Wednesday, December 30, 2015

මෝසෙස් ගේ දෙවියන් සහ ජේසුස් ගේ දෙවියන්...

ඊජිප්තුවේ වහලුන් වී සිටි ගෝත්‍ර 12 කට අයත් ඊශ්‍රායෙල් ජාතිය පාරාවෝ වරුන්ගේ පාලනයෙන් මුදවාගෙන, ඊශ්‍රායල් භූමිය වෙත කැටුව ආ මෝසෙස්, ඒ එන අතර මඟ සීනායි කඳු ප්‍රදේශයේදී, සිය ජනතාවට ජීවත් වීමේදී පිළීපැදිය යුතු ව්‍යවස්ථාවලියක් ලබා දුන්නේය. එය බෛබලයේ නික්මයාම පොතේ 20 පරිච්ඡේදයේ සඳහන් වන්නේ මෙසේය.

THE TEN COMMANDMENTS චිත්‍රපටයේ 
මෝසස් ගේ චරිතය නිරූපණය කරන චාල්ටන් හෙස්ටන්
http://i.dailymail.co.uk/i/pix/2008/03_01/
mosesHeston2703_468x611.jpg

දෙවියන් වහන්සේ කතා කොට මේ සියලු ආඥා වදාළ සේක: 

''වහල්කමේ නිවාසය වූ මිසර දේශයෙන් නුඹ පිටතට ගෙනා සමිඳාණන් වහන්සේ මම ය. "මා හැර අන් කිසි ම දෙවි කෙනෙකු නුඹට නොසිටිය යුතු ය.''

''නුඹ සඳහා නෙළූ රූපයක් හෝ ඉහළ අහසෙහි වත්, පහළ පොළොවෙහි වත්, පොළොවෙන් යට ජලයෙහි වත් ඇති කිසි ම වස්තුවකට සමාන දෙයක් හෝ සාදා නොගන්න. නුඹ ඒවාට නමස්කාර නොකරන්න; ඒවාට නොවඳින්න. මන්ද, නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ වන මා ප්‍රතිවාදීන් නොඉවසන දෙවි කෙනෙකු වන බැවිනි. මට වෛර කරන පියවරුන්ගේ පාපය නිසා තුන් වන, සතර වන පරම්පරාව දක්වා ඔවුන්ගේ දරුවන්ට මම දඬුවම් කරමි. එහෙත්, මට ප්‍රේම කරමින් මාගේ ආඥා පිළිපදින දහස් ගණන් අයට මම කරුණාව දක්වමි.

''නුඹ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමය අගරු ලෙස භාවිතා නොකරව. යමෙක් ඒ නාමය අගරු ලෙස භාවිතා කරන්නේ ද ඔහුට මම දඬුවම් කරමි.''

''සබත් දවස ශුද්ධ ලෙස පැවැත්වීමට සිතට ගන්න. දවස් හයක් තුළ නුඹ වෙහෙස වී නුඹේ සියලු වැඩ කළ යුතු ය. එහෙත්, හත් වන දවස නුඹේ දෙවි සමිඳාණන් වහන්සේට කැප වූ සබත ය. එදින නුඹ වත්, නුඹේ පුතු වත්, දුව වත්, නුඹේ සේවකයා වත්, සේවිකාව වත්, නුඹේ සතෙකු වත්, නුඹේ වාසල් දොරටු සීමා ඇතුළ සිටින අමුත්තෙකු වත් කිසි වැඩක් නොකළ යුතු ය. මන්ද, සමිඳාණන් වහන්සේ වන මම දින හයක් තුළ අහස හා පොළොව ද, සමුද්‍රය ද, ඒවායේ ඇති සියල්ල ද සාදා, සත් වන දවස නිවාඩු ගත්තෙමි. එබැවින් උන් වහන්සේ සබත් දවසට ආශීර්වාද කොට එය විශුද්ධ කළ සේක.

''නුඹේ පියාට ද, මවට ද ගෞරව කරව. එවිට නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ නුඹට දෙන රටේ නුඹ බොහෝ කාලයක් ජීවත් වන්නෙහි ය.

''මිනී නොමරව.

''කාමමිථ්‍යාචාරය නොකරව.

''සොරකම් නොකරව.

''නුඹේ අසල්වැසියාට විරුද්ධ ව බොරු සාක්ෂි නොකියව.

''නුඹේ අසල්වැසියාගේ ගෘහයට නුඹ ඇළුම් නොකරව. තවද, නුඹේ අසල්වැසියාගේ භාර්යාවට හෝ ඔහුගේ සේවකයාට හෝ සේවිකාවට හෝ ඔහුගේ ගවයාට හෝ කොටළුවාට හෝ නුඹේ අසල්වැසියා සතු වෙනත් කිසිවකට හෝ ඇළුම් නොකරව.''

(නික්මයාම - 20 පරිච්ඡේදය - 01 සිට 17 දක්වා වගන්ති)

දසපණතින් පසුව, නික්මයාම - 21 සිට 23 දක්වා පරිච්ඡේද වලින්, සමාජ හැසිරීම් වල විවිධ විවිධ අවස්ථාවලදී යුක්තිය ඉටු කළ යුතු ආකාර වෙන් වෙන් වශයෙන් විස්තර කෙරේ. එසේ විස්තර කරමින් එක් තැනක හමුරාබි නීතියේදී අපට හමුවන වගන්තියක් ද නැවත කියා තිබේ.

"එහෙත්, අනතුරක් වුවහොත් පණට පණ ද, ඇසට ඇස ද, දතට දත ද, අතට අත ද, පයට පය ද, දැවීමට දැවීම ද, තුවාළයට තුවාළය ද, පහරට පහර ද, දිය යුතුය."

අදින් වසර තුන්දහසකට පමණ පෙර සම්පාදනය කරන ලද මේ නියාමයන්, කාන්තාර ප්‍රදේශයක වාසය කළ ප්‍රාථමික ගෝත්‍ර සමාජයක සදාචාරාත්මක මට්ටමින් මැනීම සුදුසු ය. වර්තමාන සදාචාරය සමඟ මෙම නීති සැසඳීම ප්‍රායෝගික නොවේ.

ඉන් වසර දහසකට පමණ පසු බිහිවූ ජේසු තුමන් සිය අනුගාමිකයන් අමතා දේශනා කළ ධර්මය මෙයට වඩා මටසිළුටු බවින් හා මානව දයාවෙන් පිරුණකි.

එතුමා කන්ද උඩ දේශනාවේ මෙසේ කියයි:

ජේසුස් වහන්සේ ජනකාය දැක කන්දකට නැඟුණු සේක. උන් වහන්සේ වැඩහුන් කල ශ්‍රාවකයෝ උන් වහන්සේ වෙත ආහ. 

එවිට උන් වහන්සේ ඔවුන්ට උගන්වමින් මෙසේ වදාළ සේක:

බැගෑ සිතින් දෙවි සරණ පතන්නෝ භාග්‍යවන්තයෝ ය;
ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේ ය.

ශෝක වන්නෝ භාග්‍යවන්තයෝ ය;
ඔව්හු සැනසීම ලබන්නෝ ය.

නිහතමානී ගුණ ඇත්තෝ භාග්‍යවන්තයෝ ය;
ඔව්හු දේශය උරුම කර ගන්නෝ ය.

යුක්තියට සාපිපාසා ඇත්තෝ භාග්‍යවන්තයෝ ය;
ඔව්හු තෘප්තිමත් වන්නෝ ය;

දයාවන්තයෝ භාග්‍යවන්තයෝ ය;
ඔව්හු දයාව ලබන්නෝ ය.

නිර්මල සිත් ඇත්තෝ භාග්‍යවන්තයෝ ය;
ඔව්හු දෙවියන් වහන්සේ දකින්නෝ ය.

සාමය ඇති කරන්නෝ භාග්‍යවන්තයෝ ය;
ඔව්හු දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ ය යි කියනු ලබන්නෝ ය.

යුක්තිය උදෙසා පීඩා විඳින්නෝ භාග්‍යවන්තයෝ ය;
ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේ ය;

මිනිසුන් මා නිසා ඔබට නින්දා පීඩා කොට, නානා විධ අසත්‍ය චෝදනා නඟන කල ඔබ භාග්‍යවන්තයෝ ය;

ප්‍රීති ප්‍රමෝද වන්න;
මන්ද, ස්වර්ගයෙහි ඔබේ පලවිපාකය ඉමහත් ය.
ඔබට පෙර සිටි දිවැසිවරයන්ටත් ඔව්හු එලෙස ම පීඩා කළහ.

ඔබ පොළොවේ ලුණු ය. ලුණෙහි ලුණු ගතිය නැති වුවහොත්, එයට ලුණු රස කවන්නේ කුමකින් ද? ඉන්පසු ඒවා ඉවත දමනු ලබන්නට ද, මිනිසුන්ගේ පයින් පාගනු ලබන්නට ද මිස, අන් කිසිවකට සුදුසු නැත.

ඔබ ලෝකයේ ආලෝකය ය. කන්දක් මත පිහිටි නුවරක් සැඟවිය නොහැකි ය. 

මිනිස්සු පහනක් දල්වා එය බඳුනක් යට නොව පහන් රුකක් මත තබති; එවිට එය ගෙදර වැසි සියල්ලන්ට එළිය දෙයි. 

එමෙන්ම මිනිසුන් ඔබේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයෙහි වැඩ වසන ඔබේ පියාණන් වහන්සේට ප්‍රශංසා කරන පිණිස, ඔබේ ආලෝකය ඔවුන් ඉදිරියෙහි බබළවන්න.

පැරණි ව්‍යවස්ථාවලිය පිළිබඳ ඉගැන්වීම් 

මම ව්‍යවස්ථාවලිය හා දිවැසාවලිය අවලංගු කරන පිණිස ආවෙමි යි නොසිතන්න. මා ආයේ, ඒවා අවලංගු කිරීමට නොව, සම්පූර්ණ කිරීමට ය. 

සැබැවින් ම මම ඔබට කියමි, අහස හා පොළොව පහ ව ගියත්, සියල්ල පරිපූර්ණ වන තුරු, ව්‍යවස්ථාවලියෙන් ඉස්පිල්ලක් වත් පාපිල්ලක් වත් පහ වී නොයන්නේ ම ය. 

එබැවින් මේ ආඥාවලින් ඉතා සුළු එකක් වත් කඩ කරන හා කඩ කරන ලෙස මිනිසුන්ට උගන්වන කවරෙකු වුව ද, ඔහු ස්වර්ග රාජ්‍යයෙහි ඉතා සුළු ය යි කියනු ලබන්නේ ය. එහෙත්, ඒවා පිළිපදින, ඒවා උගන්වන කවරෙකු වුව ද, ඔහු ස්වර්ග රාජ්‍යයෙහි උතුම් ය යි කියනු ලබන්නේ ය. 

මන්ද, ඔබ ධර්මිෂ්ඨකමින් විනයධරයන් ද පරිසිවරුන් ද ඉක්මවා නොගියොත්, ඔබ කිසි සේත් ස්වර්ග රාජ්‍යයට නොපිවිසෙන්නහු ය යි ඔබට කියමි.

(මෙතැන් සිට, මෝසෙස් ගේ ව්‍යවස්ථා එකින් එක ජේසුතුමන් විසින් විග්‍රහ කරනු ලැබේ.)

කෝපය ගැන

” ‘මිනී නොමරන්න; මිනී මරන කවරෙකු වුව ද විනිශ්චයට යටත් වනු ඇතැයි පැරැන්නන්ට කී බව ඔබ අසා ඇත. 

එහෙත්, මම ඔබට කියමි, තමාගේ සහෝදරයා සමඟ කෝප වන කවරෙකු වුව ද ඔහු අධිකරණයට යටත් වනු ඇත. තමාගේ සහෝදරයාට ‘මෝඩයාකියා ගරහන කවරෙකු වුව ද ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට යටත් වනු ඇත; ‘ජඩයාකියා ගරහන කවරෙකු වුව ද ඔහු නිරා ගින්නට ගොදුරු වනු ඇත. 

එබැවින් ඔබ පූජාසනය වෙත පඬුරක් ගෙනෙන කල, ඔබේ සහෝදරයා ඔබට විරුද්ධ ව යම් කිසි අමනාපයක් ඇති ව සිටින බව එහි දී සිහි වී නම්

පඬුර පූජාසනය ඉදිරියෙහි තබා ගොස්, පළමුකොට සහෝදරයා හා සමගි වී, පසුව අවුත් පඬුර පුදන්න.

ඔබේ විරුද්ධකාරයා සමඟ උසාවියට යන කල, මඟ දී ම ඉක්මනින් ඔහු හා සමගි වන්න; නැත්නම් විරුද්ධකාරයා ඔබ නඩුකාරයාට භාර දෙන්නේ ය; නඩුකාරයා ඔබ උසාවියේ නිලධාරියාට භාර දෙන්නේ ය; ඔබ ද හිරගෙයි දමනු ලබන්නෙහි ය. 

සැබැවින් ම මම ඔබට කියමි, අන්තිම සතයට ම දඩය ගෙවන තෙක් ඔබ කිසි සේත් එයින් පිට වී නොයන්නෙහි ය.

කාමමිථ්‍යාචාරය ගැන

” ‘ කාමමිථ්‍යාචාරය නොකරන්නැයි කී බව ඔබ අසා ඇත. 

එහෙත්, මම ඔබට කියමි, යමෙකු ස්ත්‍රියක දෙස කාමරාගයෙන් බැලූ කෙණෙහි ම ඔහු ඈ සමඟ සිතින් කාමමිථ්‍යාචාරය කර ඇත. 

වරදට වැටීමට හේතුව ඔබේ දකුණැස නම්, එය උගුලා ඉවත ලන්න; මුළු ශරීරය නිරයෙහි හෙළනු ලැබීමට වඩා ඔබේ අවයවවලින් එකක් නැති වීම ඔබට යහපත.

වරදට වැටීමට හේතුව ඔබේ දකුණත නම්, එය කපා දමන්න; මුළු ශරීරය නිරාගත වීමට වඩා ඔබේ අවයවවලින් එකක් නැති වීම ඔබට යහපත.

දික්කසාදය ගැන

තවද, ‘තමාගේ භාර්යාව දික්කසාද කරන කවරෙකු වුව ද ඇයට දික්කසාද සහතිකයක් දිය යුතු යයි කියා ඇත. 

එහෙත්, මම ඔබට කියමි, වේශ්‍යාකම හැර අන් කරුණක් නිසා සිය භාර්යාව දික්කසාද කරන කවරෙකු වුව ද ඔහු ඇය කාමමිථ්‍යාචාරයට පමුණු වන්නේ ය. එසේ දික්කසාද කරනු ලැබූ ඇය විවාහ කරගන්න යමෙක් වේ ද, ඔහුත් කාමමිථ්‍යාචාරය කරන්නේ ය.

දිවුරුම් ගැන

” ‘ දිවුරුම් කඩ නොකරන්න, සමිඳාණන් වහන්සේට නුඹ දුන් දිවුරුම ඉටු කරන්නැයි පැරැන්නන්ට කී බව ඔබ අසා ඇත. 

එහෙත්, මම ඔබට කියමි, කොහෙත් ම නොදිවුරන්න. ස්වර්ගය දෙවියන් වහන්සේගේ සිංහාසනය බැවින් ඒ නමින් වත්

පොළොව දෙවියන් වහන්සේගේ පා පුටුව බැවින් ඒ නමින් වත්, ජෙරුසලම මහ රජුගේ රාජධානිය බැවින් ඒ නමින් වත් නොදිවුරන්න. 

එක හිස කෙසක් සුදු කරගන්න හෝ කළු කරගන්න හෝ ඔබට නුපුළුවන් බැවින් හිස නමින් වත් නොදිවුරන්න. 

ඔබේ අදහස එසේ යකීම නම්, ‘එසේ යකියා ද, ‘නැතකීම නම්, ‘නැතකියා ද වේ වා. ඊට වැඩිමනත් යමක් ඇද්ද, එය එන්නේ නපුරාගෙන් ය.

පළිගැනීම ගැන

” ‘ඇසට ඇස ය, දතට දත යයන කීම ඔබ අසා ඇත. 

එහෙත්, මම ඔබට කියමි, එදිරිකාරයාට විරුද්ධ ව එකට එක නොකරන්න. යමෙකු ඔබේ දකුණු කම්මුලට ගැසුවොත්, ඔහුට අනික් කම්මුල ද හරවන්න. 

යමෙකු නඩු කියා ඔබේ කමිසය ගන්න කැමැති වුවොත්, ඔහුට ඔබේ කබායත් ගන්න අවසර දෙන්න.

හේවා නිලධාරියෙකු තම බඩු පොදිය එක කිලෝමීටරයක් දුර උසුලාගෙන යන්න ඔබට බල කළොත්, ඔහු සමඟ එය කිලෝමීටර් දෙකක් උසුලාගෙන යන්න. 

ඔබෙන් ඉල්ලන්නාට දෙන්න; ඔබෙන් ණයට ගන්න කැමැති අයට පිටු නොපාන්න.

සතුරන් කෙරෙහි මෙත් සිත් වැඩීම

” ‘නුඹේ අසල්වැසියාට ප්‍රේම කරන්න, සතුරාට වෛර කරන්නැයි කී බව ඔබ අසා ඇත. 

එහෙත් මම ඔබට කියමි, ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න; ඔබට පීඩා කරන්නන් උදෙසා යාච්ඤා කරන්න. 

මෙසේ ඔබ ස්වර්ගයෙහි වැඩ සිටින ඔබේ පියාණන් වහන්සේගේ පුත්‍රයෝ වන්නහු ය. කුමක් නිසා ද, උන් වහන්සේ දුදනන් හට හා සුදනන් හට තම හිරු එළිය උදා කරවන සේක; දමිටුන් හට හා අදමිටුන් හට වැසි වස්වන සේක. 

ඔබට ප්‍රේම කරන්නන්ට පමණක් ඔබ ප්‍රේම කරන්නහු නම්, එයින් ඇති විපාකය කුමක් ද? අයකැමියෝ පවා එසේ නොකරත් ද

ඔබේ සහෝදරයන්ට පමණක් ඔබ ආචාර කරන්නහු නම්, එහි ඇති විශේෂය කුමක් ද? විජාතිකයෝ පවා එසේ නොකරත් ද

එබැවින් ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ සර්ව සම්පූර්ණ ව සිටින්නාක් මෙන් ඔබ ද සර්ව සම්පූර්ණ වන්න.

දන් දීම ගැන

මිනිසුන්ට පෙනෙන පිණිස ලෝකයා ඉදිරියෙහි ඔබේ පුණ්‍ය ක්‍රියා නොකරන්න බලාගන්න. එසේ කළහොත්, ස්වර්ගයෙහි වැඩ වසන ඔබේ පියාණන් වහන්සේගෙන් කිසි විපාකයක් ඔබට නොලැබෙන්නේ ය.

එබැවින් ඔබ දන් දෙන කල, මිනිසුන්ගෙන් ප්‍රශංසා ලබන පිණිස ධර්මශාලාවල දීත්, වීථිවල දීත් කෛරාටිකයන් කරන්නාක් මෙන් ඔබට පෙරටුවෙන් හොරණෑ නොපිඹින්න. සැබැවින් ම, මම ඔබට කියමි, ඔවුන්ගේ විපාකය ඔවුන්ට දැනට ම ලැබී ඇත. 

එහෙත්, ඔබ දන් දෙන කල, දකුණත කරන දෙය වමතට නොදැනේ වා. 

ඒ දන් දීම රහසක් ව තිබිය යුතු ය. එවිට රහසින් එය දකින ඔබේ පියාණන් වහන්සේ ඔබට පල විපාක දෙන සේක.

යාච්ඤාව ගැන

ඔබ යාච්ඤා කරන කල කෛරාටිකයන් කරන්නාක් මෙන් නොකරන්න. මිනිසුන්ට පෙනෙන පිණිස ඔව්හු ධර්මශාලාවලත්, මංසන්ධිවලත් සිටගෙන යාච්ඤා කිරීමට ප්‍රිය වෙති. සැබැවින් ම මම ඔබට කියමි, ඔවුන්ගේ විපාකය දැනට ම ඔවුන්ට ලැබී ඇත. 

එහෙත්, ඔබ යාච්ඤා කරන කල ඔබේ ම ඇතුළු කාමරයට වැද, දොර වසාගෙන, අදෘශ්‍යමාන ව වසන ඔබේ පියාණන් වහන්සේට යාච්ඤා කරන්න. එවිට රහසින් ඔබ කරන දේ දකින ඔබේ පියාණන් වහන්සේ ඔබට පල විපාක දෙන සේක.

තවද, යාච්ඤා කිරීමේ දී විජාතීන් මෙන් දිගින් දිගට හිස් වචන නොදොඩන්න. ඔවුන් දොඩන වචන රාශිය නිසා, දෙවියන් වහන්සේ ඔවුන්ට කන් දෙනු ඇතැ යි ඔව්හු සිතති. 

ඔවුන් හා සමාන නොවන්න. ඔබ ඉල්ලන්නටත් පෙර ඔබේ වුවමනා කවරේ දැ යි පියාණන් වහන්සේ දන්නා සේක. 
එහෙයින් මෙසේ යාච්ඤා කරන්න:

ස්වර්ගයෙහි වැඩ වසන අපගේ පියාණෙනි, ඔබ වහන්සේගේ නාමයට ගෞරව වේ වා,
ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේ වා, ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු වේ වා, ස්වර්ගයෙහි මෙන් පොළොවෙහි ද එසේ ම වේ වා.

අපගේ දවස්පතා ආහාරය අද අපට දුන මැනව.
අපට වරද කළ අයට අප කමා කළාක් මෙන් අපේ වරදට අපට කමා වුව මැනව.
අප පරීක්ෂාවට නොපමුණුවා, නපුරාගෙන් අප මිදුව මැනව.

ඔබ මිනිසුන්ට ඔවුන්ගේ වරද කමා කරන්නහු නම්, ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ ඔබටත් කමා කරන සේක. එහෙත්, ඔබ මිනිසුන්ට ඔවුන්ගේ වරදට කමා නොකරන්නහු නම්, පියාණන් වහන්සේ ඔබේ වරදටත් කමා නොකරන සේක.

උපවාසය ගැන

ඔබ උපවාස කරන කල කෛරාටිකයන් මෙන් දොම්නස් මුහුණු ඇති ව නොසිටින්න. තමන් උපවාස කරන බව මිනිසුන්ට පෙනෙන පිණිස ඔව්හු මුහුණු විරූප කරගනිති. සැබැවින් ම මම ඔබට කියමි; ඔවුන්ගේ පල විපාක දැනට ම ඔවුන්ට ලැබී ඇත. 

එහෙත්, ඔබ උපවාස කරන කල, හිස තෙල් ගල්වා, මුහුණ සෝදාගන්න. 

මෙසේ, අදෘශ්‍යමාන ව වසන ඔබේ පියාණන් වහන්සේට මිස, ඔබ උපවාස කරන බව මිනිසුන්ට නොපෙනෙයි. එවිට රහසින් කරන දේ දකින ඔබේ පියාණන් වහන්සේ ඔබට පල විපාක දෙන සේක.

ස්වර්ග සම්පත් (තෘෂ්ණාව හා ලෞකිකත්වය ගැන)

මෙලොව ඔබට වස්තු රැස්කර නොගන්න. මලකඩ ද කාවෝ ද ඒවා කාදමති. සොරු ද උමං කැණ ඒවා සොරාගනිති. 

එහෙත්, ස්වර්ගයෙහි ඔබට වස්තු රැස්කරගන්න. එහි දී මලකඩ වත් කාවෝ වත් ඒවා නාස්ති නොකරති. සොරු ද උමං කැණ ඒවා සොරා නොගනිති. 

ඔබේ වස්තුව කොතැන ද ඔබේ සිතත් එතැන ය.

නිවැරදි දැක්ම 

සිරුරට පහන ඇස ය. එහෙයින් ඔබේ ඇස නීරෝගි නම්, ඔබේ මුළු සිරුර ආලෝකවත් වේ. ඔබේ ඇස රෝගී නම්, ඔබේ මුළු සිරුර ම අඳුරු වේ. ඔබ තුළ ඇති ආලෝකය අඳුරු වී ගියහොත්, එය කෙතරම් ඝන අන්ධකාරයක් ද?

දෙවිඳුන් ද? වස්තුව ද?

ස්වාමිවරුන් දෙදෙනෙකුට මෙහෙවර කිරීමට කිසිවෙකුට නුපුළුවන. මන්ද, ඔහු එක් කෙනෙකුට වෛර බැඳ අනික් අයට ප්‍රේම වන්නේ ය. නැතහොත්, එක් කෙනෙකුට ළැදි වී, අනික් අය හෙළා දක්නේ ය. දෙවියන් වහන්සේට සහ වස්තුවට සේවය කරන්න ඔබට නොහැකි ය.

කරදර වීම ගැන

එහෙයින් මම ඔබට කියමි: කුමක් කමු ද, කුමක් බොමු ද කියා ජීවිතය ගැන වත්, කුමක් අඳිමු ද කියා ශරීරය ගැන වත් කරදර නොවන්න. කෑමට වඩා ජීවිතය ද, ඇඳුමට වඩා ශරීරය ද අගනේ නොවේ ද

අහසේ කුරුල්ලන් දෙස බලන්න. උන් වපුරන්නේ වත්, කපන්නේ වත්, අටුවල රැස්කරන්නේ වත් නැත. එහෙත්, ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ උන් පෝෂණය කරන සේක. ඔබ ඔවුන්ට වඩා බොහෝ වටිනවා නොවේ ද

කරදර වීම‍ෙන් තමාගේ ආයු ප්‍රමාණය දික් කරගන්න ඔබ අතරෙන් කවරෙකුට පුළුවන් ද?

ඔබ ඇඳුම් ගැන කරදර වන්නේ කුමට ද? කෙතේ මානෙල් වැඩෙන හැටි කල්පනා කරන්න; ඒවා වෙහෙසෙන්නේ වත්, නූල් කටින්නේ වත් නැත. 

එහෙත්, සියලු රාජ තේජසින් විරාජ මාන වූ සලමොන් වුව ද, මේ මල්වලින් එකක් සේ සැරසී නොසිටියේ යයි ඔබට කියමි. 

ඇදහිල්ල හීන තැනැත්තෙනි! අද තිබී හෙට උදුනේ දැවීයන කෙතේ තණ කොළ දෙවියන් වහන්සේ එසේ සරසන සේක් නම්, ඊට කොපමණ වැඩියෙන් උන් වහන්සේ ඔබ නොසරසන සේක් ද

එහෙයින් කුමක් කමු ද, කුමක් බොමු ද, කුමක් අඳිමු ද කියමින් කරදර නොවන්න. 

විජාතීන් සෑම විට ම සොයන්නේත් මේවා ම ය; මේවා ඔබට ඕනෑ බව ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ දන්නා සේක. 

එහෙත්, පළමු කොට උන් වහන්සේගේ රාජ්‍යය ද ධර්මිෂ්ඨකම ද සොයන්න; එවිට මේ සියල්ලත් ඔබට දෙනු ලැබේ. 

එබැවින් හෙට දවස ගැන කරදර නොවන්න. හෙට දවසේ කරදර හෙට දවසට සෑහේ. එක දවසක කරදරවලට තව කරදර එකතු නොකරන්න.

අනුන් විනිශ්චය කිරීම

විනිශ්චය නොකරන්න; එවිට ඔබ ද විනිශ්චය කරනු නොලබන්නෙහි ය. 

ඔබ දෙන විනිශ්චයයෙන් ම ඔබත් විනිශ්චය කරනු ලබන්නෙහි ය. ඔබ මනින මිම්මෙන් ම ඔබටත් මැන දෙනු ලැබේ. 

ඔබේ ම ඇසේ ඇති ලී කොටය ගැන නොතකා ඔබේ සහෝදරයාගේ ඇසේ ඇති ලී කුඩ ගැන බලන්නේ මන් ද

නොහොත් ඔබේ ම ඇසෙහි ලී කොටය තිබිය දී, සහෝදරයාට කතා කොට, ‘ඔබේ ඇසේ තිබෙන ලී කුඩ පහ කරන්න ඉඩ දෙන්නැයි ඔහුට කියන්නේ කොහොම ද

කෛරාටිකයනි, පළමු කොට ඔබේ ඇසෙන් ලී කොටය පහ කරන්න; එවිට සහෝදරයාගේ ඇසෙන් ලී කුඩ පහ කරන්න ඔබට හොඳින් පෙනෙනු ඇත.

පූජනීය දේ බල්ලන්ට නොදෙන්න. ඔබේ මුතු ඇට ඌරන් ඉදිරියෙහි නොදමන්න. එසේ කළොත්, උන් ඒවා පයින් පාගාදමා හැරී අවුත් ඔබ කැබලි කොට ඉරාදමනු ඇත.

අධිෂ්ඨානය සහ මනසේ ශක්තිය ගැන

ඉල්ලන්න, ඔබට දෙනු ලැබේ; සොයන්න, ඔබට සම්බ වේ; තට්ටු කරන්න, ඔබට දොර අරිනු ලැබේ. 

මන්ද, ඉල්ලන්නාට ලැබේ; සොයන්නාට සම්බ වේ; තට්ටු කරන්නාට දොර අරිනු ලැබේ. 

ඔබ අතරෙන් කවර මනුෂ්‍යයෙක් හෝ තමාගේ පුත්‍රයා පාන් ගෙඩියක් ඉල්ලුවොත් ඔහුට ගල් ගෙඩියක් දෙයි ද

මාළුවෙකු ඉල්ලුවොත්, සර්පයෙකු දෙයි ද

මෙසේ අයහපත් ඔබ, ඔබේ දරුවන්ට යහපත් දේ දෙන්න දන්නහු නම්, ස්වර්ගයෙහි සිටින, ඔබේ පියාණන් වහන්සේ තමන්ගෙන් ඉල්ලන්නන්ට යහපත් දේ ඊටත් වැඩියෙන් නොදෙන සේක් ද?”

ස්වර්ණමය අණ

අනුන් ඔබට යමක් කරනවාට ඔබ කැමැති ද, ඔබත් ඒ දේ ම ඔවුන්ටත් කරන්න. ව්‍යවස්ථාවලියේ හා දිවැසාවලියේ හරය එය වේ.

පටු දොරටුව

පටු දොරටුවෙන් ඇතුළු වන්න. විනාශයට යන දොරටුව විශාල ය, පාරත් පළල් ය. එයින් ඇතුළු වන්නෝ ද බොහෝ ය. 

එහෙත්, ජීවනයට යන දොරටුව පටු ය; පාර ද අවහිර ය; එය සොයාගන්නෝ ස්වල්ප දෙනෙක් පමණකි.

බොරු ඇදුරන් ගැන

බොරු දිවැසිවරයන්ගෙන් පරෙස්සම් වන්න. පිටතින් බැටළු වෙස් ගෙන පැමිණියත්, ඔව්හු ඇතුළතින් රෞද්‍ර වෘකයෝ ය. 

ඔවුන්ගේ ක්‍රියාවලින් ඔවුන් හඳුනාගත හැකි ය. මනුෂ්‍යයෝ කටු ගස්වලින් මිදි වත්, ගොකටුවලින් අත්තික්කා වත් නෙළා ගනිත් ද

හොඳ ගස හොඳ පල දරයි; නරක ගස නරක පල දරයි. 

හොඳ ගසේ නරක පල වත්, නරක ගසේ හොඳ පල වත් හටගන්නේ නැත. 

හොඳ පල නොදරන සියලු ගස් කපා ගින්නට දමනු ලැබේ. 

මෙලෙස, ඔවුන්ගේ පලවලින් නුඹලා ඔවුන් හැඳින ගන්නහු ය.

කීම සහ කිරීම

ස්වර්ගයෙහි වැඩ වසන මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන අය මිස මට, ‘ස්වාමීනි, ස්වාමීනියි කියන සියල්ලෝ ම ස්වර්ග රාජ්‍යයට ඇතුළු නොවන්නෝ ය. 

ඒ දවසේ දී බොහෝ දෙනෙක්, ‘ස්වාමීනි, ස්වාමීනි, අපි ඔබේ නාමයෙන් දිවැස් වැකි නොකීවෙමු ද? ඔබේ නාමයෙන් දුෂ්ටාත්මයන් දුරු නොකෙළෙමු ද? ඔබේ නාමයෙන් නොයෙක් ප්‍රබල ක්‍රියා නොකෙළෙමු දැයි මට කියනු ඇත. 

එවිට මම, ‘කිසි කලක ඔබ නොහැඳින්නෙමි; දුදනෙනි, මා වෙතින් අහක් ව යන්නැයි ඔවුන්ට කියන්නෙමි.

අත්තිවාරම් දෙක

එහෙයින් යමෙක් මාගේ වචන අසා, ඒවා පිළිපදී ද, ඔහු පර්වතය මත තමාගේ ගෙය තනාගත් නැණවතෙකුට සමාන ය. 
වැසි වැස, ජලය ගලා, සුළඟ හමා ඒ ගෙට ගැසී ය, එය පර්වතය මත පිහිටි බැවින් බිඳ නොවැටිණි. 

තවද, යමෙක් මාගේ මේ වචන අසා, ඒවා නොපිළිපදී ද, ඔහු වැලි මත ගෙය තනාගත් අනුවණ මනුෂ්‍යයෙකුට සමාන ය. 

වැසි වැස, ජලය ගලා, සුළඟ හමා ඒ ගෙට ගැසී ය, එය බිඳ වැටිණි. එහි වැටීම ද භයංකර විය.


ජේසුස් වහන්සේ මේ වචන කියා නිම කළ කල්හි, සමූහයෝ උන් වහන්සේගේ අනුශාසනා ගැන විස්මිත වූ හ. 

මන්ද, උන් වහන්සේ ඔවුන්ගේ විනයධරයන් මෙන් නොව, ආධිපත්‍යය ඇත්තෙකු මෙන් ඔවුන්ට අනුශාසනා කළ හෙයිනි.

(මැතිව් 5, 6, 7 පරිච්ඡේද)

BEN HUR චිත්‍රපටයේ නිරූපිත කන්ද උඩ දේශනාව
http://2.bp.blogspot.com/-ffcVOVvAqZc/UZ-kGcZcLuI/
AAAAAAAAHPw/8wb4jXqEtyE/s1600/jesus.bmp

පරණ යුදෙව් ආගමේ ව්‍යවස්ථා, ජේසුතුමා කෙතරම් මට සිළුටු සහ මානවවාදී බවට හරවා ඇත්ද යන්න විස්මය ජනකය. විශේෂයෙන්ම, ඒ අදින් වසර දෙදහසකට පමණ පෙර කාලයකදී, කර්කෂ පරිසරයකදී, අයෝමය රෝම අධිරාජ්‍යයේ පාලනය යටතේ යන වාතාවරණය සැළකිමේදී ය.

බෛබලය සිංහලෙන් ඔන්ලයින් කියවන්න ලිංක් එකක් මෙන්න.

වැඩිපුර බලපු ලිපි