Wednesday, October 27, 2021

අවසානයක් වේ

ශාම් ගේ දුරකථනය නාද වුණෙන් සංවාදය එතෙකින් ඇණ හිටියේ ය. සිය සුරතේ වූ දුරකථනය දෙස වරක් බැලූ ඔහු කෑ ගැසී ය. 

"ඒ නිර්මලී... යං! යං!"

42 කොටස...

ඇන්ඩර්සන් ග්‍රේන්ජ් මැඳුරේ ප්‍රධාන දොරපියන් පැරණි වූ නමුත් තවමත් සවිමත් බව රැකගෙන නැඟී සිටියේ ය. එහෙත් බලැති ලැන්ඩ්රෝවරයේ වේගය සහ සවි ගන්වන ලද ඉදිරිපස බෆරයේ ශක්තිය ඊට වැඩි විය. කැඩී බිඳී විසිරී ගිය ලී පතුරු ශාලාව පුරා විසුරුවමින් ඇතුල් වූ වාහනය ගළක් ගැසුවාක් මෙන් නතර විය. සැර ආලෝකයක් විහිදූ එහි ප්‍රධාන ලාම්පුවලින් ඒකාලෝක නොවූයේ මැඳුරෙහි සුවිසල් ශාලාවේ ‌මුලු හතර පමණි. රේන්ජ් රෝවරයේ දොරවල් එක්වර විවර කරගනිමින්, එළියට පැන්නේ පිරිමින් ති දෙනෙකි. 


ඉදිරි වම්පස දොරින් බිමට බට ශාම් ‌බිඳුනු දොර දෙසට දිව ගියේ ය. ඔහු ගේ දෑත් අතරට දිව ආවේ බියපත් කන්‍යා සොයුරියයි. ඇගේ පියවුණු දෑස් සිපගත් ශාම් හෙවත් සුමන, ඇය මෘදුව කැඳවාගෙන ගොස්, ලෑන්ඩ් රෝවරයේ පසුපස අසුනේ හිඳුවා දොර වැසී ය.

ලෑන්ඩ් රෝවරය දෙස සිය රතු පැහැ දෑස් ඔරවාගෙන යමක් මුමුණමින් මොහොතක් උන් මහල්ලා, නැඟී සිටියේ වේගයෙනි. කලින් දැක්වූ දුබලකමෙහි ලකුණක්වත් ඔහුගෙන් දිස් වූයේ නැත. ඇසිල්ලක් ගසන පමාවෙන් ඔහු තරප්පු පෙළ දෙසට දිව ගියේ ය. මිත්‍ර හා ඉන්ද්‍ර ඔහු ළුහුබැඳ ගිය ද, ඇඩම් ඩ්‍රේක් ඇන්ඩර්සන් නම් නෝර්ඩික් වැම්පයරයා ගේ වේගයට සම වන්නට ඔවුන් හට නොහැකි විය.

උඩු මහලේ අඳුර ට මුසුව ගිය ඩ්‍රේක් ගේ පසුපස ළුහුබඳිමින් තරප්පු පෙළ දිගේ ඉහළට දුවමින් සිටි මිත්‍ර හා ඉන්ද්‍ර පසුපසට වැටුණේ එක්වර ම ය. උඩු මහලේ සිට ඔවුන් මත ට අඳුරු පොදියක් කඩා වැටුණු බව සුමන දුටුවේ ය. මිත්‍ර හා ඉන්ද්‍ර තරප්පු පෙළ දිගේ පහළට කරනම් ගසද්දී, අඳුරු පොදිය කෙළින් සිටගත්තේ ය. ඒ උස් මහත් පුරුෂයෙක් විය. එළියට නෙරා ආ, ගෝලාකාර ඇස් ගෙඩි, නාගයන් මෙන් ප්‍රාණවත් කෙස්, මුවින් පිටතට දික් වූ උල් දත්, අඳුරුවන් සම...

ශාලාව තුළ පැවති උණුසුම හේතුවෙන් රතුපැහැ මස්ටෑං මැක් රථයේ ජවසම්පන්න එන්ජිමේ හඬ කිසිවෙකුටත් කණට නොවැටිණ. ඇන්ඩර්සන් ග්‍රේන්ජයේ පෝටිකෝව යට නතර කෙරුණු එයින් බට, කලු පැහැ ජීන්සයකින් හා රතුවන් ටී ෂර්ටයකින් සැරසීගත් තරුණිය පඩි දෙක තුන වේගයෙන් පසුකොට, බිඳුනු දොරින් ඇතුල් වූවා ය.

රේන්ජ් රෝවරය අසල උන් ශාම්, තම අතෙහි වූ සැහැල්ලු තුවක්කුව ගරා යකා වෙත එල්ල කළේ ය. ඒ තුවක්කුව, සතුන් සිහිසුන් කිරීමට යොදාගන්නා ට්‍රැන්ක්විලයිසරයක් ලෙස තනා ගත්තක් වූ බව පෙනුණි. 

"ඒක මූට නෙමෙයි..." තාරා කෑ ගෑවා ය.

මොහොතකින් ගරා යකා ශාම් අසළ විය. ට්‍රැන්ක්විලයිසරය ඈතට විසි වන සේ පා පහරක් දුන් යක්ෂයා, නැවතත් පහර දෙන්නට සූදානම් වද්දී, වාතය කපාගෙන කරකැවෙමින් ඇදී ආ ළා නිල් පැහැති සිහින් තලයකින් යුත් කිණිස්සක් ඔහුගේ ගෙළ මුලින් කිඳී ගියේ ය. තවත් පහරකට සූදානමින් මොහොතක් සිටි තාරා, රෝල් කරන ලද පතාකයක් සේ අහසට පැන, කරණමක් ගසා ගරා යකා බිම හෙළාගෙන ඔහු මතට පතිත වූවා ය. 

ගරා යකා සුමන හෙවත් ශාම් හා තාරා සමඟ තත්පර වද්දී, මිත්‍ර හා ඉන්ද්‍ර උඩුමහලට නැඟ ගත් හ. 

මිත්‍ර ග්ලෝ ස්ටික් එකක් ගෙන දල්වා ගත්තේ ය. අඩ අඳුර දුරු වී යත් ම, තමන් වෙත එල්ල වූ රත් පැහැ දෑසක් ද, දිළිසෙන සිහින් කඩුුුුුපතක් ද ඔවුහු දුට හ. ස්වකීය මිත්‍රයා පසෙකට තල්ලු කළ ඉන්ද්‍ර අනෙක් පස ට පැන ගත්තේ, එකලාව සිටි සතුරාහට අපහසු හා එකවර මුහුණ පෑ යුතු ඉළක්ක දෙකක් ඇති කිරීමට ය.

එහෙත් ඒ වන විටත් ඩ්‍රේක් වඩා ප්‍රබල ඉළක්කය තෝරා ගෙන තිබුණි.

අද්මිරාල් ධූරයේ සම්මානිත අසිපත මිත්‍ර සිටි දෙසට එල්ල කරගත්වන ම, ඉන්ද්‍ර වෙත කඩා පිනූ ඇඩම් වමතින් ඔහුගේ ගෙළ තරයේ අල්ලා ගත්තේ ය. මොහොතින් ‌මොහොත සිය බොටුව මිරිකී යනු දැනෙද්දී ඉන්ද්‍ර සුරතින් නෝර්ඩිකයාගේ මහපටැඟිල්ල අල්ලාගෙන අනෙක් පසට නැවී ය. "ටකස්" යන හඬින් වැම්පයරයාගේ මහපටැඟිල්ල කැඩී යත් ම, අනෙක් ඇඟිලිවල ග්‍රහණය ලිහී ඉන්ද්‍රගේ ගෙළ නිදහස් විය. 

මොහොතක ට පසුුුබට වූ ඩ්‍රේක් වමත පසුපසට කරගෙන, සුරතින් ගත් අසිපත කරකවමින් සිය ප්‍රතිමල්ලවයන් දෙස මාරුවෙන් මාරුවට බැලීය. ඉන්ද්‍ර මිත්‍ර වෙත ඇස් කොණින් දැක්වූ ඉඟිය අනුව දෙ දෙනා ම තමන් වෙත කඩා පනිනු දකිමින් ඇසිල්ලක් තප්පර වූ වැම්පයරයා,දකුණු පය පසුපසට තබා, ගැම්මක් ගෙන, මිට මොළවාගත් දෑතින්  එකවර  සිය සතුරන් දෙ දෙනාගේ ම උරස් පෙදෙස්වලට බරැති මුෂ්ඨි ප්‍රහාරයක් දුන්නේ ය. කඩා පිනූ වේගය ද සමඟ වැදුණු පහරින් මිත්‍ර හා ඉන්ද්‍ර, වෙව්ලුම් කෑහ. තත්පරයෙන් සීයෙන් පංගුවකටත් වඩා අඩු කාලයක් තුළ, ඔවුන්ගේ පපු පෙදෙසින් ඇරඹි රැළි මාලාවක් සිරුරු පුරා දිව ගියේ ය. එසැණින් නැවත පිටුපස ට ගුවන් ගත වූ ඔවුහු, උඩු මහලේ ලී ගරාදිය කඩාගෙන පහත මාලයේ වූ රිදීපැහැ රේන්ජ් රෝවරයේ බොනටය මතට ඇද වැටුණහ. 

ඒ වන විට ශාම් සහ අග්නි, ගරා යකාගේ අඩපණ ව තිබූ සිරුර, ලෝහමය යොතකින් වෙලා අවසන් වූවා පමණකි. එක්වර ම රේන්ජ් රෝවරයේ වහලය මතට වැටුණු බරැති යමක් නිසා, එහි කම්පණ අවශෝෂක පහත ට ම එබී යාමෙන්, රථය පහත් වී නැවත මඳක් එසවුණු බව, රිය තුළ සිටි නිර්මලී ට දැනිණ. ඒ සමඟින් ම වාහනයේ ප්‍රධාන ලාම්පු නිවී ගියෙන්, ශාලාවේ ඉතිරි වූයේ ගිණි අඳුනින් නැඟුනු කහපාට මන්දාලෝකය පමණි. එවිගස රේන්ජ් රෝවරයේ වහළය මතින් බිමට පැන ගත්තේ උස් මහත් සිරුරැති දිගු කළු කෙසින් යුත් ජවසම්පන්න මිනිසෙකි. ඔහුගේ සිරුර ආවරණය වී තිබූ කළුවන් දිගු කබායේ කොන්, පිම්මේ වේගයෙන් උඩ විසිවී නැවත පහතට ආවේ, දැවැන්ත වවුලෙකු තටු සළන්නාක් මෙනි. 

රථයේ බොනටය මත මොහොතක් වැටුණු ආකාරයෙන් ම ගත කළ මිත්‍ර හා ඉන්ද්‍ර, බිමට පැන්නෝ ය. ඔවුන්ගේ ඇසට ලක් වූයේ ‌ඉතිහාසගතවන මට්ටමේ දසුනකි. රූගර් එස් ආර් 40 සී පිස්තෝලයක් සුරතින් ගත් අග්නි හෙවත් තාරා ගිණි උඳුන ට මඳක් ඉදිරිපසින්, මීළඟ පියවරට සූදානම්ව... ඈ වෙත මුහුණ පා, සම්මානිත කඩුපත අමෝරාගත් ඇඩම් ඩ්‍රේක් ඇන්ඩර්සන්... කඩුපතෙහි තලය මත වූ ෆ්ලර් දෙ'ලී කැටයම ගිණි උඳුනේ ආලෝකයෙන් රන්වන් පැහැයෙන් දිළිසුණි.

ශාම් රේන්ජ් රෝවරයේ පසුපස දොර අසළ සිටියේ ඊට රැකවරණය සළසන්නට සූදානමිනි. ඉන්ද්‍ර ඇඩම් වෙත කඩා පනින්නට අඩිය ඔසවත් ම, මිත්‍ර ඔහුගේ අතින් අල්ලා වැළැක්වී ය.

ගිණි උඳුනින් නැඟුනු වෙවුලන ආලෝකය, අග්නි ගේ සිරුරේ ලාලිත්‍යවත් හැඩය රන්වන් පැහැයෙන් මතු කර දැක්වී ය. බිඳුනු දොරෙන් කඩා පනින තෙත්බර සුළං රැළි ඇගේ දිගු කෙස් විහිදුවමින් හා නටවමින්... 

ඇඩම් ගේ පපුව මැද ට එල්ල කළ පිස්තෝලය සහිත දකුණත පහතට හෙලූ අග්නි, පියවර කිහිපයක් ඉදිරියට තබා නෝර්ඩිකයා වෙත සමීප වූවා ය. ඉතිරි පියවර දෙක තුන ඉදිරියට තැබූ ඩ්‍රේක්, ඈ වෙත ළංව දෑත් විහිදා ඈ වැළඳ ගත්තේ ය.

ඇගේ ඉඟ දෙපසින් නෝර්ඩිකයාගේ දෑත් පැටළිණ. බරැති කළුවන් කබායටත්, රතුවන් නයිලෝන් ටී ෂර්ටයටත් යටින් හදවත් දෙකෙහි ස්පන්දනය එකිනෙකාට දැනුණේ ඉතා දුර්වලව ය. අග්නිගේ වමත ඩ්‍රේක් ගේ ‌උරහිස් මතින් ගෙළ වටා ඇදිණ. ඇගේ නළලත ඔහුගේ දෙතොල තෙරපිණ. හිස ඔසවා ලා රත්පැහැ දෑස් දෙස බැලූ තාරා, සුරත ඔහුගේ ඉඟ වටා යවමින්, වමතින් ඇඩම් ගේ හිස මඳක් පහත් කරවා ගෙන, ඔහුගේ දෙතොල් සිපගත්තා ය.

සිපගැනීම ට කෙළවරක් නොවී ය. අග්නි ඩ්‍රේක් ගේ ඉඟ වටා යැවූ සුරතෙහි වැලමිට නවා පිස්තෝලය ඔහුගේ පිට මැඳ ට ආසන්නයෙන් තබා එහි ලිවරය තෙරපත් ම, "ටස්ස්..." හඬ නඟමින් ඉන් පිට වූ ජාතිවානේ උණ්ඩය ඇඩම් ඩ්‍රේක් ඇන්ඩර්සන් ගේ පිට සිදුරු කරගෙන ඇතුල් වී හදවත විනිවිද, දකුණු පෙනහැල්ලේ ගෑවී නොගෑවී ගොස්, දකුණු පස ඉළඇට දෙකක් අතරින් පිටතට විත්, අග්නිගේ හදවත පසා කරගෙන ගොස් ඇගේ පිට මැදින් නික්මිණ...


තවත් කොටසක් තියෙන එකක් නෑ මට හිතෙන විදිහට. නමුත් විකල්ප අවසානයක් ගැන ඔබගේ අදහස් දැනගන්න කැමතියි...

Friday, October 22, 2021

එදා අප දුටු චිත්‍රපටයකින් - Pixels

මෙන්න නෝනාවරුනි, නෝනාවරුනැති මහත්වරුනි, මම බලපු තවත් පට්ට ම පට්ට රසවත් චිත්‍රපටයක් ගැන පල්හෑල්ලක් විස්තර...

අපි පොඩි කාලෙ හෙවත් අසූව දශකයෙ තිබුණු ටූඩී ගේම් ගැන තියෙන අතීතකාමය සංසිඳුවන සයිෆයි, ඇක්ෂන්, කොමඩි ‌ෆිල්ම් එකක් - 2015 දි එළි දැක්වුණු පික්සෙල්ස්.


මේ ෆිල්ම් එකේ ඉන්නෙ ඇඩම් සෑන්ඩ්ලර්, කෙවින් ජේම්ස්, පීට ඩින්ක්ලේජ් සහ ජෝෂ් ගැඩ් කියන දැක්කත් හිනායන ‌නළුවො සෙට් එක. ඩිරෙක්ටර් ක්‍රිස් කොලොම්බස් (ඇමරිකාව හොයාගත්ත මුත්තා නෙමේ, වෙන කෙනෙක්...)

සෑම් බ්‍රෙනර් අසූව දශකයේ වීඩියෝ ගේම් ශූරයෙක්. ඒ කාලෙ තිබුණු 8 බිට්, ටූඩී ගේම් බහුතරයක් ම දිවුනේ පැටන් එකක් අනුව. ඒ පැටන් වේග‌යෙන් හඳුනාගන්න දක්ෂකම තිබුණු සෑම් 1982 ගේම් චැම්පියන්ශිප් එක දිනන්න ආසන්නයටම ආවත්, අවසාන ගේම් එක වුණු ඩොන් කී කොං ගේම් එක දිනලා, චැම්පියන් වෙන්නෙ එඩී.

නාසා එක මේ ගේම් වීඩියෝ කරලා අභ්‍යවකාශයට යන ප්‍රෝබ් එකකට ඇතුලත් කරනවා. කවදා හරි මේ ප්‍රෝබ් එක පිටසක්වල ජීවීන්ට හමු වුණොත්, පෘථිවියේ දියුණු ජීවීන් ඉන්න බව ඔවුන්ට දැන ගන්න.

පසුකාලීනව මේ ප්‍රෝබ් එක ඇත්තට ම පිටසක්වල ජීවීන්ට හමු වෙන නමුත්, ඔවුන් මේ ගේම් හඳුනාගන්නේ, ඔවුන්ට කරන ලද අභියෝගයක් විදිහට. ඔවුන් ඒ ගේම් ප්‍රතිනිර්මාණය කරලා, ඒ මඟින් පෘථිවිය ආක්‍රමණය කරනවා.

සෙන්ටිපේඩ් ගේම් එකේ රූපණය...

මේ අභියෝගයට මුහුණ දෙන්නෙ ඇමරිකාව සහ එංගලන්තය. සෑම් ගේ කුඩාකල සිට මිතුරෙක් වුණු විල් කූපර් ඒ වන විට ඇමරිකාවේ ජනාධිපති. ඔහුට එක්වරම මතක් වෙන්නේ, තමන්ගෙ  වීඩියෝ ‌‌‌ගේම් ශූර යාළුවා, සෑම්.  සෑම් සහ තවත් ගේම් පිස්සෙක් වන ලුඩ්ලෝ ගෙන්වලා, හමුදාවට උපදෙස් ලබා දෙනවා අභියෝගයට මුහුණ දෙන හැටි ගැන. නමුත් ඔවුන්ට හමුවන අභියෝගය වන සෙන්ටිපේඩ් සටනෙ දි හමුදාව පරාජය වෙනවා. ඒකට මුහුණ දෙන්න පුළුවන් වෙන්නෙ, සෑම් සහ ලුඩ්ලෝ ට පමණයි. 

සෙන්ටිපේඩ් ගහන සෑම් සහ ලුඩ්ලෝ

ඊට පස්සෙ අන අභියෝගය පැක්මෑන්. ගේම් එකේ දි පැක්මෑන් වීරයා වෙලා, ගෝස්ට්ලා දුෂ්ඨයො උනත්, පිටසක්වල අභියෝගයෙ දි පැක්මෑන් සතුරා වෙනවා. එතනදි සෑම් සහ ලුඩ්ලෝ ට අමතරව පැක්මෑන් ගේම් එක හදපු මහාචාර්ය ටෝරු ඉවටානිත්, ගේම් චැම්පියන් එඩීත් එකතු කරගන්නවා. ගෝස්ට් විදිහට හදා ගත්ත මිනි කූපර් කාර් තුනක්, තඩී පැක්මෑන් පස්සෙන් වීදි දිගේ එළවන සීන් එක පට්ට ඇක්ෂන්...

එතනදි, එඩී චීට් කෝඩ් භාවිත කරපු නිසා අවසාන සටන කරන්න වෙන්නෙ සෑම්ට තනියම. චීට් කළ නිසා පිටසක්වළයන්, අපි දුටු හැම ගේම් එකක්ම එකපාර එවනවා, පෘථිවිය විනාශ කරන්න. එතනදි ලුඩ්ලෝ ට මුණ ගැහෙනවා, ඩෝජෝ ක්වෙස්ට් ගේම් එකේ ලේඩි ලීසා. පොඩි කාලෙ ඉඳන් ලේඩි ලීසා ට පිස්සුවෙන් ආදරේ කරන ලුඩ්ලෝ එක්ක ලේඩි ලීසා එකතු වෙලා, පිටසක්වළ අභියෝගයට විරුද්ධව සටන් කරනවා. (ඔය වගේ මටත් තිබුණා පිස්සුවක්, විනිල් ගොඩස් එක්ක. නමුත් ඒක වෙන ම කතාවක්...)

ලේඩි ලීසා...

අවසාන සටන හැටියට සෑම් ට හම්බවෙන්නෙ, පොඩිකාලෙ චැම්පියන්ෂිප් එකේ අවසාන සටන වුණු ඩොන් කී කොං. ඔහු ඒක දිනුවොත් පිටසක්වළ ආක්‍රමණය නතර වෙනවා. නමුත් 1982 චැම්පියන්ෂිප් එකේ දි පරාජය වුණු, හරිහමං පැටන් එකක් නැති මේ ගේම් එක ඔහුට දිනන්න පුළුවන් වෙයි ද?

අන්න ඒක තමයි ගැටළුව... 

මම මේ ෆිල්ම් එක ගැන කියපු දේවලට වඩා නොකියපු දේ වැඩියි. ඉතින් මේ ෆිල්ම් එක බලල ම, දැනගම්මු... (ටොරන්ට් එකට ලිංක් එක...)

මම කලින් ෆිල්ම් විස්තරවලදි වගේ නැතුව, මේ ලිපියෙ දි ස්ක්‍රීන් ෂොට් ගොඩක් සහ විඩියෝ ක්ලිප් මේකට ඇතුල් කළේ නෑ. මට හිතෙනවා, එහෙම කළා නම් මේ ෆිල්ම් එක මුලින්ම බලන කෙනෙකුට නියමාකාරයෙන් රසවිඳින්න බැරිවෙයි කියලා.

Tuesday, October 19, 2021

එදා අප දුටු චිත්‍රපටයකින් - ඩික් සහ ජේන් එක්ක ෆන්... (Fun with Dick and Jane)

මම දැකපු හොඳ ම කොමඩි සහ චරිතාංග නළුවෙක් වුණු ජිම් කැරී 2005 වර්ෂයේදී රිදී තිරය දෙවනත් කළ තවත් එක ගොඩාාාක් ම උසස් නෙමෙයි චිත්‍රපටියක් තමයි මේ.


ඩික් හාපර් කියන්නෙ ග්ලෝබොඩයින් නම් කොම්පැනියක, ටිපිකල් මිඩ්ල් ලෙවල් මැනේජ්මන්ට් සේවකයෙක්, උසස් මධ්‍යම පාංතික ජීවිතයක් ගත කරන. ඔහුට අසල්වැසියත් එක්ක සහ රාජකාරි සගයනුත් එක්ක පොඩි පහේ තරගයකුත් තියෙනව, තමන් උසස් ජීවන තත්ත්වයක් ගත කරන බව පෙන්වන්න.

ඔය අතරෙ ඔහුට ලැබෙනව උසස්වීමක්. නිකම්මත් නෙමෙයි, සමාගමේ උප සභාපති තනතුරක්. ඒ දීලා ලොක්කා ඩික්ව මාධ්‍ය සාකච්ඡාවකට දානව. එතකොටයි ඩික් දන්නෙ කම්පැනිය බංකොළොත් කරල කියලා.

හැම කෙනෙක්ගෙ ම රස්සාව නැති වෙනව. 

ඩික් ගෙ උසස්වීමත් එක්ක එයාගෙ වයිෆ් ජේන් තමන්ගෙ රස්සාව අත්අරිනව. 

පස්සෙ කොහොමද මේ උදවිය ජීවත් වෙන්නෙ. ඩික් යනව කුළී වැඩ කරන්න. ජේන් යනව බෙහෙතක් අත්හදා බලන වැඩකට සහභාගි වෙලා සල්ලි ටිකක් හොයාගන්න. ගෙදර තියෙන සුඛෝපභෝගී බඩු එකින් එක විකුණනව. පුතා අඬව අඬවා ටීවී එකත් විකුණනව. පුතා බලාගත්තු මෙක්සිකන් ගෑණු කෙනාවත් අස් කරනව.

බැරිම තැන ඩික් සහ ජේන් හිතාගන්නව සාප්පු, ගෙවල්, බැංකු කොල්ලකන්න. 

මේ තියෙන්නෙ ඒ දෙන්නගෙ පළවෙනි රොබරිය. මේක පටන් ගන්නකොට ජේන් දන්නෙ නෑ ඒ පවුල තදින් ම ආර්ථි අහේණියට පත් වෙලා බව. ඉතින් එයා හබියගෙ පිස්සු වැඩක් කියල හිතාගෙන තමයි සපෝට් කරන්නෙ.


පියවරින් පියවර මේ ජෝඩුව සාර්ථක හොරු බවට පත් වෙනව. මේකෙ මම කැමතිම හොරකම තමයි ඔය පහළින් තියෙන්නෙ. "දෝමො අරිගතෝ මිස්ටර් රොබොට්ටො"...


හොරකම් කරලා අවසානයේ ඩික් සහ ජේන් කලින් තිබුණු ජීවන තත්ත්වය ආපහු ලබාගන්නව. ඔය අතරෙ ඇතිවන විශේෂ සිදුවීම් දෙකක් නිසා ඔවුන්ගෙ අරමුණ වෙනස් වෙනවා. මේ තත්ත්වය ඇති කරපු ග්ලෝබොඩයින් කම්පැනියෙ ලොක්කාගෙ මුදල් මංකොල්ලකාලා, කම්පැනියෙ වැඩ කරලා රස්සාව නැති වීම නිසා හිඟමනට සහ හොරකමට වැටුණු සියලු දෙනාට බෙදලා දෙන්න මේ ජෝඩුව උපායක් යොදනවා.

ඒක හරියනවද, ඒ උපාය ක්‍රියාත්මක කරන්න ගිහින් ඩික් සහ ජේන් ට මොකද වෙන්නෙ කියන දේ බලාගන්න පුළුවන්, ෆිල්ම් එක බැලීමෙන්...

හොඳ වෙලාවට සම්පූර්ණ ෆිල්ම් එක ම තියෙනව වයිටීඑස් එකේ. ටොරන්ට් එක මෙතනින් බාගන්න...

මෙන්න ට්‍රේලර් එක... 


අයිඑම්ඩීබී දත්ත පද්ධතියේ තිබෙන මේ ෆිල්ම් එ‍ක ගැන විස්තර මෙතනින්...

Monday, October 11, 2021

අවසානයක් නොවේ - 42

රුහිරෙන් පුදමි අවසාන කොටස

1 කොටස...

2 කොටස... 

41 කොටස...

2004 වර්ෂයේ අග භාගය...

ෆයර්මවුන්ට් නගරය පැවතියේ බදුල්ල නගරයට සෑහෙන තරම් ඈතිනි. නිරන්තර කුඩු වැස්ස සහ එය ගසාගෙන යන සුළඟ පැවතිය ද, මිනිසුන් සෑහෙන තරම් නිදහසකින් නගරයේ වීදි පුරා සැරිසරන බව පෙනුණි. ඝන මීදුම හා අඳුරු වළාවන්ගෙන් පිරි අහස දුක්මුසු මහල්ලෙකු වැනි ස්වරූපයක් නගරයට ආරෝපණය කළේ ය. හාත්පස වූ ගොඩනැඟිලිවල තීව්‍ර බෑවුමින් යුතු හතර පලයට ගැසූ වහළවල්, ඇතුළත පැවති මඳ හෝ උණුසුම රඳවාගන්නටත්, ගස්වල අතු පතර තුළින් හූ හඩ නඟමින් ගළා බස්නා තෙත්බර සුළඟින් ජනේල රැකගන්නටත් අසීරු උත්සායහක් ගනිමින්...


ෆයර්මවුන්ට් දුම්රිපොළ වේදිකා දෙකකිනුත්, එක් කුඩා ගොඩනැගිල්ලකිනුත් සමන්විත විය. කේතුධර ගස් වැවුණු කන්දත්, හෙළත් අතරින් ඉහළට නැඟී ආ දුම්රිය මාර්ගය, අඳුරු බිංගෙයක් තුළින් ඇදී, අතු කිහිපයකට බෙදී දුම්රියපොළ හරහා පැතිර ගොස් තිබුණි. කාලයකට ඉහත දී ගල් අඟුරු දුම්රියන්ට වතුර සැපයූ සිළින්ඩරාකාර ලෝහමය ටැංකිය තනි කකුලකින් සිටගෙන බුම්මාගත්වනම මළකමින් පැවතිණ. 

දුම්රිය ස්ථානාධිපතිගේ කාර්යාල තුළ සිට එළියට ආ සනත් දෑස් සිහින් කර බැලුවේය. ඔහුගේ අතෙහි ගල් අඟුරු පාර්සලයක් වූ අතර, ඔහුගේ දෑසට ලක් වූයේ එක් කාන්තාවක් සහ ගැටවරයෙකි. අඳුරුපැහැ උණුසුම් ඇඳුමක් ඇඟලාගෙන දිගු සායක් ඇඳ, දිගු මේස් පයේ ලා ගෙන සිටි කාන්තාව මැදිවියට යාන්තමින් එළඹ සිටි බව හිස් වැසුමට යටින් එළියට ආ සුදු කෙස් ගසක් හෝ  දෙකක් කියා පෑවේය. ඈ අසළ දැවටෙමින් සිටියේ, වයසට නොගැළපෙන තරමින් සංවර ව හැසිරුණු සිහින් පැහැපත් තරුණයෙකි.

දුම්රිය නළා හඬ ඇසෙත් ම, වේදිකාවේ සිටි මඟියන් හතර පස් දෙනා එතෙක් ගැළී සිටි ආලස්‍යය තුරන් විය. කුඩා දරුවන් වඩා ගනිමින්, බිම හා අසුන් මත වූ ගමන් මලු ඔසවාගනිමින් ඔවුහු දුම්රියට නැඟ ගැනීමට සූදානම් වූහ. එහෙත් ඒ කළබලය ඉන්දිරාටත් ඇගේ භාරයේ උන් ගැටවරයාටත් බලපෑවේ නැත.

රෝදවලට යෙදූ තිරිංගවලින් ලෝහමය හඬක් නඟමින් ආ දුම්රිය වේගය අඩු කරගනිමින් විත් නතර කෙරිණි. ලහි ලහියේ ඒ වෙත දිව ගිය මඟියන් නැගගන්නට උත්සුක වෙද්දී, ඉන්දිරාත් ඇගේ භාරයේ උන් ගැටවරයාත් ගෙල දිගු කරමින් බැලුවේ දුම්රියෙන් බැස යන මඟීන් දෙස ය.

දුම්රියෙන් බැසගත් නව යොවුන් දැරියක් තම උරහිසේ එල්ලාගෙන සිටි බරැති ගමන් මල්ල සකසා ගනිමින් වට පිට බැලුවාය. ඇගේ නෙත් ඉන්දිරා දෙසට ‌යොමුවද්දී දෙතොල් කොන් මඳ සිනාවකින් ඉහළට නැවුණි. ඈ කඩිසරව ඉදිරයට එද්දී, ශාම් ගේ අතින් අල්ලාගත් කාන්තාව පෙරගමන් කළා ය.

මේ සිදුවීම දෙස සනත් බලා සිටියේ විස්මයෙනි. දැරිය ඉන්දිරා සහ ශාම් ට ළං වී, සිය ගමන් බෑගය බිම තබා, සිය නැන්දණිය වැළඳ ගනිද්දී ඇගේ හිස වසා සිටි උණුසුම් ඇඳුමේ හිස් ආවරණය පසුපසට වැටුණි. ඇගේ හිසකේ අකීකරුව සුළඟ හා එක්ව කරකැවෙමින් නැටුුුවේය. ඇගේ නළලත, කුඩා නාසය, කාන්තිමත් දෑස්, හුරුබුහුටි දෙතොල් හා මුහුණේ හැඩය... සනත් හට යමක් මතක් කරවන්නාක් මෙන් විය. ඔහුගේ මතකය ඉතා වේගයෙන් අතීතයට ඇදී ගියේ වීඩියෝ පටයක් වේගයෙන් ආපස්සට ධාවනය කරවූ විටෙක මෙනි. 

මතක පටය නතර වූයේ වසර තුන්සිය තිහක් ආපස්සට ගිය විට ය. වළව්වක රඳවා සිටි සිටි රැඳවියා, තරුණියක මුහුණ පා සිටි අද්භූත මරණයෙන් මුදවා ගන්නට දිවිය කැප කොට සටන් කළ මිනිසෙක්... අවසානයේ තම ජීව රුධිරය කැප කොට ජීවත් කරවූ තරුණියක්...

සනත් නැවත නැවතත් බැලීය. දෑස් පිසදමා බැලීය... ඉන්දිරා තවමත් වැළඳගෙන සිටි තරුණිය සිරුරේ ප්‍රමාණයෙන්, අඟ පසඟින්, පෙනුමින් පමණක් නොව ඉරියවු හා කටහඬින් ද ටිකිරි මැණිකේ ධනසේකර කුමාරිහාමිය ම විය. වෙනසකට තිබුණේ ඇඳුම පමණකි.

කුඩු වැස්ස තුනී වෙමින් යද්දී, දුම්රියපොළට පිටුපසින් වූ පයිනස් කැළයට ඉහළින් අහස හරහා යාන්තමින් ඇඳුනු දේදුන්නක සේයාවක් මතු වෙමින් තිබුණි. ශාම් අත දිගු කර ඒ දෙසට සිය නැන්දණියගේ හා අමුත්තියගේ අවධානය යොමු කළේ ය. දේදුන්නේ වඩාත්ම පැහැදිලිව තිබුණේ රතු සහ තැඹිලි පාට බව සනත් තෙත්  වූ දෙනෙතින් දුටුවේ ය. 

*    *    *

මිත්‍ර, තාරා දෙස හෙලුවේ තියුණු බැල්මකි.

"කෝ කොල්ලා...?"

"උඩ කාමරේ. වොෂ් එකක් දාගෙන පහළට එන්න කිව්වා මං."

"සැකයක් ඇති නොවෙන්න කරන්න ඕනෙ."

"ඉන්ද්‍ර එන්න කලින් කරන්න පුළුවන්. මම ශක්තිට පණිවිඩේ දුන්නා."

එවිගස ම මිත්‍ර ඇලවී සිටි සෙටියෙන් නැගිට්ටේ ය. ඇඳ සිටි කළිසමේ සාක්කුවට අත යැවූ ඔහු ඉන් එළියට ගත් ස්මාට් ෆෝන් එකේ තිරය දෙස නෙත් හෙලුවේ එක් වරකි.

"කියන කොට ම එනව." ඔහු දොරින් පිටතට ඇවිද ගියේ වේගයෙනි. 

විවර කෙරුණු ගේට්ටුවෙන් ඇතුළට ආවේ ගිලන් රථයකි. එය ගල් ඇල්ලූ පෙත් මඟ ඔස්සේ අවුත් පෝටිකෝව අසළ රතුපැහැ මස්ටෑං කාරය ට පිටුපසින් නතර කෙරුණි.

ගිලන් රථයේ රියදුරා ඇන්ජිම නතර කරද්දී, වම්පස ඉදිරි දොර ඇරගෙන බැස්සේ සුදුවන් නිළඇඳුමින් සැරසුණු හෙදියකි. 

දොරකඩ සිටි තාරා, හෙදිය පිළිගත්තේ උණුසුම් ලෙසිනි. 

"ශක්ති මේ ඇඳුමට ලස්සනයි නේද මිත්‍ර?"

"ඒක අහන්න රුද්‍රගෙන්." ගිලන් රියේ රියදුරා දෙසට ඇඟිල්ල දික් කළ මිත්‍ර කීවේ ය.

*    *    *

සුභාෂ් බණ්ඩාර ධනසේකර ගෙන් ගත් රුධිර සාම්පලය අඩංගු පරීක්ෂණ නල දෙක ඇබ ගසා, ඉතා ප්‍රවේසමෙන් ශීත ඇසුරුමෙහි තැන්පත් කළ ශක්ති සියලු දෙනාටම ආචාර කොට නැවතත් ගිලන් රථයට නැඟ ගත්තා ය. ගිලන් රථය ගේට්ටුවෙන් පිටත් වන සැටි බලා උන් තාරා, සුභාෂ් නැවත උඩුමහලේ කාමරයට පිටත් කර හැරියා ය.

"ඔයා ට මෙතන ආරක්ෂාවයි. මේජර් ඔයාව හොඳට බලා ගනී. මම ආපහු එන්නම් හෙට..."

"අපේ අම්මිටයි අප්පච්චිටයි කරදරයක් වෙයිද?"

"නෑ. ඔයා බයවෙන්න එපා, මල්ලි. සීක්‍රට් සර්විස් එක ඒ ගැන බලාගන්නව."

*    *    *

දුක්මුසු රාවයක් නඟමින් පටු පාර දෙපස වැවුණු ගස්වල අතු පතර කැරකැවෙමින් පැවති සුළඟ, වැසි බිඳු ඒ මේ අත විසිරවීය. අයිස් බඳු සීතල... ගුලි ගැසුණු අඳුර අතරින් පාර අයිනේ නතර කර තිබූ වාහනයක ෆොග් ලයිට්වලින් නැඟුනු මන්දාලෝකය ඈතට පෙනුනේ නැත.

පොද වැස්ස කෙමෙන් කෙමෙන් වැඩි වෙමින්, රිදී පැහැ ලෑන්ඩ් රෝවරයේ වහළය හා වින්ඩ් ෂීල්ඩය මතට පතිත වෙමින්... සිගරැට් ලයිටරය එහි කෙවෙණියට ඔබා, පැති වීදුරුව යාන්තමින් පහත් කළ ශාම් හෙවත් සුමන, සීතල සුළඟට හිත යටින් ශාප කරමින් නැවතත් එය ඉහළට ම ඔසවා ගත්තේ ය.

"මේක හරි නොගියොත්..." ශාම් පහත් හඬින් කීය. "අර කෙල්ලට අනතුරක් උනොත්... "

"නෑ සුමන..." පසුපස අසුනේ උන් මිත්‍ර උත්තර දුන්නේ එක වරම ය. "අපි ළඟ ප්ලෑන් කීපයක් ම තියෙනවනෙ"

"කවුද දන්නෙ, ඇන්ටිඩෝට් එක වැඩකරයිද කියල?"

රියදුරු අසුනේ උන් ඉන්ද්‍ර ඔහු වෙත හැරුණේ ය. "දැන් මට කියපන්... මම උඹව රිකවරි කළේ නැද්ද?" 

"ටිකක් හිතපන් ඉන්ද්‍ර, ඩ්‍රේක් ගෙ ඇඟේ තියෙනව මුලිම්ම ලෝකී දුන්න රසායනිකය..." ශාම් සිය වමතේ දබරැඟිල්ලෙන් සුරතේ ඇඟිලි එකින් එක නවන්නට විය. "ඊට පස්සෙ රීරි යකාගෙ ජාන... ධනසේකර පරම්පරාවෙ ලේ... උඹ දන්නවද ඌ අමෘතය බිව්වද නැද්ද කියලා?" 

"ඒක නිසා තමයි ඔය හැම එකම මික්ස් කරලා මේ ඇන්ටිඩෝට් එක හැදුවෙ." ඉන්ද්‍ර කීවේ නුරුස්නා හඩිනි. "ඒ මොනව නැතත් හළාහල විෂ තියෙනව. ඇන්ටිඩෝට් එක වැරදුනත් බැරිවෙලා හරි, යූවී රේ වලින්, ජාති වානේ වලින්, ඌට හාණි වෙන බව අපි දන්නව."

ශාම් ගේ දුරකථනය නාද වුණෙන් සංවාදය එතෙකින් ඇණ හිටියේ ය. සිය සුරතේ වූ දුරකථනය දෙස වරක් බැලූ ඔහු කෑ ගැසී ය. 

"ඒ නිර්මලී... යං! යං!"


මීළඟ කොටස... 

Thursday, October 7, 2021

සපත්තුවේ ආච්චි, හිකරි ඩිකරි ඩොක් සහ තවත් කවි - ළමා කවියක අඳුරු ඉතිහාසය

 පහුගිය ලිපිවලින් අපි හොයාගත්තා, මෙන්න මේ ළමා කවිවල තියෙන ඉතිහාස කතා:

1. හේ ඩිඩ්ල් ඩිඩ්ල්

2. බා බා බ්ලැක් ෂීප්, අන්ධ මීයො තුන්දෙනා, ජැක් සහ ජිල්

3. ලන්ඩන් පාළම කඩා වැටේ, වයසක හබර්ඩ් අම්මා සහ හම්ටි ඩම්ටි

4. රිං අරවුන්ඩ් ද රෝසී, ගූසි ගූසි ගැන්ඩර් සහ රොක් අ බයි බේබි


පහුගියදාක අපේ පොඩි රාළගෙ ඉංග්‍රීසි ගුරුතුමිය එවල තිබුණා කවියක් ‌පොඩි රාළලාට පාඩම් කරගන්න, ඒක කියෙව්ව ම මට හරි කුතුහලයක් ආව මේ මොනව ගැන ද කියන්නෙ කියල... කවිය මෙන්න මෙහෙමයි:


D'you know the old woman

who lived in a shoe

She had so many children,

she didn't know what to do

She gave them some broth 

without any bread 

She whipped them all soundly

and put them to bed


ඔයා දන්නවද මහළු කාන්තාව, අර සපත්තුවක් ඇතුළෙ හිිටියෙ...

එයාට ළමයි ගොඩක් හිටියා, ඒ අයට කරන්න දෙයක් ඈ දැනගෙන උන්නෙ නෑ

එයා ළමයිට එළවලු-මස් සුප් දුන්නා, පාන් දුන්නෙ නෑ

ළමයිට හොරන් ම කෝටුපාර දීලා ඇඳට යැව්වා

(වචනෙට වචනෙ කරපු පරිවර්තනය)


මේ කවියෙ මුල් ගැන ගොඩක් අදහස් තියෙනවා. ඒවයින් වැඩිම පිළිගැනීමක් තියෙන්නෙ, මේ කියන්නෙ මහා බ්‍රිතාන්‍යය සහ අයර්ලන්තය පාලනය කළ දෙවෙනි ජෝජ් රජු (1683 - 1760) ගැන කියලයි. 

දෙ වන ජෝර්ජ් රජු ගේ රාජ්‍යය ඇත්තටම පාලනය කළේ එතුමාගේ බිසව වුණු ඇන්ස්බැක් හි කැරොලයින් රැජිණ වූ නිසා, ජනතාව අතරෙ මේ රජ තුමා හැඳින්වුනේ "නාකි ගෑණි" හෙවත් the old woman කියලයි. ඔහුට හිටිය ළමයි ගොඩ තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. ඒ ළමයිට දෙන කෝටු පාර හෙවත් whip ලෙසින් හැඳින්වුනේ, නිලයක්. එක් දේශපාලන පක්ෂයක සාමාජිකයන් සියලු දෙනා එම දේශපාලන පක්ෂයේ ප්‍රතිපත්තියට හෝ සාමූහික තීරණයට එකඟව ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධව විනය පවත්වාගෙන යාම සඳහා ඇති කරන ලද නිලය whip නමින් හැඳින්වුණා. ඔවුන් යවපු ඇඳ විදිහට පෙන්වන්න පුළුවන්, මහජන මන්ත්‍රී සභාව. එතැනට ඒ මන්ත්‍රීවරු දිනපතා සහභාගී විය යුතුව තිබුණා.

1720 දී පමණ ඇති වුණු දකුණු මුහුදේ බුබුළ හෙවත් south sea bubble නම් ආර්ථික අවපාතන සංසිද්ධිය නිසා, දෙ වන ජෝජ් රජු වියදම් කපා හැරීම සහ සිය රාජධානියේ ආර්ථිකය නැවත නඟා සිටුවීමට ගත් උත්සාහය, "නාකි කාන්තාව ළමයින්ට පාන් නොමැතිව සුප් දීම" මඟින් නිරූපණය වුණා කියා සැළකෙනවා.


ජිම් හෙන්සන් ගේ මදර් ගූස් ස්ටෝරීස් කියන මපට් වැඩසටහනේ තිබුණු ගොඩක් ම ජනප්‍රිය, ඒ වගේම ටයිටස් තොටවත්ත සිංහලටත් හඬකවලා පෙන්වපු කවියක් මීළඟට:

hickory dickory dock

the mouse went up the clock

the clock struck one and the mouse went down

hickory dickory dock


හිකරි ඩිකරි ඩොක්

මීය නැග්ග ඔරලෝසුවෙ

එකයි කියල වැදුණා

මීය බිමට පැන්නා

හිකරි ඩිකරි ඩොක්

(ටයිටස් තොටවත්ත හඬ කවපු විදිහ මට මතක තිබුණු හැටියට)


මේ කවියෙන් කියවෙන්නේ රිචර්ඩ් ක්‍රොම්වෙල් ගැනයි කියලයි සඳහන් වෙන්නෙ. කවුරුත් දන්න විදිහට බ්‍රිතාන්‍ය සිවිල් යුද්ධය අවසානයේ පළමුවන චාල්ස් රජු බලයෙන් පහ කරලා, පොදු රාජ්‍ය මණ්ඩල ජනරජය ඇති කරන්න මුල් වුණු ඔලිවර් ක්‍රොම්වෙල්, රාජ්‍යයේ ප්‍රධාන ආරක්ෂක (Lord Protector) නමින් හැඳන්වුණු රාජ්‍ය ප්‍රධානියා හැටියට 1653 දි පත් වුණා. එතුමා ස්වාභාවික හේතුන් මත 1658 දි මියයන කොට, තමන්ගෙ අනුප්‍රාප්තිකයා විදිහට පත් කරන්නෙ තමන්ගෙ තුන්වෙනි දරුවා වුණු රිචර්ඩ් ක්‍රොම්වෙල්. (ගොඩක් තැන්වල එහෙම තමයි වුණේ. අපේ රටෙත් ජෝන් කොතලාවල සහ බණ්ඩාරනායක ඉද්දි, ඩී එස් ගෙ අනුප්‍රාප්තිකයා විදිහට ඩඩ්ලි පත්වුණේ ඒ විදිහට.) රිචර්ඩ් ක්‍රොම්වෙල් ට ඒ කාලේ ජනතාව අතරෙ පටබැඳුනු නම තමයි, “හිකරි ඩික්“ ඔරලෝසුවෙ නැගපු මීයා විදිහට හඳුන්වන්න පුළුවන් නියම සුදුසුකම් නැතිව රටේ ප්‍රධාන පාලක තනතුරට පත්වුණු රිචර්ඩ් ක්‍රොම්වෙල්.

කොහොම වුණත්, රිචර්ඩ් ක්‍රොම්වෙල් තමන්ගෙ පියා වගේ දක්ෂ සහ සාර්ථක පාලකයෙක් වුණේ නෑ. ඔහු පාලනය කළේ අවුරුද්දයි. හරියටම බැලුවොත් මාස නවයක් විතර. ඊට පස්සෙ පිටුවහලේ හිටපු දෙවන චාර්ල්ස් රජු ගෙන්වාගත්තු රාජාණ්ඩු වාදීන් රිචර්ඩ් ව බලයෙන් පහ කළා. ඒක හරියටම, එකයි කියලා ඔරලෝසුවෙ වදිද්දී මීයා බිමට පැනලා දිව්වා වගේ තමයි.


මී ළඟට අපි කතා කරන්නෙ ප්‍රචණ්ඩත්වය මුල් කොටගෙන බිහිවුණු තවත් සුන්දර කවියක්. ඒ තමයි මෆින් මෑන්

Do you know the muffin man,

the muffin man, the muffin man?

Do you know the muffin man,

who lives on Drury Lane?

Yes, I know the muffin man,

The muffin man, the muffin man,

Yes, I know the muffin man,

Who lives on Drury Lane.


ඔයා දන්නවද මෆින් කාරයා,

මෆින් කාරයා, මෆින් කාරයා?

ඔයා දන්නවද මෆින් කාරයා,

ඩෲරි පටුමගේ ඉන්නා?

ඔව් මම දන්නව මෆින් කාරයා,

මෆින් කාරයා, මෆින් කාරයා.

ඔව් මම දන්නව මෆින් කාරයා

ඩෲරි පටුමගේ ඉන්නා.


ඩෲරි පටුමග තියෙන්නෙ ලන්ඩන් නගරයේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය අසලින් විරුද්ධ පැත්තෙන් පටන්ගෙන දිවෙන පටු මඟක්. මේ පටුමඟ A4 පාරේ සිට A40 පාර දක්වා විහිදෙන අතර, ඒ පාරේ එක පැත්තකින් ත්‍රිත්ව විද්‍යාලයත්, තවත් පැත්තකින් ඩෲරි ක්‍රීඩා පිටියත් පිහිටා තියෙනවා.

16 වන සියවසේ දී කම්කරුවන්ට පැය 12 ක වැඩමුරයක් තිබුණා ඒ නිසා ඔවුන්ට උදේ සහ රෑ කෑම පිළියෙල කරගන්න වෙලාවක් සහ ශක්තියක් තිබුණේ නෑ. ඉතින් විවිධ ස්ථාන වල තිබුණු බේකරි සහ මෆින් කාරයන් ඒ අඩුව පිරෙව්වා. මෙතැන මෆින් කියන්නේ අපි දන්නා කප් කේක් වැනි රස කැවිල්ල නොව, ඉංග්‍රීසි මෆින් නමින් හැඳින්වෙන පාන් වැනි කෑම.

ඒ විදිහේ මෆින් කාරයෙක් හෙවත් බක්කරේ කෙනෙක් හිටියා ඩෲරි පටුමඟේ. ඔහුගේ නම ෆ්‍රෙඩ්‍රික් තෝමස් ලින්වුඩ්. නමුත් ඔහු වඩා ම ප්‍රසිද්ධ වී සිටියේ ඩෲරි පටුමඟේ ‌කොටු කපන්නා හෙවත් Drury Lane Dicer යන නමින්. 

1589 සිට 1598 දක්වා අවුරුදු නවයක කාලය ඇතුළත ලින්වුඩ් කුඩා ළමයි 15 දෙනෙකු මැරුවා කියා සඳහන් වෙනවා. ඔහුගේ බේකරිය කුඩා ළමයි නිතරම ගැවසුණු තැනක් වුනා. ඒ ළමයි තමන්ගේ දඟකරකම්වලින් එතැන අවුල් කරන එක ඔහුට කරදරයක්. ඔහු කළේ, මෆින් එකක් නූලක ගැට ගහලා, එලියට දාලා තියනවා. ළමයෙක් ඒක දැකලා, ඒක ගන්න එනකොට නූලෙන් අදිනවා. ඒක සෙල්ලමක් කියලා හිතන ළමයා ඒක පස්සෙන් ගිහින් ගිහින්, බේකරිය ඇතුලේ අඳුරු කොටසට ආවට පස්සේ, ලොකු ලී පත්තකින් ගහලා, ඒ ළමයා සිහි නැති කරනවා. ඊට පස්සෙ මරණවා.

මේ කතාව දිගින් දිගට ම කටින් කට ගිහින් පරම්පරා ගාණක් තිස්සේ නැවත නැවත කියවිලා, මේ සිදුවීම්වලට ගොඩක් විස්තර අමතක වෙලා ගිහින් ජනප්‍රවාදයක් මට්ටමට පත් වෙලා තියෙනවා.


මූලාශ්‍ර

https://englishhistoryauthors.blogspot.com/2012/04/political-meaning-in-18th-century.html

https://www.ncregister.com/blog/the-horrible-meanings-behind-nursery-rhymes

https://en.wikipedia.org/wiki/There_was_an_Old_Woman_Who_Lived_in_a_Shoe

https://simple.wikipedia.org/wiki/Richard_Cromwell

https://sarahcottrell.medium.com/do-you-know-the-muffin-man-he-was-a-serial-killer-who-preyed-on-kids-eaf12c90a8d1

Monday, October 4, 2021

බ්ලොග් අඩවියක් නිර්මාණය කරගන්නේ කෙසේද (ස්ක්‍රීන් ෂොට් සහිතයි)


මේ ලිපිය ලියන්නේ අපේ ආදරණීය තට්ටයා අයියා ගේ යෝජනාව අනුව...

තමන්ට ම කියා බ්ලොග් අඩවියක් හෝ විවිධ විෂයයන් සඳහා බ්ලොග් කිහිපයක් තිබීම වැදගත්. ඒ ගැන මම වෙන ම කියන්න යන්නේ නෑ. ඒක මේ ලිපියේ අරමුණ නෙවෙයි. කොහොම හරි, "මාත් බ්ලොග් එකක් අටවගන්න ඕනෙ" කියා අදහස් කරන කෙනෙක් නෙව මේක කියවනවා ඇත්තෙ. ඒ නිසා පියවරෙන් පියවර ඒ ගැන කියා දෙන්න (ඒ කියන්නෙ මං දන්න තරම කියා දෙන්න) පටං ගන්නව ඕං.

බ්ලොග් එකක් අටව ගන්න අනුග්‍රහය දක්වන සයිට් මහ ගොඩක් තියෙනව මං දන්න තරමින්. මෙයින් මම දන්න හැටියට පරණ ම එක වර්ඩ්ප්‍රෙස් (wordpress.com) වන අතර, වැඩිම ජනප්‍රියතාවක් ඇති එක ගූගල් විසින් හදා තියෙන බ්ලොගර් (blogger.com) ය.

මං කියවා තියෙන සුවිශේෂී වර්ඩ්ප්‍රෙස් බ්ලොග් එකකට සහ බ්ලොගර් බ්ලොග් එකකට ලිංක් මෙතන උදාහරණ විදිහට පළ කරනවා.

ඔය අතරින් බ්ලොගර් මඟින් බ්ලොග් සයිට් එකක් හදා ගැනීම සහ පවත්වාගැනීම ගැන උපදෙස් මම දන්න විදිහට මෙතන තමුන්නාන්සෙලාට සඳහන් කොරන්ඩ කැමතියි...

මුලින් ම යන්ඩ, https://blogger.com සයිට් එකට. මම දන්න හැටියට එයිට කලිං තමුන්ට ගූගල් එකවුන්ට් එකක් හෙවත් ජීමේල් ගිණුමක් තිබීම අවශ්‍යයි. 


ඔය කියපු වෙබ් පිටුවට ගියාම දකින්න පුළුවන්, දකුණු පැත්තෙ ඉහළම කොනේ තියෙනව, "අස්සං කරල ඇතුල් වෙන්ඩ" හෙවත් "sign in" කියල එකක්. මැද තියෙනව "පබිලිස්, ඔයාගෙ පැෂන් ගෙඩි පාරෙ" කියල ගහල. එයිට පහළින් තියෙනව "ඔයාගෙ බ්ලොග් එක හදන්ඩ" කියල තැඹිලි පාට බටන් එකක්, තමන් කරන්ඩ යන දෙයින් යහපතක් ම වෙන්ඩ ය කියල අධිෂ්ඨාන කරගෙන, දෙයියන් බුදුන් සිහිකරගෙන ඒ බටන් එක එබීම තමයි කරන්ඩ තියෙන්නෙ. 

දෙයියනේ කියල ඒ බටන් එක එබුවාම, යනව "අස්සං කරල ඇතුල් වෙන්ඩ" සංවාද කොටුව හෙවත් සුද්ධ සිංහලෙන් කියනව නං, "sign in ඩයලොග් බොක්ස් එකට. එතන තමුංගෙ ජීමේල් ඇඩ්‍රස් එක ඇතුල් කරලා, ඊළඟට එන ඩයලොග් බොක්ස් එකට, ඒ ජීමේල් එකේ පාස්වර්ඩ් එක හෙවත් තරු කීපය ඇතුල් කරලා, නමෝ විත්තියෙන් ඔන්න බ්ලොගර් සයිට් එකට ඇතුල් වෙන්ඩ පුළුවං.

ඔන්න එතකොට විවෘත වෙනවා, බ්ලොගර් ඩෑෂ්බෝඩ් එක. එතන ඩිෆෝල්ට් පෙන්නන්නෙ, රීඩිං ලිස්ට් හෙවත් අපි කියෝන, එහෙමත් නැත්තං, අපි ෆලෝ කරන බ්ලොග් ලැයිස්තුව. ඒ බ්ලොග්වල අලුත් පෝස්ට් ටික එතන පෙන්නනව. 


ඩෑෂ් බෝඩ් එකේ වම් පැත්තෙ ඉහළ හරියට වෙන්න තියෙනව, "බ්ලොගය තනන්න" එහෙමත් නැත්තං create blog  කියල එකක්. පිංතූරෙ මම රතු පාටට රවුං කරල තියෙන්නෙ ඒක.

ඒක ක්ලික් කළහම එනව සංවාද කොටුවක්, එතන ඇතුළත් කරන්න ඕනෙ, තමුංගෙ බ්ලොග් එකට දාන්න හිතාගෙන ඉන්න නම. ඒ නම තමයි හැම තැනදි ම තමුං‌ගෙ බ්ලොග් එක හඳුන්වන්න යෙදෙන්නෙ. ගොඩක් අය මහ අමුතු විකාර නං දානව. "කාමරයක් කුළියට දීමට තිබේ", "නිදි ගෙ පංචතන්තරේ", "හොක්කියාව", "විසිරි සිහින", "නයාගෙ ලටපට", "කොළොම්පුරේ", "කරාබුනැට්ට", "තට්ටයගෙ කෝළම", "යාංහෑල්ල" ඔය විදිහෙ විකාර නම් වලින් කීපයක්. 


ඔන්න ඉතිං නමක් දීලා, "ඊළඟ" හෙවත් next ක්ලික් කළහම එනව, තමුංගෙ බ්ලොග් එකට යූආර්එල් එකක් ඇතුල් කරන්න. මෙතනදි, අපට කැමති නමක් ඉංග්‍රීසියෙන් දෙන්න ඇහැකි අතර, ඒ නම වෙන කෙනෙක් දාගෙන නැත්තං අපට හිමි වෙනව. ඒ නමට පස්සෙං ".blogspot.com" කොටස එකතු වෙලා, අපේ බ්ලොග් එකේ යූආර්එල් එක හැදෙනව. ඒක තමයි පසු කාලෙකදි, අපේ බ්ලොග් එකේ ලිංක් එක කාට හරි දෙනවනං, හරි වෙන තැනක ලිංක් කරනවනං හරි යොදාගන්න ඕනෙ.


ස්ක්‍රීන් ෂොට් දැමීම සඳහා පියවරෙන් පියවර මේ බ්ලොග් එක තනමින් සිටිද්දී, මේ පියවරේදි බ්ලොගර් මුත්තා මට එරර් එකක් දුන්නා. "ෆීල්ඩ් එකට දුන් වැල්‍යූ එක වැරදියි" කියලා. මොන දේ කරල බැලුවත් හරි ගියෙ ම නෑ. නමුත් මේ ස්ටෙප් එක හරියට කරගත්තොත් මේ විදිහෙ තැනකට එනව.


බ්ලොග් එකක් හදපු ගමං ම ඔය මැද තියෙන පෝස්ට් ටික එන්නෙ නැති බව කරුණාවෙන් සළකන්ඩය. එතන ඒ තියෙන්නෙ මං මෙච්චර කාලෙයක් දුක් මහන්සියෙං දාඩිය මුගුරු දාගෙන, ඉණට වස්තරෙයක් නැතුව, බඩට කන්ඩ නැතුව ලියාගත්තු පෝස්ට් ඩිංගය. 

ඔතන මම රතු පාටින් මාක් කරල තියෙන ටූල් ටික මහ බැංකුවෙ ටූල් තරම්ම වටින අතර, වැදගත් ම වෙන්නෙ, "තීම්", "ලේයවුට්", "සෙටිංස්" සහ "නිව් පෝස්ට්" කියන අයිටම් ටිකය.

තීම් කියන ටූල් එකට ගියාම බ්ලොගර් මෙච්චර කාලෙයක් හදල තියෙන තීම් ටික අපට පෙන්නනවය. එයිං  තමුන්ට ලස්සනයි කියා හිතෙන තීම් එකක් දාගත්තම, ඒක කස්ටමයිස් කරලා, පසුබිම් පින්තූරය, අකුරු සයිස්, අකුරුවල පාට, එක එක කොලම්වල දිග ආදිය තමුන්ට හොඳ විදිහට හදා ගන්ඩ පුළුවං ය. මං නං වැඩිය ම කරන්නේ හැම කෙනෙකුටම බලන්න පහසු වෙන විදිහට, කුඩා ම මොනිටරේ ගාණට හැම එකක ම දිග පළල ‌හදා ගන්න එක සහ, හැම දෙනාටම අපහසුවකින් තොරව කියව ගන්න ඇහැක් වෙන විදිහට අකුරු සයිස් ටිකක් ලොකු කරලා, හයි කන්ට්‍රාස් නොකර තියන එක ය.



ඉතාම වැදගත් දේ වෙන්නෙ, අපි එතන කරන හැම වැදගත් ඇජස්මන්ට් එකක් ම, පහල දකුණු පැත්තෙ තියෙන පුංචි ඩිස්කට් එක ක්ලික් කරලා සේව් කරගන්න එක ය. 

තීම් එක කස්ටමයිස් කරන තැන ම, ලේයවුට් ද තියෙනවා ය. එතනිං කරන්න පුළුවන් වෙන්නේ දැනට තමුංගෙ බ්ලොග් පිටුවේ තියෙන ගැජට් හෙවත් අංගෝපාංග වෙනස් කරගන්න එක විතරය. අලුතින් ගැජට් එකතු කරගන්න පුළුවන් වෙන්නේ ඉහළ පිංතූරේ හෙවත්, බ්ලොගර් ඩෑෂ්බෝඩ් එකේ මුල තියෙන ලේයවුට් අයිකන් එක ක්ලික් කිරීමෙනි. ඔතනින් බ්ලොග් කියවන උදවියට වඩාත් ම වැදගත් වෙන්නේ, ෆලොවර්ස් ගැජට් එක ය. 

තමුන්ට ගැජට් එකක්  ඕනෙ තැනට ගිහිං, "ඇඩ් අ ගැජට්" කියන එක ක්ලික් කළහම එනව මේං මේ ලිස්ට් එක. ෆලොවර්ස් ගැජට් එක මං රතු පාටිං රවුං කරල තියෙනව.


අපි කාගෙ හරි බ්ලොග් එකකට ගියොත්, ආපහු සැරයක් එතනට ගිහිං කියවන්න තරම් දේ තියෙනවයි, වටියි, හොඳයි, කියල හිතෙනවනං, අපට ඒ බ්ලොග් එක ෆලෝ කරල එන්ඩ පුළුවං. එතකොට බ්ලොගර් ඩෑෂ් බෝඩ් එකේ පෙන්නනව ඒ බ්ලොග් එකේ අලුතිං ලිපියක් වැටුණු ගමං. 

අත්ථානං උපමං ඛත්වා කිව්වා වගේ, අපේ බ්ලොග් එක ගැනත්, ඒක කියවන්න එන උදවියට ඒ පහසුව ලබා දෙන්න තමයි, ෆලොවර්ස් ගැජට් එක එල්ලන්නෙ.

තව වැදගත් ගැජට් එකක් තමයි, බ්ලොග් රෝල කියා සිංහලෙන් හඳුන්වන, blog list ගැජට් එක. එතන, අපි ෆලෝ කරන බ්ලොග්වල ලැයිස්තුවක් පෙන්නනවා. එමඟින් අපට පුළුවන් අපි ෆලෝ කරන බ්ලොග්වලට අලුතින් ලිපි පළ වුණු වහාම දැනගන්න. ඒ වගේ ම තමන් ෆලෝකරන බ්ලොග් ගැන, තමන්ගෙ බ්ලොග් එක කියවන්න එන හැමෝම අතරේ නොමිලේ පබ්ලිසිටියක් ලබා දෙන්නත් මේක වැදගත්.


ලේයවුට් එකේ තියෙන ප්‍රයෝජනවත් ගැජට් ගැන හොඳ අවබෝධයක් ගන්න හොඳ ම විදිහ තමයි, පරණ බ්ලොග් එකකට ගිහිං නිරීක්ෂණය කරන එක.

නරි හාමිගෙ බලවත් ඉල්ලීම මත බ්ලොගර් ඩෑෂ් බෝඩ් එකේ තියෙන සෙටිංස්වව පින්තූර මෙහි පහතින් පළ කරනවා. ඔයින් වැඩිහරියක් මම කරල බැලුවෙ නැති සහ දන්නැති දේවල් තියෙන්නෙ. එතනත් මට පේන විදිහට වැදගත්ම දේ තමයි යූසර් ප්‍රොෆයිල් එක. එතනින් තමන්ගෙ ප්‍රොෆයිල් නම සහ පින්තූරය ඇඩ් කරගන්න පුළුවන්, තව තව විස්තරත් එක්ක. ඒ ප්‍රොෆයිල් එක තමයි, වෙන බ්ලොග් එකකට ගිහින් කමෙන්ට් කරද්දි පෙන්නන්නෙ. සමහරු නම් සමහර වෙලාවට ඇනොනිමස් කමෙන්ට්ටුත් දානව.













හොඳයි... ඔය විදිහට බ්ලොග් එකක් හදාගත්තට පස්සේ තියෙන වැදගත් ම දේ තමයි, පෝස්ට් එකක් හෙවත් ලිපියක් ලියන එක. ඒක කරන්නෙ, අර බ්ලොග් ඩෑෂ් බෝඩ් එකේ වම් පැත්තෙ උඩ තියෙන new post කියන තැන ක්ලික් කිරීමෙන්.

ඒක ක්ලික් කළහම එනවා, පෝස්ට් එඩිටර් එක. ‌ඒකෙ ටයිටල් කියන තැන ලිපියෙ මාතෘකාව ලියලා, පහළ ‌හිස් ඉඩේ ලිපිය ලියනවා. ඒකෙ අකුරුවලට එක එක දේවල් කරන්න උවමනා ටූල්, ටූල් බාර් එකේ තියෙනවා.

ඉතාම වැදගත්, ලිපියට පින්තූරයක් ඇඩ් කරනවා නම්, කොපි පේස්ට් නොකර, ඉහළ තියෙන චූටි කඳු දෙකක් තියෙන ටූල් එක ක්ලික් කරලා පින්තූරය ඇඩ් කරන එක. ඒ ළඟ ම දකුණු පැත්තෙ තියෙනවා වීඩියෝ එකක් ඇඩ් කරන ටූල් එක, වම් පැත්තෙ ටූල් එකෙන් පුළුවන් ලිංක් එකක් ඇඩ් කරගන්න. ඒ ටූල් ටික මම පහළ පිංතූරෙ කහ පාටින් රවුම් කරලා තියෙනවා. 


වඩා සුදුසුයි, බ්ලොග් පෝස්ට් එකක් ලියලා, ඒක ප්‍රිවීව් කරලා බලලා, අවශ්‍ය සංශෝධන කරලා, පබිලිස් කරන එක. උවමනානම් පුළුවන් එකදිගට පෝස්ට් දෙක තුනක් ලියලා තියාගෙන, පස්සෙන් පහු එකින් එක පළ කරන්නත්. උවමනා නං, පබිලිස් කරන එක ෂෙඩූල් කරල තියන්නත් පුළුවන් පස්සෙ නියමිත දවසක නියමිත වෙලාවකට පබිලිස් වෙන්න. ඒ ෂෙඩූල් කිරීම කරන්න ටූල් එක තියෙනව, පෝස්ට් එඩිටරේ දකුණු පැත්තෙ.

ඉතාම වැදගත්, පෝස්ට් එඩිටරේ දකුණු පැත්තේ තියෙන "ලේබල්" කියන කොටස. තමන් විවිධ විෂයයන් ගැන ලියනව නං, තමන්ගෙ පෝස්ට් එකට දාන්න පුළුවන් ලේබල් එකක් හෝ කීපයක් මෙතන ටයිප් කරන්න පුළුවන්. පස්සෙ ඒ ලේබල්වලට ම ගැළපෙන තවත් ලිපි ලියනවානම්, ඒ ලිපිවලටත් ඒ ලේබල් ම තෝරලා ඇඩ් කරන්න පුළුවන්. එතකොට අපට එක ම ලේබලේ යටතෙ වර්ග කරන්න පුළුවන් ලිපි මාලාවක් ලැබෙනව. 

අර මං උඩිං කිව්ව ලේයවුට් එක යටතේ, ලේබල් ගැජට් එක බ්ලොග් පිටුවට දාල තිබ්බනං, කියවන කෙනා ට, තමං කැමති ලේබලයක් යටතේ තියෙන ඔක්කොම ලිපි එක දිගට කියවන්න පහසුව ලැබෙනව.

බ්ලොග් එකක් හදන හැටි සහ ලිපි ලියන හැටි ගැන ඔය. ලියනවා වගේ ම, කියවීමත් බ්ලොගර් කෙනෙකුගේ ජීවිතයේ අංගයක් නෙව. එහෙම කියවන්න ගිහිං, ඒ කියවන දේ ගැන තමන්ට කියන්න තියෙන දේ කමෙන්ට් හැටියට එතන ටයිප් කරලා එන්න පුළුවන්. පස්සෙ වෙලාවක ගිහිං, ඒ කමෙන්ට් එකට ලැබුණු පිළිතුරුත් කියවලා සංවාදයක් ඇති කරගන්න පුළුවන්. ඔය විදිහෙ කමෙන්ට් සංවාදවලට ඉතාම ප්‍රසිද්ධ, මදුමදාවියගෙ රසසරණිය, ගිහිං බලන්න...

ඔය විදිහට කමෙන්ට් කරද්දි තමන්ගෙ බ්ලොග් එක හඳුන්වාදීමත් වැදගත්. තමන් මුලින්ම නම් ඒ බ්ලොග් එකට කමෙන්ට් කරන්නෙ, "මම අහවලා, මගෙ බ්ලොග් එක මේකයි" කියලා හැඳින්වීමක් කරන එක හොඳයි. එතකොට ඒ බ්ලොග් එක කියවන්න එන අනික් උදවියත් දැනගන්නවා මේ විදිහෙ බ්ලොග් එකක් තියෙනව කියලා. ඒ විදිහට තමන්ගෙ පාඨක පිරිස වැඩිකරගන්න පුළුවන්. 

ඒ වගේ ම තමනුත් අනික් බ්ලොගර්ස්ලා ධෛර්යමත් කරන්න කමෙන්ට් කිරීම වැදගත්. මොකද, කියවන්න එන කට්ටිය අඩු වෙනවිට සහ තමන්ගෙ ලිවීම කවුරුවත් අගය කරන්නෑ වගේ දැනෙනකොට ලිවීම අධෛර්යවත් වෙන එක ස්වාභාවිකයි.

ඒ වගේම තමන්ගෙ ලිවීම ගැන ප්‍රසිද්ධ කරන්න පුළුවන් බ්ලොග් පෝස්ට් එකේ ලිංක් එක ෆේස් බුක් වැනි සමාජ මාධ්‍යවල පළ කිරීමෙන්...

ඔන්න එහෙනං, ආධුනික බ්ලොග් කරුවෙකුට මං දන්න දේ කියා දීම මෙතනින් අවසානයි. තව දුරටත් ටෙක්නිකල් ප්‍රශ්න ආවොත් කරුණාකර අර දොරකඩ ගහේ මූකලන් බස්සා හෝ බුරතීනෝ අමතා නිරාකරණය කරගන්නා ලෙස කාරුණිකව දන්වමින්, මගේ වචන සුවල්පය මින් අවසන් කරනවා.

වැඩිපුර බලපු ලිපි