Showing posts with label ළමා කවියක අඳුරු ඉතිහාසය. Show all posts
Showing posts with label ළමා කවියක අඳුරු ඉතිහාසය. Show all posts

Thursday, December 1, 2022

මල්බෙරි පඳුර වටේ යාම, වයසක මිනිසා සහ වීසල්... ළමා කවියක අඳුරු ඉතිහාසය.

බටහිර ළමා කවිවල ඉතිහාසය ගැන මීට කලින් ලියූ ලිපිවල තවත් කොටසක් හැටියට, අද මම ඉදිරිපත් කරනවා තවත් කවි කීපයක්.

මෙන්න පළමුවෙන් ම, මල්බෙරි පඳුර වටේ යාම...

මේ කවියේ විවිධ එකතු කිරීම් සහ විවිධ පදවැල් තිබුණත්, ඒ සියල්ල පටන් ගන්නේ මල්බෙරි පඳුර වටේ යාමෙන්. ඒ කවියේ තේරුම ගැන මත දෙකක් තිබෙනවා.

ආර්. එස්. ඩන්කන් වැනි ඉතිහාසඥයන් අදහස් කරන්නේ 18 වන සියවසේ වේක්ෆීල්ඩ් සිරගෙයි තිබූ සිරිතක් ගැන මෙයින් කියවෙන බව. ඒ කියන්නේ, එම සිරගෙයි රඳවා සිටි කාන්තා රැඳවියන් මල්බෙරි පඳුරක් වටේ ව්‍යායාම කරවීම මෙයින් අදහස් කෙරුණු බව.

තවත් අදහසක් වන්නේ 18 වන සහ 19 වන සියවස්වලදී බ්‍රිතාන්‍යයේ සේද නිෂ්පාදනය කිරීමට දැරූ ප්‍රයත්නය මෙයින් අදහස් වන බව. කෙසේ වෙතත්, බ්‍රිතාන්‍යයේ ශීත සෘතුව මල්බෙරි ශාකයේ ව්‍යාප්තියට හිතකර නොවූ නිසා, ඒ ප්‍රයත්නය ව්‍යර්ථ වුණා.

*    *    *

මේ වයසක මිනිසා...


මේ කවිය (කවි පෙළ) ගොඩක් දිගයි. ඒ වගේ ම ළමයින්ට උච්ඡාරණය හුරු කරවන්න භාවිත කරන බව තැන් කීපයක ම දැක්කා. මේක වේගයෙන් ගායනා කරද්දී, "නික් නැක් - පැඩිවැක්" වගේ යෙදුම් කියවීම මඟින් කුඩා ම ළමයින් ගේ ඉංග්‍රීසි වචන කියවීමේ හුරුව ඇති වන බව පෙනෙන්නට තියෙනවා.

අයර්ලන්තයේ වාසය කළ අපචාරී මහළු මිනිහෙක් ගැන මේ කවියෙන් කියවෙන බව විශ්වාස කරනවා. ඔහු තමන් වාසය කළ නිවස ළඟින් යන ළමයින් රවටා පැඩි වැක් සෙල්ලම කරන්නට අඬ ගසා ගන්නවා. ඔහු ගැන අනෙක් පුද්ගලයන් සහ ළමයින් ට අනතුරු ඇඟවීමට මේ කවිය භාවිත කළ බව විශ්වාස කරනවා.

*    *    *

පොප් ගෝස් ද වීසල්...


මේ කවිය හරිම විනෝද බර කවියක්. ඒ වගේ ම, පොප් ගෝස් ද වීසල් කියන පදය සාමාන්‍ය කථා ව්‍යවහාරයෙදිත් "ඒ පැත්ත බලල - මේ පැත්ත බලනකොට" වගේ තේරුමක් දෙන්න භාවිත කරනවා. බ්‍රිතාන්‍යයේ සහ ඇමරිකාවේ මේ කවියේ වෙනස් වෙනස් ක්‍රම දෙකක් පවතිනවා. මේ තිබෙන්නේ බ්‍රිතාන්‍යයේ ව්‍යවහාර කවිය:


Half a pound of tuppenny rice,
Half a pound of treacle.
That’s the way the money goes,
Pop! goes the weasel.

Up and down the City road,
In and out the Eagle,
That’s the way the money goes,
Pop! goes the weasel.

පැන්ස දෙකක හාල් වලට පවුං බාගෙයක්
පැණිවලට පවුං බාගෙයක්
සල්ලි යන්නෙ ඔය විදිහටයි
ඒ පැත්ත බලලා මේ පැත්ත බලනකොට

නගරේ පාරේ උඩට පහළට
ඊගල් එකේ ඇතුළට එළියට
සල්ලි යන්නෙ ඔය විදිහටයි
ඒ පැත්ත බලලා මේ පැත්ත බලනකොට

මේ කවියෙන් එංගලන්තයේ තිබුණු දුප්පත්කම ගැන කියවෙන බව විශ්වාස කරනවා. මෙහි, උකුස්සා හෙවත් ඊගල් යන පදයෙන් උතුරු ලන්ඩනයේ නගර වීදියේ පිහිටි ඊගල් තැබෑරුම හැඳින්වෙනවා. ඒ වගේ ම, පොප් කියන පදයෙන් උකස් කිරීම අදහස් වෙනවා. වීසල් යන්නෙන් කබාය හැඳින්වෙනවා. ඒ අනුව, එදිනෙදා කෑම බීමට සහ පොඩි අඩියක් ගැසීමට කබාය උකස් තියන්නට වෙන තත්ත්වයක් ගැන මෙයින් අදහස් කෙරෙනවා කියා හිතන්නත් පුළුවන්.

දුප්පත් අය නිතර තැබෑරුමට ගිහින් අතේ තිබෙන තුට්ටු දෙක අවසන් වෙන තුරු බීලා, අවසානයේ ඉණ ඉහ උකස් තබන තත්ත්වයට පත් වෙන බවත් මෙයින් අදහස් වෙනවා කියා හිතන්න පුළුවන්.

මූලාශ්‍ර:

https://www.bbc.com/culture/article/20150610-the-dark-side-of-nursery-rhymes

https://cafemom.com/parenting/meanings-nursery-rhymes-lullabies/

http://nurseryrhymesforbabies.com/history-of-this-old-man-song-2


කලින් ලියූ ලිපි

හේ ඩිඩ්ල් ඩිඩ්ල්

බා බා බ්ලැක් ෂීප්, අන්ධ මීයො තුන් දෙනා, ජැක්   සහ ජිල්

ලන්ඩන් පාලම, වයසක හබර්ඩ් අම්මා, හට්ටි ඩම්ටි 

රිං අරවුන්ඩ් ද රෝසීස්, ගූසි ගුසි ගැන්ඩර්, රොක් අ බයි බේබි

සපත්තුවේ ආච්චි, හිකරි ඩිකරි ඩොක්, මෆීන් මෑන්

ජැක් බි නිම්බල්, ජැක් හෝනර් සහ මේරි මේරි

පුංචි මෆිට් මෙනවිය, පැන්ස හයේ සිංදුව සහ වී විලී වින්කී

Thursday, October 6, 2022

පුංචි මෆිට් මෙනවිය, පැන්ස හයේ සිංදුව සහ වී විලී වින්කී - ළමා කවිවල අඳුරු ඉතිහාසය

ආයෙම පාරක් අපි හොඳින් ම දන්නා ළමා කවි කීපයක ඉතිහාස කතාව හොයාගෙන ආවා. 

පළමුවෙන් ම, පුංචි මෆිට් ගෑණු ළමයා.

මෙන්න කවිය:

පුංචි මෆිට් මෙනවිය

උස් තණ ගොඩැල්ලක (සමහර අය කියන විදිහට කකුල් තුනේ බංකුවක) වාඩි වුණා

ඇගේ මුදවපු කිරි සහ මෝරු කමින්

මකුළුවෙක් ඇවිල්ලා

ඇගේ පසෙකින් වාඩි වෙලා

පුංචි මෆිට් මෙනෙවිය බයකරලා එළෙව්වා

මේ කවියෙන් කියවෙන්නේ දොස්තර තෝමස් මෆිට් (1553 - 1604) සහ ඔහුගේ දුව (සමහරු කියන විදිහට සුළු දියණිය) වන පේෂන්ස් මෆිට් ගැන.

දොස්තර මෆිට් ගේ කාලයේ මිනිස්සු විශ්වාස කළා, සෙම්ප්‍රතිෂ්‍යාව වගේ ‌සමහර රෝග සුව කරන්න මකුළුවන්ට පුළුවන් කියලා. සමහරු මකුළුවෙක් ඇතුල් කළ බීජ ඇටයක් තමන්ගේ ඇඳුමේ පළඳගෙන සිටීම කළ අතර, තවත් සමහරු මකුළුවන් බටර්වලින් ආවරණය කර ගිල්ලා.

දොස්තර මෆිට් තමන්ගේ දුව අසනීප වුණු විට ඒ විදිහෙ ප්‍රතිකාර කරලා, ඒ විශ්වාසය ගැන පර්යේෂණ කරන්න ඇති කියලා විශ්වාස කරනවා. 

පැන්ස හයේ සිංදුව

මේ කවිය ඇත්තට ම සංඥා භාෂාවකින් ලියපු මුහුදු කොල්ලකාරයන්ගේ පණිවුඩයක්. මෙන්න කවිය:

පැන්ස හයේ සිංදුවක් ගයන්න
රායි පිරුණු මල්ලක්,
හතරකුත් විස්සක් කළු කුරුල්ලන්
පයි එකකට දාලා පිළිස්සුවා
පයි එක විවර කළාම,
කුරුල්ලො ගායනා කරන්න පටන් ගත්තා;
ඒක රසවත් දීසියක් නෙවෙයිද
රජෙක් ට ඉදිරිපත් කරන්න?

රජු හිටියා විසිත්ත කාමරේ,
ඔහුගේ සල්ලි ගනිමින්;
රැජිණ හිටියා කුස්සියේ,
පාන් සහ පැනි කමින්;
සේවිකාව හිටියා අංගනයේ,
රෙදි වනමින්;
පුංචි කළු කුරුල්ලෙක් ඇවිත්
කෙටුවා ඇගේ නහයට.



මේ කවිය සුප්‍රකට කපිතන් කළු රැවුළා හෙවත් කැප්ටන් බ්ලැක් බියර්ඩ් නම් මුහුදු කොල්ලකාරයා, තමන්ගෙ නැවට නැවියන් බඳවා ගන්නට ප්‍රසිද්ධ කරපු පණිවුඩයක්. මුහුදු කොල්ලකාරයෙකුගේ සතියක වැටුප වුණේ, පැන්ස හයක් සහ රායිවලින් පෙරන ලද විස්කි කුලාවක්. කළු කුරුල්ලන් කිව්වේ කළු රැවුළාගේ නැවියන්ට. පයි එක ලෙසින් හැඳින්වුණේ ඔවුන්ගේ නැව.

කළු රැවුළාගේ සාමාන්‍ය ඉළක්කය බවට පත් වුණේ රාජකීය නාවුක හමුදාවේ නැව්. ඒ අනුව, කළු කුරුල්ලන් පිරුණු පයි එකක්, රජු ඉදිරියට පමුණුවන්න බොහොම අගනා "දීසියක්" හැටියට පෙනෙන්න පුළුවන්.

පරණ ඉංග්‍රීසි කියමනක් තමයි, "හැම ආකාරයකම පුදුමයන් පයි එකක් තුළින්...". ඒක කපිතන් කළු රැවුළා ගොඩක් වෙලාවට යොදාගත්ත උපක්‍රමයක්. ඔහුගේ නැවක්, විපතට පත්වුණු, එහෙමත් නැත්නම් කුණාටුවකට අසුවී අතරමං වුණු නැවක් විදිහට පෙනෙන්නට ඉඩ හරින එක. ඒ ළඟින් යන වෙළෙඳ නැවු හෝ වෙනත් මුහුදු කොල්ලකාර නැවු, ඒ නැවට පිහිට වෙන්නට හෝ ඒ නැවේ ඇති දේ කොල්ල කන්න ආ විට, ඒවාට පහර දී අල්ලා ගැනීම තමයි ඒ උපක්‍රමය.

"රජු හිටියා විසිත්ත කාමරයේ - සල්ලි ගනිමින්" යන පදයෙන් කියවෙන්නේ කපිතන් කළු රැවුළා සතුව මුදල් ඇති බව. "රැජිණ" යන්නෙන් අදහස් කළේ ඔහුගේ "ඈන් රැජිණගේ පළිගැනීම" (Queen Anne's Revenge) නම් නැව. එය වරායක නැංගුරම් ලා තිබීම සහ ආහාර පාන ආදිය පටවා ගැනීම, රැජිණ පාන් සහ පැනි කෑමෙන් හැඟවෙනවා.

අංගනය කියා හැඳින්වුණේ කැරොලයිනා සිට කැරිබියන් දක්වා මුහුද. මෙහෙකාරිය ලෙස අදහස් කෙරුණේ ඉළක්කගත නැව තිබූ තැන. රෙදි වනමින් සිටීම මඟින්, එම නැව් රුවල් ඔසවා යාත්‍රා කරමින් හෝ යාත්‍රා කිරීමට සූදානමින් ඇති බව හැඟවුණා.

තවත් සමහරෙක් කියන විදිහට, මේ කවිය අටවන හෙන්රි රජු, පූජකාශ්‍රම තහනම් කිරීම සමඟ සම්බන්ධ වෙනවා. කලින් ලිපියේ ජැක් හෝනර් ගේ කවියේ කතාවම...

ඒ අනුව, පුංචි කළු කුරුල්ලන් මගින්, අට වන හෙන්රි රජු වෙත නත්තල් පයි එකක් හැදූ පූජකාශ්‍රමවල පූජකයන් හැඳින්වුණා. පයි එක ඇතුළට මන්දිරවල ඔප්පු ඇතුළත් කිරීම, පුංචි කළු කුරුල්ලන් පයි එකෙන් මතු වීම සංකේතවත් කෙරුණා.

තවත් සමහරුන් කියන්නේ, අර එළදෙන හඳට උඩින් පැනීම කවියේ සඳහන් ඉතිහාසයට මේ කවියත් සම්බන්ධ බව. වැඩිමනත් ම දෙවෙනි කොටස. එහි, රජු අට වන හෙන්රි වූ අතර, රැජිණ යනු ඇරගොන් හි කැතරින් රැජිණයි. මෙහෙකාරිය, රජු පසුව විවාහ කර ගත් ඈන් බෝලීන් වුණු අතර, ඇගේ නහයට කෙටීමෙන්, ඇය පසුව හිස ගසා දැමුණු වග සංකේතවත් කරනවා.

තවත් සමහරුන් ගේ අදහස, කළු කුරුල්ලන් විසි හතරෙන් පැය විසි හතරත්, රජු සහ රැජිණ පිළිවෙලින් ඉර හා හඳත්, සංකේතවත් කරන බව.

වී විලී වින්කී

ළමයින් රෑ අට වෙනකොට ඇඳට යවන්න අතීතයේ දෙමාපියන් හදාගත්ත සංකල්පයක් තමයි මේ වී විලී වින්කී. ඔහු මුල් කාලයේ දී නපුරු අවතාරයක්. මේ තියෙන්නෙ ඊට සම්බන්ධ කවිය.


වී විලී වින්කී
නගරය පුරා දුවනවා
උඩ තට්ටුයි යට තට්ටුයි පුරා
ඔහුගේ රෑ අඳුම පිටින්
ජනෙල්වලට ගහමින්
අගුල් තුලින් කෑ ගහමින්
"ළමයි ඔක්කොම ඇඳට ගිහින් ද?
දැන් වෙලාව අටයි"

දෙමාපියන්, ළමයින් නිදි කරවන්නට යොදාගත්ත සංකල්පයක් වුණත්, මේ කවියේ ඉතිහාස කතාවක් තියෙන බව එක තැනක කියවන්න ලැබුණා. ඒ විල්හෙල්ම් වින්ක්ලර් නම් පුද්ගලයා ගැන.

ඔහු ගේ රාජකාරිය වෙලා තියෙන්නේ, රාත්‍රියේ නගරය පුරා සැරි සරමින්, ළමයින් ඇල්ලීම. මේ; අනාථ ළමයින් හෝ ගෙවල්වලින් පැනලා ගිහින් වීදියේ නිදාගත්ත ළමයින්. මේ ළමයින් අල්ලාගෙන ඔහු අනාථ නිවාසවලට හෝ වර්ක් හවුස් නම් ආයතනවලට සැපයීම කළා. ඒ වෙනුවට ඔහුට යම්කිසි මුදලක් ලැබුණා.



සමකාලීනව සහ පසුකාලීනව ඔහු ගැන කියමින් ළමයින් බය කර ඇඳට යවන්නට දෙමාපියන් පුරුදු වුණු බව හිතන්නට පුළුවන්. 

මේ කතාව තහවුරු වෙන ඉතිහාස සාධක සොයාගන්න ලැබුණේ නම් නැහැ.

මූලාශ්‍ර

https://middlestown.accordmat.org/wp-content/uploads/sites/4/2020/04/The-Truth-About-Little-Miss-Muffet_-Text.pdf

https://www.theguardian.com/notesandqueries/query/0,5753,-26667,00.html#:~:text='Sing%20a%20Song%20of%20Sixpence,the%20'pie'%20his%20ship.

https://interestingliterature.com/2018/10/a-short-analysis-of-the-sing-a-song-of-sixpence-nursery-rhyme-origins-history/

https://www.snopes.com/fact-check/pirates-sing-song-sixpence/

https://www.straightdope.com/21343044/what-s-the-nursery-rhyme-sing-a-song-of-sixpence-all-about

https://medium.com/linguist/sing-a-song-of-sixpence-9beff05cf2f0

https://www.worldanvil.com/w/wfrp-fragile-alliances-didz/a/wee-willy-winky-article?preview=true?

Tuesday, September 6, 2022

ජැක් බි නිම්බල්, පුංචි ජැක් හෝනර් සහ මේරි මේරි...

මහා අමුතු ඉංග්‍රීසි ළමා කවි කීපයක් අපි මීට කලින් ලිපිවලින් කියවලා තියෙනවානේ. මේ ඒ ලිපිවලට ලිංක්. 

හේ ඩිඩ්ල් ඩිඩ්ල්

බා බා බ්ලැක් ෂීප්, අන්ධ මීයො තුන් දෙනා, ජැක්   සහ ජිල්

ලන්ඩන් පාලම, වයසක හබර්ඩ් අම්මා, හට්ටි ඩම්ටි 

රිං අරවුන්ඩ් ද රෝසීස්, ගූසි ගුසි ගැන්ඩර්, රොක් අ බයි බේබි

සපන්නුවේ ආච්චි, හිලරි ඩිකරි ඩොක්, මෆීන් මෑන්

මේ මෑතකදී පුතා එක්ක ඒජ් ඔෆ් එම්පයර්ස් සෙල්ලම් කරද්දි, තවත් ඒ වගේ අමුතු කවියක් මතක් වුණා. ඒජ් ඔෆ් එම්පයර්ස් ගේම් එකේ තියෙනවා, චීට් කෝඩ් එකක්, jack be nimble කියලා. ඒක ගැහුවම, කැටපියුල්ට්වලින් විදින්නේ ගල් වෙනුවට හරක් සහ මිනිස්සු. 

ජැක් බි නිම්බල් කවිය මේ:

ඒකෙ පද ගත තේරුම:

ජැක් වේගවත් වෙන්න

ජැක් ඉක්මණ් වෙන්න

ජැක් පනින්න

ඉටිපන්දමට උඩින්

ගොඩක් අය විශ්වාස කරනව මේ කවියෙන් කියවෙන්නෙ එක්දාස් හයසිය ගණංවල මුල භාගයේ හිටපු ශෝං ඇල්බෙයා හෙවත් බ්ලැක් ජැක් නම් මුහුදු කොල්ලකාරයා ගැන බව.

බ්ලැක් ජැක් නාවික හමුදාවන්ට අසු නොවී බේරෙන්න දැක්වූයේ පුදුමාකාර දක්ෂ කමක්. ඔහුගේ වේගවත් බව සහ උපායශීලීත්වය මේ කවියෙන් කියවෙනවා කියා සැළකෙනවා.

ඉට අමතරව, ඉටිපන්දමට උඩින් පැනීම පරණ ඉංග්‍රීසි ක්‍රීඩාවක් බව දැනගන්න ලැබුණා, වෙළෙඳපොලේ සහ පොදු ස්ථානවල කරපු. නමුත් ඒ ගැන වැඩි යමක් හොයාගන්න බැරි වුණා.

පුංචි ජැක් හෝනර්...

ඒ වගේ තවත් කවියක් තමයි ලිට්ල් ජැක් හෝනර්. 

මේ තියෙන්නෙ ඒ කවිය. 


පුංචි ජැක් හෝනර්

මුල්ලෙ ඉඳගත්තා

ඔහුගෙ නත්තල් පයි එක කමින්

ඔහු මාපටැඟිල්ල ඒකට ඔබලා

ප්ලම් එකක් එළියට අරගෙන

කිව්වා

මං කොච්චර හොඳ ළමයෙක් ද කියලා...

මේ කවියෙන් කියවෙන්නේ ග්ලැස්ටන්බරි හි ප්‍රධාන පූජකවරයා ගේ ස්ටිවර්ඩ් වුණු තෝමස් හෝනර් ගැනයි කියා සැළකෙනවා. ඔහුගේ අතේ ප්‍රධාන පූජකවරයා, අටවන හෙන්රි රජු වෙත යැව්වා නත්තල් පයි එකක්. ඒ පයි එක ඇතුළේ සඟවලා ඔහු මන්දිර දොළහක ඔප්පු රජු වෙත යැව්වා, රජතුමාගේ හිත දිනා ගන්න. ඒ කාලය වන විට රජතුමා පූජකාශ්‍රම විසුරුවා හැරීමේ තීරණයක් ගෙන ක්‍රියාත්මක කරමින් සිටියා. ඉතින් තමන් ගේ තෑග්ග මඟින් ඒ තීරණය තමන්ට අවාසි සහගත ලෙස ක්‍රියාත්මක වීම වළක්වාගැනීමට ග්ලැස්ටන්බරි හි ප්‍රධාන පූජකවරයා කල්පනා කළා.

මේ පයි එක ගෙනියන අතර, තෝමස් හෝනර් එයින් එළියට ඇදලා ගත්තා, මෙල්ස් මන්දිරයේ ඔප්පුව. මේ ගමනට ටික කාලයකට පස්සේ ඔහු ඒ මන්දිරයේ පදිංචියට ගියා. මේ කතාව ප්‍රතික්ෂේප කරන හෝනර්ගේ පරම්පරාවේ උදවිය, ඔහු එය රජුගෙන් මිලයට ගත්තා යැයි කියනවා.

මේරි මේරි...

මේ කවියත් අර වගේ ම තේරුම ව්‍යාකූල එකක්. මේ තියෙන්නේ කවිය.


පද අනුව තේරුම මෙහෙමයි:

මේරි, මේරි, තරමක් ප්‍රතිවිරුද්ධයි

කොහොමද ඔයාගෙ ගෙවත්ත වැවෙන්නේ?

රිදී සීනුයි, බෙලි කටුයි

සහ ලස්සන කෙල්ලොයි පේළියට

මේ කවියේ කියවෙන මේරි, අටවන හෙන්රි රජුගේ දුව වුණු, පළමුවන මේරි නම් කතෝලික රැජිණයි. මීට කලින් අන්ධ මීයො තුන්දෙනා ගේ කවියෙත් මේ රැජිණ ගැන කියවුණා මතකයි. 

එතුමියගේ කෙටි රාජ්‍ය පාලන කාලය තුළ ප්‍රොතෙස්තන්ත ආගමිකයන්ට එරෙහිව දියත් වුණු කුරිරු මර්ධනය නිසා මේ රැජිණ ප්‍රසිද්ධ වුණා. "ගෙවත්ත" ලෙස කවියේ කියවෙන්නේ, සොහොන් පිටිවල වර්ධනය. රිදී සීනු සහ බෙලිකටු පැහැදිළිවම වධ දීමේ යන්ත්‍ර සහ වධ දීම සංකේතවත් කරන අතර, ලස්සන කෙල්ලන් හෙවත් මේඩ්ස් අනිවාර්යයෙන් ම යකඩ ගැහැණිය හෙවත් අයන් මේඩ්න් නම් වධක යන්ත්‍රය ගැන කරන සඳහනක්.

මූලාශ්‍ර:

https://allnurseryrhymes.com/jack-be-nimble/

https://www.pirateshowcancun.com/jolly-roger-crew/captain-black-jack

https://www.education.com/magazine/article/hidden_history_of_nursery_rhymes/#:~:text=Little%20Jack%20Horner%20%2D%20The%20story,were%20hidden%20in%20the%20pie.

Thursday, October 7, 2021

සපත්තුවේ ආච්චි, හිකරි ඩිකරි ඩොක් සහ තවත් කවි - ළමා කවියක අඳුරු ඉතිහාසය

 පහුගිය ලිපිවලින් අපි හොයාගත්තා, මෙන්න මේ ළමා කවිවල තියෙන ඉතිහාස කතා:

1. හේ ඩිඩ්ල් ඩිඩ්ල්

2. බා බා බ්ලැක් ෂීප්, අන්ධ මීයො තුන්දෙනා, ජැක් සහ ජිල්

3. ලන්ඩන් පාළම කඩා වැටේ, වයසක හබර්ඩ් අම්මා සහ හම්ටි ඩම්ටි

4. රිං අරවුන්ඩ් ද රෝසී, ගූසි ගූසි ගැන්ඩර් සහ රොක් අ බයි බේබි


පහුගියදාක අපේ පොඩි රාළගෙ ඉංග්‍රීසි ගුරුතුමිය එවල තිබුණා කවියක් ‌පොඩි රාළලාට පාඩම් කරගන්න, ඒක කියෙව්ව ම මට හරි කුතුහලයක් ආව මේ මොනව ගැන ද කියන්නෙ කියල... කවිය මෙන්න මෙහෙමයි:


D'you know the old woman

who lived in a shoe

She had so many children,

she didn't know what to do

She gave them some broth 

without any bread 

She whipped them all soundly

and put them to bed


ඔයා දන්නවද මහළු කාන්තාව, අර සපත්තුවක් ඇතුළෙ හිිටියෙ...

එයාට ළමයි ගොඩක් හිටියා, ඒ අයට කරන්න දෙයක් ඈ දැනගෙන උන්නෙ නෑ

එයා ළමයිට එළවලු-මස් සුප් දුන්නා, පාන් දුන්නෙ නෑ

ළමයිට හොරන් ම කෝටුපාර දීලා ඇඳට යැව්වා

(වචනෙට වචනෙ කරපු පරිවර්තනය)


මේ කවියෙ මුල් ගැන ගොඩක් අදහස් තියෙනවා. ඒවයින් වැඩිම පිළිගැනීමක් තියෙන්නෙ, මේ කියන්නෙ මහා බ්‍රිතාන්‍යය සහ අයර්ලන්තය පාලනය කළ දෙවෙනි ජෝජ් රජු (1683 - 1760) ගැන කියලයි. 

දෙ වන ජෝර්ජ් රජු ගේ රාජ්‍යය ඇත්තටම පාලනය කළේ එතුමාගේ බිසව වුණු ඇන්ස්බැක් හි කැරොලයින් රැජිණ වූ නිසා, ජනතාව අතරෙ මේ රජ තුමා හැඳින්වුනේ "නාකි ගෑණි" හෙවත් the old woman කියලයි. ඔහුට හිටිය ළමයි ගොඩ තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. ඒ ළමයිට දෙන කෝටු පාර හෙවත් whip ලෙසින් හැඳින්වුනේ, නිලයක්. එක් දේශපාලන පක්ෂයක සාමාජිකයන් සියලු දෙනා එම දේශපාලන පක්ෂයේ ප්‍රතිපත්තියට හෝ සාමූහික තීරණයට එකඟව ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධව විනය පවත්වාගෙන යාම සඳහා ඇති කරන ලද නිලය whip නමින් හැඳින්වුණා. ඔවුන් යවපු ඇඳ විදිහට පෙන්වන්න පුළුවන්, මහජන මන්ත්‍රී සභාව. එතැනට ඒ මන්ත්‍රීවරු දිනපතා සහභාගී විය යුතුව තිබුණා.

1720 දී පමණ ඇති වුණු දකුණු මුහුදේ බුබුළ හෙවත් south sea bubble නම් ආර්ථික අවපාතන සංසිද්ධිය නිසා, දෙ වන ජෝජ් රජු වියදම් කපා හැරීම සහ සිය රාජධානියේ ආර්ථිකය නැවත නඟා සිටුවීමට ගත් උත්සාහය, "නාකි කාන්තාව ළමයින්ට පාන් නොමැතිව සුප් දීම" මඟින් නිරූපණය වුණා කියා සැළකෙනවා.


ජිම් හෙන්සන් ගේ මදර් ගූස් ස්ටෝරීස් කියන මපට් වැඩසටහනේ තිබුණු ගොඩක් ම ජනප්‍රිය, ඒ වගේම ටයිටස් තොටවත්ත සිංහලටත් හඬකවලා පෙන්වපු කවියක් මීළඟට:

hickory dickory dock

the mouse went up the clock

the clock struck one and the mouse went down

hickory dickory dock


හිකරි ඩිකරි ඩොක්

මීය නැග්ග ඔරලෝසුවෙ

එකයි කියල වැදුණා

මීය බිමට පැන්නා

හිකරි ඩිකරි ඩොක්

(ටයිටස් තොටවත්ත හඬ කවපු විදිහ මට මතක තිබුණු හැටියට)


මේ කවියෙන් කියවෙන්නේ රිචර්ඩ් ක්‍රොම්වෙල් ගැනයි කියලයි සඳහන් වෙන්නෙ. කවුරුත් දන්න විදිහට බ්‍රිතාන්‍ය සිවිල් යුද්ධය අවසානයේ පළමුවන චාල්ස් රජු බලයෙන් පහ කරලා, පොදු රාජ්‍ය මණ්ඩල ජනරජය ඇති කරන්න මුල් වුණු ඔලිවර් ක්‍රොම්වෙල්, රාජ්‍යයේ ප්‍රධාන ආරක්ෂක (Lord Protector) නමින් හැඳන්වුණු රාජ්‍ය ප්‍රධානියා හැටියට 1653 දි පත් වුණා. එතුමා ස්වාභාවික හේතුන් මත 1658 දි මියයන කොට, තමන්ගෙ අනුප්‍රාප්තිකයා විදිහට පත් කරන්නෙ තමන්ගෙ තුන්වෙනි දරුවා වුණු රිචර්ඩ් ක්‍රොම්වෙල්. (ගොඩක් තැන්වල එහෙම තමයි වුණේ. අපේ රටෙත් ජෝන් කොතලාවල සහ බණ්ඩාරනායක ඉද්දි, ඩී එස් ගෙ අනුප්‍රාප්තිකයා විදිහට ඩඩ්ලි පත්වුණේ ඒ විදිහට.) රිචර්ඩ් ක්‍රොම්වෙල් ට ඒ කාලේ ජනතාව අතරෙ පටබැඳුනු නම තමයි, “හිකරි ඩික්“ ඔරලෝසුවෙ නැගපු මීයා විදිහට හඳුන්වන්න පුළුවන් නියම සුදුසුකම් නැතිව රටේ ප්‍රධාන පාලක තනතුරට පත්වුණු රිචර්ඩ් ක්‍රොම්වෙල්.

කොහොම වුණත්, රිචර්ඩ් ක්‍රොම්වෙල් තමන්ගෙ පියා වගේ දක්ෂ සහ සාර්ථක පාලකයෙක් වුණේ නෑ. ඔහු පාලනය කළේ අවුරුද්දයි. හරියටම බැලුවොත් මාස නවයක් විතර. ඊට පස්සෙ පිටුවහලේ හිටපු දෙවන චාර්ල්ස් රජු ගෙන්වාගත්තු රාජාණ්ඩු වාදීන් රිචර්ඩ් ව බලයෙන් පහ කළා. ඒක හරියටම, එකයි කියලා ඔරලෝසුවෙ වදිද්දී මීයා බිමට පැනලා දිව්වා වගේ තමයි.


මී ළඟට අපි කතා කරන්නෙ ප්‍රචණ්ඩත්වය මුල් කොටගෙන බිහිවුණු තවත් සුන්දර කවියක්. ඒ තමයි මෆින් මෑන්

Do you know the muffin man,

the muffin man, the muffin man?

Do you know the muffin man,

who lives on Drury Lane?

Yes, I know the muffin man,

The muffin man, the muffin man,

Yes, I know the muffin man,

Who lives on Drury Lane.


ඔයා දන්නවද මෆින් කාරයා,

මෆින් කාරයා, මෆින් කාරයා?

ඔයා දන්නවද මෆින් කාරයා,

ඩෲරි පටුමගේ ඉන්නා?

ඔව් මම දන්නව මෆින් කාරයා,

මෆින් කාරයා, මෆින් කාරයා.

ඔව් මම දන්නව මෆින් කාරයා

ඩෲරි පටුමගේ ඉන්නා.


ඩෲරි පටුමග තියෙන්නෙ ලන්ඩන් නගරයේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය අසලින් විරුද්ධ පැත්තෙන් පටන්ගෙන දිවෙන පටු මඟක්. මේ පටුමඟ A4 පාරේ සිට A40 පාර දක්වා විහිදෙන අතර, ඒ පාරේ එක පැත්තකින් ත්‍රිත්ව විද්‍යාලයත්, තවත් පැත්තකින් ඩෲරි ක්‍රීඩා පිටියත් පිහිටා තියෙනවා.

16 වන සියවසේ දී කම්කරුවන්ට පැය 12 ක වැඩමුරයක් තිබුණා ඒ නිසා ඔවුන්ට උදේ සහ රෑ කෑම පිළියෙල කරගන්න වෙලාවක් සහ ශක්තියක් තිබුණේ නෑ. ඉතින් විවිධ ස්ථාන වල තිබුණු බේකරි සහ මෆින් කාරයන් ඒ අඩුව පිරෙව්වා. මෙතැන මෆින් කියන්නේ අපි දන්නා කප් කේක් වැනි රස කැවිල්ල නොව, ඉංග්‍රීසි මෆින් නමින් හැඳින්වෙන පාන් වැනි කෑම.

ඒ විදිහේ මෆින් කාරයෙක් හෙවත් බක්කරේ කෙනෙක් හිටියා ඩෲරි පටුමඟේ. ඔහුගේ නම ෆ්‍රෙඩ්‍රික් තෝමස් ලින්වුඩ්. නමුත් ඔහු වඩා ම ප්‍රසිද්ධ වී සිටියේ ඩෲරි පටුමඟේ ‌කොටු කපන්නා හෙවත් Drury Lane Dicer යන නමින්. 

1589 සිට 1598 දක්වා අවුරුදු නවයක කාලය ඇතුළත ලින්වුඩ් කුඩා ළමයි 15 දෙනෙකු මැරුවා කියා සඳහන් වෙනවා. ඔහුගේ බේකරිය කුඩා ළමයි නිතරම ගැවසුණු තැනක් වුනා. ඒ ළමයි තමන්ගේ දඟකරකම්වලින් එතැන අවුල් කරන එක ඔහුට කරදරයක්. ඔහු කළේ, මෆින් එකක් නූලක ගැට ගහලා, එලියට දාලා තියනවා. ළමයෙක් ඒක දැකලා, ඒක ගන්න එනකොට නූලෙන් අදිනවා. ඒක සෙල්ලමක් කියලා හිතන ළමයා ඒක පස්සෙන් ගිහින් ගිහින්, බේකරිය ඇතුලේ අඳුරු කොටසට ආවට පස්සේ, ලොකු ලී පත්තකින් ගහලා, ඒ ළමයා සිහි නැති කරනවා. ඊට පස්සෙ මරණවා.

මේ කතාව දිගින් දිගට ම කටින් කට ගිහින් පරම්පරා ගාණක් තිස්සේ නැවත නැවත කියවිලා, මේ සිදුවීම්වලට ගොඩක් විස්තර අමතක වෙලා ගිහින් ජනප්‍රවාදයක් මට්ටමට පත් වෙලා තියෙනවා.


මූලාශ්‍ර

https://englishhistoryauthors.blogspot.com/2012/04/political-meaning-in-18th-century.html

https://www.ncregister.com/blog/the-horrible-meanings-behind-nursery-rhymes

https://en.wikipedia.org/wiki/There_was_an_Old_Woman_Who_Lived_in_a_Shoe

https://simple.wikipedia.org/wiki/Richard_Cromwell

https://sarahcottrell.medium.com/do-you-know-the-muffin-man-he-was-a-serial-killer-who-preyed-on-kids-eaf12c90a8d1

Saturday, December 5, 2020

කිරි කිරි බෝලේ, ගූසි ගූසි ගැන්ඩර් සහ රොක් අ බයි බේබි - ළමා කවිවල අඳුරු ඉතිහාසය

රිං අරවුන්ඩ් ද රෝසී

ලංකාවේ පොඩි දරුවො රවුමට හිටගෙන, අත් අල්ලගෙන කැරකෙන සෙල්ලමක් කරනවනෙ "කිරි කිරි බෝලේ - රැළි රැළි මාලේ" කියා පටන් ගන්න කවියක් කියමින්... ඒ වගේම තාලයකට කියන කවියක් තමයි රිං අරවුන්ඩ් ද රෝසී... ඒ කවියත් කිරි කිරි බෝලේ වගේම අත් අල්ලගෙන රවුමට රවුමට කැරකෙමින් කරන සෙල්ලමකට අදාළ කවියක්. පහත තියෙන්නෙ ඒ කවිය.

https://images.fineartamerica.com/images/artworkimages/mediumlarge
/1/ring-of-roses-frederick-morgan.jpg


Ring-a-round the rosie,

A pocket full of posies,

Ashes! Ashes!

We all fall down.


රෝසි වටේ වළල්ලක්

මල් පොකුරු පිරුණු සාක්කුවක්

අළු! අළු!

අපි ඔක්කොම බිම වැටෙනව

(වචනයට වචනය විදිහට කරපු රළු පරිවර්තනය...)


මේ කවියෙ මුල ගැන තියෙනවා මිත්‍යා කතාවක්. (ඒක ඇත්තම ඉතිහාස කතාව නෙවෙයි කියලා තර්ක කරන්න ඕනෙ තරම් සාධක තියෙනවා.)

1430 ගණංවල යුරෝපය වසාගෙන පැතිරිලා ගිය කළු මරණය (Black Death) වසංගතය ගැන මේ කවියෙ පදවලින් කියවෙනවා කියලා සැළකෙනවා. ඒ මේ විදිහට...

හමේ ඇති වෙන රතුපාට රවුම් ආසාදනයක්, තද රෝස පාට පැල්ලමක් වටේට රෝස පාට රවුමක් හිටින පරිදි ඇති වන සමේ ආසාදනයක් පළවෙනි පදයෙන් කියවෙනවා. මේ වසංගතයෙන් බේරෙන්න බෙහෙත් ලෙස සැළකුණු කොළ. දලු, රිකිලි ආදිය සාක්කුවේ දාගෙන එන්න යන්න පුරුදු වෙලා හිටපු මිනිස්සු දෙවන පදයෙන් කියවෙනවා. "ඈෂස්" කියන තුන් වෙනි පදේ ඊට ටිකක් පරණ අනුවාදයේ දි කියවුනේ "ආ ටිෂූ" කියලයි. එකෙන් කිවිසුම් යාම ඇඟවෙනවා. ඊට පස්සෙ වසංගතයෙන් රෝගාතුර වෙන මිනිස්සු අන්තිමේ බිම වැටිලා මිය යාම අවසාන පදයෙන් කියවෙනවා...

ඒත් මේ කවිය ඊට කලින් අනුවාද වලදි, ඒ වගේම රටින් රටට වෙනස් වන අනුවාද වලදි මේ පද ම යෙදෙන්නේ නෑ. ඒ වගේම සමේ ආසාදනයක් එක්ක කිවිසුම් යාමක් තිබුණු වසංගතයක් ගැන ඓතිහාසික තොරතුරුත් දකින්න නෑ. ඒ නිසා මේ පරණ මුල් ගැන තියෙන කතාවත් මිත්‍යා කතාවක් ම තමයි කියලයි බොහෝ දෙනා පිළිගන්නේ.


ගූසි ගූසි ගැන්ඩර්

මේ කවිය නම් බොහොම අපූරු ඉතිහාස කතාවක් කියනව... මෙන්න කවිය:

Goosey Goosey Gander where shall I wander,

Upstairs, downstairs and in my lady's chamber

There I met an old man who wouldn't say his prayers,

I took him by the left leg and threw him down the stairs.

පාත්ත පාත්ත පාත්තයා - මම කොහෙද කරක් ගහන්නෙ
උඩ තට්ටුවෙ යට තට්ටුවෙ සහ කාන්තාවගෙ කාමරේ
එතන මට අහුවුුුුණා යාඥා නොකරන නාකියෙක්
මං උන්දැගෙ වම් කකුලෙන් ඇදල අරං පඩිපෙලෙන් පහළට විසි කළා

http://4.bp.blogspot.com/-V7Gh3fsxBcs/Us7qVcKA_dI/AAAAAAAAA6Q
/5aYDUmutoOE/s1600/Goosey-Goosey-Gander-where-shall-I-wander.jpg


16 වන සියවසේ එංගලන්තයේ කතෝලික පූජකවරු අප්‍රසාදයට ලක් වුණු කොටසක් වුණා. බහුතරයක් දෙනා දූෂිතයන් විදිහට හංවඩු ගැහිලා හිටියෙ. මේ කවියෙ කියන නාකි මිනිහා, ඒ විදිහෙ කතෝලික පූජකවරයෙක්. පාත්තයන් කියලා ඒ කාලයේ හැඳින්වුනේ ගණිකාවො... ඒ කියන්නෙ මේ පූජකවරයා අහුවුණේ ගණිකාවකගෙ කාමරේ ඉඳලා. 

ඒ කාලෙ සැබෑ පූජකවරයෙක්ද කියලා හඳුනගන්න, යාඥාවක් කියන්න කියල කියන එක සාධාරණයි. (එක කාලයක බාල්දියක් පෙන්නලා මේ මොකද්ද කියල ඇහුව වගේ) 16 වන සියවසේ දි ලතින් භාෂාවෙන් යාඥා කිරීම පරණ සිරිත. ඉංග්‍රීසි භාෂාවෙන් කීම අලුත්... ඉතින් මේ පූජකවරයට ඉංග්‍රීසි යාඥාවක් කියන්න බැරිවෙලා. ඉතින් කකුලෙන් අල්ලලා ඇදල අරං පඩිපෙළෙන් පහළට විසි කරලා...

තව මතයකට අනුුව, 16 වන සියවසේ එංගලන්තයේ රෙපරමාදු ආගම ට අනුග්‍රහ දැක්වූ රජය විසින් කතෝලිකයන් මර්ධනය කෙරුණා. ඒ කාලෙ කතෝලික ගෙවල් වල පූජක ගුළ කියලා තැනක් තිබුණා පූජකවරුන් හංගලා තියාගන්න. එහෙම කෙනෙක් අහුවුණොත් කකුලෙන් ඇදල අරං පඩිපෙළෙන් පහළට තල්ලු කරලා මරල දාන සිරිතක් තිබුණා ලු...


රොක් අ බයි බේබි

මේකත් එංගලන්තෙ රජ පවුලේ කතාවක් ගැබ් වුණු කවියක්...

Rock-a-bye baby on the treetop,
When the wind blows, the cradle will rock.
When the bough breaks, the cradle will fall,
And down will come baby, cradle and all.

නැළවේ බබා ගහ මුදුනේ
සුළඟ හමද්දි තොටිල්ල පැද්දේ
අත්ත කැඩුණහම තොටිල්ල වැටේවි
බබයි තොටිල්ලයි ඔක්කොම බිම වැටෙයි

https://i.etsystatic.com/6911039/r/il/d4ffb7
/609084398/il_794xN.609084398_1d8s.jpg

දෙවෙනි ජේම්ස් රජතුමා ට කතෝලික උරුමක්කාරයෙක් සිටිය යුතු නිසා, රජ වාසල දරු ප්‍රසූතිය සිද්ධ වෙන කුටිය ට පිරිමි
දරුවෙන් හොරෙන් අරගෙන ගිහින් තිබ්බා කියා විශ්වාස කරනවා. ඒ දරුවා රජ ගෙදර කියන තොටිල්ලේ සිටියත්, රජුගේ නෑදෑයන් කියන සුළඟ විසින් බිමට පෙරලලා දාන්න පුළුවන් විදිහෙ අවදානම් තැනකයි සිටියේ... ඒක හරියටම දරුවෙක් ‌තොටිල්ල සමඟින් ගහක් මුදුනේ තැබීම ට සමානයි.

Monday, February 17, 2020

ලන්ඩන් පාළම කඩා වැටේ, වයසක හබර්ඩ් අම්මා සහ හම්ටි ඩම්ටි - ළමා කවිවල අඳුරු ඉතිහාසය

මීට කලින් ළමා කවි කීපයක් ගැන මම කතා කළා. ‌මේ ඒවට සබැඳි...

හේ ඩිඩ්ල් ඩිඩ්ල්
බා බා බ්ලැක් ෂීප්, අන්ධ මීයො තුන්දෙනා, ජැක් සහ ජිල් 

අද අපි මුලින්ම කතා කරන්නෙ ලන්ඩන් පාළම කඩාවැටීම ‌හෙවත්,  London Bridge is Falling Down ගැනයි.

මෙන්න කවිය,

London Bridge is falling down,
Falling down, falling down.
London Bridge is falling down,
My fair lady.

Set a man to watch all night,
Watch all night, watch all night,
Set a man to watch all night,
My fair lady.

Suppose the man should fall asleep,
Fall asleep, fall asleep,
Suppose the man should fall asleep?
My fair lady.

ලන්ඩන් පාළම කඩා වැටීම වැළැක්වීමට
ඩක්ට් ‌‌ටේප් අලවා ඇති ආකාරය

https://blogger.googleusercontent.com/img/proxy/AVvXsEiqWLY5UvCasZXMve2la-G6e2wazhYADLMAGpeT6YN-4AxkgattSinNNxTu4rnvWE2KTQo9HHYFYlshPGD-GsfZt1ifg_ZQe81srIMje10cCuoWUYIK1uC35_Rt-AhXdqtSmaNceqV2EZh6IzW844qhtmRDcDlmEWFDZwEtX30sBRw-_bcxiyGCGyueXNso=

ලන්ඩන් පාළම කඩා වැටේ
කඩා වැටේ - කඩා වැටේ
ලන්ඩන් පාළම කඩා වැටේ
මගේ සුදු නෝනේ

මිනිහෙක් යොදවමු රෑ මුරකරන්න
රෑ මුරකරන්න - රෑ මුරකරන්න
මිනිහෙක් යොදවමු රෑ මුරකරන්න
මගේ සුදු නෝනේ

ඒ මනුස්සයා නිදා වැටේද,
නිදා වැටේද, - නිදා වැටේද,
ඒ මනුස්සයා නිදා වැටේද,
මගේ සුදු නෝනේ?

මේ කවිය ගැන අදහස් දෙකක් තියෙනව. එකක් තමයි, ලන්ඩන් පාළම කඩා වැටීම වළක්වන්න, මනුෂ්‍යයෙක් බිලිදුන්න බව. පාළම හදද්දි ඒකෙ පාදමට (දරුවෙක් කියලත් ගොඩක් තැන්වල මම දැක්කා.) මනුෂ්‍යයෙක් පණපිටින් ඇතුළත් කරලා වටේට බිත්ති බැඳලා තියෙනව කියලා අදහස් කරනවා. ඒ මනුස්සයා හෝ දරුවා, හුස්ම ගැනීමට වාතය, වතුර, කෑම නැතිකමින් බොහොම හෙමින් මරණයට පත්වෙනවා. ඊට පස්සෙ එයා‌ගෙ ආත්මය පාළම එක්ක බැඳිලා, පාළම ආරක්ෂා කරගෙන පවතිනවා කියල විශ්වාස කරනවා.

ඒ අදහස තමයි අර කවියෙ දෙවෙනි තුන්වෙනි කොටස් වල තියෙන්නෙ...
https://s4.scoopwhoop.com/anj/Nursery_Rhymes/537927700.jpg

අනික් අදහස තමයි, 1014 දි ‌නෝවේ හි ‌දෙවන ඔලාෆ් රජු එංගලන්තය ආක්‍රමණය කරලා ලන්ඩන් නගරය විනාශ කිරීම මේ කවියෙන් කියවෙනව කියන එක. ‌මේ කවිය ‌ලෝකෙ ‌ගොඩක් ප්‍රදේශවල ව්‍යාප්ත ‌‌වෙලා තියෙනව. ඒ, නෝමන්වරු තමන් ගිය ගිය හැම තැනකටම ‌මේ කවිය අරගෙන ගිය නිසා කියල සළකනව. නමුත් හැම කෙනෙක්ම මේ අදහස පිළිිගන්නෙ නෑ. මොකද, එහෙම ආක්‍රමණයක් ඇත්තටම වුණා ද කියන එක ගැනත් මතභේද තියෙනව.

ඔලාෆ් ටයිම්ඇන්ඩ්හැෆ් රජු ‌
ගෝල් ‌දේශය ආක්‍රමණය කළ අවස්ථාව
https://www.bookdepository.com/Asterix-
Asterix-Normans-Rene-Goscinny/9780752866239

ඔය කවිය දැන් වෙනවිට ගොඩක් වෙනස් වෙලා මම වැඩියෙම අහල තියෙන්නෙ මේ විදියට.


London Bridge is falling down
Falling down, falling down
London Bridge is falling down
My fair lady

Build it up with iron bars
Iron bars, iron bars
Build it up with iron bars
My fair lady

Iron bars will bend and break
Bend and break, bend and break
Iron bars will bend and break
My fair lady

Build it up with god and silver
Gold and silver, gold and silver
Build it up with gold and silver
My fair lady

London Bridge is falling down
Falling down, falling down
London Bridge is falling down
M-y-y f-a-i-r l-a-d-y

මීළඟට අපි කියවන්න යන්නෙ වයසක හබර්ඩ් අම්මා ගැන. 

Old Mother Hubbard
Went to the cupboard
To get her poor doggie a bone,
When she got there
The cupboard was bare
So the poor little doggie had none

වයසක හබර්ඩ් අම්මා
කබඩ් එක ගාවට ගියා
ඇගෙ දුප්පත් බව්වට මස් කට්ටක් ‌දෙන්න
එයා ගිහිං බැලුවම
කබර්ඩ් එක හිස්
ඉතිං දුප්පත් ‌පොඩි බල්ලට ‌මොකුත් ලැබු‌ණෙ නෑ.

https://s3.scoopwhoop.com/anj/Nursery_Rhymes/59760068.jpg

සුප්‍රකට අටවන ‌හෙන්රි රජු ‌‌‌ගෙ පළමුවෙනි බිරිඳ ‌මෙන්ම රැජිණ වුණේ ඇරගොන් හි කැතරින් ‌දේවිය. ඇයට පිරිමි දරුවෙක් ලැබීමට ‌නොහැකි වුණු නිසා, (පිරිමි උරුමක්කාරයෙක්) ‌හෙන්රි රජුට විකල්ප තුනක් අතරින් එකක් ‌තෝරගන්න සිද්ධ වුණා. තමන්ගෙ දියණිය වුණු ‌මේරි ටියුඩර් විවාහ කරදීලා මුණුපුරෙක් බලාපොරොත්තු වීම (අටවන ‌හෙන්රි රජුගෙ මරණයට ‌පෙර ‌මේරි කුමරිය දරුවෙකු ලබන වයසට පත්වෙන්නෙ නෑ. ඒ නිසා ඒක හරි යන්නෙ නෑ.), රජුගෙ අනියම් බිරිඳ වුණු ‌මේරි ‌බෝලින් ‌ගෙ පුතා ‌හෙන්රි ෆිට්ස්‌රෝයි කුලවද්දා ගැනීම (ඒකට පාප් වහන්සේගෙ අනුමැතිය අවශ්‍ය වුණා), එහෙමත් නැත්නම් කැතරින් රැජිණ පහ කරලා, දරුවෙකු ලැබිය හැකි ‌වෙනත් තරුණ කාන්තාවක් විවාහ කරගැනීම: තමයි ඒ විකල්ප තුන. එයින් රජුට වඩාත්ම ආකර්ෂණීය වුනේ තුන්වෙනි විකල්පය.

අටවන ‌හෙන්රි රජු (‌මොනව අටවනවද දන්නෑ...)
https://upload.wikimedia.org/wikipedia/commons/thumb
/3/32/1491_Henry_VIII.jpg/485px-1491_Henry_VIII.jpg

කැතරින් රැජිණ පහ කිරීමට රජු ‌තෝරගත්තෙ ‌මෙහෙම තර්කයක්. කැතරින් රැජිණ, රජු ‌‌ගේ අයියා වුණු ‌වේල්ස් හි කුමාරයා ද වුණු නැසීගිය ආතර් කුමාරයා ගෙ භාර්යාව. ‌සොහොයුරාගෙ බිරිඳ විවාහ කරගැනීම ශූන්‍ය හා බලරහිතයි. ‌එම තර්කය හත්වෙනි ක්ලෙමන්ට් පාප්වහන්සේට ඉදිරිපත් කරලා අනුමැතිය ගන්න සිදුවුණා. ‌එහෙත් අනුමැතිය ලැබුණෙ නෑ. 

ඒ වැඩේ වගකීම පැවරුණේ එංගලන්තයේ හිටපු ප්‍රධාන ආගමික බලවතා වුණු කාඩිනල් වුල්සි ට. රජුගෙ ‌කෝපය ඔහුට එල්ල වුණා. ය‌ෝක් හි ආච්බි‌ෂොප්වරයා වී සිට, පාප්වහන්සේ ‌ගේ එංගලන්ත නියෝජිතයා බවට පත් ‌වෙලා, දහවන ලියෝ පාප් තුමා විසින් කාඩිනල් තත්ත්වයට උසස් ‌කෙරිලා, පසුව අටවන ‌හෙන්රි රජුගේ ප්‍රධාන උපදේශක ‌හෙවත් Lord Chancellor (‌මෙම තනතුර ‌දෙවැනි රජු ‌‌ලෙස ද හැඳින්වීමෙන්, එංගලන්තය තුල ‌කාඩිනල් වුල්සිය ‌කොයි තරම් බලයක් තිබුණා ද කියා හිතාගන්න පුළුවන්.) හිටපු ‌තෝමස් වුල්සි තුමා, ආපහු ලන්ඩන්හි සියලු කටයුතු අතහැරලා ආච්බිෂොප් ‌ලෙස ‌යෝක් බලා ගියා. එතන සැනසිල්ලෙ ඉන්න ලැබුණෙ නෑ, ආපහු ලන්ඩන්වලට කැඳවලා, රාජද්‍රොහී වීම ගැන ‌චෝදනා කරලා, හිරභාරයට ගනු ලැබුණා. හිරේ ඉඳිමින් එතුමා කළුරිය කළා.

කාඩිනල් වුල්සි
https://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/23
/Cardinal_Thomas_Wolsey.jpg/496px-Cardinal_Thomas_Wolsey.jpg

කවියෙන් කියන්නෙ, හබර්ඩ් අම්මා තමයි කාඩිනල් වුල්සි. අටවෙනි ‌හෙන්රි නම් දුප්පත් බල්ලා අපේක්ෂා කළ මස්කට්ට වුණේ කැතරින් රැජිණ ඉවත් කිරීමේ තීන්දුව. ඒක ලබාදෙන්න වුල්සි තුමාට බැරිවුණා...


කවුරුත් දන්න අඳුනන හම්ටි ඩම්ටි ‌ගෙ කතාව මී ළඟට...


Humpty Dumpty sat on a wall,
Humpty Dumpty had a great fall;
All the King's horses
And all the King's men,
Couldn't put Humpty together again.

හම්ටි ඩම්ටි තාප්පෙ උඩ උන්නා
හම්ටි ඩම්ටි බිමට වැටුණා
රජු‌‌ගෙ අස්සයො ඔක්කොමටයි
රජුගෙ මිනිස්සු ඔක්කොමටයි
හම්ටි ප්‍රකෘතිමත්කරන්න බැරි වුණා



මේ කවියටත් කතන්දර ‌දෙකක් තියෙනව.

1648 එංගලන්ත සිවිල් යුද්ධෙදි ‌ක්ලොචෙස්ටර් නගරය අල්ලගන්න ‌පාර්ලිමේන්තුවාදීන් ‌මෙහෙයවූ ෆෙයාෆැක්ස් සාමිවරයට ‌ලොකු සටනක් ‌දෙන්න සිද්ධවුණා. ඒ නගරය පවුරකින් වටවුණු, ‌දේවස්ථාන කුළුණු කීපයකින් සමන්විත එකක්. ඒ අතරින්, "ප්‍රාකාරය බද ශාන්ත මරියා ‌දේවස්ථානයේ" කුළුණ උඩ රඳවනු ලැබුණා, ‌ලොකු කාලතුවක්කුවක්. ඒක ක්‍රියාත්මක කළේ "එකැස් ජැක් ‌තොම්සන්" කියල ‌කෙනෙක්. ඔය කාල තුවක්කුවෙන් ආක්‍රමණිකයන්ට ‌ලොකු හාණියක් කරන්න පුළුවන් වුණා.

ක්ලොචෙස්ටර් හි
ප්‍රාකාරය බද ශාන්ත මරියා ‌දේවස්ථානයේ කුළුණ
http://myths.e2bn.org/library/1159095561/stmyatthwsmall.teach.jpg

ඉතින් ආක්‍රමණිකයෝ දිගින් දිගටම ‌දේවස්ථානයේ කුළුණ මුදුනට පහර ‌දෙන්න ගත්තා. ප්‍රතිඵලයක් විදිහට 1648 ජූලි 14 - 15 දවස් අතරෙ එකැස් ජැක් කාලතුවක්කුවත් එක්කම කුළුණෙන් පහලට වැටුණා. කැඩුණු කාලතුවක්කුව ආපහු ප්‍රකෘතිමත් කරන්න බැරි තරම් හාණි ‌වෙලා තිබුණා.

ඉතින් ක්ලොචෙස්ටර් නගරවැසියන් කියන්නෙ, හම්ටි ඩම්ටි කියන්නෙ ඔය ‌ලොකු කාලතුවක්කුවට කියලයි.

තවත් කතාවකින් කියවෙන්නෙ, ඔය සිවිල් යුද්ධයෙදි පාර්ලිමේන්තුවාදින් විසින් පරාජය ‌කෙරුණු පළමුවැනි චාර්ල්ස් රජු ම තමයි හම්ටි ඩම්ටි කියලා. රජු පරාජය වීීම "මහා වැටීමක්" (Great Fall). ඒ ‌වගේම නැතිවුණු බලය ආපහු ලබා ‌දෙන්න රජ්ජුරුවන්ගෙ අශ්වාරෝහක හමුදාවට බැරි වුණා. රජු ට මරණ දඬුවම ලැබුණා.

තවත් අදහසක් තමයි අර උඩ කියපු කාඩිනල් වුල්සි ‌‌ගෙ වැටීම ‌මේ කවියෙන් කියවෙනව කියන එක.

දෙවෙනි කතාව තමයි මම කැමතිම එක.

තුන්වෙනි රිචර්ඩ් රජු ‌බොස්වර්ත් යුද්ධයෙදි මියයාම ‌මෙම කවියෙන් නිරූපණය ‌වෙනව කියල කියනව. ලැන්කැස්ටර් සහ ‌යෝක් පරම්පරා ‌දෙක අතර සිවිල් යුද්ධය ‌බොස්වර්ත් යුද්ධය කියල කියනව. ‌‌මේ සටනින් යෝක් පරම්පරාවෙ අවසන් රජු වුණු තුන්වන රිචර්ඩ් රජු පරදවලා ටියුඩර් පරම්පරාවෙ පළමුවෙනි රජු හැටියට හත්වන ‌හෙන්රි රජ ‌වෙනව. 

මේ සටනෙදි රිචර්ඩ් රජුගෙ හමුදාව ‌හෙන්රිගෙ හමුදාවට වඩා වැඩියි. ශ්‍රීමත් විලියම් ස්ටැන්ලි සහ ‌තෝමස් ස්ටැන්ලි සාමි කියන වංශාධිපතීන් ‌මේ යුද්ධය තිබුණු තැනට‌ සේනාව අරං ආවට, වඩා වාසිදායක පැත්තට සහයෝගය ‌දෙන්න කල්බැලුවා.  රිචර්ඩ් රජු හමුදාව තුනට ‌බෙදලා එක ‌කොටසන් ‌නෝෆා්ක් හි ඩියුක් යටතේ ‌හෙන්රිට එරෙහිව ‌මෙහෙයවද්දි ‌හෙන්රිගෙ ‌සෙන්පතියා වුණු ඔක්ස්ෆර්ඩ් හි අර්ල්වරයා ඒ හමුදාවට මුහුණ ‌දුන්නා. එතනදි ‌නෝෆෝක්ගෙ හමුදාවෙන් ‌කොටසක් පසුබැස්සා. එතනදි රජු ‌තෝමස් සහ විලියම් ස්ටැන්ලිවරුන්ගෙ උපකාර ඉල්ලුවත් ඒ අය උදව් කළේ නෑ. රජු ‌හෙන්රි මරා දමලා යුද්ධය ඉවර කරන්න හිතාගෙන යුධපිටිය හරහා තමන්ගෙ හමුදාව ‌මෙහෙයවුවා. රජුගෙ නයිට්වරු රජුගෙන් ඈත් ‌වෙනවා දුටු ‌මෙතෙක් ස්වාධීනව කල් බලමින් හිටි ස්ටැන්ලිවරු (විලියම් සහ ‌තෝමස්) ‌හෙන්රිට උපකාර කරන්න මැදිහත් වුණා. ශ්‍රීමත් විලියම් ස්ටැන්ලි රිචඩ් රජු වටකරලා මරා දැම්මා.

තුන්වන රිචර්ඩ් රජු තමයි මට මතක හැටියට එයාගෙ පිටේ තිබුණුු කුදයක් ‌හේතුවෙන් හම්ටි ඩම්ටි කියල අපර නාමයක් පට බැඳුණු රජු.

මූලාශ්‍ර

Tuesday, September 11, 2018

ළමා කවි තුනක් පිටුපස සැඟවුනු ඉතිහාසය...

මීට කලින් කියවන්න ලැබුණා හේ ඩිඩ්ල් ඩිඩ්ල් කියන මහ අමුතු කවියෙ ඉතිහාස කතාව... ඒ වගේ, අද අපි කියවන්න යන්නෙ තවත් ළමා කවි කීපයක සැඟවුණු ඉතිහාසය ගැන.

එක...

මධ්‍යකාලීන එංගලන්තයේ තිබුණු විශාලතම ව්‍යාපාරයක් වුනේ ලොම් කර්මාන්තය. ලොකු ඉල්ලුමක් ලොම් වලට තිබුණු නිසා පොඩි හරි ඉඩමක් තිබුණු හැමදෙනෙක්ම බැටළුවො ඇති කළා. ඒ කියන්නෙ පිටිසර ගොවියන්ගේ සිට සාමිවරු සහ නායක පූජකයන්, බිශොප්වරු දක්වා සියලු දෙනාම... ඒ කාලෙ ධනවත්කම මැන්න එක ඒකකයක් වුනේ යමෙක්ට අයිති වුණු බැටළුවන් ගාණ. ඔය බැටළුවන් බළාගත්තෙ අතළොස්සක් වුණු එඬේරු...

1272දි කුරුස යුද්ධයට ගොහිං බංකොළොත් වෙලා ආපහු ආව පළමුවන එඩ්වර්ඩ් හෙවත් ලෝංශෑන්ක්ස් රජු ලොම් ව්‍යාපාරය මත බද්දක් පැනෙව්වා. ඒකෙන් එයා තමන්ගෙ යුධ හමුදාවෙ වියදම් පියවා ගන්න උත්සාහ කළා. විකුණන සෑම ලොම් ගෝණියකින්ම තුනෙක් එකක් රජුටත්, තවත් තුනෙන් එකක් පල්ලියට හෝ පූජක ආශ්‍රමවලටත් අය කෙරුණා. ඒ විදිහට අධික බද්දක් ගෙවපුවාම බැටළුවන් බලාගත්ත දුප්පත් එඬේරුන්ට ලැබුණෙ සොච්චමක් යාන්තම් ජිවිතය පවත්වාගෙන යන්න...

ඒ ගැන විරෝධය පළකරන්න ජනතාව අතරින් පබැඳුනු ගියක් තමයි "බා බා බ්ලැක් ෂීප්..."

https://www.haunted-yorkshire.co.uk/BaaBlackSheep.jpg

බා බා කළු බැටළුවො
ලොම් තියෙනවද?
ඔව් ස්වාමිපුත්‍රයා
මලු තුනක් පිරෙන්නට...
එකක් මගෙ ස්වාමියාට (රජු)
එකක් මගෙ ස්වාමිදුවට (පල්ලිය)
ඒවගේම තවත් එකක්
පාරෙ කොනේ පුංචි කොලුවට

Baa Baa Black Sheep,
Have you any wool?
Yes, sir, yes, sir,
Three bags full;
One for the master,
One for the dame,
And one for the little boy
Who lives down the lane.

මේ ජනගියෙ අන්තිම පේළි දෙක 16 වන සියවස වනතුරුම ගැයුණෙ “And none for the little boy who cries down the lane.” කියලයි. එතන "පුංචි කොලුවා" කියල අදහස් වුණේ ලොම් ව්‍යාපාරයෙන් සැළකිය යුතු යමක් නොලැබුණු බැටළු එඬේරුන්...

දෙක...

කෲර මේරි (Bloody Mary) ලෙස හැඳින්වුනු පළමුවන මේරි රැජිණ රජකමින් නෙරපන්න කුමන්ත්‍රණය කළා ප්‍රොතෙස්තන්ත වංශාධිපතින් තුන් දෙනෙක්. ඒ අය තමයි, හියු ලැටිමර් සහ නිකලස් රිඩ්ලි කියන ඇංග්ලිකන් බිෂොප් වරු දෙන්නා සහ කැන්ටබරියේ ආච්බිෂොප් තෝමස් ක්‍රැන්මර්...

මේරි රැජිණ මිනිසුන් වධහිංසාවට පත්කිරීමෙන් සහ මරණයට පත්කිරීමෙන් කුරිරු වින්දනයක් ලැබූ බව පේනව. අර තුන්දෙනාගෙ කුමන්ත්‍රණය අවසන් වුනේ ඔවුන් තුන්දෙනා කිරීටයට එරෙහි අපරාධ කිරීම යන චෝදනාවට වැරදිකරුවන් බව ප්‍රකාශයට පත් කරලා, රැජිණගේ අණින් ඔක්ස්ෆර්ඩ් හිදී ගිණිතබා මරා දැමීමෙන්. ඒ ගැන හැදුණු ජනගීය තමයි අන්ධ මීයො තුන්දෙනා...

https://d2pu2bk1b66iw6.cloudfront.net/photos/
2015/03/26/6-97511-three-blind-mice-1427402665.jpg
මෙතන මේරි රැජිණට ගොවියගෙ බිරිඳ කියල කියන්නෙ ඇයට සහ ඇගේ සැමියා වුණු ස්පාඤ්ඤයේ දෙවෙනි ෆිලිප් රජුට දැවැන්ත වතුයායවල් අයිති වුණු නිසා. මීයො අන්ධයි කියා කියල තියෙන්නෙ ගොඩක් වෙලාවට ඔවුන්ගේ ආගමට තිබූ භක්තිය සහ විශ්වාසය නිසා කියල හිතන්න පුළුවන්.

තුන...

15 වන සියවසේ උතුරු සමර්සෙට්වල කිලිමර්ස්ඩන් නම් කුඩා ගම්මානයෙ හිටියා පෙම්වතුන් දෙදෙනෙක්. ඒ දෙදෙනා විවාහ වෙලා උන්නෙ නෑ. ඔවුන් නිතර ගම්මානය අසළ කඳුගැටයකට නගින්න පුරුදු වෙලා හිටියා, අනික් අයගෙන් වසං වෙලා පෙම් සුව විඳින්න...

ගෑණු ළමයා ගැබ්ගත්තා. ඇය දරුවා බිහිකරන්න ආසන්න කාලයේ දවසක් කන්දෙදි ගලක් ඔලුවට වැටිලා, ඇගේ පෙම්වතා මියගියා. ඊට දින කිපයකට පස්සෙ ගෑණූ ළමයා දරුවා බිහිකළා. ඒ දරු උපතේදි තරුණ මව මියගියා. ඒ දෙදෙනාගෙ ශෝකාත්මක කතාව තමයි, ජැක් සහ ජිල්...

https://upload.wikimedia.org/wikipedia/commons
/thumb/a/a8/Jack_and_Jill.jpg/384px-Jack_and_Jill.jpg

http://4.bp.blogspot.com/-gVE7HQ5-Hnw/U2vxeEktSTI
/AAAAAAAAFQo/_EKJ3-4u-qo/s1600/jack+and+jill+hill.JPG

https://usercontent1.hubstatic.com/8702072.jpg
ජැක් සහ ජිල් ගැන තවත් මත තියෙනව. සමහරු කියනව දහසය වන ලුවී රජු සහ මරී අන්තුවාං රැජිණ ගැන මේ කවිය හැදිල තියෙනව කියලත්. නමුත් දහසය වන ලුවී රජුට වඩා මේ කවිය පැරණියි...

මූලාශ්‍ර
http://www.cracked.com/article_16576_the-disturbing-origins-5-common-nursery-rhymes.html
https://en.wikipedia.org/wiki/Oxford_Martyrs
http://mentalfloss.com/article/55035/dark-origins-11-classic-nursery-rhymes
https://mom.me/kids/18569-dark-origins-nursery-rhymes/item/three-blind-mice/
https://owlcation.com/humanities/The-Curious-Origins-of-Nursery-Rhymes-Jack-and-Jill

මෙව්වත් බලන්න
https://owlcation.com/humanities/The-Curious-Origins-of-Nursery-Rhymes-Jack-and-Jill


Monday, December 11, 2017

හේ ඩිඩ්ල් ඩිඩ්ල් - ළමා කවියක අඳුරු ඉතිහාසය...

https://i.pinimg.com/236x/db/c1/4a/dbc14adc5b05
e54a8a8fb13c2229e47f--baby-poems-children-poems.jpg

Hey diddle diddle,
The Cat and the fiddle,
The Cow jumped over the moon,
The little Dog laughed to see such sport,
And the Dish ran away with the Spoon

මේ කවිය මුලිම්ම මං ඇහුවෙ ජිම් හෙන්සන් මාමගෙ පාත්ත අම්මගෙ කතා (Mother goose stories) කියල ඒ කාලෙ රූපවාහිනියෙ ගියානෙව මපට් වැඩසටහනක්... ඒකෙන්. (ඔය මපට් වැඩසටහන සීරීස් තුනක් තියෙනව. කවුරු හරි ටොරන්ට් එකක් හොයල දැම්මොත් පිං...)

මේ කවිය මේ ළඟදි මට ආයෙම අහන්න ලැබුණ. (අපේ පොඩ්ඩට බලන්න මං ඔය කවි තියෙන 3D කාටුන් එකක් පෙන් එකකට දාල ටීවී එකට ගහල තියෙනව. ඒකෙන් ආයෙම මේ කවිය අහන්න ලැබුණහම මට කල්පනා උනා මොකකද්ද මේ කවියෙ තේරුම කියල.)

බළලයි වයලින් එකයි 
එළදෙන හඳට උඩිං පැන්නා
පුංචි බල්ල ඒ දැකලා හිනාවුනා
දීසිය හැන්ද එක්ක පැනල දිව්වා

ගොඩක් නර්සරි රයිම් කවි වල පසුබිම් කතාවක් තියෙනව. මට ඒක කියවන්න ලැබුණෙ පරණ මිහිර පත්තර වල ගිය ලිපි මාලාවකිං. ඒ වගේ මේ කවියෙත් පසුබිම හොයාගන්ඩ කුතුහලයක් ඇති වුනා. හොයද්දි හම්බුණ කතාව තමයි මේ.

සුප්‍රකට අටවන හෙන්රි (මොනවද දන්නෑ අටවන්නෙ... හරියට හයිකරන්නැතුව) රජතුමා (1491 - 1547) ගෙ බිසවක් වුනා ඈන් බොලීන් (1501 - 1536) (Anne Boleyn). එයාගෙ සොහොයුරිය වුනු මේරි බොලීන් (1499/1500 - 1543) ඒ වගේම, හෙන්රි රජුගේ පෙම්වතියක් ද වුනා. එයාගෙ මිණිපිරිය වුනු ලෙටිස් නොලිස් (Lettice Knollys) (1543 - 1634) සහ හෙන්රි රජුගෙ දියණිය වුණු පළමුවෙනි එළිසබෙත් රැජින (1533 - 1603) මේ කතාවට සම්බන්ධයි.

රැජිණ බවට පත් වෙන්න කලින් එළිසබෙත් කුමරිය වංශවත් තරුණයෙක් වුනු රොබට් ඩඩ්ලි ට ආදරය කළා. නමුත් රොබට් ඩඩ්ලි ගෙ පියා මෙන්ම මුත්තත් එළිසබෙත් කුමරිය අයත් වුණු ටියුඩර් රජ පරම්පරාව මඟින් රාජද්‍රෝහී චෝදනාවට හිස ගැසුම් කෑ අය.

එළිසබෙත් කුමරිය රැජිණ බවට පත්වුණාට පස්සෙ, රොබට් ඩඩ්ලි රජවාසල ගෘහ පාලක (Master of the House) තනතුරට පත් කළා. ලෙටිස් කුමරිය තමංගෙ පෞද්ගලික  සහකාරිනිය (Lady of the Chamber) බවට පත් කළා.

රොබට් විවාහ වුනේ එමි රොබ්සාර්ට් සමඟ. නමුත් ඔහු රැජිණ සමඟ තිබුණු ප්‍රේමය නතර කළේ නෑ. දවසක් දා ඒමි ආර්යාව පඩිපෙළ පහළ බෙල්ල කැඩිලා වැටිලා ඉද්දි හමුවුණා. මේ මරණය ගැන සමාජයේ සැක මුසු කතා බහ පැතිරෙන්නට ගත්තා. ඒ නිසා රැජිනටත්, රොබට් ටත්, වෙන් වෙන්න සිද්ධ වුනා. රැජිණ ගෙ උපදේශක විදිහට හිටියෙ විලියම් සිසිල්. එයා දිගින් දිගටම රැජිණට බලපෑම් කළා  මේ සම්බන්ධය නතර කරන්න කියල.

පෙම්වතුන් දෙදෙනාට එකතු වෙන්නට කවදාවත් ඉඩක් නැති බව දැන දැනත්, එළිසබෙත් රැජිණගෙ හිතේ තිබුනු ආදරය නැති වුණේ නෑ. කල් යද්දි රොබට් ඩඩ්ලි තේරුම් ගත්තා දෙදෙනාට කදාවත් විවාහ වෙන්න අවස්ථාවක් ලැබෙන් නැති බව. 

අවසානයේ රොබට් ලෙටීස් එක්ක ප්‍රේමයෙන් බැඳුනා. ලෙටීස් ලස්සනයි, රැජිණට වඩා තරුණයි, ඒ වගේම විවාහ වෙන්න ලොකු කැමැත්තකින් හිටියෙ. ඒ වෙනකොට රොබට් ඩඩ්ලි, ලෙස්ටර් ප්‍රාන්තයෙ අර්ල් වරයා. රොබට් සාමි සහ ලෙටීස් කුමරිය රහසේ විවාහ වුණා. ඒක රහසේ කරන්න වුනේ, දෙදෙනාම රැජිණගේ කෝපයට බය වුණු නිසා.

නමුත් එංගලන්තයේ ප්‍රංශ තානාපති වරයාගෙන් මේ විවාහය ගැන දැනගත් එළිසබෙත් රැජිණ, රොබට් ඩඩ්ලි සාමි වරයා රටින් පිටුවහල් කළා. වෘක ධේනුවක් විදිහට හඳුන්වපු ලෙටීස් ආර්යාව සමඟ මියයන තුරුම රැජිණ කතා කළේ නෑ.

එතකොට මොනවද මේ කවිය එක්ක තියෙන සම්බන්ධය?

දීසිය කිව්වෙ රොබට් සාමිට
එතකොට හැන්ද ලෙටීස් ආර්යාව
පුංචි බල්ලා වුනේ විලියම් සිසිල් (රැජිණගෙ උපදේශක)
හිනාවට කාරණය තමයි - රොබට් ගෙ ආර්යාව මරලා දාලා, රොබට් එක්ක විවාහ වෙන්න පුළුවන් කියල රැජිණ හිතපු එක.
හඳ තමයි තහනම් ආදරය
එතකොට එළදෙන?

මූලාශ්‍ර 
-----------------------------------------------
http://francesca-artofmoderndesign.blogspot.com/2012/03/scandal-behind-hey-diddle-diddle.html
https://en.wikipedia.org/wiki/Henry_VIII_of_England
https://en.wikipedia.org/wiki/Mary_Boleyn
https://en.wikipedia.org/wiki/Anne_Boleyn
https://en.wikipedia.org/wiki/Lettice_Knollys
https://en.wikipedia.org/wiki/Elizabeth_I_of_England
https://en.wikipedia.org/wiki/Amy_Robsart
https://en.wikipedia.org/wiki/Lady_of_the_Bedchamber
https://en.wikipedia.org/wiki/William_Cecil,_1st_Baron_Burghley

වැඩිපුර බලපු ලිපි