Thursday, March 31, 2022

Thursday, March 17, 2022

චීන උපහාස කතා


ඔන්න ඔය මාතෘකාව තිබුණ පොතක් තිබුණා ජපං පන්සලේ පුස්තකාලෙ. ඒ කියන්නෙ කඩවත, රම්මුතුගල තිබුණු ජපන් ආධාරවලින් හදාපු පන්සලේ පුස්තකාලෙ. මේ ළඟදි මොකක් හරි කාරණේකට මට මතක් උනා ඒ පොතේ තිබුණු කතා කීපයක්. ඔන්න එහෙනං ඒ ටික කියෝගන්ඩලා.

බාහිර වෛද්‍ය

දවසක් සෙන්පතියෙක් යුද්ධෙදි තුවාල වෙලා ගෙදර ගෙනාව. එයාගෙ හිස් කබල විනිවිද ගියපු ඊතලයක් නිසා තමයි තුවාල වෙලා තිබුණෙ. ඉතිං ගෙදර උදවියත් හදිසියට ළඟ පාත හිටපු "බාහිර වෛද්‍ය" කියලා බෝඩ් එකක් දාගෙන හිටපු වෙදෙක් එක්කරං ආවා. උන්දැ ඔලුවෙ හමට ඉතා ම ආසන්නයෙන් අර ඊතලේ කපල දාලා ගාස්තුව ඉල්ලුවා.

"ඒ මොකද ඒ? ඊතලේ අයිං කරන්ඩෙපැයි මෙයාට බෙහෙත් කරන්ඩ..." ගෙදර උදවිය ඇහුවා.

"ආ... ඒකට ගෙන්නන්ඩ වෙන්නෙ අභ්‍යන්තර වෛද්‍ය කෙනෙක්. මම වෙදකං කරන්නෙ බාහිරට විතරයි..." අර වෙදා කිව්වා.

පුරුෂ ධෛර්යය

දවසක් මනුසයෙක් ගෙදර උන්දැත් එක්ක රණ්ඩු වෙලා, ධීර වීර විදිහට දුවගෙන ගිහිං ඇඳ යටට රිංග ගත්තා. ගෙදර මායියත් කොස්ස අරගෙන ඇවිත් ඇඳ යටට එබිලා කියනව...

"වරෙං මිනිහො එළියට!"

"උඹ දැනගනිං මාත් පිරිමියෙක්!" අසංග කෑ ගැහුවා. "මම එන්නෙම නෑ එළියට. පුළුවන්නං එළියට ගනිං!"

අමතක

අමතක වෙන ලෙඩේ තදිම්ම තිබුණු පෝසත් මනුස්සයෙක් උන්නා. උන්දැට දවසක් ආරංචි වුණා හිතේ ලෙඩ වලට නොවරදින ප්‍රතිකර්ම කරන වෙද මහත්තයෙක් ඉන්නව කියලා ඈත ගමක. ඉතිං ඒ මනුස්සයා දවසක් පාන්දරිම්ම පිටත් වුණා අස්සයා පිටේ, අර වෙද මහත්තයා හම්බ වෙන්ඩ.

මගදි උන්නැහැට ශරීර කෘත්‍ය්‍ය හෙවත් $%$ කරන්ඩ උවමනා උනා. ඉතිං අස්සය පිටිං බැහැලා. ඊතලයක් බිම හිටවලා, අස්සයව ඒකෙ ගැට ගැහුවා. පස්සෙ එතනම බිම ඇණ තියාගෙන ඉඳගෙන $%$ කළා. හෝදගෙන නැගිටලා  කළිසම ඇඳ ගනිද්දි තමයි අර ඊතලේ දැක්කෙ.

"හප්පට සිරි! ඊ තලයක් නෙව! කෙස් ගහෙං බේරුණේ." කියල ඔලුව උස්සල බලනකොට, ඊතලේ ගැට ගහල හිටපු අස්සය දැක්කා.

"අඩෝ වාසනාව යකො! අස්සයෙක්!" කියල ප්‍රා ජේ ආපිට හැරුණු පාර $%$ ගොඩ පෑගුණා. 

"චිඃ! මේ වරත්තු බල්ලො! හැම තැනම ජරා කරනව!" කියාගෙන කකුල තණකොල ගොඩේ අතුල්ලලා පිහදාගත්තා.

කකුල හොඳට පිහදාගත්තු මනුස්සයා, අස්සයගෙ පිටේ නැගල ගමන පටං ගත්තා ආයෙමත්. අස්සය පුරුද්දට වට රවුමක් ගහලා ආයෙත් අර මනුස්සයගෙ ගෙදරට ම ගියා.

ඒ මනුස්සයත් අස්සයගෙ පිටෙන් බහින ගමං කල්පනා කළා. 'බොලේ මේ වෙදාගෙ ගේත් මගෙ ගෙදර වගේම නෙ.' කියල. අස්සයගෙ ලණුව ගන්ඩ ගෙදර සේවකයත් ඉස්සරහට ආවා.

"තෝ මොකද මෙතන කරන්නෙ? පලයං ගෙදරට!" කියලා අර මනුස්සය තමන්ගෙ සේවකයව ගෙදරට එළෙව්වා. 

ඒ සද්දෙ ඇහිලා උන්නැහැගෙ මායියා එළියට ආවා. "තමුසෙ අදත් අමතක කරගෙන ආපහු ආව නේද"" කියාගෙන.

"මොන අවනඩුවක්ද නෝනා මේ කියන්නෙ? මං ආවෙ සෑහෙන දුර බැහැර ඉඳලා, වෙද මහත්තයව හම්බෙන්ඩ. කෝ උන්නැහැ ඉන්නවද?" කියලා අර මනුස්සයා උත්තර දුන්නා.

බූරුවෙක්!

ඔය විදිහටම පෝසත් මිනිහෙක් උන්නා, හැබැයි අකුරු සාස්තරේ බෑ. නමුත් උන්දැට ලොකුවට උවමනාව තිබුණා තමන්ට අකුරු කියවන්ඩ පුළුවන් කියලා පෙන්නන්ඩ.

දවසක් උන්නැහැ ඉස්තෝප්පුවෙ කට්ටියක් එක්ක කතා කර කර ඉන්නකොට, ළග ගෙදරක සේවකයෙක් ලියුමක් අරං ආව. අර ලියුමෙ ලියල තිබුණේ, "මේ සේවකයා අතේ ඔබේ බූරුවෙක් එවන්න" කියලා. අර මනුස්සයත් "කෝ මෙහෙ දෙනව..." කියල අර ලියුම අරං එක එක පැත්තට හරව හරවා කියෙව්වා. කියවලා කියවලා අන්තිමේ කිව්වා, 

"හා උඹ පලයං. මං එන්නං" කියලා. 

එඩිතරකම

භාර්යාවන්ගෙන් වෙන ගැහැට ට එරෙහිව කටයුතු කරන්න පිරිමි ටිකක් හදාගත්තා සමිතියක්. ඔය සමිතියෙ පළවෙනි රැස්වීම කරගෙන යද්දි, විහිළුවක් කරන්ඩ හිතාගෙන යාළුවෙක් දුවගෙන ඇවිත් කිව්වා, "අන්න උඹලැ ‌මායියල සෙට් එක කොසු ඉදල් අරං එනව. දුවපියව්!" කියල.

ඔක්කොම සෙට් එක පණ කඩාගෙන දිව්වා එකෙක් ඇර. 

"යකෝ එක පිරිමියෙක් ඉඳලනෙ ගෑණිට බය නැති!" කියලා අර විහිළුව කරපු නිමල් අයිය ළඟට ඇවිත් බලනකොටලු දැක්කෙ, අර බය නැතුව ඉඳගත්තු තැනම ඉඳගෙන හිටපු බස්සා, එතනම මැරිලා බයටම...

Saturday, March 5, 2022

තේ කෝප්පය


"අද අරුමැක්කෙ අබේපාල මහත්තයත් එනවා. හොඳ උදැල්ලක් තෝරල තියන්ඩ ඕනැ," කී වෙද මහතා පසෙක වූ උදලු ගොඩෙන් එකක් අතට ගෙන තලය බිමට තබා තද කොට බලා පසෙකින් තැබුවේය.

"මටත් හිතුණා වෙද මහත්තයලගෙ ශ්‍රමදානෙ බලන්ඩ එන්ඩ, අද නිවාඩු දවසෙ," වෙද මහතා දුටු අබේපාල මහතා ඈත තියාම කීවේය.

"කොච්චර ‌හොඳ ද? හැබැයි වැඩ කරන්ඩ ඕනෑ. ඔන්න මම හොඳ උදැල්ලකුත් තෝරලා තිබ්බා," කී වෙද මහතා කොක්හඬ ලා සිනාසුණේය.

"ගිය සැරෙත් එන්ඩ හිතාගෙන හිටිය. ඒත් බැරිවුණා මොකක් ද හදිසි ගමනක් යෙදිලා."

"ඒකට කමක් නැහැ, ආද ආවා හොඳට ම ඇති," කියමින් උදැල්ලක් ද රැගෙන කණ්ඩියෙන් පහළට බැස්ස වෙද මහතා පාර මායිම් කිරීම සඳහා ඇද තිබුණු කොහු ලුණු පොට දිගේ බඹ හත අටක් දුරට කොටාගෙන කොටාගෙන ගියේය. අනතුරු ව ළඟ සිටි තරුණයා අතට උදැල්ල දී "කොටාගෙන යනව ඔහොම දිගට ම," යි කීවේය.

මිනිත්තු දෙක තුනක දී බඹ පනහක් පමණ දුරට පාර මායිම් කර අවසන් විය. කවුරුත් අතට අහුවුණු උදැල්ලක්, යකඩ ඉන්නක් හෝ ගල් කටුවක් ගෙන පාර කැපීමේ වැඩ පටන් ගත්හ.

උදලු බිම වදින හඬ මිනිසුන්ගේ කටහඬ මැඩගෙන පැතිර ගියේය. කුහුඹුවන් රැළක් මෙන් කඩිසර ව වැඩෙහි යෙදී සිටි මිනිසුන්ගේ උද්‍යා්‌ෙගය දුටු අබේපාල මහතාගේ සිත නව හැඟුමකින් පණ ගැන්විණි. ළමයින් මෙන් ම මහල්ලන් ද තරුණයන් සමග උරෙනුර ගැටී වැඩ කළේ තරඟයට මෙනි. අබේපාල මහතාගේ දෑත් නලියන්නට විය. වැඩ නොකර බලා සිටීම ගැන සිය යටි සිත තමාට දොස් නගන්නාක් මෙන් අබේපාල මහතාට දැනුණි.

පාර මැදට අසුවුණු පොල් ගස වට කරගත් කීප දෙනා ඒ වටේ කණින්නට වූහ. තරුණයෙක් කඹයක් රැගෙන ගසට නැග එහි කෙළවරක් මුදුනේ ගැට ගැසුවේය.

අබේපාල මහතා කමිසය ලිහා අසල වූ ගල් පොත්ත මත තබා සරම කැහැපට ගසා ගත්තේය. අබේපාල මහතාට උදැල්ලක් ඉතිරි වී නොතිබුණි. වෙද මහතා තෝරා තබන ලද උදැල්ල ද වෙනත් කෙනෙකු අතෙහි විය. පොල් ගස වටේ කණිමින් සිටි අයෙකුගෙන් යකඩ ඉන්නක් ඉල්ලා ගත් අබේපාල මහතා ද අනෙක් අය සමග හරි හරියට වැඩ කරන්නට විය.

දිනපතා කන්තෝරුවට යන අතරමගදී අබේපාල මහතාට මුණගැහෙන කම්කරුවන් කීප දෙනෙකුගේ මුහුණු ඔහු එහිදී දුටුවේය. වෙන දා නුදුටු චිත්තාකර්ෂණීය භාවයක් ඒ මුහුණුවල ගැබ් ව ඇතැයි අබේපාල මහතාට සිතුණි.

පොල්ගස මුල කණිමින් සි‌ටි එක් අයෙක් "දැන් ඇති, අදිනවා බලන්ඩ," කීවේය. තරුණයෝ දෙදෙනෙනක් උදලු අතහැර ගොස් කඹයේ කෙළවර අල්ලා ගත්හ. අබේපාල මහතා ද දිව ගොස් ඔවුන් සමග එක් විය.

"හා ඕං"එක් අයෙකු නැගූ හඬත් සමග කඹය ඇදුණේය. පොල් ගස මදක් නැවී අවුත් යළිත් ආපසු ඇදුණේය. කිට්ටුව වැඩ කරමින් සිටි වෙද මහතා ද උදැල්ල අත හැර අවුත් කඹය අල්ලා ගත්තේය. හා ඕං යයි නැවතත් හඬ නැගුණි. ගස මදකත් ඇල විය. හා ඕං යයි තුන් වැනි වරට නැගුණු හඬත් සමග ම පොල් ගස බිම ඇද වැටිණි.

වැඩ කරමින් සිටි කොලු රැළ දිව අවුත් එහෙ මෙහෙ විසිරී ගිය කුරුම්බා ගෙඩි අහුලා ගත්හ. කීප දෙනෙක් ජයග්‍රාහී ලීලාවෙන් පොල් කඳ මත වාඩි වී බුලත් සපන්නට වූහ. ඔවුන් සමග වාඩි වී සිටි අබේපාල මහතා නළලින් වැගිරෙන ඩහදිය දකුණු අත දබරැඟිල්ලෙන් සූරා දැමුවේය.

වැඩ කිරීමේ ආසාවෙන් පිබිදුණු කම්කරුවන්ගේ මුහුණු දකින අබේපාල මහතාට තමා දිනපතා කන්තෝරුවට යන අතරමගදී දක්නට ලැබෙන කම්හල සිහි විය. තැනින් තැන ඉදි කරන ලද ගොඩනැගිලිවලට ඉහළින් නැගෙන කළු දුම් වළලු ඔහුට පෙනෙන්නාක් මෙන් විය. කම්හල ඉදිරිපිට කුඩා තේ කඩය ළඟ රැස්වී තේ බීමට පොරකන කම්කරුවන් නිසා තමාට කීප දිනක් ම මොටෝරිය හසුරුවා ගැන්ම අපහසු වූ සැටි ද සිහියට නැගුණි. 

"තේ වතුර, තේ වතුර" පාරේ ඈත කෙළවරේ වැඩ කරමින් සිටි කවුදෝ කෑගැසුවේය. කවුරුත් තමන් අත වූ ආයුධ බිම තබා එදෙසට ඇදෙන්නට වූහ.

"තේ ගෙනාවෙනං හොඳ වෙලාවට," අබේපාල මහතා ගේ යටි සිත කොඳුළේය.

"යමු මහත්තය තේ වතුර ටිකක් බොන්ඩ," වෙද මහතා කීවේය.

"යමු, මාත් හිටියෙ දිව ගිලෙන්ඩ තරං පිපාසෙනුයි."

තේ බාල්දිය වට කරගෙන සිටි වැඩි දෙනා කම්කරුවෝය. විහිළු තහළුවෙන් යුතු ව තේ බීමේ යෙදී සිටි ඔවුන්ගේ ප්‍රසන්ன මුහුණු අබේපාල මහතාගේ සිත ඇදගත්තේය.

"කම්කරුවො, වැඩපළ, දාඩිය-කොයි තරං වටිනව ද" අබේපාල මහතාට සිතුණි.

වෙද මහතා ගෙනැවිත් දුන් තේ කෝප්ප්පය දෙතොළට ළං කළ අබේපාල මහතාට අමුතු සුවඳක් හා රහක් දැනුණේය. එවැනි සුවඳක් හා රසක් මින් පෙර කිසි විටෙක ඔහුට දැනී නැත.

කම්හල ළඟ කඩේ තේ ගැන පැතිර ගිය ආරංචිය ඔහුට සිහි විය. ‌ඒ කඩේ තේ පමණ රස තේ වෙනත් තැනක නැතැයි යන ආරංචිය ඇසූ තමා දිනක් තේ බීමට ඒ කඩයට ගිය සැටි සිහි විය. එක් උගුරක් පමණක් කටට ගෙන තේ රස නැතැයි මුදලාලිට කී සැටිත්, ඔහු එයට දුන් පිළිතුරත් සිහියට නැගුණි.

"දාඩිය මහන්සියෙන් වැඩ කරන අයට පමණයි මේ තේවල රස දැනෙන්නේ," එදා මුදලාලි කීවේ සැබෑවකි.

ඩහදිය හෙළන අයට ඒ කඩේ තේ පමනක් නොව, කොහේ තේත් රසයයි ඔහුට සිතුණි.

හිස් කෝප්පය රැගෙන තේ බාල්දිය ළඟට ගිය ඔහු තවත් තේ කෝප්පයක් ඉල්ලා ගත්තේය.



පරණ කියවීම් පොතකිනි.

Thursday, March 3, 2022

යුද්ධ කතාවක්...

දහ අට වන සියවසේ අග. හේතුඵලවාදයේ යුගය...

මකර මුහුණු කැටයම් කළ කාලතුවක්කුවලින් පහර දෙන දර්ශන. ඉතා අපූරු කැමරා කෝණ දෙක තුනකින් යුද්ධයේ බිහිසුණු බව සහ වින්දිතයන් පීඩා විඳින හැටි නිරූපණය වෙයි.

කඩං වැටුණු ලෝහමය අශ්වයෙකුගේ හිස සහ උරහිස් ‌කොටසක ඇතුලේ කුහරය තුළ පවුලක් යම් කිසි කෑමක් උයාගන්නා හැටි කැමරාවට හසු වෙයි. ඉහළට යොමුවෙන කැමරාවට හසුවන්නේ ඒ හිස කඩා වැටුණු ප්‍රතිමාවයි. එහි කඩුව ඇදගත් වීරයෙක් අශ්වයෙක් පිට නැගී සිටියි. අශ්වයා ඉදිරි දෙපා ඔසවාගෙන වේගයෙන් පනින සෙයක් නිරූපණය කරයි.

ප්‍රතිමාවේ පාදමේ දැන්වීම් කීපයක් ම අලවා ඇත. එයින් එකක්...

ජන රජයේ ආරක්ෂාව උදෙසා

අපගේ ආහාර තොග හිගයි

ආහාර ඉතිරි කිරීම සඳහා

අඩුවෙන් කන්න

- - -

සැබෑ පුරවැසියෝ, දේශමාමක 

පිරිමි සහ ගැහැණු නගරය පරාජය වීමට ඉඩ නොහරිති,

මේ අවශ්‍යම මොහොතේදී

- - -

පුරවැසි කමිටුව

949 වන ආඥාව

ඊටත් පහළින් ඇති වේදිකා නාට්‍යයක දැන්වීමකි. රාජකීය තියටරයේ හෙන්රි සෝල්ට් සහ පුත්‍රයා අවුරුදු තිහකට පසුව රඟදක්වන, ඇදහිය නොහැකි සත්‍යයන් පිළිබඳ කතාවක්...

"බැරන් මුන්චෝසන් ගේ වික්‍රම"

කුඩා ගෑණු ළමයෙක් ඇවිත්, නාට්‍ය දැන්වීමේ ඇති හෙන්රි සෝල්ට් සහ පුත්‍රයා යන වගන්තියේ පුත්‍රයා යන වචනය කටුගා දමයි. ඉහළට ඇදෙන කැමරාවට නගරයේ ඇති "මරණයේ" ප්‍රතිමාවේ මුහුණ ලක් වෙන අතර, ඒ ප්‍රතිමාවේ සෙවනැල්ලෙන් කුඩා ගෑණු ළමයා වැසී යයි.

කඩා වැටුණු රඟ හලේ සුන් බුන් මත නගර වැසියෝ සහ හමුදා සෙබලු වාඩි වී සිටිති. මුන්චෝසන් බැරන්වරයාගේ මුහුදු වික්‍රමයක් වේදිකාවේ රඟ දැක්වෙයි. නුපුහුණු වේදිකා කම්කරුවෝ බැරන්වරයා ගේ නැව සහ මුහුදු රැළි ක්‍රියාත්මක කරද්දී ප්‍රේක්ෂකයෝ සිනා ගැන්වෙන්නේ කතාවටත් වඩා, සිදුවන අත්වැරදීම්වලිනි. කුඩා දරුවෙක් වඩාගත් මවක් ද වේදිකා සේවකයන් අතර සිටියි.

දෙවැනි ජවණිකාව දිගහැරෙන්නේ කොන්ස්තන්තිනෝපලයේ අධිරාජ්‍යයාගේ මන්දිරයෙනි. එහෙත් නාට්‍යය ඉදිරියට යා නොදෙන්නේ හිටි හැටියේ ම නාට්‍ය ශාලාවට කඩාවදින මහළු මිනිසෙකි. හිටපු යුධ වීරයෙකු සේ ඇද පැළඳ සිටින ඔහු නරඹන්නන් අතරින් ඉදිරියට විත් වේදිකාවට කඩා වැදී සියල්ලන්ටම කෑගසයි. 

"මමයි බැරන් මුන්චෝසන්. නුඹලා මගේ ඇත්ත කතාව විකෘති කරලා නාට්‍යයක් හැටියට පෙන්වනවා."

කඩුව ඇදගෙන වනද්දී මුන්චෝසන් ලෙස රඟපාන ශිල්පියා පැළඳ සිටින කෘත්‍රිම නාසය කැපී වැටෙයි.

මුලින් නාට්‍ය දැන්වීමේ වචනයක් කටු ගෑ සැලී නම් කුඩා ගෑණු ළමයා හැර කිසිවෙකුත් ඔහු විශ්වාස නොකරති. එතනින් ආරම්භ වන්නේ ඒ මහළු මිනිහා, හයිරොනිමස් කාල් ‌ෆ්‍රෙඩ්රික් වොන් මුන්චෝසන් බැරන්වරයා ගැන තිබෙන කට කතා සියල්ල ගැන ඇත්ත විස්තර රංගශාලාවේදී විස්තර කිරීම. ඒත් සමඟම, ඔහු කියන කතාව අප ඉදිරියේ නිරූපණය වෙනවා.

අවශ්‍ය වෙලාවට අධික වේගයකින් දිවිය හැකි, වෙනත් වෙලාවල බරැති යකඩ බෝල දෙකක් කකුල් දෙකේ ගැට ගසාගෙන සිටින බර්තෝල්ඩ්, ඉතාම සූක්ෂ්ම ‌දෑසක් හිමි දක්ෂ වෙඩික්කාරයෙකු වූ ඇඩොල්ෆස්, ඈත දෙයක් පවා ඇසෙන, කටින් පිඹීමෙන් හමුදාවක් වුණත් ගසාගෙන යන්නට සැළසිය හැකි ගුස්ටාවුස් සහ අදහිය නොහැකි ශක්තියක් ඇති ඇල්බ්‍රෙක්ට්; මුන්චෝසන් බැරන්වරයාගේ සගයන්.

මැංචෝසන් චාරිකා පොතේ සඳහන් සමහරක් වික්‍රම ‌මේ කතාවේ ඉතාම විචිත්‍රවත්ව නිරූපණය වෙනවා. කාලතුවක්කු උණ්ඩයක නැගී සතුරු බළකොටුවට ගිය හැටි පෙන්වන මේ දර්ශනය ඊට උදාහරණයක්. ආපිට එද්දී ඔහුට මරණයේ දේවතාවාත් මුණ ගැහෙනවා.

මුන්චෝසන් බැරන්වරයා වරක්, රෝම දෙවියෙක් වන වල්කන් මුණ ගැහෙනවා. වල්කන් ඔහුට පෙන්වනවා, න්‍යෂ්ඨික බලය අවියක් ලෙස යොදාගන්නා හැටි. එතැනදී ඇතිවන දෙබස හාස්‍යය ඉක්මවා යනවා.

මුන්චෝසන් බැරන්: මොකද්ද මේ?

වල්කන්:    ආ, මේ අපේ මූලාකෘතියක්. අන්තර් මහද්වීපික, රේඩාර්වලට හසු නොවන, බහු ශීර්ෂක, න්‍යාෂ්ඨික මිසයිලය.

මුන්චෝසන් බැරන්: අහ්! මොකද්ද ඒකෙන් කරන්නෙ?

වල්කන්:    කරන්නෙ? සතුරන් මරණ එක.

මුන්චෝසන් බැරන්: සතුරන් ඔක්කොමද?

වල්කන්:    ඔව්. උං ඔක්කොම. උන්ගෙ භාර්යාවන්, උංගෙ දරුවන්, උන්ගෙ බැටළුවො, උංගෙ හරක්, උංගෙ බළල්ලුයි බල්ලොයි, ඔක්කොම විනාශ වෙනව.

සැලී:    ඒක බිහිසුණුයි නෙ.

වල්කන්:    ආා, ඉතිං... ඒකෙ තියෙන වාසිය තමයි, ඒ කිසිම එකෙක් මැරෙන හැටි අපට දකින්න වෙන්නෙ නැති එක. අපි මයිල දාස් ගාණක් ඈත තැනක සැප පහසුවට වාඩිවෙලා ඉන්න ගමං, සරළවම බොත්තමක් ඔබන එක විතරයි කරන්න තියෙන්නෙ.

බර්තෝල්ඩ්:    ඉතිං, මොකද්ද ඒකෙ තියෙන වින්දනය?

වල්කන් ගේ භාර්යාව වන වීනස් දෙවඟන හැටියට රඟපාන්නෙ සුරූපී උමා තර්මන්. මේ චිත්‍රපටියේ බොතිචෙල්ලීගේ "වීනස් උපත" චිත්‍රය ඉතාම සුන්දර ලෙස නිරූපණය කරනවා.


මීට කලින් චිත්‍රපට ගැන ලීවාට වඩා වෙනස් ලෙස සහ මඳක් ගැඹුරට යමින් මේ විස්තරය ලිව්වේ නිදියා ගේ සිහිකැඳවීමට විශේෂයක් කරන්නට උවමනා නිසයි. නමුත් මම වඩා කැමති, මම කියන දේට වඩා වැඩි යමක් චිත්‍රපටය නරඹා රසවිඳින්නට ඉතුරු කරන්නටයි. ඒ නිසා බැරන් මුන්චෝසන් උණුසුම් වායු බැලූනයකින් හඳට ගිය හැටිත්, ආපිට ඇවිදින් විශාල මාළුවෙකු විසින් ගිල දැමුණු හැටිත්, අවසානයේ තුර්කි හමුදාව පරදවා නගරය බේරාගත් හැටිත් විස්තර කරන්නට අදහස් කරන්නේ නෑ. මම චිත්‍රපටය බාගත්තේ ටොරන්ට් එකකින්. සමහර කොටස් ඔබේ බටේ තිබුණත්, මුළු ෆිල්ම් එක ම එතනින් බලන්න නෑ. මෙතන තියෙනවා YTS ටොරන්ට් එකක්. ඉතින් අර ජේසු තුමා කිව්වා වගේ, "බලන්න - ස්පර්ෂ කරන්න"

වැඩිපුර බලපු ලිපි