Wednesday, September 15, 2021

අවසානයක් නොවේ - 40


තෙත්බර පාංශුමය බවකින් වාතස්කන්ධය ඝන වී තිබුණේ ය. ගොම්මන් වෙලාවේ ගන්නොරුව තොටුපොළ අවට පැවතියේ මහා පාළු ස්වභාවයකි. මූකලන් බස්සෙකු ‌ඉඳහිට නැඟූ රාවයකට ප්‍රතිචාර වශයෙන් දෝ තනි වූ නරියෙකු නැඟූ උඩු බිරුලෑමක් විටින් විට නැඟුනේ ය. 

මහනුවර නගරයේ සිට දිවෙන මැද ඇළ මහවැලි ගඟ හමුවන ‌තොටමුණ සහ ගන්නොරුව තොටුපළ රජතුමා විසින් මනාව ආරක්ෂා කරන ලද්දේ ය. ඒ කන්ද උඩරට රාජ්‍යයට පිවිසෙන ප්‍රධාන කඩවතක් ඒ ආශ්‍රිතව පැවතීම නිසා ය. මුරකාවලටත් වඩා සාමාන්‍ය මිනිසුන් ඒ පෙදෙස වර්ජනය කිරීමට තවත් හේතුවක් පැවතිණ. අමනුෂ්‍යයෙක් ගොම්මන් වෙලාවෙන් පසු එහි ගැවසෙමින් නරබිලි ගන්නා බවට වූ විශ්වාසය ඊට මුල් විය. එහෙයින් ම ගං ඉවුරේ රඳවන ලද මුරභටයෝද අඳුර වැටීමෙන් පසු තොටුපොළෙන් ඔබ්බට අඩියක් වත් එසවීමට බිය වූ හ.

මහ ඇළ, ගඟට වැටෙන තොටමූණට ආසන්න හරියක, අන්තර් භෞම උම්මග්ගයේ ගඩොලින් තැනුණු පාර්ශ්වික කුටීරය තුළ කිහිප දෙනෙකුට සුවපහසුවට වාඩිවන්නට ඉඩ කඩ පැවතුණි. බිත්ති හතක් මඟින් සප්තාස්‍රාකාර ව සැදී තිබූ කුටියේ වහළය, උඩට යන්න යන්න ම ගඩොල් එළියට පන්නමින් ආරුක්කුමය හැඩයකින් නිර්මිත විය. කුටිය මැද වූ විශාල ගල් පාත්‍රයට පිරවුණු දරින් ඇවිළුණු ගිණි මැළයක් වූ අතර, ඒ අසළින්ම වාගේ කුඩා කනප්පුවක් බඳු දැවමය ඇටවුමක් මත කළ ගෙඩි දෙකක් ද, පළහන ලදුව දුම් දමමින් පැවති වල් ඌරෙකුගේ කොටස් ද, මනාව සුද්ධ කළ පොල් කටු දෙකක් ද විය. පළහන ලද ඌරාගෙන් නැඟුනු පුළුටු සුවඳ සමඟ මුසු වූ ගිණිමැළයෙන් නැඟුණු දුම අර්ධ ගෝලාකාර පියස්සේ වූ සිදුරකින් පිටතට නික්මිණ.

කනප්පුව වටා සකස් කරන ලද ගල් ආසන කිහිපයෙන් දෙකක් මත විචිත්‍රවත් ව වියන ලද නියඳ පැදුරු එළා තිබුණි. ඉන් එකක වාඩි වූ දළ කුමාර හෙවත් වීරබාහු, වමත දිගු කර කුඩා කළයේ කරින් අල්ලා එසවීය. ඔහු සුරත දිගු කර තමා ඉදිරියේ වූ පොල්කටුව අතට ගන්නවාත් සමඟම ඩ්‍රේක් ඔහු වැලැක්වීමට දකුණත දිගු කළේ ය.

"මට තෙලිදිය බොන්න පිරියක් නෑ..."

දළ කුමාර මඳ සිනහවක් නඟන විට ගිණිමැළයේ එළියෙන් ඔහුගේ දත් කහපැහැයෙන් දිළිසුණි. ඔහු ඩ්‍රේක් ගේ විරෝධය නොසළකා කලය ඇල කොට සිය ආගන්තුකයාගේ පොල්කටුවට වත් කළේ ය. ඒ රා නොවූ බව දුටු ඩ්‍රේක් මවිත විය.
 
"තෙලිදිය බොන්නෙ නෑ, පිපාසයට..." දළ කුමාර පැවසී ය. "අනික, මම දන්නවා නුඹ ඉන්නා තත්ත්වය. මේ තියෙන්නෙ මේ වල් ඌරා පුළුස්සන්න කලින් ඉවත් කරගත්ත නැවුම් ලේ. බීපන්..."

පොල් කටුව දෑතින් ම ඩැහැගත් නෝර්ඩික් අද්මිරාල්, නාසයට ළං කොට එයින් නැඟුනු ප්‍රෝටීනමය සුවඳ වින්දේ ය. එම සුවඳින් සිය සිරුරෙහි රුධිර නාල හා ස්නායු ප්‍රබෝධවත් වී එනු හැඟෙත් ම ඔහුගේ දෑස් අඩවන් වී ගියේ ය.

තොල් අතර පොල් කටුවේ සියුම් තද බව දැනෙද්දී, දෙතොල්, දත් අතරින් දිව මතින් උකු රුධිරය පොදින් පොද ගළාගෙන උගුර තුලින් ගළනාලය ට ඇදී යද්දී, එහි ජීවමය සුවඳින් හා රසයෙන් ඇඩම් ඩ්‍රේක් ඇන්ඩර්සන් නම් නෝර්ඩිකයා මුසපත් වී ගියේ ය.

"මේ දිවයින ප්‍රසිද්ධයි, සප්ත මහා සාගරයේ ලැබිය හැකි හොඳම ආගන්තුක සත්කාරයට..." දළ කුමාර ගේ වචන නැවතත් ඩ්‍රේක් ගේ කණට ඇසෙන්නට පටන් ගත්තේ ය. 

පෙරේත කමකින් මඳින් මඳ පොල්කටුව හිස් කළ ඇඩම් පියවි සිහියට නැවතත් එමින් සිටියේ ය.

"ඒ වගේම, ලොව ඉහළ ම දෙපිටකාට්ටුවන්ට, ස්ත්‍රී ධූර්තයන්ට සහ කපටි ආරක්ෂකයින්ටත් ඒ වගේ ම ප්‍රසිද්ධයි. නුඹ රහස් දූරයේ උන්නා නෙව? දැකලා ඇති ඉන්ද්‍ර හෙවත් මීමුරේ නිළමෙ?" ඩ්‍රේක් හිස සිරස් අතට දෙවරක් - තුන් වරක් වනා ඊට එකඟ විය. 

දළකුමාර නැවතත් පොල්කටු දෙක පිරවීය. "ආන්න ඒ ඉන්ද්‍ර තමයි මේ දිවයින සතුරු බලවේගවලින් ආරක්ෂා කරගෙන ඉන්නවාය කියන හතර වරම් රජවරුන්ගෙ නායකයා. ඒ වගේ ම මේ දිවයිනේ ඉන්නා අංක එකේ සල්ලාලයා..." ඩ්‍රේක් මවිතයෙන් දෑස් උඩුකුරු කොට තමා ඉදිරියේ ඉන්නා සංග්‍රාහකයා දෙස බැලී ය.

"ඔක්කෝටම කලින් ඉඩදීපන් මට, මාව අඳුන්වා දෙන්න. මගේ සීයා තමයි වංග දේශයේ සිංහබා. ඔහු සරණපාවා ගත්තේ ඔහුගේ ම නැගණිය. ඒක තමයි රාජකීය ලේ ඉදිරියට පවත්වාගෙන යාමේ මාර්ගය. ඔහු ගේ වැඩිමල් පුතා සිංහල හෙවත් සිංහ කුමාර මේ දූපතට ගොඩබැහැලා, මේ දිවයිනේ ගම්මාන රාශියක් එකතු කරලා, පුරයක් හැටියට පාලනය කළ පළමු රජු. ඔහු ක්ෂිත්‍රිය ධර්මය අනුව යටපත් කරගෙන සරණපාවා ගත්තා බම්බා නම් පාලකයා ගේ දියණිය. ඇගේ නම කුවණ්නා. වැද්දන් ඉඳිගොල්ලේ කිරි අම්මා කියා කියන්නේ ඇයට. ඔවුන්ට දරුවන් දෙදෙනෙක් උපන්නා. ජීවහත්ථ හෙවත් වීරබාහු, ඒ කියන්නේ මම සහ දිසාලා නම් මගේ නැගණිය. 

"අපේ අම්මා අපි කුඩා කාලෙදිම මැරුණා. තාත්තා මට විල්බා දනව්ව හෙවත් මලය රට පාලනය කරන්න දුන්නා. මගේ වීරබාහු යන නමින් තමයි විල්බාවට නම ලැබුණේ. 

"ඔන්න ඔතනදී තමයි ඇන්ඩර්සන්, වැදගත් ම කොටස මතු වෙන්නේ..." 

ඩ්‍රේක් සිය පොල්කටුව කණප්පුව මත තබා සාවධාන වූයේ ය.

"මගේ රාජධානියේ තියෙනවා සුමන කූටය කියා කඳු පංතියක්. කිසිම විදිහකින් මනුෂ්‍යයෙකුට ජනාවාසයක් හදාගන්න බැරි, පාරක් හෝ මං හසරක් හොයාගන්න බැරි මීදුමින්, කැලෑවෙන්, කුරු අලින් හා දිවියන්ගෙන්, ඊටත් වඩා අමුතු ම මායාවකින් ආකූල වුණු කොටසකයි ඔය කඳු පංතිය තියෙන්නේ. මම දවසක් දඩයමේ යද්දී අතරමං වී ඔය කියන වනාන්තරයේ ඇතුළට ඇතුළට ම යැවුණා. අන්තිමේ මට හම්බවුණා අද්භූත ගල් ගුහාවක්. ඒක ඇතුළේ තිබුණා කොළ පැහැයට හුරු නිල්වන් දියෙන් පිරුණු උල්පතක්. මම පිපාසය වැඩි කමට එයින් දිය දෝතක් අරන් බීවා. ඒ දිය මගේ උගුර හරහා යද්දී ම මට දැණුනා, මගේ සිරුරට ඒක උරාගන්නා බවත්, මගේ ශරීරයේ සැම කුඩා කොටසක් ම වෙනස් වීගෙන, ප්‍රකෘතිමත් වීගෙන යන බවත්.

"මට බොන්න හැකි වුණේ උගුරු දෙකයි. මම හිස ඔසවද්දී දුටුවේ මා දෙසට කඩුවක් අමෝරාගෙන ඉන්නා සුමන හෙවත් වෛශ්‍රවණ..."

"සුමන?" ඩ්‍රේක් සපමින් සිටි වල් ඌරු මස් කැබැල්ල ස්වාසනාලය දිගේ නොගොස් බේරුණේ යාන්තමිනි.

"ඔව්. සුමන... නැත්නම් දැන් ඉන්නා මිනිස්සු කියන විදිහට, දැඩිමුණ්ඩ නැත්නම් උපුල්වන් ඒත් නැත්නම් නාථ හෙවත් ගලගොඩ නිළමේ. ඔහු වමත ඔසවා යමක් මුමුණමින් කවාකාරව කරකැව්වා මට මතකයි. ඉන්පසු මට ඇස් ඇරුණේ ගිලී මලයේ මගේ උප වාසස්ථානයේ දී.

"මම ඒ ගුහාව හොයාගන්න, මට මතක තිබුණු හැම විදිහකින් ම ගිහින් බැලුවත්, ඊට පස්සේ කිසිම විදිහකින් මට ඒ තැන හොයාගන්න බැරි වුණා. මොකද, ඒ දිය බීව දා ඉඳන්, මම වයසට ගියේ නෑ. මට සිදුවුණු හැම අනතුරක් ම වේදනා රහිත වුණා විතරක් නෙවෙයි, ඇඟට වුණු හාණිය එවේලේම ආපහු ප්‍රකෘතිමත් වුණා. මට කෑම, බීම, වෙන දෙයක් තියා හුස්ම වත් උවමනා වුනේ නෑ ජීවත් වෙන්න."

"ඉතින් නුඹට ඔය කියනා විදිහේ වාසියක් වුණා නම්, මොකටද ඒ ගුහාව හොයන්නේ?"

"ඒක තමයි මේ කතාවේ දුක්බර කොටස ‌ඇන්ඩර්සන්..." ගරා යකා ගේ මුහුණ ශෝකයෙන් හා කෝපයෙන් මැළවී ගියේ ය. "නුඹට හිතාගන්න ම පුළුවන් විදිහට, මගේ නැඟණිය තමයි මම සරණපාවා ගත්තේ. මගේ සීයා වගේ ම, රාජකීය ලේ උරුම ඉදිරියට ගෙනයන්න තිබුණු ක්ෂිත්‍රිය ධර්මානුකූල ක්‍රමය ඒ. නමුත් ඒ විවාහය කල් පැවතුණේ නෑ.

"මගේ නංගී දිසාලා, මම සරණපාවාගත්තාට පස්සේ ගිරි ශිඛරවලින් ගහන විල්බා රටේ දේවිය යන තේරුමින් හැඳින්වුණේ ගිරි දේවිය නමින්. මේ දිවයිනේ ම හිටි සුන්දර ම ගැහැණිය තමයි ඇය. ඉන්ද්‍ර බොහෝම ප්‍රසිද්ධයි සුන්දර විවාහක ගැහැණුන් ට දක්වන ලැදියාවට." ද්වේෂයේ ලකුණු පැතිරී ගිය දළ කුමාර ගේ මුහුණ විරූපී විය.


"ඉන්ද්‍ර ට සහසැස් කියන්නේ ත් ගෞතම සෘෂි ගේ බිරිඳ අහල්‍යා සමඟ පවත්වාගෙන ගිය අනියම් සම්බන්ධය අසුවී ගෞතම සෘෂි ගේ ශාපයකට ලක් වීමෙන්. ලැජ්ජා නැති ඉන්ද්‍ර මගේ ගිරි දේවියටත් වරක් අග්‍රා ඔය අසබඩ දී නින්දිත යෝජනාවක් කළා. ඉන් කෝපයටත් ලැජ්ජාවටත් පත් වුණු ඇය අග්‍රා ඔයේ ගිළී දිවි නසා ගත්තා." 

ඩ්‍රේක් ගේ සුරත මිට මෙළවී, එහි නහර වැල් ඉල්පී අවුත් තිබිණ. කෝපයෙන් සහ අපේක්ෂා භංගත්වයෙන් බැරෑඬි වුණු හඬින් දළ කුමාර දිගටම සිය කතාව කියාගෙන ගියේ ය. 

"නමුත් ඇය දැක්වූ ආත්ම ගරුත්වයෙන් ඉන්ද්‍ර ලැජ්ජාවට පත් වුණා. මම එතනට යන විටත් ඔහු ගිරි දේවියගේ සිරුර ගොඩ ට අරගෙන. ඉන්ද්‍රගේ නියමය අනුව සේවකයෙක් ඔහු ට දිය බඳුනක් ගෙනත් දුන්නා. මගේ කෝපය පාලනය කරගන්න බැරි වුණා, ඉන්ද්‍ර මේ කර තිබෙන විනාශය දුටු විට. ඔවුන් විශ්වාස කළ නොහැකි නිසා මම ඒ දිය බඳුන උදුරාගෙන පොඩ්ඩක් බීලා බැලුවා. ඇත්තටම හොඳ වෙලාවට මම ඒක පානය කළේ. මොකද, ඒකෙන් මගේ මුළු සිරුරම විකෘති වුණා. මේ බලපන්..."

දළ කුමාරගේ මුහුණ දෙස හිස ඔසවා බැලූ ඩ්‍රේක් දුටුවේ, භයංකර දසුනකි. ඉදිරියට නෙරා ආ ඇස් ගෝල, ළියට නෙරා ආ දිගු දත් අතරින් එල්ලා වැටෙණ දිව, විශාල රවුම් කන් පෙති නාගයන් ගේ හැඩය ගත් ඉහළට එසවුණු හිස කෙස්...



එම භයංකර ගරා යක් මුහුණ තප්පර කිහිපයක් තුළ නැවතත් සාමාන්‍ය රූමත් තරුණ මුහුණට හැරුණේ ය.

"ඒ දිය බීවට පස්සෙ මට ලැබුණෙ ඔන්න ඔය මූණ තමයි. ඉන්ද්‍ර කරන්නට සැරසුණේ, ඔහුගේ නින්දිත යෝජනාවට නැමුණේ නැති මගේ ගිරි දේවියගේ මළ සිරුරෙනුත් පළි ගන්න."

තප්පර කිහිපයක් දෙ දෙනාම කිසිවක් කතා කළේ නැත. බුර බුරා ඇවිළෙන ගිණිමැළයෙන් නැඟෙන පට පටස් හඬ පමණක් නිහැඬියාව මඳක් තුනී කළේ ය.

"හරි. මට පැහැදිලියි." නෝර්ඩිකයා සෙමෙන් කීවේ ය. "ඒත් සියවස් ගාණකට කලින් සිද්ධ වෙච්ච ඔය දේ හැටියට, දැන් නුඹට අමෘත වතුර ලබාගෙන ඇති පලය මොකද්ද?"

පොල්කටුව හඬ නඟා කනප්පුව මත තැබූ දළ කුමාර නැගිට්ටේ ය. ‌"වරෙන් යන්න... මං උඹට පෙන්නන්නම්..."

ගිණි මැළය අසල වූ පන්දමක් ගෙන අවුලාගත් සංග්‍රාහකයා අනුව නැඟිට ගත් ඇඩම් ඔහුගේ පසුපසින් ගොස් සප්තාස්‍රාකාර කුටියෙන් එළියට ආවේ ය. උමඟට අයත් නොවූ පටු කොරිඩෝරයක් දිගේ ‌ඇවිද ගිය ඔවුහු පිවිසුනේ තවත් අභ්‍යන්තර කුටියකට ය. එහි පියස්සේ සිට පහළට එල්ලුණු සිහින් පිත්තල දම්වැලකින් රැඳවුණු පිත්තල පහණක් මළාණික ළියක් පැතිරවීය. එම පහණ යට නීල ගරුඬ පාෂාණයෙන් සැදුණු බෙහෙත් ඔරුවක් විය. එහි පිරී තිබූ අඳුරුවන් තෛලමය දියරය අතරින් ඇඩම් දුටුවේ මෙතෙක් ඔහු දැක තිබූ සුන්දරතම තරුණියගේ රූපයයි.

ඉඟ තෙක් දිගු වූ ඝන වරළස ඇගේ සිරුරට යටවී තිබුණේ ය. අඩ සඳ වැනි පටු වටකුරු නළලත, දිගු ඇසිපියෙන් වැසුණු දෑස්, හුරුබුහුටි නාසය, නාදල්ලක් බඳු අඳුරු රත් පැහැ දෙතොල්, රන්වන් සළු පටකින් බැඳුනු තිඹිරි ගෙඩි තරම් වූ පියයුරු, ඇත් දත් පැහැ සිරුර... 

*    *    *

“මේජර් (විශ්‍රාමික) මිත්‍ර උඩුමුල්ල“ නම සඳහන් වූ පිත්තල පුවරුව සවිකර තිබුණේ කළුගලින් බැඳ තිබූ ගේට්ටු කණුවක ය. අමානෝ තහඩුවලින් ශක්තිමත්ව තනා තිබුණු ගේට්ටුව අඩි අටක් පමණ උස් විය. කළු ගල් තාප්පය ද එපමණ උස් වූ අතර, එල් අයන්වලින් තැනුණු උල් තාප්පයේ උඩ අඟල් තුනෙන් තුනට සවි කර තිබුණේ හොරෙන් කඩා පනින්නන් වැළැක්වීමට ය. 

අමානෝ තහඩු ගේට්ටුව ඇරුණේ රතු පැහැ මස්ටෑං කාරය පැමිණි වේගය අඩු නොකර ම ඇතුළට යා හැකි වන්නට ය. ගේට්ටුව එවිගසම ආපසු වසන ලදි. කාරය වේගය අඩු කරගනිමින් ග්‍රැනයිට් ගල් පතුරු ඇල්ලූ පටු පාර දිගේ ඇදී ගොස් පැරණි දෙමහල් නිවසේ පෝටිකෝව යට නැවතුණේ ය. 

තාරා, කාරයේ එන්ජිම නවතා. දොර ඇරගනිමින් වම්පසට හිස හරවා “බහිමු“ යි කීවා ය. ඈ අනුව කාරයෙන් එළියට බට සුභාෂ්, තමන් ආ මඟ ආපිට හැරී බැලුවේය. ගේට්ටුව අසළ සිට බුහුටි පා ගමනින් ඔවුන් වෙත ආ මැදිවියේ පුරුෂයා නිවසට ඇතුල් වන ලෙස අතින් සන් කරමින් ඔවුන්ට ඉස්සර විය.


මීළඟට මොකද වෙන්නෙ?

Thursday, September 9, 2021

එදා අප දුටු චිත්‍රපටයකින් - එල් සිඩ්

බස්සගෙ ආරාධනයෙන් ලියන්න ගත්තා, මම අගය කරන චිත්‍රපටි ගැන. 

‍මුලින් ම ලියන්නෙ, ආරාධනා කරපු තැනදි කිව්වා වගේ ම, මගෙ තාත්ත වගේ හැඟීමක් ඇතිකරවන චාල්ටන් හෙස්ටන් සහ සොෆියා ලොරේන් අර රංජිත් එදිරිසිංහ නිතරම කියනවා වගේ, රිදී තිරය වර්ණවත් කළ, විශිෂ්ට ගනයේ ‌චිත්‍රපටයක් වන එල් සිඩ් ගෙන්...

එල් සිඩ් කියන්නෙ, ස්පාඤ්ඤයේ සිටි නයිට් වරයෙක් වන  රොඩ්රිගො ඩයැස්. ඔහු ජීවත් වුණේ 11 වන සියවසේ. ඔහු ප්‍රසිද්ධ, රාජ පාක්ෂිකත්වයට, නිර්භීත භාවයට සහ සත්‍යගරුක බවට.

චිතුපටයට සහ ඔහු පිළිබඳව ලියැවුණු වීර කාව්‍යය වන "එල් කන්තාර් ඩි මියො සිඩ්" අනුව, රොඩ්රිගො ඩයැස් ස්පාඤ්ඤයේ  පළමුවන ෆර්ඩිනන්ඩ් රජු ගේ චැම්පියන්වරයාගේ දුව වන ෂිමේනා සමඟ ප්‍රේමයෙන් සිට, විවාහ වීමට නියමිත දිනයේ දි, ආක්‍රමණික අන්දලුස් නයිට්වරුන්ගෙන් එක්තරා නගරයක් බේරා ගන්නවා. එතනින් තමයි මා දුටු චිත්‍රපටය ඇරඹෙන්නේ. ඔහු එතනදී අත්අඩංගුවට ගන්නා අන්දලුස්වරුන් පිරිස නිදහස් කර හරිනවා. ඔහුගේ ත්‍යාගවන්ත භාවය නිසා අන්දලුස්වරුන් ඔහු, "එල් සිඩ්" නමින් හඳුන්වන අතර, උවමනා අවස්ථාවක ඔහුට සිය ණයගැතිභාවය සහ මිත්‍රත්වය ලබා දෙන්න පොරොන්දු වෙනවා.

එහෙත් ඔහු සිරකරුවන් මුදාහැරීම ගැන නොසතුටු වන රජු සහ රජුගේ චැම්පියන් ඔහු සමඟ විරසක වනවා. තම පෙම්වතිය හමුවීමට එන රොඩ්රිගෝ හට අනාගත මාමන්ඩිය හමු වී ඇතිවන ද්වන්ද සටනේ දී, රජුගේ චැම්පියන් මිය යනවා.

සිය පියා මැරීම නිසා, ෂිමේනා පත්වන්නේ දෙගිඩියාවකට. මිය ගිය පියාගේ දියණිය වශයෙන් ඇය සිය පෙම්වතා ගෙන් පළිගත යුතු වනවා. එහෙයින් රොඩ්රිගෝ හට ප්‍රේමිය අහිමි වනවා.

ඒ අතර, ස්පාඤ්ඤ රජුහට අභියෝගයක් එල්ල වනවා. සතුරු රටක චැම්පියන් අභියෝග කරන අතර, ඔහුට මුහුණ දීමට ඉදිරිපත් වන්නේ, රොඩ්රිගෝ පමණයි. "තොප කවුදැ"යි රජු, විමසූ විට ඔහු නොපැකිළව පවසනවා, "මම තමයි ඔබගේ චැම්පියන් ද්වන්ද සටනකදී මැරුවේ" කියා. ඒ සටන, සාම්ප්‍රදායික ලෙස, යකඩ ඇඳුම් ඇඟලාගෙන, දිගු හෙල්ල ගෙන, අසුන් පිට සිට සිදු කරන ඉතාම අලංකාර සටනක්. එහිදී ෂිමේනා සතුරු නයිට්වරයා ට සිය සහයෝගය දක්වන අතර, රජු ගේ දියණිය වන උරාකා කුමරිය රොඩ්රිගෝ ට සහය දක්වනවා. විය යුතු පරිදි ම රොඩ්රිගෝ එම සටනින් දිනනවා. ඉන් පසු රොඩ්රිගෝ රජු ගේ චැම්පියන් තනතුරට පත් වනවා.



(මේ කොටස ආපහු බලද්දි මට හිතුනෙ, මේ චිත්‍රපටිය ජයන්ත චන්ද්‍රසිරි කළා නං එහෙම, කොයිතරම් ස්ලෝමෝෂන් කෑලි තියෙයිද කියල...)

ඉන් පසු මට මතක හැටියට එල්ල වන තවත් අභියෝගයකට ‌අනුව රොඩ්රිගෝ රජුගේ හමුදාව රැගෙන සතුරු පෙරමුණට යනවා. ඒ යනවිට ඔහු රජතුමාගෙන් එක් ඉල්ලීමක් ඉල්ලනවා. ඒ, තමා ජයගෙන ආවොත්, ෂිමේනා තමාට විවාහ කර දෙන ලෙස.

විය යුතු පරිදි ම රොඩ්රිගෝ එම සටනින් ජය ගෙන ආපසු අවුත්, ෂිමේනා විවාහ කරගන්නවා. විවාහයෙන් පසුව වුණත් ෂිමේනා ගේ පළිගැනීමේ ‌ආකල්පය නවතින්නේ නෑ. ඇය ඔහුට ප්‍රේම කරන තරමට ම ද්වේෂ කරනවා. (මේ සංකීර්ණ චරිතයට සාධාරණයක් ඉටු කිරීමට සමත් වන්නේ මගේ අදහසේ හැටියට සොෆියා ලොරේන් ම පමණයි.)

ඒ අතර මහළු ෆර්ඩිනන්ඩ් රජු මිය යනවා. වැඩිමහල් පුත් කුමරා දෙ වන සැන්චෝ නමින් රාජ්‍යත්වයට පත් වන අතර, ඔහු තම සොහොයුරා වන ඇල්ෆොන්සෝ කුමාරයා ඝාතනය කිරිමට තැත් කරනවා. එහිදී ඉහතින් ද සඳහන් කළ රජ කුමරිය පීඩිතයා ආරක්ෂා කරන අතර, රොඩ්රිගෝ ට ඊට සහාය වන ලෙස දන්වනවා.

එම සිදුවීම් මාලාවේ දී නව රජු ඝාතනය වන අතර, බාල කුමාරයා රජු ලෙස උත්සවාකාරයෙන් කිරුළු පළඳින්නට සූදානම් වනවා. එම උත්සවයට පැමිණෙන රොඩ්රිගෝ නව රජු ගෙන් ඉල්ලා සිටිනවා, සිය සහෝදරයාගේ ලේ සම්බන්ධව තමා වගකිවයුතු නැති බව බෛබලය මත අත තබා දිවුරන ලෙස.

එහි දී ඇල්ෆොන්සෝ කුමාරයා කෝප වනවා. නමුත් රොඩ්රිගෝ බලහත්කාරයෙන් රජුගේ අත ගෙන බෛබලය මත තබා දිවුරුම ගන්නවා.


රජු දිවුරූ පසු ඔහු ඉදිරියේ දනින් වැටෙණ රොඩ්රිගෝ සිය පූර්ණ පක්ෂපාතීත්වය රජුට පුද කරනවා. එහෙත් කෝපයෙන් සිටින රජු, රොඩ්රිගෝ රටින් පිටුවහල් කරනවා.

පිටුවහල් ව යන අතරේ දී තමයි රොඩ්රිගෝ ට සිය ‌භාර්යාවගේ ප්‍රේමය සහ සහයෝගය ලැබෙන්නේ. ඒ වනවිට ඔවුන්ට දියණියන් දෙදෙනෙකු (මට මතක හැටියට) සිටිනවා.

පිටුවහල්වුණු රොඩ්රිගෝ හට මිත්‍රතත්වය දක්වන්නේ, ඔහු මුලින් නිදහස් කළ අන්දලුස් ජාතිකයන්. ඔවුන් සමඟ පුළුල් සන්ධානයක් ඇති කරගන්නා රොඩ්රිගෝ හෙවත් සිඩ්, තුර්කි ආක්‍රමණයට එරෙහිව සටන් කර, ක්‍රම ක්‍රමයෙන් ලෙවාන්තය සහ අයිබීරියානු අර්ධද්වීපය යටත් කරගන්නවා. අවසානයේ වැලෙන්සියා බලකොටුව අල්ලාගන්නා ඔහුට, එහි දී අන්දලුස්වරයෙක් කියනවා, "ඔබ දැන් වැලෙන්සියාවේ රජ." කියා. නමුත් සිඩ්, වැලෙන්සියාවේ කිරුළ ඇල්ෆොන්සෝ රජු වෙත යවනවා.

තුර්කි සටන්වලින් පරාජය වෙමින් සිටි ඇල්ෆොන්සෝ රජු අවසානයේ සිඩ් ගේ රාජපාක්ෂිකභාවය සහ සෘජු ගුණය හැඳිනගෙන ඔහු වෙත එනවා. නමුත් ඔහු එන්නේ කලින් දා සටනින් මාරාන්තික තුවාල ලබා සිටින සිඩ් වෙතයි. පසුවදා සටන, තම රජුත් සමඟ එක්ව කිරීමට හැකි වනු ඇතැයි යන ප්‍රීතියෙන් සිඩ් එදා රෑ මියයනවා. පහුවදා සටන ස්පාඤ්ඤ අන්දලුස් හමුදා ජයගන්නේ, සිඩ් ගේ මළ සිරුර, නයිට් ඇඳුමින් සරසා, කොන්දට යකඩ පටි සවිකර, අශ්වයා පිට සවිකර, සටන් පෙරමුණට ගෙන යමින්.


මේ සිනමා පටය මා මුලින් ම දුටුවේ කළු සූදු රූපවාහිනියෙන්. ටීඑන්එල් සේවය ආරම්භ වූ අලුත, ඒරියල් ඒකට තඹ සහ ඇලුමිනියම් කම්බි පුරුද්දා, වහලයේ පරාල අතරින් ඇද, සුදු පැහැ තිත් ගොඩක් මැද්දෙන්.

චිත්‍රපටය අවසන් වී පැය බාගයක් පමණ යන තුරු දිගු සුසුම් හෙළමින් එහි අන්තර්ගතය මෙනෙහි කළා මට මතකයි.


සිඩ් ඇති කළ ස්පාඤ්ඤ අන්දලුස් සංස්කෘතික මුසුව, අදටත් අන්දලුස් සහ ෆ්ලැමෙන්කෝ සංගීතය ඔස්සේ අපට අත්විඳින්න පුළුවන්. ස්පාඤ්ඤ ගිටාර් හඬ සමඟ මුසුවුණු අරාබි ඩ්‍රම් සහ ගැඹුරු ගායනා ශෛලීන් මනසට ඇති කරන්නේ අපූර්ව ස්පර්ශයක්.

මෙතැන, එල් සිඩ් සම්පූර්ණ චිත්‍රපටය තිබෙනවා.

එල් සිඩ් විත්‍රපටය ගැන අයිඑම්ඩීබී දත්ත පද්දතියේ සම්පූර්ණ විස්තර තියෙනවා.


Tuesday, September 7, 2021

සුනිල් පෙරේරා ට සමුදෙමු.

අපි සාමාන්‍ය පෙළ කරන කාලෙ සිව්දෙස සඟරාවක පළ කෙරුණා සුනිල් පෙරේරා එක්ක කරපු සම්මුඛ සාකච්ඡාවක්. ඒක කරල තිබුණෙ ශ්‍රී ලාල් ප්‍රියන්ත. ප්‍රශ්න සහ සාකච්ඡාව පළ කරලා තිබුණු විදිහෙන්, ඒ වගේම ඒ ලිපියට දාල තිබුණු මාතෘකාවෙන් පේනව සඟරාවෙ අරමුණ වුනේ සුනිල් පෙරේරා සහ ඔහු නියෝජනය කරපු  රසවින්දනාත්මක සමාජ ස්තරය පහත් බව ප්‍රකාශ කරන්න බව. වැඩි කතා නැතුව පහළින් දාන්නම් ඒ ලිපිය. 





ජිප්සීස්ලගෙ සිංදුවල කොහොමත් අපට අල්ලල යන පදමාලා ඉස්සර ඉඳම්ම තිබුණා. 

දැන දැන වැරදි කරනවා

නුඹ නාඩං නුඹ නාඩං

ඕවත් වැඩද මල්ලි

ළිඳ ළඟ සංගමය මුල්තැන

නෝනෙ මගෙ සුදු නෝනේ

සිංඥෝරේ

අයි ඩෝන්ට් නෝ වයි

ලංකාවේ

කියන්නෙ ගොතලා

ගෙදර යං

(ඔය සමහර සිංදුවලින් ඔහු දේශපාලන මතවාදයක් සමාජගත කළා, එහෙම නැත්තං තිබුණු මතවාදයක් ශක්තිමත් කළා.)


ඒ වගේම ලස්සන වෙස්ටන් ජනප්‍රිය සංගීතය...

වැඩිය අහල නැති බටහිර මියුසික් සහ තනු කොපි කරලා හදපු සිංදුත් තිබුණ. ඔජායේ, ලුණු දෙහි, කුරුමිට්ටෝ එහෙම ඒ වගේ සිංදු. 

ජොලියට කියපු සිංදු පෙළකුත් තිබුණා. හොදි, කොත්තමල්ලි, පිටි කොටපන්, වගේ ගීත.

සුනිල් පෙරේරා කොහොමත්, හොඳට කාලා බීලා, ආතල් එකේ හිටපු මනුස්සයෙක් විදිහට ප්‍රතිරූපයක් තිබුණු කෙනෙක්. තමන් හිතන දේ කියාපාන්න හරි, ඒ ගැන සිංදුවක් හදල කියන්න හරි බයක් නැති...

කොහොමත් අර, "පොළොවට ලුණු අවශ්‍යයි, හැබැයි ටිකයි" කිව්ව වගේ, සුනිල් පෙරේරා වගේ උදවිය එක්කෙනෙක් දෙන්නෙක් උන්නනං ඇති ලංකාවට. හොඳ මතකයක් රඳවලා, සමාජයේ නමක් තියලා, කරපු වැඩ ඉතුරු කරලා, ඔහු ගිය එක ගැන, ඔහුටත් දුකක් නැතුව ඇති.

ඉතිං... සුනිල් පෙරේරා රසවතාණනි, (ඔහුට, සංගීතඥයෙක්, ගායකයෙක් සහ කලා කාරයෙක් කියලා ආමන්ත්‍රණය කරන එකත් ටිකක් ඕක්වර්ඩ් විදිහට දැනෙන්නෙ, අර මං උඩ මතු කරපු ප්‍රබුද්ධ - පීචං සම්මතය නිසා කියල හිතෙනව) ඔබට ආයුබෝවන්!

Thursday, September 2, 2021

අවසානයක් නොවේ - 39

38 කොටස...

යම් කිසි වෙනසක් දැනී ඩ්‍රේක් හිස ඔසවා බැලුනේ නොරුස්නා හැඟීමෙනි. ඔහු ඉදිරියෙහි වූයේ සුදුවන්  ධෝතියක් හැඳ, රනින් හා මිනි මුතුවලින් අලංකාරවත් වූ මාල, උදර බන්ධන, හා අත් වළලුවලින් සැරසුණු, තෙදවත් පෙනුමක් සහිත රූමත් තරුණයෙකි. 

"නුඹ කවුද?" ඔහු ගේ කටහ‌ඬෙහි මෘදු නමුත් රාජකීය බවක් ගැබ් විය. "උත්තර දෙනු!"

නාවුකයාගේ අවුල් වූ සිතෙහි කෝපය අකුණු කුණාටුවක් සෙයින් නැගී ආයේ ය. "මම කවුරු උනහම නුඹට මොකද ෆාඅන්? (Faen නෝර්ඩික්) (= යකෝ) චිස් මයි ඉ රෙවා!" (Kyss meg i ræva නෝර්ඩික්) (= kiss my rear) යි පහත් තාරතාවකින් මුමුණමින් ඩ්‍රේක් සුරත මිට මොළවා බිමට ගසා වාරු ගෙන නැගී සිටියේ ය.

"චිස් මයි ඉ රෙවා?" තරුණයා පුනරුච්ඡාරණය කළේ ය. "ඒකද නුඹේ නම? මේ උමග ඇතුලේ නුඹ මොනවද කරන්නෙ?" ඔහුගේ කටහඬේ සියුම් සරදමක් ගැබ්ව ඇති බව නෝර්ඩිකයා හට වැටහිණ. 

"ඇයි? මේ උමඟ උඹේ ද? පාඩුවෙ ඉන්න දීලා පලයන් යන්න!"

තරුණයා සුරත දිගු කළේ කෝපයෙන් දිළිහෙමිනි. ඩ්‍රේක් වමතින් ඔහුගේ අත වැරෙන් අල්ලා, ඔහු වෙතට ම නවා, මිටමෙළවූ සුරත ඔහුගේ මුහුණ මතට පතිත කළේ ය. රාජකීය අමුත්තා අඩි කිහිපයක් පිටුපසට විසි කර දැමීමට තම මුෂ්ටි පහර සමත් වූ බව දුටු නාවුකයා මවිතයට පත් විය. එතරම් ශක්තියක් සිය සුරතේ වූ බව...

ඇසිපිය හෙලන පමණින් දෑත් බිම ගසා නැගී සිටි තරුණයා නැවතත් ඇඩම් වෙත පැන්නේ ය. මෙවර ඔහුගේ ඉළක්කය නිවැරදි විය. සිය ගෙළ වට‌ා සතුරාගේ දෑතේ ඇඟිලි වෙලී සිර වෙද්දී, දෑස් එළියට මතුවන්නට යත්න දරනු නෝර්ඩිකයාට දැණින. ඔහු තරුණයාගේ දෑත් සිය දෑතින් තදින් අල්ලා, සිය බෙල්ල මුදවා ගැනීමට තැත් කළේ ය. ඒ අතරම, දකුණු පාදය ඔසවා වැරෙන් පහරක් සතුරාගේ යටිබඩ පෙදෙසට එල්ල කළේ ය. අඩියක් පමණ පිටුපසට විසිවුණ ද, තෙදවත් අමුත්තා සිය දෑතේ ග්‍රහණය ලිහිල් කළේ නැත. එහෙයින් ඇඩම් ගේ සමබරතාව ද ගිළිහිණ. 

දෙ දෙනා බිම වැටී පෙරළී ගිය ඉක්බිති, එකිනෙකාගේ ග්‍රහණයෙන් මිදී, දනි පනි ගා නැගිටගත්හ. 

"මෙහෙම සළකන්න වීම ගැන ලැජ්ජයි මිත්‍රයා..."  ආගන්තුක තරුණයා ආචාරශීලිව එහෙත්, එළඹෙන ඕනෑ ම අවස්ථාවකට මුහුණ දීමේ බුහුටි බවින් යුතුව කතා කළේ ය.

"ම්හ්...!" ඩ්‍රේක් හිස පහත් කරගත්වන ම දෑස් උඩුකුරු කොට තරුණයාගේ දෑස් දෙස එක එල්ලේ බැලී ය.

"නුඹ මෙතෙක් අයිතිවෙලා හිටපු සමාජ කොටසින් දුරස් කෙරිලා තියෙන වග මට පේනවා... තේරුම් ගනින්... මේ උමඟ ඇතුලෙ ඉන්න හැමෝම එක ම උප සමාජයකට අයිති උදවිය වග."

"මම ඇඩම් ඩ්‍රේක් ඇන්ඩර්සන්..." නිහඬව ගතවූ මිනිත්තු කිහිපයකට පසු නෝර්ඩිකයා සෙමෙන් කීවේ ය. "මම අශ්වාරෝහක සෙබ‌ළෙක් වෙලා හිටියා. දඩයක්කාරයෙක්, යුධ සෙබළෙක්, ගවේෂකයෙක්, මුහුදු කොල්ලකාරයෙක්, අද්මිරාල් කෙනෙක්..."

තරුණයා සාවධානව අසා සිටියේ ය. 

"අන්තිමේ කන්ද උඩරට රජු ගේ රැඳවියෙක් වෙලා ඉඳලා, රාජකාරියටත් බඳවාගෙන, දූරය විසින් ම මාව ද්‍රෝහියෙක් විදිහට නිගමනය කරලා..."

තරුණයා සුරත එසවීය... "නුඹ කීවේ රහස් දූරය කියල ද?"

"මම එහෙම කීවේ නෑ."

"නුඹ භයාණක විදිහට සුදුමැළියි. නුඹේ කර මුල මා දැක්කා දත් පාරවල්... ඒ වගේ ම නුඹට යකෙකුට වාගේ හයිය තියෙනවා... ඒ හැම හෝඩුවාවක් ම යොමු වෙන්නේ එක පැත්තකට..."

තරුණයා මඳකට නිහඬව සිතිවිල්ලට වැටුණේ ය. 

"මට මුලින් ම කිව්වෙ, ජීවහත්ථ හෙවත් වීරබාහු. මම මේ දිවයිනේ කොටසක් පාලනය කළා, පිය උරුමයෙන්. වැද්දො මට සළකන්නෙ උන්ගේ ආදි පියා හැටියට. මාව දේවත්වයෙන් සළකපු පසුකාලීනයො මට කිව්වේ දළ කුමාර. නමුත් දැන්..." ඔහු ඩ්‍රේක් ගේ දෑස් දෙස කෙලින් බැලුවේ ය. "දැන් මම ගරා යකා...!"

ජීවහත්ථ හෙවත් දළ, සිය සුරත ඇඩම් ගේ උරහිස මත තැබීය.

"මටත් තියෙනවා රහස් දූරය එක්ක ගනුදෙනුවක්... මාත් එක්ක වරෙන්."

මාව දේවත්වයෙන් සළකපු පසුකාලීනයො මට කිව්වේ දළ කුමාර. නමුත් දැන්...
https://www.srilankanartgallery.com/artworks/painting/raksha-warrior

*    *    *

ලක්දිව වියලි කළාපයේ පිහිටි සුවිශේෂී හුදෙකලා කන්දක් වේ. දිවයිනේ පවතින සියලුම දේශගුණික තත්ත්වයන් මෙම කඳුවැටියේ එක් එක් උස් මට්ටම්වල දී හමුවීමේ වාසිය උපයෝගී කරගෙන, සෑම ඉසව්වක ම වැවෙන ඔසු පැළ එක ම ස්ථානයක රෝපණය කර මහා ඔසු වනයක් සකස් කළේ ජයසේන ය.කාලය ගත වත් ම, කෙමෙන් කෙමෙන් ප්‍රකෘතිය අමතක වී ගොස්, ජනප්‍රවාදයට එක් වී ගිය ජයසේන, සිය ඔසු වනයේ පධානඝර භික්ෂූ ආරාමය ඉදි වී, දියුණු වී, නැවත කැළැවට ම යට වී යනු ද, මිනිසා විසින් ඉමහත් ප්‍රයත්නයෙන් ඉදි කෙරුණු දැවැන්ත ශිලා නිර්මාණ ගස් මුල් විසින් ආකූල කර දමනු ද දකිමින්, ස්වභාව ධර්මයේ ම කොටසක් වී හුදු නිරීක්ෂකයෙකු ලෙස දැනුම පමණක් රැස්කරමින් කාලය ගත කෙළේ ය. ගාමණී අභය මහරජුගේ රහස් දූරයේ සාමාජිකයෙකු අතින් පරාජයට පත් වූ පසු හෙතෙම සිය කාලය වැඩිපුර ම ගත කළේ මෙකී ඖෂධ කන්ද තුළ පිහිටි රහසිගත ගල් ලෙණක ය. 

තමන් දෑතින් ගොඩනැගූ අරිට්ඨගාමය, කාලිංග මාඝගේ ආක්‍රමණයට ද මුහුණ පා, සමෘද්ධිමත් නියම්ගමක සිට දිළිඳු පැල්පත් කිහිපයකට සීමා වෙමින් පිරිහෙද්දී, හුදෙක් දිරිමත් මිනිසුන් ගැන ලැදියාවෙන් පහතට බට ජයසේන, ගමට නායකත්වය දුන්න ද, කාලය සහ මිනිසාගේ ඉරණම වෙනස් කළ නොහැකි බව පසක් කළේ, තමා රැස් කරගත් දැනුම සමස්ත මානව සංහතිය ම සුවපත් කිරීමට කැප කරමින් ලක්දිව පුරා සැරි සැරුවේ ය. වෙසෙසින් ම, තමන් කුමනාකාරයේ යහපතක් මානව වර්ගයා වෙත පැතිරුව ද, ඊට පෙරටුව වේගයෙන් පැතිර ගිය, ජයග්‍රාහකයා ට ආවඩා පරාජිතයා හෙළා දමන අන්දමේ මහසෝන් පුරාවෘතය ඔහු නොසැළකීය, ඇත්තට ම ඔහු මහසෝන් ප්‍රතිරූපයේ ප්‍රතිලාභ රසවිඳි අවස්ථා ද වූයේ ය.

ලෝකී උදුරාගත් ප්‍රකෘති සිහිය නැවත කැඳවන තෙක් මිත්‍රගේ සිරුර ආරක්ෂිතව පවත්වාගත්තේ මෙකී හුදෙකලා කන්ද මුදුනේ පිහිටි ජයසේන ගේ රහසිගත ගල් ලෙණ තුළ ය. සැඩ සුළඟ සමඟ කඩා වැදුණු සියුම් වැලිකැට, ඝන හිරු රෂ්මිය සහ සීතල වැස්ස මඟින් සාරන ලද ආගනේය පාෂාණය තුළ වූ බාහිර ලෙණට පිටුපසින්, තවත් ඇතුල් ලෙණක් විය. පෘථිවියේ තරුණ කාලයේ දී ඉහළට නැඟුනු උණු ලාවා ගුළියක් පස් අතර වූ කුහරයක පිරී ගොස් නිර්මාණය කෙරුණු මෙම පාෂාණය මධ්‍යයේ, උපතින් ම හටගත් ගෝලාකාර කුහරයක් විය. ජයසේන ගේ වාසය හා අධ්‍යයනාගාරය වූයේ මෙම ඇතුල් ලෙණ ය. 

ලෙණ මැද ගලින් ම සාරා සකස් කරන ලද බෙහෙත් ඔරුවෙහි පුරවන ලද, අඳුරුවන් තද කොළ පැහැ කල්කයක බහා තිබුණේ මිත්‍ර ගේ ශරීරය ය. සුමන හා ඉන්ද්‍ර තම නෝර්ඩික් සිරකරුවා එම ගල් ඔරුව අසළ බිම වැතිරවූහ. ජයසේන ඔවුන් ගේ හිස්වලට ඉහළින් බිම වීරාසනයෙන් වාඩි වී, වමත ලෝකී ගේ හිස මත ද, සුරත මිත්‍රගේ හිස මත ද තබාගෙන, ප්‍රාකෘත බසින් පබැඳුනු දීර්ඝ සැහැල්ලක් ගායනා කිරීම ඇරඹී ය. ඔහුගේ පූර්ව උපදෙස් පරිදි, සුමන හා ඉන්ද්‍ර විටින් විට සිය මිත්‍රයාගේ හිසෙහි තෙල් ගෑමත්, ගල් බිත්තිවල රැඳවුණු පන්දම්වල ආලෝකය වැඩිවන පරිද්දෙන් හා හාත්පස වාතයට ඖෂධීය දුම් එකතුවන පරිද්දෙන් දුම්මල කුඩු ගැසීමත් සිදු කළහ.

කාලය හෙමින් හෙමින් ගතවී යද්දී, මිත්‍රගේ සමෙහි පැහැය නැවතත් ප්‍රකෘතිමත් වී එනු දැකගත හැකි විය. අබිරහස් මඳහසක් යාන්තමින් පෙන්නුම් කළ ලෝකී ගේ මුහුණ කෙමෙන් කෙමෙන් සුදුමැළි වී හැකිළී ගියේ ය. අවසානයේ මිත්‍ර දෑස් විවර කර සිය මිතුරන් දෙස බලා මඳ සිනහවක් පාද්දී, ලෝකී ගේ සිරුරෙහි වූ අවසන් ප්‍රාණ වායු බිඳ ද, වාතලයට මුසුවී ගියේ ය.


40 කොටස...