Sunday, April 30, 2023

උතුරුකරයන් සමඟ පළමු හමුවීම



උතුරුකරයේ වැසියන්  ඔවුන්ගේ වෙළෙඳ බඩු ද සමඟ පැමිණ වොල්ගා ගඟ අසබඩ වාඩි ලා ගන්නා ආකාරය මම මගේ ඇස් දෙකෙන් ම දුටුවෙමි. එතරම් යෝධ මිනිසුන් මම ඊට පෙර දැක නැත්තෙමි. ඔවුහු තල් ගස් සා උස් වූ අතර, රත් පැහැයට හුරු සමකින් යුක්ත වූහ. ඔවුහු යට ඇඳුම් හෝ කෆ්තාන් ඇන්දේ නැති අතර, ඔවුන’තර වූ පිරිමි රළු රෙද්දක් උරහිස හරහා ඒකාංශ කොට දමා ගෙන සිටියේ එක් අතක් නිදහස් වන පරිදි ය.

සෑම උතුරු වැසියෙක් ම පොරොවක්, කිණිස්සක් සහ කඩුවක් රැගෙන ගිය හ. මේ ආයුධ නොමැතිව ඔවුහු කිසිම විටෙක දකින්නට හැකි නො වූහ. ෆ්‍රෑන්ක්  හුරුවට තනන ලද ඔවුන්ගේ කඩුපත් පුළුල් වූ අතර, එහි රැළි සහිත රේඛා වැටී තිබුණි. ඔවුන්ගේ සෑම මිනිසෙක් ම ඇඟිලි තුඩුවල සිට ගෙල දක්වා, ගස්, සතුන් සහ වෙනත් දේවල පින්තූර පච්ච කොටා ගෙන සිටිය හ. 

ගැහැණුන් ඔවුන්ගේ පපුව මත සවි කර ගත් මංජුසාවක් පැලඳ සිටිහය. මෙය ඔවුන්ගේ ස්වාමි පුරුෂයන් සතු ධනය හෝ සම්පත් අනුව, යකඩෙන්, තඹෙන්, රිදියෙන් හෝ රනින් තනන ලද්දක් විය. මෙම මංජුසාවට සවි කරන ලද මුද්දක් සහ ඒ මත කිණිස්සක් විය. ඔවුහු ගෙළෙහි රන් සහ රිදී දම්වැල් පැලැන්ද හ. 

ඔවුහු දෙවියන් විසින් නිර්මාණය කළ පිළිකුල් සහගත ම ජාතිය වූහ. ඔවුහු මළ පහ කිරීමෙන් පසු පිස දා ගත්තේ නැත, රාත්‍රියේ අපවිත්‍ර වීමෙන්  පසු සෝදා ගත්තේ ද නැත. මෙයින් ඔවුහු වල් බූරුවන්ට වඩා උසස් නො වූහ.

ඔවුහු සිය රට සිට පැමිණ, ඔවුන්ගේ යාත්‍රා වොල්ගා නම් මහා නදියේ නැංගුරම් ලා, එහි ඉවුරුවල විශාල දැව මය නිවාස තනති. ඒ එක් එක් නිවාසයක අඩු හෝ වැඩි වශයෙන් දහ දෙනෙක් හෝ විසි දෙනෙක් හෝ වාසය කරති. සෑම මිනිසෙකුට ම කවිච්චියක් ඇති අතර, ඔහු එහි තමන් විකිණීමට තබා ගෙන සිටින රූමත් තරුණියන් සමඟ වාඩි වී සිටීයි. ඔහු, තම මිතුරෙකු බලා සිටිය දී එම තරුණියකගේ පහස ලැබීමට නො සිතනු ඇත. ඇතැම් විට ඔවුන් කිහිප දෙනෙකු, එකම වෙලාවේ ඔවුනො’වුන් බලා සිටිය දී, මෙසේ හැසිරෙන අවස්ථා ද ඇත.

විටින් විට වෙළෙන්දෙක් තරුණියක් මිල දී ගැනීමට මෙම නිවසක් තුළට යන විට, ඇගේ ස්වාමියා ඇය වැළඳ ගනිමින් සිටියේ නම්, ඔහු තම කැමැත්ත සම්පූර්ණ කර ගන්නා තුරු ඇය වෙළෙන්දා ට දීමට අදහස් නො කළ ද, එය ඔවුන’තර එතරම් සැලකිය යුත්තක් නොවේ.

සෑම උදෑසනක ම වහල් කෙල්ලක් වතුර බඳුනක් ගෙන’වුත් ඇගේ ස්වාමියා ඉදිරිපිට තබයි. ඔහු එයින් තම මුහුණ ද, අත් ද, හිස ද සෝදා, බඳුනට ඉහළින් හිස පීරා ගනියි. ඉන් පසු ඔහු තම නාසය පිරිසිදු කර, බඳුනට කෙළ ගසයි. මෙසේ තමා මත ඇති කුණු සියල්ල ඔහු වතුරට එක් කරයි. ඔහු තම කාර්යය අවසන් කළ විට වහල් කෙල්ල එම බඳුන ඊ ළඟට සිටින මිනිසා වෙත ට ගෙන යයි. ඔහු ද ඉහත කී සියල්ල සිදු කරයි. එසේ ඇය නිවසේ සිටින සියලු දෙනා ම තම නාසය පිරිසිදු කර, බඳුනට කෙළ ගසා, තම මුහුණ සහ හිස සෝදා ගන්නා පිණිස වතුර බඳුන එකිනෙකා වෙත ගෙන යයි. 

මම මගේ ම දෑසින් දැක ඇති අන්දමට මෙය උතුරු වාසීන් අතර පවතින සාමාන්‍ය හැසිරීමයි. නමුත් අප ඔවුන් අතරට ගිය කාල වකවානුව මේ යෝධ මිනිසුන් අතර අසතුටුදායක බවක් පැවතුණි. එහි ස්වභාවය මේ ලෙස ය:

ඔවුන්ගේ ප්‍රධාන නායකයා වූ විග්ලිෆ් නමැත්තා රෝගාතුර වී තිබුණි. ඔහු රඳවා තිබුණේ වාඩි බිමෙහි ඈතින් පිහිටි ගිලන් කූඩාරමක ය. ඔහුට පාන් සහ වතුර සපයා තිබුණි. මේ සම්පූර්ණ කාලය තුළ කිසිවෙක් ඔහු බලන්නට හෝ ඔහුට කතා කිරීමට අසලට ගියේ නැත. ඔහු රැක බලා ගැනීමට වහලෙක්වත් සිටියේ නැත. මිනිසෙක් තම ශක්තියෙන් ම රෝගාබාධයන්ගෙන් සුව පත් විය යුතු බව උතුරු මිනිසුන් විශ්වාස කිරීම මීට හේතුවයි. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් විශ්වාස කළේ විග්ලිෆ් නැවත තමන් හා එක් වීමට වාඩි බිමට නො පැමිණෙනු ඇති බවත්, ඒ වෙනුවට ඔහු මියයනු ඇති බවත් ය.

ඔවුන් අතරින් වංශවත් තරුණයෙකු වූ බුලිවයිෆ් ඔවුන්ගේ නායකයා හැටියට තෝරා ගෙන තිබුණි. නමුත් රෝගාතුර වූ ප්‍රධානියා තවමත් පණ පිටින් සිටි හෙයින් නව නායකයා නිල වශයෙන් පිළිගැනීමට හැකි වූ යේ නැත. අප ඔවුන් වෙත පැමිණි වකවානුවේ ඔවුන් අතර පැවති අපහසුතාවට හේතුව වූයේ එය යි. එසේ වුවත්, වොල්ගා අසබඩ වාඩි ලා සිටි මිනිසුන් අතර ශෝක වීමක් හෝ හඬා වැලපීමක් දක්නට නො ලැබුණි. 

ආගන්තුකයන්ට අනුග්‍රහ දැක්වීමේ කාර්යය කෙරෙහි උතුරු වැසියෝ ඉහළ වැදගත්කමක් ලබා දෙති. ඔවුහු සෑම ආගන්තුකයෙකුට ම උණුසුම්ව ආචාර කරති, ආගන්තුක සත්කාර කරති, යෙන් ද, නොසෑහෙන තරම් ආහාර සහ ඇඳුම් ද සපයති. අධිපතියෝ සහ වංශවත්තු ඉතා උසස් ලෙස ආගන්තුක සත්කාර කිරීමේ ගෞරවය වෙනුවෙන් තරග කරති. අපගේ තවලම් කණ්ඩායම බුලිවයිෆ් වෙතට පමුණුවන ලද අතර, අප වෙනුවෙන් මහා භෝජන සංග්‍රහයක් පවත්වන ලදි. එහි ප්‍රධානත්ව බුලිවයිෆ් විසින් ම හොබවන ලද අතර, ඔහු උස, ශක්තිමත් මිනිසෙකු බව ද, ඔහුගේ සමත්, කෙස් සහ රවුළත් පිරිසිදු සුදු පැහැ වූ බව ද, මම දුටුවෙමි. ඔහුගේ ඉරියව්වලින් නායකයෙකුගේ ලක්ෂණ පෙනෙන්නට තිබුණි.

භෝජන සංග්‍රහයේ අරමුණ ගෞරව කිරීම වූ බව හඳුනාගත් අපි කණ්ඩායම ආහාර රස විඳින බව පෙන්වූයෙමු. එහෙත් එහි වූ කෑම රළු වූ අතර, භෝජන සංග්‍රහය පවත්වන ලද්දේ කෑම සහ බීම විසි කර ගනිමින්, මහ හඬින් සිනාසෙමින් සහ විනෝද වෙමිනි. මේ රළු භෝජනය අතර’තුර වංශවතෙකු තම සහචරයන් ඉදිරිපිට ම වහල් කෙල්ලක සමඟ සිමාවකින් තෙරව විනෝද වීම ද සාමාන්‍ය දෙයක් විය.

මෙය දුටු මම ඉවතට හැරී “දෙවියන්ගේ සමාව අයදිමි” යි කීමි. මගේ චකිතය ගැන උතුරු වැසියෝ මහ හඬින් සිනාසුණ හ. ඔවුන්ගෙන් කෙනෙකු මට පරිවර්තනය කර දෙමින්, එසේ විවෘතව විනෝද වන අවස්ථා පිළිබඳ දෙවියන් සතුටු වන බව කීවේ ය. “අරාබිකාරයන් වන නුඹලා නාකි ගෑණු වගෙයි. සජීවී බව දකින විට නුඹලා වෙවුලනවා.” යි ඔහු මට කීවේ ය.

මම පිළිතුරු දෙමින්, “මම නුඹලා අතර ආගන්තුකයෙක්. අල්ලාහ් මට ධාර්මිකව ජීවත් වීමට මග පෙන්වාවි” යි කීවෙමි.

එය ඔවුන්ගේ සිනාව වැඩි කිරීමට හේතු විය. එහෙත් ඔවුන්ට එහි විහිළුවක් පෙනුණේ කොතැන දැයි මට තේරුම් ගත නො හැකි විය.

උතුරු වැසියන්ගේ සම්ප්‍රදාය යුධ ජීවිතය කෙරෙහි ගරු කරන්නක් විය. ඇත්තෙන් ම මේ විශාල මිනිස්සු අනවරතයෙන් සටන් කරති. ඔවුන් කවදා වත් ඔවුනො’වුන් අතර හෝ ඔවුන් වැනි වෙනත් ගෝත්‍ර අතර හෝ  සාමයෙන් සිටියේ නැත. ඔවුන්ගේ යුද්ධ සහ නිර්භීත බව ගැන ගීත ගායනා කරන ඔවුහු, රණ ශූරයෙකු ලෙස මියයාම ඉහළ ම ගෞරවය ලෙස සලකති.

බුලිවයිෆ්ගේ භෝජන සංග්‍රහයේ දී ඔවුන්ගේ සාමාජිකයෙක් ගායනා කළ නිර්භීත බව සහ සටන් පිළිබඳ ගීතයක් ඔවුහු බොහෝ සේ රස වින්ද හ. එහෙත් ඊට සහභාගි වූයේ කීප දෙනෙකි. උතුරු මිනිසුන්ගේ සැර බීම ඔවුන් තිරිසනුන් සහ ගාල කඩා ගත් බූරුවන් බවට පත් කළේ ය. ගීතය මැද හරියේ දී යමෙක් සුරතාන්තයට පත් වූ අතර, රණශූරයන් දෙදෙනෙකු මත් වී ඇත කර ගත් කලහයක් මාරාන්තික සටනක් බවට පත් විය. ගායකයා  මේ කිසිම අවස්ථාවක් ඔහුගේ ගායනයට බාධාවක් කර ගත්තේ නැත. ඇත්තෙන් ම විසි වී ආ ලේ පහරක් ඔහුගේ මුහුණට වැටෙනු මම දුටුවෙමි. එහෙත් ඔහු එය පිස දැම්මේ, ගායනය මොහොතකට වත් නතර නො කරමිනි.

මෙය මම ඉමහත් සේ අගය කළෙමි.

සෙසු පිරිස සේ ම බීමත් වූ බුලිවයිෆ්, මා ඔවුන් වෙනුවෙන් ගීයක් ගැයිය යුතු යැයි අණ කළේ ය. ඔහු එය උදක් ම බල කර සිටියේ ය. ඔහු කුපිත කිරීමට අකමැති වූ මම කෝරානයෙන් පද කීපයක් ගායනා කළෙමි. පරිවර්තකයෙක් එය පදයෙන් පදය නෝර්ස් භාෂාවට පරිවර්තනය කරන ලදි. ඒ සඳහා මට ලැබුණේ, ඔවුන්ගේ කවටයා ලබන ප්‍රශංසාවට නො වැඩි සැලකිල්ලකි. පසුව මම අල්ලාහ් වෙතින්, ශුද්ධ වූ වචන එසේ භාවිත කිරීම ගැනත්, පරිවර්තනය වෙනුවෙනුත්  ක්ෂමාව අයැදීමි. පරිවර්තනය අරුත් සුන් වූවක් බව මට දැනුණි. ඒ පරිවර්තකයා ද බීමත් ව සිටි හෙයිනි.

අපි උතුරු වැසියන් සමඟ දින දෙකක් ගත කළෙමු. අපි පිට ව යාමට සිතා සිටි උදෑසන, ප්‍රධානියා වූ විග්ලීෆ් මිය ගිය බව පරිවර්තකයා අපට දැන්වීය. ඉන් පසු සිදු වන දේ කුමක්දැයි දැක ගැනීමට මම අදහස් කළෙමි.

පළමුවෙන්, ඔවුහු ඔහු දෙණක තැන්පත් කළහ. ඒ මත්තෙහි වහලයක් ඉදි කෙරුණි. ඒ දින දහයක්  පුරාවට මළහු වෙනුවෙන් ඇඳුම් කපා මැසීම සඳහා ය. ඔවුහු මළ තැනැත්තා සතු වූ භාණ්ඩ ද ගෙනැවිත්, ඒවා කොටස් තුනකට බෙදූ හ. එයින් පළමු කොටස ඔහුගේ පවුලට ය; දෙවැනි කොටස, ඔහු වෙනුවෙන් සකස් කළ ඇඳුම් පැලඳුම් සඳහා විය; තරුණියක් ස්වේච්ඡාවෙන් මිය යාමට සහ ඇගේ ස්වාමියා සමග ආදාහනය කරනු ලැබීමට ඉදිරිපත් වන දිනය සඳහා, ඔවුහු තෙවැනි කොටසින් සැර පානයන් මිලට ගත් හ. 

ඔවුන් වයින් භාවිත කළේ උමතුවෙන් මෙනි.  මම දැනට මත් කියා ඇති පරිදි ඔවුහු දිවා රෑ දෙකෙහි ම බීමත් වූහ. යමකු අතෙහි වූ කුසලානයක් සහිත ව මිය ගියේ කලාතුරකින් නොවේ.

විග්ලීෆ් ගේ පවුලේ අය ඔහුගේ කෙල්ලන් සහ වහලුන්ගෙන්, “ඔහු සමඟ මැරෙන්නේ නුඹලා අතරින් කවුදැ” යි ඇසූහ. ඔවුන් ගෙන් එකියක් “මම” යි කීවාය. ඒ වචනය පිට වූ වේලාවේ සිට ඇය තව දුරටත් නිදහස් තැනැත්තියක නො වීය. ඒ වචනය ආපසු ගැනීමට, ඇයට අවසර නැත. 

එසේ ඉදිරිපත් වූ කෙල්ල, එතැන් සිට තවත් කෙල්ලන් දෙදෙනෙකු භාරයට පත් කෙරුණි. මොවුන්ට ඇය බලා ගන්නට සිදු වූ අතර, ඇය පසුපස යාමටත්, අවස්ථානුකූලව ඇගේ පා සේදිමටත් සිදු විය. අනික් අය මිය ගිය තැනැත්තාගේ කටයුතුවල හෙවත් ඔහුට ඇඳුම් කැපීමෙහිත්, වෙනත් අවශ්‍ය දේ පිළියෙල කිරීමෙහිත් නිරත වූ හ. මේ කාල සීමාව පුරා ම අර කෙල්ල බොමින් සහ ගී කියමින් ප්‍රීතිමත්ව සහ සැහැල්ලුවෙන් ගත කළා ය.

මේ කාලය තුළ, මී ළඟ රජු හෙවත් නායකයා වීමට සිටි බුලිවයිෆ් නම් වංශවත් තරුණයා හට තෝර්කල් නම් එදිරිවාදියෙක් ඉදිරිපත් විය. මා ඔහු දැන සිටියේ නැත. ඔහු කැත, කලහකාරී අයෙක් මෙන් ම, මේ රතු වන් පැහැපත් ජාතිය තුළ සිටි අඳුරු වන් මිනිසෙක් විය. ඔහු නායකයා වීමට රහසින් තැත් කළේ ය. මේ සියල්ල මා දැන ගත්තේ පරිවර්තකයා වෙතිනි. මන්ද යත්, අවමංගල උත්සවයට සූදානම් වෙමින් සිටි මිනිසුන් අතර සම්ප්‍රදායට පිටින් කිසිවක් සිදු වන බවට පෙන්නුම් කෙරුණු කිසිදු සලකුණක් නො වූ හෙයිනි.

බුලිවයිෆ් මිය ගිය තැනැත්තාගේ පවුලේ සාමාජිකයෙක් නොවූ හෙයින්, ඔහු අවමඟුල මෙහෙයවූයේ නැත. පවුලේ අය පමණක් අවමඟුල් කටයුතු සූදානම් කිරීම නීතියක් විය. බුලිවයිෆ් සැමරීම් සහ සාමාන්‍ය විනෝදවීම් සඳහා පමණක් සහභාගී විය. රාත්‍රි භෝජන සංග්‍රහයේ දී හැරුණු විට ඔහු රජු වශයෙන් හැසිරුණේ නැත. භෝජන සංග්‍රහයේ දී පමණක් ඔහු රජු වෙනුවෙන් වෙන් කෙරුණු උස් ආසනයේ වාඩි විය.

ඔහු අසුන් ගත්තේ මේ ආකාරයෙනි: උතුරු වැසියෙක් සැබැවින් ම රජු බවට පත් වූ විට, ඔහු භෝජන මේසයේ මුල ම පිහිටුවන ලද, ගලින් තනන ලද අත් ඇඳි සහිත විශාල ගල් ආසනයේ වාඩි වෙයි. විග්ලිෆ්ගේ ආසනය ද එවැන්නක් විය. එහෙත් බුලිවයිෆ් එහි වාඩි වූයේ සාමාන්‍යයෙන් මිනිසෙකු වාඩි වන ආකාරයට නොවේ. ඒ වෙනුවට ඔහු වාඩි වූයේ එහි අත් ඇන්දක් මත ය. ඔහු පමණට වඩා බීමත් වූ විට හෝ මහ හඬින් සිනා සුණු විට එතැනින් බිමට ඇද වැටුණි. විග්ලීෆ් භූමදානය කරන තෙක් ඔහු එම ආසනයේ වාඩි නො වීම සම්ප්‍රදාය විය. 

මේ සියලු කාලය තුළ තෝර්කල් රහසින් යමක් සැලසුම් කළ අතර, අනිකුත් අධිපතියන් සමඟ මන්ත්‍රණය කළේ ය. මා මන්ත්‍රකාරයෙකු හෝ මායා කාරයෙකු වූ බවට ඔවුන් සැක කරන බව දැන ගන්නට ලැබී මම මහත් අපහසුතාවට පත් වීමි. මේ කතා විශ්වාස නො කළ පරිවර්තකයා, විග්ලීෆ් මියයාමට සැලැස්වූයේ මා බවත්, බුලිවයිෆ් මී ළඟ නායකයා වීමට ද කරුණු සැලැස්වූයේ මා බවත්, තෝර්කල් කියූ බව මට කීවේ ය. එහෙත් ඇත්තෙන් ම, ඒ කිසිවකට මම කොටස් කාරයෙක් නො වූයෙමි.

දින කීපයකට පසුව, ඉබ්න්-බස්තු ද, ටාකින් සහ බාර්ස් ද ඇතුළු මගේ කණ්ඩායමට පිටත් වී යාමට මම අවසර ඉල්ලුවෙමි. නමුත් උතුරුකර වාසීන් අපට පිට වී යාමට අවසර නො දෙමින්, අපි අවමඟුල් උත්සවය වෙනුවෙන් නතර වී සිටිය යුතු බව කියමින්, ඔවුන් නිතර ම රැගෙන යන කිණිසි උරුක් කර ගෙන තර්ජනය කළ හ. එහෙයින් අපි නතර වීමු.

විග්ලීෆ් සහ කෙල්ල ගින්දරට බිලි දෙන දිනය උදා වූ විට, ඔහු ගේ යාත්‍රාව ගං ඉවුර මතට අදින ලදි. බර්ච් සහ වෙනත් ලීවලින් තනන ලද මුලුවලට තබන අඩ සහ මිනිසුන් නිරූපණය කිරීමට තනන ලද දැව පිළිරු ද, එය වටා තබන ලදි.

ඒ අතරතුර මිනිසුන්, මට තේරුම් ගත නොහැකි වූ වචන කියමින් ඒ මේ අත යන්නට වූහ. උතුරු වැසියන්ගේ භාෂාව සවනට අප්‍රිය සහ තේරුම් ගැනීමට දුෂ්කර එකකි. මියගිය නායකයා ඒ වන විටත් ඈතින් පිහිටි ඔහුගේ දෙණෙහි සතපා තිබුණි. ඊ ළඟට ඔවුහු කවිච්චියක් ගෙනවුත්, යාත්‍රාව තුළ තබා, ග්‍රීක රන් රෙද්දකින් ආවරණය කළ හ. ඒ රෙද්දෙන් ම කරන ලද කොට්ට ද එහි තබන ලදි. ඉන් පසු එතැනට ආවේ කැත මහළු ස්ත්‍රියකි. ඔවුහු ඇය, මරණයේ දේව දූතිකාව යැයි හැඳින්වූහ. ඇය එහි පැමිණ කවිච්චිය මත පෞද්ගලික භාණ්ඩ විසුරුවා හැරියා ය. මළ ඇඳුම් මැසීමට සහ අනෙක් සියලු කළමනා පිළියෙල කිරීමට ඇය සහභාගී වූ අතර, කෙල්ල මැරීමට නියමිත ව තිබුණේ ද ඇය වෙත ය. මම ඈ මගේ දෑසින් දුටුවෙමි. ඇය අඳුරු පැහැ, මිටි තරබාරු, කුදු ගැසුණු තැනැත්තියක් වූවා ය.

ඔවුහු දෙන වෙත පැමිණි විට, එහි වහලය ගළවා, මළ මිනිසා පිටතට ඇද ගත් හ. එවිට ඔහු සෑහෙන තරම් කළු පැහැයට හැරී ඇති බව මම දුටුවෙමි. එරට පැවති අධික ශීතල ඊට හේතු විය. ඔවුහු දෙණ තුළ ඔහු අසලින් සැර බීම, පලතුරු සහ ලූට්  නම් වීණාවක් තබා තිබුණි. ඒවා ද එළියට ගන්නා ලදි. සමේ පැහැය හැරුණු කොට, විග්ලීෆ් ගේ පෙනුම වෙනස් නො තිබුණි.

බුලිවයිෆ් සහ තෝර්කල් එක ළඟින් පෙළට සිට ගෙන සිටි අතර, අවමඟුල් උත්සවය පුරා ඔවුන් මිතුරන් බව ප්‍රදර්ශනය කරනු මම දුටුවෙමි. නමුත් ඔවුන්ගේ ඒ පෙනුමෙහි කිසිදු සත්‍යතාවක් තිබුණේ නැති බව පැහැදිලි ව පෙනුණි.

විග්ලීෆ් නම් මියගිය රජු හට මේ වෙලාවේ දී යට ඇඳුම්, කලිසමක්, බූට් සහ රන් රෙද්දෙන් කළ කෆ්තානයක් අන්දවා ඔහුගේ හිස මත රන් රෙද්දෙන් සාදා සේබල්  ලොමින් සැරසූ හිස්වැස්මක් පලඳවන ලදි. ඉන්පසු ඔහු ඔහුගේ යාත්‍රාවෙහි තනා තිබුණු කූඩාරම තුළට රැගෙන ගොස්, ඇතිරිලි දමා තිබූ කවිච්චියේ වාඩි කරවා, නොවැටෙන පරිදි කොට්ටවලින් වට කරන ලදි. එසේ ම ඔවුහු සැර බීම, පලතුරු, සුවඳ තලා හෙවත් බේසිල් ගෙන’වුත් ඔහු අසලින් තැන්පත් කළ හ.

ඉන් පසුව ඔවුහු බල්ලෙකු රැගෙන’විත්, දෙකඩ වන සේ කපා යාත්‍රාව තුළට විසි කළ හ. ඔවුහු මළහුගේ ආයුධ සියල්ල ඔහු අසලින් තැබූ හ. අශ්වයන් දෙන්නෙක් දක්කා ගෙන ආ ඔවුහු, උන් දෙදෙනා දහදිය ගලන තුරු පසු පසින් එලවූහ. ඉන් පසු බුලිවයිෆ් ඉන් එකෙක් තම කඩුවෙන් පහර දී මැරූ අතර, තෝර්කල් අනෙකා මැරී ය. ඔවුහු තම කඩුවලින් අශ්වයන් කෑලිවලට කපමින්, එම කැබලි යාත්‍රාව තුලට විසි කළ හ. බුලිවයිෆ් තම අශ්වයා මැරුවේ වඩා අඩු වේගවත් බවකිනි. එය බලා සිටියවුන්ට සංකේතාත්මක දෙයක් වූ බව පෙනුණ ද, එහි තේරුම මට වැටහුණේ නැත.

 හීලෑ හරකුන් දෙදෙනෙකු ඉදිරියට ගෙනැවිත්, කෑලිවලට කපා, යාත්‍රාව තුලට වීසි කරන ලදි. අවසානයේ ඔවුහු කුකුළෙකු සහ කිකිලියක ගෙනැවිත්, මරා, ඔවුන් ද යාත්‍රාවට විසි කළ හ. 

මිය ගිය තැනැත්තා සමඟ මිය යාමට කැප වූ තරුණිය මේ අතර, එතැන වූ කූඩාරම් එකිනෙකට ඇතුල් වී පිට වූවා ය. ඒ එක් එක් කූඩාරමේ සිටියවුන් ඇය සමඟ සැතපී, “ඔබේ ස්වාමියාට කියන්න, මම මේ දෙය සිදු කළේ ඔහුට ඇති ආදරය නිසා පමණක් බව” යි කීවෝ ය.

මේ වන විට සවස් කාලය ළඟා වෙමින් පැවතුණි. ඔවුහු, දොරක රාමුවක් වැනි හැඩයකින් යුත්, ඔවුන් කලින් තනා තිබූ දෙයක් මතට ඒ තරුණිය නැංවූවෝ ය. ඇය එහි සිට, මිනිසුන් ඉහළට එසවූ අත් මත තම පාද තැබුවා ය. එසේ මිනිසුන් ඇය, රාමුවට ඉහළින් එසවූහ. ඇය ඇගේ බසින් යමක් කීවා ය. එවිට ඔවුහු ඇය පහළට ගත් හ. නැවතත් ඔවුහු ඇය එසවූහ. ඇය පෙර පරිදි ම යමක් කීවා ය. නැවතත් ඔවුහු තෙ වැනි වතාවටත් ඇය එසවූහ. ඉන් පසු ඔවුහු කිකිළියක ඇගේ අතට දුන් හ. ඇය උගේ බෙල්ල කපා, ඌ ඉවතට විසි කළා හ.

ඇය කළේ කුමක්දැ යි මම පරිවර්තකයාගෙන් ඇසීමි. ඔහු පිළිතුරු දෙමින්, “පළවෙනි වර ඇය කීවේ, ‘අහන්න, මට පේනවා මගේ තාත්තා සහ අම්මා’ කියා; දෙවෙනි වර කීවේ, ‘අහන්න, දැන් මට පේනවා මගේ මියගිය නෑදෑයන් සියලු දෙනා ම අසුන් ගෙන සිටිනවා’ කියා; තුන් වෙනි වර ඇය, ‘අහන්න, එතන මගේ ස්වාමියා ඉන්නවා, පාරාදීසයේ අසුන් ගෙන. පාරාදීසය හරිම ලස්සනයි, හරිම කොළ පැහැතියි. ඔහු සමග ඔහුගේ මිනිසුන් සහ කොල්ලන් ඉන්නවා. ඔහු මට අඬ ගහනවා, මා ඔහු වෙත ගෙන යන්න.’ කීවා” යි කීවේ ය.

ඉන් පසු ඔවුහු ඇය යාත්‍රාව වෙත කැඳවා ගෙන ගිය හ. එතැන දී ඇය තම වළලු දෙක ගළවා මරණයේ දේව දූතිය නම් වූ, තමා මරණයට පත් කරන්නට නියමිත මහලු කාන්තාවට දුන්නා ය. ඇය තමන්ගේ දෙපයේ දමා ගෙන සිටි ආභරණ දෙක ද ගළවා සේවක කෙල්ලන් දෙ දෙනා වෙත යැවුවා ය. ඒ දෙදෙනා මරණයේ දේව දූතිය ගේ දූවරු වූ හ. ඉන් පසු ඔවුහු ඇය යාත්‍රාවට ඔසවා තැබූ හ. නමුත් එහි වූ කූඩාරම වෙත රැගෙන නො ගිය හ. 

මෙ’විට පලිහ සහ යෂ්ටි අතින් ගත් මිනිසුන් පැමිණ ඇයට සැර බීම කුසලානයක් දුන් හ. ඈ එය රැගෙන, යමක් ගායනා කොට, එය හිස් කළා ය. ඈ කීවේ, “මෙයත් සමඟ මම මගේ ආදරණීයයන් අත හැර පිටවී යන්නෙමි” යි යන්න බව පරිවර්තකයා මට කීවේ ය. ඉන් පසු තවත් කුසලානයක් ඇගේ අත තබන ලදි. ඇය එය රැගෙන දීර්ඝ ගායනයක් ආරම්භ කළා ය. කැත මැහැල්ල ඇයට තරවටු කරමින්, පමා නො කර කුසලානය හිස් කොට, ඇගේ ස්වාමියා වැතිර සිටින කූඩාරම තුළට යන ලෙස කීවා ය.

මේ වෙලාව වන විට තරුණිය විසඥ වන්නට ආසන්න ව  සිටි බව පෙනුණි. ඇය කූඩාරමට ඇතුල් වන්නට යන බවක් පෙන්වූවාය. එවිට ම මායාකාරිය අගේ හිසෙන් අල්ලා කූඩාරම තුළට ඇද ගෙන ගියා ය. මෙ’විට මිනිස්සු තමන් අතේ වූ යෂ්ටිවලින්, පළිස්මතට පහර දෙන්නට පටන් ගත්හ. ඒ හඬින් තරුණියගේ විළාප හඬ යටපත් විය. විලාප හඬ අනික් කෙල්ලන්ට ඇසුණේ නම්, ඔවුන් අනාගතයේ දී තම ස්වාමියන් වෙනුවෙන් මිය යන්නට ඉදිරිපත් වීම අධෛර්යවත් වන්නට ඉඩ තිබුණි.

මිනිසුන් හය දෙනෙක් ඇය පසුපසින් කූඩාරම තුළට ගිය අතර, ඒ සියලු දෙනා ම ඇය සමග කායික සම්බන්ධතා පැවැත්වූහ. ඉන් පසු ඔවුහු ඇය ඇගේ ස්වාමියා ගේ පසෙකින් වැතිරවූහ. මිනිසුන් දෙදෙනෙකු ඇගේ දෙපා අල්ලාගත් අතර, තවත් දෙදෙනෙක් ඇගේ දෑත් අල්ලා ගත්හ. මරණයේ දේව දූතිය නම් වූ මැහැල්ල ඇගේ ගෙල වටා ලණුවක් ගැට ගසා, එහි දෙකෙළවර අනික් මිනිසුන් දෙදෙනාට අදින්නට දුන්නා ය. ඉක්බිති, පළල් තලයක් සහිත කිණිස්සක් ගත් ඇය තරුණියගේ ඉළ ඇට අතරින් ඇන, ඉදිරියට ඇද්දා ය. ඒ අතර, මිනිස්සු දෙදෙනා ඇගේ ගෙල වටා ගැට ගසන ලද කඹයෙන් ගෙල සිර කර ඇය මිය යන තුරු ඇද ගෙන සිටිය හ.

මියගිය විග්ලි‌ෆ්ගේ නෑදෑයන් මෙ’විට ඒ අසලට ආහ. ඔවුහු නිරුවත් ව, දැල්වෙන ලී පන්දමක් බැගින් අතට ගෙන, යාත්‍රාව දෙසට පිටුපස හරවා ආ පස්සට ඇවිද ගොස්, ඒ දෙස බැලීමකින් තොර ව, ඊට ගිනි තැබූහ. චිතකය ඉක්මණින් ම ගිනි දැල්ලෙන් වැසී ගියේ ය. යාත්‍රාවත්, කූඩාරමත්, මිනිසා සහ තරුනියත්, අනෙක් සියල්ල මත්, පුපුරමින් නැගෙන ගිනි ජාලාව විසින් ගිල ගත්තේය.

මගේ පසෙකින් සිටි උතුරු වැසියෙක් පරිවර්තකයා වෙත යම් අදහසක් පැවසීය. ඔහු කීවේ කුමක්දැ යි මම පරිවර්තකයාගෙන් ඇසීමි. ඊට ලද පිළිතුර වූයේ මෙය විය. “අරාබි කාර නුඹලා,” ඔහු කීවා, “මෝඩයන් රැළක් වෙන්න ඇති. නුඹලා බොහෝ ආදරය කළ සහ ගරු කළ මිනිසා, නුඹලා පොළොව තුලට විසි කර දමනවා, බඩ ගාන සතුන්ටත්, පනුවන්ටත්, කා දමන්නට. අපි අනෙක් අතට, හණික ඔහු පුළුස්සනවා. එවිට ක්ෂණයකින්, මොහොතක්වත් පමා නොවී, ඔහු පාරාදීසයට ඇතුල් වෙනවා.” 

ඇත්තට ම, පැයක් ගතවන්නටත් පෙර, යාත්‍රාවත්, එහි වූ දැවත්, කෙල්ල සහ මිනිසාත්, අලු බවට පත් විය.



මේ දවස්වල ගජරාමෙට පරිවර්තන වැඩක් කරමින් ඉන්නෙ. ඒ නිසා දීර්ඝ බ්ලොග් ලිපි කියවන්න එන්න බැරි වීම ගැන කණගාටුයි. ඉහතින් තියෙන්නෙ පරිවර්තනය කරපු තුන් වෙනි පරිච්චේදය. මේක අමුවෙන් තියෙන්නෙ, තවත් කීප වරක් සංස්කරණය කරන්න ඕනෙ. එහෙම උනත් මම හිතුවා ඔයගොල්ලන් මේක කියවන්න කැමති වෙයි කියලා.

Monday, April 17, 2023

රොසෙට්බකල් සහ කොකිස්

රොසෙට්බකල් ලෙසට නෝවීජියන් සමාජයේ හැඳින්වෙන, රොසෙට් කුකී නත්තල් කාලයට සකස් කරන, පාරම්පරික කැවිල්ලකි. මෙය සකස් කරන්නේ, තිරිඟු පිටි, කිරි, සීනි, ලුණු සහ බිත්තර යොදා සකස් කරගන්නා දියාරු මිශ්‍රණයක, යකඩ අච්චුවක් ඔබා, එහි තැවරෙන පිටි මිශ්‍රණය ගැඹුරු තෙලේ බැද ගැනීමෙනි.

පහත විඩියෝවෙන් පෙනෙන්නේ, රොසෙට්බකල් හෙවත් රොසෙට් කුකී සකස් කරගන්නා ආකාරයයි.


රොසෙට් කුකී බොහෝ රටවල දක්නට ලැබෙන කැවිලි වර්ගයකි. විවිධ ජාතීහු මෙය විවිධ නම්වලින් හඳුන්වති. මෙහි මූලාරම්භය ලෙස සැළකෙන නෝවීජියානු සහ ඩේනිශ් ප්‍රදේශයන්හි මෙය රොසෙට්බක්කල්, රොසෙට්ටර් යන නම්වලින් හැඳින්වෙන අතර, ෆින්ලන්තයේ රොසෙට්ටි යන නමින් ද, ස්වීඩනයේ ස්ටෘවොර් නමින් ද, ස්පාඤ්ඤයේ දී ෆ්ලොරේස් මන්චෙගාස් හෙවත් මන්චෙගන් මල් නමින් ද හැඳින්වේ. 

මැද පෙරදිග සහ බටහිර ආසියාකරයේ ද හමුවන මෙම කැවිල්ල, ඉරානයේ දී ශිරිනි පන්ජෙරෙයි නම්වන අතර තුර්කියේ දී දෙමිර් තතිසි නමින් ද, ටියුනීසියාවේ දී ෂෙබ්බක් එල්-යාන්නා ලෙසින් ද, ඇෆ්ඝනිස්ථානයේ දී කුල්චා-එ-පන්ජෙරේ ලෙසින් ද, ශ්‍රී ලංකාවේ දී කොකිස් නමින් ද හැඳින්වේ.

ඉන්දියාවේ දී රෝස කුකී හෙවත් රෝස විස්කෝතු නම් වන මෙම කැවිල්ල, බංග්ලාදේශයේ ෆුල්ඣුහි පිතා හෝ ෆුල්කුචි පිතා හැටියට ද, මැලේසියාවේ දී කුයිහ් ලොයං ලෙස ද, තෙලුඟු බසින් ගුලාබි පුව්වුලු ලෙස ද, දෙමළෙන් අච්චු මුරුක්කු ලෙස ද, මලයාලම් භාෂාවෙන් අච්චප්පම් ලෙස ද නම් කර තිබේ.

රොසෙට් කුකී ආසියාකරයට ආවේ කෙසේ දැ යි ලිඛිත සාක්ෂි සොයාගන්නට නැත. එහෙත් පොදුවේ විශ්වාස කෙරෙන්නේ ලන්දේසි වෙළෙඳ කණ්ඩායම් සමඟ 17 වන සියවසේ දී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව වෙත මෙම කැවිල්ල ආ වග ය. ලන්දේසි සංක්‍රමණ සිදුවූ ප්‍රදේශ සියල්ලක ම පාහේ මෙම කැවිල්ල ව්‍යාප්ත වී තිබීම මෙම අදහස කුළුගන්වයි.

පහත දැක්වෙන්නේ රොසෙට් කුකී සඳහා යොදාගන්නා විවිධ හැඩතල රැසකි.







මූලාශ්‍ර:

https://en.wikipedia.org/wiki/Rosette_(cookie)

https://www.tine.no/oppskrifter/kaker/vafler-og-smakaker/rosetter-rosettbakkelse

https://dmcoffee.blog/where-do-rosette-cookies-come-from/

https://www.whetstonemagazine.com/journal/the-rose-cookie-through-the-lens-of-colonialism

Saturday, April 8, 2023

බක් පෝදා ගෙට්ටුව


බක් පෝදා සුහද හමුවට මම ආවේ නැතක් බාධක මැද. ලොකු ම බාධාව තිබුණේ රාජකාරිවලින්. පළාත්පාලන ආයතනවල සභාවන් විසුරුවා හැරුණේ මාර්තු 19. එතෙක් ගරු සභිකයන්, ගරු නගරාධිපති සහ ගරු සභාපතිවරුන් වෙත පැවරී තිබුණු තීරණ ගැනීම සභා ලේකම්වරුන්ට සහ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් වෙත පැවරුණා. එයින් අපේ කාර්යාලයටත් රාජකාරිවල බැරෑරුම්කම සහ ප්‍රමාණය වැඩි වුණා. 

ඒත් එක්ක ම මාර්තු 31 මම තවත් තනතුරක වැඩ භාරගත්තා. දැන් ඉතින් කාර්යාල දෙකක වැඩ කරන්න සිද්ද වෙලා තියෙනවා.

කාර්යබහුල වීම මත අපේ අසංගගේ සහ මඤ්ජුලගේ දුරකථන ඇමතුම්වලට උත්තර දෙන්නත් මට බොහෝ වෙලාවට පුළුවන්කමක් තිබුණෙ නෑ.

කොහොමින් හරි, අපෙ උන්දැයි පුතණ්ඩියයි මායි ඇඳගෙන පහළට එද්දි තමයි මට සුරංග කෝල් කළේ. 

"අපි නං මෙහෙන් පිටත් උනා. ඔහෙ තත්ත්වෙ මොක ද?"

"මං දැනුයි නැගිට්ට‌ෙ මල්ලි." මං කිව්වා. එතන ඉඳං වැල නොකැඩී සුරංගයා බැණපු තරම, ඒ වචන නැවකට පැටෙව්වනං, කෙලිම්ම වරායෙන් දියත් කරද්දි ම නැව මූදු පතුළට ගිළෙනව. ඒ තරම් බර වචන...

"නයියා දාගත්ත ද?" යන්තම් බැණුම් වැස්ස තුනී වෙද්දි මං ඇහුවා. (ප්‍රසන්නව රත්නපුරෙන් ගන්නම් කියලා සුරංග කලින් දවසෙ මට කිව්වා.) 

"ආ ඔව්. පටෝලා තියෙන්නෙ" ඒක අහපු ගමන මට කැස්ස ඉස්මොල්ලෙ ගියා.

කොහොමිං හරි අපි තුන් කට්ටුව පාර අයිනෙ ටීපීයට යනකොට, සුරංගලාගේ සොටියත්, අසංගලාගේ ඇල්ටෙත් එතන ය. සුපුරුදු පරිදි රවි අයියා ආවේ ඊට කලින් දවසේ ය. ආචාර සමාචාර කර ආගිය කතා කතා කළෑයින් පස්සේ මං අපේ උන්දැත්, පුංචිරාලත් එක්කරගෙන තට්ටයාගේ කැළණි ගඟ පෙන්නන්නට ගියෙමි ය. ටික වෙලාවකින් නමියා දියෙස් බ්‍රෑන්ඩ් ලැවරියා පිඟානත් අරගෙන ඇස්වහක් කටවහක් නෑ සීදේවි ගුණ යහපත් ඉළංදාරියා අපටත් ලැවරියා බෙදන්නට ගඟ ගාවට ම පල්ලං බැස්සේ ය.

වත්සලා, එයාගෙ නංගි සහ චූටි වත්සල පැංචා

නයි හාමි, චූටි මැණිකෙ සහ සුරංග

ගෘහ මූලික වීරසිංහ

තිලකසිත අයියා අභය මුද්‍රාව සහිතව

අසංගලා සහ නමියා

ලැවරියා කා උඩහට එද්දී වත්සලා කෝ විජේරත්නත්, අපේ ප්‍රධාන ආරාධිතයාවිය වූ ශාන්ති දිසානායක ලේඛිකාවත් එතනට සැපත් වෙලා ය. අපේ තිලකසිත අයියා ආවෙත් ඒ වෙලාවෙම වගේ ය.

උදේ කෑම වැරදී තිබුණු උදවියට තට්ටයියා සිය දෑතින් උයා තිබූ බත් කන්නට තිබුණා. වැඩි වෙලාවක් මිඩංගු නොකර අවශ්‍ය අඩුම කුඩුම (එව්වා අඩු සහ කුඩු වෙන්නෙ ආපහු එද්දි) තට්ටයියගෙ කහපාට සිංගල් කැබ් එකට පටවාගෙන,  අපේ නඩයේ උදවියත් පටවාගෙන කැලේ මැද ටීපියට යන්නට පිටත් උණා.

කොහොම හරි අණ්ඩක් කඩා ගන්නෙ නැතුව සිංගල් කැබ් එකේ පිටිපස්සෙ ඉඳගෙන ගියපු අපි, කැලේ මැද ටීපියෙන් බැහැලත් පැයක් තරම යන තුරු ඒ මේ අත ගැස්සි ගැස්සි උන්නෙ.

මද්‍යප උදවිය මද්‍යපාන සහ ධූමායනයත්, අනික් උදවිය වත්සලා, චූටිමැණිකෙ (සුරංග ගෙ නෝනා පොඩ්ඩ) සහ අවශේෂ අඟනුන් හදා දුන්න තේ පානයත් කරමින් සුහද කතාවකට යොමු වුණා. ආන්න ඒ වෙලාවෙදි තමයි මට පසක් වුණේ ශාන්ති දිසානායක නම් ලේඛිකාව කොයි තරම් සරළ, නිහතමානී සහ අව්‍යාජ තැනැත්තියක් ද යන වග.රටේ දේශපාලන තත්ත්වය, සමාජ ගැටළු ආදී දේ ගැන අපට එකග වෙන්න පුළුවන් වුණු තැන් ගොඩක් තිබුණා.  

නමියාගේ සිට වත්සලාගේ පුතා දක්වා විවිධ වයස්වල දරුවන්ටත් නිදහසේ ස්වභාවිකත්වය සහ පරිසරය රසවිඳින්න අවස්ථාව ලැබුණු අතර, ඩ්‍රැකියානිගේ පයේ ඇඟිල්ලක් රසවිඳින්න කූඬැල්ලෙකුටත් අවස්ථාව ලැබිලා තිබුණා.

ටීපිය අසළින් ගළාගෙන යන දොළ පාර හරිම නිස්කාන්සුයි. ඒ වගේ ම නිදහසේ ගිළිලා ඉන්න හැකි විදිහට ගල්වලින් වටවුණු පොකුණු වගේ කොටස් කිපයකුත් තිබුණා. ශාන්ති අක්කලා, අසංගලා, වත්සලාලා සහ සුරංගලා මේ දොළ පාරට බැහැගෙන "නානවා" කියා යමක් කරන්නට පටන් ගත්තා. ඒ වචනෙ තේරුම උපන්තේකට අහලා නොතිබුණු මාත්, ප්‍රසන්නත් ගොඩට වෙලා උන්නේ, නොදන්නා දේට ගොහිං වරිගෙ නැහෙයි යන සාධාරණ බයෙන්.

පස්සෙන් පහු තට්ටයියගේ බල කිරීම මත අපේ හුටංබරස් ආදිපාදතුමාටත් දොළ පාරට බහින්න අවස්ථාව ලැබුණා. 

අපි ඔක්කොම දොළෙන් ගොඩට ආවත්, සුරංග, චූටිමැණිකෙ සහ වත්සලාගේ නංගි නෙවෙයි ගොඩට ආවේ. ඒ තුන් දෙනා ට වෙලා තිබුණේ අනිකක්... මොකද්ද, දොළේ බැහැගෙන පොඩ්ඩක් ඇඟ අතුල්ලමින් ඉන්නවිට දැනට අවුරුදු දහයකට විතර උඩදි ඇඳපු ඇඳුම් මතු වෙන්න පටන් ගෙන. ඉතින් ඒ එකිනෙක ඇඳුම්වල විස්තර කතා කරමින් ඉද්දි ඒ අයට වෙලාව යනව දැනුනේ නෑ.

වරක් ඩ්‍රැකියානි දොළ අයිනට ගිහින් ඇවිත් මට කිව්වා, කොහෙන්දෝ ගහගෙන ආව මළ සිරුරක් දොළේ පාවෙනව කියලා. මං ගිහුං බලද්දි යන්තං "ඒ අපේ සුරංග මල්ලිනෙ" බව අඳුනගන්න පුළුවන් වුණා.

අන්තිමේ ඩ්‍රැකියානි තමයි මටත් මතක් කරලා දුන්නේ, මේ උදවිය නාන විදිහට තට්ටයියට ලොකු වතුර බිලක් ගෙවන්ඩ සිද්ධ වෙන විත්තිය. ඒක මතක් කළහම ඔන්න යන්තං සුරංගලා දොළෙන් ගොඩට ආවා. ඒ එද්දි, ඒ තුන් දෙනා කොයිතරම් කුණු අතුල්ලලා ද කියතොත්, සුරංගගෙ රැවුළත් සුදු වෙලා තිබුණා.

මං ගොහිං අපේ පුංචිරාළ ගෙ ඇඟ පිහලා ඇඳුං අන්දවගෙන එද්දි සුදුපාට ප්‍රාඩෝ එකක් පිඹගෙන ටීපී වාඩිය පැත්තට ආවා. ඒකෙ ආවේ ප්‍රාජේ සහ ඉයන් ය. ඉයන් ට ටුබැකෝ නිෂ්පාදන එක්ක පුදුම තරහක් තියෙන බව මම දැක්කේ එදා ය. එහෙම උනත් ඩ්‍රැකියානි ට නං ඉයන් ගැන ඇත්තේ ලොකු පැහැදීමකි. ඒ මේ හේතුවටය... 

ඉයන් මාමා ට එදා කන්නාඩි කුට්ටම අමතක වෙලා ඇවිදින් ය. ඉතින් එයා හිතාගෙන ඉඳලා තියෙන්නේ ඩ්‍රැකියානි මගේ දුව කියලා ය. ඒක කියාපු වෙලේ ඉඳන් ඩ්‍රැකියානිගේ ඉහේ මලක් පිපුණේ ය.

එදා දවල් කෑමත් පංකාදු පහය. මොලොක් වෙන්නට මිරිසට උයා තිබුණු චිකන්, මියනදලුත් කොස්ඇටත් දාලා හදා තිබුණු කෙහෙම්මලක්, නයිමිරිස් දාලා හදපු කොස්, යන විශේෂාංගවලට අමතරව, බැදපු කොච්චි, බැදපු මිරිස්, බැදපු පපඩම්, සමඟින් පරිප්පුත් බෝංචිත් එක්ක බත් (ඔව් බතුත් තිබුණා) බඩ පැලෙන්නට කන්නට තිබුණේ ය. 

අන්තිම හරියේ දී, ගෙට්ටුවට ආව උදවියට සිහිවටනයක් විදිහට ශාන්ති අක්කාගේ පොතක්, ශාන්ති අක්කාගේ අත්සනත් එක්ක ලබා දුන්නා. ඒ අවස්ථාව පොටෝ ගැහුවේ අපේ ප්‍රවීණ සිරිසඟබෝ ස්ටයිල් ඡායාරූප ශිල්පී නමියා. නමුත් ඒක නමියාට විඩින් විඩේ මතක් කරන්න සිද්ධ වීම තමයි අවුල. ඉතින් මටත් රවි අයියටත්, පොටෝ ගහන්නට උවමනා වෙලාවෙ දි "ගහපිය !" කියමින් නමියගේ පිටට තට්ටු කරන්නට සිද්ධ උනා. නමියා පහුවදාම කැඩුං බිඳුං වෙදෙක් ගාව ඇඩ්මිට් උනා කියලා ආරංචියි.

පතෑංංං ඡායාරූප ශිල්පියෝ
ඉයනුත් ප්‍රාජේත් ශාන්ති අක්කත් පිටත් වුණාට පස්සෙ අපි පටන් ගත්තා කාඩ් සෙල්ලම. කාඩ් විසිපහක් තිබුණා.  කට්ටිය රවුමට හිටියා. කාඩ්වලින් උඩම තියෙන කාඩ් එකේ සඳහන් වැඩේ රවුමෙ මුලින් ම ඉන්න තැනැත්තා කරන්න ඕනෙ. ඊළඟට ඊට යටින් තියෙන කාඩ් එකට සහ රවුමෙ ඊළඟට ඉන්න තැනැත්තට අවස්ථාව ලැබෙනව.

ඔය ගේමෙ දි, කැමති ම පොත් දහය කියන්න කියලා නමියට අවස්ථාව ලැබුණා. ඒ හොර තක්කඩියා කළේ, එක වසරේ ඉඳං දහය වසර දක්වා සිංහල කියවීම් පොත්වල නම් කියාපු එක.

ජිරාෆ් කෑ ගහන හැටි කරන්න අසං‌ගගෙ පුතාට ලැබුණා, මාළුවෙක් කෑ ගහන හැටි කරන්න අසංගට ලැබුණා. නයෙක්ට ටෝච් එකෙන් ගහන්න වත්සලාට ලැබුණා, වත්සලාගෙන් ගුටි කන්න ප්‍රසන්නට ලැබුණා.

ඒ ටිකත් ඉවර වෙලා, පරක්කුත් වෙන හින්දා ආපහු එන්න හැරුණා. කහ පාට සිංගල් කැබ් එක හරවා ගනිද්දි වැරදිලා, කෑම මේසයත් එළාගෙන, බත් වලින් මල් වෙඩිල්ලකුත් පත්තු කරගෙන, රවි අයියවත් ‌පෙරලාගෙන යන්නට ගිය වාහනේ තට්ටයගෙ දක්සතාව හෝ එහෙමත් නැත්නම්, ලක් බයි චාන්ස් එක නිසා යන්තම් නතර කරගන්න පුළුවන් වුණා.

නමුත් ඒ විදිහෙ ආරම්භයකුත් එක්ක ආපු නිසා, කැලේ මැද ඉඳන් මහ පාර අයිනට එද්දි අපේ බහුතරයකට තප්පරෙන් තප්පරේ දෙවියන් සිහිපත් වුණා. බලන්ඩ ඒක ම කොයිතරම් ලොකු පිනක් ද කියලා. 

කොහොමින් හරි අපි දරු පවුලුත් එක්ක ඉතා ම සුන්දර සහ අමතක නොවන දවසක් ගත කළා. වියදම ගියෙත් උදේ සහ දවල් කෑම බීමට විතරයි. විසේසෙන් ම කියන්ට උවමනයි, තිලකසිරි අයියා ඉතාම හිතවත් සහ සුන්දර මනුස්සයෙක් බව මම තේරුම් ගත්තෙ එදා. ඒ වගේ ම අපේ ගෙට්ටුවට ඇවිත්, අපිත් එක්ක 100%ක් ම මුහු වෙලා අපට ගෞරවයක් ලබා දුන්න ශාන්ති අක්කටත් ගොඩක් ස්තූතියි. ඒ වගේම මධ්‍යපාන ගඳ, දුම්කොළ ගඳ වගේ ම අවුවෙ දඟලලා අපේ හඩු ගඳ ඉවසගෙන අපි ළඟ උන්න එක මත් ලොකු දෙයක්. (එයා ළඟදි ම බ්ලොග් එකක් ලියන්න පටන් ගන්නව කිව්වා.) ඒ වගේ ම ගෙට්ටුවේ සංවිධානය කිරීමේ මහ මොලකරු (මොල සහ තට්ටකරු) ටත්, ස්වයංව පත්වුණු ගරු භාණ්ඩාගාරික රවි අයියටත් ස්තූතියි... නුඹලා ගේ ප්‍රයත්නය සහ වෙහෙස ‌නොතිබෙන්නට වැඩේ අල සහ දෙල් බවට පත් වෙන්නට ඉඩ තිබුණා. ඉතාාාම සාර්ථකයි වැඩේ. මට කෝටි තිහක ලොතරැයිය ඇදුණහම මීළඟ ගෙට්ටුව සීතල නත්තලේ නුවරඑළියේ දී පවත්වන්නට අධිෂ්ඨාණ කරගෙන ඉන්න බවත් අවසාන වශයෙන් දැනුම් දෙනවා.

වැඩිදුර කියවීමට...

නමියා ගිය ගෙට්ටුව

ශාන්ති අක්කාගේ බ්ලොග් සම්ප්‍රාප්තිය

සුරංග නාන්ඩ ගිය හැටි

රවි අයිය ගිය ගෙට්ටුව

වැඩිපුර බලපු ලිපි