Thursday, August 16, 2018

පිටස්තරයාගේ වාර්තාව අංක 02 - රැකී රක්ෂා

http://2.bp.blogspot.com/-Z-jCBqHeaR0/TrVtBam2zoI/AAAAAAAAAAc/
BOK3Z7FluRw/s1600/1844152drawn2.jpg

මේ ග්‍රහ ලෝකයේ බුද්ධිමත් සත්ත්වයින් කොටසක් ද සිටිති.

ඔවුහු අනෙකුත් සත්ත්වයින් වගේම ආහාර ගනිති, ආශ්වාස ප්‍රශ්වාස කරති, තම වර්ගයා බෝකරති, උපදිති, මියයති... ඒත් ඔවුන්ගේ චර්යාවෙන් වැඩි හරිය අනිකුත් සත්ත්වයින්ට වඩා විහිළු උපදවන තරම් වෙනස් ය. "රැකී රක්ෂා" යනු එයින් එක් චර්යාවකි.

මොවුහු දිනපතා "රස්සාව" යැයි හඳුන්වන දේකට යති.

වෙනත් සත්ත්වයින් සේම ආහාර සොයා යාම එක් කොටසකගේ රස්සාවය. සොයා යාමටත් වඩා ඔවුන් කරන්නේ ආහාර නිපදවීම යැයි කියනු ලැබේ. වෙනත් ජීවී විශේෂ අමුතුවෙන් රෝපණය කරන ඔවුහු, තවත් ජීවී විශේෂ අල්ලාගෙන මරති. තමුන්ට දිනපතා උවමනා ප්‍රමාණයට වඩා බොහෝ සෙයින් වැඩි ප්‍රමාණ වලින් ඔවුහු මේ වැඩය කරති.

තවත් කොටසක් අනික් උදවියගේ චර්යාව පාලනය කරති. ඔවුන්ගේ කැපී පෙනෙන ලක්ෂණය නම් නිල ඇඳුමක් ඇඳීමය. එය එක්කෝ කාකි පාටැති කළිසමක්, කමිසයක් හා තොප්පියකි. නැතිනම් කහ හෝ තැඹිලි හෝ ගුරු පාට රෙද්දක් ගෙන ඇඟ වටා දවටා ගැනීමකි. මොවුන්ගේ උපදෙස් හෝ නියෝග අනික් උදවිය පිළිපදින්නේ ද හරිම විකට අන්දමකට ය. මේ අය ඇති තැන ඔවුන්ගේ උපදෙස් පිළිපදින බව ඉතාම මැනවින් පෙන්වන සහ ඊට ඉතා කැමැත්තෙන් කීකරු වන බව පෙන්වන උදවියම, ඉහත කී පාලනය කරන්නෝ නැති තැන එම උපදෙස් පසෙක ලා තමන්ට උවමනා පරිදි හැසිරෙති. හැබැයි එසේ නිදහසේ හැසිරෙන යමෙක්ගෙන් තමන්ට හිරිහැරයක් වූ තැන හිරිහැරයට ලක් වූ තැනැත්තාට, අර උඩින් කී උදවියගේ උපදෙස් හා නියෝග නිතැතින් මතක් වේ.

ඉහත කී කහ, තැඹිලි හෝ ගුරු පාට රෙදි පෙරවන්නන්ගේ රක්ෂාව ඉතා පහසුය. සෙසු සත්ත්වයින්ට තේරුම් ගත නොහැකි පටළැවිල්ලක් කියාපෑමට ඔවුන් කුඩා කළ සිටම පුහුණු කර තිබේ. ඒ පටළැවිලි සහගත දේට දෝත් මුදුන් තියා වඳින සෙසු සත්ත්වයා, තම තමන් සතු ඕනෑම දෙයක් මේ රක්ෂාව කරන උදවියට නිකම්ම දෙති. ඒ වෙනුවට ඔවුන්ට යමක් ලැබෙන අතර, එය ලැබෙන්නේ ඔවුන්ගේ ජීවිත කාලයෙන් පසුව වන්නේය.

මෙම රැකියාවම කරන තවත් අය සිටින අතර, එයින් සමහරෙක් උඩුකය නිරුවත්ව රත්තරන් නම් ලෝහය පොරවාගෙන සිටින අතර, තවත් උදවිය සුදු ලෝගු හෝ වස්ත්‍ර හඳිති.

"මුදල්" යැයි සම්මත යමක් වේ. එය මේ ලෝකයේ බුද්ධිමත් සත්ත්ව වර්ගයාගේ ඉහළම ආශාව, සංතුෂ්ටිය සහ වන්දනීය දෙය වේ. මේ කියන මුදල් සකස් කරන්නේ "ආණ්ඩුව" යැයි කියන සමූහයක් මඟිනි. ආණ්ඩුව කියන්නේ මෙම සත්ත්ව වර්ගයේ බහුතරයකගේ කැමැත්ත අනුව පත් කරගන්නා, එම වර්ගයේම එක් කොටසකි. සත්ත්වයින් කෝටි දෙකකගේ කැමැත්තෙන් දෙසීය විසි පස් දෙන‍ෙක් තෝරා ගනිති. උන් හැඳින්වෙන්නේ "පාර්ලිමේන්තුව" යන නමිනි.

ඒ දෙසීය විසි පහට අර කෝටි දෙකේම ගෞරවය ලැබේ. ඒ වගේම උන් හට අර උඩ කී පාලනය කරන්නන්ගේ උපදෙස් හෝ නියෝග අදාළ වන්නේම නැත. උන්ට රිසි රිසි සේ සම්පත් භුක්ති විඳිමින් ජීවත් වන්නට ඉඩ සැළසී තිබේ. ඒ වෙනුවට ඔවුන් රට "පාලනය" කිරීම, "ප්‍රතිපත්ති" සකස් කිරීම සහ "සංවර්ධනය" කිරීම යන කාර්යයන් කරති. ඒ නම් වලින් හැඳින්වෙන්නේ රටේ මුදල් සහ රටට ලැබෙන මුදල් මහාපරිමාණයෙන් යොදවා යම් යම් දේවල් කරවමින් ඉන් වැඩි හරියක් මුදල් තමන්ගේ සහ පවුලේ උදවියගේ සන්තකයේ තබා ගැනීම ය.

මෙකී දෙසීය විසිපහෙන් කොටසක් "ඇමති" හා තවත් එකෙක් "අගමැති" ලෙස හැඳින්වෙන අතර, අර කී දෙකෝටියෙන්ම තෝරාගන්නා තවත් එකෙක් "ජනාධිපති"ලෙස හැඳින්වේ. උන් ඉතාම වාසනාවන්ත කොටස ය. මොවුන් හට තම පෞද්ගලික කටයුතු කරගැනීමට අවශ්‍ය සියලු දේ නොමිලේ ලැබේ. වාසයට නිවසක්, පරිහරණයට වාහන, ඒවාට ඉන්දන, විවිධාකාර පරිහරණයට අතවැසියන්, යම් යම් දේ එතීමට, අත පිසදමා විසිකිරීමට සහ රටේ සිදුවෙන දේවල් දැනගැනීමට පත්තර, "බැංකු ගිණුම්" යන දේට තැන්පත් කිරීමට "වැටුප්", යම් යම් කටයුතු කරදීම වෙනුවෙන් සෙසු උදවියගෙන් ලැබෙන "අල්ලස්" සහ "කොමිස්", ඇමති විදිහට ඉන්නා කාලසීමාව අවසානයේ බැංකුවල තැන්පත් කිරීමට විශ්‍රාම වැටුප්, දරුවන්ගේ රැකී රක්ෂා සඳහා අනාගත ඇමතිකම්, හිත මිතුරන්ගේ ජීවිකාව සඳහා "රජයේ රක්ෂා" හෝ "කොන්ත්‍රාත්" ආදී දේ මොවුන් හට සැපයේ.

තවත් කොටසක් රක්ෂා වශයෙන් විවිධාකාර දේ කරති. ඔවුන් එම රක්ෂා වලින් මුදල් ද උපයාගනිති. ඒ මුදල් වලින් කොටසක් අර උඩින් කී ආණ්ඩුවට විවිධ අවස්ථාවලදී ගෙවිය යුතු වන්නේය. ඒ ගෙවන මුදල් වෙනුවෙන් ආණ්ඩුවෙන් ඔවුන්ට මොනම දෙයක්වත් සෘජුව ලැබෙන්නේ නැත. මෙම රක්ෂා කරන අය තමන්ගේ ආහාරය පිණිස යම් කිසි දෙයක් මුදලට ගන්නා විවිධ අවස්ථා වලදී, ඒ භාණ්ඩයේ වටිනාකමට අමතරව යම් මුදලක් ආණ්ඩුවට ගෙවිය යුතු වන්නේය. ඒත් ඒ භාණ්ඩය තැනීමටවත්, එය මිලදීගන්නා තැනැත්තා වෙත ගෙනත් දීමටවත් ආණ්ඩුව කිසිදු වියදමක් කර නැත. යමෙක් තමන්ගේ භාවිතයට වාහනයක් ගන්නා විට එම වාහනයේ වටිනාකම මෙන් කීප ගුණයක මුදලක් ආණ්ඩුව මොවුන්ගෙන් අයකර ගනිති. ඒ ද, ඒ වාහනය වෙනුවෙන් ආණ්ඩුව කිසිම මුදලක් වැය කිරීමෙන් තොරවය.

එසේ ආණ්ඩුව එකතු කරගන්නා මුදල් වලින් "පාර්ලිමේන්තුව", "ඇමති" ආදීන් සහ "රජයේ සේවක"යන් ගේ වැටුප්, වරප්‍රසාද ආදිය සළසා දනෙු ලැබේ. ඉහත කී වාහන ගැනීමේදී ද පාර්ලිමේන්තුවට සහ ඉහළ යැයි සම්මත රජයේ සේවයේ උදවියට ඉහත කී පරිදි ආණ්ඩුවට විශාල මුදලක් ගෙවීමට සිදු වන්නේ නැත.

මා මෙතක් කාලයකට තේරුම් ගත් දේ මේ විදිහය. මේ ලෝකයේ බුද්ධිමත් සත්ත්වයින්ගේ රැකී රක්ෂා හරිම සංකීර්ණ බවින් යුක්තය. දැනටමත් මට පිස්සු වගේය. ඔබහටත් එසේම වේවා!

http://www.sangam.org/2008/07/images/Collettecartooncirca1956.JPG

වැඩිපුර බලපු ලිපි