සිරා ගේ ආරාධනයෙන්,
මෙන්ඩා ගේ මග පෙන්වීමෙන්,
අපේ තාත්තාගේ මුල් ගල් තැබීමෙන්
මේ කැටගරිය ආරම්භ වන්නේය...
මීට කලින් කණ්ණඩ ජනකතාවක් පෝස්ට් කළා. ඒක මේ කැටගරියේ මුල්ම කතාව විය යුතුයි. ඒත් මේ කැටගරිය ආරම්භ කරන අද, මුලින්ම කියන්නට යන්නේ ලෝකයේ තියෙන දිගම කතාවයි.
ලෝකෙ දිගම කතාව කිව්වම, මා ළඟ තියෙන්නෙ චීන කතාවක් සහ අප්‍රිකානු කතාවක්. ඕං ඉස්සෙල්ලම චීන කතාව...
චීනෙ හිටියා අධිරාජයෙක්. එතුමා හරිම ආසයි කතන්දර අහන්න. එතුමා කලින් අහලා නැති කතාවක් කියන්නට පුළුවන් වුනු කතන්දර කාරයන්ට එතුමා බොහොම ඉහළින් සැළකුවා.
දවසක් අධිරාජයට හිතුනා ලෝකෙ තියෙන දිගම කතන්දරය අහන්නට. ඉතින් කරපු වැඩේ, චීනය පුරාම අණබෙරයක් යැවුවා, ලෝකෙ දිගම කතාව කියන්න පුළුවන් තැනැත්තාට ඇතෙක් ගෙ බරට රත්තරන් දෙනවාය කියලා.
ඉතින් කතන්දර කාරයො රජමාළිගාවෙ පිරුණා. අධිරාජයා එක එක්කෙනා බැගින් ගෙන්නුවා කතන්දර අහන්නට. එක් කෙනෙක් එදා උදේ පටන් ගත්ත කතාව ඉවර කළේ පහුවදා පාන්දර. ඒ තරමට දිගයි කතාව. නමුත් අධිරාජයාට ඒ කතාව දිග මදි.
තවත් කෙනෙක් දවස් දෙකක් තුනක් ගත්තා කතන්දරය කියන්න. ඒත් අධිරාජයාට දිග මදි වුනා. සමහරු සතියක්, සති දෙකක් විතර කතා කිව්වා.
අධිරාජයා සෑහීමකට පත් නොවෙන තැන කතන්දර කාරයන් මාළිගාවට එන එකත් ටිකෙන් ටික අඩු වුනා. ඒත් දවසක් එක කතන්දර කාරයෙක් ඇවිත්, කතාවක් කියන්න පටන් ගත්තා.
".. ඔන්න එක්තරා කාලයක චීනයේ හිටියා මහා ඉඩම් හිමි ගොවියෙක්..." එයා කතාව පටන් ගත්තා. රජතුමා ඔහු ඉදිරියේ වාඩි වෙලා ඔළුව වන වනා කතාව අහනවා. "..එ් ගොවියාට තිබුණු ඉඩම් චීන මහා ප්‍රාකාරයේ සිට කහ මුහුද දක්වාම පැතිරී තිබුණා. එක පැත්තකින් ධාන්‍ය අස්වනු නෙළාගෙන අනෙක් පැත්තට යනවිට මුලින් අස්වනු නෙළූ පැත්තේ ආයෙත් අස්වනු පැහිලා. ඒ වගේම එයාගෙ අටු කොටු ම තිබුණා අක්කර ගණානාවක.
ඔහුට හිටියා බොහොම දක්ෂ, ශූර වීර සහ නැණවත් පුතුන් තුන් දෙනෙක්. වැඩිමල් පුතා අශ්වයන් දමනයට විශේෂයෙන් දක්ෂයි. මද්දුම පුතා ගණිත ශාස්ත්‍රයට දක්ෂයි. බාල පුතා ප්‍රායෝගික බුද්ධිමතෙක්.
ඔන්න දවසක් වී කුරුල්ලෙක් ඇවිත් අර ගොවියාගේ එක අටුවකින් වී ඇටයක් අරගෙන පියාඹලා ගියා. මුර කාරයො මේක දැක්කා. ඒත් ඉතින් මේ පොහොසත් ගොවියාගේ අටු කොටු කොයිතරම් පිරී තිබුණාද කිව්වොත්, ඔවුන් මේ එක වී ඇටයක් අඩුවීම ගැන මොනවත් ම කළේ නෑ.
https://public.dm2301.livefilestore.com /y3pNgp52DGKzk3cDVHJDIwuahm4- Zjsh1LVOPtuvyy1N3TAoQeOFTl7 u34zFv_8UOjmz3TPS2KdQ7IsKWhYaa_ tbaaZmr-XtKJes8qBv3OHsDU/ Gela%20Kalu%20Vikurulla%20-2.jpg?rdrts=112611686 |
ඔන්න ඒ වී කුරුල්ලා ඊළඟ දවසෙත් ඇවිදින් වී ඇටයක් අරගෙන පියාඹලා ගියා.
ඊළඟ දවසෙත් අර වී කුරුල්ලා තවත් වීඇටයක් අරගෙන ගියා..."
"ඉතින්?" අධිරාජයා ඇහුවා.
"...ඊ ළඟ දවසෙත් අර වී කුරුල්ලාම ඇවිත් තවත් වී ඇටයක් අරගෙන පියාඹලා ගියා."
"හරි ඉතින් ඊට පස්සෙ?" අධිරාජයා නොඉවසිල්ලෙන් ඇහුවා.
"...ඊ ළඟ දවසෙත් වි කුරුල්ලා ඇවිත්..."
"හරි හරි... වී කුරුල්ලා ගියාට පස්සෙ මොකද වුනේ කියනවකො." අධිරාජයා කිව්වා.
"... එහෙම කිව්වට රජතුමනි, මේ පොහොසතාගෙ වී අටු ම තියෙනවනෙ අක්කර ගාණක්. මේ වගේ වී ඇටෙන් ඇටේ අඩුවෙලා, වී වල අඩුව පොහොසතාට දැනෙන්න සෑහෙන කාලයක් ගතවෙනවනෙ. වී කුරුල්ලගේ මී මුනුපුරන්ගේ කාලයට එනතුරු මේ විදිහට වී ඇටෙන් ඇටේ අරං යන්න වෙනවා. එයින් පස්සෙ තමයි මේ ගොවියාගේ පුත්තු තුන්දෙනාගෙ වික්‍රමාන්විත ක්‍රියා වලට ඉඩ ලැබෙන්නෙ. ඒ නිසා ඉවසා වදාරන්න හොඳා..."
අධිරාජයා එකඟ වුනා.
"... ඔන්න ඉතින් අනික් දවසෙත් වී කුරුල්ලා තව වී ඇටයක් අරගෙන ගියා."
"ඇති ඇති..." අධිරාජයා කතාව නැවැත්තුවා. "මට දැන් ඔය මූසල වී කුරුල්ලන්වත් පේන්න බැරුව යනවා මේ කතාව නිසා. මොහුට හොඳින් සළකා. තෑගි භෝග දී පිටත් කරනු. ඒ වගේම - මගේ අණබෙරය නැවැත්වීමට අණ කරනු..." අධිරාජයා මහ ඇමතිට කිව්වා.
---------------------------------
ඔන්න එහෙනම් අප්‍රිකානු කතාව...
කලින් කතාවෙ චීන අධිරාජයා වගේම, අප්‍රිකානු රජෙකුටත් ආසා හිතුනා ලෝකේ දිගම කතාව අහන්න. ඉතින් එයත් කරපු වැඩේ තමන්ගෙ රාජ්‍යය පුරා අණබෙරයක් යැව්වා.
කලින් වගේම එක එක දිගැති කතා අරන් කතන්දර කාරයො මාළිගාවෙ පිරුණා. එක එක දිග කතා අහන්න ලැබුණට රජාට ඒ කතා වල දිග මදි වුනා. ඉතින් අර කතන්දර කාරයන්ට සිද්ධ වුනේ තෑගි භෝග ලබන්න නෙවෙයි. දංගෙඩියට යන්න. අන්තිමේ එක කතන්දර කාරයෙක් ඇවිත් රජ්ජුරුවො කවදාවත් අහලා නැති විදිහේ කතාවක් කිව්වා.
"ඔන්න අප්‍රිකාවෙ හිටියා උබන්බාවු කියලා මිනිහෙක්. එයාට කවදාවත් ම බඩ පිරෙන්න කන්න පුළුවන්කමක් තිබුණෙ නෑ. මොකද, කොච්චර කෑවත් එයාගෙ බඩ පිරුණෙ නැති නිසා.
http://ahfesl.free.fr/Images/ Basil_Cartoon_LNW_11.10.10.jpg |
"මේ රටේ මහ රජාටවත් බෑ මගෙ බඩ පිරෙන්න කන්න දෙන්න" දවසක් උබන්බාවු කඩමණ්ඩියෙදි කිව්වා.
මේ කතාව කටින් කට ගිහින් රජමාළිගාවටත් ආරංචි උනා. රජතුමාට බොහොම කේන්ති ගියා. එයා කරපු දේ, උබන්බාවු රජ මාළිගාවට ගෙන්නුවා.
"ඇත්තද බොල, මටවත් තොගෙ බඩ පුරවන්න බැරිය කියන්නෙ?" රජතුමා ඇහුවා.
"එහෙමයි..." උබන්බාවු බය පක්ෂපාත කමින් උත්තර දුන්නා.
හොඳටම කේන්ති ගියපු රජතුමා, රට පුරා අණබෙරයක් යැව්වා, රටේ හැම මිනිහෙක්ම මොනවා හරි කෑමක් රජමාළිගාවට එවන්න ඕනෙය කියලා.
රජතුමාගෙ කෝපයට බයේ, රටවැසියො තමන්ට කන්න තිබුණ දේ පවා රජ මාළිගාවට එව්වා. ඒ විදිහට රජමාළිගාවෙ මිදුලෙ එකතු වුනා,
හරක් මස් කරත්ත 700
පරිප්පු කල්දේරම් පුරවපු කරත්ත 500
අල කරත්ත 600
බෝංචි කරත්ත 500
මාළු කරත්ත 800
උෟරු මස් කරත්ත 400
කුකුල් මස් කරත්ත 500
කරවල කරත්ත 500
අච්චාරු කරත්ත 200
පපඩම් කරත්ත 200
චිලි පේස්ට් කරත්ත 1 යි
රජ අණ විදිහට රජමාළිගාවෙ මිදුලෙ මේසයක් පුටුවක් තියලා උබන්බාවු ව ඉන්දෙව්වා. සේවකයන්ට කිව්වා අර කරත්ත වලින් කෑම වර්ග අරං උබන්බාවුට බෙදලා දෙන්න කියලා.
ඔන්න ඉතිං උබන්බාවු කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා..."
ඔහෙම කිය කියා ඉද්දි රෑ වුනා. කතන්දර කාරයා හෙටත් උදෙන්ම එන්නම් කියලා රජතුමාට වැඳලා පිටත් වුනා.
පහුවදා පාන්දරින්ම කතන්දර කාරයා ආවා. රජතුමාත් කතාවෙ ඉතුරු ටික අහන්න ඉඳගත්තා.
"ඉතින් රජතුමනි, උබන්බාවු කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා..."
"හරි හරි ඉතින් කියනවකො ඉතුරු ටික!" රජතුමා කිව්වා.
"ඉතින් රජතුමනි, උබන්බාවු අර එකතු වෙච්ච කෑම වලින් කරත්ත10 ක් වත් තාම කාලා ඉවර නෑනෙ. ඒ ටික ඉවර වුනාම තමා හොඳම හරිය තියෙන්නෙ."
රජතුමා ඔළුව වැනුවා.
"ඉතින් රජතුමනි, උබන්බාවු කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා..."
රජතුමාත් සෑහෙන වෙලාවක් ඉවසගෙන හිටියා. මොකද එයාගෙ අණනෙ, ලෝකෙ ලොකුම කතාව කියන එක.
"... කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා..." කිය කියා ඉඳලා අර කතන්දර කාරයා රෑ වෙනකල්ම කිය කියා ඉඳලා, රෑ වුනහම ගෙදර ගියා.
පහුවදා කතන්දර කාරයා මාළිගාවට ඇවිත් රජතුමා ඉස්සරහ ඉඳගෙන ආයෙම කතාව පටන් ගත්තා.
"ඉතින් රජතුමනි, උබන්බාවු කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා..."
රජතුමාට හොඳට හිනා ගියා. "හරි හරි..." කියලා රජතුමා කතාව නැවැත්තුවා. හිනා වෙලා හිනාවෙලා අන්තිමේ රජතුමා කතන්දර කාරයට තෑගි බෝග ගොඩක් දීලා පිටත් කළා.
ප/ලි
අටු කොටු වලින් වී ඇටේ ඇටේ හොරකම් කරන වී කුරුල්ලනුත්, උබන්බාවුත්, මහරජ වරුත්, ඇතෙක් බරට රත්තරන් පොරොන්දු වෙලා නිකං තෑගි වලින් ශේප් වෙන අධිරාජයොත්, අණබෙර කාරයනුත්, සියල්ල දැනට ජීවත් ව සිටින හෝ මියගිය, කිසිම දේශපාලනඥයෙකුට, අගවිනිසොරෙකුට හෝ මාධ්‍ය කාරයෙකුට හෝ දක්වන කිසිම සමානත්වයක් කතා කතුවරයන් වන ජනප්‍රවාද කාරයන් අදහස් නොකරන බව තරයේ මතක් කර සිටිමි.