Friday, December 14, 2018

දන්න කියන කෙනෙක්...

රෝම අධිරාජ්‍යය පැවතුනු කාලයේ, සුළු ආසියාවේ ලයිසියා එ පම්ෆයිලියා ප්‍රදේශයේ පටාරා නමින් මධ්‍යධරණි මුහුදේ තොටුපොළ නගරයක් තිබුණා. එහි පදිංචි වෙලා හිටිය ධනවත් ග්‍රීක ක්‍රිස්තියානි පවුලක නිකොලස් නම් දරුවෙක් උන්නා. සමහර උදවිය කියන හැටියට මෙයාගෙ මාමා තමයි මෛරා නගරයේ බිෂොප් වරයා. එයා අනුව මේ දරුවත් ක්‍රිස්තියානි පූජකවරයෙක් බවට පත් වුණා.

දෙමාපියන් මියගියාට පස්සේ නිකොලස් පූජකවරයා තමන්ට උරුම වුණු ධනය දුප්පතුන් උදෙසා වැය කරන්න ගත්තා.

දවසක් එතුමාට දැනගන්න ලැබුණා, කලින් පොහොසත් වෙලා හිටියත් පසුකාලීනව අන්ත දිළින්දෙක් බවට පත් වුණු මනුස්සයෙක් ගැන. එයාට දූවරු තුන් දෙනෙක් හිටියා. ඒ අයට සුදුසු දායාදයක් දෙන්න බැරි වූ නිසා නිසි වයසෙදි විවාහ කර දෙන්න බැරිවෙන තත්ත්වයක් තිබුණා. ඒ කාලෙ හැටියට, විවාහ වෙන්න බැරි වුණු, ගැහැණු කෙනෙකුට කරන්න රස්සාවක් තිබුණෙත් නැති සමාජයක ඒ ගෑණු දරුවන්ගෙ ඉරණම වුනේ ගණිකාවන් බවට පත් වීම.

නිකොලස් තුමා මේ පවුලට පිහිට වෙන්න හිතා ගත්තා. නමුත් ප්‍රසිද්ධියේ කෙනෙකුට උදව් කිරීමට එයා අකමැති වුනා, එක්කෝ නිහතමානිකම නිසා, නැතිනම් ආධාර පිළිගැනීම නිසා ඒ පවුල සමාජයෙන් ගැරහීමට ලක්වෙයි කියලා. 

ඉතින් එතුමා දවසක් රෑ මේ පවුල ජීවත් වුණූ ගෙදර ඇරල තිබුණු ජනේලයකින් රන්කාසි පිරුණු පසුම්බියක් ගේ ඇතුලට විසි කළා. ඒ විදිහට ඊළඟ දවස් දෙකෙත් කළා. ඒ මුදල් පසුම්බි තුන අර දුප්පත් තාත්තට තමන්ගෙ දුවලා තුන් දෙනා සඳහා දෑවැද්ද විදිහට දෙන්න පුළුවන් වුනා.

9වන සියවසේ නායක පූජකවරයෙකු වූ මයිකල් පියතුමා කියන විදිහට, තුන්වෙනි දවසෙදි දුප්පත් තාත්තට තම පවුලට උපකාර කරන්නේ කවුද කියන එක දැනගන්න ලැබුණා. රෑ අවදියෙන් රැක ඉඳලා. එයා නිකොලස් පූජකතුමා ඉදිරියේ දණින් වැටිලා ස්තූති කළා. නිකොලස් තුමා "මේ ගැන කාටවත් කියන්න එපා" යැයි අර දුප්පතා පොරොන්දු කර ගත්තා.

නිකොලස් තුමා වරක් ශුද්ධවූ දේශය (ඊශ්‍රායෙලයට සහ පලස්තිනයට අයිති ප්‍රදේශය) ට ගියා. එතුමා ගමන් කළ නැව දරුණු කුණාටුවකට අසුවෙලා විනාශ වෙන්න ඔන්න මෙන්න තියෙද්දි, එතුමා සැඩ රළ ට තරවටු කරලා කුණාටුව සංසිඳෙව්වාලු. මේ සිද්ධිය නිසා එතුමා නාවුකයන්ගේ ශාන්තුවරයා ලෙස සැළකෙන්න පටන්ගත්තා.

එතුමා ශුද්ධවූ දේශයේ සිට ආපිට එනවිට, එතුමාගේ මාමා ගෙන් පසු මෛරාහි බිෂොප් තනතුරට පත් වුණු පුජකතුමා මියගිහින් තිබුණා. නගරයේ පූජකවරුන් තීරණය කර තිිබුණා නගරයේ පල්ලියට එදා උදේ මුලින්ම ඇතුල්වන පූජකවරයා බිෂොප් තනතුරට පත් කළ යුතු බව. නිකොලස්තුමා එදා යාඥා කිරීමට පල්ලියට යද්දි කවුරුවත් ඇවිත් තිබුණේ නෑ. ඒ අනුව එතුමා මෛරා නගරයේ බිෂොප් තනතුරට පත්වුණා.

රෝමානු අධිරාජ්‍යයෙක් වුණු ඩයොක්ලේෂියන් (284 - 305) යටතේ ක්‍රියාත්මක වුණු මහා වධ සංහාරය යටතේ මෙතුමාත් සිරගත වුණු බවත්, වධ හිංසාවලට ලක් වුණු බවත් සමහරු කියනවා. නමුත් පසුව මහා කොන්ස්ටැන්ටීන් (306 - 337) අධිරාජ්‍යයාගේ නියෝග මත නිදහස් කෙරුණු බවයි කියවෙන්නේ.

යුස්ටේතියස් නම් ආණ්ඩුකාරයාගේ නියෝගයක් අනුව එක් අවස්ථාවක නිවැරදිකාර මිනිසුන් තුන් දෙනෙක් මරණ දඬුවමට යටත් කෙරුණා. ඔවුන් මරණයට පත්කරන අවස්ථාවේ නිකොලස් තුමා එතැනට ඇවිත්, වධකයාගේ කඩුව ඉවතට තල්ලු කරලා, අර අහිංසකයන් තුන් දෙනා දම්වැල්වලින් මුදවලා ඔවුන් බේරා හැරියා. එම නඩුවේදී අල්ලස් ගෙන වැරදි තීන්දුව දුන් ජූරි සභිකයෙකුට එතුමා කෝපයෙන් දඬුවම් කළා.

https://en.wikipedia.org/wiki/Saint_Nicholas#/media/File:Ilja_Jefimowitsch_Repin_-
_Saint_Nicholas_of_Myra_saves_three_innocents_from_death.jpg
නායක පූජක මයිකල් තුමා කියන කතාවකට අනුව, ඇබ්ලේබියස් නම් කොන්සල් තැන අල්ලස් ගෙන කීර්තිමත් ජෙනරල්වරු තුන්දෙනෙකුට නිවැරැද්දේ මරණ දඩුවම නියම කළා. එහිදී නිකොලස් තුමා අධිරාජ කොන්ටැන්ටීන්ට සිහිනයෙන් පෙනී සිට, සත්‍යය පැහැදිලි කර දුන්නා. ඇබ්ලේබියස් හට සිහිනෙන් පෙනී නිරය ගැන කියා බය කළා. ඒ මඟින් එතුමා අර වැරදිකාර ජෙනරල්වරු තුන් දෙනා බේරා ගත්තා.

එක අවදියක, දරුණු දුර්භික්ෂයක් ඇතිවුණා. එක් මස්කඩකාරයෙක් දරුවන් තුන්දෙනෙකු රවටාගෙන තමන්ගෙ ගෙදරට කැඳවා, මරණයට පත් කළා. ඒ දරුවන් කොටස්වලට කපලා ලුණුවතුර දැමූ බැරල් එකකට පිරවූ ඒ දරුණු මිනිසා පසුව ඒ මස් හැම් විදිහට සකස් කර විකුණන්නට කල්පනා කළා.

නිකොලස් තුමා ඒ ප්‍රදේශයට ගියා සාගතයට පත් උදවියට උදව් කිරීමට. මේ මස්කඩකරුගේ නපුරු ක්‍රියාව දැනගත් එතුමා, කුරුසය සළකුණු කර ඒ දරුවන්හට නැවත පණ දුන්නා. (මේ කතාව පසුකාලිනව නිර්මාණය කළ එකක් ලෙස සැළකෙනවා)

මේ කතාව නිසා ළමයින්ගේ ශාන්තුවරයා ලෙස නිකොලස් තුමා සැළකෙන්නට පටන්ගත්තා.

වඩාම හාස්‍යාත්මක දේ තමයි; මේ කතාව නිරූපණය කෙරුණු චිත්‍ර වල තියෙනවා, සාන්තුවරයා, ළමයින් තුන්දෙනා සහ බැරල් එක නිරූපණය කරලා. ඒ අනුව මුල් කතාවට එතරම් අවධානයක් නොදක්වපු පසුකාලින මිනිසුන් පින්තූරයේ සඳහන් බැරල් එක නිසා නිකොලස්තුමා මත්පැන් පෙරන්නන්ගේ ශාන්තුවරයා විදිහටත් සළකන්න පටන් ගෙන තියෙනවා.

https://en.wikipedia.org/wiki/Saint_Nicholas#/media/
File:Saint_Nicolas_Heures_d%27Anne_de_Bretagne.jpg
311 - 312 වර්ෂ වල මෛරා ප්‍රදේශයට බලපෑ එක් දරුණු සාගතයේදී කොන්ස්තන්තිනෝපලයට අධිරාජ්‍යයා සඳහා ගෙන යමින් තිබූ තිරිඟු පිරවූ නැවක් මෛරා හි වරායේ නැංගුරම් දැම්මා. නිකොලස්තුමා ඒ නැවේ යාත්‍රිකයන්ගෙන් ඉල්ලුවා, ඒ තිරිඟු වලින් කොටසක් සාගතයෙන් පෙළෙන මිනිසුන් සඳහා දෙන්න කියා. තිරිඟු ප්‍රවේශමෙන් කිරා අධිරාජ්‍යයාට භාර දිමට සිදුවන නිසා යාත්‍රිකයින් මේ අදහසට කැමති වුණේ නෑ. නමුත් නිකොලස් තුමා ඔවුන්ට පොරොන්දු වුණා තිරිඟුවල බරට කිසිදු හාණියක් සිදුවන්නේ නැති බවට. ඒ අනුව නැවෙන් තිරිඟු කොටසක් ලබාගන්න හැකි වුණා.

නැව පසුව කොන්ස්තන්තිනෝපලයට ළඟා වූ විට පුදුමයකට වගේ නැවට මුලින්ම පටවපු තිරිඟු තොගයේ බර වෙනස් වෙලා තිබුණේ නෑ. ඒත් ඔවුන් මෛරාවල දී අවුරුදු දෙකක් පරිභෝජනය කර, පසුව වගා කරගන්නත් ප්‍රමාණවත් වන තරමේ තිරිඟු තොගයක් නැවෙන් ගොඩබාලා තිබුණා.

නිකොලස්තුමා  වසර 73ක් ජීවත් වී 343 අවුරුද්දේ දෙසැම්බර් 6 වනදා මෛරාවලදී මියගිය බව විශ්වාස කරනවා. එතුමාට නම් කෙරුණු ප්‍රධාන දේවස්ථානය ඉතාලියේ බාරි හි පිහිටුවා ඇති අතර, එතුමා මුලින්ම භූමදාන කරන ලද මෛරාහි දේවස්ථානයෙන් අරගත් ප්‍රධාන අස්ථි කොටස් බාරි දේවස්ථානයේ තැන්පත් කර තිබෙනවා.

රෝමානු කතෝලික පල්ලිය විසින් ශාන්තුවරයින් නම්කිරීම පටන්ගන්නට පෙර සිටන්ම මෙතුමා ශාන්තුවරයෙක් ලෙස සැළකුනා.

ලංකාවේදී ශාන්ත නිකුලා තුමා ලෙස හැදින්වෙන මෙතුමා වෙනුවෙන් නම් කෙරුණු දේවස්ථානයක් බෝපිටියේ තිබෙනවා. දහස් ගණනින් කතෝලික මෙන්ම වෙනත් ආගමිකයන්ද දරුඵල සඳහා, දරුවන්ගේ යහ පැවැත්ම සඳහා භාර වීමට සහ පූජාවන් පැවැත්වීමට මෙතැනට ඇදී එනවා.

මෙතුමාගේ ජීවිතයේ කැපී පෙනෙන ලක්ෂණ වුණු දරුවන් වෙනුවෙන් කටයුතු කිරීම, ත්‍යාගිවන්තකම සහ පරාර්ථකාමීබව නත්තල් සීයා හෙවත් සැන්ටක්ලෝස් සංකල්පය බිහිකිරිමට මුල්වුණා.

https://en.wikipedia.org/wiki/Saint_Nicholas#
/media/File:Jaroslav_%C4%8Cerm%C3%A1k_
(1831_-_1878)_-_Sv._Mikul%C3%A1%C5%A1.jpg

මූලාශ්‍ර - 
https://en.wikipedia.org/wiki/Saint_Nicholas

Sunday, November 18, 2018

අන්දිරිස් අප්පු සහ ගොරක යකා - ගජබින්නාලංකාරයෙන්...


අන්දිරිස් අප්පු බෙන්තර යාත්‍රාමුල්ලෙ ඉඳල ගම්පහ කටුවාලමුල්ල ගමට ආ හැටි අපි එක තැනකදි කිය‍ෙව්වනෙ. මේ ඒකෙ ඉතිරි ටික හැටියට කියවන්ඩ පුළුවන් තව කතාවක්...

අන්දිරිස් කිත්තා පස්සෙන් පන්නගෙන ආව පරංගි ටික රජ්ජුරුවන්ගෙ හමුදාවට කොටු වුණ භූමි භාගය රජ්ජුරුවො අන්දිරිස් කිත්තට නීන්දෙ පවරල දුන්නා. ඒ ලොකු ඉඩමෙ අන්දිරිස් කිත්තා පදිංචි වෙන්න ගෙපැළක් අටෝගන්න තොරගත්තෙ, ගොරක ගස් සීයක් විතර සරුවට හැදිල තිබුනු කොටස. (අපේ විලියොං ආත - ඒ කියන්නෙ අන්දිරිස් කිත්තගෙ මුණුපුරා - පදිංචි වෙලා උන්නෙ ඔය කියන කොටසෙ. අක්කර දෙකහමාරක් වෙච්ච ඒ ඉඩමට දැනටත් කියන්නෙ ගොරකගහවත්ත.) ඒ කොටසෙ පසත් හරිම සරුසාරයි කියල එයාට පෙනුනා. කොයිතරම් සරුසාරද කියතොත්; ඒ ඉඩමෙ ගත කරපු පළමුවෙනි රෑ කිත්තා ගතකළේ ගහක් උඩ. ඒකට හොඳ උස ශක්තිමත් අතු බෙදුනු ගහක් තෝරගත්තා. ඒ ගහේ, බිම ඉඳන් අඩි පණහක් විතර උඩින් ලොකු අතු තුනක් තුන්පැත්තට බෙදිලා තිබුණා. එතනට නැගලා බලපුවම තමයි කිත්තා දැක්කෙ ඒ වම්බටු ගහක් කියල. ළඟ ළඟ තිබුණු අතු අගිස් වල ලොකු වම්බටු ගෙඩි හැදිල තිබ්බ නිසා.

අන්දිරිස් කිත්තා ඒ ගහට ගිහිං තිබුණු කරවිල වැල් දෙකක් කපාගෙන, ඒකෙන් වැල් ඉණිමගක් හදාගත්තා. හවස් වේගෙන එද්දි කිරිඅල පඳුරක් ගළවලා, කිරිඅල පිති එකට ගොඩගහල ගිණි තියලා, (කොහොමද ගිණි තිබ්බෙ? අර පරංගි වෙඩිබේත් කූඩාරම ගිණිතියපු ගිණිකූරු වලින්ම තමා) ගිණිගොඩක් ගහලා, ඒකෙ අලු පල්ලෙ දාලා කිරි අල තම්බගෙන බඩ පුරා කාලා, අර වැල් ඉණිමග දිගේ වම්බටු ගහට නැගලා, වැල් ඉණිමග උඩට ඇදගෙන, හොඳ හැටි නිදා ගත්තා.

අන්දිරිස් කිත්තා කරන දේවල් දිහා බොහොම කේන්තියෙන් බලාගෙන උන්නා එක්කෙනෙක්. ඒ වෙන කවුරුවත් නෙවෙයි, ඒ භූමියට අරක්ගත්තු ගොරක යකා.

http://decibel.lk/assets/2015/
02/yaka-500x500_c.png

පහුවදා උදෙම්ම නැගිට්ට කිත්තා, ගෙයක් හදාගන්න පටන්ගත්තා. දැනට වැටිලා නොතෙමී ඉන්න, සතා සීපාවගෙන් බේරිලා ඉන්න පොඩි ගෙපැළක් අටවගන්න තමයි එයා මුලින්ම හිතාගත්තෙ.

ගේ හදන්න තෝරගත්ත හරිය සමතල කරද්දි ඒකෙ අඩි එකහමාරක් විතර යටට හාරද්දි බොහොම තද කබොකක් මතු වුනා. ඉතිං එයා හතරැස් අඩි සීයක් විතර ඉතුරු කළා පස්සෙ එක එක හැඩේ කබොක් ගල් කපන්න.

මුලිම්ම කිත්තා අදහස් කළේ කණු හයක් හිටවලා, වහළයක් හදාගන්න. ඒකට එයා වත්තෙ වැටිච්ච පොල් අතු එකතු කරලා, ගාණට කපලා, වැල්පටවල් අඹරලා හදාගත්ත තේඩා වලින් ගැටගහලා. වත්ත පල්ලෙහා ගඟේ ඔබලා, බර තිබ්බා. ඉන්පස්සෙ එයා ගියා කැලේ වැවිල තිබ්බ හරියට, වැරණිය ගස් කපං එන්න. ඇද කුද නැති වැරණිය ගස් දෙකක් කපල බිම දාන්න අන්දිරිස් කිත්තට ගියේ වරුවයි. ගස් දෙක කපලා, බිම දාලා. අතු පෑහැලා දාපු එයා, දිය බහින්න ගස් දෙක එතනම දාලා ආපහු අර කලින්දා රෑ නැවතුනු වම්බටු ගහ ගාවට ආවා.

ඒ එනකොට කිත්තට ඇහුනා, “අන්දිරිසා එනෝ...” කියල බොහොම ගොරෝසු කටහඬකින් කෑගහනව.

වටපිට බලනකොට, ඒ කිඹුලෙක්. ගොරකයකා කිඹුලෙක් තියලා ඔත්තු බලන්න.

කිත්තා එකපාරම වම් අතින් කිඹුලගෙ බෙල්ල මුලින් අල්ලගත්තා. කිඹුලා ආයෙම කැගහන්න කට අරිනකොටම, එයා දකුණු අත කිඹුලගෙ කට ඇතුලට දැම්මා. අත පුළුවන්තරම් කිඹුලගෙ ඇතුලටම යවපු කිත්තට උගෙ වලිගෙ අග හරියෙන් අල්ලගන්න පුලුවන් උනා. හයියෙන් අල්ලගෙන ආපහු අත කටින් එලියට ඇදල ගත්ත පාර කිඹුලා කණපිට හැරවුණා.

කිඹුලා අන්දිරිස් කිත්තට කැරකි කැරකි වඳින්න ගත්තා. පරාණ බය ඉතිං කිඹුලටත් පොදුයි. ඒ ගමන කිත්තා කිව්වා,

“මං උඹ මරන්නෑ. උඹ ඇයි මං එනව කියල කෑ ගැහුවෙ? කාට ඇහෙන්ඩද? කවුද උඹට ඔත්තු බලන්ඩ කිව්වෙ?” කියල ඇහුවා.

“යරක ගොකා... යරක ගොකා...” කිඹුලා කිව්වා.

“ඒ මොකාද බොල?” කිත්තා ඇහුවා.

“මමුසෙ තාව හැණපිට කරෙව්වනෙ. කිම මයන ඉව්වත් එතිං හැණපිට කරෙනව...”

කිත්තට තේරුණා. කණපිට හැරුණ කිඹුලා, කියන කියන වචනත් කණපිට හැරෙනව...

ඒ ගැන හිත හිතා කිත්තා ඔලුව කහන්න ගත්තා. යන්තං කිත්තගෙ අතිං අතෑරුණ ගමං කණපිට කිඹුලා පැනලා දිව්වා...

කිඹුලගෙ කතාවෙන් පස්සෙ අන්දිරිස් කිත්තට තේරුණා ගොරක යකා එක්ක දෙකෙන් එකක් බේරගන්නෙ නැතුව මේ භූමියෙ වසන්න අමාරු වෙන බව. එයා දෙවෙනි දවසෙ කපන්න තෝරගත්තෙ වත්තෙ තිබුණු ලොකුම ගොරක ගහ. පොරවකුත් අරං ගහවටේ එක වටයයි කැරකුණේ, මහා ඇඹුල් ගඳක් පැතිරිලා ගියා. ගොරක ගහ සුළි සුළඟකින් වගේ කැරකෙන්න පටන් ගත්තා. 

කිත්තා දෑත බදලා පොරව උස්සලා, ගොරක ගහට කෙටුවා. ගොරක අතු හොල්ලගෙන, දඩි බිඩි ගාගෙන ගහෙන් බැහැලා ආවා නිල් පාටට හුරු කලු පාට මවිල් වලින් වැහුණු, මහත දෙහත, සද්දන්ත සරීරයක්. හැඩපලු ගෙතුණු කොණ්ඩෙ, රවුම් රතුපාට ඇස් ගෙඩි, බාගෙට ඇරුණු කටෙන් පෙනුනු උල් දත්... ඔය ඔක්කොම එක්ක මහා භයානක යකෙක් ගහෙං බැස්සා.

කිත්තා වගේ වගක් නැතුව තව පොරෝ පාරක් කෙටුවා.

"තෝ කවුද බොල මගෙ විමානෙ කපන්ඩ තනන්නෙ?" යකා සැර වැර ඇතුව ඇහුවා.

"තෝ කවුද මගෙං ප්‍රශ්න අහන්ඩ?" කිත්තා ඊට වඩා සැරෙන් ඇහුවා.අහලා තව පාරක් ගහට කෙටුවා.

"මේ... එහෙම නෙවෙයි මල්ලි..." යකා දැන් යාප්පු වෙනවා. "... මේ ගහම කපන්ඩ ඕනෙ නෑනෙ. වෙන ඕනෙ තරං ගස් තියෙන්නෙ."

"නෑ. මේ ගහම තමා මට කපා ගන්ඩ ඕනෙ..." කිත්තා තව පාරක් කෙටුවා.

"මේ එහෙම කරන්ඩ එපා මල්ලි. මං තමුසෙට හැම ගොරක වාරෙටම ගොරක ගෝණියක් දෙන්නං. මේ ගහ කපන්ඩ එපා මල්ලි. මොකද්ද මෙයා..."

කිත්තා පොරව බිමින් තියලා, වාඩිවුණා.

"මට තමුසෙ උදව් කරන්ඩ ඕනෙ මගෙ වැඩ වලට" කිත්තා ටික වෙලාවක් කල්පනා කරලා කිව්වා.

යකා ඒකටත් ඔලුව නැමුවා.

"හා හොඳයි." කිත්තා කිව්වා. "හැබැයි ඔය පොරොන්දුව කැඩුවොත් මං නරක මිනිහා කියන්ඩ එපා හරිය?"

යකා ආපහු ගියෙ කිත්තට වැඳල...

ඊටපස්සෙ ඉතින් සතියක් විතර යද්දි කිත්තා කවද හරි මේ ඉඩමෙ හදනවය කියල මුලින්ම හිතාගත්ත මහගෙදර හදල ඉවර කරගත්තා. ඒකට උනෙ කරපු එක එක හැඩේ, එක එක තරමේ කබොක් ගල් ඔක්කොම ගොරක යකා එක වරුවෙන් කපල දුන්නා. කබොක්ගල් කපාපු වළ වහන්න වත්ත පහල නාන ළිඳකුයි, ඊට තරමක් උඩින් බොන ළිඳකුයි කැපුවා. ගෙයි අත්තිවාරම දාලා, පස් දාලා, යකා ඇත්තු දෙන්නෙක් දම්මලා බිම පාගලා දුන්නා. යකා බිත්ති නැග්ගුවෙ බලං ඉද්දි. අන්දිරිස් ආතා යකාට වඩුවැඩ කියා දුන්නා. කැලෙන් කපාගත්ත ලී, යකාම පට්ටලේ දාලා ඉරලා, සොල්දරේකුත් ගැහුවා. වහලෙ ගැහුවෙත් ගොරක යකයි කිත්තයි දෙන්නා. සිංහල උලු විතරයි කිත්තට හාඩ්වෙයා එකෙන් ගන්න වුනේ.

කිත්තගෙ වැඩ කරල දෙන ගොරක යකා දිහෑ උන්දැගෙ සහෝදරයො වුනු සියඹලා යකයි, බිලිං යකයි බැලුවෙ හිතේ පිරුණු කේන්තියෙන්. තමංගෙ මුලු යක්ස පරම්පරාවටම නින්දාකරමින් තමුංගෙ මල්ලි නරයෙකුට උදව් කිරීම ඒ අයගෙ උදහසට හේතු වුණා.
ගෙට ගෙවදුනු දවසට පහුවෙනිදා, කිත්තා පටන් ගත්තා ඉඩමෙ වල් කොටලා මොනව හරි ඉන්දන්න. කැලේට වැවුණු වම්බටු, බණ්ඩක්කා, කරවිල, පතෝල ආදිය කකා හිටපු උන්දැට හිතුණා කැරට්, බෝංචි, ගංජා ටිකක් හිටවන්න.

උදේ ඉඳං එකසීරුවට වැඩ කරලා මහන්සි වෙච්ච කිත්තා, වත්ත පහළ ගඟෙන් නාගෙන, ගෙට ආවෙ හොඳටම බඩගිනි වෙලා. ඒ එනකොට එයා පිළිගන්න ගෙයි ඇඳ යට හැංගිලා හිටියා සියඹලා යකා... 

“යකෙක් කන්ඩ බඩගිනියි යකෝ...!” තමන්ටම කියාගෙන කිත්තා ගෙට ගොඩ වුනා. සියඹලා යකාගෙ හිත ටිකක් ගැස්සුණා.

උදේ වත්තෙන් නෙලාගත්ත ඇපල්, පෙයාස් ටිකක් ඇඳ යට තිබුණු බව කිත්තට මතකයි. “රජ බඩුවක් තියෙන්නෙ ඇඳ යට...” කියාගෙන ඉණේ තිබ්බ උල් පිහිය ඇදල ගත්ත කිත්තා, ඇඳ ගාවට කිට්ටු කළා. යකා වෙවුලන්න පටං ගත්තා.

කිත්තා ඇඳ යටට එබුණා. යකා කිත්ත දැකල වැඳ වැටුණා. “අනේ ආයිබොවං මාව මරං කන්ඩ එපා...”

“තෝ මොකද ඇඳ යට කරන්නෙ?” කිත්තා ඇහුවා.

“මං... මං... ගොක්... ගොක්... ගොරක යකාගෙ අයියා. සියඹලා යකා.” යකා එලියට බඩගෑවා. “මං ආවෙ අපේ නගා ඔහෙට කරකාර දෙන්ඩ අහන්ඩ...”

කිත්තගෙ ඇස් උඩ ගියා...

ඕං ඔහොමයි අන්දිරිස් කිත්තා, යක්ෂ භයෙන් මිදිලා කටුවාලමුල්ල ගමේ ගොරකගහවත්ත ඉඩමෙ පදිංචි වුනේ. කිත්තගෙ උරුමක්කාරයො වෙන අපි, යකාටවත් බය නෑ. අනික අපි මොන වැඩක් කළත් ඒක... “යකාගෙ වැඩක්නෙ!” කියල අනික් උදවිය කියන්නෙ ඔන්න ඔය කිත්තගෙයි, ගොරක යකාගෙ නගා වෙච්ච දෙහි ඇඹුල් යකින්නගෙයි ලේ අපේ ඇඟේ දුවන හින්දයි...

කලිං ලියපු ගජබින්න වලට පටුනක්.

Monday, October 22, 2018

ඒ කාලෙ ගැන කියවෙන කවි ටිකක්...

https://adaderanaenglish.s3.amazonaws.com/1447658294mom2.jpg

මං මේ කතාව පටං ගන්න හිතුවා හෙණ ගහන්නා වගේ එක පාරටම... එහෙනං ඔන්න.

ඒ කාලෙ ගෙල්වල ගෑණු උදවිය තරමක් වැඩිමහල් වෙච්ච දරුවොත් ඇන්න දවාලට කාල පැයකින් දෙකකින් විතර ඇදෙනව බඩවැටියට. නැත්තං ගම වටේ තිබ්බ ළඳු කැළෑවට. නැත්තං පසුකාලීනව ගමේම පෝසත් මිනිහෙකුට හෝ ඉස්කෝලෙ මහත්තේකුට අයිති පාලුවට ගියපු ඉඩමකට. ඔය යන උදවියගෙ ඉළක්ක කීපයක් තිබුණ. දර ටිකක් කඩාගෙන මිටියක් බැඳගන්න, ළමා ළපටින්ට ගඩා ගෙඩියක් දෙකක් කඩාගන්න, පහුවදට හරි එදා හවසට හරි උයාගන්න පලා ටිකක්, අල ගෙඩියක්, දෙල්, කොස් වගේ දෙයක් හොයාගන්න, පොල් අහුලගන්න, ඇලේ හරි පොල්අතු වලේ හරි දාල පොඟවගෙන වියාගන්න පොල් අතු අහුලගන්න...

බලන්න ඔය අත්දැකීම මේ පද හතරෙ කොයිතරම් සාරාංශගත වෙලා තියෙනවද, හැබැයි සාරාංශ කළා කියල අත්දැකීමෙන් බිඳක්වත් අඩු වෙලා තියෙනවද කියල...

"...අතට වෙරළු - ඇහිඳ ගෙනේ
ඉණට පළා - නෙළා ගෙනේ
බරටම දර - කඩා ගෙනේ
එයි අම්මා - විගසකිනේ..."

අපි පොඩි අවදියෙ අපේ අම්මලත් යන්න පුරුදු වෙලා හිටියා, වැලිවිට මහත්තෙයගෙ මුරවත්තට, එහෙම නැත්තං නිළමෙගෙ වත්තට, මුරවත්තට යන උදවියට ඒක මුර කරපු මුරකාරයගෙ උදව්වත් ලැබුණ. මට මතකයි ඒ මුරකාරයගෙ පැළේ ඉස්තෝප්පුවෙ එල්ලල තිබුණ  කූඩුවක කතා කරන ගිරවෙක් හරි මයිනෙක් හරි සැළලිහිණියෙක් හරි හිටියා, කාලෙන් කාලෙට. මුරකාරයත් ඔය විදිහට කාලෙන් කාලෙට වෙනස් වුනා. අම්මල, ළමයි විතරක් නෙවෙයි, අපේ තාත්තල බාප්පලත් ඔය වතුවලට යන්න පුරුදු වෙලා හිටිය. ඒ උදලු මිටක් - පොරෝ මිටක් කපාගන්න, අපේ බාප්පනං මුරකාරයත් එක්ක හීං අඩියක් ගහන්න, හාවෙක් මීමින්නෙක් දඩයම් කරගන්න, තාත්ත ගෙවත්තෙ හිටෝගන්න පැළයක් විදිහට හරි බේතකට ගන්න හරි මූනමල්, රසකිඳ, හීරැස්ස පලු... ආදී පැළෑටි හොයාගන්න...

ඔය අවදියෙ කොළඹ යනව කියන්නෙ රට යනව වගේ වැඩක්නෙ. ගොඩක් ළමයි ලොකු මහත් වුනාම කුඹුරු කොටන්න තමා බර. අපේ බාප්පත් සූර ගොවියෙක්. අපි පොඩි කාලෙ මුලු වත්ත පුරාම එයාගෙ එළවලු කොටු, බුලත්පාත්ති ආදිය පිරිල තිබුණ. ඒවගේම හරක්, එළුවොත් හැදුව. ඉගෙනගත්ත අය කොළඹ රස්සාවලට ගියා. හැමෝම නෙවෙයි. සිංහල පාඨශාලාවල ඉගෙනගෙන අට පාස් කරපු අය ඉස්කෝලෙ මහත්තුරු වුනානෙ, ඊට පස්සෙ ආව මධ්‍ය මහා විද්‍යාල. එව්වයෙ ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගත්ත, නායකත්වයක් ඇති , රටේ තොටේ කාරණා වැඩිය දැනගත්ත ගමේ සාමාන්‍ය පවුල්වල දරුවො කොළඹ ගිහිං එක්කො ලියන මහත්තුරු වුනා, එක්කො පියුං රස්සාව, නැත්තං කඩවල, හෝටල්වල වැඩ කළා.

කොළඹ යනව කියන්නෙ ගමේ උදවියට ලොකු හපං කමක්... මේ දරු නැළවිල්ල‍ෙ තියෙන්නෙ ඒක...

"...මගේ පුතා - හරි හපනා
දවසක කොළ - ඹට යනවා
පණං තුනක් - උපයනවා
එයින් එකක් - මට දෙනවා..."

(ඔතන පණං තුනක් වෙනුවට පවුං පහක් කියලත් සමහර පැතිවල කියනව)

ඔය කවියෙන් හදපු ලස්සන ගීතයක් නිතරම ඇහුණා අපි පුංචි සන්දියෙ - රූපා ඉන්දුමතී කියන්නෙ...

(MP3 සිංදුව මෙතනින් අහන්න පුළුවන්)

දරු නැළවිලි වල තියෙන තනුව හරියටම අල්ලගත්ත ගීතයක් තියෙනව වික්ටර් රත්නායක හදපු,

"ආදරයේ උල්පත වූ අම්මා - මා ඔබගේ පුතු වූ..."

මට ඕනෙ වුනේ දරු නැළවිලි වලින් පවා දැනෙන අපේ පැරණි සමාජයෙ සුවඳ ගැන ලියන්න. මේක ගොඩ කාලෙක ඉඳන් ලියන්න හිටියත්, එකපාරටම තිලිනි ෂැල්වින්ගෙ ෆේස්බුක් පෝස්ටුවකින් උනන්දුව අලුත් වුනා. (ඒ ටීචර් නෝනට ස්තූතියි)

නැළවිලි ගී කියමින් නිදි කරවන දරුවන්ගෙ පුංචි හිත් සෞන්දර්යයට යොමු වෙයි කියල මට හිතෙනව. සොඳුරු සිත් ඇති, කුතුහලයෙන් පිරුණු දරුවන් විදිහට ඒ අය ලොකු මහත් වේවි...

මෙන්න දරු නැලවිලි වලට ආස, අලුත උපන් දරුවන්ගෙ තාත්තලට, අම්මලට... මං හොයාගත්ත දරු නැළවිලි ටිකක්, ඔයගොල්ලත් දන්න දන්න නැලවිලි කමෙන්ට් විදිහට දැම්මොත් මේ ලිපිය පෝෂණය වෙයි කියල හිතෙනව...

https://cdn-images-1.medium.com/max/1600/1*bELod_P3sm1bkWr-Wgf61Q.jpeg


කුජිරි බජිරියේ බජිරි
බජිරි කුජිරි යේ කුජිරි
කුජිරි කුජිරි යේ බජිරි
බජිරි බජිරි යේ කුජිරි

(මේ කවියෙ තියෙන්නෙ තාල රසය විතරයි...)

දොයි දොයි දොයි දොයි දෙය්යෝ
බයි බයි බයි බයි දෙය්යෝ
දොයි දොයි බයි බයි දෙය්යෝ
නින්දක්‌ නිදි ගන් දෙය්යෝ

මගේ පුතා නැලවෙන්නේ
නැලවි නැලවි නිදියන්නේ
තොටිල්ල තාලෙට යන්නේ
සැම දෙවියනි රැකදෙන්නේ

මගේ පුතා රුවට රුවයි
දැක දැක ඉන්නට පිරියයි
මට ඇති එක මැණික නුඹයි
මගෙ පුතු එය දැන නැළවෙයි

ගිරා මලිති කොවුලන්නේ
සුමිහිරි හඬ අසමින්නේ
මඳ සුළඟයි මේ එන්නේ
මගේ පුතා නැළවෙන්නේ

කපුටු කාක් කාක් කාක්
ගොරක දේන් දේන් දේන්
අමුතු වාව් වාව් වාව්
කොට කිඹුලා වැට බිඳලා
ගෑ පොල් කුඩු ඌ කාලා
පිලට ගියා පිල ඇඳිරී
උච්ච කාක්කෝ

ඔ න් න බබෝ හොරු එන වා
අ ඬ න ලමයි අල්ලන වා
ක රේ තියා ගෙණ යන වා
උ න් විකුණා රා බොන වා

උත්තම ගුණ ඇති වේවා
ලත් තැන වැඩ සෑදේවා
උවදුරු බයකුත් නේවා
රෑ සඳ නුඹ රැකදේවා

ඔන්න බබෝ ඇතින්නියා
ගල් අරඹේ සිටින්නියා
ගලින් ගලට පනින්නියා
බබුට බයේ දුවන්නියා

ඔන්න බබෝ ඇතින්නියා
ගල් පොත්තේ සිටින්නියා
රණ උණබට   තලන්නියා
අත පිඹ පිඹ     දුවන්නියා

පුතා මගේ හරි හපනා
දවසට කොළඹට යනවා
පවුම් තිහක්‌ පඩි කනවා
ඉන් පවුමක්‌ මට දෙනවා

උඹෙ අම්මත් ඉතා කළුයි
නුඹෙ අප්පත් ඉතා කළුයි
නුඹ නලවන මාත් කළුයි
නුඹ විතරයි තල එළළුයි

බාලොලි ලොලි බාලොලියේ
බාල පුංචි ළමයින්නේ
අම්මා කොයිදෝ ඉන්නේ
නිම්මාවක් නැත උන්නේ

දෑතේ වළළුත් නැතිකෝ
දෙපයේ ගිගිරිත් නැතිකෝ
අප්පා එයි දැන් හනිකෝ
නාඩන් සුරතල් මැණිකෝ

නුඹෙ අම්මා කොතැන ගියා
කොහිල විලේ පතට ගියා
පත් උදුරා එන්ට ගියා
එන්ට නැතිව පමා ගියා

අඹර කුරක්කන් කළුවේ
ගලකට පිටි කොයි කළුවේ
රොටී එකක් උය කළුවේ
අම්මට දීපන් කළුවේ

තවත් එකක් උය කළුවේ
අප්පට දීපන් කළුවේ
මටත් එකක් දිය කළුවේ
උඹත් එකක් කා කළුවේ

සුරතල් දරු බිය වෙති
කුරුළු පැටවු නො හඩති
නැළවිල්ලෙන් කම් නැති
කිරිල්ලෝද සැතැ පෙති

තොටිල්ල සැම සුව පිරි
පැද්දෙයි තාලෙට සරි
අසමින් ගී සුමි හිරි
නිදන්නෑ පුත රන් කිරී

(ඉහළ කවි දෙකේ කුමරතුඟු මුනිදස් ගේ ලකුණ තියෙනව...)

අත්තක පිපි මලක්‌ ලෙසේ
මුද්දක බැඳි රුවක්‌ ලෙසේ
සත්තක මගෙ පුතුගෙ ඇසේ
නෙත් දෙක මගෙ පුතුගෙ දෙසේ

ලොවේ  පුතුන් බොහොම ඇතා
වඩා නැලෙව්වත් හඬතා
මගේ පුතා එහෙම නැතා
නඬා නිදියන්න පුතා

ලොවේ ළමයි නඩු කියතී
ගුටි අනිමින් සිර කරතී
කැට කැබලිති දඩ ගෙවතී
මගේ පුතා එහෙම නැතී

ආඩම්බර නොකර ඉතා
පාඩම් වුණු බිළිඳු කතා
මේ දැන් කී කවින් ඉතා
නාඩන් මගෙ බිළිඳු පුතා

කන්දක්‌ ගිනි ඇවිලෙන්නේ
හැන්දක්‌ කිරි බීපන්නේ
නැන්දත් නුඹ නලවන්නේ
නින්දක්‌ නිදියා ගන්නේ

පුතේ නුඹේ ලොකු අම්මා
අතේ වළල්ලක් දැම්මා
නැතේ සෙනේ එහි නිම්මා
නිදන්න පුත දොයියම්මා..

අත්තනගලු ගල මුදුනේ
සිරිසඟබෝ රජ එමිනේ
හිස දන් දුන් එදැන ගෙනේ
සාදු කියාපන් පුතුනේ

සී මට දැන් සිතුනි පුතේ
කෑමට පොල් හකුරු ඇතේ
දීමට රුපියල් දෑතේ
මාමාට වැඳපන්න පුතේ

මේ තව අම්ම කෙනෙක්ගෙ කවි...  (උපුටා ගැනීම - අරුණ ශාන්ත උඩුගත කරන ලද යූටියුබ් වීඩියෝවකින්)


Tuesday, September 11, 2018

ළමා කවි තුනක් පිටුපස සැඟවුනු ඉතිහාසය...

මීට කලින් කියවන්න ලැබුණා හේ ඩිඩ්ල් ඩිඩ්ල් කියන මහ අමුතු කවියෙ ඉතිහාස කතාව... ඒ වගේ, අද අපි කියවන්න යන්නෙ තවත් ළමා කවි කීපයක සැඟවුණු ඉතිහාසය ගැන.

එක...

මධ්‍යකාලීන එංගලන්තයේ තිබුණු විශාලතම ව්‍යාපාරයක් වුනේ ලොම් කර්මාන්තය. ලොකු ඉල්ලුමක් ලොම් වලට තිබුණු නිසා පොඩි හරි ඉඩමක් තිබුණු හැමදෙනෙක්ම බැටළුවො ඇති කළා. ඒ කියන්නෙ පිටිසර ගොවියන්ගේ සිට සාමිවරු සහ නායක පූජකයන්, බිශොප්වරු දක්වා සියලු දෙනාම... ඒ කාලෙ ධනවත්කම මැන්න එක ඒකකයක් වුනේ යමෙක්ට අයිති වුණු බැටළුවන් ගාණ. ඔය බැටළුවන් බළාගත්තෙ අතළොස්සක් වුණු එඬේරු...

1272දි කුරුස යුද්ධයට ගොහිං බංකොළොත් වෙලා ආපහු ආව පළමුවන එඩ්වර්ඩ් හෙවත් ලෝංශෑන්ක්ස් රජු ලොම් ව්‍යාපාරය මත බද්දක් පැනෙව්වා. ඒකෙන් එයා තමන්ගෙ යුධ හමුදාවෙ වියදම් පියවා ගන්න උත්සාහ කළා. විකුණන සෑම ලොම් ගෝණියකින්ම තුනෙක් එකක් රජුටත්, තවත් තුනෙන් එකක් පල්ලියට හෝ පූජක ආශ්‍රමවලටත් අය කෙරුණා. ඒ විදිහට අධික බද්දක් ගෙවපුවාම බැටළුවන් බලාගත්ත දුප්පත් එඬේරුන්ට ලැබුණෙ සොච්චමක් යාන්තම් ජිවිතය පවත්වාගෙන යන්න...

ඒ ගැන විරෝධය පළකරන්න ජනතාව අතරින් පබැඳුනු ගියක් තමයි "බා බා බ්ලැක් ෂීප්..."

https://www.haunted-yorkshire.co.uk/BaaBlackSheep.jpg

බා බා කළු බැටළුවො
ලොම් තියෙනවද?
ඔව් ස්වාමිපුත්‍රයා
මලු තුනක් පිරෙන්නට...
එකක් මගෙ ස්වාමියාට (රජු)
එකක් මගෙ ස්වාමිදුවට (පල්ලිය)
ඒවගේම තවත් එකක්
පාරෙ කොනේ පුංචි කොලුවට

Baa Baa Black Sheep,
Have you any wool?
Yes, sir, yes, sir,
Three bags full;
One for the master,
One for the dame,
And one for the little boy
Who lives down the lane.

මේ ජනගියෙ අන්තිම පේළි දෙක 16 වන සියවස වනතුරුම ගැයුණෙ “And none for the little boy who cries down the lane.” කියලයි. එතන "පුංචි කොලුවා" කියල අදහස් වුණේ ලොම් ව්‍යාපාරයෙන් සැළකිය යුතු යමක් නොලැබුණු බැටළු එඬේරුන්...

දෙක...

කෲර මේරි (Bloody Mary) ලෙස හැඳින්වුනු පළමුවන මේරි රැජිණ රජකමින් නෙරපන්න කුමන්ත්‍රණය කළා ප්‍රොතෙස්තන්ත වංශාධිපතින් තුන් දෙනෙක්. ඒ අය තමයි, හියු ලැටිමර් සහ නිකලස් රිඩ්ලි කියන ඇංග්ලිකන් බිෂොප් වරු දෙන්නා සහ කැන්ටබරියේ ආච්බිෂොප් තෝමස් ක්‍රැන්මර්...

මේරි රැජිණ මිනිසුන් වධහිංසාවට පත්කිරීමෙන් සහ මරණයට පත්කිරීමෙන් කුරිරු වින්දනයක් ලැබූ බව පේනව. අර තුන්දෙනාගෙ කුමන්ත්‍රණය අවසන් වුනේ ඔවුන් තුන්දෙනා කිරීටයට එරෙහි අපරාධ කිරීම යන චෝදනාවට වැරදිකරුවන් බව ප්‍රකාශයට පත් කරලා, රැජිණගේ අණින් ඔක්ස්ෆර්ඩ් හිදී ගිණිතබා මරා දැමීමෙන්. ඒ ගැන හැදුණු ජනගීය තමයි අන්ධ මීයො තුන්දෙනා...

https://d2pu2bk1b66iw6.cloudfront.net/photos/
2015/03/26/6-97511-three-blind-mice-1427402665.jpg
මෙතන මේරි රැජිණට ගොවියගෙ බිරිඳ කියල කියන්නෙ ඇයට සහ ඇගේ සැමියා වුණු ස්පාඤ්ඤයේ දෙවෙනි ෆිලිප් රජුට දැවැන්ත වතුයායවල් අයිති වුණු නිසා. මීයො අන්ධයි කියා කියල තියෙන්නෙ ගොඩක් වෙලාවට ඔවුන්ගේ ආගමට තිබූ භක්තිය සහ විශ්වාසය නිසා කියල හිතන්න පුළුවන්.

තුන...

15 වන සියවසේ උතුරු සමර්සෙට්වල කිලිමර්ස්ඩන් නම් කුඩා ගම්මානයෙ හිටියා පෙම්වතුන් දෙදෙනෙක්. ඒ දෙදෙනා විවාහ වෙලා උන්නෙ නෑ. ඔවුන් නිතර ගම්මානය අසළ කඳුගැටයකට නගින්න පුරුදු වෙලා හිටියා, අනික් අයගෙන් වසං වෙලා පෙම් සුව විඳින්න...

ගෑණු ළමයා ගැබ්ගත්තා. ඇය දරුවා බිහිකරන්න ආසන්න කාලයේ දවසක් කන්දෙදි ගලක් ඔලුවට වැටිලා, ඇගේ පෙම්වතා මියගියා. ඊට දින කිපයකට පස්සෙ ගෑණූ ළමයා දරුවා බිහිකළා. ඒ දරු උපතේදි තරුණ මව මියගියා. ඒ දෙදෙනාගෙ ශෝකාත්මක කතාව තමයි, ජැක් සහ ජිල්...

https://upload.wikimedia.org/wikipedia/commons
/thumb/a/a8/Jack_and_Jill.jpg/384px-Jack_and_Jill.jpg

http://4.bp.blogspot.com/-gVE7HQ5-Hnw/U2vxeEktSTI
/AAAAAAAAFQo/_EKJ3-4u-qo/s1600/jack+and+jill+hill.JPG

https://usercontent1.hubstatic.com/8702072.jpg
ජැක් සහ ජිල් ගැන තවත් මත තියෙනව. සමහරු කියනව දහසය වන ලුවී රජු සහ මරී අන්තුවාං රැජිණ ගැන මේ කවිය හැදිල තියෙනව කියලත්. නමුත් දහසය වන ලුවී රජුට වඩා මේ කවිය පැරණියි...

මූලාශ්‍ර
http://www.cracked.com/article_16576_the-disturbing-origins-5-common-nursery-rhymes.html
https://en.wikipedia.org/wiki/Oxford_Martyrs
http://mentalfloss.com/article/55035/dark-origins-11-classic-nursery-rhymes
https://mom.me/kids/18569-dark-origins-nursery-rhymes/item/three-blind-mice/
https://owlcation.com/humanities/The-Curious-Origins-of-Nursery-Rhymes-Jack-and-Jill

මෙව්වත් බලන්න
https://owlcation.com/humanities/The-Curious-Origins-of-Nursery-Rhymes-Jack-and-Jill


Thursday, August 16, 2018

පිටස්තරයාගේ වාර්තාව අංක 02 - රැකී රක්ෂා

http://2.bp.blogspot.com/-Z-jCBqHeaR0/TrVtBam2zoI/AAAAAAAAAAc/
BOK3Z7FluRw/s1600/1844152drawn2.jpg

මේ ග්‍රහ ලෝකයේ බුද්ධිමත් සත්ත්වයින් කොටසක් ද සිටිති.

ඔවුහු අනෙකුත් සත්ත්වයින් වගේම ආහාර ගනිති, ආශ්වාස ප්‍රශ්වාස කරති, තම වර්ගයා බෝකරති, උපදිති, මියයති... ඒත් ඔවුන්ගේ චර්යාවෙන් වැඩි හරිය අනිකුත් සත්ත්වයින්ට වඩා විහිළු උපදවන තරම් වෙනස් ය. "රැකී රක්ෂා" යනු එයින් එක් චර්යාවකි.

මොවුහු දිනපතා "රස්සාව" යැයි හඳුන්වන දේකට යති.

වෙනත් සත්ත්වයින් සේම ආහාර සොයා යාම එක් කොටසකගේ රස්සාවය. සොයා යාමටත් වඩා ඔවුන් කරන්නේ ආහාර නිපදවීම යැයි කියනු ලැබේ. වෙනත් ජීවී විශේෂ අමුතුවෙන් රෝපණය කරන ඔවුහු, තවත් ජීවී විශේෂ අල්ලාගෙන මරති. තමුන්ට දිනපතා උවමනා ප්‍රමාණයට වඩා බොහෝ සෙයින් වැඩි ප්‍රමාණ වලින් ඔවුහු මේ වැඩය කරති.

තවත් කොටසක් අනික් උදවියගේ චර්යාව පාලනය කරති. ඔවුන්ගේ කැපී පෙනෙන ලක්ෂණය නම් නිල ඇඳුමක් ඇඳීමය. එය එක්කෝ කාකි පාටැති කළිසමක්, කමිසයක් හා තොප්පියකි. නැතිනම් කහ හෝ තැඹිලි හෝ ගුරු පාට රෙද්දක් ගෙන ඇඟ වටා දවටා ගැනීමකි. මොවුන්ගේ උපදෙස් හෝ නියෝග අනික් උදවිය පිළිපදින්නේ ද හරිම විකට අන්දමකට ය. මේ අය ඇති තැන ඔවුන්ගේ උපදෙස් පිළිපදින බව ඉතාම මැනවින් පෙන්වන සහ ඊට ඉතා කැමැත්තෙන් කීකරු වන බව පෙන්වන උදවියම, ඉහත කී පාලනය කරන්නෝ නැති තැන එම උපදෙස් පසෙක ලා තමන්ට උවමනා පරිදි හැසිරෙති. හැබැයි එසේ නිදහසේ හැසිරෙන යමෙක්ගෙන් තමන්ට හිරිහැරයක් වූ තැන හිරිහැරයට ලක් වූ තැනැත්තාට, අර උඩින් කී උදවියගේ උපදෙස් හා නියෝග නිතැතින් මතක් වේ.

ඉහත කී කහ, තැඹිලි හෝ ගුරු පාට රෙදි පෙරවන්නන්ගේ රක්ෂාව ඉතා පහසුය. සෙසු සත්ත්වයින්ට තේරුම් ගත නොහැකි පටළැවිල්ලක් කියාපෑමට ඔවුන් කුඩා කළ සිටම පුහුණු කර තිබේ. ඒ පටළැවිලි සහගත දේට දෝත් මුදුන් තියා වඳින සෙසු සත්ත්වයා, තම තමන් සතු ඕනෑම දෙයක් මේ රක්ෂාව කරන උදවියට නිකම්ම දෙති. ඒ වෙනුවට ඔවුන්ට යමක් ලැබෙන අතර, එය ලැබෙන්නේ ඔවුන්ගේ ජීවිත කාලයෙන් පසුව වන්නේය.

මෙම රැකියාවම කරන තවත් අය සිටින අතර, එයින් සමහරෙක් උඩුකය නිරුවත්ව රත්තරන් නම් ලෝහය පොරවාගෙන සිටින අතර, තවත් උදවිය සුදු ලෝගු හෝ වස්ත්‍ර හඳිති.

"මුදල්" යැයි සම්මත යමක් වේ. එය මේ ලෝකයේ බුද්ධිමත් සත්ත්ව වර්ගයාගේ ඉහළම ආශාව, සංතුෂ්ටිය සහ වන්දනීය දෙය වේ. මේ කියන මුදල් සකස් කරන්නේ "ආණ්ඩුව" යැයි කියන සමූහයක් මඟිනි. ආණ්ඩුව කියන්නේ මෙම සත්ත්ව වර්ගයේ බහුතරයකගේ කැමැත්ත අනුව පත් කරගන්නා, එම වර්ගයේම එක් කොටසකි. සත්ත්වයින් කෝටි දෙකකගේ කැමැත්තෙන් දෙසීය විසි පස් දෙන‍ෙක් තෝරා ගනිති. උන් හැඳින්වෙන්නේ "පාර්ලිමේන්තුව" යන නමිනි.

ඒ දෙසීය විසි පහට අර කෝටි දෙකේම ගෞරවය ලැබේ. ඒ වගේම උන් හට අර උඩ කී පාලනය කරන්නන්ගේ උපදෙස් හෝ නියෝග අදාළ වන්නේම නැත. උන්ට රිසි රිසි සේ සම්පත් භුක්ති විඳිමින් ජීවත් වන්නට ඉඩ සැළසී තිබේ. ඒ වෙනුවට ඔවුන් රට "පාලනය" කිරීම, "ප්‍රතිපත්ති" සකස් කිරීම සහ "සංවර්ධනය" කිරීම යන කාර්යයන් කරති. ඒ නම් වලින් හැඳින්වෙන්නේ රටේ මුදල් සහ රටට ලැබෙන මුදල් මහාපරිමාණයෙන් යොදවා යම් යම් දේවල් කරවමින් ඉන් වැඩි හරියක් මුදල් තමන්ගේ සහ පවුලේ උදවියගේ සන්තකයේ තබා ගැනීම ය.

මෙකී දෙසීය විසිපහෙන් කොටසක් "ඇමති" හා තවත් එකෙක් "අගමැති" ලෙස හැඳින්වෙන අතර, අර කී දෙකෝටියෙන්ම තෝරාගන්නා තවත් එකෙක් "ජනාධිපති"ලෙස හැඳින්වේ. උන් ඉතාම වාසනාවන්ත කොටස ය. මොවුන් හට තම පෞද්ගලික කටයුතු කරගැනීමට අවශ්‍ය සියලු දේ නොමිලේ ලැබේ. වාසයට නිවසක්, පරිහරණයට වාහන, ඒවාට ඉන්දන, විවිධාකාර පරිහරණයට අතවැසියන්, යම් යම් දේ එතීමට, අත පිසදමා විසිකිරීමට සහ රටේ සිදුවෙන දේවල් දැනගැනීමට පත්තර, "බැංකු ගිණුම්" යන දේට තැන්පත් කිරීමට "වැටුප්", යම් යම් කටයුතු කරදීම වෙනුවෙන් සෙසු උදවියගෙන් ලැබෙන "අල්ලස්" සහ "කොමිස්", ඇමති විදිහට ඉන්නා කාලසීමාව අවසානයේ බැංකුවල තැන්පත් කිරීමට විශ්‍රාම වැටුප්, දරුවන්ගේ රැකී රක්ෂා සඳහා අනාගත ඇමතිකම්, හිත මිතුරන්ගේ ජීවිකාව සඳහා "රජයේ රක්ෂා" හෝ "කොන්ත්‍රාත්" ආදී දේ මොවුන් හට සැපයේ.

තවත් කොටසක් රක්ෂා වශයෙන් විවිධාකාර දේ කරති. ඔවුන් එම රක්ෂා වලින් මුදල් ද උපයාගනිති. ඒ මුදල් වලින් කොටසක් අර උඩින් කී ආණ්ඩුවට විවිධ අවස්ථාවලදී ගෙවිය යුතු වන්නේය. ඒ ගෙවන මුදල් වෙනුවෙන් ආණ්ඩුවෙන් ඔවුන්ට මොනම දෙයක්වත් සෘජුව ලැබෙන්නේ නැත. මෙම රක්ෂා කරන අය තමන්ගේ ආහාරය පිණිස යම් කිසි දෙයක් මුදලට ගන්නා විවිධ අවස්ථා වලදී, ඒ භාණ්ඩයේ වටිනාකමට අමතරව යම් මුදලක් ආණ්ඩුවට ගෙවිය යුතු වන්නේය. ඒත් ඒ භාණ්ඩය තැනීමටවත්, එය මිලදීගන්නා තැනැත්තා වෙත ගෙනත් දීමටවත් ආණ්ඩුව කිසිදු වියදමක් කර නැත. යමෙක් තමන්ගේ භාවිතයට වාහනයක් ගන්නා විට එම වාහනයේ වටිනාකම මෙන් කීප ගුණයක මුදලක් ආණ්ඩුව මොවුන්ගෙන් අයකර ගනිති. ඒ ද, ඒ වාහනය වෙනුවෙන් ආණ්ඩුව කිසිම මුදලක් වැය කිරීමෙන් තොරවය.

එසේ ආණ්ඩුව එකතු කරගන්නා මුදල් වලින් "පාර්ලිමේන්තුව", "ඇමති" ආදීන් සහ "රජයේ සේවක"යන් ගේ වැටුප්, වරප්‍රසාද ආදිය සළසා දනෙු ලැබේ. ඉහත කී වාහන ගැනීමේදී ද පාර්ලිමේන්තුවට සහ ඉහළ යැයි සම්මත රජයේ සේවයේ උදවියට ඉහත කී පරිදි ආණ්ඩුවට විශාල මුදලක් ගෙවීමට සිදු වන්නේ නැත.

මා මෙතක් කාලයකට තේරුම් ගත් දේ මේ විදිහය. මේ ලෝකයේ බුද්ධිමත් සත්ත්වයින්ගේ රැකී රක්ෂා හරිම සංකීර්ණ බවින් යුක්තය. දැනටමත් මට පිස්සු වගේය. ඔබහටත් එසේම වේවා!

http://www.sangam.org/2008/07/images/Collettecartooncirca1956.JPG

Thursday, June 21, 2018

මෞඉගෙ කතා - තවත් කොටසක්...

කලින් ලියපු මෞඉ ගෙ කතා


මේ කතා පළකරන්න පරක්කු වුනේ මේ කතාවල තියෙන ප්‍රචණ්ඩත්වය අඩු කරන්න විදිහක් ගැන කල්පනා කරන්න සිද්ධවුනු නිසයි. නමුත් එහෙම කළානම් මුල් කතාව මා අතින් විකෘති වෙනවා. මේවා දරුවන්ට කියා දෙද්දි ප්‍රචණ්ඩකාරී කොටස් අඩු කරලා කියා දෙන්න කියලා ඉල්ලා හිටිනවා මුලින්ම.


මෞඉ සහ ටූනා

මෞඉ ගෙ භාර්යාව වුනේ හීනා-අ-ටෙ-ලෙපෝ. (වගුරේ දියණිය) එ් දෙන්නා තමන්ගෙ පිදුරු සෙවි කළ පැල්පත තනාගෙන හිටියෙ ගං ඉවුරක. හීනා ගෙදර වැඩපළට වතුර ගෙනාවෙ ඒ ගඟෙන්.

දවසක් ලබුකැටය අරං හීනා ගඟට ගිය වෙලාවක  ටූනා-රෝආ හෙවත් දිග ආඳා දැක්කා. ඌ ගං ඉවුරට පීනගෙන ඇවිත් එයාට වලිගෙන් ගැහුවා. ඒ පාරට ගඟට වැටුණු හීනා, ආඳගෙ වලිගෙ තිබුණු සෙවළ වලින් නෑවිලා ගියා.

හීනා මෞඉට ඒ ගැන වචනයක්වත් කිව්වෙ නෑ. ඒත් අනිත් දවසෙත් ඔය අකරතැබ්බයටම මූණ දෙන්න එයාට සිද්ධ වුනා.

ඒ ගමන හොඳටම කේන්ති ගියපු හීනා, මෞඉට කිව්වා වෙච්ච කරදරය.

(සමහර නවසීලන්ත කතා වලට අනුව, ටූනා-රෝආ කියන්නෙ ගඟෙන් එගොඩ හිටපු ගෝත්‍රයක නායකයෙක්. එයා හීනා ට අවමන් කළා කියල කියනව.

මෞඉ එයාගෙ ඔරුව මුහුදට තල්ලු කරන්න යොදාගත්ත ලැලි පුවරු දෙකක් ගඟ හරහා දාලා ඒදණ්ඩක් හැදුවා. ඒ ළඟ එයා ම-ටෝරි ටෝරි  කියන ගල් පොරොවත් තියාගෙන හැංගිලා උන්නා. අර ටූනා ඒදණ්දිඩෙන්ගේ එගොඩ වුන ගමං මෞඉ හැංගිලා හිටපු තැනිං එළියට ඇවිත් පොරොවෙන් ගහලා ටූනා ගෙ හිස කඳෙන් වෙන් කළා.)

අනික් පුරාවෘත්ත වලට අනුව, ටූනා-රෝආ කියන්නෙ ලොකු ආඳෙක්.

ඔය ආඳා හීනාට හිරිහැර කළා විතරක් නෙවෙයි, මෞඉගෙ ළමයි දෙන්නෙකුත් ගිළදැම්මා. ඉතිං මෞඉ ගෙ කේන්තිය තව තවත් වැඩි උනා.

මෞඉ දවස් ගානක් මහන්සිවෙලා ආඳා හැංගිලා හිටපු ගුහාව හොයාගත්තා. ඒක තිබුණෙ මෞඉගෙ පැල්පත අසලින් ගළා ගෙන ගිය ගඟේ.

මෞඉට තේරුනා ආඳට පහර දෙන්න නම් ඌ වතුරෙන් එළියට ගන්න ඕනෙ කියල. ඒ නිසා එයා කැළේට ගිහිං ගොඩක් පුද පූජා පවත්වලා, තෝරාගත්ත ගස් වලින් හදාගත්තා හීනි ඉස්කෝප්පයකුත්, හෙල්ල කීපයකුත්. ඒවයින් එයා ගඟේ ඉඳං පිටතට ඇළක් කැපුවා. ඒ ඇලෙන් වතුර බස්සවලා ආඳා හිටපු ගුහාවෙ වතුර හිස් කළා.

ඊට පස්සෙ මෞඉ හයිය ඇති දැළක් අර ඇළ හරහට බැන්දා. ඒක බැඳලා, එයා වැස්ස වස්සවන්න මන්තර මතුරමින් පූජා පැවැත්තුවා. ඒ එක්කම වැස්ස වැහැලා, ගඟ පිටාර යන්න පටං ගත්තා ආඳා හිටපු ගුහාව පිරිලා ආඳව ගහගෙන ඇවිත් දැලේ පැටළුනා.

ගල් පොර‍ොව අතට ගත්ත මෞඉ දුවගෙන ගිහිං ආඳට පහර දුන්නා මුල්ම පහරින් ආඳගෙ හිස වෙන් වුනා. තවත් පහර කීපයකින් ආඳා කෑලි කීපයකට කැපිලා වෙන් වුනා.

ආඳගෙ ඔළුවයි වලිගෙයි ගිහිං දැම්මා මුහුදට. ඒ ඔළුවෙන් මුහුදේ මාලු බිහි වුනා. වලිගෙන් තමයි විශාල මුහුදු ආඳා හැදුනේ. අනිත් කෑලි වලින් මුහුදේ ඉන්න භයංකර සත්තු බිහිවුනා. ගඟට වැටුනු කෑලි මිරිදිය ආඳුන් බට පත් වුනා. ආඳගෙ ඔළුවෙ කෙස් වලින් දියේ හැදෙන වැල් වර්ග බිහිවුනා. 

මෞඉ ටූනා හෙවත් මහා ආඳා මැරුවට පස්සෙ තමයි මිනිස්සු බය නැතුව ආඳ මාලු කන්න පටන් ගත්තයි කියන්නෙ.

තවත් නවසීලන්ත කතාවක තියෙනව මෙහෙම,

ආඳා එන පාර හරහට මෞඉ ලී කොටන් ගොඩක් ඇටෙව්වා. ඒ කරල එයා ඒ අසළ හැංගිලා ඉඳන් හීනාට ගඟට යන්න කිව්වා වෙනද වගේම. හීනා දැක්ක ගමන් ආඳා පීනගෙන ආවා ගං ඉවුරට. ඒ ගමන හීනා ආපහු අර ඇටවුම දිහාට ආවා. ආඳා ඇගේ පස්සෙන්ම ආවා. හීනාත් ඇටවුම පහු කරගෙන මෞඉ හැංගිලා හිටපු තැනටම ආවා. ආඳා ලී කොටන් උඩින් එද්දි කොට ටික ලිස්සලා ගියා. මෞඉ ගල් පොරවෛන් ගහලා ආඳා මරලා කෑලි කෑලි වලට කැපුවා. උගේ වලිගෙන් මහා මුහුදු ආඳා හැදුනා. සමහර කොටස් වලින් මිරිදිය ආඳුන් ඇති වුනා, ආඳගෙ ලේ බිංදු වැටුණු කුරුල්ලන්ගෙ අත්තටුවල රතු පාට පුල්ලි ඇඳුනා. ඒ ලේ වැටුණු ගස් වල දැව රතුපාට ගැහුනා.

සැමෝවා කතාවකට අනුව, (කෙටියෙන් කියන්නෙ) සීනා හෙවත් හීනා ඇති කරපු පොඩි ආඳෙක්, පස්සෙ දැවැන්ත ප්‍රමාණයක් වෙන්න වැඩිලා, හීනා ට හපනවා. එයා ආඳගෙන් බේරෙන්න දුවලා දුවලා ගිහිං අන්තිමේ එක ගමක නායකයෙක් ආඳව මරනව වස දාපු බීම බොන්න දීලා. මිය යන වෙලාවෙ ආඳා හීනා ගෙන් ඉල්ලනව එයාගෙ හිස ගෙනිහිං හීනා ගෙ පැල්පත ගාව වළලන්න කියල. ඒ හිස වළලපු තැනින් කවුරුවත් නොදන්න ගහක් පැළවෙනව. ඒ ගහේ ගෙඩියෙ ලෙල්ල ඉවත් කරපුවාම ඇස් තුනක් මතු වෙනව. ඒ විදිහට ආඳට නිතරම හීනා දිහා බලාගෙන ඉන්න පුළුවන් වෙනව. ඒ ගහ තමයි පොල් ගහ.

මෞඉ මරණය ජයගන්න ගිය හැටි

මෞඉගෙ තාත්තා දවසක් පුතාට කිව්වා, කවදාහරි මෞඉ පුරාණ මිත්තණියක් වන මරණයේ දෙවඟන හෙවත් හිනෙ-නුයි-ටෙ-පො විසින් යටත් කරන බව.

මෞඉ තාත්තගෙන් එයා ගැන වැඩි විස්තර ඇහුවා. අහසත් මුහුදත් එකතු වෙන දිහාවට  අත දික් කරල පෙන්නපු තාත්තා කිව්වා, මරණයේ දෙවඟන රතු ඇස් තියෙන, මනුෂ්‍ය ශරීරයක් තිබුණත් බැරකුඩා මාළුවෙක්ගෙ දත් තියෙන කෙනෙක් කියලා.

බැරකුඩා මාලුවෙකුගේ දත්
http://2.citynews-napolitoday.stgy.ovh/~media/original-hi
/1855141014877/barracuda-4-2.jpg

මෞඉ බයවුනේ නෑ. එයා තාත්තට කිව්වා, “මට පුළුවන් ලේසියෙන්ම හිනෙ-නුයි-ටෙ-පො පරද්දන්න. එතකොට කාටවත්ම මරණයට යටත් වෙන්න ඕනෙ වෙන්නෑ.“ කියල.

ඉතිං මෞඉ එයාගෙ යාළුවන් වුනු කුරුල්ලන් රාශියක් පිරිවරාගෙන පිටත්වුනා, තාත්තා පෙන්නපු දිහාවට.

මරණයේ දෙවඟන හිටපු තැනට ආවට පස්සෙ මෞඉ කුරුල්ලන්ට කිව්වා කිසිම සද්දයක් කරන්න එපා කියල. එහෙම කියල එයා දළඹුවෙක්ගෙ වෙස් අරගෙන හිනෙ-නුයි-ටෙ-පො ගෙ කකුලට ගොඩ වුනා. එයා කල්පනා කළේ දෙවඟනගෙ ගර්භාෂයට ඇතුල් වෙලා කටින් එළියට එන්න. 

මෞඉ දළඹුවෙක් වුනු හැටි දැකපු පිවකවාකා හෙවත් ෆෑන්ටේල් කුරුල්ලට හයියෙන් හිනා ගියා. ඒ සද්දෙට ඇහැරුණු මරණයේ දෙවඟන කකුල් දෙකට මැදිවෙලා හිටපු දළඹුවා පොඩි කරලා මැරුවා.

ෆෑන්ටේල් ද්‍රෝහියා :)
https://i.pinimg.com/736x/4f/ae
/db/4faedb759401345e8e94f6483b2c2aef--fantail-year-.jpg
පක්ෂපාතී පක්ෂියා

මෞඉගෙ හැම කුරුලු යාළුවෙක්ම ඒ වගේ ද්‍රෝහියෙක් නෙවෙයි. 

මේක කලින් කියපු කතාවක පොඩි කොටසක්. 

මෞඉ ඉර අල්ලපු හැටි අපි පළවෙනි කොටසෙදිම කියෙව්වා.  ඒ වැඩේදි මෞඉ එක්ක ගියා එයාගෙ සුරතලා වුනු ටිඑ්කේ හෙවත් සෑදල කුරුල්ලා (saddleback). 

මෞඉ ඉර පායන්න කලින් ටිඒකේට කිව්වා ගෙදර යන්න කියලා. මොකද ඉරේ රස්නෙට කුරුල්ලට අනතුරක් වෙයි කියලා. ඒත් ඌ තමන්ගෙ යාළුව දාල ගියේ නෑ. මෞඉ ඉර අල්ලගනිද්දි ඉරේ රස්නෙට ටිඒකේගෙ පිටේ පිහාටු ඔක්කොම පිච්චුනා. ඒ කැළල අද දක්වාම සෑදල කුරුල්ලන්ගෙ පිටේ තියෙනවා. 

මෞඉගෙ කෙස් උණු වේගෙන එද්දිත් කුරුල්ලා මෞඉ දාල ගියෙ නෑ. අන්තිමේ මෞඉ තමන්ගෙ පිච්චුණු අත් දෙකෙන් ටිඒකේ අල්ලලා ඈතට විසිකළා. එහෙම නොකරන්න කුරුල්ලා පිච්චිලා මැරෙන එක වළක්වන්න බෑ.

saddleback
https://www.birdoftheyear.org.nz/sites/birdoftheyear/files
/styles/bird_popup/public/saddleback.png?itok=UDfykqn-


මූලාශ්‍ර

http://www.sacred-texts.com/pac/maui/maui10.htm
http://www.deeknow.com/notes/maori/maui.html
http://www.tourism.net.nz/new-zealand/about-new-zealand/maui-and-tieke.html


Sunday, May 20, 2018

යුද්ධයේ ජයග්‍රහණ?

http://cache.boston.com/universal/site_graphics/blogs/bigpicture/srilanka_03_11/s08_18084047.jpg

ළමයි
අත් අහසට දික්කරන්
කඳුළු ඒ අයගෙ මුහුණු මත වියළී යමින්
ඔහු මෙහෙ ඇවිත් ගොහින්

සොහොයුරෝ නිදති නොගැඹුරු මිනී වළවල්වල
පියවරු සළකුණක්වත් ඉතිරි නොකර අතුරුදහන් වී
ඔවුන්ගෙ අයස ගැන ජාතියක්ම නොදුටු ඇසින්
ඇයි? ඔහු මෙහෙ ඇවිත් ගොහින්

මට නිර්භීතකමක් පේන්නෙ නෑ
මට නිර්භීතකමක් පේන්නෙ නෑ උඹේ ඇස් තුළ - ශෝකය විතරයි
මට නිර්භීතකමක් පේන්නෙ නෑ
මට නිර්භීතකමක් පේන්නෙ නෑ උඹේ ඇස් තුළ - ශෝකය විතරයි
ශෝකය විතරයි

ගෙවල් ආයෙ හදන්න බැරි තරමට අළුවී ගිහින්
මරණයේ ගඳ සුළඟේ පැතිරී ගිහින්
අපේක්ෂා බිඳුනු ගැහැණියක් හඬමින් කියයි,
“ඔහු මෙහෙ ඇවිත් ගොහින්“

අහසේ යන පරීක්ෂක යානයක එළියක් වැටෙයි
තවත් පවුලකට මැරෙන්න වෙලාව ඇවිත්
කෑගහන්ඩවත් බය ළමයෙක් කියයි
“ඔහු මෙහෙ ඇවිත් ගොහින්“

මට නිර්භීතකමක් පේන්නෙ නෑ
මට නිර්භීතකමක් පේන්නෙ නෑ උඹේ ඇස් තුළ - ශෝකය විතරයි
මට නිර්භීතකමක් පේන්නෙ නෑ
මට නිර්භීතකමක් පේන්නෙ නෑ උඹේ ඇස් තුළ - ශෝකය විතරයි
ශෝකය විතරයි

ළමයි
අත් අහසට දික්කරන්
ඒත් කවුරුවත් අහන්නෙ නෑ ඒ ඇයි කියා
ඔහු මෙහෙ ඇවිත් ගොහින්

මහල්ලෝ දණගසා තම දෛවය බාරගනිති
භාර්යාවන් දූවරුන් කපා කොටා දූෂණය කර දමලා
වෛරයෙන් පෙඟී ගිය පරපුරක් කියයි
“ඔහු මෙහෙ ඇවිත් ගොහින්“

මට නිර්භීතකමක් පේන්නෙ නෑ
මට නිර්භීතකමක් පේන්නෙ නෑ උඹේ ඇස් තුළ - ශෝකය විතරයි
මට නිර්භීතකමක් පේන්නෙ නෑ
මට නිර්භීතකමක් පේන්නෙ නෑ උඹේ ඇස් තුළ - ශෝකය විතරයි
ශෝකය විතරයි

මුල් පදරචනය -  ජේම්ස් බ්ලන්ට් සහ සාෂා ස්කාර්බෙක්
ගායනය, සංගීතය - ජේම්ස් බ්ලන්ට්


Sunday, April 29, 2018

ඇතිවන උපද්‍රව සහ උපද්‍රව ඇතිවේයැයි ඇතිවන භය නැති කරගන්නේ කොහොමද? - 2018 වෙසක් කළාපයෙන්

ඇතිවන උපද්‍රව සහ උපද්‍රව ඇතිවේයැයි ඇතිවන භය නැති කරගන්න බුදුන් වහන්සේ ම ආයුධයක් සපයලා දිලා තියෙනව. මේපාර වෙසක් කළාපයෙන් සඳහන් කරන්නෙ ඒ ගැන. සිංහල බෞද්ධයන්ට මේක ගොඩක් වැදගත් වෙයි කියල හිතනව...

http://srilankabudhisttours.com/images/services/service-md-02.jpg
බුදුන් යටතේ පැවිදි වුණු භික්ෂූන් කණ්ඩායමක්, තමන්ට කමටහන් වඩන්න සුදුසු තැනක් එතුමාගෙන් විමසුවා. ආරණ්‍යයක, ගසක් මුල හෝ ශූන්‍යාගාරයක (මිනිසුන් ගැවසීම අඩු තැනක) සිට කමටහන් වැඩීම සුදුසුයි, එතුමා පිළිතුරු දුන්නා.

ඒ අනුව අර භික්ෂූන් පිටිසර ගමක් ආසන්නයේ තිබුණු වන රොදක් තෝරාගත්තා, තමන්ගේ වාසයට.

ඔය වනයේ සිටි රුක් දෙවිවරු (කතාවෙ තියෙන්නෙ රුක් දෙවිවරු කියල... සමහර විට වනයේ වාසය කරපු මනුෂ්‍යයන් විය හැකියි.) මේ භික්ෂූන් ගැවසීමෙන් තමන්ගෙ වැඩ වලට බාධා වෙන නිසා, ඔවුන් බය කර එළවාගන්නට එක එක දේවල් කළා. මළකඳන්, අමනුෂ්‍ය රූප ආදිය වනයේ තැන් තැන් වල පෙනෙන්නට සැළැස්සුවා. ඉවසන්න බැරි භයානක ශබ්ද, පිළිකුල් සහගත දුගඳ, වනයේ පැතිරෙව්වා.

මේවා ඉවසන්න බැරි වුනු හාමුදුරුවරු, ආපහු බුදුන් ළඟට ඇවිත්, තමන්ට වුනු උපද්‍රවය එතුමා එක්ක කතා කළා.

බුදුන් ඒ අයට කිව්වා: 

මෙන්න ඔබට ආයුධයක්... මේ විදිහෙ ගති පැවතුම් සහ සිතුවිලි ඇති කරගන්න...
යහපත (අර්ථය) සළසා ගන්නට කරන්නට ඇති දේ, මේ කියන කුසලතා අත්කර ගැනීමයි.
ඒ ශාන්ත පදය (නිවන) අත් කරගැනීමට නම්,
හැකියාව ඇති (දක්ෂ)
සෘජු හෙවත් අවංක, 
තව තවත් අවංක,
සුවච (ආලවක දමනයේදි බුදුන් භාවිත කළ හැකියාව), 
මෘදු සහ නිහතමානී  
ලද දෙයින් සතුටු වන, 
පහසුවෙන් රැකිය හැකි (අල්පේච්ඡ),
අල්ප වූ කටයුතු ඇති, 
සැහැල්ලු පැවතුම් ඇති
සන්සුන් ඉඳුරන් ඇති
ඥානවන්ත
සාහසික හෝ රළු නොවන (ප්‍රගල්භ නොවන)
කුලයට හෙවත් පවුල්වලට (දායකයන්ගේ පවුල්වලට) නොඇලුණු
අනෙක් නුවණැත්තන්ගේ ගැරහීමට ලක් විය හැකි අන්දමේ සමාචාරයක් සුළුවෙන් හෝ නැති
කායිකව මානසිකව සුවෙන් සිටින
බිය නැති
යන ගති ඇති කරගැනීම මැනවි...

සියලු සත්ත්වයෝ සුවපත් වේවා!
පණ ඇතියවුන් කොයි තරමක් සිටීද, ඒ තාක් දෙනා,
තැතිගැනීමක් ඇති හෝ
ස්ථාවර හෙවත් තැතිගැනීමක් නැති (රහතුන් වැනි) අය
කිසිවෙක් අවශේෂ නොවී
උස් හෝ මහත් හෝ මධ්‍යම ප්‍රමාණයේ හෝ කෙටි හෝ ඉතා සියුම් ප්‍රමාණයේ හෝ ස්ථූල හෝ වන සත්ත්වයන්,
ඇසට පෙනෙන හෝ නොපෙනෙන  හෝ
දුර හෝ නුදුරේ වසන
දැනට හටගෙන සිටින හෝ හටගන්නට සිටින හෝ, 
සියලු සත්ත්වයෝ සුවපත් වේවා!

එකෙක් තවෙකෙකුට වංචා නොකෙරේවා!
හෙළා නොදකීවා! (පහත් කොට සැළකීමක් නොකෙරේවා!)
කොතැනක හෝ සිටින කිසිවෙක් රෝෂය (කෝපය) ඇති කරගෙන
ගැටීමක් ඇති කරගන්නා අදහසින් 
එකෙක් අනෙකෙකු දුකට පත් වීම අරමුණු නොකිරීම මැනවි

පුතෙකු ඇති යම් මවක් තම පණ මෙන් එම පුතා ආරක්ෂා කරයිද,
ඒ ආකාරයෙන්ම සියලු සත්ත්වයන්ට
අපරිමිත (සීමාවක් නැති) මනසක් ඇති කරගන්න
ඉහළටද, පහළටද, තිරස් අතට ද බාධාවකින් තොරව
වෛරෙයන් තොරව, සතුරු බවකින් තොරව
සකල ලෝකය වෙත මෛත්‍රිය පතුරවා
සීමාවක් නැති මනසක් ඇති කරගන්න

සිටගෙන සිටින විටදී ද, යන එන විටදී ද, හිඳගෙන සිටින විටදී ද, සයනය කරන විටදී ද,
අවදියෙන් සිටින සෑම විටකම 
මෙසේ සිහිය අධිෂ්ඨාන කරගන්න
මෙසේ ජීවත් වීම උතුම් විහරණයක් යැයි කියනු ලැබේ

මම ය මාගේ ය යනුවෙන් ආත්මයක් ගැන දෘෂ්ඨියකට නොගොස්
සිල්වත් වන තැනැත්තා 
නිවැරදි ආකාරයෙන් දකියි
කාමයන්හි ඇලීම දුරු කරගනියි
නැවත මවු ගැබක සැතපීමක් ඔහුට නැත

මේ දේශනාව තිබුණෙ අපි කවුරුත් වගේ කටපාඩමින් දන්න සූත්‍රයක... ඒ තමයි කරණීය මෙත්ත සූත්‍රය.

මේ සූත්‍රය කියවල තේරුම්ගත්තහම තේරෙන එක දෙයක් තමයි, මම කලිනුත් කීපවිටක්ම කියල තියෙනව වගේ, මේ සූත්‍රයත් තේරුමක් නැතුව පාලි පෙළ සජ්ඣායනා කිරීමෙන් නෙවෙයි, තේරුම දැනගෙන ඒකෙ කියන විදිහට තමන්ගෙ ගති, පැවතුම් සහ ආකල්ප සකස් කරගැනීමෙන් බයක් නැතුව ඕනෑම තැනක ජීවත් වෙන්න පුළුවන් ය කියන ඒක

සිංහල බෞද්ධයන්ට පහුගිය කාලය පුරාමත් දැනටත් ලොකු බයක් ඇති වෙලා තියෙනව කියල පේනව ෆේස්බුක් ප්‍රධාන කොටගෙන සමාජය පුරා පැතිරී තියෙන මතවාද දකින කොට. බෞද්ධයන් වීම ගැන කාර් එකේ, වෑන් එකේ, ත්‍රී වීල් එකේ පිටිපස්සෙ ආඩම්බර වෙන උදවියට, වඩා හොඳයි බුදුන් දෙසා ඇති ක්‍රමවේද අනුගමනය කිරීම.
නැද්ද?

http://i.imgur.com/Y0oYJfS.jpg

ආශ්‍රිත තැන්:
http://bodudam.blogspot.com/2014/12/blog-post_18.html
bududhahama.blogspot.com/2012/08/blog-post_5912.html
https://www.facebook.com/methmaga/posts/1427046727309840:0

Saturday, April 28, 2018

රොසෙට්ටා පාෂාණය - අවසාන කොටස


පළමු කොටසින්...

රොසෙට්ටා පාෂාණය, ඊජිප්තුවේ පාලකයා ව සිටි පස්වැනි ටොලමි රජුගේ නමින්, ක‍්‍රි. පූ. 196 දී මෙම්ෆිස් හිදී නිකුත් කරන ලද රාජකීය නියෝගයක් සටහන් කරන ලද රළු ආගනේය පාෂාණ පුවරුව කි. මෙම නියෝගය පිටපත් තුනකින් සටහන් කර තිබේ. ඒ, සෙල් පුවරුවේ ඉහළ කොටස පෞරාණික ඊජිප්තු රූපාක්ෂර හෙවත් හයිරෝරේඛනයෙන් (හයිරොග්ලිපික් / hieroglyphic) ද, මැද කොටස ඊජිප්තු ව්‍යවහාර අක්ෂර මාලාවෙන් (demotic) ද, පහළ කොටස පුරාණ ග‍්‍රීක භාෂාවෙන් ද, වශයෙනි. මෙම පිටපත් තුනෙහි ම අඩංගු වන්නේ එකම පෙළ වූ බැවින් (යම් සුළු වෙනස්කම් සහිතව), ඊජිප්තු හයිරෝරේඛනය පිළිබඳ නව ලෝකය දැනුවත් වීමට මූලික සාධකය වූයේ රොසෙට්ටා පාෂාණය යි.

මෙම පුවරු ලිපිය මුලින් දේවස්ථානයක් තුළ ප‍්‍රදර්ශනය කෙරෙන්නට ඇතත්, මුල් ක‍්‍රිස්තියානි අවධියේ හෝ මධ්‍යකාලීන යුගයේ දී එතැනින් ඉවත් කරන ලදුව, පසුකාලීනව නයිල් ඩෙල්ටාවේ පිහිටි රෂීඞ් (රොසෙට්ටා) නම් නගරය ආසන්නයේ ජූලියන් බළකොටුව ඉදිකිරීමේ දී යොදාගෙන තිබේ. නැපෝලියන් බොනපාර්ට් යටතේ දියත් කෙරුනු ඊජිප්තු යුධ ප‍්‍රයාණයේ දී, එක් ප‍්‍රංශ සොල්දාදුවෙකු විසින් 1799 දී මෙය නැවත සොයාගන්නා ලදි. මෑතකාලීනව සොයාගන්නා ලද මුල්ම පෞරාණික ද්විභාෂක ලියවිල්ල වීම නිසා ත්, එතෙක් පරිවර්තනය කිරීමට අපොහොසත් ව පැවති පුරාණ ඊජිප්තු භාෂාව කියවීමට එයින් ලැබිය හැකි අත්වැල නිසා ත්, රොසෙට්ටා පාෂාණය ලොව පුරා ජනයා ගේ මහත් සැළකිල්ල ඇද ගත්තේ ය. නොබෝ කලකින්, එහි ස්පර්ෂ සටහන් සහ හුණු බදාමයෙන් ගන්නා ලද අච්චු පිටපත් යුරෝපයේ කෞතුකාගාර සහ අධ්‍යයනය කරන්නන් අතර පැතිරෙන්නට විය. මේ අතර, 1801 දී බි‍්‍රතාන්‍ය හමුදා විසින් ප‍්‍රංශ වරුන් ඊජිප්තුවේ දී පරාජය කරන ලද අතර, ඇලෙක්සැන්ඩි‍්‍රයාවේ දී ප‍්‍රංශ හමුදා යටත් වීම අනුව මෙම පාෂාණය බි‍්‍රතාන්‍ය අයිතියට පත් විය. එය ලන්ඩනයට ප‍්‍රවාහනය කරන ලදුව, 1802 සිට බි‍්‍රතාන්‍ය කෞතුකාගාරයේ මහජන ප‍්‍රදර්ශනයට තබා තිබේ. මෙය එම කෞතුකාගාරයේ ඇති වැඩිම පිරිසක් විසින් නරඹන ලද අයිතමය යි.

මෙම පාෂාණය, නැවත සොයාගත් දින සිට ම විවිධාකාර දේශාභිමානීන්ගේ විරෝධතාවන් ට කේන්ද්‍ර වී තිබේ. මේ අතර, නැපෝලියානු යුධ ප‍්‍රයාණ කාලයේ දී ප‍්‍රංශයේ සිට බි‍්‍රතාන්‍යය ට හිමිකාරීත්වය මාරු වීම, අභිලේඛනය කියවීමේ දී යං සහ ෂැම්පෝලියන් ඉටුකළ මෙහෙවරේ සාපේක්ෂ වටිනාකම, සහ 2003 සිට පාෂාණය නැවත ඊජිප්තුවට ලබාදෙන ලෙස කෙරෙන ඉල්ලීම්, ප‍්‍රධාන වෙයි.

1803 දී මෙහි ග‍්‍රීක පෙළ මුලින් ම සම්පූර්ණ වශයෙන් පරිවර්තනය කරන ලදුව, එහි සඳහන් වන රාජකීය නියෝගය පිළිබඳ අධ්‍යයනයන් ඇරඹිය හැකි විය. ඊජිප්තු පෙළෙහි පරිවර්තනය, ශෝං-ෆ‍්‍රාංස්වා ෂැම්පෝලියන් (Jean-François Champollion) විසින් පැරිසියේ දී ප‍්‍රකාශයට පත් කෙරුණේ ඉන් වසර 20 කට පසු හෙවත් 1822 දී ය. විද්වතුන් හට අනෙකුත් පැරණි ඊජිප්තු අභිලේඛන සහ සාහිත්‍යය නිසැක වශයෙන් කියවීමට ඊටත් වඩා වැඩි කාලයක් ගත විය. මෙහි පරිවර්තන කාර්යයේ ප‍්‍රධාන පියවරයන් වූයේ,

1. පාෂාණයේ සඳහන් වන්නේ එකම පෙළෙහි වෙනස් අනුවාදයන් තුනක් බව හඳුනා ගැනීම (1799),
2. ඊජිප්තු ව්‍යවහාර බසින් සටහන් ලිපියෙහි විදේශීය නම් ලිවීම සඳහා ශබ්ද විද්‍යාත්මක සංකේත (Phonetic Characters) භාවිතා කර ඇති බව සොයාගැනීම (1802),
3. හයිරෝරේඛිත පෙළෙහි ද එවැනි ම භාවිතයක් ඇති බව සහ එහි ඊජිප්තු ව්‍යවහාර බසින් වූ පෙළ සමඟ පැතිර පවත්නා සමානකම් ඇති බව සොයාගැනීම (තෝමස් යං (Thomas Young) 1814),
4. විදේශීය නම් වලට අමතරව ස්වදේශික ඊජිප්තු වචන සඳහා ද ශබ්ද විද්‍යාත්මක සංකේත භාවිතා කර ඇති බව සොයාගැනීම (ෂැම්පෝලියන් 1822-1824) ආදිය යි.

මෙකී රාජකීය නියෝගය ම සටහන් වූ කැඞී ගිය අසම්පූර්ණ පිටපත් දෙකක් ද පසුව සොයාගෙන ඇති අතර, ඊට සමාන ඊජිප්තු ද්විභාෂික සහ ත්‍රෛභාෂික අභිලේඛන කිහිපයක් ද මේ වන විට ප‍්‍රසිද්ධ කර තිබේ. ඒ අතර, තරමක් පැරණි ටොලමියානු රාජකීය නියෝගයන් දෙකක් ද (ක‍්‍රි. පූ. 238 දී නිකුත් කෙරුණු කැනෝපස් හි රාජකීය නියෝගය සහ ක‍්‍රි. පූ 218 දී පමණ සිවුවන ටොලමි රජු විසින් නිකුත් කරන ලද මෙම්ෆිස් හි රාජකීය නියෝගය) වේ. එහෙයින් රොසෙට්ටා පාෂාණය අසමසම පුරාවස්තුවක් නොවූව ද, පුරාණ ඊජිප්තු සාහිත්‍යය සහ ශිෂ්ඨාචාරය තේරුම් ගැනීමේ යතුර වීමෙන් හිමිකරගත් වැදගත්කම අහෝසි නොවේ.  ඕනෑම තාක්ෂණයක නව දැනුම සොයා යාමේදී අත්‍යවශ්‍ය වන සාධකයන් හැඳින්වීමේදී ‘රොසෙට්ටා පාෂාණය’ යන පදය පර්යාය පදයක් ලෙස ඉංග‍්‍රීසියේ දී භාවිතා කෙරෙන තාක් දුරට මෙම පුරාකෘතිය ප‍්‍රචලිත වී තිබේ.

දෙවන කොටස...

පසුකාලීන කටයුතු

එයින් පසුව රොසෙට්ටා පාෂාණය පිළිබඳ කටයුතු යොමු වූයේ පිටපත් තුන ම එකිනෙක සැසඳීමෙන් ලියවිල්ල සහ එහි අන්තර්ගතය පූර්ණ වශයෙන් තේරුම් ගැනීම කෙරෙහි ය. 1824 දී ප‍්‍රාචීණ ශාස්ත‍්‍රඥයෙකු වූ අන්තුවාං-ශෝං ලෙත්‍රෝන් (Antoine-Jean Letronne), ෂැම්පෝලියන් ගේ කටයුතු සඳහා ග‍්‍රීක පිටපතේ නව වාච්‍යාර්ථ පරිවර්තනයක් සැකසීමට පොරොන්දු විය. ඒ වෙනුවෙන් ෂැම්පෝලියන් පිටපත් තුනෙහි වෙනස්කම් දක්වන ස්ථාන සියල්ල පිළිබඳ විශ්ලේෂණයක් ඉදිරිපත් කිරීමට එකඟ විය. 1832 දී සිදු වූ ෂැම්පෝලියන් ගේ හදිසි මරණයෙන් පසු මෙම විශ්ලේෂණයේ කෙටුම්පත් සොයාගත නොහැකි විය. එහෙයින් ලෙත්‍රෝන් ගේ කාර්යය ද අත්හිටුවිණි. 1838 දී ෂැම්පෝලියන් ගේ හිටපු ශිෂ්‍යයෙකු සහ සහායකයෙකු වූ ෆ‍්‍රාංස්වා සැල්වොලිනි (François Salvolini) ගේ මරණයේ දී මෙකී කෙටුම්පත හා තවත් නැතිවූ කෙටුම්පත් ගණනාවක් ඔහුගේ ලියවිලි අතර තිබී හමු විය. (රොසෙට්ටා පාෂාණය පිළිබඳව 1837 දී සැල්වොලිනි විසින් එළිදක්වන ලද ප‍්‍රකාශනය බුද්ධිමය දේපොළ සොරකමක් බව එයින් හෙළි විය.) අවසානයේ ලෙත්‍රෝන් ග‍්‍රීක පිටපත ට කරන ලද විවරණය අවසන් කළ අතර, එහි ප‍්‍රංශ පරිවර්තනය 1841 දී එළිදැක්වුණි. 1850 ගණන් වල මුල් කාලයේ දී ජර්මන් ජාතික ඊජිප්තුවේදීන් දෙදෙනෙකු වූ හයින්රිච් බ‍්‍රග්ෂ් (Heinrich Brugsch) සහ මැක්ස් ඌල්මන් (Max Uhlemann) රොසෙට්ටා පාෂාණයේ අඩංගු ඊජිප්තු ව්‍යවහාරික සහ හයිරෝරේඛිත පිටපත් පදනම් කරගෙන සංශෝධිත ලතින් පරිවර්තනයක් සකස් කළ හ. පළමු ඉංග‍්‍රීසි පරිවර්තනය පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ දර්ශන සහ ගණිත සමාජයේ (Philomathean Society) සාමාජිකයන් තිදෙනෙකු විසින් එළිදැක්වුනේ මීටත් පසුව 1858 දී ය.

පාෂාණයේ ඇතුළත් පිටපත් තුනෙන්, අනෙක් භාෂා දෙකට හරවන ලද මුල් පිටපත කුමක්දැයි යන ගැටළුව සෑහෙන කළක් තිස්සේ මතභේදයට තුඩු දුන්නකි. ටොලමියානු රාජවංශයේ රාජ්‍ය භාෂාව වූයේ ග‍්‍රීක බස හෙයින්, ග‍්‍රීක පිටපත මුල් එක බව ඔප්පු කිරීමට ලෙත්‍රෝන් 1841 දී උත්සාහ කෙළේ ය. මෑත කාලීන ලේඛකයන් අතරින් ජෝන් රේ (John Ray) පවසන්නේ, ‘‘පාෂාණයේ වැදගත්ම පිටපත හයිරෝරේඛිතය යි. ඒවා සටහන් කෙරුනේ දෙවියන් හට කියවීමටත්, ඔවුන්ගේ පූජක සංහතිය ගැන දැනගැනීමට ත් ය.’’ යනුවෙනි. (Philippe Derchain) සහ හේයින්ස් හොසෙෆ් තිසන් (Heinz Josef Thissen) මෙම පිටපත් තුන ම එක විට ම රචනා කරන්නට ඇති බවට තර්ක කරන අතර, ස්ටෙෆන් කර්ක් (Stephen Quirke) මෙම ලේඛනය ‘‘ඉතා වැදගත් ලේඛන සම්ප‍්‍රදායයන් තුනක දුරවබෝධ සුසංයෝගයක්’’ ලෙස දකියි. රිචර්ඞ් පාකින්සන් (Richard Parkinson) හයිරෝරේඛිත පිටපත, පෞරාණික ආකෘතියේ සිට පූජකයින් දෛනිකව භාවිත කළ ව්‍යවහාරික භාෂාවේ රටාවට සමීප රටාවක් වෙත විටින් විට අයාළේ යන ස්වභාවයක් අතරින් පතර දක්වන බව පෙන්වා දෙයි. විශේෂයෙන් ම රොසෙට්ටා පාෂාණයෙන්, විද්වතුන් නිවැරදි හා තථ්‍ය සුචියක් මිසර හයිරෝරේඛනය උදෙසා අපේක්ෂා කළ නමුත්, පිටපත් තුන වචනයෙන් වචනය ට සැසඳිය නොහැකි වීම ම, මෙම අභිලේඛනය කියවීම කලින් අපේක්ෂා කළාට වඩා ඉතා දුෂ්කර වීමට හේතුවයි.

රොසෙට්ටා පාෂාණය ඇසුරින් නැංවුණු විරෝධතා

සැල්වෝනි ගේ පළහිලව්වටත් කලින් සිට ම, පුරෝගාමීත්වය හා බුද්ධිමය දේපළ සොරකම පිළිබඳ මතවාද රොසෙට්ටා පාෂාණය කියවීමේ කතාව පුරා මතුවී තිබේ. 1822 දී ෂැම්පෝලියන් ගේ ‘ඩාසියේ මහතාට යැවූ ලිපියේ’ තොමස් යං ගේ කටයුතු පිළිබඳව දන්වා ඇත. එහෙත්, ‘‘ප‍්‍රතිපත්ති විරහිත’’ ෂැම්පෝලියන් එම දැනුම සොරකම් කර ඇති බව සමහර බි‍්‍රතාන්‍ය ගුණ දෝෂ විචාරකයන්ගේ මතය විය. උදාහරණයක් ලෙස බි‍්‍රටැනිකා විශ්ව කෝෂයේ (1819 දී යං ගේ ‘ඊජිප්තුව’ ලිපිය පළ කෙරුණු) උප සංස්කාරක වරයෙකු වූ ජේම්ස් බ‍්‍රවුන් (James Browne) 1823 දී එඩින්බරෝ ශාස්ත‍්‍රීය සඟරාව ට (Edinburgh Review) නිර්නාමිකව සපයන ලද ශාස්ත‍්‍රීය ලිපි මාළාවකින් යං ගේ කටයුතු ඉහළින් වර්ණනා කරමින් ඉහත චෝදනාව එල්ළ කෙළේ ය. මෙම ලිපි ජූලියස් ක්ලැපෝර්ත් (Julius Klaproth) විසින් ප‍්‍රංශ බසට පෙරළා අනතුරුව 1827 දී එයින් පොතක් ප‍්‍රකාශයට පත් කරන ලදි. 1823 දී යං විසින් ම එළි දක්වන ලද කෘතියේ තමන් විසින් කරන ලද මෙහෙවර නැවත තරයේ කියා තිබේ. 1829 දී සහ 1832 දී සිදු වූ යං සහ ෂැම්පෝලියන් ගේ අකල් මරණයන් ගෙන් මෙම මතභේදයන් නිමා වූයේ නැත. 1904 දී ප‍්‍රකාශයට පත් කෙරුණු, බි‍්‍රතාන්‍ය කෞතුකාගාරයේ භාරකරු ව සිටි ඊ. ඒ. වෝලිස් බජ් (E. A. Wallis Budge) පාෂාණය ගැන කරන ලද ප‍්‍රාමාණික අධ්‍යයනයන් තුළින් ෂැම්පෝලියන් ගේ දායකත්වයට විසංසන්දනාත්මක ලෙස යං ගේ කටයුතු විශේෂයෙන් බර කොට සඳහන් කර තිබුණි. 1970 ගණන් වල මුල් භාගයේ දී ප‍්‍රංශ ජාතික නරඹන්නන්, යාබද තොරතුරු පැනලයන් වල පිහිටුවා තිබුණු ෂැම්පෝලියන් ගේ විද්ධ චිත‍්‍රය යං ගේ එකට වඩා කුඩා බව ට පැමිණිලි කළ අතර, ඉංග‍්‍රීසි ජාතික නරඹන්නෝ එහි ප‍්‍රතිවිරුද්ධ අදහස නිවැරදි යැයි පැමිණිලි කළහ. එහෙත් චිත‍්‍ර දෙකම සත්‍ය වශයෙන් ම සමාන ප‍්‍රමාණ වලින් යුක්ත විය.

ෂැම්පෝලියන්
https://i.ytimg.com/vi/xlyE0x1KP6Q/hqdefault.jpg
තෝමස් යං
https://upload.wikimedia.org/
wikipedia/commons/thumb/d/df/
LifeOfThomasYoung1855PeacockG.jpg
/240px-LifeOfThomasYoung1855PeacockG.jpg
ඊජිප්තුව වෙතට දේශප‍්‍රත්‍යාවර්තනය උදෙසා ඉල්ලීම් 

2003 ජූලි මාසයේ පැවති බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ 250 වන සංවත්සරය අවස්ථාවේ දී ඊජිප්තුව ප‍්‍රථම වරට රොසෙට්ටා පාෂාණය නැවත ලබාදෙන ලෙස ඉල්ලීමක් කෙළේ ය. පුරාවස්තු පිළිබඳ ඊජිප්තු උත්තරීතර සභාවේ ප‍්‍රධානී සාහි හවාස් (Zahi Hawass) වාර්තාකරුවන් වෙත අදහස් දක්වමින්, මෙම පුවරු ලිපිය සියරටට ලබාදෙන ලෙස මහත් උද්යෝගයෙන් ඉල්ලා සිටියේ ය. (‘‘බි‍්‍රතාන්‍යයට තමන් සිහිපත් කරනු ලැබීමට අවශ්‍ය නම්, සිය කීර්තිය නැවත ප‍්‍රකෘතිමත් කර ගැනීමට අවශ්‍ය නම්, ඔවුන් රොසෙට්ටා පාෂාණය ස්වේච්ඡුාවෙන් ම ආපසු දිය යුතු යි. මන්ද යත්, එය අපේ ඊජිප්තු අනන්‍යතාවයේ සංකේතය යි.’’ (Edwardes and Milner (2003))& වසර දෙකකට පසුව පැරිසියේ දී ඔහු ඊජිප්තු සංස්කෘතික උරුමයට අයත් වන පුරාවස්තු ලැයිස්තුවක් ඉදිරිපත් කරමින්, එම යෝජනාව නැවත ඉදිරිපත් කෙළේ ය. එම ලැයිස්තුව ට අයත් වූ ඉතා වැදගත් අයිතම අතර, රොසෙට්ටා පාෂාණය ට අමතරව, බර්ලින් හි ඊජිප්තු කෞතුකාගාරයේ තැන්පත් කර ඇති නෙෆර්ටිටි ගේ උඩුකය ප‍්‍රතිමාව ද, ජර්මනියේ ම හිල්ඩෂයිම් (Hildesheim) හි රෝමර් සහ පෙලිසියස් කෞතුකාගාරයේ (Roemer-und-Pelizaeus-Museum) ඇති මහා පිරමිඩයේ නිර්මාණශිල්පී හෙමියුනු (Hemiunu) ගේ ප‍්‍රතිමාව ද, පැරිසියේ ලූව්ර කෞතුකාගාරයේ ඇති දෙන්දෙරා දේවස්ථානයේ ග‍්‍රහ චක‍්‍ර කැටයම (Dendara Temple Zodiac) ද, බොස්ටන් හි ලලිත කලා කෞතුකාගාරයේ ඇති ඇන්ක්හ්හෆ් (Ankhhaf) ගේ උඩුකය ප‍්‍රතිමාව ද, විය. (Antiquities wish list" (2005)) 2005 දී බ්‍රිතාන්‍ය කෞතුකාගාරය මෙම පුවරු ලිපියේ තථ්‍ය පරිමාණයේ අනුරුවක් ඊජිප්තුවට ලබා දුන්නේ ය. මෙය පාෂාණය මුලින්ම හමු වූ ස්ථානයට ආසන්නයේ නවීකරණය කරන ලද රාෂිඞ් කෞතුකාගාරයේ පළමුවෙන් ම ප‍්‍රදර්ශනයට තබන ලදි. 2005 නොවැම්බරයේ දී හවාස්, සිය මුල් ඉල්ලීම දිගටම පවත්වාගෙන යන අතර, රොසෙට්ටා පාෂාණය තුන් මසකට ණයට දෙන ලෙස යෝජනා කෙළේ ය. 2009 දෙසැම්බරයේ දී ඔහු, 2013 දී පැවැත්වෙන ගීසා හි මහා ඊජිප්තු කෞතුකාගාරය විවෘත කිරීමේ උත්සවය සඳහා බි‍්‍රතාන්‍ය කෞතුකාගාරය රොසෙට්ටා පාෂාණය තෙ මසකට දෙන්නේ නම්, සිය පළමු ඉල්ලීම ඉල්ලා අස්කර ගන්නා බව කියා සිටියේ ය.

ජෝන් රේ අනුව, ‘‘පාෂාණය රොසෙට්ටා හි පැවති කාලයට වඩා වැඩි කාලයක් බි‍්‍රතාන්‍ය කෞතුකාගාරයේ පැවතුනේ යැයි කීමට හැකි දිනයක් එළඹෙනු ඇත.’’ රොසෙට්ටා පාෂාණය වැනි ජාත්‍යන්තර මට්ටමේ සංස්කෘතික සුවිශේෂතාවයෙන් යුත් වස්තූන් සියරටට නැවත ලබා දීම පිළිබඳව ජාතික කෞතුකාගාර අතරින් ම දැඩි විරෝධතා මතු වී තිබේ. එල්ජින් කිරිගරුඬ කැටයම උදෙසා ග‍්‍රීසියෙන් පුන පුනා කෙරුණු ඉල්ලීම් හා සමානව අනෙකුත් ලොව පුරා කෞතුකාගාර වෙතට ද ඉදිරිපත් කෙරුණු ආයාචනා සම්බන්ධයෙන්, ලෝකයේ ප‍්‍රමුඛ පෙළේ කෞතුකාගාර 30 කට වැඩි ගණනක් ඒකාබද්ධව ප‍්‍රකාශයක් නිකුත් කරන ලදි. බි‍්‍රතාන්‍ය කෞතුකාගාරය, ලූව්ර කෞතුකාගාරය, බර්ලින් හි පර්ගැමොන් කෞතුකාගාරය සහ නිව්යෝක් හි මෙට්‍රොපොලිටන් කෞතුකාගාරය ද මෙම සමූහයට ඇතුළත් විය. එම ප‍්‍රකාශයේ ඇතුළත් වූ කරුණු අතර, ‘මුල් කාලයේ දී අත්කරගත් වස්තූන් එම මුල් යුගයේ අගනාකම් සහ වෙනස් වෙනස් සංවේදීතාවයන් පිළිබිඹු වන පරිදි ප‍්‍රදර්ශනය කෙරිය යුතු ය.’ සහ ‘කෞතුකාගාරයන් සේවය කරන්නේ එක් ජාතියක පුරවැසියන් හට නොව, සියළුම ජාතීන්ට අයත් මිනිසුන් වෙනුවෙනි’ යන වගන්ති ඇතුළත් වේ.

ඉංග‍්‍රීසි භාෂාව තුළ සංකේතමය භාවිතය

රොසෙට්ටා පාෂාණය යන පදය, කේතනය කරන ලද රහස්‍ය තොරතුරු කියවා තේරුම්ගැනීමේ යතුර සංකේතනය කිරීමට (විශේෂයෙන් වඩා විශාල සමස්තය තේරුම් ගැනීමට හෝඩුවාවක් ලෙස කුඩා එහෙත් නියෝජනාත්මක නියැදියක් හඳුනාගත් විට) යොදා ගැනේ. (Oxford English dictionary (1989) s.v. "Rosetta stone") ඔක්ස්ෆර්ඞ් ඉංග‍්‍රීසි ශබ්දකෝෂය ට අනුව, මුල් වරට මෙම පදය රූපකයක් ලෙස භාවිතා කිරීම දක්නට ලැබෙන්නේ බ්‍රිටැනිකා විශවකෝෂයේ 1902 සංස්කරණයේ ග්ලූකෝස් හි රසායනික විශ්ලේෂණය ට අදාළව ය. මෙම වාක්‍යාංශය, බොහෝ දුරට වාච්‍යාර්ථයෙන් භාවිතා කිරීම ජනප‍්‍රිය සාහිත්‍යයට පිවිසීම, 1933 දී එච්. ජී. වෙල්ස් (H. G. Wells) ගේ ‘අනාගත දේ වල හැඩය’ (The Shape of Things to Come) නම් නවකථාවේ දක්නට ලැබේ. එහි කථානායකයා, අත් අකුරින් සහ යතුරු ලියනයෙන් සකසන ලදුව, විසිරී ගිය ලියවිල්ලක් තේරුම්ගැනීමට පාදක වන ලඝු ලිඛිත අත්පිටපතක් සොයා ගනී. සමහරවිට, විද්‍යාත්මක සාහිත්‍යය තුළ මෙම පදයේ වැදගත් ම සහ ඉතා ම ප‍්‍රකට භාවිතය, නොබෙල් ත්‍යාගලාභී තියඩෝර් ඩබ්ලිව්. හාන්ෂ් (Theodor W. Hänsch) විසින් 1979 දී සයන්ටිෆික් ඇමෙරිකන් සඟරාවට ලියන ලද වර්ණාවලීක්ෂණය පිළිබඳ ලිපියේ දක්නට ලැබේ. එහි ඔහු ‘‘හයිඩ‍්‍රජන් පරමාණුවේ වර්ණාවලිය නූතන භෞතික විද්‍යාවේ රොසෙට්ටා පාෂාණය බවට ඔප්පු වේ. මන්ද යත්, මෙම රේඛා මාදිළිය තේරුම්ගත් විට වඩා වැඩිමනත් යමක් ද තේරුම් ගත හැකි බැවිණි.’’ යි පවසයි.

එතැන් සිට මෙම පදය අනෙක් සන්දර්භයන් තුළ ද පුළුල්ව භාවිතා වන්නට පටන් ගත්තේ ය. උදාහරණයක් ලෙස, මනුෂ්‍ය ස්වේතාණු තුළ ඇති ප‍්‍රතිදේහ ජනකයේ මූලික ජාන සමූහය සම්පූර්ණයෙන් හඳුනාගැනීම ‘ප‍්‍රතිශක්ති විද්‍යාවේ රොසෙට්ටා පාෂාණය’ ලෙස හැඳින්වේ. ඇරබිඩොප්සිස් තලියානා (Arabidopsis thaliana) නම් සපුෂ්ප පැළෑටිය ට ‘සපුෂ්ප අවධියේ රොසෙට්ටා පාෂාණය’ යැයි කියනු ලැබේ. සුපර්නෝවා තත්ත්වයක් සම්බන්ධව සොයාගන්නා ලද ගැමා කිරණ පිපුරුමක් (Gamma ray burst (GRB)), ‘ගැමා කිරණ පිපුරුම් වල ප‍්‍රභවය අවබෝධ කරගැනීමේ රොසෙට්ටා පාෂාණය‘ ලෙස හඳුන්වන ලදි. ඩොප්ලර් එකෝකාඩියොග‍්‍රැෆි (Doppler echocardiography) තාක්ෂණය මනුෂ්‍ය හදවතේ වම් කෝෂිකාව, විවිධාකාරයේ වින්‍යස්ත දුෂ්කෘතීන් නිසා පිරී යාමෙන් ඇති වන සංකීර්ණ ක‍්‍රියාවලිය තේරුම්ගැනීමට උත්සාහ කරන චිකිත්සකයන් සඳහා රොසෙට්ටා පාෂාණයකැ යි කියනු ලැබේ.

එසේම, මෙම නාමය විවිධාකර භාෂා පරිවර්තක මෘදුකාංග තුළ භාවිතා වීමට ද පටන් ගෙන ඇත. ‘රොසෙට්ටා ස්ටෝන්’ යනු, ඇමරිකා එක්සත් ජනපදයේ, වර්ජිනියා හි ආර්ලිංටන් ජනපදයේ මූලස්ථානය පිහිටා ඇති, සී/ස රොසෙට්ටා ස්ටෝන් ආයතනයෙන් ප‍්‍රකාශයට පත් කරන ලද භාෂා උගැන්වීමේ මෘදුකාංගයක සන්නම යි. x86 මධ්‍ය සැකසුම් ඒකකයක් භාවිතා කරන ඇපල් පරිගණක පද්ධතියක් තුළ ක‍්‍රියාත්මක වීම සඳහා, PowerPC මධ්‍ය සැකසුම් ඒකකයක ට මෘදුකාංග සම්පාදනය වීම පහසු කරන ‘සැහැල්ලූ ක‍්‍රියාකාරී පරිවර්තකය’ ("lightweight dynamic translator") රොසෙට්ටා නමින් හැඳින්වේ. ලෝන්ච්පෑඞ් ව්‍යාපෘතියේ (Launchpad project) කොටසක් ලෙස පවත්වාගෙන යන, කැනොනිකල් (Canonical) අංශයෙන් සංවර්ධනය කර, පවත්වාගෙන යන, මෘදුකාංග ප‍්‍රාදේශීයව හැඩගැස්වීමට භාවිතා කෙරෙන අන්තර්ජාලමය භාෂා පරිවර්තක මෙවළමක් ද මෙම නමින් නම් කර ඇත. ඊට සමාන ලෙස, ප්‍රෝටීන් ආකෘතීන් පිළිබඳ පුරෝකථනය (හෝ පරිවර්තනය) කිරීමේ සංගණන ව්‍යාපෘතියක් ද ‘රොසෙට්ටා ඇට් හෝම්’ (Rosetta@home) යැයි හැඳින්වේ. ‘රොසෙට්ටා ව්‍යාපෘතිය’ (The Rosetta Project) ක‍්‍රි. ව. 2000 සිට 12000 දක්වා පවත්වාගෙන යාමට අපේක්ෂිත, භාෂා විශේෂඥයන් සහ ස්වභාෂකයන් එක් කොට සංවර්ධනය කරන භාෂා 1,500 ක අර්ථාන්විත සමීක්ෂණයක් සහ ස්ථාවර ලේඛන සංරක්ෂිතයක් සඳහා යොදා ඇති නම යි. 67පී/චර්යුමෝව්-ගෙරාසිමෙන්කෝ (67P/Churyumov-Gerasimenko) නම් ධූමකේතුව අධ්‍යයනය කිරීමේ දස අවුරුදු ප‍්‍රයාණයක යොදවා ඇති රොසෙට්ටා අභ්‍යවකාශ යානය, එම අධ්‍යයනයන් තුළින් ධූමකේතුවේ සංයුතිය නිර්ණය කරගැනීමෙන් සූර්ය ග‍්‍රහ මණ්ඩලයේ ප‍්‍රභවය පිළිබඳ කරුණු හෙළිකරනු ඇතැයි අපේක්ෂිත ය.

Tuesday, March 6, 2018

ඉස්කෝලෙ මහත්තුරු සහ තවත් කතා


ඉස්කෝලෙ මහත්තුරු ගැන මුල් ලිපි වලට ලිංක් පහතින්...

ඉස්කෝලෙ මහත්තුරු සහ තවත් කතා
ඉස්කෝලෙ මහත්තුරු සහ කයිකතන්දර
ඉස්කෝලෙ මහත්තුරු සහ බටගම

ඉස්කෝලෙ මහත්තයෙක් උන්නලු ගිරිගෝරිස් කියල. උන්නැහැ ගැන ලියවුණු "සුරගුරු විදුහල්පති" වගෙ නමක් සහිත පරණ පොතක තිබුණ කතාවක් තමා මේ කියන්ඩ යන්නෙ.

දවසක් පාඨශාලා පරීක්ෂක ඔය කියන ඉස්කෝලෙ මහත්තැන්ගෙ ඉස්කෝලෙට ඇවිදින් පරීක්ෂා කරන්ඩ. අන්තිමේ ඉස්කෝලෙ ලොග් පොත පෙරළල බැලුවලු. ඒකෙ එක පිටුවක තියෙනවලු මෙහෙම:

"නෝනා මහත්මයා මැරුණෙමි. පාඨශාලාව දින තුනක් වසා තබන්නට සිදු විය."

"මේ මොකද්ද ඉස්කෝලෙ මහත්තය මේ ලියල තියෙන්නෙ?" පාඨශාලා පරීක්ෂක ඇහුවලු. "මොකද මේ? ව්‍යාකරණ මරල ලියල තියෙන්න්‍ෙ? ඔහේ වගේ දැන උගත් කෙනෙක්...?"

"නෑ සර්..." ඉස්කෝලෙ මහත්තය කිව්වලු. "මැරුණෙ මගෙ නෝනා. මම එයට හරිම ආදරෙයි. එයා මගෙ පණ වගේ උන්නෙ. ඉතිං එයා මැරුණම, මට දැනුනෙ හරියට මං මළා වගේ. ඒ හැඟීමෙන්මයි ඔය ලොග් සටහන ලිව්වෙ..."

ඕක කියනකොට මතක් උනේ චීන කතාවක්...

චීනෙ එක පෝසත් ගෙදරක පොඩි දරුවට අකුරු කියදෙන්ඩ දවස ගානෙ ගෙදරට එන ගුරුභවතෙක් උන්නා. උන්නැහැ කොච්චර මහන්සි වෙලා ඉගැන්නුවත් අර දරුව නෙවෙයි එක චුට්ටක්වත් දියුණුවක් පෙන්නුවෙ.

"අනේ මං දන්නෑ මොනව වෙලාද කියල..." අර ගුරුවරය නිතරම කියන්න පුරුදු වෙලා හිටිය. "...මම මයි මගෙ පුතාටත් අකුරු උගන්නන්නෙ. එයා මෙයිටත් වඩා පොඩියි. ඒත් ඔය අපූරුවට අකුරු කියන්නෙ..."

මේ නරිවාදම අහල අහල ඇති වෙලා හිටපු පෝසත් ගෙදර උදවිය දවසක් කිව්ව, "හොඳයි ඔච්චර දක්සයි කියන තමුසෙගෙ පුතාව එක්කරං එනවකො හෙට"

එතකොට තමයි ගුරුවරයට තරු පෙනුනෙ. උන්දැ හනි හනිකට ආපහු ගෙදර ගියා. ගිහිං පුතාව අල්ලගෙන, වදෙන් පොරෙන් කොල්ලට අකුරු තුනක් කටපාඩං කෙරෙව්ව. 

පරණ චීන හෝඩියෙ හැටියට, එක අකුරකිං සම්පූර්ණ වචනෙයක්ම කියවෙනව. එහෙම අකුරු තුනක් තමයි අර පොඩි එකාට පාඩං කෙරෙව්වෙ. "බත්" "ඇඳ" සහ "තාත්තා" ඒ අකුරු තුන...

ඉතිං පහුවදා පොඩි පුතාවත් එක්කරගෙන ගිහිං අර ගුරුවරයා, පෝසත් ගෙදර ඔක්කොම ඉස්සරහපිට පුතාට පළවෙනි අකුර ඇඳල පෙන්නුව.

කොහෙ? පොඩ්ඩට අමුතු තැනකට ආවම, කට්ටිය වටකරගත්තම අකුරු මතක නැතුව ගියා.

දෙතුං පාරක් අහල අහල බැරිම තැන ගුරුවරය කියනව, "ඇයි පුතේ... කියන්ඩකො. ඔයා දන්නවනෙ මේ අකුර... අර අපි හැමදාම කන්නෙ මෙව්වනෙ..."

"බජිරී...." කොල්ල උත්තර දුන්න.

කමක් නෑ කියල ගුරුවරය දෙවෙනි අකුරත් ඇඳල පෙන්නුව. ඒකටත් අර සන්තෑසියම තමා. පොඩ්ඩට මතක නෑ. ඒ ගමන ගුරුවරය කියනව,

"ඇයි පුතේ අපි දෙන්න නිදාගන්නෙ මේකෙනෙ..."

"පැදුර..." කොල්ල උත්තර දුන්න.

ගුරුවරයට දැං පොළොව පළාගෙන යන්ඩ හිතයි. ඒත් කමක් නෑ කියල තුං වෙනි අකුරත් ඇඳල පෙන්නුව...

ඒකත් පුතාට මතක නෑ කියහල්ලකො ඉතිං... කලිං දුන්න උත්තර වලට ගෙදර මිනිස්සු බඩ අල්ලං හිනාවෙනව. ඒ අවුඅස්සෙ කොහෙ මතක් වෙන්ඩද අකුරු?

ගුරුවරය කියනව, "ඇයි පුතේ අම්ම ගාව නිදාගන්නෙ කවුද? ඒක නෙ මේ අකුරෙන් කියවෙන්නෙ..."

"බාප්පා..." පුතණ්ඩියගෙ අන්තිම උත්තරේ.

චීන කතා මතක් කරපු එකේ, චීන කතාවක් ඇසුරින් රජයෙ ඉහළ නිලධාරියෙකුට ගහපු මඩක් සඳහන් නොකර යන්ඩ හිතෙන්නෙම නෑ. (අපිත් ඉතිං...)

මම එක්තරා අමාත්‍යාංශෙකට ඇවිත් දවසක් දෙකක් යද්දිම දැකපු දෙයක් තමයි, එක නිලධාරියෙක් නිතරම කියනව, 

"මම මාස පහක් හිටියනෙ ජපානෙ. ජපානෙ මෙහෙ වගේ නෙවෙයි. එහෙ  හරිම..." ඔය විදිහට ජපානෙ විස්තර.

අමාත්‍යාංශ ලේකම් ගෙ සංකල්පයක් අනුව සතියකට වරක් දෙකක් ලන්ච් ටයිම් එකේ "ලන්ච් ටයිම් ටෝක්ස්" කියල පැයක දේශනයක් පවත්වන්ඩ පටං ගත්ත. ඒකෙ අරමුණ වුනේ කාර්යමණ්ඩලය විවිධාකාර දැනුමින් ආකල්ප වලින් සංවර්ධනය කරන එක.

එක දවසක් ලන්ච් ටයිම් ටෝක් එක බර ගත්ත අර නිලධාරියා, "මම ජපානෙ හිටපු අවදියේ..." යන මැයෙන් දේශනයක් දුන්න ඇට්ටි හැලෙන්ඩ.

දවසක්දා පොර අමාතයාංශ ලේකම් එක්ක ඩියුටියකට ගිහිං රෑ වෙලා එද්දි, ලේකම්ගෙ කාර් එකේ... ලේකම් කාර්එකේ ජනේලෙන් දැකපු හඳ පෙන්නල කිව්වලු, 

"හරි ලස්සනයි නේද හඳ?" කියල.

අරයත් පැනපු ගම කිව්වලු,

"මෙහෙ මොන හඳක්ද? මොනවද මෙහෙ හඳ කියල බලන්න තියෙන්නෙ? මම ජපානෙ ඉද්දි තමයි ලස්සනම හඳ දැක්කෙ." කියල.

ලේකම්ට මල පැනල අරූට කණ පැලෙන්ඩ දුන්නලු. දීල කිව්වලු, "මෝඩෙයො...! කොහෙටත් පායන්නෙ එක හඳනෙ. පෘථිවියටම තියෙන්නෙ එක හඳයි."

අරුත් ඇරියෙ නෑලු. කියනවලු,

"මේක මොන කණේපාරක්ද? මම ජපානෙ ඉද්දි කෑව කණේපාරවල්නෙ බලන්ඩ ඕනෙ. මෙව්ව මොනවද? නිකං මදුරුවෙක් වැහුව වගේ..."

කියන්ඩ ආවෙ ඉස්කොලෙ මහත්තුරු ගැනනෙ. ඉතිං කියන්ඩම ඕනෙ පරණ කතාවක් තියෙව. මේක මග පරණ ලිපි තුනේදිම ලියන්ඩ ඉඳල මග ඇරුණු එකක්. ගොඩක් දෙනා මේ කතාව අහල ඇති පොඩි කාලෙදි.

ඉස්කෝලෙ මහත්තුරු ඇන්දෙ රෙද්දයි බැනියමයි නෙව. ඉංග්‍රීසි කතාකරන්ඩ පුළුවන් උදවිය තමයි ඒ සන්දියෙදි කලිසං ඇන්දෙ. අර ටී. ජී. ඩබ්ලිව්. ද සිල්වා මහත්තෙයගෙ එක කතාවක තියෙනව, භගලවතී ඉස්කෝලෙ හාමිනේ කලිසමක් ගහක එල්ලලා ඒකට උදේ හවා වඳිනවලු තමන්ට කලිසං අඳින මහත්තයෙක් ලැබෙන්ඩ ප්‍රාර්ථනා කරල...

ඉතිං ඔය රෙද්ද අඳින ඉස්කෝලෙ මහත්තයෙක් දවසක්දා ඉස්කෝලෙදි අමුඩෙ ගැන උගන්නල තියෙනව. එයා ළමයිට කියාදුන්නලු අමුඩෙ ගහන්නෙ මෙහෙමයි කියල. උන්ට තේරෙන්නෑලු කියන විදිහ. ඒ ගමන කළු ලෑල්ලෙ ඇඳලත් පෙන්නුවලු. ඒත් නෑලු. බැරිම තැන මොකද කරන්නෙ කියල කල්පනා කරද්දි එයාට මතක් උනාලු එයා රෙද්දට යටිං අමුඩෙ අඳිනවනෙ කියල. ඒ ගමන උන්දැ රෙද්ද උස්සල පෙන්නුවලු "මේං බලාපල්ල මේක තමයි අමුඩෙ" කියල.

ඒක දැකපු ගෑල්ලමයි සමහරක් "චීක්" කියල අහක බලාගත්තලු. එතකොටලු ඉස්කෝලෙ මහත්තෙයට මතක් උන් යකඩො අද උදේ මං හදිස්සියට අමුඩෙ ඇන්දෙ නෑනෙ කියල.

පොඩි කොල්ලො ටික එකහඬින් කිව්වලු, "ලොකු සෑර්... ඔයි වගේ චූටි චූටි එව්ව අපි ගාවත් තියෙනව... කියල.

දවසක් ඉස්කෝලෙ මහත්තයෙක් පන්තියෙදි ගණිත ගැටළුවක් ඉදිරිපත් කළාලු...

"ෆිල්ම් එක හවස හයයි තිහට පටංගන්නව නං, මගෙ මල්ලි හිල්මන් කාර් එකක් එළවනව නං, ගෙදර මිදුලෙ තියෙන පොල්ගහ අඩි හැටපහක් උස නං, මගෙ වයස කීයද?"


ළමයි හොල්මං වෙලා ගියාලු ප්‍රශ්නෙට. හූම් සද්දෙයක් නැතුව විනාඩි පහක් විතර ගියාලු.


"හතළිස් හතරයි" අන්තිම පේළියෙ කොල්ලෙක් අන්තිමේ දි අත උස්සල උත්තර දුන්නලු.


"හරියට හරි." ඉස්කෝලෙ මහත්තෙය සන්තෝසෙ වැඩිකමට පුටුවෙනුත් නැගිටල කිව්වලු. "දැං මේ අනිත් අයටත් ඉගන ගන්ඩ, කියන්ඩ බලන්ඩ ඔයා උත්තරේ ගත්ත විදිහ..."


"මේකනෙ සර්... " කොල්ල කියනවලු. “අපේ අයිය කෙනෙක් ඉන්නව. පොරට වයස විසි දෙකයි. බාගෙට පිස්සු.“


ඔය වගේ එක භෞතික විද්‍යා ගුරුවරයෙක් පන්තියෙදි ඇහුව සෝක් ප්‍රශ්නයක්: 

බිල්ඩිමක් තියෙනව. ඒකෙ වහලෙටම නගින්න ඉණිමගකුත් තියෙනව. වායු පීඩන මානයක ආධාරයෙන් බිල්ඩිමේ උස හොයාගන්නෙ කොහොමද?

එක ළමයෙක් අත ඉස්සුව. 

“වායු පීඩන මානය බිල්ඩිමේ වහලෙ මට්ටමෙන් බිමට අතාරිනව.“ ගුරුවරයගෙ ඇස් උඩගියා. “ඒක බිමට වැටෙන්ඩ යන කාලය බලල, ඒකට S= 1/2 at^2 සූත්‍රය දාල ගන්නව උස“ 

“එච්චරද තියෙන්නෙ? “ ගුරුවරය කේන්තියෙන් ඇහුව.

“නෑ සර්. තව තියෙනව.“ අරූ කියාගෙන ගියා.

“වායු පීඩන මානය අතේ තියාගෙන ඉණිමග දිගේ නගිනව. ඒ නගින ගමං බිල්ඩිමේ බිත්තියට වායු පීඩන මානය තිය තියා ඒකෙං උස මැනගෙන මැනගෙන යනව. අන්තිමේ කියන්ඩ පුළුවං බිල්ඩිම වායු පිඩන මාන මෙච්චරක් උසයි කියල. ඒක වායු පීඩන මානයෙ උසින් වැඩිකළොත් මෙට්රික් අගයක් ගන්ඩ පුළුවං.

“නැත්තං, දිග නූලක් අරගෙන වායු පීඩන මානය ගැටගහනව ඒකෙ. ඒ කල්ල හිටං, බිල්ඩිමේ වහලෙ උඩ ඉඳං ඒක බිමට පාත් කරනව. වායු පීඩන මානෙ බිමට ආව හැටියෙ, නූලෙ දිග මැනල, ඒකට වායු පීඩන මානෙ උස එකතු කරනව.

“නැත්තං, හොඳට අවුව වැටෙන දවසක වායු පීඩන මානෙ බිම තියල, ඒකෙ හෙවනැල්ලෙ දිග මනිනව. ඒක එක්ක වායු පීඩන මානෙ උසට අනුපාතයක් හදාගන්නව. ඊටපස්සෙ බිල්ඩිමේ හෙවනැල්ල මැනල, අර අනුපාතෙං වැඩිකරනව.

“නැත්තං, නූලක වායු පීඩන මානෙ ගැටගහල, ඒක බිම් මට්ටමේදි පද්දනව, අවලම්බයක් වශයෙන්. ඒකෙන් බිම් මට්ටමේ ගුරුත්වජ ත්වරණය ගණනය කරගන්නව. ඊටපස්සෙ බිල්ඩිමේ වහලෙ මට්ටමේදි අර හදාගත්ත අවලම්බය පද්දනව. ඒකෙන් හොයාගන්නව එතනදි ගුරුත්වජ ත්වරණය. ඒ දෙකේ අන්තරය අනුසාරයෙන් බිල්ඩිමේ උස ගණනය කරනව. සූත්‍රය g = GM/r^2.

“ඒත් නැත්තං ලේසිම වැඩේ, ඔය වායු පීඩන මානය අරගෙන යනව බිල්ඩිමේ සිකුරිටිය ගාවට. ගිහිං එයාට කියනව, “මේ බිල්ඩිමේ උස මට හරියටම හොයල කිව්වොත් මම මේ වායු පීඩන මානෙ තමුසෙට දෙනව...“

Thursday, January 18, 2018

ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක හිනා කතා

https://gath.files.wordpress.com/
2017/05/finding-cell-phone-on-dig.jpg

ලියන්න දේවල් ගොඩක් තියෙද්දි, ඒකට  මහන්සි වෙන්න කාලය හොඳටම මදි උනහම නිකං පිස්සු වගේ වෙනව. ඒ නිසා පාලුව මැකෙන්නයි මගෙ හිත නිදහස් වෙන්නයි එක්ක, ලියන්න හිතුන මට මතකෙට එන විහිළු කතා ටිකක්...

ඕං ටූටන්කාමන්ගෙ මමිය තිබ්බ සකොෆගස් එකේ තිබුණලු පැපිරස් කෑල්ලක්. ටූටා එහා ලෝකෙට ගෙනියන්න ගත්තු ලියවිල්ලක්... හාවඩ් කාටර් (ටූටන්කාමන්ගෙ පිරමීඩෙ ඇරල, ඒක ඇතුළට ගියපු පුරාවිද්‍යාඥයා) ඒක අමාරුවෙං කියවල බලද්දි, ඒක ටූටගෙ සපත්තුවක් කැඩිල හදන්ඩ දීපු කාර්මිකයෙක් ලියල දීපු රිසිට් එකක්.

ඒකෙ උඩම තිබුණු හයිරොග්ලිපික් ලෝගො එක, කයිරෝ වල කඩේක ගහල තියෙනව දැක්ක කියල කාටර්ට මතකයි. ඉතිං කයිරෝ ගිය වෙලාවක කාටර් ඒ කඩේට ගියාලු. එතන කවුන්ටරේ හිටපු ළමයට කාටර් මොකුත් නොකියා අර පැපිරස් එක පෙන්නුවලු.

ඒ ළමය අර පැපිරස් එක අරං ඇතුලට ගියාලු. ගිහිං විනාඩි පහකිං විතර එළියට ඇවිත් ඇහුවලු,

“අර... පොයින්ටඩ් කර්වි බ්‍රවුන් කලර් ඇන්ටික් ෂූ එක නේද සර්...?“ කියල. කාටර් ඔළුව වැනුවලු ඔව් කියන්ඩ.

“අනේ එක්ස්ට්‍රීම්ලි සොරි...“ කෙල්ල කිව්වලු... “...තාම රෙපෙයාර් කරල ඉවර නෑ... සර්ට පුළුවනිද තව සතියකිං විතර ඇවිත් බලන්න...?“

ඕං දවසක් ලන්ඩන් කටුගේ බලන්න අධ්‍යාපන චාරිකාවක් ආව ළමයි ටිකක්,  ඒකෙ  තිබ්බ මමියක් ගාව ඉඳං කතා වෙනවලු:

1 ළමෙය - "අර මොකද්ද ඒකෙ 3500 BC කියල ගහල තියෙන්නෙ?
2 ළමෙය - "ඔය යකා මැරෙන්ඩ ඇත්තෙ වාහනේක හැප්පිල. ඕකව හප්පගෙන ගියපු වාහනේ නම්බරේ වෙන්ඩැති ඔය ගහල තියෙන්නෙ.“

ඕං දවසක් ඉබ්බන්කටුව සුසානභූමිය බලන්ඩ ගියපු කොළඹ ටුවරිස් කෙනෙක්, ඒ ළඟ හිටපු ගම් වැසියෙක්ගෙං ඇහුවලු, "අංකල් මේ නටඹුන් කොච්චර පරණද?“ කියල.

“අවුරුදු තිස්දාස් තිස් පහයි“ අංකලුත් ගත් කටටම කිව්වලු.

“ඈ...!“ අර ලෝකල් ටුවරිස් ගෙ ඇස් උඩ ගියාලු පුදුමෙට. “අංකල් කොහොමද හරියටම ගාණ කිව්වෙ?“

“එකදාස් නමසිය අසූදෙකේ ඔය නටඹුන් හාරන්ඩ ආවනෙ මද්දියම සඟිස්කුරුත මහත්තුරු... ඒ ඈයො කිව්ව මේ නටඹුන් අවුරුදු තිස්දාහක් පරණයි කියල. ඉතිං දැං දෙදාස් දාහතනෙ. මේ අවුරුද්ද වෙනකොට මෙව්වට වයස අවුරුදු තිස්දාස් තිස්පහයි...“ අංකලුත් හිනාවෙලා හෙම කිව්වලු.

ඉබ්බන්කටුව මෙගලිතික සුසාන
http://www.dinamina.lk/sites/default/files/news
/2015/06/24/mainimage/din-06-25-nn-02-dim24062015.jpg
ඔය ටුවරිස් ම ගියාලු දවසක් ගඩලාදෙණිය, ඇම්බැක්ක පැත්තෙ. ඒ ගිය වෙලේ ආරංචි උනාලු රොබට් නොක්ස් හිටපු එළදැත්ත ගම තියෙන්නෙ ඔය කිට්ටුව කියල. ඉතිං උන්දැ ඒ පැත්තෙත් ගියාලු පරණ දේවලට තියෙන ආසාවට. ගිහිං ගමේ වයස පහේ උදවියගෙං, ත්‍රී වීල් කාරයිංගෙං එහෙම අහනවලු, “මේ ගමේ නේද රොබට් නොක්ස් උන්නෙ?“ “එයා හිටියෙ කොයි ඉසව්වෙද?“ “එයා පාවිච්චි කරපුව එහෙම නැද්ද?“ වගේ ප්‍රශ්න. එහෙම කතා කර කර ඉද්දි ගමේ එක ගෙදරක අංකල් කෙනෙක් පෙන්නුවලු හොඳටම ගෙවිච්ච උදළු කෙටියක්. පෙන්නල කිව්වලු, “මේ තමයි රොබට් නොක්ස් පාවිච්චි කරපු උදැල්ල“ කියල. 

ටුවරිසුත් හොඳට බැලුවලු උදැල්ල අතට අරං... 

“ඈ...! මේක කිඹුල උදැල්ලක් නෙ...“ 

“මේකනෙ මහත්තයො...“ අංකල් කිව්වලු. “රොබට් නොක්ස් ගෙ උදැල්ල තමා මේ. එයා ගෙ කාලෙ තිබ්බ තලේ ගෙවිල ගියාට පස්සෙ අලුත් තලෙයක් දාල තියෙනව. මිට දිරල ගියාට පස්සෙ අලුතිං මිටත් ගහල තියෙනව. ඔය විදිහට දහ - පාළොස් සැරෙයක් මිටයි තලෙයි අලුත් කළාට මොකද, මේක රොබට් නොක්ස්ගෙ උදැල්ලම තමයි...“

අපි විද්‍යාලංකාර පිරිවෙණේ බාහිර උපාධිය කරද්දි, අපිට පුරාවිද්‍යාව උගන්නපු ලොකු සර්, ශාන්ත බණ්ඩාරනායක මහත්තෙය ගෙ ගම ඔය එළදැත්තට අල්ලපු ගම. අපි දවසක් එයාගෙ අම්මගෙ මළගෙදර ගිය වෙලේ තමයි ඒක දැනගත්තෙ. ඉතිං මං ඔය කතාව එයාගෙං ඇහුවම එයා අපිට කිව්ව, ඔය විදිහටම මින්නේරිය පැත්තෙ තියෙනවලු මහසෙන් රජ්ජුරුවො මින්නේරිය වැවේ වැව්බැම්මෙ මංගල පස් පිඩැල්ල කපපු උදැල්ල...

ඊශ්‍රායෙල් කාන්තාර ප්‍රදේශෙක කැණීම් කරපු පුරාවිද්‍යාඥයෙකුට හම්බුණා මමියක්. එයා ඒක උඩිං පල්ලෙං පරීක්ෂා කරල භාරදුන්න කෞතුකාගාරෙකට. භාර දෙනකොට කිව්වලු, “ මේ අවුරුදු තුන්දාහකට එහා පරණ මමියක්. මේ පුද්ගලය මැරිල තියෙන්න‍ෙ හාට් ඇටෑක් එකකිං.“ කියල.

කෞතුකාගාරෙ විද්‍යාඥයො කීප දෙනෙක් එකතු වෙලා මාස තුනක් විතර මේ මමිය පරීක්ෂා කරල අන්තිමට හොයාගත්තලු මේ පුරාවිද්‍යාඥය කියපු කතාව ඇත්ත බව. 

පස්සෙ දවසක කටුගෙයි අධ්‍යක්ෂ මේ පුරාවිද්‍යාඥය හම්බුණු වෙලාවක ඇහුවලු, “කොහොමද ඔයා අර තරම් දක්ෂ විදිහට අර මමිය අයිති මනුස්සය මියගිය හේතුව හොයාගත්තෙ?“ කියල.

පුරාවිද්‍යාඥ ඇහුවලු, “ඇයි ඔයා දැක්කෙ නැද්ද එයාගෙ අතේ පරණ ලියවිල්ලක් තිබුණ?“

“දැක්ක... ඉතිං?“ 

“ඉතිං ඒක මං කියෙව්ව. ඒකෙ තිබුණෙ බෙටිං සෙන්ටර් එකක රිසිට් එකක්. උන්දැ ඔට්ටු අල්ලල තිබුණ ගොලායත් දිනන බවට රිදී ශෙකල් දහදාහක්...“

වැඩිපුර බලපු ලිපි