ඔන්න එක කාලෙක බුරුමයේ උන්නා මෝඩ තරුණයෝ හතර දෙනෙක්. මුන් හතර දෙනා එකට මයි හිටියෙ. දවසක් බඩගින්නෙ වේළි වේළි හිටපු මේ කොල්ලො හතර දෙනා තීරණය කළා මොනව හරි කුළී වැඩක් කරල දීල කෑමට දෙයක් හොයාගන්න.
වැඩක් හොයාගෙන පාර දිගේ යන මේ කොල්ලො හතර දෙනාට මුණ ගැහුණා වයසක ආච්චි කෙනෙක්. එයා ගෙන් වැඩක් ගැන ඇහුවම එයා කිව්වා, "වත්ත පහලින් ඉළුක් කපාගෙන, මිටි බැඳගෙන ඇවිත් ගොඩ ගහල දෙන්න" කියලා, පහුවදා ට වහලෙ හෙවිල්ල ගන්න.
ඉතින් මේ කොල්ලො හතර දෙනා එක සීරු වැඩ. වරුවක් යද්දි ඉළුක් කපල මිටි බැඳගෙනත් ඉවරයි. ඉතින් හතර දෙනා ඔය මිටිය ගානෙ ඔලුව උඩ තියාගෙන පේළියට ආවා ආච්චිගෙ ගෙදරට.
ආච්චි හිටියා ඉස්තෝප්පුවෙ බංකුවක් උඩ වාඩි වලා.
පළවෙනියා ගිහිං ආච්චිගෙන් ඇහුවා, ඉළුක් මිටිය තියන්නෙ කොහෙන් ද කියලා. ආච්චි කිව්වා ගෙයි පිටිපස්සෙන් තියන්න කියලා.
ඒක අහගෙන හිටපු දෙ වෙනියත් ඇහුවා, ඉළුක් මිටිය තියන්නෙ කොහෙන් ද කියලා. ආච්චි එයාටත් කිව්වා ගෙයි පිටිපස්සෙන් තියන්න කියලා.
අර දෙන්නට ම කියපු දේවල් අහගෙන හිටිය තුං වෙනියත් ඇහුවා, ඉළුක් මිටිය තියන්නෙ කොහෙන් ද කියලා. ආච්චි එයාටත් කිව්වා ගෙයි පිටිපස්සෙන් තියන්න කියලා.
ඊට පස්සෙ හතර වෙනියත් ඇහුවා... ආච්චිට හොඳට ම කේන්තියි. "තියහං කොල්ලො ඔය ඉළුක් මිටිය ගෙයි පිටිපස්සෙන්..."
ඊට පස්සෙ හතර දෙනා ම ආපහු වත්ත පල්ලෙහට ගියා. විනාඩි දෙක තුනෙන් ආයෙත් ඉළුක් මිටිය ගානෙ ඔලුව උඩ තියාගත්ත කොල්ලො හතර දෙනා ආච්චි ළඟ.
"ආච්චි, මේ ඉළුක් මිටිය කොහෙන් ද තියන්නෙ?" පළවෙනියා ඇහුවා.
"මෝඩ යක්කු!" ආච්චි කේන්තියෙ උපරිමය ට ගිහින්. "තියාපියව් ඔය ඉලුක් මිටි මගෙ ඔලුව උඩ."
හතර දෙනා ම ඉළුක් මිටි මිට ආච්චි ගෙ ඔලුව උඩින් තිබ්බා. "බුදු අම්මෝ!" කියාගෙන, එව්වට යට වෙලා ආච්චි මළා.
ආච්චිගෙ කෑ ගැහිල්ල ඇහිලා එතනට ආපු ගම්මු, වෙලා තියෙන දේ දැකලා, අර මෝඩ කොල්ලො හතර දෙනාට හොඳට ම ගැහුවා.
"දැන් ගිහිං ගහක් කපාගෙන වරෙව්, මිනී පෙට්ටියක් හදන්ඩ."
ඉතිං පොරවකුත් අරං කොල්ලො හතර දෙනා ගියා කැලේට. ගිහින් හොඳ ගහක් තෝර ගත්තා කපන්න.
"උඹ කපපං ගහ. මම ගහ උඩට නැගලා, ඒක වැටෙන්න ඕනෙ පැත්තට බර කරන්නං. බොලා දෙන්නා ගහ යට ඉඳපල්ලා, ගහ වැටෙනකොට ම අල්ලගෙන කරෙන් තියා ගන්න. එතකොට ගහ වැටුණට පස්සෙ උස්සලා කරෙන් තියා ගන්න ඕනෙ වෙන්නෙ නෑ." එකෙක් එහෙම කියලා, ගහට නැග්ගා. දෙවෙනියා ගහ කපන්ඩ ගත්තා. තුන් වෙනියයි, හතර වෙනියයි ගහ යට සූදානමින් හිටියා ගහ අල්ල ගන්න.
ගහ සෑහෙන තරම කැපුවට පස්සෙ, එක පාරට ම ගහ වැටුණ අර කොල්ලො දෙන්නගෙ ඇඟට. උන් ඒකට යට වෙලා මළා. ගහ උඩ හිටපු හාදය බිම වැටුණු කම්පණයට කලන්තෙ දැම්මා.
ගහ කපපු කොල්ලා ටික වෙලාවක් බලං හිටියා යාළුවො තුන් දෙනාට නින්ද ගිහිං කියලා. ටික වෙලාවකින් අර කලන්තෙ දාපු කොල්ල නැගිට්ටා.
ඒ විදිහට ම අනික් උන් දෙන්නත් නැගිටිනකං මෝඩයො දෙන්න හවස් වෙන තුරු බලං හිටියා. ඒත් යාළුවො දෙන්න ගහ යට නිදි. නැගිටින්නෙ ම නෑ.
ඔතනට ආව දර කපන්නෙක්. එයා මේ සිද්ධිය දැකල පුදුම උනා.
"මේ බලනවකො උන්නැහැ. අපේ මේ යාළුවො දෙන්න නැගිටින්නෙ ම නෑනෙ. පුදුම නින්දක් නෙ ගිහිං තියෙන්නෙ." අර මෝඩ කොල්ලො දෙන්න කිව්වා.
"උඹලට මද කිපිලද? පේන් නැද්ද මේ දෙන්න මැරිල කියල? අඩු ගානෙ උඹලට මිනී නරක් වෙන කුණු ගඳවත් දැනෙන් නැද්ද?" කියල දර කපන්න ඇහුව.
"ආ... ඇත්ත නේද?" කියල අර මෝඩයො දෙන්න එතනින් ගමට එන්න ආව. පාරට ආව විතරයි, එක කොල්ලෙක් ඈණුමක් ඇරිය, බඩගින්නෙ නෙ හිටියෙ...
"උඹේ කටෙන් නරක ගඳක් එනව." අනික් කොල්ලා කිව්ව. "අර පණ්ඩිතය කිව්වෙ, ගඳ ගහන්නෙ මැරිල නං කියල. උඹ මැරිල වෙන්ඩැති."
"අඩෝ! ඇත්ත නේන්නං..." කියපු අර ඈණුම ඇරපු යාළුව මහ පාර මැද්දෙ වැටුණා.
ඒ එක්කම අනිකටත් ඈණුමක් ගියා. ප්‍රතීක ක්‍රියාවක් නිසා ඈණුමක් යනව බලං ඉන්න අයටත් ඈණුමක් යනව.
"හප්පට සිරි! මගෙ කටිනුත් නරක ගඳක් එනව. මාත් මැරිල වෙන්ඩැති" කියපු අසංග අනික් කොල්ලත් පාර මැද වැටුණ.
මේ දෙන්නා මැරිල ටික වෙලාවක් ගියා. ඔතනින් යන්න ආව ඇත් ගොව්වෙක්, ඇතාවත් එක්කගෙන. ඒත් යන්න බෑ, පාර මැද්දෙ මිනිස්සු දෙන්නෙක් නිදි.
"ඒයි... ඔතනිං අයිං වෙයල්ලා. මේක මහ පාර. මිනිස්සුන්ට යන්න එන්න ඉඩ දියල්ලා." කියල ඇත් ගොව්වා කෑ ගැහුවා.
"අපිට තේරෙනව ඒක. ඒ උනාට අපිට නැගිටල අයිං වෙන්න බෑ. අපි මැරිලා" නමියා එක කොල්ලෙක් කිව්වා.
"ආ. ඇත්තද? එහෙනං හිටපියව්" කියල ළඟට ආපු ඇත් ගොව්වා අර කොල්ලො දෙන්නට හෙණ්ඩුවෙන් ඇන්නා. ඒ පාරවල් ඉවසගෙන ඉන්ඩ බැරුව කොල්ලො දෙන්නා උඩ පැනල නැගිට්ටා.
"අඩේ! ඔය හෙණ්ඩුව මාර බලවත් නෙ. මැරිච්ච කෙනෙකුට පණ දෙන්ඩ පුළුවන් අවුසද හෙණ්ඩුවක් නෙ. ඒක අපට දෙන්නකො." කියල අර මෝඩයො දෙන්නා වද කරන්න ගත්තා.
බැරිම තැන අර ඇත්ගොව්වා හෙණ්ඩුව උන් දෙන්නට දීලා යන්න ගියා.
අවුසද හෙණ්ඩුවත් අරගෙන නමියයි නවීනුයි දෙන්නා ඉස්සරහට යද්දි, ගමේ පෝසත් මුදලාලිගෙ ගෙදර එක ම මළ ගෙයක්. මුදලාලියි හාමිනෙයි අඬනවා, විළාප දි දී. ඒ දෙන්නගෙ එක ම දුව, ගමට හිටපු හැඩකාර ම ළමිස්සි, හදිසියෙ ලෙඩක් හැදිලා මැරිලා.
අර කොල්ලො දෙන්නත් අවුසද හෙණ්ඩුව කරේ තියාගෙන ඒ ගෙදරට ගියා.
“බය වෙන්ඩ එපල්ලා. අපට පුළුවන් මැරුණු කෙනෙකුට පණ දෙන්ඩ.“ ඒ දෙන්නා කිව්වා. දුකෙන් පුං මුසපත් වෙලා හිටපු මුදලාලියි හාමිනෙයි ඒ වෙද ගැටවු දෙන්නට ඉඩ දුන්නා. උන් දෙන්නා මැරුණු කෙල්ලගෙ මිනිය කාමරේකට අරං ගිහිං, හෙණ්ඩුවෙන් ඇන්නා.
වරක් දෙකක් ඇන්නා; පණ ආවෙ නෑ. ඊට පස්සෙ තවත් දෙතුන් පාරක් ඇන්නා; ඒත් කිසි ප්‍රතිඵලයක් නෑ. පස්සෙ බැරිම තැන මුන් මිනිය ඒ මේ අත හරව හරව හැම තැනකටම හෙණ්ඩුවෙන් ඇනලා අන්තිමේ මිනිය විකෘති වෙලා ගියා.
පස්සෙ උන් දෙන්නා එළියට ඇවිත් කිව්වා වෙදකම හරි ගියෙ නැති බව. කාමරේට ගිහිං මිනිය දිහා බැලුවහම මුදලාලිට අරුං දෙන්නව පණ පිටිං කන්ඩ කේන්තියි.
“ගහපියවු මුං දෙන්නට“ මුදලාලිගෙ කටින් වචන තුන පිට වෙන්නත් කලිං මුදලාලිගෙ ගෝලයොයි නෑදෑයොයි අරුං දෙන්නට හොඳ හැටි සළකලා ඉවරයි, “පාං“ ගෑවෙන්ඩ.
“ඇයි යකෝ මෙහෙම අපරාදයක් කළේ. තොපිට අපිත් එක්ක පරණ වෛරයක්වත් තියෙනවද?“
අන්තිමේ මුදලාලි ඇහුවා.
“අනේ සමාවෙන්ඩ මහත්තයො. අපිට ඕනෙ උනේ තමුන්නාන්සෙ සතුටු කරලා කන්ඩ ටිකක් හොයාගන්ඩ විතරයි.“ අර කොල්ලො දෙන්නා වැඳ වැටිලා කිව්වා.
මුදලාලිට තේරුණා මුන් දෙන්නා උපංගෙයි මෝඩයො කියලා.
“ඉතිං යකෝ, තොපිට මෙච්චර විනාසයක් කරන්ඩ ඕනෙ යැ. තොපි දෙන්නට තිබුණෙ මිනිය ළඟට ගිහිං; ‘අයියෝ නංගී... උඹ අපිව දාල යනව නේද... අපි කොහොම ද දැන් ඉතිං මේ දුක දරා ගන්නේ...‘ කිය කියා අඬන එකනෙ“ ඔතන හිටපු එක මුත්තෙක් අරුං දෙන්නට කිව්වා.
“දැං පලයව් මගෙ දෑහැට නොපෙණී...“ මුදලාලි තර්ජනාංගුලිය ඉස්සුවා.
ඉතිං අරුං දෙන්නා ආපහු පාරට වැටුණා. ටික දුරක් යද්දි මගුල් ගෙයක් තිබුණා.
“ආාාාන්න මචං. බඩ පුරා කෑම බීම ලැබෙන තැනක්.“ එකෙක් එහෙම කියලා අනිකත් ඇදගෙන මගුල් ගෙදරට ගියා.
ගිය ගමං, මනමාලි ගාවට ගිහිං අරුං දෙන්නා කලිං අර පණ්ඩිත මුත්තා කිව්ව විදිහට ම අඬන්න පටං ගත්තා... ‘අයියෝ නංගී... උඹ අපිව දාල යනව නේද... අපි කොහොම ද දැන් ඉතිං මේ දුක දරා ගන්නේ...‘ කිය කියා.
මනමාලයටයි මනමාලිගෙ සහෝදරයන්ටයි, මලේ හොඳ ම එක... මල්වත්තක් විතර පැන්නා. ඒ උදවිය අරුං දෙන්නව එළියට අරගෙන ගිහිං බඩ කට පුරා සැළකුවා ආයෙම පාරක්.
“තොපිට පිස්සු ද යකෝ, මේ වගේ තැනකට ඇවිත් අඬන්නෙ?“ ගහල ගහල මහන්සි දැනුණහම එක්කෙනෙක් මෝඩයො දෙන්නගෙන් ඇහුවා.
“අනේ මහත්තයො, අපිට තේරෙන්නෑ. කලිං මළ ගෙදර දි පණ්ඩිත සීයෙක් කියල දුන්නෙ මෙහෙම කළොත් කන්ඩ ලැබෙනව කියල. අපිට ඕනෙ උනේ තමුන්නාන්සෙල සතුටු කරලා කෑම බීම ටිකක් හොයා ගන්ඩ“ අරුං දෙන්න කිව්වා.
“ඉතිං යකෝ! මඟුල් ගෙදරකට ඇවිත් කවුද විළාප ගහල අඬන්නෙ? තොපිට තිබුණෙ සිංදු කිය කියා නටන්ඩ නෙ. පළයව් යන්ඩ මෝඩ යක්කු!“
ඉතිං ආයෙමත් අරුන් දෙන්නා පාරට බැස්සා. ටික දුරක් යනකොට පාර අයිනෙ ගෙදරක මහ සද්දෙන් කතා බහක් ඇහෙනව. ඉතිං අරුන් දෙන්නත් ගියා ඒ ගෙදරට.
එතන ගෙදර ගෑණු මනුස්සයයි, පිරිමියයි ගජ රාමෙට වලියක්. දෙන්න ගහගන්ඩ ඔන්න මෙන්න. ඉතිං මේ මෝඩ කොල්ලො දෙන්නත් කලින් මගුල් ගෙදර කට්ටිය කියාපු විදිහට ම, අර රණ්ඩු වෙන දෙන්න වටේ සිංදු කිය කියා නටන්ඩ ගත්තා.
තප්පරයක් දෙකක් විතර මේ දෙන්න දිහා බලං හිටපු අර අඹු සැමි දෙන්නා, තමංගෙ රණ්ඩුව නවත්තලා, මුන් දෙන්නට හොඳටම තඩිබාන්ඩ පටං ගත්තා.
“අනේ මහත්තයා, නෝනා, අපිට ගහන්ඩ එපා. අපිට ඕනෙ උනේ ඔය දෙන්නා සතුටු කරලා කෑම ටිකක් ඉල්ලගන්ඩ...“ අර මෝඩ කොල්ලො දෙන්නා වැඳ වැටිලා කිව්වා.
“ඉතිං යකෝ! රණ්ඩු වෙන දෙන්නෙක් වටේ සිංදු කිය කියා නටපුහාම සතුටු වෙනවද? තොපිට තිබුණෙ අපි දෙන්නව සමාදාන කරන්ඩ මහන්සි වෙන්ඩනෙ. ‘හා හා... ඔහොම කරන්ඩ එපා. නෝනයි මහත්තයයි රණ්ඩු වෙන්න හොඳ නෑ...‘ වගේ දේවල් කියලා...“
ඒ උපදේසෙත් හොඳට හිතට ගත්ත කොල්ලො දෙන්නා ආපහු පාරට බැස්සා. පාර දිගේ ටික දුරක් යනකොට, මුන් දෙන්න දැක්කෙ මොකද්ද? කෙලිම්ම, ටූ රැටිෂ් බුල්ස් ටේකිං නේල්ස් අන්ඩර් අ ෆීවර් බුෂ් හෙවත්, උණ පඳුරක් යට මී හරක් දෙන්නෙක් ඇණගන්නව.
මෝඩයො දෙන්නත් අර කලින් ලැබුණු උපදේසෙ හැටියට ම, රණ්ඩු වෙන දෙන්නා සමාදාන කරන්ඩ හැදුවා. “හා හා ඔහොම හොඳ නෑ. නෝනයි මහත්තයයි රණ්ඩු වෙන්න එපා...“ කියාගෙන මීහරක් දෙන්නා ඇණගන්න මැද්දට පැනපු දෙන්නා, මීහරකුන්ගෙ අං පාරවල් කාගෙන මැරිලා වැටුණා.
* * *
ඔය වගේ මෙලෝ අල බෝලයක් තේරෙන්නෙ නැති කොල්ලෙක් දවසක් කෑම හොයාගෙන කැලේ ගියා. එයාට හම්බුණා, උගුලක අහුවෙලා හිටපු වලි කුකුළෙක්. කොල්ලා වලිකුකුළව බේරගෙන, “අපේ ගෙදරට පලයං“ කියල අත ඇරියා. වලි කුකුළත් බොහොම හදිසියෙං ඉක්මණට ඉක්මණට දුවලා ගියා.
ඒ උනාට, කොල්ලා ගෙදර ඇවිත් බලනකොට වලි කුකුළා නෑ. ඉතිං එයා අම්මගෙන් ඇහුවා; වෙච්ච සිදුවීම විස්තර කරලා, “කෝ වලි කුකුළා?“ කියලා.
අම්මා අරූට හොඳට ම බැණලා, හති වැටුනට පස්සෙ කියල දුන්නා, “ආයෙ එහෙම ඔය වගේ දෙයක් දැක්කොත් පිහියෙන් ගහල කපාගෙන අරං වරෙන්“ කියලා.
ඊළඟ දවසෙ කොල්ලා කැලේට යද්දි දැක්කෙ වැලි හතු වගෙයක්. මූත් ඉතිං අම්ම කිව්ව වගේ පිහියෙන් ගහල කීතු කීතු කරලා අරගෙන ආවා.
එව්වා උයන්න බැරි තරම් පුංචි කෑලිවලට කැපිල තිබුණු නිසා, අම්මා කියලා දුන්නා; “ආයෙ මේ වගේ දෙයක් දැක්කොත් මුලින් ම උගුල්ලගෙන වරෙං“ කියලා.
ඊළඟ දවසෙ කොල්ලා දැක්කා ගස් බෙණේක තියෙන මී වදයක්. අනේ ඉතිං අහිංසක කොල්ලා, අම්ම කියපු විදිහට මුලින් ම උගුල්ලගන්න හිතලා, ගහට නැගලා බෙණේ ට අත දැම්මා. මී මැස්සො අර කොල්ලගෙ සරුවාංගේ එක හතර ට අනුපාතයට ඉදිමෙනකං ඇන්නා.
තමංගෙ පුතාට වෙච්ච වින්නැහිය දැකලා අම්මට හොඳට ම දුකයි. ඉතිං වෙදකං කරලා, සනීප කරගත්තට පස්සෙ අම්මා කියලා දුන්නා; “ආයෙ එහෙම ඒ වගේ දෙයක් දැක්කොත්, ගිණි පන්දමක් හදාගෙන දුම් ගහලා ඉඳපන්...“ කියලා.
ඉතිං ඊළඟ පාර කැලේට යද්දි කොල්ලට හම්බු වුණා හාමුදුරු කෙනෙක්. අම්ම කියා දුන්න විදිහට ම කොල්ලා ගිණි පන්දමක් අවුලා ගෙන, හාමුදුරුවන්ට දුම් ගහන්න ගිහිං, සිවුරට ගිණි ඇවිළුණා.
හාමුදුරුවො ජබුක් ගාලා ඇලට වැඩම කරලා, ගින්න නිවාගෙන, අර කොල්ලගෙ පිට හරහට තදින් ම වදාරලා පන්සලට වැඩියා.
ඔය සිදුවීම අහපු අම්මා කිව්වා, “අනේ පුතේ. හාමුදුරු කෙනෙක් අඳුනගන්න පුළුවන් කහ පාට ඇඳුමෙන්. එහෙම කෙනෙක් දැක්කම මීට පස්සෙ දණ ගහල වැඳපන්“ කියලා.
ඉතිං ඊළඟ පාර කැලේ ගියාම කොල්ලට මුණ ගැහුණා කොටියෙක්. කොටියගෙ කහපාට ඉරි ඉරි හම දැක්කම කොල්ලා ඌට දණ ගහලා වැන්දා. කොටිය කොල්ලගෙ පිටට පැනලා, මරාගෙන කෑවා.