Saturday, September 23, 2017

ඔපිස් පුරාවෘත්ත - Legends in Govt. Service

http://worldclassbenchmarking.com/wp-content/uploads/2016/02/Screen-Shot-2016-02-11-at-6.49.13-AM.png

ඔපිස් කතා කියල එකක් ලිව්වනෙව... මේ ඒකෙ දෙවෙනි කොටස වගේ එකක්. මෙතන මං කියන්න යන්නෙ ගහපු කාඩ් වගේ කතා සහ මං අහල තියෙන රජයේ සේවයෙ පුරාවෘත්ත ටිකක්.

කලිං කතාවෙදි අර ප්‍රසිඩන්ට් මහින්ද රාජපක්ෂ කෙලිම්ම කතා කරපු තීෆ් එකවුන්ටන් විමලසේන ඉන්නවනෙ... පොර අපේ අමාත්‍යාංශෙට ඇවිත් අවුරුදු දෙකක් යනකල්ම, වර්ෂාවසාන ගිණුම් පියවීමට හිටියෙ නෑ. මං හිතුවෙ පොර ඒකෙ වගකීමට බයේ කියල. ඉතිං අනික් එකවුන්ටන්ල දෙන්නත් එක්ක අපි (මං එතකොට රජයේ සේවයට නවක... පොඩි කොල්ලෙක්) එළකිරි වගේ එකවුන්ට් ක්ලෝස් කරල, මහා භාණ්ඩාගාරෙට යැව්ව ඉතුරු අග්‍රිම ටික. (රජයෙ සේවයෙ නොවෙන උදවිය ඔය මං උඩ ලියල තියෙන ග්‍රීක් වචන වල තේරුං එච්චර හිතන්ඩ එපාල)

ඉතිං අර අපේ තීෆ් එකවුන්ටන් වර්ෂාවසාන ගිණුම් පියවීමට නොහිටියෙ පොර ඒ දවස් වල ගියා ඕස්ට්‍රේලියාවෙ සංචාරෙකට. ඒ සංචාරෙ ගැන ඔපිස්සෙකේ පැතිරිච්ච කතා ටික තමයි පහළ තියෙන්නෙ. (මෙයිං ගොඩක් එව්ව ඔයගොල්ල අහලත් ඇති... මේ කතා ටික විමලෙට පටබඳිංන්ඩ හේතු උනේ, පොර නිතරම මට කියන්ඩ පුරුදු වෙලා හිටිය, “ඔය ඉංග්‍රීසි ටිකක් කට ගාගත්තට, කොම්පියුටර් අතගෑවට ඕක මහලොකු දෙයක් නෙමෙයි... කියල.)

අපේ ලොක්ක, ෆ්ලයිට් එක ඕස්ට්‍රේලියාවෙ කටුනායකට ඇවිත් නවත්තපු ගමං සීට් එකෙං නැගිටල ගියාලු දොර ගාවට. (බස්සෙහෙක උනත් නවත්තපු ගමං බැහැගත්තෙ නැත්තං ඒකෙ ඉන්න ඉබ්බො, ගොලුබෙල්ලො, කැස්බෑවො ඔක්කොම බහිනකං බලං ඉන්ඩ වෙනවනෙ...) ඒකෙ හිටපු සෝබමාන ගුවන් ඇටෙංඩොං කෙනෙක් කෑගැහුවලු, “සර්... ප්ලීස්ස්ස්... වේට්...“ කියල. ලොක්කත්, “සික්ස්ටි ටූ කිලෝස්“ කියාගෙන දොර අැරගෙන එලියට වැටුණලු. 

වැටිල කකුලක් ඇමැට්ටි වෙලා පොර ගෙනිච්චලු ඕස්ට්‍රේලියාවෙ මහ රෝහලට.. ගෙනිහිං ට්‍රොලියක ඉන්නවලු ඉමර්ජන්සි ට්‍රීට්මන්ට් කෑල්ලෙ. ඉද්දි අල්ලපු ට්‍රොලියෙ ඉන්නවලු පොරක් කැහැකැහැ. ඉතිං අපෙ ලොක්කත් මනුස්සකමට අරූ දිහා බලල හිනාඋනාලු.

ඒ ගමන අර කැහි ලෙඩා කියනවලු, “අයිම් සෆරිං ෆ්‍රොම් නිව්මෝනියා“ කියල.

ඉතිං ලොක්කත් කිව්වලු මනුස්සකමට, “අයිම් විමලසේන ෆ්‍රොම් ශ්‍රී ලංකා“ කියල.

සෆරිං කාරයට තේරුණාලු මූට මං කියපු එක තේරුන්නෑ කියල. ඒගමන පොර කිව්වලු, “නෝ මෑන්... නිව්මෝනියා... කේම් ෆ්‍රොම් කැටා...“ කියල.

ඒගමන අපේ විමලෙත් කිව්වලු, “ඕ යේස්... අයි කේම් ෆ්‍රොම් පෙටා“ කියල.

කොහොමිං කොහොමිං හරි යන්තං පය බිමගහගන්ඩ පුුළුවං වෙච්ච ගමං විමලෙ ගියාලු ඉස්පිරිතාලෙ කැන්ටිමට. යනකොට සුද්දෙක් ෆැන්ට බෝතලයක් බොනවලු. ඌ ඒක බීල ඉවර වෙලා, කිව්වලු “ෆැන්ටෑස්ටික්“ කියල. ඉතිං විමලෙත් ගත්තලු කෝක් එකක්. ඒක බීල විමලෙ කිව්වලු “කොකෑස්ටික්“ කියල.

ප්‍රා ලේ කාර්යාලෙක, ලේඛනාගාරෙ භාර හාදයයි, එකවුන්ටනුයි පුරුදු වෙලා හිටියලු හැම සිකුරාදම හවස සෙට් වෙලා බඹර පදම හොයං යන්ඩ. ඔය වැඩේට ඉතිං සල්ලිත් එපැයි. ඒකට අර එකවුන්ටන්ගෙ උපදෙස් පරිදි ලේඛනාගාර භාරකරු දැම්මලු ලියුමක් ප්‍රා ලේ ට. ලේඛනාගාරෙ මීයො ඉන්නව, බළලෙක් ඇති කරන්ඩ සහ ඒ බළලට රජයේ වියදමිං කෑම දෙන්ඩ අනුමැතිය ඉල්ලල. දාල අනුමත කරගත්තලු. ඉතිං හැමදාම සිකුරාද උදෙම්ම ලොඛනාගාර භාරකරු දානවලු වවුචරයක්, “බළලාගේ සතිපතා කෑම වියදම අතින් වියදම් කළ මුදල ප්‍රතිපූර්ණය කරගැනීම සඳහා...“ එකවුන්ටනුත්, මෙහෙම බලල - මෙහෙම බලනකොට ඒක වෝට් ලෙජර් දාල සහතික කරල, මුදල් පොතේ දාල, කෑෂ් චෙක්එකට දාල, සරප් (=රජයේ කාර්යාල වල ඉන්න කැෂියර්) බැංකුවට යවල මාරු කරවගෙන, හවස තුන වෙන්ඩ කලිං ලේඛනාගාර කාරෙයට ගෙවලත් ඉවරයි.

දවසක් ඔඩිට් කරද්දි ඔය වවුචර ටික අහුවෙලා, ඔඩිට් එකෙං ඇහුවලු, කෝ ඔය බළල? කියල. ඉතිං ලේඛනාගාර භාරකරුට පණිවිඩේ යවල, පැය බාගෙකිං විතර අරූ එනවලු, කොහෙංදෝ හොයාගත්ත කැහැටු ගැහිච්ච බළල් දණ්ඩෙක් උස්සගෙන...බළලත් එනවලු හරි සුවිනීත විදිහට වලිගෙ පුම්බගෙන, ඇඟිලි නියපොතු විහිද ගෙන, ඇස් ලොකු කරගෙන, යටිගිරියෙං මරහඬ දීගෙන...

ඔඩිට් කෂ්ටිය ඇහුවලු, “ඈ යකඩො? මෙච්චර වියදං කරල කන්ඩ දෙන බළල ද මේ කැහැටු ගැහිල ඉන්නෙ?“ කියල.

ලේඛනාගාර භාරකරු කිව්වලු ගත් කටටම, “නෑ සර්. ඒ බළල අද නිවාඩු. මේ උගෙ  ඇක්ටිං බළල...“ කියල.

රජයේ සේවයෙ දේශීය නිවාඩු (මෙරට ගතකරන නිවාඩු) ඉල්ලුම්පත්‍රයක් තියෙනව. පොදු 125 කියල ආකෘතියක්. ඕකෙ තියෙනව පුරවන්ඩ, නිවාඩු ඉල්ලුම්කිරීමට හේතුව. ඕකට ගොඩක්ම දෙනා ලියන්නෙ “පෞද්ගලික“ කියලයි. එක ඔපිස්සෙහෙක ලොක්කෙක් සැරෙයක් නීතියක් දාල තිබ්බ, ඔය වචනෙ ලියන්ඩ එපා, ඇත්තම හේතුව ලියන්ඩ ඕනෙ කියල. 

ඉතිං එකසැරෙයක් පොරට අනුමත කරන්ඩ දාපු නිවාඩු ඉල්ලුම්පත්‍රයක හේතුව ලියල තිබ්බලු, “අනියම් භාර්යාව සමඟ සංසර්ගයේ යෙදීම සඳහා මහනුවර යාමට“ කියල

මං ප්‍රෙස් එකේ ඉන්න කාලෙ...

ඒ කිව්වහම මතක් උනේ, ඕකෙ තිබුණ වැද්දුම් අංශය කියල බ්‍රාන්ච් එකක්. ප්‍රෙස් එක ස්වයංපෝෂිත කාර්යාලයක්. ඒකට ඕනෙ කරන ගොඩක්ම දේවල් ඒක තුලිම්ම තමයි කරගන්නෙ. ඔය වැද්දුම් අංශයෙන් තමයි ගොඩනැගිලි නවීකරණය සහ අලුත්වැඩියාව, මාකට් එකේ නැති යන්ත්‍ර කොටස් හදල සවිකිරීම, මැෂින් අලුත්වැඩියාව... ආදී නොයෙක් යාන්ත්‍රික වැඩ කළේ. ඔය අංශෙ හිටිය ප්‍රධානියා, වැඩබලන සුපරින්ටැන්ඩන්ට්. (ඒ දවස් වල ප්‍රෙස් එකේ හිටපු තරමක් ලොක්කො හිටියෙ - රජයේ මුද්‍රණාලයාධිපතිගෙ ඉඳං පහලට - වැඩබලන පදනමිං...) අර කියපු සුපරින්ටැන්ඩන්ට්ගෙ නම මෙන්ඩිස්... එයාගෙ අංශෙ හිටපු තරමක් උන්නෙ පෘතුගීසි කාරෙයො... කොස්තා, රුබේරු, ලිවේරා, සිල්වා, පේදුරු... ආදී වශයෙන්.

තව ඔය ප්‍රෙස් එකේ උන්න G. A. ලෙස්ලි පෙරේරා කියල ඒඕ කෙනෙක්. හරිම හොඳ මනුස්සයා. ඒ උනාට කවුරුත් එයාට කිව්වෙ ගල් පෙරේරා කියල (නමේ මුල් අකුරු ටික අගට තියෙන තිත් ටිකයි ස්පේස් ටිකයි අහක් කරල. ඇයි තව හිටිය W. A. L. කරුණාරත්න කියල කෙනෙකුත්...

ප්‍රෙස් එකේ හිටිය ගොඩක් අය රෑට උන්නෙත් ඔපිස්සෙකේමයි. ඒක පැය විසිහතර වැඩකරන කාර්යාලයක්. සතියකට නයිට් තුනක් කරල ඕටී පාරක් දාගන්ඩ පුළුවං. ඒ කාලෙ ඕක අයත් වුනේ ජඩමාධ්‍ය අමාත්‍යාංශෙට. ගරු ජඩමාධ්‍ය ඇමති හිටියෙ කෙහෙළිය රඹුක්වැල්ල කියල කෙනෙක්. ඉතිං හිටපු නවක පියන්ලා ඔක්කොම ගම්පොළ සහ නුවර අවට. උං ගෙදර යන්නෙ සිකුරාද හවස. ආපහු එන්නෙ සඳුද උදේ. ඉතිං උං කියනව, ගෙදර ගිහිං ඇඳේ නින්ද යන්නෑලු, ඔපිස්සෙකේ මේස උඩ නිදාගෙන පුරුදු වෙලා.

අර ඉහළිං කියපු කොස්තා දවසක් රාජකාරි වැඩකට වාහනයක් අරං ගියා. එයත් එක්ක ගිය ඩ්‍රයිවර් ගිහිං ආවට පස්සෙ ගිය ගමනයි, මීටරෙයි ලියද්දි රනිං චාට් එකේ, (එහෙම එකක් තියෙනව. සිංහලෙං කියන්නෙ ධාවන සටහන් පොත. හැම වාහනයක්ම ආ ගිය ගමං සහ මීටර් රීඩිං ඒකෙ ලියන්ඩ ඕනෙ.) ගියපු නිලධාරියගෙ නම අමතක වෙලා. ලිව්වලු “වඩිග පටුන මහතා සමඟ ජිනසේන ආයතනයට ගොස් අාපසු ආමි.“ කියල. කොස්තගෙ පොටෝ එක ඕං පහල තියෙනව. හිතාගන්න එකයි ඇත්තෙ ඇයි එහෙම ලිව්වෙ කියල.

ලොකු කරල බලන්ඩ ඕන්නං ක්ලික් කරන්ඩ කොස්තගෙ නහය
දවසක් ප්‍රෙස් එකේ තැපැල් අංශෙට ලියුමක් ආව. ඒකෙ ඇඩ්‍රස්කරල තිබ්බෙ “ලෝකෙ ලොකුම පොල් බූරුවට“ කියල. ඉතිං තැපැල් කාරය හිතල තියෙනව, එයා ඉන්නෙ ප්‍රෙස් එකේම තමයි කියල. මං ගියා තැපැල් අංශෙට ලියුං වගෙයක් රෙජිස්ටර් කරන්ඩ බාර දෙන්ඩ. එතකොට තමයි ඔය ලියුම දැක්කෙ. 

මං ඇහුව ඉතිං තැපෑල කරපු සීසී නෝනගෙං “මොකද කරන්නෙ ඔය ලියුමට? “ කියල.

“වෙන මොනව කරන්ඩද?“ එයා ඇහුව. “මේක අපි කඩන්නැතුව යවනව රජයේ මුද්‍රණාලාධිපතිට. නමට එවන ලියුං කඩන් නෑනෙ...“ කියල.

ප්‍රෙස් එකේ කාර්යාල නවීකරණය කරන්ඩ පටංගත්ත ඕං සැරයක්. පටංගත්තෙ ලක්ෂ ගාණක් වියදං කරල පිරිමි ටොයිලට් එක හදල. ඒක හදල විවෘත කරන කාලෙ තමයි, අර ජනාධිපති සිරිසේනගෙ මල්ලි, වැලිරාජු පොරෝපාරක් කාල මැරුණෙ. ඉතිං අපි එයාට කරන ගෞරවයක් විදිහට ටොයිලට් එකේ දොරට උඩිං එයාගෙ පොටෝ එකක් ගැහුව... ඒකෙ පොටෝ එකක් මං අරගෙන තිබුණ. දැං ඒක හොයාගන්ඩ නෑ. ඒක මේ වගේ එකක්... 

දවසක් ජේපී කෙනෙක් ගාවට ගිහිං කොල්ලෙක් දිවුරුම් පෙස්සමක් ලියාගන්ඩ, ඒ ජේපී ඔය දේශපාලනේ පදනමට ජේපී කම ලැබුණ කෙනෙක්... ලියල දුන්නලු දිවුරුම් ප්‍රකාශය මේං මෙහෙම:

“දෙය්යම්පා... බුදුම්පා... අම්මාපල්ල... මේ සුන‍ෙත් කුමාර කියන ළමයා හරිම හොඳයි. මං ඒක ඕනෙම දේවාලෙක දිවුරල කියන්ඩ ලෑස්තියි...!“

මයෙ හිතේ දැනට ඔය ඇති කියල. දැංවත් පාඩං කරන්ඩ නැගිට්න්න ඕනෙ ඒ හිංදා නවත්තන්නං. ආයෙ මතක් උනොත් තව කොටසක් ලියන්නං...

මේ ඉන්නෙ මං ප්‍රෙස් එකට ගිය මුල්ම දවස්වල දැකගන්ඩ ලැබුණ, ඒකෙ හිටපු පිළිගැනීමේ නිලධාරී වගේ හාදය.


පාඩං වැඩ හංද කාගෙවත් බ්ලොග්වලට යන්ඩ බැරි උනා... ඒ ගැන සමාවෙන්ඩල. විභාගෙ ඊළඟ මාසෙ අනිවා තියනව කියල විභාග කොමසාරිස් ජනරාල් දහ අතේ දිවුරල කියල තියෙනව. ඒ හංද ඔක්තෝබර් මැද ඉඳං ආයෙම මට පියාපත් දිගාරින්ඩ පුළුවං වෙයි...

Tuesday, September 12, 2017

රොසෙට්ටා පාෂාණය - 01

http://www.britishmuseum.org/collectionimages/AN00016/AN00016456_004_l.jpg

රොසෙට්ටා පාෂාණය, ඊජිප්තුවේ පාලකයා ව සිටි පස්වැනි ටොලමි රජුගේ නමින්, ක‍්‍රි. පූ. 196 දී මෙම්ෆිස් හිදී නිකුත් කරන ලද රාජකීය නියෝගයක් සටහන් කරන ලද රළු ආගනේය පාෂාණ පුවරුව කි. මෙම නියෝගය පිටපත් තුනකින් සටහන් කර තිබේ. ඒ, සෙල් පුවරුවේ ඉහළ කොටස පෞරාණික ඊජිප්තු රූපාක්ෂර හෙවත් හයිරෝරේඛනයෙන් (හයිරොග්ලිපික් / hieroglyphic) ද, මැද කොටස ඊජිප්තු ව්‍යවහාර අක්ෂර මාලාවෙන් (demotic) ද, පහළ කොටස පුරාණ ග‍්‍රීක භාෂාවෙන් ද, වශයෙනි. මෙම පිටපත් තුනෙහි ම අඩංගු වන්නේ එකම පෙළ වූ බැවින් (යම් සුළු වෙනස්කම් සහිතව), ඊජිප්තු හයිරෝරේඛනය පිළිබඳ නව ලෝකය දැනුවත් වීමට මූලික සාධකය වූයේ රොසෙට්ටා පාෂාණය යි.

මෙම පුවරු ලිපිය මුලින් දේවස්ථානයක් තුළ ප‍්‍රදර්ශනය කෙරෙන්නට ඇතත්, මුල් ක‍්‍රිස්තියානි අවධියේ හෝ මධ්‍යකාලීන යුගයේ දී එතැනින් ඉවත් කරන ලදුව, පසුකාලීනව නයිල් ඩෙල්ටාවේ පිහිටි රෂීඞ් (රොසෙට්ටා) නම් නගරය ආසන්නයේ ජූලියන් බළකොටුව ඉදිකිරීමේ දී යොදාගෙන තිබේ. නැපෝලියන් බොනපාර්ට් යටතේ දියත් කෙරුනු ඊජිප්තු යුධ ප‍්‍රයාණයේ දී, එක් ප‍්‍රංශ සොල්දාදුවෙකු විසින් 1799 දී මෙය නැවත සොයාගන්නා ලදි. මෑතකාලීනව සොයාගන්නා ලද මුල්ම පෞරාණික ද්විභාෂක ලියවිල්ල වීම නිසා ත්, එතෙක් පරිවර්තනය කිරීමට අපොහොසත් ව පැවති පුරාණ ඊජිප්තු භාෂාව කියවීමට එයින් ලැබිය හැකි අත්වැල නිසා ත්, රොසෙට්ටා පාෂාණය ලොව පුරා ජනයා ගේ මහත් සැළකිල්ල ඇද ගත්තේ ය. නොබෝ කලකින්, එහි ස්පර්ෂ සටහන් සහ හුණු බදාමයෙන් ගන්නා ලද අච්චු පිටපත් යුරෝපයේ කෞතුකාගාර සහ අධ්‍යයනය කරන්නන් අතර පැතිරෙන්නට විය. මේ අතර, 1801 දී බි‍්‍රතාන්‍ය හමුදා විසින් ප‍්‍රංශ වරුන් ඊජිප්තුවේ දී පරාජය කරන ලද අතර, ඇලෙක්සැන්ඩි‍්‍රයාවේ දී ප‍්‍රංශ හමුදා යටත් වීම අනුව මෙම පාෂාණය බි‍්‍රතාන්‍ය අයිතියට පත් විය. එය ලන්ඩනයට ප‍්‍රවාහනය කරන ලදුව, 1802 සිට බි‍්‍රතාන්‍ය කෞතුකාගාරයේ මහජන ප‍්‍රදර්ශනයට තබා තිබේ. මෙය එම කෞතුකාගාරයේ ඇති වැඩිම පිරිසක් විසින් නරඹන ලද අයිතමය යි.

මෙම පාෂාණය, නැවත සොයාගත් දින සිට ම විවිධාකාර දේශාභිමානීන්ගේ විරෝධතාවන් ට කේන්ද්‍ර වී තිබේ. මේ අතර, නැපෝලියානු යුධ ප‍්‍රයාණ කාලයේ දී ප‍්‍රංශයේ සිට බි‍්‍රතාන්‍යය ට හිමිකාරීත්වය මාරු වීම, අභිලේඛනය කියවීමේ දී යංග් සහ ෂැම්පෝලියන් ඉටුකළ මෙහෙවරේ සාපේක්ෂ වටිනාකම, සහ 2003 සිට පාෂාණය නැවත ඊජිප්තුවට ලබාදෙන ලෙස කෙරෙන ඉල්ලීම්, ප‍්‍රධාන වෙයි.

1803 දී මෙහි ග‍්‍රීක පෙළ මුලින් ම සම්පූර්ණ වශයෙන් පරිවර්තනය කරන ලදුව, එහි සඳහන් වන රාජකීය නියෝගය පිළිබඳ අධ්‍යයනයන් ඇරඹිය හැකි විය. ඊජිප්තු පෙළෙහි පරිවර්තනය, ශෝං-ෆ‍්‍රාංස්වා ෂැම්පෝලියන් (Jean-François Champollion) විසින් පැරිසියේ දී ප‍්‍රකාශයට පත් කෙරුණේ ඉන් වසර 20 කට පසු හෙවත් 1822 දී ය. විද්වතුන් හට අනෙකුත් පැරණි ඊජිප්තු අභිලේඛන සහ සාහිත්‍යය නිසැක වශයෙන් කියවීමට ඊටත් වඩා වැඩි කාලයක් ගත විය. මෙහි පරිවර්තන කාර්යයේ ප‍්‍රධාන පියවරයන් වූයේ,

1. පාෂාණයේ සඳහන් වන්නේ එකම පෙළෙහි වෙනස් අනුවාදයන් තුනක් බව හඳුනා ගැනීම (1799),
2. ඊජිප්තු ව්‍යවහාර බසින් සටහන් ලිපියෙහි විදේශීය නම් ලිවීම සඳහා ශබ්ද විද්‍යාත්මක සංකේත (Phonetic Characters) භාවිතා කර ඇති බව සොයාගැනීම (1802),
3. හයිරෝරේඛිත පෙළෙහි ද එවැනි ම භාවිතයක් ඇති බව සහ එහි ඊජිප්තු ව්‍යවහාර බසින් වූ පෙළ සමඟ පැතිර පවත්නා සමානකම් ඇති බව සොයාගැනීම (තෝමස් යංග් (Thomas Young) 1814),
4. විදේශීය නම් වලට අමතරව ස්වදේශික ඊජිප්තු වචන සඳහා ද ශබ්ද විද්‍යාත්මක සංකේත භාවිතා කර ඇති බව සොයාගැනීම (ෂැම්පෝලියන් 1822-1824) ආදිය යි.

මෙකී රාජකීය නියෝගය ම සටහන් වූ කැඞී ගිය අසම්පූර්ණ පිටපත් දෙකක් ද පසුව සොයාගෙන ඇති අතර, ඊට සමාන ඊජිප්තු ද්විභාෂික සහ ත්‍රෛභාෂික අභිලේඛන කිහිපයක් ද මේ වන විට ප‍්‍රසිද්ධ කර තිබේ. ඒ අතර, තරමක් පැරණි ටොලමියානු රාජකීය නියෝගයන් දෙකක් ද (ක‍්‍රි. පූ. 238 දී නිකුත් කෙරුණු කැනෝපස් හි රාජකීය නියෝගය සහ ක‍්‍රි. පූ 218 දී පමණ සිවුවන ටොලමි රජු විසින් නිකුත් කරන ලද මෙම්ෆිස් හි රාජකීය නියෝගය) වේ. එහෙයින් රොසෙට්ටා පාෂාණය අසමසම පුරාවස්තුවක් නොවූව ද, පුරාණ ඊජිප්තු සාහිත්‍යය සහ ශිෂ්ඨාචාරය තේරුම් ගැනීමේ යතුර වීමෙන් හිමිකරගත් වැදගත්කම අහෝසි නොවේ.  ඕනෑම තාක්ෂණයක නව දැනුම සොයා යාමේදී අත්‍යවශ්‍ය වන සාධකයන් හැඳින්වීමේදී ‘රොසෙට්ටා පාෂාණය’ යන පදය පර්යාය පදයක් ලෙස ඉංග‍්‍රීසියේ දී භාවිතා කෙරෙන තාක් දුරට මෙම පුරාකෘතිය ප‍්‍රචලිත වී තිබේ.

මූලික තොරතුරු

ප‍්‍රංශ ගවේෂණයේ දී සොයාගන්නා ලදුව, 1801 දී බි‍්‍රතාන්‍ය හමුදා යටතට පත් කෙරුණු මානවකෘති (artifacts) ඇතුළත් සමකාලීන නාමාවලියක රොසෙට්ටා පාෂාණය ලැයිස්තුගත කර ඇත්තේ ‘‘රොසෙට්ටා හි හමු වූ ... අභිලේඛන තුනක් අඩංගු කළු ග‍්‍රැනයිට් පාෂාණයක්’’ යනුවෙනි. එය ලන්ඩනයට ගෙන ඒමෙන් ටික කලකට පසුව, පාෂාණය මත වූ ලේඛනය කියවීමට පැහැදිලි වන සේ සුදු හුණු වලින් වර්ණ ගන්වන ලද අතර, නරඹන්නන්ගේ ඇඟිලි තුඩු වලින් ආරක්ෂා වීම සඳහා මුහුණත කානෝබා ඉටි ස්තරයකින් ආවරණය කරන ලදි. එයින් පාෂාණයට කළු පැහැයක් ලැබුණු හෙයින්, එය කළු බැසෝල්ට් පාෂාණයක් යැයි සමහරුන් තුළ වැරදි වැටහීමක් ද ඇති විය. 1999 දී පාෂාණය ශුද්ධ කිරීමේදී මෙකී නවාංග ඉවත් කරන ලදින්, එහි මුල් පැහැය වූ අඳුරු අළු පැහැය ද, එහි ස්ඵටිකායික ව්‍යූහයේ දිස්නය ද, ඉහළ වම් කොණ හරහා දිවුන රෝස පැහැ වයිරම ද නැවත මතු විය. මෙය ක්ලෙම් ඊජිප්තු පාෂාණ නියැදි එකතුව (Klemm collection of Egyptian rock samples) හා සැසඳීමේ දී අස්වාන් ප‍්‍රදේශයේ එලිෆන්ටයින් (Elephantine) හි බටහිර කොටසේ, නයිල් නදියේ බටහිර ඉවුරේ ජෙබෙල් ටින්ගාර් (Gebel Tingar) නම් කුඩා ආගනේය පාෂාණ නිධියෙන් ලද පාෂාණයකට ඉතා කිට්ටු සාම්‍යත්වයක් දක්වන බව සොයාගන්නා ලදි. රෝස පැහැති වයිරම එම ප‍්‍රදේශයේ හමුවන ආගනේය පාෂාණයන්ට ආවේණික ලක්ෂණය කි.

රොසෙට්ටා පාෂාණය දැන් සෙ. මී. 114.4 (අඟල් 45) ක උපරිම උසකින් ද, සෙ. මී. 72.3 (අඟල් 28.5) ක පළලකින් ද, සෙ. මී. 27.9 (අඟල් 11) ක ගණකමින් ද යුක්ත වේ. එහි බර ආසන්න වශයෙන් කි. ග‍්‍රෑ. 760 (රා. 1,700) කි. ඉදිරිපස මුහුණත ඔප දමා ඇති අතර, අභිලේඛනය එහි මතුපිට නොගැඹුරුව කොටා තිබේ. පාෂාණයේ පැති සුමට කර ඇති නමුත්, පසුපස පෘෂ්ඨය නිමවා ඇත්තේ රළු ලෙසිනි. ඒ අනුව, අනුමාන කළ හැක්කේ එහි පසුපස දැකගත නොහැකි වන පරිදි මෙම පුවරු ලිපිය පිහිටුවා තිබෙන්නට ඇති බව ය.

මූලාකෘතිය
මුල් පුවරු ලිපිය මෙවැන්නක් වන්නට ඇත
https://en.wikipedia.org/wiki/
File:RosettaStoneAsPartOfOriginalStele.svg

රොසෙට්ටා පාෂාණය, වඩා විශාල සෙල් පුවරුවක කොටසකි. පසුකාලීනව රොසෙට්ටා ප‍්‍රදේශයේ සිදු කෙරුණු විමර්ශන වලින් එහි අනෙකුත් කොටස් සොයාගත හැකි වී නැත. සිදු වී ඇති හාණිය නිසා මෙම අභිලේඛනයේ අඩංගු පිටපත් තුනෙන් එකක් වත් උදක් ම සම්පූර්ණ තත්ත්වයේ නොමැත. වඩාත් ම හාණි වී ඇත්තේ ඉහළ කොටසේ සටහන් කර ඇති ඊජිප්තු හයිරෝරේඛිත පිටපත යි. එයින් ඉතිරිව ඇත්තේ අවසන් පේළි 14 පමණක් වන අතර, ඒ පේළි සියල්ලම දකුණු පසින් ද, පේළි 12 ක් වම් පසින් ද කැඞීගොස් ඇත. මැද කොටසේ ඇති ඊජිප්තු ව්‍යවහාර බසින් ලිඛිත පිටපත හොඳින් ම ආරක්ෂා වී ඇති කොටස යි. එහි ඇති පේළි 32 න් 14 ක් දකුණු පසින් මඳ වශයෙන් හාණියට පත් ව ඇත. අවසානයට ඇති ග‍්‍රීක පිටපතෙහි පේළි 54 ක් ඇති අතර, ඉන් පේළි 27ක් සම්පූර්ණ ලෙස ආරක්ෂා වී ඇත. පාෂාණයේ පහළ කෙළවර කෝණාකාරව කැඞී ඇති බැවින්, ග‍්‍රීක පෙළෙහි ඉතිරි කොටස හාණියට පත්ව ඇත. 

මෙහි සඳහන් වන රාජකීය නියෝගය ම ඇතුළත් වන වෙනත් අභිලේඛන ද ඇතුළු ව අනෙකුත් පුවරු ලිපි සැසඳීමෙන්, හයිරෝරේඛිත පිටපතෙහි සම්පූර්ණ දිග සහ මුල් පුවරු ලිපියෙහි විශාලත්වය ඇස්තමේන්තු කළ හැක. මීට මඳ කාලයකට පෙර හෙවත්, තුන්වන ටොලමි රජු ගේ පාලන කාලයේ ක‍්‍රි. පූ. 238 දී පිහිටුවන ලද කැනෝපස් රාජකීය නියෝගය සෙ. මී. 219 (අඟල් 86) ක් උසින් ද, සෙ. මී. 82 (අඟල් 32) ක් පළලින් ද, යුතු වන අතර, එහි හයිරෝරේඛිත පිටපතෙහි පේළි 36 ක් ද, ඊජිප්තු ව්‍යවහාර බසින් යුත් පිටපතෙහි පේළි 73 ක් ද, ග‍්‍රීක පිටපතෙහි පේළි 74 ක් ද අඩංගු වේ. පිටපත් තුනම දිගින් සමාන ය. මෙවැනි සැසඳීම් වලින්, නිගමනය කළ හැක්කේ රොසෙට්ටා පාෂාණයෙහි හාණියට පත් ඉහළ කොටසේ තවත් හයිරෝරේඛිත පේළි 14 ක් හෝ 15 ක් හෙවත් සෙ. මී. 30 (අඟල් 12) ක් උස කොටසක් පැවති බව යි. කැනෝපස් පුවරු ලිපියේ ඇති පරිදි මෙහි ද, අභිලේඛනයට ඉහළින්, රජතුමා දෙවියන් හමුවනු දැක්වෙන කැටයමක් සහ ඊටත් ඉහළින් පියාපත් සහිත මණ්ඩලයක කැටයමක් තිබෙන්නට ඇත. මෙවැනි සමකිරීම් ද, පාෂාණයේ ම හයිරෝරේඛනයෙන් සඳහන් වන ‘‘ස්ථූණය’’ (Stela) යන වචනයද නිසා මුල් පුවරුවේ මුදුන වක‍්‍රාකාර වන්නට ඇති බව සිතිය හැක. ඒ අනුව, මුල් පුවරුව සෙ. මී. 149 (අඟල් 59) ක් උස් වන්නට ඇති බව අනුමාන කෙරේ.

මෙම්ෆිස් රාජකීය නියෝගය සහ එහි අන්තර්ගතය

මෙම පුවරු ලිපිය, පස්වන ටොලමි රජු ගේ අභිෂේකයෙන් පසු පිහිටුවා ඇති අතර, නව පාලකයාගේ දිව්‍යමය ආගමික සමාජය පිහිටුවීමේ නියෝගය එහි සටහන් කර තිබේ. මෙම නියෝගය නිකුත් කර ඇත්තේ මෙම්ෆිස් හි රැස්වූ පූජකවරුන් ගේ සම්මේලනයක් මඟිනි. එහි දිනය, මැසිඩෝනියානු දින දර්ශනයෙන් ‘‘4 සැන්ඩිකස්’’ (4 Xandicus) යනුවෙන් සහ ඊජිප්තු දින දර්ශනයෙන් ‘‘18 මෙෂිර්’’ (18 Meshir) යනුවෙන් දක්වා ඇත. එය ක‍්‍රි. පූ. 196 මාර්තු මස 27 වන දිනයට අනුරූප වෙයි. වර්ෂය හඳුන්වා ඇත්තේ පස්වන ටොලමි රජු ගේ නව වන රාජ්‍ය වර්ෂය (ක‍්‍රි. පූ. 197/196 ට සමපාත වන) ලෙස ය. මෙය, එම වර්ෂයේ දේව පූජා පැවැත්වූ පූජකවරුන් හතර දෙනෙකුගේ නම් වලින් ද තහවුරු කර ඇත. ඔවුන් වන්නේ, මහා ඇලෙක්සැන්ඩර් ගේ ත්, ඔහුගෙන් පසු ඊජිප්තුවේ රජ ප‍්‍රාප්ත ටොලමිවරුන් පස් දෙනා ගේ ත් දිව්‍යමය ආගමික සමාජයන් හි පූජකවරයා වූ ද, ඒටස් ගේ පුත‍්‍රයා වූ ද, ඒටස් (Aëtus), සහ ඔහුගේ වෘත්තීය සගයන් තිදෙනා ය. පසුව කී තිදෙනා, බෙරනීස් යුඑර්ජෙටිස් (Berenice Euergetis) (තෙවන ටොලමි රජු ගේ බිරිඳ), ආර්සිනෝ ෆිලඩෙල්ෆා (Arsinoe Philadelpha) (දෙ වන ටොලමි රජු ගේ බිරිඳ මෙන්ම සොහොයුරිය) සහ ආර්සිනෝ ෆිලෝපාටර් (Arsinoe Philopator) (පස්වන ටොලමි රජුගේ මව) යන අය හට වන්දනා කිරීම් මෙහෙයවූ පූජකයෝ ය. ග‍්‍රීක සහ හයිරෝරේඛිත පිටපත් වල තවත් දිනයක් සඳහන් වේ. එය සමරූපී වන්නේ පස්වන ටොලමි රජුගේ අභිෂේකයෙහි නිල සංවත්සර වන ක‍්‍රි. පූ. 197 නොවැම්බර් මස 27 වැනි දිනයට ය. මෙයට පටහැණි අයුරින්, අභිලේඛනය පිහිටුවන ලද දිනය සහ අභිෂේකයේ සංවත්සර දිනය ලෙස ඊජිප්තු ව්‍යවහාර බසින් යුත් පිටපතෙහි සඳහන් වන්නේ මාර්තු මාසයේ අනුගාමී දින දෙක කි. මෙවැනි පරස්පරතාවයක් පැවතීමට හේතුව අපැහැදිළි වුවත්, මෙම නියෝගය ක‍්‍රි. පූ. 196 දී නිකුත් කර ඇති බවත්, ටොලමිවරුන් ගේ පාලනය ඊජිප්තුව පුරා නැවත ස්ථාපිත කිරීම එහි අරමුණ වූ බවත් පැහැදිළි ය. 

මෙම රාජකීය නියෝගය නිකුත් කරන ලද්දේ ඊජිප්තු ඉතිහාසයේ කැළඹීම් බහුල අවධියකදී ය. සිවුවන ටොලමි ෆිලොපාටර් (Ptolemy IV Philopator) සහ ආර්සිනෝ බිසව ගේ පුත‍්‍රයා වූ පස්වන ටොලමි එපිෆානිස් (Ptolemy V Epiphanes) (ක‍්‍රි. පූ. 204 - 181) පස් හැවිරිදි වියේ දී රජකමට පත්වූයේ ඔහුගේ දෙමාපියන් හදිසියේ ම ඝාතනය කෙරුනු හෙයිනි. සමකාලීන මූලාශ‍්‍ර අනුව මෙම ඝාතනය, සිවුවන ටොලමිගේ උප භාර්යාවක් වූ ඇගතෝක්ලියා (Agathoclea) ගේ කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලය කි. මෙම කුමන්ත‍්‍රණකාරීහූ පස්වන ටොලමි රජු ගේ භාරකාරයන් හැටියට වසර දෙකක් පුරා රට පාලනය කළහ.  වසර දෙකකට පසු ට්ලෙපොලිමස් (Tlepolemus) නම් සේනාධිපති වරයා යටතේ කැරැල්ළක් ඇති වූ අතර, ඇගතෝක්ලියා සහ ඇගේ පවුලේ අය ඇලෙක්සැන්ඩි‍්‍රයාවේ දී චණ්ඩ ජන සමූහයක් විසින් දණ්ඩනයට පත් කරන ලදි. ඉන් පසුව ක‍්‍රි. පූ. 201 දී එවක සිටි මහ ඇමති වරයා වූ ඇලිසියාවේ ඇරිස්ටොමේනිස් (Aristomenes of Alyzia) විසින් ට්ලෙපොලෙමස් ළමා රජු ගේ භාරකාරත්වයට පත්කරන ලදි. 

ඊජිප්තුවේ සීමා වලින් බැහැර දේශපාලනික බලවේග විසින් ටොලමි රජුගේ පාලන ප‍්‍රදේශයේ අභ්‍යන්තර ආරවුල් තව තවත් කූප්පන ලදි. මැසිඩෝනයේ පස්වන ෆිලිප් රජු (Philip V) සහ තෙවන මහා ඇන්ටියෝකස් රජු (Antiochus III the Great), ඊජිප්තුවේ යටත් විජිත තමන් අතර බෙදාගැනීමේ ගිවිසුමකට ද එළඹුණ හ. ක‍්‍රි. පූ. 198 පැනියම් (Panium) හි යුද්ධය අතරතුර, ෆිලිප් රජ කෙරියා (Caria) සහ ත්‍රේස් (Thrace) හි දිවයින් සහ නගර කිහිපයක් අල්ලා ගත්තේ ය. එම යුද්ධයේ ප‍්‍රතිඵල වශයෙන් ජුදයාවද ඇතුළත්ව ලෙබනන්-සිරියානු තැනිතලාවේ බලය ටොලමිවරුන්ගෙන් සෙල්‍යුසිඞ් වරුන් (Seleucids) අතට පත් විය. ඒ අතර, දකුණු මිසරයේ සිවුවන ටොලමි රජ දවස ආරම්භ වී දිග්ගැස්සෙමින් පැවති කැරැල්ලක් විය. එයට නායකත්වය ලැබුනේ හෝර්වෙන්නෙෆර් (Horwennefer) සහ ඔහුගේ අනුප‍්‍රාප්තිකයා වූ අන්ක්හ්වෙන්නෙෆර් (Ankhwennefer) විසිනි. පස්වන ටොලමි දොළොසැවිරිදි වියේ දී මෙම්ෆිස් හි දී නිලවශයෙන් අභිෂේක ලබන විට (තම රාජ්‍ය කාලයෙන් සත් වසරකට පසු) යුද්ධය සහ අභ්‍යන්තර කැරැල්ල යන ගැටළු දෙකම ඔහු ඉදිරියේ විය. රොසෙට්ටා පාෂාණයේ ඇතුළත් මෙම්ෆිස් හි රාජකීය නියෝගය නිකුත් කරන ලද්දේ මෙම අවස්ථාවේ දී ය. 

මෙම පුවරු ලිපිය, ප‍්‍රදාන පුවරු ලිපි සඳහා වඩා පසුකාලීන උදාහරණයකි. ප‍්‍රදාන ලිපිවල සාමාන්‍යයෙන් රාජ්‍ය පාලකයා විසින් රටේ සිටින පූජක වර්ගයා හට බදු නිදහසක් ලබා දීමක් ගැන සඳහන් වේ. ඊට වසර 2,000 කට පෙර සිට ම, පාරාවෝ රජවරුන් විසින් මෙවැනි ප‍්‍රදාන පුවරු ලිපි පිහිටුවා තිබේ. එවැන්නකට ඇති මුල්ම උදාහරණය හමුවන්නේ ඊජිප්තුවේ පුරාණ රාජධානියෙනි (Old Kingdom). පැරණි කාලවල මේවා නිකුත් කරන ලද්දේ රජතුමා ම විසින් වන නමුත්, මෙම්ෆිස් හි නියෝගය නිකුත් කර ඇත්තේ, සාම්ප‍්‍රදායික මිසර සංස්කෘතිය පවත්වාගෙන යන්නන් වශයෙන් පූජකවරුන් විසිනි. මෙම නියෝගයේ, පස්වන ටොලමි රජු දේවස්ථාන වලට රිදී සහ ධාන්‍ය වලින් යුක්ත ප‍්‍රදානයක් කළ බව වාර්තා කර තිබේ. එසේ ම, ඔහුගේ පාලන කාලයෙන් අට වන අවුරුද්දේ දී, නයිල් නදියේ සුවිශේෂී අධික ජලගැල්මක් ඇතිවූ අවස්ථාවක, රජු විසින් වේලි බඳවා, අමතර ජලය ගොවියන්ගේ අභිවෘද්ධිය උදෙසා යොමු කරවන ලද බව ද එහි සඳහන් වේ. මෙකී අනුග‍්‍රහයන් ට පිළිගෙවුම් ලෙස, රජතුමාගේ උපන්දිනය සහ අභිෂේක වූ දිනය වාර්ෂිකව සැමරීමට ත්, මිසරයේ සියළුම පූජකවරුන් රජතුමා හට ද, අනෙකුත් දෙවියන් හා එක්කොට මෙහෙ කිරීමට ත්, පූජක ප‍්‍රජාව පොරොන්දු වෙති. පුවරු ලිපිය අවසන් කෙරෙන්නේ, එහි ‘දෙවියන්ගේ භාෂාවෙන්‘ (හයිරෝරේඛනයෙන්) ද, ‘ලේඛන භාෂාවෙන්’ (ඊජිප්තු ව්‍යවහාර භාෂාවෙන්* ද, ‘ග‍්‍රීකයන්ගේ භාෂාවෙන්’ ද සකස් කරන ලද පිටපත් සෑම දේවස්ථානයක ම පිහිටුවිය යුතු බව සඳහන් කරමිනි. මෙකී භාෂාත‍්‍රය එකල ටොලමියානු රාජ්‍යයේ නිල භාෂාවන් විය. 

මහජනතාව මත සාධනීය පාලනයක් පවත්වාගැනීමේ දී පූජක වර්ගයාගේ ප‍්‍රසාදය හා අනුග‍්‍රහය ආරක්ෂා කර ගැනීම ටොලමිවරුන් හට අත්‍යවශ්‍ය සාධකයක් විය. රජු අභිෂේකය ලැබූ මෙම්ෆිස් හි ප‍්‍රධාන පූජක වරුන් විශේෂයෙන් ම වැදගත් විය. ඒ, ඔවුන් එවක වූ ඉහළම ආගමික අධිකාරිය වූ බැවිනු ත්, ඔවුන් රජධානිය පුරා සිය බලපෑම පතුරවාගෙන සිටි බැවිනුත් ය.  ටොලමිවරුන්ගේ පාලන කේන්ද්‍රය පැවති ඇලෙක්සැන්ඩි‍්‍රයාවේ දී නොව, පුරාණ ඊජිප්තුවේ අගනුවර වූ මෙම්ෆිස් හි දී මෙම නියෝගය නිකුත් කරවීමෙන්, පූජකවරුන් ගේ ක‍්‍රියාකාරී සහයෝගය දිනා ගැනීමට ළාබාල රජු කෙතරම් උත්සුක වීද යන්න පැහැදිළි වේ. එහෙයින්, මහා ඇලෙක්සැන්ඩර් රජු විසින් යටත් කරගත්තාට පසු ඊජිප්තු රජය ග‍්‍රීක භාෂාවෙන් නිල කටයුතු කරන්නට වූ නමුත්, මෙම්ෆිස් පුවරු ලිපිය ත්, ඊට කලින් නිකුත් කරන ලද නියෝග දෙකත් ඊජිප්තු භාෂා වලින් යුත් පිටපත් ද ඇතුළත් කර සකස් කර ඇත. එමඟින්, උගත් පූජක ප‍්‍රජාව හරහා මහජනතාව ගේ අනුකූලතාවය අපේක්ෂා කර තිබේ. 

රොසෙට්ටා පාෂාණයේ සටහන් ව ඇති පිටපත් තුනෙහි සුළු සුළු වෙනස්කම් පවතින හෙයිනුත්, පුරාණ භාෂාවන් පිළිබඳ නූතන අවබෝධය තවමත් දියුණු වෙමින් පවතින නිසාත්, මෙහි නියත පරිවර්තනයක් තවමත් ඉදිරිපත් වී නැත. ආර්. එස්. සිම්සන් විසින් ඉදිරිපත් කරන ලද, ඊජිප්තු ව්‍යවහාර බසින් යුතු පිටපතෙහි යාවත්කාලීන ඉංග‍්‍රීසි පරිවර්තනයක් බි‍්‍රතාන්‍ය කෞතුකාගාරයේ වෙබ් අඩවියේ දක්වා තිබේ. එඞ්වින් ආර්. බෙවන් (Edwyn R. Bevan) විසින් සිය ‘ටොලමි පෙළපත’ (The House of Ptolemy)  (1927) නම් පොතෙහි ඇතුළත් කරන ලද සම්පූර්ණ පරිවර්තනය සමඟ සැසැඳිය හැක. එය ග‍්‍රීක පිටපත මත පදනම් ව ඇති අතර, ඊජිප්තියානු පිටපත් දෙක සමඟ එහි දැක්වන වෙනස්කම් පාද සටහන් මඟින් දක්වා ඇත. බෙවන් මහතාගේ පරිවර්තනය ආරම්භ කෙරෙන්නේ (සංක්ෂිප්තව) මෙසේ ය. 

‘සිය පියාණන්ගෙන් රාජකීයත්වය උරුම කරගත්, කිරීටවල ස්වාමියා වන, කීර්තිමත්, මිසර රාජ්‍යය තහවුරු ලෙස පිහිටවූ, දෙවියන් වෙත සැදැහැවත්, තම සතුරන් ට වඩා ශ්‍රේෂ්ඨ, මනුෂ්‍යයන්ගේ ශිෂ්ඨ දිවිපෙවෙත නැවත ගොඩනැංවූ, වසර තිහක් පුරා පවත්වන ලද භෝජන සංග‍්‍රයන් ගේ ස්වාමියා වූ ද, මහා හෙෆයිස්ටස් හට සම, සූර්යයා වැනි රජෙකු වන, ඉහළ සහ පහළ ප‍්‍රදේශයන් හි රජු වන, ෆිලොපාටර් දෙවිවරුන් ගේ සුජාත පුතණුවන් වන, හෙෆයිස්ටස් විසින් අනුමත කරන ලද, සූර්යයා විසින් විජයග‍්‍රහණය ට පමුණුවන ලද, සීයස් ගේ ජීවමාන පිළිරුව වන, සූර්යයා ගේ පුත‍්‍රයා වන, ප්ටාහ් ගේ ආදරයට ලක් වන, සදාකාලික ටොලමි නමැති, ළාබාල තැනැත්තාගේ රාජ්‍ය කාලයෙන් නව වන වර්ෂයේ දී, ඇලෙක්සැන්ඩර් ගේ පූජකයා වූ, ඒටස්ගේ පුත් ඒටස් ....

‘නම් නායක පූජකවරයා ද, දිවැසිවරුන් ද, දෙවියන්ගේ වස්ත‍්‍ර සැකසීම සඳහා ඇතුළු දේවාලයන් ට පිවිසෙන්නන් ද, පියාපත් දරන්නන් ද, පූජනීය ලේකම් වරුන් ද, අනෙකුත් සියළුම පූජකවරුන් ද ... මෙම්ෆිස් හි දේවස්ථානයේ රැස් වී මෙම දින, මෙසේ ප‍්‍රකාශයට පත් කරන ලදි,
ප්ටාහ් ගේ ආදරයට පත්, එපිෆානිස් යුකාරිස්ටස් (Epiphanes Eucharistos) දෙවියන් වන, ටොලමි රජ සහ ආර්සිනෝ බිසව හෙවත් ෆිලොපාටර් දෙවිවරුන්ගේ පුත‍්‍රයා වන, සදාකාලික ටොලමි රජු, සිය රාජ්‍ය පාලන කාලය තුළ මිනිසුන් සහ සෙසු සියල්ලන් සමෘද්ධිමත් වන සේ, දේවස්ථානයන් සහ ඒවායේ වසන්නන් හට ද, සිය යටත් වැසියන් හට ද, මහත් අර්ථලාභ සළස්වා, දෙවියෙකු සහ දෙවඟනකගෙන් සුජාත දෙවියෙකු වන හෙයින් ද (අයිසිස් ගේ සහ ඔසයිරිස් ගේ පුත‍්‍රයා වන, සිය පියා වන ඔසයිරිස් ගේ පළිය ගත් හෝරස් මෙන්), දයාභරිත ලෙස දෙවිවරුන් වෙත හැරෙමින්, දේවස්ථානයන් හට මුදලින් සහ ධාන්‍යයෙන් ආදායම් පිළිගන්වා, මිසරය සමෘද්ධිමත් කරනු වස් බොහෝ වියදම් දරා, දේවස්ථාන පිහිටුවා, ස්වකීය සියළුම ක‍්‍රියාමාර්ගයන් අතින් ත්‍යාගශීලී වෙමින්, ඊජිප්තුවෙන් තමන් හට ලැබෙන අයබදු ආදායම් සමහරක් මුළුමණින්ම කපා හැර, අනෙක් බදු සැහැල්ලූ කරන ලදින්, ...

‘ප්ටාහ් ගේ ආදරයට පාත‍්‍ර වූ, ... සදාකාලික ටොලමි රජු හට හිමි ගෞරවණීයත්වය වඩා ඉහළ නැංවීම ද,    මනා යැයි රාජ්‍යයේ සියළුම දේවස්ථානයන් හි පූජකවරුන් හට පෙනීගියේය. ප්ටාහ් ගේ ආදරයට පාත‍්‍ර වූ, එපිෆානිස් යුකාරිස්ටස් දෙවියන් වන සදාකාළික ටොලමි රජු වෙනුවෙන් රාජ්‍යයේ සෑම දේවස්ථානයක ම තොත් ගේ පළමු දිනයේ සිට සිවු දිනක් පුරා භෝජන සංග‍්‍රහයක් වාර්ෂිකව පැවැත්වීමත්, ඒවායේ දී ඔවුන් මල්දම් පැළඳීම ත්, බිළි පූජා පැවැත්වීම ත්, අනෙකුත් සුපුරුදු ගෞරවාචාරයන් පැවැත්වීම ත්, සිදුකෙරෙනු ඇත. පූජකවරුන් ඔවුන් විසින් මෙහෙ කරනු ලබන දෙවි වරුන් ගේ නාමයන් ට අමතරව එපිෆානිස් යුකාරිස්ටස් දෙවියන් ගේ ද පූජකවරුන් ලෙස හැඳින්වෙනු ඇත. එසේම, ඔහුගේ (ටොලමි රජුගේ) පූජක වරය සියළුම චාරිත‍්‍රානුකූල ලියවිලි වලට ඇතුළත් කෙරෙන අතර, පෞද්ගලික තැනැත්තන් හටද, සාම්ප‍්‍රදායික ගෞරවාචාරයන් පවත්වාගනිමින්, ඉහත කී දේවස්ථානයේ දී ත්, ඔවුන්ගේ නිවෙස් තුළ ත්, මාසිකව සහ වාර්ෂිකව භෝජන සංග‍්‍රහය පැවැත්වීමට අවසර ලැබේ. එයින් මිසරයේ මිනිස්සු නීතියට අනුකූලව, රජු වන එපිෆානිස් යුකාරිස්ටස් දෙවියන් ගේ ගෞරවනීයත්වය ඉහළ නැංවූ බව සියල්ලන්ටම දැනගත හැකි වනු ඇත...’’ 

මෙම පුවරු ලිපිය, එය හමුවූ රාෂිඞ් (රොසෙට්ටා) හි ප‍්‍රභවය නොවූ බව ඉතා පැහැදිළි ය. එය නිමවන ලද්දේ වඩා ත් රට ඇතුළට වන්නට පිහිටි දේවස්ථානයක (බොහෝදුරට සායිස් (Sais) නම් රාජකීය නගරයේ) දී බව පිළිගැනේ. පළමු වන තියඩෝසියස් (Theodosius I) නම් නැගෙනහිර රෝමක අධිරාජ්‍යයා විසින් ක‍්‍රිස්තියානි නොවන සියළුම වන්දනීය දේවස්ථාන වසා දමන ලෙසට කරන ලද නියෝගය මත, මෙම පුවරුව අයත් ව තිබූ දේවස්ථානය ද ක‍්‍රි. ව. 392 දී පමණ වසා දැමෙන්නට ඇත. එක්තරා අවස්ථාවක මුල් පුවරු ලිපිය බිඳී ගිය අතර, එහි විශාලතම කොටස දැනට අප දන්නා රොසෙට්ටා පාෂාණය බවට පත්වී ඉතිරි වී තිබේ. පසුකාලීනව පුරාණ මිසර දේවස්ථාන, නව ඉදිකිරීම් සඳහා පාෂාණ ආකර ලෙස භාවිතා වූ අතර, රොසෙට්ටා පාෂාණය ද මේ ආකාරයට ම නැවත යොදාගැනෙන්න ට ඇත. පසුව එය මාම්ලූක් සුල්තාන් වරයෙකු වූ කයිට්බායි (1416/18 - 1496) (Qaitbay) විසින් නයිල් නදියේ බොල්බිටයින් ශාඛාව ආරක්ෂා කිරීම සඳහා රාෂිඞ් හි ගොඩනැංවුනුු බළකොටුවේ අඩිතාලම ඉදිකිරීමේදී යොදාගන්නා ලදි. එම පුවරුව නැවත සොයාගන්නා තෙක්, අඩුම තරමින් තවත් සියවස් තුනක් වත් එහි පවතින්නට ඇත. 

මෙම මෙම්ෆිස් නියෝගය ම ඇතුළත් තවත් අභිලේඛන දෙකක්, රොසෙට්ටා පාෂාණය සොයාගැනීමෙන් පසුව හමු වී තිබේ. නුබයිරා (Nubayrah) පුවරුව සහ ෆිලේ (Philae) හි දේවස්ථානයෙන් හමුවූ ලිපිය යනු ඒ දෙක යි. රොසෙට්ටා පාෂාණය මෙන් නොව, මේවායේ හයිරෝරේඛිත පිටපත සාපේක්ෂව හොඳින් සුරැකී තිබේ. එහෙයින්, ඒවා සොයාගැනීමට බොහෝ කලකට පෙර රොසෙට්ටා ලිපිය පරිවර්තනය කර තිබුණ ද, වෝලිස් බජ් (Wallis Budge) වැනි පසුකාලීන ඊජිප්තුවේදීහු රොසෙට්ටා පාෂාණයේ හයිරෝරේඛිත කොටසෙහි හාණි වූ කොටස නැවත ගොඩනැංවීමට මෙකී අනෙක් අභිලේඛණ භාවිතා කළ හ. 

වැඩිපුර බලපු ලිපි