පහුගිය ලිපිවලින් අපි හොයාගත්තා, මෙන්න මේ ළමා කවිවල තියෙන ඉතිහාස කතා:
1. හේ ඩිඩ්ල් ඩිඩ්ල්
2. බා බා බ්ලැක් ෂීප්, අන්ධ මීයො තුන්දෙනා, ජැක් සහ ජිල්
3. ලන්ඩන් පාළම කඩා වැටේ, වයසක හබර්ඩ් අම්මා සහ හම්ටි ඩම්ටි
4. රිං අරවුන්ඩ් ද රෝසී, ගූසි ගූසි ගැන්ඩර් සහ රොක් අ බයි බේබි
පහුගියදාක අපේ පොඩි රාළගෙ ඉංග්‍රීසි ගුරුතුමිය එවල තිබුණා කවියක් පොඩි රාළලාට පාඩම් කරගන්න, ඒක කියෙව්ව ම මට හරි කුතුහලයක් ආව මේ මොනව ගැන ද කියන්නෙ කියල... කවිය මෙන්න මෙහෙමයි:
D'you know the old woman
who lived in a shoe
She had so many children,
she didn't know what to do
She gave them some broth
without any bread
She whipped them all soundly
and put them to bed
ඔයා දන්නවද මහළු කාන්තාව, අර සපත්තුවක් ඇතුළෙ හිිටියෙ...
එයාට ළමයි ගොඩක් හිටියා, ඒ අයට කරන්න දෙයක් ඈ දැනගෙන උන්නෙ නෑ
එයා ළමයිට එළවලු-මස් සුප් දුන්නා, පාන් දුන්නෙ නෑ
ළමයිට හොරන් ම කෝටුපාර දීලා ඇඳට යැව්වා
(වචනෙට වචනෙ කරපු පරිවර්තනය)
මේ කවියෙ මුල් ගැන ගොඩක් අදහස් තියෙනවා. ඒවයින් වැඩිම පිළිගැනීමක් තියෙන්නෙ, මේ කියන්නෙ මහා බ්‍රිතාන්‍යය සහ අයර්ලන්තය පාලනය කළ දෙවෙනි ජෝජ් රජු (1683 - 1760) ගැන කියලයි.
දෙ වන ජෝර්ජ් රජු ගේ රාජ්‍යය ඇත්තටම පාලනය කළේ එතුමාගේ බිසව වුණු ඇන්ස්බැක් හි කැරොලයින් රැජිණ වූ නිසා, ජනතාව අතරෙ මේ රජ තුමා හැඳින්වුනේ "නාකි ගෑණි" හෙවත් the old woman කියලයි. ඔහුට හිටිය ළමයි ගොඩ තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. ඒ ළමයිට දෙන කෝටු පාර හෙවත් whip ලෙසින් හැඳින්වුනේ, නිලයක්. එක් දේශපාලන පක්ෂයක සාමාජිකයන් සියලු දෙනා එම දේශපාලන පක්ෂයේ ප්‍රතිපත්තියට හෝ සාමූහික තීරණයට එකඟව ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධව විනය පවත්වාගෙන යාම සඳහා ඇති කරන ලද නිලය whip නමින් හැඳින්වුණා. ඔවුන් යවපු ඇඳ විදිහට පෙන්වන්න පුළුවන්, මහජන මන්ත්‍රී සභාව. එතැනට ඒ මන්ත්‍රීවරු දිනපතා සහභාගී විය යුතුව තිබුණා.
1720 දී පමණ ඇති වුණු දකුණු මුහුදේ බුබුළ හෙවත් south sea bubble නම් ආර්ථික අවපාතන සංසිද්ධිය නිසා, දෙ වන ජෝජ් රජු වියදම් කපා හැරීම සහ සිය රාජධානියේ ආර්ථිකය නැවත නඟා සිටුවීමට ගත් උත්සාහය, "නාකි කාන්තාව ළමයින්ට පාන් නොමැතිව සුප් දීම" මඟින් නිරූපණය වුණා කියා සැළකෙනවා.
ජිම් හෙන්සන් ගේ මදර් ගූස් ස්ටෝරීස් කියන මපට් වැඩසටහනේ තිබුණු ගොඩක් ම ජනප්‍රිය, ඒ වගේම ටයිටස් තොටවත්ත සිංහලටත් හඬකවලා පෙන්වපු කවියක් මීළඟට:
hickory dickory dock
the mouse went up the clock
the clock struck one and the mouse went down
hickory dickory dock
හිකරි ඩිකරි ඩොක්
මීය නැග්ග ඔරලෝසුවෙ
එකයි කියල වැදුණා
මීය බිමට පැන්නා
හිකරි ඩිකරි ඩොක්
(ටයිටස් තොටවත්ත හඬ කවපු විදිහ මට මතක තිබුණු හැටියට)
මේ කවියෙන් කියවෙන්නේ රිචර්ඩ් ක්‍රොම්වෙල් ගැනයි කියලයි සඳහන් වෙන්නෙ. කවුරුත් දන්න විදිහට බ්‍රිතාන්‍ය සිවිල් යුද්ධය අවසානයේ පළමුවන චාල්ස් රජු බලයෙන් පහ කරලා, පොදු රාජ්‍ය මණ්ඩල ජනරජය ඇති කරන්න මුල් වුණු ඔලිවර් ක්‍රොම්වෙල්, රාජ්‍යයේ ප්‍රධාන ආරක්ෂක (Lord Protector) නමින් හැඳන්වුණු රාජ්‍ය ප්‍රධානියා හැටියට 1653 දි පත් වුණා. එතුමා ස්වාභාවික හේතුන් මත 1658 දි මියයන කොට, තමන්ගෙ අනුප්‍රාප්තිකයා විදිහට පත් කරන්නෙ තමන්ගෙ තුන්වෙනි දරුවා වුණු රිචර්ඩ් ක්‍රොම්වෙල්. (ගොඩක් තැන්වල එහෙම තමයි වුණේ. අපේ රටෙත් ජෝන් කොතලාවල සහ බණ්ඩාරනායක ඉද්දි, ඩී එස් ගෙ අනුප්‍රාප්තිකයා විදිහට ඩඩ්ලි පත්වුණේ ඒ විදිහට.) රිචර්ඩ් ක්‍රොම්වෙල් ට ඒ කාලේ ජනතාව අතරෙ පටබැඳුනු නම තමයි, “හිකරි ඩික්“ ඔරලෝසුවෙ නැගපු මීයා විදිහට හඳුන්වන්න පුළුවන් නියම සුදුසුකම් නැතිව රටේ ප්‍රධාන පාලක තනතුරට පත්වුණු රිචර්ඩ් ක්‍රොම්වෙල්.
කොහොම වුණත්, රිචර්ඩ් ක්‍රොම්වෙල් තමන්ගෙ පියා වගේ දක්ෂ සහ සාර්ථක පාලකයෙක් වුණේ නෑ. ඔහු පාලනය කළේ අවුරුද්දයි. හරියටම බැලුවොත් මාස නවයක් විතර. ඊට පස්සෙ පිටුවහලේ හිටපු දෙවන චාර්ල්ස් රජු ගෙන්වාගත්තු රාජාණ්ඩු වාදීන් රිචර්ඩ් ව බලයෙන් පහ කළා. ඒක හරියටම, එකයි කියලා ඔරලෝසුවෙ වදිද්දී මීයා බිමට පැනලා දිව්වා වගේ තමයි.
මී ළඟට අපි කතා කරන්නෙ ප්‍රචණ්ඩත්වය මුල් කොටගෙන බිහිවුණු තවත් සුන්දර කවියක්. ඒ තමයි මෆින් මෑන්
Do you know the muffin man,
the muffin man, the muffin man?
Do you know the muffin man,
who lives on Drury Lane?
Yes, I know the muffin man,
The muffin man, the muffin man,
Yes, I know the muffin man,
Who lives on Drury Lane.
ඔයා දන්නවද මෆින් කාරයා,
මෆින් කාරයා, මෆින් කාරයා?
ඔයා දන්නවද මෆින් කාරයා,
ඩෲරි පටුමගේ ඉන්නා?
ඔව් මම දන්නව මෆින් කාරයා,
මෆින් කාරයා, මෆින් කාරයා.
ඔව් මම දන්නව මෆින් කාරයා
ඩෲරි පටුමගේ ඉන්නා.
VIDEO
ඩෲරි පටුමග තියෙන්නෙ ලන්ඩන් නගරයේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය අසලින් විරුද්ධ පැත්තෙන් පටන්ගෙන දිවෙන පටු මඟක්. මේ පටුමඟ A4 පාරේ සිට A40 පාර දක්වා විහිදෙන අතර, ඒ පාරේ එක පැත්තකින් ත්‍රිත්ව විද්‍යාලයත්, තවත් පැත්තකින් ඩෲරි ක්‍රීඩා පිටියත් පිහිටා තියෙනවා.
16 වන සියවසේ දී කම්කරුවන්ට පැය 12 ක වැඩමුරයක් තිබුණා ඒ නිසා ඔවුන්ට උදේ සහ රෑ කෑම පිළියෙල කරගන්න වෙලාවක් සහ ශක්තියක් තිබුණේ නෑ. ඉතින් විවිධ ස්ථාන වල තිබුණු බේකරි සහ මෆින් කාරයන් ඒ අඩුව පිරෙව්වා. මෙතැන මෆින් කියන්නේ අපි දන්නා කප් කේක් වැනි රස කැවිල්ල නොව, ඉංග්‍රීසි මෆින් නමින් හැඳින්වෙන පාන් වැනි කෑම.
ඒ විදිහේ මෆින් කාරයෙක් හෙවත් බක්කරේ කෙනෙක් හිටියා ඩෲරි පටුමඟේ. ඔහුගේ නම ෆ්‍රෙඩ්‍රික් තෝමස් ලින්වුඩ්. නමුත් ඔහු වඩා ම ප්‍රසිද්ධ වී සිටියේ ඩෲරි පටුමඟේ කොටු කපන්නා හෙවත් Drury Lane Dicer යන නමින්.
1589 සිට 1598 දක්වා අවුරුදු නවයක කාලය ඇතුළත ලින්වුඩ් කුඩා ළමයි 15 දෙනෙකු මැරුවා කියා සඳහන් වෙනවා. ඔහුගේ බේකරිය කුඩා ළමයි නිතරම ගැවසුණු තැනක් වුනා. ඒ ළමයි තමන්ගේ දඟකරකම්වලින් එතැන අවුල් කරන එක ඔහුට කරදරයක්. ඔහු කළේ, මෆින් එකක් නූලක ගැට ගහලා, එලියට දාලා තියනවා. ළමයෙක් ඒක දැකලා, ඒක ගන්න එනකොට නූලෙන් අදිනවා. ඒක සෙල්ලමක් කියලා හිතන ළමයා ඒක පස්සෙන් ගිහින් ගිහින්, බේකරිය ඇතුලේ අඳුරු කොටසට ආවට පස්සේ, ලොකු ලී පත්තකින් ගහලා, ඒ ළමයා සිහි නැති කරනවා. ඊට පස්සෙ මරණවා.
මේ කතාව දිගින් දිගට ම කටින් කට ගිහින් පරම්පරා ගාණක් තිස්සේ නැවත නැවත කියවිලා, මේ සිදුවීම්වලට ගොඩක් විස්තර අමතක වෙලා ගිහින් ජනප්‍රවාදයක් මට්ටමට පත් වෙලා තියෙනවා.
මූලාශ්‍ර
https://englishhistoryauthors.blogspot.com/2012/04/political-meaning-in-18th-century.html
https://www.ncregister.com/blog/the-horrible-meanings-behind-nursery-rhymes
https://en.wikipedia.org/wiki/There_was_an_Old_Woman_Who_Lived_in_a_Shoe
https://simple.wikipedia.org/wiki/Richard_Cromwell
https://sarahcottrell.medium.com/do-you-know-the-muffin-man-he-was-a-serial-killer-who-preyed-on-kids-eaf12c90a8d1