Thursday, December 29, 2022

උපාසකයෝ

"ඒයි ගොයියො, මොකද උඹ මං පිටි පස්සෙ ම එන්නෙ? හා, හා පලයන්, පලයන්, උඹ කන බොන දේ මගෙ පැලේ නෑ. හා, හා ආපහු පලයන්."

උපාසක උන්නැහේ තමා පිටුපසින් එන බලු කුක්කාට කීප වරක් ම මෙසේ කීවේය. ඊට අවනත නොවූවාක් මෙන් ඌ දිගට ම ඔහු පිටුපසින් දිව එයි. උපාසක උන්නැහේ නැවතී බලු කුක්කා කකුලෙන් තල්ලු කර ආපසු යවන්නට සැරසෙන විට ඌ උඩුබැල්ලෙන් පෙරළී දුක්මුසු බැල්මක් හෙළයි.

"එහෙනම් උඹ ආපහු යන්ඩ කැමති නෑ නේද? හා, එහෙනම් වරෙන්. හැබැයි, මං ඉන්න තැනට මෙහෙ ඉඳලා හුඟක් දුරයි. උඹට එච්චර දුර පයින් යන්ඩ පුළුවන් ද? පුළුවන් නම් වරෙන්. හැබැයි, එහෙ මස්, මාළු හෙම නෑ. ඇහුණ ද?"

ගම්මානයෙන් සැතපුම් හතරක් පමණ දුරින් පිහිටි මහගිරි කන්දේ නැගෙනහිර බෑවුමේ වරිච්චි බැඳ කටු මැටි ගැසූ බිත්ති හතරකින් හා බට කොළ හෙවිල්ලූ පියස්සකින් යුත් කුඩා පැල්පතක ජීවත් වන උපාසක උන්නැහේ දෙපෝයකට වරක් බිං කොහොඹ, ගම්මාලු කිරි, මීපැණි ආදී දුර්ලභ වනෞෂධ අත්බරක් රැගෙන ගම්මානයට යයි. ඒ ගමනේ දී ඔහු තමාට අවශ්‍ය පොල්, පුවක්, ලුණු, හුණු ආදිය වනෞෂධවලට හුවමාරු කරගෙන යයි. ඉබාගාතේ යමින් සිටි බලු පැටියා ඔහු පසු පසින් ආවේ ද එවැනි දිනකදීය. 

"උඹ තවම පොඩි එකානේ. දැන් කකුලුත් රිදෙනව ඇති. වරෙන් මං ටිකක් දුර උඹ වඩාගෙන යන්නම්."

තමා පසුපස "බාල දක්ෂ ගමනින්" එන බලු පැටියා වරින් වර උසුලාගෙන ගිය උපාසක උන්නැහේ පැය දෙකක පමණ ගමනින් පසු ස්වකීය පැල්පතට ළඟා විය.

ඒ පැල්පතට ඇතුළු වන දොරටුව අවුරා තිබුණේ බටකොළ පැළැල්ලකිනි. දොරකඩ එක එල්ලේ ම ආහාර පිසින තැනය. ළිපට උඩින් තනා තිබෙන දුම්මැස්සේ වළං කබල් කීපයකි. දුම්මැස්සේ තවත් පැත්තක පුවක් ගෙඩි කීපයක් හා වනෞෂධ කීප වර්ගයක් ද වේ. වියළී ගිය වැටකොලු, මෑ, බණ්ඩක්කා, සහ බඩඉරිඟු කරල් කීපයක් අටු කණුවේ එල්ලෙයි. මිරිස් ගල ළිපට දකුණු පසෙහිය. මන්නා පිහිය හා හිරමනය ළිප අසල මය. වම් පස වැලි කොස්ඇට මුල්ලකි.

ළිපට දකුණු පස බිත්තියේ ගෑවෙන්නට, ගෙබිම සිට අඩි තුනක් පමණ උස්වන සේ තනා, බට කොළ අතුරා ඊමත වැටකේ පැදුරක් එළා ඇති ලී මැස්ස වරෙක ඇඳකි, වරෙක මේසයකි. වෙසක් කළාපයකින් කපාගෙන කොහොල්ලෑවලින් අලවන ලද බුද්ධ පින්තූරයක් මැස්ස අසල බිත්තියේ වෙයි. උදැල්ලක්, වල් කැත්තක් හා යකඩ ඉන්නක් ද මැස්ස පාමුල බිත්තියට හේත්තු කර ඇත..

"මේක තමයි මගෙ මාළිගාව. හොඳයි නේද? දැන් ඉතින් උඹට නමකුත් ඕනෑ නේ. මොකක් ද හොඳ? කඩිය, කඩිය කියන නම හොඳයි නේද? ඔව්, ඒක හොඳයි, කඩියො මෙන්න මෙතන තමයි, උඹ නිදා ගන්නෙ."

තමා නිදා ගන්නා මැස්ස යටට ගෝනි කැබැල්ලක් එළමින් කී උපාසක උන්නැහේ තමා ගෙනා දෑ ඒ ඒ තැන්වල අඩුක්කළේය.  

"කඩියො, උඹට හුඟක් බඩගිනි ඇති නේද? උඹට මේව නම් කාල පුරුදු නැතුව ඇති. ඒත් මේවට පුරුදු වෙන්ඩ ඕනෑ. හිටපංකො මං පොල් ටිකක් වැඩියෙන් දාල අනල දෙන්නම්."

උපාසක උන්නැහේ බතලත්, පොලුත් එකට අනා, කොළපත් කෑල්ලක දමා කඩියාට දී, ඔහු ද බඩ පුරා කා බුලත් විටක් ද ඒදා ගත්තේය. කඩියා ද මහත් කෑදරකමින් බඩ පුරා ම කා, ළිප ළඟට ගොස් වක ගසාගෙන නින්දට සැරසුණේය.

"ඒයි ගොයියො. ඔය වැඩේ හරිනෑ. කෑම කාපු ගමන් නිදා ගන්නෙ කවුද? වරෙන් වරෙන් මගෙ වත්ත දිහා ටිකක් ඇවිදින්ඩ යන්ඩ වරෙන්. අප්පා! බඩ කොට්ටෙ වාගෙ පුරවගෙන."

උපාසක උන්නැහේ පැලෙන් පිටතට ආවේය. ඔහුගේ පැල්පත වටා මැනවින් සකස් කරන ලද කුඩා ගොවිපළකි. එහි වැවී තිබෙන මඤ්ඤොක්කා, බතල, මිරිස්, ලූනු, කෙසෙල් ආදිය ඔහුගේ ආහාරයට ප්‍රමාණවත්ය. මිදුලේ සරුවට වැවී ඇති "නාගවල්ලි කොවුලෙන්" වුවමනා තරමටත් වඩා බුලත් ලැබේ. ගොවිපළ වටා ඇති දඬුවැටෙන් ඔබ්බෙහි සීතල දිය ගලා බසින දොළ පාරකි. වැසි සමයේ දෙගොඩ තලා යන වතුර ගොවිපළේ දඬු වැටට ද කිට්ටු කරයි. මෙතරම් නියඟයකදී වුව ද, නොසිඳෙන මහා වක්කලමක් මේ දොළ පාරෙහි තිබීම නිසා, ඔහුට කිසි කලෙක නියඟය කරදරයක් නොවීය. කඩියා නිසා දැන් ඔහුට තනිකමක් ද නැත. කඩියා මේ පරිසරයට අනුකූල වන්නට වැඩි කලක් නොගත්තේය.

උපාසක උන්නැහේ ගොවිපළේ වැඩ කරන විට කඩියා ඒ සමීපයට වී බලා සිටියි.

"ඉරත් හැරිල වගෙයි. දැන් වැඩ නවත්තමු. නේද කංකානම?" උපාසක උන්නැහේ දවසේ වැඩ නතර කර දිය නා ගැනීමට දොළට යෑමට සැරසෙයි. කඩියා කලින් ම දොළ ළඟට ගොස් "ලක් දෙලක් ලක් දෙලක්" යි හඩ නංවමින් වතුර උගුරක් දෙකක් බී තොල කට ලෙවකමින් සිටියි.

"හා, එහෙනම් වතුර ටිකක් නා ගනිමු නේද?"

උපාසක උන්නැහේ පළමුවෙන් කඩියා නාවා ගල් පොත්ත උඩ තබා, දොළට බැස දියබුං ගසමින් නාන්නට පටන් ගනියි. සීතලෙන් වෙවුලන කඩියා තෙත සිඳුවා ගන්නට ඇඟපත සල සලා ගල් පොත්ත මත එතැන ම කැරකෙමින් කෙඳිරි ගායි. දිය නා ගැනීමෙන් පසු දෙදෙනා ම පැළට එති.

කඩියාට කෑම දීමෙන් පසුව මිස උපාසක උන්නැහේ කිසි දිනෙක කෑම නොකයි. තැම්බූ අල බතල හා කොස් දෙල් ආදිය කඩියාට දැන් හොඳට ම හුරුය. උපාසක උන්නැහේ කිසි දිනෙක බත් නොකයි. කුඩා කාලයේ වත් බත් කෑ බවක් ඔහුට මතක නැත. බත් පමණක් නොව, මස්, මාළු ආදිය ද ඔහුගේ කෑම වට්ටෝරුවට ඇතුළත් නොවේ. කඩියා ද, ටික කලෙකින් උපාසක උන්නැහේ මෙන් ම උපාසකයෙක් විය. මුල දී කුරුල්ලන්, ලෙහෙනුන් ආදී කුඩා සතුන්ට කුරුමානම් අල්ලන්නට සූදානම් වූ නමුත් එවැනි අවස්ථාවල උපාසක උන්නැහේ, "කඩියා, සත්තු එහෙම මරන්නෙ නෑ... මා ළඟ ඉන්නව නම් ඒ සෙල්ලම් බෑ." යි තර්ජනාත්මක ව කියන්නට වූ නිසා දෝ සතෙකු දෙස ඇස් ඇර බලන්නට වත් කඩියා උනන්දු නොවීය.


මේ අන්දමින් ඉතා ම ප්‍රීතියෙන් කල දවස ගත කළ මේ අඹ යාළුවන් දෙදෙනාගේ සිතින් ප්‍රීතිමත් භාවය ටිකින් ටික ඉවත් වන්නට වූයේ උපාසක උන්නැහේට කැලෑ උණ සෑදෙන්නට පටන් ගත් පසුවය. ඒ නිසා ඔවුන්ගේ දින චරියාව ද වෙනස් වන්නට විය. දවස් ගණනක් ම එක දිගට උණෙන් පෙළෙන්නට වූ උපාසක උන්නැහේට තමාගේ අසනීපයටත් වඩා වේදනාවට කාරණා වූයේ කඩියා නිරාහාරව සිටීමය. කඩියා මැස්ස යට වක ගසාගෙ කෙඳිරි ගායි. වරින් වර මැස්ස යටින් ඇදී ඉතා ම අමාරුවෙන් දෑත් උස්සා මැස්ස මත තබා දෙකකුලෙන් සිටගෙන උපාසක උන්නැහේගේ ඇඟ ලෙවකයි.

"අනේ කඩියො, උඹට නම් හුඟක් බඩගිනි ඇති තමයි. ඒත් මං මොනව කරන්ඩ ද? මේ කෙහෙල්මල් උණේ මෙදා පාර නම් බහින එකක් නෑ.මට උඹට කන්ඩ මොකුත් තම්බල දෙන්ඩ හැටියකුත් නෑ. උඹට බැරි ද ගම්මානෙට යන්ඩ, උඹ හෙමින් හෙමින් ගම්මානෙට ගිහින් මොකුත් අහුලගෙන කාපන්. මට සනීප වුණොත් උඹ එක්කගෙන එන්ඩ මං ආයෙත් එන්නම්." උපාසක උන්නැහේ දැරිය නොහැකි ශෝකයෙන් ස්වකීය දුබල අතින් කඩියාගේ හිස පිරිමදිමින් කියයි. කඩියා ඔහුගේ අත ද ලෙවකා යළි මැස්ස යටට ඇදී කෙඳිරි ගාන්නට පටන් ගනියි.

"මොනවා කරන්ඩ ද දෙයියනේ, මේ අසරණ සීපාවා නොහිටියා නම් මට එක හිත් හිතාගෙන මැරෙන්ඩ උණත් තිබුණා. ඌට දඩයමක් කරගෙන කන හැටි ‌ඉගෙන ගන්ඩ වත් ඉඩ නුදුන්නෙ මමයි. මට හිතුණා මා ළඟ ඉන්නා සතා උණත් මං වගේ ම උපාසකයෙක් වෙන්ඩ ඕනෑ කියල. කඩිය පුංචි කාලෙ දඩයම් කරන්ඩ හදනකොට වළක්කා ගත්තෙ ඒකයි. දැන් අපරාදේ මට ඉස්සර වෙලා ඌ බඩගින්නෙ ම මැරෙයි. දැන් උගෙ ඉළ ඇට ගණන් කරන්ඩ පුළුවනි. ඇඟේ මස් කලඳක් නෑ. මං හිතන්නෙ මෙදා පාර නම් මට සනීප වෙන එකක් නෑ. මං මැරෙන්ඩ බය නෑ. ඒ උණත් මේ අසරණ සීපාවා දුක් විඳින හැටි බලාගෙන ඉන්ඩ මට නම් බෑ. තම්බපු වැලි කොස් ඇට ටිකක් ඌ කෑවෙ දැන් දවස් තුනකට ඉස්සර වෙලා. මම නම් ඊයෙත් කොත්තමල්ලියි, පත්පාඩගනුයි ටිකක් තම්බගෙන බිව්වා. ඒත් කඩියා බිව්වෙ නෑ. ඒක දිහා බලලා තොල පිට ලෙවකාල ආයෙ මං දිහා බැලුවේ 'අනේ මට බඩගින්න උහුලන්න බෑ. ඒත් මෙව්ව නම් බොන්න බෑ' කියන්නා වගෙයි. මේ වද විඳිනවට වැඩියෙන් මැරෙන එක කොච්චර හොඳ ද? කඩියටත් එහෙම හිතෙනවා ඇති. ගිය පෝයට ගම්මානෙට යන්ඩ හම්බ උණෙත් නෑ. වෙනදා නම් මං නොගියා ම බේත් අවුසද හිඟ පාඩු වෙලා මුදලාලි මාව හොයාගෙන එනවා. මුදලාලි වත් ආවොත් මට කඩියා ගමට පිටත් කරන්ඩ පුළුවනි. ඌට කොච්චර කීවත් ඌ යන්නෙත් නෑ. මම කී සැරයක් මහන්සි ගත්ත ද ඌ ගමට පිටත් කරන්ඩ. බාගදාට ඌට දොළෙන් පීනල එගොඩ වෙන්ඩත් බැරුව ඇති. හරි! ඒක තමයි, ඌට ඒ දණ්ඩෙන් යන්නත් බෑ. මං අමාරුවෙන් වත් ගිහින් ඌ දොළේ එහා පැත්තෙන් තියන්ඩ ඕනෑ. හරි, ඒක හොඳයි."

උපාසක උන්නැහේ අමාරුවෙන් මැස්සෙන් බැස්සේය. බිත්තියට හේත්තු කර තිබුණු හැරමිටිය අතට ගත්තේය.

"කඩියො, මං උඹ එගොඩහින් ගෙනිහින් තියන්නම්; උඹ ගම්මානෙට පලයන්; වරෙන් වරෙන්."

උපාසක උන්නැහේ මිදුලට බැස්සේය. කඩියා ද දෙපසට වැනි වැනී ඔහු පිටි පසින් ඇදුණේය. දොළ හරහා දමා ඇති ඒදණ්ඩ ළඟට පැමිණි උපාසක උන්නැහේ හැරමිටිය ඒදණ්ඩ සමීපයෙන් තබා අමාරුවෙන්ගේ කඩියා වඩා ගත්තේය. දකුණතින් අත්වැල අල්ලාගෙන හෙමින් හෙමින් ඒ දණ්ඩ දිගේ දෙපා මාරු කළේය. වාරුව නැති ඔහු ගේ අත් පා වෙවුලන්නට විය. "මේ මොනවා කරන්ඩ හදනවදැ"යි අසන්නාක් මෙන් කඩියා කෙඳිරි ගාමින් උපාසක උන්නැහේගේ කණ ලෙව කෑවේය. එයින් ඔහුගේ මුළු ශරීරය ම කිළිපොළා ගියේය.

"ජබුස්"

වක්කලමට ඇද වැටුණු උපාසක උන්නැහේ දිය යට ගිළී, උඩ මතු වී යළිත් ගිළුණේය. දෙවන වර ඔහු මතු වන විට කඩියා යුහුසුලු ව උපාසක උන්නැහේගේ කෙස් වැටියෙන් ඩැහැගෙන වැහැරී ගිය අත් පා ගසමින් නව පණක් ලද්දාක් මෙන් ඉවුර දෙසට පීනන්නට විය. සිහි එළවා ගත් උපාසක තැන ඉවුරේ ගල් පරයක් බදාගත්තේය. කඩියා ඉවුර පහුරු ගාමින් ගොඩට නගින්නට තැත් කළ ද, උගේ ශක්තියය මුළුමනින් ම පිරිහී ගොස් තිබුණි. එක් අතකින් ගල බදාගත් උපාසක උන්නැහේ, අනික් අතින් කඩියා ගල උඩට තල්ලු කරන්නට පටන් ගත්තේය. බොහෝ අමාරුවෙන් ගල උඩට ඇදුණු කඩියා දුබල හඬින් බුරන්නට විය. උපාසක උන්නැහේගේ වෙවුලන දෑත් මඳින් මඳ බුරුල් වන්නට විය. එහෙත් දුබල හඩින් බිරීම හැර කඩියාට අන් කිසිවක් කළ හැකි නොවීය.

"රන්මලෝ, රන්මලෝ, අර බලපන්, ඉක්මන් කරපන්, අර පැත්තෙන් ඉක්මනට යං."

ඒ උපාසක උන්නැහේ බෙහෙත් බඩු සපයන මුදලාලිගේ කටහඬය. ඒ කටහඬ උපාසක උන්නැහේට හෝ කඩියාට හෝ නෑසුණා විය හැකිය. මොහොතකින් ඒ සමීපයට පැමිණි මුදලාලි, රන්මලාගේ උදව්වෙන් උපාසක උන්නැහේත් කඩියාත් දොළෙන් ගොඩට ගත්හ.

මව්බස කියවීම් පොතකින් උපුටා ගන්නා ලදි...

Saturday, December 24, 2022

උපමා කතා තුනක් - නත්තල් කළාපය 2022

අද උදේ (මේක ලීවේ 18 වෙනිදා සෙනසුරාදා) මමත්, බිරිඳත්, පුතාත් අවදි වුණේ එක ම වෙලාවක. නිවාඩු දවසත් නිසා, අපි ටිකක් කතා කරමින් හිටියා ඇඳට වෙලා. අපි පොඩි කාලෙ දි වගේ ම, පුතාට හරිම ආසයි ළඟ ළඟ ම එන නත්තල ගැන. ඉතින් එතනදි අපි අතර කතා බහට ලක් වුණේ නත්තල් දිනය හෙවත් දෙසැම්බර් 25 ජේසු ගේ උපන් දිනය නොවන බව. 

එතන දී මම කිව්වේ බයිබලයේ සුභාරංචිවල සඳහන් වන විදිහට ජේසු තුමාගේ උපත ගැන දේව දූතයෝ ගිහින් එළිමහනේ බැටළුවන් බලාගනිමින් හිටපු එඬේරුන්ට කියුවා කියා තිබෙන සඳහන. එහෙම එළිමහනේ ඉන්න බෑ දෙසැම්බර් මැද හරියේ තිබෙන අති දුෂ්කර සීතලත් එක්ක.

එතකොට පුතා මට තවත් කරුණක් පෙන්නුවා. ඒ තමයි ඒ දුෂ්කර සීතල නිසා ජේසු බබා නිකම්ම රෙදි කඩක ඔතලා ගව ඔරුවක තිබ්බා නම්, සීතලේ මියයන්නට ‌ඉඩ තිබුණු බව.

දිගින් දිගට ම කතා කරද්දී මම පුතාට ජේසු තුමා දේශනා කළ උපමා කතා කීපයක් කීවා. පහතින් ලියා තියෙන්නේ ඒවා.

නැතිවූ බැටළුවා:

ඔබට බැටළුවන් සීයක් සිටියා යැයි හිතන්න. එයින් එක බැටළුවෙක් නැති වුණා නම්, ඔබ අනික් බැටළුවන් අනූ නම දෙනා ම පිට්ටනියේ ඉදිද්දී, අත හැර දමා, නැතිවූ බැටළුවා සොයනවා නේද? ඌ හමු වූ විට ඔබ අතිශයින් ම සතුටට පත් වෙනවා නේද? 

අන්න ඒ වගේ, යහපත් මිනිසුන් අනූ නම දෙනෙකුට වඩා, නොමග ගිහින් සිට, ආපසු යහ මඟට හැරුණු එක් මිනිසෙක් උතුම්.


ණය කාරයෝ:

එක් අධිපතියෙක් ට කාසි දහසක් ණය වී සිටි සේවකයෙක් සිටියා. අධිපතියා ඔහුට ණය ගෙවන ලෙස කී වෙලාවේ, ඔහු අත මුදල් තිබුණේ නැහැ. ඉතින් ඔහු බැගෑපත් වෙලා, ණය ගෙවන්නට තවත් කාලය ඉල්ලා සිටියා. එවිට අධිපතියා ඔහු ගැන අනුකම්පා කර, ණය මුදලෙන් ඔහු නිදහස් කළා.

ඒ සේවකයා ට කාසි සීයක් ණය වූ තවත් සේවකයෙක් සිටියා. පළමුවැන්නා අනෙකාට ඒ ණය ගෙවන්නට බල කළා. ඒ වෙලාවේ දෙවැන්නා අතත් මුදල් තිබුණේ නැහැ. ඉතින් ඔහුත් සමාව ඉල්ලා, ණය ගෙවන්නට තවත් කාලය ඉල්ලා සිටියා.

නමුත් පළමුවැනි සේවකයා දෙවැන්නා ගැන අනුකම්පා කළේ නැහැ. ඔහු ණය ගෙවන තුරු සිර කළා.

මේ සිදුවීම අනෙක් අය විසින් අධිපතියාට සැළ වුණා. ඒ අධිපතියා පළමුවැනි සේවකයා ගෙන්වා මෙසේ කීවා.

"මම නුඹට අනුකම්පා කළා වගේ ම, නුඹත් අනෙකාට අනුකම්පා කරන්නට තිබුණා නේද? දැන් නුඹ මා හට ගෙවන්නට ඇති කාසි දහස ගෙවන තුරු මමත් නුඹ සිර භාරයට ගනිමි"

අපි වරදකට පසුතැවෙමින් සමාව අපේක්ෂා කරනවා නම්, අපට අනෙක් අය කරන වැරදි ගැනත් අපි සමාව දිය යුතුයි.


මේක විශේෂයෙන් ලීවේ මගේ ඉතා හිතවත් මිත්‍රයෙක් සහ සහෘදයෙක් වන අසංග රණසිංහ ආරච්චිට ම‌ගේ කලින් පෝස්ට් එකෙන් කරපු විහිලුවට යම්කිසි සිත් රිදීමක් වුණා නම්, මට සමාව දීමට ආදර්ශයක් වශයෙන්...

ටැලන්ට්:

හාම්පුතෙක් තමන්ගේ වෙළෙඳාම් කටයුතුවලට විදේශයකට ගියා. ඒ යන්න කලින් ඔහු තමන්ගේ සේවකයන් තුන්දෙනාට කතා කොට, ඔවුන්ට ටැලන්ට් (රන්කාසි විශේෂයක්) එක බැගින් දුන්නා.

කාලයකට පසු ආපිට ආ හාම්පුතා, සේවකයන් තුන්දෙනා කැඳවා, තමන් දුන් ටැලන්ට්වලට කළේ කුමක්දැයි ඇසුවා.

පළමුවෙනි සේවකයා, තමන් ඒ ටැලන්ට් කාසියෙන් කා බී විනෝද වුණු බව කීවා.

දෙවෙනි සේවකයා හනික මිදුලට දුව ගොස්, ගළක් යට ප්‍රවේසමෙන් තබා තිබූ ටැලන්ට් කාසිය රැගෙන ඇවිත් හාම්පුතා ට පෙන්නුවා.

තුන්වෙනි සේවකයා, තමන්ට දුන් ටැලන්ට් එකෙන් වෙළඳාමක් පටන් ගෙන දියුණු කර, එයින් උපයාගත් ටැලන්ට් මල්ලක් හාම්පුතාට දුන්නා.

මේ ලෝකයේ මිනිස්සුත් ඔය තුන් විදිහට අයත්. තමන්ට සහජයෙන් ලැබෙන කුසලතා නාස්ති කර විනාශ කරගන්නා අයත්, ඒ කුසලතාවන් හංගාගෙන තබාගෙන ඉන්නා අයත්, කුසලතාවන් ක්‍රියාවේ යොදවා දියුණු කරගන්නා අයත් වශයෙන්.


උපමා කතා තුනක් ලියන්නට ඉඳගත්තත්, බෝනස් හැටියට පහත කතාවත් කියවන්නට ඔබට අවස්ථාව ලැබෙනවා. ඒ, මේ උපමා කතා ලියද්දී මතක් වුණු විහිලු කතාවකුත් ලියා තියන්නට හිතුණු නිසා.

අකීකරු පුත්‍රයා:

එක් පොහොසත් මිනිසෙකුට අකීකරු පුතෙක් උන්නා. ඔහු තමන්ගේ පියාගේ ගොවිපළේ වැඩ කරනවා වෙනුවට, සල්ලි ටිකකුත් අරන් වෙනත් ප්‍රදේශයකට පැන ගියා.

තමන් ගෙනා සල්ලි ඉවර වෙන තුරු කා බී විනෝද වුණු ඔහු, මුදල් ඉවර වුණු පසු වෙනත් මිනිසෙකු ගේ ගොවිපොළක වැඩට ගියා.

ඔය අතර දුර්භික්ෂයක් ඇති වුණා. අර පුත්‍රයාට කන්නට සුදුසු දෙයක් ලබා ගන්න බැරි වුණා. ඔහුට කන්නට ලැබුණේ ඔහු වැඩ කළ ගොවිපොලේ ඌරන්ට කන්නට දමන ආහාර. 

ටික දවසක් ගත වෙද්දී ඔහු කල්පනා කළා, තමන්ගේ පියා ළඟ සිටිය කාලයේ හොඳින් කන්න බොන්න ලැබුණා. නමුත් පියාට අකීකරු වී පැනලා ඇවිත් සේවකයෙක් හැටියට සත්ත්ව ආහාර කමින් දුක් විඳිනවා. ඊට වඩා හොඳයි ආපසු පියා ළඟට ගිහින් සමාව ඉල්ලන එක.

එහෙම හිතා ඔහු ආපහු පියා ළඟට ගියා. ගිහින් කීවා, "තාත්තේ, මට සේවකයෙක් හැටියට සළකන්න. මම ඔබට විරුද්ධ වුණු නිසා..." කියා.

නමුත් තාත්තා ඔහු දැකලා ඉතා ම සතුටට පත් වුණා. ඔහු අනික් මිනිස්සුන්ට කෑ ගසා කීවා, "මෙන්න, මම මැරුණා කියා හිතාගෙන හිටි පුතා ආපිට ඇවිත්. මෙයා පිළිගන්න උත්සවයක් පවත්වමු. මම භෝජන සංග්‍රහයකට කියා තර කළ වස්සා දැන් මරන්න." 

ඒ ඇසුණු ඔහුගේ වැඩිමල් පුතා අමනාපයෙන් තාත්තා ගෙන් මෙහෙ ම ඇහුවා. "තාත්තේ, මම ඔබට අකීකරු නොවී, ඉතා ම කීකරු විදිහට වැඩ කරනවා. නමුත් මේ අකීකරු වෙලා පැනලා ගිය මල්ලි ආපසු ආවම ඔබ ඔහු පිළිගන්න හරකෙකුත් මරලා උත්සව පවත්වනවා..."

තාත්තා කීවා, "ඔව් පුතේ. හොඳ මිනිසුන් දාහකට වඩා, නරකට හැරී සිට, වැරදි තේරුම් ගෙන පසුතැවිලි වී ආපිට හොඳ අතට හැරෙන එක පවුකාරයෙක් උතුම්..."


ඔය කතාව ඉස්කෝලෙ දී කියා දුන්නු ටීචර් කෙනෙක් ඇහුවා "අකීකරු පුතා ආපහු ගෙදර ආ එක ගැන අමනාප වෙන්නේ කවුද?" කියලා.

එක ගෑණු ළමයෙක් අත උස්සගෙන නැඟිටලා කීවා...

"ටීච ටීච... තරකළ වස්සා" කියලා.


ඔබ සැමට සාමය සහ සමාදානය උදාවන සුභ නත්තලක් වේවා!

Sunday, December 18, 2022

හද පියුමේ කරුණා සුවඳ තවරාලූ ගුණෙ අයියා ට...


අපි පොඩි කාලේ, සංගීත වේදිකාවේ උන් වීරයා නිහාල් නෙල්සන් ය. කුඩා සිරුරක් තිබුණ ද, තමන්ගේ ගීතය ප්‍රේක්ෂකයා වෙත ඉදිරිපත් කිරීමෙහි දී ඔහු පෑවේ අපූර්ව දක්ෂතාවකි. ඔහු එය කළේ ආයාසයෙන් නොවේ. ඒ ඔහු තම ගීතය රසවිඳි ආකාරය ම ය. විශේෂයෙන් ඔහුගේ මයික්‍රෆෝනය අතින් අතට මාරු කිරීම, අත වටා කරකැවීම ආදී ඇක්ෂන් අපි කුඩා උන් ලෙසට බලා සිටියේ මවිතයකිනි.

අපි ගැටවර වියට එළඹෙන කල, නිහාල් නෙල්සන් තුළ පැවති අව්‍යාජ කතිකත්වය සහ සියලු දෙයෙහි සුභවාදී පැත්ත හුවා දැක්වීම මා හට නිරීක්ෂණය විය. ඔහු වේදිකාවට නැඟ, ඔහු හඳුන්වාදුන් නිවේදකයා, සංගීත කණ්ඩායම, අනුග්‍රාහක ආයතන, සංගීත සංදර්ශනය පවත්වන ප්‍රදේශයේ ජනතාව මෙන් ම විකාශය කෙරෙන රූපවාහිනී නාළිකාව ද නොමද අගැයීමකට ලක් කරයි. 

මේ ඊට උදාහරණයකි...


බයිලා යනු උසස් රසවින්දනය නොවේ යැයි බෙදීමක් පැවති කාලයක මතු වී, "ඇරපං කරාමේ - මේක අපේ පයිප්පේ" "මම දැම්මෙ පොල් එකයි - පොල් එකයි" වැනි ගීත ගයන්නට ඔහු තුළ තිබූ එඩිතරබව හෝ, ප්‍රබුද්ධ / පීචං බෙදීම ගණන් නොගැනීම ද අයෝමය ගතියක් ලෙස පෙනේ.

"එයාලා කියන ගීත ප්‍රබුද්ධයි - අපි කියන ගීත පීචං" යැයි ජෝතිපාල කියද්දී, "එයාලා ගයන ගීත ප්‍රබුද්ධයි නං අපේ ගීත සුප්‍රබුද්ධයි" යැයි කියන්නට ආත්ම විශ්වාසයක් මේ කුඩා මිනිසා තුළ පැවතුණේ ය.

ඔහුගේ ගීතවලින් වැඩිහරිය සමාජයේ පැවති යම් යම් කොටස් ස්පර්ෂ කරවන නිර්මාණ වීම ද තවත් විශේෂත්වයකි. "මේ කුඩු අත් ඇරියේ නැත්නම් මගෙ රට කුඩේ කුඩු" / "එපා එපා මස් කන්නට කිරි අම්මාගේ" / "මවු මහිමය මතු කොට" (දරුවන් විදේශයට විකිණීම ගැන) ආදී නිර්මාණවලින් සමාජ ප්‍රශ්න ගැන ද සඳහන් කරමින් ඔහු විශ්වාස කළ හැටියට සමාජයේ ගමන වෙනස් කිරීමට වෑයම් කළ බව ද පෙනේ. 

එසේම, ඔහු ගීත වැඩිහරියක් මඟින් සමාජයේ මතුපිටට ඉස්මතු නොවන පහළ සමාජ ස්තර පිළිබඳව ද කතා කරයි. විශේෂයෙන් ඔහුගේ "ගුණෙ අයියගෙ කාමරේ" යනු විචිත්‍ර නිරූපණයකි. 


සොමියට වරෙන් පුතා අගුලු දාලා නෑ දොරේ
අහපන් රියල් කථා ගුණෙ අයියගෙ කාමරේ
හිටපන් සයිඩ් එකෙන් වාඩි වෙලා සුමිතුරේ
මස්කට් පැණි බූන්දි තියෙනවා මගෙ කාමරේ

මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ //

පච්ච සිරාලා එතකොට කොච්චි එලාලා
ගුස්පි රොබාලා එයි මෙහෙ සොමිය සොයාලා
සැප විදලා මෂා වෙලා පීචං වීලා
කැපිලා යන්නෙ සක්විති සුව මෙහෙන් වළඳලා
නළුමන්ලා නිලිමන්ලා කැමරා කටාලා
අලිවංශෙන් වැඩ පෙන්වන සුපර් මෑන්ලා
බර පොරවල් ෆොරින්ස් කකුල් එකට වැටීලා
Two Thousand Three Thousand යයි විසිකරලා

මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ //

ටින්කිරි ටින් එකෙන් නැතිනම් ටොනික් ඩප්පියෙන්
ෆේස් ටු ෆේස් එනවා නම් වැඩ අතින් පයින්
සෙවල කිරල වැක්කෙරුවොත් තෙල් වීදාගමින්
වැලි ගල් කටු බොරු නෑ මගෙ වැඩ රාත්තලෙන්
කොත නම් කොත කුරුස වලට මගෙ ළඟ ඉඩ නැත
ඔය කාගෙත් වතගොත මගෙ ෆයිල් එකේ ඇත
දුකට සැපට මම එන්ටර් මම නැත බොරු ගොත
බ්ලේඩ් වලින් කැපෙන්නෙ නෑ කෙනෙකුගෙ හොඳ හිත

සොමියට වරෙන් පුතා අගුලු දාලා නෑ දොරේ.......

ගුණේ අයියගේ කාමරය සියලු දෙනා ට නිර්බාධව වවෘත ස්ථානයකි. විනෝදාස්වාදය පතා එයට ඇතුල් වන උදවියට අවශ්‍ය විය හැකි සියල්ල එහි ඇත. "මස්කට්, පැණි බූන්දි" ආදිය ප්‍රිය වන්නේ මත්ලෝලීන්ට ය. (නිදි ඒ ගැන යම් සඳහනක් කර තිබුණා)

ගුණේ අයියගේ කාමරයට විවිධාකාර චරිත ඇතුල් වෙති. සමහරුන් කැපී යන අතර, දළ කාරයෝ නිර්ලෝභීව මුදල් වියදම් කරති. 

අවසාන අන්තරා කොටසින් කියවෙන්නේ ගුණෙ අයියගේ ඇති සෘජු ගති ගුණ සහ හොඳ හිත ගැනය.

මෙකී සියලු නිර්මාණ අතර, මා කුඩා කල සිට ම හදවතට පිහි පාරක් මෙන් ඇණී ඇති එක් ගීතයක් වෙයි. ඒ "කරුණා සුවඳ තවරාලූ..." ගීතයයි.


මෙහි පදමාලාව නිහාල් නෙල්සන් සමඟ වර්නන් පෙරේරා විසින් ලියැවී ඇති අතර, තනුව නිහාල් නෙල්සන් ගේ ම ය. බයිලාවක් කිව නොහැකි තරම් ලයාන්විත සංගීතය ලාල් තේනබදු විසිනි.

ගායනය පමණක් ගත්ත ද, මේ ගීතයේ සමහර වචන, නිහාල් නෙල්සන් ආදරය කවමින් ඇද සුරතල් කරමින් ගායනා කරයි. එමතු ද නොව, මේ ගීතයේ දී නිහාල් නෙල්සන්ගේ වචන භාවිතය ද ඉතා උසස් වේ. ගුණෙ අයියාගේ කාමරේ ගැන කියද්දී ඊට සුදුසු වචන භාවිත කරන ඔහු මෙතැන දී, "හද පියුමේ" "උල්පත සැනසීමේ" "ඔබ මතු බුදු වී දහම් දෙසන විට මමත් නිවන් දකිනෙමි අම්මේ" වැනි ඉතා සුමුදු සහ අරුත් බර යෙදුම් භාවිත කරයි.

අම්මා ළඟ යම් යම් අවස්ථා වලදී අපි කවුරුත් පොඩි ළමයින් වෙමු. නමුත් අම්මා නැති කල...? අපේ ජීවිතවල දුෂ්කර අවස්ථාවල දී පෙර ලෙස දුවගෙන ඇවිත් අම්මා කියන්නේ කාට ද?

ජීවිතය කෙළවර වීම අනපේක්ෂිත වන්නා සේ ම, මේ ගීතයත් අවසාන පදයේ මැදක් හරියට එනතුරු ම සුපුරුදු රිද්මයෙන් ගැයී, එක වර ම අවසන් වෙයි.

ඒ වගේ අව්‍යාජ, සොඳුරු සංගීත ශිල්පියෙක් හැටියට අපි අද පෙන්වන්නේ කාව ද?

විශාල පෙරළියක් කළ, ගීත කැසට් සහ ගීත එකතු සියයකට වැඩි ගණනක් දායාද කළ, පුංචි යෝධයාහට සුව නින්දක් ප්‍රාර්ථනා කරමු.

Tuesday, December 6, 2022

පෙරකොදෝරු සහ දේශපාලු කතා

හිටපු ජනාධිපති/අගමැති/පා.ම. ගරු මැතිතුමෙක් මිය ගියා. මිය ගිහින් එයාගෙ ආත්මය ගියා චිත්‍රගුප්ත ගාවට. කවුද චිත්‍රගුප්ත? එයා තමයි යම රජුගේ ලේකම්.

//උපුටා ගැනීම //

//ඉන්දියානු පුරාවෘත්තයට අනුව චිත්‍රගුප්ත යනු මිනිසුන්ගේ ක්‍රියාවන් පිළිබඳ සම්පූර්ණ වාර්තා තබා ඔවුන්ගේ කර්මයට අනුව ඔවුන්ට විපාක දීමේ කාර්යය පැවරී ඇති හින්දු දෙවියෙකි’ චිත්‍රගුප්තට පැවරී ඇත්තේ මිනිසුන්ගේ ක්‍රියාවන් මත පදනම්ව ඔවුන්ගේ මරණයෙන් පසු ස්වර්ගයට හෝ නිරයට යනවාද යන්න තීරණය කිරීමයි’ චිත්‍රගුප්ත යනු බ්‍රහ්මයාගේ දහහත්වැනි මානසපුත්‍ර වේ’ ඔහු බ්‍රහ්මගේ ආත්මයෙන් සහ මනසින් මවා ඇති බව විශ්වාස කෙරෙන අතර ඒ අනුව බ්‍රාහ්මණයකු මෙන් වේද ලිවීමේ අයිතිය ඔහුට ලබා දී ඇති අතර ක්ෂත්‍රියකුගේ රාජකාරිය ද පැවරී තිබේ’//

චිත්‍රගුප්ත කිව්වා දේශපාලු තුමාට, "අපේ සිස්ටම් එක පොඩ්ඩක් අප්ඩේට් කරල තියෙන්නෙ, දේශපාලනඥයන් වෙනුවෙන්. දැන් අපි පැය විසි හතරක් එතුමාලට අපායෙ ගත කරන්න අවස්ථාව දෙනවා. ඊට පස්සෙ ඔබතුමාට තෝරාගන්න අවස්ථාව ලැබෙනවා, අපායට යනවද, දිව්‍ය ලෝකයට යනවද කියලා"

දේශපාලු තුමාට පුදුමයි. නමුත් එතුමා ඒකට කැමති වුණා. එක පාරට ම හාත්පස අඳුරු වෙලා, ආපහු අවදි වෙනකොට එතුමාගෙ ඇඟට දැනුනේ විල්ලුද වගේ සුවපහසු බවක්. එයා ඇස් දෙක තදින් පියා ගත්තා, මිනිස්සු වේදනාවෙන් කෑ ගහන සද්ද අහන්න අපේක්ෂාවෙන්, නමුත් ඇහුණේ බොහොම මෘදු සංගීතයක් විතරයි. මස් පිච්චෙන ගඳ අපේක්ෂා කළාට, දැනුණේ බාබකිව් එකකින් නැඟෙන, සෝස් මිශ්‍ර මස් රෝස්ට් වෙන සුවඳ.

"නැඟිටින්න හිටපු ජනාධිපතිතුමනි." ඉතා මිහිරි කටහඬක් ඇහිලා දේශපාලු තුමා ඇස් ඇරලා බැලුවා. සුරංගනාවියන් වගේ පෙනුම තිබුණු ගෑණු ළමයි දෙන්නෙක් අත දික් කරලා එතුමා ව නැඟිට්ටෙව්වා. එතුමා මෙතෙක් ඉඳලා තිබුණේ පිහාටු වගේ මෘදු ඇඳක. ඔහු දැක්කේ තරු හතේ හෝටල් කාමරයක්. 

"මම මේ කොහෙද?"

"අපායෙ" ගෑණු ළමයින්ට පිටුපසින් හිටපු උස මහත පිරිමියෙක් උත්තර දුන්නා බොහොම ගැඹුරු කටහඬකින්. "මම තමයි යම රජු. වෙල්කම්..."

එතන ඉඳන් දේශපාලු තුමාට ඉතාම ඉහළ මට්ටමේ සැළකිල්ලක් ලැබුණා. උසස් වර්ගවල ඇල්කොහොල්. විශිෂ්ඨ විදිහට පිස තිබූ කෑම බීම. ඇසුරට ලස්සන තරුණ ගෑණු ළමයි...

ඔහු සිටි හෝටල් කාමරයට ඉහළ මහලේ තිබුණ‌ෙ අපාය ක්ලබ් එක. අවසානයේ ඔහු නින්දට වටෙද්දී සිටියේ ඒ ක්ලබ් එකේ.

ඇහැරෙනකොට නැවතත් ඔහු චිත්‍රගුප්ත ගාව.

"ඉතින්... මොකද හිතන්නෙ?" චිත්‍රගුප්ත ඇසුවා. "ඔබ දිව්‍යලෝකයට යනවද? එතැන මෝසාට් ගේ සංගීතය. පළතුරු සහ නැවුම් එළවළු. කෙලි දෙලෙන් ගතකරන සාවුන්, බැටළුවන් සහ මුවන්..."

"හා පෝ...! හරිම බෝරිං... නෑ. නෑ. මම කැමතියි අපායට"

කටකොණකින් හිනාවුණු චිත්‍රගුප්ත, තමන් අතේ තිබුණු මහ පොතේ සටහනක් යෙදුවා. ඒ විගස හාත්පස අඳුරු වෙලා, දේශපාලු තුමා ආපහු ඇහැරුණේ ඉවසන්න බැරි තරමේ උණුසුමක් තිබූ පරිසරයකට.

විළාප හඬ හැම තැනම. බැලූ බැලූ අත දකින්න තිබුණේ ගින්නෙන් පිළිස්සෙන, යකඩ කියත්වලින් කැපෙන, ගිණියම් කටුවල ඇමිණෙන, මිනිස් සිරුරු.

"මේ මොකද්ද මේ?" දේශපාලු තුමා පුදුම වෙලා කෑ ගැහුවා. "කෝ මට ඊයෙ පෙන්නපු හෝටල් කාමරය? කෝ ක්ලබ් එක?"

"ආ... ඒ අපේ ප්‍රචාරක ව්‍යාපාරය." යම රජු කීවා. "දේශපාලු පවුකාරයෙක් තෝරා පත් කරගන්න තිබුණු කැම්පේන් එක ඉවරයි. අපි ඔබ තෝරා පත් කරගත්තා."

*    *    *

දවසක් මිනිහෙක් වෑන් එකක් පදවගෙන යනවා, ගමනක්. (ගමනක් නැතුව නින්දක් යනවෑ වෑන් එකක් එළවගෙන?) එහෙම යද්දි එයා දකිනවා, ලෝයර් කෙනෙක් පාර අයිනෙ හිටගෙන ඉන්නවා. ඉතින් සමාජයට මෙහෙවරක් කරන්න කියලා හිතාගෙන අර මනුස්සයා වාහනේ ඇඟට කපලා අර ලෝයර්ව යටකරගෙන යනවා. තව ටික දුරක් යද්දි මේ මනුස්සයා දකිනවා තවත් කළු කබා කාරයෙක්. ඉතින් තවත් සමාජ මෙහෙවරක් කරන්න කියලා ඇඟට කපන්න යද්දි ම තමයි එයා දකින්නෙ, ඒ ෆාදර් කෙනෙක් කියලා. ඉතින් පොඩ්ඩක් නතර කරලා ෆාදර්වත් වාහනේට නග්ග ගන්නව, ලිෆ්ට් එකක් දෙන්න.

ඔන්න ඉතින් ඔය විදිහට ඒ දෙන්නා යන්න පටන් ගන්නව ආපහු. ඒ යද්දි ප්‍රසා දකිනව පාර අයිනෙ ඉන්න තවත් කළු කෝට් කාරයෙක්ව. ‍මේ පාර හොඳට ම බලලා සැක ඇර ගන්න මිනිහා, තවත් සමාජ සත්කාරයක් කරන්න හිතාගෙන අරූ ගෙ ඇඟට කපනව. එතකොට ම තමා ප්‍රසා ට මතක් වෙන්නෙ "යකෝ! වාහනේ ෆාදර් කෙනෙක් ඉන්නව නේද" කියලා. 

ඉතිං අරූ යට වෙන්න ඔන්න මෙන්න තියෙද්දි ප්‍රසා ආපහු හරව ගන්නව වෑන් එක. ඒ උන්දැට ඇහෙනව "තඩ්" ගාලා සද්දයක්. පස්ස බලන කණ්ණාඩියෙන් බලනකොට, ප්‍රා ඉන්නව පදික වේදිකාවෙ වැටිලා ඇද වෙලා. ඉතිං ප්‍රසා කියනව වම් පැත්තට ඔලුව හරවලා, 

"අනේ සොරි ෆාදර්. මට එක මොහොතකට පොඩි මිස් එකක් වුණා. ඒත් මං හිතුවා අර ලෝයර් මහත්තයා වාහනේ හැප්පෙන එකක් නෑ කියලා."

"ඔව්. ඔව් මහත්තයා." ෆාදර් හිනා වෙලා කියනවා. "මාත් හිතුවා එයා බේරෙයි කියලා. ඉතිං මං එකපාරටම දොර ඇරලා වැහුවා, අඩුගානෙ දොරේවත් හැප්පෙන්න කියලා."

*    *    *

ප්‍රාදේශීය  සභාවෙ සභාපතිතුමා පන්සලට ගියා. පන්සල් ගිහිං හිටපු අසංගට කෝල් එකක් ආවා. කෝල් කළේ අජිත් කියලා, අසංගගෙ හොඳ ම යාළුවෙක්.

"අහවල් සභාපතිතුමා ආව නේද පංසලට?"

"ඔව් මචං" අසංග කිව්වා. 

"මචං මං සභාපතිතුමාගෙ වයිෆ් ඉස්සුවා රූම් එහෙකට. උඹ පුළුවන් තරං වෙලාවක් ඔය යකා පන්සලේ ම තියාගනිං." අජිත් කෝල් එක කට් කළා.

ඉතිං අසංගත් සභාපතිතුමාගෙ පස්සෙන් වැටුණා. සභාපතිතුමා වතාවත් කරලා, ලොකු හාමුදුරුවොත් හම්බුවෙලා, ආවාස ගෙයිං එළියට එද්දි, අසංගත් අරූ එක්ක හොඳටම ෆිට් වෙලා. 

ඉතිං දෙන්නා කතාවට වැටුණා. ගෑස්, විදුලිය, ටීචර්ලට සාරි ඇන්දවීම, අයියෝ හාමිනේ, එක්ලක්ෂ හැටදාහක අවයව පරිත්‍යාගය ආදී ට්‍රෙන්ඩ් වෙච්ච හැම මාතෘකාවක් ම කතා කළා.

සභාපතිතුමා එක පාරටම ඇහුවා, "අසංග මහත්තය මාත් එක්ක හොඳට දන්න අඳුනන උදවිය වගේ සෑහෙන වෙලාවක් කතා කළානෙ?" කියල.

අසංග හෙණ අවංකය නෙ. උන්දැට එකපාරටම බොරුවක් ගොතාගන්ඩ බැරි උනා. ඉතිං ඌ ඇත්ත ම කිව්වා. 

"සභාපතිතුමා, මගෙ යාළුවෙක් ඔබතුමාගෙ වයිෆ් ඇදලා රූම් එහෙකට. මට කිව්වා පුළුවන් තරං වෙලා ඔබතුමා පන්සලේ පරක්කු කරගන්ඩ කියලා."

සභාපතිතුමා හිනා වුණා. පස්සෙ අසංගගෙ කරට අතත් දාගත්තා.

"අනේ බං. උඹ පොඩ්ඩක් හොයල බලහං ඔය යාළුව ඉන්න තැනයි, උඹේ වයිෆ් ගෙදර ඉන්නවද කියන එකයි... මගෙ වයිෆ් ගිය අවුරුද්දෙ මැරුණෙ."

---------//---------

ඉහත සඳහන් එකෙක්ගෙන්වත් පිහි පාරක් නොකෑවොත් කමෙන්ට් කියවන්ඩ එන්නං.

Thursday, December 1, 2022

මල්බෙරි පඳුර වටේ යාම, වයසක මිනිසා සහ වීසල්... ළමා කවියක අඳුරු ඉතිහාසය.

බටහිර ළමා කවිවල ඉතිහාසය ගැන මීට කලින් ලියූ ලිපිවල තවත් කොටසක් හැටියට, අද මම ඉදිරිපත් කරනවා තවත් කවි කීපයක්.

මෙන්න පළමුවෙන් ම, මල්බෙරි පඳුර වටේ යාම...

මේ කවියේ විවිධ එකතු කිරීම් සහ විවිධ පදවැල් තිබුණත්, ඒ සියල්ල පටන් ගන්නේ මල්බෙරි පඳුර වටේ යාමෙන්. ඒ කවියේ තේරුම ගැන මත දෙකක් තිබෙනවා.

ආර්. එස්. ඩන්කන් වැනි ඉතිහාසඥයන් අදහස් කරන්නේ 18 වන සියවසේ වේක්ෆීල්ඩ් සිරගෙයි තිබූ සිරිතක් ගැන මෙයින් කියවෙන බව. ඒ කියන්නේ, එම සිරගෙයි රඳවා සිටි කාන්තා රැඳවියන් මල්බෙරි පඳුරක් වටේ ව්‍යායාම කරවීම මෙයින් අදහස් කෙරුණු බව.

තවත් අදහසක් වන්නේ 18 වන සහ 19 වන සියවස්වලදී බ්‍රිතාන්‍යයේ සේද නිෂ්පාදනය කිරීමට දැරූ ප්‍රයත්නය මෙයින් අදහස් වන බව. කෙසේ වෙතත්, බ්‍රිතාන්‍යයේ ශීත සෘතුව මල්බෙරි ශාකයේ ව්‍යාප්තියට හිතකර නොවූ නිසා, ඒ ප්‍රයත්නය ව්‍යර්ථ වුණා.

*    *    *

මේ වයසක මිනිසා...


මේ කවිය (කවි පෙළ) ගොඩක් දිගයි. ඒ වගේ ම ළමයින්ට උච්ඡාරණය හුරු කරවන්න භාවිත කරන බව තැන් කීපයක ම දැක්කා. මේක වේගයෙන් ගායනා කරද්දී, "නික් නැක් - පැඩිවැක්" වගේ යෙදුම් කියවීම මඟින් කුඩා ම ළමයින් ගේ ඉංග්‍රීසි වචන කියවීමේ හුරුව ඇති වන බව පෙනෙන්නට තියෙනවා.

අයර්ලන්තයේ වාසය කළ අපචාරී මහළු මිනිහෙක් ගැන මේ කවියෙන් කියවෙන බව විශ්වාස කරනවා. ඔහු තමන් වාසය කළ නිවස ළඟින් යන ළමයින් රවටා පැඩි වැක් සෙල්ලම කරන්නට අඬ ගසා ගන්නවා. ඔහු ගැන අනෙක් පුද්ගලයන් සහ ළමයින් ට අනතුරු ඇඟවීමට මේ කවිය භාවිත කළ බව විශ්වාස කරනවා.

*    *    *

පොප් ගෝස් ද වීසල්...


මේ කවිය හරිම විනෝද බර කවියක්. ඒ වගේ ම, පොප් ගෝස් ද වීසල් කියන පදය සාමාන්‍ය කථා ව්‍යවහාරයෙදිත් "ඒ පැත්ත බලල - මේ පැත්ත බලනකොට" වගේ තේරුමක් දෙන්න භාවිත කරනවා. බ්‍රිතාන්‍යයේ සහ ඇමරිකාවේ මේ කවියේ වෙනස් වෙනස් ක්‍රම දෙකක් පවතිනවා. මේ තිබෙන්නේ බ්‍රිතාන්‍යයේ ව්‍යවහාර කවිය:


Half a pound of tuppenny rice,
Half a pound of treacle.
That’s the way the money goes,
Pop! goes the weasel.

Up and down the City road,
In and out the Eagle,
That’s the way the money goes,
Pop! goes the weasel.

පැන්ස දෙකක හාල් වලට පවුං බාගෙයක්
පැණිවලට පවුං බාගෙයක්
සල්ලි යන්නෙ ඔය විදිහටයි
ඒ පැත්ත බලලා මේ පැත්ත බලනකොට

නගරේ පාරේ උඩට පහළට
ඊගල් එකේ ඇතුළට එළියට
සල්ලි යන්නෙ ඔය විදිහටයි
ඒ පැත්ත බලලා මේ පැත්ත බලනකොට

මේ කවියෙන් එංගලන්තයේ තිබුණු දුප්පත්කම ගැන කියවෙන බව විශ්වාස කරනවා. මෙහි, උකුස්සා හෙවත් ඊගල් යන පදයෙන් උතුරු ලන්ඩනයේ නගර වීදියේ පිහිටි ඊගල් තැබෑරුම හැඳින්වෙනවා. ඒ වගේ ම, පොප් කියන පදයෙන් උකස් කිරීම අදහස් වෙනවා. වීසල් යන්නෙන් කබාය හැඳින්වෙනවා. ඒ අනුව, එදිනෙදා කෑම බීමට සහ පොඩි අඩියක් ගැසීමට කබාය උකස් තියන්නට වෙන තත්ත්වයක් ගැන මෙයින් අදහස් කෙරෙනවා කියා හිතන්නත් පුළුවන්.

දුප්පත් අය නිතර තැබෑරුමට ගිහින් අතේ තිබෙන තුට්ටු දෙක අවසන් වෙන තුරු බීලා, අවසානයේ ඉණ ඉහ උකස් තබන තත්ත්වයට පත් වෙන බවත් මෙයින් අදහස් වෙනවා කියා හිතන්න පුළුවන්.

මූලාශ්‍ර:

https://www.bbc.com/culture/article/20150610-the-dark-side-of-nursery-rhymes

https://cafemom.com/parenting/meanings-nursery-rhymes-lullabies/

http://nurseryrhymesforbabies.com/history-of-this-old-man-song-2


කලින් ලියූ ලිපි

හේ ඩිඩ්ල් ඩිඩ්ල්

බා බා බ්ලැක් ෂීප්, අන්ධ මීයො තුන් දෙනා, ජැක්   සහ ජිල්

ලන්ඩන් පාලම, වයසක හබර්ඩ් අම්මා, හට්ටි ඩම්ටි 

රිං අරවුන්ඩ් ද රෝසීස්, ගූසි ගුසි ගැන්ඩර්, රොක් අ බයි බේබි

සපත්තුවේ ආච්චි, හිකරි ඩිකරි ඩොක්, මෆීන් මෑන්

ජැක් බි නිම්බල්, ජැක් හෝනර් සහ මේරි මේරි

පුංචි මෆිට් මෙනවිය, පැන්ස හයේ සිංදුව සහ වී විලී වින්කී

Thursday, November 24, 2022

හොඳ, නරක, කැත මිනිස්සු


ඇමරිකාවේ 1860 ගණන්වල සිවිල් යුද්ධය පැවති කාලය...

ටූකෝ බෙනඩික්ටෝ පැසිෆිකෝ හුවන් මරිය රමීරස්: එක්සත් ජනපදයේ කවුන්ටි දා හතරකින් උවමනා කර තිබෙණ; මිනී මැරුම්, මිනිසුන්ගෙන්, බැංකුවලින් සහ තැපැල් කන්තෝරුවලින් ආයුධ සහිතව සොරකම් කිරීම්, පූජනීය දේ සොරකම් කිරීම්, රජයේ බන්ධනාගාරයක් ගිණි තැබීම, බොරුවට දිවුරුම් දීම, බහු විවාහ කර ගැනීම්, භාර්යාව සහ දරුවන් අත්හැර යාම, ගණිකා වෘත්තියට පෙළඹවීම හෝ බල කිරීම, පුද්ගලයන් පැහැරගෙන යාම, දේපළ පැහැරගැනීම, සොර බඩු භාර ගැනීම, සොර බඩු විකිණීම, ව්‍යාජ මුදල් හුවමාරුව, සළකුණු කළ කාඩ්වලින් සෙල්ලම් කිරීම... ආදී විෂමාචාර රාශියකට වැරදි කරු වන, මරා හෝ පණ පිටින් අල්ලා දෙන්නෙකුට තෑගි මුදල් නියම කර තිබෙන, ඒ වගේම ඉතා ම දරුණු සහ දක්ෂ වෙඩික්කරුවෙක්.


ඔහු කිසිම විශ්වාසයක් තැබිය නොහැකි, තමන්ගේ සගයන් බිලි දී හෝ තමන්ගේ අභිප්‍රාය ඉෂ්ට කරගන්නා කැත මිනිහෙක්. ටූකෝ කැත මිනිහෙක් වුණේ කොහොමද?

ටූකෝ ගේ මල්ලි පැබ්ලෝ රමීරස් හාත්පසින් ම වෙනස්. ඔහු කතෝලික හෝ ක්‍රිස්තියානි සහෝදරතුමෙක්. ඔවුන් දෙදෙනා හමු වුණු අවස්ථාවක මේ ගැන කතා බහක් ඇති වුණා. රමීරස් සහෝදරතුමා තමන්ගේ අයියගේ විෂමාචාරී ජීවිතය ගැන ගර්හාවට ලක් කළ විට අයියා කීවේ මේ වගේ දෙයක්...

"උඹ හිතනවද, උඹ මට වඩා හොඳයි කියලා? අපි ආපු දිහාවේ, කාට හරි දුප්පත්කමෙන් මැරෙන් නැතුව ඉන්ඩ නං, එක්කො පූජකයෙක් වෙන්ඩෝනෙ, නැත්තං ‌අපරාධකාරයෙක් වෙන්ඩෝනෙ. උඹ උඹේ පාර තෝර ගත්තා, මං මගේ පාර තෝරගත්තා. මගෙ පාර තමයි අමාරු. උඹ කතා කරනවනෙ අම්මයි තාත්තයි ගැන... උඹට මතක නෑ උඹ පූජකයෙක් වෙන්ඩ පිටත් වුණාම, මම ගෙදර නතර වුණා. මට වයස අවුරුදු දහයක්, දොළහක්... මට මතක නෑ, නමුත් මම නතර වුණා. මං උත්සාහ කළා, ඒත් ඒකෙන් වැඩක් වුණේ නෑ. මං දැන් උඹට දෙයක් කියනවා... උඹ පූජකයෙක් වුණේ, මං කරන දේ කරන්න බයගුල්ලෙක් වුණ හින්දා..."


සෙන්ටෙන්සා හෙවත් ඒන්ජල් අයිස් ඉතාම දක්ෂ සහ නපුරු වෙඩික්කාරයෙක්. ඔහු කුළියට මිනී මරන්නෙක් හැටියටත් කටයුතු කළා. 

පුද්ගලයන් කීප දෙනෙක්, සොරකම් කරගත් ඩොලර් ලක්ෂ දෙකක මුදලක් යම් තැනක සඟවා තිබෙණවා. ඒ සඟවා ඇති තැන දන්නේ ජැක්සන් නම් ඒ කණ්ඩායමේ සාමාජිකයෙක්. බේකර් නම් තැනැත්තා ඒන්ජල් අයිස් ට කොන්ත්‍රාත්තුවක් දෙනවා, ජැක්සන් සොයාගන්න. ඒ සඳහා ඔහු ඩොලර් පන්සීයක් ගෙවන්නට පොරොන්දු වෙනවා. නමුත් ඒන්ජල් අයිස් ට ඔහු සොයාගන්න හැකි වන්නේ නෑ. ඒ ජැක්සන් තම නම වෙනස් කරගෙන සැඟවී සිටින නිසා. 

ඒන්ජල් අයිස් හොයාගන්නවා, ජැක්සන් ඔහුගේ මිතුරෙකු වන ස්ටීවන්ස් ගේ ගෙදරට ඇවිත් ගිය බව.

ඒන්ජල් අයිස්, ස්ටීවන්ස් ගේ ගෙදර ගිහින්, ඔහු කෑමට සූදානම් කරගත් සුප් එකෙන් කොටසකුත් බීලා, ජැක්සන් ගේ අලුත් නම අහනවා. ස්ටීවන්ස් අහනවා, මේ සඳහා බේකර් ඒන්ජල් අයිස් ට කීයක් ගෙවනවා ද කියා. "පන්සීයයි" ඒන්ජල් අයිස් කීවා ම, "එහෙනම් බේකර් මරා දමන්න මම දාහක් දෙන්නම්" කියා ස්ටීවන්ස් ඔහුට මුදල් ‌දෙනවා. ස්ටීවන්ස් කියන දේවලින් ඒන්ජල් අයිස් දැනගන්නවා සැඟවූ මුදල් ගැන. නමුත් ජැක්සන් ගේ නම දැන ගන්න ලැබෙන්නේ නැහැ. ඒන්ජල් අයිස් ස්ටීවන්ස්ට සහ ඔහුගේ පුතුන් දෙන්නාටත් වෙඩි තියලා ආපහු එනවා. 

තම කොන්ත්‍රාත්තුව අකුරට ම ඉටු කරන ඒන්ජල් අයිස්, පළමුව ස්ටීවන්ස් මරණවා. ඉන්පසු බේකර් වෙත ගිහින් තොරතුරු ලබා දී, බේකර්වත් මරණවා.

ජැක්සන්ගේ පෙම්වතියක් ගෙන් ඒන්ජල් අයිස් දැනගන්නවා, ජැක්සන් දැන් භාවිත කරන්නේ බිල් කාසන් යන නම බව. 

ඉතින් බිල් කාසන් සොයාගැනීමට ඒන්ජල් අයිස් ඇමරිකානු රාජ්‍ය හමුදාවට එකතු වෙනවා.

රන්වන් කෙස් ඇත්තා හෙවත් බ්ලොන්ඩි නමින් හඳුන්වන නමක් ගමක් නැති මිනිසා, තමන්ගේ දක්ෂතාවන් භාවිත කරලා ඩොලර් කීපයක් උපයා ගන්න තැත් කරන්නෙක්. ඔහු ටූකෝ අල්ලාගෙන, ෂෙරීෆ්වරයෙකුට භාර දී මුදල් තෑග්ග ගන්නවා. නඩු විභාගයෙන් පසුව, ටූකෝ දෑත් පිටිපස්සට තබා බැඳ, අශ්වයෙකු පිට හිඳුවා, ගසක අත්තක ගැට ගසන ලද තොණ්ඩුවක් ඔහුගේ බෙල්ලට දමා, ඔහු වරදකරු බවට ඔප්පු වූ චෝදනා ප්‍රකාශ කර, අශ්වයාට කෝටුවෙන් පහර දෙනවා. එතැන දී බ්ලොන්ඩි ටූකෝ ගේ ගෙළට දමා ඇති ලණුවට වෙඩි තබා, එය කපා හැර, රැස්ව සිටින පිරිමින්ගේ තොප්පිවලටත් වෙඩි තබා, ටූකෝ බේරාගෙන පළා යනවා. පසුව තෑගි මුදල ඔවුන් දෙකට බෙදා ගන්නවා.

නමුත් ටූකෝ ඒ ගනුදෙනුවේ තමන්ට අයිති කොටස අමාරු නිසා, තෑගි මුදලින් වැඩි කොටසක් අවශ්‍ය බව කියනවා. එයින් මේ දෙන්නා අතර විරසකයක් ඇති වෙනවා.


මේ කතාවට අදාළ වන කාලය, ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිතුමාගේ පාලන කාලයේ පැවති සිවිල් යුද්ධ කාලය. වහල් මෙහෙයට පක්ෂ දකුණේ ජනපද සහ රජයට පක්ෂ උතුරේ ජනපද අතර යුද්ධයක් පැවතුනා. නිල් කබා කාරයන් සහ අළු කබා කාරයන් ලෙස දෙපාර්ශ්වයේ හමුදා හැඳින්වුණේ.

ටූකෝ සහ බ්ලොන්ඩි දෙන්නාට මේ අතර හමුවෙනවා, මරණාසන්නව සිටින බිල් කාසන් හෙවත් ජැක්සන්. ඔහු ඩොලර් දෙලක්ෂය සඟවා ඇති ස්ථානය ටූකෝට කියනවා. එය සොහොන් පිටියක්. ටූකෝ, ඔහුගෙන් වැඩි විස්තර ලබා ගන්නට, ඔහු ප්‍රකෘතිමත් කරන්නට වතුර ගෙන ඒමට ගිය අතරේ, මුදල් සඟවා ඇති මිනී වල කුමක්ද කියා බිල් කාසන් බ්ලොන්ඩි ට කියනවා.

ටූකෝ වතුර ගෙන ඒමට කලින් බිල් කාසන් මිය යනවා. ටූකෝ ඔහුගේ ඇඳුම් ඇඳගෙන, ඔහුගේ නම යටතේ පෙනී හිටින්නට පටන් ගන්නා අතර, මේ දෙන්නා ඒන්ජල් අයිස් ට හමුවෙනවා. බිල් කාසන් අළු කබා හමුදාවේ සිටි අයෙක් වෙද්දී, ඒන්ජල් අයිස් නිල් කබා කාරයන් ගේ හමුදාවේ මායිමක් මුරකරන හමුදා අණු ඛණ්ඩයක සිටියේ.

ටූකෝ පෙනී සිටින බිල් කාසන් යන නම අනුව, මේ දෙන්නා රහස දන්නා බව ඒන්ජල් අයිස් දැනගන්නවා. ඒ රහස දැනගන්නට ඔවුන් සංගීත පෙරෙට්ටුවක් පවත්වනවා. එය මානව දයාව සහ සහකම්පනය දනවන ජවණිකාවක්. 

එහෙම වෙන්නෙ කොහොමද? 

හමුදා කඳවුරේ ප්‍රධානියා ආබාධිතයෙක්. ඔහු සිරකරුවන්ට වධ දීම පිළිබඳව දැඩි විරෝධයක් දක්වනවා. ඒ නිසා සිරකරුවන්ට පහර දෙනවිට ඔවුන් නඟන විළාප නෑසෙන්නට හමුදා කණ්ඩයේ සංගීත කණ්ඩායම පුහුණු කිරීම් ඊට සමගාමීව ම පවත්වනවා. එතැනදී වෙන්නේ මොකක් දැයි හොඳින් දන්නා වයලින් වාදකයෙකුගේ මුහුණින්, ඉතා සංකීර්ණ හැඟීම් මාළාවක් නිරූපණය කරවන්නට අධ්‍යක්ෂවරයා සමත් වෙනවා.


වධ දී, ටූකෝ ගෙන් සුසානභූමියේ නම දැනගන්නා ඒන්ජල් අයිස්, බ්ලොන්ඩි ද කැටුව සඟවා ඇති මුදල් සොයාගන්නට පිටත් වෙනවා. ටූකෝ ත් තමන් සිටින රැඳවුමෙන් පළා එනවා. මේ තුන් දෙනාගෙන් කාට මුදල් සොයාගන්නට හැකි වේවි ද?

හොඳ නරක කැත මිනිස්සු, 1966 දී සර්ජියෝ ලියොන් අධ්‍යක්ෂණය කළ විශිෂ්ඨ නිර්මාණයක්. මේ චිත්‍රපටියට පසුබිම් වන්නේ, චිත්‍රපටය හැදූ කාලයෙන් හරියට ම අවුරුදු සීයකට පෙර කාලය. මිනිසුන්ගේ ඇති සංකීර්ණ චරිත ස්වභාවයන් වගේ ම, යුද්ධයේ ඇති නිරර්ථක සහ බිහිසුණු බව මේ චිත්‍රපටියෙන් ඉතා ම කදිමට නිරූපණය වෙනවා.

ඒ වගේ ම ප්‍රසිද්ධ කියමන් රාශියකුත් මේ චිත්‍රපටියෙන් බිහි වුණා. “මේ ලෝකේ ආකාර දෙකක මිනිස්සු ඉන්නවා...“ “නුඹ වැඩ කරන්නේ ජීවිකාව සඳහා නම්, ඇයි වැඩ කරමින් නහින්න හදන්නේ?“ “සෑම තුවක්කුවක් ම, ඊට ආවේණික හඬක් නඟයි...“ “උඹ වෙඩිතියන්න ආවනං, වෙඩිතියපං. කතා කර කර ඉන්ඩ එපා.“ “ඩොලර් ලක්ෂ දෙකක් කියන්නේ ලොකු මුදලක්. අපිට ඒක උපයගන්න වෙනවා.“ “කාට හරි වැඩි ම ප්‍රමාණයක් මත් පැන් තිබේනවාද? ඔහු සෙබළුන් බීමත් කරවා, මැරෙන්නට පිටත් කරනවා ද? ඔහු තමයි ජයග්‍රාහකයා“ මේ අතරින් කීපයක්.

මේ ලිපිය කියවන බොහෝ දෙනෙක් මේ චිත්‍රපටිය බලා ඇතුවාට සැක නැහැ. (බලා නැත්නම් බාගත කරන්නට සබැඳිය මෙතනින්.) ඒ නමුත් මෙහි ඇති සංකීර්ණත්වය සහ විචිත්‍රත්වය නිසා මේ ලිපිය ලියන්නට ම උවමනා වුණා.

මේ චිත්‍රපටියේ තිර රචනය ඇසුරින් ඩීමන් ආනන්ද පොත් තුනක් නිකුත් කළා. “මිනීමරු ටූකෝ“, “අඩියෝස් සෙන්ටෙන්ෂා“ සහ “හොඳ නරක කැත මිනිස්සු“ මේ පොත් තුන. පසුකාලීනව 2008 දී විතර මේ පොත් තුන එකතු කරලා හොඳ නරක කැත මිනිස්සු නමින් තනි පොතකුත් නිකුත් වුණා. 

Tuesday, November 15, 2022

පෙරකොදෝරු කතා

මෑතක අපේ ප්‍රා ජේ සහෘදයාගේ කමෙන්ටුවකට උත්තර දෙමින් මම කීවේ, ඉස්කෝල මහත්තුරු වගේ ම නීතිඥ ප්‍රජාව ගැනත් රස කතා ඇති බව ය. වැඩ රාජකාරි බහුලකම නිසා ඒ ගැන ලියන්නට පමා විය. පහතින් තියෙන්නේ මම ඇහූ සහ කියවූ කතා ටිකකි.


ප්‍රසිද්ධ ඉංජිනේරු මහත්තයෙක් මැරී අපායේ ගියේ ය. ඔව්. ඉංජිනේරුවොත් යන්නෙ අපායෙ ම තමා. ගිය දා පටන් උන්දැට අපායේ වැඩ පිළිවෙල දියුණූ කරන්න පුළුවන් ක්‍රම පේන්න පටන් ගත්තේය. (කොහොමත් අපි අලුතින් තැනකට ගියා ම එතන සෑහෙන කාලයක් තිස්සේ හිටපු උදවියට නොපෙනෙන අඩු පාඩු පේන්න පටන් ගන්නා එක ස්වභාවයකි. ඒ අනුව අලුත් යෝජනා ඉදිරිපත් කරන විට එතන ඉන්නා ලොක්කාට මළ පනිනා එකත් ස්වභාවයක් බව අපට කියා දුන්නේ නිශාන්ත කමලදාස මහතා ය.) 

ඉතින් හර්ෂණත් යම රජු ෂේප් කරගෙන අපායට නව්‍යතා හඳුන්වා දුන්නේ ය. ලෝ දිය හැලිය සඳහා සෝල පවර් විදුලි උදුනක් සවි කළ ඔහු, කටු ඉඹුලට ලිෆ්ට් එකක් සවිකර යම රජු ගේ කාමරය ඒසී කළේ ය. පවු කාරයන් දෙකට ඉරන්නට යමපල්ලන්ට චේන් සෝ ලබා දුන් අතර, බොරු කියා අපායට ආ පවු කරයන්ට ගිල්ලවන්නට ලේසියෙන් ම රත් කරන්නට හැකි ටංග්ස්ටන් සහ තඹ මිශ්‍ර ඇලොයි ගුලි තනා දුන්නේ ය.

ඔය විදිහට නව්‍යතා කරගෙන යද්දී දිවිය ලෝකයේ සක්කර දෙවියන්ටත් ඔය ඉංජා ගේ සේවය ලබා ගන්නට හිතුණේ ය. ශ්‍රක්‍ර දෙවියා අයිඩීඩී කෝල් එකක් ගෙන යම රජු ඇමතුවේ, ඉංජා ගේ සේවය වැඩ බලන පදනමින් සතියට දින දෙකක් තුනක් සඳහා දිව්‍ය ලෝකයට ලබා ගන්නටය. යම රජ්ජුරුවෝ ඒකට අකමැති විය.

යාප්පුවෙන් හොඳ හිතින් ඉල්ලා බැරිම තැන ශක්‍ර දෙවියෝ යම රජ්ජුරුවන්ට පාට් එකක් දැම්මෝ ය. 

“හොඳ හිතින් දීපන් ඔය ඉංජව අපට, නැත්තං වැඩේ වරදියි!“ 

“ඇයි මල්ලි, මොකද කියන්නෙ?“ යම රජ්ජුරුවෝ ද බය උනේ නැත. “දෙන්නෑ! උඹට ඕන්නං නඩු කියපං!“

“නඩු? මං කොහොම ද යකෝ නඩු කියන්නෙ?“ ශක්‍ර දෙවියොත් ඇහුවා. “ඔක්කොම ලෝයර් ලා, නඩු කාරයො ඉන්නෙ උඹ ගාවනෙ...“

මේ ආශ්‍රිත ස්ටේජ් ප්ලේ එකක් තියෙනව රෝවන් ඇට්කින්සන්ගෙ. බකුසු හාමි මතක් වෙන්ඩත් එක්කල මං පහළින් දැම්මා ඒක...


(වැඩේ තියෙන්නෙ, පරණ එක හොයද්දි අලුත් එකකුත් තියෙනව. මේකෙන් පේනව එකම විහිළුව තව තවත් අලුත් කරන්න රෝවි ගෙ තියෙන අසීමිත හැකියාව...)


*    *    *

දවසක් ලෝයර්ලා කීප දෙනෙක් සම්මාදමේ ගියා, පොහොසත් මුදලාලි කෙනෙකුගේ ගෙදරට. මුදලාලි ඇහුවා ඇයි කියලා.

“දුප්පත් ලෝයර් කෙනෙක් මැරිලා. අපි මේ එයාගෙ භූමදානෙ ට සල්ලි එකතු කරනව.“ එක ලෝයර් කෙනෙක් කිව්වා.

“ආ... ඇත්තද? මං කීයක් දෙන්ඩෝනෙද?“ මුදලාලි ඇහුවා.

“තව අඩුයි දහ දාහක්...“

මුදලාලි විසි දාහක් ම දුන්නා. දීලා කියනවා.

“ආ... විසිදාහක්. ලෝයර් ලා දෙන්නෙක් ම වළලන්ඩ.“

*    *    *

ඉතාම ධනවත් මනුස්සයෙක් මළා. එයාට උරුමක්කාරයො කවුරුවත් හිටියෙ නෑ අවසාන කාලෙදි ළඟින්. හිටියෙ යාළුවො තුන් දෙනෙක් විතරයි. ඩොක්ටර් කෙනෙක්, ඉංජිනේරුවෙක් සහ ලෝයර් කෙනෙක්...

අවසාන කාලෙ නිතර නිතර යූ ටියුබ් එකේ බණ අහපු මේ මුදලාලි, අන්තිම කැමැත්තෙන් තමන්ගෙ ධනය කොටස් තුනකට බෙදලා යාළුවන් තුන් දෙනාගෙ නමට ලියලා තිබුණා. හැබැයි එක කොන්දේසියක් උඩ. තමන්ගෙ මරණය සිදු වෙන මොහොතේ සිටන්, ඒ ධනය යාළුවන් තුන් දෙනාට උරුම වෙනවා. නමුත් තමන්ගෙ මිනී වළට ඒ ධනය සතයක් අඩු නැතුව දමන්න ඕනෙ.

ඉතින් ධනවතා ගෙ මළ ගෙදර ඔය කියන විදිහට ම සිද්ධ වුණා. මළගෙදර ඉවර වෙලා අර යාළුවො තුන් දෙනා ගියා රෙස්ටොරන්ට් එකකට අඩියක් ගහන්න.

“මේ... උඹල දෙන්න අරූ කියපු විදිහට ම සල්ලි ඔක්කොම වළට දැම්මද?“ පොඩ්ඩක් වෙරි වීගෙන එනකොට  ලෝයර් ඇහුවා.

“මං නං ඔක්කොම දැම්මෙ නෑ.“ ඉංජා කිව්වා. “මට පොඩි පොඩි වියදං ටිකක් වුණා මුගෙ අසනීපවලට එහෙම. මං ඒවට හිලව් වෙන්න කෝටියක් තියාගෙන ඉතුරු ටික තමයි දැම්මෙ.“

“මාත් බං...“ ඩොක්ටර් කිව්වා. “මාත් කෝටි දෙකක් තියාගත්තා.“

“උඹල මහ බලු මිනිස්සු බං. යාළුවෙක්ගෙ අන්තිම ඉල්ලීම ඉටු කරන්න බැරි මහ තිරිසන්නු.“ ලෝයර් කිව්වා. “මං නං මට හම්බුණ සම්පූර්ණ මුදලට ම චෙක් එකක් ලියලා වළට දැම්මා.“

*    *    *

පහළ තියෙන්නෙ රෝවන් ඇට්කින්සන් සහ තවත් අය කරපු නොට් ද නයින් ඔ‘ ක්ලොක් නිවුස් වැඩසටහනේ කෑල්ලක්...


මේක බෝනස්...


ප්‍රා ජේ ගෙන් මැරුම් කෑවෙ නැත්තං කමෙන්ට්වලට උත්තර දෙන්න එන බව කරුණාවෙන් සළකන්න...

Thursday, November 10, 2022

කයිකතන්දර 4 - රජකාලේ කවි

බොරලැස්ගමුවේ ජී. එච්. පෙරේරා ගේ කයිකතන්දර පොතේ තිබෙන රජකාලේ කයි කතන්දර කීපයක් අද ලිපියෙන් ඉදිරිපත් කරනවා. 

ඕලන්ද බටහිර ඉන්දියා වෙළෙඳ සමාගමේ බතාවියාවේ ලුතෙරන් මිනිස්ටර් වූ යාන් බ්‍රැන්ඩෙස් විසින් 1785 දී අඳින ලද රාජාධිරාජසිංහ රජතුමාගේ ආලේඛ්‍යය

මහනුවර රාජධානි කාලේ තිබුණු එක් විනෝද ක්‍රීඩාවක් වුණේ ඇත් පොර. කැලෑවෙන් අල්ලාගත් වල් ඇතෙක්, රජතුමා ළඟ ඉන්නා හීලෑ කරන ලද ඇතෙක් සමඟ පොර ඇන්නවීම තමයි මේ ක්‍රීඩාව. රෝමක ඇරීනාවේ තිබුණු වල් සතුන් සමඟ මිනිසුන් පොර ඇන්නවීමත්, ස්පාඤ්ඤයේ ගොන් පොරත් වගේ ත්‍රාස ජනක ක්‍රීඩාවක් වෙන්නට පුළුවන්.

රාජාධි රාජසිංහ රජතුමා දවසක් මේ වගේ පොරයක් ඇන්නුවා. කල් තියා ප්‍රසිද්ධ කරන නිසා මිනිස්සුත් රාශියක් ආවා මේක බලන්න. 

ඉතින් ඇත්තු දෙන්නා බොහොම වෙලාවක් පොර ඇනගෙන, අන්තිමේ හීලෑ ඇතා ඇන්න පාරකට, වල් ඇතා පිටිපස්සට විසි වෙලා, මැටි ගන්න හාරපු වළක වැටිලා ඉඳ ගැන්නුනා.

මේ ගැන කවියක් කියන්න කියලා රජතුමා ළඟ හිටපු ගලගොඩ නිළමෙ ට කීවා. එතුමා හිටිවන ම මේ කවිය කීවා, පැරදුනු වල් ඇතා කියන විදිහට...

ඉන්නා විලස ඉන්ටත් මට නොදී කැලේ
පන්නා ගෙන ඇවිදින් මොන හොඳ ද කළේ
දන්නා තරම පොර ඇන්නෙමි වඩා ලොලේ
ඇන්නෑවේ වැටුණෙමි මැටි ගත්තු වලේ

*    *    *

රාජාධි රාජසිංහ රජතුමාගේ සේවාකම් කරපු තරුණයෙක් උන්නා, තිරුවා කියන නමින්. මේ කොල්ලා විහිළුවට හරිම කැමතියි. ඒ වගේ ම රජ වාසලේ හැමෝමත් මෙයාට ගොඩක් කැමතියි. 

තිරුවා නිසි කල පනින්න කිට්ටුව අහල ගමකින් මනමාලියෙක් කැන්දාගෙන ආවා. ඒ තරුණිය හොඳ හැඩකාර ළමිස්සියක්. 

රජතුමාට මේ දැරිවි දකින්න ආසා වුණා. කීප රවක් ම තිරුවා ට කිව්වා “උඹෙ මනමාලි එක්ක වරෙං වාසළට“ කියලා.

“අනේ හාංදුරුවනේ, උන්දැට පරංගි හැදිලා“ කියලා තිරුවා හැම වතාවෙ ම ඒක මගෑරියා. 

තිරුවා කියන්නේ බොරු බව සැක කරපු රජතුමා දවසක් තිරුවා ට අඹගමුවේ ගිහින් කරන්න රාජකාරියක් පැවරුවා. 

අඹගමුව වර්තමාන ගිණිගත්හේන නගරය අවට තිබෙන ප්‍රදේශයක්. නිශ්ශංකමල්ල රජතුමා ශ්‍රී පාදයට යන මාර්ගය දිව්‍යාංගනාවන්ගෙ උපකාරයෙන් හොයාගත්තා කියා ප්‍රසිද්ධ කරන්න කාලෙකට කලින් මහා විජයබාහු රජතුමා සිරිපා කරුණා කරලා, ශ්‍රීපාද රාජකාරිය සහ ආශ්‍රිත තොරතුරු ගැන විධිවිධාන පිහිටුවලා හිටුවපු අඹගමුව සෙල්ලිපියත් තියෙන්නේ ඔය ප්‍රදේශයේ ම තමයි.

ඉතින් තිරුවා ගෙදර ඇවිත්, වාසළ පයිංඩයකට අඹගමු යන විත්තිය අඹුවට කියලා, බත්මුලකුත් බැඳගෙන එදා ම හවස පිටත්වුණා. ටික දුරක් ගිහිං බත්මුල කාලා, ආපහු ඇවිත් ගෙදර ඉස්සරහ හදලා තිබුණු අතු මැස්ස යට හැංගුණා.

එදා කළුවර වැටුණට පස්සෙ රජතුමා ඇවිදිං තිරුවගෙ ගෙදර, දොර ඉස්සරහ ඉඳං මේ කවිය කිව්වා.

තිරු අයියා අද කොතැනක යන්දෑදෝ
අඹගමුවේ වෙල හරියේ යන්දෑදෝ
පහිය අතට ගෙන බුලතුත් කන්දෑදෝ
තිරු අයියා හෙට හවසට එන්දෑදෝ

ඒක ඇහිලා තිරුවගේ අඹුව දැනගත්තා රජතුමා තමයි ඇවිත් තියෙන්නෙ කියලා. එයා දොර අරින්න කලිං තිරුවා මෙහෙම කවියක් කියාගෙන අතුමැස්ස යටින් එළියට ආවා...

දෙනෝ දහස් එක ඔරුවේ පැදන් යතී
ඔරුව මිසක් තොට ගෙනියන කෙනෙක් නැතී
කෙරුව රති සැපට ආලය පළක් නැතී
තිරුව මමයි මම අඹගමු ගියේ නැතී

*    *    *

මොරතොට ධම්මක්ඛන්ධ හාමුදුරුවෝ රාජාධි රාජසිංහ රජතුමාගේ ගුරුවරයා. රජතුමා උන් වහන්සේට බොහොම ගෞරව කරනවා. ඒ ගැන ඊර්ෂ්‍යා කරපු කීප දෙනෙක් රජතුමාට කේළම් කිව්වා, උන්වහන්සේ ගේ ආවාසෙට රෑට රෑට ස්ත්‍රියක් එන යන බව.

ඒක පරීක්ෂා කරන්න රජතුමා දවසක් ගෑණු ඇඳුම් ඇඳගෙන හාමුදුරුවන්ගෙ ආවාසෙට ගිහින්, ජනේලෙන් අත දාලා සෙළෙව්වා. අතේ දාගෙන හිටපු වළලු හඬ ඇහිලා අවදි වුණු හාමුදුරුවෝ, මෙහෙම කොළොප්පමක් කරන්න මේ රටේ ඉන්නෙ රජතුමා ම තමයි කියා දැනගෙන, මේ කවිය කීවා.

සකල මුව තඹර සිය ගත සිවුමැළියේ
ඇසල මස දුටිමි යනවා දෙව් කෙළියේ
අසල නම් නිතර දැකුමට සිතු ඇලියේ
සකල සිරි ලකට අග රජ නුඹ ද ලියේ

ඒක ඇහුණු රජතුමා පිළිතුරු කවියක් කීවා මේ විදිහට.

අමර ගුරු හරණ සත දත් පිනාවන්
විතර නොවන ගුණ නැණ සපිරි නාවන්
පවර නමැති මොරතොට පති මනාවන්
සසර වසන තුරු මට වාසනාවන්

*    *    *

අන්දරේ හිටියා කියන්නේත් මේ රාජාධි රාජසිංහ රජතුමාගේ සභාවේ. දවසක් රජතුමා දිය කෙළියට මහවැලි ගඟට ගිය වෙලාවක අන්දරේගෙන් ඇහුවා, “උඹට මේ වෙලාවෙත් කවි කියන්න පුළුවන් ද?“ කියා. අන්දරේ වහසි බස් කියමින් කීවා, “දේවයන් වහන්ස, කියන මිනිහා කොයි වෙලාවෙත් කියයි...“ කියලා.

ඒ ගමන රජතුමා පිරිසට අණ කළා “මුගෙ අත පය බැඳලා, ගඟට දාපියව්“ කියලා. ගඟට දාද්දි අන්දරේට කිව්වා, “එහෙනම්, දැනුත් කවියක් කියහං බලන්ඩ“ කියලා.

දියේ ගිලි ගිලී උඩට එන වාරයකට පදය ගානේ අන්දරේ මේ කවිය කිව්වා.

කොච්චර දුක් ද අප වැනි අයට හිමි තුමා
මෙච්චර දුකට පිහිටක් නූනු කල කිමා
රිවිකුළ රජුන් හට ඇත්තේ ගති පුදුමා
කවි කියවන්ට හැදු වේලාවක මහිමා


*    *    *

ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ කවිකාර මඩුවේ හිටි කවියෙක්, ලෝකුරු නයිදේ. දවසක් රජතුමා කවිකාර මඩුවෙ කවියන්ට අභියෝගයක් කළා, පුළුවන්නං බොරු හතක් තියෙන කවියක් කියන්න කියලා. ඒ ගමන ලෝකුරු නයිදේ කියාපු කවිය...

කිළී කුණු නැති වඳිගෙ පුතෙක් - ඇඳගෙන නිල් වලා කඩක්
මිරිඟු දියෙන් නානය කර - පැලඳ දිඹුල් මල් වඩමක්
තුරඟ අඟින් රතය තනා - අඹරා ඉබි ලොමින් යොතක්
කුහුඹු අගින් රතය තනා - දැක්කිය සුරපුරට උදක්

මේ කවියෙ බොරු අටක් තියෙනවා හැබැයි.

*    *    *

දෙවෙනි රාජසිංහ රජතුමාගේ කාලයේ කන්ද උඩරට හිටි ප්‍රංශ ජාතිකයෙකුගේ දරුවෙක්, දස්කොන් අදිකාරම. දෙවෙනි විමලධර්මසූරිය රජතුමාගේ වාසලේ අදිකාරම් තනතුර දැරුවා. නරේන්ද්‍රසිංහ රජතුමාගේ ප්‍රමිලා බිසවට නටාපු බලියාගයකදි අදිකාරම සහ බිසව අතර පැවතුණු ප්‍රේම සම්බන්ධය ගැන එළිදරව් වෙලා, රජතුමාගෙ අණින්, හිසගසා දමන්ට ගෙනියන විටදී, දස්කොන් අදිකාරම මේ තේරවිල්ල රජතුමාට යැව්වා කියා කියවෙනවා...

සත් අවුරුද්දක් වසිනා වැස්සේ බිංදු ගණන් කරලා දෙඤ්ඤා
ලාහෙන් මැනලා අබ තුන් පෑලක පියලි ගණන් කරලා දෙඤ්ඤා
සත් අවුරුද්දක් කන්කුණ්ඩා ගියපාරේ අඩි ගැනලා දෙඤ්ඤා
එක් පැයකට මා නොමරා ඇරියොත් මෙතුන් පදේ තෝරා දෙඤ්ඤා

Sunday, November 6, 2022

මා නායකයෙකු සහ කළමනාකරුවෙකු කළ අරවින්දි මහත්මිය

රාජ්‍ය සේවයට මා එක් වූයේ තුන්වන පංතියේ සාමාන්‍ය ලිපිකරුවෙකු වශයෙන්, පළාත් පාලන අමාත්‍යාංශයට ය. මා පත්වීම භාර ගැනීමට ගිය දවසේ මා එහි කැටිව ‌ගොස්, එහි ප්‍රධානීන්ට හඳුන්වා දුන් සෝමදාස මහතා, රාජ්‍ය සේවයට අවශ්‍ය දැනුම ලබා ගැනීමට ඉතා ම හොඳ අංශය වන්නේ ගිණුම් අංශය බව මට පෙන්වා දුන්නේ ය. සෝමදාස මහතා කලින් පළාත් පාලන අමාත්‍යාංශයේ ගිණුම් අංශයේ  ප්‍රධානී ලෙස සේවය කර, ඉන් පසු අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයට ස්ථාන මාරු වී සිටියේ ය.

පළාත් පාලන අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරී ලෙස කටයුතු කළ ඇලෝසියස් මහතාත්, ගණකාධිකාරී රම්‍යා මහත්මියත්, මුදල් සහකාර මදරසිංහ අයියාත් ගෙන් රාජ්‍ය සේවයේ රෙගුලාසි සහ ආයතනික ක්‍රම ගැන මූලික දැනීම අහුලා ගන්නට මාත්, සමකාලිනව රාජ්‍ය සේවයට එක් වූ අනෙක් අයත් සමත් වූයෙමු.

ඇලෝසියස් මහතා ස්ථාන මාරුවක් ගෙන මුදල් අමාත්‍යාංශයට ගිය පසු, අපට ලැබුණේ ඉතා රම්‍ය ප්‍රධාන ගණකාධිකාරීවරයෙකු වූ අතර, ඔහු ගැන යම් තාක් දුරක තොරතුරු මාගේ ඔපිස් කතා සහ ඔපිස් පුරාවෘත්ත පෝස්ට්වල සඳහන් කෙරුනි. ඔහුගේ තිබූ ඉතා ම කැපී පෙනෙන ලක්ෂණය වූයේ පිරිමි පාර්ශ්වය පිළිබඳව දැක්වූ අසාත්මිකතාව ය. එවක දේශීය ණය සංවර්ධන අරමුදලේ ප්‍රධාන විධායක නිලධාරීවරයා වූ රණවීර මහතා හට මා හදිසි රාජකාරියක් ඉටු කර දුන් වතාවක, මා ද ඉදිරිපිට, රණවීර මහතා, ප්‍රධාන ගණකාධිකාරීවරයා ට මා පෙන්වා, "He's an asset to you" යැයි කියූ බව ද මා හට මතක ඇත. අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වූ විදේශාධාර ව්‍යාපෘති පිළිබද රාජකාරි ඉටු කිරීමට, ඇලෝසියස් මහතා මා අනුයුක්ත කළේ මා හට ඉංග්‍රීසි මාධ්‍යයෙන් සහ පරිගණක ආශ්‍රයෙන් වැඩ කිරීමට පැවති හුරුව නිසා ය. එහෙත් පසුව ආ ප්‍රධාන ගණකාධිකාරීවරයා මා හට පැවසූයේ "ඔය ඉංග්‍රීසි ටිකක් කටේ ගාගත්තට, කම්පියුටර් ටිකක් අත පත ගෑවට ඇති වැඩක් නෑ" යන වග ය. 

කෙසේ වෙතත්, පැවති හිරිහැර හා නොසළකා හැරීම් අතර, මාගේ සමකාලීනයෙකු වූ වසන්තා කුමාරි (දැන් ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ නිලධාරිණියකි) රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත ලිපිකරුවන් ස්ථාන මාරු කරවා ගැනීමට සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන බවට වූ දැන්වීම මා වෙත පෙන්වීම මා හට මහඟු අවස්ථාවක් විය. ඒ සඳහා අයදුම් කිරීමෙන් පසු, මා ද තවත් කිහිප දෙනෙක් ද තෝරා ගනු ලැබුණේ ය. ඒ අනුව, අප රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත මුදා හරින ලෙස එවන ලද දැන්වීමට ප්‍රධාන ගණකාධිකාරීවරයාගේ ප්‍රතිචාරය වූයේ, මා වෙනුවට අනුප්‍රාප්තිකයෙකු නොමැතිව මුදා හළ නොහැකි බව ය.

මීට පිළීයමක් අපේක්ෂාවෙන් මා කිහිප දෙනෙකුගේ පිහිට පැතූ නමුත්, මා හට පිහිට වූයේ, එවක පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වවරයෙකු ලෙස කටයුතු කළ කීර්තිමත් රාජ්‍ය නිලධාරියෙකු වූ සුනිල් ප්‍රනාන්දු මහතා ය. ඔහු ප්‍රධාන ගණකාධිකාරීවරයා දුරකථනයෙන් අමතා, "රාජ්‍ය සේවා කොමිෂන් සභාව සමඟ ඝට්ටණ ඇති කර නොගන්නැයි" උපදෙස් දුන්නේ ය. එතුමා මා හට ලබා දුන් සහයෝගය, අමාත්‍යාංශ ලේකම්වරයාවත් ඉටු කර ‌දීමට මැළි වූ සහයක් විය.

එසේ මා පළාත් පාලන අමාත්‍යාංශයෙන් ස්ථාන මාරු වී රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලයේ සේවයට වාර්තා කල පසු දැනගන්නට ලැබුණේ, මා අනුයුක්ත කරන්නට යන්නේ ගිණුම් අංශය වෙත බව ය. ඒ වන විට මාහට ගිණුම් අංශයන් සහ ගණකාධිකාරීවරුන් තිත්ත වී තිබුණි. මා මේ තාක් සේවය කළේ ගිණුම් අංශයේ වන බැවින් මා වෙනත් අංශයකට අනුයුක්ත කරන මෙන් මා ඉල්ලූ අතර, එය දැනගත් ගණකාධිකාරීතුමිය (නියෝජ්‍ය ලේකම් - මුදල්) වූ අරවින්දි ද සිල්වා මහත්මිය මා තමන් වෙත ම අනුයුක්ත කරන මෙන් පාලන අංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් හට දැන්වූ බව, පසුව මා හට කීවේ එම ගණකාධිකාරීතුමිය ම ය.

කෙසේ වුවත්, මා හට හිතා හදා ගන්නට සිදු විය. කොහේ ගියත්, පලාත් පාලන අමාත්‍යාංශයේ සිටි ප්‍රධාන ගණකාධිකාරීවරයා වැනි තවත් මනුෂ්‍යයෙකු මේ ලොව සිටීමට ඉඩ අල්ප බව සිතා යම් තාක් දුරකට හිත හදා ගත් මම ගිණුම් අංශයට ගියෙමි. ඒ ද, අප රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සේවයට වාර්තා කර සතියකට පමණ පසුව ය. අප අංශවලට අනුයුක්ත කිරීම ප්‍රමාද වන බව දුටු ගණකාධිකාරීතුමිය මාගේ විස්තර අසා ගෙන, තම අංශයේ නිලධාරිණියන් ලවා මා අනුයුක්ත කරන ලිපිය ටයිප් කරවා යවා, මා ඇගේ අංශයට අනුයුක්ත කරවා ගත් බව දැනගත්තේ, මා ඒ අංශයට ගිය පසුව ය.

ගිණුම් අංශයේ සේවය කළේ කළමනාකරණ සේවා නිලධාරීන් (ලිපිකරු සේවය දැන් හඳුන්වන නම) මා ද ඇතුළත් ව හත් දෙනෙකි. ශාඛා ප්‍රධානී වූ සනත් සිල්වා මහතාත්, මැන්ඩිස් මහතාත්, මල්ලිකා මහත්මියත්, පුෂ්පා මහත්මියත් ඉතා ම දීර්ඝ සේවා කාලයක් සහිත පළවෙනි පංතියේ ලිපිකරු / කළමනාකරණ සේවා නිලධාරීන් වූ අතර, මාත් තවත් නිලධාරිනියන් දෙදෙනෙකුත් තුන්වන සහ දෙවන පංතියේ ලිපිකරුවන් වූයෙමු.

එසේ තිබිය දී, ගණකාධිකාරීතුමිය මා වෙත පැවරූ ප්‍රථම රාජකාරිය වූයේ ගබඩා භාරකරු රාජකාරියයි. රජයේ දේපළ පිළිබඳව භාරකාරත්වය දැරීම වගකීමක් සහිත රාජකාරියකි. ඕනෑ ම අවස්ථාවක විගණනය කිරීම සඳහා ගබඩාවේ ලේඛන සමඟ සමානව තොගය පවත්වාගත යුතු වේ. ගබඩාවට බඩු භාර ගැනීමත්, එක් එක් අංශවල ඉල්ලීම් අනුව බඩු නිකුත් කිරීමත්, ඒ සියල්ල ලේඛනගත කිරීමත් දෛනික රාජකාරියක් වූ අතර, භාණ්ඩ නිකුත් වීමේ ප්‍රවණතා හඳුනාගෙන යළි ඇනවුම් මට්ටම් තීරණය කරමින්, භාණ්ඩ අවසන් වීමට පෙර නැවත ඇනවුම් කිරීම ඉතා වැදගත් කටයුත්තක් ද විය.

මම ගබඩාවේ කටයුතුවලට හුරු වූ පසුව අරවින්දි මහත්මිය මා හට මැන්ඩිස් මහතා සමඟ ගොස් භාණ්ඩ සැපයුම් කටයුතු ද හුරු වන්නට අවස්ථාව ලබා දුන්නා ය. මැන්ඩිස් මහතා විශ්‍රාම ගිය පසු සැපයුම් කටයුතු ද මා වෙත පවරන ලදි. ප්‍රසම්පාදන හෙවත් සැපයුම් කටයුතු, ප්‍රසම්පාදන ලියවිලි සකස් කිරීම, ලංසු කැඳවීම, ලංසු විවෘත කිරීමේ කටයුතු, ලංසු සුරක්ෂණ සහ කාර්යසාධන සුරක්ෂණ පවත්වාගැනීම ආදී වශයෙන් ප්‍රසම්පාදනයේ කාර්ය පරාසය විවිධ සහ විස්තීර්ණ මට්ටමක පවතී. රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලය කුඩා කාර්ය මණ්ඩලයක් සහිත ආයතනයක් වූ බැවින්, ඉහත කටයුතු තිබුණේ සාපේක්ෂව අඩු ප්‍රමාණයක් වූ බැවින්, මා හට එම කටයුතු මනාව ඉගෙන ගැනීමට හැකි විය.

විටින් විට අරවින්දි මහත්මිය මා හට ගිණුම් අංශයක පවතින රාජකාරි සියල්ලක් ම පාහේ පවරමින් සියලු දේ ඉගෙන ගැනීමට මා හට අවස්ථාව ලබා දුන්නාය. ඒ අනුව, ගබඩාව, ප්‍රසම්පාදන, රාජ්‍ය ගිණුම් පවත්වාගෙන යාමේ මෘදුකාංගය සමඟ වැය ලෙජර, මුදල් පොත, වැටුප් ලේඛන, විගණන විමසුම්, වාර්ෂික පාලන වාර්තාව, මාසික ගිණුම් සාරාංශ සකස් කිරීම, බැංකු සැසඳුම් ප්‍රකාශය ආදී උගත යුතු සියල්ල පාහේ මා හට උගෙනීමට අවස්ථාව ලැබුණේ ය.

2008 වර්ෂයේ රාජ්‍ය සේවා කොමිසමෙහි කාලය අවසන් වූ අතර, එවක පැවති රජය, කොමිසමේ සාමාජිකයන් නැවත පත් කළේ නැත. 17 වන සංශෝධනය අනුව, කොමිෂන් සභාවල සාමාජිකයන් පත් කළ යුතු වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය අනුව ය. එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ එක් සාමාජිකයෙකු පත් කරන්නේ ජනාධිපති විසිනි. එම සාමාජිකයා පත් නොකළ නිසා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අක්‍රිය මට්ටමක පැවතිණ. (19 වන සංශෝධනයෙන් මේ දුර්වලතාව ඉවත් කෙරුණු අතර, සාමාජිකයෙකු හෝ කිහිප දෙනෙකු පත් නොකළ ද, සිටිනා සාමාජිකයන් විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ක්‍රියාත්මක වන තත්ත්වයක් පැවතිණ.) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නොමැතිව වෙනත් කොමිෂන් සභා මෙන් ම, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයන් ද පත් කළ නොහැකි විය. එම සාමාජිකයන් නැවත පත් කෙරුණේ 2010 වර්ෂයේ (මතක ඇති ආකාරයට) 18 වන සංශෝධනය සම්මත කර ගැනීමෙන් පසුවය.

ඉතින් කොමිෂන් සභාව අක්‍රියව පැවති කාලයේ අප කාර්යාලයේ ආයතන, විනය, හා අභියාචනා අංශවල රාජකාරි ඉතා අල්ප විය. එය අවස්ථාව කරගත් එවක සිටි වැඩ බලන ලේකම්වරයා කාර්යාලයේ සියලු දෙනා පුහුණු වැඩසටහන්වලට යොමු කළේ ය. එසේ පැවැත්වුණු එක් පුහුණු වැඩසටහනක් ආවරණය කළේ "කාර්යාල ක්‍රම" ය. සියලු ලිපිකරුවන් ඊට සහභාගී විය යුතු බව ට වැඩබලන ලේකම්වරයා නියෝග කළේ ය. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සිටි ලිපිකරුවන්ගෙන් ඉතා බහුතරය පළමුවෙනි පංතියේ නිලධාරීන් වූ අතර, අවුරුදු විස්සකට වඩා පළපුරුද්ද තිබූ නිලධාරීන් ය. ලේකම් වරයාගේ නියෝගය අනුව ඔවුන් සියලු දෙනා ට රැස්වීම් ශාලාවට ගොස්, දේශකයා වෙතින්, ගොනුවලට ලිපි අමුණන ආකාරය, සටහන් ලියන ආකාරය, ලිපි සකස් කරන විට කළ යුතු පිරිවිතර ආදී කරුණු අසාගෙන සිටීමට සිදු විය.

ඉහත කී පුහුණු වැඩසටහනක අවසාන දිනයේ දී දේශක වරයා වෙත කළ යුතු ගෙවීම වෙනුවෙන් චෙක්පත නිකුත් කරන්නට ගිණුම් අංශයට සිදු විය. ලිපිකරුවන් සියලු දෙනා දේශනයට සහභාගී වීම ද අනිවාර්ය විය. එහිදී අරවින්දි මහත්මිය ගෙවීම සම්බන්ධ සියලු කටයුතු ඉටු කරවා ගත්තේ අප අංශයේ සිටි නවක කාර්යාල කාර්ය සහායකවරිය ලවා ය. වවුචරය පරීක්ෂා කිරීම, වැය ලෙජරයේ සටහන් කර, ප්‍රතිපාදනවලින් අඩු කිරීම, මුදල් පොතේ සටහන් කිරීම, චෙක්පත ලිවීම යන සියලු කටයුතු, ඉහත කී කාර්යාල කාර්ය සහායකවරියට කියා දුන් අරවින්දි මහත්මිය, නියමිත‌ වේලාව වන විට චෙක්පත දේශකවරයා වෙත නිකුත් කළා ය. ඉහත කටයුත්ත ඉටු කළ කාර්යාල කාර්ය සහායකවරිය පසුකාලීනව උසස්වීම් ලබා මේ වන විට ගණකාධිකාරීවරියකි.

වැඩ බලන ලේකම්වරයා විසින්, කාර්යාලයේ දියුණුවට අංශ භාර නිලධාරීන් වෙතින් අදහස් කැඳවූ අවස්ථාවක දී අරවින්දි මහත්මිය මා ගෙන් ද අදහස් විමසුවා ය. අප ඉදිරිපත් කළ එක් යෝජනාවක් වූයේ එස් පහ සහ ඵලදායිතා කව ක්‍රියාත්මක කරවීම ය. එය වැඩබලන ලේකම් වරයාගේ නියෝගයක් ලෙස නැවත අප වෙත ලැබුණු අවස්ථාවේ, අප අංශයේ ඵලදායිතා කව නායකයා ලෙස අරවින්දි මහත්මිය මා යෝජනා කළා ය. අප ගේ කවයේ නම ලෙස ඇය යෝජනා කළේ "ශිත්සුකෙ" ය. අනෙක් අංශයන් "ගගන", "සඳ" වැනි නම් යොදා ගනිද්දී, අපගේ ඵලදායිතා කවය මුල් පියවරින් ම ජාත්‍යන්තර මට්ටමට සමීප විය.

අරවින්දි මහත්මිය හරිත ඵලදායිතා කටයුතු අතර...

අරවින්දි මහත්මිය ගේ කළමනාකරණය යටතේ අප සියලු දෙනා ම ඉතා ම ඉහළින් අභිප්‍රේරණය වී කටයුතු කළෙමු. රියදුරන් වූ බන්දුල සහ චමින්ද ද ඒ අතර වූ අතර, නිර්මාණශීලී කලාකරුවෙකු වූ චමින්ද ඉතා සරළ සහ බහුවිධ භාවිතයක් සහිත පෑන් රඳවනයක් තැනීම සහ ඉවත දමන ඇස්බැස්ටෝස් පුවරු මත ඇඳි චිත්‍ර මඟින් අප ඵලදායිතා කවයේ තත්ත්වය උසස් කළේ ය. බන්දුල රියදුරු මහතා ඵලදායිතා කව ක්‍රියාකාරකම්වලට අවශ්‍ය සහ සුදුසු ලිපිද්‍රව්‍ය සහ වෙනත් දේ අඩුමිලට ගැනීමට හැකි තැන් සහ ක්‍රමවේදයන් දැන සිටියේ ය. කුරුඳුපොලු වලින් අප සකස් කළ රාමුවක් බිත්තියේ රඳවා දැන්වීම් පුවරුවක් සකස් කළෙමු. අපගේ කාර්යාලයේ පාටිෂන් සකස් කර තිබුණේ ලෝහ තහඩු වලිනි. එහෙයින් වෙනත් කිසිවක් නොමැතිව ලිපි රැඳවීමට චුම්බක සහිත ක්ලිප්වලට හැකිවිය. පරිගණකවලට භාවිත වන ස්පීකර්වල වයර් කපා දිගු වයර් යොදා, අංශයේ සිවිලිමට ආසන්නයෙන් සවිකළේ බන්දුල ය. ඵලදායිතා ලේකම් කාර්යාලයේ නිලධාරීන් අපගේ ප්‍රගතිය පරීක්ෂා කර, ලකුණු දීමට පැමිණෙද්දී ඒ ස්පීකර් මඟින් මෝසාට් ගේ සිම්ෆනි වාදනය කරවීමට අපි කටයුතු කළෙමු.

චමින්දගේ චිත්‍ර සහ බන්දුල සැපයූ මාළු ටැංකිය

අපේ දැන්වීම් පුවරුව


ගබඩාව සහ ‌ගිණුම් අංශයේ පැරණි ලේඛන සහිත ලේඛනාගාරය විධිමත් කිරීම ද අප විසින් විධිමත් පරිදි ඉටු කළ අතර, පෙර පැවති තත්ත්වය ඡායාරූප මඟින් ඒ ඒ තැන්වල ප්‍රදර්ශනය ද කළෙමු.


චමින්ද හැදූ පෑන් රඳවනය

සමාජ සුභසාධන කටයුතු දෙකක් ද ඒ ආශ්‍රිත කාලයේ දී අපගේ ඵලදායිතා කවය මඟින් සිදු කිරීමට අපට හැකි විය. ඊට මඟ පෙන්වූයේ සහ අප මෙහෙයවූයේ අරවින්දි මහත්මියයි.

මැන්ඩිස් මහතා අප අංශයේ සිටි ජ්‍යෙෂ්ඨතම ලිපිකරුවා විය. ඔහු විශ්‍රාම යාමට මත්තෙන්, ඔහු සතුව මුදල් රෙගුලාසි සහ රාජ්‍ය ගිණුම් පටිපාටිය පිළිබඳ දැනුම සියලු දෙනාට පරිශීලනය කළ හැකි වන සේ පොතක් ලියන්නැයි, අරවින්දි මහත්මිය සහ ශාඛා ප්‍රධානී සනත් සිල්වා මහතා ඔහුගෙන් ඉල්ලූහ. ඒ අනුව අප ඵලදායිතා කවයේ වැඩක් වශයෙන් රාජ්‍ය ගිණුම් ක්‍රියාවලිය පිළිබඳ සරළව දැනුම ලබා ගත හැකි වන පොතක් ද මුද්‍රණය කරන්නට හැකි විය.

එවක අන්තර්ජාල සම්බන්ධතා ලබා දී තිබුණේ විධායක මට්ටමේ නිලධාරීන් හට ලබා දී තිබූ පරිගණක සඳහා පමණකි. එසේ වී නමුත්, අරවින්දි මහත්මිය ඇගේ රාජකාරි පරිගණකයෙන් අන්තර්ජාලයට සම්බන්ධ වීමට මා හට ඉඩ ලබා දුන්නා ය. සිටිනා තනතුරේ ම නොරැඳී, බැංකු තරග විභාග ආදිය ලියන්නට උනන්දු වන ලෙසට මා ද ඇතුළත්ව, තරුණ වයසේ සිටි සියලු ලිපිකරුවන්ට ඇය උපදෙස් දුන්නේ වරක් දෙකක් නොවේ.

මාගේ පියා මියයන විට මා සිටියේ ආර්ථික දුෂ්කරතා ගොඩක ය. අලුතින් ගෙයක් තැනීමට පටන් ගෙන සිටි මා, පංචායුධ කුමාරයා සිලේසලෝම රකුසා සමඟ සටන් කළ පරිදි ම, මා සතුව පැවති සෑම මුදල් ප්‍රභවයක් ම ඊට යොදවා තිබුණි. අවමංගල්‍ය කටයුතුවලින් පසුව, අම්මාගේ උපදෙස් අනුව මම මාසික වැටුපින් අත්‍යවශ්‍ය ම වියදම් පමණක් කරමින් මුදල් ඉතුරු කිරීමට උත්සාහ ගත්තේ තුන් මාසයේ දානයට වියදම් කිරීමට ය. 

මා ලිපිකරු (කළමනාකරණ සහකාර) සේවයේ දෙවන පංතියට සමත් වූූූයේ ඒ අතර ය. ඒ සම්බන්ධව මගෙන් පාටියක් ඉල්ලමින්, අප කාර්යාලයේ නිලධාරිණියන් විටින් විට වද කළේ මා අසීරු තත්ත්වයක සිටියදී ය. ඔවුන් ගේ  ඉල්ලීම ඉටු කරන්නට තරම් මුදල් මා අත නොතිබූ බව දැන සිටි, අරවින්දි මහත්මිය ‌ඇගේ වියදමින් කෙටි කෑම ගෙනවුත් කාර්යාලයේ නිලධාරීන් අතර බෙදා දෙන්නට කටයුතු සැළසුවාය.

මා අද රාජ්‍ය සේවයේ සිටින තැනට මා හට ඒමට උපස්තම්භක වූයේ අරවින්දි මහත්මිය ය. රාජ්‍ය සේවයේ රාජකාරි කටයුතුවලින් අතිශය බහුතරය ප්‍රායෝගිකව අත්දකින්නට සළස්වා ඒවායේ රෙගුලාසි තත්ත්වය සහ භාවිතය මා හට හුරු කරවීම, රාජ්‍ය සේවයේ උසස්වීම් සඳහා පැවති විභාගවලදී ඉතා පහසුවක් විය. පාඩම් කර විභාගය ලියනවාට වඩා හොඳින්, අත්දැකීමෙන් ලිවීම කළ හැකි විය. එසේ ම, රාජ්‍ය සේවයේ පවතින වර්තමාන විභාග ආකෘතියේ වැඩි කොටස, සිද්ධි අධ්‍යයනයන් ආශ්‍රයෙන් දැනුම මැන බැලීම ට සකස් වී ඇත. එය කටපාඩමෙන් ලිවීම අසාර්ථක ය.

අනෙක් අතට, තමන්ට පැවරෙන සියලු වගකීම් නියමිත කාලයට ඉටු කිරීම, කාලය කළමනාකරණය කර ගැනීම, කණ්ඩායමකට නායකත්වය දීම, පහළට වගකීම් පවරා අධීක්ෂණය කරමින් කටයුතු කඩිනමින් නිම කරවා ගැනීම, මිනිසුන් අභිප්‍රේරණය කරවීම, රාජකාරිවල නව්‍යතා හඳුන්වා දීම, ආරම්භක ශක්තිය ‌ගොඩනඟා ගැනීම මෙන් ම, ගැටෙනවා නම් ඒ පහළ සමඟ නොව ඉහළ සමඟ බව තේරුම්ගැනීම ආදී ගුණාංග අරවින්දි මහත්මිය වෙතින් මා හට ලැබුණු ආදර්ශයන්ය.

ඉතා ධනාත්මක නායකයෙකු වූ අරවින්දි මහත්මිය, අභියෝගයන් භාරගෙන, සාමාන්‍ය ප්‍රමිතියට වඩා ඉහළින්  ඒවා සම්පූර්ණ කිරීමේ සහජ හැකියාවක් දැක්වූවා ය. වර්තමානයේ ගන්නා තීරණයන් අනුව අවුරුදු ගණනාවක් ඉදිරියේ දී සිදුවිය හැක්කේ කුමක්දැයි පුරෝකථනය කර, සිදුවිය හැකි සියලු විකල්පයන්ට අවශ්‍යවන ක්‍රියාමාර්ග ගැනීමට උපායමාර්ගික කුසලතාව ඈ සතු විය. තමන් දරන ස්ථාවරය නිවැරදි වන විට එල්ලවන තර්ජන, ඒවා කුමන තරම් ඉහළින් එල්ල වූව ද නොබිය ව මුහුණ දීම අරවින්දි මහත්මියගේ මා දුටු තවත් එක් ගුණාංගයක් විය.

පසුගිය දාක නුවරඑළියට පැමිණි අරවින්දි මහත්මිය මා දැකීමට පැමිණියෙන්, සුලුවෙන් හෝ මගේ කෘතඥතාව ඇයට පුද කිරීමට හැකි විය. අප ඉතා ප්‍රසන්න සහ ප්‍රීතිමත් වරුවක් ගත කළෙමු. ඇගේ නිහතමානීත්වය සහ සුහදත්වය මේ ලියන මොහොතේ ද මාගේ හදවත තුළ උණුසම් බවක් ඇති කරවයි. රාජ්‍ය සේවය තුළ කළකිරීමට සහ අවතක්සේරුවට ලක්ව අයාලේ යාමට නියමිත ව තිබූ මගේ ඉදිරි ගමන නිසි මාර්ගය වෙත යොමු කර, ඊට අවශ්‍ය ගුණාංග මා තුළ වර්ධනය කරවීම ගැන මා තුළ පවතින ණයගැතිභාවය පැවසීමට මේ සටහන සුලු වශයෙන් හෝ ප්‍රමාණවත් නොවන බව නිසැක ය.

පිදුරුතලාගල...
(වමේ සිට - මං, මගේ ආදරබර භාර්යාව, අරවින්දි මහත්මියගේ සැමියා වන වෛද්‍ය විජේසූරිය මහතා සහ අරවින්දි මහත්මිය)

ග්‍රෙගරි වැව ළඟදි...
මැද ඉන්නෙ අපේ හුටංබරස් පුංචිරාළ මහත්මයා


චමින්ද ඇඳපු පින්තූර පහතින්...








Wednesday, November 2, 2022

මාටින් රැට්ලර් සහ බානි

මාටින් රැට්ලර් සහ බානි යාත්‍රා කළ නැව මුහුදු කොල්ලකරුවන්ගේ වෙඩි පහරින් අබලන් ව ගල්පරයක හැපී මුහුදුබත් විය. ඇඳිරි වැටීගෙන එද්දී මේ මිතුරෝ දෙදෙනා බ්‍රසීලයේ වෙරළට පීනා ගොස් පණ බේරාගත්හ. එහෙත් සැඬ සුළඟට හා මහ වැස්සට බියෙන් කැලෑ වැදුණු ඔවුහු  වනචාරී ඉන්දියානුවන් විසින් අල්ලාගනු ලැබූහ. ඉන්දියානුවෝ මේ මිතුරන් දෙදෙනා සැතපුම් ගණනක් ඈතින් පිහිටි සිය ගමට රැගෙන ගියහ.

මිතුරන් දෙදෙනා එකිනෙකාගෙන් වෙන් කොට හිර කර තැබීමට ඉන්දියානුවෝ තීරණය කළහ. මාටින් රැට්ලර්ට ඉරිඟු කෙතක වැඩ කිරීමට සිදු විය. බානිට සිදු වූයේ කුමක්දැයි මාටින් නොදත්තේය. වහල් වැඩ මාටින්ට නුහුරු විය. කවර දා, කෙසේ මේ වහල් බැම්මෙන් මිදෙන්ට හැකි වේ දැයි සිතා ගැනීමට පවා ඔහුට නොහැකි විය. කෙසේ වුව ද, ඔහු ගැළවී යෑමේ බලාපොරොත්තුව සුන් කර නොගත්තේය. තමාට පැවරුණු වැඩ කොටස හැකි තරම් හොඳින් කිරීම මාටින්ගේ අදහස විය. ඔහුගේ ක්‍රියාශීලීභාවය ඉන්දියානුවන්ගේ ද විස්මයටත්, ගෞරවයටත් හේතු විය.

මාටින් පලා යෑමට දැක්වූ ආසාව දිනෙන් දින ම වැඩෙන්නට විය. සතුන් දඩයමට මාටින් දැක්වූයේ ඉමහත් සමත්කමකි. ඒ නිසා දඩයමට යන විට මාටින් ද කැඳවාගෙන යෑමට ඉන්දියානුවෝ කැමති වූහ. මෙසේ දඩයමට යෑමෙන් වටපිටාව තේරුම් ගැනීමට හැකි වීම තමාට ඉන්දියානුවන්ගෙන් ගැළවී පලා යෑමට ප්‍රයෝජනවත් විය හැකි යයි මාටින් සිතුවේය. ඔහු කාගේත් හොඳ හිත දිනා ගත් නමුත් කිසිවෙකු සමග කුලුපග නොවීමට වග බලා ගත්තේය.


ඉරිඟු කෙත්වල වැඩ අවසන් වූ පසු නිදැල්ලේ හැසිරීමට මාටින්ට ඉඩ ලැබුණු නමුදු, ඔහු රැක බලා ගැනීමට මුරකරුවෙක් ද යොදවනු ලැබ සිටියේය.

ඉන්දියානුවන්ගේ ගමට නුදුරින් කඳුවැටි පේළියක් විය. කඳුවැටි අතරින් ගලා බස්නා නදියේ සැඬ දිය පහර දෙස බලා සිටීමට මාටින් දැක්වූයේ ඉමහත් ආසාවකි. දිනපතා ම සැන්දෑ කාලයේ කඳු ගැටය වෙත පැමිණෙන ඔහු වහල්කමින් ගැළවී යන මගක් කල්පනා කළේය. කෙතරම් අනතුරුදායක වුව ද, ගඟට පැන සැඟවී පලා යා යුතුයයි අන්තිමේ දී ඔහු තීරණය කළේය.

දිනක් කඳු ගැටය ළඟට පැමිණී මාටින් ගඟට පැනීමට තරයේ ම සිතා ගත්තේය. "පල්ලම දිහාව බලන්නත් බයයි. වතුර පාර වේගයෙන් ගලා යනවා... පැන්නොත් මැරෙන්න පුළුවනි... මැරුණත් මෙතැන හිටියත් එක වගෙයි... පැන්න විත්තියක් අරූට අඟවන්න හොඳ නෑ. කකුල පැටලී වැටුණු බවක් අඟවන්න ඕනෑ... මට දෙවියන්ගේ පිහිටයි..."

වහල් බවේ අමිහිරි බව සහ නිදහසේ මිහිරි බව පිළීබඳ සිතිවිලි ඔහුගේ සිතෙහි නළියන්ට විය. මාටින් අහස දෙස බැලුවේය; දෙවියන් යැද්දේය; දෙනෙත් විදහා මඳ වේලාවක් ප්‍රපාතය දෙස බලා සිටියේය; අන්තිමේදී ගල්පර නැති තැනක් බලා ගඟට පැන්නේය.

මෙයින් බලවත් කම්පාවට පත් වූ මුරකරුවා පල්ලමට වේගයෙන් දිව අවුත් මාටින්ට සිදු වුණු විපත ඇසිපිය නොහෙළා බලා සිටියේය. සැඬ පහරට අසු වුණු මාටින් නොපෙනී යන තුරු බලා සිටි ඔහු සුසුම් ලෑවේය. මාටින්ගේ පිදුරු තොප්පිය දිය සුළියකට අසුව කරකැවී නොපෙනී ගියේය. මාටින් ගඟට වැටී මළ බව ඉක්මනින් ම ගම පුරා පතළ විය. ඒ පුවත ඇසූ අය දුක් සුසුම් හෙළූහ.

සැඬ පහරට අසුව මඳ දුරක් ‌ගසාගෙන යනු ලැබූ මාටින් මුළු වැර යොදා පීනා කඳු ගැටයෙන් ඉදිරියට නෙරා ගිය පැතලි බිම් කඩකට බඩ ගෑවේය. ඔහු එහි බොහෝ වේලාවක් වැතිර සිටියේය. පණ බේරීම ගැන ඔහුට ඇති වූ ප්‍රීතිය නිම්හිම් නැති විය. ඔහු ගල් තලයෙන් නැඟී වටපිට බැලුවේය. සුවිසල් තුරු පෙළින් වැසී ගිය කඳු වැටිවල සුන්දරත්වයෙන් ඔහු වශී විය. සිතෙහි හටගත් හදිසි ප්‍රීතිය හීන වත් ම ඔහුට යථා තත්ත්වය අවබෝධ වූයේය. ඉන්දියානුවන්ගෙන් නිදහස් වූ නමුදු කෑම බීම සහ අවි ආයුධ නැකි ව බියකරු වනය මැදින් ගමන් කිරීම අනතුරු දායක බව ඔහුට වැටහිණි. ආපසු ගමට ගොස් ඉරිඟු පිටි සහ දුනු හී ආදිය හොරකම් කරගැනීමට ඔහු ඉටා ගත්තේය. 

ඇඳිරි වැටී පැය දෙකකට පමණ පසු ඔහු කන්ද උඩට බඩ ගෑවේය. ගලින් ගලට පය තබමින්, වැටෙමින් හා බඩගාමින් ගොස් උස් සම බිමට ඔහු නැගගත්තේය. මාටින්ගේ සිත බියේ සහ සැකයේ අඳුරු වලා පටලයෙන් වැසී තිබිණි. ඔහු සෙමෙන් සෙමෙන් පැල්පත් කරා ළඟා වූයේය. පවුල් කීපයක් ම දඩයම් පිණීස ඈත පෙදෙසකට ගොස් ඇති බව ඔහුට වැටහිණි. මුළු ගම පුරා පැතිර තිබුණේ දැඩි නිහඬියාවකි. ඔහුගේ හදවත වේගයෙන් ගැහෙන්නට විය. සිතෙහි දිරිය උපදවා ගත් ඔහු සෙමෙන් ‌ගමන් කොට පැල්පතක කවුළුවෙන් එබී බැලුවේය. ඔහු කිසිවෙකු නුදුටුවේය. කිසිවෙකුගේ හඬක් පවා ඔහුට නොඇසිණි. එහෙත් පැල්පත් තුළට අඩිය තබත් ම යම්කිසිවෙකු ගොරවන හඬ ඔහුට ඇසුණේය. වහා ම එතැනින් පලා ගිය ඔහු පඳුරක් අස්සේ සැඟවුණේය. මඳ වේලාවකට පසු බියෙන් සැකයෙන් යුතු ව තවත් පැල්පතක් කරා ඇදුණේය. මඳ වේලාවක් විමසිල්ලේ සිටි ඔහු පැළලි දොරින් පැල්පත තුළට රිංගුවේය. පැල්පත තුළ කිසිවෙකු සිටින බවට ලකුණක් පවා ඔහු නුදුටුවේය. යුහුසුලු ව අුරේ ම අතපත ගා මල්ලක් සොයාගත් ඔහු එය ඉරිඟු පිටිවලින් පුරවා ගත්තේය. දිග පිහියක් ද, අත් පොරවක් ද, දුන්නක් හා හියොවුරක් ද, ගිණි දැල්වීමට ගල් පතුරක් ද, නිදාගැනීමට හැමොකයක් ද, පිදුරු තොප්පියක් ද ඔහු සොයා ගත්තේය.

ඔහු පැල්පතින් පිට වන්නට සැරසුණා පමණි. බියෙන් ඇළලුණු ඇස් දෙකක් ඔහුට දක්නට ලැබිණි. ඔහුගේ ඇඟේ ලේවතුර විය; අත් පා දරදඬු විය. තමා දෙස බියෙන් බලා සිටින ඉන්දියානුවා අඳුර අතරින් ඔහුට පෙනුණේය.

"ඔක්කොම ඉවරයි. කෑගහන්න ඉස්සෙල්ලා මූට පිහියෙන් අනිනවද?... නෑ... එහෙම හොඳ නෑ. ඌ ඉන්නෙ මර බයෙන්. හරි... දැන් තේරනවා. මම මැරුණ විත්තිය ඌ දන්නව ඇති... ඌට හිතෙනව ඇති මේ මගෙ අවතාරය කියල. සැකයක් නෑ."

මාටින් මඳක් ඉදිරියට ගොස් බියකරු වෙසක් පෑවේය. කොලුවා බියෙන් ගල් ගැසුණේය. අවතාරයක් මෙන් දොරකඩ දක්වා ගිය මාටින් වේගයෙන් පලා ගොස් තුරු වදුලක සැඟවුණේය. තමා පසුපස එන්නෙකු නැති බව තේරුම් ගත් ඔහු කඳු බෑවුමට ගොස් මල්ල හොඳින් ගැටගසා, උරෙහි එල්ලා ගෙන, ඉදිරියෙන් පෙනෙන කඳු වැටිය බලා ගංගා නිම්නය ඔස්සේ ගමන් කළේය. නොනැවතී පැය හතරක්, පහක් පමණ ගමන් කළ ඔහුට අහස පුරා විහිදෙන අරුණාලෝකය දක්නට ලැබිණි. ඔහු නොනැවතී ම ගමන් කළේය. දෙපා වේදනාවෙන් මිරිකුණ ද, ඔහුගේ සිතට දැනුණේ ලොකු සැහැල්ලුවකි. ගිරි කුළ තරණය කොට අනෙක් පසට යන තුරු ඔහු මඳ වේලාවක් වත් විවේකයක් ගැනීමට නොසිතුවේය.

එක්තරා පියකරු උදෑසනක වනය මැදින් වැටුණු පාරක් දුටු ඔහුගේ සිත ප්‍රීතියෙන් පිනා ගියේය. ගසක් යට ලැගුම් ගත් ඔහු දිවා භෝජනය ද පිළියෙල කොට ගත්තේය. මිනිසුන් කැලෑ පාරෙන් ගමන් කරන්නේ කලාතුරකින් නිසා මඟ අසල ම දවස් කීපයක් රැඳී සිටීමට ඔහු විටෙක කල්පනා කළේය; තවත් විටෙක කැලෑ පාරක් දිගේ යෑමට සිතුවේය. මෙසේ දෙගිඩියාවෙන් පසු වෙමින් සිටි ඔහුට හිටි හැටියේ ම අසුන් ගේ කුර ගැටෙන ශබ්දයක් ද, මිනිස් කටහඬක් ද ඇසුණේය. මාටින්ගේ සිත් තුළ බලාපොරොත්තුව මෙන් ම සැකය ද පහළ විය. ඔහු දැවැන්ත ගසකට මුවා වී බලාගෙන සිටියේය.

ඔහු බඩු පොදි උසුලාගත් බූරුවන් රංචුවක් දක්කාගෙන එන අසරුවන් හය දෙනෙකු දුටුවේය. ඔවුන්ගෙන් පිහිටක් ලබිය හැකිය යි මාටින් සිතුවේය. සැඟවී සිටි තැනින් එළියට ආ මාටින් ශබ්දයක් කළේය. තිගැස්සුණු අසරුවෝ පිස්තෝල ඇදගෙන වටපිට බැලූහ. දුනු හී ගත් කඩවසම් සුදු තරුණයා දුටු ඔවුහු පිස්තෝල බඳ පටිවල රුවාගෙන ඔහු ළඟට ආවෝය.

ඔවුන් පෘතුගීසි බසින් කී දේ මාටින්ට නොතේරුණේය.

"ඉංග්‍රීසි කතා කරන කෙනෙක් මෙතැන ඉන්නවා ද?" මාටින් ඇසුවේය.

"ටිකා...ක් දන්නවා... බොහෝ... ම ටිකයි... මේ කොහේ ඉඳලා ද එන්නේ?" එකෙක් ඇසුවේය.

"මම ඉන්දියානුවන්ට අහුවෙලා හිටියා සති ගණනක්. ගඟට පැනලා උන්ගෙන් බේරුණා. දැන් මුහුදු වෙරළට යනව. එහෙම නැත්නම් ටවුමකට ගිහින් රස්සාවක් හොයා ගන්නව."

"හෝ, එන්න මල්ලි අපිත් එක්ක යන්න. දියමන්ති පතළෙට ගියාම රස්සාවක් හොයා ගන්න පුළුවනි... නගින්න අර අශ්වයා පිට... යමු... ඉක්මනට" අසරුවෙක් කීය.

අසෙකු පිට නැඟුණු මාටින් අමුත්තන් සමග ගමන් ‌කළේය. පසු දින සවස් වරුවේ ඔවුහු දියමන්ති පතළය කරා ළඟා වූහ. ආකරය බාර බාරොන් පැගෝනි දොරටුව ළඟ පයිප්පයක් උරමින් සිටියේය.

"මොහු බොහොම සැඩ පරුස කෙනෙක් වෙන්න ඕනෑ," මාටින් තමාට ම කියාගත්තේය.

දිගට වැඩුණු රතු රැවුළක් ඇති දැවැන්ත පුරුෂයෙකු වූ පැගෝනි හිස ලා සිටි තොප්පියේ පළල් වාටියෙන් ඔහුගේ මුහුණ වැසී තිබුණි. පැගෝනි අමුත්තන් පිළිගැනීමට නොසිට දෙවුර ගස්සා ගෙන කාමරයට වැදී දොර අඩවල් කෙළේය.

"ඔහු කිසි ම චාරිත්‍රයක් දන්නේ නැති පාටයි," මාටින් කීය.

"ඔහුගේ ගති ගුණ අමුතුයි. ඔහු ඔබ දෙස හොඳට බැලුවා." තෝල්කයා කීය.

"කමක් නෑ, අපි යමු," මාටින් කීය.

තෝල්කයා දොර ඇරගෙන පැගෝනි ළඟට ගියේය. පැගෝනි තෝල්කයාට කතා කෙළේ සැඩ පරුස බසිනි. මාටින් සමග කතා කිරීමට පැගෝනි උනන්දුවක් නොදැක් වූයේය. තෝල්කයා මාටින් කාමරයක් තුළට කැඳවාගෙන ගියේය.

"ලොකු මහත්තය කියනව උඹ අලි හොරෙක්ය කියල. දියමන්ති හොරකම් කරන්න මෙහෙ ඇවිල්ලලු. උඹ හිර කරන්න කියා මට අණ කළා..."

මෙසේ කී තෝල්කයා මාටින් කාමරයේ දමා දොර වසා ගියේය. නොසිතූ, නොපැතූ දෙයක් සිදු වීම නිසා බලවත් විස්මයට පත් වූ මාටින් ගොළු වී සිටියේය. ඔහුට මේ අඳුරු කාමරයේ පැය දෙකක් පමණ නිහඬ ව සිටීමට සිදු විය. ඔහුගේ කුසගින්න ද ඉවසිය නොහැකි තරම් විය. ඔහු එතැනින් පැන ගන්නේ කෙසේ දැයි සිතමින් සිටියදී දොර ඇරුණේය. මෙහෙකරුවෙක් කාමරයට ඇතුළු විය. ඔහු ඉටිපන්දම් කීපයක් දල්වා පිට ව ගියේය. මඳ වේලාවකට පසු තවත් මෙහෙකරුවෙකු පැමිණියේ පිඟන් සහ හැඳි ගෑරුප්පු අරගෙනය. ඔහු සුදු ඇතිරිල්ලක් මේසය මත එළා පිඟන් ගෑරුප්පු ආදිය ඒ මත තබා ඉවත ගියේය. කුමක් සිදු වන්නට යන්නේ දැයි මාටින් පුදුමයෙන් බලා සිටියේය.

ගත වූයේ මඳ වේලාවකි.

සුවඳ විහිදුවන ප්‍රණීත ආහාර බඳුන් කීපයක් ගත් මෙහෙකරුවෙක් කාමරයට ඇතුළු විය. ආහාර බඳුන් මේසය මත පිළිවෙළකට තැබූ ඔහු වචනයක් වත් නොදොඩා, කාමරයේ දොර වසා දමා ගියේය.

"මේ ලොක්කා අරුම පුදුම පුද්ගලයෙක් වෙන්න ඕනෑ. මම හොරෙක්ලු! දියමන්ති හෙරකම් කරන්න ආවලු! මේ සුවඳ හමන කෑම මට දෙන්න ද යන්නේ?... මේ කිසි දෙයක් මට තේරෙන්නේ නැහැ..." මාටින් සිතුවේය. යළිත් දොර ඇරිණ. කාමරයට ඇතුළු වූයේ පැගෝනිය. ඔහු දොර අගුල් දමා යතුර සාක්කුවේ ලා ගත්තේය.

දෑත ළෙහි බැඳගත් මාටින් වෙත ආඩම්බර ගමනින් පැමිණි පැගෝනි, අභිමානවත් බැල්මක් හෙළුවේය. මාටින්ට ඉවසුම් නැති විය.

"සර්, මේ විහිළුවක් ද කරන්නේ? එහෙම නම් මේ විහිළුව දුර ගියා වැඩියි. මම හිරකරුවෙක් නම් මට තව තවත් හිත් වේදනා කිරීම වැදගත්කමට ගැළපෙන්නේ නෑ" මාටින් දිගට ම කියාගෙන ගියේය.

"උඹ මොකටද මෙහාට ආවේ?"

"අශ්වාරෝහකයෝ මාව මෙතැනට එක්ක ආව."

"උඹ උන් අඳුනන්නේ කොහොමද?"

"මං ඒ ගොල්ල අඳුනන්නේ නෑ. මම කැලේ අතරමං වෙලා ඉන්න කොට මෙහෙ එක්කගෙන ආවා. රස්සාවක් ලබාගන්න පුළුවන් කියල ඒ ගොල්ල කිව්ව."

"උඹ කියන්නේ ඔක්කොම බොරු. දියමන්ති සොරකම් කරන්න තමයි මෙහෙ ඇවිල්ල ඉන්නෙ."

"මට ඕනෑ දියමන්තියක් නෑ. මගේ මිත්‍රයා බානි මගෙන් වෙන් වුණා. ඔහුට දෙවි පිහිටයි. ඔහුට කුමක් වුණා ද? ඉන්නේ කොහේද? කියල ආරංචියක් නැහැ... මට ඕනෑ පුළුවන් තරම් ඉක්මනින් ඔහු සොයාගෙන ගෙදර යන්න..."

"උඹ බානිට හුඟක් ආදරේ ද?"

"ඔව්, අපි පණට පණ වාගේ හිටියේ. ඉන්දියානුවෝ අපව වෙන් කළා. මට ඔහු හමු වෙනවානම් දියමන්තිවලට වඩා වටිනව."

"මාටින්..."

"මාටින්? කොහොම ද මගේ නම දැනගත්තේ?"

"තෝල්කයා කිව්වා."

"තෝල්කයා දන්නේ කොහොමද?  මම ඔහුට මගේ නම කිව්වේ නෑ."

"එහෙම ද?"

"හිස් වැස්ම ටිකක් ඉවත් කරන්න." මාටින් ඉල්ලා සිටියේය.

"මේ බානි නේද?"

"ඔව් මගේ රත්තරන් මාටින්. මම මෙච්චර දවස් මාටින් ගැන හිතමිනුයි හිටියේ. මෙහෙම හම්බ වුණු එක කොච්චර වාසනාවක්ද?" බානි දෑත් විදහා මාටින් වැළඳ ගත්තේය.

මවුබස කියවීම් පොතකින් උපුටා ගන්නා ලදි.

ආර්. එම්. බැලන්ටයින් ගේ මාටින් රැට්ලර් නම් නවකතාවෙන් උකහාගෙන පරිවර්තනය කරන ලද්දක් බව පෙනේ. එහෙත් පරිවර්තකයාගේ නම ඉහත කී කියවීම් පොතෙහි සඳහන් නොවේ.

ජෝන් බැලන්ටයින් විසින් අඳින ලද රොබට් මයිකල් බැලන්ටයින් ගේ සිතුවමක්

වැඩිපුර බලපු ලිපි