Saturday, October 28, 2023

වේතාල කථා - 1 තරඞ්ගය (ශනිදා දහයට!)


1

සියලු සැපතට නිවෙස් වූ දඹදිව්තෙලෙහි ගෝදාවරී නම් ගඟක් වෙයි. සිහිල්දියකඳින් පිරිපුන් කවයි පාඨිනාදී (කාවයි, පෙටි ආදී) මත්ස්‍යසමූහයාට කෙළිමඬලක් වූ, හංසසාරසාදී (හංස සේරු ආදී)  ජලචර පක්ෂීන්ට ‌ක්ෂේමභූමියක් වූ, නොයෙක් සියගණන් නෞකාවන්ගේ යෑම්ඊමෙන් අවකාශරහිත වූ, නිතර දිය කෙළනා තරුණමිනිසුන් විසින් නංවනලද රළපෙළින් හා දුටුදුටුවන් කැලුම්යොතින් බැඳ තමන් වෙත අදින මිණිරුවනින් ගැවසුනු වැලිතලාවන්ගෙන් ද සිත්කලු ඒ ගඟ ඉවුරෙහි ප්‍රතිෂ්ඨාන නම් ජනපදයක් වෙයි.

ඒ ජනපදයෙහි වික්‍රමයෙන් ශක්‍රයා පැරදවූ වික්‍රමසෙන නම් නරපතියෙක් වී ය. හෙතෙම ඉතා ගුණවත් ය. ධනවත් ය. රටවැසියන්ට පියෙකු වැන්න. රාජනීති නො ඉක්මවා රට රැකියේ රටවැසියාගේ අභිවෘද්ධියට හෙතු වන සියල්ල ම නො පිරිහෙලා කෙළේ ය. මල නො තළා රොන් ගන්නා බමරා මෙන් රටවැසියන් නො පෙළා අයබදු ගත්තේ ය. එතුමා පියෙකු මෙන් සැලකූ රටවැස්සෝ ද රටෙහි දියුණුව හා ආරක්ෂාවත් සඳහා වියදම් කිරීමට අයබදු, කිසි කෙඳිරීමක් නැති ව, නො මසුරුව ම, ගෙවූහ. මෙසේ දෙ පක්ෂයෙහි සමගියෙන් ඒ රට නොයෙක් අතින් දියුණු වී ය. තමන් රැකුමෙන් තුටු වූ මිහිකත තුමානන්ට ආකරයෙන් රුවන් ද, වනයෙන් ඇතුන් ද, වෙලින් අස්වැන්න ද සතතයෙන් දුන්නා ය.

ඒ රජතුමන් දැහැමින් රාජ්‍යය කරණ කල්හි එතුමාගේ ත්‍යාගගුණය හා වීරභාවයත් අසා ප්‍රසන්ன වූ එක්තරා තවුසෙක් දින පතා එතුමා වෙත පැමිණ විසිතුරු ලෙස මැටියෙන් කළ දඹගෙඩිය බැගින් දී යන්නේ ය. රජතෙමේ දඹ ‌පිළිගෙන භාණ්ඩාගාරිකයාට දෙයි. භාණ්ඩාගාරාධ්‍යක්ෂ තෙමේ ද ඒ දඹ ගෙන ගොස් කෙළිබඩු රැස් කරණ ගබඩාවෙහි තබයි. මෙසේ දොළොස් වසක් ගත වි ය. රජතෙමේ එක් දිනෙක්හි වත් 'කවර හෙයින් මේ මැටිමුවා දඹ පිළිගන්වන්නෙහි දැ?' යි තවුසා නො විචාළේ ය.

තෙළෙස්වනවසෙහි එක්දවසෙක්හි රජතෙමේ තවුසා විසින් පරිත්‍යාග කළ මෘන්මය ඵලය, හදිසියෙන් එහි පැමිණි, කෙළිවඳුරෙකුට දුන්නේ ය. වඳුරා 'සැබෑ ගෙඩියකැ'යි සිතා එය මුව තුළ බහා සැපී ය. එකෙණෙහි තවුසාගේ නොහොත් රජහුගේ භාග්‍යයෙන් දෝ කැලුම්කඳු විහිදුවමින් බබලන මහඟුමිණිරුවනක් එයින් බිම වැටුනේ ය.

රජතෙමේ මැණික ගත්තේ ය. භාණ්ඩාගාරිකයා ගෙන්වා 'පෙර දුන් ඵල කොහි දැ?'යි විචාළේ ය. භාණ්ඩාගාරික තෙමේ සියලු ඵලයන් රජු ඉදිරියට ගෙණායේ ය. රජ ඵලයන් පැළවී ය. එක් එක් ඵලයෙක්හි මිණි රුවනක් වි ය. රජතෙමේ රුවන්රැස බලා පුදුමයට හා ප්‍රීතියටත් පැමිණියේ දෙවෙනිදින තවුසා පැමිණෙන තෙක් නො ඉවසිල්ලෙන් බලා උන්නේ ය.

එදින ද පෙර මෙන් තවුස්තෙම මැටිමුවා ඵලයක් ගෙණ රජු වෙත එළඹියේ ය. රජ ඵල පිළිගැන්වීමෙහි යුහුසුලු වූ තවුසා නැවැත්වී ය. දින පතා ඵලයන් දීමෙහි අදහස විචාළේ ය:- "වහන්ස, ඔබට මෙතරම් මිණිරුවන් කොයින් ද? කවරහෙයින් ඒ අගනාරුවන් මැටියෙන් වසා දැමූසේක් ද? මෙතරම් අගනා මිණිරුවන් කුමක් නිසා දින පතා මට දුන් සේක් ද? මගෙන් කුමක් කැමති වන සේක් ද? දැන් මම ඔබගෙන් නය ගැතියෙක් වෙමි. නයින් නිදහස් නො වී ඇසිල්ලකුදු සිටීම මට රුචි නො වේ. එහෙයින් වහා කියන්න: ඔබට මම කුමක් දෙම් ද? කුමක් කරම් ද? ඔබගේ බලාපොරොත්තුව පවසන තෙක් අද මම ඔබගේ මේ ඵලය නො ගන්නෙමි."

තවුසා අභිප්‍රෙතාර්ථය රහසින් රජුට දැන්වී ය: "මහා වීර රජතුමනි, මම මන්ත්‍රශාස්ත්‍රයෙහි කෙළවරට පැමිණියෙක් මි. මේ පොළොවෙහි සැඟවී තිබෙන නිධාන මම දනිමි. එහෙයින් මට ධනයෙන් අඩුබවක් නැත.ඊට වඩා ශ්‍රෙෂ්ඨස්ථානාන්තරයක් මම බලාපොරොත්තු වන්නෙමි. අතිශ්‍රෙෂ්ඨ වීරවරයකුගේ සහායත්වය ඊට අවශ්‍ය ය. වර්තමාන ලොකයෙහි ඔබ වැනි වීරයෙක් කොතැනක වත් නැත්තේ ය. තුටුපඬුරු නො ගෙණ ම ඔබ මට පිහිට වනබව මම දනිමි. එහෙත් අනුන්ගෙන් නිකම් උපකාර ගැන්ම මා වැනියෙකුට තරම් නො වේ. එහෙයින් දොළොස්වසක් මුළුල්ලෙහි ඔබට මේ මිණිරුවන් පරිත්‍යාග කෙළෙමි. මගේ භාග්‍යය කවදා උදා වන්නේ දැ යි මම නො දනිමි. භාග්‍යය උදා ‌නුවූ කල්හි, කොතරම් වීරයන්ගේ උපකාර ලැබුවත් මවිසින් බලපොරොත්තු වන කාර්යය සිද්ධ නො වේ. මගේ භාග්‍යය විපාක දෙන්නට ආසන්න වූ කල්හි මැටියෙන් වැසූ මිණිරුවන් ඔබට ප්‍රකට වන බව සලකා මම එසේ කෙළෙමි. මැටියෙන් වසා ඔබට දුන් මිණිරුවන් ප්‍රකට වූයේ මගේ භාගයය උදා වූ හෙයින. එහෙයින් අපෙක්ෂිතාර්ථය ආරම්භ කිරීමට දැන් සුදුසු කාලය යි. ඊට ඔබ මට සහාය විය යුතු යි."

2

රජ තවුසාගේ ඉල්ලීම පිළිගත්තේ ය.තමන්ගෙන් කවර උපකාරයක් බලාපොරොත්තු වන්නේ දැයි යි විචාළේ ය. කවරක් වුවත් නො වළහා වහා කරණබවට ගිවිස්සේ ය.

තවුසා රජ්ජුරුවන්ගේ උදාරගුණයෙන් පහන් වූයේ "උතුමානෙනි, එසේ නම් එන අමාවක් පොහෝදින රැයෙහි මෙනුවර මහසොහොනෙහි දකුණුදිග මහනුගගස යට මම සිටිමි. ඔබතුමා තනි ව ම එහි පැමිණිය යුතු යි. ඔබ පැමිණිකල්හි මට අවශ්‍ය උපකාරය කියන්නෙමි" යි කියා රජුගෙන් ගිවිසුම් ගෙණ පිටත් ව ගියේ ය.

නියම කළ දින රැයෙහි වීරක්‍රියා කිරීමෙහි අධික ආශා ඇති රජතෙම නිල්වත් හැඳ කඩුව හා දුනුහී ද ගෙණ හුදකළා ව ම මහසොහොනට ගියේ ය. නුගය සොයමින් ඔබ මොබ ඇවිද්දේ ය. මහනුගගහ දැක එවෙත පැමිණියේ මතුරු දපමින් (මන්ත්‍ර ජප කරමින්) හුන් තවුසා දුටුවේ ය. "තවුසානන් වහන්ස, මේ මම යි. ඔබ වදාළ ලෙස ආයෙමි. කුමක් කරම් ද? කියනු මැනැවැ"යි විචාළේ ය.

"ස්වාගතයි! (යහපත් පැමිණීමකි. (welcome)) රජතුමනි, මෙයින් දකුණු දෙස ඇට්ටේරිය ගසක් ඇත. මළසිරුරක් එහි එල්ලෙයි. ඒ මළසිරුර මෙහි ගෙණ එනු මැනව. මට උවමනා උපකාරය මෙ පමණ"යි යනු තවුසාගේ බස් වි ය.

රජ තවුසා කී ලෙස ගස මුලට ගියේ මලකඳ දැක්කේ එය ගසින් බාන්නට ගසට නැඟෙන්නට වන. සියගණන් බිහිසුණු අවතාරයෝ භයානක ශබ්ද කරමින් රජුගේ ක්‍රියාව වළක්වන්නට උත්සාහ කළහ. ඇතැම් අමනුෂ්‍යයෙක් සිහවෙස් ගෙණ මහත් සේ නාද කරමින් රජුගේ හිස මතට පැන්නේ ය. දෙකොපුල් පළාගෙණ නිකුත් වූ දික් දළ ඇති, ගිනිගුළි වැනි පිටතට නෙරාගිය ඇස්ගුළිවලින් රෞද්‍ර වූ මුඛයෙන් දුටුවන් උමතු කරවන තරම් විකෘත වූ, ඒ අමාවක්දිනෙහි මහරැයට ද වඩා කලු වූ ලොමින් වැසී ගිය මහකලුගතින් හා ගතට නො සරි ලන නොදික් අත් පයින් ද යුත් රකුසෝ වහසිබස් බෙණෙමින් රජු හා පොරට ආහ. ඇතැම් අමනුෂ්‍යකෙනෙක් ගිනි ගෙණ දිලියෙන අවි ලෙලවමින්, සර්‍පයන් වැනි දික් දිව් බැහැර කර සොලවමින් කුලු වැනි මහකන්පෙති දෙපිට ගසමින්, මහ කලුனයින් වැනි හිසකෙහෙයෙන් මුව වසමින්, කුළුගෙවල් වැනි හිස් වනමින් "තාගේ හදවත ඇද කම්හ. තා ගිල දමම්හ. පරසක්වළ ගසම්හ. තා ගත අපගේ කඩුවෙන් පෙති ගසම්හ. තා අපගේ හියොවුර කරම්හ. සිටුව. නො පලව" යනාදී තර්ජනවචන කියමින් රජු‌ වෙත ලං වූහ. මෙසේ නො සිතිය හැකි නො කිය හැකි තරම් වියරු වෙස් ගෙණ වියරුබස් කියකියා සියගණන් භූතයෝ රජු බිය ගන්වන්නට උත්සාහ කළහ.

රජුගේ සිත ඔවුන්ට බිය වීමට තරම් දුර්‍වල නො වී ය. රජ බිය වන සුල්ලෙක් වූයේ නම්, මන්ත්‍රවිද්‍යාවෙහි පරතෙරට පත් ඒ තවුසා දොළොස් අවුරුද්දක් ධනය දේ ද? බිය යනු කුමක් දැ යි රජ නො දත්තේ ය. බිය නැතියන්ට යකුන් රකුසන් ගෙන් උවදුරක් නොවනබව තවුසා මෙන් ම රජ ද දත්තේ ය. රජතෙමේ සියලු රකුසන් තණ පතක් පමණකුදු නො සැලකුවේ ය. සිය අසිපත වනමින් අමනුෂ්‍යයන් පැලවී ය. කලින් ම තවුසා උගන්වනලද ආරක්ෂා මන්ත්‍ර ජප කරමින් ගසට නැංගේ මළසිරුර බැඳි රැහැන කැපී ය.

මළසිරුර බිම වැටින. ඒ මළසිරුරක අයුරු නො පෙන්වීය. බිම වැටුනු කෙණෙහි ම දිවි ඇතියෙකු මෙන් කෑ ගාන්නට වන. රජ වහා ගසින් බැස්සේ ය. තමන් වෙත දිව ආ අමනුෂ්‍යයන් පලවා හැරියේ ය. කෑ ගානා මළකඳ වෙත ගොස් එය එක් අතකින් පිරිමදිමින් අනික් අතින් උතුරුසළුව ගෙණ පවන් සලමින් ගසින් වැටීමෙන් වූ වේදනාව පහ කරන්නට මෘදුවචනයන්ගෙන් කථාව පටන් ගත.

එකෙණෙහි ම මළසිරුර කොක්හඬ ලා සිනා සී අහසට පැන පෙර මෙන් ගසෙහි එල්ලෙන්නට වන. වීර වූ රජ ද පෙර මෙන් අමනුෂ්‍යයන් පලවමින් ගසට නැග රැහැන කපා එය බිම දැමී ය. මළසිරුර "මා මරණවෝ!" යි බෙරිහන් දෙමින් පොළොවෙහි වැටුනේ ය. රජ ද රැහැන අල්ලා ගෙණ ගසින් පැන සිරුර එසෙව්වේ ය. එවිට එය නැවත ද සිනාසෙන්නට පටන් ගත.

රජතෙමේ ඒ මළසිරුර වෙතාලයෙකු (මිනීකුණුවලට අරක් ගෙණ සිටිතැයි කියන භූතයා) විසින් අධිගෘහිත ය යි සලකා "කුමට සිනා සෙහි ද? මගෙන් තට අද මිදීමෙක් නැත. මා සමග එව"යි කියා එය කර තබා ගෙණ තූෂ්ණීම්භූත ව වහවහා තවුසා වෙත එන්නට වන.

2 තරඞ්ගය...

*    *    *

අපේ සහෘද බ්ලොග් රචිකාවියක් වන නිලක්ෂි බණ්ඩාර වරක්, වේතාල කතා ගැන ලියා තිබුණා. ඒක කියවද්දි මතක් වුණේ, මම පොඩි කාලේ නිතර කියවන්න පුරුදු වෙලා හිටපු පොතක් තිබුණා, වැලිවිටියේ සෝරත හිමියන්ගේ "කථාතරංගිණිය" නමින්. පසුකාලීනව තමයි දැනගන්න ලැබුණේ, ඒක කථාසරිත්සාගරය කියන මහා ග්‍රන්ථයේ කොටසක් කියන වග. 

කථාසරිත්සාගරය ලියූ හැටිත් තවත් අපූරු කතාවක්. මෙන්න මෙතන තියෙනවා ඒ කතාව. ඉතින් අදින් පටන් ගෙන, සතියකට වරක් කථාතරංගිණියේ කොටස් සියල්ල මේ බ්ලොග් එකේ පළ කරන්න හිතා ගත්තා. මීළඟ කොටස මීළඟ සතියේ බලාපොරොත්තු වන්න.

මේක වැලිවිටියේ සොර්ත හාමුදුරුවන්ගේ පරණ සිංහල භාෂාවෙන් තියෙන්නේ. පොතේ තියෙන පද බෙදීම, විරාම  සහ න ණ ල ළ භේදය ඒ විදිහට ම මෙතනත් ටයිප් කරලා තියෙන්නෙ. ඒ වගේ ම අමාරු වචන හැටියට මට හිතුණු වචනවලට, පොතේ පාද සටහන්වල යොදලා තිබුණු තේරුම් මම ඒ ඒ තැන්වල වරහන් ඇතුළෙ යොදලා තියෙනවා.

ගැළපෙන පින්තූරයක් හොයද්දි දැක්කෙ, මේ කතා ටික ටීවී සීරීස් එකක් විදිහට 1985 ප්‍රතිනිර්මාණය කර තිබෙන බව. 

Saturday, October 21, 2023

වැල කෑ පබිලා - ශනිදා දහයට!



මෙන්න ඔහු දවසක් කී කථාව. අහගන්න.

"තොසින් වසන හේනේ දැන් කාලේ
ඉසන් අප්පුගේ පුත් මම පබිලේ
ගසින් වැටුණු වැල කුණකට ආලේ
අසන්න මහතුනි මට වුනු අවුලේ

ලාබෙට ලැබුනට පුහු පොල් කෑවා
ඒපිට වැල කුණකුත් ඇද       බෑවා
මේවට බඩ පුම්බාගෙන        ආවා
කෑමට නරකයි කොයිවත්   මේවා

ගහේ තිබුණු කුණු වැල ගෙඩියකට වෙලා   ඔට්ටු
රහේ ඉඳන් හොඳයි කියා ඔක්කොම කලෙ තට්ටු
ඔහේ ඉතින් බඩ පිපුනයි ගෙඩියක් සේ        පිට්ටු
කොහේ ගියත් වැල නොකන්න එදා          වුනයි මට්ටු

රෝගේ තදවී හැදුනයි         වමනේ
වාගේ බෙර ගෙඩියක් බඩ   පිපුනේ
මාගේ ලොකු අයියගේ කර පිටිනේ
මෝගේ ගෙදරට කෙරුවයි ගමනේ

තාත්තා ඇයි බොල ආවේ ඇහුවා
බේත් ගන්න මම ආවයි       කීවා
සාත්තුවට කවුරුත් නැත     කීවා
මාත් ඔහේ වැටිලා         බුදියෑවා

තුන් වේලක් ලුණු කැඳටම      වේලුනි
ඉන් මගේ පණ ටික යාන්තම් බේරුනි
ඔන්න ඉතින් මේ වුන දේ       අහමිනි
කන්ට එපා කුණු වැල හෙම   මහතුනි"


දයානන්ද ගුණවර්ධනයන්ගේ “ආනන්ද ජවනිකා” නාට්‍යයෙන්
රචනය: ශිමත් ඩි. බී. ජයතිලක



Saturday, October 14, 2023

තුන් සොල්දාදුවෝ 1973 - ශනිදා දහයට!

අලිසන්දිරී දූමා නමැත්තාණෝ මහා පබඳුවාණ කෙනෙකි...

කළු දළ මල හෙවත් The Black Tulip පොතේ සිංහල පරිවර්තනයේ හැඳින්වීම පටන් ගන්නේ උඩ තියෙන වාක්‍යයෙන්.

ඇලෙක්සාන්ද්‍ර දියුමා ගේ ඉතා ම ප්‍රසිද්ධ නවකතාවක් වන තුන් සොල්දාදුවෝ කතාවෙන් හදපු චිත්‍රපටි ගණනාවක් තියෙනවා. එයින් මම කැමති ම චිත්‍රපටිය ආවෙ 1973 දි. A Hard Day's Night, The Beatles Help!, Supperman II ආදී චිත්‍රපට අධ්‍යක්ෂණය කළ රිචර්ඩ් ලෙස්ටර් ගේ අධ්‍යක්ෂණයක් වන මෙහි සිනමා තිර පිටපත ජෝජ් මැක්ඩොනල්ඩ් ලීවේ.


කූඹියෝ ටෙලි නාට්‍යයෙ කුඩා චරිතවලට ප්‍රසිද්ධ නළුවො අරගෙන තිබුණා වගේ, මේකෙත් ඉන්නව සහය චරිතවලට ක්‍රිස්ටෝෆර් ලී, චාල්ටන් හෙස්ටන්, රිචඩ් චේම්බර්ලේන්, ඔලිවර් රීඩ්, රාකේල් වෙල්ච්, ජෙරල්ඩීන් චැප්ලින් (ඔව්, අරයගෙ දුව...) ආදී උදවිය.

මේකෙ මම දකින හොඳ ම දේ තමයි, කතාවට යටින් දිවෙන සරළ හාසයය. හාස්‍යය මතු කරන්නෙ එදිනෙදා යථාර්ථවාදී අවස්ථාවලින්. මේ ඊට හොඳ උදාහරණයක්...

බේබද්දෙකුත් ඇතුළත් වුණු මස්කිටීයර් තුන් දෙනා, ලේසියෙන් කෑම ටිකක් එකතු කරගන්න රෙස්ටොරන්ට් එකේ දාගන්න වලිය ඒ වගේ තවත් තැනක්...


ඉතින්... සුප්‍රකට කතාවක් නිසා තිර පිටපතේ සාරංශයක් මෙතන ලිවීම වැඩක් නෑ. ඒ වගේ ම, කාඩිනල් රිෂලියු හැටියට චාල්ටන් හෙස්ටනුත්, රොෂ්ෆෝ හැටියට ක්‍රිස්ටෝෆර් ලීත් කැපී පෙනෙන "සුළු" රඟපෑමක් කරන බව පැවසීම ප්‍රමාණවත්.

මේ චිත්‍රපටිය 1975 වර්ෂයේ බ්‍රිතාන්‍ය ඊවිනින් ස්ටෑන්ඩර්ඩ් සිනමා සම්මානවලින් හොඳ ම විකට චිත්‍රපටිය හැටියටත්, ගෝල්ඩන් ග්ලෝබ් සිනමා උළෙලේ හොඳම විකට හෝ සංගීතමය නිළිය සම්මානයත් දිනාගත්තා. ඒ වගේ ම මෙහි තිර පිටපත, මහා බ්‍රිතාන්‍යයේ රයිටර්ස් ගිල්ඩ් සම්මානවලින් 1975 බ්‍රිතාන්‍යයේ හොඳ ම විකට තිරපිටපත හැටියටත් තේරුණා.

චිත්‍රපටිය බාගත කරගන්න ටොර්න්ට් සබැඳිය මෙතනින්...

Tuesday, October 10, 2023

කුදා රජ වීම

සිදු වූයේ මෙසේයි. අහගන්න.

1. එකමත් එක රටක - සිටියේ ය කුදු මිනිහෙක්.
ඔහුට ම ගැලපෙනා - බිරිඳ ද කුදු ගැහැණියකි.

2. මේ කුදු ජෝඩුවට - උපන් දරුවෝ ද කුදු වූ.
කුදු පවුල එක් වී - වැවූ පලතුරු උයනකි.

3. පලතුරු උයනෙ වූ - පලතුරු ගස් ද කුදු වූ.
ගස්වල පලගත්ත - ඒ පලතුරු ද කුදු වූ.

4. කුදු පලතුරු නෙලා, - අසුරා ලොකු කූඩයක
කුදු මිනිහා ‍රටේ - රජ්ජුරුවන්ට යැව්වේ.

5. රජ්ජුරුවො තුටුව, - කෑ හ පලතුරු සේරම.
දවස් දෙක තුනකින් - රජ්ජුරුවෝ ද කුදු වූ.

6. තව ද දවසක කුදා - පලතුරු කඩා රැස්කොට,
කූඩයක අසුරා - බිසවට යැවී අදරින්.

7. පලතුරු ලත් බිසව - වැළඳුවා බොහො සතුටින්.
රජ්ජුරුවන් මෙන් ම - බිසව ද අනේ කුදු වූ.

8. නැවත දවසක කුදු - මිනිසා නෙළා පලතුරු
කූඩයක අසුරා, - ඇමතියන් හට යැව්වේ.

9. ඇමතියෝ එක් වී, - පලතුරු කෑ හ සතුටින්.
ඊට දිනකට පසු - ඒ ඇමතියො ද කුදු වූ

10. රජ, බිසව, ඇමතින් - කුදු වූ බව ඇසූ කල,
රට වැසියන් එක්ව, - කුදු මිනිසාව අල්ලා,

11. මරණ බව කී කල - කුදු මිනිසා ඔවුන් හට
කීයේ මේ ලෙසින් - කිසි බිය සැකක් නොමැ'තිව.

12. 'තොපි මා ගේ බලය - නොම දැන කරවු කලබල.
දැන්වත් දැනගනිවු - මා ගේ බලය හොඳ හැටි.

13. 'හෙට එළිවෙන්ට පෙර - තොප ගේ රජකමට මා
පත් කර නොගත්තොත් - තොපවත් කුදු කරන්නෙමි.'

14. කුදු මිනිහා මෙසේ - කී කල්හි රට වැසියෝ
කුදු වීමට බියෙන් - ඔහුට ම දුන්නු රජකම.

- කේ. ජී. පෙරේරා


හැත්තෑව - අසූව දශකයේ පාසල් කියවීම් පොතකින්...

Saturday, October 7, 2023

විශ්වීය සංගීතය (ශනිදා දහයට!)

"සංගීත ශිල්පියෙක් වෙන්න බැරි නම්, හොඳ රස විඳින්නෙක් වෙන්න" 

අපේ තාත්තා ගලහිටියාව සෙන්ට්‍රල් එකේ ඉගෙන ගන්නා කාලයේ, දවසක් ඒකෙ සංගීත ගුරුතුමා තාත්තට කිව්වලු, ඉස්කෝලෙන් පස්සෙ පැය දෙකක් සංගීතය උගන්නන්නම් කියලා.

ඉතින් තාත්තත්, ඉස්කෝලෙන් පස්සෙ නතර වෙලා.

පළවෙනි දවසෙ, මාස්ටර් තාත්තට කියල දුන්නලු, තබ්ලාව ළඟ වාඩි වෙලා, දකුණු අතේ දබරැඟිල්ලෙන් දකුණු පැත්තෙ වාද්‍ය භාණ්ඩය (මං හිතන්නෙ චල් එක) ට තට්ටු කරන්න. ඉතින් තාත්තත්, එදා පැය දෙක ම දබරැඟිල්ලෙන් තට්ටු කර කර හිටියලු.

ඒ අතරෙ මාස්ටර් ඇඳුම් මාරු කරලා, නාලා, කාලා, පත්තරෙත් බලලා... පැය දෙක ගත වුණාට පස්සෙ ඇවිත් තාත්තට යන්න දුන්නලු.

දෙවෙනි දවසෙ තාත්තාට කියා දුන්නලු දබරැඟිල්ලයි මැදැඟිල්ලයි දෙකෙන් තබ්ලාවට තට්ටු කරන්න.

තාත්තා ඒ කාලෙ, කටුවාලමුල්ලෙ ඉඳන් කිලෝ මීටර් හතරක් විතර පයින් යන්නෙ ඉස්කෝලෙට. ආප්ප දෙකක් කාලා, සෙරෙප්පු දෙක ගෙවෙනවට අතට අරං...

දවල්ට කන්න වෙන්නෙ ගෙදර ආවට පස්සෙ. ඉතිං හවස හතර විතර වෙනකං බඩගින්නෙ ඉන්න බැරි නිසා තාත්තගෙ සංගීත පංතිය ටික කාලෙකින් ම නතර වුණා ලු.

අර උඩින් මම සඳහන් කරපු කියමන, ඔන්න ඔය සංගීත මාස්ටර් අපේ තාත්තට කියපු එකක්.

පංති නොගියට, තාත්තා ඉතා ම දක්ෂ විදියට ඩෝලැක් ගහන්න පුළුවන්, ඒ වගේ ම ‌ඔලුව අතගානවා වගේ දැනෙන කටහඬකින් සිංදු කියන්න පුළුවන් සංගීත කාරයෙක්.

මගෙ හෝම් කමින් එකේ සෙල්ලම් කළෙත් තාත්තගෙ බෑන්ඩ් එක. (ඒ වෙනකොට තාත්තා මිය ගිහින්. තාත්තට කරන සැළකීමක් විදිහට එයාගෙ යාළුවො ටික නොමිලේ සංගීතය සැපයුවා හෝම් කමින් එකට)

අසූව දශකයේ අපේ ගමේ තිබ්බ වෙඩිමක සංගීතය සපයන තාත්තගෙ බෑන්ඩ් එක
සුදු ෂර්ට් එකක් ඇඳගෙන නැගිටලා සිංදු කියමින් ඉන්නෙ අපේ තාත්තා.

තාත්තගෙ ආභාෂයෙන් මටත් විවිධ භාෂාවල සංගීතය රස විඳින්න පොඩි කාලෙ ඉඳන් ම පුළුවන් වුණා.

මෙලෝ මළදානයක් පදමාලාවෙ නොතේරුණත් තනුව සහ සංගීතය නිසා මම හොඳින් ම රසවින්ද ටිකක් මෙතැන් සිට...

පළමුවෙන් ම එනිග්මා වෙතින් දුක...


මී ළඟට ජේම්ස් ලාස්ට් ගේ හුදෙකළා වූ එඬේරා...


මේ මියුසික් එක ඉස්සර කාලේ ගෝයා ඇඩ් එකෙන් ඇහුණු නාකි උදවිය මේ කොණට... 

මේ ඒක ම නෑනා මුස්කුරි වෙතින්...


මේ ඒක ම ලියෝ රෝහාස් වෙතින්...


ලියෝ රෝහාස් කියන්නෙ පැය ගාණක් එක දිගට අහං ඉන්න පුළුවන් සංගීත සයුරක්... මේ එයා lion king ‌ෆිල්ම් එකේ circle of life කරන හැටි.


 යොන්නා යින්ටොන් ගෙන් නෝර්ඩික් දරු නැළවිල්ලක්...


මේ තවත් එකක්. වෘකයාගේ ගීතය...


මෙයා තමයි අර... මගෙ කලින් කතාවෙ ඇඩම් ඩ්‍රේක් ඇන්ඩර්සන් අවුරුදු හාරසීයක් විතර අතීතයට ගිහින් ඇහැරෙනකොට ක්‍යුනිං ගායනා කරමින් හිටපු එඬේර කෙල්ල ගැන ලියන්න මට අනුභූතිය සැපයුවේ...


සෙල්ටික් කාන්තාවෝ මී ළඟට...


ෆාඅන් හෙවත් යක්සයෝ මේ...


අදට අවසාන වශයෙන් මේ ක්ලැනැඩ්...


උඩ මියුසික් ඇහෙනකොට, මේක මතක් වෙන්න ම ඕනෙ...


තට්ටයියගේ සිහිල් සුළං රැල්ලට සමාන්තර ලිවීමක් වශයෙනි...

Thursday, October 5, 2023

අලියා ගිණි ගැනීම - (ගජ බින්න? ඒ මොනවද?)

අපෙ බාප්පා කන්තලේ වැඩ කරන කාලේ... 

මේ වෙන කොට මගේ ආදරබර පාඨක (නයි පාඨක ද ඇතුළත් ව) කැලට අමතකත් වෙලා ඇති අපේ අන්දිරිස් කිත්තා, සුවාතා, විලියොං ආතා සහ බාප්පගේ හපංකම්. ඒ ගැන පටුනක් පල්ලෙහයින් දාන්න බලාපොරොත්තු වෙනවා. ඒ අතරේ මේ කතාවත් කියවලා ඉම්මු.

ඔන්න ඉතිං අපේ බාප්පා කන්තලේ ගස් කපන වාඩියේ වැඩ කරන කාලේ, එක වංගියක් සරුවට වැවුණු අක්කර දෙතුන් සීයක බටකොල ගාලක් කපන්න සෙට් වුණා.

ඔහොම වැඩ කරගෙන ඉන්න අතරෙ, බාප්පා බට කොල පඳුරකට ගහපු පොරෝ පාරක් වැදුණා, අලියෙකුගෙ පුංචි කකුලට. බටකොල ගාලෙ සනීපට සිනීඳුවට බටකොල කකා හිටපු අලිය අංදුංකුංදුං වෙලා මේ මෙකද වුණේ කියල බලද්දි දැක්කෙ බාප්පව. "අද දෙන්නං තොගෙ පුංචි කකුල කල්ක චූර්ණ වෙලා යන්ඩ" කියලා හිතාගෙන අලියා බාප්පගෙ පස්සෙං එලෝගෙන ආවා.

බාප්පත් හෙණ දීර වීර එඩිතර මිනිහා. උන්දැ කළේ මොකද, අලියට ආ වේගෙන් ම දුවන්න සැලැස්සුවා. ඒ කොහොම ද, උන්දැ ඉස්සර වෙලා දිව්වා. අලියා උන්දැගෙ පස්සෙන් දිව්වා.

අලියා දැන් හොඬවැලත් උස්සගෙන වලිගෙත් උස්සගෙන දුවගෙන එනව පස්සෙන්. බාප්පා මෙහෙම මෙහෙම දුවනව...

ඔහොම යද්දි බාප්ප වැටෙන්ඩ ම ගියා. අත්දෙක බිම තියලා වාරුවක් ගත්තා. එහෙම වාරු ගන්නකොට, බිම තිබුණු ගල් කෑලි දෙකක් අතට අහුවුණා. 

බාප්පා දුවන ගමං ම හැරිලා අලියට ගැහුවා ගලකිං. 

හොඬවැල උස්සගෙන හති දාගෙන දුවගෙන එන අලියගෙ කටට තමයි අර ගල වැටුණෙ. අලියා ගුඩුස් ගාල ඒක ගිල්ලා.

බාප්ප ආපහු අනික් ගලෙනුත් ගැහුවා. 

ඒකත් වැටුණෙ අලියගෙ කටට. අලියා ඒකත් ගුඩුස් ගාල ගිල්ල විතරයි, අලියගෙ බුරියෙන් ගිණි දල්ලක් මතු වුණා. අලියා දුවන වේගෙට හුළං වැදිලා අර ගිණි දල්ල ටිකෙන් ටික ලොකු වෙලා මහ ගිණි ජාලාවක් වුණා.

ආන්න එතකොටයි අලියා නතර වුණේ.


ඉතිං එදා ගස් කපන වාඩියෙ රෑ කෑමට රෝස්ට් කරපු අලි මස් තිබුණා.

කොහොම ද ගිණි ගත්තෙ ඇහුවා? රවි අයියගෙ මාමණ්ඩි කියනව වගේ ආාාන්න ඒක තමයි මේකෙ තියෙන අවයවය.

අලිය කාල හිටියෙ බඩ පිරෙන්ඩ බටකොළ. ගල් දෙක බඩට වැටුණ ගමං, ඒ ගල් දෙක එකට වැදිලා, ගිණි පුපුරක් හට ගත්තා. ඒ ගිණි පුපුරෙන් බඩේ තිබුණු බට කොළ ටික, බට කැලේ ගිණි ගත්තා වගේ ගිණි ගත්තා.

මෙතෙක් ලියපු ඇත්ත කතාවලට පටුණ...

1. බාප්පගෙ මිරිස් වගාව

2. ඉඩෝරෙට වෙළේ ළිඳක්

3. අලිමාලය

4. සුවාරිස් මුත්තගෙ දඩයම්

5. ඉර හඳ පල්ලා බොරු නෙමේ

6. අන්දිරිස් කිත්තගෙ මුහුදු වික්‍රම

7. වට්ටක්කා සහ පතෝල

8. ලබ්බෙ කානිවල් එක

9. කන්තලේ මහ වන මැද

10 බාප්පගෙ සත්ත්ව පාලනය හෙවත් හුංගා සහ එළුවා

11 බාප්පයි පුතයි

12. විලියොං ආතගෙ කාලෙ ගජබින්නයක්

13. ඩොක්ටර් වන් ෂොට් සහ ඉලෙක්ට්‍රොනික්ස්

14. බාප්පගෙ හේනෙ විත්ති

15. අනද කිත්තගෙ බිලී බෑම

16. ලබ්බෙ මගුල

17. කෙටි කලබල ගජබින්න. 

18. අනද කිත්තා කටුවාලමුල්ලට ආ හැටි 

19. අන්දිරිස් අප්පු සහ ගොරක යකා

20. විකුම්ගෙ වික්‍රම

21. නුවරඑළියෙ වග

22. අරුම ගමන

23. කළුවර

24. කකුල් තුනේ බීරි මුවා

විශේෂ ස්තූතිය - රොමයියගෙ කයිය පොත මට දුන්න ප්‍රා ජේ ට...

Sunday, October 1, 2023

පැන්ඩීසියානු පුරාවෘත්ත - හතරවැනි මහා පැන්ඩිස්

තුන්වැනි මහා පැන්ඩිස් රජතුමා පැන්ඩීසියාවේ රජකම් කරන කාලය... 

පැන්ඩීසියාව ලස්සන ගහ කොල, කඳු, දිය ඇලි, ගංගාවලින් පිරුණු රටක්. මල් පැණි එකතු කරන කඩිසර මී මැස්සො, බඹරු නිතර ම තමන්ගෙ වදවල පැණි පුරවන්න මහන්සි ගත්තා. ඒ, මේ රටේ පාලකයන් වෙච්ච පැන්ඩීසියානුවන්ට රසවත් ම ආහාරය වුණේ පැණි නිසා. 

තුන්වැනි මහා පැන්ඩිස් රජතුමා බොහො ම කරුණාවන්ත රජ කෙනෙක්. එතුමා අනෙක් පැන්ඩීසියානුවන්ට වගේ ම, ගහ කොළ, මල්, අනෙක් සත්තු හැම දෙනාට ම බොහො ම යහපත් විදිහට සළකමින් ආරක්ෂා කරගත්තා.


මහා පැන්ඩිස් රජතුමාගේ රැජිණ අසනීප වුණේ ඔය අතරෙ. රාජකීය වෛද්‍ය කොන්ඩිස් තමන් දැනගෙන හිටපු සෑම වෙදකමක් ම කරලත්, රැජිණ සනීප කරන්න බැරි වුණා. 

ඔය අතරෙ දවසක් දා රජතුමාගෙ පුස්තකාලය භාර ඇපෙන්ඩික්ස් හති දාගෙන දුවගෙන දුවගෙන රජ මාළිගාවට ආවා "රජතුමා!... රජතුමා !!" කියලා කෑ ගහගෙන. එයාගෙ අතේ තිබුණෙ රෝල් කරපු පාච්මන්ට් එකක්.

"මම හිතන්නෙ මේක හොඳ විසඳුමක් වෙයි අපේ රැජිණ සනීප කරන්න..." ඇපෙන්ඩික්ස් පාච්මන්ට් කඩදාසිය දිග අරින ගමන් රජතුමාට කිව්වා. 

මායා ස්ට්‍රෝබෙරි පඳුරක් ගැන තමයි ඒ පාච්මන්ට් එකේ ලියලා තිබුණෙ. ඒ ස්ට්‍රෝබෙරි පඳුර හැදුණෙ බඹරකැලේ කියන ඝන වනාන්තරේ මැද. එතැනට යන පාර ගැන යන්තම් සඳහන් කරලා තිබුණා අර පාච්මන්ට් කඩදාසියෙ.

ඉතින් මහා පැන්ඩිස් රජතුමා තමන්ගෙ දක්ෂම ‌සෙන්පතියා වුණු වන්ඩිස් ට කිව්වා මායා ස්ට්‍රෝබෙරි පඳුරෙන් ස්ට්‍රෝබෙරි එක ගෙඩියක් හරි අරගෙන එන්න යන්න ලෑස්ති වෙන්න කියලා. වන්ඩිස් කියන්නෙ බොහො ම උස මහත, වළහෙක් වගේ රළු පෙනුමක් තියෙන, සටන් ශිල්ප ඔක්කොමට ම දක්ෂ කෙනෙක්. ඒ වගේ ම එයා හරිම යහපත් කෙනෙක්.

ඉතින් පහුවදා උදේ පාන්දර ම වන්ඩිස් එයාගෙ කඩුවත්, දුන්නත්, පළිහත් අරගෙන රජතුමා එක්ක පිටත් වුණා බඹරකැලේ යන්න. වෙන රජ කෙනෙක් නම් සෙන්පතියා පිටත් කරලා තමන් මාළිගාවේ නතර වෙනවා. නමුත් තමන්ගෙ රැජිණට තිබුණු ආදරේ නිසා රජතුමාත් මේ ගමන යන්න තීරණය කළා.


සෑහෙන දුරක් ගිහින් ගිහින් රජතුමයි සෙන්පතිතුමයි බඹරකැලේ ළඟට ආවා. පාච්මන්ට් කඩදාසිය ආපහු දිග ඇරලා බලපු රජතුමා, ස්ට්‍රෝබෙරි පඳුර තිබුණෙ බඹරකැලේ මැද දිය ඇල්ලක් පාමුළ තිබුණු ගල් ගුහාවක් ළඟ කියලා දැන ගත්තා. 

පාච්මන්ට් එකේ තිබුණු මග සළකුණු බල බලා ඉස්සරහට ම ගිය මහා පැන්ඩිස් රජුයි වන්ඩිස් සෙන්පතියයි අන්තිමේ දි දිය ඇල්ල ළඟ ගල් ගුහාව පේන තරමට ළඟට ආවා. ඒත් එතන දැවැන්ත මකරෙක් නිදාගෙන උන්නා.

"මකරා අවදි ‌වෙන්න කලින් අපි ගිහින් ස්ට්‍රෝබෙරි කඩා ගම්මු" වන්ඩිස්, රජතුමාගෙ කණට කරලා කිව්වා. ඒත් රහසින් කියපු ඒ කතාව මකරට ඇහුණා. මකරා නැගිටලා සෙන්පතියාට පහර දෙන්න ඉස්සරහට පැන්නා.


වන්ඩිස් බය වුණේ නැහැ. එයා ඔහුගේ දැවැන්ත කඩුව දෑතින් ම අරගෙන මකරාට පහරක් දුන්නා. මකරාට කේන්ති ගිහින් ලොකු හුස්මක් ගත්තා, ගින්දර පිඹින්න හිතාගෙන. 

මහා පැන්ඩිස් රජතුමා ඉස්සරහට පැන්නා. රජවරු ඒ විදිහයි. එහෙම නැතුව වෙන කෙනෙක් ඉස්සරහට දාලා තමන් බේරෙන්න හිතන්නෙ නෑ.

මකරා ගින්දර පිඹින්න කට ඇරපුවාම තමයි රජතුමා දැක්කෙ, මකරගෙ ඉස්සරහ දත් දෙකක් අස්සෙ ලොකු කෝටු කෑල්ලක් හිර වෙලා තියෙන හැටි. එයා වන්ඩිස් ගෙ දුන්න අරගෙන ‍ඊතලයක් විද්දා කෙලින් ම මකරාගෙ ඉස්සරහ දත් දෙක අතරට.

ඊතලය වැදිලා දත් දෙක අස්සෙ හිර වෙලා තිබුණු කෝටු කෑල්ල ගැළවිලා විසි වුණා. 

එක පාරට ම දැනෙන්න පටන් ගත්ත සනීප දායක හැඟීම එක්ක මකරාගෙ තිබුණු කේන්තිය නැති වුණා. මකරා තමන්ගෙ ඔලුව බිමට පාත් කරලා, පැන්ඩිස් රජතුමාටයි සෙන්පතියාටයි ආචාර කළා.

තමන්ට උදව් කරපු නිසා ඒකට කළ ගුණ සැළකීමක් විදිහට තමන්ගෙ ගුහාවෙ තිබුණු ස්ට්‍රෝබෙරි ගොඩක් කඩලා, මකරා රජතුමාට තෑගි කළා.

රජතුමායි සෙන්පතියයි ආපහු නුවරට ආවේ ලොකු සතුටකින්.

ඒ දෙන්නා මීට පෙර ගියපු වීර චාරිකාවල දි කවුරු හරි සතෙක්ව මරන්න සිද්ධ වුණා ම මේ වගේ සතුටකින් ආපහු එන්න ලැබෙන්නෙ නෑ. මකරව මරන්නෙත් නැතුව ගිය වැඩේ කරගෙන එන්නත් ලැබුණු නිසා තමයි ඒ තරම් සතුටක් දැනුණෙ.

ඒ ගෙනාපු මායා ස්ට්‍රෝබෙරිවලින් එක එක විදිහෙ කෑම ජාති හදලා පැන්ඩිස් රජතුමා තමන්ගෙ රැජිණට දුන්නා. ස්ට්‍රෝබෙරි යුෂ, අයිස් ක්‍රීම්, ජෑම්... එක එක විදිහෙ කෑම.

ඒවා කාලා බීලා රැජිණ ඉක්මණට ම සනීප වුණා. ඊට පස්සෙ ටික කාලයකින් පැන්ඩිස් රජතුමාටයි රැජිණටයි පුත් කුමාරයෙක් ඉපදුණා.

එයා ස්ට්‍රෝබෙරි ගෙඩියක් වගේ රතු පාටයි, බඩ පැත්තයි, මූණයි, අතුල් පතුල් හතරයි විතරක් රෝස පාටයි.

ඒ කුමාරයාට හැමෝම කිව්වෙ, හතරවන පැන්ඩිස් කියලා.

ඒත් එයාට පැන්ඩීසියාවෙ රජවෙන්න බැරි වුණා. ඒ වෙනුවට එයා මිනිස් ලෝකෙට ඇවිත්...

ඒක වෙන ම කතාවක්. ඒ ගැන අපි වෙන දවසක කියවමු.

හතරවැනි මහා පැන්ඩිස් සහ හුටංබරස්

*    *    *

බ්ලොග් ලෝකයට ආපහු එන්න සෑහෙන දවසක් ගියා. මේ පහුවුණු කාලය තුළ මගෙ ජීවිතය සහ ජීවන රටාව සෑහෙන ව්‍යාකූල තත්ත්වයක පැවතුණේ. "ඇයි?" කියලා මට කතා කරලා අහපු සහෝදර බ්ලොග් වැසියන්ට යම් තාක් දුරකට ඒ ගැන කියන්න ලැබුණා.

ඇත්තට ම කාර්යබහුල වුණා. ඒ වගේ ම රෑ අවදියෙන් ඉඳීම - ශරීර සෞඛ්‍යය වෙනුවෙන් කැප කරන්න වුණා. ඒ එක්ක මම මීට කලින් ගොඩ වැදුණු බ්ලොග්වලට ඇවිදින් කියවීමත් දිරිමත් කිරීමත් කරන්න වෙලාව නැති වුණා.

නමුත් මින් පස්සෙ ආපහු ඒ දේවලට වෙලාව හදාගන්නයි බලාපොරොත්තුව.

ඉතින්, එහෙනම්, මට වෙල්කම් බැක්!

වැඩිපුර බලපු ලිපි