"ඒ දේශනාවෙ ලොකු ගැඹුරක් තියෙනවා." ඇඩම් කල්පනා බරව කීවේ ය. "කාලයක් තිස්සේ හිතේ තියාගෙන, මෙනෙහි කරමින් තේරුම් ගන්න දෙයක් එතන තියෙන්නේ..."
දුර්ගා හෙවත් අග්නි සිය යුරෝපීය සගයා හට ගෞතම දේශනාව සිතෙහි ධාරණය කරගැනීමට ඉඩ හරිමින් නිහඬ වූවා ය.
සෑහෙන වේලාවක් තිස්සේ ඔවුන් දෙස විමසිලිමත්ව බලා සිටි ආගන්තුකයෙක් ගල් ගුහාව තුලින් පිටතට පිය එසවූයේ තවත් කිහිප මොහොතක් ගත වූ පසුව ය.
ගල්තලාව මත හඩ නොනැගෙන සේ පියවර තැබීමට වෑයම් කිරීමේ දී නැගෙන සියුම් ශබ්දය නාවුකයාගේ කණට ඇසුණි. ඔහු හිස හරවා බැලීමට තැත් කරනු දුටු දුර්ගා සිය තියුණු බැල්මෙන් එය වැළැක්වූවා ය.
තමන් සිටි ඉරියව්වේම තවත් මොහොතක් ගත කළ තරුණිය ඇඩම් ගේ ඇඟිලි, සිය ඇඟිලි අතරින් මුදා හැර, නැවතත් උඩු අතට ගල් තලාව මත ඇල වූවා ය. ඇගේ නොසැළකිලිමත් ආලස්‍යය ට යටින් දිවුනු, තියුණු විමසිල්මත් බව දුටු ඩ්‍රේක් සිය ශ්‍රවණේන්ද්‍රිය කෙරෙහි අවධානය තීව්‍ර කර ගති.
නැඟුණු ඉතාම සියුම් පියවර හඬ කෙමෙන් කෙමෙන් ගල් තලාවේ ඉහළට ගොස් නෑසී ගියේ ය. ඇඩම් මුනින් අතට පෙරළී හිස මඳක් ඔසවා දෑත් මත තබා ගත්තේ අලස කල්පනාවකට වැටුණාක් මෙනි. ඔහුගේ දෑස් ගල් තලාව මත පැතිරුණු අඩ අඳුර විනිවිද ඉතාම තීක්ෂණ අයුරින් සෑම වර්ග අඟලක්ම නිරීක්ෂණය කරන්නට විය.
"අපි මෙතන වාඩිලාගෙන ටික වෙලාවකින් ම, ඔත්තු කාරයෙක් අර ගල් ලෙණට ආවා." දුර්ගා රහසින් කිවා ය. "ඒ ගැන ගණන් ගන්න එපා. ඒ වැද්දෙක්. ඒ අය බොහොම තදින් තමන්ගෙ සීමාවල් ආරක්ෂා කරනවා. එයාට උවමනා වුණේ අපි කවුද කියලා බලාගෙන, අපෙන් උවදුරක් නැති බව තහවුරු කරගන්න."
ඇඩම් දුර්ගා වෙතට ළං විය.
"මට අහන්න ප්‍රශ්න කීපයක් තියෙනවා."
"මට වෙලාව තියෙනවා. අහන්න..."
"එතකොට ඔයාලා හත් දෙනෙක් ඉන්නවා?"
දුර්ගා හිස සිරස් අතට සෙළවූවා ය. "මුල් ම කණ්ඩායම හත් දෙනෙක්. එයින් ගෝවින්ද, රුද්‍ර සහ ශක්ති ඉන්දියාවට ගියා ඒ අයගෙ අනුගාමිකයොත් එක්ක. අනික් හතර දෙනා මෙහෙ. රුද්‍ර සහ ශක්ති ගෙ දරුවො දෙන්නත් එක්ක හය දෙනයි."
"දරුවො දෙන්නෙක්? එක්කෙනෙක් ගැන ඔයා කිව්වනෙ. අනිත් කෙනා කවුද?"
"අයියනායක හෙවත් පුල්ලෙයාර්"
"එතකොට අනික් අයට දරුවො නැද්ද?"
"ගෝවින්ද ට මනුෂ්‍ය පෙම්වතියන්ගෙන් ලැබුණු දරුවො හිටියා. ඒත් අමරණීය දරුවො නෑ... හත් දෙනාගෙ කණ්ඩායමේ අනික් එකම ගැහැණිය මම. "
දුර්ගාගේ හුස්ම තම මුහුණට වැටෙන තරම් තමා ඇයට ළං වී ඇති බව ඇඩම් ට දැනුනේ ය.
"ආත්මන් ට ඊට පස්සෙ මොකද වුණේ?"
"ගෞතම තුමා ආපහු යනවත් එක්කම ඒ දෙන්නත් මේ දූපතෙන් පිටමං වුණා කියල තමයි දන්නෙ. කොහෙට ගියාද කියලා අපි හොයල බැලුවෙ නෑ. ඊට පස්සෙ ආරංචි වුණෙත් නෑ. ඒ දෙන්නගෙ දරු පරම්පරාව නම් හත් අට දෙනෙක් ඉන්නව දූපතේ. ඒ අය අපිත් එක්ක සහයෝගයෙන් කටයුතු කරනව. එක එක ප්‍රදේශ බලාගෙන, මිනිස්සුන්ට උදව් කරගෙන ඉන්නව..."
"අන්තිම ප්‍රශ්න දෙක... ඊට පස්සෙ මම නිදාගන්නව."
තරුණිය මඳහසක් පෑවා ය. "මොකද්ද?"
"රුද්‍ර සහ ශක්ති වගේ, අග්නිගෙ සහකාරයා වුණේ කවුද?"
දුර්ගා ගේ උරහිස් සහ ළැම ගැස්සෙන්නට වූයේ නවත්වාගත නොහැකි වූ සිනාවෙනි. ඈ ඇඩම්ගේ අතැඟිලි මිරිකා ගෙන සිනා සුණා ය...
"මම ඒ ප්‍රශ්නෙ බලාපොරොත්තු වුණේ නෑ..." යන්තම් නිදහස් හුස්මක් ගත හැකි මට්ටමට ආ විගස තරුණිය කීවා ය. "අග්නි ට සහකාරයෙක් හිටියෙ නෑ කවදාවත් ම. මොකද, කාටවත් එයාගෙ හැසිරීමට, ගතිගුණවලට එකඟ වෙලා එකට ඉන්න පුළුවන් වුණේ නෑ. හැම නිතරම අග්නි වැඩ කළේ තනියම, තමන්ට හිතුණු විදිහට. කාටවත් එයාගෙ දේවල් වෙනස් කරන්න හරි නතර කරන්න බැරි වුණා."
"එයා වගේම හිතුවක්කාර සහකාරයෙක් හම්බුණා නම් ඒක වෙනස් වෙනව."
"ඔව්..." ඇගේ තොල් අග නැවුණේ උපහාසාත්මක සිනා පොදකට ය. "අර කුරුඳු ළිහිණිය අතින් මැරුම් කන්න ගියා වගේ හිතුවක්කාරයෙක් වෙන්ටැති... මොකද්ද ඊළඟ ප්‍රශ්නෙ?"
"සිංහල භාෂාව හරිම මෘදුයි, අපේ යුරෝපිය භාෂා එක්ක බලනකොට. ඔයා සිංහල නැළවිලි ගී එහෙම දන්නවද? මට නිදි මතයි. ඒත් මේ ඉතිහාස කතාව මගෙ හිතේ තිබිය යුතු සාමදානය නැති කළා."
"නැළවිලි ගී නේද?" තරුණිය ගේ දෑස් දිප්තිමත් විය. "හොදයි... ඇස් පියාගන්න. මම කියන්නම් එකක්..."
"...දොයි දොයි දොයි... දොයිය බබා...
"...බයි බයි බයි... බයිය බබා..."
ඇගේ කටහඬ ඉතාම සෙමෙන්... ලාලිත්‍යයෙන් යුක්තව නැඟුනේ හරියටම වළාකුළින් සැදි තොටිල්ලක ලා සෙමෙන් සෙමෙන් දෙපසට පද්දන්නාක් මෙන් දනවමිනි... ඩ්‍රේක් ගේ දෑස් පියවී ගියේ ඉබේටම ය.
"ඔබෙ අම්මා... කොතන ගියා... පතන කැළේ... දරට ගියා...
"දර පොල්ලක්... කඩා ගෙනේ... ගුටි බැට දී... නලවන්නේ..."
"ඈ...?"
ඇඩම් ගේ දෑස් පුළුල්ව විවර විය. ඒ දෑසට එක් වරම ලක් වූයේ, තම මුහුණට අඟිල් කිහිපයක් නුදුරින්...දකුණත වැළමිට ළඟින් නවා ගල් තලාව මත වැතිරවා, ඒ මත හිස තබාගෙන සිටි දුර්ගා ගේ සුන්දර මුහුණේ පැතිරි සමච්ඡල් සහගත සිනාව ය.
* * *
කුකුළන් හඬළන්නට පටන් ගත්තා පමණි. එකෙක්... ඉන්පසුව කිහිප දෙනෙක්... බැගින් කුකුළු හැඬළීම පටන් ගෙන, මිනිත්තු කිහිපයක් යද්දී සම්පූර්ණ සංගීත සංධ්වනියක් තරමට ම... හාත්පස සෑම පැත්තෙන්ම කාහල නාදය රැව් දෙමින් නැඟෙන්නට විය. රැහැයියන්ගේ හඬ කෙමෙන් කෙමෙන් සිඳී ගොස් උදෑසන හිරු ගේ නැඟීමට ප්‍රබෝධමත් ආරම්භයක් එයින් අත්කර දෙන ලදි.
ගොනුන්ගේ ගෙල බැඳි මිණි ගෙඩිවල හඬ... ගැල් කරුවන් පහත් හඬින් කරන කතා බහ... උදෑසනින් දොවා උනු කරන කිරි බඳුන්වලින් නැඟෙන සුවඳ... තෙත්බර වාතස්කන්ධයේ සිසිල... අවට පැතිරි හිමිදිරි අඳුර මඳින් මඳ පහව යමින් අරුණාලෝකය පැතිර යන්නට ගත්තා පමණි.
කුරුඳු ලී පිරවූ කරත්ත දෙක වූයේ තවලමේ මැද හරියට වන්නට ය. ගැල් දහයක් පමණ එකක් පසුපස එකක් වශයෙන් ගමන් කරන්නට පටන් ගත්තේ ය. ලාඩම් ගැසූ ගව කුර බිම ගැටෙන හඬ, ගෙජ්ජි නාදය, හා කරත්ත රෝදවල ඩක ඩකය සමඟ මුසුවන සේ ඇද පැද ගායනා කෙරුණු කවියක් තවලමේ මුදුනා විසින් ආරම්භ කෙරුණි. මැද හරියේ කරත්තයක් මෙහෙයවමින් ගිය තවත් මිනිසෙක් එයට අත්වැල් අල්ලා ඒ කවියේ දෙවන පදය ගායනා කළේ ය...
සම්පූර්ණ නාවික නිල ඇඳුමෙන් සැරසී සිටි ඩ්‍රේක් මඟ අයිනේ වූ ගම ගෙදරක එළිපත මත සිටියේ ය. ඔහු ඉදිරිපිට සිටි දුර්ගා ඔහුගේ ගොරෝසු අත් දෙක සිය දෑතින් අල්ලාගෙන... හිස ඔසවා නාවිකයාගේ දෑස් දෙස බැලුවා ය.
"පරිස්සමින්... හොඳ කල්පනාවෙන් යන්න." ඈ සුරතල් ස්වරයකින් අවවාද කළා ය. "අනවශ්‍ය වීරකම්වලට යන්න එපා. මේ මුස්ලිම් මිනිස්සු අනුගමනය කරන්න. ඒ අය කරදර අවස්ථාවලදි හැසිරෙන විදිහ පොඩ්ඩක් අධ්‍යයනය කරල බලන්න. ඒ උපක්‍රම මම වෙන කිසිම ජාතියක දැකලා නෑ. හරිම සූක්ෂ්ම, ඒ වගේම උදාවෙන හැම අවස්ථාවකටම අනුගත වෙන්න පුළුවන් මිනිස්සු..."
"අපි ආයෙ මුණ ගැහෙන්නෙ..." ඇඩම් ගේ කටහඩ පැකිළුණි.
"රහස් දූරයේ අපි ඉන්නවනේ... ඉක්මණින්ම අපි ආපහු මුණ ගැහෙයි." ඈ ඔහුගේ නිල්වන් කබායේ ඉදිරිපස කොන්, අතැඟිලි තුඩින් නැවත නැවතත් සකස් කළා ය. "දැන් ඉක්මන් කරන්ට. අර මිනිස්සු පිටත් වෙලා..."
* * *
නිදිබර නෙත් දෙක දියෙන් තෙමාගත් සුභාෂ්, ආපසු ලැප්ටොප් පරිගණකයේ තිරය දෙස බැලී ය. සාලයේ බිත්තියක එල්ලා තිබූ, අත්තාගේ පැරණි ඔරලෝසුවේ ද්විත්ව සීනුව නාද වන්නට පටන් ගත්තේ ඒ අතර ය. එය දොළොස් වරක් නාද වූ බව තරුණයාට මතක ය. ඉන්පසු සිදු වූයේ නොසිතූ දෙයකි.
ඔහු පරිගණකයේ විවෘත කරගෙන සිටි අන්තර්ජාල බ්‍රවුසරයේ නව ටැබ් පිටුවක් විවර කරගත්තේ කිසිවක් නොසිතා ය. එහි සේව් කර තිබුූ කෙටි මං ඔස්සේ තම විද්‍යුත් තැපෑල විවෘත කළේ ඇයි දැයි ඔහු ම නොදත්තේ ය. එහි ඉන්බොක්සයේ උඩින්ම වූයේ ඒ වෙලාවේම පැමිණි පණිවුඩයකි.
"හිතවත් සුභාෂ්,
පෙ. ව. 7:30 ට ගෙලිඔය දුම්රිය ස්ථානය අසළ කළුගමුව පාරේ රේල් ගේට්ටුව අසළට එන්න.
ඉතාම වැදගත්"
'හ්ම්... මාර විහිළුව...' සිතමින් තරුණයා එම පණිවුඩය එවා ඇත්තේ කවුදැයිි බැලී ය.
"mithra.varuna@secretservice.gov.lk"
ඉන්කොග්නිටෝ ටැබ් පිටුවක් විවර කරගත් සුභාෂ් එහි ලිපින තීරුවේ www.secretservice.gov.lk ටයිප් කළේ ය. වෙබ් බ්‍රව්සරය මැද කුඩා රවුමක් කිහිප විටක් කැරකිණ. වෙබ් පිටුව විවෘත වූයේ එක්වරමය.
"RESTRICTED ACCESS" ටැබ් පිටුව මත කුඩා රතුවන් අකුරෙන් පුන පුනා සටහන් වී තිබුණේ ය.
* * *
සුභාෂ් නැවතත් වමත ඔසවා අත් ඔරලෝසුව දෙස බැලුවේ ය.
07:29.30
ඔහු සිටියේ කළුගමුව පාරේ රේල් ගේට්ටුවේ මෙහෙයුම් කුටිය ඉදිරිපස වූ කුඩා එළවලුු කඩය ඉදිරිපිට ය. පාරේ වංගුව නිසා ඔහු සිටි තැනට පාරේ දෙපස ම හොඳ දර්ශනයක් ලැබුණි.
ප්‍රධාන පාර දිසාවෙන් තද රතු පැහැති 1969 ෆෝඩ් මස්ටෑං මැක් 1 කාර් රථයක් ඇදී එනුු ඔහුුුුගේ දෑසට ලක් විය. පැරණ දේ අගය කරන, එයිනුුත් මෝටර් වාහන සහ දුම්රිය ගැන සැදැහැවත් බැතිමතෙක් වූ සුුභාෂ් සිටි තැනින් ඉදිරියට ආවේ වාහනය හොඳින් දැක බලා ගැනීමට ය.
මෝටර් රථය වේගය අඩු කරමින් පැමිණ රේල් ගේට්ටුවට මීටර් කිහිපයක් තියා අයින් කර නැවැත්විණි. එහි රියදුරු පැත්තේ දොර ඇරගෙන එළියට බැස්සේ ආකර්ෂණීය තරුණියකි. කලුවන් ඩෙනිම් ජීන්සය, රතු පැහැ ලිහිල් ටී ෂර්ටය සහ හිස මත පැළඳි කළු පැහැ අවු කණ්නාඩියෙන් සැරසුණු ඇය, වටපිට බැලුවා ය. ඇගේ නෙත් තමා දෙස හැරුණු වහා ම ඇගේ මුවෙහි සිනහවක් නැඟෙනු සුභාෂ් දුටුවේ ය. ඔහු ඈ දෙසට පිය නැගුවේ, තරුණිය තමන් වෙත එනු දුටුු හෙයිනි.
"හායි... මම තාරා..." ඇය දකුණත දිගු කළා ය. සුභාෂ් ඇගේ ඇඟිලි තුඩු යන්තමින් ස්පර්ෂ කරන්නට ප්‍රවේසම් විය.
"ඔයා නේද සුභාෂ් බණ්ඩාර ධනසේකර? ටිකිරි බණ්ඩාර ධනසේකර මහත්තයගෙ මුණුපුරා...?"
ඉතිරි කොටස ඉතාම ඉක්මණින්...