Showing posts with label බැරිම තැන. Show all posts
Showing posts with label බැරිම තැන. Show all posts

Wednesday, September 4, 2024

මී හරක් සංදේශය



සැරද මී හරකා කළු කුමරාට සුමිතුරු
පෙර සමතෙක් තරඟෙට රජුට කවි බැඳ
ලැබිය ගමක් නුඹ සන්දා මිතුරු සඳ
එකවිය කීම ම සෑහේ නුඹ වැනීමට

කර ගල ගගා එනවා මම් නොදනිම් ද
කර ගල ගගා එනවා මම් නොදනිම් ද
කර ගල ගගා එනවා මම් නොදනිම් ද
කර ගල ගගා එනවා මම් නොදනිම් ද

මෙප මණ වැණුම් ලද සුමිතුරු මීහර    ක
කොප මණ මෙදින නෑවද නුඹ මඩවල    ක
තොප එන අතරමග ආවෙද නොවී දු    ක
සැප තකි ඉන්ට ඇත්නම් මෙ නුඹ දැක දැ    ක

නොමදින් තද දුකට පත් වී සිටින ම    ට
වෙන අන් කෙනෙකුගෙන් නොලැබේ ම ය පිහි    ට
එබැවින් ලොවට වැඩ වන පණිවිඩයක     
සැරසෙන් අළුත් නුවරට අද යන ලෙස     ට

දනවත් දන හොඳට කාබී සැප ලෙසි    
සිටිතත් මෙරට නොතකති අප දුගී ද    න
එහෙමත් සිටින උන් හට දැන් පත් මගි    න
පසසත් උතුමන් ය කියමින් යුතු සුගු    න

තමන් ගේ පාඩුවේ සැප විඳින ද    න
උතුම් බවට පැමිණෙන්නේ කොයි ලෙසි    න
මෙවන් කරුණු දැන දැන කුහක ගතියෙ    න
ඔවුන් හට කරති පැසසුම් අමන ද    න

එබැවින් මිතුරු මී හරකෝ ගුණ නැණැ     ති
තගොසින් අළුත් නුවරට විගස නො නැව    ති
දකිමින් කළු කුමරු නම් යක්ෂ සෙන්ප    ති
පවසන් මේ අවනඩුව මුළු ලොවට වැඩ වෙ    ති

ඉතින් නුඹ කොළඹ මරදානෙන් ගොසි    නි
දකින් කැළණිය ද පෑලියගොඩ හොඳි    නි
එයින් පසු ව හුණුපිටිය ද රාගමි    නි
හොරෙන් හොරෙන් යව මඩ වගුරු අතරෙ    නි

ගනේමුල්ල හෙනරත්ගොඩ බෙම්මු    ල්
පත්තල ගෙදර වේයන්ගොඩ සිරි දු    ල්ල
පල්ලේවෙල මීරිගම පොල් තුරු නි    ල්ල
පසු කර අඹේපුස්සට යව නොව මැ    ල්ල

අලව්වේ වලව්වල නොම නැවතී    ලා
වලකුඹුරේ කුඹුරකට බැස දිය බී    ලා
පොල්ගහවෙල රඹුක්කන ගම් පසුකර    ලා
කඩුගන්නාවෙ කන්දට නගිනු සැරසී    ලා

බලනේ විලස සිහලුන් දක්වා පො    රණ
බලනේ පරංගින් වැනසුව පැමිණි    රණ
බලනේ කන්ද නැග සුමිතුරු නොව උ    රණ
බලනේ නම් යෙහෙකි ඒ ලේ වැකි දෙ    රණ

එතනින් ගොසින් අනතුරු නොව කඳු උඩි    නි
පලයන් අළුත් නුවරට ගරු සරු සිති    නි
පසෙකින් දැඩිමුණ්ඩ දෙවියන් සිට බැති    නි
නමදින් සතර ගාතෙන් බිම පෙරලෙමි    නි

පුරා තන පටන් සිරිලක රැක ග    ත්තු
විරා ජිත පවර එසුරිඳු සිරිම    ත්තු
සුරා වනසන්ට වීරිය පෙර ග    ත්තු
හැරා සිටිනු කිම දැයි විමසිය යු    ත්තු

අළු කර තෙද නලින් දුදනන් දුරු ව    න්ඩ
ඇළු මිය කරණ සුදනන් සැප සලස    න්ඩ
දිළු යස විකුම් දෙවිඳන් වැඳ දැඩිමු    ණ්ඩ
කූළ කුමරා සිටින දෙවොලට රිංග    න්ඩ

නැග මී හරකෙකුගෙ පිට රුදු යකා ලෙ    
සිටිනා කළු කුමරු සඳ දැක වඩා තො    ස
වැඳ ලා හතර ගාතෙන් නුඹ නො වී ල    ස
මෙලෙසින් තුති කරන් ඒ යකුට නිසි ලෙ    ස

රීරා මහසොහොන් දහ අට එ සමය    මේ 
ගෝරා අබිමාන යකු මහ සූනිය    මේ
නෑරා මෙ සැම සහ වසනා මිතුරුව    මේ
තෝරා ගතැකි පහනා කළු කුමරු ය    මේ

තුම්මන් සලේ රැක ඉඳ ලෙඩ කරන     යකා
ගොම්මන් වෙලාවට දිස්ටිය හෙලන     යකා
යන්තම් රුවැති ලියටත් බැල්ම ලන    යකා
පන්දම් එළිය දැක නටනා රුදුරු     යකා

මෙලෙසින් තෙද විකුම් යුත් කළු කමරු හ    ට
මබසින් සතර ගාතෙන් නමැඳ තුති කො    ට
පෙරවුන් උතුම් සිංහලයන් ගේ නම    ට
සතුටින් සවන් දෙන්නට කිය මේ බස    ට

දැනට සිරි ලකේ සිටිනා බොහෝ දෙ    න
සුරා පෙරා විකුණාලා විදි ලෙසි    න
මුදල් බොහොම සපයා ගෙන සුරන් මෙ    න
කන්නන් අඳින්නන් බොන්නන් රිසි ලෙසි     න

තවත් සමහරෙක් ඉංග්‍රිසි සත ඉගෙන    න
ලොකු නිලතල ලබා මුදලුත් සපය ගෙ    න
ලොකු ලොකු වලව්වල ඉන්නන් සුරන් මෙ    න
මෙලෙසින් දැන් ඉන්න අයගේ නැත ගණ    න

මොවුන් මෙලෙස ඉන්නා මුත් සිරි සැපෙ    න
සුරා බිබී වැනසෙති කොටසක් අම    න
සිප් සතරක් ඉගෙන ගැනුමට නැති කමි    න
යකුන් ලෙසට ලොකු වෙති දරුවෝ දුකි    න

කරන්නට රැකී රක්සා නැති බැවි    න
හිඟන්නන් වෙලා තව කොටසක් සිටි    න
වෙළෙඳම් සියළු වෙන රට අයට අත් වු    න
හිඟා නොකා අපි හිඟමනට පත් වු    න

අනුරාපුර කුඹුරු තැනුමට ඇතත් ඉ    ඩ
නොතකති දනවතුන් හට ඒ නොවේ වැ    ඩ
සියළු ම ලක් දනට සැපසේ ඉන්ට ඉ    ඩ
තිබෙතත් දනවතුන් නොතකති රටේ වැ    ඩ

බිබී ජින් බ්‍රැන්ඩි ෂැම්පින් මත් කර    න
කකා මස් පාන් ආදිය රස වැහෙ    න
මොටෝ කාර්වල යන එන සිතු ලෙසි න
වලව්වල දෙවෙනි මාලෙහි සැප විඳි    න

මිනිසුන් උතුමන් ය කියමින් කපටි ද    න
උතුමන් හටත් ගරහති සුනක ගතියෙ    න
එබැවින් කළු යකානෙනි තද තෙදැති ව    න
බලමින් ඔබෙ කුරිරු ඇස් දෙක නෙරවමි    න

වැඩක් රටට නොකරන ලොකු ලොකු අය     
ඔවුන් උතුමන් ය කියනා කපටින්     ද
නරඹා කළු කුමරු මරු අවතාර ල    ද
කළ මැන සුදුස්සක් ලෝ වැඩ වැඩෙන ලෙ    ද

කියා ලා මෙවග කළු යකුට නම ක    ර
අයා මුව රටේ සතුරන්ට දෙස් ක    ර
සොයා ගෙන ගොසින් නුඹෙ වනගත කුඹු    
දයා වෙන් වසනු මැනවී ගොන් මිතු    ර

- පියදාස සිරිසේන

(විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය පොතෙනි)

https://archive.roar.media/sinhala/main/health-lifestyle/scary-black-prince-who-looks-at-ladies

Sunday, November 26, 2023

වැඩ පහසු කරන, කාලය ඉතිරි කරන...

මේ ගැන ලියන්න පටන් ගන්න කොට ම කතාවක් මතක් වුණා.

සිගරැට් බොන ‌මල්ලිට, අයියා උපදෙස් දෙනව...

"දැන් මට කියහං දවසකට සිගරැට් කීයක් බොනවද උඹ?"

"දවසකට අඩුම දහයක්වත් බොනව. ඇයි?"

"ඉතිං බලහංකො. දැන් සිගරුට් එකක් රුපියල් 125යි. දවසකට උඹට යනව වියදම, රුපියල් 1,250/- ක්. මාසෙකට යනව, 37,500 ක්. ඒ කියන්නෙ අවුරුද්දකට... 450,000 ක්. අවුරුදු දහයක් උඹ ඔය සල්ලි ඉතුරු කළා නං, ලක්ෂ 45ක්. බොට ඔය සල්ලිවලින් බංගලාවක් හදාගන්ඩ තිබුණ."

මල්ලි අහනව අයියගෙං:

"දැං උඹ සිගරැට් බොන්නෙ නෑනෙ. දැං කෝ ඔය විදිහට ඉතුරු කරල උඹ හදාගත්තු බංගලාව?"

දැන් යමු අපේ මාතෘකාවට. මගෙ ගැටළුව තියෙන්නෙ, අපි අපේ වැඩ පහසු කරගන්න නොයෙක් තාක්ෂණයන් යොදා ගන්නවා. වට්සැප්, ඊමේල් වගේ. අපට හොඳ පාරවල් සහ හොඳ වාහන භාවිත කරන්න ලැබෙනව. ගෙදරදොරේ වැඩ පහසු කරගන්න නොයෙක් උපකරණ තියෙනව. 

ඒ විදිහට අපි ඉතිරි කරගත්ත කාලය කෝ?


අපි මුල ඉඳල පටන් ගත්තොත් මෙහෙමයි...

ඔන්න ඉස්සර කාලේ උන්නා, මානව කණ්ඩායම්, ගෝත්‍ර. ඒ අය කළේ දඩයම් කිරීමත්, පල වැල අල ආදිය එක් රැස් කිරීමත්. 

ඔය අතරෙ උන්න ටිකක් වැඩිපුර හිතන කට්ටියක් පටන් ගත්තා, කැලේ ගිහින් දඩයම් කරනව වෙනුවට සත්තු අල්ලගෙන ඇවිත් ගේ ගාව කොටුවකට දාගෙන ඇති කරන්න. පලවැල රැස් කරනව වෙනුවට පැල උදුරගෙන ඇවිත් ගේ වටේ හිටෝ ගන්න. පේන විදිහට ලේසියි.

නමුත් දඩයක්කාරයට / පලවැල රැස් කරන්නට වඩ‌ා ගොපල්ලට / ගොවියට ජීවිතය ලේසි වුණේ නෑ.

දඩයක්කාරයන්ට ලොකු දඩයමක් ලැබුණම, බඩ පිරෙන්න කාලා, ඉතිරි ටික මී පැණිවල  හෝ වේලාගැනීමෙන් ඉතිරි කරගන්නවා. ඒ කියන්නෙ දවස් ගාණකට බර වැඩ නෑ.

ගොපල්ලා සත්තු බලා ගන්න ඕනෙ, කොටි වගේ විලෝපිකයන්ගෙන්, හොරුන්ගෙන් බේර ගන්න ඕනෙ. තණකොල කවන්න ගෙනියන්න ඕනෙ. පායන කාලෙට වතුර හොයල දෙන්න ඕනෙ. ලෙඩට දුකට බලන්න ඕනෙ. මුළු දවස ම කරන්න වැඩ තියෙනව.

ගොවියා, ගොවිපොල සකස් කරන්න ඕනෙ. පොලොව සකස් කරලා, ඇල වේලි හදලා, පායන කාලෙට වතුර දාලා, අස්වැන්න කන්න එන සත්තුන්ගෙන් පරිස්සම් කරගෙන, අන්තිමේ අස්වැන්න නෙලාගෙන, ගබඩා කරගෙන, පරිස්සම් කරගන්න ඕනෙ ඊළඟ කන්නයෙ අස්වැන්න නෙලනකම්. 

පේන විදිහට, වැඩ පහසු කරගත්තා කියලා කරගෙන තියෙන්නෙ, වැඩ වැඩි කරගැනීම සහ සංකීර්ණ කර ගැනීම.

ආපහු වර්තමානයට ආවොත්, අපි රස්සා කරන්න පටන් ගත්ත කාලෙ, ලියකියවිලි අපට ලැබෙන්නෙ තැපෑලෙන් සහ ෆැක්ස් මඟින්. එහෙම ලැබෙන වැඩ ඉවර කරන්න අපට සාධාරණ කාලයක් ලැබෙනව. ඒ කියන්නෙ, තැපෑලට යන කාලයත් එක්ක. නමුත් දැන් අපට ලියවිලි සහ තොරතුරු ඊට වඩා ඉක්මණට ලැබෙනව. ඒ වගේ ම ඒ තොරතුරු ආපිට අපෙන් බලාපොරොත්තු වෙන්නෙත්, දිනක් හෝ දෙකක් ඇතුළත.

ෆෝන් එකේ වට්සැප් ඔන් කළහම, ඒකෙ රාජකාරිවලට අදාළ වට්සැප් සමූහ තියෙනව විස්සක් විතර. එක එක විෂයයන්වලට අදාළව. ඊට අමතරව, දරුවගෙ ඉස්කෝලෙට අදාළවත් තියෙනව වට්සැප් සමූහ පහක් - හයක්. රාජකාරි ඊමේල් ගිණුම වෙන ම.

ඔය හැම එකක් ම අප්ඩේට් වෙන වාරයක් ගානෙ බලන්න බැරි වෙන නිසා වෙන ම නිලධාරියෙක් පත් කරල තියෙනව, ඔෆිස් එකේ. ඒත් මගෙ වගකීම ඔහුට යන්නෙ නැති නිසා, මමත් නිතරම ඔය දේවල් ගැන බලන්න ඕනෙ. ඒ අතරෙ මහජන පැමිණිලි, පළාත් පාලන ආයතනවල වැඩ හරියට නියම වෙලාවට නීතියට අනුව සිදු වෙනව ද කියලා අධීක්ෂණය කිරීම...

අන්තිමේ අපේ රාජකාරි පහසු කරගන්න යොදාගන්න නවීන තාක්ෂණය එක්ක අපි යන්ත්‍ර බවට පත් වෙමින් ඉන්නව.

ඉතින්, වැඩ පහසු කරන, කාලය ඉතිරි කරන නවීන තාක්ෂණය එක්ක, ඉතිරි කරගත්ත කාලය කෝ?

(පහල සිංදුව මේකට අදාළ වෙන්නෙ යන්තමින්. නමුත් ප්‍රශ්නය එක ම යි.)


මේකෙ ජෝන් ‌ලොගී බෙයාඩ් ට ඉන්න නළුවා, මාත් එක්ක ධීවර අමාත්‍යාංශයෙ වැඩ කරපු යාළුවෙක්. එයා ගොඩක් ටෙලි නාට්‍යවල ඉන්නවා.

Sunday, October 2, 2022

පිටස්තරයාගේ වාර්තාව 3 - විශ්වාස


මගේ පහුගිය වාර්තාවක සඳහන් වුණු හැටියට මේ ග්‍රහලෝකයේ ඉන්නා බුද්ධිමත් ජීවීන්ගේ චර්යාවන් එකිනෙක සියුම් ව පරීක්ෂා කර වාර්තා කරන්නැයි උපදෙස් ලැබී තිබුණි. ඒ අනුව, මේ වාර්තාවෙන් මේ කියන බුද්ධිමත් ජීවීන් ගේ විශ්වාස ගැන වාර්තා කරමි.

මේ ජීවීන් විශ්වාස කරන බොහෝ දේ තිබෙන අතර, ඒවා හැම එකක් ම වාගේ ඇත්තට ම නොපවතින, එහෙමත් නැත්නම් පවතින බව තහවුරු කරගන්නට බැරි කාරණා වේ. ඒ වගේ ම ඒවා කීපයක් එකට පටළැවී, එකට ක්‍රියාත්මක වෙන දේවල් ය.

එයින් ලොකු ම එක වන්නේ, අයිතිවාසිකම් ය. මේ ජීවීන් විශ්වාස කරන්නේ, හැම ජීවියෙකුට ම මේ ග්‍රහලෝකය මත ජීවත් වෙන්නට අයිතියක් තියෙනවා කියා ය. එහෙම උනත්, බුද්ධිමත් ජීවීහු උන්ගේ උවමනා එපාකම් අනුව අනික් ජීවීන් උපද්දවීම, පවත්වාගෙන යාම සහ මරා දැමීම කරති. ඒ වගේ ම නීති සහ ආගම් නමින් හඳුන්වන විශ්වාසයක් මගින් ඒ චර්යාවන් පාලනය කරන්නේ නැති නම්, බුද්ධිමත් ජීවීහු ම තම තමන් ම මරා දැමීම කරති. 

මේ විශ්වාසයේ තවත් පැත්තක් වන්නේ, හැම බුද්ධිමත් ජීවියෙකුට ම මේ ග්‍රහලෝකය මත තියෙන දේවල් සමානව අයිති බව ය.

අයිතිවාසිකම් කියන විශ්වාසයේ භාවිතය මේ කාරණාවේ දී වැදගත් වේ. මේ විශ්වාසය භාවිත කරන්නේ පාලකයන් කියනා කොටස ය. අනික් බුද්ධිමත් ජීවීන් සමූහයක්, දහස් ගණනකටත් වඩා වැඩි පිරිසක් එකමුතු , තමන් ගේ නායකත්වය යටතේ එක ඉළක්කයක් කරා මෙහෙයවන්නට පාලකයන්ට මේ විශ්වාසය උපයෝගී වේ. ජීවීන්ගේ අයිතිවාසිකම් රැක ගන්නට සහ දියුණු කරන්නට ඇති උවමනාවක් පෙන්වමින් පාලකයන් බවට තමන් පත් කරවීමට මේ නායකයෝ අනික් ජීවීන් මෙහෙයවති.

එහෙම පත්වන නායකයන්, අනික් බුද්ධිමත් ජීවීන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන නමුත්, වඩා උනන්දු වන්නේ පාලකයන් හැටියට තමන්ගේ සැප පහසුව සහ පරිභෝජනය මනාව පවත්වාගෙන යාම ගැන ය.

ඒ වගේ ම මෙතනට සම්බන්ධ වෙන තවත් විශ්වාසයක් වන්නේ සීමා ය.

මේ ග්‍රහලෝකයේ බුද්ධිමත් ජීවීන් වාසය කරන්නේ ගොඩබිම ප්‍රදේශවල පමණි. ඒ ගොඩබිම ප්‍රදේශ බුද්ධිමත් ජීවීන් විසින් රටවල් යැයි මායිම් නියම කරගෙන වෙන් කර ඇත. ඒ රටවල් පාලනය කරන්නට රාජ්‍ය කියා ජාතියක් ඇති අතර, ඒ රාජ්‍යවල ඉන්නා බුද්ධිමත් ජීවීන් කාලෙන් කාලෙට තම තමන් දරණ විශ්වාස අනුව තම තමන්ගේ නායකයන් පත් කර ගනිති.

ඒ වගේ ම අසල්වැසි රටවල් සමග විටින් විට යුද්ධ කියා ජාතියක් කරති. එතන දී අර මුලින් සඳහන් කරන ලද අයිතිවාසිකම් ගැන කිසිදු තැකීමක් නොකර, එකිනෙකා මරා ගනිති. ඒ විදිහට මරා ගන්නට පවා බුද්ධිමත් ජීවීන් පොළඹවන්නට අර කියන ලද විශ්වාසයන් ඉවහල් වේ. ව්‍යාප්තවාදය, බෙදුම්වාදය, ජාතිකත්වය, වාගේ විශ්වාසයන් මෙසේ කණ්ඩායම් මෙහෙයවීමට භාවිත වෙන අතර, මේවාත් අර මුලින් කී අයිතිවාසිකම් නම් විශ්වාසයේ ම අතුරු කොටස් වේ. 

ජන වර්ග කියා විශ්වාසයක් ද පවතින අතර, එය මුල් කරගෙන අර ඉහත කී ජාතිකත්වය, ව්‍යාප්තවාදය හා බෙදුම්වාදය කියනා විශ්වාසයන් ක්‍රියාත්මක වෙයි. මේ ජන වර්ග කියන්නේ, බුද්ධිමත් ජීවීන් විවිධ කොටස්වලට බෙදනා ක්‍රමයකි. හැම බුද්ධිමත් ජීවියෙක් ම උපතින් ම එකිනෙකාට සමාන වන අතර, ඔවුන්ගේ වැඩිහිටියන් විසින් ඉහත කී විශ්වාසයන් අනුව තම තමන් වර්ගවලට බෙදා ගනිති. 

මේ කියන වර්ග බෙදෙන්නේ තර්කානුකූල ලක්ෂණ අනුවය. ඔවුන් කතා කරන භාෂාවල ඇති වෙනස්කම්, ආගම් කියනා විශ්වාසයන්ගේ වෙනස්කම්, සිරිත් හා පුරුදුවල වෙනස්කම් ආදී ලක්ෂණ අනුව ඔවුහු තම තමන් වර්ග වලට බෙදා ගනිති. බොහෝ විට මෙසේ බෙදීමට යොදාගැනෙන්නේ ඉතා ‌සුළු විශ්වාසයන් ය. උදාහරණයක් ලෙස, සමහරෙක් සත්ත්ව මළ සිරුරු ආහාරයට ගන්නේ, එම මළ සිරුරුවල ලේ ඉවත් කිරීමෙන් පසුව වන අතර, තවත් සමහර ජන වර්ගයන් සත්ත්ව මළ සිරුරු ආහාරයට ගන්නේ ම නැත. 

එහෙම වුණත්, ජන වර්ගයක සියලුම සාමාජිකයන් මේ හැම සිරිතක් ම පුරුද්දක් ම අනුගමනය නොකරති. හැම ජන වර්ගයකම වාගේ, ඊට අදාළ රීති හා සිරිත් අනුගමනය නොකරන සාමාජිකයන් දැකිය හැකි වේ.

ධනවාදය, සමාජවාදය වගේ විශ්වාසයන් ද රාජ්‍යයන් පාලනය කරද්දී භාවිත වෙන නමුත්, ඇත්තට ම ප්‍රායෝගිකව සිද්ධ වෙන්නේ පාලකයන් තමන්ගේ පැවැත්ම ස්ථාවර කර ගැනීම විතරකි. තමන් මෙහෙයවන කණ්ඩායමේ පැවැත්ම හෝ අර මුලින් කියන ලද අයිතිවාසිකම් ගැන තැකීමක් පාලකයන් හට නැත.

ආගම සහ නීතිය කියා විශ්වාසයන් වර්ග දෙකක් ද ඇත. මගේ පහුගිය වාර්තාවේ කියූ අර කාකි ඇඳුම් අඳින රක්ෂා කරන්නෝ මෙයින් නීතිය කියනා විශ්වාසය පවත්වාගෙන යන උදවිය ය. කහ, තැඹිලි හෝ ගුරු පාට නැත්නම් සුදුපාට නිල ඇඳුම් අඳින රක්ෂා කරන උදවිය ආගම් කියනා විශ්වාසය අනික් ජීවීන් අතරේ පවත්වාගෙන යති. මේ දෙකෙන් ම අර ඉහත කී පාලනය කරන ජීවීන් ගේ කාර්යය පහසු කරවන්නේ ය.

ආගම සහ නීතිය කියන්නේ බුද්ධිමත් ජීවීන් සෙසු බුද්ධිමත් ජීවීන් අතරේ හැසිරිය යුතු ආකාරය ගැන ය. ඒත් ඒ ආකාරයට පාලනය කරන උදවිය හැසිරෙන්නේ නැත. ඔවුන්ට තම තමන්ට උවමනා හැටියට හැසිරීමට හැකි අතර, ඒක ප්‍රශ්න කරනවා වෙනුවට බොහොමයක් බුද්ධිමත් ජීවීන් කරන්නේ ඒ හැසිරීම් සාධාරණීකරණය කිරීමය. පාලකයන් හට පාලනය කිරීමට පහසුවන ආකාරයට බුද්ධිමත් ජීවීන් හසුරවීම සහ හික්මවීම නීති මඟින් සිදු වේ. ඒ වාගේ ම පාලකයන්ට එරෙහිව නැගී සිටින බුද්ධිමත් ජීවීන් මෙල්ල කිරීම සහ මර්ධනය කිරීම ද එහි තවත් කාර්යයකි.

ආගම්වලින් මීට අමතරව බුද්ධිමත් ජීවීන්ට එළඹෙන හිරිහැර සහ දුක්ඛිත ජීවිත ගැන ඔවුන්ගේ හිත හැදීම සහ ඉවසීම ඇති කරවා දී පාලනයට එරෙහිව ඔවුන් නැගී සිටීම අධෛර්යවත් කරමින්, පාලකයන් ගේ කටයුතු පහසු කර දීම ඉටු කරයි.

ඇත්ත කියා විශ්වාසයක් ද මේ ජීවීන් අතර ඇත. ඔවුන් එය තදින් විශ්වාස කරන අතර, එම ඇත්ත ඔවුන්ට ලැබෙන්නේ බෝහෝ විට වෙනත් කෙනෙක් ලබා දෙන තොරතුරක් හැටියට ය. මාධ්‍ය කියා දෙයක් ඇත. එය කඩදාසි මත අච්චු ගහන ලද්දක් හෝ විද්‍යුත් සන්නිවේදන ක්‍රමයකින් හෝ තොරතුරු ලබා දෙන ක්‍රමයකි. මේ මාධ්‍ය තමන් දෙන තොරතුර තමන්ගේ විශ්වාසයේ හෝ අරමුණේ හැටියට සකස් කර ලබා දුන්නත්, බුද්ධිමත් ජීවීන් විශ්වාස කරන්නේ ඒ තොරතුරු ඇත්ත කියා ය.

මේ හැටියට බලන කොට මේ බුද්ධිමත් ජීවීන් ජීවත් වෙන්නේ විශ්වාස ගොඩක් අනුව හැඩ ගස්සවන ලද ජීවිතයකි. ඉපදීම, පරිභෝජනය, පැවතීම, බෝ කිරීම සහ මිය යාම කියනා කාරණාවලින් ඔබ්බට ගියපු යම් කිසි තේරුමක් මේ ජීවිතයට ඇතැයි කියා ද ඔවුහු විශ්වාස කරති. ඉතා ම බහුතරයක් මේ විශ්වාසවලින් ම මෙහෙයවෙන අතර, ඉතා ම සුළුතරයක් මේ විදිහට ජීවීන් තුල තියෙන විශ්වාසවල වාසිය රැගෙන තමන්ගේ ජීවිත සැප පහසු කරගනිති.


පසුගිය වාර්තා.

වාර්තා අංක 01 - ජීවීන්

වාර්තා අංක 02 - රැකී රක්ෂා

Thursday, May 12, 2022

කෘමියෙකුගේ ජීවිතය


කූඹි ජනපදයක්... 

ඔවුන් ඉතා මහන්සි වී කෑම රැස් කරනවා. නමුත් ඒ කෑම උන්ගේ ගුලට ගෙනියන්නේ නෑ. ගුලේ කට ඇති තැන උස් මුදුනක තියෙන කොලයක් මත ගොඩ ගහනවා... ඒ උන්ව බයකරගෙන පාලනය කරන තණකොල පෙත්තන් රංචුවක් උදෙසා.

ෆ්ලික් ඒ කූඹි රැලේ එක කූඹියෙක්. ඔහු නව නිපැයුම් කරන්නෙක්. නමුත් ඔහුගේ නව නිපැයුමක් මිස් ෆයර් වෙලා, තණකොල පෙත්තන් එන දවසේ ම, කූඹි රැළ දවස් ගාණක් තිස්සේ එකතු කරපු කෑම කන්දරාව, ඇලට වැටෙනවා.

තණකොල පෙත්තන් කූඹියන්ට තර්ජනය කරනවා. කොළ වැටෙන කාලය ඉවර වෙද්දී ආපහු කැම හොයලා තිබ්බේ නැත්නම් ඔවුන් විනාශ කරන බව කියමින්.

ෆ්ලික් නගරයට යනවා, තමන්ට උදව් කරන්න සූදානම් ලොකු කෘමියන් හොයාගෙන එන අදහසින්. ඔහුට හම්බ වෙන්නේ, සර්කස් කාරයන් රැළක්. ෆ්ලික් හිතන්නේ ඔවුන් වීරයන් කියලා. නමුත් ඔවුන් කරන සර්කස් එකවත් හරියට කරගන්න බැරුව නරඹන්නන් හිනස්සවන විදිහේ ෆේල් චරිත ටිකක්.

සර්කස් කාරයන් ෆ්ලික් එක්ක ආපහු කූඹි ගුලට එනවා. ඔවුන් එතනදි කූඹියන්ට පොරොන්දු වෙනවා තණකොල පෙත්තන් පරාද කරලා කූඹි රැළ බේරගන්න බවට.

මෙතන තියෙන්නේ එක සරළ සිද්ධාන්තයක්. ඒක තණකොල පෙත්තන් රැළට, ඔවුන්ගේ නායකයා වන හොපර් කදිමට විස්තර කරලා දෙනවා...


මේක වඩා පැහැදිළියි. නමුත් ඉහළ ක්ලිප් එක වඩා සවිස්තරාත්මකයි...



කූඹි රැළේ දහස් ගාණක් කූඹි ඉන්නවා. නමුත් තණකොලපෙත්තන් ඉන්නේ ටික දෙනයි. කූඹි රැළ එකා වන් ව එක ම අදහසකින් ක්‍රියා කළොත්, ඔවුන්ට පරදවන්න බැරි සතුරෙක් හෝ පාලකයෙක් නෑ... එය තේරුම් ‌නොගන්නා තාක්, කූඹි රැළ පාලනය කර මර්ධනය කර තබා ගන්න පුළුවන්. ඒ වගේ ම තණකොල පෙත්තන්ට තමන්ගෙ ජීවිකාව කරගන්න පුළුවන්.

ඒ වගේ ම තාවකාලික සුළු සුළු ජයග්‍රහණවලින් එහෙමත් නැත්තම් තණකොළ පෙත්තන්ගේ රැවටීම්වලින් නොනැවතී, තම අරමුණ සම්පූර්ණයෙන් ම ඉටු වන තෙක් සටන් කිරීම වැදගත්. (ඒක මම කිව්වෙ මේ ෆිල්ම් එක ගැන විතරක් නෙමෙයි...)

1998 දී ආපු ඉතාම වැදගත් සහ ලස්සන ෆිල්ම් එකක්, A Bug's Life. ඩිස්නි නිෂ්පාදනයක්. මෙතනින් බලන්න...

Monday, February 7, 2022

නිදහස? සහ ජාතික වීරවරු?

ජාතික වීරයන් සහ නිදහස් දිනය ගැන කණට ඇහෙන හැම වාරයකම වාගේ අපේ තාත්තා කියපු දෙයක් තමයි, "ඔය කියන නිදහස හැබෑ නිදහසක් නෙවෙයි. ඔය කියන ජාතික වීරයො අපේ හැබෑ වීරයො නෙවෙයි" කියන එක. පහුගියදාක අසංග ලියපු මෙන්න මේ පෝස්ට් එක කියවද්දි මට මතක් වුනේ තාත්තතගෙ ඒ වචන. 

ඇත්ත. ජාතික වීරයන් කියලා අපට පාසල්වල උගන්නන්නෙ ඩී ඇස්, බණ්ඩාරනායක, බාරොන් ජයතිලක, ආරුමුග නාවලර්, සිද්දි ලෙබ්බෙ, ගුණානන්ද හාමුදුරුවො, සුමංගල හාමුදුරුවො, ධර්මපාලතුමා, පොන්නම්බලම් වරු දෙන්නා, හෙන්රි පේද්‍රිස් වගේ උදවිය ගැන. නමුත් අපි දන්නෙ නෑ ඇත්තට ම බ්‍රිතාන්‍ය පාලනය එක්ක හැප්පිලා යම් යම් දේ ලේ දහඩිය මතින් දිනාගෙන, සුදු ආණ්ඩුවට හිසරදයක් වුණු ඇත්ත වීරයන් ගැන.

බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ අනුග්‍රහයෙන් පොපිමල් විකුණද්දි එකට එක වශයෙන් සූරියමල් විකුණලා, එයින් ලංකාවෙ දරිද්‍රතාව  සහ කම්කරු අරගලයන්ට අරමුදලක් පිහිටුවපු සමසමාජ පක්ෂය තමයි, ලංකාවෙ පළවෙනි දේශපාලන පක්ෂය. ඒකත් එක්ක ම පැතිරුණු මැලේරියා වසංගතයෙදි පීඩිත මිනිස්සුන්ට උදව් කරන්න කොළඹින් මහපොළොවට බැහැපු එකම මහජන නියෝජිතයන් වුණේ ඔවුන්.

රදළවරු සහ වතුකාරයන් පාරෙ යනකොට කරේ තියෙන ලේන්සුව දෑතට අරං කාණුවට බහින්න පුරුදු වෙලා උන්න මිනිස්සුන්ගෙ කොන්දට කෙලින් කරන්න සමසමාජ කතාවලින් යම් තාක් දුරකට හැකි වුණා. (යම්තාක් දුරකට කියලා මම කියන්නෙ, ඒ පුරුද්ද වෙන වෙන මුහුණූවරින් තාමත් අපේ මිනිස්සු අතරෙ තියෙන නිසා.) ගමේ කෙල්ලන් දූෂණය කරමින්, ගම් වැසියන් පාගාගෙන ජීවිත ගෙවපු වතුකාර හාම්පුතුන් ගේ ජඩකම් එළිපිට කතා කරමින් මිනිසුන්ගේ ජීවිත නගා හිටවන්න වැඩ කළේ සමසමාජ කාරයන්. 

වැඩ මුරය පැය අටකට සීමා කරන්න, නිවාඩු සහ වැඩට සරිලන වැටුප් ලබාගන්න, සමසමාජය, වරාය කම්කරුවන් සහ වතු කම්කරුවන් එක්ක කරපු අරගල ඉතිහාසයේ සඳහන් වෙන්නේ නෑ. හොඳින් කියවලා බැලුවොත් අපේ මහාවංශයෙ ලියල තියෙන හැටියට, ඒ කාල සීමාවෙ සිද්ධ වෙලා තියෙන්නෙ සිංහල ශබ්දකෝෂය ලියාපු එක විතරයි.

සුදු ආණ්ඩුවට විරුද්ධව වැඩ කළ බ්‍රේස්ගර්ඩල් හට වෙච්ච නස්පැත්තිය සහ සමසමාජ නායකයන් ඔහු වෙනුවෙන් පෙනී සිටීම ඉතා ම ආන්දෝලනාත්මක සිදුවීමක් වුණාට, එයට සම්බන්ධ පෙරකදෝරු කොල්වින් ආර්. ද සිල්වා වඩා ප්‍රසිද්ධ ගොයං කොළේ නඩුව ගැන.

ඉදිරිපස - බ්‍රේස්ගර්ඩල් සහ කොල්වින් ආර්. ද සිල්වා


අවසානයේ ඊනියා නිදහස දීලා යන්ඩ කලින් සමසමාජ නායකයන් සිරභාරයට ගත් හැටි, දෙවෙනි ලෝකයුද්ධය එක්ක ඔවුන් හිරගෙදරින් පැන ගිහින් ඉන්දියාවේ සැඟවී කටයුතු කරපු හැටි දන්නෙ ඉතාම ටික දෙනෙක්.

ජාතියේ පියවරු සහ පුත්තු ජාතික නායකයන් තමයි. නමුත් සැබෑ සටනක් කරපු සැබෑ ජාතික වීරයන් ගැන කිසිම සඳහනක් නැතිව ඉතිහාසය ඉගැන්වෙන්නේ.



අනික් අතට, ඩොමේනියන් තත්ත්වය හැබෑ නිදහසක් නෙමෙයි. නිදහස සහ ස්වෛරීත්වය කියන්නෙ ස්වයං පාලනයක්. නමුත් 1948 දි අපට දීල ගියෙ රෝයල් නේවියක්, රෝයල් මේල් සිස්ටම් එකක්, ප්‍රිවි කවුන්සිලේ උපරිම අධිකරණ බලය වෙච්ච අධිකරණ පද්ධතියක්,  අග්‍රාණ්ඩුකාරවරයෙක් ගෙන් නියෝජනය වන රැජිණ රාජ්‍ය නායකයා වෙච්ච මහ අමුතු "නිදහසක්".

ඔන්න ඔය යටත්විජිත පෙකණිවැල කඩා ගත්තෙ අර උඩින් කියපු මහපොලොවේ සටන් කරපු ජාතික වීරයන්ගෙන් සමහර අය දායක වුණු මැතිණිගෙ ආණ්ඩුව විසින්. ඒකෙ ක්‍රෙඩිට් ඒක මැතිණි ට ගියාට, මගෙ දැනුමෙ හැටියට මූලික වුණේ සමසමාජය.

ඉතින්... අපි සමරන්නෙ සැබෑ නිදහසද? සැබෑ ජාතික වීරයන්ද?


වැඩිදුර පරිශීලනයට:

ඇන් ඇම් පෙරේරාගේ දේශපාලන දිවියේ මතක සටහන්

ඇන්. ඇම්. - චරිත කතාව.

නාඳුනන පුත්තු - ටෙලි නාට්‍යය

Wednesday, November 11, 2020

පුනරාගමනික රාවණ...

වවුල් දොර පියන් දෑතින් තල්ලු කරමින් ජයලංකාර ඇතුල් වූයේ ය. නිදහස් මාවතේ පිහිටි පුරාවිද්‍යාඥයන්ගේ සමාජ ශාලාව මඳ අඳුරින් සහ දුමින් පිරුණු හුදෙකලාබව රජැයූ තැනක් විය. වසර ගණනාවක් තිස්සසේ සමාජ ශාලාව පවත්වාගෙන යන නිලධාරි මඬුල්ල, එහි පැවති පෞරාණික පෙනුම සහ අංගෝපාංග කිසිදු වෙනසක් නොකොට පවත්වාගෙන යාමට වගබලා ගත් හෙයින්: දුහුවිලි සහ සිගරැට් අලු වලින් පිරුණු අඳුරු මුලු, ඇදුම රෝගය ගැන බියෙන් තොරව ක්‍රියාත්මක කිරීමට කිසිවෙකුත් එඩිතර නොවූ පැරණි විදුලි පංකා, වාර්නිෂ් මැකී යමින් පැවති රවුම් මේස, මැද හරියට වන්නට තිබූ බාර් මේසය හා ස්ටූල්, ආදිය ඉතා කෞතුක චිත්‍රයක් මැවී ය.

ජයලංකාර කෙළින්ම ගියේ බාර් එක වෙතට ය. ඔහු දොරින් ඇතුලු වන විට ම බාර් කරු සීත කළ කොළ පැහැ බියර් බෝතලයක් සහ උසැති ජෝගුවක් ද, පෝක් ඩෙවල් පීරිසියක් ද, රන්වන් පැහැ සිගරැට් පැකට්ටුවක් ද බාර් මේසය මතින් තැබී ය.

සිගරැට්ටුවක් ගෙන මුවෙහි රඳවාගත් ජයා, කළිසම් සාක්කුවෙන් ගත් ඊයම් පැහැ ලයිටරයෙන් එය දල්වා ගනිමින් හාත්පස විමසිලිමත් බැල්මක් හෙළී ය. එක් මඳ අඳුරු මුල්ලක වූ මේසයක තනිවම හිඳගෙන සිටි උසැති කෙට්ටු මිනිසා ඔහුගේ නෙත ගැටුණේ එක් වරම ය. දිග කමිස අත් අගින් දෙතුන් විටක් නවන ලද, පොඩිවුණු දුඹුරුවන් කමිසයත්, මුහුණ පුරා වැවුණු අලුපැහැති රැවුළත්, මේසය මත තබා තිබූ පැරණි තොප්පියත් කෙට්ටු මිනිසා ට ලබා දුන්නේ පරිණත පෙනුමකි.

සිගරැට් පැකට්ටුව ගෙන කමිස සාක්කුවෙහි රුවාගත් ජයලංකාර, බාර් කරු වෙත නියමිත මුදල ගෙවී ය. බියර් බෝතලය වම් කිහිල්ලේ ගසා ගෙන, ජෝගුවත් කටගැස්ම පීරිසියත් දෑතින් ගෙන ඔහු අවට පිහිටි මේස අතරින් කෙලින්ම ගියේ කෙට්ටු මිනිසා වෙත ය.

"මම මෙතන වාඩිවුණාට ඔබතුමාගෙ විරුද්ධත්වයක් නෑ නේ?"

හිස ඔසවා එක් නෙත් බැල්මක් අමුත්තා දෙස හෙලූ කෙට්ටු මිනිසා හිස දෙපසට වැනී ය. 

ජයා හට සිය අඩුම කුඩුම මේසය මත තබාගෙන වාඩිවෙන්නට කාලය ලබා දුන් හෙතෙම, හඬ අවදි කළේ ය.

"මට හිතාගන්න පුළුවන් ඔහේ මේ මේසෙටම ආවෙ ඇයි කියලා... ජයලංකාර ඔබේසූරිය..."

ජයා මවිත විය. "ඔබතුමා මාව අඳුනගත්තා?"

"ඔව්. පහුගිය කාලෙ සිද්ධ වෙච්ච දේවල් එක්ක මට තමුසෙගෙ විස්තර හොඳට මතකයි."

"මම ඔබතුමා සම්බන්ධ මොනවත් පත්තරේට ලිව්වෙ නෑනෙ."

"නෑ නෑ... ඔහේ ලියන්නෙ අපි ගැනවත්, අපේ ප්‍රායෝගික පර්යේෂණ ගැනවත් නෙවෙයි නෙ. හිතට එන එන විගඩං හැම එකම ලියනවනෙ රාවණ ගැන. තමුසෙ වගේ උදවිය නිසා දැං ලංකාවෙන් බාගෙකට වැඩිය දන්නව රාවණ රජතුමා කුරුම්බ මද කන්ඩ කැමතියි වගේ චූටි චූටි විස්තර පවා..." කෙට්ටු මිනිසාගේ ඇදී ගිය මූණේ වූයේ උපහාසාත්මක සිනාරැළ්ලකි.

"මහාචාර්යතුමා, මම කරන්නෙ ඉල්ලුමක් ඇති නිෂ්පාදනයක්. පත්තරවලින් සමාජ මාධ්‍යවලින්, දේශපාලන වේදිකාවලින් පවා ඉල්ලුමක් තියෙන්නෙ අපේ රටේ පෞරාණික ශ්‍රී විභූතිය ගැන දේශානුරාගය ඇති කරවීම... ඉතින් මම පුරවන්නෙ ඒ අඩුව."

"බම්බුව..!" මහාචාර්ය ඔක්කාක පාෂාණිභූත සෙමෙන් සිය වීදුරුව ඔසවා ඒතුලින් ජයලංකාර දෙස බැලී ය. තප්පර කිහිපයක් බලා සිටි ඔහු තීරණයක් ගත්තේ ය. "හොඳයි. මං දෙන්නං තමුසෙට පත්තරේට ලියන්න හොඳ කාරණා කිපයක්...

"අපි මාස ගාණකට කලින් පටන් ගත්තා ලකේගල කන්දෙ මූල ඓතිහාසික කැණීමක්. ඒ වෙනුවෙන් අපි අවුරුදු පහක විතර ඉඳන් ලේඛන, සහ ක්ෂේත්‍ර ගවේෂණ කීපයක් කළා. කණිංහැම් ජූනියර් පවා මාත් එක්ක ඔන්ලයින් සම්බන්ධ වුණා මේ වැඩේ ට. ඒකෙන් පේනව ඇති මේ වැඩේ කොයිතරම් පුළුල් එකක්ද කියලා.

“මොකද, රටේ ආව රැල්ලත් එක්ක, ආණ්ඩුවෙ සමහර ආයතන පවා රාවණ කාලෙ ගැන හොයන්න පටං ගෙන තිබුණා. අපිට උවමනා වුනේ ඒ ගැන තියෙන ලිඛිත සාධක අනුව සාක්ෂි පුළුවන් තරම් හොයාගෙන මේක ඇත්ත නැත්ත එළිදරව් කරගෙන, තමුසෙලා අපට පටවලා තියෙන මේ හිස රදේ ඉවරයක් කරන්න.

“ලේඛන ගත සාක්ෂි සේරම පෙන්නුම් කළේ රාම රාවණ සටනෙ අවසන් අදියර ක්‍රියාත්මක වුණු ස්ථානය ගැන තියෙන ස්ථානීය ලක්ෂණ වලට සමපාත වෙන්නෙ දුම්බර මිටියාවත තමයි කියලා.

සිය ජංගම දුරකථනය ඇදගත් ජයා, එහි වොයිස් රෙකෝඩරය පනගන්වන ආකාරය මහාචාර්ය පාෂාණිභූත බලා සිටියේ ය.

“ඔව්ව රෙකෝඩ් කරගන්න එක හොඳයි. තමුසෙලාගෙ වැඩ වල ප්‍රතිඵල තමුසෙලාට ම දැනගන්න...”

“ඉතිං මහාචාර්ය තුමා, කැණීමෙන් මොනවද හොයාගන්න පුළුවන් වුනේ?”

“එක මොහොතකට තමුසෙලා කියවපු විකාරයක් හරි ගියා අයිසේ... අපට හම්බ වුණා රාවණ ගෙ දේහය...!”

ජයා ගේ මුහුණ අසල කරකැවෙමින් සිටි මැස්සෙක්, රවුමට ඇරුණු කට තුලින් ඇතුලට ගියේ පුවත්පත් ලේඛකයාට කැස්සක් ඇතිකරමිනි.

“ඇත්තට!”

“පේනව නේද තමුසෙලා ලියන දේවල් තමුසෙලාටවත් විශ්වාස නැති හැටි?” පාෂාණිභූත සමච්ඡල් කළේ ය.

“ඉතින් මොකද වුනේ? කොහොමද ඒ රාවණ මයි කියලා තහවුරු කරගත්තෙ?”

“මම මුල ඉඳං කියන්නං... ලකේගල කන්දෙ තිබුණු ගල් ලෙණක අපි කැණීම් කළේ. ඒකෙන් අපට මුලිම්ම හම්බුණේ බෙලි කටු, ඊතළ වගේ දේවල්. ඒත් පහළට කැණිම් වලක් බැස්සට පස්සෙ, අපට හම්බුනා මෙන්න මේ සළකුණ.”

https://www.tlc.lk/wp-content/uploads/2018/09/43657067_m-800x600.jpg


මහාචාර්ය වරයා තම ජංගම දුරකථනයෙන් ගත් ඡායාරූපයක් පෙන්වී ය. එහි වූයේ, කැණීම් වළක බිත්තියක් බවට පත් ව තිබූ ගල් බිත්තියකි. එහි අඩි හතක් පමණ උසැති සෘජුකෝණාස්‍රයක් ඉතාම නිවැරදි සෘජු රේඛාවලින් ගලෙහි කොටා තිබූ අතර, එහි ඇස් මට්ටමේ බ්‍රාහ්මී අක්ෂරවලින් ලියූ වගන්තියක් විය.

“ඔය ලියල තියෙන්නෙ ‘මහ රඣ රවන මල සයන’ කියලා. ඊට යටින් මන්තරයක් තියෙනව. ඒක මම මෙතන කියලා මොන මොන විජ්ජුම්බර වෙයිද දන්නෑ. මම එතනදි වැඩිය හිතන් නැතුව ඒක කියෙව්වා. කියෙව්වා විතරයි මගෙ දකුණු පැත්තෙ උන්න කම්කරුවා මැරිලා වැටුණා. ඔය සෘජුකෝණාස්‍රය අඟලක් විතර ඇතුලට ගිහිං, දොරක් වගේ ඇරුණා.

“අපි ටික වෙලාවක් ගත්තා පොඩ්ඩක් සිහි කල්පනාව හරි යන කං. මොකද එහෙම දොරවල් ඇරෙන තාක්ෂණයක් අපි දැනගෙන උන්නෙ නෑ. පස්සෙ මායි තව දෙන්නෙකුයි ගියා ඇතුලට. යනකොට ඒ වෙනකොටත් පහන් දෙකක් ඇවිලෙනව ඇතුලෙ. ඒ පහන් දෙක මැද්දෙන් ගල් ඔරුවක් තිබුණා. ඒ ඔරුවෙ, කොළ පාට තෙල් වගේ දියරයක ගිල්ලලා තිබුණා අඩි පහක් විතර උස මනුස්සයෙක් ගෙ සිරුරක්.

“ඒ මනුස්සයා හරියටම, ගෝරිල්ලෙකුත්, මනුස්සයෙකුත් අතර මැද අවස්ථාව තමයි මට සිහිපත් කළේ. මට පස්සෙයි තේරුණේ. රාවණ ඒ තරම් පරණ කාලෙකට අයිති කෙනෙක් නම්, ඒ කාලෙ මානව පරිණාමය අනුව, ඒ රූපය හරියටම හරි.

https://media.istockphoto.com/photos/homo-erectus-picture-id466243352?k=6&m=466243352&s=170667a&w=0&h=CMu4xdAZOk4Kkp_GQ_gxcaU1LJirG0PvJOd9E6I6nBk=

“ඒ ගල් ඔරුවෙ පාමුළ කොටල තිබුණා බ්‍රාහ්මී අක්ෂර වලින් තවත් වගන්තියක්. මම ෆෝන් එකේ ටෝච් එළියෙන් ලැජ්ජාවක් නැතුව ඒකත් කියෙව්වා.

“කියෙව්වා විතරයි, මගෙ දෙපැත්තෙ උන්න මගෙ පර්යේෂණ සහකාරයො දෙන්නා මැරිලා වැටුණා. මම උන් දෙන්නා දිහා බලලා ආපහු ඉස්සරහ බලනකොට අර ඔරුව ඇතුලෙ උන්න මානවයා නැගිට්ටා.”

“ඔන්න ඔහොමයි රාවණ රජ්ජුරුවන්ගෙ දේහය අපට හම්බුණේ. එයා ඇත්තටම ඉතාම දක්ෂ, වේගයෙන් ඉගෙන ගන්න කෙනෙක්. දවසක් දෙකක් මාත් එක්ක ලකේගල කූඩාරමේ ඉඳං, එයා නූතන සිංහල භාෂාව ඉගෙන ගත්තා. පොරට අමාරු උනේ, සිංහල භාෂාවට මැදට යෙදෙන ඉංග්‍රීසි දෙමල වචන තමා. ඒවා අල්ලගන්න සතියක් දෙකක් ගියා. මාසයක් විතර යද්දි එයා පත්තරේ බලන්න පුළුවන් මට්ටමට ආවා. ෆේස්බුක්, ඉන්ස්ටා එහෙමත් අතපත ගාන්න පටං ගත්තා.

“එයා ගෙ අදහස තිබුණෙ ම ලංකාව ආපහු දියුණු කරන්න. එයාගෙ තිබුණා රාජ්‍ය කළමනාකරණය ගැන මාර සරළ, දියුණු අදහස්. එව්වා ටික ක්‍රියාත්මක කළා නං අපි මේ ලෝකෙ වෙන කිසිම රටකට වඩා සංවර්ධනය වෙන්න තිබුණා.

“වෙන්න තිබුණා කිව්වෙ? මොකද වුණේ?”

“මොකද වුණේ?... වුණේ තමා! වුණේ උන්දැ ලකේගල පහලට පැනලා දිවි නහ ගත්ත එක.” 

“ඒ මොකද?”

“ඒ මොකද කියන්නෙ අයිසෙ... මිනිහා මාර උවමනාවෙන් කියෙව්වා තමුසෙලා රංචුව උන්දැ ගැන පත්තරේට ලියපු ලිපි. අන්තිමේ හැම දෙයක්ම එපා වෙච්ච මිනිහෙක් විදිහට මට කියපු අවසාන වචන තමයි... 

ඈ යකෝ!... මං වත් දන්නැති මේ වැල්වටාරං අටෝරාසියක් කොහොමද අයිසෙ මිනිහෙක් ලියන්නෙ? මුං නං එසේ මෙසේ මිනිස්සු වෙන්න බෑ. මේ වගේ පට්ට කෙබර විශ්වාස කරන, ඒ වෙනුවෙන් කුණුහරුපෙං බැණගන්න ඔළමොට්ටලයො රැළක් ඉන්න රටක් මං තියා සැක්කරය ආවත් හදන්ඩ බෑ..

-----------------------------------------

බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ රැයක් වෙනුවට මාසයක් ගත කළ කොළඹ ගමයා හෙවත් අජිත් ධර්මකීර්ති සහෘදයාගේ ලිපියකින් ආ උද්යෝගය අනුව ය...

කට්ටකාඩුවෙ ලොකු මල්ලි අජිත් අයියාගේ කතාවේ ඉතුරු ටික ලියා තිබුණා. ඒක මෙතනින් ගොස් කියවා ගන්න හැක...

පැතුම් හේරත් බිත්තියේ ලියල තිබුණු, අජිත් අයියට වෙච්ච ඇත්තම සිදුවීම මෙතනින් ගොස් කියවාගන්න ඇහක...

පුරාවිද්‍යාඥ ඔක්කාක පාෂාණිභූත සහ රාවණ රජුගේ දේහය සොයාගැනීමේ වස්තුබීජයේ මුල් අයිතිය මා හිත මිතුරු අශෝක රත්නායක කුමාර හෙවත් H’MARK සතුය.


වැඩිපුර බලපු ලිපි