ඇතුල් නුවර තුළ ම පිහිටා තිබුණත්, රජ මැදුර ටත්, දළදා මැදුර ටත් පියවර දාහක් පමණ පිටුපසින් කුඩා ගල් පර්වතයක් පිට පිහිටි ගරා වැටුණු පැරණි විහාර ගෙය ඒ තරම් අවධානයට ලක් වුණු තැනක් නොවී ය. ගල් කුළ මත පිහිටි අභාවයට ගිය කවාකාර මැටි ගඩොල් ගොඩැල්ලක්, ඉතා ඈත යුගයක තැනුණු කුඩා ස්ථූපයක් සළකුණු කළේ ය. එහි පසෙකින් වූයේ හතරැස් ගොඩනැඟිල්ලකි. එහි කාලයකට ඉහත සුණු පිරියම් කර සිතුවම් ඇඳ තිබූ බව තැන තැන ඉතිරිව පැවති කපරාරුවෙන් සළකා ගත හැකි විය. හතර පළයට තැනුණු වහළය, ඉපැරණි දුෂ්කර හා මනරම් වඩු කර්මාන්තයක් ගැන සාක්ෂි සපයමින්, දීර්ඝ කාලයක් තිස්සේ අවු, වැසි, සුළං පහරට මුහුණ දෙමින් තවමත් ප්‍රකෘතිමත්ව පවතියි. පැරණි පොත්ගුල් විහාරය ට පසුබිමෙන් හෙවුණු දැවැන්ත ගස් ගොන්න වඳුරු රැළකගේ කෝළහාලයෙන් නිතර කැළඹුනේ ය.
අතීතයේ පොත්ගුල පරිහරණය කළ යතිවරුන්ගේ හා රදළයින්ගේ දෙපයින් ගෙවී ගිය, ගල් පියගැට පෙළ ඉස්මත්තේ දී මිත්‍ර හෙවත් උඩුමුල්ලේ නිළමේ මඳකට නැවතුණේ ය. කරේ වූ ඔළගුව බර වූවත්, පියගැටපෙළ දීර්ඝ වූවත්, නැග්ම ශීඝ්‍ර වූවත්, එයින් ලද විඩාවක් ඔහුගේ මුහුණින් හෝ ඉරියව්වෙන් නොපෙනුණි. ගොඩනැගිල්ල වෙත යා යුතු පියවර කිහිපය ඇවිද ගොස් ඔහු පොත්ගුලේ දොර තල්ලු කර ඇරියේ ය.
ගොඩනැගිල්ලේ ඇතුළත, පිටතින් පෙනුණු ඉපැරණි පෙනුමට හාත්පසින්ම වෙනස් විය. මනාව කපරාරු කර තීරු සිතුවම් ඇඳ තිබූ බිත්ති, පිරිසිදු ගෙබිම මත එලන ලද පන් පැදුරු, පියස්සේ කුරුපාවේ සිට දම්වැලකින් එල්ලුණු පිත්තල පහනේ තිර කිහිපයේ ආලෝකයෙන් මිත්‍රගේ දෑසට ලක් විය.
දොර අරින හඬින් තිගැස්සුණු ටිකිරි බණ්ඩාර එකෙණෙහි හිස ඔසවා බැලී ය. ටික වේලාවක් තිස්සේ අමුත්තාගේ සියුම් පියවර හඬ අසා සිටි ඩ්‍රේක් ගේ දෑසේ වූයේ තියුණු විමසිලිමත් බවකි.
ධනසේකර තරුණයාගේ උණුසුම් ආචාරයට සිය දෑත් එකතු කර ප්‍රති ආචාර දැක්වූ මිත්‍ර, ඔළගුව පසෙකින් තබා, දෙදෙනා අතර ඉදිරිපසින් එරමිණිය ගොතාගෙන වාඩි විය. සිසාරා ගිය එක බැල්මකින් ඔවුන් අතර පැතිර තිබූ පැරණි පුස්කොල පොත් සියල්ල මිත්‍ර හඳුනාගත්තේ ය.
"චරක සංහිතා... සුශ්‍රැත සංහිතා... අෂ්ඨාංග සංග්‍රහ... සාරාර්ථ සංග්‍රහ... මාධව නිධාන... භාව ප්‍රකාශ..." මුමුණමින් ඔහු හිස ඔසවා නෝර්ඩික් නැවියා දෙස බැලීය. මිත්‍ර ගේ මුවෙහි වූ ගුප්ත මඳ සිනහව, ඇඩම් ගේ ද මුවට සිනා නැංවූයේ නිතැතිනි. "ඩ්‍රේක් සංස්කෘත කියවන්නත් දන්නවද?"
නාවිකයා මුහුණ හරවා ටිකිරි බණ්ඩාර දැක්වීය. "මම දැන් ටිකා...ක් දන්නවා. මේ තමයි මගෙ ගුරු."
ටිකිරි බණ්ඩාර සිනාසුනා පමණි.
"එහෙනම් මම ආපු කාරණාව ලේසි වුණා..." උඩුමුල්ලේ නිළමේ ඔළගුව ඔසවා, තම ඔඩොක්කුවේ තබා ගෙන දිග අරින්නට පටන් ගත්තේ ය. "මම අරගෙන ආවෙත් ඒ වගේම රාජකාරියක්. ඔබේ මී ළඟ රාජකාරියෙ මුල් කොටස තියෙන්නේ ග්‍රන්ථ පරිශීලනය..."
ඇඩම් මිත්‍ර ගේ දෑස් දෙස බලා, නෙත් කොණින් ඉඟි කර, ධනසේකර තරුණයා දැක්වී ය.
"කොහොමත් ඔබට ටිකිරි බණ්ඩාර ගේ සහය උවමනා වෙනවා මේ වැඩේදි. ඔහු මීට කලිනුත් අපගේ යම් යම් කටයුතුවලට දායක වෙලා තියෙනවා..." මිත්‍ර, තරුණ වෛද්‍යවරයා දෙස බලද්දී, ඔහු ඉතා උද්යෝගයෙන් හිස ඉහළ පහළ වැනුවේ ය.
"ඔහුගේ මම වඩාත් ම අගය කරන දෙය වන්නේ... නිහඬබව. පේනවානේ, ටිකිරි බණ්ඩාර කතා කරන්නේ ඉතාම අඩුවෙන්."
සිය ස්වදේශික සගයා ගේ වමතෙහි සියුම් වෙව්ලීමක් ඇති වී නැති වී යනු, නාවිකයා ගේ තියුණු ඉඳුරන් ට නොදැනී නොගියේ ය.
ඔළගුවෙහි කොන් හතර එකතු කර ගසා තිබූ ගැට සියල්ල ලිහා අවසන් කළ උඩුමුල්ලේ නිළමේ එය දිග හැරියේ ය. එහි වූයේ පුස්කොළ පොත් කිහිපයක් සහ සම් කඩින් එතූ පාච්මන්ට් රෝල් කීපයක් බව දුටු ඇඩම් විස්මයට පත් විය.
"එක කාලයක, ෆා - හියන් නම් චීන පැවිදි නමක් ලංකාවට ආවා, බුදු දහම ඉගෙන ගන්න..." මිත්‍ර දිගු කතාවක් පටන් ගත්තේ ය. "එතුමා ගේ ආරක්ෂාවට සහ උපස්ථානයට ආවේ අපූර්ව යෝගී වරයෙක්. ඔහු තමන්ට කියා ගත්තේ 'ස්වර්ගයට සමාන මහා සෘෂි හෙවත් වානර රජු' කියල යි. ඇත්තටම ඔහු ස්වරූපයෙනුත් මහා වානරයෙක් වගේ තමයි... දිග දෑත්, ඉදිරියට නෙරූ මුහුණ, පළල් හකු, සහ කුදු වූ කොන්ද නිසා. ඔහු ෆා - හියන් භික්ෂුව සමඟ ලංකාවට ආවේ යමක් සොයමින්. ඔවුන් දෙදෙනා පස්යොදුන් - කුකුළු කෝරළ මායිමේ පිහිටි ගල් ලෙණක ටික කාලයක් වාසය කළා...
"තවත් කාලයක මේ ලක්දිවට ආවා අරාබි වෙළෙන්දෙක්. නම, සිංදිබාද්... ඔබ ඒ ගැන නම් කියවලා ඇති...?"
ඩ්‍රේක් හිස සැලී ය. "ඔව්. අපි කියන්නේ සේලරු සින්බෑඩ්. ඔහු ගැන මම දන්නේ කතන්දර කීපයක් විතරයි."
"එතකොට ඔබ හොඳින් ම දන්නවා ඇති මාර්කෝ පෝලෝ ගැනත්...?"
නාවිකයා නැවතත් හිස සැළී ය.
"මේ තියෙන්නේ ඔවුන් සිය අත් අකුරින් ම සටහන් කරගත් සංචාරක සටහන්..." මිත්‍ර සිය ඔඩොක්කුවේ වූ පාච්මන්ට් රෝල් කිහිපය සහ පුස්කොළ පොතක් සුරතින් ගෙන පැදුර මත තැබී ය. "ඔවුන් ලංකාවෙන් පිට වෙද්දී රහස් දූරය විසින් මේවා රාජසන්තක කළා. මේවා මුල් පිටපත් නිසා ඉතා ප්‍රවේසමෙන් පරිහරණය කළ යුතුයි. ඒ වගේ ම, ඔබ ගවේෂණය කළ යුතු කොටස් විතරයි මම ඔබට මේ දෙන්නේ..."
ඩ්‍රේක් ගේ මුහුණේ පැවති සාමාන්‍ය පෙනුමට යටින්, ඔහුගේ දිළිසෙන දෑසේ මතු වූ උද්යෝගය මිත්‍ර දුටුවේ ය.
"මේ සියලු දෙනා ම ඉතාම උවමනාවෙන් හොයලා තියෙනවා ඇත් සොහොනක් ගැන. රංචු වශයෙන් ජීවත් වෙන සත්තු තමන් මරණයට පත් වෙන්න ආසන්න බව දැනෙන විට රංචුවෙන් ඉවත් වෙලා යනවා. බල්ලන්, නරි, වගේ සත්තු... ඊට වඩා ගොඩක් බුද්ධිමත් සතුන් කොටසක් වන අලි ඇත්තු, මරණාසන්න සාමාජිකයන් ට රැළෙන් ඉවත් වෙලා ගිහින් මරණයට පත් වෙන තුරු හොඳින් ජීවත් වෙන්න උපකාර කරනවා කියා විශ්වාස කරනවා. ඒ කියන්නේ, ශක්තිමත් තරුණ ඇත්තු කීපදෙනෙක්, මහළු ඇතුන්ට රැළෙන් පිට වෙලා එක්තරා තැනකට යන්නත්, මිය යන තුරු එතැන ජීවත් වෙන්නත් උපකාර කරනවා කියලා...
"ඒ වගේ ම මේ දූපතේ ඉන්නා සෑම අතෙක් ම වයසට ගිහින් මිය යන්න කිට්ටු වන විට තමන්ගේ ජීවිතයේ අවසාන කාලය ගත කරන්න, එක ම ස්ථානයකට යන බව විශ්වාස කරනවා. මිය ගිය අලියෙක් කියන්නේ දැවැන්ත විෂබීජ කන්දරාවක්. ඒ නිසා අලි ගැවසෙන වනාන්තරවල ඔවුන් මිය යාම සෑම සතෙකුට ම අහිතකරයි...
"ඒ වගේ ම මරණාසන්න අලි ඇතුන් සිටින තැන, සුරක්ෂිත තැනක් විය යුතු යි, ස්වාභාවික සතුරන්ට ළඟා විය නොහැකි. ඒ නිසා, සාමාන්‍යයෙන් ඇත් සොහොනක් ගැන කටකතා තිබුණත්, එහෙම තැනක් ඇහින් දුටු කවුරුවත් නෑ.
"මේ ගැන කතන්දර පැතිරෙන්න ලොකුම හේතුව, ඒ වගේ තැනක තියෙන්න පුළුවන් ඇත් දල කන්දරාව යි. ඇත් දල කියන්නේ ලංකාවේ ඉතා ඈත අතීතයේ ඉඳන් ම කැටයම් සඳහා යොදා ගැනුණු අමුද්‍රව්‍යයක්, කල් පවතින වටිනා සුඛෝපභෝගී භාණ්ඩයක්, ඒ වගේම ජාත්‍යන්තරව පිළිගැණෙන ඉතාම වටිනා වෙළෙඳ භාණ්ඩයක්.
"අන්න ඒ නිසා... රාජකීය භාණ්ඩාගාරයේ අවධානය මේ පුරාවෘත්තය දෙස යොමු වෙලා තියෙනවා."
"නමුත් සින්බෑඩ් ගිහින් තියෙනවා නේ මේ කියන ඇත් සොහොනට." ඇඩම් කතාවට බාධා කළේ ය. "ඔහුගේ සෙරන්ඩිබ් චාරිකාවේ දී ඔහු ඇත් සොහොන දකිනවා..."
![]() |
...නමුත් සින්බෑඩ් ගිහින් තියෙනවා නේ මේ කියන ඇත් සොහොනට... https://mir-s3-cdn-cf.behance.net/project_modules/disp/be5d8921266615.562fe4c16a841.png |
"නෑ..." මිත්‍ර සිනාමුසු ව පැවසි ය. "සිංදිබාද් නම් කවදාවත් ඇත් සොහොනකට ගියේ නෑ. ඔහු කළේ ඒ වගේ දේ ගැන තියෙන පරණ කතාන්දර එකතු කරපු එක විතරයි. ඒ විදිහට එකතු කරලා ඔහු ගොතපු කතාන්දර ගැන තමයි ඔබ ඔය කියන්නේ. ඔහු එකතු කරපු කතා ගැන මේ චාරිකා සටහන්වල සඳහන් වෙනවා. නමුත් මේ සියලු දෙනාගේ ම ලියවිලි ඉතා ප්‍රවේසමින් අධ්‍යයනය කරලා, ගළපා ගත්තොත්, ගොඩක් දුරට අපට ගවේෂණය කරන්න, මේ දූපතේ එක ඉසව්වක් තෝරාගන්න පුළුවන් වේවි...
"ඔබ උවමනා තරම් කාලය අරගෙන, සාවධානව මේ කටයුත්ත කරාවි කියලා අපි අපේක්ෂා කරනවා. ඒ වගේම මේ ලියවිලිවලට හාණි නොවන විදිහට, ඉතා ප්‍රවේසමෙන් පරිහරණය කිරීමත් බලාපොරොත්තු වෙනවා..."
මිත්‍ර තමන් ගෙනා සියලු දෙය නැවත ඔළගුවට බහා ඩ්‍රේක් ඉදිරිපසින් තැබී ය. ඔහු නැගිටිනවාත් සමඟ ම නාවුකයාත්, ධනසේකරත් නැඟී සිටියහ. දෑත් එකතු කර ඔවුන් දෙදෙනා ට ආචාර කළ උඩුමුල්ලේ නිළමේ දොරෙන් එළියට පිය නැඟී ය.
![]() |
http://www.internationalhero.co.uk/j/jetlimonkey.jpg 'ස්වර්ගයට සමාන මහා සෘෂි හෙවත් වානර රජු' |
* * *
කොස් කොලවල නැටි නොපෙනී යන්නට ආසන්න තරමට ඇඳිරි වැටීගෙන එයි. දහවල් කාලය නිදැල්ලේ තණ කමින් ඒ මේ අත ඇවිද ගිය ගොනුන්, ආපිට හැරී තම ගාල් වෙත යන වේලාව යි. ඉරබටු තරුව බටහිර අහසේ පායා එන ආකාරය මුතු මැණිකේ දුටුවා ය. ඈ මිදුලේ සිටුවා තිබූ ඉද්ද සහ වතුසුද්ද ගස්වලින් මල් නෙලමින්, වමතේ වූ කුඩා මල් වට්ටිය සකසමින් සිටියේ සවස බුදුන් වැඳීමට ය. ධනසේකර වළව්වේ ඉදිරිපස මිදුලේ සවිමත් ලී කනු හතරක් සිටුවා, ඒ මත තනා තිබුණු විශාල මල් පැල, තුනී ලෑලි කෑල්ලකින් කොටස් දෙකකට බෙදා තිබුණි. වඩා විශාල කොටස බුදු පිළිමයකට වෙන් වුණු අතර අනෙක් පස වූ කුඩා පිළිමය අවලෝකිතේශ්වර නාථ බෝසතුන්ගේ විය.
කඩුල්ලෙන් ඇතුල් වූ තිරික්කලය දුටු තරුණ කුමාරිහාමි මල් වට්ටිය ද ගෙන වළව්වේ ආලින්දය වෙත පිය මැන්නා ය. තිරික්කලයෙන් බට මහළු වෙද මුදලි තුමා උරහිසේ වූ උතුරු සළුවෙන් පවන් සලා ගනිමින් ආළින්දයේ වැල් ඇඳ මත වාඩි විය.
තිරික්කලය දක්කාගෙන වළව්වේ පිටුපස ට යන ටිකිරි බණ්ඩාර ආපසු හැරී බැලුවේ තම නැගණිය ගේ පියවර හඬ ඇසීමෙනි.
හණි හනික සිය සොයුරාට ළං වූ ඈ රහසින් කතා කළා ය.
"අයියන්ඩි, මොනවද මේ වෙන්නෙ...?"
"මොනවද?"
"අනේ මන්දා..." ඈ පැකිළුණා ය.
නිහඬව ම තිරික්කලය මඩුවට ගෙන ගිය තරුණයා, ගොනා ලිහා දමා විශාල හැළියට පුන්නක්කු කළවම් කළේ ය. එය ඔසවා ගවයා ගේ මුව ට ළං කරන්නට මුතු මැණිකේ ද සිය සොයුරාට සහාය වූවා ය.
ගව ගාලේ බංකුව මත වාඩි වූ ටිකිරි බණ්ඩාර පුවක් කෑල්ලක් කටට දමා ගනිමින් සිය නැගණිය වෙත හැරුණේ ය.
"ඇන්ඩර්සන් ගැන නං, මාත් ඒ තරම් දෙයක් දන්නෙ නෑ. රජවාසලේ මොන මොනව හරි රාජකාරි වැඩ ඒ මනුස්සයට පවරලා කියල තමයි දන්නෙ..."
"එතකොට අයියණ්ඩි දවල් වරුවෙ එයත් එක්ක මොනවද කරන්නෙ?"
"උන්දැ පොත්ගුලට වෙලා පරණ වෙද පොත් කියවනව." තරුණයා දිගු සුසුමක් හෙළා සිය පපුව සැහැල්ලු කරගත්තේ ය. "මම ඒකට උදව් කරනව. ඒක නං කරන්නෙ විනෝදයට යි, ඉගෙන ගන්න යි කියල තමයි පේන්නෙ..."
"රජ්ජුරුවො ඔය දෙන්නා ලවා පරණ නිධානයක්වත් හොයනව නෙවෙයි නේද?"
"නුහුගුනේද නගා?" ටිකිරි බණ්ඩාර නොරිස්සුම් සහගත බැල්මක් නැඟුනු මුහුණ පසෙකට හරවා ගත්තේ ය.
"රාසිං දෙයියො ගාව රාජකාරි හරිම අවදානං නේද අයියණ්ඩි? මේ මනුස්සයා රාජකාරියට අරගෙන ඕලන්දක්කාරයන්ගෙ ඔත්තු බලන්ඩවත් යවයි ද?"
"සුදු හම නිසා නේද?"
මුතු මැණිකේ හිස වැනුවා ය.
"එහෙම දෙයක් නං අපට දැනගන්න ලැබෙයි නෙ..."
"අනේ මන්දා... මේ වතාවෙ මොන ගිණිගෙඩියද්ද දන්නෑ?" ඇගේ හඬ බිඳුණේ ය. උගුර හිර කරමින් නැඟී එන ඉකියත්, ගැහෙන්නට ගත් උර හිස් දෙකත් සඟවාගන්නට මෙන් ඈ ගෙතුළට දිව ගියා ය.
* * *
සේරුවාවිල මහා සෑයේ නටඹුන් ගොඩැල්ල ඉදිරිපිටදී, තම දෙපා මුල වැඳ වැටුණු විදේශිකයාගේ හිස සුරතින් පිරිමැදි ලුණුගල ධර්මකීර්ති උන්නාන්සේ, ආශීර්වාද කළේ හදවතින් ම ය.
"ටිරෙල් උන්නැහේ ගියාට පස්සේ... අපට තමයි බොහොමත් ම පාඩුව..."
"එහෙමයි අපෙ උන්නාන්සේ..."
"එහෙමයි උන්නාන්සෙ. මේක රජවාසල කැඳවීමක් නෙව..." ගන්තලාවේ රටේ මහත්තයා සිය හඬ අවදි කළේ ය. "මුන්නැහැට විතරයි එන්ඩ කියලා තියෙන්නෙ. දරු පවුලකුත් වෙච්චි එකේ, මුන්නැහැ ආපහු මේ පැත්තෙ ඒවි..."
"අපි ගෙහුං එන්නං උන්නාන්සේ..." ඉන්ද්‍ර අවසර ගත්තේ ය.
"හා හා... හොඳා හොඳා... මීමුරේ නිළමෙ ඇත්තො... අපේ ටිරෙල් උන්නැහැ පරවේසමෙං ආපිට එවමුකො..."
සුදු අශ්වයෙකු පිට නැඟුණු ඉන්ද්‍ර ද, දුඹුරුවන් අසු ගත් ටිරෙල් ද ගුරු පාර දිගේ නොපෙනී යන තුරුත් දිසානායක රටේ මහතාත්, ධර්මකීර්ති උන්නාන්සේ ත් රැළි වැටුණු දෑසින් බලා සිටිය හ.
28 කොටස ඉතාම ඉක්මණින්...