Tuesday, February 23, 2021

අවසානයක් නොවේ - 30

"ඔව්... දෙන්නා ම තමයි" සුමන වාඩි වී සිටි තැනින් නැඟිට ඇත්කඳ ළිහිණියා වෙත පිය නැගුවේ ය. ඔහු දැවැන්ත පක්ෂිරූපාකාර සත්ත්වයාගේ මුහුණ දෙසට සිය සුරත දිගු කරත්ම, ළිහිණියා ගෙළ දිගු කරමින් හිස බිමට පහත් කළේ කර මතට නැඟීමට පහසුු කරවමිනි. සුමන ඉතා පහසුවෙන් වම් පය ඔසවා ඓරාවණගේ කර මතට පැන, හරි බරි ගැසුණි. ඔහු අනුගමනය කළ තාරා, බිම සිටිමින් ම නෝර්ඩික් නාවුකයාට ද ළිහිණියාගේ කර මතට නැගීමට උදව් කළා ය. ඩ්‍රේක් සුමනගේ පිටුුපසින් වාඩි වූ විගස, ඔහු ගේ බාහුවේ එල්ලී, සුඛනම්‍ය ලීලාවෙන් කෙටි පිම්මක් ඉහළට පිනූ කාන්තාව පුරුෂයන් දෙ දෙනාට ම පිටුපසින් ඇත්කඳ ළිහිණියාගේ කර මතට නැග ගත්තේ සැහැල්ලුවෙනි. 

එවිගස, සුමනගේ විළුඹින් පැහැරුණු ඇත්කඳ ළිහිණියා දුන්නෙන් මිදුනු ඊයකටත් වඩා වේගයෙන් අහසට නැඟුනේ ය. 

එවැනි වේගයක් අපේකෂා නොකළ ඇඩම් ගේ හිස කැරකෙන්නාක් මෙන් ඔහුට දැණුනි. භයංකර කුණාටු මැද, බමරයක් සේ වැනෙන කුඹ ගස් මුදුනේ, හරස් රුවල් දඬු දිගේ කෙටි අසිපත වනමින් සැහැල්ලුවෙන් දිව ගිය පළපුරුද්ද තිබුණ ද, මේ අත්දැකීම ඒ සියල්ලට වඩා අතිශයින් වෙනස් විය.

මොහොතකින් වළාකුළු පසුකරමින් ඉහළ නැඟුනු ළිහිණියා ආපසු පහතට බැස්සේ උල්කාෂ්මයක් බඳු වේගයකිනි. පුළුන් තීරු වැනි වළාකුළු ඉරාගෙන පහතට එද්දී, මිනිස් පහසක් නොලද නැවුම් කොළපැහැ තණ බිමක් මිහිදුම අතරින් මතු වී ආයේ ය. දැවැන්ත වටකුරු ගල් විසිරුණු උස් සානුවක් මැද...පෙණ කැටි නඟන දිය පහර කිහිපයක් සතර අතට ගළා යන කළු වන් දියෙන් පිරි විලක්...විල් ඉවුරෙහි එක් පසෙක සිටුවන ලද ගල් කුළු වලින් සැදුණු වටයක්... නාවුකයාගේ ඇසට ලක් විය.


කුඤ්චනාදය වැනි තියුණු හඬක් නඟමින් ඓරාවණ ගල් වටය අසල බිමට පහත් විය. වේගයෙන් පතිත වූව ද, උගේ කර මත සිටි මඟියන් ති දෙනාට යන්තමින් හෝ කම්පණයක් නොදැනුණි.

"නුඹලා ට..." අග්නි කියන්නට ආ දෙය ගිළ ගත්තා ය. වම් පය පක්ෂියාගේ හිසට ඉහළින් දකුණු පසට ගත් සුමන උගේ කර මතින් ලුහුටා බිමට පැන ගනිද්දී, ගල් වටය තුළ පුරුෂයන් සිවු දෙනෙකු සිටි බව ඩ්‍රේක් දුටුවේ ය. 

"ටිරෙල්!"

ඇඩම් ගේ කටහඬ සමඟින්, ඔහුගේ පැරණි සහචරයා වාඩි වී සිටි තැනින් නැඟිට, ගල් වටයෙන් එළියට දිව ආවේ නිතැතිනි. අද්මිරාල් ද සුමන අනුකරණය කරමින් ළිහිණියාගේ කර මතින් බිමට පැන, සිය පැරණි සගයා වැළඳ ගත්තේ ය.

*    *    *

"ටිරෙල් කියපු විස්තරය ඇත්ත බව මම තවත් මාර්ග කීපයකින් තහවුරු කරගත්තා." ඉන්ද්‍ර කීවේ ය. සය දෙනා ම සිටියේ ගල් වටය තුළ වූ කුඩා ගල් මත වාඩි වී ගෙන ය. "මේ පාර නම් කන්ද උඩ රට රාජසිංහ රජ්ජුරුවන්ගේ අත්තනෝමතික පාලනය ඉවරයක් ම කරන්න හැකියාව කැරළි කාරයන්ට තියෙනව. ලුණුගල ධර්මකීර්ති තෙරුන්නාන්සෙ යි, වැලිවිට සරණංකර පොඩි උන්නාන්සෙ යි හැම දෙයක් ම තිතට ම සැළසුම් කරලා. වෙන්න පුළුවන් කුඩා මහත් හැම විකල්පයකට ම මුහුණ දෙන්න මේ අය සූදානම්.

"ඒත්, රාසිං දෙයියො කම්මුතු කරලා රජකමට පත් කරගන්නෙ කාවද? අන්න එතනයි ගැටළුව. රාජසිංහ රජ්ජුරුවන්ගෙ පුතා, මහාස්ථානෙ කුමාරයාට නම් මිනිස්සුන්ගෙ පොඩි හරි පක්ෂපාත කමක් තිබුණා. ඒත් මේ රජ කරවන්න යන කරල්ලියද්දෙ බණ්ඩාර ගෙ මුණුපුරාට උඩරට මිනිස්සු පක්ෂපාති වෙන්නෙ නෑ. යමසිංහ කුමාරයටත් රජකමේ ඉන්න පුළුවන් වුණේ ටික දවසයි. කුසුම් අස්ථාන හෙවත් දෝන කතිරිනා පණ රැකගත්තෙ, විමලධර්මසූරිය රජු සරණපාවා ගත්ත නිසා... පරංගීන්ගෙ රැකවරණය ගත්ත උදවිය ගැන උඩරට පැහැදීමක් නෑ. 

"මේකෙන් වෙන්නෙ කන්ද උඩරට අස්ථාවර වෙන එකයි. ඒක හින්දා මම කියන්නෙ මේ කැරැල්ලට ඉඩ දෙන්න නාකයි."

මිත්‍ර සහ ඉන්ද්‍ර එකඟත්වය පළකරමින් හිස සළනු දුටු තාරා මවිතයට පත් වූවා ය.

"අපි කොනප්පු බණ්ඩාර ගැනත් හිතුවෙ ඔය විදිහට තමයි." ඇගේ වචනවල වේගයෙන් ඩ්‍රේක් සහ ටිරෙල් මුහුණ ට මුහුණ බලා ගත්හ.

"කොනප්පු බණ්ඩාරත් පරංගි ආරක්ෂාව ලබාගෙන හැදුණු වැඩුණු කෙනෙක්. ඒ උනත් කන්ද උඩරටට ආව ගමන් එතුමා සිංහල පැත්ත අරගත්තා. ඒකෙන් ම උඩරට එතුමාට පක්ෂපාතී වුණා..."

"නෑ... ඒක වුණේ එහෙම නෙවෙයි." මිත්‍ර කීවේ ය. "එයාගෙ පියා අසාධාරණ විදිහට මරවපු නිසා එයාට කොහොමත් උඩරට රදළයන් අතර පක්ෂපාතී පදනමක් හැදිලා තිබුණා. පරංගි හමුදාවත් එක්ක උඩරටට එද්දී රහස් පණිවුඩ කාරය‌ො මාර්ගෙන් එයා රදළයො බර ගාණක් තමන්ගෙ පැත්තට නම්මගෙන හිටියෙ."

"ඉතින් මේ වතාවෙත් එහෙම වෙයි කියල කොහොම ද කියන්නෙ?" අග්නි ඇසුවා ය. "ඒ විදිහෙ ක්‍රියා මාර්ගයක් මේ වතාවෙ සිද්ධ වෙන් නෑ..."

"හැබැයි ඒකෙ ඇත්තක් තියෙනව." ටිරෙල් මැදිහත් විය. "ධර්මකීර්ති උන්නාන්සෙ ගෙ පස්සෙ ඉන්නෙ ගංතලාවෙ දිසානායක යි, වන්නි වරුයි, තව කීප දෙනෙකුයි විතරයි. උඩරට රදළයො කවූරුවත් නෑ."

"රාසිං දෙයියන්ටත් උඩරට කැමැත්ත තියෙන්නෙ මතු පිටිං විතරයි..." සුමන කීයේ ය.

"කවුද එතකොට ලෙව්කේ කියන්නෙ?" අග්නි මාතෘකාව වෙනත් අතකට හැරෙව්වා ය. "ධර්මකීර්ති උන්නාන්සෙයි, ගංතලාවෙ රටේ රාළයි පස්සෙන් ඉන්න නියම මොළ කාරයා ලෙව්කේ කියල පේනව. කවුද ඒ?"

"ඒ ගැන නං කිසිම තොරතුරක් දැනගන්න විදිහක් නෑ. හතර කෝරළේ විජේසුන්දර බණ්ඩාරගෙ පරම්පරාවෙ කෙනෙක්... ඒ වගේම කලින් මහණ වෙලා ඉඳල තියෙනව. සිවුරෙ ඉඳපු කාලෙ වැලිවිට පොඩි උන්නාන්සෙ ගෙ ගුරුවරයෙක්..." ඉන්ද්‍ර කීයේ ය.

"ඒත් මම දැකපු ලෙව්කේ දිසාව නං සිවුරෙ උන්නා කියලා මොන විදිහකින්වත් කියන්න බෑ." ටිරෙල් කීවේ ය. "ගස් ගල් උදුරන්න තරම් ශක්තියක් තියෙන, ඒ වගේම පුදුම හිතෙන විදිහේ සටන් හැකියාවක් තියෙන කෙනෙක්. දවසක් ගංතලාවෙ දි උන්නැහැ ගැන දන්නැතුව අභියෝග කරපු මදාවි හතර දෙනෙක් ට මහ පුදුම වැඩක් කළා...

 "උන්නැහැ කෙසෙල් පඳුරු කීපයක් තිබුුුුණු මණ්ඩියකට ගිහිං, හීනි වේ රෑණක් අතිං අල්ලගෙන උඩ පිනුමක් ගැහුවා. ඒ පිනුම පැනලා බිමට එද්දි, බොහොම වේගයෙන් කැරකිි කැරකී, අර වේ රැණෙන් ගහලා, කෙසෙල් පඳුරු ටික පෙති පෙති ගහලා දැම්මා. දෙපය බිම ගහද්දි වටේ විසිරුණු කෙසෙල් පතුරු මිසක්, අර මහ කෙසෙල් ගස් එකක්වත්, අඩුම ගානෙ මොටෙයියෙක්වත් ඉතුරු වෙලා තිබුණෙ නෑ..."

"ඔය කියන සිද්ධිය නුඹ ඇහැටම දැක්කද?" ඩ්‍රේක් ඇසීය. 

"ආයෙ මොනවද? මට ඇස් අදහාගන්න බැරිවුණා."

"හොඳයි... අංගං හරඹ පැත්තකිං තියමුකො. මොකද්ද ලෙව්කේ ට තියෙන උවමනාව රාජසිංහ රජ්ජුරුවො අයිං කරලා, ගැටවර කුමාරයෙක් රජ කරන්න?" අග්නි විමසුවා ය.

ස්වල්ප වේලාවක් යනතුරු ඇසුනේ අසළින් ගළා යන දිය පහරේ සිරි සිරියත්, රෑහි හඬත් පමණකි...

"බෝ ඔය කියන්නෙ රූකඩ කුමාරයෙක් හිටවලා ලෙව්කේ රජවෙන්න යනව කියලද?" සුමන ඇසී ය.

"කොහොමත් අපි මේ කැරැල්ල නවත්තන්න උවමනයි." ඉන්ද්‍ර කීයේ ය. "දේව අස්ථාන කුමාරයා හෙවත් රාජසිංහ, කුසුම් අස්ථාන කුමාරි ගේ පරම්පරාවෙන් රජකමට උරුමක්කාරයා වෙලා ඉවරයි. හතර කෝරළේ ලෙව්කේ දිසාව කොයිතරං කූට වුණත්, ශූරයෙක් වුණත්, උඩරට එක්සත් කරන්න එයාට පුළුවන් කමක් නෑ. එයා එක්ක ඉන්නෙ ගණින්නාන්සෙලා, තෙරුන්නාන්සෙලා අතලොස්සකුයි, පිටිසර රදළයො ටිකකුයි විතරයි. මේකෙන් වෙන්නෙ උඩරට එකමුතු බව කැඩිලා ඕලන්දේසියාට තවත් පහසුකම් සැපයෙන එක විතරයි."

"ඔය ඕනෙම දෙයක් වෙන්න පුළුවන්..." අග්නි විරුද්ධ විය. 

*    *    *

ඇඩම් අවදි වූයේ එක් වර ම ය. ඔහුගේ තොල් මතට සිහිල් පැන් බින්දුවක් වැටෙනු සිහිනයෙන් මෙන් දැනී තිබුණි. දෑස් අඩ අඳුරට හුරු වනවාත් සමඟ, සිය හිස අසළ බිම වාඩිවී, තම මුහුණ දෙසට නැඹුරු වී සිටි තරුණියගේ රූබර මුහුණ ඔහුට හඳුනාගත හැකි විය.

නාවුකයා වැතිර සිටියේ ගල් ගුහාවක, පැතලි ගල් තළාව මත එළන ලද ගවර හමක් මත ය. අසළ වූ විලෙන් සිව් දෙසට ගළා යන දියපහරවල සිරි සිරිය අනවරත නැළවිලි ගීයක් සෙයින් ඇසෙමින් පැවතිණ. කණට හුරුව තිබූ රැහැයි නාදය ඊට වෙසෙසින් අවධානය යොමු කළහොත් විණා ඇසුණේ නැත. 

අග්නි සිය දෙතොල් මත සිරස් අතට සුරතේ දබරැඟිල්ල තබා, නිහඬ වන ලෙස සන් කළා ය.

හිස ඔසවා අවට බැලූ ඩ්‍රේක් ගේ දෑසට එක්වරම ලක්වුණේ, තැන තැන විසිරෙන ගිණි පුපුරු වැනි කණා මැදිරියන් ය. රහස් දූරයේ සෙසු සාමාජිකයෝ ගල් තලාව මත එළන ලද සම්කඩවල් මත වැතිර සුව නින්දේ පසුවූහ.

හඬ නොනැගෙන සේ නැගිටගත් තාරා අනුව, ඇඩම් ද සීරුවෙන් නැගිට්ටේ ය. තමා පසුපස එන ලෙස අතින් සන් කළ තරුණිය සෙමෙන් සෙමෙන් ගල් ගුහාව අභ්‍යන්තරය දෙසට පිය නැගුවා ය.


ඉතිරි කොටස 

සෑහෙන කාලයකට පසු බලාපොරොත්තු වන්න...

Saturday, February 13, 2021

අවසානයක් නොවේ - 29

කුඤ්චනාද දහසක් එකපිට නැඟෙන්නා සේ කණ හිරිවැටෙන සුළු තියුණු හඬක් ඇසු‌නේ එක් වරමය. හාත්පස හෙවුණු ගස් අතු පතර කුණාටුවකට අසුවුණාක් මෙන් කරකැවෙන්නට විය. අශ්වයන් දෙ දෙනා කුළප්පු වී වනය තුළට දුවද්දී, දැවැන්ත අත් පසුරු දෙකකින් ඒ සතුන් දෙ දෙනා අල්ලා ගැනෙනු මඟියෝ දෙ දෙනා දුටහ. අත්තටු ගැසෙන හඬ, ගස් අතු වැනෙමින් කඩා වැටෙන හඩ, සමඟ මුසුවූ අශ්වයන්ගේ විළාප හඬ... අතර මැද, නාවුකයා සහ දුර්ගා තමන් සිටි දැවැන්ත ගසෙහි මුල් අතර ගුළි වූහ.

28 කොටස...

දෑත් හිස පිටුපසින් යවා, හිස පහත් කරගෙන, උක්කුටියෙන් බිම වාඩි වූ ඇඩම් යළි හිස එසවූයේ අග්නි ගේ තියුණු කටහඬිනි.

"යක්ෂ සුමන...!"

ප්‍රචණ්ඩව ඒ මේ අත හමන සුළඟ තවමත් සංසිඳී නැත. සුළඟින් ඇවිස්සුනු දුහුවිලි හා කොළ රොඩු වළාව අතරින් ඉදිරියට ඇවිද යමින් සිටි අග්නි ගේ සිහින් සිරුර... සුළඟ සමඟ ඉගිළෙන්නට තැත් කරන ඇගේ කළුවන් ඝන කේෂ කළාපය... යුරෝපීයයාගේ නෙතට ලක් විය.

ඩ්‍රේක් නැඟිට සිය සහචරිය වෙත දුවන්නට පළමු පියවර තැබුවා පමණි...

මාරක කුඤ්චනාද හඬ නඟමින්, දැවැන්ත පියාපත් ගැටෙන ශබ්දය හාත්පස පතුරවමින්, අති දැවැන්ත පක්ෂි රූපාකාර සත්ත්වයෙක් බිමට පහත් විය. උගේ හිසෙහි තිබුණේ හොටයක් නොව, හොඬවැලක් බඳු ව්‍යුහයකි. එහි මුලිින් එළියට ඇදුනු දිගු උල් දත් අතර, අශ්වයන්ගේ ශරීර කොටස් රැඳී තිබුණි. 


බොරළු කැට, තණ පඳුරු හා කොළ රොඩු අවුස්සමින්, දැවැන්ත නිය පහුරු බිම ගැසූ ඇත්කඳ ළිහිණියා, පියාපත් අකුළාගෙන බිමට නැඹුරු වෙද්දී, උගේ කර මත පුද්ගලයෙකු සිටි බව පෙනුණි. සුදුවන් වස්ත්‍රයෙන් සැරසී, සුදුවන් ජටාවක් හිස පැළඳි ඔහු, සිය වමතෙහි වූ මහනෙල් මලක් අග්නි දෙස ට විසි කළේ ය. කාන්තාව වම් පාදය බිමට තෙරපමින් මඳක් ඉදිරියට පැන ඒ මලෙහි නටුවෙන් අල්ලාගත්තා ය.

එක් අවස්ථාවක දී තම ජීවිතය බේරා දුන්, තමන් රහස් දූරයට බඳවාගත් තැනැත්තා වූ සුමන අඳුනාගැනීමට ඩ්‍රේක් හට හැකි වුයේ දුහුවිලි වළාව සංසිඳී යද්දී ය.

"නුඹ නම් වෙසමුණි කියන නමට ම ගැළපෙන විදිහටයි වැඩ කරන්නෙ..." අග්නි කීවේ මැඬගත් කෝපයෙන් බව ඇඩම් හට වැටහිණ.

"දහස් වාරයක් සමා වෙන්න සහෝදරී..." සිය වම් පය ළිහිණියාගේ හිසට ඉහළින් කරකවා දකුණු පැත්තට ගෙන බිමට පනිමින් සුමන කීවේ ය. "මේක ඉතාම හදිසි අවස්ථාවක් නිසයි මේ විදිහට ආවේ. එන්න පුළුවන් වේගවත් ම ක්‍රමය විදිහට පෙනුණෙ ඓරාවණ..." ඔහු වමතින් ඇත්කඳ ළිහිණියාගේ බඳට තට්ටු කළේ ය.

"මේ වගේ වැඩ කමක් නෑ, මීට අවුරුදු දෙදාහකට විතර උඩදි කළා නම්. දැන් මේ රට මිනිස්සුන්ගෙන් පිරිලා. නුඹ මේ කරපු දේ මිනිස්සු දැක්ක නම්, අනවශ්‍ය අවධානයක් ඇති වෙනව. අන්තිමේ කෙළවර වෙන්නෙ මෙතන මහ දේවාලයක් හැදිලා, වන්දනාකාරයො ගැවසෙන්න අරන්, මේ ලස්සන වනාන්තරයත් විනාශ වෙලා..."

"කාරණේ බරපතළකම එයිට වැඩියි" සුමන තමා පසුපසින් එන දෙදෙනා ද කැටිව දොළපාර වෙත ගියේ ය. එහි වූ මඳක් උසැති වටකුරු ගලක් මත වාඩි වූ හෙතෙම, ඉණතුරේ මඩියෙන් ගත් පුවක් කැබැල්ලක් කටේ දමාගෙන හපමින්, බුලත් කොලයක දෙකෙළවර කැඩී ය. 

ඩ්‍රේක් සහ දුර්ගා ඔහු ඉදිරිපසින් වූ ගල් මත වාඩි වූූයේ කුතුහලයෙන් පිරී යමිනි.

"මතක ඇති අවුරුදු කීපයකට උඩදි මහ රජ්ජුරුවො නටාපු නිල්ලඹේ කැරැල්ල නාඩගම?" සුමන අග්නි දෙස බැලී ය. 

"මට මතකයි හොඳටම. ඒත් ඩ්‍රේක් ඒ ගැන මොනවත් දන්නෑ නෙ." ඇය නාවුකයාගේ දෑස් දෙස බැලුවා ය. "මම ඒ ගැන ‌කෙටියෙන් කියන්නං...?" සුමන එකඟත්වය පළ කරමින් හිස සැළී ය.

"අවුරුදු කීපයකට කලින් වල්ග තරුවක් පෑයුවා මතක ඇති?" 

"ඔව්?" ඇඩම් කීය. "ඒ වෙනකොට මම හිටියෙ ඇලෙක්සැන්ඩ්‍රියාවෙ..."

"ඔන්න ඔය වල්ගා තරුවත් එක්ක, මේ රටේ මිනිස්සුන්ගෙ මිත්‍යා විශ්වාසත් අල්ලලා, රාජසිංහ රජ්ජුරුවන්ට විරුද්ධව කැරැල්ලක් ඇති වුණා. පෝයමළු විහාරෙ සිරිනිවාස තෙරුන්නාන්සෙ ගෙ මෙහෙයවීමෙන්, අඹන්වෙල රාළ කියලා දිසාවෙ කෙනෙක් මිනිස්සු සංවිධානය කරවලා, නිල්ලඹේ මාළිගාවට කඩා පැනලා, රජ්ජුරුවො ළඟින්ම හිටපු මිනිස්සු මහ ගොඩක් මැරෙව්වා. ඒ කැරැල්ල වෙලාවෙදි රජ්ජුරුවො දෙගල්දොරුව හරහා ගලබොඩ වත්තට ගිහිං උන්නෙ. එක රැයින්, ඇත්තටම කියතොත් පාන්දරක පැය කීපයක් ඇතුළත, මුළු මාළිගාව ම යටත් කරගත්ත කැරළි කාරයො, රජ්ජුරුවන්ගෙ පුතා මහස්ථානෙ කුමාරයා රජකමට පත් කරගත්තා. රජ්ජුරුවො රට පාලනය කරපු නපුරු ක්‍රමය තමයි කැරැල්ලට හේතුව කියලා ඉස්මතු වුණේ. රජතුමා දඩයමත්, ගැහැණු ඇසුරත් මිස රාජසභාවෙ උපදෙස් අනුව රට පාලනය කරන්නෙ නෑ කියන එක ඒ වෙලාවෙදි කතා බහට ලක් වුණා.

"නමුත් දවස් කීපයකින් ම අලුත් රජතුමා තමන්ගෙ නැන්දා වුණු, රාජසිංහ රජුගේ අක්කා, උඩුමාලේ අදසින් එක්ක වෙනම සුළු සේනාවක් සහ චර පුරුෂයන් මාළිගාවට රැස් කළා. එතනදි කැරළි කාරයො පසු බැහැලා ලන්දේසි පාලන ප්‍රදේශයට යන්ට, කටුගස්තොට ට ගියා. එතනදි ඒ අය රාජකීය හමුදාවට කොටු වුණා. කැරැල්ලෙ නායකයො හැම දෙනාම මැරෙව්වත්, රාජසිංහ රජතුමා අඹන්වෙල රාළ ව මැරෙව්වෙ නෑ. ඉබ්බා දියේ දැම්මා වගේ අඹන්වෙල රාළ ලන්දේසීන් ළඟට යවාපු එක තමයි රජතුමා දුන්න දඬුවම..."

ප්‍රසන්න වීරක්කොඩි ගේ චිත්‍රයකි

"මොනවා?" ඇඩම් ගේ දෑස් මවිතයෙන් විදැහිණි. "ඒ මොකටද?"

"සිංහලේ තියෙන දෙතිස්වධ මේ වගේ රාජ ද්‍රෝහියෙකුට ප්‍රමාණවත් නැති නිසා, ලන්දේසීන් දන්න වධ පමුණුවන්නයි යැව්වෙ කියලා තමයි ඒ ගැන රජවාසල කිව්වෙ..." සුමන පැහැදිළි කළේ ය.

"ඇත්තටම ඒක රජතුමා ම, ඇති කරවපු කැරැල්ලක් බව අපටත් තේරුණේ පස්සෙයි." අග්නි කීවා ය. "මොකද, කැරැල්ලෙ මහමොළකාරයො වුණු සිරිනිවාස තෙරුන්නාන්සෙ යි, අඹන්වෙල රාළයි රජ්ජුරුවන් අතින් ජීවිතේ බේර ගත්තා. රජ්ජුරුවො කළේ, කාලයක් තිස්සෙ තමන් ට සමීපව ඉන්න ගමන් විවිධාකාර හතුරුකම් කරපු වාසලේ නිළමක්කාරයො සෑහෙන ප්‍රමාණයක් කැරැල්ල පිටින් දාලා මරවපු එකයි. ඊට පස්සේ ඒ උදවියගෙ දරුවන්ට, එක එක දිසාවනිවල තාන්න මාන්න දීලා ඇතුල් නුවරින් පිටමං කළා.

"මේ පාර රාසිං දෙයියන්ට ලැබෙන්න යන්නෙ නිල්ලඹේ කැරැල්ලෙ ප්‍රති විපාකය..." සුමන කීවේ ය. "පහුගිය වතාවෙ කැරලි කාරයො අතින් මැරුණු අලුවිහාරෙ වනිගසේකරගෙත්, කොබ්බැවැල්ලෙගෙත්, මාතර කුරුප්පුරාළගෙත් පුත්තු ගන්තලාවෙ දිසානායක රටේ රාළයි සේරුවිල විහාරෙ ලුණුගල තෙරුන්නාන්සෙයි එක්ක එකතුවෙලා මේ පාර රාසිං දෙයියො චුත කරන්න ම දිවුරලා තියෙනවා කියල ආරංචිය. ඒ ගැන සෑහෙන විස්තර ඉන්ද්‍ර හොයාගෙන තියෙනව. මම තකහණියක් ආවෙ ඒකයි. කලින් වතාවෙ අපි මධ්‍යස්ථව හිටියට, සිදුවුණු ජීවිත හාණිය වගේම, අඹන්වෙල රාළගෙන් ලන්දේසින්ට තොරතුරු ලැබීමත් වළක්ව ගන්න අපට බැරි වුණා. මේ වතාවෙ අපි මේ ගැන මොනව හරි කරන එක හොඳයි කියලා ඉන්ද්‍ර හිතනවා. ඒ ගැන කතා කරන්න ඔය දෙන්නත් එක්කගෙන යන්න මං ආවෙ."

"අපි දෙන්නා?" අග්නි ඇසුවේ එක් වරම ය.

30 වෙනි කොටස

වැඩිපුර බලපු ලිපි