Sunday, November 18, 2018

අන්දිරිස් අප්පු සහ ගොරක යකා - ගජබින්නාලංකාරයෙන්...


අන්දිරිස් අප්පු බෙන්තර යාත්‍රාමුල්ලෙ ඉඳල ගම්පහ කටුවාලමුල්ල ගමට ආ හැටි අපි එක තැනකදි කිය‍ෙව්වනෙ. මේ ඒකෙ ඉතිරි ටික හැටියට කියවන්ඩ පුළුවන් තව කතාවක්...

අන්දිරිස් කිත්තා පස්සෙන් පන්නගෙන ආව පරංගි ටික රජ්ජුරුවන්ගෙ හමුදාවට කොටු වුණ භූමි භාගය රජ්ජුරුවො අන්දිරිස් කිත්තට නීන්දෙ පවරල දුන්නා. ඒ ලොකු ඉඩමෙ අන්දිරිස් කිත්තා පදිංචි වෙන්න ගෙපැළක් අටෝගන්න තොරගත්තෙ, ගොරක ගස් සීයක් විතර සරුවට හැදිල තිබුනු කොටස. (අපේ විලියොං ආත - ඒ කියන්නෙ අන්දිරිස් කිත්තගෙ මුණුපුරා - පදිංචි වෙලා උන්නෙ ඔය කියන කොටසෙ. අක්කර දෙකහමාරක් වෙච්ච ඒ ඉඩමට දැනටත් කියන්නෙ ගොරකගහවත්ත.) ඒ කොටසෙ පසත් හරිම සරුසාරයි කියල එයාට පෙනුනා. කොයිතරම් සරුසාරද කියතොත්; ඒ ඉඩමෙ ගත කරපු පළමුවෙනි රෑ කිත්තා ගතකළේ ගහක් උඩ. ඒකට හොඳ උස ශක්තිමත් අතු බෙදුනු ගහක් තෝරගත්තා. ඒ ගහේ, බිම ඉඳන් අඩි පණහක් විතර උඩින් ලොකු අතු තුනක් තුන්පැත්තට බෙදිලා තිබුණා. එතනට නැගලා බලපුවම තමයි කිත්තා දැක්කෙ ඒ වම්බටු ගහක් කියල. ළඟ ළඟ තිබුණු අතු අගිස් වල ලොකු වම්බටු ගෙඩි හැදිල තිබ්බ නිසා.

අන්දිරිස් කිත්තා ඒ ගහට ගිහිං තිබුණු කරවිල වැල් දෙකක් කපාගෙන, ඒකෙන් වැල් ඉණිමගක් හදාගත්තා. හවස් වේගෙන එද්දි කිරිඅල පඳුරක් ගළවලා, කිරිඅල පිති එකට ගොඩගහල ගිණි තියලා, (කොහොමද ගිණි තිබ්බෙ? අර පරංගි වෙඩිබේත් කූඩාරම ගිණිතියපු ගිණිකූරු වලින්ම තමා) ගිණිගොඩක් ගහලා, ඒකෙ අලු පල්ලෙ දාලා කිරි අල තම්බගෙන බඩ පුරා කාලා, අර වැල් ඉණිමග දිගේ වම්බටු ගහට නැගලා, වැල් ඉණිමග උඩට ඇදගෙන, හොඳ හැටි නිදා ගත්තා.

අන්දිරිස් කිත්තා කරන දේවල් දිහා බොහොම කේන්තියෙන් බලාගෙන උන්නා එක්කෙනෙක්. ඒ වෙන කවුරුවත් නෙවෙයි, ඒ භූමියට අරක්ගත්තු ගොරක යකා.

http://decibel.lk/assets/2015/
02/yaka-500x500_c.png

පහුවදා උදෙම්ම නැගිට්ට කිත්තා, ගෙයක් හදාගන්න පටන්ගත්තා. දැනට වැටිලා නොතෙමී ඉන්න, සතා සීපාවගෙන් බේරිලා ඉන්න පොඩි ගෙපැළක් අටවගන්න තමයි එයා මුලින්ම හිතාගත්තෙ.

ගේ හදන්න තෝරගත්ත හරිය සමතල කරද්දි ඒකෙ අඩි එකහමාරක් විතර යටට හාරද්දි බොහොම තද කබොකක් මතු වුනා. ඉතිං එයා හතරැස් අඩි සීයක් විතර ඉතුරු කළා පස්සෙ එක එක හැඩේ කබොක් ගල් කපන්න.

මුලිම්ම කිත්තා අදහස් කළේ කණු හයක් හිටවලා, වහළයක් හදාගන්න. ඒකට එයා වත්තෙ වැටිච්ච පොල් අතු එකතු කරලා, ගාණට කපලා, වැල්පටවල් අඹරලා හදාගත්ත තේඩා වලින් ගැටගහලා. වත්ත පල්ලෙහා ගඟේ ඔබලා, බර තිබ්බා. ඉන්පස්සෙ එයා ගියා කැලේ වැවිල තිබ්බ හරියට, වැරණිය ගස් කපං එන්න. ඇද කුද නැති වැරණිය ගස් දෙකක් කපල බිම දාන්න අන්දිරිස් කිත්තට ගියේ වරුවයි. ගස් දෙක කපලා, බිම දාලා. අතු පෑහැලා දාපු එයා, දිය බහින්න ගස් දෙක එතනම දාලා ආපහු අර කලින්දා රෑ නැවතුනු වම්බටු ගහ ගාවට ආවා.

ඒ එනකොට කිත්තට ඇහුනා, “අන්දිරිසා එනෝ...” කියල බොහොම ගොරෝසු කටහඬකින් කෑගහනව.

වටපිට බලනකොට, ඒ කිඹුලෙක්. ගොරකයකා කිඹුලෙක් තියලා ඔත්තු බලන්න.

කිත්තා එකපාරම වම් අතින් කිඹුලගෙ බෙල්ල මුලින් අල්ලගත්තා. කිඹුලා ආයෙම කැගහන්න කට අරිනකොටම, එයා දකුණු අත කිඹුලගෙ කට ඇතුලට දැම්මා. අත පුළුවන්තරම් කිඹුලගෙ ඇතුලටම යවපු කිත්තට උගෙ වලිගෙ අග හරියෙන් අල්ලගන්න පුලුවන් උනා. හයියෙන් අල්ලගෙන ආපහු අත කටින් එලියට ඇදල ගත්ත පාර කිඹුලා කණපිට හැරවුණා.

කිඹුලා අන්දිරිස් කිත්තට කැරකි කැරකි වඳින්න ගත්තා. පරාණ බය ඉතිං කිඹුලටත් පොදුයි. ඒ ගමන කිත්තා කිව්වා,

“මං උඹ මරන්නෑ. උඹ ඇයි මං එනව කියල කෑ ගැහුවෙ? කාට ඇහෙන්ඩද? කවුද උඹට ඔත්තු බලන්ඩ කිව්වෙ?” කියල ඇහුවා.

“යරක ගොකා... යරක ගොකා...” කිඹුලා කිව්වා.

“ඒ මොකාද බොල?” කිත්තා ඇහුවා.

“මමුසෙ තාව හැණපිට කරෙව්වනෙ. කිම මයන ඉව්වත් එතිං හැණපිට කරෙනව...”

කිත්තට තේරුණා. කණපිට හැරුණ කිඹුලා, කියන කියන වචනත් කණපිට හැරෙනව...

ඒ ගැන හිත හිතා කිත්තා ඔලුව කහන්න ගත්තා. යන්තං කිත්තගෙ අතිං අතෑරුණ ගමං කණපිට කිඹුලා පැනලා දිව්වා...

කිඹුලගෙ කතාවෙන් පස්සෙ අන්දිරිස් කිත්තට තේරුණා ගොරක යකා එක්ක දෙකෙන් එකක් බේරගන්නෙ නැතුව මේ භූමියෙ වසන්න අමාරු වෙන බව. එයා දෙවෙනි දවසෙ කපන්න තෝරගත්තෙ වත්තෙ තිබුණු ලොකුම ගොරක ගහ. පොරවකුත් අරං ගහවටේ එක වටයයි කැරකුණේ, මහා ඇඹුල් ගඳක් පැතිරිලා ගියා. ගොරක ගහ සුළි සුළඟකින් වගේ කැරකෙන්න පටන් ගත්තා. 

කිත්තා දෑත බදලා පොරව උස්සලා, ගොරක ගහට කෙටුවා. ගොරක අතු හොල්ලගෙන, දඩි බිඩි ගාගෙන ගහෙන් බැහැලා ආවා නිල් පාටට හුරු කලු පාට මවිල් වලින් වැහුණු, මහත දෙහත, සද්දන්ත සරීරයක්. හැඩපලු ගෙතුණු කොණ්ඩෙ, රවුම් රතුපාට ඇස් ගෙඩි, බාගෙට ඇරුණු කටෙන් පෙනුනු උල් දත්... ඔය ඔක්කොම එක්ක මහා භයානක යකෙක් ගහෙං බැස්සා.

කිත්තා වගේ වගක් නැතුව තව පොරෝ පාරක් කෙටුවා.

"තෝ කවුද බොල මගෙ විමානෙ කපන්ඩ තනන්නෙ?" යකා සැර වැර ඇතුව ඇහුවා.

"තෝ කවුද මගෙං ප්‍රශ්න අහන්ඩ?" කිත්තා ඊට වඩා සැරෙන් ඇහුවා.අහලා තව පාරක් ගහට කෙටුවා.

"මේ... එහෙම නෙවෙයි මල්ලි..." යකා දැන් යාප්පු වෙනවා. "... මේ ගහම කපන්ඩ ඕනෙ නෑනෙ. වෙන ඕනෙ තරං ගස් තියෙන්නෙ."

"නෑ. මේ ගහම තමා මට කපා ගන්ඩ ඕනෙ..." කිත්තා තව පාරක් කෙටුවා.

"මේ එහෙම කරන්ඩ එපා මල්ලි. මං තමුසෙට හැම ගොරක වාරෙටම ගොරක ගෝණියක් දෙන්නං. මේ ගහ කපන්ඩ එපා මල්ලි. මොකද්ද මෙයා..."

කිත්තා පොරව බිමින් තියලා, වාඩිවුණා.

"මට තමුසෙ උදව් කරන්ඩ ඕනෙ මගෙ වැඩ වලට" කිත්තා ටික වෙලාවක් කල්පනා කරලා කිව්වා.

යකා ඒකටත් ඔලුව නැමුවා.

"හා හොඳයි." කිත්තා කිව්වා. "හැබැයි ඔය පොරොන්දුව කැඩුවොත් මං නරක මිනිහා කියන්ඩ එපා හරිය?"

යකා ආපහු ගියෙ කිත්තට වැඳල...

ඊටපස්සෙ ඉතින් සතියක් විතර යද්දි කිත්තා කවද හරි මේ ඉඩමෙ හදනවය කියල මුලින්ම හිතාගත්ත මහගෙදර හදල ඉවර කරගත්තා. ඒකට උනෙ කරපු එක එක හැඩේ, එක එක තරමේ කබොක් ගල් ඔක්කොම ගොරක යකා එක වරුවෙන් කපල දුන්නා. කබොක්ගල් කපාපු වළ වහන්න වත්ත පහල නාන ළිඳකුයි, ඊට තරමක් උඩින් බොන ළිඳකුයි කැපුවා. ගෙයි අත්තිවාරම දාලා, පස් දාලා, යකා ඇත්තු දෙන්නෙක් දම්මලා බිම පාගලා දුන්නා. යකා බිත්ති නැග්ගුවෙ බලං ඉද්දි. අන්දිරිස් ආතා යකාට වඩුවැඩ කියා දුන්නා. කැලෙන් කපාගත්ත ලී, යකාම පට්ටලේ දාලා ඉරලා, සොල්දරේකුත් ගැහුවා. වහලෙ ගැහුවෙත් ගොරක යකයි කිත්තයි දෙන්නා. සිංහල උලු විතරයි කිත්තට හාඩ්වෙයා එකෙන් ගන්න වුනේ.

කිත්තගෙ වැඩ කරල දෙන ගොරක යකා දිහෑ උන්දැගෙ සහෝදරයො වුනු සියඹලා යකයි, බිලිං යකයි බැලුවෙ හිතේ පිරුණු කේන්තියෙන්. තමංගෙ මුලු යක්ස පරම්පරාවටම නින්දාකරමින් තමුංගෙ මල්ලි නරයෙකුට උදව් කිරීම ඒ අයගෙ උදහසට හේතු වුණා.
ගෙට ගෙවදුනු දවසට පහුවෙනිදා, කිත්තා පටන් ගත්තා ඉඩමෙ වල් කොටලා මොනව හරි ඉන්දන්න. කැලේට වැවුණු වම්බටු, බණ්ඩක්කා, කරවිල, පතෝල ආදිය කකා හිටපු උන්දැට හිතුණා කැරට්, බෝංචි, ගංජා ටිකක් හිටවන්න.

උදේ ඉඳං එකසීරුවට වැඩ කරලා මහන්සි වෙච්ච කිත්තා, වත්ත පහළ ගඟෙන් නාගෙන, ගෙට ආවෙ හොඳටම බඩගිනි වෙලා. ඒ එනකොට එයා පිළිගන්න ගෙයි ඇඳ යට හැංගිලා හිටියා සියඹලා යකා... 

“යකෙක් කන්ඩ බඩගිනියි යකෝ...!” තමන්ටම කියාගෙන කිත්තා ගෙට ගොඩ වුනා. සියඹලා යකාගෙ හිත ටිකක් ගැස්සුණා.

උදේ වත්තෙන් නෙලාගත්ත ඇපල්, පෙයාස් ටිකක් ඇඳ යට තිබුණු බව කිත්තට මතකයි. “රජ බඩුවක් තියෙන්නෙ ඇඳ යට...” කියාගෙන ඉණේ තිබ්බ උල් පිහිය ඇදල ගත්ත කිත්තා, ඇඳ ගාවට කිට්ටු කළා. යකා වෙවුලන්න පටං ගත්තා.

කිත්තා ඇඳ යටට එබුණා. යකා කිත්ත දැකල වැඳ වැටුණා. “අනේ ආයිබොවං මාව මරං කන්ඩ එපා...”

“තෝ මොකද ඇඳ යට කරන්නෙ?” කිත්තා ඇහුවා.

“මං... මං... ගොක්... ගොක්... ගොරක යකාගෙ අයියා. සියඹලා යකා.” යකා එලියට බඩගෑවා. “මං ආවෙ අපේ නගා ඔහෙට කරකාර දෙන්ඩ අහන්ඩ...”

කිත්තගෙ ඇස් උඩ ගියා...

ඕං ඔහොමයි අන්දිරිස් කිත්තා, යක්ෂ භයෙන් මිදිලා කටුවාලමුල්ල ගමේ ගොරකගහවත්ත ඉඩමෙ පදිංචි වුනේ. කිත්තගෙ උරුමක්කාරයො වෙන අපි, යකාටවත් බය නෑ. අනික අපි මොන වැඩක් කළත් ඒක... “යකාගෙ වැඩක්නෙ!” කියල අනික් උදවිය කියන්නෙ ඔන්න ඔය කිත්තගෙයි, ගොරක යකාගෙ නගා වෙච්ච දෙහි ඇඹුල් යකින්නගෙයි ලේ අපේ ඇඟේ දුවන හින්දයි...

කලිං ලියපු ගජබින්න වලට පටුනක්.

වැඩිපුර බලපු ලිපි