන්දු වන තෙක් නාවිකයෝ දෙදෙනා දිවීම නතර කළේ නැත. ඔවුන් ළුහුබැඳ ආ අදෘශ්‍යමාන සත්ත්ව රංචුව ද වන සීමාවෙන් ඔබ්බට ආවේ නැත. තවත් යාර කීපයක් දුර්වල ලෙස දිව ගිය අද්මිරාල් නතර වී, ඉදිරියට නැඹුරු වී දෑත් දණහිස් මත තබාගෙන හිස පහතට නැඹුරු කරගනිමින් හඬ නගා හතිලෑවේ ය. කවුරුන් හෝ පිරිසක් ඔවුන් දෙදෙනා වටකරගත් බව යුරෝපීයයන්ට වැටහුණේ තවත් තත්පර කීපයක් ගතවූ පසුවය. හිස එසවූ අද්මිරාල් දුටුවේ, යටිකය දැවටුණු රෙදි කඩකින් පමණක් විළි වසාගත් අඳුරු පැහැ සමින් යුත් පිරිමින් රැසක් ඔවුන් වෙත උදලු සහ කැති අමෝරාගෙන සිටින ආකාරය ය.

*                   *                    *                   *

යුරෝපීයයන් දෙදෙනාට එදින රැය ගත වූයේ රටේ මහත්තයාගේ වලව්ව අසළ තනා තිබූ අඳුරු කුටියේ ය. කොලපත්වලට බෙදා දුන් බත් සහ මිරිස් සැර යහමින් පැවති දඩමස් හොදි, ගොම මැටි පොලොව මත ඉඳගෙන, කඳුලු පෙරමින් කන අතර අද්මිරාල් ඇඩම් ඇන්ඩර්සන් තම ඉදිරි ක්‍රියාමාර්ගය සැළසුම් කරන්නට උත්සාහ කළේ ය.

"මේ වැඩේ අපි හිතපු තරම් ලේසි නෑ..."

ටිරෙල් තම නායකයා දෙස බැලුවේ අනුමත කරමිනි. "ඔව් අද්මිරාල්... අප්‍රිකාවෙ දැකපු තරම්වත් මෙහෙ වනාන්තර විශාල නොවුනට, වෙන කොහෙවත් දැකපු නැති මහ අමුතු දේවල්නෙ මෙහෙ තියෙන්නෙ..."

ඇන්ඩර්සන් තප්පර කිහිපයක් දෑස් පියාගෙන කල්පනා කළේ ය.

"අපිට මේ රටේ සෑහෙන කාලයක් ජීවත් වෙලා, මේ දේවල් මොනවද කියලා හොයන්න වෙනවා. අපි දෙයක් හොයාගන්න හදනවනම්, ඒක වටා තියෙන හැම බලවේගයක්ම හොඳට තේරුම්ගන්න ඕනෙ..."

"මොකද්ද අද්මිරාල් අර සිද්ධ වුනේ?"

"ඒක තමයි මම කිව්වෙ. මට හොඳටම විශ්වාසයි..." අද්මිරාල් සිය සගයාගේ කණට තම මුහුණ ළං කර කෙඳිරුවේ ය. "...මම දැක්කා අර ගහ උඩ හිටියෙ ගෑණියෙක් කියලා."

"ඒත් කොහොමද ඔය තරම් ඉක්මණට මිනිස්සු දෙන්නෙක් ගිණි තියන්නෙ? මොකටද එහෙම කරන්නෙ?"

"කවුරු හරි, එහෙමත් නැත්තං මොකක් හරි බලවේගයක්... අපේ ගමන එතනින් එහා යන්න දෙන්නෙ නැතුව අපිව වළක්වන්න උත්සාහ කළා. අපි දැනගන්න ඕනෙ ඒ කවුද, මොකද්ද කියන එක..."

කොළපතෙහි වූ කෑම සියල්ල කා ඉවර කළ අද්මිරාල් නැගිට්ටේය. "සෑහෙන කාලයක් ගතවෙයි. නමුත් අපි අවසානයේ ලබාගන්න දේ එක්ක බලනකොට... ඒ ගතවෙන කාලය සුළු දෙයක්."

ඔහු වසා තිබූ දැවමය දොරට මිට මෙළවූ අතින් තට්ටු කළේය. ඒ දොර පියන උඩ පියනක් සහ යට පියනක් සහිත එකක් විය. මඳ වේලාවකින් දොරෙහි උඩ පියන ඇරුණි. හුලු අත්තක් ඔසවාගත් කෙසඟ මිනිහෙක් එහි විය. අද්මිරාල් දකුණත මිට මොළවා මුවට ළංකොට මඳක් උඩට ඔසවා, යමක් පානය කරන ඉරියව්වක් මවා පෑවේය. කෙසඟ මිනිසා, සිය ඉණෙහි එල්ලාගෙන සිටි ලබු කැටයක් යුරෝපීය සිරකරුවාට දික් කළේය. ඇඩම් එය අතට ගන්නවාත් සමඟම දොරෙහි උඩ පියන වැසුණි.

ලබු කැටය පිරී තිබුණේ වතුරින් නොවන බව කටට ළං කරද්දී නැඟුනු සුවඳින් ඇන්ඩර්සන් ට වැටහුණි. එහෙත් එය ප්‍රණීත දියරයක් විය.

කුස නොව සිත පිරෙන තෙක් සිරකරුවෝ දෙදෙන, මාරුවෙන් මාරුවට ලබුකැටය හිස් කළහ. අවසානයේ තමන් නින්දට වැටුණේ කොයි අවස්ථාවේදැයි ඔවුන් නොදත්හ.

තවත් කොටසක් ළඟදීම...

Tuesday, October 29, 2019

ඌව කුඩාඔය මතක...

දැනට මාස කීපයකට කලින් අපට අවස්ථාව ලැබුණා සුවිශේෂී පුහුණු වැඩසටහනකට සහභාගි ‌වෙන්න. නායකත්වය සහ කණ්ඩායම් ‌ගොඩනැගීම ගැන ඒ පුහුණුව තිබුණෙ, ඌව කුඩාඔය ‌කොමාන්ඩෝ පුහුණු මධ්‍යස්ථානයෙ.

අපි එතනට යනකොට ‌බිං කරුවල වැටිලා. ඒ වුණත් අපිව වැදගත් විදිහට පිළිගෙන, පුහුණු මධ්‍යස්ථානය ගැන, අපේ පුහුණු වැඩසටහන ගැන, කාල සටහන, ක්‍රියාකාරකම්, ඇඳුම් පිළිවෙල... ඔය හැම ‌දෙයක් ගැනම අපිව දැනුවත් කළා, එතන ප්‍රධානියා විදිහට කටයුතු කළ නිලධාරියා. ඔහු ඉතාම ආචාරශීලී, වැදගත් ඒ් වගේම ‌ගුප්ත මහත්මයෙක්.

ගිය ගමං අපි උණුසුම්ව පිළිගත්තා

අපි එතන හිටියෙ දවස් හයක් විතර... ඒ දවස් හයෙන් පහකදිම අපට උදේ හයට පටන් ගත්ත ශාරිරික අභ්‍යාස  තිබුණා. දවස් ‌‌දෙකක් (මට මතක හැටියට) ‌යෝගා ව්‍යායාම තිබුණා. අනික් දවස් වල සාමාන්‍ය ව්‍යායාම. ඒ හැම ක්‍රියාකාරකමක්ම කළේ, කඳවුරේ තිබුණු උස ගල්තලාවක හදපු ‌කොන්ක්‍රීට් ‌වේදිකාවක් උඩ. සුවදායක පරිසරය සහ ඉර උදාවේ සුන්දර දර්ශනයක් එක්ක...


සූර්ය නමස්කාරම්...
අපි කණ්ඩායම 47 ‌දෙනෙක්... අපිව 12 - 11 කණ්ඩායම් වලට ‌බෙදලා, එක් එක් කණ්ඩායම්වලට සම්බන්ධීකාරකයන් විදිහට හමුදාවේ පුහුණුකරුවන් ලබා දුන්නා. උදේ ව්‍යායාමවලින් පස්සෙ, උදේ ආහාරය. ඊට පස්සෙ අපි කණ්ඩායම් විදිහට සම්බන්ධීකාරකයන් එක්ක, පුහුණු මධ්‍යස්ථානයේ ඒ ඒ තැන්වලට ගිහින්, අපට ලෑස්ති කරලා තිබුණු එක් එක් ක්‍රියාකාරකම්වලට සහභාගී වුණා. ඒ ක්‍රියාකාරකම් සම්පූර්ණ කරන්න පුළුවන් වුණු ආකාරයට අපට ලකුණු දුන්නා. ඒ ලකුණු මත අපේ කණ්ඩායම් අතර තරගකාරීබවක් ඇතිවුණේ අපටත් ‌නොදැනීම. ඒක එක ‌වෙලාවකට අපිි සමහර ‌දෙනාට මහ කරදරයක් විදිහටත් දැනුණා.

ඔය ක්‍රියාකාරකම්වලදි අපේ කණ්ඩායමේ පරණමාන අයියා හොඳ යෝජනාවක් කළා. දවසකට එක්කෙනක් නායකයා විදිහට පත් කරනවා. නමුත් ක්‍රියාකාරකමක් කරද්දි ඒක ගැන හොදටම තේරෙන තැනැත්තාට නායකත්වය දීලා එයාගෙ කමාන්ඩ් එකට කටයුතු කිරීම වැදගත්. අපේ කණ්ඩායම වැඩ කළේ ඒ විදිහට. අපි කරපු එක ක්‍රියාකාරකමක් හැරුණාම අනිත් හැම එකක්ම ලීඩ් කළේ පසිඳු.

අපේ කණ්ඩායම
"ටූ සීරෝඕඕඕඕ...!!!"
ඉදිරිපෙළ - මුදිතා, පසිඳු, මම, ප්‍රසන්න
පසුපෙළ - හිමාලි (නායිකාව) භාෂණි, කරන්, පරණමාන, සුරේන්, කිරුබා, රුවනි, ඩිලක්ෂිණි
ඒ වගේම තවත් ක්‍රියාකාරකම් තිබුණා අපට සමහරවිට ජීවිතේටම ‌නොලැබෙන අන්දමේ. අඩි විස්සකට වඩා උස බිත්තියක් වගේ කෙලින් ගලකින් ලණු ‌දෙකක ආධාරයෙන් බිමට බැසීම, අඩි පණහකට වැඩිය උස ‌ගොඩනැගිල්ලකින් ලණුවක ආධාරයෙන් බිමට බැසීම, කුඩාඔය වැව හරහා ඇදපු ලණුවක් දිගේ කප්පියක ආධාරයෙන් යාම වගේ ක්‍රියාකාරකම්...

බෲහී මං - ගල මුත්තමං...



ඔන්න ඔය ලනුව දිගේ යද්දි අපේ සුභාස්ට හරි වැඩක් වුණා. ඇඟ හරහා දාපු හානස් එක නම් පටි ගොඩකට එයිට් ඩිසෙන්ඩර් නමින් හැඳින්වුණු බකල් එකක් දාලා, ඒක ලණුවට දාපු කප්පියට හයි කරනවා. ඉතින් කුඹුක් ගහක් උඩ හයිකරපු ඉහළ අට්ටාලයෙ ඉඳන් ඔය කියන උපාංග හයිකරගෙන කකුල් දෙක උස්සගත්ත ගමං බබා වගේ ලණුව දිගේ එහා ඉවුරට යනව. සුභාස් මම හිතන්නෙ අට්ටාලෙන් පැන්නා. ඒ පැනීමෙන් ඇතිවුණු සෙලවීම නිසා ලනුවෙ මගක් දුරකදි කප්පිය පොඩ්ඩක් අහකට පැනලා කොල්ලා ඉද්ද ගැහුවා වගේ නතර වුණා.

Saving Cadet Subhas...

කමාන්ඩෝවරු අතරෙ එක පුහුණුකරුවෙක් හිටියා, බැලූ බැල්මට අවුරුදු විස්සක විතර යන්තම් රැවුලවත් ඇවිත් නැති බෙහොම කෙට්ටු තරුණයෙක්. නමුත් අපි හැම තැනකදිම එයාගෙ දක්ෂතාව අපි දැක්කා. අර කලින් කියපු ගළ දිගේ පහළට බහින අස්ථාවෙදිත්, එයා එක හුස්මට ලණුව අල්ලගෙන බොහොම වේගයෙන් ගල දිගේ ඉහළට නැගලා, ඒ වේගෙන්ම ආපහු පහළට බැස්සා.

ඔන්න ඔය තරුණයා අර කඹේ දිගේ එල්ලි එල්ලි ගිහින්, සුභාස් හිටපු තැනදි කඹේ උඩ ඉඳගත්තා. ඉඳගෙන, එයා අරං ගියපු කප්පියක් දාලා, තවත් එයිට් ඩිසෙන්ඩරයක් ගෙන්නගෙන ඒකෙන්, සුභාස්ව අලුත් කප්පියට මාරු කරලා, අනික් කප්පිය සකස් කරගෙන පහළට අරගෙන ගියා. ඔය වැඩේට පැය බාගයක්වත් ගියා, මම ඔය වාක්‍ය දෙකෙන් කිව්වට.

මේ කියපු ‌දේවලට අමතරව තව ඉතාම මනස්කාන්ත ක්‍රියාකාරකම් තිබුණත් ඒ ගැන මට කියන්න විදිහක් නෑ. ‌මොකද කියතොත්, ‌මේ පුහුණු වැඩසටහන කමාන්ඩෝ පුහුණු මධ්‍යස්ථානය විසින් ඕනෑම ආයතනයකට, ඕනෑම කණ්ඩායමකට ලබා ‌දෙනවා. ඉල්ලුම් කිරීමෙන් සහ නියමිත ගාස්තු ‌ගෙවීමෙන් ඒ අවස්ථාව ලබාගන්න පුළුවන්. ඉතින් ඔවුන් ‌බොහොම මහන්සි ‌වෙලා පිළියෙල කරන පුහුණු වැඩසටහ‌නේ අංග අපි ප්‍රසිද්ධ කළොත්, එතනට යන අය ඒවට කල්තියා ලෑස්ති ‌වෙලා සහභාගි ‌වෙන්නෙ. ඒකෙන් ඒ අයට ලබාදෙන්න බලාපොරොත්තුවෙන නැවුම් අත්දැකීම සහ පුහුණුව හරියාකාරව ලබාදෙන්න බැරිවෙනවා.

එක දවසකදි අපි ශාරීරික අභ්‍යාසය විදිහට කුඩාඔය කැළෑව මැද්දෙ තිබුණු මොනර කන්ද නැග්ගා. බොහොම අඩු බෑවුමක් තිබුණු දිගටි ගල්තලාවක් ඒක. ඒක මුදුනෙ චෛත්‍යයක හෝ කීපයක නටඹුන්, කුඩා පොකුණු එක්ක දේවාලයක් තිබුණා. ඒ කොටස නඩත්තු කරන්නෙ කමාන්ඩෝවරු.

අපි නොගියපු මොනරකන්ද...
 

අන්තිමේ අපේ කණ්ඩායම් හතර අතරෙ තිබුණු සුළු සුළු ‌වෙනස්කම් නැතිවෙන්න, අපේ කණ්ඩායම් ‌දෙක ‌බැගින් එකට එකතු කරලා මහා ක්‍රිකට් තරගයක් පැවැත්වුණා. ඒ ඉතාම විශිෂ්ඨ අන්දමින් ක්‍රීඩාශීලී සංගීතය සහ චියර් කිරීම් සමඟින් පැවැත්වුණා. ඒ වගේම අපි කණ්ඩායම් දෙකමට ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයම ඇතුළත් කරගත්තා...

තරගයේ වීරයා - කරන්...
  ක්‍රිකට් ගහන්න ඉතාම දක්ෂ අපේ කරන්, ශ්‍රීනාත්, වසන්ත, පරණමාන ආදී (‌මෙතනදි මට නම් වශයෙන් කියන්න අමතක වුණු උදවිය හීනෙන් ‌‌පෙනිලා මාව බය කරන්ඩ එපා...) උදවිය හිටපු නිසා මම ස්වකැමැත්තෙන් පණ කඩාගෙන චියර් කළා. අන්තිමේ අපේ කණ්ඩායම් ‌දෙකේ ‌කොඩි ‌දෙකත් උස්සගෙන පිට්ටනිය වටේ දුවන මට්ටමට ඒක උත්සන්න වුණා. ඒකට මට මනෝරිත් එකතුවුණා ‌දෙවන වටේදි.

මාත් මනෝරිත් පර්සි භූමිකාව නිරූපණය කරමින්...

තරගය අවසානයේ ඩෙඟා නටමින්...
අතර මැද දවසක අපට, එක හවස් වරුවක් ‌වෙන් කරගෙන පුහුණු මධ්‍යස්ථානයෙ අපේ පුහුණුව භාරව හිටි ප්‍රධාන නිලධාරියා, (‌මේ සුවිශේෂ මනුස්සසයගෙ නම සඳහන් කරන්න එපා කියල එයා කිව්වා. ඒකට එයා කැමති නෑ. මම හිතන්නෙ ආරක්ෂක අංශවල නිලධාරීන් කැමති නෑ නිරාවරණය වෙන්න...) ‌ගොඩක් උනන්දුවෙන් සහ මහන්සියකින් අපට ඉතාම වැදගත් ‌දේශන ‌පෙළක් පැවැත්වුවා. සහභාගි වුණු අපි 47 ‌දෙනා උසස් තනතුරුවලට පත්වීමෙන් පසුව අපේ චර්යාව හැඩගස්වාගත යුත්තේ ‌කොහොමද, මහජනතාව සහ ‌සේවලාභීන් ‌කෙරෙහි කටයුතු කළ යුත්තේ ‌කොහොමද, සහ රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරද්දි අපේ භූමිකාව ‌මොකද්ද යන ‌දේවල් ගැන අපට එයිට කලින් දැනුවත් කිරීම් ‌කෙරුණත්, ‌මේ මම කියන ‌දේශන මාලාව ඊට වඩා හාත්පසින්ම ‌වෙනස් සහ ප්‍රායෝගික පැත්තට බර වුණු එකක්.

ඇඳුම පැළඳුම ගැන තියෙන ප්‍රමිතීන්, ඒවයේ ප්‍රභේද, (ටයි එක ගළපන්නෙ ‌කොහොමද, ටයි ක්ලිප් ඒක ගහන්නෙ ‌කොයි තරම් උසකින්ද, වගේ ‌දේවල් පවා...) එක ‌දේශනයක්... ආහාර ගැන තියෙන ප්‍රමිතීන්, රාත්‍රී ‌භෝජන සංග්‍රයක තියෙන ‌දේවල්, එතන දි පිළිපැදිය යුතු ‌දේවල්, ආදිය තවත් ‌දේශනයක්. වෙනස් ‌වෙනස් මත්පැන් වීදුරු වර්ග, මත්පැන් වර්ග, ඒ්වා භාවිත කරද්දි තියෙන උපචාර තවත් ‌දේශනයක්...

මේ දේශනයෙන් පස්සෙ එදා රෑ අපට ප්‍රායෝගික පුහුණුවක් වශයෙන් රාත්‍රී ආහාරයකට සහභාගි වෙන්න ලැබුණා. වයින් සමඟ ඇපටයිසර්, සුප්, මාලු, මස්, සහ අතුරුපස කියන ෆයිව් කෝස් මීල් එකක්. ඒක ඉවර වෙලා දවසේ ප්‍රශ්නය අපෙන් ඇහුවෙ අපේ කණ්ඩායමේ කිරුබා.

"දැන්වත් අපට බඩ පිරෙන්න බත් දෙයි නේද?" තමයි ඒ ප්‍රශ්නය.

අවසාන ප්‍රථම රාත්‍රී භෝජන සංග්‍රහය

ඒ කෑම මේසයෙ තිබුණු හොඳම දේවල් තුන තමයි බ්‍රෙඩ් ඇන්ඩ් බටර් සහ ගම්මිරිස් කුඩු. ප්‍රධාන මේසයෙ ප්‍රධාන අමුත්තා සමඟ අපේ කණ්ඩායම් හතරෙ නායකයන් වාඩි වෙලා උන්නා. එතන සමීර සහ නිරෝශන ළඟ තිබුණු බ්‍රෙඩ් යන සාඩම්බර නමින් හැඳින්වුණු පොඩි බනිස් කූඩෙ අන්තිමේ ඉතුරු වුනේ එක බනිස් ගෙඩියයි... කියන්න සන්තෝසයි මිත්‍රවරුනි මා ළඟ ද එසේමැයි... (නැතුව මාලු කෑල්ලකුයි මස්කෑල්ලකුයි කාලා බඩගින්නෙ නිදාගන්ඩය...?)

මොන දේවල් විහිලුවට කිව්වත් එදා තිබුණු ඒ ට්‍රේනිං එක (දේශන සහ ප්‍රායෝගික) අපි නොදැන හිටපු ගොඩක් දේවල් කියා දුන්නා. එහෙම නොවුනනම් අනාගතේදි ඉහළ පෙලේ භෝජන සංග්‍රහවලට ගිහිල්ලා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය අපකීර්තියට පත් කරන්න අපට සිද්ධ වෙන්න තිබුණා...

මේ පුහුණු මධ්‍යස්ථානය තිබුණෙ ලඳු කැලෑවක් ආශ්‍රිතව. ඔය කැලෑව මැද්දෙ අපි එක එක ක්‍රියාකාරකම්වලට යනකොට, හැම ‌වෙලාවෙම, සියලු ‌දේ පිළිවෙලට ලෑස්ති කරලා තිබුණා. ක්‍රියාකාරකම් අතරෙ ලැබුණු ‌තේ විවේකය පවා, ළඳු කැලෑවේ පිරිසිදු ගස් ‌සෙවනක, එතනට කලින් ප්ලාස්ටික් පුටු ‌ගෙනල්ලා (අපි හැම ‌දෙනාටම ඇති වෙන්න.) බල්ලො නගිනවට ඒවා බිම ‌පෙරලලා, හැම ‌වෙලාවෙම ‌මොනවම හරි ‌කෙටි කෑමකුත් එක්ක කිරි තේ සහ ප්ලේන්ටී ලෑස්ති කරලා තිබුණා.

එක ක්‍රියාකාරකමක් තිබුණා අපි ගං ඉවුරට ගිහින් සපත්තු ගළවලා, කරපු. අපේ සපත්තු ඔක්කොම විධිමත්ව එකතු කරගත්ත කමාන්ඩෝවරු අපි ආපහු ඒනකොට අපි එසෙම්බල් ‌වෙන තැන අපේ කණ්ඩායම් අනුව ඉතාම නිවැරදිව සපත්තු ‌‌පෙළගස්වලා තිබුණා.

ඒ අය අපි බස් එකෙන් බැහැපු තැන ඉඳලා අපේ වැඩසටහන ඉවර ‌වෙන තැන දක්වා අපේ ක්‍රියාකාරකම් වීඩියෝ කරලා, අපට එඩිට් කරලා දුන්නා. ඒවගේම හැම වැදගත් අවස්ථාවක්ම ඡායාරූපගත කරලා දුන්නා. ඒක මාර සිහිවටනයක්... ඔය කටයුතු ඔක්කොම කළේ නිලධාරි දෙන්නෙක්, පෙන්ටියම් 4 කම්පියුටරයකින්. සමහර දවස් තිබුණා, දවසේ කටයුතු ඉවර වෙලා රෑ කෑමට කලින් අපට එදා දවසෙ ප්‍රගතිය බ්‍රීෆ් කරපු අවස්ථා. ඒ හැම වෙලාවකදිම අර මාධ්‍ය කණ්ඩායම අපි කරපු ක්‍රියාකාරකම්වල වීඩියෝ එඩිට් කරලා ලෑස්ති කරලා තිබුණා. ඒ වගේම ඒ හැම වෙලාවකදිම ප්ලග්පොයින්ට් පවර්පොයින්ට් ප්‍රසන්ටේෂන් එකකින් තමයි බ්‍රීෆින් කළේ. ඒ හැම දෙයක්ම කිසිම අඩුපාඩුවක් කියන්න තියන්නැතුව, නූලට ලෑස්ති කරල තිබුණා.

මේ විදිහට අපි ‌මේ කැලෑව ඇතුලෙදි දැක්කා රජයේ ආයතනයක දකින්න තිබුණු ඉහළම මට්ටමටත් වැඩියෙන්, ක්‍රියාකාරකම් සහ කටයුතු සංවිධානය කිරීමේ හැකියාව. නමුත් අපේ පුහුණුව සම්බන්ධයෙන් ක්‍රියා කරන්න හිටියෙ එක් ඉහළ නිලධාරියෙක් සහ සහායක නිලධාරීන් දහයක් විතර ‌පොඩි ප්‍රමාණයක්...

අනික් ‌දේ තමයි කැළෑව මැද්දෙ, හමුදා මධ්‍යස්ථානයක් මැද්දෙ අපි දැකපු මහත්මා ගතිය. සියලුම නිලධාරීන් අපට ඉතාම ඕනෑකමින් ඇහුම්කන්දෙමින් සහ ආචාරශීලීබවින් සැළකුවා. එතන හිටපු උසස් නිලධාරියාගේ පටන් පහළට සියලු ‌දෙනාම මහත්වරු විදිහට හැසිරුණා.

ඔය ‌දේවල් ගැන මම, දිනේශ්, ජානක, ලලිත් සහ තවත් කීප ‌දෙනෙක් අවසාන රාත්‍රියෙදි අපේ ප්‍රශංසාව අර කියපු ඉහළ නිලධාරියාට ප්‍රකාශ කළා. එතනදි එයා කිව්වෙ එක ‌දෙයයි. ඒක හැම රාජ්‍ය ආයතනයකම තියෙන, බොහෝවිට සංකල්පයට සහ ලියවිල්ලට සීමා වුණු ‌දෙයක් වන රාජකාරි පැවරීම... ඒ දේ එයා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරනවා. සියලු රාජකාරි කුඩා ‌කොටස්වලට කඩලා, ලිඛිතව පවරනවා. ඒ පවරන ලද පුද්ගලයා ඒ ‌දේවල් ඉටු ‌නොකළොත් ඒක "නීත්‍යානුකූලව පවරණ ලද රාජකාරි පැහැර හැරීම" යන චෝදනාව යටතේ විනය ක්‍රියාමාර්ග ගැනීමට ‌හේතුවක් ‌වෙනවා.

පුහුණුවෙ අවසාන රාත්‍රිය අපට අමතක ‌නොවන අත්දැකීමක් බවට පත් කරන්න කමාන්ඩෝවරු ක්‍රියා කළා. මහා ගිණිමැලයක් සමඟින් වැල්ලවාය ඉන්න ‌හොඳම ඩීජේ ‌ගෙන්වලා කරපු ඩීජේ රාත්‍රියක්... අපි හැම ‌දෙනාටම විනෝදය සපයන්න ‌‌මොන ම හරි ක්‍රමයක් ‌එතන තිබුණා. ඉතාම පොඩි සන්දියෙ හැරුණාම මගේ ජීවිතේටම මම නටපු එකම අවස්ථාව තමයි ඒක...

අන්තිමේ පහුවදා උදේ අපි එතනට සමුදුන්නේ ඉතාම අකමැත්තෙන්... අපි ඉතාම බහුතරයක් ‌දෙනා දරු පවුල්කාරයො. දවස් හයක් අඹු දරුවන්ගෙ මූණු බලන්නැතුව ඉන්න අමාරුයි. ඒ වුණත් අපි ඌව කුඩාඔය දාලා ආවෙ අමාරුවෙන්.

කමාන්ඩෝ කැමරා ඇසට හසුවූ විශේෂ අවස්ථා අතරින්...

"තඩියා to චූටියා යන්ත්‍රය" පළමුවතාවට ක්‍රියාත්මක කරමින්
එහි නිර්මාපකයා වන Mr. Niroshana සහ
ඔහුගේ සුන්දර ඇසිස්ටන්ට් Mrs. Gray-temple

පොල් ගාමින්...

මෙතන තියෙන්නේ බටු කරියකි...
(ගානිෂ් එක හැදුවෙ මං)

පාංපිටි නමස්කාරම්...

ගංවතුරට හසුවූ ලබු මැස්සක් ගොඩ ගනිමින්...

Monday, May 20, 2019

වෙසක් කළාපය - වසලයෙකුගේ ලක්ෂණ (වසල සූත්‍රය ඇසුරින්)

බුදු හාමුදුරුවෝ සැවැත් නුවර ජේතවන නම් උයනේ අනේපිඬු සිටුවරයා තැනවූ විහාරයේ වාසය කරන කාලයක, දවසක් උදේ වරුවේ උන් වහන්සේ සැවැත් නුවර පිඬු සිඟා වැඩියා. එදා අග්ගික භාරද්වාජ නම් බමුණා, ගේ ඉදිරිපිට යාග ගින්නක් සකස් කරගෙන හිටියා. බුදු හාමුදුරුවන් තමන්ගේ ගේ දිහාට එන බව දුටු අග්ගික භාරද්වාජ,

"තට්ටයා ඔතනම නවතිණු. මහණා ඔතනම නවතිණු. වසලයා ඔතනම නවතිණු!" කියා කීවා.

https://live.staticflickr.com/7755/27472073185_f6f990c25b_b.jpg

ඒ ඇසූ බුදු හාමුදුරුවෝ, "බමුණ, ඔබ වසලයෙක් කරන දේ අනුව වසලයෙක් වෙන්කර අඳුනාගන්න දන්නවාද?" කියා ඇසුවා.

"මම දන්නෙ නෑ. ඔබ දන්නවානම් මට කියන්න" බමුණා කිව්වා.

"එහෙනම් අහගන්න..." කියා බුදු හාමුදුරුවෝ ඔහුට වසල සූත්‍රය දේශනා කළා.

කෙනෙක් නිතරම කේන්ති ගන්නවානම්,
වෛර බඳිනවානම්,
අනුන්ගේ ගුණ නසන පාපී ගති ඇත්නම්,
සම්‍යක් දෘෂ්ඨියෙන් ඈත් ව සිටිනවා නම්,
කපටි ප්‍රයෝග කරනවා නම්,

සතුන්ගේ සහ පක්ෂීන්ගේ පණ නසන්නේ නම්,
සත්ත්වයින් ගැන දයාවක් නැත්නම්,

ගම්මාන විනාශ කරන්නේනම්,
ගම්මාන වටළාගන්නේනම්,
ගම්මාන කොල්ලකන හොරෙක් කියා ප්‍රසිද්ධ වන්නේනම්,

ගමක හෝ කැලෑවක හෝ අනුන් සතු දෙයක් හෙර සිතකින් ගන්නේ නම්,

ඒකාන්තයෙන්ම ණයක් ගෙන, එය ඉල්ලන විට මම ඔබට ණය නැතැයි ප්‍රතික්ෂේප කරනවානම්,

පාරේ යන අය මරා ඔවුන්ගේ සුළු හෝ වස්තුව පැහැර ගන්නවානම්,

තමන් නිසා හෝ
අනුන් නිසා හෝ
ධනය නිසා හෝ
බොරු සාක්ෂි දෙනවානම්,

නෑයෙකු ගේ හෝ යාළුවෙකුගේ භාර්යාවක්
බලහත්කාරයෙන් හෝ ඒ ගැහැණියගේත් කැමැත්තෙන්
අනාචාරයට පොළඹවා ගන්නේනම්

බොහෝ ධනය ඇතිවත්
මහළුවූ දෙමාපියන් පෝෂණය නොකරන්නේනම්

දෙමාපියන්ට හෝ බෑණාට හෝ ලේලියට
හිංසා කරනවානම්
වචනයෙන් ක්‍රෝධ කරනවානම්

නොදන්නා යමක් ඇසූ විට අහිතකර දෙයක්ම කියනවානම්
ඇත්ත නැත්ත කර උත්තර දෙනවානම්

පව් කරමින්, කවුරුවත් ඒක දැනගන්නවාට අකමැතිනම්
අනුන්ට නොදැනෙන්නට කරන ළාමක ක්‍රියා ඇත්නම්

වෙනත් ගෙදරකට ගොස් රසවත් ආහාර වළඳා
ඒ අය තමන්ගේ ගෙදරට ආවිට සංග්‍රහ නොකරන්නේනම්

බමුණෙකු හෝ මහණෙකු හෝ වෙනත් යාචකයෙකු
තමන්ගේ ගෙට ආ විට බොරු කියා රවටන්නේනම්

බමුණෙකු හෝ මහණෙකු කෑම කන වෙලාවේ තමන්ගේ ගෙට ආ විට
බැණ වදිනවානම්
කිසිවක් දෙන්නේ නැත්නම්

මෙ ලෝකයේ යමෙක් මෝඩකමින්
කවුරු හරි දෙයක් ලැබෙනවාට කැමැත්තෙන් තමන් වෙත ආ විට
දුෂ්ඨ කතා කියන්නේනම්

මානය නිසා පිරිහීමෙන්
තමන් උසස් කියා ද, අනික් අය පහත් කියා ද සළකන්නේනම්

ලෝකයේ සත්ත්වයින්ට කෝප කරන්නේනම්
තද මසුරෙක් නම්
නැති ගුණ ඇති බව පෙන්වන්නේනම්
ලැජ්ජා නැති පවට බය නැති කෙනෙක්නම්

බුදුන්ටත්, එතුමාගේ ශ්‍රාවකයන්ටත්,
පාරිබ්‍රාජකයන්ටත්, ගිහියන්ටත්
පිරිහෙලා කතා කරන්නේනම්

මේ අය වසලයෝ වෙති

කෙනෙක් රහත් නොවී රහත් බව අඟවන්නේනම්
ඔහු පළමුවෙනි මහ සොරා වෙයි
වසලයින්ගේත් අධමයා වෙයි

උපතින් කෙනෙක් වසලයෙක් නොවේ
උපතින් කෙනෙක් බ්‍රාහ්මණයෙක්ද නොවේ
කෙනෙක් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් වන්නේ ඔහුගේ ක්‍රියාවන් අනුවයි

මගේ දේශනය මේ උපමාවෙන්ද තේරුම් ගන්න
කෑම සඳහා බලු මස් උයන (සැඩොල්?) සෝපාක හෙවත් මාතංග නමින් ප්‍රසිද්ධ වූ කෙනෙක් සිටියා

ඒ මාතංග, හීන කුළයේ උපන් කෙනෙකුට ඉතා දුර්ලභ වූ කෙතරම් උසස් යසසකට පැමිණියාද කියතොත්
එතුමාට උපස්ථාන කරන්න ක්ෂිත්‍රියයෝ ද බ්‍රාහ්මණයෝද පැමිණියා

එතුමා බුදුන් ආදී අය ගේ පාරේ යමින් කාමරාගය නැති කොට අවසානයේ බ්‍රහ්ම ලෝකයේ උපන්නා

හීන කුලයේ ඉපදීම එතුමා බ්‍රහ්ම ලෝකයේ ඉපදීම වළක්වන්න සමත් වුණේ නෑ

වේද ඉගෙනීම උපතින් හිමි කරගත්, වේදයම පිළිසරණය කොටගත් බ්‍රාහ්මණයෝ නිතර පව් කම් කරනවා දකින්න පුළුවන්

ඔවුන් මේ ජීවිතයේදී සමාජයෙන් ගැරහීමට ලක් වෙනවා
පරලොවදී දුකට පත් වෙනවා.
ඉහළ කුළයක ඉපදීම ඔවුන්ට මෙලොව ගර්හාවෙන් හෝ පරලොව දුගතියෙන් හෝ ගළවාගැනීමට සමත් වෙන්නේ නෑ

උපතින් කෙනෙක් වසලයෙක් නොවේ
උපතින් කෙනෙක් බ්‍රාහ්මණයෙක්ද නොවේ
කෙනෙක් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් වන්නේ ඔහුගේ ක්‍රියාවන් අනුවයි

මෙසේ බුදුහාමුදුරුවෝ දේශනා කළාට පස්සේ අග්ගික භාරද්වාජ,

"ගෞතමයන් වහන්ස, බොහෝම මනහරයි. යටිකුරු කර තිබුණු දෙයක් උඩුකුරු කරලා පෙන්වනවා සේ, වසා තිබූ දෙයක් ඇර පෙන්වනවා සේ, මං මුළා වූ කෙනෙකුට පාර පෙන්වනවා සේ, ඇස් ඇති අයට පෙනේවා කියා අඳුරේ පානක් අල්ලාගෙන ඉන්නා සේ, ඔබ නොයෙක් ආකාරයෙන් ධර්මය කියාදුන්නා. මම ඔබත්, ඔබේ ධර්මයත්, ඔබගේ ශ්‍රාවකයනුත් සරණ යනවා. අද පටන් දිවි ඇති තෙක් ඔබ සරණ ගිය උපාසකයෙක් වෙනවා" කියා කීවා.

මගේ එකතු කිරීම

වසල සූත්‍රය ඇසුරින් සිසිර කුමාර මාණික්ක ආරච්චි ලියපු, ඒ. ජේ. කරීම් ගායනා කරපු ගීතය මේ...



භාරද්වාජ වරු දෙන්නෙක් මට මතක හැටියට ඉන්නවා. "අග්ගික" කියන්නෙ අග්නියක් සම්බන්ධ නිසා වෙන්න ඕනෙ. අනික් කෙනා තමයි බුදු හාමුදුරුවන්ට දානෙට ආරාධනා කරලා කට රිදෙන තුරු බැණපු "අක්කෝසක" හෙවත් ආක්‍රෝෂක... මට හිතෙනව මේ දෙන්නා වෙන වෙනම අඳුනගන්න නමට මුලින් ක්‍රියා විශේෂණයක් දාල වෙන්නැති කියල.

අනික තමයි, සිංහල බෞද්ධයන් සහ බුද්ධාගමේ ආරක්ෂකයන් විදිහට පෙනී සිටින උදවිය කොයි තරම් නම් බුදුන් වදාළ ධර්මයේ හැටියට වසල වැඩ කරනවාද කියන එක...

මූලාශ්‍ර
https://www.thripitakaya.org/sutta/index/21126
https://suttacentral.net/snp1.7/si/zoysa

ත්‍රිපිටකය සම්පූර්ණයෙන් කියවන්න ආස අයට මෙන්න
https://thripitaka.org/

Friday, May 10, 2019

අංගුලිමාල ගැන - වෙසක් කළාපය

අංගුලිමාල සූත්‍රයෙ තියෙන්නෙ මොනවද? මේ පහළ තියෙන්නෙ ඒ සූත්‍රය මුල සිට සිංහලෙන්...

බුදු හාමුදුරුවෝ එක කාලයක සැවැත් නුවර ආසන්නයේ ජේතවන නම් උයනේ අනේපිඬු සිටුවරයා ඉදිකරවා පූජා කළ ආරාමයේ වාසය කළා.

ඒ කාලයේ ප්‍රශන්නජිත් කොසොල් රජු ගේ පාලනයට යටත් වුණු කොසොල් ජනපදයේ රෞද්‍ර වූ, ලේ තැවරුණු අත් ඇති, මැරීමෙහි සහ විනාශ කිරීමෙහි යෙදුණු, ප්‍රාණීන් ගැන කරුණාවක් නැති අංගුලිමාල නම් හොරෙක් වාසය කළා. ඔහු නිසා ගම්, නියම්ගම්, ජනපද පාලුවට ගියා. ඔහු මිනිසුන් මරා ඔවුන්ගේ ඇඟිලිවලින් බැඳපු මාලයක් දැරුවා. (මට පොඩි කාලෙ ඉඳන් තිබුණු ප්‍රශ්නයක් තමයි, දවස් කීපයක් යද්දි ඔය ඇඟිලි කුණු වෙනව නේද? එතකොට ඔය මනුස්සයට ලෙඩ හැදෙන්නැද්ද? කියන කාරණා)


ඉතින් දවසක් බුදු හාමුදුරුවෝ හවස් කාලයේ අංගුලිමාල කියන හොරා ඉන්න ප්‍රදේශයට වැඩම කරන්නට ඒ දෙසට තියෙන පාරෙ ගමන් කළා. එතුමා දැකපු ගොපල්ලෝ, සතුන් බලන්නෝ, ගොවියෝ, මගියෝ ආදී අය අංගුලිමාල ගේ රෞද්‍රකම ගැන කියලා, එතුමා වළක්වන්නට තැත් කළා. "මේ පාරෙ යනවනම්, දහදෙනෙක්, විසි දෙනෙක්, තිස් දෙනෙක්, හතළිස් දෙනෙක්, පණස් දෙනෙක් ආදී වශයෙන් කණ්ඩායම් විදිහටයි මිනිස්සු යන්නේ. ඒත් අංගුලිමාලගෙන් බේරුණු කෙනෙක් මේ වන තෙක් හිටියෙ නෑ" කියලත් කිව්වා. ඒත් බුදු හාමුදුරුවෝ ඔවුන්ට උත්තර නොදී දිගටම ගමන් කළා.

අංගුලිමාල දුරදීම බුදු හාමුදුරුවන් දැක්කා. "සාමාන්‍යයෙන් මේ පාරෙ මිනිස්සු යන්නෙ කණ්ඩායම් විදිහට. පණහක් ආවත් මගෙන් විනාශ වුණා මිසක් බේරුණු කෙනෙක් නෑ. ඒත් මේ මහණා තනියම එන්නෙ. මොකක් නමුත් බලවත් කමක් නිසා. මම මේ මහණා මරණවා" කියා අංගුලිමාල හිතුවා.

ඉතින් අංගුලිමාල කඩුවත්, පළිහත් අරගෙන, දුන්න ඇද ගෙන බුදු හාමුදුරුවන් පස්සෙ ලුහු බැන්දා. සාමාන්‍ය ගමන් විලාසයෙන් යන බුදු හාමුදුරුවන් ට, පුළුවන් තරම් වීර්යයෙන්, ශක්තියෙන් එළවන අංගුලිමාල ට කිට්ටු වෙන් බැරි වන විදිහේ සෘධියක් බුදු හාමුදුරුවෝ පෑවා.

"පුදුමයි. මම මීට කලින් දුවන ඇතෙක්, අශ්වයෙක්, රථයක් වුණත් එළවාගෙන ගිහින් අල්ල ගන්නවා. දුවන මුවෙක් උනත් මට අල්ලගන්න පුළුවන්. ඒත් මේ සාමාන්‍ය ගමනින් යන මහණා අල්ල ගන්න බෑ." අංගුලිමාල පුදුම වුණා.

"මහණ, සිටු!" අංගුලිමාල නැවතිලා, කෑගැහුවා.

"අංගුලිමාල, මම නැවතුණා. නුඹත් නවතින්න" බුදු හාමුදුරුවෝ කිව්වා.

"මේ ශාක්‍ය පුත්‍ර ශ්‍රමණයා ඇත්ත කතා කරනවලු. ඒත් මේ ශ්‍රමණයා යන ගමන්ම, "මම නැවතුණා. නුඹත් නවතින්න" කියනවා. මම මේක අහන්න ඕනෙ..." කියා අංගුලිමාලට හිතුණා.

"ඔබ යමින් සිට, මම නැවතුණා කියනවා. නැවතුණු මට නවතින්න කියනවා. ඔබ නැවතුණා කියන්නෙත්, මම නැවතුනේ නැතැයි කියන්නෙත් කොහොමද?" කියා අංගුලිමාල ඇහුවා.

"අංගුලිමාල, මම හැම විටම කිසිම සතෙකුට හිංසා නොකර සිටිමි. ඔබ සතුන්ට හිංසා කරමින් සිටියි. ඒ කාරණයෙන්, මම නැවතිලා, ඔබ නැවතිලා නෑ..." බුදු හාමුදුරුවෝ වදාළා.

"මේ ශ්‍රමණයා ඒකාන්තයෙන්ම මට කරුණවෙන් මේ කැළෑවට වැඩියේ. මටත් සෑහෙන කාලයකින් ධර්මය ගැබ්වුණු කියමනක් අසා, අකුසල් දුරු කරන්න ලැබුණා..." මෙහෙම හිතලා අංගුලිමාල නම් හොරා ආයුධ ගැඹුරු වළකට දාලා, බුදු හාමුදුරුවන්ට වැන්දා. ඒ ගමන්ම "මා පැවිදි කරන්න" කියලා ඉල්ලුවා.

බුදුහාමුදුරුවෝ එයාට, "මහණ, මෙසේ එන්න" කියා පැවිදි කළා. (ඒහි භික්ඛු භාවයෙන්... මෙහෙම මහණ වෙන්න නම් ගිය ආත්ම වල පිරිකර පූජා කරල තියෙන්න ඕනෙලු කියලා බාහිය දාරුවීරිය කතාවෙදි කියනවා... (කොහොමද මාකටින්?))

ඉන්පසු අංගුලිමාල හාමුදුරුවෝ බුදු හාමුදුරුවන් පසුපසින් සැවැත් නුවරට වැඩියා.

එදා ප්‍රශන්නජිත් කෝසල රජතුමාගෙ මාළිගාවේ දොරටුව ළඟ නගර වැසියෝ එකතු වෙලා උද්ඝෝෂණයක් කළා, අංගුලිමාල නම් හොරාගෙන් ජනපදය බේරා දෙන්න කියලා. ඒක ඇහුණු රජතුමා පන්සීයක් අශ්වාරෝහකයන් අරගෙන රථයකින් පිටත් වෙලා, ජේතවනාරාමයට ආවා. ඇවිත් රථයෙන් බැහැලා පා ගමනින් ඇවිත් බුදු හාමුදුරුවන් බැහැ දැක්කා.

"මොකද මහරජ, මගධ රටේ බිම්බිසාර රජු හෝ, විශාලාවේ ලිච්ඡවි රජ දරුවන් හෝ වෙනත්  සතුරු රජ කෙනෙක් කිපිලා ද?" කියා බුදු හාමුදුරුවෝ ඇහුවා. (මම බෞද්ධ සාහිත්‍යයේ කීප විටක්ම දැකලා තියෙනවා ඔය විදිහට උත්තරය දැන දැන, ප්‍රශ්න අහන අවස්ථා)

"හාමුදුරුවනේ, සතුරු රජ කෙනෙක් නෙවෙයි, මගේ ජනපදයේ රෞද්‍ර, අංගුලිමාල නම් ඝාතකයෙක් ඉන්නවා. මම ඔහු වළක්වන්න යන්නෙ" රජතුමා කිව්වා.

"මහරජ, ඔය කියන අංගුලිමාල: කොණ්ඩය, රැවුළ කපලා, කසාවත ඇඳලා, ගිහි ගෙයින් නික්මිලා, පැවිදි වෙලා, සතුන් මැරීමෙන්, සොරකම් කිරීමෙන්, බොරු කීමෙන් වැළකිලා, දවසට එක වේලක් අනුභව කරලා, බ්‍රහ්මචාරී වෙලා, සිල්වත් වෙලා, යහපත් වෙලා ඉන්නවා දැක්කොත් ඔබ මොකද ඔහුට කරන්නේ?" බුදු හාමුදුරුවෝ ඇහුවා.

"එහෙනම් මම එතුමාට වඳිනවා. මම ඉන්න ආසනයෙන් නැගිටිනවා, ආසන පණවනවා. පිරිකර පූජා කරනවා. ධාර්මික විදිහට එතුමාට ආරක්ෂාව සපයනවා." කෝසල රජු කිව්වා "ඒත් හාමුදුරුවනේ, ඒ වගේ දුස්සීල, ළාමක මනුස්සයෙක් ඔය කියන විදිහේ සංවරයක් ඇති කරගන්නෙ කොහොමද?"

ඒ ගමන බුදුහාමුදුරුවෝ ඒ අසළ තැනක වැඩ හිටපු අංගුලිමාල තෙරුන්ට අත දික් කරලා, "මහරජ, මේ ඉන්නේ ඒ අංගුලිමාල" කියා පෙන්නුවා. ඒ දැකපු රජතුමාට, බය හිතුණා. තැති ගැනුනා, ලොමු ඩැහැගැන්මක් ඇති වුණා. ඒක දැකපු බුදු හාමුදුරුවෝ, "මහරජ බය වෙන්න එපා." කිව්වා. ඒ වචන වලින් බය නැතිවුණු රජතුමා, අංගුලිමාල තෙරුන් ළඟට ගියා.

"හාමුදුරුවනේ, ඔබ වහන්සේ අංගුලිමාල හාමුදුරුවොද?" රජතුමා ඇහුවා.

"මහරජ, ඔව්" එතුමා කිව්වා.

"ඔබවහන්සේ ගේ පියා ගේ ගෝත්‍රය මොකක්ද, මව් ගේ ගෝත්‍රය මොකක්ද?" (මේ ප්‍රශ්නය හරියට කෝසල රජතුමාට බුදු හාමුදුරුවන්ගේ වචනය විශ්වාස කරන්න බැරි වෙලා ඇහුවා වගෙයි.)

"මහරජ, මගේ පියා ගර්ග ගෝත්‍රයේ. මව් මන්තානී නම් බැමිණිය."

"එසේනම්, ඔබ වහන්සේ ශාසනයේ ඇලී වාසය කරත්වා. මම ඔබට සිව්පසයෙන් පිදීමට උනන්දුව ඇති කරන්නම්" රජතුමා කිව්වා.

අංගුලිමාල තෙරුන් ආරණ්‍යක, පිණ්ඩපාතික, පාංශුකූලික වගේම තුන් සිවුර පමණක් දරන හාමුදුරු නමක් වූ නිසා, "මහරජ, ඒක අවශ්‍ය නෑ. මට තුන් සිවුර සම්පූර්ණයි." කිව්වා.

ප්‍රශන්නජිත් කෝසල රජතුමා බුදු හාමුදුරුවන් ළඟට ආවා. ඇවිත් වැඳලා, "හාමුදුරුවනේ, පුදුමයි. ඔබ වහන්සේ දමනය කළ නොහැකි අය දමනය කරනවා. සංසිඳුවන්න බැරි අය සංසිඳුවනවා. කෙලෙස් නිවා නැති අය නිවනවා.

"අපි දඬු මුගුරුවලින්, ආයුධවලින් උත්සාහ කරලා දමනය කරන්න අපොහොසත් වෙනවා. ඒ උදවියම ඔබ වහන්සේ දණ්ඩෙන්, ආයුධවලින් තොරව දමනය කරනවා."

මෙහෙම කියලා රජතුමා බුදු හාමුදුරුවන්ට වැඳලා ආපහු ගියා.

දවසක් අංගුලිමාල හාමුදුරුවෝ පිඬුසිඟා වැඩියා. ඒ ගිය එක් ගෙදරක ගර්භයේ හරහට පිහිටපු දරුවෙක් බිහි කරන්න වේදනා විඳින ස්ත්‍රියක් දුටුවා. පිඬු සිඟා යාමේ කටයුත්ත ඉවර වුණාට පස්සේ එතුමා බුදු හාමුදුරුවන් ළඟට වැඩියා.

"ස්වාමීනී, මම සැවැත් නුවර පිඬු සිඟා යද්දි, දරු ගැබ හරහට පිහිටීමෙන් වේදනා විඳින එක්තරා ස්ත්‍රියක් දුටුවා." අංගුලිමාල තෙරුන් කිව්වා.

"එහෙනම් ඔබ එතනට ආපහු යන්න. ගිහින් ඒ ස්ත්‍රියට, "නැගණිය, මම උපන්දා සිට සතෙකුගේ ජීවිතය දැන දැන හාණි කළ බවක් නොදනිමි. ඒ සත්‍ය වචනය නිසා ඔබට සැපක් වේවා. දරු ගැබටත් සැපක් වේවා!" කියා කියන්න." බුදු හාමුරුවෝ වදාළා. (ඒකත් අර උඩ කිව්වා වගේ දැන දැන වෙන දෙයක් කියන අවස්ථාවක්. මම හිතන්නේ පසු කාලයකදී බණකතා කාරයන් එකතු කරපු දෙබස් වෙන්නත් පුළුවන්. නැත්නම් දැනට අවුරුදු දෙදාස් හයසීයකට විතර කලින් ඉන්දියාවේ කතා කරපු විලාසය වෙන්නත් පුළුවන්...)

"ස්වාමීනී, මම එහෙම කිව්වොත් ඒක බොරුවක් වෙනවා." අංගුලිමාල හාමුදුරුවෝ කිව්වා.

"අංගුලිමාල, එහෙනම් ඔබ ගිහින් මෙහෙම කියන්න. "නැගණිය, මම ආර්ය ජාතියේ උපන් දා පටන් දැන දැන සතෙකු ජීවයෙන් තොර කළ බව නොදනිමි ඒ සත්‍ය වචනය නිසා ඔබට සැපක් වේවා. දරු ගැබටත් සැපක් වේවා!" කියා කියන්න." බුදු හාමුරුවෝ වදාළා."

ඒ අනුව අංගුලිමාල තෙරුන් ඒ ගෙදරට වැඩම කරලා, ඒ ස්ත්‍රියට, "නැගණිය, මම ආර්ය ජාතියේ උපන් දා පටන් දැන දැන සතෙකු ජීවයෙන් තොර කළ බව නොදනිමි ඒ සත්‍ය වචනය නිසා ඔබට සැපක් වේවා. දරු ගැබටත් සැපක් වේවා!" කියා වදාළා. එයින් ඒ ස්ත්‍රිය සුවපත් වුණා. දරු ගැබත් සුවපත් වුණා.

ඉන්පසු අංගුලිමාල තෙරුන්, තනිවම, විවේකීව, කෙළෙස් නැතිකිරීමේ වීර්යයෙන්, තමන් ගැන ආලය අත්හැර වාසය කරමින්, කෙටි කාලයකින්ම රහත් බව ලබාගත්තා.

ඉන්පසු දවසක, අංගුලිමාල රහතන් වහන්සේ සැවැත් නුවර පිඬු සිඟා වඩිද්දී, වෙනපැත්තකට ගහපු ගලක්, දණ්ඩක්, කැටකැබිලිති, එතුමාගේ ඇඟේ වැදුණා. ඉතින් එතුමා හිස පැළිලා, ගලන ලෙයින් නැහැවිලා, පාත්‍රය කැඩිලා, සිවුරු විසිරිලා ගිහින් බුදු හාමුදුරුවන් ළඟට වැඩියා. බුදු හාමුදුරුවෝ අංගුලිමාල රහතන් වහන්සේ ඈතදීම දැකලා, "බමුණ, ඉවසන්න. කර්මයක විපාකය නිසා අවුරුදු ගණන්, අවුරුදු සිය දහස් ගණන්, නරකාදියේ පැසෙමින් ඉන්න වෙනවා. නමුත් ඔබ ඒ විපාකය මේ ආත්මයේදීම විඳිනවා." කියා වදාළා.

එවිට අංගුලිමාල රහතන් වහන්සේ නිවන් දුටු තැනැත්තෙක් විදිහට තමන්ගේ සතුට ප්‍රකාශ කරන්න මේ විදිහට කිව්වා...

1. කලින් ප්‍රමාද වූ කෙනෙක් පසුව අප්‍රමාද වෙනවා නම්, ඒ තැනැත්තා වළාකුළෙන් මිදුණු සඳ වගේ ලෝකය බබලවයි.

2. කෙනෙක් කලින් අකුසල කර්ම කරලා, ඉන්පසු කරන කුසල් කර්මවලින් ඒවා වසා දමන්නේ නම්, ඒ තැනැත්තා වළාකුළෙන් මිදුණු සඳ වගේ ලෝකය බබලවයි.

3. තරුණ මහණෙක් බුදුන්ගේ ශාසනයේ වීර්යයෙන් යුක්තව වාසය කරනවානම්, ඒ තැනැත්තා වළාකුළෙන් මිදුණු සඳ වගේ ලෝකය බබලවයි.

4. මගේ සතුරෝ ධර්මානුකූල කතා අසත්වා, මගේ සතුරෝ බුදුන්ගේ ශාසනයේ වීර්යයෙන් යුක්තව වාසය කරත්වා, මගේ සතුරෝ ධාර්මික සත්පුරුෂයන් ආශ්‍රය කරත්වා.

5. මගේ සතුරෝ: ඉවසීම ප්‍රකාශ කරන, මෛත්‍රියට ප්‍රශංසා කරන අයගේ ධර්මය නියම කාලයේදී අසා, ඒ ධර්මයට අනුව කටයුතු කරත්වා.

6. ඔවුන් මට හිංසා නොකරත්වා, වෙනත් අයටත් හිංසා නොකරත්වා, නිවණ අවබෝධ කරගෙන කෙළස් රහිත හා සහිත සත්ත්වයන් ආරක්ෂා කරත්වා.

7. දිය මං තනන්නෝ තමන්ට උවමනා තැනට දිය බැස යාමට සළස්වති. ඊ වඩුවෝ දඬුවල ඇද අරිති. වඩුවෝ යතු ගා දඬු ඇද අරිති. එසේම නුවණැත්තෝ තමන් දමනය කරගනිති.

8. සමහරු දණ්ඩෙන්, හෙණ්ඩුවෙන්, කසයෙන් හෝ සැමිටියෙන් දමනය කරති. අටලෝ දහමින් කම්පා නොවන සර්වඥයන් වහන්සේ දණ්ඩක් හෝ ආයුධයක් නැතිව මා දමනය කළ සේක.

9. මීට කලින් මට "අහිංසක" යැයි නමක් තිබුණා. අද මම ඒ නම සත්‍ය වශයෙන් දරණවා. මම කිසිවෙකුටත් හිංසා කරන්නේ නෑ. මීට පෙර මම අංගුලිමාල කියා ප්‍රසිද්ධ වූ හොරෙක් වී සිටියා. කාම ආදී මහ වතුරෙන් ගහගෙන ගිය මම බුදුන්ගේ මාර්ගයේ ගමන් කරන්න පටන් ගත්තා.

10. මීට පෙර අංගුලිමාල කියා ප්‍රසිද්ධවී ලේ තැවරුණු අත් ඇති තැනැත්තෙක් වූ මා අද ගමන් කරන මාර්ගය බලන්න. මම භවයට ඇති ආශාව අත් ඇරියා.

11. දුගතියට පත් කරන එවැනි අකුසල කර්ම රාශියක් කරමින් ඉඳලා, කුසල් මාර්ගයට මම පැමිණියා. දැන් මම භුකිත් විඳින දේට ණයක් නෑ.

12. නුවණ නැති බාල ජනයා ප්‍රමාද වී වාසය කරති. නුවණැත්තෝ අප්‍රමාදව (එළඹ සිටි සිහියෙන් කටයුතු කරමින්) වාසය කරති.

13. ප්‍රමාද නොවන්න. පස්කම් සැපයට ඇලී නොසිටින්න. අප්‍රමාදව නුවණින් දකින තැනැත්තා සුවපත් වේ.

14. බුදුවරුන් දෙසා වදාළ ධර්මයන් අතරින් උත්තම ධර්මයට මම පැමිණියෙමි.

15. මම බුදුන් වහන්සේ අනුශාසනය කරන ලද ත්‍රිවිද්‍යාවන්ට පැමිණියෙමි.



ආශ්‍රිත මූලාශ්‍ර...
https://dahamsithum.wordpress.com/2012/09/14/86-අංගුලිමාල-සූත්‍රය/

Monday, April 22, 2019

රුහිරෙන් පුදමි - 2 කොටස




තම ඉඟ වටා අතක් වෙළෙනු දැනී යුවතිය කිළිපොලා ගියා ය. ඇගේ මුවින් පිටවන්නට ගිය විළාපය ලත් තැනම නැවතුණි. ඒ, ඈ ඔහු හඳුනාගත් හෙයිනි.

තරුණිය දිගු හුස්මක් හෙළා ඔහුට තුරුළු වූවා ය. ඔහු  සිහින් තරුණයෙක් විය. කළුවන් කෙස් හා සිහින් නාසය ඔහුගේ ගිළුණු කම්මුල් වලට අමුතු පෙනුමක් ගෙන දුන්න ද, කැපී පෙණුනු සුදුමැළි බව තරම් කිසිවක් අමුතු නොවීය.

“ඔයා තව තප්පරයක් පරක්කු උනා නම්..........“ ඈ කොඳුළා ය. තරුණයා තම වමතින් ඈ තමා වෙත තද කර ගති.

ඇයි?....... ඔයා බය වුනාද?“ ඔහුගේ දිගු සුදුමැලි ඇඟිලි ඇගේ නිකට තුඩ ස්පර්ෂ කළේය. යුවතිය හිස ඔසවා, අඩවන් දෑසින් ඔහු දෙස බැලූවාය. ඇගේ දෑසේ වූයේ සුරතල් දොස්පවරනසුළු බැල්මකි.

අඩවන් ව තිබූ ඇගේ දෑස් වලට ඉහළින් සිපගත් තරුණයා, සෙමෙන් තම දෑතම ඇගේ සිරුර වටා යවා, ඈ තමන් වෙත තවත් තෙරපා ගති. “ශාම්“ යි කොඳුරමින් තරුණිය ඔහුට තුරුළු වූවාය. ඔහුගේ උණුසුම් සුසුම් තම මුහුණ මත වැටෙද්දී, ඈ දෑස් පියාගත්තා ය.

ඇගේ දෑත් ඔහුගේ ගෙළ වටා එතුනේ නිරායාසයෙනි. ඈ ඇඳ සිටි ජර්සියට යටින් ඇගේ ස්ත‍්‍රී උණුසුම ශාම් වෙත තෙරපී ගියේ ය. ඔහු තම සුරතේ ඇඟිලි තුඩු වලින් ඇගේ දෙකොපුල් මෘදුව පිරිමැද්දේ ය. ඉතා සියුම් කිළිපොලායාමක් ඇගේ මුහුණේ සම තුළින් දිව ගියේ ය. තරුණියගේ දෙතොල් සෙමෙන් විවර විය.

නෙල්කා.......“ සෙමෙන් කොඳුරමින් ශාම් ඇගේ මුහුණට සෙමෙන් පහත් විය.

ම්ම්ම්.......“

ඔහුගේ ඇස් වල වූ අමුතු කාන්තිය තරුණියගේ පියවුණු දෑසට නොපෙණුනි. ඔහුගේ දෙතොල් ඇගේ සැළෙන තෙත් දෙතොල් මත සෙමෙන් පතිත වී මෘදුව තෙරපී ගියේ ය.

------------------------------------------------------------------------ 

මළාණික හිරු රැස් රැස්ව සිටි කුඩා පිරිස මත වැටී තිබිණ. හාත්පස පැතිර තිබුණේ ගුප්ත නිසලතාවකි. මඳ අඳුර ශෝකී බවක් පරිසරයට එක් කළේ ය. පොද වැස්ස හඬක් නොනගා තණපත් මත සෙමෙන් පතිත විය. මඳ සුළඟක් පවා හැමුවේ නැත. පැවති නිහැඬියාවට බාධා කිරීමට කිසිවක් එඩිතර නොවීය.

කොකෝගස් දෙකක සෙවණ යට කුඩා පිරිස රැස්ව සිටියහ. දැරියන්, කන්‍යාසොයුරියන්....... ඔවුන් මැද වූ දිගැති නැවුම් පස් කන්ද මත ඉටිපන්දම් කිහිපයක් දැල්වෙමින් තිබිණ. සිහින් ඉකිබිඳුම් හා තද කරගත් සුසුම්....... එකිනෙකා සෙමෙන් කුරුසිය ලකුණු කළහ, හිස....... බර වූ හදවත....... සහ ඉකියෙන් ගැහෙන දෙඋරහිස් හරහා.

සෙමෙන් එකිනෙකා ආපසු ඒමට හැරුණහ. අවසන් වරටද තම හිතවතියගේ විවේකස්ථානය දෙස බැලූ ඔවුහු ආපසු පියනගන්නට වූහ.

අවසන එතැන ඉතිරි වූයේ දෙදෙනෙක් පමණි. මළාණිකව ගිය තරුණයන්....... ඔවුනතරින් වඩා දුබල සේ පෙනුණු තැනැත්තා සෙමෙන් සෙමෙන් කොකෝගස් දෙක යටට ආයේය. දණින් වැටිණ ඔහු එතැන....... කුඩා පස් කන්ද මතට නැඹුරු වූ ඔහුගේ උරහිස් වෙව්ලීය. ඔහුගේ දෑතේ ඇඟිලි ඔහුගේ ම හිසකෙස් අතරින් රිංගා ගියේ ය.

හමා ආ මඳ සුළඟට හසුව කොකෝ ගස් වල අතු, පත්, දළු සෙමෙන් සැළිණ. පස් කන්ද මත වූ ඉටි පන්දම් වල දැල්ල, හුදෙකළා තරුණයාගේ හිසකෙස්, සුළඟට හසුව සැළෙන්නට විය.

කොකෝ ගස් යට වූ මඳ අඳුර සෙමෙන් සෙමෙන් තරුණයා ගිළගති. කුඩා පස්කන්ද මත වූ ඉටිපන්දම් වල දැල්ල දීප්තිමත් අඳුර තුළ දිස් වූ අතර, ඒ අසළ වූ වෙව්ලන අඳුරු ඡායාවක් පමණක් බවට ඔහු පත් විය. අනෙකා ඔහු වෙත පියනගා ආයේ ය. ඔහු ගේ පියවර තණපත් මත තැබෙන හඬ ශෝකාතුරයාට බාධාවක් වූයේ නැත.

අකිල.......“

තරුණයාට එය ඇසුණ වගක් නොපෙනින.

ඔහු අකිල ගේ ගැහෙන දෙවුර මත අත් තැබීය. අකිල සෙමෙන් නැගී සිටියේ ය. තවතවත් බිමට නැඹුරු වූ හිස....... අවුල් වූ හිසකෙස්....... දෙතුන් දිනක් පැරණි රැවුළු....... ගිළී ගිය දෑසින් ගළා ගිය කඳුළු බිඳු ඔහුගේ දෙකොපුල් මත රැඳී තිබිණ.

දෙදෙනා සෙමෙන් ආපසු එන්නට වූහ. ගේට්ටුවෙන් ඔබ්බට....... දෙපස හෙවුණු උස ගස් වලින් අඳුරු වූ පාළු පටු පාර දිගේ.......

---------------------------------------------------------------------

දින කීපයකට පසුව, හිරු ප‍්‍රචණ්ඩව බැබළෙමින් තිබිණ. කැකෑරෙන අව්ව යට, තාර පාර උණු වන්නට මෙන් රත්ව, තබන අඩියක් පාසා සෙරෙප්පු අඩියට ඇළවෙයි.

අපිළිවෙලට ඇඳගත් අවුල් වූ කෙසින් යුතු තරුණයෙක් වේගවත් ගමනින් තාර පාර දිගේ ඉදිරියට යමින් සිටියේ ය. නළල දිගේ ගළා එන උණු දහදිය බිඳු ඔහුගේ ඇසිපිය මතට වැටී දෑස් දවයි. අව්වෙන් පිච්චෙන දෙකොපුල්....... නළල දෙපස වූ නහර උණු වූ ලෙයින් පිරී ගැහෙයි.

අකිල දිගටම ඇවිද ගියේ ය. ගිණියම් හිරු යට....... අවසන, පාර අද්දර වූ ගොඩනැගිල්ලක් ඉදිරිපිට අව්ව යට ඔහු නැවතිණ. හිස එසවූ ඔහු, සුරතින් ඇස් මුවා කරගනිමින් එහි නාම පුවරුව දෙස හොඳින් බැලීය.

පැද්දෙන කෙටි දොරවල් විවර කරගනිමින් ඇතුල් වූ අකිල හාත්පස වූ මේස මතින් සිසාරා යන බැල්මක් හෙළීය. ඒ බැල්මට, කෙළින්ම ඈත මේසයක වාඩි වී, දොර දෙස යොමු වූ බැල්මෙන් සිටි, හුදෙකළා මිනිසෙකු  හසු විය. ඔහු කෙළින්ම ඒ වෙත ගියේ ය.

අකිල !“ අඩක් හිස් වූ බියර් බෝතලයක් ළඟ වාඩි වී සිටි මිනිසා විස්මයාර්ථ රාවයක් නැංවීය.

ඉඳගනින්,“

විකුම්, මම උඹේ රූම් එකට ගියා. එතනින් කිව්ව උඹ මෙහෙ ආව කියලා.“ අකිල පුටුවක් ඇද වාඩිවෙමින් කීය.

ඉතින්....... තව බියර් එකක් ගෙන්නන්නද?“

“.............“

ඉතින්....... එහෙනං කතාකරමු....... මට කියපං මොකද මේ හදිස්සියෙ උඹ මාව හොයාගෙන ආවෙ කියලා.......“

තවත් බෝතලයක් සහ වීදුරුවක් ගෙන්වාගත් විකුම්, තම මිතුරා වෙනුවෙන් එය පිරවීය.

උඹට ආරංචි ඇති ළඟදි වෙච්ච සිද්ධිය.“ අකිල තෙපළේය. විකුම් දෑස් දල්වාගෙන ඔහු දෙස බලා සිටියේ ය.

අකිල බියර් වීදුරුව එක්වනම අතට ගෙන උගුරු කීපයක් බීවේය, වේගයෙන්....... තිත්ත රස අතරින් උගුර අභ්‍යන්තරයට දැනෙන්නට වූ උණුසුමින් ඔහු තරමක් පිබිදුනි.

විකුම් සිගරැට්ටුවක් ගෙන දල්වා ගති.

අකිල ඉවත බලා ගත්තේ ය.

“ඉතිං....... ඒක ස්වාභාවික මරණයක් නෙමෙයි.......“ ඔහු දිගු වේලාවකට පසු කටහඬ අවදි කළේ ය.

විකුම් වීදුරු දෙක නැවත පිරවීය, නිහඬවම.......

“මට හොයාගන්ඩ  ඕනෙ.......“ අකිල කතා කරන්නට විය. “මගෙ ....... මගෙ අහිංසක කෙල්ලව මරල දාපු එකා.......“ ඔහුගේ කටහඬ එතැනදී බිඳිණ.

වීදුරුව වෙත ඔහු අත දිගු කළේ ය. තදින් එය ග‍්‍රහණය කළ ඔහු.......

වචන ප‍්‍රමාණවත් නොවන....... වචන අවශ්‍ය නොවන මිනිත්තු කීපයක් ගත වී ගියේ ය. ඒ කාලය තුළ බියර් බෝතලය සෙමෙන් සෙමෙන් හිස් විය.

බිත්තියේ අඳුරු කොණක වූ බිත්ති ඔරළෝසුවේ ටික්....... ටික් හඬ සෙමෙන් නැඟී ආවේ ය. අඳුරට හුරු මඳ එළියක් හාත්පස පැතිර තිබිණ.

හරි....... අපි හොයාගම්මු.“ විකුම් නැඟිටිමින්, සිය දකුණත මේසය හරහා දිගු කළේ ය. එය ග‍්‍රහණය කළ අකිලට සිය මිතුරාගේ ගෝරෝසු හමට යටින් වූ උණුසුම දැණින. ඔහු තම ග‍්‍රහණය තවත් දැඩි කළේය.

වැඩිපුර බලපු ලිපි