Thursday, May 12, 2022

කෘමියෙකුගේ ජීවිතය


කූඹි ජනපදයක්... 

ඔවුන් ඉතා මහන්සි වී කෑම රැස් කරනවා. නමුත් ඒ කෑම උන්ගේ ගුලට ගෙනියන්නේ නෑ. ගුලේ කට ඇති තැන උස් මුදුනක තියෙන කොලයක් මත ගොඩ ගහනවා... ඒ උන්ව බයකරගෙන පාලනය කරන තණකොල පෙත්තන් රංචුවක් උදෙසා.

ෆ්ලික් ඒ කූඹි රැලේ එක කූඹියෙක්. ඔහු නව නිපැයුම් කරන්නෙක්. නමුත් ඔහුගේ නව නිපැයුමක් මිස් ෆයර් වෙලා, තණකොල පෙත්තන් එන දවසේ ම, කූඹි රැළ දවස් ගාණක් තිස්සේ එකතු කරපු කෑම කන්දරාව, ඇලට වැටෙනවා.

තණකොල පෙත්තන් කූඹියන්ට තර්ජනය කරනවා. කොළ වැටෙන කාලය ඉවර වෙද්දී ආපහු කැම හොයලා තිබ්බේ නැත්නම් ඔවුන් විනාශ කරන බව කියමින්.

ෆ්ලික් නගරයට යනවා, තමන්ට උදව් කරන්න සූදානම් ලොකු කෘමියන් හොයාගෙන එන අදහසින්. ඔහුට හම්බ වෙන්නේ, සර්කස් කාරයන් රැළක්. ෆ්ලික් හිතන්නේ ඔවුන් වීරයන් කියලා. නමුත් ඔවුන් කරන සර්කස් එකවත් හරියට කරගන්න බැරුව නරඹන්නන් හිනස්සවන විදිහේ ෆේල් චරිත ටිකක්.

සර්කස් කාරයන් ෆ්ලික් එක්ක ආපහු කූඹි ගුලට එනවා. ඔවුන් එතනදි කූඹියන්ට පොරොන්දු වෙනවා තණකොල පෙත්තන් පරාද කරලා කූඹි රැළ බේරගන්න බවට.

මෙතන තියෙන්නේ එක සරළ සිද්ධාන්තයක්. ඒක තණකොල පෙත්තන් රැළට, ඔවුන්ගේ නායකයා වන හොපර් කදිමට විස්තර කරලා දෙනවා...


මේක වඩා පැහැදිළියි. නමුත් ඉහළ ක්ලිප් එක වඩා සවිස්තරාත්මකයි...



කූඹි රැළේ දහස් ගාණක් කූඹි ඉන්නවා. නමුත් තණකොලපෙත්තන් ඉන්නේ ටික දෙනයි. කූඹි රැළ එකා වන් ව එක ම අදහසකින් ක්‍රියා කළොත්, ඔවුන්ට පරදවන්න බැරි සතුරෙක් හෝ පාලකයෙක් නෑ... එය තේරුම් ‌නොගන්නා තාක්, කූඹි රැළ පාලනය කර මර්ධනය කර තබා ගන්න පුළුවන්. ඒ වගේ ම තණකොල පෙත්තන්ට තමන්ගෙ ජීවිකාව කරගන්න පුළුවන්.

ඒ වගේ ම තාවකාලික සුළු සුළු ජයග්‍රහණවලින් එහෙමත් නැත්තම් තණකොළ පෙත්තන්ගේ රැවටීම්වලින් නොනැවතී, තම අරමුණ සම්පූර්ණයෙන් ම ඉටු වන තෙක් සටන් කිරීම වැදගත්. (ඒක මම කිව්වෙ මේ ෆිල්ම් එක ගැන විතරක් නෙමෙයි...)

1998 දී ආපු ඉතාම වැදගත් සහ ලස්සන ෆිල්ම් එකක්, A Bug's Life. ඩිස්නි නිෂ්පාදනයක්. මෙතනින් බලන්න...

Tuesday, May 3, 2022

දොන් කිහෝටේ


ස්පාඤ්ඤයේ විසූ වංශවත් වයසක මනුස්සයෙක්, අලෙන්සෝ කිහැනෝ. ඔහු‌ මධ්‍යතන යුගය පසුබිම් වුණු කතා සෑහෙන ප්‍රමාණයක් කියවා තියෙනවා. අන්තිමේ ඔහුගේ සිහිය පොඩ්ඩක් සීරු මාරු වී, ඔහු විශ්වාස කරන්න පටන් ගන්නවා, තමන් නිර්භීත නයිට් වරයෙක් වුණු මන්චා හි දොන් කිහෝටේ බව. යකඩ ඇඳුමක් ඇඳගන්නා ඔහු අශ්වයෙකු පිට නැගී, තම වීර චාරිකාව පටන් ගන්නවා.

ඔහු අඳුනන කිහිප දෙනා ඔහුට හරි සිහිය ලබා දෙන්නට තැත් කළත් එය සාර්ථක වන්නේ නෑ. අවසානයේ දී ඔහුගේ උමතුවට ඉඩ දෙමින් ඔහු ආරක්ෂා කරගන්නට ඔවුන් කීප දෙනා තැත් කරනවා.

කිහැනෝ තමන්ගේ මිතුරෙකු වන සන්චෝ පන්තා තමන්ගේ ගමන් සගයා ලෙස තෝරාගන්නවා. ඔවුන් ඉදිරියට යන විට හමුවන සුළං මෝලක්, යෝධයෙක් හැටියට සළකා ගන්නා දොන් කිහෝටේ, එය සමග සටන් කරනවා. තවත් වරක හමුවන බැටළුවන් රැළක් සතුරාගේ හමුදාව හැටියට සළකා ගන්නවා.

ගම්බද තානායමක් බළකොටුවක් හැටියට හිතා ගන්නා දොන් කිහෝටේ, එහි වැඩ කරන තරුණියකට ආලය කරන්නට පෙළඹෙනවා.

ඔහුගේ උමතු ගමන 2000 දී තිරගත කෙරුණු දොන් කිහෝටේ නම් චිත්‍රපටියෙන් නිරූපණය වෙනවා. එහි මුල් කෘතිය වන මිගෙල් සර්වාන්තෙස් ගේ දොන් කිහෝටේ නමින් ම යුත් ලෝක ප්‍රසිද්ධ නවකතාව ඇසුරින් නිර්මාණය කෙරුණක්.

මෙතන තියෙනව ට්‍රේලර් එක...


අලෙන්සෝ කිහැනෝ හෙවත් දොන් කිහෝටේ ලෙස රඟපාන්නේ, ශ්‍රෙක් චිත්‍රපටියේ වංශාධිපති ෆාක්වාඩ් ලෙස හඬකැවූ ජෝන් ලිත්ගෝ. ඔහුට අමතරව තවත් ප්‍රසිද්ධ නලු නිළියන් රැසක් මෙහි පෙනී සිටිනවා.

මෙතන ඔබ නලයේ (පරිවර්තන අයිතිය යාන්හෑල්ලේ සුරංග සතුයි) 2000 දී තිරගත වුණු සම්පූර්ණ චිත්‍රපටිය තිබෙනවා. එය සොයද්දී 1991 - 92 කාලයේ හැදුණු සම්පූර්ණ රූපවාහිනී වෘතාත්නතයකුත්, ඕසන් වේල්ස් හදපු චිත්‍රපටියකුත් හම්බවුණා.

ඉතින් ලොකු දෙයක් නෑ මේ චිත්‍රපටිය ගැන අමුතුවෙන් කියන්නට. මේ දවස්වල යමක් නිර්මාණය කර ලියන්නට තරම් යහපත් මානසිකත්වයක් නෑ. රටේ සිද්ධවෙන පෙරළි වගේ ම, මාස්ටර් පාඨමාලාවේ අවසන් අංගය වන ස්වාධීන පර්යේෂණයේ වැඩවලින් ඔලුව ආකූල වී තියෙන්නේ.

ඒ වගේ ම සහෘදයන්ගේ බ්ලොග් ලිපි ගණනාවක් මග ඇරුණා. ඒ ගැන අවංක කණගාටුව පළ කරනවා.

වැඩිපුර බලපු ලිපි