Monday, May 20, 2019

වෙසක් කළාපය - වසලයෙකුගේ ලක්ෂණ (වසල සූත්‍රය ඇසුරින්)

බුදු හාමුදුරුවෝ සැවැත් නුවර ජේතවන නම් උයනේ අනේපිඬු සිටුවරයා තැනවූ විහාරයේ වාසය කරන කාලයක, දවසක් උදේ වරුවේ උන් වහන්සේ සැවැත් නුවර පිඬු සිඟා වැඩියා. එදා අග්ගික භාරද්වාජ නම් බමුණා, ගේ ඉදිරිපිට යාග ගින්නක් සකස් කරගෙන හිටියා. බුදු හාමුදුරුවන් තමන්ගේ ගේ දිහාට එන බව දුටු අග්ගික භාරද්වාජ,

"තට්ටයා ඔතනම නවතිණු. මහණා ඔතනම නවතිණු. වසලයා ඔතනම නවතිණු!" කියා කීවා.

https://live.staticflickr.com/7755/27472073185_f6f990c25b_b.jpg

ඒ ඇසූ බුදු හාමුදුරුවෝ, "බමුණ, ඔබ වසලයෙක් කරන දේ අනුව වසලයෙක් වෙන්කර අඳුනාගන්න දන්නවාද?" කියා ඇසුවා.

"මම දන්නෙ නෑ. ඔබ දන්නවානම් මට කියන්න" බමුණා කිව්වා.

"එහෙනම් අහගන්න..." කියා බුදු හාමුදුරුවෝ ඔහුට වසල සූත්‍රය දේශනා කළා.

කෙනෙක් නිතරම කේන්ති ගන්නවානම්,
වෛර බඳිනවානම්,
අනුන්ගේ ගුණ නසන පාපී ගති ඇත්නම්,
සම්‍යක් දෘෂ්ඨියෙන් ඈත් ව සිටිනවා නම්,
කපටි ප්‍රයෝග කරනවා නම්,

සතුන්ගේ සහ පක්ෂීන්ගේ පණ නසන්නේ නම්,
සත්ත්වයින් ගැන දයාවක් නැත්නම්,

ගම්මාන විනාශ කරන්නේනම්,
ගම්මාන වටළාගන්නේනම්,
ගම්මාන කොල්ලකන හොරෙක් කියා ප්‍රසිද්ධ වන්නේනම්,

ගමක හෝ කැලෑවක හෝ අනුන් සතු දෙයක් හෙර සිතකින් ගන්නේ නම්,

ඒකාන්තයෙන්ම ණයක් ගෙන, එය ඉල්ලන විට මම ඔබට ණය නැතැයි ප්‍රතික්ෂේප කරනවානම්,

පාරේ යන අය මරා ඔවුන්ගේ සුළු හෝ වස්තුව පැහැර ගන්නවානම්,

තමන් නිසා හෝ
අනුන් නිසා හෝ
ධනය නිසා හෝ
බොරු සාක්ෂි දෙනවානම්,

නෑයෙකු ගේ හෝ යාළුවෙකුගේ භාර්යාවක්
බලහත්කාරයෙන් හෝ ඒ ගැහැණියගේත් කැමැත්තෙන්
අනාචාරයට පොළඹවා ගන්නේනම්

බොහෝ ධනය ඇතිවත්
මහළුවූ දෙමාපියන් පෝෂණය නොකරන්නේනම්

දෙමාපියන්ට හෝ බෑණාට හෝ ලේලියට
හිංසා කරනවානම්
වචනයෙන් ක්‍රෝධ කරනවානම්

නොදන්නා යමක් ඇසූ විට අහිතකර දෙයක්ම කියනවානම්
ඇත්ත නැත්ත කර උත්තර දෙනවානම්

පව් කරමින්, කවුරුවත් ඒක දැනගන්නවාට අකමැතිනම්
අනුන්ට නොදැනෙන්නට කරන ළාමක ක්‍රියා ඇත්නම්

වෙනත් ගෙදරකට ගොස් රසවත් ආහාර වළඳා
ඒ අය තමන්ගේ ගෙදරට ආවිට සංග්‍රහ නොකරන්නේනම්

බමුණෙකු හෝ මහණෙකු හෝ වෙනත් යාචකයෙකු
තමන්ගේ ගෙට ආ විට බොරු කියා රවටන්නේනම්

බමුණෙකු හෝ මහණෙකු කෑම කන වෙලාවේ තමන්ගේ ගෙට ආ විට
බැණ වදිනවානම්
කිසිවක් දෙන්නේ නැත්නම්

මෙ ලෝකයේ යමෙක් මෝඩකමින්
කවුරු හරි දෙයක් ලැබෙනවාට කැමැත්තෙන් තමන් වෙත ආ විට
දුෂ්ඨ කතා කියන්නේනම්

මානය නිසා පිරිහීමෙන්
තමන් උසස් කියා ද, අනික් අය පහත් කියා ද සළකන්නේනම්

ලෝකයේ සත්ත්වයින්ට කෝප කරන්නේනම්
තද මසුරෙක් නම්
නැති ගුණ ඇති බව පෙන්වන්නේනම්
ලැජ්ජා නැති පවට බය නැති කෙනෙක්නම්

බුදුන්ටත්, එතුමාගේ ශ්‍රාවකයන්ටත්,
පාරිබ්‍රාජකයන්ටත්, ගිහියන්ටත්
පිරිහෙලා කතා කරන්නේනම්

මේ අය වසලයෝ වෙති

කෙනෙක් රහත් නොවී රහත් බව අඟවන්නේනම්
ඔහු පළමුවෙනි මහ සොරා වෙයි
වසලයින්ගේත් අධමයා වෙයි

උපතින් කෙනෙක් වසලයෙක් නොවේ
උපතින් කෙනෙක් බ්‍රාහ්මණයෙක්ද නොවේ
කෙනෙක් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් වන්නේ ඔහුගේ ක්‍රියාවන් අනුවයි

මගේ දේශනය මේ උපමාවෙන්ද තේරුම් ගන්න
කෑම සඳහා බලු මස් උයන (සැඩොල්?) සෝපාක හෙවත් මාතංග නමින් ප්‍රසිද්ධ වූ කෙනෙක් සිටියා

ඒ මාතංග, හීන කුළයේ උපන් කෙනෙකුට ඉතා දුර්ලභ වූ කෙතරම් උසස් යසසකට පැමිණියාද කියතොත්
එතුමාට උපස්ථාන කරන්න ක්ෂිත්‍රියයෝ ද බ්‍රාහ්මණයෝද පැමිණියා

එතුමා බුදුන් ආදී අය ගේ පාරේ යමින් කාමරාගය නැති කොට අවසානයේ බ්‍රහ්ම ලෝකයේ උපන්නා

හීන කුලයේ ඉපදීම එතුමා බ්‍රහ්ම ලෝකයේ ඉපදීම වළක්වන්න සමත් වුණේ නෑ

වේද ඉගෙනීම උපතින් හිමි කරගත්, වේදයම පිළිසරණය කොටගත් බ්‍රාහ්මණයෝ නිතර පව් කම් කරනවා දකින්න පුළුවන්

ඔවුන් මේ ජීවිතයේදී සමාජයෙන් ගැරහීමට ලක් වෙනවා
පරලොවදී දුකට පත් වෙනවා.
ඉහළ කුළයක ඉපදීම ඔවුන්ට මෙලොව ගර්හාවෙන් හෝ පරලොව දුගතියෙන් හෝ ගළවාගැනීමට සමත් වෙන්නේ නෑ

උපතින් කෙනෙක් වසලයෙක් නොවේ
උපතින් කෙනෙක් බ්‍රාහ්මණයෙක්ද නොවේ
කෙනෙක් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් වන්නේ ඔහුගේ ක්‍රියාවන් අනුවයි

මෙසේ බුදුහාමුදුරුවෝ දේශනා කළාට පස්සේ අග්ගික භාරද්වාජ,

"ගෞතමයන් වහන්ස, බොහෝම මනහරයි. යටිකුරු කර තිබුණු දෙයක් උඩුකුරු කරලා පෙන්වනවා සේ, වසා තිබූ දෙයක් ඇර පෙන්වනවා සේ, මං මුළා වූ කෙනෙකුට පාර පෙන්වනවා සේ, ඇස් ඇති අයට පෙනේවා කියා අඳුරේ පානක් අල්ලාගෙන ඉන්නා සේ, ඔබ නොයෙක් ආකාරයෙන් ධර්මය කියාදුන්නා. මම ඔබත්, ඔබේ ධර්මයත්, ඔබගේ ශ්‍රාවකයනුත් සරණ යනවා. අද පටන් දිවි ඇති තෙක් ඔබ සරණ ගිය උපාසකයෙක් වෙනවා" කියා කීවා.

මගේ එකතු කිරීම

වසල සූත්‍රය ඇසුරින් සිසිර කුමාර මාණික්ක ආරච්චි ලියපු, ඒ. ජේ. කරීම් ගායනා කරපු ගීතය මේ...



භාරද්වාජ වරු දෙන්නෙක් මට මතක හැටියට ඉන්නවා. "අග්ගික" කියන්නෙ අග්නියක් සම්බන්ධ නිසා වෙන්න ඕනෙ. අනික් කෙනා තමයි බුදු හාමුදුරුවන්ට දානෙට ආරාධනා කරලා කට රිදෙන තුරු බැණපු "අක්කෝසක" හෙවත් ආක්‍රෝෂක... මට හිතෙනව මේ දෙන්නා වෙන වෙනම අඳුනගන්න නමට මුලින් ක්‍රියා විශේෂණයක් දාල වෙන්නැති කියල.

අනික තමයි, සිංහල බෞද්ධයන් සහ බුද්ධාගමේ ආරක්ෂකයන් විදිහට පෙනී සිටින උදවිය කොයි තරම් නම් බුදුන් වදාළ ධර්මයේ හැටියට වසල වැඩ කරනවාද කියන එක...

මූලාශ්‍ර
https://www.thripitakaya.org/sutta/index/21126
https://suttacentral.net/snp1.7/si/zoysa

ත්‍රිපිටකය සම්පූර්ණයෙන් කියවන්න ආස අයට මෙන්න
https://thripitaka.org/

Friday, May 10, 2019

අංගුලිමාල ගැන - වෙසක් කළාපය

අංගුලිමාල සූත්‍රයෙ තියෙන්නෙ මොනවද? මේ පහළ තියෙන්නෙ ඒ සූත්‍රය මුල සිට සිංහලෙන්...

බුදු හාමුදුරුවෝ එක කාලයක සැවැත් නුවර ආසන්නයේ ජේතවන නම් උයනේ අනේපිඬු සිටුවරයා ඉදිකරවා පූජා කළ ආරාමයේ වාසය කළා.

ඒ කාලයේ ප්‍රශන්නජිත් කොසොල් රජු ගේ පාලනයට යටත් වුණු කොසොල් ජනපදයේ රෞද්‍ර වූ, ලේ තැවරුණු අත් ඇති, මැරීමෙහි සහ විනාශ කිරීමෙහි යෙදුණු, ප්‍රාණීන් ගැන කරුණාවක් නැති අංගුලිමාල නම් හොරෙක් වාසය කළා. ඔහු නිසා ගම්, නියම්ගම්, ජනපද පාලුවට ගියා. ඔහු මිනිසුන් මරා ඔවුන්ගේ ඇඟිලිවලින් බැඳපු මාලයක් දැරුවා. (මට පොඩි කාලෙ ඉඳන් තිබුණු ප්‍රශ්නයක් තමයි, දවස් කීපයක් යද්දි ඔය ඇඟිලි කුණු වෙනව නේද? එතකොට ඔය මනුස්සයට ලෙඩ හැදෙන්නැද්ද? කියන කාරණා)


ඉතින් දවසක් බුදු හාමුදුරුවෝ හවස් කාලයේ අංගුලිමාල කියන හොරා ඉන්න ප්‍රදේශයට වැඩම කරන්නට ඒ දෙසට තියෙන පාරෙ ගමන් කළා. එතුමා දැකපු ගොපල්ලෝ, සතුන් බලන්නෝ, ගොවියෝ, මගියෝ ආදී අය අංගුලිමාල ගේ රෞද්‍රකම ගැන කියලා, එතුමා වළක්වන්නට තැත් කළා. "මේ පාරෙ යනවනම්, දහදෙනෙක්, විසි දෙනෙක්, තිස් දෙනෙක්, හතළිස් දෙනෙක්, පණස් දෙනෙක් ආදී වශයෙන් කණ්ඩායම් විදිහටයි මිනිස්සු යන්නේ. ඒත් අංගුලිමාලගෙන් බේරුණු කෙනෙක් මේ වන තෙක් හිටියෙ නෑ" කියලත් කිව්වා. ඒත් බුදු හාමුදුරුවෝ ඔවුන්ට උත්තර නොදී දිගටම ගමන් කළා.

අංගුලිමාල දුරදීම බුදු හාමුදුරුවන් දැක්කා. "සාමාන්‍යයෙන් මේ පාරෙ මිනිස්සු යන්නෙ කණ්ඩායම් විදිහට. පණහක් ආවත් මගෙන් විනාශ වුණා මිසක් බේරුණු කෙනෙක් නෑ. ඒත් මේ මහණා තනියම එන්නෙ. මොකක් නමුත් බලවත් කමක් නිසා. මම මේ මහණා මරණවා" කියා අංගුලිමාල හිතුවා.

ඉතින් අංගුලිමාල කඩුවත්, පළිහත් අරගෙන, දුන්න ඇද ගෙන බුදු හාමුදුරුවන් පස්සෙ ලුහු බැන්දා. සාමාන්‍ය ගමන් විලාසයෙන් යන බුදු හාමුදුරුවන් ට, පුළුවන් තරම් වීර්යයෙන්, ශක්තියෙන් එළවන අංගුලිමාල ට කිට්ටු වෙන් බැරි වන විදිහේ සෘධියක් බුදු හාමුදුරුවෝ පෑවා.

"පුදුමයි. මම මීට කලින් දුවන ඇතෙක්, අශ්වයෙක්, රථයක් වුණත් එළවාගෙන ගිහින් අල්ල ගන්නවා. දුවන මුවෙක් උනත් මට අල්ලගන්න පුළුවන්. ඒත් මේ සාමාන්‍ය ගමනින් යන මහණා අල්ල ගන්න බෑ." අංගුලිමාල පුදුම වුණා.

"මහණ, සිටු!" අංගුලිමාල නැවතිලා, කෑගැහුවා.

"අංගුලිමාල, මම නැවතුණා. නුඹත් නවතින්න" බුදු හාමුදුරුවෝ කිව්වා.

"මේ ශාක්‍ය පුත්‍ර ශ්‍රමණයා ඇත්ත කතා කරනවලු. ඒත් මේ ශ්‍රමණයා යන ගමන්ම, "මම නැවතුණා. නුඹත් නවතින්න" කියනවා. මම මේක අහන්න ඕනෙ..." කියා අංගුලිමාලට හිතුණා.

"ඔබ යමින් සිට, මම නැවතුණා කියනවා. නැවතුණු මට නවතින්න කියනවා. ඔබ නැවතුණා කියන්නෙත්, මම නැවතුනේ නැතැයි කියන්නෙත් කොහොමද?" කියා අංගුලිමාල ඇහුවා.

"අංගුලිමාල, මම හැම විටම කිසිම සතෙකුට හිංසා නොකර සිටිමි. ඔබ සතුන්ට හිංසා කරමින් සිටියි. ඒ කාරණයෙන්, මම නැවතිලා, ඔබ නැවතිලා නෑ..." බුදු හාමුදුරුවෝ වදාළා.

"මේ ශ්‍රමණයා ඒකාන්තයෙන්ම මට කරුණවෙන් මේ කැළෑවට වැඩියේ. මටත් සෑහෙන කාලයකින් ධර්මය ගැබ්වුණු කියමනක් අසා, අකුසල් දුරු කරන්න ලැබුණා..." මෙහෙම හිතලා අංගුලිමාල නම් හොරා ආයුධ ගැඹුරු වළකට දාලා, බුදු හාමුදුරුවන්ට වැන්දා. ඒ ගමන්ම "මා පැවිදි කරන්න" කියලා ඉල්ලුවා.

බුදුහාමුදුරුවෝ එයාට, "මහණ, මෙසේ එන්න" කියා පැවිදි කළා. (ඒහි භික්ඛු භාවයෙන්... මෙහෙම මහණ වෙන්න නම් ගිය ආත්ම වල පිරිකර පූජා කරල තියෙන්න ඕනෙලු කියලා බාහිය දාරුවීරිය කතාවෙදි කියනවා... (කොහොමද මාකටින්?))

ඉන්පසු අංගුලිමාල හාමුදුරුවෝ බුදු හාමුදුරුවන් පසුපසින් සැවැත් නුවරට වැඩියා.

එදා ප්‍රශන්නජිත් කෝසල රජතුමාගෙ මාළිගාවේ දොරටුව ළඟ නගර වැසියෝ එකතු වෙලා උද්ඝෝෂණයක් කළා, අංගුලිමාල නම් හොරාගෙන් ජනපදය බේරා දෙන්න කියලා. ඒක ඇහුණු රජතුමා පන්සීයක් අශ්වාරෝහකයන් අරගෙන රථයකින් පිටත් වෙලා, ජේතවනාරාමයට ආවා. ඇවිත් රථයෙන් බැහැලා පා ගමනින් ඇවිත් බුදු හාමුදුරුවන් බැහැ දැක්කා.

"මොකද මහරජ, මගධ රටේ බිම්බිසාර රජු හෝ, විශාලාවේ ලිච්ඡවි රජ දරුවන් හෝ වෙනත්  සතුරු රජ කෙනෙක් කිපිලා ද?" කියා බුදු හාමුදුරුවෝ ඇහුවා. (මම බෞද්ධ සාහිත්‍යයේ කීප විටක්ම දැකලා තියෙනවා ඔය විදිහට උත්තරය දැන දැන, ප්‍රශ්න අහන අවස්ථා)

"හාමුදුරුවනේ, සතුරු රජ කෙනෙක් නෙවෙයි, මගේ ජනපදයේ රෞද්‍ර, අංගුලිමාල නම් ඝාතකයෙක් ඉන්නවා. මම ඔහු වළක්වන්න යන්නෙ" රජතුමා කිව්වා.

"මහරජ, ඔය කියන අංගුලිමාල: කොණ්ඩය, රැවුළ කපලා, කසාවත ඇඳලා, ගිහි ගෙයින් නික්මිලා, පැවිදි වෙලා, සතුන් මැරීමෙන්, සොරකම් කිරීමෙන්, බොරු කීමෙන් වැළකිලා, දවසට එක වේලක් අනුභව කරලා, බ්‍රහ්මචාරී වෙලා, සිල්වත් වෙලා, යහපත් වෙලා ඉන්නවා දැක්කොත් ඔබ මොකද ඔහුට කරන්නේ?" බුදු හාමුදුරුවෝ ඇහුවා.

"එහෙනම් මම එතුමාට වඳිනවා. මම ඉන්න ආසනයෙන් නැගිටිනවා, ආසන පණවනවා. පිරිකර පූජා කරනවා. ධාර්මික විදිහට එතුමාට ආරක්ෂාව සපයනවා." කෝසල රජු කිව්වා "ඒත් හාමුදුරුවනේ, ඒ වගේ දුස්සීල, ළාමක මනුස්සයෙක් ඔය කියන විදිහේ සංවරයක් ඇති කරගන්නෙ කොහොමද?"

ඒ ගමන බුදුහාමුදුරුවෝ ඒ අසළ තැනක වැඩ හිටපු අංගුලිමාල තෙරුන්ට අත දික් කරලා, "මහරජ, මේ ඉන්නේ ඒ අංගුලිමාල" කියා පෙන්නුවා. ඒ දැකපු රජතුමාට, බය හිතුණා. තැති ගැනුනා, ලොමු ඩැහැගැන්මක් ඇති වුණා. ඒක දැකපු බුදු හාමුදුරුවෝ, "මහරජ බය වෙන්න එපා." කිව්වා. ඒ වචන වලින් බය නැතිවුණු රජතුමා, අංගුලිමාල තෙරුන් ළඟට ගියා.

"හාමුදුරුවනේ, ඔබ වහන්සේ අංගුලිමාල හාමුදුරුවොද?" රජතුමා ඇහුවා.

"මහරජ, ඔව්" එතුමා කිව්වා.

"ඔබවහන්සේ ගේ පියා ගේ ගෝත්‍රය මොකක්ද, මව් ගේ ගෝත්‍රය මොකක්ද?" (මේ ප්‍රශ්නය හරියට කෝසල රජතුමාට බුදු හාමුදුරුවන්ගේ වචනය විශ්වාස කරන්න බැරි වෙලා ඇහුවා වගෙයි.)

"මහරජ, මගේ පියා ගර්ග ගෝත්‍රයේ. මව් මන්තානී නම් බැමිණිය."

"එසේනම්, ඔබ වහන්සේ ශාසනයේ ඇලී වාසය කරත්වා. මම ඔබට සිව්පසයෙන් පිදීමට උනන්දුව ඇති කරන්නම්" රජතුමා කිව්වා.

අංගුලිමාල තෙරුන් ආරණ්‍යක, පිණ්ඩපාතික, පාංශුකූලික වගේම තුන් සිවුර පමණක් දරන හාමුදුරු නමක් වූ නිසා, "මහරජ, ඒක අවශ්‍ය නෑ. මට තුන් සිවුර සම්පූර්ණයි." කිව්වා.

ප්‍රශන්නජිත් කෝසල රජතුමා බුදු හාමුදුරුවන් ළඟට ආවා. ඇවිත් වැඳලා, "හාමුදුරුවනේ, පුදුමයි. ඔබ වහන්සේ දමනය කළ නොහැකි අය දමනය කරනවා. සංසිඳුවන්න බැරි අය සංසිඳුවනවා. කෙලෙස් නිවා නැති අය නිවනවා.

"අපි දඬු මුගුරුවලින්, ආයුධවලින් උත්සාහ කරලා දමනය කරන්න අපොහොසත් වෙනවා. ඒ උදවියම ඔබ වහන්සේ දණ්ඩෙන්, ආයුධවලින් තොරව දමනය කරනවා."

මෙහෙම කියලා රජතුමා බුදු හාමුදුරුවන්ට වැඳලා ආපහු ගියා.

දවසක් අංගුලිමාල හාමුදුරුවෝ පිඬුසිඟා වැඩියා. ඒ ගිය එක් ගෙදරක ගර්භයේ හරහට පිහිටපු දරුවෙක් බිහි කරන්න වේදනා විඳින ස්ත්‍රියක් දුටුවා. පිඬු සිඟා යාමේ කටයුත්ත ඉවර වුණාට පස්සේ එතුමා බුදු හාමුදුරුවන් ළඟට වැඩියා.

"ස්වාමීනී, මම සැවැත් නුවර පිඬු සිඟා යද්දි, දරු ගැබ හරහට පිහිටීමෙන් වේදනා විඳින එක්තරා ස්ත්‍රියක් දුටුවා." අංගුලිමාල තෙරුන් කිව්වා.

"එහෙනම් ඔබ එතනට ආපහු යන්න. ගිහින් ඒ ස්ත්‍රියට, "නැගණිය, මම උපන්දා සිට සතෙකුගේ ජීවිතය දැන දැන හාණි කළ බවක් නොදනිමි. ඒ සත්‍ය වචනය නිසා ඔබට සැපක් වේවා. දරු ගැබටත් සැපක් වේවා!" කියා කියන්න." බුදු හාමුරුවෝ වදාළා. (ඒකත් අර උඩ කිව්වා වගේ දැන දැන වෙන දෙයක් කියන අවස්ථාවක්. මම හිතන්නේ පසු කාලයකදී බණකතා කාරයන් එකතු කරපු දෙබස් වෙන්නත් පුළුවන්. නැත්නම් දැනට අවුරුදු දෙදාස් හයසීයකට විතර කලින් ඉන්දියාවේ කතා කරපු විලාසය වෙන්නත් පුළුවන්...)

"ස්වාමීනී, මම එහෙම කිව්වොත් ඒක බොරුවක් වෙනවා." අංගුලිමාල හාමුදුරුවෝ කිව්වා.

"අංගුලිමාල, එහෙනම් ඔබ ගිහින් මෙහෙම කියන්න. "නැගණිය, මම ආර්ය ජාතියේ උපන් දා පටන් දැන දැන සතෙකු ජීවයෙන් තොර කළ බව නොදනිමි ඒ සත්‍ය වචනය නිසා ඔබට සැපක් වේවා. දරු ගැබටත් සැපක් වේවා!" කියා කියන්න." බුදු හාමුරුවෝ වදාළා."

ඒ අනුව අංගුලිමාල තෙරුන් ඒ ගෙදරට වැඩම කරලා, ඒ ස්ත්‍රියට, "නැගණිය, මම ආර්ය ජාතියේ උපන් දා පටන් දැන දැන සතෙකු ජීවයෙන් තොර කළ බව නොදනිමි ඒ සත්‍ය වචනය නිසා ඔබට සැපක් වේවා. දරු ගැබටත් සැපක් වේවා!" කියා වදාළා. එයින් ඒ ස්ත්‍රිය සුවපත් වුණා. දරු ගැබත් සුවපත් වුණා.

ඉන්පසු අංගුලිමාල තෙරුන්, තනිවම, විවේකීව, කෙළෙස් නැතිකිරීමේ වීර්යයෙන්, තමන් ගැන ආලය අත්හැර වාසය කරමින්, කෙටි කාලයකින්ම රහත් බව ලබාගත්තා.

ඉන්පසු දවසක, අංගුලිමාල රහතන් වහන්සේ සැවැත් නුවර පිඬු සිඟා වඩිද්දී, වෙනපැත්තකට ගහපු ගලක්, දණ්ඩක්, කැටකැබිලිති, එතුමාගේ ඇඟේ වැදුණා. ඉතින් එතුමා හිස පැළිලා, ගලන ලෙයින් නැහැවිලා, පාත්‍රය කැඩිලා, සිවුරු විසිරිලා ගිහින් බුදු හාමුදුරුවන් ළඟට වැඩියා. බුදු හාමුදුරුවෝ අංගුලිමාල රහතන් වහන්සේ ඈතදීම දැකලා, "බමුණ, ඉවසන්න. කර්මයක විපාකය නිසා අවුරුදු ගණන්, අවුරුදු සිය දහස් ගණන්, නරකාදියේ පැසෙමින් ඉන්න වෙනවා. නමුත් ඔබ ඒ විපාකය මේ ආත්මයේදීම විඳිනවා." කියා වදාළා.

එවිට අංගුලිමාල රහතන් වහන්සේ නිවන් දුටු තැනැත්තෙක් විදිහට තමන්ගේ සතුට ප්‍රකාශ කරන්න මේ විදිහට කිව්වා...

1. කලින් ප්‍රමාද වූ කෙනෙක් පසුව අප්‍රමාද වෙනවා නම්, ඒ තැනැත්තා වළාකුළෙන් මිදුණු සඳ වගේ ලෝකය බබලවයි.

2. කෙනෙක් කලින් අකුසල කර්ම කරලා, ඉන්පසු කරන කුසල් කර්මවලින් ඒවා වසා දමන්නේ නම්, ඒ තැනැත්තා වළාකුළෙන් මිදුණු සඳ වගේ ලෝකය බබලවයි.

3. තරුණ මහණෙක් බුදුන්ගේ ශාසනයේ වීර්යයෙන් යුක්තව වාසය කරනවානම්, ඒ තැනැත්තා වළාකුළෙන් මිදුණු සඳ වගේ ලෝකය බබලවයි.

4. මගේ සතුරෝ ධර්මානුකූල කතා අසත්වා, මගේ සතුරෝ බුදුන්ගේ ශාසනයේ වීර්යයෙන් යුක්තව වාසය කරත්වා, මගේ සතුරෝ ධාර්මික සත්පුරුෂයන් ආශ්‍රය කරත්වා.

5. මගේ සතුරෝ: ඉවසීම ප්‍රකාශ කරන, මෛත්‍රියට ප්‍රශංසා කරන අයගේ ධර්මය නියම කාලයේදී අසා, ඒ ධර්මයට අනුව කටයුතු කරත්වා.

6. ඔවුන් මට හිංසා නොකරත්වා, වෙනත් අයටත් හිංසා නොකරත්වා, නිවණ අවබෝධ කරගෙන කෙළස් රහිත හා සහිත සත්ත්වයන් ආරක්ෂා කරත්වා.

7. දිය මං තනන්නෝ තමන්ට උවමනා තැනට දිය බැස යාමට සළස්වති. ඊ වඩුවෝ දඬුවල ඇද අරිති. වඩුවෝ යතු ගා දඬු ඇද අරිති. එසේම නුවණැත්තෝ තමන් දමනය කරගනිති.

8. සමහරු දණ්ඩෙන්, හෙණ්ඩුවෙන්, කසයෙන් හෝ සැමිටියෙන් දමනය කරති. අටලෝ දහමින් කම්පා නොවන සර්වඥයන් වහන්සේ දණ්ඩක් හෝ ආයුධයක් නැතිව මා දමනය කළ සේක.

9. මීට කලින් මට "අහිංසක" යැයි නමක් තිබුණා. අද මම ඒ නම සත්‍ය වශයෙන් දරණවා. මම කිසිවෙකුටත් හිංසා කරන්නේ නෑ. මීට පෙර මම අංගුලිමාල කියා ප්‍රසිද්ධ වූ හොරෙක් වී සිටියා. කාම ආදී මහ වතුරෙන් ගහගෙන ගිය මම බුදුන්ගේ මාර්ගයේ ගමන් කරන්න පටන් ගත්තා.

10. මීට පෙර අංගුලිමාල කියා ප්‍රසිද්ධවී ලේ තැවරුණු අත් ඇති තැනැත්තෙක් වූ මා අද ගමන් කරන මාර්ගය බලන්න. මම භවයට ඇති ආශාව අත් ඇරියා.

11. දුගතියට පත් කරන එවැනි අකුසල කර්ම රාශියක් කරමින් ඉඳලා, කුසල් මාර්ගයට මම පැමිණියා. දැන් මම භුකිත් විඳින දේට ණයක් නෑ.

12. නුවණ නැති බාල ජනයා ප්‍රමාද වී වාසය කරති. නුවණැත්තෝ අප්‍රමාදව (එළඹ සිටි සිහියෙන් කටයුතු කරමින්) වාසය කරති.

13. ප්‍රමාද නොවන්න. පස්කම් සැපයට ඇලී නොසිටින්න. අප්‍රමාදව නුවණින් දකින තැනැත්තා සුවපත් වේ.

14. බුදුවරුන් දෙසා වදාළ ධර්මයන් අතරින් උත්තම ධර්මයට මම පැමිණියෙමි.

15. මම බුදුන් වහන්සේ අනුශාසනය කරන ලද ත්‍රිවිද්‍යාවන්ට පැමිණියෙමි.



ආශ්‍රිත මූලාශ්‍ර...
https://dahamsithum.wordpress.com/2012/09/14/86-අංගුලිමාල-සූත්‍රය/

වැඩිපුර බලපු ලිපි