Wednesday, July 28, 2021

වෙඩිල්ල - මුකබාණා, බුරතීනෝ, නිදි, සිරිබිරිස් ඇතුළු උනන්දුවක් දක්වන සියල්ලන්ගේ ම ලාම්පු සංවේගය උදෙසා...

විභාගයෙන් බාගෙයක් ම ඉවර වේගෙන යන අතර, (තව ඉරිදාවල් දෙකක් තියෙනව...) මේං මෙතන ඇති වෙච්ච කතා බහක් එක්ක මේ පෝස්ට් එක පළ කරන්ඩ සෑහෙන කුතුහලාත්මක උනන්දුවක් ඇති වුණා. 

මේ පළ කරන්ඩ යන්නේ ඩබ්ලිව්. ඒ. සිල්වා ගේ කථා රත්නාකරය කියන කෙටිකතා සංග්‍රහයේ තුන්වෙනි පොත වන "අමෘත හස‍්තය" කියන පොතේ තිබුණු ඉතාම විශිෂ්ඨ සහ ක්ලැසික් රහස් පරීක්ෂක කතාවකට කදිම ආදර්ශයක්.

මේ පොත අපේ තාත්තා අරං තියෙන්නෙ 1975දි. (තාත්තගෙ යාලුවෙක් මේක ඉල්ලගෙන ගිහිං, අමතක කරලා, උජාරුවට එයාගෙ නමත් ගහගෙන ඉද්දි, තාත්තට ආයෙම හම්බෙලා ආපහු ගෙදර අරං ඇවිත්. ඒ්කයි ඔය මුල පිටුවෙ තියෙන නම ඉරි දෙකකින් කපල තියෙන්නෙ.) මේ පොතේ මුද්‍රණය 1958. වැඩි කතා බහකින් තොරව, පොතේ පිටකවරයේ ඉඳන් සම්පූර්ණ කතාව පහතින් පළ කරනව.


















Thursday, July 1, 2021

අවසානයක් නොවේ - 35

රීරි යකා ට හිසින් සංඥා කරමින් ඉන්ද්‍ර නැඟී සිටියේ ය. ඔහු අනුව ටිරෙල් ද, අග්නි ද, රුද්‍ර ද, ගුහාවෙන් පිට වූ හ.

 34 කොටස...

"අග්නි තමන්ට පැවරුණු කොටස ඉතා ම කදිමට ඉටු කළා..." ඉන්ද්‍ර කීවේ ය. 

රුද්‍ර ඉන්ද්‍රගේ දෑස් දෙස තියුණු ලෙස බලා, හිස සලා එකඟ විය. අග්නි ඉවත බලා ගත්තා ය. ඇගේ දෑසේ කලින් පැවති කෝපය තවත් නොවීය. ඒ වෙනුවට එහි පැවතියේ පාලු අඳුරු බවකි.

"දැන් අපි ඉක්මන් විය යුතුයි." රුද්‍ර කීය. "අපට හැම කෙනාගෙ ම ශක්තිය මේ වෙලාවෙ අවශ්‍යයි..." ඔහු අග්නි ගේ දෑස් දෙස කෙලින් බැලී ය. 

කිහිපවරක් තදින් ඇසිපිය ගැසූ අග්නි ඇසි බැම වකුටු කොට ඔරවා බැලුවා ය. "මට මොනවත් වෙලා නෑ." ඈ තමාගේ අතින් අල්ලාගන්නට ගිය ශක්ති ගේ ඇඟිලි ගසා දැමුවා ය. "මේක ඉවර කරමු. ලෝකී හැම දෙයක්ම ඉවර කරන්න කලින්..."

ශක්ති තෙත්වූ දෑසින් රුද්‍ර දෙස බැලුවා ය.

*        *        *

ලක්දිව යක්ෂයන් යහමඟට ගැනීම ට, යම හෙවත් සුමන සමග පැමිණි ගෞතම නම් දාර්ශනිකයා එතෙක් දිවයිනේ පැවති විනාශකාරී යුද්ධ මාලාව අහිංසාවෙන් සංසිඳුවී ය. අමරණීය රණශූරයන්ගෙන් සැදුණු දේවමණ්ඩලය තමන් මෙතෙක් නොදුටු විරූ දර්ශනයකින් සිදු කෙරුණු ප්‍රාතිහාර්යය කෙරෙහි පැහැදුණහ. තමන් දන්නා හොඳම සහ උසස්තම දෙයින් ගෞතම නම් බුද්ධිමතා පිදීමට සැරසුණු ඔවුන්, ඊට තෝරා ගත්තේ දිවයිනේ මධ්‍ය මණ්ඩලයේ සුන්දරතම ස්ථානයයි. 

ලක්දිව ඕනෑම උස් තැනක බැලූ විට දැකිය හැකි සුවිශේෂී කන්දක් පිහිටියේ ය. දිවයිනේ සිට දින දෙකක් යාත්‍රා කළ විට මුහුද ට ද එය දිස්වේ. මානවයන් දියුණු සමාජ ජීවීන් වන්නට පෙර අතහැර දමා තිබූ ලෙණක් එහි පැවති බව දැන සිටියේ දේව මණ්ඩලය පමණකි. ඔවුන්ගේ මගපෙන්වීමකින් තොරව එහි යන්නෙකු මංමුලා කර, දින ගණනාවක් තිස්සේ හිස හැරුණු අත ඇවිද්දවීමෙහි සමත් උපක්‍රම, ගුහාවේ සිට යොදුන් කිපයක වටප්‍රමාණයේ යොදවා තිබේ. එහෙයින් ම එහි හාත්පස පැවති නිර්මලත්වය මානවයන්ගේ අතින් කිසි දිනක කිළිටි නොවී ය.

හිරු අවර දෙසට හැරෙන්නට පෙර, ගෞතම තුමන් මියුරු ආහාරයෙන් පිදූ දෙවි වරු, අවසන, තමන් හට පිදිය හැකි උසස්තම දෙය ඒ ශ්‍රේෂ්ඨ අහිංසාවාදියා වෙත පිළිගැන්වූ හ.

ඉන්ද්‍ර, අග්නි, වරුණ සහ යම ගේ දෑස් දෙස මාරුවෙන් මාරුවට මොහොතක් නිහඬ ව බලා සිටි ගෞතමයෝ, සිය උපස්ථායකවරයා ඇමතූ හ.

"ආනන්ද,"

"ගුරුතුමනි,"

"ගෞතමයන්හට ගිණිය නොහැකි තරමේ කාලයක් ජීවත් වීමෙහි අවස්ථාව උදා වී තිබෙනවා."

සිය ගුරුතුමා උදෑසන යක්ෂයන්හට සිදුකළ දේශනාව නැවත නැවත මෙනෙහි කරමින්, සිතෙහි ධාරණය කරගනිමින් සිටි ගෝල නම, ‌සුළු වේලාවකට විපිලිසර විය. එම මොහොත් කිහිපය තුළ සිය තීරණය ගත් දාර්ශනිකයා හිස එසවී ය.

"යහපත් දෙවියනි... ඔබ දුන් ආහාර මා පිළිගත්තේ ඒ කෙරෙහි ඇලීමකින් හෝ කැමැත්තකින් නොවේ. හුදෙක් ඒ මාගේ දිවිය පවත්වාගැනීම උදෙසා ය. මන්ද, දින කිහිපයකට වඩා කුසගින්නේ සිටීම අත්ථකිලමථානුයෝගය නම් අන්තය වන නිසාත්, ඉන් මාගේ දිවිය කෙළවර වන බව මා දන්නා නිසා ත්... එහෙත් දැන් ඔබ මේ පිළිගන්වන දෙය පිළිගැනීම මා හට උචිත නොවේ. එයින් මාගේ දිවිය ඉතාම දීර්ඝ කාලයක් පවත්වාගැනීමේ ඇල්ම සහ තෘෂ්ණාව මා තුළ හට ගත හැකි වන හෙයින්... ඒ නිසා..." උන්වහන්සේ ගේ දෑස් දයාවෙන් සහ ආදරයෙන් පිරී ගොස් ඇති බව අග්නි දුටුවා ය. "...ඒ නිසා, මා ඉතාම කරුණාවෙන් මෙය ආපසු ඔබට ම පවරනවා. ඔබ මේ ලබාගෙන ඇති අමරණීයත්වය සියලුම ලෝකවාසීන් ගේ යහපත වෙනුවෙන් කටයුතු කිරීමට ඔබට ලැබී ඇති තෑග්ගක් ලෙස දකින්න."

භාරතයේ සිට පැමිණීමෙන් ද, උදෑසන කරන ලද මහා යුධ සංසිඳුවීමෙන් ද විඩාපත්ව සිටි දාර්ශනිකයා දිවා ආහාරයෙන් පසු මඳක් සැතපුණ හ. උන්වහන්සේ අසල වාඩි වූ උපස්ථායක, එතුමන්ට පවන් සළමින් ම නිදි කිරා වැටෙන්නට විය. තම සිත් තුළ පිරී පැවති භක්තියෙන් මෙහෙයුනු දෙවිවරු සතර දෙන, ගෞතමයන්හට නමස්කාර කරන ඉරියව්වෙන් සිටින තමන්ගේ රූප එහි මවා තබා, දිවා ගුහාවෙන් පිටවූ හ. 

https://www.flickr.com/photos/udaraseneviratne/6153560690/

සවස් කල නින්දෙන් අවදිවූ ගෞතමයෝ දෙවිවරුන් කර ඇති මායාව දැක සිනා පහල කළහ. කුමාර අවදියේ පටන් තමන් තුළ පැවති විනෝදශීලීත්වය මෙනෙහි කළ එතුමා, නමස්කාර කර සිටින දේව රූපයන් හට දහම් දෙසන ලීලාවෙන් සිය රූපය මවා තබා, ආනන්දයන් ද කැටිව ලෙණෙන් බැහරව, කඳු මුඳුන දෙසට ගමන් කළහ.

*        *        *

මිත්‍ර හෙවත් උඩුමුල්ලේ රාළගේ මනසේ පැවති මතකයන් සියල්ල උකහාගැනීමට ලෝකී හට කාලය මඳ වූව ද, දිවා ගුහාවේ පිහිටීම සම්බන්ධ තොරතුරු සියල්ල ලබාගැනීමට ඔහු සමත් විය. ගංතලාවේ දිසානායක රටේ මහතාගේ වළව්වේ මිදුලේ සිට අතුරුදන් වූ ඔහු නැවත මතු වූයේ එම ගුහාවේ පිවිසුම අසළිනි. 

සුන්දර මලින් ගැවසි නා, පුවඟු, සල්, සපු ආදී තුරුවැලින් ගැවසි හාත්පස මල් සුවඳින් පිරුණි. සාවුන්, මීවින්නන් හා මුවන් නොබියව අවට තණපත් බුදිමින් ගැවසුණ හ. බටිති, කොවුල් ආදී කුරුල්ලන්ගේ නාදයන් විටින් විට නැඟුනේ ගස්වල පාත් අතුපතරිනි.

ලෝකී ඒ වන විට සිය නියම වෙසට පෙරැළී සිටියේ ය. මොහොතක් දෙකක් ගුහාවේ මුවවිට අසළ පොරොත්තු වූ හෙතෙම, දිගු හුස්මක් ගෙන ලය පුරවා ගත්තේ, සෙමෙන් සෙමෙන් ‌ගුහාව තුළට පිය නැඟුවේ ජයග්‍රාහී මඳහසකින් අලංකාර වූ මුහුණකිනි.

ගුහාවේ අභ්‍යන්තරයට මඳ දුරක් යත්ම, නෝර්ඩික් දෙවියා ගේ සවණට වැකුණේ ශාන්ත, සන්සුන් පිරිමි කටහඬකි. මාධූර්යයෙන් සහ පෞරුෂයෙන් පිරි භාෂාවකින් කියැවුණු එහි එක් වචනයක්වත් ලෝකී හට තේරුණේ නැතත්, ගුහාව තුළ තමන් තනි නැති බව නම් පහසුවෙන් සළකාගත්තේ ය. එතැන් සිට ඔහු ඉදිරියට ගියේ තබන තබන සෑම පියවරක් පාසා ම සැළකිලිමත් වෙමිනි.

අඩි කිහිපයක් ඉදිරියට යද්දී, ලෙණ ඇතුලට පැවති මාර්ගයේ නැම්මක් ලෝකී දුටුවේ ය. ඒ දෙසට ළං වෙද්දී වංගුවත් සමඟ පාර දෙකට බෙදෙන බව දැකිය හැකි විය. 

නෝර්ඩික් දෙවියා සිය අතෙහි වූ කුඩා යෂ්ඨියෙන් ගල් ගුහාවේ බිත්තියට තට්ටු කළේ ය. එසෙැණින් එම දණ්ඩ අග ගිණි දල්ලක් හට ගත්තේ, ගුහා අභ්‍යන්තරය එළිය කරවමිනි.  එයින් ලෝකී හට පිටුපස බිත්තියේ, ඔහුගේ ඡායාව පිළිබිඹු වී ගිණි දල්ලේ සෙලවීමට අනුරූපව නළියන්නට විය. ලෝකී ඒ දෙස බලා අත්ල මුහුණට ළං කොට පිම්බේ ය. මොහොතකින් ගල් බිත්තිය මත වූ ඡායාව, බිත්තියෙන් ගැළවී මානවයෙකු මෙන් සිට ගත්තේ ය. එහි දෙපතුලේ සිට ඉහළට වර්ණ ගැන්වී ගෙන ගොස්, අවසානයේ තවත් ලෝකී කෙනෙක් මැවිණ.


තව කොටසක් එනවා...

වැඩිපුර බලපු ලිපි