දුම්රියේ රසවත් දේ දකින්නට නම් යා යුත්තේ දවල් දහයත් තුනත් අතර සහ හවස හතෙන් විතර පස්සෙ. කාර්ය බහුල වෙලාවලත් සමහර විට මම මේ කියන්නට යන උදවිය දුම්රියේ ඉන්නවා වුණාට, වඩාත් ඉඩකඩ සහිතව ගමන් කරන්නට පුළුවන් මම ඔය ඉහතින් කියා තියෙන වෙලාවල් අතරේ නිතරම වගේ මේ කියන රසවතුන් හමු වෙනවා.
ඔයින් එක්කෙනෙක් තමයි, “මමයි දුම්රියේ ගායකයා“. මේ තැනැත්තා අවුරුදු හැටක් වතර වයස, ඉතා ම පිරිසිදුවට කළිසම සහ කමිසය ඇඳ පොඩි ටියුලිප් බෑග් එකක් දකුණතින් අරගෙන දුම්රියට නගින්නේ. ගොඩක් ම උදේ වරුවෙ තමයි මෙයා ඉන්නෙ. මෙයා කිසිම වාදන භාණ්ඩයක් නැතුව ඉතා ම සරළ විදිහට, ප්‍රසිද්ධ තනුවලට තමන් පද එකතු කරලා හදාගත්ත ගීත ගායනා කරන්නේ මඳ සිනාවකුත් සමඟින්. ඒ ගීත අතරින් මට මතක හිටිය ගීත කීපයක් මේ:
දැක්කොත් මධුරී ඩික්සිත් - ආලේ නොකරා බැරී//
කරාටේ දන්නවා සේ පෙනේ//
කරන්ට් වැදුණ සේ පෙනේ - ඇගේ දැඟලිලි
දැක්කොත් මධුරී ඩික්සිත් - ආලේ නොකරා බැරී...
බණින්නෙපා ප්‍රිය බාරිට - ගහන්නෙපා
ඔබ සමගින් ඈ ඇවිදින් ඇත්තේ
ඔබගෙන් සැනසුම් ලබන්නටයි
මමයි දුම්රියේ ගායකයා - මේ ආවා - මේ ආවා
දවාලෙ පායන සූර්යයා - මේ ආවා - මේ ආවා
රෑට ඇවිදින අවතාරේ...
ටිකට් චෙකර්ලා තට්ටෙ පළාවී දෝ
මං බය නෑ - මං බය නෑ//
ගාඩ් මහත්තය උදව් කරාවී දෝ
මගෙ මිතුරා - හොඳ මිනිහා//
ඔහු බෑඩ් බෝයි සිංදුවටත් මේ වගේ පද මාලාවක් හදාගෙන තිබුණා. ඒකේ තිබුණා බෝයි කියා අවසන් වෙන වචන සීයක් විතර. (ටාසන් බෝයි, ලයිෆ් බෝයි, කව් බෝයි, ඔය ආදී වශයෙන්...)
ගීත හතක් අටක් ගායනා කරන ඔහු ඊට පස්සේ මෙහෙම කියනවා...
“දැන් මේ මහ්තතුරු නෝනලා මට බණිනවත් ඇති, ‘මේ මනුස්සයා සිංදු කියනවා විතරයි. සල්ලි එකතු කරන්න එන්නෙත් නෑ‘ කියලා. මගෙ හැටි එහෙම තමයි. මම කෝච්චි පෙට්ටියකට නැග්ගොත් සිංදු විස්සක් තිහක් කියලා තමයි බහින්නේ.“
ඒ කියනවා වාගෙම, එයා ගණේමුල්ලෙන් නැග්ගොත්, සිංදු කීම ඉවර කරලා සල්ලි එකතු කරන්නේ කැළණියත් පහු වෙලා.
තව කෙනෙක් හිටියා තරුණ පහේ. වයස තිහක්වත් නැති තරම්. එයා කෝච්චියට නගින්නේ ලොකු ලී රාමුවකට එක්ස්රේ කාඩ් දෙකක් විතර හයිකරලා හදාගත්ත වාදන භාණ්ඩයක් අරගෙන. ඒ රාමුවේ හයි කරලා තියෙනවා, කසළ ගොඩවල්වලින් අහුලාගෙන පිරිසිදු කරගත්ත කැඩුණු බෝණික්කෝ, ප්ලාස්ටික් මල් පොකුරු වගේ දේවල්. එයා කෝච්චි පෙට්ටියට නැගලා මෙහෙම කියනවා.
“ඔයාලට හිතෙනවද දන්නෑ මං පිස්සන් කොටුවෙ ඉඳන් එන්නෙ කියලා. මං එන්නෙ එහෙ ඉඳලා නෙවෙයි...“ එයා දවසක් අර රාමුවෙ හයි කරල තිබුණු බෝණික්කෙක් පෙන්නලා කියනවා, “මෙයාගෙ අම්මා ඕස්ට්‍රේලියාවෙ ගාමන්ට් එකේ. මං ලංකාවෙ පේමන්ට් එකේ...“
මෙයා ගොඩක් වෙලාවට දකින්න හම්බ වෙන්නෙ රෑට. මට මතකයි, 2002 හෝ 2003 දෙසැම්බර් 31 වෙනිදා, මම මරදානෙන් නැගපු දුම්රියට මේ මනුස්සයත් මරදානෙන් නැග්ගා. නැගලා තමන්ව ඉදිරිපත් කරන්න කරන කතාවෙ අන්තිමට, “මම ඔයාල හැමෝටම කැළැන්ඩරයක් ලබා දෙනවා“ කියල, පොකට් කැලැන්ඩර් වගයක් බෙදාගෙන බෙදාගෙන ගියා. එහෙම බෙදන ගමන් කියනව, “ජීවිතේ මල් - නිකං දෙන කල්“ කියල. ඒක ඇහුණුු පොඩි අඩියක් ගහල හිටපු මගියෙක් කියනව, “අපේ ජීවිත පල්!“ කියල.
ප්‍රසන්ට් කරන කතාවෙන් පස්සෙ මෙයා අර රාමුවෙ හයි කරල තියෙන පොඩි නළාවක් පිඹ පිඹ, අර රාමුවෙ එක්ස්රේ කාඩ්වලට ගහමින් සිංදු කියනව එක දිගට... ඒ සිංදුවල නං කියන්න තරම් දෙයක් නෑ. අර කලින් ගායකයා වගේ ම, ප්‍රසිද්ධ සිංදුවලට මවු ගුණ සම්බන්ධ පද අලුතින් දාලා කියන්නෙ.
![]() |
මේ ඉන්දියාවෙ පොටෝ එකක් |
සමහර යාචකයො ඉන්නව දුම්රියෙ පෙට්ටියකට නැගලා, සිංදු තුනක් විතර එතන ම ඉඳන් කියන. සමහර යාචකයො ඉන්නව රබානක් ගගහ, සිංදුව කියාගෙන හෙමින් හෙමින් කෝච්චිය ඇතුලෙන් ඉස්සරහට යන. එහෙම කෙනෙක් ගෙන් සම්පූර්ණ සිංදුවක් අහන්න ඕනෙ නම්, එයාගෙ පස්සෙන් යන්න වෙනව කෝච්චි පෙට්ටි පහක් විතර ඉස්සරහට.
දුම්රිය යාචකයන්ගෙ තියන එක සාරධර්මයක් තමයි, තමන් කෝච්චි පෙට්ටියකට නගිනකොට වෙන යාචකයෙක් ඒ පෙට්ටියෙ හිටියොත්, ආපහු බැහැල වෙන පෙට්ටියකට යන එක. දවසක් ඔය උඩ කිව්ව වගේ, පෙට්ටියෙ නතර වෙලා ඉඳන් සිංදු තුන හතරක් කියන වර්ගයේ යාචකයෙක් රබානක් ගහ ගහ සිංදු කිය කිය ඉන්න කොට, ඇස් පේන්නැති යාචකයෙක් පිටිපස්සෙ පෙට්ටියෙ ඉඳන් ඒ පෙට්ටියට ආව බට නළාවක් පිඹ පිඹ. අර ‘නතර වෙලා‘ ගණයේ යාචකයා, තමන්ගෙ සිංදුව නතර කරලා, අර ‘ජංගම‘ වර්ගයේ යාචකයගෙ බටනළා වාදනයේ තනුවට හරියන්න රබාන ගහන්න පටං ගත්තා, එයා ඒ පෙට්ටියෙන් යන කල් ම.
දුම්රියේ ගායක යුවළක් හිටියා රාගමින් නගින. දෙන්න ම අවුරුදු පණහට කිට්ටු කරලා. පිරිමියා සර්පිනාවක් හරි ඩෝලැක් එකක් හරි අරගෙන එන්නෙ. ඒ දෙන්නා දුම්රියේ බිම වාඩි වෙලා යුග ගීත කියනව. ඒ දෙන්නගෙන් පිරිමි කෙනා කෙට්ටුයි. වයසට ම අලු පාට වුණු කොණේඩෙ පිටිපස්සෙන් වවලා, උඩුරැවුළත් කොන් දෙක පාතට වැටෙන්න වවලා. හරියට ම කෑකෝ පප්ප වගේ මයි.
සමහර ගායකයො එනවා තනියම ත්‍රී පීස් වගේ ගහන. ගිටාර් එක හෝ ඩොලැක් එකට කම්බි වලින් හයි කරපු හාමෝනියම් එකකුත් ගහන ගමන් සිංදු කියන.
මට මතකයි අපි පොඩි කාලෙ වීදි ගායක යාචකයො ගැන “මාවතේ අපි“ කියලා වැඩසටහනක් කළා රාජ්‍ය අනුග්‍රහයෙන්. ඕක කළේ ප්‍රේමදාස ජනාධිපති ගෙ කාලෙ. ඒ වැඩසටහන අන්තිමේ එල්ෆින්ස්ටන් එකේ ලයිව් කරපු සංදර්ශනයකින් තමා අවසන් වුණේ. ඒ ගැන අපේ ලොකු අයියා - ක්ලැරන්ස් විජේවර්ධන ලස්සන සිංදුවක් කළා...
දුම්රියේ අහන්න දකින්න තියෙන දේවල් නම් එමටයි. ගොඩක් ම රෑ අට හමාරට සහ නමයහමාරට කොළඹ කොටුවෙන් අදින ඉහළ දුම්රිය මාර්ගයේ කෝච්චි දෙකේ දි මම හිතන්නෙ අදටත් ඔය වගේ රසවත් දේවලින් නිදිමත සහ වෙහෙස දුරු කරගන්න අවස්ථාව තියෙනව.