Sunday, July 16, 2017

කාලිදාස ගෙ කතාවක්

පින්තූරෙ යාහූ සර්ච් එකකිං ගත්තෙ...

අපේ ආදරණීය හිස්ටෝරියන් මිථිල ප්‍රනාන්දු ලියපු පෝස්ටුවක් දැකල මට කතාවක් ලියන්න හිතුන. බොහොම කෙටියෙන් තමා මේක ලියන්න වෙන්නෙ. මං කාලෙකට කලින් මේ කතාව අහල තිබුණට, හරියටම මතක තිබුන් නෑ. ඉතිං මේක ටිකක් පමා වුනා, මොකද හරියටම ශ්ලෝක දෙක හොයාගන්න සිද්ධ වුන නිසා.

කාලිදාස භෝජ රජ්ජුරුවන්ගෙ රාජසභාවෙ හිටපු කවියෙක් නෙව... එයාගෙ කතා කීපයක් මං ලියල තියෙනව කියල මතකයි. මේ එව්ව.

1. “භ“ යන්න
2. කාලිදාසගෙ මරණය සහ ඉඳුවර දෙනෙත්

භෝජ රජු ගැන හොයද්දි විකියෙ එතුමා ගැන තිබුණ ලිපියක් කියවන්න ලැබුණා. ඒ අනුව එයා රජකළේ, ව්‍යවහාර වර්ෂ ක්‍රමයෙන් හෙවත් ක්‍රිස්තු වර්ෂයෙන් 1010 ත් 1055 ත් අතරෙ, මධ්‍ය ඉන්දියාවෙ මාල්ව රාජධානියෙ. එතුමාගේ අගනුවර “ධාරා“ නමින් හැඳින්වුනා. භෝජ රජුගෙ මරණින් පස්සෙ එතුමා වටා බැඳුනු ප්‍රවාද අනුව එයා ජනප්‍රවාදයේ එන වික්‍රමාදිත්‍ය රජුට සමාන වෙනව.

භෝජ රාජසභාවෙ හිටියා නවරත්නයක්... ඒ කියන්නෙ වටිනා මිනිස්සු නව දෙනෙක්. ඒ අය තමයි:

අමරසිම්හ (සංස්කෘත ව්‍යාකරණ වේදියෙක් සහ කවියෙක්)
ධනවන්තරී (ආයුර්වේද වෛද්‍යවරයෙක්)
ඝටකාරපර
කාලිදාස
ක්ෂපනක
ශන්කු
වරාහමිහිර (තාරකා ශාස්ත්‍රඥයෙක්)
වරරුචි (වාග්වේදියෙක් සහ ව්‍යාකරණ වේදියෙක්)
වේතාල-භට්ට (නීති විශාරදයෙක් සහ දේශපාලන වේදියෙක්)

කියන අය. (ඔය වගේ නවරත්නයක් මහා අක්බර් අධිරාජයාගෙ රාජසභාවෙත් හිටිය කියනව.)

ඔයිං කාලිදාස තමයි ලොවෙත් කවියා.

දවසක් භෝජ රජ්ජුරුවන්ට හිතුණ මෙච්චර කවි කියන කාලිදාස මං මළහම මොන වගේ කවියක් කියයිද කියල. එහෙම හිතිල, එක සැරයක් කාලිදාසට අණ කළා,

“දැං කියහං මං මළහම කියන කවිය“ කියල.

කාලිදාස කිව්ව,

“ඒක එහෙම කියන්ඩ බෑ, රජතුමා. නියම හැඟීම පහළ වෙන්නැතුව ඒ වගේ කවියක් කියන්ඩ බෑ“ කියල.

ඒ කිව්වට මොකද කාලිදාසගෙ හිතට හරි මදි. මොකද, රජතුමා කියපු දෙයක් බෑ කියන්ඩ වෙච්ච නිසා. ඒ හින්දා එයා එදාම තමන්ගෙ ගෙදරින් පිටවෙලා, නගරය අතඇරල යන්ඩ ගියා.

දැං ඔන්න දවස් ගාණක් වෙනව, රාජ සභාවට කාලිදාස එන් නැතුව. රජතුමාටත් බොහොම කණගාටුයි. අන්තිමේ රජතුමා වෙස්වළාගෙන ගියා කාලිදාස හොයාගෙන. ඔහොම ගිහිං දවසක් දා රජතුමාට කාලිදාස හම්බුණා අම්බලමක ඉන්නව. රජතුමා වෙස්වළාගෙන ගියාට කාලිදාස වෙස්වළාගෙන ගියෙ නෑනෙ. ඉතිං භෝජ රජතුමා එකෙම්ම අඳුනගත්ත තමංගෙ ප්‍රියතම කවියව. අඳුනගෙන ආගිය කතා එහෙම කතා කරන්න ගත්ත.

කාලිදාස ඇහුව එයාගෙං, ඔයා කොහෙ කෙනෙක්ද කියල.

රජතුමා කිව්ව “මං ධාරා නගරෙං එන්නෙ“ කියල.

“ඇත්තට?“ කාලිදාස බොහොම සතුටු උනා. “දැං කොහොමද අපේ භෝජ රජතුමා එහෙම? හොඳිං ඉන්නවද?“

“අනේ බොහොම කණගාටුයි.“ කපටි රජා උත්තර දුන්න. “රජතුමා මැරුණනෙ...“

කිව්ව විතරයි කාලිදාස ගෙ මූණ මැළවෙලා ගියා.

“අධ්‍ය ධාරා නිරාධාරා - නිරාලම්බා සරස්වතී
පණ්ඩිතා ඛණ්ඩිතා සර්වේ - භෝජ රාජා දිවංගතේ...“

හිටිවනම කාලිදාසට කියවුනා.

ඒකෙ තේරුම තමයි:

ධාරාව (ධාරා නගරය) වියළී ගියා - සරස්වතීට එල්ලෙන්න වැල් නැති උනා - සියළුම පණ්ඩිතයන් කැඩී විසිරී ගියා - භෝජ රජතුමා මියගිය නිසා...

රජතුමා ට උන්හිටි තැන් මතක නැති උනා මේ කවිය අහල. ඇයි? එයා අහගන්න ආසාවෙන් හිටපු කවිය නෙ. ඉතිං එතුමා පැනපු ගමං කාලිදාස බදාගෙන කිව්ව,

“කාලිදාස, උඹ නං දෙයියෙක්. මම තමයි භෝජ රජු. මං අහගන්න ආසාවෙන් හිටපු කවිය තමයි දැං උඹ කිව්වෙ...“

කාලිදාස ගත් කටටම මෙහෙම කිව්ව.

“අධ්‍ය ධාරා සදාධාරා - සදාධාරා සරස්වතී
පණ්ඩිතා මණ්ඩිතා සර්වේ - භෝජ රාජා භුවංගතේ...“

ඒකෙ තේරුම මෙහෙමයි :

“... ධාරාව සදහට ගළයි - සරස්වතිය සසරණ ව සිටියි
පණ්ඩිතයන් සියල්ලම මඩවන - භෝජ රජු තාම පණපිටිං...“

පහළ තියෙන්නෙ භෝජ රජුගෙ ප්‍රතිමාව - ඒක තියෙන්නෙ භෝපාල් නගරයෙ.

පින්තූරෙ විකිපීඩියාවෙන් ගත්තෙ

වැඩිපුර බලපු ලිපි