-------------------------------------------------------------------
මේ ලිපියට කලිං පලවෙන්නට නියමිතව තිබූ "අවසානයක් නොවේ" කතාවේ දෙවෙනි කොටස, මගේ කරුම දෝෂයක් හේතුවෙන් පළ නොවෙන අතර, එය මීළඟ පෝස්ටුවෙන් බලාපොරොත්තු විය හැකි බවට පාඨකයෝ කරුණාවෙන් අල කන්ඩය.
-------------------------------------------------------------------
ගරු - තර සභාවෙන් අවසරයි...
මම මේ වෙලාවෙ මුලින්ම ස්තූති කරන්ඩ කැමතියි, මට ඉතිහාස කැටගරියෙ තුංවෙනි ස්ථානය ලබා දෙන්ඩ තීරණය කළ විනිශ්චය මණ්ඩලයට.
ඒ වගේම මේ නෙළුම්යාය බ්ලොග් සම්මාන උළෙල පවත්වාගෙන යන්ඩ උරදෙන, තිරයෙන් පිටිපස්සෙ ඉන්න මම නොදන්න ගරු මහත්වරුන්ට, අජිත් ධර්මකීර්ති අයියට, නොසෑහෙන්න මහන්සි වුන බව අපි දෑහිම්ම දැක්ක කළ්‍යාණ මිත්‍ර සුමිත් කළණසිරි ට, සංගීතයෙන් අපේ දෙසවන් පුරවලා උතුරවා දාපු මනා, සජ්ජා, ඇතුළත් වාද්‍ය වෘන්දයට, කෙටි නාට්‍ය ආදිය අපට දැකගන්ඩ සළස්වපු උදවියට, කොටිම්ම කියතොත් නෙළුම්යාය 2015 සම්මාන උළෙලෙ කුදු මහත් සෑම අංගයක්ම සාර්ථක ලෙස ඉටු කරපු හැම දෙනාටම (නැත්තං මේ කතාව කොහෙං නවතියිද දන්නෑ...) ගොඩක් ස්තූතියි.
මා ඉතිහාසය විෂයට නැඹුරු වන්නට මුල් අඩිතාලම සැපයූ මගෙ (දැනට ජීවතුන් අතර නැති) තාත්තට, අපේ ඕලෙවල් ඉතිහාස ගුරුතුමිය වුනු බන්දුමතී මහත්මියට සහ අපේ බාහිර උපාධි පන්තියෙ පුරාවිද්‍යා ලොකු සර් වුණු ශාන්ත බණ්ඩාරනායක මහත්මයට මීළඟට මගෙ කෘතඥතාවය පිරිනමන්න කැමතියි.
බ්ලොග් එකක් ලියන්න මුල් අදහස් බීජය මා තුළ රෝපණය වුනේ "පොඩි කුමාරිහාමි", "සිරාගෙ කාමරේ", "සෑම් ගෙ කතාව" සහ "තහනම් අඩවිය" බ්ලොග් ආශ්රයෙන්. ඒ නිසා මං මීළඟට ස්තූති කරන්නෙ ප්‍රවීණා පලීපාන මහත්මියට, සංජීව සිරිවර්ධන මහතාට, සමින්දික ශ්‍රීමන්ත පෙරේරා මහතාට සහ හර්ශන අධිකාරී තරුණ මහතාට.
මගෙ බ්ලොග් එකේ මුල් කාලෙදි මාව දිරිමත් කරපු සදාදරණීය කමෙන්ට් කරුවන් සහ සින්ඩිකේටර් කරුවන් සියළු දෙනාටම මාව මේ තරම් දුරක් ගෙනඒම සම්බන්ධයෙන් මගේ හද පිරි කෘතඥතාවය... මේ තාක් කාලයක් මගේ බ්ලොග් එක ආශ්‍රය කරපු සියළුම පාඨකයන් ද මේ අවස්ථාවෙදි සිහිපත් කළ යුතුයි.
සම්මාන උළෙලට පාර කියූ ගූගල් මැප් එකට සහ ඒ අටමගලෙ විශ්වාස කරලා මං බීඑම්අයිසීඑච් පැත්තට යන්න යද්දි නියම මග පෙන්වපු සුරංග ට ඊළඟට ස්තූතියි.
සම්මානයක් ගන්ඩ තරංවත් දෙයක් ලියන්ඩ පසුබිම සැපයූ, උලතියන ව්ලාඩ් හවත් ව්ලැඩිස්ලෝස් ඩ්‍රැගූලියා වොයිවෝඩ් වරයාට, උන්දැට එහෙම හැසිරෙන්න බලපෑ මැතියාස් කෝවිනස් නම් හංගේරියානු රජුට සහ මෙහ්මඩ් නම් ඔටෝමන් පාලකයාට, ඩ්රැක්යුලා ගැන මුඛපරම්පරාගත් තොරතුරු සහ ඓතිහාසික ලියවිලි පවත්වාගත් සියලු දෙනාට, උන්දැගෙ නම අරං පොත් ලියපු බ්රෑම් ස්ටෝකර්ට සහ ඒ පොතෙන් ගහපු බයිස්කෝප් වල ඩ්රැකියුලාට නැටුව ක්‍රිස්ටෝෆර් ලී මහත්තෙයට මගෙ
අවසානයට, මට මේ කාඩ් එක ගහපු මහතුවා හෙවත් දීපාල් කාන්චන කුලරත්න ට සහ ඩිකී හෙවත් සෝබන (කස්තුරි) ශ්‍රියන්ත ට ද, ඒ කාඩ් එක ප්‍රොමෝට් කරපු සාගල, ඉන්දික (ශාන්ත ෆෝකා මුනිතුමා) සහ ආසිරි (හර්කියුලීස්) මිතුරන්ට ද ඉස්තූති කරමින්,
අන්තිමටම, මාව සම්මාන උළෙලට වැදගත් විදිහට අන්දවලා එවමින්, "යන්න. ඔයාට එකක් අනිවාර්යෙන්ම ඇති." කියා දිරිගන්වපු මගේ ආදරණීය බිරිඳ මෙන්ම මගේ හොඳම යාළුවාද වන, නිලන්ති දිසානායක හෙවත් ඩ්‍රැකියානි ට සහ මට සම්මාන උළෙලට එන්න පුළුවන් වෙන විදිහට, කලින් දවසෙ හවස රාගම රෝහලෙන් ටිකට් කපාගෙන ගෙදර ආව මාස පහක් වයස මගෙ පොඩි පුතා ට ආදර බර ස්තූතිය ද මේ අවස්ථාවෙ පිරිණමමින්, මගේ වචන සුවල්පය (හොඳ සුවල්පය...! මාගලත් මීට වඩා කොටයි) මෙයින් අවසන් කරනවා.
http://image.slidesharecdn.com/ random-150629132542-lva1-app6891/95/-31-638.jpg?cb=1435584547 |
---------------------------
සම්මානයක් ගත්ත එවුං වේදිකාවෙන් බහින්ඩ කලිං මයික් එකට ළං වෙලා ස්තූති කරන සිරිතක් මං දැක තිබේ. ඒත් මේකෙ සම්මාන දුන්න විදිහට එහෙම කතා කොරන්ඩත් දුන්නනං, සම්මාන උළෙල මේ වෙනකොටත් පැවැත්වෙනවාට කිසිම සැකයක් නැත. එහෙයිං මං ලෑස්ති කරං ආව කතාව තව ටිකක් ඔපමට්ටං කර පෝස්ටුවක් විදිහට දානවා ය. සුධී
---------------------------
මේ සම්මාන උළෙලට ආව එක මට ගොඩක් හොඳය. රූපෙ (ඌ නං උගෙ ප්‍රොෆයිල් කාටුන් එක වගේමය), දිනේශ් උමගුලිය, වත්සලා කෝ විජේරත්න, මාතලං, රසිකලොජිස්ට්, ටෙක් සයුරා, විභීෂණ ද සෙකන්ඩ්, චෙෆාකි, රන්දිල්, බස්සියි බස්සයි, අජිත් ධර්ම, නාලක ගුණවර්ධන, මනෝ මන්දිර, රියර් ඇඩ්මිරල් සහ මාෂල් නාමධාරී සමපෝෂ රිවස් විදානෙ, ආදරණීය ඕනෙ, ඇටම්පහුර, හයේ හතරෙ දමිත් ගුණවර්ධන, ලියන් නෑ හෙවත් වෙනී අයියා, විචාරක මාමා, ඩයිනෝසරයා ගෙන් කටුස්සා පැවතෙන බවට ජීවමාන සාධකයක් ආදී (නම ලියන්ඩ බැරි උන උදවිය සමා වෙන්ඩය) ගොඩාක් දෙනා හමුවෙලා කතා කරන්ඩත්, ඉයන්, පැරා ආදී තවත් බොහොමයක් අය දැකගන්ඩත් හම්බුණ එකම ඇතිය. අහසිං කසුං එක්ක කතා කොරන්ඩ බැරිවීම මහා දුකකි.
සම්මානෙත් එක්ක හම්බුණ පොත සහ ඉයන් ගෙ සීඩී එක, ගොඩක් වටිනවාය. සල්ලි ටිකකුත් ගෙනාවනං තවත් පොත් ගන්ඩත් තිබුණේ ය. අර හම්බුණ පෙන් ඩ්‍රයිව් එක ඩ්‍රැකියානිට ගොඩක් ප්‍රයෝජන වනු ඇති අතර, සම්මානෙත් එක්ක හම්බුණ සල්ලි ටික එවෙලේ මගෙ හිතේ තිබ්බ කළබොලේට (මයෙ හිතේ) ඔඩිටෝරියම් එකේ ක්ලීනිං සර්විස් එකට මා විසින් සද්භාවයෙන් පරිත්‍යාග කර ඇති බව වැටහේ.