මේ අපි කවුරුත් හොඳින් දන්න අඳුනන වල් මදාවියා හෙවත් විසිටරයා විසින් මා අරභයා දේශනා කරන ලද ආදුරුස පාටයකි.
මේ ආදුරුස පාටය දේශනා කරන්නට යෙදුන නිමිත්ත වූයේ මා පහුගිය දෙසතියේ අම්බානකට බිසී වීම නිසා බ්ලොග් ලෝකයේ වූ දේවල් (තියා නිවුස් මොනවක්වත් පවා) කිසිම දෙයක් නොදන්නා තත්ත්වයකට පත්වීමය.
ඩ්‍රැකියානිත් මාත් අවුරුදු තුනක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි අපේ කිරුළ හිමි ඩ්‍රැකී කුමාරයා මේ ලෝකයට බිහි වූයේ පහුගිය සතියේය.
ඉතිං මාර ආතල් ය. පාන්ද හතරට නැගිට, මෑණි පාර්ශවයත් එක්ක සෙටමෝල් වී උයාගෙන (ඒ කියන්නෙ අම්මට පොල් මිරිකා දී එයා උයා දෙන කෑම එක බැඳගෙන.) ඩ්‍රැකියානිට තේත් හදාගෙන හොස්පිටලය බලා පිටත් වන්නෙමි. ඊට පස්සෙ ගෙදර ආ වෙලේ ඉඳං, "හනේ දෝනිට මේ කෑමම දවල්ටත් දෙන්නෙ කොහොමදැ?" යි විස්සෝප වෙන අම්මා එක්ක තවත් මොකක් හරි වෑඤ්ජනයක් දෙකක් උයා, ඩ්‍රැකියානිගේ සහ පසුකාලීනව ඩ්‍රැකි පැටියාගේ කිලිටි රෙදි ගොන්න සෝදා දමා, අම්මාද කිහිල්ලේ ගසාගෙන දවල්ට ඩ්‍රැකියානි බලන්නට යන්නෙමි. ඒ කොල්ලා ගෙදර ඇවිත් පැය බාගෙයක් නිදාගෙන ඉන්නා මම ඊට පස්සෙ අවදි වෙන්නේ, ගේ දොර මිදුළ අතු පතු ගා, ඩ්‍රැකී පැටියා වෙනුවෙන් විශේෂ පිරිසිදු කිරීම් කොර, හවස විසිට් එක සඳහා අවශ්‍ය කළමනා ලෑස්ති කරන්ටය. හවස හොස්පිටලයෙන් ගෙදර ආ වෙලේ ඉඳන් පහුවදාට උයන්ට කළමනා ලෑස්ති කිරීම, කිළීටි රෙදි සේදීම, වේළුනු නැප්කින් අයන් කිරීම ආදී කප්පරක් කරුමාන්ත නිමවා මධ්‍යාහ්න දොළහට කිට්ටු කර (පැය එකහමාරක් විතර කිට්ටු කර) නිදාගන්නට යන්නෙමි.
මෙසේ කරන ලද දුෂ්කර කිරියාව දැන් ඩ්‍රැකී පැටියා සමඟ නයිට් ඩියුටි කිරීම දක්වා වෙනස් වී ඇත්තේය. මොකද ඩ්‍රැකියානි කියනාකාරයට මූ නම් ගිය ආත්මයේ මුරකාරයෙකි. මුන්දෑ දවාලට බබා වගේ නිදාගෙන ඉඳ, රෑ තිස්සේ ගෙදර දෙවනත් කිරීමේ කාර්යයේ නිරත වෙන නිසාය.
කෙසේ වෙතත් කුළුඳුලේ පුතෙක් ලැබීම රටක් රාජ්ජයක් ලැබුණා වගේය. වැඩියත්ම වැදගත් වන්නේ අපි බලාපොරොත්තු වුනේ එක දරුවෙක් විතරක් හදන්ට නිසාය. (සිංහල ජාතිය ගැන හිතා දරුවන් පඩිපෙළක් හදන්නට කියන උන්ට මට කියන්නට ඇත්තේ, ඊට පෙර වනචර දොස්තරයන් ගේ මානසික රෝග සුවකර, නර්ස් ලා සහ මිඩ්වයිෆ්ලා ට මිනිස්සුන්ට කතා කරන්නට උගන්වන ලෙසය... අම්මප...!!!)
අවසානයේ, මෙතෙක් කලක් ඩ්‍රැකී ජූනියර් ලෙසින් හඳුන්වාගන්නා ලද මා, ගිය සතියේ සිට ඩ්‍රැකී සීනියර් ලෙස මාගේ ඊ්මේලය, සහ මූණු පොතේ එකවුන්ටය වෙනස් කරනා බවට උතුං වූ බ්ලොග් අවකාශයටත්, එහි සැරිසරනා සියල්ලන්ටමත් ගෞරව බහුමානයෙන් යුක්තව දන්වා සිටින වගයි...
-------------------------
උඩිං කියන්නට යෙදුන කාරණේත් එක්ක, ඩ්‍රැක්‍යුලාගේ ඉතිහාසය ලියාගන්නට මේ සතිය වන විටත් බැරි වීම නිසා, කලිං පෝස්ටුවේ පහතින් ලියා පොරොන්දු වූ විදිහට, අලි ප්‍රහේලිකා අංක තුන, ඉදිරිපත් කරනු ලැබේ...
(චර චර චර චර... හුරේ...! ජය වේවා...!!!)
1.
ගිරව් තුන් දෙනෙක් එකා පස්සෙ එකා සරළ රේඛාවක් විදිහට පියාඹාගෙන යනවා. ඉස්සෙල්ලම ගිය ගිරවා පිටිපස්ස හැරිලා බලලා කියනවා, "මගෙ පස්සෙං තව ගිරව් දෙන්නෙක් එනවා" කියලා. දෙවෙනි ගිරවත් පස්ස හැරිලා බලලා කියනවා, "මගෙ පස්සෙං තව ගිරව් දෙන්නෙක් එනවා" කියලා. අන්තිම ගිරවත් පස්ස හැරිලා බලලා කියනවා, "මගෙ පස්සෙං තව ගිරව් දෙන්නෙක් එනවා" කියලා. කොහොමද එහෙම උනේ?
2.
මත්තල හිටපු කොකෙක් හිටියා. උගේ කෙකි කෑල්ල වැඩකළේ කොළඹ බෝඩ් වෙලා. ඉතිං හැම සෙනසුරාදම කොකා උදේ හයට මත්තලිං පිටත් වෙලා පියාඹගෙන එනවා කොළඹට. ඌ කොළඹට එද්දි උදේ 8 යි. ඊට පස්සෙ කොක් ජෝඩුව වික්ටෝරියා පාක් ගිහිං, ගෝල් පේස් ගිහිං, තව තව තැං ඔල ගිහිං එහෙම, දෙන්නා සමුගන්නෙ දවල් දොළහට. දවල් දොළහට කොළඹින් පිටත් වෙන කොකා, මත්තලට ළඟ වෙද්දි හවස හතරයි.
කෙටියෙං කිව්වොත්, උදේ කොකාට කොළඹ එන්න පැය දෙකක් ගියාට, හවස යද්දි පැය හතරක් ගතවෙනවා. ඇයි ඒ?
3. මේ කොකාම වැහි දවසක පියාඹාගෙන යනවා. අකුණක් ගහනකොට ඌ එකපාරටම පහළට වැටෙනවා. ආපහු උඩට ඉගිළෙනවා. ආයෙ අකුණක් ගහනකොට ආයෙම පහළට වැටෙනවා. ඇයි ඒ?
4.
5.
පනු අම්මයි, පනු තාත්තයි, පනු පුතයි, පනු පුතා ශිෂ්‍යත්වෙන් පාස් වෙච්ච සතුටට ඩිනර් එකකට එළියට ගියා. හෝටලේට ඇතුල් වෙච්ච ගමං පනු පුතා කිව්වා, "අර ටේබල් එකේ නම් අපි හතර දෙනාටම ඉඩ තියෙනවා" කියලා. කොහොමද හතරක් උනේ? (උඩ ප්‍රශ්නෙට උත්තරේ මේ ප්‍රශ්නෙට භාරනොගන්නා බැවින් කරුණාවෙන් අලකන්න.)
6.
පොළොව මැද්දෙ ගල් කන පණුවෙක් ඉන්නවා. උගෙ නම මොකද්ද?
7.
මුහුද මැද්දෙ යකඩ බල්ලෙක් ඉන්නවා. ඌ කන්නෙ මොනවද?
8.
පොරක් විදේශ ගත වෙන්න හිතලා, හදිසියෙන් තමන්ගෙ දේපළ ඔක්කොම විකුණලා ගත්තා ප්‍රයිවට් ජෙට් එකක්. පොරට විකුණගන්න බැරි උනේ වොෂිං මැෂීන් එක විතරයි. ජෙට් එකට පටවන්න පුළුවන් කිලෝ සීයයි. පොර බරයි කිලෝ හැත්තෑවක්. වොෂිං මැෂින් එකත් කිලෝ හැත්තෑවක් බරයි. කොහොමද පොර වොෂිං මැෂින් එකත් අරගෙන පිටරට ගියේ?
9.
හරකෙක් තාප්පයක් අයිනෙ ගැටගහලා ඉන්නවා. ඌ විඩිං විඩේ තාප්පෙට උඩිං බලනවා. උෟ ඇයි තාප්පෙට උඩිං බලන්නෙ?
10.
ඇමරිකාවෙන් වළක් හාරගෙන හාරගෙන ගිහිං, පොළොවෙ අනිත් පැත්තෙං මතු උනා. ඒ වැඩේ හරියට වුනාද කියලා බලන්න, ඇමරිකාව පැත්තෙං ගල් කීපයක් දැම්මා වළට. ඒත් ඒවා අනිත් පැත්තෙං එළියට ආවෙ නෑ. ඇයි ඒ?
11.
කෙල්ලෙකුයි කොල්ලෙකුයි මුහුදු වෙරළට ගියා. කෙල්ල කිව්වා කොල්ලට "මට මුතු ගොඩක් ගෙනත් දෙන්න" කියලා. කොල්ලා ජබුක් ගාලා පැන්නා වතුරට. පැනල බැලින්නං පැනපු තැන මුතු බෙල්ලො විමානයයි. පොර ඔළුව වතුරෙ ඔබාගෙන බෙල්ලො අහුරු අහුරු අරං වෙරළට විසි කරන්න ගත්තා. මහ වෙලාවකට පස්සෙ කොල්ලා ආපහු ගොඩට ඇවිත් බලනකොට, කෙල්ල සුන්බුන් ගොඩක් මැද මැරිලා හිටියා. කොහොමද කෙල්ල මැරුණෙ?
12.
තාත්තල දෙන්නෙකුයි පුත්තු දෙන්නෙකුයි සිරීපාදෙ ගියා. ආපහු ආවෙ තුන් දෙනයි. ඒ ගැන ගෙදර කවුරුවත් කළබල උනෙත් නෑ. ඇයි ඒ?
මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් වුන කාට උනත්, තෑග්ග විදිහට මම කණට කරලා කර්ණ රසායන සිංදුවක් කියනවා...
ප/ලි
මේ ප්‍රශ්න ඔක්කොටම උත්තර දෙන්න පුළුවන් උනොත් රවි ට හෝ ඩූඩ්ට, උන් දෙන්නාගේ ඉල්ලීම පරිදි මේ බ්ලොග් එක උන් දෙන්නාටම පවරා දෙන්නට අදහස් කරමි.