Sunday, November 26, 2017

තව එක්තරා ඇත්ත කතාවක්...

2000 දි විතර එක හාදයෙක් ඉපදුනා අපේ ගමේ ගෙදරක. උප්පැන්නට එයාට දාපු නම බ්‍රවුන්. එයා සහෝදරයො, සහෝදරියො හතර දෙනෙක්ගෙන් එක්කෙනෙක්. ඒ කට්ටියගෙන් දුර්වලම විදිහට හැදුනෙ එයා තමයි. මොකද, එයා කන්නෙ බොන්නෙ තෝරල බේරල. ඉතිං එයා හදාගන්න ගෙනිච්ච කීප දෙනා එයාව ආපහු ගෙදර ගෙනත් ඇරලුවා. ඔය අතරෙ තමයි එයා අපේ අම්මට හදාගන්න ලැබුණෙ. අම්ම එයා උපන්දා ඉඳන්ම ඉල්ල ඉල්ල හිටියෙ හදාගන්න.

එයා කොච්චර ළෙංගතුයිද කියතොත්, අපේ ගෙදර පදිංචියට ඇවිත් මාස ගාණක් යනකම්ම එයා සැරින් සැරේ තමං උපන්න ගෙදරට ගිහිං ඒ අය දැක බලාගෙන ආපහු ආව.

අපේ ගෙදරදි එයාට කවුරුත් කිව්වෙ චූටි කුකූ... මොකද මේ හාදය පොඩියි සයිස් එකෙන්. ඒ වගේම සෑහෙන වයසක් යනකම්ම එයාගෙ තිබුණු හුරතල්කමයි සෙල්ලක්කාරකමයි නැති උනේ නෑ.

මම ඒ කාලෙ කිසිම සත්ත්ව කරුණාවක් නැති මනුස්සයෙක්. ඇත්තට කියතොත්, අපේ ගෙදර හිටිය බල්ලො එකෙක්වත්, මං ඉන්න තැනකට එන්නෑ. මොකද, කොයි වෙලේ වදියිද දන්නෑ පාර. මං හයියෙං වචනයක් කිව්වොත්, ඒ වචනෙ තියෙන ටෝන් එකට බල්ල විසික් වෙනව ගෙයිං එළියට. ඒ වගේම මං මහ අමානුෂික විදිහට සත්තුන්ට අතට අහුවෙච්ච එකෙං ගැහුව.

ඒත් පුදුමෙ කියන්නෙ මේ හාදය, කුකූ... උන්දැ බොහෝම ටික කාලෙකිං මට පුදුම විදිහෙ කැමැත්තක් දක්වන්න ගත්ත. මං වැඩ ඇරිල ගෙදර එනකං බලං ඉන්න මේ යාළුව, ඊට පස්සෙ ඇදුං ලෙහන්නෙත් නැතුව ඇවිත් මං ඔළුව අතගානකං මගෙ පස්සෙං... ටික කාලෙකිම්ම මෙයා මගෙ දරුවෙක් ගාණට මට ෆිට් උනා. මුන්දැ දැං මං යන පස්සෙම්මයි. කාලෙයක් තිබුණ, මගෙ කම්පියුටරේ ගාව නිතරම ප්ලාස්ටික් පුටුවක් තියල තිබුණ මෙයාට ඇවිත් වැතිරිල ඉන්ඩ.

දවසක් මහරෑක මෙයා දරුණු වේදනාවකිං කෑගහන සද්දෙ ඇහිල අපි ඔක්කොම දුවගෙන ආව සාලෙට. මෙයා ඉන්නව මේං ටීපෝ එක ගාව බිම වැටිල... අම්මගෙ මහන මැෂිම උඩ ඉඳං ටීපෝ එකට පැනල, ඒකෙ රෙද්දත් එක්කම ලිස්සල බිම වැටිල, කකුලක් කැඩිල. හම්මෝ... කුකූව විඳපු වේදනාව මට උගෙ ඇස් දෙකන් පෙනුන. ඒ කකුල මං අල්ලල බලද්දි මෙයා මගෙ අත ගාවට කට ළං කළා. ඒත් කිසිම වෙලාවක හපා කෑවෙ නෑ. අපි එවෙලෙම දහයිය ලුණු වතුරෙං තම්බල (කුකුල්ලුන්ට අඬු කැඩුණම කරන අත් බේතක්), කකුලට උණ පතුරු දෙකකුත් තියල පත්තුවක් බැන්ද. දවස් ගාණක් යනකං ත්‍රී වීල් එකෙන් පැන පැන ගියපු කුකුව පස්සෙ හොඳටම හොඳඋනා.

මම ඩ්‍රැකියානිට ආදරෙයි කියපු දවසෙ හරි ඒ ආසන්න දවසක, මං එයා එක්ක මහ රෑ දහයට විතර කතා කරද්දි - අපේ ගෙදරට ඩයලොග් සිග්නල් තිබුණෙ නෑ ඒ දවස් වල මං අලුතෙං ගේ හැදුවෙ අපේ ගේ ගාවම ටිකක් උතුරු පැත්තට වෙන්න. ඒ ගේ ඇතුලට යන්තං සිග්නල් තිබුණ. ඉතිං මං ගෙදර දොර ඇරගෙන එළියට ඇවිත්, “ඇහෙනවද?“ “දැං ඇහෙනවද?“ කිය කියා ඇවිත්, අලුත් ගෙදර (බිත්තියි වහලෙයි විතරයි තිබුණෙ) සාලෙටම ආව. ඇවිත් බ්ලොක් ගල් ගොඩක් උඩිං වාඩි උනා. ටිකකිං බැලින්නං කුකුවත් මං ගාව. කොල්ල මාව හොයාගෙන ඇවිත්.

ඒ දවස්වල මුන්දැට තිබ්බ ප්‍රියතම සෙල්ලම තමයි පොල්ලෙල්ල දඩයම. ඌට පේන්ඩ අපි පොල්ලෙල්ලක් විසික් කරන්ඩ ඕනෙ. ඒක දැක්ක ගමං කුකුව දුවගෙන ගිහිං ඒක අහුල ගන්නව. අහුලගත්ත ගමං ආපහු රවුම කැරකිල දුවගෙන එන මෙයා, අපේ කකුල් ගාවිං දුවනව, ඒ දුවන ගමං ගොරවනව. එතකොට අපි පොල්ලෙල්ල උදුරන්ඩ හදන්ඩ ඕනෙ. ඔය විදිහට මිදුල වටේ වට විස්සක් විතර දුවපුවහම බල්ලට වගේ හති.

ඒ වගේම මට ඩ්‍රැකි කියල නම දාපු මහතුව කියන්ඩ පුරුදු වෙලා හිටපු කතාවක් තමයි, “ළමයින්ට හාල්මැස්සො - බල්ලට බිත්තර“... මොකද, මං කලිනුත් කිව්ව වගේ මෙයා තොරල බේරල තමයි කෑවෙ. ඉතිං අපි ඔක්කොගෙම එකඟතාවයෙන්, අපි නොකෑවත් මෙයාට මොනව හරි රසවත් දෙයක් හදල දෙනව. සමහර දවස් වල අම්ම මෙයාට බත් ගුලි කර කර කවනවත් එක්ක.

අපේ තාත්ත මියගිය දවස් වල, මළගෙදර ගත්තෙ මං අලුතෙං හදපු ගෙදර. ඒ ගෙදර කිරි උතුරවල පදිංචි වෙලා තිබුනෙත් නෑ එතකොට. ඒ දවස් ටිකේ කොච්චර ගේමක් මං තනියම ඇද්දද කිව්වොත්, කුකූව දිහා බලන්ඩවත් පුළුවන් උනේ තාත්ත භූමදාන කරල ඇවිත් ගෙදර අස් පස් කරල ඉවර වෙලා එදා රෑ. කුකුව අපේ මහගෙදර පුටුවක ගැටගහල උන්නෙ. මාව දැක්ක ගමං එයා කකුලක් උස්සගත්ත කොරගහනව වගේ. මං එවෙලෙම ඌ අරං ගියා අලුත් ගෙදරට. එවෙලෙ ඉඳං මං ආපහු මහගෙදරට ඇවිත් නිදාගන්නකම්ම කුකුව මගෙ පස්සෙං. නිදාගන්නකම්ම කිව්වට, එයා නිදාගත්තෙත් මගෙ ඇඳේ මගෙ පාමුලමයි.

කොලුවයි - බව්වයි
මං වැඩ ඇරිල එනතුරු, අලුත් ගෙදර සාලෙ තිබ්බ මේසෙ උඩට වෙලා
බලං හිටපු කුකුවගෙ කරට අත දාගෙන ගහපු සෙල්ෆියක්

තාත්තගෙ මරණෙං මාස දෙකකට විතර පස්සෙ මං ගෙදර එක කාමරේකට ජනෙල් පියන් දාගෙන, අනික් කාමර වල ජනෙල් වලට ඉටිරෙදි ගහල,  කාමරේයි, ගෙදර ඉස්සරහයි, පස්සෙයි දොර පියං දාගෙන, බඩුත් ඇදගෙන අලුත් ගෙදර පදිංචියට ආව. නැකතට කිරි ඉතිරෙව්ව එක විතරයි කළේ. අපි බඩු අදිද්දි මාත් එක්ක ගෙදරට ආව කුකුව ආපහු මහගෙදරට ගියෙ නෑ. ඒ කියන්නෙ අවුරුදු දෙකක් විතර යනකං, අර ඉස්ඉස්සෙල්ලම මළගෙයක් තිබුණු ගෙදර පදිංචි වෙලා උන්නෙ මායි කුකුවයි විතරයි. රෑ දහයට විතර අපි දෙන්නම ජනෙල් පියන් තිබුණු එකම කාමරේ දොර ජනෙල් වහගෙන නිදාගන්නව. කලාතුරකිං දවසක මහරෑට කුකුව මාව ඇහැරවනව, “මීක් මීක්“ ගාල. එතකොට මං දොර ඇරල දෙන්ඩ ඕනෙ. ටුක් ගාල එළියට දුවන කුකුව, විනාඩි පහක් යන්ඩ කලිං ආපහු දුවගෙන එනව.

ඩ්‍රැකියානි කැන්දං ආවට පස්සෙ කුකුවට තිබ්බ එක වරප්‍රසාදයක් අහිමි උනා. ඒ තමයි මගෙ ඇඳේ නිදාගන්න එක. ටික දවසකිං ඕනෙම පුටුවකට පැනල නිදාගන්න එකත්, විශේෂ ප්ලාස්ටික් පුටු දෙකකට - එකක් ඉස්සරහ වැරැන්ඩා එකේ. අනික කුස්සියෙ - සීමා කරන්ඩ උනා. (ගෑණු ළමයිගෙ පිළිවෙල...) ඒත් කුකුව කළබල කළේ නැතුව ඒවට අනුගත උනා. එයාට අපේ ඇඳ ගාව බිම නිදාගන්ඩ තිබුණනං එයා ඒකෙං සෑහීමකට පත් උනා. ඒ වගේම එයා ඩ්‍රැකියානිට විශේෂ අකමැත්තක් දැක්කුවෙත් නෑ. මං ගෙදර නැත්තං එයා ඩ්‍රැකියානි පස්සෙං...

දවසක් අපි පාන්දර නැගිටල කුස්සියෙ දොර අරිද්දි කුකුව එනව එළියෙ ළිඳ ගාව ඉඳං වැනි වැනි. “වෙරිද බං?“ කියල ඇහුවම යාන්තං කෙඳිරි ගාල කුක්ක දොර ගාව වැටුණ. බලන කොට බෙල්ල ගාව තුවාලයක්. මට දැණුන, ලොකු බල්ලෙක් මෙයාගෙ බෙල්ලෙං අල්ලල වනල කියල. ඒ තුවාලෙත් තියාගෙනම මෙයා ගෙදර ඇවිත්. ගොඩක් ලේ ගිහිල්ල තියෙනව. සාමාන්‍යයෙන් වෙනදට මෙයා අපි  දන්නැතුව දොරෙං එළියට ගිහිං තිබුණොත්, අපි දොර වහලනං, මෙයා දොර ගාවට ඇවිත් එකක් දෙකක් බුරනව. එදා එහෙම බුරාගන්ඩවත් පණ නැතුව, අපි කොයි වෙලේ හරි දොර අරිනකං ළිඳ ගාවට වෙලා ඉඳල.

මං එවෙලෙම එයාගෙ තුවාය ගෙනත් ඒකෙං ඔතල, සුදු කිරි එකක් හදල හැන්දෙං පෙව්ව. එදා සතියෙ දවසක්ද මට මතක නෑ, එහෙම උනානං වැඩට යන් නැතුව මං කුකුව බලු දොස්තර ගාවට අරං ගියා. දොස්තර මහත්තෙය ඉන්ජෙක්ෂන් එකක් ගහල, කිව්ව, “මෙයාගෙං ලේ ගොඩක් ගිහිං තියෙනව. එයිටත් වැඩිය ඔලුව තදට වැදිල කම්පණයෙන් ඉන්නෙ. මෙච්චර වෙලා හිටිය එකේ, බයවෙන්ඩ දෙයක් නෑ. හොඳ වෙයි“ කියල.

නරකම දේ උනේ පුතා ඉපදුනාට පස්සෙ. බව්වට කුස්සියෙං මෙහා එන්ඩ තහනම් උනා. ළදරුවෙක් බව්වෙක් එක්ක හදන්ඩ හොඳ නැතිය, විෂබීජ ය කියන පදනමිං. කුකුවා ඒකත් බාර ගත්ත. මටත් පියපදවියෙ රාජකාරිත් එක්ක බව්ව හුරතල් කරන්න වෙලාව මදි උනා. ඒකටත් කුකුව එච්චර සැලුන්නෑ කියල පෙනුන.

ඊටත් පස්සෙ තමයි එයාගෙ ඇහේ සුද ආවෙ. දැං කුකුව අපිව අඳුනගන්නෙ ඉවෙං විතරයි. ඒත් එයා පාරෙ එහෙම යනව. ඈත වාහනයක් එන සද්දෙයක් ඇහුනත් හොඳටම අයිං වෙනව. තමුංගෙ බලප්‍රදේශය මාක් කරන්නෙ ගෙදර හතර කොණේ විතරයි. ඉතිං හැමදාම උදේ ඩ්‍රැකියානි මැසිවිලි කිය කියා ඒ හතර කොණ හෝදනව. මොකද, පුතා පොඩියි. එයා බිම තියෙන දේවලුත් ඇරං කටේ දාගන්නව. ෂුවර් නෑ මොනව කරයිද කියල.

වෙනද වගේම අපි වැඩ ඇරිල එනකොට කුකුව ඉස්සරහ වැරැන්ඩා එකේ තියෙන එයාගෙ ප්ලාස්ටික් පුටුවෙං බැහැල ඇවිත් මීක් මීක් ගානව. මාත් අදරෙං “කුකූ...“ කියල කතා කරනව. එතකොටම පුතා ඇවිත් අපේ ඇඟේ එල්ලෙනව. එතනිං බලු හුරතලේ ඉවර වෙනව. කුකුව ආපහු පුටුව ගාවට ගිහිං බිම වැතිරෙනව.

දැං දවස් දෙකක විතර ඉඳං අම්ම වාර්තා කරන්න ගත්ත, දවල්ට කුකුව එලියට ගියාම ගොඩක් වෙලා යනකං එන්නැහැලු. අම්ම හොයන්න යනකොට එක පාරක් - වලක වැටිල ඉඳල අසල්වැසි මල්ලි කෙනෙක් ගොඩට අරං. එතනිං වෙළ පැත්තට ගියා කියල කිව්වලු. ඒ ආරංචියට අම්ම වෙළට ගියාම, වෙලේ වැටිල, වැතිරිල හිටියලු. අම්ම වඩාගෙන ඇවිත් නෑව්වලු. තව සැරයක් තව කොහෙද වැතිරිල ඉද්දි අම්ම හොයාගෙන ගෙදර ගෙනත්. අද අම්ම මාසික ක්ලිනික් එකට ගියා රාගම රෝහලේ. අපිට කුකුව ගැන හොයන්න වෙලාව තිබ්බෙ නෑ. පුතාටත් සනීප නෑ - උගුර පැසවලා. මටත් එක්ක හදන කිරි කෝපි එකෙන් කුකුවගෙ පංගුව දවල් වෙනකම්ම කුකුවගෙ පීරිසියෙ. අම්ම ආපහු ගෙදර එක්කරං ආවට පස්සෙ, පුතාට දවල් කවන අතරෙ මං ගියා කුකුව යයි කියල හිතන හැම තැනකම කුකුව හොයන්න. ඒ කොහෙවත් කුකුව හිටියෙ නෑ.හොඳටම හෙම්බත් වෙලා මං ආපහු ගෙදර අාව විතරයි, වැස්සක් කඩංහැලුන. එතකොටයි කුකුව හොයන්න ගිහිං හිටිය අම්මත් ගෙදර ආවෙ...

සත්තු තමං වාසය කරන තැනිං ඈතට යනව මැරෙන්න කිට්ටු උනාම. කුකුවටත් දැං වයස අවුරුදු දාහතක්. ඒ කියන්නෙ ඒ විදිහෙ බව්වෙක්ගෙ පරමායුෂ. ඒ වගේම ඇහේ සුද ආවට පස්සෙ එයා හිටියෙ එච්චර ෆිට් එකකිං නෙවෙයි. කලාතුරකිං මාත් එක්ක පොඩ්ඩක් සෙල්ලම් කළාට ගොඩක් වෙලාවට කළේ ඔහෙ වැතිරිලා ඉන්න එකයි.

ඒත් කුකුවට මැරෙන්න තරං ලෙඩක් තිබ්බෙ නෑ. කලිං දා රෑත් හොඳට කෑව. පහුගිය දවස් දෙකේ කුකුවගෙ හැසිරීමත් එක්ක හිතන්න පුළුවං, දැං එයා කොහෙ හරි අපිට හොයාගන්න බැරි තැනක වැතිරිලා, හිමිං හිමිං තමංගෙ මරණය එනකල් බලං ඉන්නව ඇති. අනේ... මේ වැස්ස ඒ අසරණයගෙ ඇඟට වැටෙනව ඇති. ඒකෙං බේරෙන්ඩ එයාට ඕනෙකමක්වත් ඇඟට හයියක්වත් නැතුව ඇති. හෙමිං හෙමිං එළඹෙන මරණය කොච්චර අමාරුයිද?

මගෙ තාත්තගෙ මළගෙදරිං පස්සෙ පාලු ගෙදරක තනිවෙච්ච මට තනියට හිටිය එකම යාළුව. මේ මොහොතෙ එයාගෙ මරණය බලාපොරොත්තුවෙං කොහෙ හරි තැනක වැටිල... කිසිම උදව්වක් නැතිව, කිසිම කරුණාවන්ත වචනයක් අහන්ඩ නැතුව, උදේ ඉඳං බඩගින්නෙ...

ඔයා ගොඩක් හොඳ කෙනෙක් චූටි කුකූ... ඔයා තමයි මගෙ ලොකු පුතා... යන තැනක ඔයාට හොඳක් වෙයි... පුළුවන්නං ආපහු එන්ඩ !!!

Saturday, November 11, 2017

රොසෙට්ටා පාෂාණය - 2 වන කොටස

මුල් කොටස...

නැවත සොයාගැනීම

1798 නැපෝලියන් ගේ ඊජිප්තු යුධ ප‍්‍රයාණයේ දී යොදාගන්නා ලද කාර්ය සාධක හමුදාව සමඟ, ‘විද්‍යාව සහ කලාව පිළිබඳ කොමිසම’ (Commission des Sciences et des Arts) ලෙස නම් කෙරුණු තාක්ෂණික විශේෂඥයන් 167 දෙනෙක් ද නැපෝලියන් බොනපාට් විසින් හවුල් කරගන්නා ලදි. 1799 ජූලි මස මැද හරියේ ක’නල් ඩි හෝපෝල් (Colonel d'Hautpoul) යටතේ සේවය කළ ප‍්‍රංශ සෙබළුන්, ඊජිප්තුවේ රාෂිඩ් නම් තොටමුණ බද නගරයට සැතපුම් කිහිපයක් ඊසාන දිගින් පිහිටි ජූලියන් බළකොටුවේ ආරක්ෂා සංවිධාන ශක්තිමත් කරමින් සිටියදී, ලූතිනන් පියේර් ෆ‍්‍රාංස්වා බූශාර්ද් (Lieutenant Pierre-François Bouchard) සෙබළුන් විසින් නිරාවරණය කරන ලද, එක් මුහුණතක අක්ෂර කෙටූ ගල් පුවරුවක් දුටුවේ ය. ඔහු සහ ඩි හෝපෝල් එහි වැදගත්කම එක් වනම දැක, එවෙලෙහි රාෂිඩ් හි සිටි ජෙනරල් ෂාක්-ෆ‍්‍රාංස්වා මෙනෝ (general Jacques-François Menou) හට ඒ පිළිබඳව දැන්වූහ. මෙම සොයාගැනීම, නැපෝලියන් විසින් කයිරෝ හි අලූතින් පිහිටුවන ලද ‘ඊජිප්තු ආයතනය’ (Institut d'Égypte) නම් විද්‍යාත්මක සංගමයට, ඉහත කී කොමිසමේ සාමාජිකයෙකු වූ මිෂෙල් ඇංග් ලැන්කේ‍්‍ර (Michel Ange Lancret) විසින් 1979 ජූලි මස 19 දාතමින් යුත් වාර්තාවකින් දන්වන ලදි. එම පුවරුවේ අභිලේඛන තුනක් ඇති බව ත්, පළමුවැන්න හයිරෝරේඛනයෙන් සහ තෙ වැන්න ග‍්‍රීක් බසින් වන බවත්, එම අභිලේඛන තුන එක ම ලියවිල්ලක පිටපත් විය හැකි බවත් එකී වාර්තාවේ සඳහන් විය. ජූලි 25 වනදාට ආසන්න දිනක එම වාර්තාව ඊජිප්තු ආයතනයේ රැස්වීමක දී කියවන ලදි. ඒ අතර, බූශාර්ද් මෙම පාෂාණය විද්වතුන්ගේ පර්යේෂණයන් සඳහා කයිරෝවට ප‍්‍රවාහනය කෙළේ ය. නැපෝලියන් ප‍්‍රංශයට හැරී යාමට මඳ කලකට පෙර හෙවත් 1979 අගෝස්තුවේ දී, ඒ වන විටත් රොසෙට්ටා පාෂාණය (la Pierre de Rosette / the Rosetta Stone) නමින් හැඳින්වෙන්නට පටන් ගෙන තිබූ මෙම පුවරුව තමන් විසින් ම පරීක්ෂා කෙළේ ය.

මෙම සොයාගැනීම පිළිබඳ ලිපියක් ප‍්‍රංශ යුධ ප‍්‍රයාණයේ නිල පුවත්පත වූ ‘කූරියර් ඩි ඊජිප්ට්’ (Courrier de l'Égypte) හි සැප්තැම්බර් මස කළාපයක නිර්නාමික වාර්තා කරුවෙකු විසින් පළ කරන ලදි. මෙම පාෂාණය යම් දිනක හයිරෝරේඛනය කියවීමෙහි යතුර වනු ඇතැයි යන අපේක්ෂාව එහි දැක්වින. 1800 දී විද්‍යාව හා කලාව පිළිබඳ කොමිසමේ තාක්ෂණික විශේෂඥයන් තිදෙනෙක් මෙම පාෂාණයේ ඇති අභිලේඛනයේ පිටපත් සකස් කිරීමේ මාර්ගයක් සොයාගත්හ. ඉන් එක් ප‍්‍රයත්නයකදී මුද්‍රණකරු ලෙස කටයුතු කළ වාග්වේදයේ සහජ දක්ෂයෙකු වූ ශෝං-ශෝසෙෆ් මර්සේ (Jean-Joseph Marcel), ඒ දක්වා සිරියානු බසින් යුක්ත යැයි සැළකුණු මැද කොටස සත්‍ය වශයෙන් ම ඊජිප්තු ව්‍යවහාර බසින් යුක්ත බව මුල් වරට හඳුනාගත්තේ ය. ඊජිප්තු ව්‍යවහාර බස සෙල් ලිපි සඳහා යොදාගෙන ඇත්තේ ඉතා දුර්ලභ වශයෙන් වූ නිසා එවැන්නක් එවක විද්වතුන් හට දකින්නට ලැබුණේ ඉතා කළාතුරකිනි. පාෂාණයේ පිටපත් සැකසීමට අච්චුවක් ලෙස පාෂාණයම යොදාගැනීමට මාර්ගයක් සොයාගන්නා ලද්දේ කලාකරුවෙකු සහ නව නිපැයුම්කරුවෙකු වූ නිකොලස්-ෂාක් කොන්ටේ (Nicolas-Jacques Conté) විසිනි. ඊට මඳක් වෙනස් ප‍්‍රතිනිර්මාණ ක‍්‍රමයක් අන්තුවාං ගැලන්ද් (Antoine Galland) වැඩිදියුණු කෙළේ ය. එහි ප‍්‍රතිඵල ලෙස මුද්‍රණය කෙරුණු පිටපත් ජෙනරල් ෂාර්ල් දියුගුවා (General Charles Dugua) විසින් පැරිසියට ගෙන යන ලදි. එයින් යුරෝපීය විද්වතුන් හට මෙම අභිලේඛනය දැකීමට ත්, කියවීමට උත්සාහ කිරීමට ත්, අවස්ථාව උදා විය.

නැපෝලියන් ප‍්‍රංශය බලා පිටත්වීමෙන් පසුව ද, තවත් මාස 18ක් යන තුරු මිසරයේ ප‍්‍රංශ හමුදා බි‍්‍රතාන්‍ය හා ඔටෝමන් ප‍්‍රහාරයන්ට මුහුණ දෙමින් තම පාලන බලය රඳවාගෙන සිටියහ. 1801 මාර්තු මාසයේ දී බි‍්‍රතාන්‍ය හමුදා අබුකීර් බොක්කට (Aboukir Bay) ගොඩ බට හ. 1799 දී රොසෙට්ටා පාෂාණය පළමුවෙන් ම දුටු අයගෙන් කෙනෙකු වූ ජෙනරාල් ෂාක්-ෆ‍්‍රාංස්වා මෙනෝ එවක මිසරයේ ප‍්‍රංශ යුධ හමුදාවේ ආඥාපති ලෙස කටයුතු කෙළේ ය. කොමිසම ද සමඟින් ඔහුගේ හමුදාව සතුරා මුණගැසීම සඳහා මධ්‍යධරණි වෙරළ තීරය වෙත ගමන් කළහ. ඔවුහු සෙසු සෑම වර්ගයකම පුරාවස්තු ද සමඟ මෙම පාෂාණය ද රැගෙන ගිය හ. එහි දී ඇතිවූ යුද්ධයෙන් පරාජය ලැබූ මැනෝ, ඉතිරි භට පිරිස් ද සමග පාෂාණය ද රැගෙන ඇලෙක්සැන්ඩි‍්‍රයාව බලා පසුබැස්ස අතර, එතැනදී බි‍්‍රතාන්‍ය හමුදා විසින් වටළන ලදි. අගෝස්තු 30 වන දින ඔහු පරාජය භාරගෙන යටත් විය.

ප‍්‍රංශයෙන් බි‍්‍රතාන්‍ය අයිතියට පත්වීම

ප‍්‍රංශ හමුදා යටත් වීමෙන් පසුව, ‘විද්‍යාව හා කලාව පිළිබඳ කොමිසමේ’ සාමාජිකයන් විසින් රැස් කරන ලද පුරාකෘති, ජෛව විද්‍යාත්මක ආදර්ශ, සටහන්, සැළසුම් සහ සිත්තම් ඇතුළත් වූ ඊජිප්තුවේ ප‍්‍රංශ පුරාවිද්‍යාත්මක හා විද්‍යාත්මක සොයාගැනීම් වල ඉරණම පිළිබඳව මතභේදයක් පැන නැංගේ ය. ඒවා ‘ඊජිප්තු ආයතනයට’ අයත් බව පවසමින් මෙනෝ ඒවා බි‍්‍රතාන්‍යයට භාර දීම ප‍්‍රතික්ෂේප කෙළේ ය. මෙනෝ ඒවා භාර දෙන තුරු නගරය මුදා හැරීම, බි‍්‍රතාන්‍ය හමුදාවේ ජෙනරල් ජෝන් හෙලී-හචින්සන් (General John Hely-Hutchinson) ප‍්‍රතික්ෂේප කෙළේ ය. එංගලන්තයේ සිට අලූතින් ගොඩබට විද්වත්හු වූ එඩ්වර්ඩ් ඩැනියෙල් ක්ලාර්ක් (Edward Daniel Clarke) සහ විලියම් රිචර්ඩ් හැමිල්ටන් (William Richard Hamilton), ඇලෙක්සැන්ඩි‍්‍රයාවේ තිබූ එකතුව පරීක්ෂා කිරීමට එකඟතාවයක් ඇති කර ගත් අතර, පසුව ප‍්‍රංශ ජාතිකයන් හට සොයාගත නොහැකි වූ පුරාකෘති රැසක් අනාවරණය කරගත් බවට හිමිකම් පෑහ. ‘‘ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද හෝ සිතා ගත හැකි වූ දෙයටත් වඩා බොහෝ දේ ඔවුන් සතුව තිබී හමු වූයේයැ’’ යි එංගලන්තයට ලියන ලද ලිපියක ක්ලාර්ක් පවසයි.

සියලූම ද්‍රව්‍ය කිරීටය සතු දේපළ බවට හචින්සන් විසින් ප‍්‍රකාශයට පත් කෙරුණු විට, ප‍්‍රංශ විද්වතෙකු වූ එතියෙන් ශොෆ්රොයි සේන්ට්-හිලෙයාර් (Étienne Geoffroy Saint-Hilaire) ඇලෙක්සැන්ඩි‍්‍රයාවේ පුස්තකාලය ට රෝමකයන් විසින් ගිණිතැබීම සිහිපත් කරමින්, සියලූම සොයාගැනීම් බි‍්‍රතාන්‍යයට පාවානොදී, පුළුස්සා විනාශ කර දමන බවට තර්ජනය කෙළේ ය. ප‍්‍රංශ විද්වතුන්ගේ ස්ථාවරය පිළිබඳව ක්ලාර්ක් සහ හැමිල්ටන් විසින් කරුණූ දක්වන ලදුව, ස්වාභාව ඉතිහාස ආදර්ශ විද්වතුන්ගේ පෞද්ගලික දේපළ බව පිළිගැනීමට හචින්සන් අවසානයේ දී එකඟ විය. මැනෝ ඉතා ඉක්මණින්ම පාෂාණය ද සිය පෞද්ගලික දේපළ බව කියා සිටියේ ය. එහෙත් එහි අද්විතීය වටිනාකම ගැන අවබෝධයක් තිබූ ජෙනරල් හචින්සන් එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කෙළේ ය. අවසානයේ දී සම්මුතියක් ඇති කර ගන්නා ලදුව, බි‍්‍රතාන්‍ය, ප‍්‍රංශ සහ ඔටෝමන් හමුදාවන්ගේ නියෝජිතයන් විසින් අත්සන් කෙරුණු ‘ඇලෙක්සැන්ඩි‍්‍රයාවේ දී යටත් වීමේ ගිවිසුම’ ට මෙම ද්‍රව්‍ය භාරදීමේ කොන්දේසි ද ඇතුළත් කරන ලදි.

පාෂාණය බි‍්‍රතාන්‍ය හස්තයට මාරුවූයේ කෙසේදැයි හරියටම පැහැදිළි නැත. ඒ, සමකාලීන වාර්තා එකකට එකක් නොගැළපෙන විස්තර සපයන හෙයිනි. එය එංගලන්තය වෙත ගෙන යද්දී ආරක්ෂාව සැපයූ ක’නල් ටොම්කින්ස් හිල්ග්‍රෝ ටර්නර් (Colonel Tomkyns Hilgrove Turner) පසුව පවසන අන්දම ට, ඔහු පෞද්ගලිකව ම එය මෙනෝ ගෙන් අත්කර ගෙන කාලතුවක්කු ගැළකින් රැගෙන ගොස් ඇත. වඩා විස්තරාත්මක වාර්තාවක එඩ්වර්ඩ් ඩැනියෙල් ක්ලාර්ක් පවසන්නේ, ‘ඊජිප්තු ආයතනයේ’ සාමාජිකයෙකු සහ නිලධාරියෙකු වන අයෙකු තමාත්, තම ශිෂ්‍යයෙකු වූ ජෝන් ක‍්‍රිප්ස් (John Cripps) සහ හැමිල්ටනුත් රහසිගත ව මෙනෝ ගේ නවාතැනේ පිටුපස ට කැටිව ගොස්, මෙනෝගේ මාර්ගෝපකරණ අතර ආරක්ෂක පළස් වලට යටින් සඟවා තිබූ පාෂාණය අනාවරණය කර දැක්වූ බවය. ක්ලාර්ක් ට අනුව, ඔවුන්ගේ තොරතුරු සපයන්නා, මෙම පාෂාණය ප‍්‍රංශ සොල්දාදුවන් දුටුව හොත් සොරකම් කරති’යි සැක කෙළේ ය. මේ පිළිබඳව හචින්සන් එකෙණහි ම දැනුවත් කරනු ලදුව, පාෂාණය (බොහෝ විට ටර්නර් විසින් ඔහුගේ කාළතුවක්කු ගැළෙහි පටවාගෙන) රැගෙන යන ලදි.

1802 පෙබරවාරියේ දී පෝර්ට්ස්මත් වෙත සේන්දු වූ, අල්ලාගත් ප‍්‍රංශ ෆ‍්‍රිගේට් නෞකාවක් වූ එච්එම්එස් ඊජිප්තියෙන් (HMS Egyptienne) නැවෙන්, ටර්නර් රොසෙට්ටා පාෂාණය එංගලන්තයට ගෙන ආවේ ය. ඔහුට ලැබී තිබුණු නියෝග වූයේ එය අනෙකුත් පුරාකෘති සමඟ තෙ වන ජෝර්ජ් රජු හට ඉදිරිපත් කිරීමට ය. රජු ගේ නියෝජිතයා වූ යුධ ලේකම් හොබාර්ට් සාමිවරයා (Lord Hobart) මඟින් රජු, එය බි‍්‍රතාන්‍ය කෞතුකාගාරයේ ස්ථාපිත කිරීමට නියම කෙළේ ය. ටර්නර් ගේ ආඛ්‍යානය අනුව, එය කෞතුකාගාරයේ අවසන් වරට තැන්පත් කිරීමට පෙර තමන් ද සාමාජිකත්වය ඉසුළුෑ ලන්ඩන් පුරාවිද්‍යා ගවේෂකයන් ගේ සමාජයේ (Society of Antiquaries of London) විද්වතුන් හට ඉදිරිපත් කිරීම සුදුසු බවට, ඔහු කළ බලකිරීමට හොබාර්ට් සාමිවරයා එකඟ විය. එහි 1802 මාර්තු මස 11 වන දා පැවති රැස්වීමක දී පාෂාණය මුල්වරට ප‍්‍රදර්ශනය කර සාකච්ඡුාවට බඳුන් කරන ලදි.


1874 දෙවන ජාත්‍යන්තර ප‍්‍රාචීණ ශාස්ත‍්‍රඥයන්ගේ කොන්ග‍්‍රසයේ දී (Second International Congress of Orientalists)විශේෂඥයෝ රොසෙට්ටා පාෂාණය පරීක්ෂා කරති. 

1802 කාල සීමාවේ දී ලන්ඩන් පුරාවිද්‍යා ගවේෂක සමාජය, මෙම අභිලේඛනයේ හුණු බදාම අච්චු හතරක් නිර්මාණය කර ඔක්ස්ෆර්ඩ්, කේම්බි‍්‍රජ් සහ එඩින්බර්ග් යන විශ්වවිද්‍යාලයන් ට සහ ඩබ්ලින් හි ත‍්‍රිත්ව විද්‍යාලයට ලබා දුන්නේ ය. ටික කලකින් ම අභිලේඛනයේ මුද්‍රිත පිටපත් සකස් කෙරුණු අතර, යුරෝපීය විද්වතුන් අතර ඒවා සංසරණය වන්නට විය. 1802 වසර අවසන් වන්නට පෙර පාෂාණය, එය අදටත් පවතින බි‍්‍රතාන්‍ය කෞතුකාගාරයට මාරු කර යවන ලදි. එම පුවරුවේ දකුණු සහ වම් මුහුණත් වල එය ‘‘1801 දී ඊජිප්තුවේ දී බි‍්‍රතාන්‍ය හමුදා විසින් අල්ලාගන්නා ලද’’ බව හා ‘‘තෙ වන ජෝර්ජ් රජු විසින් ඉදිරිපත් කරන ලද’’ බව දැක්වෙන නූතන අභිලේඛන, තීන්තෙන් සටහන් කර ඇත.

1802 ජූනි මාසයේ සිට මේ දක්වා බි‍්‍රතාන්‍ය කෞතුකාගාරයේ දී රොසෙට්ටා පාෂාණය බොහෝ දුරට නොකඩවා ම මහජනයා ට ප‍්‍රදර්ශනය කර තිබේ. දහ නව වන සියවසේ මැද භාගයේ එය ට ‘ඊඒ 24’ ("EA 24") යන භාණ්ඩ වට්ටෝරු අංකය ලබා දී ඇත. ඊඒ යනු, ඊජිප්තු පුරාවස්තු යන අරුත ඇති "Egyptian Antiquities" යන පදය යි. මෙය, ප‍්‍රංශ යුධ ප‍්‍රයාණයෙන් අල්ලා ගන්නා ලද පුරාණ මිසර පුරා ස්මාරක එකතුවක කොටසකි. එම එකතුවේ අනෙකුත් අංග අතර, දෙ වන නෙක්ටනෙබෝ ගේ මමි මංජුසාව (sarcophagus of Nectanebo II) - ඊඒ 10, අමුන් ගේ ප‍්‍රධාන පූජකයෙකු ගේ ප‍්‍රතිමාවක් - ඊඒ 81 සහ දැවැන්ත ග‍්‍රැනයිට් මුෂ්ටියක් - ඊඒ 9 - වේ. නොබෝ කලකින් ම මෙම වස්තූන් ගේ බර, බි‍්‍රතාන්‍ය කෞතුකාගාරයේ මුල් ගොඩනැගිල්ල වූ මොන්ටේගු මන්දිරයේ බිමට ඔරොත්තු නොදෙන බව වැටහී, එම මන්දිරයේ ම අලූතින් ඉදිකරන ලද කොටසකට ඒවා ගෙන යන ලදි. 1834 දී මොන්ටේගු මැදුර කඩා දමා කෞතුකාගාරයේ දැනට පවතින ගොඩනැගිලි ඉදි කළාට ඉතා ටික කලකට පසුව, රොසෙට්ටා පාෂාණය මූර්ති ප‍්‍රදර්ශන ශාලාවට මාරු කෙරුනි. කෞතුකාගාරයේ වාර්තා අනුව, වැඩිම පිරිසක් නරඹන ලද කේවල ප‍්‍රදර්ශකය රොසෙට්ටා පාෂාණය වන අතර, දශක කිහිපයක් යන තුරු වැඩියෙන් ම අලෙවි වූ පින්තූර තැපැල්පත වූයේ, පාෂාණයේ සරළ පින්තූරයක් සහිත එකකි.

රොසෙට්ටා පාෂාණය මුල්කාලයේ දී ප‍්‍රදර්ශනය කෙරුණේ තිරස් පිහිටීමෙන් මඳ කෝණයක් සිටින සේ ඇළ කර, ඒ සඳහා ම නිමවන ලද ලෝහමය තොටිල්ලක රඳවා තබා ය. මෙම තොටිල්ල ට හොඳින් සවිවන සේ පාෂාණයේ පැති වලින් ඉතා ම සුළු ප‍්‍රමාණයක් සැස දමා තිබේ. මුලදී එයට ආරක්ෂිත වැස්මක් යොදා තිබුණේ නැත. 1847 වන විට, නරඹන්නන්ගේ ඇඟිලි තුඩින් පාෂාණයට හාණි වීම වැළැක්වීම සඳහා ආරක්ෂිත රාමුවක් සවිකිරීමේ අවශ්‍යතාවය පෙනී ගියේ ය. 2004 සිට, සංරක්ෂණය කෙරුණු පාෂාණය, විශේෂයෙන් නිමවන ලද ආවරණයක් තුළ තබා ඊජිප්තු මූර්ති ප‍්‍රදර්ශනාගාරයේ මැද ප‍්‍රදර්ශනයට තබා තිබේ. රොසෙට්ටා පාෂාණයේ අනුරුවක්, බි‍්‍රතාන්‍ය කෞතුකාගාරයේ රජුගේ පුස්තකාලයේ (King's Library), මුල් 19 වන සියවසේ නරඹන්නන්ට දැකගත හැකිව තිබූ ආකාරයට ම ආවරණයකින් ද තොරව ස්පර්ෂ කළ හැකි අයුරින් තබා ඇත.


රජුගේ පුස්තකාලයේ ඇති අනුරුව

පළමු ලෝක යුද්ධයේ අවසාන කාලයේ දී හෙවත් 1917 දී ලන්ඩන් නුවර පැවති ගුවන් බෝම්බ ඉළක්කයක් ලෙස කෞතුකාගාරය සැළකුණු හෙයින්, සෙසු වටිනාකමින් ඉහළ චංචල වස්තූන් සමඟ රොසෙට්ටා පාෂාණයද ඉවතට ගෙන යන ලදි. ඊළඟ වසර දෙක පුරා පාෂාණය තබා තිබුණේ, හොල්බෝර්න් නගරයට ආසන්න මවුන්ට් ප්ලෙසන්ට් හි පොළෝ මට්ටම ට වඩා මීටර 12.24 ක් (අඩි 50 ක්) පහළින් පිහිටි තැපැල් උමං දුම්රිය ස්ථානයක ය. යුධ සමයේ දී හැරුණු කොට රොසෙට්ටා පාෂාණය කෞතුකාගාරයෙන් පිටතට ගෙන යන ලද්දේ එක් වතාවක දී පමණි. ෂැම්පෝලියන් පත‍්‍රිකාව ප‍්‍රකාශයට පත් කර වසර 150 සංවත්සරය නිමිත්තෙන්, ලූව්ර කෞතුකාගාරයේ දී එම පත‍්‍රිකාව ද සමඟ ප‍්‍රදර්ශනය කිරීම සඳහා 1972 ඔක්තෝබර් මාසයේ දී, මසකට මෙම පාෂාණය පැරීසියට ගෙන යන ලදි. මහජන ප‍්‍රදර්ශනයට බාධා නොවන අයුරින්, 1999 දී කෙරුණු රොසෙට්ටා පාෂාණයේ සංරක්ෂණ මිනුම් කටයුතු පවා සිදුකෙරුණේ ප‍්‍රදර්ශනාගාරය තුළ දී ම ය.

රොසෙට්ටා පාෂාණය කියවීම

රෝම අධිරාජ්‍යය බිඳවැටීම ට මඳ කාලයකට පෙර පටන්, රොසෙට්ටා පාෂාණය සොයාගැනීම සහ කියවීම දක්වා කාල සීමාව පුරා, පුරාතන මිසර භාෂාව සහ ලේඛන ශාස්ත‍්‍රය පිළිබඳ දැනීම ලෝකයාට ගිළිහී වියැකී ගිය දැනුමක් ව තිබුනි. පසු පාරාවෝ යුග වලදී පවා හයිරෝරේඛනය ලේඛනයේ දී භාවිතය එන්න එන්නම සීමිත පිරිසක් අතර විශේෂීකරණය වෙමින් පැවතුණේ ය. ක‍්‍රි. ව. 4 වන සියවස වන විට, හයිරෝරේඛනය කියවීමේ හැකියාව පැවතුණේ ඉතා සුළු ඊජිප්තුවන් පිරිසක් අතර පමණි. පළමු තියඩෝසියස් නම් රෝමක අධිරාජ්‍යයා විසින් ක‍්‍රි. ව. 391 දී ක‍්‍රිස්තියානි නොවන සියළුම දේවස්ථාන වසා දැමීමට නියෝග කිරීමෙන් පසු ස්මාරක සඳහා හයිරෝරේඛනය භාවිතා කිරීම වාරණය වි ගියේ ය. දැනට සොයාගෙන ඇති අවසාන හයිරෝරේඛිත අභිලේඛනය වන, ෆිලේ හිදී සොයාගන්නා ලද එස්මෙට්-අක්හොම් ගේ පුවරු ලිපිය (The Graffito of Esmet-Akhom ක‍්‍රි. ව. 396 අගෝස්තු මස 24 වන දිනයට කාලනිර්ණය කර ඇත.

හයිරෝරේඛනය, වෙනත් ග‍්‍රීක සහ රෝමක වැනි පුරාණ භාෂා මෙන් නොව තම රූපමය මුහුණුවර දිගටම පවත්වාගත් අතර ආචීර්ණ කාල්පික ලේඛකයෝ ද මෙම ගුප්ත බව බර කොට දැක්වූහ. උදාහරණයක් ලෙස, පස් වන සියවසේ දී හෝරැපොල්ලෝ (Horapollo) නම් පූජකවරයා ලියූ හයිරොග්ලිපිකා (Hieroglyphica) නම් ග‍්‍රන්ථයෙහි රූපාක්ෂර 200 ක් පමණ පැහැදිළි කර තිබේ. එහෙත් එම නිරුක්ති නොමඟ යවන සුළු බව විශ්වාස කිරීමට සාක්ෂි ඇත. මෙවැනි කටයුතු, ඊජිප්තු ලේඛන තේරුම් ගැනීමේදී දිගුකාලීන වශයෙන් බලපෑ අවහිරතාවයන් විය. හයිරෝරේඛනය කියවීමේ පසුකාලීන උත්සාහයන් දරණ ලද්දේ ක‍්‍රි. ව. 9 සහ 10 සියවස් වල මධ්‍යතන මිසරයේ විසූ අරාබි ඉතිහාසඥයන් විසිනි. ද්හුල්-නුන් අල්-මිස්රි (Dhul-Nun al-Misri) සහ ඉබ්න් වහ්ශිය්යා (Ibn Wahshiyya) මෙම පුරාණ පිටපත් අධ්‍යයනයට යොමු වූ පළමු ඉතිහාසඥයෝ වූහ. ඔවුන් මෙය ඉටුකර ගැනීමට උත්සාහ කෙළේ සමකාලීන කොප්ටික් පූජක වරුන් අතර භාවිත කෙරුණු නූතන කොප්ටික්  භාෂාව (පුරාණ මිසර භාෂාවෙන් සෘජුව පරිණාමයට පත් නූතන ස්වරූපය) මෙම ලේඛන හා සැසඳීමෙනි. හයිරෝරේඛනය අධ්‍යයනය කිරීම යුරෝපීය විද්වත්හු, ප‍්‍රතිඵල රහිතව වුවද අඛණ්ඩව කරගෙන ගියහ. මොවුන් අතර, 16 වන සියවසේ යොහාන්නස් ගොරොපියස් බෙකනස් (Johannes Goropius Becanus), 17 වන සියවසේ ඇතනේසියස් කර්චර් (Athanasius Kircher) සහ 18 වන සියවසේ ජෝර්ජ් සෝගා (Georg Zoëga) ප‍්‍රධාන වෙති. 1799 දී රොසෙට්ටා පාෂාණය සොයාගැනීමෙන් සළසාදෙන ලද, ඒ තාක් සැඟවී පැවති ඉතා වැදගත් තොරතුරු නිසා විද්වතුන් ගේ කටයුතු සාර්ථක වීමේ මාර්ගය පෑදුණි. එහි අවසානය ලෙස ශෝං-ෆ‍්‍රාංස්වා ෂැම්පෝලියන් මෙම ගුප්ත ලියවිල්ලේ ස්වභාවය අවබෝධ කරගැනීමේ මඟ හෙළි කර ගත්තේ ය.

ග‍්‍රීක පෙළ

රොසෙට්ටා පාෂාණයේ වූ ග‍්‍රීක පෙළ, එම අභිලේඛනය කියවීමේ ආරම්භක පියවර විය. පුරාණ ග‍්‍රීක බස විද්වතුන් අතර ඉතා ප‍්‍රචලිත වූවත්, ටොලමියානු ඊජිප්තුවේ, හෙලෙනික යුගයේ දී රාජ්‍ය භාෂාවක් ලෙස එහි භාවිතය පිළිබඳ විස්තර ප‍්‍රකට ව නොතිබුණි. ග‍්‍රීක පැපිරස් ලියවිලි බොහෝ ගණනක් සොයාගන්නා ලද්දේ ඊට බොහෝ මෑත කාලවල දී ය. එහෙයින්, රොසෙට්ටා පාෂාණයේ ග‍්‍රීක පෙළ ට සපයන ලද මුල්ම කාලීන පරිවර්තනයන් වලින්, එම පරිවර්තකයන් මිසරයේ ඓතිහාසික සන්දර්භයත්, ආගමික හා පරිපාලනමය ව්‍යුහයේ ව්‍යාකූල සංකීර්ණත්වයත් තේරුම් ගැනීමට දරා ඇති ඉමහත් ආයාසය මනාව පිළිබිඹු වේ. ස්ටෙෆන් වෙස්ටන් (Stephen Weston) 1802 අපේ‍්‍රල් මස පුරාවිද්‍යා ගවේෂකයන්ගේ සමාජයේ දී මෙම ග‍්‍රීක පිටපතෙහි ඉංග‍්‍රීසි පරිවර්තනයක් වාචිකව ඉදිරිපත් කෙළේ ය. මේ අතර, ඊජිප්තුවේ දී සකස් කරන ලද පාෂාණයේ ලිතෝග‍්‍රාෆ් පිටපත් දෙකක් 1801 දී පැරිසියේ ප‍්‍රංශ ආයතනය (Institut de France) වෙත ලැබී තිබුණි. එහි පුස්තකාලාධිපති මෙන්ම, පුරාවිද්‍යා ගවේෂකයෙකු ද වූ ගබි‍්‍රයෙල් ද ලා පෝර්තෙ ද්‍යු තේල් (Gabriel de La Porte du Theil) එහි ග‍්‍රීක පිටපත පරිවර්තනය කිරීමේ කාර්යය ආරම්භ කෙළේ ය. ඊට ඉතාමත් සුළු කාලයකට පසු හෙතෙම නැපෝලියන් අධිරාජ්‍යයාගේ නියෝගයක් මත වෙනත් ස්ථානයකට මැරු කරන ලදි. ඔහු තම නිමා නොවූ කාර්යය වෘත්තීය සගයෙකු වූ හියුබෙයා-පැස්කල් අමේල්හොන් (Hubert-Pascal Ameilhon) අත පත් කරන ලදුව, ඔහු 1803 දී ප‍්‍රථම වරට ග‍්‍රීක පිටපතේ පරිවර්තනයක් ලතින් සහ ප‍්‍රංශ භාෂා දෙකෙන් ම (ලොව පුරා ප‍්‍රචලිත කිරීමේ අරමුණින්) ප‍්‍රකාශයට පත් කෙළේ ය. කේම්බි‍්‍රිජ් සරසවියේ දී රිචර්ඩ් පෝසන් (Richard Porson) ග‍්‍රීක පිටපතේ පහළ දකුණු පස හාණියට පත් වූ කොටස ගැන අධ්‍යයනයක් ආරම්භ කළ අතර, ඔහු විසින් චතුර ලෙස ප‍්‍රතිනිර්මාණය කරන ලද යෝජිත පෙළ, පුරාවිද්‍යා ගවේෂකයන් ගේ සමාජය විසින්, අභිලේඛනයේ පිටපත් ද සමඟ ප‍්‍රසිද්ධියට පත් කරන ලදි. එම කාලයේ දී ම ගෝටින්ගන් (Göttingen) හි සම්භාව්‍ය ඉතිහාසඥ ක‍්‍රිස්ටියන් ගොට්ලීබ් හේන් (Christian Gottlob Heyne) මෙම පිටපත් අධ්‍යයනය කරමින්, අමේල්හොන් ගේ පරිවර්තනයට වඩා විශ්වසනීය නව ලතින් පරිවර්තනයක් ඉදිරිපත් කෙළේ ය. 1803 දී ප‍්‍රකාශයට පත් කරන ලද මෙය, පුරාවිද්‍යා ගවේෂකයන් ගේ සමාජය 1811 දී, වෙස්ටන් ගේ කලින් ප‍්‍රකාශයට පත් නොවූ පරිවර්තනය ත්, ක’නල් ටර්නර් ගේ වෘත්තාන්තය ත්, වෙනත් ලේඛන ත් සමඟින්, ඔවුන්ගේ ආර්කියොලොජියා (Archaeologia) නම් සඟරාවේ විශේෂ කළාපයක නැවත ප‍්‍රකාශයට පත් කෙළේ ය.

රොසෙට්ටා පාෂාණයේ හාණියට පත්ව ඇති 
ග‍්‍රීක පෙළෙහි රිචර්ඩ් පෝර්සන් විසින් යෝජිත ඌණ පූරණය

ඊජිප්තු ව්‍යවහාරික භාෂාවෙන් යුක්ත පිටපත

යොහාන් දාවිද් අකර්බ්ලඩ් විසින් සකසන ලද,
ඊජිප්තු ව්‍යවහාරික ශබ්ද විද්‍යාත්මක සංකේත සහ ඒවාට සම
කොප්ටික් සංකේත සැසඳීමේ වගුව (1802)
පාෂාණය සොයාගන්නා කාලයේ දී සවීඩන් ජාතික රාජ්‍යතාන්ත‍්‍රිකයෙකු සහ විද්වතෙකු වූ යොහාන් දාවිද් අකර්බ්ලඩ් (Johan David Åkerblad) සමකාලීනව ඊජිප්තුවෙන් ලැබුණු ආදර්ශ කිහිපයක සටහන් වුණු, පසුව ‘ව්‍යවහාරික’ (Demotic) යැයි හැඳින්වෙන්නට වුණු, නොදන්නා ලේඛන ක‍්‍රමයක් පිළිබඳ පර්යේෂණ කරමින් සිටියේ ය. එය පසුකාලීන කොප්ටික් භාෂාව සමඟ ඉතා සුළු සමානකම් ප‍්‍රමාණයක් දැක්වුව ද, කොප්ටික් භාෂාවේ එක්තරා ස්වරූපයක් සඳහා භාවිත වූ ලේඛන ක‍්‍රමයක් බව එ්ත්තුගෙන සිටි හෙයින්, ඔහු එය ‘වැල් කොප්ටික්’ ("cursive Coptic") ලෙස හැඳින්වූයේ ය. අකර්බ්ලඩ් සමඟ මෙම කටයුත්ත පිළිබඳ අදහස් හුවමාරු කරගනිමින් සිටි ප‍්‍රංශ ජාතික ප‍්‍රාචීණ ශාස්ත‍්‍රඥයෙකු වූ අන්තුවාං-ඊසාක් සිල්වෙස්ත‍්‍ර ද සැසි (Antoine-Isaac Silvestre de Sacy) හට 1801 දී ප‍්‍රංශයේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය ශෝං-අන්තුවාං ශප්තාල් (Jean-Antoine Chaptal) වෙතින් රොසෙට්ටා පාෂාණයේ මුල්ම ලිතෝග‍්‍රැෆික් පිටපතක් ලැබී තිබුණි. එහි මධ්‍ය කොටසේ ඇති පිටපත ඉහත ලේඛන ක‍්‍රමයට ම අයත් බව ඔහු තේරුම් ගත්තේ ය. ඔහු සහ අකර්බ්ලඩ් රොසෙට්ටා පාෂාණයේ මැද කොටසේ පිටපත අකාරාදික ස්වරූපයේ ලේඛන ක‍්‍රමයක් (ශබ්ද විද්‍යාත්මක නොව) බවට අනුමාන කරමින්, එය අධ්‍යයනය කිරීමට යොමු වූ අතර, ඔවුන් පටන් ගත්තේ ග‍්‍රීක පිටපතේ හඳුනාගත් නාම පද වලින් පටන් ගෙන ග‍්‍රීක පෙළ සහ මෙම නාඳුනන ලේඛනය එකට සැසඳීමෙනි. 1802 දී සිල්වෙස්ත‍්‍ර ද සැසි, තමන් සාර්ථක ලෙස නාමපද පහක් (‘ඇලෙක්සැන්ඩ්‍රොස්’, ("Alexandros") ‘ඇලෙක්සැන්ඩි‍්‍රයා’ ("Alexandreia"), ‘ටොලමයියොස්’ ("Ptolemaios")", ‘ආර්සිනෝ’ ("Arsinoe"), සහ පස් වන ටොලමිගේ ගරු නාමය වූ ‘එපිෆානිස්’("Epiphanes")) හඳුනාගත් බව ශප්තාල් හට වාර්තා කෙළේ ය. ඒ වන විට අකර්බ්ලඩ් ව්‍යවහාරික භාෂාවෙන් වූ පිටපතේ තිබූ ග‍්‍රීක නම් ඇසුරින් හඳුනාගත් අකුරු 29 ක් ප‍්‍රකාශයට පත් කර තිබුණි. (ඉන් බාගයකට වැඩි ගණනක් නිවැරදි බව පසුව තහවුරු විය. එනමුත්, ඔවුනට ව්‍යවහාරික භාෂාවෙන් ඇති ලේඛනයේ අඩංගු සෙසු සංකේත හඳුනාගත නොහැකි විය. දැන් සොයාගෙන ඇති පරිදි එහි, ශබ්ද විද්‍යාත්මක අක්ෂර මෙන්ම චිත‍්‍ර ලේඛිත අක්ෂර (Ideographic Characters) සහ වෙනත් සංකේතද ඇතුළත් වේ.

හයිරෝරේඛිත පිටපත

අවසානයේ සිල්වෙස්ත‍්‍ර ද සැසි රොසෙට්ටා පාෂාණය සම්බන්ධව කටයුතු කිරීම අත්හැර දැමූ නමුත්, පසුකාලීනව ඒ පිළිබඳ තවත් දායකත්වයක් සැපයී ය. 1811 දී හෙතෙම චීන සිසුවෙකු සමඟ චීන අත්පිටපත් පිළිබඳව කරන ලද සාකච්ඡුාවකින් පොළඹවන ලදුව, ඊජිප්තු හයිරෝරේඛිත පිටපතේ එන විදේශීය නම් ශබ්ද විද්‍යාත්මක සංකේත මඟින් සටහන් කර තිබෙන්නට හැකි බවට 1797 දී ජෝර්ජ් සෝගා විසින් ඉදිරිපත් කරන ලද අදහස පිළිබඳ අවධානය යොමු කෙළේය. තවදුරටත් ඔහු, හයිරෝරේඛිත කාර්ටූෂ් (පාරාවෝ රජවරුන්ගේ නම සහ තනතුර සටහන් කරන ලද මුදු) වල ඇතුළත් වන සංකේත, සංඥා නාම වන්නට හැකි බවට 1761 තරම් ඈතදී ශෝං-ශාක් බාර්තෙලමි (Jean-Jacques Barthélemy) විසින් නඟන ලද අදහස ද සිහිපත් කෙළේ ය. එසේ, ලන්ඩන් හි රාජකීය සංගමයේ විදේශ ලේකම් වූ තෝමස් යංග් (Thomas Young) 1814 දී රෙසෙට්ටා පාෂාණය පිළිබඳව සිල්වෙස්ත‍්‍ර ද සැසි සමඟ කරන ලද ලිපි හුවමාරුවේදී, හයිරෝරේඛිත පිටපත කියවීමට තැත් කරන්නේ නම්, ග‍්‍රීක නම් ඇතුළත් විය යුතු කාර්ටූෂ් සොයාගෙන, ඒවායේ ඇති ශබ්ද විද්‍යාත්මක සංකේත හඳුනාගැනීමට තැත්කිරීම සුදුසු යැයි, ද සැසි දැන්වීය.

යංග් එය අනුගමනය කර, අවසාන පරිවර්තනයට මඟ පෑදූ ප‍්‍රතිඵල දෙකක් අත්කරගත්තේ ය. ඔහු හයිරෝරේඛිත පිටපතේ ‘ටොලමයියොස්’ යන ග‍්‍රීක නම ලිවීම සඳහා යොදාගෙන තිබූ ‘‘ප් ට් ඔ ල් ම් එ ස්’’ ("p t o l m e s")  (නූතන අක්ෂර පරිවර්තනය ට අනුව ‘‘ප් ට් ව් ල් ම් යි ස්’’ ("p t w l m y s")) යන ශබ්ද විද්‍යාත්මක සංකේත සොයාගති. එසේ ම, ඔහු එම සංකේත, ව්‍යවහාරික භාෂාවෙන් ලියවුණු පිටපතේ පැවති සමාන සංකේත සමඟ සමපාත වන බව ද ඔහු හඳුනාගෙන, ඒ ඔස්සේ එවැනි සමානකම් 80 ක් තරම සොයාගත්තේ ය. මෙය ඉතා වැදගත් සොයාගැනීමක් වූයේ, හයිරෝරේඛිත පිටපත සහ ඊජිප්තු ව්‍යවහාරික බසින් යුත් පිටපත එකිනෙකින් ඉඳුරාම වෙනස් ඒවා යැයි කළින් විශ්වාස කරන ලද හෙයිනි. මෙයින් යංග් හට, ව්‍යවහාරික පිටපත ශබ්ද විද්‍යාත්මක සංකේත වලින් පමණක් සමන්විත නොවන බවත්, හයිරෝරේඛනය අනුකරණය කළ චිත‍්‍ර ලේඛිත සංකේත ද එහි ඇතුළත් වන බවත්, නිවැරදි ලෙස නිගමනය කළ හැකි විය. 1819 දී බි‍්‍රටැනිකා විශ්වකෝෂය සඳහා යංග් විසින් සපයන ලද ‘ඊජිප්තුව’ නම් දීර්ඝ ලිපියෙන් ඔහුගේ දෘෂ්ඨිය මනාව ප‍්‍රකට වේ. එසේ වුවත්, ඔහු ට ඊට වඩා දුරක් යාමට හැකි වූයේ නැත.

තෝමස් යංග්

ශෝං ෆ‍්‍රාංස්වා ෂැම්පෝලියන්

1814 දී යංග් පළමු වරට, පුරාතන මිසරය පිළිබඳ විදුහුරු මෙහෙයක් ඉටු කළ ග්‍රෙනෝබල් හි ආචාර්යවරයෙකු වූ ශෝං-ෆ‍්‍රාංස්වා ෂැම්පෝලියන් සමඟ ලිපි හුවමාරු කරගත්තේ ය. විලියම් ජෝන් බෑන්ක්ස් විසින් ‘ටොලමයියොස්’ සහ ‘ක්ලියෝපැට්රා’ යන නම් හයිරෝරේඛනයෙන් සහ ග‍්‍රීක බසින් කියවාගන්නා ලද, ෆිලේ හි ඔබෙලිස්ක ස්තම්භයේ (obelisk of Philae) සංක්ෂිප්ත පිටපතක් 1822 දී ෂැම්පෝලියන් හට දැකගන්නට ලැබුණි. එයින් ඔහු ‘ක් ල් එ  ඕ ප් අ ට් ර් ආ’ (k l e o p a t r a) (නූතන අක්ෂර පරිවර්තනයට අනුව ‘ක්ව් ල් ඉ ... ව් ප් ට් ඩ් ර් ... ට් (q l i... w p t d r t)යන ශබ්ද විද්‍යාත්මක සංකේත හඳුනාගත්තේ ය. මෙය සහ රොසට්ටා පාෂාණයේ සටහන් වූ විදේශීය නම් පදනම් කරගෙන හෙතෙම ඉතා ඉක්මණින් ශබ්ද විද්‍යාත්මක හයිරෝරේඛන අක්ෂර හෝඩියක් ගොඩනැංවීය. තම අතින් ම සකසන ලද එම වගුවෙහි මුද්‍රිත පිටපතක් 1822 අගභාගයේ දී ෂැම්පෝලියන් විසින් පැරිසියේ අභිලේඛන සහ පුරාණ ලියවිලි පිළිබඳ විද්‍යායතනයේ (Paris Académie des Inscriptions et Belles-Lettres) ලේකම් බොන්-ශොසේෆ් ඩාසියේ (Bon-Joseph Dacier) වෙත යවන ලද ලිපියකට ("Lettre à M. Dacier") ඇතුළත් කරන ලදුව, එම විද්‍යායතනය විසින් ඉක්මණින්ම ප‍්‍රකාශයට පත් කරන ලදි. මෙම ලිපිය ඊජිප්තු හයිරෝරේඛනය කියවීමේ සැබෑ සන්ධිස්ථානය සටහන් කරන්නේ, හෝඩිය සහ ප‍්‍රධාන ලියවිල්ල නිසා පමණක් නොව, සමාන ශබ්ද විද්‍යාත්මක අක්ෂර ග‍්‍රීක නම් සඳහා පමණක් නොව මිසර ස්වදේශීය නම් සඳහා ද භාවිතා වී ඇති බව සඳහන් කෙරුණු ෂැම්පෝලියන් ගේ පසු සටහන ද හේතුවෙනි. බෑන්ක්ස් විසින් අබු සිම්බල් (Abu Simbel) හි දී වඩා පැරණි කාර්ටූෂ් වලින් පිටපත් කරගෙන, ශෝං-නිකොලස් හූයෝ (Jean-Nicolas Huyot) අත ෂැම්පෝලියන් වෙත එවන ලද බොහෝ පැරණි හයිරෝරේඛිත සටහන් අතර වූ, රැමසීස් (Ramesses) සහ තුට්මෝස් (Thutmose) යන පාරාවෝ වරුන්ගේ නම් හඳුනාගැනීමෙන්, 1823 දී ෂැම්පෝලියන් ඉහත අදහස තහවුරු කෙළේ ය. මෙයින් පසුව රොසෙට්ටා පාෂාණයේ කතාව සහ ඊජිප්තු හයිරෝරේඛනය කියවීම එකිනෙකින් වෙන් වූ මඟක් ගනී. ඉන් පසු, මුල්වරට පැරණි මිසර ව්‍යාකරණය සහ හයිරෝරේඛනය පිළිබඳ ශබ්ද කෝෂයක් ගොඩනැංවීම කෙරෙහි ෂැම්පෝලියන් ඇදී ගියේ ය. එම කටයුතු දෙක ම ඔහුගේ මරණයෙන් පසුව ප‍්‍රකාශයට පත් කරන ලදි.

තවත් කොටසක් බලාපොරොත්තුවන්න...

මූලාශ්‍ර:
https://en.wikipedia.org/wiki/Rosetta_Stone

Friday, November 3, 2017

මෞයි ගැන කතා - පොලිනීසියානු ජනකතා - දෙවැනි කොටස


මෞයි අහස උඩට ඉස්සූ හැටි

http://78.media.tumblr.com/2f955239197f9f2648a3fa5ed4394491/tumblr_inline_on4vp3QONj1r8a94o_500.gif
හවායි දූපත් වල තියෙන පුරාවෘත්තයෙ හැටියට ඉස්සර කාලෙ අහස තිබුණෙ පොළොවට හොඳටම ළඟින්. පැළෑටි වැවෙන්න පටං ගනිද්දි, අහසෙ බරට එව්වයෙ කොළ පැතළි වුනා. දැනටත් ගස්වල කොළ පැතළිවට පළල්වට පිහිටල තියෙන්නෙ ඒ නිසයි.

පැළෑටි ටිකෙන් ටික වැවෙද්දි, අඟිලින් අඟල අහස උඩට ඉස්සුනා. එහෙම ලැබුණු පොඩි අවකාශයෙ මිනිස්සුන්ට බඩගාගෙන තැනින් තැනට යන්න පුළුවන් උනා.

ඔහොම ගොඩක් කල් ගියාට පස්සෙ දවසක් මෞයි ඇවිත් ගෑණු කෙනෙකුට කිව්ව, “මට ඔයාගෙ ලබු කැටෙන් බොන්න වතුර ටිකක් දෙන්ඩ. මං අහස උඩට උස්සන්නං“ කියල. අර ගෑණු කෙනා එයාගෙ ලබු කැටේ මෞයිට දුන්න. එයා ලොකු උගුරක් බීලා, අහසට පිට තියලා ගස්වල මට්ටමට විතර යනකං ඉස්සුවා. ඊට පස්සෙ එයා අත් දෙක උස්සලා අහස අල්ලගෙන කඳු මුදුනට යනකං නැග්ගා. කන්ද මුදුනෙදි එයා ගොඩක් වීරිය අරං, අහස පුළුවන් තරම් උඩට තද කරලා දැන් අහස තියෙන මට්ටමේ රැඳෙව්වා.

මේ කටයුත්ත බලං හිටපු මනුස්සයෙක් අමාරු වැඩක් කරන්න මෞයි මහන්සි වෙන එක ගැන විහිළු කළා. මෞයි අහස ඉහළ රඳවලා ඉවර වුනාට පස්සෙ අර මනුස්සයා හොයාගෙන ආව, දඬුවම් කරන්න. ඒත් ඒ මනුස්සයා පැනල දිව්වා, දූපතේ අනිප්පැත්තට. මෞයිත් අත් අරින්නැතුවම පස්සෙං පන්නගෙන ගිහිං, අන්තිමේ මුහුදු වෙරළෙදි අල්ලගත්තා. (දැන් හවායි දූපත් වල මෞයි දූපතේ පිහිටා තියෙන ලහායිනා නගරයට කිට්ටු වෙරළෙදි තමයි අල්ලගත්තෙ) එතනදි මෞයි මායා බලයෙන් අර මනුස්සයා කළුපාට ගළක් බවට පත් කළා. ඒ හිරය දැන් හඳුන්වනව Black rock beach කියල.

මනිහිකි දූපත් වල තියෙන කතාවට අනුව, මෞයි එයාගෙ තාත්තා රූ එක්ක එකතු වෙලා අහස උඩට ඉස්සුවා. රූ දකුණු පැත්තෙනුයි, මෞයි උතුරු පැත්තෙනුයි උස්සල, අහස උඩ රැඳෙව්වට, දෙන්නගෙ උත්සාහය සමාන උනේ නැති නිසා අහස රැළි ගැහුන. ඒ ගමන දෙන්නම ලොකු ගල් ආයුධ වලින් (adze කියල කියන මේ ආයුධේ වෑයක් වගේ. හැබැයි තනි අතින් පාවිච්චි කරන්නෙ. ඉතිං අත් පොරොව කියනව වගේ මේකට අත් වෑය කියන්න පුළුවං.) රැහැළ රැහැළ, ඊටපස්සෙ පොඩි ආයුධ වලිං සුමට කරල, පොළොවට ඉහළින් අරුක්කුව වගේ හිටින්න අහස හැඩ ගැස්සුවා.

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjqkZRNAnY-OT5-5ZCDURHtP925twpYk4bFqdq2zbrzZ2yksSs0o6Xn7_7FEEd8Xz-ntXJ3PxPb7KEv2IZbZO0i0uR31ayfjoWCs-AGAAReVJ1hcHR-q56I_LXlA00XkLiG635Z0QFXqqQ/s1600/adze.jpg
කැනඩාවෙ ඇල්බර්ටා වල පීස් ගංගා කෞතුකාගාරයෙ (Peace river museum)
ප්‍රදර්ශනය කරන අත් වෑයක්

මෞයි ගින්දර හොයාගත්ත හැටි

දවසක් මෞයි ඔරුවෙ නැගල මාලු අල්ලන්න ගියා එයාගෙ සහෝදරයො තුන් දෙනා එක්ක. මුහුදෙ ඈතට ගිහිං මාලු අල්ලද්දි මෞයි ආපහු ගොඩබිම දිහා බැලුව. එතකොට එයා දැක්ක කඳු මුදුනෙ ගින්නක් තියෙනව. එයා අයියලට කිව්ව අපි අල්ලපු මාලු ටික උයාගෙන කමු කියල. එහෙම තීරණය කරල කට්ටිය ඔරුව ආපහු ගොඩබිමට ගෙනිච්ච.

ඔරුවෙන් බැහැපු සහෝදරයො හතර දෙනා අර ගින්න දැකපු තැන හොයාගෙන කන්ද නැගගෙන උඩට ගියා ඒ යද්දි ඒ අය දැක්ක, මඩ කිකිලියො (mud hen) පවුලක් එකතු වෙලා දරකෝටු පහුරු ගානව. ඒ පහුරු ගාන තැන් වලින් ගින්දර ඇවිලෙනව. මෞයි ගෙ කට්ටිය දැකපු අර කුරුල්ලො ටික ගින්න නිවල ඉගිල්ලිලා ගියා. මෞයි යි අයියලයි කොච්චර උතසාහ කළත් අර කුරුල්ලො වගේ ගින්දර අවුලගන්න බැරි උනා.

https://bloximages.chicago2.vip.townnews.com/thegardenisland.com/
content/tncms/assets/v3/editorial/f/36/f36c9c3d-f5ed-5382-b57a-7c9a8486e606
/4d479daf26189.image.jpg?resize=593%2C619
Mud Hen කුරුල්ලෙක්
ඉතිං ඒ අය අනික් දවසක ඇවිත් ඒ අවට හැංගිලා හිටියා. අර මඩ කිකිලියො ටික ඇවිත් කන්ද මුදුනෙ ඉඳල මුහුද දිහා බලල, “අර ගොල්ලො මුහුදු ගිහිං නෑ. අපි ගින්දර අවුලන හැටි බලන්න එයි. ඒ නිසා ගින්දර අවුලන්නැතුව ඉමු“ කියල තීරණය කළා.

ඔහොම ටික දවසක් ගියා. මෞයි අයියලත් එක්ක මුහුදු ගිය දවසට කන්ද මුදුනෙ ගින්න ඇවිලෙනව. ගොඩබිම ඉන්න දවසට ගින්න නෑ.

දවසක් මෞයි කිව්ව, අයියලට “ඔයාල මුහුදු යන්න. මං හැංගිලා බලාගන්නම් මඩ කිකිලියො ගින්දර හදන හැටි“ කියල. එහෙම කියල එයා කන්ද මුදුනට ගිහිං හැංගුනා.

එදා කිකිලියො ටික ඇවිත් මුහුද දිහා බලල, ඔරුවෙ ඉන්න කට්ටිය ගැන්න. ගැනල, “ඔරුවෙ තුන් දෙනයි ඉන්නෙ. අනිකා ගොඩබිම හැංගිල ඇති“ කියල ඉගිල්ලිල ගියා.

පස්සෙ මෞයි කරපු දේ, අනික් දවසක කපා රෙද්දක් (හවායි ස්වදේශිකයො වියන රෙදි විශේෂයක්) රෝල් කරල මනුස්සයෙක් වගේ පේන්න ඔරුවෙ රැඳෙව්වා. ඒ කරල අයියලට ඔරුව මුහුදට ගෙනියන්න කියල එයා කන්ද මුදුනෙ හැංගුනා.

එදත් මඩ කිකිලියො ටික කන්ද මුදුනට ඇවිත්. ඔරුවෙ ඉන්න අය ගැන්න. එදා හතරයි. ඉතිං ඒ අය ගින්න අවුලන්න දර එකතු කරන්න පටංගත්ත. හැංගිලා හිටිය මෞයි දැක්ක එතන ඉන්න වයසකම කිකිලි ඒ දර වලින් එක්තරා කෝටු ජාතියක් වෙන් කරල ගන්නව. එයා පැනපු ගමං අර කිරිල්ලි අල්ලගත්ත. කොච්චර තදිං ඇල්ලුවද කියනවනං, මඩ කිකිලි හිතුව ඌ මරන්න හදනව කියල. ඌ කිව්ව “මාව මැරුවොත් ගින්දර අවුලන රහසත් මාත් එක්කම නැති වෙලා යයි“ කියල.

මෞයි පොරොන්දු උනා එයාට ගින්දර හදන හැටි කියාදුන්නොත් මරන්නැතුව අත්අරිනවය කියල.

ඒගමන මඩ කිකිලි කිව්ව, දියාලු ගස්වල අතු (දිය කූඬළු වගේ) එකට අතුල්ලන්න කියල. මෞයි මඩ කිකිලිව කූඩුවකට දාල, දියාලු ගස් අතු දෙකක් එකට ඇතිල්ලුව. ඒක අතුල්ලන්න අතුල්ලන්න වතුර මිසක් ගින්දර නං ආවෙ නෑ. ඒ ගමන මෞයි මඩ කිකිලිව අල්ලගෙන බෙල්ල මිරිකුව.

මඩ කිකිලි කෑ ගැහුව “නෑ නෑ... දියාලු ගස් නෙවෙයි, වතුරෙ හැදෙන තණගස් ගැන කිව්වෙ“ කියල. ඒ ගමන මෞයි එව්ව අරං අතුල්ලන්න ගත්ත. තණ ගස් නැමිල කැඩිලගියා. ඒ ගමන මෞයි ආපහු සැරයක් අර මඩ කිකිලිගෙ බෙල්ල අඹරවන්ඩ ගත්ත.

මඩ කිකිලි කෙඳිරි ගාල කිව්ව, “මං ගින්දර හැංගුවා කොළපාට දඬුවල“ කියල. මෞයි ඒකට අනුව අමු කෝටු අරං තද කරල අතුල්ලන්ඩ ගත්ත. ඒත් මොනවත් උනේ නෑ. මීළඟ පාර මෞයි මඩ කිකිලි ගෙ බෙල්ල කරකවද්දි ඒ කිරිල්ලි වේලිච්ච කෝටු වගයක් නම් කළා.

ඔය විදිහට මෞයි ගස් වර්ග ගණනාවක් පහු කළා. මඩ කිකිලිගෙ පණත් යන්න ඔන්න මෙන්න තත්ත්වෙට පත්වුනා. අන්තිමේ මෞයි හරි කෝටු වර්ගය හොයාගෙන, ගින්දර අවුලගත්තා.

“තව එක දෙයක් තියෙනව අතුල්ලන්න“ කියපු මෞයි ගිනි ඇවිලුනු කෝටුවක් අරං අර මඩ කිකිලිගෙ ඔලුවෙ ඇතිල්ලුව. ඒකෙන් කිරිල්ලිගෙ නළලෙ පිහාටු ඔක්කොම හැලිලා, තද රතුපාට උනා.

තවත් පොලිනීසියන් කතාවකට අනුව, මෞයි හවසක කෑම හෙම කාල ඇලවෙලා ගිණි මැලේ දිහා බලං ඉන්න ගමන් හිතුන, කොහොමද ගින්දර ඇතිවෙන්නෙ කියල හොයාගන්න ඕනෙ කියල. ඒ කාලෙ මිනිස්සු ගින්දර අවුලන්න දන්නෙ නෑ. අකුණකිං හරි ලැව්ගින්නකින් හරි ඇවිලුණු ගින්නකින් පෙනෙල්ලක් අවුලගෙන, ඒකෙන් ගිණිමැලයක් හදාගෙන, ඒ ගින්න නිවන්නැතුව දිගටම තියාගන්න එකයි ඒ දවස් වල මිනිස්සු කළේ. මෞයිගෙ සිතුවිල්ල කොච්චර දුර ගියාද කිව්වොත්, එයා එදා රෑ මුලු දූපතේම තිබ්බ ගිනිගොඩවල් නිමල දැම්ම. පහුවදා ඇහැරපු ගම්මු, හරිම ගැටළුවකට මුහුණ පෑව. පස්සෙ ඔක්කොම ගිහිං ඒ අයගෙ රංගටිරා හෙවත් මහළු උපදේශක වරිය වුනු ටරන්ගා ගෙන් ඇහුවා මොකද කරන්නෙ කියල. ටරන්ගා කිව්වා, “මෞහිකා දෙවඟනගෙන් ගින්දර ඉල්ලගෙන එන්ඩ කාව හරි යවන්න වෙනව“ කියල.

මෞයි ගෙ ආදී මිත්තණියක් වුනු මෞහිකා හිටියෙ ලෝකෙ කෙළවරේ තිබුණු, ගින්දර පිරුණු කන්දක් ඇතුළෙ. ඉතිං කවුරුවත් එහෙ යන්න ඉදිරිපත් වුනේ නෑ. ඒකෙන් මෞයිට එහෙ යන්න අවස්ථාව ලැබුණා. එයා අම්ම කියාදීපු විදිහට ගින්දර කන්ද හොයාගෙන ගියා. ඒ කන්ද උෂ්ණෙට රතුපාටින් දිළිසෙනව. ඒ කන්දෙ පාමුළ තිබුණු විවරයකින් මෞයි ඇතුළට ගියා. යනකොටම මෞහිකා මතුවුනා. එයාගෙ ඇඟේ හැම තැනක්ම ගිණිගන්නව. කෙස් වෙනුවට ඔළුවෙ තිබුණෙ එකම ගිණි ගොඩක්. ඇස් වෙනුවට තිබුණෙ කළුපාට විවර දෙකක්. එයා ඉව කරල බැලුව.

“මම මෞයි-ටිකිටිකි-අ-ටරන්ගා. “ කිව්වම මෞහිකා තමංගෙ මී මුණුපුරා අඳුනගත්තා. එයාගෙ ඉල්ලීමට කන්දීලා ගිනි දෙවඟන එයාගෙ එක නියපොත්තක් ගළවල මෞයිට දුන්න අරං යන්න, ඒකෙන් ගින්දර අවුලගන්න කියල.

ඒත් මෞයි ට ඕනෙ උනේ ගින්දර ඇතිකරන්නෙ කොහොමද කියල ඉගෙන ගන්න. ඉතිං මගක් දුරට ඇවිත් එයා අර නියපොත්ත විසි කළා. විසිකරල, ආපහු ගියා මෞහිකා ගාවට. ගිහිං කිව්ව, අර නියපොත්ත වතුරට වැටුණ කියල. ඒ ගමන දෙවඟන තව නියපොත්තක් ගළවල දුන්න.

ඔය විදිහට නියපොතු දහ නමයක්ම ඉවර උනාට පස්සෙ මෞහිකාට කේන්ති ගියා. එයා මෞයි ගින්දරෙං වටකළා. මෞයි උකුස්සෙක්ගෙ වෙස් අරගෙන අහසට නැගුනා. ඒත් ගින්දර කොච්චර ඉහළට නැගුනද කිව්වොත්, උකුස්සගෙ පියාපත්වල යටපැත්ත ගින්දර සැරට රතුපාට උනා.

ඒ ගමන මෞයි වතුරට පැන්නා. ඒත් ටික වෙලාවකින්ම වතුර උණු වෙලා නටන්න ගත්තා.

ඊට පස්සෙ එයා තමංගෙ තවත් ආදී මීමුත්තෙක් වුනු ටාව්හිරිමාටියා හෙවත් වැස්ස දෙවියන්ගෙ උදව් ඉල්ලුවා. ටික වෙලාවකින්ම ලොකු වැහි වළාකුළු ඇවිත් අහස වැහුණා. වැස්ස වහින්න ගත්තා. ගින්දර අඩුවෙලා මෞහිකාගෙ කන්දෙ රතුපාට නැති වෙලා ගියා.

ඒත් එයාට කේන්තියි. එයා අන්තිම නියපොත්ත ගළවල අරං මෞයිට දමල ගැහුව. ඒක ඉළක්කෙ වැරදිලා ගිහිං මහෝ (Mahoe), ටෝටරා (Tōtara), පටෙටෙ (Patete), පුකටෙ (Pukatea) සහ කයිකෝමකො (Kaikōmako) ගස් අතරට වැටුණා. මෞහිකාගෙ ගින්දර දිව්‍යමය තෑග්ගක් විදිහට බාරගත්ත ඒ ගස්, ගින්දර ආරක්ෂා කරගත්තා.

මෞයි ආපහු ගමට ගියෙ ගින්දර අරගෙන නෙවෙයි. එයා ගෙනිච්චෙ වේලිච්ච කයිකෝමකො ලී කෑලි ටිකක් විතරයි. ඒව එකට අතුල්ලල ගින්දර මතුකරගන්න හැටි මෞයි මිනිස්සුන්ට කියාදුන්න.




ගින්දර අවුලගන්නෙ කොහොමද කියන එක මිනිස්සුන්ට හොයල දෙන්න මෞයි තමංගෙ ජීවිතය අනතුරේ දාගත්තෙ එහෙමයි. දැනටත් හවායි දූපත් අසළ ජීවත් වෙන උකුස්සන්ගෙ පියාපත් වල යට පැත්ත රතුපාටයි. මෞයි ගෙ ඒ ත්‍රාසජනක වික්‍රමය නිසා.

මෞයි ගෙ තවත් ත්‍රාසජනක කතා ටිකක් මීළඟ කොටසින් ලියන්නම්. (මේක ඉවරයක් නැති වැඩක් වගේ)

මූලාශ්‍ර
http://www.sacred-texts.com/pac/maui/maui06.htm
www.sacred-texts.com/pac/maui/maui08.htm
http://eng.mataurangamaori.tki.org.nz/Support-materials/Te-Reo-Maori/Maori-Myths-Legends-and-Contemporary-Stories/How-Maui-brought-fire-to-the-world

වැඩිපුර බලපු ලිපි