36 කොටස...
හිරු ගේ රෂ්මිය එන්න එන්න ම දැඩි වෙමින් යද්දී, සම පිළිස්සෙන සියුම් සුවඳ නාවුකයා හට දැනිණ. වෙද මුදලි වළව්වේ ඉඩම කෙළවර ඔසු උයන ට පිවිසෙත් ම ඔහුට දැනුණේ සහනයකි. හිසට ඉහළින් වූ තුරු වියනින් හිරු රැස් වැළැක්වුණෙන්, පිළිස්සීම නතර වූව ද, හිරු එළියෙන් දෑස් දැවීම නැවතුණේ නැත.
කායික පීඩාවත් දැවෙන දෑසින් දර්ශන පථය ට වූ බාධාවත් හේතුවෙන් ඉදිරිය නොපැහැදිළි වූව ද, ඩ්‍රේක් දිව යන වේගය අඩු කළේ නැත.
* * *
ලෝකී තම සෙවනැල්ලෙන් නිපන් අනෙකා දෙස බලා, වමත දිගුකොට, වම් පසට වැටුණු මාර්ගය දැක්වී ය. වචනයකුදු නොතෙපළා ඒ දෙදෙනා දෙ පසට විහිදුනු පාෂාණමය කොරිඩෝ දෙක ඔස්සේ යන්නට වූ හ. ඉතා ම ප්‍රවේසමෙන් පියවරක් පියවරක් පාසා හොඳින් සැළකිලිමත් වෙමින් ඉදිරියට ගිය ඡායා ලෝකී, එක්වර ම සිය වම් පය ට පෑගුණු රවුම් ගළක් ඉතා සෙමෙන් පහළට එබී යනු හැඟී හිටිවන ම නතර විය. එ සැණින් ඔහු ගේ දෑස් අසළින් ම කොරිඩෝවේ හරස් අතට කෙටි ඊ තළ පොකුරක් ඇදී ගියේ ය. එතැන් සිට වම් පස බිත්තියෙන් මතු වී දකුණු පස බිත්තිය දෙස ට විදෙන්නට ආරම්භ වූ ඊ සර වැස්සක් කොරිඩෝවේ ඉදිරි කොටසේ අඩි විස්සක පමණ කොටසක් පුරා, පැතිරී ගියේ ය.
ඊ සර විදෙන හඬ ඇසෙන තරම් ආසන්නයේ සිටිය ද, දකුණු පස මග ඔස්සේ ගිය ලෝකී නතර වූයේ නැත. මුලින් ඉතා සෙමෙන් ඇසෙමින් පැවති මිහිරි ලයාන්විත පිරිමි කටහඬ දැන් දැන් ආසන්න වෙමින් පවතී. එන්න එන්න ම තමන් පසුකර යන ගල් ගුහාවේ බිත්ති ග්‍රැනයිට් පාෂාණයෙන් කිරිගරුඬයට හැරෙන බව නෝර්ඩික් යෝටුන්වරයා නිරික්ෂණය කළේ ය. තවත් පියවර විස්සක් හෝ තිහක් යද්දී, කොරිඩෝවේ නැම්මක් හමුවිය. දැන් දැන් නාඳුනන ප්‍රාථමික බසකින් නැගෙන ඒකාකාරී පුරුෂ කටහඬ ඉතා ම ආසන්නයෙන් ඇසෙයි. ලෝකී ගේ අතෙහි වූ කුඩා පන්දමෙහි එළියෙන් කොරිඩෝවේ පාෂාණමය බිත්ති රෝස - රත්පැහැයෙන් බබළයි.
කොරිඩෝවේ වංගුවට පිවිසි නෝර්ඩික් දෙවියා හට සිය දෑස් අදහාගත නොහැකි විය. වංගුවට අඩි දහයක් පමණ ඔබ්බෙන් වූයේ ප්‍රාථමික පෙනුමැති ගල් ලෙණකි. එහි බිත්ති හා පියසි ඉතා රළු වූව ද, එය තැනී තිබූ පාෂාණයේ යම් කිසි අපූර්වත්වයක් විය. එම පාෂාණය මහ පොළොවේ වෙන කිසිම තැනක දක්නට නොලැබෙන, විවිධ වර්ණයන්ගෙන් සැදි කිරිගරුඬයක් වූ බව ලෝකී දුටුවේ ය. ගුහාවේ පියස්සේ කෙළවරක වූ සිදුරකින් ඇතුළට වන් හිරු එළිය තීරුවක්, ගුහාවේ ඔපමට්ටම් නැති පොළොවින් විවිධ පැතිවලට පරාවර්තනය වී තිබුණි. එම එළිය තිරු වැටුණු විවිධ පාෂාණ කොටස් විවිධාකාරයේ වර්ණවත් ආලෝකයන් පරාවර්තනය කළේ ය. ලා නිල්, සුදු, ලා කහ, රෝස, ලා තැඹිලි...
ලෙණෙහි මැද කොටසේ කුඩා පොකුණක් විය. එහි පිරී තිබූ පැහැදිලි දිය ගුහා බිත්තිවලින් පරාවර්තිත ආලෝකයෙන් විවිධ පැහැ ගැන්විණ. පොකුණ ට ඔබ්බෙන් ඊට පිටුපා වීරාසනයෙන් වාඩි වූ පුරුෂයන් ති දෙනෙක් සහ ස්ත්‍රියක වූ හ. ඔවුන් ඉදිරිපිට වූ ගල් ආසනයක යෝගී ඉරියව්වකින් වාඩි වී සිටි, කසාවන් වස්ත්‍රයක් පොරවාගත්, හිස සහ මුහුණ මුඬුකළ මැදි වියේ පුරුෂයෙක්, ඉතා පෞරාණික ආසියාතික භාෂාවකින් යමක් දේශනා කරමින් සිටි හඬ ය, මෙතෙක් ලෝකී හට ඇසෙමින් තිබුණේ.
යෝගාවචරයා හා අනුගාමිකයින් දෙස ට යෝටුන්වරයා හට තැබීමට හැකි වූයේ පියවර දෙකක් පමණි. ඔහුට පිටුපසින් හඬක් නොනඟා ළං වූ සුමන හෙවත් ගලගොඩ නිළමේ, සිය වමතින් ලෝකී ගේ ගෙළ තදින් ග්‍රහණය කළේ ය. ඇසිල්ලකින් සතුරා පිටුපසට අඩි කිහිපයක් ඇද ගත් ගලගොඩ, ඔහුගේ ඉළ පෙදෙස එල්ල කළ බරැති පා පහරින් විසිවූ නෝර්ඩිකයා නතර වූයේ ගල් කොරිඩෝව දෙකට බෙදුණු ස්ථානයේ ය. බිම පතිත වූ ලෝකී නැඟිට්ටුවේ එහි සිටි උසැති දිවි සමින් සැරසීගත් යෝගී පෙනුමැති තරුණයා ය. රුද්‍ර ගේ සුරතෙහි ඇඟිලි සිය ගෙළ වටා අයෝමය ශක්තියකින් වෙළෙනු හැඟෙනවාත් සමඟ ම වැදුණු තවත් පා පහරකින් ලෝකී ගල් ගුහාවෙන් එළිමහනට ම විසි වී ගියේ ය.
විසි වී අවුත් වැටෙණවාත් සමඟම කරණමක් ගැසූ ලෝකී තණ බිම මත දෙපයින් සිට ගත්තේ එළැඹෙන ඕනෑ ම දෙයකට සූදානමිනි. හිස ඔසවා බලන ඔහුගේ ඇස ගැටුණේ ස්ත්‍රීන් දෙ දෙනෙකු සහ පුරුෂයන් හතර දෙනෙකු ඔහු වටකර සිටගෙන සිටින බව ය.
හිස පහත් කරගෙන යන්තමින් දත් පෙන්වා සිනාසුණු යෝටුන්වරයා, වමතෙහි ඇඟිලි දෙකක් මුවතුලට රුවා, දිව නවා සිවුරුහන් ලෑමක් කළේ ය. එසැණින් කළු වළාකුලු රොක් වී හාත්පස අන්ධකාරය පැතිරුණි. අහසේ පිරුණු වළාකුළු වේගයෙන් පහතට ඇදී එනු ලෝකී වටකරගෙන සිටි රහස් දූරයේ වීරයෝ දුට හ. ඒවා තව තවත් පහතට එත් ම, දැවැන්ත අඳුරු නිල්වන් වෘකයන් බවට පත් වනු දුටු සුමන හෙවත් යම, සිය ඉණතුරේ තිබූ කුඩා පිත්තල නලාවක් ගෙන පිම්බේ ය.
වෘකයන් දහ දෙනෙක් පමණ බිම පතිත වූයේ හාත්පස වූ දැවැන්ත ගස් සොළවාගෙන දැවැන්ත වළසෙක් එතැනට කඩා පනිනවාත් සමඟිනි.
|
"ෆෙන්රීර්...! ෆෙන්රීර්...! පියාගේ සතුරන් මරපන්..." |
“ෆෙන්රීර්...! ෆෙන්රීර්...! පියාගේ සතුරන් මරපන්...!” යි ලෝකී මුරගෑවේ ය. කලු නිල්වන් වෘකයෝ දිළිසෙන රත් පැහැ ඇස් සහ කෙළ වෑස්සෙන විරිත්තා ගත් දත් ඇතිව යෝටුන්වරයා ගේ එදිරිකාරයන් වෙත කඩා පැන්නෝ ය. කඩු ඇදගත් මීමුරේ හෙවත් ඉන්ද්‍ර සහ ගලගොඩ ඉදිරියට පැන තමන් වෙත දිව ආ දැවැන්ත වෘකයන් හට හර දුන්හ. ඉස්බක් පමණ අහසට පැන්න රුද්‍ර, සිය සුරතින් ගත් දැවැන්ත ත්‍රිශූලය කරකවමින්, තමාගේ දෙපසින් පහර දීමට ආ වෘකයන් සිවු දෙනෙකු සමඟ එකවිට සටන් කළේ, නර්තන ශිල්පියෙකු ගේ බඳු බුහුටි බවක් පෑවේ ය. ශක්ති හා අග්නි ද දෑතින් ම වකුටු කඩුපත් හසුරුවමින් වෘකයන් මඟ හැර ලෝකී කොටු කරගන්නට උත්සාහ කළ හ. දැවැන්ත වළසා දෙපයින් සිටගෙන තමන් වෙත කඩා පිණූ, එතැන සිටි විශාලතම වෘකයා දෑතින් අල්ලා දෙකට ඉරා දැම්මේ ය. ඌ නැඟූ වේදනාත්මක උඩුබිරුමත් සමඟ ම අනෙක් වෘකයෝ කැළැව තුළට පළා ගිය හ.
දැවැන්ත වළහා හතර පයින් දිව අවුත් සුමන අසළ නැවතුණි. ඔහු දෙපයින් සිටගනිත් දී අඩි හයකටත් වඩා උස් වූ මනුෂ්‍ය ශරීරයකට හැරුණේ ය. හැඩි දැඩි මස්පිඩුවලින් ගැවසි අත පය ද, දළ කළුවන් ලෝමයෙන් වැසුණු ළය හා උදරයෙන් හෙබි ඔහුගේ හිස වෙනුවට තිබුණේ වළස් හිසකි. ජයසේන සුරතින් ගත් ෆෙන්රීර් නම් දැවැන්ත වෘකයා ගේ හිස සුමනගේ දෙපා අසළට අතහැරියේ ය.
රුද්‍ර සිය සුරත හිසට උඩින් ඔසවා පිටුපසට ඇද, ත්‍රිශූලය ලෝකී වෙත දමා ගැසුවේ කිසිවෙකුටත් කිසිවක් සිතා ගැනීමට ඉඩක් නොතබා ය. “ඒකා පණපිටින් අල්ලා ගත යුතුයි. මිත්‍ර ගේ සිහිය ආපිට ගන්න ඔහු උවමනයි” සුමන සංස්කෘත බසින් කෑ ගසද්දී ද, බරැති ලෝකඩ ත්‍රිශූලය ලෝකී ගේ සිරුර පසාකරගෙන ගොසිනි.
නැවතත් ගිණි පුපුරුවලට වෙන්වී විසිරුණු ලෝකී ගේ සිරුර වාතයට මුසු වෙද්දී, ඔහු නැඟූ වියරු සිනා හඬ හාත්පස රැව් නැඟුණේ ය.
එකෙණෙහි ගල් ලෙණ ඉදිරිපිට විවෘත බිම මැද ගිලා බසිමින් දැවැන්ත වළක් මැවුණේ ය. එම වළ වැසී තිබුණේ දැඩි මිහිදුමකිනි. ඒ මිදුම දුමාරයක් මෙන් හාත්පස පැතිර යද්දී ලේ කැටි ගැසෙන තරම් සීතලෙන් සියල්ලෝ ම වෙවුලන්නට පටන් ගත්හ.
වළෙන් එළියට බඩගා එන සතුන් මුලින් ම දුටුවේ අග්නි ය. මුලින් ම ආවේ අලුවන් ලෝමයෙන් වැසුනු කුරු වූ විකෘති මනුෂ්‍යයන් බඳු වූ ට්‍රොල් වරු ය. ගල්ගෙඩි පෙරළෙමින් එන්නාක් මෙන් බිම පෙරළෙමින් ආ ඔවුහු එකා එකා සුමන හෙවත් ගලගොඩ ගේ ද, ඉන්ද්‍ර ගේ ද, ජයසේන ගේ ද පහර කාගෙන වැටුණහ. එහෙත් ඔවුන්ගේ සංඛ්‍යාව සිය ගණනින් වැඩි වී එත් ම, දෙවියන්ට සහ යක්ෂයා ට ඔවුන් මැඩළීම අසීරු වී එන බවක් පෙනෙන්නට විය.
කණ් බිහිරි කරවන හඬක් නඟමින් අහසින් බැස්සේ ඇත් කඳ ළිහිණියා ය. ඊට පිටුපසින් මොණර හිසක් හා දැවැන්ත පියාපත් සහිත තුරඟ සිරුරකින් යුත් මයුරයෙක් බිමට බැස ගත්තේ ය. මයුරයා ගේ පිට මත වූයේ රූමත් හැඩි දැඩි තරුණයෙකි. ඔහු සිය දෑතින් ම කඩුවක් සහ මුගුරක් ගෙන වේගයෙන් වනමින් ට්‍රොල් සතුන් හට අකුණු ගසන්නාක් මෙන් පහර දෙන්නට පටන් ගත්තේ ය. මයුරයා, මයුර වළල්ලක් සේ පෙනෙන ලෙස වේගයෙන් මෙහෙයවමින් සටන් කළ ඔහු ගේ වේගය කෙතරම් වීද යත් ඔහු එකවර අත් දොළසකින් පහර දෙන්නාක් මෙන් පෙනුනේ ය.
ඇත් කඳ ළිහිණියාගේ ගොදුරු බවට පත් නොවී බේරුණු ට්‍රොල්වරුන් පහර කාගෙන වැටෙද්දී වළෙන් මතු වූයේ තද කොළ පැහැති කැත බකළයන් වූ ඕගරයන් ය. බිම වැටි තිබූ ත්‍රිශූලය මයුර හොටින් ඩැහැගෙන අතට ගත් ස්කන්ධ, එය රුද්‍ර ගේ අතට විසි කළේ ය. තමන් මෙතෙක් සටන් කළ වක් අසිපත ශක්ති දෙසට විසි කළ රුද්‍ර බරැති ත්‍රිශූලය ගෙන සිය සිරුර ඉදිරිපසින් කරකැවුයේ ගිණි වළල්ලක් ආකාරයෙනි. ගුහාව තුළ සිට එළියට දිව ආ සුදු හා අළු පැහැති ඉරි වැටුණු හිම ව්‍යාඝ්‍රයෙක් ශක්ති අසළින් නැවතුණේ ය. උගේ පිටට පැන්න තරුණිය, වක් කඩුපත වනමින් ඕගරයන්ට පහර දුන්නා ය. අග්නි සිය වමතෙහි වූ රැහැණකින් සතුරන් එකා බැගින් ඇද, සුරතේ වූ වකුටු අසිපතකින් දෙපළු කළා ය. ඇඟ ලේ සීතල කරවන සුළු මාරාත්මක හූ හඬ නඟමින් දෑතින් සටන් කළ ජයසේන, විටෙක වළසෙකු ලෙසින් ද, විටෙක මනුෂ්‍ය රූපයෙන් ද සතුරන්ට පහර දුන්නේ ය.
ඕගරයන් පසුපසින් ගොඩට ආවේ සුදුවන් හිම යෝධයන් රංචුවකි. හාත්පස වාතාශ්‍රයේ වූ ජල වාෂ්ප සියල්ල සැණෙකින් සිතලෙන් මිදී ගියේ ය. නිවර්තන කළාපයේ වීරයන් වූ දේව මණ්ඩලය ට මිදුණු පිනි මත ලෙස්සා වැටෙමින්, ගැහෙන සිරුරින් යුතු ව සටන් කරන්නට සිදු වූ අතර, හිම යෝධයන්ගේ ඉමහත් ශක්තියට මුහුණ පෑම එන්න එන්න ම අසිරු බව පෙනී ගියේ ය.
එක්වරම කරකැවෙමින් අහසට විසි වී ගිය දැවැන්ත මිටියක්... එහි වෙළුනු විදුලි ආරෝපණය, ලා නිල් වන් විදුලි ඉරි අහසේ ඒ මේ අත විහිදුවද්දී, හාත්පස පිරී තිබූ අඳුරු වළා සී සී කඩ ඉරී ගියේ ය. හිරු ගේ උනුසුම නැවතත් හාත්පස පැතිර යද්දී, ආපිට බිමට වැටෙන මිටිය අල්ලා ගැනීමට පිම්මක් පැන්න ටිරෙල් හෙවත් තෝර්, නැවත බිමට බැස්සේ හිම යෝධයෙකුගේ හිසට මිටි පහරක් දී එය සුණු කරමිනි.
දැවැන්ත වළසෙකු බවට රූපාන්තරණය වූ ජයසේන, යටි උගුරින් කෑ ගසමින් ඉහළට පැන, ඉදිරියෙන් ම සිටි හිම යෝධයාගේ හිසෙහි වූ අං දෙක අල්ලාගෙන, තමන් බිම පතිත වන වේගය හා බර යොදාගෙන ඔහු බිම හෙළා ගත්තේ ය. එසැණින් එහි ළඟා වූ ස්කන්ධ, සිය කඩුවෙන් හෙණ ගසන්නාක් මෙන් පහර දෙකක් දී හිම යෝධයා නිසල කළේ ය. ආපිට හැරුණු ජයසේන, මහසොහොන් වෙස් ගනිමින් ඊළඟ හිම යෝධයා වෙත ද කඩා පැන්නේ ය. තමන් වෙත එන අනතුරට සූදානම් ව සිටි යෝටුනයා, හිස ඉදිරියට නමා ජයසේනගේ පිම්ම සිය අං දෙකෙන් පිළිගත්තෙන්, දෙ දෙනා එකා පිට එකා වැටුණි.
සටන අතර ම, ඉදිරියට එන සතුරන්ට පහර දෙමින් පිටුපසට පියවර කිහිපයක් තැබූ අග්නි, මිහිදුම අතරින් සිය තියුණු ඇස් බැල්ම යොමු කර යමක් සෙව්වා ය. අවසානයේ, මිහිදුම සහ හිම ගළන ආවාටයට ඔබ්බෙන් දැවැන්ත ගසක අත්තක් මත හිඳ සටන රසවිඳින ලෝකී සහ අංග්ර්බෝදා හඳුනාගැනීමට ඈ සමත් විය.
තමා වෙත කඩා පිනූ ඕගරයා ගේ දෑත් වක් කඩුපතින් කපා දැමූ තාරා, අඩියට දෙකට ශක්ති වෙතට ළං වූවා ය. සිය හිම ව්‍යාඝ්‍රයා ඉදිරියට මෙහෙයවූ තරුණිය බිමට පැන, සිය මිතුරිය ගේ කෙටි සැළැස්ම අසා සිටියා ය.
එක මොහොතකදී සිදුවීම් තුනක් සිදුවිය. පහත සිට ඉහළට විසි කෙරුණු වානේ යොත් දෙකක් ලෝකී සහ අංග්ර්බෝදා ගේ සිරුරු වටා එතුනේ සිතුවිල්ලක බඳු වේගයෙනි. ඇතෙකුගේ සොඬට හසුව ඔවුන් වාඩි වී සිටි දැවැන්ත අත්ත බිඳී ගියේ ද එවිට ම ය.
බිම පතිත වූ යෝටුනයෝ දෙ දෙනා සිහි එළවා ගනිද්දී අග්නි සහ ශක්ති සිය වානේ පාෂයන් ඔවුන්ගේ සිරුරු වටා තද කරමින් සිටි අතර, තරබාරු සිරුරැති අයියනායක හෙවත් පුල්ලෙයාර්, ඕනෑම අවස්ථාවකට සූදානම් ව ඔවුන් පිටුපස සිටගෙන සිටිනු දැකිය හැකි විය.
* * *