Showing posts with label මෞඉ. Show all posts
Showing posts with label මෞඉ. Show all posts

Thursday, June 21, 2018

මෞඉගෙ කතා - තවත් කොටසක්...

කලින් ලියපු මෞඉ ගෙ කතා


මේ කතා පළකරන්න පරක්කු වුනේ මේ කතාවල තියෙන ප්‍රචණ්ඩත්වය අඩු කරන්න විදිහක් ගැන කල්පනා කරන්න සිද්ධවුනු නිසයි. නමුත් එහෙම කළානම් මුල් කතාව මා අතින් විකෘති වෙනවා. මේවා දරුවන්ට කියා දෙද්දි ප්‍රචණ්ඩකාරී කොටස් අඩු කරලා කියා දෙන්න කියලා ඉල්ලා හිටිනවා මුලින්ම.


මෞඉ සහ ටූනා

මෞඉ ගෙ භාර්යාව වුනේ හීනා-අ-ටෙ-ලෙපෝ. (වගුරේ දියණිය) එ් දෙන්නා තමන්ගෙ පිදුරු සෙවි කළ පැල්පත තනාගෙන හිටියෙ ගං ඉවුරක. හීනා ගෙදර වැඩපළට වතුර ගෙනාවෙ ඒ ගඟෙන්.

දවසක් ලබුකැටය අරං හීනා ගඟට ගිය වෙලාවක  ටූනා-රෝආ හෙවත් දිග ආඳා දැක්කා. ඌ ගං ඉවුරට පීනගෙන ඇවිත් එයාට වලිගෙන් ගැහුවා. ඒ පාරට ගඟට වැටුණු හීනා, ආඳගෙ වලිගෙ තිබුණු සෙවළ වලින් නෑවිලා ගියා.

හීනා මෞඉට ඒ ගැන වචනයක්වත් කිව්වෙ නෑ. ඒත් අනිත් දවසෙත් ඔය අකරතැබ්බයටම මූණ දෙන්න එයාට සිද්ධ වුනා.

ඒ ගමන හොඳටම කේන්ති ගියපු හීනා, මෞඉට කිව්වා වෙච්ච කරදරය.

(සමහර නවසීලන්ත කතා වලට අනුව, ටූනා-රෝආ කියන්නෙ ගඟෙන් එගොඩ හිටපු ගෝත්‍රයක නායකයෙක්. එයා හීනා ට අවමන් කළා කියල කියනව.

මෞඉ එයාගෙ ඔරුව මුහුදට තල්ලු කරන්න යොදාගත්ත ලැලි පුවරු දෙකක් ගඟ හරහා දාලා ඒදණ්ඩක් හැදුවා. ඒ ළඟ එයා ම-ටෝරි ටෝරි  කියන ගල් පොරොවත් තියාගෙන හැංගිලා උන්නා. අර ටූනා ඒදණ්දිඩෙන්ගේ එගොඩ වුන ගමං මෞඉ හැංගිලා හිටපු තැනිං එළියට ඇවිත් පොරොවෙන් ගහලා ටූනා ගෙ හිස කඳෙන් වෙන් කළා.)

අනික් පුරාවෘත්ත වලට අනුව, ටූනා-රෝආ කියන්නෙ ලොකු ආඳෙක්.

ඔය ආඳා හීනාට හිරිහැර කළා විතරක් නෙවෙයි, මෞඉගෙ ළමයි දෙන්නෙකුත් ගිළදැම්මා. ඉතිං මෞඉ ගෙ කේන්තිය තව තවත් වැඩි උනා.

මෞඉ දවස් ගානක් මහන්සිවෙලා ආඳා හැංගිලා හිටපු ගුහාව හොයාගත්තා. ඒක තිබුණෙ මෞඉගෙ පැල්පත අසලින් ගළා ගෙන ගිය ගඟේ.

මෞඉට තේරුනා ආඳට පහර දෙන්න නම් ඌ වතුරෙන් එළියට ගන්න ඕනෙ කියල. ඒ නිසා එයා කැළේට ගිහිං ගොඩක් පුද පූජා පවත්වලා, තෝරාගත්ත ගස් වලින් හදාගත්තා හීනි ඉස්කෝප්පයකුත්, හෙල්ල කීපයකුත්. ඒවයින් එයා ගඟේ ඉඳං පිටතට ඇළක් කැපුවා. ඒ ඇලෙන් වතුර බස්සවලා ආඳා හිටපු ගුහාවෙ වතුර හිස් කළා.

ඊට පස්සෙ මෞඉ හයිය ඇති දැළක් අර ඇළ හරහට බැන්දා. ඒක බැඳලා, එයා වැස්ස වස්සවන්න මන්තර මතුරමින් පූජා පැවැත්තුවා. ඒ එක්කම වැස්ස වැහැලා, ගඟ පිටාර යන්න පටං ගත්තා ආඳා හිටපු ගුහාව පිරිලා ආඳව ගහගෙන ඇවිත් දැලේ පැටළුනා.

ගල් පොර‍ොව අතට ගත්ත මෞඉ දුවගෙන ගිහිං ආඳට පහර දුන්නා මුල්ම පහරින් ආඳගෙ හිස වෙන් වුනා. තවත් පහර කීපයකින් ආඳා කෑලි කීපයකට කැපිලා වෙන් වුනා.

ආඳගෙ ඔළුවයි වලිගෙයි ගිහිං දැම්මා මුහුදට. ඒ ඔළුවෙන් මුහුදේ මාලු බිහි වුනා. වලිගෙන් තමයි විශාල මුහුදු ආඳා හැදුනේ. අනිත් කෑලි වලින් මුහුදේ ඉන්න භයංකර සත්තු බිහිවුනා. ගඟට වැටුනු කෑලි මිරිදිය ආඳුන් බට පත් වුනා. ආඳගෙ ඔළුවෙ කෙස් වලින් දියේ හැදෙන වැල් වර්ග බිහිවුනා. 

මෞඉ ටූනා හෙවත් මහා ආඳා මැරුවට පස්සෙ තමයි මිනිස්සු බය නැතුව ආඳ මාලු කන්න පටන් ගත්තයි කියන්නෙ.

තවත් නවසීලන්ත කතාවක තියෙනව මෙහෙම,

ආඳා එන පාර හරහට මෞඉ ලී කොටන් ගොඩක් ඇටෙව්වා. ඒ කරල එයා ඒ අසළ හැංගිලා ඉඳන් හීනාට ගඟට යන්න කිව්වා වෙනද වගේම. හීනා දැක්ක ගමන් ආඳා පීනගෙන ආවා ගං ඉවුරට. ඒ ගමන හීනා ආපහු අර ඇටවුම දිහාට ආවා. ආඳා ඇගේ පස්සෙන්ම ආවා. හීනාත් ඇටවුම පහු කරගෙන මෞඉ හැංගිලා හිටපු තැනටම ආවා. ආඳා ලී කොටන් උඩින් එද්දි කොට ටික ලිස්සලා ගියා. මෞඉ ගල් පොරවෛන් ගහලා ආඳා මරලා කෑලි කෑලි වලට කැපුවා. උගේ වලිගෙන් මහා මුහුදු ආඳා හැදුනා. සමහර කොටස් වලින් මිරිදිය ආඳුන් ඇති වුනා, ආඳගෙ ලේ බිංදු වැටුණු කුරුල්ලන්ගෙ අත්තටුවල රතු පාට පුල්ලි ඇඳුනා. ඒ ලේ වැටුණු ගස් වල දැව රතුපාට ගැහුනා.

සැමෝවා කතාවකට අනුව, (කෙටියෙන් කියන්නෙ) සීනා හෙවත් හීනා ඇති කරපු පොඩි ආඳෙක්, පස්සෙ දැවැන්ත ප්‍රමාණයක් වෙන්න වැඩිලා, හීනා ට හපනවා. එයා ආඳගෙන් බේරෙන්න දුවලා දුවලා ගිහිං අන්තිමේ එක ගමක නායකයෙක් ආඳව මරනව වස දාපු බීම බොන්න දීලා. මිය යන වෙලාවෙ ආඳා හීනා ගෙන් ඉල්ලනව එයාගෙ හිස ගෙනිහිං හීනා ගෙ පැල්පත ගාව වළලන්න කියල. ඒ හිස වළලපු තැනින් කවුරුවත් නොදන්න ගහක් පැළවෙනව. ඒ ගහේ ගෙඩියෙ ලෙල්ල ඉවත් කරපුවාම ඇස් තුනක් මතු වෙනව. ඒ විදිහට ආඳට නිතරම හීනා දිහා බලාගෙන ඉන්න පුළුවන් වෙනව. ඒ ගහ තමයි පොල් ගහ.

මෞඉ මරණය ජයගන්න ගිය හැටි

මෞඉගෙ තාත්තා දවසක් පුතාට කිව්වා, කවදාහරි මෞඉ පුරාණ මිත්තණියක් වන මරණයේ දෙවඟන හෙවත් හිනෙ-නුයි-ටෙ-පො විසින් යටත් කරන බව.

මෞඉ තාත්තගෙන් එයා ගැන වැඩි විස්තර ඇහුවා. අහසත් මුහුදත් එකතු වෙන දිහාවට  අත දික් කරල පෙන්නපු තාත්තා කිව්වා, මරණයේ දෙවඟන රතු ඇස් තියෙන, මනුෂ්‍ය ශරීරයක් තිබුණත් බැරකුඩා මාළුවෙක්ගෙ දත් තියෙන කෙනෙක් කියලා.

බැරකුඩා මාලුවෙකුගේ දත්
http://2.citynews-napolitoday.stgy.ovh/~media/original-hi
/1855141014877/barracuda-4-2.jpg

මෞඉ බයවුනේ නෑ. එයා තාත්තට කිව්වා, “මට පුළුවන් ලේසියෙන්ම හිනෙ-නුයි-ටෙ-පො පරද්දන්න. එතකොට කාටවත්ම මරණයට යටත් වෙන්න ඕනෙ වෙන්නෑ.“ කියල.

ඉතිං මෞඉ එයාගෙ යාළුවන් වුනු කුරුල්ලන් රාශියක් පිරිවරාගෙන පිටත්වුනා, තාත්තා පෙන්නපු දිහාවට.

මරණයේ දෙවඟන හිටපු තැනට ආවට පස්සෙ මෞඉ කුරුල්ලන්ට කිව්වා කිසිම සද්දයක් කරන්න එපා කියල. එහෙම කියල එයා දළඹුවෙක්ගෙ වෙස් අරගෙන හිනෙ-නුයි-ටෙ-පො ගෙ කකුලට ගොඩ වුනා. එයා කල්පනා කළේ දෙවඟනගෙ ගර්භාෂයට ඇතුල් වෙලා කටින් එළියට එන්න. 

මෞඉ දළඹුවෙක් වුනු හැටි දැකපු පිවකවාකා හෙවත් ෆෑන්ටේල් කුරුල්ලට හයියෙන් හිනා ගියා. ඒ සද්දෙට ඇහැරුණු මරණයේ දෙවඟන කකුල් දෙකට මැදිවෙලා හිටපු දළඹුවා පොඩි කරලා මැරුවා.

ෆෑන්ටේල් ද්‍රෝහියා :)
https://i.pinimg.com/736x/4f/ae
/db/4faedb759401345e8e94f6483b2c2aef--fantail-year-.jpg
පක්ෂපාතී පක්ෂියා

මෞඉගෙ හැම කුරුලු යාළුවෙක්ම ඒ වගේ ද්‍රෝහියෙක් නෙවෙයි. 

මේක කලින් කියපු කතාවක පොඩි කොටසක්. 

මෞඉ ඉර අල්ලපු හැටි අපි පළවෙනි කොටසෙදිම කියෙව්වා.  ඒ වැඩේදි මෞඉ එක්ක ගියා එයාගෙ සුරතලා වුනු ටිඑ්කේ හෙවත් සෑදල කුරුල්ලා (saddleback). 

මෞඉ ඉර පායන්න කලින් ටිඒකේට කිව්වා ගෙදර යන්න කියලා. මොකද ඉරේ රස්නෙට කුරුල්ලට අනතුරක් වෙයි කියලා. ඒත් ඌ තමන්ගෙ යාළුව දාල ගියේ නෑ. මෞඉ ඉර අල්ලගනිද්දි ඉරේ රස්නෙට ටිඒකේගෙ පිටේ පිහාටු ඔක්කොම පිච්චුනා. ඒ කැළල අද දක්වාම සෑදල කුරුල්ලන්ගෙ පිටේ තියෙනවා. 

මෞඉගෙ කෙස් උණු වේගෙන එද්දිත් කුරුල්ලා මෞඉ දාල ගියෙ නෑ. අන්තිමේ මෞඉ තමන්ගෙ පිච්චුණු අත් දෙකෙන් ටිඒකේ අල්ලලා ඈතට විසිකළා. එහෙම නොකරන්න කුරුල්ලා පිච්චිලා මැරෙන එක වළක්වන්න බෑ.

saddleback
https://www.birdoftheyear.org.nz/sites/birdoftheyear/files
/styles/bird_popup/public/saddleback.png?itok=UDfykqn-


මූලාශ්‍ර

http://www.sacred-texts.com/pac/maui/maui10.htm
http://www.deeknow.com/notes/maori/maui.html
http://www.tourism.net.nz/new-zealand/about-new-zealand/maui-and-tieke.html


Tuesday, December 19, 2017

මෞඉ ගෙ සරුංගලේ - පොලිනීසියානු ජනකතා අංක 3

මෞඉගෙ කතා ලියල ඉවරද? තව ලියනවද? ආදි වශයෙන් අපේ කන්තෝරුවේ සහ බ්ලොග් අවකාශයේ පාඨකයන්ගෙන් ආව ජීවිත තර්ජන නිසා තවත් කතාවක් ලියන්න තිබුණු කම්මැලිකම මැඩගන්න පුළුවන් වුනා.

මුලිම්ම කියන්න ඕනෙ, මං කලින් කොටස් වල මෞඉගෙ නම ලියපු විදියට වඩා මේ විදිය නියම උච්ඡාරණයට කිට්ටුයි. කෙනෙක්ට මේක කියන්න පුළුවන්, මව්වි කියල, මයන්න කියද්දි කට රවුම් කරල වි යන්න කියද්දි ව ශබ්දය යන්තම් පිට කිරීමෙන්.

මඕරි ජනශ්‍රැතිය අනුව මෞඉට කුරුල්ලෙකුගේ වෙස් ගන්න පුළුවන් කම තිබුණා. එයා අත්තටු වල උදව්වෙන් ගින්දර හොයාගත්ත හැටි අපි කලින් කියෙව්වා.

හවායි ජනකතාවක තියෙන හැටියට, මෞඉ තමන්ගෙ පියාඹන අත්දැකීම් එක්කම තමන්ගෙ නිර්මාණශීලීත්වය හැරෙව්වා සරුංගලයක් හදන්න. එයා අත්හදා බැලීම් ගණනාවකට පස්සෙ විශාල සරුංගලයක් හැදුවා. ඒක කොච්චර ලොකුයිද කිව්වොත්, එයාගෙ කාලෙ දකින්න තිබුණු ලොකුම ගෙදරටත් වඩා විශාල වුණා.

https://i.stack.imgur.com/2d0nV.png
ඒ සරුංගලය උඩ අරින්න එයා ගොඩාක් දිග යොතක් ඇඹරුවා, ඔලෝනා ගස්වල කෙඳි වලින්. සරුංගලයටයි, යොතටයි මෞඉ එයාගෙ මායා බලය ආරෝපණය කළා. ඒත් උඩඅරිද්දි ඒ සරුංගලේ නැගුනෙ හරිම හෙමින්. සුළඟ ඒක උඩට අරං යන්න එච්චර කැමැත්තක් දැක්වුවේ නැති බව පෙනුණා.

හවායි දූපතේ තිබුණු විශාලතම මිටියාවත වුණු, වායිපියෝ වල ජීවත් වුණු පූජකවරයෙක් මෞඉට මතක් වුනා. ඒ පූජකයගෙ නම කලෙයියොකු (Kaleiioku). එයා ළඟ තිබුණා ඉපු-මකනිය ක මෞමෞ නම් ලබු කැටයක්. ඒ නමේ තේරුම තමයි “සදාතනික සුළඟේ ලබු කැටය“. ඒ ලබු කැටය තුළ කලෙයියොකු සුළඟ හිර කරගෙන හිටියෙ. එයාට හිතුණොත් විතරක් එයා සුළඟ ලබු කැටයෙන් නිදහස් කරනව. ආපහු එයාට හිතුණහම සුළඟ ලබු කැටය තුළ හිරකරගන්නව.

මෞඉ කලෙයියොකු ට කතා කරලා; ලබුකැටය ඇරලා, සුළඟ නිදහස් කරලා, හීලෝ වලට එවලා එතනින් වයිලුකු ගඟ දිගේ එවන්න කියල කිව්වා. එයා සරුංගලය උඩ යවලා, යොත අල්ලගෙන හිටියෙ ඒ ගඟේ ඉවුරෙ. සුළඟ ටිකෙන් ටික හමාගෙන එද්දි, මෞඉ තමන්ගෙ දෙපය බිමට තෙරපාගෙන වැර ගත්ත තැන තවමත් එයාගෙ පා සටහන් තියෙනව කියල ස්වදේශිකයො කියනව.

සරුංගලය උඩ යන්න යන්නම, මෞඉ සිංදුවකින් කෑගහල කියන්න ගත්තා, වයිපියෝ නිම්නයට ඇහෙන්න.

“ සුළඟේ, වයිපියෝ සුළඟේ,
කලෙයියොකුගේ ලබු කැටේ ඉන්නා
ලබුකැටෙන් නිදහස් වී එන්න
සුළගේ, හීලෝ හි සුළඟේ,
ඉක්මණින්, ශක්තිමත් වෙමින් එන්න “

කලෙයියොකු පූජකයා ලබුකැටේ මූඩිය විවර කරළා ඒ ඇතුළෙ තිබුණු හීලෝ හි බලවත් සුළඟ මුදා හැරියා. ඒ සුළඟ මුහුදු වෙරළ දිගේ හමාගෙන ඇවිත් හීලෝ බොක්කට එද්දි, එයාලට මෞඉගෙ කටහඬ ඇහුණා.

“සුළගේ, හීලෝ හි සුළඟේ,
මා වෙතට ඉක්මණින් එන්න“

විශාල කළබලේකින් හමාගෙන ආපු සුළඟ කඳුකරය පැත්තට හැරුණා. වයිලුකු ගඟේ දුර්ග සහ උස් ඉවුරු අතරින් තෙරපිලා ගිය සුළඟ, එතනින් උඩට නැග්ගා, ඒ සුළං පාරට මෞඉ උඩ ඇරපු දැවැන්ත සරුංගලේ අහුවුනා. සරුංගලේ නොසෑහෙන වේගයකින් උඩට ඇදිලා යද්දි මෞඉ සතුටින් උඩපැන්නා. එයාට යොත අල්ලගෙන ඉන්න සෑහෙන මහන්සියක් වෙන්න සිද්ධ වුනා. ඒත් එයා සතුටින් ආයෙත් කෑගැහුවා,

“සුළගේ, හීලෝ හි සුළඟේ,
හනික කඳුකරේට එන්න“

මුහුදේ තමන්ගෙ අණසක පතුරුවාගෙන හිටපු දැවැන්ත සුළං රැළි ඔක්කොම ගොඩබිමට හැරුණා. සුළඟ මෞඉගේ ඇඟේ වදිමින් උඩට නැංගා.

සරුංගලය හදල තිබුණෙ මෞඉගෙ අම්මා හදපු ශක්තිමත්ම කපා රෙදි වලින්. ඒක ඉරුණෙ නෑ. ඒත් උපරිමයටම බොකු ගැහුණා සුළඟෙ වේගයට. මෞඉ අඹරපු යොතත් ඒකට ඇදෙන්න පුළුවන් උපරිමයට ඇදුනා. ඒත් සතුටින් මත් වෙලා හිටපු මෞඉ කෑගැසීම නැවැත්තුවෙ නෑ. අන්තිමේ සරුංගලේ යොත කැඩිලා, ඒක ගහගෙන ගියා දූපතේ ගිණිකඳු තියෙන පැත්තට.

මෞංට කේන්ති ගියා. එයා කඳුවලට උඩින් පැන පැන දුවන්න ගත්තා සරුංගලය පස්සෙන්. ඒ කන්දක් අඩි දාහතරදාහකට වඩා පළලයි. පිමි හයකින් විතර පස්සෙ මෞඉ හිටියෙ ගෙදරින් මයිල හැටක් විතර ඈත, සරුංගලය බිමට පාත් වුණු තැන. මෞඉට වේගයෙන් දුවන්න පුළුවන්කම තිබුණා. එයාට කිව්වෙ මෞඉ-මාමා (වේගවත් මෞඉ) කියලයි.

ආපහු ගෙදර ආවට පස්සෙ මෞඉ පරිස්සම් වුනා ඊළඟට සරුංගල් යවන්න සුළඟට ආරාධනා කරද්දි. හවායි වැසියො එයාගෙ වීරකම දැකලා ඒකෙන් යමක් ඉගෙන ගත්තා. සරුංගලයක් උඩ යවන්න සුදුසු වුනේ වියළි කාලගුණයක් සහිත දවසක්. ඉතින් ඒකෙ අනිත්පැත්ත තමයි, සරුංගලයක් උඩ යවල තියෙනවනම් ඒ කියන්නෙ, වැස්සෙන් කරදරයක් නැතුව කපා රෙදි වේලගන්නයි අනික් එළිමහන් වැඩ කරගන්නයි ඕනෙතරම් කාල වේලාව තියෙනව කියන එක. ඉතින් කඳුකරයෙ සරුංගලයක් උඩ පාවෙනව දැක්කොත් ඒඅය කියන්න පුරුදු වෙලා හිටිය, “අන්න මෞඉ සරුංගලයක් යවල“ කියල. ඒ අය විශ්වාස කරනව ඒක උඩ යවල මෞඉ ඒකෙ යොත වයිලුකු ගඟේ ඉවුරෙ තියෙන ගලක ගැටගහල තියෙනව කියල.

සරුංගලෙයි සුළඟෙයි ශක්තියෙන් මෞඉ වැඩක් ගන්න හිතුවා. එයා ඒක එයාගෙ කඳන් දෙකේ ඔරුවට ගැට ගැහුවා. හරි පැත්තට සුළඟ තියෙනවනම්, ඒ ඔරුව ගොඩක් වේගයෙන් ගමන් කළා. ඉතාම ඉක්මණට මෞඉට යන්න ඕනෙ තැනට යන්න පුළුවන් වුනා.

මෞඉ මියගියාට පස්සෙ, (ඒක වෙන දවසක කියන්න වෙන්නෙ.) එයා හවායි දූපත්, නවසීලන්ත දූපත් එහෙම මුහුදෙන් උඩට ඇදල ගත්ත බිලීකොක්ක වයිලුකු ගං ඉවුරෙ ලාවා අතරෙ තැන්පත් වෙලා ගල් ගැහුණු පාෂාණයේම කොටසක් බවට පත් වුනා. ගඟේ ඉහළ තියෙන වා-කෞහි කියා නම් කරපු දිග ගල් දෙකක් මෞඉගෙ කඳන් දෙකේ ඔරුව කියල විශ්වාස කරනව. කඳුකරයෙ මෞනා කියා සහ මෞනා ලොආ අතර තියෙන පැතළි බිම්කඩ, අහසින් බිමට වැටුණු මෞඉගෙ සරුංගලය කියා විශ්වාස කරනවා.

තවත් කතාවක් බලාපොරොත්තු වන්න.

කලින් ලියපු මෞඉගෙ කතා මේං:

Friday, November 3, 2017

මෞයි ගැන කතා - පොලිනීසියානු ජනකතා - දෙවැනි කොටස


මෞයි අහස උඩට ඉස්සූ හැටි

http://78.media.tumblr.com/2f955239197f9f2648a3fa5ed4394491/tumblr_inline_on4vp3QONj1r8a94o_500.gif
හවායි දූපත් වල තියෙන පුරාවෘත්තයෙ හැටියට ඉස්සර කාලෙ අහස තිබුණෙ පොළොවට හොඳටම ළඟින්. පැළෑටි වැවෙන්න පටං ගනිද්දි, අහසෙ බරට එව්වයෙ කොළ පැතළි වුනා. දැනටත් ගස්වල කොළ පැතළිවට පළල්වට පිහිටල තියෙන්නෙ ඒ නිසයි.

පැළෑටි ටිකෙන් ටික වැවෙද්දි, අඟිලින් අඟල අහස උඩට ඉස්සුනා. එහෙම ලැබුණු පොඩි අවකාශයෙ මිනිස්සුන්ට බඩගාගෙන තැනින් තැනට යන්න පුළුවන් උනා.

ඔහොම ගොඩක් කල් ගියාට පස්සෙ දවසක් මෞයි ඇවිත් ගෑණු කෙනෙකුට කිව්ව, “මට ඔයාගෙ ලබු කැටෙන් බොන්න වතුර ටිකක් දෙන්ඩ. මං අහස උඩට උස්සන්නං“ කියල. අර ගෑණු කෙනා එයාගෙ ලබු කැටේ මෞයිට දුන්න. එයා ලොකු උගුරක් බීලා, අහසට පිට තියලා ගස්වල මට්ටමට විතර යනකං ඉස්සුවා. ඊට පස්සෙ එයා අත් දෙක උස්සලා අහස අල්ලගෙන කඳු මුදුනට යනකං නැග්ගා. කන්ද මුදුනෙදි එයා ගොඩක් වීරිය අරං, අහස පුළුවන් තරම් උඩට තද කරලා දැන් අහස තියෙන මට්ටමේ රැඳෙව්වා.

මේ කටයුත්ත බලං හිටපු මනුස්සයෙක් අමාරු වැඩක් කරන්න මෞයි මහන්සි වෙන එක ගැන විහිළු කළා. මෞයි අහස ඉහළ රඳවලා ඉවර වුනාට පස්සෙ අර මනුස්සයා හොයාගෙන ආව, දඬුවම් කරන්න. ඒත් ඒ මනුස්සයා පැනල දිව්වා, දූපතේ අනිප්පැත්තට. මෞයිත් අත් අරින්නැතුවම පස්සෙං පන්නගෙන ගිහිං, අන්තිමේ මුහුදු වෙරළෙදි අල්ලගත්තා. (දැන් හවායි දූපත් වල මෞයි දූපතේ පිහිටා තියෙන ලහායිනා නගරයට කිට්ටු වෙරළෙදි තමයි අල්ලගත්තෙ) එතනදි මෞයි මායා බලයෙන් අර මනුස්සයා කළුපාට ගළක් බවට පත් කළා. ඒ හිරය දැන් හඳුන්වනව Black rock beach කියල.

මනිහිකි දූපත් වල තියෙන කතාවට අනුව, මෞයි එයාගෙ තාත්තා රූ එක්ක එකතු වෙලා අහස උඩට ඉස්සුවා. රූ දකුණු පැත්තෙනුයි, මෞයි උතුරු පැත්තෙනුයි උස්සල, අහස උඩ රැඳෙව්වට, දෙන්නගෙ උත්සාහය සමාන උනේ නැති නිසා අහස රැළි ගැහුන. ඒ ගමන දෙන්නම ලොකු ගල් ආයුධ වලින් (adze කියල කියන මේ ආයුධේ වෑයක් වගේ. හැබැයි තනි අතින් පාවිච්චි කරන්නෙ. ඉතිං අත් පොරොව කියනව වගේ මේකට අත් වෑය කියන්න පුළුවං.) රැහැළ රැහැළ, ඊටපස්සෙ පොඩි ආයුධ වලිං සුමට කරල, පොළොවට ඉහළින් අරුක්කුව වගේ හිටින්න අහස හැඩ ගැස්සුවා.

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjqkZRNAnY-OT5-5ZCDURHtP925twpYk4bFqdq2zbrzZ2yksSs0o6Xn7_7FEEd8Xz-ntXJ3PxPb7KEv2IZbZO0i0uR31ayfjoWCs-AGAAReVJ1hcHR-q56I_LXlA00XkLiG635Z0QFXqqQ/s1600/adze.jpg
කැනඩාවෙ ඇල්බර්ටා වල පීස් ගංගා කෞතුකාගාරයෙ (Peace river museum)
ප්‍රදර්ශනය කරන අත් වෑයක්

මෞයි ගින්දර හොයාගත්ත හැටි

දවසක් මෞයි ඔරුවෙ නැගල මාලු අල්ලන්න ගියා එයාගෙ සහෝදරයො තුන් දෙනා එක්ක. මුහුදෙ ඈතට ගිහිං මාලු අල්ලද්දි මෞයි ආපහු ගොඩබිම දිහා බැලුව. එතකොට එයා දැක්ක කඳු මුදුනෙ ගින්නක් තියෙනව. එයා අයියලට කිව්ව අපි අල්ලපු මාලු ටික උයාගෙන කමු කියල. එහෙම තීරණය කරල කට්ටිය ඔරුව ආපහු ගොඩබිමට ගෙනිච්ච.

ඔරුවෙන් බැහැපු සහෝදරයො හතර දෙනා අර ගින්න දැකපු තැන හොයාගෙන කන්ද නැගගෙන උඩට ගියා ඒ යද්දි ඒ අය දැක්ක, මඩ කිකිලියො (mud hen) පවුලක් එකතු වෙලා දරකෝටු පහුරු ගානව. ඒ පහුරු ගාන තැන් වලින් ගින්දර ඇවිලෙනව. මෞයි ගෙ කට්ටිය දැකපු අර කුරුල්ලො ටික ගින්න නිවල ඉගිල්ලිලා ගියා. මෞයි යි අයියලයි කොච්චර උතසාහ කළත් අර කුරුල්ලො වගේ ගින්දර අවුලගන්න බැරි උනා.

https://bloximages.chicago2.vip.townnews.com/thegardenisland.com/
content/tncms/assets/v3/editorial/f/36/f36c9c3d-f5ed-5382-b57a-7c9a8486e606
/4d479daf26189.image.jpg?resize=593%2C619
Mud Hen කුරුල්ලෙක්
ඉතිං ඒ අය අනික් දවසක ඇවිත් ඒ අවට හැංගිලා හිටියා. අර මඩ කිකිලියො ටික ඇවිත් කන්ද මුදුනෙ ඉඳල මුහුද දිහා බලල, “අර ගොල්ලො මුහුදු ගිහිං නෑ. අපි ගින්දර අවුලන හැටි බලන්න එයි. ඒ නිසා ගින්දර අවුලන්නැතුව ඉමු“ කියල තීරණය කළා.

ඔහොම ටික දවසක් ගියා. මෞයි අයියලත් එක්ක මුහුදු ගිය දවසට කන්ද මුදුනෙ ගින්න ඇවිලෙනව. ගොඩබිම ඉන්න දවසට ගින්න නෑ.

දවසක් මෞයි කිව්ව, අයියලට “ඔයාල මුහුදු යන්න. මං හැංගිලා බලාගන්නම් මඩ කිකිලියො ගින්දර හදන හැටි“ කියල. එහෙම කියල එයා කන්ද මුදුනට ගිහිං හැංගුනා.

එදා කිකිලියො ටික ඇවිත් මුහුද දිහා බලල, ඔරුවෙ ඉන්න කට්ටිය ගැන්න. ගැනල, “ඔරුවෙ තුන් දෙනයි ඉන්නෙ. අනිකා ගොඩබිම හැංගිල ඇති“ කියල ඉගිල්ලිල ගියා.

පස්සෙ මෞයි කරපු දේ, අනික් දවසක කපා රෙද්දක් (හවායි ස්වදේශිකයො වියන රෙදි විශේෂයක්) රෝල් කරල මනුස්සයෙක් වගේ පේන්න ඔරුවෙ රැඳෙව්වා. ඒ කරල අයියලට ඔරුව මුහුදට ගෙනියන්න කියල එයා කන්ද මුදුනෙ හැංගුනා.

එදත් මඩ කිකිලියො ටික කන්ද මුදුනට ඇවිත්. ඔරුවෙ ඉන්න අය ගැන්න. එදා හතරයි. ඉතිං ඒ අය ගින්න අවුලන්න දර එකතු කරන්න පටංගත්ත. හැංගිලා හිටිය මෞයි දැක්ක එතන ඉන්න වයසකම කිකිලි ඒ දර වලින් එක්තරා කෝටු ජාතියක් වෙන් කරල ගන්නව. එයා පැනපු ගමං අර කිරිල්ලි අල්ලගත්ත. කොච්චර තදිං ඇල්ලුවද කියනවනං, මඩ කිකිලි හිතුව ඌ මරන්න හදනව කියල. ඌ කිව්ව “මාව මැරුවොත් ගින්දර අවුලන රහසත් මාත් එක්කම නැති වෙලා යයි“ කියල.

මෞයි පොරොන්දු උනා එයාට ගින්දර හදන හැටි කියාදුන්නොත් මරන්නැතුව අත්අරිනවය කියල.

ඒගමන මඩ කිකිලි කිව්ව, දියාලු ගස්වල අතු (දිය කූඬළු වගේ) එකට අතුල්ලන්න කියල. මෞයි මඩ කිකිලිව කූඩුවකට දාල, දියාලු ගස් අතු දෙකක් එකට ඇතිල්ලුව. ඒක අතුල්ලන්න අතුල්ලන්න වතුර මිසක් ගින්දර නං ආවෙ නෑ. ඒ ගමන මෞයි මඩ කිකිලිව අල්ලගෙන බෙල්ල මිරිකුව.

මඩ කිකිලි කෑ ගැහුව “නෑ නෑ... දියාලු ගස් නෙවෙයි, වතුරෙ හැදෙන තණගස් ගැන කිව්වෙ“ කියල. ඒ ගමන මෞයි එව්ව අරං අතුල්ලන්න ගත්ත. තණ ගස් නැමිල කැඩිලගියා. ඒ ගමන මෞයි ආපහු සැරයක් අර මඩ කිකිලිගෙ බෙල්ල අඹරවන්ඩ ගත්ත.

මඩ කිකිලි කෙඳිරි ගාල කිව්ව, “මං ගින්දර හැංගුවා කොළපාට දඬුවල“ කියල. මෞයි ඒකට අනුව අමු කෝටු අරං තද කරල අතුල්ලන්ඩ ගත්ත. ඒත් මොනවත් උනේ නෑ. මීළඟ පාර මෞයි මඩ කිකිලි ගෙ බෙල්ල කරකවද්දි ඒ කිරිල්ලි වේලිච්ච කෝටු වගයක් නම් කළා.

ඔය විදිහට මෞයි ගස් වර්ග ගණනාවක් පහු කළා. මඩ කිකිලිගෙ පණත් යන්න ඔන්න මෙන්න තත්ත්වෙට පත්වුනා. අන්තිමේ මෞයි හරි කෝටු වර්ගය හොයාගෙන, ගින්දර අවුලගත්තා.

“තව එක දෙයක් තියෙනව අතුල්ලන්න“ කියපු මෞයි ගිනි ඇවිලුනු කෝටුවක් අරං අර මඩ කිකිලිගෙ ඔලුවෙ ඇතිල්ලුව. ඒකෙන් කිරිල්ලිගෙ නළලෙ පිහාටු ඔක්කොම හැලිලා, තද රතුපාට උනා.

තවත් පොලිනීසියන් කතාවකට අනුව, මෞයි හවසක කෑම හෙම කාල ඇලවෙලා ගිණි මැලේ දිහා බලං ඉන්න ගමන් හිතුන, කොහොමද ගින්දර ඇතිවෙන්නෙ කියල හොයාගන්න ඕනෙ කියල. ඒ කාලෙ මිනිස්සු ගින්දර අවුලන්න දන්නෙ නෑ. අකුණකිං හරි ලැව්ගින්නකින් හරි ඇවිලුණු ගින්නකින් පෙනෙල්ලක් අවුලගෙන, ඒකෙන් ගිණිමැලයක් හදාගෙන, ඒ ගින්න නිවන්නැතුව දිගටම තියාගන්න එකයි ඒ දවස් වල මිනිස්සු කළේ. මෞයිගෙ සිතුවිල්ල කොච්චර දුර ගියාද කිව්වොත්, එයා එදා රෑ මුලු දූපතේම තිබ්බ ගිනිගොඩවල් නිමල දැම්ම. පහුවදා ඇහැරපු ගම්මු, හරිම ගැටළුවකට මුහුණ පෑව. පස්සෙ ඔක්කොම ගිහිං ඒ අයගෙ රංගටිරා හෙවත් මහළු උපදේශක වරිය වුනු ටරන්ගා ගෙන් ඇහුවා මොකද කරන්නෙ කියල. ටරන්ගා කිව්වා, “මෞහිකා දෙවඟනගෙන් ගින්දර ඉල්ලගෙන එන්ඩ කාව හරි යවන්න වෙනව“ කියල.

මෞයි ගෙ ආදී මිත්තණියක් වුනු මෞහිකා හිටියෙ ලෝකෙ කෙළවරේ තිබුණු, ගින්දර පිරුණු කන්දක් ඇතුළෙ. ඉතිං කවුරුවත් එහෙ යන්න ඉදිරිපත් වුනේ නෑ. ඒකෙන් මෞයිට එහෙ යන්න අවස්ථාව ලැබුණා. එයා අම්ම කියාදීපු විදිහට ගින්දර කන්ද හොයාගෙන ගියා. ඒ කන්ද උෂ්ණෙට රතුපාටින් දිළිසෙනව. ඒ කන්දෙ පාමුළ තිබුණු විවරයකින් මෞයි ඇතුළට ගියා. යනකොටම මෞහිකා මතුවුනා. එයාගෙ ඇඟේ හැම තැනක්ම ගිණිගන්නව. කෙස් වෙනුවට ඔළුවෙ තිබුණෙ එකම ගිණි ගොඩක්. ඇස් වෙනුවට තිබුණෙ කළුපාට විවර දෙකක්. එයා ඉව කරල බැලුව.

“මම මෞයි-ටිකිටිකි-අ-ටරන්ගා. “ කිව්වම මෞහිකා තමංගෙ මී මුණුපුරා අඳුනගත්තා. එයාගෙ ඉල්ලීමට කන්දීලා ගිනි දෙවඟන එයාගෙ එක නියපොත්තක් ගළවල මෞයිට දුන්න අරං යන්න, ඒකෙන් ගින්දර අවුලගන්න කියල.

ඒත් මෞයි ට ඕනෙ උනේ ගින්දර ඇතිකරන්නෙ කොහොමද කියල ඉගෙන ගන්න. ඉතිං මගක් දුරට ඇවිත් එයා අර නියපොත්ත විසි කළා. විසිකරල, ආපහු ගියා මෞහිකා ගාවට. ගිහිං කිව්ව, අර නියපොත්ත වතුරට වැටුණ කියල. ඒ ගමන දෙවඟන තව නියපොත්තක් ගළවල දුන්න.

ඔය විදිහට නියපොතු දහ නමයක්ම ඉවර උනාට පස්සෙ මෞහිකාට කේන්ති ගියා. එයා මෞයි ගින්දරෙං වටකළා. මෞයි උකුස්සෙක්ගෙ වෙස් අරගෙන අහසට නැගුනා. ඒත් ගින්දර කොච්චර ඉහළට නැගුනද කිව්වොත්, උකුස්සගෙ පියාපත්වල යටපැත්ත ගින්දර සැරට රතුපාට උනා.

ඒ ගමන මෞයි වතුරට පැන්නා. ඒත් ටික වෙලාවකින්ම වතුර උණු වෙලා නටන්න ගත්තා.

ඊට පස්සෙ එයා තමංගෙ තවත් ආදී මීමුත්තෙක් වුනු ටාව්හිරිමාටියා හෙවත් වැස්ස දෙවියන්ගෙ උදව් ඉල්ලුවා. ටික වෙලාවකින්ම ලොකු වැහි වළාකුළු ඇවිත් අහස වැහුණා. වැස්ස වහින්න ගත්තා. ගින්දර අඩුවෙලා මෞහිකාගෙ කන්දෙ රතුපාට නැති වෙලා ගියා.

ඒත් එයාට කේන්තියි. එයා අන්තිම නියපොත්ත ගළවල අරං මෞයිට දමල ගැහුව. ඒක ඉළක්කෙ වැරදිලා ගිහිං මහෝ (Mahoe), ටෝටරා (Tōtara), පටෙටෙ (Patete), පුකටෙ (Pukatea) සහ කයිකෝමකො (Kaikōmako) ගස් අතරට වැටුණා. මෞහිකාගෙ ගින්දර දිව්‍යමය තෑග්ගක් විදිහට බාරගත්ත ඒ ගස්, ගින්දර ආරක්ෂා කරගත්තා.

මෞයි ආපහු ගමට ගියෙ ගින්දර අරගෙන නෙවෙයි. එයා ගෙනිච්චෙ වේලිච්ච කයිකෝමකො ලී කෑලි ටිකක් විතරයි. ඒව එකට අතුල්ලල ගින්දර මතුකරගන්න හැටි මෞයි මිනිස්සුන්ට කියාදුන්න.




ගින්දර අවුලගන්නෙ කොහොමද කියන එක මිනිස්සුන්ට හොයල දෙන්න මෞයි තමංගෙ ජීවිතය අනතුරේ දාගත්තෙ එහෙමයි. දැනටත් හවායි දූපත් අසළ ජීවත් වෙන උකුස්සන්ගෙ පියාපත් වල යට පැත්ත රතුපාටයි. මෞයි ගෙ ඒ ත්‍රාසජනක වික්‍රමය නිසා.

මෞයි ගෙ තවත් ත්‍රාසජනක කතා ටිකක් මීළඟ කොටසින් ලියන්නම්. (මේක ඉවරයක් නැති වැඩක් වගේ)

මූලාශ්‍ර
http://www.sacred-texts.com/pac/maui/maui06.htm
www.sacred-texts.com/pac/maui/maui08.htm
http://eng.mataurangamaori.tki.org.nz/Support-materials/Te-Reo-Maori/Maori-Myths-Legends-and-Contemporary-Stories/How-Maui-brought-fire-to-the-world

Saturday, October 21, 2017

මෞයි ගැන කතා - පොලිනීසියානු / මඕරි ජනකතා

මෞයි කියන්නෙ, පොලිනීසියානු ආදීතම ගවේෂකයෙක් හෝ ගවේෂකයන් කණ්ඩායමක් හෝ එහෙමත් නැත්නම් කලින් කලට බිහිවුණු ගවේෂකයන් ගැන පුරාවෘත්ත එකතු වෙලා හැදුණු චරිතයක් කියල හිතන්න පුළුවන්. මෙයා මොආනා චිත්‍රපටියෙ ඩ්වේන් (ද රොක්) ජොන්සන් ගෙ හඬකැවීම සමඟින් පෙනීහිටිනව. ඒකෙ පින්තූරයක් තමයි පහළ තියෙන්නෙ.

https://jonnegroni.com/wp-content/uploads/2017/02/772619.jpg?w=798
අද මං කියන්න යන්නෙ මෙන්න මෙතනිං මෞයි ගැන කියවන්න ලැබුණු කතා ටිකක්.

මෞයි ගෙ උපත

මෞයි එයාගෙ දෙමාපියන් වුනු මකෙයටුටාරා සහ ටරන්ගා ට ලැබුණු පස්වෙනි දරුවා. එයා උපදිනකොට ගොඩක්ම අවවර්ධිත දරුවෙක්. ඒකියන්නෙ අඩු මාසෙන් උපන් දරුවෙක්. එයා ජීවත් කරවන්න පුළුවන් වෙයි කියල කවුරුවත් හිතුවෙ නෑ. ඒ නිසා එයාගෙ අම්මා, ටරන්ගා තමන්ගෙ කෙස්ගස් කීපයකින් මේ දරුවව ගැටගහල, මුහුදට දැම්ම.

https://img00.deviantart.net/1cb0/i/2017/100/a/9/
tattoo_maui_adobe_animate_moana_cosplay_by_
pikkolapungu-db5b5pl.jpg

මේ සිදුවීම නිසා තමයි මෞයි ගෙ සම්පූර්ණ නම වන මෞයි-ටිකිටිකි-අ-ටරන්ගා (මෞයි-ටරන්ගාගෙ මුදුනෙ ගැටය) කියන නම එයාට ලැබුණෙ. මැරන්න තිබුණා උනත්, මෞයි මැරුණෙ නෑ. මුහුදේ දෙවිවරු එයාව මුහුදු පැළෑටි වලින් එතුවා. රංගි හෙවත් අහසේ දෙවියන් මෞයි ගෙ ළදරුවිය ගතවනතුරු බලා හදා ගත්ත. ඒ විදිහට මෞයි අර්ධ දෙවියෙක් වුනා.

වැඩුණු ළමයෙක් විදිහට මෞයි ආපහු එයාගෙ පවුල වෙත ආව. එයා දැකපු අම්මා හොඳටම කලබල වුනා. මෞයි ගෙ මායාකාරී දක්ෂකම්, ඒ කියන්නෙ එයාට පුළුවන් කම තිබුණා එක එක වෙනස් ස්වරූප වලට හැරෙන්න, ඒවා දැකපු පවුලෙ අය පුදුම වුනා. 

සහෝදරයො ටික මෞයි පිළිගන්න කැමති උනේ නෑ. ඒත් එතන හිටපු වැඩිමල්ම කෙනා කිව්වා, “මිත්‍රශීලී වාතාවරණයකදි අපේ ආරවුල් මිත්‍රශීලීව විසඳගත යුතුයි. සටනකදි අපේ තුවාල වලට පිළියම් යොදන්න වෙන්නෙ භීෂණයෙන්ම තමයි. මේක අපේ යහපතට හේතු වෙනව. අපි කෑම හොයන්න ඕනෙ අනික් අයටත් කවන්නයි. අපි දේපළ රැස්කරන්න ඕනෙ අනික් අයටත් දෙන්නයි. ඒ විදිහට කිරීමෙන් අපි අනික් අයගෙ යහපත සළසනවා.“

හිරු ඇල්ලීම

මෞයි ට දෙමාපියන්ගෙන් ලැබුණු සැළකිලි නිසා එයාගෙ අනික් සහෝදරයන් හතර දෙනා එච්චර හිත හොඳකින් නෙවෙයි හිටියෙ. ඒත් මෞයි ඒ අය පොළඹවාගත්ත තමුන් ට උදව් කරන්න එක වීරකමක් කරන්න. ඒ වීරකම තමයි, ටමනුයිටෙරා හෙවත් හිරු, අහස හරහා යන වේගය අඩු කරල, දිවාකාලය දික් කරගන්න එක. එතකොට සහෝදරයන්ට තමංගෙ දිනපතා කෑම හොයාගන්න ප්‍රමාණවත් කාලයක් ලැබෙනව.

මෞයි ඉස්සෙල්ලම එයාට දෙවිවරු කියාදීපු ශිල්පයක් වන, හණ ලණු ඇඹරීම අයියලට කියා දුන්න. ඒ අය දවස් පහක් තිස්සෙ දැවැන්ත ලණු තොගයක් ගෙතුවා.

ඊට පස්සෙ සහෝදරයො පස්දෙනා ගියා හිරු නැගෙන තැන හොයාගෙන. පොළොවෙ කෙළවරක තිබුණු වළකින් තමයි හිරු උදෙම්ම එළියට එන්නෙ.(පොලිනීසියානු විශ්වාසය)  එතන වලෙ වටේ කූඩාරම් හදාගත්ත සහෝදරයො පස්දෙනා, වතුර ඉහළ මැටි අනල පොඩි තාප්පයකුත් හදාගත්ත කූඩාරම් හිරු රස්නෙන් බේරගන්න. ඊට පස්සෙ ගෙනියපු හණ ලනු වලිං තොන්ඩුවක් හදල වල කට මැදට වෙන්න අටවලා තිබ්බ. ඉරගෙ ඔලුවයි උරිස් දෙකයි තොණ්ඩුවෙන් උඩට ආව ගමං මෞයි සංඥා කළා අයියලට, ලණුව අදින්න කියල. වළ ගාව රැකල හිටපු මෞයිගෙ සහෝදරයො හතර දෙනා හිරුට යන්න නොදී රඳවගත්ත. මෞයි අතේ තිබුණ, එයාගෙ ආච්චිගෙ හණු ඇටය. ඒක තමයි එයා ආයුධයක් විදිහට පාවිච්ච කළේ. ඒකෙන් එයා හිරු ට හොඳටම පහර දුන්න. මෞයිගෙ කෙළවරක් නැති බැට දීම් වලින් හොඳටම දුර්වල වුණු හිරු මෞයිට පොරොන්දු වුනා එතැන් පටන් අහස දිගේ කලින්ට වඩා හෙමින් යන්න. කොහොමත්, ඒ කාපු පාරවල් වල හැටියට එයාට යන්න පුළුවන් වුනේ බඩගාගෙන තමයි කියලයි කියන්නෙ.

https://img00.deviantart.net/1cb0/i/2017/100/a/9/
tattoo_maui_adobe_animate_moana_cosplay_by_
pikkolapungu-db5b5pl.jpg

මෞයි ගෙ මාලු ඇල්ලීම

මෞයි හරිම දක්ෂයි මාලු අල්ලන්න. එයා හැමදාම ඔරුව පිරෙන්න මාලු අල්ලනව. ඒත් එයාගෙ සහෝදරයන්ට ඒ අයගෙ පවුල් වල කෑමට ඇතිවෙන්න වත් මාලු අල්ලන්න පුළුවන් වුනේ නෑ. ඒනිසා ඒ අය මෞයිව මගහැරල මාලු බාන්න යන්න පිටත් වෙන්න උත්සාහ කළා.

ඒත් නෑනල ටික මෞයිට කිව්වා ඒ අයට ඇති වෙන්න මාලු ලැබෙන් නැති බව. ඉතිං දවසක් මෞයි පොරොන්දු වුනා “ඔයාලට නරක් වෙනකල්වත් කාල ඉවර කරන්න බැරි තරම් ලොකු මාලු තොගයක් මං අල්ලල දෙන්නං“ කියල. එහෙම කියල එයා අර කියපු හණූ ඇටයෙ පතුරක් තුඩට හිටින්න බිලී කොක්කක් හදාගත්ත. ඒකත් අර එයා සහෝදරයන්ගෙ ඔරුවෙ පතුලෙ දාල තියෙන පැදුරු යට හැංගුනා.

ඉතිං වෙනද වගේම සහෝදරයව මගඇරල අයියල ටික ඔරුව දියත් කළා. දියඹට ගියාට පස්සෙ තමයි දන්නෙ මල්ලිත් ඔරුවෙම ඉන්නව කියල.  ඒත් දැං කරන්න දෙයක් නෑනෙ හිස් අතිං ආපහු වෙරළට යන්න බෑ. අයියල ටික ගොඩක් මහන්සි වෙලා මාලු ටිකක් අල්ලගත්තට පස්සෙ මෞයි යෝජනා කළා ගොඩබිම පේන්නැති තරම් ඈතට යමු කියල. එහෙම ගිහිං එයා ඔරුවෙ දාගෙන එන්න පුළුවන් තරමට මාලු තොගයක් අල්ලල දෙන්නං කියල කිව්ව.

එහෙම ගිහිං මෞයි ඔරුව පිරිල ඉතිරිල යන්න මාලු ඇල්ලුව. ඊටපස්සෙ එයා එයාගෙ නහයට ගහගෙන, නහයෙන් ආපු ලේ බිලීකොක්කෙ තවරලා මුහුදට දැම්ම. ඒ පාර බිලී යොත බොහොම තදින් ඇදුන. ඒ යොත කොච්චර තදින් ඇද්දද කියනවනං, ඔරුව පෙරළෙන්නම වගේ ගියා. කොහොමහරි මෞයි ඇදල ඇදල උඩට ඇදල ගත්ත මහා විසාල මාලුවෙක්. ඒකා පූජනීය මාලුවෙක් බව සළකපු මෞයි, ආපහු ගොඩබිමට ගියා පූජකයෙක් එක්කරන් එන්න. කරන්න ඕනෙ යාග හෝම ටික කරලම මාලුව කපමු කියල සහෝදරයින්ට කිව්ව, මං එනකං මාලුව කපන්න එපා කියල.

ඒත් මෞයි එනකල් හිටියෙ නෑ අයියල ටික. තම තමංගෙ කොටස් වෙන්කරගන්න ඒ අය මාලුවව කැපුව. ඒකෙන් මාලුවා වේදනාවෙන් ඇඹරිලා ගියා.

නවසීලන්ත දූපත් වලින් උතුරු දූපතට මඕරි වරු කියන්නෙ ටෙ ඉකා අ මෞයි හෙවත් මෞයි ගෙ මාලුවා කියල. අයියලා මාලුවා කපද්දි ඇඹරුනු නිසා යි කියනව ඒ දූපතේ කඳු නිම්න ඇති උනේ. මල්ලි කියපු දේ අයියල ඇහුවනම් උතුරු දූපත තැනිතලාවක් විදිහට මිනිස්සුන්ට ගමනාගමනයට පහසු තැනක් වෙන්න තිබුණ කියල කියනව.

http://donnadowney.typepad.com/.a/6a00d83451929069e2019101c3320b970c-800wi
අකුරු පැහැදිලි නෑ. පින්තූරය මත ක්ලික්
කරලා විශාල කරගත්තනම් හරි

මඕරි වරු කියන විදිහට දකුණු දූපත තමයි මෞයි ගෙ ඔරුව. ඒනිසා ඒ දූපතට කියන සාමාන්‍ය මඕරි නම වුනු ටෙ වයිපෞනමු ට අමතරව, ටෙ වක-අ-මෞයි හෙවත් මෞයි ගෙ ඔරුව කියන නම භාවිත වෙනව. පහළ තියෙන ස්ටුවර්ට් දූපත, ඔරුවෙ නැංගුරම් ගල. මැද හරියෙ දකුණු අත පැත්තෙ තියෙන බෑන්ක්ස් අර්ධද්වීපය තමයි මාලුවව අදිද්දි මෞයි පය ගහපු තැන. උතුරු දූපතේ මැද හරියෙ දකුණු වෙරළෙ තියෙන හෝකී බොක්ක සැළකෙන්නෙ ටෙ මටාවු අ මෞයි හෙවත් මෞයිගෙ බිලීකොක්ක කියලයි.

https://img00.deviantart.net/1cb0/i/2017/100/a/9/
tattoo_maui_adobe_animate_moana_cosplay_by_
pikkolapungu-db5b5pl.jpg

මෞයි ගින්දර හොයාගත්ත හැටි සහ මරණය පරාද කරන්න ගිය හැටි ගැන මීළඟ කොටසකින් ලියන්නම්...

මූලාශ්‍ර:
https://en.wikipedia.org/wiki/M%C4%81ui_(M%C4%81ori_mythology)
http://www.maori.info/maori_history.htm
http://eng.mataurangamaori.tki.org.nz/Support-materials/Te-Reo-Maori/Maori-Myths-Legends-and-Contemporary-Stories/How-Maui-slowed-the-sun

වැඩිපුර බලපු ලිපි