Friday, December 19, 2014

ලංකාවෙ යහපාලනයක් නැද්ද...?

http://www.apubb.ro/goodgovernancestudies
/wp-content/uploads/2014/01/Good-governance-V2.jpg

2010 දී හෙවත් ශ්‍රී ලංකාව තුළ පැවති සිවිල් යුද්ධය හමාර කොට ලංකාවේ සමස්ත භූමි භාගයම ශ්‍රී ලංකාණ්ඩුවේ පාලනයට යටත් කර ගත් උණුසුමේ පැවති ජනාධිපතිවරණයේදී, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට එරෙහිව තරඟ කළ, යුද්ධය දිනන විට යුධහමුදාවේ හිටපු හමුදාපති, තරු හතරේ ජනරාල් වරයෙකු තත්ත්වයට උසස් වූ, සරත් ෆොන්සේකා මහතා කියූ ප්‍රධානතම වචනය වූයේ යහපාලනයයි. (ඇතැම් මාධ්‍ය වලට අනුව නම් ෆොන්සේකා මහතා වැඩියෙන්ම කියා ඇත්තේ, වහලවල් දිගේ බඩගාන නිශාචර සිවුපා සතෙකුගේ නමකි) 

දැන් ෆොන්සේකා මහතාගේ ද සහාය ඇතිව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට එරෙහිව ජනාධිපතිවරණයට තරඟ වදින මෛත්‍රීපාල සිරිසේන මහතාද කියන්නේ ලංකාවේ යහපාලනයක් නැති බවය. ඒ අනුව එතුමා බලයට පත්වූ විට ලංකාවේ යහපාලනය ඇති කරන බවට පොරොන්දු වන බව සැළකිය හැකිය.

යහපාලනය ගැන කතා කරන මෛත්‍රීපාල මහතා සන්ධාන ආණ්ඩුවෙන් ඉවත් වන විට කලින් දැනුම් දීමක් නොකළ නිසා, එතුමා ළගත් ඇති යහපාලනයක් නැති බව ලංකාවේ ප්‍රධාන පුරවැසියන් කීප දෙනාගෙන් එක් අයෙකු බවට පත්ව සිටින නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ප්‍රසිද්ධ කතාවක් ද කළේය.

එක්සත් ජාතීන් ගේ සංවිධානයේ නිර්වචනය අනුව, යහපාලනය අංග අටකින් සමන්විතයි:

1. පොදු එකඟතාවය (Consensus Oriented)
2. සහභාගීත්වය (Participatory)
3. නීතියේ පාලනය (following the Rule of Law)
4. ඵලදායීතාව සහ කාර්යක්ෂම බව (Effective and Efficient)
5. වගවීම හෙවත් උත්තරදායී බව (Accountable)
6. විනිවිදභාවය (Transparent)
7. ප්‍රතිචාරාත්මකබව (Responsive)
8. අපක්ෂපාතීබව හා පාලනයට සියල්ලන් ඇතුළත්කරගැනීම (Equitable and Inclusive)
(උපුටාගැනීම - විකිපීඩියා)

ඒ අනුව:
1. ජනතාවගේ පොදු එකඟතාවය අනුව රටේ පාලනය ගෙනයාම, 
2. මහජන නියෝජිතයන්ගෙන් බහුතරය රටේ පාලනයට නීති සකස් කිරීම සඳහා යොදා ගැනීම,
3. නීතියේ පාලනයට සියල්ලන්ම සමානව යටත් වීම,
4. රටේ ආර්ථිකයේ සිදුවන සෑම කාර්යයකම ඵලදායිතාව (පිරිවැයට සරිලන ප්‍රතිලාභ) තිබීම සහ ඒවා කාර්යක්ෂමව (අඩු කාලයකින් වැඩි වැඩ ප්‍රමාණයක්) ඉටු කිරීම,
5. ආර්ථික කළමණාකරණයේ සහ රාජ්‍ය පාලනයේ සියළුම කාර්යයන් විගණනයට ලක් කිරීම සහ ඒවා සම්බන්ධයෙන් මහජන නියෝජිතයන් උත්තර දිය යුතු තත්ත්වයක් පවත්වා ගැනීම,
6. සිදු කරන සෑම කාර්යයක්ම නියමිත රීති කාර්ය පටිපාටි වලට අනුකූලව සිදු කිරීම,
7. දේශයේ වර්තමාන සහ අනාගත අවශ්‍යතාවන් හඳුනාගෙන ප්‍රතිචාර දැක්වීම,
8. පාලන තන්ත්‍රය සියල්ලන්ට අපක්ෂපාතී වීම සහ ඊට පක්ෂ විපක්ෂ සියල්ලන්ම ඇතුළත් කර ගැනීම.


ඉතිං මේවා ලංකාවෙ තියෙනවද / නැද්ද?

තීන්දුව ඔබේ - උපකාරය අපෙන්...!

Wednesday, December 17, 2014

දිනුවත් පැරදුනත් ජනාධිපති - බෙංගමුවේ නාලක හාමුදුරුවන්ගේ මුසාවාද

http://www.defence.lk/img/20080613_05.jpg
ජනාධිපති උපදේශක, මානෙල්මල් ව්‍යාපාරයේ පුරෝගාමි සාමාජික, තවළම සංවර්ධන පදනමේ අනුශාසක, ජාතික ත‍්‍රිරෝදරථ සංගමයේ උපදේශක, හෙළබිම සංවිධානයේ අනුශාසක, ලංකා මිතුරෝ ශිෂ්‍යත්ව සංවිධානයේ ලංකා කමිටුවේ සභාපති, දේශපේ‍්‍රමී භික්‍ෂු පෙරමුණේ ලේකම්, චින්තන පරිෂදයේ සභාපති. ශ‍්‍රී ලංකා ශිෂ්‍යෝපකාර සමිතියේ අනුශාසක හා පන්සලෙන් ගමට ඔසු උයන් ව්‍යාපෘතියේ උපදේශක හා නිර්මාතෘ, මහින්ද රාජපාක්ෂික, දේශ මාමක, පාලි භාෂාව පිළිබද විශේෂවේදී, විද්‍යාලංකාර පිරිවෙනේ සහ පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයේ හිටපු කතිකාචාර්ය බෙංගමුවේ නාලකාභිධාන ස්ථවිරයන් ඊයේ හෝ පෙරේදා මාධ්‍ය හමුවකදී දෙසා වදාළ කතාවක් ඩ්‍රැකියාගේ අවධානයට ලක් වුණේය.

“...මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ජනාධිපතිවරණය කැඳවා ඇත්තේ තවත් අවුරුදු දෙකක ධූරකාලයක් ඉතිරිව ඇති අවස්ථාවකය. ඒ නිසා බැරිවෙලාවත් මෛත්‍රීපාල සිරිසේන මහතා දිනුවත්, තවත් අවුරුදු දෙකක් මේ රටේ ජනාධිපති වෙන්නේ මහින්ද රාජපක්ෂ යි...”

බෙංගමුවේ නාලක හාමුදුරුවන්ගේ මේ ප්‍රකාශයෙන් කාරණා කීපයක් එළිවෙයි:

1. මෛත්‍රීපාල මහතා දිනන්නට ඉඩ තියෙන බව මේ උන්නැහැලා ගේ යටිහිත පිළිගන්න බව මෙයින් හෙළිවන්නේය.   

2. සමහර විට විදෙස් පුවත් ප්‍රකාශ කර ඇති ආකාරයට, මෛත්‍රීපාල මහතා දිනුවාට පසු ජනාධිපති ධූරය අත්නොහැර, ඒ මැතිවරණ ප්‍රතිඵල නිශේධ කිරීමේ අදහසක් මහින්ද මහතාගේ හිතේ ඇති බවට මේක හෝඩුවාවක් ද වන්නට පුළුවන.

3. භයාණකම ඇත්ත වන්නේ, මහරජාගේ සුභසිද්ධිය වෙනුවෙන් කටේ දිවේ නොගෑවෙන පරිදි අල්ලේ පළකර බොරු දෙසා බෑමට මෙකී දේශ මාමක සංඝ පීතෘවරුන්ට කිසි ම ආකාරයේ සීලයක්වත්, ලැජ්ජාවක් වත් නැති බවය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු වෙබ් අඩවියේ, දහඅටවන සංශෝධනය ද ඇතුළත් කොට සංශෝධනය කර ඇති අලුත්ම අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඕනෑම කෙනෙකුට බාගත හැකි පරිදි ඇතුළත් කර තිබේ. (ලිංකුව මෙන්න) ඒ අනුව මෙම ප්‍රශ්නයේදී ගන්නා ක්‍රියාමාර්ගය සඳහන් කර ඇත්තේ මේ පරිද්දෙනි:

“...**[(3අ) (අ) (i) මේ පරිච්ඡේදයේ ඉහතින් වූ විධිවිධානවලට පටහැනිව කුමක් සඳහන්ව ඇත ද, ජනාධිපතිවරයා විසින් ප්‍රකාශනයක් මගින් වැඩිදුර කාලයක් සඳහා තමා තෝරා පත් කර ගැනීමෙන් ධුරය දැරීම පිණිස වරමක් ලබා ගැනීම සඳහා ජනතාව වෙත ආයාචනය කිරීමේ තම අභිලාෂය] ***[තම වත්මන් ධුර කාලය ආරම්භ වී අවුරුදු හතරක් ඉකුත්වීමෙන් පසු යම් අවසථාවක] ****[ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කරනු ලැබිය හැක්කේ ය:

(ඈ) මේ අනුව්‍යවස්ථාව යටතේ පවත්වන ලද ඡන්ද විමසීමක දී ජනාධිපතිවරයා ලෙස තේරී පත්ව ඇතැයි ප්‍රකාශ කරනු ලැබූ තැනැත්තා

(ii) එවකට ධුරය දරන ජනාධිපතිවරයා නොවේ නම්, ඒ ඡන්ද විමසීමේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරනු ලැබූ දිනයෙන් ආරම්භ වන අවුරුදු හයක කාලයක් ධුරය දැරිය යුත්තේ ය....”

(7 පරිච්ඡේදය - 31 (3අ) (අ) (1) වගන්තිය සහ (ඈ) (2) වගන්ති)

ප/ලි


පාලි විශේෂ වේදී බෙංගමුවේ නාලක හාමුදුරුවෝ කියවන්නට ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමහර විට පාලියෙන් තිබුණු එකක් වන්නට ඇතැයි හිතී,  මං හොයා බැලූ නමුත්, හොයාගන්නට තිබුණේ නැත.

Wednesday, December 10, 2014

තුන්කල් දැක්මෙන් හඳුන්වා දෙන නව මැතිවරණ නීති...


1. සියලුම මැතිවරණ අපේක්ෂකයින් හට කටවුට් සවිකිරීම සඳහා සාධාරණ ඉඩ ප්‍රස්ථා සැළසේ:

මැතිවරණ අපේක්ෂකයන් විසින් තමන්ටඅවශ්‍ය තැන් වල ලයිට් කණු සිටුවාගත හැකි වන සේ විදුලි බල මණ්ඩලයේ ඉදිකිරීම් කටයුතු පෞද්ගලික අංශයන් වෙත මැතිවරණ සමයට සීමා වන සේ පවරා දෙනු ලැබේ.

මැතිවරණයෙන් පසු අයකරගැනීමේ පදනම මත ලයිට් කණු සිටුවීමේ සහ කටවුට් මුද්‍රණය කරවීමේ ණය ආධාර ක්‍රමයක් සමෘද්ධි හා දිවිනැගුම බැංකු හරහා ක්‍රියාත්මක කෙරේ.

ඕනෑම තැනක කටවුට් සවිකිරීමට, ඒ සඳහා ඕනෑම දේපළකට පිවිසීමට සහ ඊට එරෙහි වන්නන්ට පහර දීමට ඇති අයිතිය තහවුරු කෙරේ.

2. විරෝධතා මෙහෙයවන්නන් රක්ෂණය කෙරේ:

වීදි ගායකයන් හා විරෝධතා මෙහෙයවන්නන් හට සහනදායී ගෙවීම් ක්‍රමයක් යටතේ ජීවිත රක්ෂණ ඔප්පු ක්‍රමයක් ජාතික රක්ෂණ භාර අරමුදල මඟින් පිහිටුවේ.

පළා දමන එක් ඔළුවකට අවම වශයෙන් රුපියල් තිස් දහසක් වන්දි වශයෙන් තම තමන්ගේ මුදලින් ගෙවීමට අදහස් කෙරේ.

ඔළු පළන්නන් සහ සෙල්ලම් පිස්තෝල රැගෙන දුවන්නන් සඳහා ද, හොඳම නිර්මාණාත්මක මඩ ප්‍රහාර සඳහා ද රූපවාහිනී රියැලිටි තරඟ ආරම්භ කෙරේ.

3. පාතාල සාමාජිකයන් සහ මැරවරයන් ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි කෙරේ:

ත්‍රිවිධ හමුදාවට අමතර වශයෙන් දිවයින පුරා ලියාපදිංචි මැර හමුදාවක් ඇති කෙරෙන අතර, දැනට ක්‍රියාත්මක වන මැරයන් අත ඇති ආයුධ වල අඩු ලුහුඬුකම් හමුදා ආයුධ මඟින් පිරවේ.

ඔවුන් හට පහත සඳහන් කාර්යයන් පවරා දීමට අදහස් කෙරේ:

1.  ආණ්ඩු විරෝධී විරෝධතා පැවැත්වෙන ස්ථාන වල ආණ්ඩුවට පක්ෂපාතී විරෝධතා පැවැත්වීම,

2. ප්‍රතිවාදීන් පංසල් වලට යන විට පංසල් වටා රැස්වී හූ කීම,

3. තමන්ට දැනුම් දෙන ඕනෑම අවස්ථාවක දිවයින පුරා රතිඤ්ඤා පත්තු කර ජය ඝෝෂා කිරීම,

4. ප්‍රතිවාදීන්ගේ නිවාස සහ දේපළට ගල් සහ බෝම්බ ගසා හාණි සිදු කිරීම හා වෙඩි තැබීම.

5. කටවුට් හා මැතිවරණ කාර්යාල ආරක්ෂා කිරීම හා ප්‍රතිවාදී මැතිවරණ කාර්යාල වලට පහර දීම.

මෙම හමුදාව උදෙසා මෙරටට ගෙන්වන සුදු වෑන් සඳහා විශේෂ තීරු බදු සහන හඳුන්වා දෙනු ලැබේ.


මෙකී හමුදාවට අමතර වශයෙන් රාජ්‍ය සේවකයන්, ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සහ පොලිසියේ සාමාජිකයන් යොදවා ගැනීමට ඉඩ සැළසේ.

ප/ලි
ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සමරමු!

Friday, December 5, 2014

ජනාධිපතිවරණ ශබ්දකෝෂයෙන්...

http://afunblog.com/wp-content/uploads/2014/10/
Funny-Quotes-about-Elections-1.jpg

අර්ථ දැක්වීම්
    1. සංවර්ධනය (අලුත් වචනය - දැවැන්ත සංවර්ධනය) –
               1. අධිවේගී මාර්ග ඉදි කිරීම 
               (කිලෝ මීටරයක් සඳහා පිරිවැය රු. මි. 16කට වඩා වැය කර),
               2. කොළඹ නගරය අලංකාර කිරීමේ ව්‍යාපෘති,
               3. නීත්‍යානුකූල පාරම්පරික පදිංචිකරුවන් සහ පැල්පත් වාසීන් හමුදාව යොදවා ඉවත් කර, හෝටල් සංකීර්ණ හා වර්ග අඩි 300-400 අතර වන හුංඩු තට්ටු නිවාස ඉදිකිරීම, හා පැරණි තට්ටු නිවාස වල තීන්ත ගෑම,
               4. ගුවන් යානා නොඑන ගුවන් තොටුපොළ, නැව් නොඑන වරාය, ඉඳහිට භාවිතා කරන ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා ඉදිකිරීම,
               5. ජාතික ගුවන් සේවාවක් තිබියදී පාඩු ලබන තවත් ගුවන් සේවයක් පවත්වාගෙන යාම,

(පැරණි / තහනම් කළ අර්ථ නිරූපණය)
               1. ජාතික නිෂ්පාදිතය අවුරුදු ගණනාවක් තිස්සේ නොකඩවා වැඩිවීම,
               2. එහි ප්‍රතිලාභ සාධාරණ ලෙස සියලු රටවැසියන් අතර බෙදී යාම, සහ
               3. එයින් රටවැසියන්ගේ ජීවන තත්ත්වය ඉහළ යාම

    2. නීතියේ පාලනය - 
               1. ඇමතිවරයෙකුගේ පුතෙක් මාසයක් රක්ෂිත බන්ධනාගාර ගත කර (රෝහලේ) තැබිය හැකි වීම,
               2. මහ නගර සභා සීමාවේ අනවසරයෙන් ප්‍රචාරක පුවරු සවි කිරීම,
               3. ප්‍රචාරක පුවරු සවිකිරීමට එරෙහි වූ අයට පහර දීම,
               4. පහර දුන් අය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි වන සේ සැඟවී සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රකාශ කිරීම,
               5. රාජ්‍ය සේවකයන් යොදවා පෝස්ටර් ඇලවීම,
               6. අල්ලස් ගැන ප්‍රකාශ කරන විරුද්ධ පාක්ෂීකයන් ගැන පරීක්ෂණ පවත්වන අතර, ආණ්ඩු පක්ෂයේ ඇමතිවරු වීරයන් බවට පත්වීම,
               7. ජනතාව කුපිත කරවන ප්‍රකාශ කළ බල සේනාව රහස් පොලිසියට ගෙනවුත් ප්‍රකාශ සටහන් කරගෙන අමතක කිරීම,
               8. අගවිනිසුරු ඉතා හදිසියෙන් තනතුරින් පහ කොට අපකීර්තිමක් අයෙක් අගවිනිසුරු ලෙස පත් කිරීම.
               9. අතීතයට බලනොපාන ව්‍යවස්ථා සංශෝධනයකින් ජනාධිපතිවරණයක් කැඳවීම,
               10. ජනාධිපතිවරණය ගැන තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරන් 11 දෙනාගෙන් 10 දෙනෙක්ම අත්සන් කිරීම මඟින් ඊට විරුද්ධව නඩු පැවරීමට නොහැකි තත්ත්වයක් ඇති කිරීම,
               11. ඒ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවේ සභාගත නොකිරීම සහ ප්‍රසිද්ධියට පත් නොකිරීම,
               12. ඇමතිවරයෙක් ඝාතනය කළ අපකීර්තිමත් මන්ත්‍රීවරයෙකුට එරෙහි නඩුව දිගින් දිගටම ඇදි ඇදී යාම,
               13. සැකකරුවන් අත්අඩංගුවට ගෙන ආයුධ පෙන්වීමට එක්කරගෙන යාම,
               14. රාජ්‍ය නොවන සංවිධාන පැවැත්වීමට අදහස් කරන වැඩසටහන් වලට ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ව අනුමැතිය ලබාගත යුතු වීම,

(පැරණි / තහනම් කළ අර්ථ නිරූපණය)
               1. අධිකරණය ව්‍යවස්ථාදායකයේ හා විධායකයේ පාලනයෙන් ස්වාධීනව පවත්වාගෙන යාම,
               2. නීතිය ඉදිරියේ සියලු දෙනා සමාන ලෙස සැළකීමට භාජනය වීම,
               3. වරදකරුවෙකු, වරද කළ අවස්ථාවේ පැවති දඬුවමට වඩා වැඩි දඬුවමකට යටත් කළ නොහැකි වීම,
               4. වරදකරු යැයි ඔප්පු කරන තෙක් සැකකරු නිවැරදිකරු යැයි සැළකිය යුතු වීම.

    3. රාජ්‍ය නොවන සංවිධාන (එන්ජීඕ) -
               1. අධිරාජ්‍යවාදී ගැත්තන්,
               2. ඇමරිකානු ඒජන්තයන්,
               3. කොටි,
               4. ඩයස්පෝරා,
               5. ඩොලර් කාක්කන්,

(පැරණි / තහනම් කළ අර්ථ නිරූපණය)
               රාජ්‍යයක, ආණ්ඩුව විසින් ඉටු නොවන මහජන අවශ්‍යතා ඉටුකිරීමට පිහිටුවාගත්, ලාභ අපේක්ෂා නොකරන සංවිධාන.

   4. ප්‍රජාතන්ත්‍රවාදය -
               විටින් විට මැතිවරණ පැවැත්වීම මඟින් මහජන මුදල් කාබාසිනියා කිරීම හා රටේ ජන ජීවිතය අස්ථාවර කිරීම

(පැරණි / තහනම් කළ අර්ථ නිරූපණය)
සමාජය පාලනය කෙරෙන නීති සකස් කිරීම හා ස්ථාපනය කිරීම සඳහා
ඉදිරිපත් කෙරෙන කෙටුම්පත්: 
සහ එම කාර්යය සඳහා ආයතන පවත්වාගෙනයාම
ජනතාවගේ සෘජු ඡන්දයෙන් හෝ
ජනතාවගේ ඡන්දයෙන් පත්කෙරෙන නියෝජිතයන් මඟින් වක්‍රව
සම්මත කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම

කොටස - තහනම් කළ යුතු කුණුහරුප
    1. යහපාලනය (සමාන පද - බෙදුම්වාදය, රට අස්ථාවර කිරීම, ජාත්‍යන්තර කුමන්ත්‍රණ)

                           (විරුද්ධ පද - යුධ ජයග්‍රහණ, මාර්ග ඉදිකිරීම්, දැවැන්ත සංවර්ධනය)

ප/ලි
දොස්තර රාජිත සේනාරත්න මන්ත්‍රී වරයාගේ නිවසට කුඩු කාරයෙක් හොරෙන් ඇතුල්වී රැගෙන ගොස් ඇති බඩු:
1. අයිපෝඩ් එකක්,
2. ටැබ් එකක්,
3. දොර ජනෙල් වල සරනේරු,
4. ලිපිගොනු කිහිපයක්.

කෞතුකාගාරයට දෙවෙනි වර ඇතුල් වෙච්ච හොරා මොකුත් ගෙනිහිං නැතිලු

අපිට පිස්සු වගෙයි ද මංදා...

වැඩිපුර බලපු ලිපි