Monday, April 22, 2019

රුහිරෙන් පුදමි - 2 කොටස




තම ඉඟ වටා අතක් වෙළෙනු දැනී යුවතිය කිළිපොලා ගියා ය. ඇගේ මුවින් පිටවන්නට ගිය විළාපය ලත් තැනම නැවතුණි. ඒ, ඈ ඔහු හඳුනාගත් හෙයිනි.

තරුණිය දිගු හුස්මක් හෙළා ඔහුට තුරුළු වූවා ය. ඔහු  සිහින් තරුණයෙක් විය. කළුවන් කෙස් හා සිහින් නාසය ඔහුගේ ගිළුණු කම්මුල් වලට අමුතු පෙනුමක් ගෙන දුන්න ද, කැපී පෙණුනු සුදුමැළි බව තරම් කිසිවක් අමුතු නොවීය.

“ඔයා තව තප්පරයක් පරක්කු උනා නම්..........“ ඈ කොඳුළා ය. තරුණයා තම වමතින් ඈ තමා වෙත තද කර ගති.

ඇයි?....... ඔයා බය වුනාද?“ ඔහුගේ දිගු සුදුමැලි ඇඟිලි ඇගේ නිකට තුඩ ස්පර්ෂ කළේය. යුවතිය හිස ඔසවා, අඩවන් දෑසින් ඔහු දෙස බැලූවාය. ඇගේ දෑසේ වූයේ සුරතල් දොස්පවරනසුළු බැල්මකි.

අඩවන් ව තිබූ ඇගේ දෑස් වලට ඉහළින් සිපගත් තරුණයා, සෙමෙන් තම දෑතම ඇගේ සිරුර වටා යවා, ඈ තමන් වෙත තවත් තෙරපා ගති. “ශාම්“ යි කොඳුරමින් තරුණිය ඔහුට තුරුළු වූවාය. ඔහුගේ උණුසුම් සුසුම් තම මුහුණ මත වැටෙද්දී, ඈ දෑස් පියාගත්තා ය.

ඇගේ දෑත් ඔහුගේ ගෙළ වටා එතුනේ නිරායාසයෙනි. ඈ ඇඳ සිටි ජර්සියට යටින් ඇගේ ස්ත‍්‍රී උණුසුම ශාම් වෙත තෙරපී ගියේ ය. ඔහු තම සුරතේ ඇඟිලි තුඩු වලින් ඇගේ දෙකොපුල් මෘදුව පිරිමැද්දේ ය. ඉතා සියුම් කිළිපොලායාමක් ඇගේ මුහුණේ සම තුළින් දිව ගියේ ය. තරුණියගේ දෙතොල් සෙමෙන් විවර විය.

නෙල්කා.......“ සෙමෙන් කොඳුරමින් ශාම් ඇගේ මුහුණට සෙමෙන් පහත් විය.

ම්ම්ම්.......“

ඔහුගේ ඇස් වල වූ අමුතු කාන්තිය තරුණියගේ පියවුණු දෑසට නොපෙණුනි. ඔහුගේ දෙතොල් ඇගේ සැළෙන තෙත් දෙතොල් මත සෙමෙන් පතිත වී මෘදුව තෙරපී ගියේ ය.

------------------------------------------------------------------------ 

මළාණික හිරු රැස් රැස්ව සිටි කුඩා පිරිස මත වැටී තිබිණ. හාත්පස පැතිර තිබුණේ ගුප්ත නිසලතාවකි. මඳ අඳුර ශෝකී බවක් පරිසරයට එක් කළේ ය. පොද වැස්ස හඬක් නොනගා තණපත් මත සෙමෙන් පතිත විය. මඳ සුළඟක් පවා හැමුවේ නැත. පැවති නිහැඬියාවට බාධා කිරීමට කිසිවක් එඩිතර නොවීය.

කොකෝගස් දෙකක සෙවණ යට කුඩා පිරිස රැස්ව සිටියහ. දැරියන්, කන්‍යාසොයුරියන්....... ඔවුන් මැද වූ දිගැති නැවුම් පස් කන්ද මත ඉටිපන්දම් කිහිපයක් දැල්වෙමින් තිබිණ. සිහින් ඉකිබිඳුම් හා තද කරගත් සුසුම්....... එකිනෙකා සෙමෙන් කුරුසිය ලකුණු කළහ, හිස....... බර වූ හදවත....... සහ ඉකියෙන් ගැහෙන දෙඋරහිස් හරහා.

සෙමෙන් එකිනෙකා ආපසු ඒමට හැරුණහ. අවසන් වරටද තම හිතවතියගේ විවේකස්ථානය දෙස බැලූ ඔවුහු ආපසු පියනගන්නට වූහ.

අවසන එතැන ඉතිරි වූයේ දෙදෙනෙක් පමණි. මළාණිකව ගිය තරුණයන්....... ඔවුනතරින් වඩා දුබල සේ පෙනුණු තැනැත්තා සෙමෙන් සෙමෙන් කොකෝගස් දෙක යටට ආයේය. දණින් වැටිණ ඔහු එතැන....... කුඩා පස් කන්ද මතට නැඹුරු වූ ඔහුගේ උරහිස් වෙව්ලීය. ඔහුගේ දෑතේ ඇඟිලි ඔහුගේ ම හිසකෙස් අතරින් රිංගා ගියේ ය.

හමා ආ මඳ සුළඟට හසුව කොකෝ ගස් වල අතු, පත්, දළු සෙමෙන් සැළිණ. පස් කන්ද මත වූ ඉටි පන්දම් වල දැල්ල, හුදෙකළා තරුණයාගේ හිසකෙස්, සුළඟට හසුව සැළෙන්නට විය.

කොකෝ ගස් යට වූ මඳ අඳුර සෙමෙන් සෙමෙන් තරුණයා ගිළගති. කුඩා පස්කන්ද මත වූ ඉටිපන්දම් වල දැල්ල දීප්තිමත් අඳුර තුළ දිස් වූ අතර, ඒ අසළ වූ වෙව්ලන අඳුරු ඡායාවක් පමණක් බවට ඔහු පත් විය. අනෙකා ඔහු වෙත පියනගා ආයේ ය. ඔහු ගේ පියවර තණපත් මත තැබෙන හඬ ශෝකාතුරයාට බාධාවක් වූයේ නැත.

අකිල.......“

තරුණයාට එය ඇසුණ වගක් නොපෙනින.

ඔහු අකිල ගේ ගැහෙන දෙවුර මත අත් තැබීය. අකිල සෙමෙන් නැගී සිටියේ ය. තවතවත් බිමට නැඹුරු වූ හිස....... අවුල් වූ හිසකෙස්....... දෙතුන් දිනක් පැරණි රැවුළු....... ගිළී ගිය දෑසින් ගළා ගිය කඳුළු බිඳු ඔහුගේ දෙකොපුල් මත රැඳී තිබිණ.

දෙදෙනා සෙමෙන් ආපසු එන්නට වූහ. ගේට්ටුවෙන් ඔබ්බට....... දෙපස හෙවුණු උස ගස් වලින් අඳුරු වූ පාළු පටු පාර දිගේ.......

---------------------------------------------------------------------

දින කීපයකට පසුව, හිරු ප‍්‍රචණ්ඩව බැබළෙමින් තිබිණ. කැකෑරෙන අව්ව යට, තාර පාර උණු වන්නට මෙන් රත්ව, තබන අඩියක් පාසා සෙරෙප්පු අඩියට ඇළවෙයි.

අපිළිවෙලට ඇඳගත් අවුල් වූ කෙසින් යුතු තරුණයෙක් වේගවත් ගමනින් තාර පාර දිගේ ඉදිරියට යමින් සිටියේ ය. නළල දිගේ ගළා එන උණු දහදිය බිඳු ඔහුගේ ඇසිපිය මතට වැටී දෑස් දවයි. අව්වෙන් පිච්චෙන දෙකොපුල්....... නළල දෙපස වූ නහර උණු වූ ලෙයින් පිරී ගැහෙයි.

අකිල දිගටම ඇවිද ගියේ ය. ගිණියම් හිරු යට....... අවසන, පාර අද්දර වූ ගොඩනැගිල්ලක් ඉදිරිපිට අව්ව යට ඔහු නැවතිණ. හිස එසවූ ඔහු, සුරතින් ඇස් මුවා කරගනිමින් එහි නාම පුවරුව දෙස හොඳින් බැලීය.

පැද්දෙන කෙටි දොරවල් විවර කරගනිමින් ඇතුල් වූ අකිල හාත්පස වූ මේස මතින් සිසාරා යන බැල්මක් හෙළීය. ඒ බැල්මට, කෙළින්ම ඈත මේසයක වාඩි වී, දොර දෙස යොමු වූ බැල්මෙන් සිටි, හුදෙකළා මිනිසෙකු  හසු විය. ඔහු කෙළින්ම ඒ වෙත ගියේ ය.

අකිල !“ අඩක් හිස් වූ බියර් බෝතලයක් ළඟ වාඩි වී සිටි මිනිසා විස්මයාර්ථ රාවයක් නැංවීය.

ඉඳගනින්,“

විකුම්, මම උඹේ රූම් එකට ගියා. එතනින් කිව්ව උඹ මෙහෙ ආව කියලා.“ අකිල පුටුවක් ඇද වාඩිවෙමින් කීය.

ඉතින්....... තව බියර් එකක් ගෙන්නන්නද?“

“.............“

ඉතින්....... එහෙනං කතාකරමු....... මට කියපං මොකද මේ හදිස්සියෙ උඹ මාව හොයාගෙන ආවෙ කියලා.......“

තවත් බෝතලයක් සහ වීදුරුවක් ගෙන්වාගත් විකුම්, තම මිතුරා වෙනුවෙන් එය පිරවීය.

උඹට ආරංචි ඇති ළඟදි වෙච්ච සිද්ධිය.“ අකිල තෙපළේය. විකුම් දෑස් දල්වාගෙන ඔහු දෙස බලා සිටියේ ය.

අකිල බියර් වීදුරුව එක්වනම අතට ගෙන උගුරු කීපයක් බීවේය, වේගයෙන්....... තිත්ත රස අතරින් උගුර අභ්‍යන්තරයට දැනෙන්නට වූ උණුසුමින් ඔහු තරමක් පිබිදුනි.

විකුම් සිගරැට්ටුවක් ගෙන දල්වා ගති.

අකිල ඉවත බලා ගත්තේ ය.

“ඉතිං....... ඒක ස්වාභාවික මරණයක් නෙමෙයි.......“ ඔහු දිගු වේලාවකට පසු කටහඬ අවදි කළේ ය.

විකුම් වීදුරු දෙක නැවත පිරවීය, නිහඬවම.......

“මට හොයාගන්ඩ  ඕනෙ.......“ අකිල කතා කරන්නට විය. “මගෙ ....... මගෙ අහිංසක කෙල්ලව මරල දාපු එකා.......“ ඔහුගේ කටහඬ එතැනදී බිඳිණ.

වීදුරුව වෙත ඔහු අත දිගු කළේ ය. තදින් එය ග‍්‍රහණය කළ ඔහු.......

වචන ප‍්‍රමාණවත් නොවන....... වචන අවශ්‍ය නොවන මිනිත්තු කීපයක් ගත වී ගියේ ය. ඒ කාලය තුළ බියර් බෝතලය සෙමෙන් සෙමෙන් හිස් විය.

බිත්තියේ අඳුරු කොණක වූ බිත්ති ඔරළෝසුවේ ටික්....... ටික් හඬ සෙමෙන් නැඟී ආවේ ය. අඳුරට හුරු මඳ එළියක් හාත්පස පැතිර තිබිණ.

හරි....... අපි හොයාගම්මු.“ විකුම් නැඟිටිමින්, සිය දකුණත මේසය හරහා දිගු කළේ ය. එය ග‍්‍රහණය කළ අකිලට සිය මිතුරාගේ ගෝරෝසු හමට යටින් වූ උණුසුම දැණින. ඔහු තම ග‍්‍රහණය තවත් දැඩි කළේය.

Friday, April 19, 2019

අවසානයක් නොවේ - තුන්වෙනි කොටස

පළමුවෙනි කොටස
දෙවෙනි කොටස

--------------------------------

1672 අවුුරුද්ද... 

දා හතර වන ලුවී රජතුමා නිියෝජනය කරමින් තානාපතිවරයා වශයෙන් සිංහලේ රජු හමුවීමට නෝක්ලෑ ද ලා නෙරෝල් කැඳවාගෙන යන පෙරහැරේ අවසාන දර්ශනයද නොපෙනී යන තුරු අද්මිරාල් ඇන්ඩර්සන් රැළි ගැස්වුණු ඇසිපිය අතරින්  බලා සිටියේය. පාරාදීසයක් යැයි මේ දූපත හැඳින්වූ ජෝන් මැන්ඩෙවිල් ගැන ඔහු සිහිපත් කළේ කෝපයෙනි. තබන තබන පියවරක් ගානේ, පාවහන් විනිවිද දෙපා දවන රත් වූ වැල්ල, පෙනෙන තෙක්මානයේ පැතිරි කටුසහිත ළැහැබ්, සර්පයන්, නරි සහ කුඩා උරගයින් බහුල වූ පරිසරය...

ලුවී රජු යටතේ‌ ප්‍රංශය ආණ්ඩු කළ අගමැති කෝල්බෙයා ගේ අදහස පරිදි ඉන්දීය සාගරයේ කුළුබඩු වෙළෙඳාම අල්ලාගැනීමේ සැළැස්මේ කොටසක් ලෙස 1670 දී ෂැකොබ් බ්ලැකේ ද ලා හේ අද්මිරාල් වරයා යටතේ නැව් කණ්ඩායමක් ප්‍රංශයේ රොශ්ෆෝ වරායෙන් දියත් වුණි. ඔවුන්ගේ ඉළක්කය වූයේ ත්‍රිකණාමලයේ පිහිටි ඉතා වැදගත් වෙළෙඳ මධ්‍යස්ථානයට පහර දී අල්ලා ගැනීම යි. සෙබළුන් 2250 කින් සහ කාලතුවක්කු 251 කින් සන්නද්ධ වූ ප්‍රංශ යාත්‍රා 9 ක් 1672 මාර්තු මස ත්‍රිකුණාමලයට ළඟා වූ හ. ඔවුන් එල්ල කළ ඉමහත් යුධ ප්‍රහාරයන්ට මුහුණ දිය නොහැකි වූ ලන්දේසි හමුදා ඛණ්ඩය කොට්ටියාරමේ පිහිටි තම බළකොටුව ගිණි තබා, පළා ගියේ කාල තුවක්කු 21 ක් ද අත හැර දමමිනි.

ත්‍රිකුණාමලයේ කෝටියාරම් බොක්කේ පිහිටි ස්වභාවික වරායේ සුන්දරත්වයෙන් මත් වූ ප්‍රංශ නාවුකයෝ තම ඉන්දීය සාගරයේ අනාගත මධ්‍යස්ථානය එහි පිහිටුවා ගැනීමට අදහස් කළහ. කොට්ටියාරම බළකොටුව පිළිසකර කරගත් ඔවුහු එහි ලැගුම් ගනිමින්, කන්ද උඩරට රජු සමඟ ගිවිසුමකට එළඹීම සඳහා සිය තානාපති වරුන් පිටත් කර හැරිය හ.

"කූඩාරම්වල රෑ ගත කිරීම අනතුරුදායක වෙන්න පුළුවන්. ගැරිසන්වලට යමු..." නෞකා කණ්ඩායමේ නායක අද්මිරාල් ද ලාහේ ගේ දෙවැනි නිලධාරියා උස් හඬින් කීය. ඒ අනුව ආපහු හැරුණු පිරිස ලහි ලහියේ කොටුව දෙසට දිව ගියහ. කණ්ඩායමේ පසුපසින් අඩි කිහිපයක් දිව ගිය ඇන්ඩර්සන්ගේ අතෙහි වූ දුරදක්නය ගිළිහිණ. ඔහු සිය අතවැසියන් කිහිප දෙනා සමඟ පමා වෙද්දි යුරෝපීයයෝ කොටු දොර විවර කරගනිමින් සිටියහ.

සිය ස්වාමියාගේ දුරදක්නය අහුලාගත් කැබින් බෝයි ටිරෙල් හිස ඔසවනවාත් සමඟම දුටුවේ කුකුළෙකු තරම් වූ වර්ණවත් පක්ෂියෙකි. "මෙන්න අද්මිරාල් අපට කදිම රාත්‍රී භෝජනයක්..." කියමින් ඔහු ඉණෙහි වූ පිහිය ඇද පක්ෂියා වෙත දමා ගැසීය. බැස යන හිරු කිරණින් රත් පැහැයට දිළිසුම් දුන් පිහි තලය වට කිහිපයක් කැරකෙමින් ඉගිළී ගොස් කුරුල්ලාගේ බඳෙහි ඇණින. එසැණින් ඌ ඉගිලුනේය.

ටිරෙල් සෙසු සියල්ල අමතක කර දමා ඇසිල්ලකින් කුරුල්ලා ඉගිළුනු දිශාවට දිව ගියේය. මොහොතින් ඔහු වන ලැහැබ විසින් ගිළ ගැණුනි.

"අද්මිරාල්ගෙ දුරදක්නය..." නැවෙහි පළමු නිලධාරී රොල්ෆ් කෑගැසීය. ඒ කෑගැසීම අනුව වෙරළ දෙස බැලූ ද ලාහේ දුටුවේ ඇන්ඩර්සන් සිය ස්කැන්ඩිනේවියානු සහචරයන් තිදෙනෙකු ද සමඟ වන රොද දෙසට දිව යන අන්දම ය. වෙරළේ ඇණතබාගෙන විට හපමින් සිටි ස්වදේශික රාජපුරුෂයෝ ඉතා අලස ලෙස ඒ දෙස බලා සිටියහ.

"නාඳුනන රටක හිතුවක්කාරකම් කරන නාවිකයන්ට සමාවක් නැහැ. ඔවුන් ආපසු ආවිට දොරටුව විවෘත කළ හැකියි. එතෙක් අගුලු ලනු!" ද ලාහේ ගේ නියෝගය, දෙවන නිලධාරියා ප්‍රතිරාවය කළේය.

-----------------------------------

ඇන්ඩර්සන් සිය සහචරයන් ද සමඟ එක හුස්මට දිවූ දිවිල්ල නතර වූයේ යාර පන්සීයක් පමණ වන ලැහැබ තුළට ආ පසුවය. "දැන් ටිකක් වෙහෙස නිවාගන්න අතරෙ... නැවතිල්ලේ යමු ඉස්සරහට..." අද්මිරාල් කීය.

"අපි යන දිසාව..." දෙකකුලින් එල්ලාගෙන සිටි වලිකුකුළා බිම තැබූ ටිරෙල්, සිය කබායේ ඇතුල් පැත්තේ රහස් සාක්කුවෙන් තුනීවට රෝල් කරන ලද පාච්මන්ට් කැබැල්ලක් එළියට ඇද්දේ ය. එය ප්‍රවේසමෙන් දිගහැරිය විට, යම් යම් මඟ සළකුණු ද සහිත රළු සිතියමක් වැනි සටහනක් බව දැකිය හැකි විය. ටිරෙල් එය අසළ වූ ගල් තලාව මත ඇතිරීය. ඇන්ඩර්සන් සිය කබා සාක්කුවෙන් ගත්තේ සම් බැම්මෙන් බඳින ලද සටහන් පොතකි. එය දිගහැර, එහි සටහන් ද සිතියමේ සළකුණු ද සසඳමින් මඳ වේලාවක් ගත කළ ඔහු සිතියම නැවත අකුළා ටිරෙල් වෙත දික් කළේ ය. පොත නැවත සාක්කුවට රුවාගෙන, කළිසමේ සාක්කුවෙන් ගත් මාලිමාවක් ද රිදී කැටයම් සහිත ෆ්ලින්ට්ලොක් පිස්තෝලයද දෑතට ගෙන ඉස්සර වුණේ ය.

"මයිල එකසිය හැත්තෑවක් විතර දකුණු - නිරිත දිසාවට යන්න තියෙන්නෙ... පුළුවන් තරම් ජනාවාස මඟ හරින්න වෙනව. ඒ වගේම මේ කැළෑවල වනචාරී මිනිස්සුත් ඉන්නව. කිසිම විදිහකින් අපි ගැන කිසිම ඔත්තුවක්, කිසිම පැත්තකට යන්න දෙන්න එපා. කාව හරි දැක්කොත් මරන්න වෙනවා." ඇන්ඩර්සන් කිසිම හැඟීමකින් තොරව සහචරයන්ට කීවේය. ඉදිරියෙන් ගිය ටිරෙල් ද, කුඩා ලී පීප්ප තුනක් කර තබාගෙන පසු පසින් ගිය අනික් තුන් දෙනාද නිහඬවම අද්මිරාල්ගේ නියෝගය භාර ගත්හ.

යුරෝපීයයෝ පස් දෙනා වැඩි කළබලයක් හෝ ශබ්දයක් නොමැතිව වැටුණු ගස් කඳන්, ගල්ගෙඩි, දියපාරවල් පසුකරමින් ගමන් ගත්හ. තබන පියවරක් පියවරක් පාසා දැඩි අවධානයෙන් හාත්පස නිරීක්ෂණය කරමින් වුවද ඔවුහු ප්‍රමාණවත් වේගයක් පවත්වාගත්හ.

----------------------------------------

තරමක දියපහරක හඬ ඇසෙන මානයේ දැවැන්ත ගසක් මුල, නාවුකයෝ පස්දෙනා මේ නාඳුනන දූපතේ වියළි කළාපීය වනාන්තරය තුළ ගත කරන සිය පළමු රැය ගත කරන්නට වාඩි ලා ගත්හ. කුසගින්න නිවාගන්නට තිබුණේ ගිනිමැළයෙන් පළහාගත් වලිකුකුළා ද රත්පැහැ රම් ද පමණකි. අද්මිරාල් සිය පිරිසට රාත්‍රී මුරය බෙදා දුන්නේය. ඒ අනුව සිවුදෙනෙක් නිදන අතර එකෙක් පැය දෙකක් නිදිවරාගෙන වාඩිය ආරක්ෂා කළ යුතුව තිබුණි. අවසාන ජාමය වන අළුයම අද්මිරාල් තමන් වෙත පවරා ගත්තේ ය.

ඉඳහිට ඈතින් ඇසෙන්නට වූ හූ හඬ, දියපහරේ හඬ යටපත් කරන්නට තරම් වූ රෑහි හඬ අතරින්, ජීවිතය උදෙසා විළාප දෙන මුවෙකු හෝ ගෝණෙකුගේ හඬ වරක් හෝ දෙකක් නැඟී ආවේ ය. දියපාර වෙත යන විවිධ සතුන්ගේ විවිධ අඩි ශබ්දවල නිරන්තර සර සරය... ළඟින්ම වගේ එක්වරක් ඇසී යළිත් කෙතරම් සියුම්ව කන්දීගෙන සිටියත් නෑසෙන සියුම් අඩි ශබ්ද...

http://www.unclesamgear.com/wp-content/uploads/2017/10/
Hands-tree-spooky-e1508254437225.jpg

--------------------------------------------

අද්මිරාල් අවදි වූයේ එකවරම ය. කණ ළඟින්ම වාගේ යමෙකුගේ සිහින් කෙඳිරියක් ඇසෙනු ඔහුට සිහිනයකින් වාගේ මතක තිබුණි. අවට පඳුරු වල පින්නෙන් පෙඟුණු මල් මත ද, තණපත් මත ද හිරු එළිය යන්තමින් තැවරෙමින් පැවතුණි.

"රෝ...ල්...ෆ්...!" ඇන්ඩර්සන් ගේ බැරෑඬි කටහඬින් එතෙක් හාත්පසින් ඇසෙමින් තිබූ රෑහි හඬ මොහොතකට නිහඬ විය. නිදාසිටි තුන් දෙනා තිගැස්සී අවදි වූහ.

"කොහෙද මේ බල්ලා ගියේ? හොයපල්ලා..." තමන් ළඟම සිටි තරබාරු රොස්කෝ ගේ උරහිසින් අල්ලා ඉදිරියට තල්ලු කරමින් ඇන්ඩර්සන් කෑ ගැසීය. "මම කිව්ව ඌට පාන්දර මාව ඇහැරවන්න කියලා..."

"මම රොල්ෆ් ඇහැරවලා, මුරය බාර දීලා නිදාගනිද්දි," නීල්සන් සිය නායකයාට අත දිගු කර පෙන්වමින් කීය. "රෝල්ෆ් මස්කිට් තුවක්කුවත් ඔඩොක්කුවෙ තියාගෙන අර ගල උඩ වාඩි වුනා..."

සිව් දෙනාම නීල්සන් පෙන්වූ ගල හා ඒ අවට සියුම්ව පරීක්ෂා කළද, කිසිදු හෝඩුවාවක් සොයාගන්නට ලැබුණේ නැත. රොල්ෆ් පුරුදු වී සිටි පරිදි සපා ඉවත දමන ලද දුම්කොළ හප කීපයක්, ඒ අවට වූ අතර ඔහු ගේ පයට පෑගුණු තණපත් හා පඳුරු පොඩි වී තිබිණ.

විලෝපිකයෙකු විසින් ඇදගෙන ගිය පාරක් හෝ, ලේ සළකුණක් හෝ, අඩුම ගානේ ගලෙහි සිට රොල්ෆ් නැගිට ගිය අඩි සළකුණක් හෝ දක්නට නොවීය.

සෑහෙන කාලයකට කලින් පුරුදුව සිටි නමුත් මේ වන විට අවඥාවෙන් අත්හැර දමා සිටින පුරුද්දක් වූ කුරුසිය සළකුණු කිරීමට රොස්කෝ ගේ දකුණත යොමු වූයේ නිතැතිනි. "ඉන් නොමෙනි පාට්රි එ' ෆිලි ස්පිරිටුස් සෑන්ක්ටි..." කොඳුරමින් ඔහුගේ දෑස් ඉහළට එසවුණේ ළමා වියේදී පුරුදු වී තිබූ ආකාරයට ය. එසැණින් ඔහුගේ සිරුර එක් මොහොතකට ගල් ගැසුණි.

"අද්මිරාල්..."  කොඳුරමින් රොස්කෝ සිය වෙවුලන සුරත, පිරිසට පිටුපසින් වූ දැවැන්ත ගසේ ඉහළ අතු පරතට දික් කර පෙන්වීය. ඔහු අනුව ඉහළ බැලූ නාවුකයන් හට දැකගත හැකිවූයේ ලොමු දැහැගැන්වෙන දසුනකි.

අතුරුදන් වූ සගයා සිටියේයැයි නීල්සන් පෙන්වූ ගලට කෙලින්ම අඩි පහළ‍ොවක් පමණ ඉහළින් ගසෙහි එල්ලෙමින් තිබුණේ රොල්ෆ්ගේ සිරුර ය. එය ගෙළට දැමූ වරපටකින් ගසෙහි අත්තක එල්ලා තිබුණි. ඔහුගේ කමිසය සහ පිට කබාය ඉදිරිපසින් ඉරා දමා තිබූ අතර, පපුව හරහා තියුණු තුඩකින් සූරා, අකුරු පහක්  සටහන් කර තිබුණි.
VOLTE

මිනිත්තුවක් දෙකක් නිසොල්මනේ යන්තම් පැද්දෙමින් තිබූ රොල්ෆ්ගේ දේහය එක්වරම, වරපටේ සිට පහළට ගිණි ඇවිලී ගියේය. මුළු සිරුරම එකම ගිනිමැළයක් වන්නට ගත වූයේ තප්පර කීපයකි... එසැණින් දැවී ගිය වරපට සිඳී, ගිණිගත් මළසිරුර නාවුකයන් සිවුදෙනා මැදට වැටුණි.

හතරවන කොටසට...

සංලක්ෂය:
Volte යනු පෘතුගීසි බසින් "පිටවෙනු!" ය.

වැඩිපුර බලපු ලිපි