Wednesday, June 22, 2016

හක වස්තුව - the journey of the Valampuri

http://maxuncommon.weebly.com/uploads/2/6/9/1/26919294/1321652_orig.jpg

මේ පෝස්ටුව අතිශයින්ම අවර ය. අර පමණක් අය වැඩිහිටියන්ට පමණකි නැත්නම් 18+ කියා ලේබල් කරන වර්ගයේ එකකි. එහෙයින්, මෙය නොඉවසන පාඨකයෝ, හොරෙන් කියවීම සහ නිර්නාමිකව අදහස් දැක්වීම හැරුණු කොට, මෙම පෝස්ටුව මගහැර, මා මීළඟට පළ කරන ලිපිය කියවීමට සටහන් කරගෙන හැරී යාම මැනවි.

තුන් යහළු වික්‍රමය (ප්‍රවේශ කතාව)

http://images.mid-day.com/2013/dec/Chashmebuddoor.jpg


(ප්‍රධාන කතාවට කිසි සම්බන්ධතාවයක් නැති කවි පද දෙකක් හෝ හතරක් එහෙමත් නැත්නම් ගාථාවක් හෝ කතාවක් කියා, කතාවක් පටං ගැනීම අපේ චිරාත්කාලීන සම්ප්‍රදායකි. මේ කතාව ලියන්නේ ඒ අඛණ්ඩ, ලාංකේය සම්ප්‍රදාය රැකීමට ය. වල් අලි මරා හෝ සම්ප්‍රදාය රැකිය යුත්තේ ය. නැත්තං සිංහල ජාතිය වඳ වෙන්නේ ය.)

ලෙත්තේ, ලෙයියේ සහ පාම්බේ ගජ යාළුවෝ ය. දවසක් උන් ‍තුන් දෙනා උංගේ තවත් බොක්කෙ ෆිට් එකක් වන ඇම්බේ මුණගැහෙන්නට උගේ ගෙදර යන්නට පිටත් උනෝ ය.

කොහොමත් කොල්ලො තුං දෙනෙක් සෙට් උනාම බහුලව කෙරෙන දේ වන්නේ, දෙන්නෙක් එකතු වී අනිකාව චාටර් කිරීමය. මේ ගමනේදී ද ඒක ඒ හැටියෙන්ම කෙරුණේ ය. වැඩියෙම්ම චාටර් උනේ, චාටරය ඉවසන්නට බැරි ලෙයියේ ය.

පාර අයිනේ පොඩි මුඩුක්කු දේවාලයක් තියෙනවා යාළුවන් තුන් දෙනා දැක්කේ මේ අතර ය. ළඟ කඩේකින් පොල්ගෙඩියක්ද අරං දේවාලයට රිංගූ ළාමක ලෙයියේ පළි ගැහුවේ තමං චාටර් කරන එවුන්ට හත්පොළේ හැඳිගෑවෙන්ඩ ය.

අනික් උං දෙන්නට මේ වැඩෙං තවත් ආතල් ය. මේක මතක් වෙන මතක් වෙන පාරට ලෙත්තේ හූ කීවේය. පාම්බේ කොක දාගෙන හිනා වුනා පමණකි.

කොහොමිං කොහොමිං හරි තුන්දෙනා ඇම්බේ ගේ ගෙට සේන්දු වුනෝ ය. උං යාළුවාට කතා කරද්දී, ඇම්බේ කිතුලේ ය. රා මදින්නට ගොහිනි.

හක වස්තුව

(මේක ඉතිහාස කතාවක් ය. මං මේක ලියන්නේ මූලාශ්‍ර සහිතවය. ...එහ්හ්හ්හෙනං! ය...)

මහාසම්මත මනු කුළයෙන් ඔක්කාක රාජ වංශයෙන් පැවතෙන, තම කුළ පරම්පරාවෙන් මිහිකතට ස්වාමීත්වය දරණ, සූර්ය වංශයට සූරියකාන්ත මලක් වැනි, චන්ද්‍රවංශයට තරුවක් බඳු, නයි-ක ශ්‍රීන් විරාජමාන මහරජ්ජුරුවන්ගේ (රජාට නමක් දාන්නට බැරි නිසා වන්නම් කීපයක් මුලිං එකතු කළෙමි. කියවන්නන්ට නම මගඇරීමට මං කළ කපටිකම නොපෙනේවා!!!) හරක් පට්ටිය භාර නිළමෙ කෙනෙක් උන්නේ ය. උන්නැහේ පට්ටම් තකා වත්, පඩි තකා වත් නොව, හුදෙක් රාජකාරිය දේවකාරිය වසයෙන් සළකා සූර වීර වික්‍රමයෙන් හරක් බලාගන්නා නිසා, එයාගේ රාජපාක්ෂික භාවය ගැන සතුටු වූ මහරජ්ජුරුවෝ ඒ නිළමෙට මුකදාන නම් අභිධානයක් පටබැඳ රටේ ඉහළම පූජනීය වස්තුව වූ වමට කැරකුණු හක්ගෙඩියක් ප්‍රදානය කළ සේක. මතු කියවෙන්නේ ඒ හකේ කතාවය.

https://nawammawatha.files.wordpress.com
/2011/10/31-10-2011.jpg?w=630
හරක් පට්ටිය බලාගන්නා නිසා මුකදාන නිළමේ රටේ ප්‍රසිද්ධ වුනේ පට්ටියෙ මුකදාන නිළමෙ කියා ය. උන්දෑ ඔය තමුන්ට රජාගෙන් ලැබුණු හක ගැන කොච්චර ආඩම්බර උනාද කියතොත් යන යන හැම තැනම හක පං මල්ලෙ දාගෙන අරං ගියේ ය. නාන්ඩ ගඟට ගියෙත් පං මල්ලෙ හක අරගෙන ය.

දවසක් නාන්ඩ ගියපු නිළමෙ, හක සහිත පංමල්ල ගං ඉවුරේ තියා ගඟට බැස්සේ ය. පැත්ත පළාතට වැස්සේ නැති උනත්, ග‍‍ඟේ උඩහට වැටුණු වැස්සකින් ගඟේ වතුර මට්ටම වැඩි උනේ නිළමෙටත් නොදැනී ම ය. නිළමේ දකින විට ඉවුරේ තියා ආ හක පාවෙලා යනවාය. නිළමේද ටක් ගාලා හක පලෝ කරන්නට පටං ගත්තේ ය.

පාවෙලා පාවෙලා ආව හක පං ගොල්ලක රැඳුනේ ය.

මෙතැනින් කතාව වෙනස් වන්නේය. හකාවංශය නම් පැරණි පුස්තකය අනුව කතාව එක විදිහකි. සක්ධර්මරත්නාවලියේ කතාව ඊට වඩා බොහෝ විස්තරාත්මකව හා රසවත්ව ලියා ඇත. 

හකාවංශයේ සඳහන් පරිදි...

එහා ඉවුර දෙසට පාවෙලා පාවෙලා ආව හක පං ගොල්ලක රැඳුනේ ය. එතන පං වගා කරන පං ගොයියා ඒක දැක්කේ ය. ඒ එක්කම එතනට පීනාගෙන ආව මුකදාන නිළමේ තමංගේ හක අරගෙන යන්නට හැරුණේ ය. පං ගොයියා ඊට විරුද්ධ වුනු හෙයින් දෙන්නා අතර හකට පයිට් එකක් ඇති උනේ ය. මොනව කළත් බේරන්නට බැරි විය. අහළක හිටිය රාජපුරුෂයෝ තුන්දෙනෙක්ද මැදිහත් උනේ ය. ඒත් පරහට හිටින්නේ හකමය. හරි කැතයි ය. කෑවට හරි නෑ වගේ හිටියට පංගොයියාද සටන අත අරින්නේම නැත.

අන්තිමේ අංගම් ශිල්පය දක්වා මුකදාන නිළමේ ගොවියා අඩපණ කොට හක පුරවාගෙන ගෙදර ගියේය. එදා පටන් හක පංමල්ලේ දාගෙන යාම නැවතුනේ ය. ආරක්සාවට නිළමේ හක පරාලේ ගසා තැබුවේය.

සක්ධර්මරත්නාවලියේ සඳහන් පරිදි...

හක එහා ඉවුරේ පංගොල්ලක රැඳුනේය. ලලනාවන් තුන් දෙනෙක් ඒ වෙලාවේ පං නෙළන්නට ඇවිත් හිටි‍යෝ ය. ඉං එකෙක් හක දැක  ටක ටක ගා ළං වී ඒක අතට අරං බැලුවාය. ඒ විගසට, අනික් උන් දෙන්නාද ඒක දැක්කෝ ය. දැං ගෑණූ තුන්දෙනා හකට පයිට් ය. එකාට එකා දෙවෙනි නැත. අවසානයේ මුං තුන්දෙනා මහෞෂධ පණ්ඩිතයන් ගාවට ගෙනියන්නට සිද්ධ වුනේ ය.

මහෞෂධ පණ්ඩිතයෝ අර ගෑණුන් තුන්දෙනා වෙන වෙනම ළඟට කැඳවා හක ගැන ඇහුවෝ ය. ඒ තුන්දෙනා හක ගැන තමන්ගේ ඇති අයිතිය කීමට කීවේ කතා තුනකි.

"මං මේක ඉස්සෙල්ලම දැක්කෙ. පං ගොල්ලෙ තිබිලයි මට මේක හම්බුනේ. මේක මට පං දෙයියො දුන්න මගේම පං හක" ඒ මුලින් ආ කාන්තාවගේ කතාවය.

"අනේ මේ හක, අපේ ගෙදර පාලි පොත උඩ තියල තිබ්බ පාලි හක..." දෙවෙනි කාන්තාව එහෙම කිව්වාය.

"මේක අපේ සීයා පන්දුරුවාවෙන් ඇවිත් මෙහෙ පදිංචි වෙද්දි ගෙනාවෙ. මේක අපේ පන්දුරු හක..." ඒ තුන්වෙනි කාන්තාවය.

කොටිම්ම මහෞෂධ පණ්ඩිතයන්ටත් බැරි විය, හකට නියම අයිති කාරයා හොයා ගන්නට. බැරිම තැන පඬිතුමා මෙහෙම නියෝග කළේ ය.

"ඔය ගෑණු තුන්දෙනාටම හකෙන් පත ගානෙ දීලා යවපියව්...!"

ලලනාවො තුන්දෙනාම ඒ නියෝගයට දෝත මුදුන් දී කැමති වුන බව වැඩි දුරටත් සක්ධර්මරත්නාවලියේ සඳහන් වේ.

--------------------------------------------------
මූලාශ්‍ර,
Conciese Hakawamsa - Vilhelm Geiger
හකාවංසො (පාළි)
සක්ධර්මරත්නාවලිය (සිංහල)
සිංහල පුරාණ රස කතා - කස්තුරි ශ්‍රියන්ත

වැඩිදුර කියවීමට:
මුකදාන අපදානය සහ තවත් සිනමාපට
පුරාණ ලාංකේය ගැමි සමාජයේ ඛේදජනක වෙනස්වීම්
මහරජා, ලෙයියා සහ හක
මහරජා පංචිකයා සමග නිධන් හෑරීම

Friday, June 10, 2016

Training සහ New Post (දුම්රියකරණය & අලුත් තැපෑල)

http://i1.trekearth.com/photos/14423/funny_train.jpg
අපේ උසස්වීම වෙනුවෙන් ලැබුණ කාර්යාරම්භක පුහුණුව හරි සෝක් ය. ඒකෙන් ගොඩාක් වැදගත් දේවල් ඉගෙනගත්තාට අමතරව, සිරා යාළුවන් බර ගාණක්ද අඳුරගත්තෙමි ය.

මට ඉගෙන ගැනීමට පුළුවන් වූ පාඩම් බර ගාණකි.

පැය තුනක දේශනයකින් විෂයයක් උගන්වන්නට බැරි බව ඉන් එකකි. පුළුවන් වූයේ මෙහෙම විෂයයක් තියෙනවා ය කියා කියාදෙන්නට විතරය. ගොඩක් උදවිය ඒ විෂය හඳුන්වාදෙන ගමන් වැල් බයිලා ගායනා කරමින් අපිව නිදිමතින් මුදවා ගත්තෙමු ය. ඒ අතරේ සාලිය ධර්මවර්ධන, නිශාන්ත කමලසිරි, සුමිත් (නමේ අග කොටස කිව්වෙ නෑ) සහ විජය වික්‍රමරත්න යන මහත්වරු ලැබුණ කෙටි කාලය තුළ අපේ නව තනතුරේ වගකීම්, කාර්යභාරය සහ රාජකාරි වලදී කළ යුතු / නොකළ යුතු දේ ද, ඉගෙනගත හැකි මූලාශ්‍ර ද කියා දීමට වෙහෙසුනෝ ය. රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ කොට ලේකම් දඩල්ලගේ උන්නැහැ ඇවිත් පෝඩියම් එක බදාගෙන හීන් හඬින් මොකද්දෝ දරු නැළවිල්ලක් කිව්වා කියාත් මතක ඇත.

අපේ සම මට්ටමේ පරණ නිලධාරීන් තුළ, "බොලාට ඔයිට වඩා ඉහළට යන්ඩ බෑ..." යන ආකල්පය වර්ධනය කරවීමේ වෑයමක අපේ යූනියන් එක සිටින බව දැනගැනීම තවත් දෙයකි. ඒකේ වාසි හා අවාසි ඇති බැවින් ඒ ගැන වැඩිදුරට කියන්ඩ මගේ බලාපොරොත්තුවක් නැත.


ඉගෙන ගත් වැදගත්ම පාඩම වූයේ පරිපාලන සේවයේ නිලධාරීන් තුළ අ‍පේ තනතුර ගැන තියෙන ආකල්පය ය. බොහොමයක් දේශකයන් කියූ විදිහට, ආයතනයක හැම උලව්වටම වගකියන්ඩ ඕනේ අපිය. ආයතනයේ පරිපාලනය, ඉහළ පහළ ඉන්න දෙගොල්ලො අතර සන්නිවේදනය (ඒ කියන්නෙ පහළ උං ගැන ඉහළට කේළම් කීම සහ පහළ උදවිය එක්ක එකතු වී ඉහළ උං ට බැණීම වගේ වැදගත් දේවල්), හදිස්සියෙ ඉහ මතට කඩා වැටෙන සිද්ධි කළමනාකරණය කරගැනීම, උත්සව සංවිධානය, ඒ උත්සව වලදි මයික් එක අතේ අළෝගෙන සිටිමින් වෙන එකෙකුටවත් කතා කරන්නට නොදී බයිලා ගායනා කිරීම, හැම රෙගුළාසියක්ම ගැන හොඳින් දැනගෙන ඉන්න ගමං ඉහළ නිලධාරීන් වැඩ අනාගත් විට ඒකෙ වගකීම බාරගැනීම... ඔය ආදී අටෝරාසියකට වගකියන්ඩ ඉන්නේ අපි ලු ය.

පරිපාලන සේවයේ ආකල්පය ගැන හොඳ කතාවක් ධර්මාචාර්ය මහාචාර්ය තිලකසිරි කිව්වා ය. ඒ කතාව දඩයක්කාරයෙක්, බල්ලෙක් සහ දඩයක්කාරයාගේ යාළුවෙක් ගැනය.

දඩයක්කාරයෙක්ට වැව ළඟදි බල්ලෙක් හම්බුනා. ඒ බල්ලට දිය මතුපිට දුවන්ඩ පුළුවං. ඉතිං දඩයක්කාරයා තමංගෙ යාළුවෙකුත් වැව ගාවට අඬගහගෙන ගිහිං බල්ලගෙ වික්‍රමය පෙන්නුවා. යාළුවා ඇහුවා, "ඒ බං, උඹේ බල්ලට පීනන්ඩ බෑ නේද?" කියලා.

ඔය යාළුවා අපේ ධර්මාචාර්ය මහාචාර්ය තුමා උනානං කියන්නේ ඕක නෙමෙයි ලු ය. එහෙනං උන්නැහැ බල්ලව අටපට්ටමේ පෙන්නා, ඊට පස්සෙ ප්‍රසිද්ධ ස්ථාන වල ප්‍රදර්ශනය කරවා, යාළුවාටත් ගාණක් හම්බ කර දී, තමනුත් ගාණක් හම්බ කර ගන්නවා ලු ය.

මේ කතාවේ ඇත්ත තේරුම සහ මේ කතාව ඇසුරින් අපි ගැන පරිපාලන සේවයේ ඇති නියම ආකල්පය වැටහුනේ, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආපදා සහන සමීක්ෂණ වැඩට අපිව අපේ ට්‍රේනිං එක අතර තුරේ යෙදවීමෙන් පසුව ය. අපට ධර්මාචාර්ය තිලකසිරිතුමා කීවේ දවස් දෙකක් හෝ තුනක් යන්නට වෙන බවය. ඒ කරලා හිටං අපව යෙදෙව්වේ, ගංවතුරට අහු වූ ගෙවල් ගානේ ගොහිං ෆෝම් එකක් පුරවාගැනීම ට ය. ඇත්තටම ඒ ෆෝම් එක පුරවා ගන්නට, ගමකට හැටක් විතර පත්කරලා ඉන්න ආණ්ඩුවේ රැකියාලාභී උපාධිධාරී (වෙන විභාගයක් කරලා රස්සාවකට එන්ට බැරි හෝ කම්මැළි, බහුතරයක්ම ගෙදර ඉඳං පඩිගන්නා) උදවිය යෙදවලා කරගන්ඩ තිබුණාය. අනික, අපි යොදවපු වසමේ ග්‍රාමසේකරයා අපිට අණ දෙන්නට ආවේය. එව්වට සෙකන්ඩ් වෙන්ඩ අපි කවුද, ඌ කවුද ය. අපි හරිනං උංගෙ පරිපාලන බලධාරියා වන පරිපාලන ග්‍රාමනිලධාරී ගේ මට්ටමේ ය.

දෙවෙනි දවසේදී අපට ආරංචි වුනේ ධර්මාචාරියගේ දෙමව්පියන් මතක් කළ යුතු වන විදිහේ ආරංචියකි. අපිව ඒ සතියම ඕන්නං තියාගෙන මේ වැඩය කරවා ගන්නා ලෙස ඌ කොළඹ දිසාපති හට කියා තිබුණේ ය. ඒ ගමන අපි අපේ කණ්ඩායම් නායකයා එක්ක කතා කර, ලොකු තැන ගෙන් විමසන්නට ගියෙමු ය. ඒ තුංවැනි දවස ය. එදා නායකයා අපි වෙනුවෙන් කතා කරන්ඩ උඩට ගිහිං, අපට තියෙන නියෝග ටික අහගෙන ඉඳලා ඇවිත් අපිට කිව්වෙමු ය. ඒ වෙලාවේ නං උගෙත් මාළුකන්නට මට පෞද්ගලිකව හිතුනේ ය.

කොයිහැටි වෙතත් දවස් හතරකට ඇදුනු ආපදා සමීක්ෂණ වැඩෙං අපේ කෂ්ටිය ගොඩක් ෆිට් උන එක ලොකු දෙයකි. ජයලාල්, චම්මි, දීපානි, ජග්ග, චමින්ද, චින්තක, අචින්ත, උදේ කුමාර (හවස උගුඩුවද දන්නෑ...), කුමාර සිල්වා, රුවනි ආදී (මෙතන නම් ලියන්න එකපාරටම මතක් නොවිච්ච, පස්සෙ අද රෑ නින්දට යද්දි මතක් වෙලා, රෑට හීනෙන් පේන උදවිය සමාව බාජනේකට දාන්ඩ ය.) පට්ට යාළුවො සෙට් එකක්ම සෙට් උනේ මේ ආපදා සහන වැඩෙං ය.

මේ වැඩේ නිසා, අර උඩිං ධර්මාචාර්ය තිලකසිරි උන්නැහැගෙ කතාව හරියටම තේරුණේ ය. ඒ අනුව, අපි වතුරෙ දුවවන්ඩ පුළුවං බල්ලො සෙට් එකක් උන අතර, අපිව යොදාගෙන ලකුණු හම්බකරගත්තේ තිලකෙ අයියා ය.

ඒකත් පුහුණුවෙදිම වැටහීම හොඳ දෙයකි ය. ඒක දැනගත්තට පස්සෙ අපි අලුත් තනතුරු වල වැඩකරද්දි ඉහළ නිලධාරීන් අපිට අරිද්දී අපේ බලාපොරොත්තු කඩ වෙන්නේ නැති ය.

ගහට ගහක් හම්බුනෙත් මේ ට්‍රේනින් එකේදිය. ඒ ආදරණීය වෙනිවැල් අයියා ය. උන්දැ එතන ඉහළ තනතුරක් දරන, බොහොම චාමෙට ජීවත් වෙන, රාජකාරිය ඇතුලෙ ලැබෙන අවස්ථාවලින් හොඳට ජීවිතය විඳින පොරකි ය.

පුහුණුව අතරෙ අපිට කතා පවත්වන්ඩ දුන්න විනාඩි පහකිං උපරිම ප්‍ර‍යෝජන ගත්ත මං (ඒ කියන්නෙ විනාඩි පහ විනාඩි දොළහකට ඇදපු එක ගැන ය),  බ්ලොග් ලෝකය ගැන අපේ සැට් එක දැනුවත් කළෙමු ය.

ඒ වගේම කළමනාකරණය ගැන සිංහලෙං බ්ලොග් එකක් ලියන නිශාන්ත කමලදාස මහත්තයත් දෙපාරක්ම අපට ලෙක්චර් දුන්නෙමු ය.

මීට දෙපෝයකට උඩින්, "මං ගිහිං එන්නං" කියා සමුගත් මා, බ්ලොග් එක පැත්තට ආවේ ඊයේ ය. කලිං පෝස්ටුවේ ප්‍රතිචාර වලට උත්තර දෙන්නට දවස් එකහමාරක්ම ගත උනේ ය. අලුත් තැන මට තවම හරිහමං අන්තර්ජාල පහසුකම් නැත. ඇත්තේ තප්පරෙං තප්පරේට එරර් මැසේජ් විකසිත වන, කෞතුකාගාර දෙපාර්තමේන්තුවට යැවීමට ඉල්ලා ඇතත් දුන්නේ නැති පෙන්ටියම් හතරේ පරිගණකයක් විතරය. ඉතිං සූධීහු කමන්ඩ ය.

මොකද, මං හිතාගෙන ඉන්නෙ, මෙතන වැඩ කරලා, මගෙ උපරිම දායකත්වය දීලා, මෙතන අත්‍යාවශ්‍ය පුද්ගලයෙක් බවට පත්වුනායිං පස්සෙ මට ඕනෙ කරන දේවල් ඉල්ලන්ඩ ය. එතකොට ඒවා මං උපයාගත්තා වෙන අතර, ඉහළ උදවියට "එව්ව දෙන්ඩ බෑ" කියන්ඩ බැරි තත්ත්වයක් එන්නේ ය.

එතෙක් මට ‍ගොඩක් බ්ලොග් වලට එන්ඩ බැරි වෙයි ය. මට මගඇරෙන එව්ව ගැන හිතෙන කොට මට මං ගැනම දුකයි ය. සුරංග මල්ලිගෙ චූටි මැණිකෙ පොළොස් උයන හැටි කියෙව්වෙත් ආපදා සහන වැඩේට යන ගමං ය. ඒක මං සෑහෙන දෙනෙකුට පෙන්නුවෙමු ය. පට්ට පෝස්ටුවකි ය.

මට ලැබුණ අලුත් තැන ගොඩක්ම හොඳය. මං බලාපොරොත්තු උනාට වඩා අන්තිම ඉහළය. එතන ස්ටාෆ් එක වැඩ සහ දැනුම අතිං මාර ‍පොහොසත් ය. ඒ අය මිනිට් එකක් දානකොට, කාරණාව කෙටියෙං කියා, ඊට අදාළ චක්‍රලේඛ ආදී විධීවිධානත් කියා, යෝජනාත් කර, දානවය. කාර්යාල ක්‍රම තිතටම වෙනවාය. මිනිට් වල මෙන්ම ලියුං වල ද හරස් සඳහන් කරනවාය. ඒවගේ උදවිය එක්ක වැඩ කරන්ඩ බොහොම ලේසි ය.

ඒවගේම අපේ අතිරේක ලේකම් මහත්තයත්, හරිම නිවිච්ච මනුස්සයෙකි. තමුං වැඩ ගොඩගහගෙන කරන අතරෙ, මං අලුත් නිසා වැඩ පුහුණුවෙනකල් කියා ටික ටික පොඩි පොඩි වැඩ මට එවනවා මිසක, තමංගෙ වර්ක් ලෝඩ් එක මට පවරා දුන්නේ නැත. කොටිම්ම තාත්තෙක් වගේය.

අන්තිම වශයෙන් කියන්ට තියෙන්නේ, අලුත් පෝස්ට් එක (මං කිව්වෙ අලුත් තනතුර) නිසා, අර කලිං ලිපියෙදි මෙන්ඩ කිව්ව වගේ මගෙ වෙනස්කම් වගයක් වෙනවාය. එව්වා පහළින් කියා දක්වන්නෙමි ය.

1 අද පටන් තමුන්නාන්සෙලා මට "ඔපිසර හාමුදුරුවෝ" කියා ඇමතිය යුතුය.
2 මගේ ආදර බර බාරියාව "ඩ්‍රැකියානි මුදියන්සෙ හාමුරුවෝ" නමින් ඇමතුම් ලබනු ඇත.
3 අපේ අම්මා "ඩිංගිරි හාමුදුරුවෝ" වෙන අතර,
4 අපේ ගෙදර බල්ලා ගැන කීමෙදී "චූටි කුකූ උන්නාන්සෙ" කියා කිය යුතුය.

(උදාහරණයක් කියතොත් - "වලව්වෙ කවුද, උන්නාන්සෙ කයිද වළඳයිද?" කියා අහගෙන අපේ ගෙදරට ආ යුතුය.)

වැඩිපුර බලපු ලිපි