Sunday, February 19, 2023

ප්‍රේමය සහ කයිකතන්දර

බොරලැස්ගමුවේ ජී. එච්. පෙරේරාගේ කයිකතන්දර පොතෙන් මෙවර අපි අරගෙන එන්නේ, ස්ත්‍රිය, සහ ප්‍රේමය ඇසුරු කරගත් කයිකතන්දර කීපයක්. 

ගමක පෙම්වතුන් දෙන්නෙක් උන්නා.  කාලෙකදි කොල්ලා වෙන ගමක තරුණියක් කැන්දගෙන ආවා. හදවත බිඳුණු ගෑණු ළමයත් ටික කාලයක් දුකින් ගත කරලා, වෙන ගමකට දීග ගියා.

ටික කාලෙකට පස්සෙ අර තරුණයා දුර ගමනක් ගියා. ඒ යද්දි, අතරමග දි රෑ වුණ නිසා නවාතැන් ගන්න ගෙදරකට ගොඩ වුණා. එතකොට තමයි දැක්කෙ, කලින් යාළු වෙලා හිටිය ගෑණු ළමය දීග ගියපු ගෙදර කියලා.

ඒ ගෙදර පිරිමියා උන්නෙ නෑ. ඉතින් අර ගෑණු ළමයත් වෙනස් කමක් පෙන්නන්නෙ නැතුව, කන්න බොන්නත් දීලා, ඉස්සර ගෙවල්වල තිබුණ නෙව උස් පිල, අන්න ඒ පිල පිටට පැදුරක් එලලා කොට්ටෙකුත් දීලා, ‌ගේ ඇතුළට ගිහිං දොර වහගත්තා.

මේ වැඩේට හිත රිදුණ අර තරුණයා සෑහෙන වෙලාවක් කල්පනා කර කර උන්නා. අන්තිමේ ගේ ඇතුළට ඇහෙන්න මෙන්න මෙහෙම කවියක් කීවා:

ආදි අපි දෙන්න දිය පිට මලක් වගේ
දැන්දි අපි දෙන්න දිවි දුටු මුවන් වගේ
ගොඩ නුපුරුදු - දිය නුපුරුදු සතුන් වගේ
උඹලගෙ සෙනේ හුණු නැති බුලත් විට වගේ

ඒක ඇහුණ ගෑණු ළමයා කීවා:

ආදි අපි දෙන්න දෙන්න ම තමුන්නේ
දැන්දි අපි දෙන්න දෙන්න ම අනුන්නේ
නොදැන නොවෙයි පිළ පිට පැදුර දුන්නේ
යතුර දෙන්ට මේ ගෙයි දොර අනුන්නේ


*    *    *

එක මනුස්සයෙක් බිරිඳක් කැන්දගෙන ආවා. ටික දවසක් යද්දි මේ කාන්තාවට බොහොම අමාරු ලෙඩක් හැදුණා. ටික දවසක් බෙහෙත් කරලා, යකැදුරුකනුත් කරලා, හොඳක් වෙන්නෙ ම නැති තැන, බිරිඳගෙ සරීරයත් වැහැරිලා ගිය තැන, අර මනුස්සයා, තමන්‌ගෙ බිරිඳ ආපහු ගෙදර ගිහින් ඇරලුවා.

තමංගෙ ගෙදර, අම්ම තාත්තගෙ සාත්තුවටයි, වෙද හෙද කමටයි ටික කාලෙකින් ම අර කාන්තාව සනීප වෙලා, හිටියා වගේ ම ලස්සන උනා. ඊට පස්සෙ වෙන දීගෙක ගියා.

දවසක් ඒ කාන්තාව තමුංගෙ අලුත් සැමියත් එක්ක නෑ ගමනක් යන ගමං, වෙලක් මැදින් ගියා. ඒ කුඹුරේ සී සාමින් හිටියා, ඇගේ පරණ සැමියා. එයා මේ කාන්තාව දැකලා මෙහෙම කිව්වා:


උදක් උදාරම් ගන රන් ලිය ගෙ හැටී
කදක් අරන් මේ වෙල දිගෙ යනෙන හැටී
ඇදක් නැතුව ඇගෙ වරලස කෙළින් සිටී
එදත් මෙහෙම වුණි නම් එක් වෙන්ට සිටී

ඒක ඇහුණු කාන්තාව කීවා:

පුන් සඳ ගැබ තුලේ රිවි නැද්ද එළි වෙලා
බිම් තැනි තලාවේ දිය නැද්ද බොර වෙලා
මන් ඇර වෙන ගෑණු ලොව නැද්ද ලෙඩ වෙලා
පුන් සඳටත් කැළලක් නැද්ද සිදු වෙලා

තමන්ගෙ ආත්මාර්ථකාමී කම නිසා ‌කෙළවීම ගැන තරහෙන් හිටි පිරිමියා ට හිතුණා, තමන් සී සාමින් හිටිය පාරත් වැරදුණාමේ ගැහැණිය දැක්ක නිසා කියලා. එයා තවත් කවියක් කීවා තරහෙන්:

ඕවිට හරහ යන්නේ මඟ පෙනීලා
පෑවිට සෙනේ විය දස අත මුදාලා
කීමට තරහ වුනේ ද මෙ නුඹ පාලා
හීවිට වැරදුනේ හැතිරිය පෙනීලා

ඒකට පිළිතුරු විදිහට කාන්තාව කීවා මෙහෙම:

එදා ඉසලු තලපත තද වැස්සේයා
එදා කළ කතා අවුරුදු ලස්සේයො
නෙතින් එන කඳුළු දඩ මඩ අස්සේයා
ඉතින් හිමි නොඑමි නුඹ පිටිපස්සේයා

*    *    *

තවත් වරක්, මනමාලියක් කැන්දාගෙන එනව තරුණයෙක්. මනමාලිත්, මඟුලට අන්දවපු තැලි පිළි පිටින්. ඒ අතරමඟදි නොගැඹුරු ගඟකින් එගොඩ වෙන්න තිබුණා. 

ඉතින් කට්ටිය ගඟට බැහැලා මඟක් දුර එද්දි, මනමාලි දැක්කා මනමාලයගෙ කකුල් දෙකේ ම වණවෙලා තිබුණු තුවාල. ඒක දැකලා පිළිකුල් හිතුණු ඒ තරුණිය ආපහු හැරිලා යන්න ගියා.

එයා ව නවත්ත ගන්න ගොඩක් මහන්සි වුණු තරුණයා අන්තිමේ ගඟ මැද ඉඳං මෙහෙ ම කිව්වා:

සද්ද මිණි ගිගිරි කොඩි බැඳ ආ එතනා
සිද්ද වුණු දෙයක් නැත ඇවිදින් මෙතනා
බැද්ද තනි මගයි බැසලා නොය එතනා
රෙද්ද මගේ දීලා පලයන් එතනා

ඒක ඇහුණු එතනා, මඟුල් පෝරුව මත මනමාලයා තමන්ට අන්දවපු රෙද්ද ගළවලා මේ කවිය කියමින් ගඟ මැද උන්න මනමාලයා දිහාවට විසි කළා.

සුද්ද දෙමවුපිය දෙන්නා තැනු සන්දා
ඉද්ද අත ගගා වෑයම් කළ සන්දා
බැද්ද කොළ කඩා අඳිතත් නැති සන්දා
රෙද්ද උඹේ ඕනෑ නම් ඕන් ඉඳා

*    *    *

ලෝක යුද්ධ කාලේ, රටේ තැන් තැන්වල වැඩ පොළවල් තිබුණා. ඒවයෙ වැඩ කරන්න පිට පළාත්වලින් තරුණයො ඇවිදින් නතර වෙලා උන්නා.

අරනෝලිස් හෙවත් අරා, එහෙම එක ගමක තිබුණු වැඩ පොළක වැඩ කළා. ඔය වැඩපොළ ගාව තිබුණා කෝපි කඩයක්. ඒ කෝපි කඩේ උන්නා ලස්සන තරුණියක්.

ඔය කියන කඩේට හවස් අතේ ගිහින් බුලත් විටක් හපලා, කෝපි එකක් බොන්න වැඩපොළේ තරුණයො පුරුදු වෙලා උන්නා. අර තරුණියගෙ හිත ගියේ ඔය කොල්ලො අතරින් අරා ට.

ඒත් ඉතින් ගෑණු ළමයි තමන්ගෙ කැමැත්ත කෙලින් ප්‍රකාශ කරන්නෙ නෑනෙ. ඉතින් අරාට ඒක තේරුණේ නෑ. මිනිහා ටික කාලෙකින් ඔය වැඩපොළෙන් අස්වෙලා ගමට ගියා.

ඉතින් අර ගෑණු ළමයට හරි ම දුකයි. ඒත් අරා හොයාගෙන යන්න පුළුවනෑ. ටික කාලයක් දුකෙන් ගත කරලා, දුක දරාගන්න ම බැරි තැන එයා කවියක් ලියලා, අරා ට ලියුමක් යැවුවා. මේ තියෙන්නෙ ඒ කවිය:

බුලත් විටක් කන්න පහුගිය දවස්වල ඉඳ හිටලා මෙහෙ ආව ගිය අරෝ
මට නම් උඹ නොදැක ඉන්ට බැරෝ
නිවාඩුවක් නැත්නම් නිවාඩුවක් අරගෙනවත් මෙහෙ ඇවිත් යන්ට වරෝ
නැත්නම් මා මැරෝ

ඒ ලියුමෙ පාතින් ලියලා තිබුණා, පද දෙකක් කොට උනේ, අනික් පද දෙක දිග වුණ නිසා ය කියලා.

*    *    *

රංචාගොඩ පුංචි මහත්තයා ඉහළ යැයි සම්මත කුළයක තරුණයෙක්. එයා රදා පවුලක තරුණියකට ආදරය කළා.  එයාගෙ වැඩිහිටියෝ මොන විදිහට උත්සාහ කළත් මේ සම්බන්ධය කඩා දමන්න බැරි උනා. අන්තිමේ වැඩිහිටියො ටික එකතු වෙලා, බලි යාගයක් කරන්න ලෑස්ති කළා.

බලිය පටන් ගන්න ලෑස්ති වෙලා ආතුරයා හොයන කොට, එයා අර පෙම්වතියගෙ ගෙදර බව දැනගන්න ලැබුණා. ඉතින් පණිවිඩ කාරයෙක් යැව්වා එයාව එක්කරගෙන එන්න. 

රංචාගොඩ පුංචි මහත්තයා කවියක් ලියලා අර පණිවිඩ කාරයා අතේ මහගෙදරට එව්වා.

නුසුපුදිලී ළතඹුරුවන් පැහැය දිලී
පැ කොඳදලී ඇගෙ ගහනත දෙමට මලී
ලු කළහෙළී අඳුරටවන් සඳසෙ දිලී
මෙ සළු කෙලී ඇරලා මට කුමන බලී

මේ කවිය කියවලා බලපු එයාගෙ වැඩිහිටියො, අහල එව්වා, "අම්මප උඹට කිළුටු නැද්ද ඔය රදා ගෙදර ලගින එක?" කියලා. ඒකටත් පුංචි මහත්තයා තව කවියක් ලියල එව්වා...

උවනත් සපිරි සඳ වරලස හේම කුළ
කොඳ දත් කැකුළු තුඟු පියයුරු හේම කළ
ලොබ සිත් වඩන දුටු සළු ලිය නාඳු ගළ‍
සිඹිතත් කිළුටු නැත සුසිලිටු නබී මුළ


Monday, February 6, 2023

මාටින් රැට්ලර්


මා මීට කලින් පාසල් පෙළ පොතකින් උපුටාගෙන පළ කළ, "මාටින් රැට්ලර් සහ බානි" පෝස්ටුව කියැවූ නිදි, ඔහු සතුව පැවති මාටින් රැට්ලර් පොත, කොරැල් දූපත සහ උඩරට විත්ති පොත් සමඟ මා වෙත තැපෑලෙන් එවුවේ ය. ඊට උපකාර කළ නමියාටත් ස්තූතියි.

එසේ එවුවේ, මම ඒ පොත් ස්කෑන් කර, පීඩීඑෆ් අනුවර්තනයක් කර, බෙදා හරිනු ඇතැයි අපේක්ෂාවෙනි. ඊට පෙරත් නිදි මා හට පොත් කීපයක් දුන්නේ මේ පරමාර්ථයෙනි.

ඉතින් ඒ යහපත් අදහසට ආලෝකයක් ලෙස, මාටින් රැට්ලර් පොත මෙතැනින් බාගත කරගත හැකි වන පරිදි, උඩුගත කළ බව සතුටින් දන්වමි.

පොතක් ස්කෑන් කිරීම වෙහෙසකර වැඩකි.

බොහෝ අය ජංගම දුරකථනයේ කැමරාව සහ කැම්ස්කෑන් වැනි ඇප් මඟින් මේ කටයුත්ත කළත්, මා යොදාගන්නේ, (මෙතෙක් කල් යොදාගත්තේ) මගේ පරණ ස්කෑනරයයි. ඒ, පාඨකයන්ට හොඳ තත්ත්වයේ පිටපතක් ලබා දීමේ අදහසින්.

එච්පී ස්කෑනරයට ලැබෙන ස්කෑන් මෘදුකාංගයෙන්, ස්කෑන් කරන අවස්ථාවේ ම, අදාළ පරිදි පිටු වෙන වෙන ම කපා, කෙළින් අතට හරවා ගත හැකියි. නමුත් පොඩි පොඩි කෝණයන්ගෙන් හැරවී තිබෙන පිටු ආපසු ඒසීඩීසී මෘදුකාංගයෙන් එකින් එකට අංශක දෙක තුන හරවා සකස් කරගත යුතු වෙනවා.

පිටු සියල්ල ස්කෑන් කර අවසානයේ, අර විදිහට කෙළින් කර, ලස්සනට කපා ගැනීමෙන් පසු, පිටු මඟ හැරී ඇත්දැයි නැවත පරීක්ෂා කරනවා, එකින් එකට. ඊට පසු ඒසීඩීසී මෘදුකාංගයෙන් අදාළ පිටු සියල්ල තෝරාගෙන එක් පීඩීඑෆ් ගොනුවක් සකස් කරනවා. ඒ සඳහා, පිටු නිවැරදි පිළිවෙලට, එකකට පසු එකක් වශයෙන් තිබෙන්නට, පිටු සියල්ල 000 සිට අවසාන පිටුව දක්වා අංක කරමින් රිනේම් කර ගත යුතු වෙනවා.

ඉතින්, මේ විදිහට පොතක් ස්කෑන් කර සකස් කරන්නට මට රැයවල් තුනක් හෝ හතරක් නිදි වරා ගත කරන්නට සිදු වෙන්නේ, කුටුම්භයේ සියළු කටයුතුත් ඉටු කරන ගමන්.

ඒ නිසා, ප්‍රමාදය ගැන නිදහසට කරුණු කියමින් සමාව ඉල්ලා සිටින්නට සිදු වෙනවා.

ඒ අතරේ, කොරැල් දූපත ස්කෑන් කරමින් සිටින අතරවාරයේ ස්කෑනරය රෝගාතුර වූ බව ද, කණගාටුවෙන් දන්වමි. ඒ වෙනුවට කාර්යාලයේ ස්කෑනරයෙන් ඉතිරි කොටස ස්කෑන් කළත්, පරණ එච්පී ස්කෑනරයේ සෙටිංස් අලුත් එකට ගැළපුණේ නැති බැවින්, ඊයේ රෑ තිස්සේ ස්කෑන් කළ පිටු සියල්ල, කුඩා පරිමාණයෙන් ස්කෑන් විය. දැන් ඉතින් ඊළඟ දින දෙක තුන තුළ ඒවා නැවත ස්කෑන් කිරීමට සිදු වී තිබේ. 

එහෙයින් කොරැල් දූපත පළ කරන්නට වන්නේ තවත් සතියකින් හෝ දෙකකිනි.

ඔබ සමඟ බෙදා ගැනීමට ඉහත කී පොත් ලබා දුන් නිදි ට මාගේ කෘතඤතාව පළ කරමි.

වැඩිපුර බලපු ලිපි