http://3.bp.blogspot.com/-XZ62ICjBok8/Toqf1vjKgrI/AAAAAAAAAB0/b4cYWNzgDF0/w1200-h630-p-k-no-nu/DSC04092.JPG |
ඒ ලෙවල් කරන කාලෙදි අනාගතය ගැන ඉළක්ක කරන්න පටං ගත්තෙමුය. ඒ් ඉළක්කවලින් ඒකක් තමයි නුවරඑළියෙ ජීවත් වෙන එකය. මක් නිසාද යත්, ඒ් කාලේ දැනගෙන හිටපු ෆැන්ටසි ම පළාත නුවරඑළිය වීමය. අපි නිකං මෙහෙ මල්වැටක් දැක්කත් ඒකත් මාර සුන්දර ය.
ඉතිං අපි මෙහෙ ආවා ය. බලන්ට යන්ට නං සෑහෙන තැන් ඇත. ඒ උනාට කොවිඩ් නිසා යන්ඩ බෑ ය. අපි ඇවිත් දවස් ගාණකිං මෙහෙ වස්සාන සෘතුව ආරම්භ විය. චුරු චුරු වැස්ස එක්ක මහ සැරේට හුළඟ ය. එයිට කලිං "යාස්" සුළි කුණාටුවත් ආවෙමු. ඒ් සුළි කුණාටුවට අපේ නිල නිවාසයේ වහළෙ ගළෝගෙන ගිහිං, දැං මේ නිල නිවාසෙ තියෙන්නෙ උඩහ ගෙදර වහළය ය. මේ පළාතෙ ඔය විදිහට වස්සාන කාලෙට ගෙවල්වල වහළ හුවමාරු වෙන එක සාමාන්‍ය දෙයකි. ඒ නිසා හැම ගෙදරකම වහළෙ හදන්නෙ එකම දිග පළලට ය.
මෙහෙ හුළඟ කොයිතරං සැරද කිව්වොත්, අව්ව වැටෙන්නෙ නැත. මෙහෙට පායන ඉරු රැස් හුළඟට ගහගෙන ගිහිං පායන්නේ පේරාදෙණිය දිහාට ය. සමහර දවස්වල ගිණිගත්හේන දිහාටත් නුවරඑළියට වැටෙන්න නියමිත අව්ව වැටෙයි. වැස්ස ගැනත් කියන්ඩ වෙන්නේ ඒ් ටිකමය. හොඳ වෙලාවට දියතලාව පැත්තට වැටෙන වැස්ස හුළඟේ ඇවිත් ග්‍රෙගරි වැවට වැටෙන්නේ ය. නැත්තං ඒ්කත් හිඳෙනවා ය.
නිල නිවාසයේ ගිණි උදුනක් ද ඇත. මේ වැස්ස කාලේ සීතල කොයි තරං ද කිව්වොත්, ඒකට අතට අහුවෙන අහුවෙන තරමෙ දර දාලා ගිණි තිබ්බෙමු. ඊට පස්සෙ එකතු වෙන කාඩ්බෝඩ්, පොලිතින්, පත්තර, පොල්කටු යනාදියත් ගිණි තිබ්බෙමු. දැන් ගිණි තියන්නේ මල් පාත්ති වල තියෙන ගඩොල් ය. ගිණි උදුනේ ඉතා විශිෂ්ඨ වෙන්ටිලේෂණයට පිං සිද්ද වෙන්ඩ ගඩොල් කැට, උලු කැට, දිරාපු යකඩ කෑලි, තහඩු කෑලි, පරණ හට්ටි මුටිට්, පරණ බැට්‍රි, පරණ ෆ්‍රිජ්, පරණ වොෂින් මැෂින්, කැඩිච්ච බයිසිකල්... පවා ගිණි ගන්නේය.
හතර වටෙන් ම කොරෝනා ලෙඩ්ඩුත් වාර්තා වෙන්නේ ය. වාතයෙන් පවා බෝවෙන ලෙඩක් වෙච්ච කල, වැස්සත් එක්ක හමන තද සුළඟ හිංදා, අපි එළකිරි වගේ ඉන්නෙමු. ඒ කියන්නේ එළකිරි බෝතලේට දාලා තියෙනවා වගේ, අපි ගේ ඇතුලට වෙලා ම ඉන්නෙමු ය. කොරෝනා වයිරසය අපේ ඔලුවලට උඩිං හුළඟේ ගහගෙන යන හැටි අපේ උන්දා හෙවත් ආදර බර ඩ්‍රැකියානිය මේ ළඟකදි දවසක් දැක්කෙමු. පස්සෙ බැලු කොට ඒ් රඹුටං ගෙඩි වගෙයකි. උඩහ ගෙදර පොඩ්ඩා කෑමට ගෙනත් තියාගෙන උන්න රඹුටං වගෙයක් ඒ්වා දාලා තිබ්බ මල්ලෙං එළියට ගන්න කොටම හුළඟට අහු වෙලා ය. පස්සෙ අපට දුක හිතී ගෙදර අයිස් පෙට්ටියේ තිබ්බ ඇපල්, පෙයාස්, බ්ලූ බෙරි, මල්බෙරි, බිලැක් කරන්ට්, ප්‍රත්‍යාවර්ත කරන්ට්, ආදී ගෙඩි ටිකක් දීලා පොඩි එකාගේ හිත හැදුවෙමු.
අයිස් පෙට්ටිය කිව්වාට, මෙහෙ ගෙවල්වල අනික් පළාත්වල වගේ ෆ්‍රිජ් එක කියා එකක් නැත. කොහොමත් මෙහෙ තියෙන සීතලට එළවලු නරක් වෙන්නේ නැත. තියෙන්නේ රස්නෙ පෙට්ටිය කියා එකකි. තද ශීතලෙන් එළවලු බේරා ගන්නට ඒක උපකාරී වෙන්නේ ය.
මෙහෙ තියෙන ස්ට්‍රෝබෙරි හරි ලකේ ය. දුසිමකට තුනක් විතර අල්ලන තරං ලොකුයි ය. ඒවගෙ තියෙන රතුපාට වගේ පාටක් මං නං මීට කලිං දැක නැත. කොයි තරං තද රතුද කියතොත්, ඒ්ක නිල් පාටට හුරු රතකි. මෙහෙ මිදුලේ තියෙන එක පඳුරෙන් දවසකට ස්ට්‍රෝබොරි දාහක් විතර කඩා ගන්නවාය. ආපු දවස්වල අපට ඒක හරි ඉහළ කෑමක් වුනාට, (ඒ් දවස්වල ස්ට්‍රෝබෙරි කාල බඩේ ඉඩ තිබුණොත් විතරක් බත් කන්නෙමු.) දැන් නං ගෙදර මිදුලට එන බල්ලන්ට ගහන්නෙත් ස්ට්‍රෝබෙරිවලිනි.
අල්ලපු ගෙදර පොන්ඩ් එකක් ඇත. ඒකෙ මාලු පොඩ්ඩක් හරි බලාගන්නට පුළුවං මහ දවල්ට විතරය. ඒ් තරමට මෙහෙ වතුර සීතලය. ඒ ගෙදර ඉන්නා අයියා මාලුන්ට ජර්සි අන්දවා ඇත. ඒ උනාට ඒ ඇට්ටර මාලු උන්ගේ ජර්සි නිතරම තෙමාගන්නවා ය. ඉතිං අර අල්ලපු ගෙදර උදවියට මාලුංගේ ජර්සි මාරු කරනවා ඇරෙන්ඩ වෙන වැඩක් නැත. ඒ් වැඩේට වෙනම කුළියක් ගෙවා මිනිස්සු කීපදෙනෙක් තියාගෙන ඉන්නවා ය.
වතුරෙ සීතල කියන්නේ, පොඩ්ඩක් හරි ටැප් එකක් ඇරලා කෝප්පෙකට වතුර ගන්ඩ පුළුවං වන්නේ කුස්සියේ දී විතරය. අනික් හැම තැනම ටැප් එක ඇරියහම එන්නේ අයිස් කැට ය. පොල්තෙල් ඊට හතයි ය. මෙහෙ කඩවල පොල්තෙල් විකුණන්නේ කුට්ටි වශයෙනි. අපි ගිහිං පොල්තෙල් කිලෝවක් ඉල්ලුවහම, මුදලාලි නූලෙං සබන් කැටේ කපනවා වගේ, පොල් තෙල් කුට්ටියක් කපා, කිරා, කඩදාසියක ඔතා, ගෝණි ලණුවෙන් බැඳලා දෙන්නෙමු.
කියන්නට නං දේ එමට ය. ලියාගන්නට වෙලාවක් ඇත්තේ ම නැත. එහෙං කොරෝනා මර්දන කටයුතු ය, වැක්සිනේෂන් ය, පළාත්පාලන ආයතන වල රාජකාරි අත්‍යවශ්‍ය සේවා කර ඇත්තෙමු. තව අසයින්මන්ට් දෙකක් මේ මාසය තුල ලියන්නට ද ඇත්තෙමු. ඒ් අස්සේ විභාගෙට පාඩං කොරන්නට ද ඇත්තෙමු. එහෙයින් මෙතනිං නවතිනවා ය.
මේ ටික ලිව්වෙත් කලිං පෝස්ටුවේ අගට සරත් ලංකාප්‍රිය අයියා දාපු කමෙන්ට් එකට ඇපෙන් බේරෙන්නට ය. එහෙනං ටටා වේවා යැයි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.