මළාණික ලා සඳ එළිය... බකමූණෙකු නඟන්නට වූ ඒකාකාර තාරතාවකින් යුත් මූසළ හඬ අවට පරිසරයට කාළකන්ණි බවක් එක් කළේය.
කටු පඳුරින් ගහන වූ තැනිතලා භූමිය කෙළවර මිනිසුන් දෙදෙනෙකුගේ අඳුරු ඡායාවන් දක්නට ලැබිණ. උස මහතින් සම වූ ඔවුන් උණුසුම් ලෙස කතා කළ බව ඔවුන්ගේ අත් පාවල වේගවත් චලනයෙන් පැහැදිළි විය.
ඔවුන්ගේ දෙබස තව දුරටත් සුහද නොවූ බව පෙණින. ඒ සැණින් එකෙකුගේ මිට මෙළවූ දකුණත වේගවත්ව අනෙකා ගේ මුහුණ හරහා එල්ල විය. එය අනෙකා බලාපොරොත්තු වූවක් බව පෙනුනේ, ඔහුගේ ඉණට යැවුණු දකුණත ආපසු ඇදී ආවේ දිගු උල් යමක් සමඟ වූ හෙයිනි. වළා රැසකින් ආවරණය වන්නට වූ සඳින් ගැළූ අවසන් රැස් දහරින් එම දිගු උල් දෙය මොහොතකට රන්වනින් දිළිසුණි.
එසැණින් සඳ වැසී ගියේ ය. අඳුර අතරින් ඇසුනේ වේගවත් මුෂ්ටි ප්‍රහාර හ ය. කටු පඳුරු මත බරැති සිරුරු වැටෙන හඩ නැවත නැවතත් ඇසුණි.
අවසන, හුස්ම හිර වූ බිළිඳෙකු ඔක්සිජන් බිඳකට දරණ වෙහෙස බඳු සුසුම් ළෑම් සහ දැඟලිලි ශබ්දයන් නැඟී, දීර්ඝ කෙඳිරිල්ලකින් අවසන් විය. ඉන්පසු සියල්ල නිහඬ විය.
කළුවලාවන් අතරින් සඳ මෑත් වන විට සියල්ල නිසල වී තිබුණි. බිම වැටී තිබූ සිරුරේ ඇඟිල්ලකුදු සෙළවුනේ නැත.
ඒ අතර අනෙකා...
අනෙකා වැටී තිබූ සිරුරේ හිස අසළ උක්කුටියෙන් වාඩි වී සිටියේ ය.
දිගු උල් ආයුධය සහිත ඔහුගේ දකුණත නිසලව වැටී තිබූ සිරුරේ මුහුණ මත නැවත නැවතත් වැරෙන් පතිත විය.
සිරි සිරි හඬින් පොද වැස්ස ඇද හැළෙන්නට ගති.
* * *
නො ඉවසිල්ල... මා පෙළමින් තිබිණ. වචනයෙන් කිව නොහැකි හැඟීමක් හාත්පස පැතිර තිබූ අඳුර මා තුළ ඇති කළේ ය.
"පී සී ආනන්ද," ඒ ගැඹුරු කටහඬ මම ඇඳින්නෙමි. සාජන්ට් දැල්කඳුර... මා ඒ දෙසට හැරුණේ නිරායාසයෙනි.
"නම්බර් වන් නයිට් පැට්‍රෝල් ගිය දෙන්න තාම ආවෙ නෑ නේද? "
"ඒක තමයි සර්, මාත් මේ බැලුවෙ."
"ඊළඟට යන්න ඉන්නෙ තමුසෙයි ජනකයි නේද?"
සාජන් මා අසළ නැවතී අඳුර විනිවිදීමට මෙන් මහපාර දෙස බලා සිටියේ ය.
මා සිටි තත්ත්වය ගැන මා තුළ වූයේ නුරුස්නා හැඟීමකි. ඒ, සාජන්ට් නිසා මා තවදුරටත් හුදෙකළා නොවූ නිසා ද, නැතහොත් පරිසරයේ වූ මූසල ගතිය නිසාදැයි වෙන්කර ගැනීම අසීරු කරුණක් විය.
රාත්‍රිය බියකරු විය. ඒ අඳුර නිසා ම නොවීය. චිරි චිරි හඬින් වට වැස්ස නිසාදෝ හාත්පස රජැයූ ලේ දක්වා කාවදින සීතල, මහපාරේ අනාරක්ෂිත වූවන් ගැන මා තුළ සානුකම්පිත හැඟීමක් ඇති කළේ ය.
"අර මොකද්ද?" සාජන්ට් මා යොමු කළ දෙසට මගේ හිස එක්වනම හැරිණ.
උස් අඳුරු සේයාවක් අප දෙසට උස්පහත් වෙමින් ඇදී ආයේ ය. එයට තරමක වේගයක් තිබූ බව පෙනිණ.
සැණින් පිපිරූ අකුණක ආලෝකයෙන් ඔහුගේ ඇඳුමේ කාකි පැහැය මොහොතකට දිස් විය.
"ප්‍රාන්!" මා ඔහු හැඳින්නේ ළඟට ම ආ පසුය.
"මොකද අයිසෙ පරක්කු? කෝ තමුසෙ එක්ක ගිය වික්‍රම?" සැජන්ට් ඇසුවේ ප්‍රාන් ආලින්දයට ගොඩවීමටත් පෙර ය.
"වික්‍රම?" ඔහුගේ විදැහුණු දෑසේ වූයේ අවංක විස්මය යැයි මට පෙනිණ.
"වික්‍රම තමයි! තමුසෙ එක්කනෙ ගියෙ?"
"දැන්... ඒ කියන්නෙ, වික්‍රම ආවෙ නැද්ද මට කලින්?"
"තමුසෙට කලින්? කුණුහරුප කතා කරනවද අයිසෙ? දෙන්න එකට නෙමෙයිද ආවෙ?" සාජන්ට් ගේ තැන්පත් ස්වරයේ කෝපයක සේයාවකුදු නොවී ය. එහෙත් එය කුණාටුවකට පෙර මුහුද මතුපිට ඇතිවන නිසලතාව වැනි නිහඬ අන්තරායක හැඟීමක් අප තුළ ඇති කළේ ය.
"එකට තමයි ආවෙ ෂැංහයි පබ්එක ළඟට එනකම්..."
"එතෙන්දි...?"
"එතෙන්දි අපට වික්‍රමගෙ මල්ලි හම්බුණා."
"කණිෂ්ක..." මට කියැවිණ.
"අන්න හරි. කණිෂ්ක!"
"මිනිහ මොකද මේ මහ රෑ එතන?"
"මිනිහ ඒකෙ වැඩ කරනවලු සර්"
"ඉතින්...?"
"කණිෂ්ක, වික්‍රම ව පැත්තකට අඬගහගෙන ගිහින් මොන මොනවද කිව්වා. පස්සෙ වික්‍රම මා ළඟට ආවා. 'කණිෂ්ක ට මොනවද තියෙනවලු මට කියන්ඩ.' මිනිහ කිව්වා. 'තමුසෙ වෙපන් එකත් අරගෙන හිමිං හිමිං යනවා. මම ෂෝට්කට් එහෙකින් එන්නම්' කියලා, වික්‍රම මට ටී 56 ත් දීලා. ආපහු හදිස්සියෙන් කණිෂ්ක ළඟට ගියා. ඒ දෙන්නා පබ් එක ඇතුළට යනවා මම දැක්කා..."
"ඉතින්...?"
"ඉතින් මම හෙමින් හෙමින් එන්න ආවා. බස්ටෑන්ඩ් එක ගාව දි මට හිතුණා වික්‍රම එනකල් පොඩඩ්ක් බලන්න. මම එතන තිබ්බ පෙට්ටි කඩේකට ගිහින්, සිගරැට් එකක් පත්තු කරගෙන පාර දිහෑ බලාගෙන හිටියා. සෑහෙන වෙලාවක්... ඒත් වික්‍රමගෙ ලකුණක්වත් නෑ.
"ඒ පාර මට හිතුණා වික්‍රම සමහර විට වෙන ළඟ පාරකින් ඇවිත් ඇති කියලා. මිනිහ මෙහෙ ටවුමෙ ම හාදයෙක් නෙ... ඉතින් මම එන්ඩ ආවා."
"හ්ම්!" කියමින් සාජන්ට් තම නිල කාමරය තුළට ගියේ ය. එම හ්ම් ශබ්දයේ ස්වරය මට ඇල්ලුවේ නැත. එනිසා ම අපේ සගයා ඉක්මණින් එතැයි මම ප්‍රාර්ථනා කළෙමි.
නමුත් එය හිස් සිතුවිල්ලක් පමණක් ම විය.
* * *
වික්‍රම ගැන තොරතුරක් ලැබුණේ පසුදා ද සවස ය. ඒ ෂැංහයි පබ් එකට යාබද පාලු බිම් තීරුවෙනි.
"පොලිස් රාළහාමි කෙනෙක් මරා දාලා...!"
එසැණින් මුළු පොලිසිය ම කඩි ගුළක් සේ ඇවිස්සුණි. මිනිත්තු කිහිපයක් යද්දී, දෙදෙනෙකු හැර සෙසු සියළු දෙනා ම වූයේ පබ් එකට යාබද වත්තේ ය. පොලිසියේ රැඳුණු කොස්තාපල්වරුන් දෙදෙනා ද රැඳුනේ කැමැත්තකින් නොවේ. නමුත් කලින් දින හෙරොයින් කිලෝ ග්‍රෑමයක් සමඟ අත්අඩංගුවට ගැනුණු තරුණයන් දෙ දෙනා ගේ ආරක්ෂාවට ඔවුන් ගේ රැඳී සිටීම අත්‍යවශ්‍ය විය.
දසුන බියකරු විය...
නිල ඇඳුම ඉරී බොත්තම් කැඩී ගිය මිනිසා කළු පැහැගත් මිදුණු ලේ විලක වැටී සිටියේ ය. ඔහුගේ දකුණතේ වැළමිට සිට මැණික් කටුව දක්වා වූ ප්‍රදේශය මුළුමණින් ම තියුණු ආයුධයකින් හම ගසා තිබුණි. කැටි ගැසුණු ලේ ගුළි නිසා නොවන්නට එය හරියට ම හම ගැසූ මස් ගාතයක් ලෙස පෙනෙන්නට තිබුණි.
ඔහුගේ ඇසිපිය විවර වී විදැහී තිබුණි. නමුත් ඔහුගේ ඇස් එහි නොවී ය. ඒ වෙනුවට තිබුණේ පිරී කැටි ගැසුණු කළු පැහැ රුධිරයයි. එම මුහුණ වික්‍රමගේ යැයි හඳුනාගත හැකි වූයේ යාන්තමිනි.
දැඩි පහර දීමකින් නාස්පොල්ල මුළුමණින් ම බිඳ දමා තිබුණි. පොඩි වී ගිය නාස් කුහරයන්ගෙන් දෙපසට ගළා ගොස් කම්මුල් මත මිදී ගිය ලේ දහරා දෙකක් විය. ඉදිරිපස දත් කඩා දමා, හකු දෙකට ද මිනීමරුවා විසින් සමානව සළකනු ලැබ තිබුණෙන් එම පෙදෙස ඉදිමී, ගල් ගැසී, පළින් පල කැඩුණු ඇටකුටු තුඩු පේෂීන් සිදුරු කරගෙන උඩට මතු වී තිබෙනු දක්නට හැකි විය.
වික්‍රමගේ කාකි කමිසයේ උඩ බොත්තම් විවරවී තිබුණි. හදවත පසා කළ මාරාත්මක තුවාල දෙකක් මේස් බැනියම මත මිදුණු ලේ කැටි දෙකකින් සළකුණු විය. වැනි ම තවත් තැනක දක්නට තිබුණේ හදවතට ගිළී ගිය දිගු කිණිස්සක කැටයම් කළ ලෝහමය මිටකි. තුවාලවලින් ගැළූ රුධිරය ඔහුගේ මේස් බැනියම මුළුමනින් ම පොඟවා වියළී ගොස් තිබිණ.
මළ සිරුරේ පාදවල සපත්තු හෝ මේස් තිබුණේ නැත. වික්‍රම වමතේ මැදැඟිල්ලේ පළඳාගෙන සිටි සුදු යකඩ මුද්ද තරමක් උඩට විත් තිබෙනු ද, කමිසයේ ඇතුළත ලේ තැවරී ඇති බව ද දක්නට තිබුණි.අවට අඩි දහයක දොළහක පමණ අරයකින් යුතු ප්‍රදේශයේ පඳුරු තැලී පොඩිවී තිබුණේ දරුණු පොර බැදීමක් පිළිබඳව ඉඟි කරමිනි.
වික්‍රමගේ සපත්තු දෙක ද කොස්තාපල් ප්‍රාන් හා ජනක විසින් ඒ අතර ම සොයාගන්නා ලදි. එකක් මළ සිරුරට වම් පසින් වූ අතර, අනෙක තිබුණේ හි හිස කෙළිනි. සපත්තු දෙක ම මළ සිරුරේ සිට අඩි විස්සකට වඩා දුරින් තිබුණි.
අධිකරණ වෛද්‍ය පරීක්ෂණය කඩිමුඩියේ කෙරෙන අතර, වික්‍රමගේ මරණය පිළිබඳ ව කණිෂ්ක ට දැනුම් දීමට තරුණ ග්‍රාමාරක්ෂක නිලධාරියෙකු සමඟ කොස්තාපල් ප්‍රාන් පිටත් කරන ලදි. කණිෂ්ක, අවාසනාවන්ත පොලිස් නිලධරයා ට සිටි එකම ඤාතියා විය. නමුත් ප්‍රාන් සහ සගයා ඔහු සොයා ගිය කිසිම තැනක ඔවුනට ඔහු හමු වූයේ නැත. ගත වූ රාත්‍රියේ වික්‍රම සමඟ සිටි වේලාවේ සිට කණිෂ්ක පිළිබඳව කිසිම තොරතුරක් දත් කෙනෙකු නගරයේ නොවී ය.
එසේ කණිෂ්ක ද අතුරුදන් විය...