Sunday, November 26, 2023

වැඩ පහසු කරන, කාලය ඉතිරි කරන...

මේ ගැන ලියන්න පටන් ගන්න කොට ම කතාවක් මතක් වුණා.

සිගරැට් බොන ‌මල්ලිට, අයියා උපදෙස් දෙනව...

"දැන් මට කියහං දවසකට සිගරැට් කීයක් බොනවද උඹ?"

"දවසකට අඩුම දහයක්වත් බොනව. ඇයි?"

"ඉතිං බලහංකො. දැන් සිගරුට් එකක් රුපියල් 125යි. දවසකට උඹට යනව වියදම, රුපියල් 1,250/- ක්. මාසෙකට යනව, 37,500 ක්. ඒ කියන්නෙ අවුරුද්දකට... 450,000 ක්. අවුරුදු දහයක් උඹ ඔය සල්ලි ඉතුරු කළා නං, ලක්ෂ 45ක්. බොට ඔය සල්ලිවලින් බංගලාවක් හදාගන්ඩ තිබුණ."

මල්ලි අහනව අයියගෙං:

"දැං උඹ සිගරැට් බොන්නෙ නෑනෙ. දැං කෝ ඔය විදිහට ඉතුරු කරල උඹ හදාගත්තු බංගලාව?"

දැන් යමු අපේ මාතෘකාවට. මගෙ ගැටළුව තියෙන්නෙ, අපි අපේ වැඩ පහසු කරගන්න නොයෙක් තාක්ෂණයන් යොදා ගන්නවා. වට්සැප්, ඊමේල් වගේ. අපට හොඳ පාරවල් සහ හොඳ වාහන භාවිත කරන්න ලැබෙනව. ගෙදරදොරේ වැඩ පහසු කරගන්න නොයෙක් උපකරණ තියෙනව. 

ඒ විදිහට අපි ඉතිරි කරගත්ත කාලය කෝ?


අපි මුල ඉඳල පටන් ගත්තොත් මෙහෙමයි...

ඔන්න ඉස්සර කාලේ උන්නා, මානව කණ්ඩායම්, ගෝත්‍ර. ඒ අය කළේ දඩයම් කිරීමත්, පල වැල අල ආදිය එක් රැස් කිරීමත්. 

ඔය අතරෙ උන්න ටිකක් වැඩිපුර හිතන කට්ටියක් පටන් ගත්තා, කැලේ ගිහින් දඩයම් කරනව වෙනුවට සත්තු අල්ලගෙන ඇවිත් ගේ ගාව කොටුවකට දාගෙන ඇති කරන්න. පලවැල රැස් කරනව වෙනුවට පැල උදුරගෙන ඇවිත් ගේ වටේ හිටෝ ගන්න. පේන විදිහට ලේසියි.

නමුත් දඩයක්කාරයට / පලවැල රැස් කරන්නට වඩ‌ා ගොපල්ලට / ගොවියට ජීවිතය ලේසි වුණේ නෑ.

දඩයක්කාරයන්ට ලොකු දඩයමක් ලැබුණම, බඩ පිරෙන්න කාලා, ඉතිරි ටික මී පැණිවල  හෝ වේලාගැනීමෙන් ඉතිරි කරගන්නවා. ඒ කියන්නෙ දවස් ගාණකට බර වැඩ නෑ.

ගොපල්ලා සත්තු බලා ගන්න ඕනෙ, කොටි වගේ විලෝපිකයන්ගෙන්, හොරුන්ගෙන් බේර ගන්න ඕනෙ. තණකොල කවන්න ගෙනියන්න ඕනෙ. පායන කාලෙට වතුර හොයල දෙන්න ඕනෙ. ලෙඩට දුකට බලන්න ඕනෙ. මුළු දවස ම කරන්න වැඩ තියෙනව.

ගොවියා, ගොවිපොල සකස් කරන්න ඕනෙ. පොලොව සකස් කරලා, ඇල වේලි හදලා, පායන කාලෙට වතුර දාලා, අස්වැන්න කන්න එන සත්තුන්ගෙන් පරිස්සම් කරගෙන, අන්තිමේ අස්වැන්න නෙලාගෙන, ගබඩා කරගෙන, පරිස්සම් කරගන්න ඕනෙ ඊළඟ කන්නයෙ අස්වැන්න නෙලනකම්. 

පේන විදිහට, වැඩ පහසු කරගත්තා කියලා කරගෙන තියෙන්නෙ, වැඩ වැඩි කරගැනීම සහ සංකීර්ණ කර ගැනීම.

ආපහු වර්තමානයට ආවොත්, අපි රස්සා කරන්න පටන් ගත්ත කාලෙ, ලියකියවිලි අපට ලැබෙන්නෙ තැපෑලෙන් සහ ෆැක්ස් මඟින්. එහෙම ලැබෙන වැඩ ඉවර කරන්න අපට සාධාරණ කාලයක් ලැබෙනව. ඒ කියන්නෙ, තැපෑලට යන කාලයත් එක්ක. නමුත් දැන් අපට ලියවිලි සහ තොරතුරු ඊට වඩා ඉක්මණට ලැබෙනව. ඒ වගේ ම ඒ තොරතුරු ආපිට අපෙන් බලාපොරොත්තු වෙන්නෙත්, දිනක් හෝ දෙකක් ඇතුළත.

ෆෝන් එකේ වට්සැප් ඔන් කළහම, ඒකෙ රාජකාරිවලට අදාළ වට්සැප් සමූහ තියෙනව විස්සක් විතර. එක එක විෂයයන්වලට අදාළව. ඊට අමතරව, දරුවගෙ ඉස්කෝලෙට අදාළවත් තියෙනව වට්සැප් සමූහ පහක් - හයක්. රාජකාරි ඊමේල් ගිණුම වෙන ම.

ඔය හැම එකක් ම අප්ඩේට් වෙන වාරයක් ගානෙ බලන්න බැරි වෙන නිසා වෙන ම නිලධාරියෙක් පත් කරල තියෙනව, ඔෆිස් එකේ. ඒත් මගෙ වගකීම ඔහුට යන්නෙ නැති නිසා, මමත් නිතරම ඔය දේවල් ගැන බලන්න ඕනෙ. ඒ අතරෙ මහජන පැමිණිලි, පළාත් පාලන ආයතනවල වැඩ හරියට නියම වෙලාවට නීතියට අනුව සිදු වෙනව ද කියලා අධීක්ෂණය කිරීම...

අන්තිමේ අපේ රාජකාරි පහසු කරගන්න යොදාගන්න නවීන තාක්ෂණය එක්ක අපි යන්ත්‍ර බවට පත් වෙමින් ඉන්නව.

ඉතින්, වැඩ පහසු කරන, කාලය ඉතිරි කරන නවීන තාක්ෂණය එක්ක, ඉතිරි කරගත්ත කාලය කෝ?

(පහල සිංදුව මේකට අදාළ වෙන්නෙ යන්තමින්. නමුත් ප්‍රශ්නය එක ම යි.)


මේකෙ ජෝන් ‌ලොගී බෙයාඩ් ට ඉන්න නළුවා, මාත් එක්ක ධීවර අමාත්‍යාංශයෙ වැඩ කරපු යාළුවෙක්. එයා ගොඩක් ටෙලි නාට්‍යවල ඉන්නවා.

Tuesday, November 21, 2023

සිත නිවන මෙලඩි

විශ්වීය සංගීතය ගැන මගෙ කලින් පෝස්ටුව ගැන වෙන තැනක අසංග දාල තිබුණු කමෙන්ට් එකක "ඔලුව අතගාන සංගීතය" ගැන කියලා තිබුණා. ඒක කියවපු වෙලාවේ ඉඳන් විටින් විට මට මතක් වුණු ගීත කීපයක් පහතින් දක්වනවා.

ඔබේ රසවින්දනය මගේ රසවින්දනයට සමපාත විය යුතුයි කියා දෙයක් නැතත්, මේවායේ මම දැකපු විඳීම ඔබටත් දැනෙයි ද කියලා බලමු...

මුලින් ම නිහඬබවේ හඬ...


මේක මට හමුවුණේ, ක්ලැරන්ස් ගේ හිරු සඳු මැකිලා ගීතයෙන්. මම සිංහල සිංදුව ප්ලේ කරලා අහන්න සැළැස්සුවාම, මගේ යාළුවෙක් වන කවිඳු ට, එයා මට කීවේ ඒ මෙලඩියේ මුල් ගීතය sound of silence බව...

මී ළඟට මයිකල් ජැක්සන්...

ඔබ තනිවී නෑ...


ලෙයොන් ද ප්‍රොෆෙෂනල් එකේ ස්ටිං හෙවත් මී මැසි දෂ්ටනයා ගේ හදවතේ හැඩය ත් අමුතු මෙලඩියක්.


සීතලෙන් ගල් වුණු මැඩෝනා...


ජෝජ් මයිකල් - ළදරුවෙකු වෙත ජේසුතුමන් වගේ...


කුළුබඩු කෙල්ලන් සදහට දිනේවා...


ඒ වගෙම තොටුපල අයිනෙ වික්ටර් රත්නායක...


සිහිල් සුළං රැල්ල ඊට හතයි!

ජෝන් ඩෙන්වර්, දාලා ගියපු ඇනීට කියන ගීතය, මම අහපු සුන්දර ම විරහ ගීයක්...


අවසානයට... ඔලිවර් ට්විස්ට් තමන්ගෙ දුක්බර ජීවිතය අවසානයේ, කරුණාවන්ත මහත්මයෙකුගේ රැකවරණය යටතේ නින්දට වැටිලා, දකින පළමුවෙනි උදෑසන මේ...

මේක ලියලා ඩ්‍රාෆ්ට් එකක් විදිහට සේව් කරලා තියෙද්දී, මේ සෙනසුරාදා දහයට සොඳුරු සඳවතිය මේ දවස්වල ඇහෙන සිංදු ගැන පෝස්ට් එකක් දාලා තිබුණා. ඒ ලිපියත් බලන්න මෙතනින් ගිහින්...

Saturday, November 18, 2023

වෙතාල කථා - 4 තරඞ්ගය - ශනිදා දහයට!

3 තරඞ්ගය

රජ ‌තෙමේ වේතාලයාගේ ප්‍රශ්නය විසඳී:- "යමෙක් බොහෝ දුක් විඳ මෘතසංජීවන මන්ත්‍රය ලැබගෙණ අවුත් ඇය ඉපිදවූයේ ද, ඔහුගේ භාර්‍ය්‍යාභාවයට ඒ කාන්තාව සුදුසු ‌නොවේ. හෙතෙමේ ඇගේ පියතනතුරට සුදුසු ය. යමෙක් ඇගේ ඇට ගංගානදියෙහි ප්‍රක්‍ෂෙප (දැමීම) කරන්ට ගියේ ද, හෙතෙමේ ද පුත්‍රයන්ට අයත් කටයුත්තක් කළ හෙයින්, ඇගේ හිමියා නො වෙයි. මළහුගේ ඇට ගංගානදියෙහි හෙලීමත් මතකදන් ආදිය දීමත් මළහුගේ දරුවන්ට අයත් වැඩක් හෙයිනි. යමෙක් ඇය දැවූ සොහොන අසල ම සිට තපස්කම් කෙළේ ද, හෙතෙමේ ආලය කරන්නෙකුගේ ක්‍රියාවක් කළ හෙයින් ඇගේ හිමියා වීමට සුදුසු යි."

වේතාලයා පෙර මෙන් ම අතුරුදන් වි ය. රජ ද ඔහු ගෙණෙනු පිණිස නැවතත් ඇට්ටේරියාගස වෙත ගියේ ය. මහාත්මයෝ, පණ ගිය නමුදු, හෙන සියදහස් ගණන් හිස හෙතුදු, පටන් ගත් කටයුත්ත නො නිමවා නො නවතිත් ම ය.

4 තරඞ්ගය

1

රජතෙමේ පෙර මෙන් ම මිනිය කර තබා ගෙණ නිශ්ශබ්ද ව ආයේ ය. "රජතුමනි, මේ අඳුරෙහි ගමනාගමනය කරමින් බෙහෙවින් පීඩිත වන්නෙහි ය. මම තොපට කථාවක් කියමි. එය සාවධාන ව අසනු"යි වේතාලයා තවත් කථාවක් කියන්ට පටන් ගත්තේ ය.

ගිරා - සැළලිහිණි වාදය


පෙර පැළලුප්නුවර වික්‍රමකෙශරි නම් රජකේ වි ය. ඒ රජතුමන්ගේ දිව්‍යඥාන ඇති සියලු ශාස්ත්‍ර දන්නා ගිරවෙක් සිටියේ ය. ඒ ගිරවා ද දෙවිකෙනෙකුන්ගේ ශාපයෙන් ගිරාබවට පැමිණියෙකි. ඒ රජුගේ පුත්කුමරා ගිරවාගේ උපදෙශයෙන් මගධරජුගේ දූකුමරිය විවාහ කර ගත්තේ ය. ඒ රජකුමරියට ද ඉතා නැණවත් සැළලිහිණියක් වූවා ය. කුමරියගේ පාණිග්‍රහණමඞ්ගලයෙන් පසු ඒ සැළලිහිණියා හා ගිරවාත් එක ම මැඳිරියෙහි ලන ලදහ.

එක් දිනෙක්හි ගිරාතෙමේ සැළලිහිණිය අමතා "සොඳුර, අපි එක ම මැඳිරියෙහි වසමු. එක බඳුනෙහි වළඳමු. එක ම තැන නිදමු. මම පුරුෂයෙක්මි. පින්වතිය ස්ත්‍රියකි. පුරුෂයෙකුට භාර්‍ය්‍යාවක ද, ස්ත්‍රියකට ස්වාමියෙකු ද වුව මනා ය. නැත් නම් වල් වැද තපස් රැක්ක යුතුය. දැන් අපට එය කළ නො හැක්ක. දැන් ගිහිගෙයි විසීම අප විසින් කට යුතු ය. එහෙයින් පින්වතිය මගේ භාර්‍ය්‍යාව වුව මැනැවැ"යි කී ය.

"පුරුෂයෝ දුෂ්ටයෝ ය. කෙළෙහි ගුණ නො දන්නෝ ය. එහෙයින් මම කිසි ම පුරුෂයෙකුට භාර්‍ය්‍යා නො වන්නෙමි"යි සැළලිහිණිය ගිරවාගේ යොජනාව ප්‍රතික්‍ෂෙප කළා ය.

"පුරුෂයෝ දුෂ්‍ට නො වෙති. දුෂ්ටයෝ ස්ත්‍රීහු ම ය. ස්ත්‍රීන්ගේ හෘදය ඉතා ක්‍රෑර ය"යි ගිරවා සැළලිහිණියගේ වචනයන්ට විරුද්‍ධ වි ය.

මෙයින් ඒ ගිරාසැළලිහිණි දෙදෙනා අතර විවාදයක් උපන. විවාදයෙහි විනිශ්චය ලබාගැණීම සඳහා රජකුමරාට එය සැළ කළහ. රජකුමරා "කවර හෙයින් පුරුෂයෝ අකෘතඥයෝ ද? ඇති සැටි කියව"යි සැළලිහිණියට නියම කෙළේ ය. සැළලිහිණිය ස්වපක්‍ෂසමර්‍ත්‍ථනය (තමන්ගේ පක්‍ෂය ඔප්පු කිරීම) පිණිස පුරුෂදොෂප්‍රකාශක මේ කථාව කීවාය.

රත්නාවතීකථාව

"කුමාරයන් වහන්ස, කාමන්‍දකී නම් නගරයෙහි මහාධන ඇති වෙළෙන්දෙක් විසී ය. ඔහුගේ පුතා ධනදත්ත නමි. පියා පරලොව සැපත් කල්හි ධනදත්තයා ද්‍යුත (සූදු) ක්‍රීඩාදියෙහි යෙදී ධනය වනසන්නට පටන් ගත. ධූර්‍තයෝ ද ඔහු හා එක් ව නොබෝ දිනකින් ම ඔහුගේ වස්තුව පැහැර ගත්හ. ධනදත්තතෙමේ දිළිඳු ව එ නුවර විසීමට ලජ්ජිත වූයේ අනික් නගරයකට ගොස් අහරටිකක් ඉල්ලා ගණු සඳහා එක්තරා වෙළෙඳෙකුගේ ගෙට ගියේ ය. වෙළෙඳතෙමේ ඔහු පිළිබඳ තොරතුරු විචාරා කුලවත්බව දැන ඔහු තමන් වෙත ම නවත්වා ගත්තේ ය. හෙතෙම ඔහුගේ දක්‍ෂභාවය දැක ඔහු කෙරෙහි අතිශයින් ප්‍රසන්ன වී ය. රත්නවතී නම් සිය දුව ද මහත් ධන සහිත ව ඔහුට විවාහ කොට දුන්නේ ය.

කළ විවාහ ඇති ධනදත්ත තෙමේ මයිලනුවන් ලඟ ම විසී ය. කල් යත් යත් අභිනවසුඛයෙන් මත් ව පෙර තමන් දිළිඳු වූ අයුරු විස්‍මෘත (අමතක) කෙළේ ය. නැවත ද සූදු කෙළීමෙහි ආශා ඇති ව සියදෙසට යනු කැමති වී ය. එහෙයින් ඒ ශඨ(කපටි)තෙමේ කෙසේ නමුත් රත්නවතියගේ මවුපියන්ගෙන් අවසර ගෙණ එක් මැහැල්ලක හා රත්නවතිය ද සමග සියදෙස් යනු පිණිස පිටත් වී ය. පිළීවෙලින් මහවනයකට පැමිණ දුර දී ම ඒ වනයෙහි සොරබිය ඇතැයි කියා රත්නවතියගේ සියලු ආභරණ මුදවා පොදියක් බැඳ තමන් අතට ගත්තේ ය. ‌මෙසේ ඇගේ අබරණ අයත් කරගත් ඒ දුෂ්ටයා ඒ ගුණවත් බිරින්ද හා මැහැල්ල ද මරණු පිණිස එක්තරා වළෙක්හි හෙලා පලාගියේ ය. යුව රජතුමනි, බලනු මැනව, සූදුආදියෙහි ඇලුනු අකෘතඥයන්ගේ හෘදය කඩුවක් මෙන් කර්‍කශ පරිදි!

මැහැල්ල එහි ම මළා ය. රත්නවතිය තවත් කල් ජීවත් වීමට පින් ඉතිරි ව තිබුනු හෙයින් ඉතා වෙහෙස විඳ  ගොඩට අවුත් බොහෝ දුක් විඳ සියපියාගේ ගෙට ම ගියා ය. මවුපියන් "කවරහෙයින් තී මෙසේ තනි ව වෙහෙසුනු සිරුරු ඇති ව පැමිණියෙහි දැ?"යි විචාළ කල්හි "මාර්‍ගයෙහි දී සොරුන් විසින් අපේ බඬු පැහැර ගන්නාලදි. මගේ ස්වාමිපුරුෂයා බැඳ ගෙණ යන ලදි. මැහැල්ල වළෙක්හි වැටී මළා ය. මම යම්තම් දෛව බලයෙන් ජීවත් වෙමින් ඒ වළෙහි ම සිටියෙමි. ඒ අතර කිසියම් කරුණාවත් මගියෙකු විසින් වළෙන් ගොඩගන්නා ලදිමි"යි ඒ පතිව්‍රතාතොමෝ අඬමින් කීවා ය. මවුපියන් විසින් ඕ තොමෝ සනසන ලද්දී එහි ම සියහිමියා ගැණ ශොක කරමින් සිටියා.

සියදෙසට ගිය ධනදත්තයා නො බෝ කලකින් ම දිළිඳු වී ය. නැවත ද මයිලනුවන් වෙත ගොස් වස්තුව ගෙණ එන්නට අදහස් ‌කෙළේ ය. ඔවුන් දුව ගැණ ඇසුවොත්, දුව තමන්ගේ ගෙයි සිටින බව හා මග සොරබිය ඇති හෙයින් කැටි ව ‌නො ආ බවත් කියන්නට සිතා ගත්තේ ය. මෙසේ නිශ්චය කර ගෙණ මග ගෙවා ඔහු නැඳි මයිලන්ගේ ගෙට ගියේ ය. රත්නවතිය දුර දී ම ඔහු දැක ඇඳින ඉදිරියට ගොස් පාමුල වැටී වැඳ, ඔහු විසින් වනයෙහි දී කළ සියල්ල සඟවා මවුපියන්ට අනික් ලෙසක් කී බව දැන්වූවා ය. ස්වාමියා දුෂ්ට වූවත් පතිව්‍රතාවන්ගේ සිත අන් තැනක නො ඇලේ ම ය. දෙවයිනි, ස්ත්‍රීන්ගේ ගුණවත්කමක මහත බලනු මැනව!

ඉත්බිති ඒ කාලකණ්ණියා නො බිය ව මයිලනුවන් වෙත ගොස් වැඳ සිටියේ ය. හෙතෙමේ ද බෑනා දැක පිණා ගියේ මහොත්සව කරවී ය. ධනදත්තයා නැවත ද පෙර මෙන් සැපතට පැමිණියේ නොබෝ දිනකින් ම සියදෙස යනු කැමැත්තෙන් නිදි ගෙණ සිටි බිරින්ද මරා ඇගේ සියලු ධනය පැහැර ගෙණ පලාගියේ ය.

"යුවරජතුමනි, මෙසේ බෙහෙවින් පුරුෂයෝ ලාමකයෝ ය. කෙළෙහි ගුණ නොදන්නෝ ය"යි සැළලිහිණිතොමෝ තමාගේ කථාව අවසන් කළා ය.

සැළලිහිණියගේ කථාව අසා යුවරජ සිනාසුනේ ය. "දැන් තෝ තාගේ මතය සමතර්‍ථනය කිරීමට කරුණු කියව"යි ගිරවාට විධාන කෙළේ ය.

ධර්මිෂ්ඨ හොරෙක්!

"දෙවයන් වහන්ස, සැළලිහිණියගේ කථාව නො පිළිගත හැක්ක. එයින් ස්ත්‍රීන්ගේ ගුණධර්‍මයට වඩා දුර්‍වලකම ප්‍රකාශ වන්නේ ය. රත්නවතියගේ දුර්‍වලකම නිසා ම ඕතොමෝ වැනසුනී ය. ධනදත්තයා දඬුවම් ලැබීමට සුදුසු අපරාධකාරයෙකි. එබඳු ඔහු රැකගත් රත්නවතිය නිර්දෝෂ ය යි ද, ගුණවත් ය යි ද කිසි ම නීතිඥයෙක් නො කියයි. සීයාගේ මුහුණ වැන්නැයි කොටියාගේ මුහුණ බදා ගත් මෝඩයාට වූදෙය ම , තමාහිමියා ය යි තමාගේ මරුවා ගෙට ගත් රත්නවතියට ද වී ය. දෙවයන් වහන්ස, එයින් පුරුෂයන්ගේ දොෂ ප්‍රකාශ නො වේ. කලාතුරකින් පුරුෂනාමය දරණ රකුසන් පාපක්‍රියාවක් කළ පමණින් සියලු පුරුෂයෝ දුෂ්ට නො වෙති. පුරුෂයන් දුෂ්ටය යි කියන්නා ම දුෂ්ටයෙකි. දෙවයන් වහන්ස, ස්ත්‍රීහු ක්‍රෑරයෝ ය, සැහැසියෝ ය. දුෂ්ටචරිත ඇත්තෝ ය. ලාමකයෝ ය. ඔබවහන්සේ මගේ මේ කථාව ද අසනු මැනවැ"යි කියා ගිරවා කථාවක් ඇරඹී.

එක්තරා නගරයෙක්හි මහත් ධන ඇති ධර්‍මදත්ත නම් වෙළෙන්දෙකුට ඉතා මනහරරූසිරින් යුත් දුවක් සිටියා. ඕතොමෝ තමන්ට සමාන වූ ධනය හා කුලය ද ඇති, නෙත් නැමැති ඇටිකුකුළන්ට පුන්සඳමඬලක් වැනි තරුණ වෙළෙන්දෙකුට දෙන ලදු. කිසියම් කලෙක්හි ඇගේ ස්වාමියා සියරට ගිය කල්හි සියපියගෙහි සිටි ඕතොමෝ මනහරරූ ඇති කිසියම් පුරුෂයෙකු දුටුවා ය. දුටුමතින් ම ඔහු කෙරෙහි ආලය කළා ය. ඔහු සියගෙට ගෙන්වා ආහාර පාන දීමෙන් සංග්‍රහ ද කළා ය.

මඳ කලෙකින් ඇගේ ස්වාමියා සියරට සිට ආයේ නැඳි මයිලන්ගේ ප්‍රීති වර්‍ධනය කෙළේ ය. උත්සවාවසානයෙහි හිමියාට ද මත්තෙන් නින්දට ගිය දුෂ්ටභාර්‍ය්‍යාව නිදි ගත් බව බොරුවට අඟවමින් සිට, ස්වාමියා මාර්‍ගක්ලාන්තියෙන් (ගමන් වෙහෙසින්) නිදි ගත් කල්හි, සොර සැමියා සිහි කොට ඔහු වෙත යනු පිණිස සැරසුනී ය.

එකෙණෙහි එක් ‌සොරෙක් ගෙය බිඳ ඔවුන්ගේ ඕවරකයට (කාමරයට) වන්නේ ය. සොරසැමියා වෙත යන්නට සැරසුනු කුලටාව (වෙසඟන) සොරු ගෙට වන්බව නො දැන ගෙයින් නිකුත් වූවා ය. සොරතෙමේ "යම් රත්නාභරණන් උදෙසා මම මෙහි පැමිණියෙම් නම්, එ අබරණ පැලඳ මෝතොමෝ යන්නී ය. වේවා! මෝතොමෝ කොයි යන්නී දැ?යි පළමු කොට සෙවිය යුතු ය. පසු ව අබරණ පැහැර ගණිමි"යි නිශ්‍චය කොට ගෙණ ඈ අනු ව ම ගියේ ය. තරුණිය ද නිකුත් ව තමන් බඳු පවිටු වූ තවත් කතක ලවා සුවඳ බුලත් ආදිය ගෙන්වා ගෙණ උයනට වැද සඞ්‍කෙතස්ථානයට (නියම කරගත් තැනට) ගියා ය. ගොස් වටපිට බැලුවා ය. ඇගේ සිතට ප්‍රිය දර්‍ශනයෙක් එහි නො වී ය. ඇගේ සොරසැමියා කරවැල් ලාගෙණ මැරී ගසක එල්ලෙමින් සිටිනු දුටුවා ය. මරණය කෙසේ වූවක් දැ යි ඕතොමෝ නො දත්තී "අයියෝ! මම නැසුනෙමි!"යි පපුවට දෑතින් පහර දී ගණීමින් වැලපුනා ය. වැලප අවසන්හි මළකඳ ගසින් බා සුවඳවිලෙවුන් තවරා මල් හා අබරණ පලඳවා සැරසුවා ය. ඉක්බිති ඒ දුෂ්ටස්ත්‍රිය මළකඳෙහි මුඛය චුම්බනය කරන්ට පටන් ගත්තා. එවිට ම යක්‍ෂයෙකු විසින් අරක් ගන්නා ලද ඒ මළකඳ භයානක ශබ්දයක් කොට මුඛය විවෘත කොට ඇගේ නැහැය කඩා ගත්තේ ය. ඕතොමෝ එයින් ව්‍යාකූල (කලබල) වූවා එතැනින් ඉවත් ව 'ඔහු ජීවත් වෙතැ'යි සැකයෙන් නැවත අවුත් මළ සිරුර පිරික්සා බැලුවා ය. නිසල කෙසෙල්කඳක් මෙන් ශීතල වූ මළකඳ දැක බිය පත් ව අඬමින් යෙහෙළියත් සමග සියගෙට ම ගියා ය.

සැඟවී සිටි සොරා ද ඒ සියල්ල දැක අබරණ පැහැර ගැන්ම මතක නැති කොට "අහෝ! මේ පවිටුගැහැණිය විසින් කෙළේ කුමක් ද? ස්ත්‍රීන්ගේ අදහස් කෙසේ නම් මෙතරම් බිහිසුණු ද? දැන් මෝතොමෝ තවත් කුමක් නම් නො කරන්නී දැ?"යි සිතා නැවත ද ඇය පසුපස්සෙන් ගියේ ය.

ඒ පවිටු ගැහැණිය ගෙට වන් කෙණෙහි මහහඬින් කෑ ගාන්නට වන්නී ය. "අයියෝ! මා මරණවෝ! ඉක්මනින් වරෝ! මා ගලවපියෝ! මේ දුෂ්ටයා, ස්වාමියෙකු මෙන් සිටින හතුරා, නිරපරාධ වූ මගේ නැහැය කඩා කෑවෝ!"

ඇගේ විලාප හඬ අසා ගෙවැසි සියල්ලෝ නින්දෙන් නැඟිට එහි දිව ආහ. ඇගේ පියතෙමේ නැහැය සුන් ඈ දැක කිපී බෑනා බැඳවී ය. තරුණ තෙමේ 'කුමක් කටයුතුදැ'යි නිශ්චයක් නැති ව ගොළුවෙකු මෙන් සිටියේ ය. ඔහු උදාසන්හි රජු වෙත ගොස් නඩුව සැළ කළහ. රජතෙමේ කරුණු විමසී ය. තරුණයා කිසිවක් නො දත්තේ තමාගේ නිරපරාධභාවය ම කියා සිටියේ ය. එහෙත් ඔහුට විරුද්ධ සාක්‍ෂ්‍ය අධික වූ හෙයින්, රජතෙමේ, එකල්හි පැවති නීතිය පරිදි, ඔහු මරාදමන්ට නියම කෙළේ ය.

එවිට සොරතෙමේ ඉදිරියට ගොස් "දෙවයන්වහන්සැ"යි රජු අමතා තරුණයාගේ නිර්දොෂභාවය කියන්ට වන: "දෙවයිනි, මම සොරෙක්මි. එහෙත් මම අපරාධ නුරුස්නෙමි. මේ නගරයෙහි පාපිෂ්ඨයන්ට මිස ධර්මිෂ්ඨයන්ට මගෙන් කිසි ම හානියක් නැත. මේ ගැහැණි පවිටු ය යි කලක පටන් මම දැන සිටියෙමි. එහෙයින් ඇයගේ අබරණ පැහැර ගන්ට ඇගේ ගෙය බිඳ ඇතුල් වුණෙමි"යි සියල්ල විස්තර කොට "දෙවයන් වහන්ස, මැගේ නැහැය තවමත් ඒ මළමිනියෙහි මුඛය තුළ ඇතැ"යි සොරා කථාව අවසන් කෙළේ ය. සභාවෙහි සිටි සියල්ලෝ පුදුමයට පත් වූහ. රජතුමා මිනිසුන් යවා සොරා කී ස්ථානයත් මළකඳත් පරීක්‍ෂා කරවී ය. සොරා විසින් කී සියල්ල සත්‍ය ය යි ඔප්පු වී ය. රජතෙමේ තරුණ වෙළෙඳා් නිදහස් කොට ඒ දුෂ්ටස්ත්‍රියගේ දෙ කන් සිඳුවා සියදෙසින් පිට කරවා ඇගේ පියසතු ධනය තරුණ වෙළෙඳාට දෙවී ය. සොරාට පුරාධ්‍යක්‍ෂ (නගරාධිපති) පදවිය දුන්නේ ය.

"යුවරජ්ජුරුවන් වහන්ස, ගැහැණු මෙසේ ස්‍වභාවයෙන් ම ක්‍රෑරයහ. දුෂ්ටයහ. ලාමකයහ"යි ගිරවා කථාව අවසන් කෙළේ ය.

එ කෙණෙහි ම ගිරවා ශාපයෙන් මිදී දෙවියෙක් වී දෙව්ලොවට ගියේ ය. ශාරිකාව ද දෙවඟනක් වී ඔහු අනු ව ගියා ය.

"මෙසේ ඒ සභාවෙහි මේ විවාදය නිර්ණීත (තීන්දු) නො වී ය. යුෂ්මතා මේ ප්‍රශ්නය විසඳීමෙහි සමතර්‍ථ ය. එහෙයින්, රජතුමනි, මට කියනු මැනැව: ස්ත්‍රීහු පුරුෂයන්ට වඩා පාපිෂ්ඨ ද? නො හොත් පුරුෂයෝ ස්ත්‍රීන්ට වඩා පාපිෂ්ඨ ද? ඉදින් දැන දැන නො කීයෙහි නම්, නුඹේ හිස සුණු විසුණු වන්නේ ය"යි වේතාලයා ප්‍රශ්න ඇසී ය.


Tuesday, November 14, 2023

අංගොනෝනගෙ දේශනාව

"හනේ දෙයියනේ-මේ දහසක් බුදුන්ගෙ පාන්දර මේ වගෙ පාදඩ වැඩ කරන එවුන්ට නං හොඳක් සිද්ධ වෙන්න එපා! අතීසාරෙ-කොලරාව-හැදිලා මුංගෙ පවුල් පිටින්ම තැම්බිලා-හැඳිගෑවිලා-මකබෑවිලා යන්ඩ ඕනේ-දෙයියනේ අරහෙන්පායනව-මෙහෙන් බහිනව දෙයියනේ... ..."

ආවේශවූ කපුවෙකු-දේවාලයක තේවාව පටන්ගන්නාක් මෙන් වටින්-පිටින් හිරු එලිය වැටෙත්ම උඩකන්දලමේ ගෙදර අංගොනෝනා, දේශනාවක් පටන් ගත්තාය.

".... හනේ දෙයියනේ-! සමන් දෙයියනේ-විෂ්ණු දෙයියනේ-කතරගම දෙයියනේ-දැඩිමුංඩ දෙයියනේ-මගේ දුක බලාල හනේ මුංට හොඳ හැටි අච්චු කරන්ඩ ඕනෙ ....."

තාමත් ඇය දිගටම දේශනාව ගෙනයන්නීය. ඇගේ දේශනාව අසා තෙපානිස් ගොයියාද නිදාහුන් කබල් බූරු ඇඳෙන් නැගිට, දෑත දිගහැර-කසට පිරි දත් කුට්ටම සහිත මුව හොඳහැටි අයා බරපතල ඈනුමක් ඇර-දෑසේ පිරි කබ දෑතින්ම පිසදමා මිදුලට බැස්සේය. අංගො නෝනා තම දේශනාව නොනවත්වාම ගෙනයන්නීය.

"හොඳයි-මං කොරඤ්ඤං මුංට වැඩෙ! අම්මපා අදමයනව කොළඹ, ගොහින් ගානව හුණු දවටගහ පල්ලියෙ, මුංගෙ හැත්තවරිගෙම හැඳිගෑවිල යන්න ....."

තෙපානිස් ගොයියා උඩ බිම බලන්නට විය. අංගො නෝනාගේ තොරතෝංචියක් නැති බැනුම් කාටද? මොකටද? යනු ඔහුට ප්‍රහේලිකාවකි. එහෙත් අංගොනෝනාගේ හෑල්ලේනම් කෙලවරක් නැති.

ඇය වරක උඩ පනිිියි-දෑතින්ම පපුවට ගසා ගනියි-පොළොවෙන් වැලි අහුරක් ගෙන අහසට වීසිකරයි-තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන්ගේම නම් කියා ඔවුනට තම දුක කියා පායි.

දැන්නම් තෙපානිස් ගොයියාට ඉස්පාසුවක් නැත. අහළ පහළ ගෙවළ, නාකි-තරුණ-බාල, ගැහැනු-පිරිමි කව්රුත් වත්තේ වැටට හේත්තුවී අංගොනෝනා දෙස බලා සිටිති.

"ඒකිට යකෙක්ද කොහෙද වැහිල වෙන්නැති."

දෙල්ගහ ගෙදර මිසිලින් නැන්දා කීවාය.

"නෑ බොල ඒකිට මොකක්දෝ වස වැරැද්දක් වෙලා තියෙනවා. නැත්තං ඕකි ඔහොම බෙරිහන් දෙන්නෑ!"

සේපාලිකා ගහ ගෙදර ජොසපින් අක්කා එයට හරස් කැපුවාය.

"ඒ ගැන කියාල වැඩක්නෑ-මොකක් හරි පොඩ්ඩක් ඇත්තං, උන්දැටඒක ඇති මුළු දවසෙම කෑගහන්න."

කන්දෙ ගෙදර මැංචි අක්කාද ඔවුනට හවුල් වූවාය.

අංගො නෝනා තවමත් බෙරිහන් දෙයි. උඩපනියි-ඒ මේ අත දඟලයි-සිංහල භාෂාවේ වත් නැති අමු කුණු හරුප දෙසා බායි. ඇගේ මේ කෑගෑම කාගේත් කුතුහලයට තුඩු දෙන්නට විය. අවට රොක් වූ පිරිස කව්රුත් කසු කුසු ගාන්නට වූහ.

"ඇයි හත්වලාමේ! මොකද අංගො තොට දෙයියන්නෙ හාල්වත් කැවිලාද"

මේ අතර, වැටේ කඩුලුපොලු දෙක උඩින් පැනගෙන මිදුලට ඇතුළුවුණු, ඉස්සරහ ගෙදර ලැසි අක්කා ඇසුවාය.


අංගොට-අනූනවයටම නැංගේය. ඇඳහුන් කිලිටි චීත්ත රෙද්දේ කොණක්ද දණහිස දක්වා ඔසවා ගත්තාය.

“තෝ ආවද මගෙන් පුරස්සන අහන්න? මා දන්නෙ නැතිව වගේ හරියට. මේ මගෙ කට අවුස්ස ගන්නෙ නැතිව හොඳ හිතින් යන අතක තොලොංජි වෙලා පලයන්! හ්ම්- මං දන්නව කව්ද ඕක ගත්තෙ කියලා. ඊයෙ හවස මෙහේ ඇවිත් කයියාරුවට වැටිලා යන ගමන් හිමිහිට ඒකත් ඔඩොක්කුවේ ගහගෙන ගිහින් තියෙනවා."

ලැසි අක්කා දෙසට හැරුණු අංගො නෝනා බැන වදින්නට වූවාය. “කැලේ හිටි කොටි අවුස්සගත්තාක් මෙන්“ ලුසි අක්කාටද යකා ඇවිස්සුණි. අංගො නෝනා මෙතෙක් බැන වැදුණේ තමාට බව ඇය දැන ගත්තාය. 


“තෝ හිතුවද බොල, මං මේ ගිය-ගිය ැතන හොරකං කරන එකියක් කියාලා?“

ලුසි අක්කා ඇසුවාය.

“හාපෝ නෑ! හෙරකං කොරන්නෙමනෑ - කාටත් නොකියාම හංගගෙන යනවා.“

අංගො නෝනා කීවාය.

“ඔව්-මං හොරකං කොළා තොගේ......!

“දෙනව මං තොට ඒක හොරකං කරන්න.“

“නෑ-නෑ තෝ ඒක හොරෙං දීලාම නෑ. අපි පොඩි බබ්බු නොවැ-මේ අහළ-පහළ ලස්සන ගැටයෙකුටවත් ඉන්න දෙන්නෙ නැති ... !“

“පේනවද මේකිගෙ කතාව-හරියට ඇහෙන් දැක්කවගේ කියන හැටී! තෝ වගේ පිළීකනු ගානෙ, රෑ තිස්සෙ සවරං ගහන්නෑ බොල මං!“

“පිළිකනු ගානෙ රස්තියාදු ගහල නෙමෙයි නොවැ-තෝ තෙපානිසුත් එක්ක හොරා පැනල ගියෙ-නම්බුකාර හාමිනේ !“

එකලඟ ගෙවල් දෙකේ මේ ගෑණු “කුල-මල“ කියමින් බැන ගනිති. කොල්ලො කුරුට්ටෝ ඉඳහිට ගල්-මුල් එවති කුරුම්බා කෝම්බ එවති හූ කියති; මුස්ලිම් කුරානයේ වත් නැති විධියට, ශුද්ධ ලෙස ඔවුන්“ආගිය-මුලගිය“ සෑම රහසක්ම ප්‍රසිද්ධියේම ගෙනහැර පාති.

උළුහස්සට පිටදී-එලිපත්ත උඩ සිටි තෙපානිස් ගොයියාට දැන්නම් ඉවසුම් නැති. මේ ගැහැණුන් දෙදෙන ඔවුන්ගේ බැනුම් වලට තමාවද ගාවාගනු ඇසුණු තෙපානිස් ගොයියාද ආවේශවිය.

“මොකක්ද බොල ........ මේ තෝ කොරන වැඩේ-මේ දහසක් බුදුන්නෙ පාන්දර?“ ගැහැණුන් දෙදෙන අතරට වන් තෙපානිස් ගොයියා, අංගොනෝනාගේ කෙස් වැටියෙන් අල්ලා ගත්තේය.

“නිකං යනව ඕයි තමුසෙ යන අතක, මට යකා නග්ගන්නෙනැතිව!“ අංගො නෝනා-තෙපානිස් ගොයියාට බැන වැදුනාය.

“පේනවද තෙපානිස් මේකිගෙ සැර? හ්ම්! මේකි එනව මාව බයකර ගන්න“

ලුසි අක්කා කීවාය.

“ඒ වැයින් වැඩක් නෑ-තෝත් පල ගෙදර!“

තෙපානිස් ගොයියා-ලුසි අක්කාවද එලවා ගත්තේය.

“ඔව් ඉතින් ඔඹට ගෑණි මොනවා කළත් හොඳයි. උඹත් පිරිමියෙක් නෙවැ බාන් ... “

තරමක කෝපයකින් ලුසි අක්කා කීවාය. විෂ කටුවක් තම පපුව හරහා වැදුනාක් මෙන් තෙපානිස් ගොයියාට අමාරුවක් දැනුනේය.

“යකෝ ලුසී-මංකිව්වෙ තොට යන්නයි. නැත්තං කඩනව තොගෙ අඬු !“

තරහෙන් පිපිරෙමින් තෙපානිස් ගොයියා කීවේය.

“හොඳා එහෙනං කඩල බලමු!“යි කියමින් මෙවිට වත්තට ඇතුළුවූ සිව් වැන්නෙකි.හේ ලුසි අක්කාගේ සැමියාය.

“මොකෝ කරෝලිස්-උඹත් එනවද? හොඳයි එහෙනං වරෙං බලන්න.“

තෙපානිස් ගොයියා ගෙටවැදී තඩි පොල්ලක් ගත්තේය. කරෝලිස් වැට ලඟට ගොස් ගැට සහිත පොලු කැබැල්ලක් උදුරා ගත්තේය.

“හොඳා එහෙනං වරෙන් බලන්න බොට අද මම පෙන්නඤ්ඤං කරෝලිසා කව්ද කියල.“

පොලු කැබැල්ල අමෝරාගත් කරෝලිස් ඉදිරියට පැන්නේය.

“තෙපානිසාගෙ හැටි බලන්න එහෙනං වර මෙහාට!“යි කියමින් ඒ හාම තෙපානිස්ද පැන්නේය.

තෙපානිස්ලේ තඩි පොල්ලත්, කරෝලිස්ගේ ගැට සහිත පොල්ලත් එකට ගැටුණි. පිරිස කව්රුත් “මීයට පිම්බාක් මෙන්“ බලා සිටිති. අංගොනෝනා-තෙපානිස්ගේ බෙල්ල බදාගෙනය ලුසි අක්කා-කරෝලිස්ගේ බඳ වටා දෑත් යවාගෙනය.

පිරිමින් දෙදෙන මේ කිසිවක් නොතකා, පොරට මාන බලති. වරෙක-එකෙක් පහර දෙයි අනෙකා එය වළකයි. නැවතත් පළමු වැන්නා පහරක් දෙයි. පළමු පරිදිම දෙවන්නා එය වළකයි අහම්බෙන් දෙදෙනාටම වැරදෙයි ඉන් දෙදෙනාම පහර කති.

අසල ගස් මුදුන්වල නැගගත් කොල්ලෝ පොර කුකුළු පිටියේදී මෙන් හූ කියත්. අතු කඩා ඒ වායින් පහර දෙත්.

දැන්නම් පොරය ගං සැරේටම කෙරීගෙන යයි, එකෙකුට එකෙක් නොපරදින සේ එකගොඩේ පොරකති උන් දෙදෙනාගේම අත පය සීරී ලේ ගලයි.

තෙපානිස්ගේ කටේ උඩු ඇන්දේ දත් සියල්ලම ගැලවියාය කරෝලිස්ගේ දකුණු කණේ කෑල්ලක් නැති.

එන්න-එන්නම අහල-පහල ගම්මු තව තත් රොක් ‍වන්නට වූහ. එහෙත් ඔවුන්ගේ පොරය බේරීමට කව්රුත් බිය වූහ.

මේ අතර කව්දෝ කෙනෙක් /ගමේ රාළහාමි කරා දිව යන්නට විය. ස්වල්ප වේලාවකින් ගමේ රාළහාමි පැමිණීයේය ඔහු ආයේ, මඩකලොපු සරම ඉනවටා ඔතමිනි. ඔහු අත තඩි පොලු කැබැල්ලක්ද විය.

“ඔහෙහිටු-ඔහෙහිටු-තොපි දෙන්නවම මරාල දැන්නැ!“යි කියමින් රාළහාමි පොරය මැදට පැන්නේය. ගෝරි කාරයෝ තරමක් මෙල්ලවී දෙපසට වූහ. ඓහෙත් උනු‘නගේ ගැහැණු නැවතත් බැනුම පටන් ගනී.

“නවත්තාපියව් යකෝ-ඔය ගෝරනාඩුව!“

මෙවිටද රාළහාමි කෑගැසුවේය. ගැහැණුද දෙපසට වූහ.

“හා-කියාපියව්-කියාපියව් මොකක්ද කෛ තේරුම?“ රාළහාමි ඇසුවේය.

“අනේ බුදු රාළහාමි! මං හාන්කාවිසියක් දන්නෙනෑ, මේකි මට හොඳටෝම බැන්නා“

ලුසි අක්කා පිං සෙංඩු වූවාය.

“ඔව්-රාළහාමි! එලිවුනු හැටියෙම මේන් මේකි පටන් ගත්තා දේශනාව. ඒ පාර මං අහගෙනයි මේකි අපේ එකීටත් බනිනවා, ඉතින් එහෙමනං බැරියැ රාළහාමි! අර අරූ තෙපානිසා! ඌත් ආවානෙවැ අපේ එකීට ගහන්න.“

ඉහින්-කනින් ලේ ගලමින් කරෝලිස් අයියා කීවේය.

“හැබෑද තෙපානිස් මොකක්ද මේකෙ තේරුම!“

තෙපානිස් දෙසට හැරුණු රාළහාමි ඇසුවේය.

“අනේ මන්ද රාළහාමි: මේ අපේ එකීගෙ මොකක්ද නැති වුනැයි කියල ඒකි කෑ ගැහුව, ඒකට මෙන්න අරකියි-ඒකිගෙ මිනිහයි ආපි, අපිට ගහන්ඩ“

ලෙයින් පිරුණු, දත් කැඩුනු කටින්-බොල්හඬ නංවමින් තෙපානිස් ගොයියා පිලිතුරු දුනි. රාළහාමි අංගොනෝනා දෙසට හැරුනේය.

“මොකක්ද බොල අංගො තොගෙ නැතිවුනේ!“ ඔහු ඇසීය.

“හානේ රාළහාමි මගෙ හැඹිලිය!“ මහත් දුකෙකින් මෙන් හති දම-දමා අංගො කීවාය.

“ඉතින් යකෝ තොගෙ හැඹීලිය නැති වුනානං, ඒක තෝ දාපු තැනක හොයන්න එපායැ;“ රාළහාමි සැරවිය.

“පුලුවන් තරං හෙව්ව රාළහාමි-ඊටත් මට සිහිය නැතිවයැ දාපු තැන අමතක වෙන්න. අනේ රාළහාමි මමනං හොඳටෝම දන්නව ඕක ගත්තෙ අරකි තමයි.“

“කොහොමද බොල තෝ ඒකිම ගත්තැයි කියන්නෙ ?“

“ඕකි ඊයෙ රෑ ජාමෙයක් වෙනකං මෙහෙ පච දෙස බබා හිටියා එත.කොටත් තිබුන හැඹිලිය.“

“ඉතින් ඒකෙ සල්ලි කොච්චර තිබුනද?“

“හානේ රාළහාමි - ශත හැටයි!“ අංගො නෝනාගෙ කටින් ඒ වචන ටික පිටවුනා පමණි. රැස්ව සිටි කවුරුත් හිනැහෙන්නට පටන් ගත්හ. කොල්ලෝ හූ ! කීහ. රාළහාමිට ද නැග ආ සිනාව නතර කරගන්නට පවා බැරිව, හප හපා සිටි බුලත් විට ඉස්මොල්ලේ ගියේය.

“අනේ-බලන්න රාළහාමි, පණ තියෙන මනුස්පයෙක් ඕවගෙ හොරකමක් කරයිද? ඕකිගෙ ශත හැට අරන් අපට ඇති වැඩේ මොකක්ද, රාළහාමි?“

මෙතෙක් පසෙකටවී බලාහුන් ලුසි අක්කා මැදට පැන්නාය.

“හා-හා ඒවැයින්-මේ වැයින් වැඩක් නෑ-වරෙල්ලා බොලා ඔක්කොම යන්න මාත් එක්ක පොලීසි!“

රාළහාමි අණ කෙළේය. කව්රුත් පොලීසි යාමට සූදානම්ව මගට බැස්සෝය. අංගො නෝනා හදිසියේම නැවතුණාය.

“හානේ රාළහාමි! පොඩීයක් ඉන්ඩ රාළහාමි-මේ මගේ රෙද්ද ඉරිලා-මේක ඇඳන් පාරෙ බැහැල යන්ඩ ලැජ්ජයි! මං වෙනින් එකක් ඇඳගෙන එන්නං“යි කියමින් ඇය පිටුපස සහමුලින්ම ඉරීගිය රෙද්ද පෙන්නමින් වහා ගෙතුලට දිව ගියාය. ගතවූයේ මොහොතෙකි. අංගො නෝනා ඉරුණු රෙද්ද ඉනවටා ඔතමින්ම යළි එතැනට දිව ආවාය.

“හනේ රාළහාමි! අපියි වැරදිකාරයෝ හනේ ලුසී-හනේ කරෝලිස්, අපට සමාවෙයන්, අපියි වැරදි කාරයෝ“යි කියමින් ලුසී අක්කාගේත්-කරෝලිස් අයියාගේත් කකුල් අල්ලා පිංසෙංඩු වන්නට වූවාය. කවුරුත් විස්ම ප්‍රාප්තව බලා හුන්නෝය.

“මොකද බොල මේ-තොට යකා වැහිලද?“ පුදුමයට පත් රාළහාමි-ඇසීය. “අනේ රාළහාමි අපිටයි වැරදුනේ හැඹිලිය තිබුනා“ අංගො නෝනා කීවාය.

තෙපානිස් ගොයියාට අංශක නවයකුත් දශම නවයටම නැංගේය. ලුසීත්-කරෝලිසුත් ජයග්‍රාහී ලීලායෙන් අවට සිටි කාගේත් මුහුණු බලා සිනාසෙන්නට වූහ.

“කොහෙද පට්ටියෙ-තොගෙ හැඹීලිය තිබුනෙ?“

තෙපානිස් පැන ඇගේ කෙස් වැටියෙන් අල්ලා ගනිමින් ඇසුවේය.

“හනේ ඕයි ටිකක් ඉන්නවකො කියනකන්“.......

“ඉතින් කියාපිය යකෝ-කියාපිය“

ඒක තිවුනෙ මගේ රෙද්ද අස්සෙ! මේ යටට ඇඳගෙන උන්නු රෙද්ද අස්සෙ පටලැවිලයි තිබුනෙ!“

තෙපානිස් ගොයියාගේ දෙනෙත් උඩුකුරුවී ගියේය. කාගේත් කටවල් මහා හයියෙන් ඇරුණේය; කොලු රැළ අතරින් දිග හූවක්! නැගුණේය.

“අනේ බොල අංගො-තොට වලිගයක් තිබුන නං තෝව මරාගෙනත් කාවි“ යනුවෙන් සිනා ඉවසනු බැරි රාළහාමිගේ මුවින් ඉබේටම පිටවිය.

*    *    *

පිට කවරයත් මුල් හා අග පිටුත් නැති පරණ පොතක් අපේ තාත්තාගේ පොත් එකතුවේ ඇත. තද දුඹුරුපාට බ්‍රවුන් පේපර් කවරයක් දමා තිබුණු මෙහි මුල් පිටුවේ “අංගොනෝනගෙ දේශනාව“ යැයි ලියා තිබුණි. එහි මුල්ම කෙටිකතාව වන මේ කතාව කවුරු ලියපු එකක් දැයි මම දන්නේ නැත. දන්න කෙනෙක් ඇත්නම් කියන සේක්වා! 

Saturday, November 11, 2023

වෙතාල කථා - 3 තරඞ්ගය (ශනිදා දහයට (විතර) !)

1 තරඞ්ගය

2 තරඞ්ගය

"යක්‍ෂාධිපතිය, ඔබ විසින් නො දත්තේ කිමෙක් ද? එසේ ද වුවත් කියන්නෙමි"යි රජතෙමේ පැන විසඳන්ට පටන් ගත්තේය. "පින්වත් වෙතාලරාජය, පව්පින් දෙක ම වන්නේ සිත ප්‍රධාන ‌කර ගෙණ ය යන බව ධර්‍මයෙහි ප්‍රකාශ වෙයි. ඔවුන් දෙදෙනා මැරීමට කිසිවෙකු තුළ සිතක් නො වී ය. එහෙයින් කිසිවෙකුට වත් ඔවුන්ගේ මරණයෙන් පවක් විය නො හැකිය. ඔවුන්ගේ මරණයෙන් යම් දොසක් වේ නම්, එය ද යට කී තිදෙනා කෙරෙහි ආරෝපණය කළ නො හැක්ක. කර්ණෝත්පල රජතෙමේ ම දොෂාරොපණය කරණු ලැබීමට සුදුසු වෙයි."

"ඒ රජුගේ කවර දොසක් ද? රාජපුත්‍රාදී තුන්දෙන ම ඒ වැරැද්ද කිරීමට සම්බන්‍ධ වූහ. එසේ ඇති කල්හි කවර හෙයින් ඔහු නිරපරාධ වෙත් ද? හංසයන් කෙතෙහි හැල් වී කෑ කල කවුඩෝ වැරදිකරුවෝ වෙත් ද? තොපගේ විනිශ්චය කිනම් යුක්‍තියක් මත රඳා තිබේදැ?"යි වේතාල තෙමේ ප්‍රශ්න කෙළේ ය.

"යක්‍ෂෙශ්‍වරය, මන්ත්‍රිපුත්‍රයා නිරපරාධ ය. හෙතෙම ඔහුගේ ස්වාමියාට හිත වූ කටයුත්තෙහි යෙදුනේ ය. එය ඔහුගේ උතුම් ගුණයකි. එසේ ම රාජපුත්‍ර පද්මාවතී යන දෙදෙන ද ඔවුනොවුන් කෙරෙහි ආලය කරමින් සිටි හෙයින් කටයුතු නොකටයුතු විමසීමෙහි අඥ වූහ. සිය අදහස ම සම්පාදනය කිරීමෙහි වෙහෙස ගත්හ. එහෙයින් ඔහු ද දොෂාරොපණය ලැබිය යුත්තෝ නො වෙති. රජ නීතිශාස්ත්‍රයෙහි දක්‍ෂ විය යුතු ය. චරපුරුෂයන් මඟින් ප්‍රජාවන්ගේ තත්ත්‍වය දත යුතුය. ධූර්‍තචරිත පිරික්සිය යුතු ය. කර්ණොත්පල රජතෙමේ නීතියෙහි දක්‍ෂ වූයේ නමුදු, චාරයන් (ඔත්තුකාරයන්) මගින් රටවැසියාගේ තතු නො දැන, ධූර්‍තචරිත නො දැන, කරුණු නො විමසා, පද්මාවතිය නුවරින් බැහැර කරවී ය. ඇගේ මවුපියන්ගේ මරණයට හෙතුව මෙය ම ය. එහෙයින් ඒ රජතෙමේ ම දොෂාරොපණ කරණු ලැබීමට එක ම සුදුස්සා ය"යි වික්‍රමසේනරජ තමන්ගේ විනිශ්චයට හෙතු දැක්වී ය.

වෙතාලයා රජුගේ දැඩි සිත පිරික්සන්නට මායාබලයෙන් එකෙණෙහි ම ඒ ඇට්ටේරියගසට ම ගියේ ය. වික්‍රමසේන රජ ද ඔහු ගෙණ න්නට නැවත ද එහි ගමන් කෙළේ ය.

3. තරඞ්ගය

1

වික්‍රමසේනරජ ඇට්ටේරියගස ලඟට ගොස් මිනිය කොතැන්හි දැ යි බැලී ය. පෙර මෙන් ම ගසෙහි ල්ලෙමින් තුබූ මිනිය දැක ගසට නැඟ රැහැන කපා එය බිම හෙලී ය. බිහිසුණු හඬක් කොට එය බිම වැටින. රජ නැවත ද එය කර තබාගෙණ නිශ්ශබ්ද ව එන්නට වන. මිනියෙහි වැහුනු වෙතාලයා රජු සමග කථාව ආරම්භ කෙළේ ය. "රජ්ජුරුවෙනි, නුඹට නුසුදුසු මහත් පීඩාවෙක්හි වැටුනෙහි ය. නුඹේ මේ ධෛර්‍ය්‍යගුණයෙන් මම සතුටුවෙමි. එහෙයින් වෙහෙස සන්සිඳෙනු පිණිස කථාවක් කියමි. අසව."

මළවුන්ට පණ දීම!


"මහරජ්ජුරුවෙනි, මේ ලොකය උන්මත්තකාගාරයක නොහොත් නාඩගම්මඩුවක් වැන්න. නාඩගම්මඩුවෙහි නළුවෝ තමන් තමන්ට නියමිත රැඟුම් දක්වා බැහැර යන්නාහ. එමෙන් ම මේ ලොකයෙහි මිනිස්සු ද ටික කලක් තමන් තමන් විසින් දැක්විය යුතු නාඩගම් දක්වා මැරී යති"යි කථාවෙහි මුල පිරී ය.

යුෂ්මතා යමුනානදිය ගැණ දන්නෙහි ය. එය හඳුන්වන්ට මම වැඩි වර්‍ණනාවක් නො කරමි. ඒ ගංඉවුරෙහි එක් බමුණුගමක් ඇත. එහි ත්‍රිවෙදපාරප්‍රප්ත එක් බමුණෙකුට දුවක් සිටියා. ඕතොමෝ රන්වන් ය. කිතුල්මල් රැහැන් මෙන් දික් වූ ඇගේ කෙශකලාපය මොනරකරක් මෙන් නිල් ය. පුන්සඳ සේ පැහැපත් මුහුණ නෙලුම් මලක් සේ මනහර ය. දික් වූ දෙඇස අහිංසකභාවය පෙන්වන ලකුණක් වි ය. දෙමටමලක් වැනි නැහැය නැණවත්බව ප්‍රකාශ කෙළේ ය. ඇගේ මනාකඩවසම් සහිත සියලු ම අවයව එක් ව ඇ‌ගේ රූපශොභාව දියුණු තියුණු කෙළේ ය. ඕතොමෝ රූසිරින් පමණක් නො ව ගුණවත්බැවින් ද අනික් කතුන් පැරදවූ. මේ පින්වත් යුවතියගේ ගුණකථාව රට හැමතැන පතළ වි ය. ධනයෙන් නො අඩු, ගුණයෙන් පිරිපුන්, නැණින් පොහොසත්, බමුණු තරුණයෝ තිදෙනෙක් ඇය ගැණ අසා ඇගේ මවුපියන් වෙත පැමිණියහ. එකල්හි රටෙහි පැවති සිරිත පරිදි, තමන්හට වෙන් වෙන් වශයෙන් ඇය විවාහ කොට දෙන මෙන් තුමූ ම යොජනා කළහ.

විවාහයොජනාව කොට වැඩි දවසක් නො ගියේ ය. කාන්තාතොමෝ හදිසිලෙඩකින් මළා. ඇගේ නැදෑයෝ මළකඳ ආදාහන කළහ. තරුණයෝ තිදෙන සුන් වූ බලාපොරොත්තු ඇත්තාහු අතිශයශොකයට පැමිණියහ. ඔවුන්ගෙන් එකෙක් ඒ සොහොනෙහි ම පැලක් සාදාගෙණ හිඟාකමින් එහි ම නැවතී සිටියේ ය. එකෙක් බමුණුසිරිත් පරිදි ඇගේ ඇට ගඞ්ගානදියෙහි දමනු පිණිස ගියේ ය. අනෙකා තවුස්වෙස් ගෙණ තන්හි තන්හි ඇවිදින්ට වන. මළවුන් ඉපිදවිය හැකි බෙහෙතක් හෝ මන්ත්‍රයක් දන්නෙකු සොයා නොයෙක් තන්හි හැසුරුණේ ය. පළමු කොට මහවනය මැද පිහිටි තාපසාරාමයන් කරා එළඹියේ ය. දික්රැවුළින් වැසුනු මුව ඇති, සැඩපලු ගෙතුනු කෙසින් හා දැලිකුණු වැකුනු ගතින් ද නොදැකුම්කලු, වැහැරි (ගස්වල පට්ටා) ඇඳ හෝ නො ඇඳ, එක් අතක් නොහොත් එක් පයක් ඔසවා ගෙණ නැතහොත් මහඅව්වෙහි ගිනිමැළ සතරක් සත‌රදෙසින් මොළවා ඒ මැදට වී ඉන්නා වූ ද, තියුණුඋල් ඇති කටු උඩුකුරු කොට අතුරා ඒ මත ශයනය කරන්නා වූ ද, දෘෂ්ටියෙන් උමතු වූ, ඇතැම් තවුසන්ගේ දුෂ්කරක්‍රියා පරීක්ෂා කෙළේ ය. ශරීරයට වැඩි සුව හෝ වැඩි දුක් හෝ නො දී මධ්‍යස්ථ පිළිවෙත් පුරණ දෘෂ්ටියෙන් අන්‍ධ නුවූ, ගුණයෙන් උතුම් වූ, නැණින් වැඩි හිටි, තවුසන්ගේ ධර්‍මකථා ශ්‍රවණය කෙළේ ය.

2

ඉක්බිති හෙතෙමේ පිළිවෙලින් නොයෙක් දනුවුුු හැසිරෙමින් ස්‍වභාවයෙන් ම රම්‍ය වූ ගම්හි ගම්හි පිහිටි, මිහිකත වැඳුමට මෙන් හිස නමාගත් රන්වන් කරලින් යුත් ගොයමින් වැසුනු කෙත් බැලී ය. බටු මිරිස් ලබු පුසුල් ආදී නොයෙක් ලවළුපැලෑටිවලින් නිල්වන්, අලබතලවලින් සාර වූ ඕවිටි හා දෙල් කොස් අඹ දඹ ආදී බොහෝ පල මල්තුරු පෙළින් විසිතුරු වතු ද පසු කෙළේ ය. ගොයම් ඉපනැල්ලෙහි තණ කමින් සිටින කිරිබරනෑඹිදෙනුන් අවට පෙම් කෙළනා බොළඳවසුපැටියන්ගේ සුරතල් බලමින් අංඅගින් නියරවල් බිඳිමින් ඉදිරියෙහි දකුණු පයින් පොළොව පළන්නට මෙන් බිම ඉරි අඳිමින් මහ හඬින් තැස් ලමින් (ගොනුන් ඇන ගන්ට මත්තෙන් කරණ ශබ්දය කරමින්) පොරට සැලසී සිටි, බිම වදිනා තරමට බෙල්ලෙහි එල්ලෙන තැල්ලෙන් ද උඩට නෙරා ගිය වටකුරු මහමොල්ලියෙන් හා දික් වූ හවරියෙන් ද සැරසුනු මහත් ගොන්පෙළ නැරඹී ය.

දෙපිලට බෙදී මැද පොල්කෝම්බ දෙකක් මුණින් නමා ඒ උඩ කෝටුකැබැල්ලක් තබා සාදනලද මට්ටය බිඳීමට එදෙසෙට නාරංගැටයක් නොහොත් කදුරුගෙඩියක් එල්ල ‌බලා දමාගසන ලමාපෙළ ද, ගෙදර ඇති වැඩපල නො කොට ගෙහිමියන්ට හොරෙන් පැන අවුත් සෙල්ලම්පිටිවලට වී සෙල්ලම් කරමින් සෙල්ලම් බලමින් පොර බදමින් කාලය ගෙවාදමන මෙහෙකරුලමයින් ද, එදිනට නියමිත පාඩම් සූදානම් කරගෙණ පිරිසිදුඇඳුම් ඇඳ පාසල් කරා කඩියන් මෙන් කඩිසර ව ගමන් කරණ හික්මුනු සිසුන් ද, ඉර පායන තෙක් ඇඳෙන් නො නැගිට ඉඳ මවුපියන්ගේ බැණුම්දෙඩුම් මැද අවදි ව බඩ පුරා කා බී කැඩී ඉරී ගිය පොත් කුණුමාලු මෙන් අතින් එල්ලා ගෙණ වටපිට බලමින් මඟ දෙපස තිබෙන එක ම දම්පඳුරක් වත් හිඹුටු වැලක් වත් අනික් පලතුරු ගසක් වත් නෑර හැම ගසක් යටට ම යමින්, මඟදිගෙහි පොර බදමින්, මඟ දෙපස ඇති හැම කුරුලුකූඩවලට ම එබී බලමින්, ගොළුබෙල්ලන් මෙන් හෙමින් හෙමින් පාසල් කරා ඇදෙන කම්මැලි ලමයින් ද, දක්‍ෂ ලමයින්ට තෑගිබෝග දී ඔවුන්ගේ ගණන් පිටපත් කර ගණිමින් පාරේ තැනින් තැන වාඩි වී ඉඳ ගෙණ හොර කම්හි මුල්පාඩම පුහුණු කරණ හොර ලමයින් ද, පාසැලට වී දක්‍ෂ ලමයින් සතුටින් වැඩ කරණ අතර, මැදිදවාලෙහි අතුඅග වාඩි වී සිටින රිලවුන් මෙන් නිදි කිරණ අලස සිසුන් ද දැක අවවාද කෙළේ ය.

මලින් බර පලින් සරු තුරුලියපෙළින් හා, මිනිසුන් දැක ද බියපත් නො ව බලාසිටිනා මුවන්ගෙන් හා රුකින් රුකට පියාඹමින් මිහිරිපලරස විඳිමින් මිහිරිනදින් ගායනා කරණ ලිහිණිසමූහයාගෙන් ද මුළු මුළු ව ගොදුරු සොයා හැසිරෙණ වැලිකුකුළු ඇටිකුළු ඈ විහඟුන්ගෙන් ද යුත් මනහර උයන් වැනි වනපෙත් ද බලා සිත් පිණවී ය.

රකුසන්ගේ ශරීරයට ද වඩා කලු වූ ගතින් හා ප්‍රෙතයන්ගේ හඬට ද වඩා අමිහිරි වූ නදින් ද යුත් සෙනසුරු වාහනය වූ කපටිකවුඩන්ගෙන් පිරුණු, මැලවී ගිය එහෙයින් ම රසයෙන් අඩු ඒලවළුපලවැල ආදිය තබා ගෙන විකුණන කඩපිල්වලින් දෙපස සැදුනු වීථීන්හි ධූලියෙන් තොරක් නැති, නොයෙක් දුශ්‍චරිතයන්ට නොයෙක් දුර්‍වවනයන්ට උල්පත් වැනි නානාවිධරොගයන්ට නිධාන වැනි, දක්‍ෂ මිනිසුන් විසින් අමුතුවෙන් ඇති කළ දෙයින් මිස ස්වභාවයෙන් රම්‍ය නුවූ, පණුවන් කෑ මසන් ගෙඩි මෙන් පිටතින් පෙණෙන ඔපය ඇතුළතින් නැත්තා වූ නගරයන් ද බැලී ය.

ඔහු ‌මෙසේ සොවින් බර සිතින් හා කඳුලින් පිරුණු නෙතින් ද ඩහදියෙන් තෙත් වූ ගතින් ද යුතු ව ගමින් ගම නුවරින් නුවර සැරිසරණ කල්හි ග්‍රීෂ්මකාලය පැමිණියේ ය. තවුසාගේ සිතෙහි ශොකාන්‍ධකාරයට නසන්නට මෙන් දහවල්දවස ක්‍රමයෙන් දික් වි ය. සූර්‍ය්‍යයා තමන්ගේ මුළු බලය යොදා වහවහා පොළොවෙහි දිය බොන්නට පටන් ගත්තේ ය. ගං ඇළදොළ සිඳී ගියේ ය. කුඩා ජලාශයයන්හි සිටි මත්ස්‍යයෝ මරබියෙන් ගැහෙන්නට වන්හ. කලු කවුඩන් හා සුදු කොක්කුත් එකතු ව මඩමතුපිට හිඳ ගෙණ මගුල් කෑහ. සීරුන්ගේ දික් වූ නාදය මිනිසුන්ගේ කන් විනිවිද ගෙණ ගියේ ය. පිට්ටනිවල තණ සියල්ල ම පිදුරු වී ය. තුරුලියවල කොළ වියලී ගියේ ය. වනපෙදෙස්හි ලැව්ගිනි නිතර පෙණෙන්නට පටන් ගත. දිය නො ලබා මිරිකුනු මුවපෙළ ඈත පෙණෙන මිරිඟුව දැක ජලය යි සිතා එවෙත දිව ගොස් අවසනක් නො දුටුහ. ගිමින් මිරිකුනු තරුණජනයෝ ජලක්‍රීඩාවෙන් දවස ගෙවූහ.

3

තවුස්වෙස් ගත් බමුණා ද ග්‍රීෂ්මයෙන් පීඩිත වූයේ එක් බමුණුගෙයකට ගොස් නවාතැන් ගත. ගෘහස්වාමීහු ඔහුට මැනවින් සංග්‍රහ කළහ. එක් දිනෙක්හි ඔහු වළඳින් සිටින අතර ලදරුවෙක් බත් ඉල්ලා අඬන්නට වන. ගෘහිණි තොමෝ ලදරුවා නළවන්ට උත්සාහ කළ නමුතු නො හැකි වූවා. ඕතොමෝ කිපුනී ය. ලදරුවා ගෙණ දැල්වෙමින් තිබුනු ලිපෙහි දැම්මා. අශරණබාලයා ගින්නට අසු ව අළු වී ගියේ ය. බත් වළඳමින් සිටි තවුසා එය දැක ඉතා කලකිරුණේ බත් නො කා නැගිට්ටේ ය. ඊට කරුණු කිම් දැ යි ගෘහිණිය විචාළා. "මෙබඳු රාක්‍ෂසගෘහයකට පැමිණීම මගේ අභාග්‍යයෙන් වී ය. සියදරුවා සුලුවරදක් නිසා මරන්නට තරම් ක්‍රෑර වූ තොපගෙන් මොන දන් ද? තොපගේ සමීපයෙහි සිටීම ද පව් පිරීමට කරුණකි. එහෙයින් වහා ම මම තොප වසන මේ  රටෙහි වත් නො සිට යන්නෙමි"යි පිළිවදන් දී තවුසා ගමනට සැරසින. ගෘහිණි තොමෝ "ස්වාමීනි, ඉක්මන් නුවුව මැනව. ඉක්මන්කම වනාහි අනර්‍ත්‍ථයට මුලක් බව නො දන්නා සේක් ද? සියදරුවන්ට තබා තිරිසනෙකුට වත් හිංසා කිරීම ක්‍රෑරතර පාපක්‍රියාවක් බව අපි දු නො දන්නමෝ නො වෙමු. අපගේ බලය පෙන්වනු පිණිස මම එය කෙළෙමි. අපබලය දක්නට කැමැතිසේක් නම්, මොහොතක් කල් රඳා සිටිනු මැනැවැ"යි කියා පැරණි පුස්කොලපොතක් ගෙණ බලා මන්‍ත්‍රයක් ජප කොට ඒ ලදරුවා දා ඉතිරි වූ අළු ගොඩට දියඇඳිල්ලක් (දෝතක්) ඉස්සාය. එකෙණෙහි ලදරුතෙමේ සිනාසෙමින් නැඟිට ආයේ ය.

තවුසා එය දැක සන්තුෂ්ට ව ආහාර අනුභව කෙළේ ය. මන්ත්‍රය පිළිබඳ තවත් තොරතුරු විචාරා දැනගත්තේ ය. නොයෙක් ඇවිටිලිබස් කියා උපචාරවිධි සහිත මන්ත්‍රය ලබාගත්තේ වහවහා යථොක්ත සොහොන කරා එළ්‍ඹියේ ය. ගඞ්ගානදියට ගිය තරුණයා ද එවේලාවෙහි ම එහි පැමිණියේ ය. "යහළුවෙනි, ශොකය දුරු කරවු. ඔය පැල කඩා දමවු. දැන් මට මළ ප්‍රියාව ඊපදවීමට ශක්තිය තිබේ ය"යි තවුසා කී ය. අනිත් දෙ‌දෙන තවුසා ශොකයෙන් උමතුබවට පැමිණ සිටිතැයි සිතූහ. තවුසාට විහිළු ද කළහ.

ඉක්බිත්තෙන් තවුසා කොළගොටුවක් තනා ඊට පැන් පෙරා ගෙණ මතුරා සොහොනට ඉස්සේ ය. අනිත් දෙදෙනාගේ පුදුමයත් සමග මළතරුණිය සොහොනින් නැංගා, ගිනිදෙවියන් වැඳ පිටතය නික්මුනා, පෙරට ද වඩා කාන්තිමත් දෙහයක් දැරුවා ය.

මෙසේ නැවත දිවි ලද ඇය දැක තිදෙන ම ඇය ලබන අටියෙන් කලහ කරන්ට පටන් ගත්හ. "මෝ තොමෝ මගේ මන්ත්‍රබලයෙන් දිවි ලැබුවා ය. එහෙයින් මෝ මට ම භාර්‍ය්‍යා වන්නී ය"යි එකෙක් කී ය. ගංගානදියට ගිය තරුණයා ඔහු නවතා "මා පුණ්‍යක්‍ෂෙත්‍රයන්හි ඇවිදීමෙන් වූ පිණින් මෝ තොමෝ දිවි ලද්දී ය. නුඹේ මන්ත්‍රබලයෙන් ම නො වේ. එහෙයින් මෝ තොමෝ මට ම අයිති ය"යි කී ය . අනෙකා "මා විසින් මැගේ අළු නො නැසිය දී රක්නා ලදි. ඒ අළු නො වූයේ නම්, කිසිවෙක් මැය නැවත ඉපදවිය හැකි නො වේ. එහෙයින් මැයගේ හිමියා මම් ම ය"යි කී ය.

වේතාලතෙමේ මේ කථාව කියා "පිින්වත් නරපතිය, ඔවුන්ගේ නඩුව විසඳීමෙහි යුෂ්මතා ම සමර්‍ත්‍ථය. අනෙකෙක් සමත්‍ථර්‍ නො වේ. එහෙයින් කියනු මැනව: ඒ කාන්තාව ඒ තිදෙනා අතුරෙන් කවරෙකුගේ භාර්‍ය්‍යාව වන්ට සුදුසු දැ?"යි පිළිවිස "ඉදින් දැන ගෙණ බොරු කීවොත් නුඹගේ හිස සියක් කඩකට පැළෙන්නේ ය"යි තරවටු ද කෙළේ ය.

*    *    *

කලින් වගේ ම තමයි. පිළිතුර ලබන සතියේ කියන තෙක් අනුමාන පිළිතුරු පහතින් දක්වන්න.

තට්ටයියාත්, නිදි අයියාත් කුඩා කල, (ඒ් කියන්නෙ කෝපි වසංගතේ එන්නත් කලින්) කියවාපු අම්බිලිමාමා සඟරාවෙ පළ වුණු වේතාල කතාවක් නිදි විසින් මා වෙත එවා තියෙනවා. ඒක මම ඊළඟ බදාදා දවසක පළ කරන්නම්...

4 තරඞ්ගය

Saturday, November 4, 2023

වෙතාල කථා - 2 තරඞ්ගය (ශනිදා දහයට!)

 1 තරඞ්ගය



1

රජුගේ වීරභාවයෙන් සතුටු වූ ශවාධිෂ්ඨිත (මිනිකුණට අරක් ගෙණ සිටි) වෙතාලයා එතුමන් අමතා "රජ්ජුරුවෙනි, ගමන්වෙහෙස දුරු වනු පිණිස කථාවක් කියන්නෙමි. අසව"යි කියා මෙ කථාව ඇරඹී ය.

පද්මාවතී කථාව

මෙහෙසුරුහට නිවෙස් වූ කෙලෙස්කුළෙහි තැනිතලා පෙදෙස් මෙන් පින්වත්දනන් විසින් ගැවසුනු බරණැස් නම් නුවරෙක් ඇත. එහි සියතෙදින් සතුරුරජුන් වනසා ලූ ප්‍රතාපමුකුට නම් රජෙක් වි ය. ඒ රජුට රූ සිරින් මල්සරා දප් හළ (අනංගයාගේ ආඩම්බර දුරු කළ) සුරු බැවින් හා තෙදවිකුමින් ද කඳ කුමරුන් මන් බුන් (මානය බින්දා වූ), වජ්‍රමුකුට නම් පුත්කුමරෙක් උපන. ඒ කුමරුගේ යහළු වූ මහනැණැති කිසියම් ඇමැති කුමරෙක් සිටියේ ය. ඒ තරුණකුමරු දෙදෙන එක් දිනෙක්හි කෙළිදෙළෙන් දඩයම් පිණිස බොහෝ ඈත ගොස් ශූරභාවය නැමැති ශ්‍රීකාන්තාවගේ චාමර වැනි සිංහ ග්‍රීවාවන්හි කෙසුරුරැස් තියුණු අවිපහරින් සිඳිමින් එක්තරා මහවනයකට පැමිණියහ. වෙහෙසට පත් එදෙදෙන එහි මනා විලක් දැක එයින් දිය බී අත්පා සෝදාගෙණ ගසක් මුල හිඳ ගෙණ ඉසුඹු ලන්නට වන්හ.

මේ අතර ඔහුතුමූ රූපශ්‍රී නමැති හැල්ලෙන් (ඇල්ලෙන්) ඒ විල පුරමින් මෙන් ද, මනහර බැලුම් හෙලුමෙන් එහි අමුතු නිලුපුල්වනයන් මවමින් මෙන් ද, සඳ පැරදවූ මුහුණින් පියුම් ගෙණ ඇර පාමින් මෙන් ද, පිරිවර සහිතව එහි සැපත් කාන්තාවක දුටහ. ඒ කාන්තාතොමෝ එකෙණෙහි ම ඒ රජකුමරුගේ සිත පැහැරගත්තා ය. කුමරතෙමේ ද ඇයගේ දෙනෙත් අත්පත් කර ගත. ඒ කාන්තාතොමෝ කුමරු දැක්මෙන් හටගත් විකාර ඇත්තී ලජ්ජාවෙන් කිසිවක් නො කිය හැකි ව හිතෙහි අදහස් සලකුණුවලින් දක්වන්නී උත්පලයක් ගෙණ කණෙහි පැලැන්දා ය. දත් මැද්දා ය. පද්මයක් හිසෙහි ගැසුවා ය. හදවත මතුවෙහි අත තැබුවා ය.

රජකුමරතෙමේ ඇගේ ඒ සලකුණු එකකුදු නො දත්තේ ය. නැණැති ඇමැතිපුත් තෙමේ ම සියල්ල තේරුම් ගත්තේ ය. ඇසිල්ලකින් ඕතොමෝ එහි නොසිට පිරිවර සමඟ පිටත් ව ගියා ය. ඇය සියගෙට ගිය නමුත් ඇගේ සිත කුමරා කෙරෙහි ම විය. කුමරතෙරේ ද සිය නුවරට ගියේ ඒ අඟන ගැණ සිතමින් දිනෙන් දින කෘශත්වයට  (කෙට්ටුබවට) පැමිණියේ ය. වෑරුණු සිරුරු ඇති ව නිතර සිතිවිල්ලෙන් හුන් ඒ කුමරා දැක මන්ත්‍රිපුත්‍රතෙමේ ඔහු අස්වසමින් ඊට හෙතු විචාළේ ය. කුමරතෙමේ "යහළුව, නුඹට නොකියන රහසෙක් ඇද්ද? මේ රහස නුඹට කියමි. එහෙත් නුඹ මට පිහිට වීමට සමර්‍තථ ය යි නො සිතමි. එදා අර විල ලඟ දී දුටු කත සුරඟනක් ද? නරඟනක් ද?ගදඹඟනක් ද? නාඅඟනක් ද? අහෝ! කියන්නට නො දනිමි. ඕතොමෝ බැල්මෙන් ම මගේ සිත පැහැර ගත්තී ය. සිත නැතිව කෙසේ ජීවත් වන්නෙම් ද? මෙ තෙක් දවස් වත් මා ජීවත් වීම මට මහත් පුදුමයකි! යහළුව, ඇගේ ගම නො දනිමි. නම නො දනිමි. කුලය නො දනිමි. ඉතින් මම ඇය වෙත කෙසේ නම් පැමිණෙම් ද? එහෙයින් මා අස් වැසීමෙන් කම් නැතැ"යි ගොත ගසමින් කී ය.

"දේවයන් වහන්ස, ඒ ගැණ නො සිතනු මැනැව. ඔබගේ සිත පැහැර ගත් ඇය වෙත ඔබ පැමිණවීමට මම සමර්‍තථයෙමි. ඇය විසින් කළ සලකුණු ඔබවහන්සේ නුදුටු සේක් ද? එයින් ඇඟවූ අදහස් නො දත් සේක් ද? කර්‍ණයෙහි උත්පලය ගැසීමෙන් ඇය විසින් අඟවනලද්දේ ඈ කර්‍ණොත්පලරජුගේ රාජ්‍යයෙහි වසනබවය. දත් මැදීමෙන් අඟවන ලද්දේ දන්තඝාටක නැමැත්තෙකුගේ දුවක බවයි. ඇගේ නම පද්මාවතී ය යි පියුම හිසෙහි ගැසීමෙන් අඟවනලදි. දෙවයන් වහන්ස, ඇගේ නම ගම දැන ගැණීමට මේ මදි ද? හදවත මත අත තැබීමෙන් අඟවන ලද්දේ ඇගේ ජීවිතය ඔබ කෙරෙහි පිහිටි බවයි. ඉතින්, ඇය ලබාගැණීම දුෂ්කර ය යි කවරහෙයින් සිතන සේක් ද? කාලිඞ්ගදෙශයෙහි කර්‍ණොත්පල නම් රජෙකු වසන බවත්, එතුමාගේ අමාත්‍ය වූ දන්කඝාටක නැමැත්තහුට පද්මාවතී නම් දුහිතෘරත්නයක් සිටින බවත් වෙළෙඳුන් ගෙන් අසා දැන සිටිමි. එහෙයින් ඈ කළ සංඥා මම පහසුවෙන් ම තේරුම් ගතිමි"යි කියමින් ඇමැතිපුත් තෙමේ කුමරා තුටු කෙළේ ය. කුමරතෙමේ අදහස සිද්ධ කර ගැණීමට උපා ලද්දේ සන්තොෂයට පැමිණියේ ය.

2

ඉක්බිති ඒ කුමාරයා ප්‍රියාව ලබන අටියෙන් නැවත යහළුවා සමග මන්ත්‍රණය කොට ගෙණ පහසුවෙන් ගෙණ යා හැකි ධනය ද ගෙණ දඩයමෙහි යනබව අඟවා ඒ විල වෙත යනු පිණිස නික්මුනේ මඳක් දුර ගොස් වාතාශ්වවෙගයෙන් සෙනඟ පසු කොට යහළුවාත් සමග කලිඟුදෙස බලා ගියේ ය. එසේ සෙනඟින් වෙන් වූ ඒ දෙදෙන කර්‍ණොත්පල රජහුගේ නුවරට පැමිණ දන්තඝාටකයාගේ මන්දිරය සොයා දැන ගෙණ ඊට නුදුරින් වූ කිසියම් මැහැල්ලකගේ ගෘහයට නවාතැන් ගණු පිණිස පිවිසියහ. මැහැල්ල ඔවුන්ට නවාතැන් දුන්නා ය. ඔහු ද අගනා මැණිකක් මැහැල්ල අතට දී එය විකුණා මිල ගෙණ ආහාරපාන සම්පාදනය කරන්නට කීහ. චක්‍රරත්නය උදෙසා පෙහෙ ව (සූදානම් ව නොහොත් අටසිල් සමාදන් ව) හොත් රජෙකු සක්රුවන දැක පිණා යන්නාක් මෙන් මැහැල්ල ද තමාගේ ජීවිතයෙහි නො ලද තරම් ධනයක් ලැබ සන්තුෂ්ට වූවා ඒ මිණිරුවන මහත් මුදලකට විකුණා වුව මනා ද්‍රව්‍ය ගෙණ අවුත් රසමුසුබොජුන් පිස ආගන්තුකයන් දෙදෙනා වැළඳවූ ය. බොජුන් වළඳා අවසන්හි මන්ත්‍රිපුත්‍රතෙමේ ධනය ලැබීමෙන් තමන්ට කීකරු වූ මැහැල්ලගෙන් තොරතුරු විචාළේ ය: "මෑනියෙනි, කිම, මෙනුවර දන්තඝාටක නම් කෙනෙකුන් අඳුනන්නෙහි ද?"

"ඔවු, පුතේ, හොඳින් ම අඳුනමි. මම ඔහුගේ කිරිමවයි. ඔහු විසින් මම ඔහුගේ දුව රැක බලාගැණීමට යොදන ලදිමි. එහෙත් දැන් මම එහි නො යමි. ඇඳ ගෙණ යන්ට මට දැන් වතක් (රෙද්දක්) නැත. අර කාලක්ණ්ණියා, අනේ! උන්දැට දෙවියන්ගේ පිහිටයි! මගේ හොර තක්කඩි කොල්ලා, මගේ හොඳ රෙද්ද, පද්මාවතිය දුන් රෙද්ද, හොරකම් කරගෙණ ගොස් විකුණලා සූදු කෙළියා. තවත් රෙද්දක් තිබෙනවා දැක්කොත් ඒකත් හොරකම් කරාවි. ඒ නිසා අළුත් රෙද්දක් ගන්ටත් බැහැ" මැහැල්ල කීවා.

මන්ත්‍රිපුත්‍රතෙමේ එ අසා වස්ත්‍ර ගැණීමට මැහැල්ලට ධනය දුන්නේ ය. මැහැල්ලගේ පුතා කැඳවා අවවාද හා මුදල් ද දී තමන්ගේ ප්‍රයොජනයට සලසා ගත්තේ ය.

ආගන්තුකයන්ගේ නිර්‍ලොභපරිත්‍යාගයෙන් සන්තුෂ්ට වූ මැහැල්ල "දන්තඝාටකයාගෙන් කවර ප්‍රයොජනයක් දැ?"යි විචාළා ය.

ඔහුගෙන් අපට වැඩක් නැත. එහෙත් ඔහුගේ දුව, පද්මාවතිය, හමු වීම අපට අවශ්‍ය ය. මේ රහස නුඹ කිසිවෙකු සමග කියන්ට එපා. මේ මගේ යහළුවා බරණැස් රජ්ජුරුවන්ගේ දෙටුපුතා ය. මෙතුමා එක්දිනෙක්හි අසවල් විල්තෙර දී පද්මාවතිය දුටුවේ ය. ඕතොමෝ ද මෙතුමාට ආලය කරණබව සලකුණුවලින් ඇඟවූවා ය. එහෙයින් ඇය කැඳවා ගෙණ යනු පිණිස මෙහි ආවෙමු. නුඹ ඈ වෙත ගොස් අප මෙහි අවුත් සිටිනබව රහසින් කියන්ට ඕනෑ. අප විසින් කරණ කියන සියල්ලක් ම රහසේ ම තබාගත යුතු"යි තරුණයා මැහැල්ලට කී ය.

මැහැල්ල පද්මාවතිය වෙත ගියා. ගොස් සුදුසු අවසරයක් ලැබ "දරුව, ඒ රාජපුත්‍රමන්ත්‍රිපුත්‍ර දෙදෙන ඔබ උදෙසා මෙහි පැමිණ මාගේ ගෘහයෙහි සිටිත්. දැන් කුමක් කටයුතුදැ?යි කියව"යි කීවා.

පද්මාවතී තොමෝ එබස් අසා මැහැල්ලට බැන්නා ය. බැණ දෑතෙහි කපුරු තවරා මැහැල්ලගේ දෙකොපුලට ගැසුවා ය. ඉක්බිති පරිභවයෙන් දුඃඛිත වූ මැහැල්ල අඬමින් ගෙට අවුත් "දරුවෙනි, නුඹලාගේ බස් නිසා මට වූ විපත් බලනු. මෙ වැනි අන්තරායදායක වැඩ මීට පසු ව මට නම් කියන්ට එපා ය"යි කීවා.

3

තරුණකුමරතෙමේ මැහැල්ලගේ බස් අසා බලාපොරොත්තු සුන් කර ගත්තේ ය. එහෙත් මහනැණැති ඇමැතිපුත්තෙමේ ඔහුගේ ශොකය දුරු කෙළේ ය:- "යහළුව, ශොකී නො වනු මැනැව. රහස රකිනු කැමැති ඕ තොමෝ මැහැල්ලට තර්ජනය කළා ය. ඒ තර්ජනය සැබෑ සිතින් කරණ ලද්දක් නො වේ. කපුරුවලට චන්ද්‍රපර්‍ය්‍යාය නාම (චන්‍ද්‍ර්‍රයාට කියන නම) ව්‍යවහාර කරණ බව නො දන්නෙහි ද? කපුරු තැවරූ දසැඟිල්ලෙන් මැහැල්ලගේ දුර්‍වණී මුඛයට ගැසීමෙන් ඇය විසින් අඟවන ලද්දේ, දාවල්හි ඔබතුමා හමුව කථා කරණු දුටුවොත් ඇගේ මවුපියන් කිපෙන බවත්, හමු වීමට සුදුසු කාලය රාත්‍රිය බවත්, සඳඑලිය ඇති රාත්‍රිය දහවලට වඩා වැඩි වෙනසක් නැති බවත්, මේ ශුක්‍ලපක්‍ෂයෙහි සඳඑලිය ඇති දශරාත්‍රියක් ඉතිරි ව තිබෙන බවත්. එහෙයින් එකල්හි නො පැමිණිය යුතු බව හා සුදුසුකල් එනතුරු බලාපොරොත්තු විය යුතු බවත් ය."

කුමාරයා සිය යහළුවාගේ ප්‍රඥාපාටවයට (ප්‍රඥාව පිළිබඳ දක්‍ෂකමට) සන්‍තුෂ්ට වූයේ දසදවස දසවසක් මෙන් ගෙවී ය. ඇමැතිපුත් තෙමේ නැවත ද මැහැල්ල තුටු කෙළේ ය. සිය මනදොළ සපුරා දුන හොත් මැහැල්ල රන්රුවනින් වසන බවට ගිවිස්සේ ය. ධනලොභී වූ මැහැල්ල නැවත ද පද්මාවතිය ලඟට ගියා මඳකලක් නිශ්ශබ්ද ව සිටියා ය. යුවතිතොමෝ එදින මැහැල්ල කුමරුන් ගැණ කථා කරන්නට මත්තෙන් ම ඇය විසින් පෙර කී කථාව කියා ඒ වැරැද්දට දඬුවම් වශයෙන් රත්නෙළුම්මල්පසකින් මැහැල්ලගේ මුහුණට ගැසුවා ය. අවමන් ද කළා ය. මැහැලිතොමෝ පෙරළා අවුත් තමන්ට වූ සියලු ගැහැට පැවසුවා ය. පෙරට ද වඩා කිපුනු බව දැන්වූවා ය. ඇඬුවා ය.

තරුණ මන්ත්‍රිපුත්‍රයා මැහැල්ල සනසා කුමරා එක් පසකට කැඳවාගෙණ ගොස් "කුමාරයන්වහන්ස, සැක ‌නො කළ මැනව. පද්මාවතී මේ දවස්හි ඔත්පල ව සිටිනී ය. තව දවස් පසක් බලනු මැනව. රත්නෙළුම්මල්පසින් මැහැල්ලට ගැසීමෙන් ඇඟවූයේ එයයි. ඔබට තව කීප දිනකින් ඇය හමු විය හැකි"යි කියා ඔහු ද සැනසී ය. 

කීපදිනක් ගෙවුනු පසු මන්ත්‍රිපුත්‍රයා නැවත ද මැහැල්ල පද්මාවතිය වෙත යැවී ය. පද්මාවතී එදින පෙර මෙන් රළු නො වූවා. මැහැල්ල ආදරයෙන් පිළිගත්තා. රසමුසු අහර වැළඳවූවා. මිදිරස බොමින් එදින මැහැල්ල සමග සතුටින් ගත කළා. මැහැල්ල ද තර්ජනය කරණ බියෙන් කුමරුන් ගැණ කිසිවක් ඇයට නො කීවාය. සවස්කල්හි මැහැල්ල සියගෙට යනු සඳහා සැරසෙනවිට ම බැහැරින් මහත් කලබල ශබ්දයක් ඇසින: "ඔන්න, ඔන්න! මත් ඇතෙකු දම් (දම්වැල්) බිඳගෙණ එනවා! අසුඅසු වුනු දෙය සුණුවිසුණු කරණවා! මිනිසුන් මරණවා!"

ඒ ඇසූ පද්මාවතී මැහැල්ලගේ ගමන වැළහූ. "අම්මෙ, දැන් මේ ඇතු විසින් අවුල් කළ මඟින් යන්ට එපා. මම නුඹ පෙට්ටියක දමා රැහැනින් වාකවුළුවෙන් පිටත බිමට බාවන්නම්. එතැනින් උයනට පලයන්. උයනෙහි පවුර ලඟ මහගහකට නැඟී එයින් ප්‍රාකාරයට පැන එයින් ද පිටත සිටි ගහකට නැග බැස පරිස්සම් සහිත ව ගෙදර පලයන්"යි මාර්‍ගය කියා දාසියන් ලවා මැහැල්ල කවුළුවෙන් පිටතට බෑවුවා ය. මැහැල්ල ද කී මඟින් ගෙට ගොස් සිදු වූ දෙය නො වළහා කුමරුන්ට කීවා.

"කුමරුනි, ඔබගේ මනොරථය පල ගන්නා දවස අද යි. පද්මාවතිය විසින් යුක්තියෙන් ඔබ යා යුතු මඟ පෙන්වන ලදි. ඒ මගින් ඇද ඔබ එහි යා යුතු"යි අමාත්‍යපුත්‍රයා පද්මාවතියගේ අදහස නිවැරදි ලෙස තේරුවේ ය. ඉක්බිති කුමරතෙමේ ජනසඤ්චාරය අඩු වූ කල්හි රජ කුමරෙකුට සුදුසු වූ ම අබරණ පැලඳ ඒ මතුවෙහි මැහැල්ගේ ඇඳුම් ඇඳ මැහැල්ලගේ වෙස් ගෙණ මිතුරාත් සමග මැහැල්ල ආ මගින් ම උයනට වැද පද්මාවතියගේ මැඳුර සමීපයට ගියේ කවුළුවෙන් පිටත එල්ලෙමින් තුබුනු පෙට්ටිය හා එය බැඳි රැහැන අල්ලා ගෙණ මතුමහලෙහි මඟ බලමින් සිටි දැස්සනුත් දැක්කේ ය. හෙතෙමේ මිතුරා එහි ම නවතා ගොස් පේටිකාවට නැංගේ ය. දාසියෝ පෙට්ටිය ‌රැහැනින් ඇද කුමරා උඩට ගත්හ. මැහැල්ලට මෙන් සිරිත් පරිදි විහිළු කළහ. පද්මාවතිය ද 'ඒ මැහැල්ල දෝ!'යි සැක කළා. කුමර තෙමේ මැහැල්ගේ වෙස් හැර සිය තෙද සහිත සොඳුරු තරුණරූසපුව පද්මාවතියට පෑයේ ය. පද්මාවතිය කුමාරයාගේ රෑපශ්‍රීයෙන් පුදුමයට පත් වූවා ආහාරපානාදිය දීමෙන් සංග්‍රහ කළා ය.

කුමරතෙමේ මඳ වේලාවක් කථා කරමින් සිට ආ මගින් ම උයනට ගොස් යහළුවාත් සමග සියනිවෙසට ගියේ සෙනෙහෙවචනයෙන් මිතුරාගේ සිත ද, ධනයෙන් මැහැල්ලගේ සිත ද තුටු කෙළේ ය.

4

තරුණ ඇමැතිපුත්තෙමේ මතු බලාපොරොත්තුවෙන් එදින ම මහතවුසෙකුගේ වෙස් ගත. මැහැල්ලගේ කපටි පුතා ද වෙස් මාරු කරවා ඔහුගේ අභියුක්තයා (ඇබිත්තයා) කෙළේ ය. තමන්ට පමණක් දෙවෙනි වූ කපටි කොලුවා ලවා තමන්ගේ යශොඝොෂය මිනිසුන් අතර පැතිරවී ය.

කුමරතෙමේ මෙසේ කීපදිනක් ම පද්මාවතිය වෙත ගියේ ය. එක්දිනෙක්හි දෙදෙනා කථා කරමින් සිටින අතර "කුමරතුමනි, මා විසින් කළ සළකුණු ඔබතුමා දැනගත්තේ කෙසේ දැ?"යි පද්මාවතිය කුමරාගෙන් ඇසුවා. කුමාරයා ද උත්තර දෙමින් "ප්‍රියාව, ම විසින් එය නො දන්නා ලදි. මගේ මිතුරෙක් වූ ඇමැතිපුතෙක් මා සමග අවුත් මෙහි සිටී. හෙතෙම නැණින් සුරගුරු වැන්න. මන්‍ත්‍රණයෙහි අසුරගුරු වැන්න. දිව්‍යඥාන ඇති ඔහු විසින් ම ඒ සියල්ල දැන ගන්නාලදි"යි කී ය.

මෙය අසා ඒ කපටකාන්තාතොමෝ ඇසිල්ලක් නිශ්ශබ්ද ව සිටියා ය. ඇතුළින් චඤ්චල වූ නමුදු පිටතින් ඒ බව සඟවන්නට වෑයම් කළා ය. කුමරාගේ ප්‍රඥාවත් යහළුවා නිසා කමන්ට විපතක් විය හැක්කැයි සිතුවා ය. ඔහුට ක්‍රොධ කළා ය. ඔහු මැරිය යුතු ය යි නිශ්චය කරගත්තා ය. අවසන්හි මෙසේ කීවා: "ස්වාමිනි, එසේ නම් ඔහු ගැණ මට මේ තාක් නො කීමෙන් ඔබ විසින් වැරැද්දක් කරණ ලදි. ඔබගේ යහළුවෝ මාගේ භාතෘහු (සහෝදරයෝ) ය. මා විසින් මාගේ භාතෘ වූ ඔහුට ම පළමු කොට බත්බුලත් දීමෙන් බුහුමන් කටයුතු වි ය. වේවා! දැන් කුමක් කරන්ට ද? හෙට උදාසන්හි ඔහුට ද පඬුරු යවන්මෙි."

රජකුමර ඇගේ අනුමැතිය ලැබ ගෙට අවුත් මිතුරා හමු වී ඈ කී සියල්ල කී ය. බුද්ධිමත් මන්ත්‍රිපුත්‍රයා ඇයගේ සංග්‍රහ තමන් විසින් පිළිගැන්ම නො ම සුදුසු යයි ද, එය ආදරයෙන් කරණු නො ලබන්නකැ යි ද සනිටුහන් කෙළේ ය.

උදෑසන ඔවුන් කථා කරමින් සිටින අතර පද්මාවතියගේ යෙහෙළියක් කිරිබත් හා බුලත් ද ගෙණ එහි පැමිණ මන්ත්‍රිපුත්‍රයාගේ සුවදුක් විචාළා, ඔහුට බුහුමන් කළා ය. පද්මාවතියගේ පඬුරු ද පිළිගැන්නුවා, "කුමාරයන් වහන්ස, ඔබගේ ප්‍රියාව වූ පද්මාවතිය අද එහි දී ම ඔබ වළඳවන්නට කැමැත්තෙන් සිටී. එහෙයින් වහා එනු මැනැවැ"යි කුමරා‌ට ආරාදනා ද කළා ය.

"මේ කිරිබත් මට ම පමණක් සෑහේ. අප දෙදෙනාට ප්‍රමාණ වන සේ නො එවන ලද්දේ අපේ කුමාරයන් වහන්සේට එහි ම භොජන පිළියෙල වී ඇති හෙයින් විය යුතු ය. දිය නා අවුත් මම මෙය වළඳමි. කුමාරයන් වහන්සේ ද තව ම ජලස්නානය නො කළ සේක. උන්වහන්සේ දිය නා තව ටිකකින් එහි වඩින සේක. ඒ තාක් තෙපි යව"යි ඇමැතිපුත්තෙම ඇය යවා "යහළුතුමනි, එක් පුදුමයක් බලනු මැනැව. මම දැන් එය ඔබට පෙන්වමි"යි කියා එක් කිරිබත්කැටියක් ගෙන එහි සිටි බල්ලෙකුට දුන්නේ ය. බල්ලා එය කා එකෙණෙහි ම විසංඥව වැටුනේ ය. කරුණාවන්ත වූ තරුණයා එක් බෙහෙතකින් බල්ලා සුවපත් කෙළේ ය. ඒ දුටු රජකුමරා "මේ ආශ්චය්‍යර්‍  කිමෙක්දැ?"යි පිළිවිසියේ ය.

කුමරතුමනි, පද්මාවතිය ඔබ කෙරෙහි ඉතා අනුරක්ත ය. ඇගේ අදහස්ප්‍රකටනයෙන් (ප්‍රකට කිරීමෙන්) මා ධූර්‍තයෙකු (කපටියෙකු) කොට ඕතොමෝ සැලකුවා. මා ජීවමාන ව සිටියොත් ඔබතුමා ඇය කෙරෙහි වඩා ඇලුම් නො කරතැයි ද, මගේ උවදෙසින් ඇය හැර දමා සිය නුවරට යතැ යි ද, සිතා මා මරන්නට මේ කරණලද උපක්‍රමය යි. මා නැත් නම් ඔබතුමාගේ ජීවිතය ද අන්තරායසහිත ය. එහෙයින් ඔබතුමා අත්හැර යෑම ද නො කට හැකි ය. මේ කපටගැහැණි තවත් කෙ බඳු උපක්‍රම කරා දැ යි නො දනිමි. මැහැල්ලගේ උපකාරයෙන් මට තව වරක් විෂ දෙන්ට ද පුළුවන. හැම වේලෙහි ම සිහියෙන් හා පරීක්‍ෂාවෙන් සිටිය හැක්කෝ කවු ද? යම් ලෙසකින් මට විෂවර්‍ගයක් කැවී විසංඥ වූවොත් මේ බෙහෙත ඔබතුමා මගේ මුව තුළ දැමිය යුතු යි. තව ද මෙහි වැඩිකල් සිටීම නුවණට හුරු නො වේ. වහා සිය රටට යා යුතු ය. පද්මාවතිය ද කෙසේ වුවත් ගෙණ යන්ට වුව මනා ය. ඊට මම උපායක් සිතන්නෙමි"යි අමාත්‍යපුත්‍රයා කී ය. කුමාරයා ඔහුගේ චාතුර්‍ය්‍යය දැක වඩා පහන් වූයේ ඔහුගේ ආරක්‍ෂාව සඳහා තමන් විසින් කළ හැකි සියල්ල කිරීමට ඉටා ගත්තේ ය.

5

එදින ම 'රජුගේ බාලපුතා, මළේය'යි ප්‍රසිද්ධ වි ය. මන්ත්‍රිපුත්‍රතෙමේ මේ මරණය තමන්ගේ කාර්‍ය්‍යසිද්ධියට උපකාරයක් කර ගන්ට සිතා කුමරා අමතා "කුමරුනි, ඔබ පද්මාවතිය ලඟට ගොස් ඇයට මේ බෙහෙත දෙනු මැනැව. මෙයින් ඕතොමෝ දෙපැයක් යන තුරු මළාක් මෙන් විසංඥ වන්නී ය. එවිට ඔබතුමා මේ ත්‍රිශූලයෙන් ඇන ඇගේ උකුළ තුවාළ කොට ඇය පලන් ඉතා මහඟු ආභරණයක් ද පැහැර ගෙණ වහා එනු මැනැව. ඊට පසු කට යුතු දෙය මම දන්නෙමි"යි කියා කුමරා යැවී ය.

කුමරා තිසුලවිය ගෙණ පද්මාවතියගේ මැඳුරට ගියේ ය. පද්මාවතිය සියමිතුරා පිළිබඳ තොරතුරු අසන්ට මත්තෙන් ම භක්තිමත් බුද්ධිමත් හිතවත් මන්ත්‍රීන්ගේ වචන ප්‍රභූන් විසින් නො ම විමසිය යුතුය'යි සිතා සියයහළුවා දුන් බෙහෙත උපායකින් පද්මාවතියට කැවී ය. එයින් ඕතොමෝ මුසපත් ව නිදන්නට වන. රජකුමරතෙමේ යහළුවා කී සේ සියල්ල සම්පූර්‍ණ කර වහා යහළුවා ලඟට ගොස් පද්මාවතියගේ ලක්‍ෂයක් අගනා මුතුහර ඔහු අත තැබී ය.

තවුස්වෙස් ගත් ඇමැතිපුත්තෙමේ එය රැගෙණ තමන්ගේ ඇබිත්තයාත් සමග අමුසොහොනට ගොස් "මේ මුත්හර විකුණා මුදල් ගෙණෙව. කිසිවෙකු මෙය නුඹට කොයින් ලැබුනේ දැ යි ඇසුවොත්, මා විසින් දුන් බව කියා ඔහු ද මා ලඟට කැඳවා ගෙණ එව"යි කියා ඒ කපටි කොලුවා යැවී ය.

මේ අතර 'පද්මාවතියගේ ගෙට හොරෙක් ඇතුල් ව ඈ පලන් මුත්හර පැහැරගෙන ගියේ ය'යි නගරයෙහි පැතිර ගියේ ය. තරුණියගේ පියතෙම සොරුන් ඇල්ලීමට රාජ පුරුෂයන්ට විධාන කෙළේ ය.

අභියුක්තයා මුත්හර විකුණනු පිණිස අබරණවෙළෙඳ සැලකට ගොස් එය පෙන්වී ය. වෙළෙන්දෝ ඒ බව රාජ පුරුෂයන්ට දැන්වූහ. රාජපුරුෂයෝ අවුත් මුත්හර හා තාපසයාගේ අභියුක්තයාත් අල්ලා ගෙණ දන්තඝාටකයා වෙත ගොස් සැළ කළහ. හෙතෙම මුත්හර ඇඳින එය ලත් පරිදි ඇසීය. අභියුක්තයා "මහතුනි, මම මේ ගැණ කිසිවක් නො දනිමි. මගේ ගුරු වූ මහතෙදබල ඇති තවුස්තෙමේ මෙය විකුණා මුදල් ගෙණඑන්ට මට නියම කෙළේය. ඒ නිසා මම මෙ ගෙන ආමි. ඔබතුමන්ට මේ පිළිබඳ තොරතුරු දැන ගන්ට වුව මනා නම්, මා සමග ඒ තාපසයන් වහන්සේ ලඟට එනු මැනව. එතුමා සියල්ල නොවළහා කිය"යි කී ය.

රාජපුරුෂයෝ කොලුවාත් සමග තවුසා ලඟට ගියහ. ගොස් මුත්හර ලත් පරිදි විචාළහ. ධූර්‍ත වූ මන්ත්‍රිපුත්‍රතෙමේ එය ලද පරිදි කී ය:- "මහතුනි, මම තවුසෙක්මි. මට ඉන්ට නියමිත් තැනක් නැත. තැනින් තැන ඇවිදින්නෙමි. මම මේ සොහොනෙහි කීපදිනක පටන් සිටිමි. ගත වූ රාත්‍රියෙහි මෙහි පැමිණි යකින්නන් පෙළක් දිටිමි. එයින් එක් යකින්නක් ලදරු රජකුමරෙකු ගෙණ අවුත් මරා භෛරවයාට බිලිදෙන්ට සැරසුනා ය. ඒ රජකුමරා කෙරෙහි අනුකම්පාවෙන් මම යකින්නන් එලවා ලීමට මන්ත්‍ර ජප කරන්ට පටන් ගතිමි. එයින් කිපුනු ඒ යකින්න මාගේ අක්‍ෂමාලාව (මන්ත්‍ර ජප කිරීමෙහි දී වාර ගණන මතක තබාගණු පිණිස ගන්නා ඇටවැල (Rosary)) උදුරාගන්ට නොයෙක් විකාර වෙස් ගණිමින් නොයෙක් මායා දක්වමින් මා ලඟට ආවා ය. මම ද එකෙණෙහි මගේ මේ මන්ත්‍රපුතත්‍රිශූලයෙන් (මන්ත්‍රයෙන් පවිත්‍ර කළ තිසුලවියෙන්) ඇගේ උකුලට ඇන්නෙමි. ඇගේ කණ්ඨයෙන් මේ මුත්හර ද උදුරාගතිමි. මෙබඳු මුත්හරකින් අප වැනි තවුසන්ට කවර ප්‍රයෝජනයක් ද? එහෙයින් එය විකුණා මුදල් ගෙණ එයින් හෝමද්‍රව්‍ය ගෙණ එන්ට මගේ අභියුක්තයාට දුන්නෙමි."


රාජපුරුෂයෝ මුත්හර ගෙණ රජ්ජුරුවන් වෙත ගොස් තවුසාගේ කථාව දැන්වූහ. රජ ද ආප්තවනිතාවන් (විශ්වාස කට හැකි ස්ත්‍රීන්) ලවා පද්මාවතියගේ ශරීරය පරීක්‍ෂා කරවී ය. තවුසා කී පරිදි උකුළෙහි ත්‍රිශූලයකින් ලත් තුවාළයෙක් ද වී ය. වැඩි දුරට පරීක්‍ෂා කිරීමෙන් එය තවුසාගේ තිසුලවියෙන් වූවක් බව ම ප්‍රකට වි ය. පද්මාවතිය ද මෙය මන්ත්‍රිපුත්‍රයාගේ උපක්‍රමයෙකැයි සිතා නිශ්ශබ්ද ව සිටියා ය. ඇයගේ දැස්සෝ ද සත්‍යප්‍රවෘත්තිය එලි කිරීමට බිය වූහ.

6

"මුත්හර පැහැර ගැන්ම සොරෙකුගේ වැඩක් විය නො හැක්ක. මගේ ප්‍රධානඅමාත්‍යයෙකුගේ ගෙයින් සොරාගත් දෙයක්, ඊට පසු දින ම, විකුණනු පිණිස මේ නුවරට ම සොරෙක් නම් නො එවයි. පද්මාවතියගේ උකුළ තුවාළ කිරීමෙන් සොරෙකුට ඇති ප්‍රයෝජනය කිම? තවුසාගේ ත්‍රිශූලය සොරාට කොයින් ද? තවුසා සොරෙක් ද? සොරෙක් නම් මුත්හර විකිණීම අන්අයුරකින් කරන්නේ ය. රැකවල් සහිත තැනකට ඇතුල් ව තවත් මහඟු අබරණ තිබිය දී මුත්හරක් පමණක් හැරගෙණ සුලු තුවාළයක් පමණක් කොට කාට වත් නො දැනෙන ලෙස පැන ගියේ කෙසේ ද?" යනාදීන් රජතුමා තර්‍ක කෙළේ ය. පද්මාවතිය යකින්නකැයි ද, ඇය විසින් තමන්ගේ පුත් කුමරා මරණලදැයි ද, නිශ්චයට පැමිණියේ තවුසා වෙත එළඹ, ඈට කටයුතු නිග්‍රහ (දඬුවම) කිමෙක් දැ යි විචාරා ඔහුගේ කියමන ලෙස ඇය නුවරින් බැහැර කරවී ය. ඇගේ මවුපියන්ගේ ඇඬුම්වැලපුම් සියල්ල නිෂ්ඵල වි ය.

ඇගේ යහළු රජකුමරතෙමේ ද සාමාන්‍යනාගරිකයෙකු මෙන් පිරිස සමග ගොස් වනයෙහි සැඟවුනේ රාජ පුරුෂයන් පෙරළා නගරයට ගියකල්හි ඇය වෙත ගොස් සැනසී ය. අමාත්‍යපුත්‍රතෙමේ තවුස්පිරිකර සොහොනෙහි ම දමා සිය ඇබිත්තයාත් සමග නුවරට ගොස් ඉතා ජව සම්පන්න අශ්වයන් සිවුදෙනෙකුන් මිලට ගෙණ මැහැල්ලත් කැඳවා ගෙණ කුමරා සිටිතැනට ගොස් පද්මාවතියත් රැගෙණ සිය නුවරට ම ගියේ ය. පද්මාවතියගේ මවුපියෝ සියදුව ගැණ ශොක කිරීමෙන් මළහ.

වේතාලතෙමේ මේ කථාව කියා, "රජ්ජුරුවෙනි, මේ ගුණවත් අඹුසැමි දෙදෙනාගේ මරණයෙන් පව් වන්නේ රාජපුත්‍රයාට ද? මන්ත්‍රිපුත්‍රයාට ද? නැතහොත් පද්මාවතියට ද? මගේ සිතෙහි මේ ගැණ මහත් සැකයක් පවතී. යුෂ්මතා නුවණඇතියන් අතුරෙන් ශ්‍රෙෂ්ඨයෙකු මෙන් පෙණෙන්නෙහි ය. එහෙයින් මගේ සැකය දුරු කරව. ඉදින් දැන දැන ද මට උත්තර නො දෙන්නෙහි නම්, එකාන්තයෙන් ම නුඹගේ හිස සියක් කඩකට පැළෙන්නේ ය. යහපත් පිළිතුරක් දුන් කෙණෙහි ම මම නැවත ද මගේ ඇට්ටේරියගසට යන්නෙමි"යි පැන විචාරා සිය අදහස ද දැන්වී ය.

"යක්‍ෂාධිපතිය, ඔබ විසින් නො දත්තේ කිමෙක් ද? එසේ ද වුවත් කියන්නෙමි"යි රජතෙමේ පැන විසඳන්ට පටන් ගත්තේ ය...

*    *    *

කුමක් වන්නට ඇත් ද, රජුගේ පිළිතුර?

මීළඟ කොටස වෙන තෙක් ඔබේ පිළිතුරු පහතින් කමෙන්ට් කරන්න.

වැඩිපුර බලපු ලිපි