Sunday, June 18, 2023

වනගත ශාන්ත පාවුලු තුමා


නුවරඑලිය සිට කඳපොල දෙසට යන B332 පාරේ, පීඩෘ තේ ෆැක්ටරිය පෙනෙන මානයේ පාර අයිනේ පල්ලියක් තියෙනවා. මේ පල්ලියට යන එන බැතිමතුන් බහුතරය කතෝලිකයන් නොවෙයි.


තමන්ගේ හිතේ තිබෙන පීඩාවන්ගෙන් සහනයක් ලබන්නට, මෙතනට ඇවිත් පල්ලියේ ඇති කුරුස මත හුණු ආලේප කරලා ප්‍රාර්ථනා කරන්නට හින්දු, බෞද්ධ ආදී විවිධ ආගමිකයන් එනවා. මෙතනට බාරයක් වුණොත් එය අනිවාර්යයෙන් ම ඉෂ්ට වන බව ඉතා ම බහුතරය විශ්වාස කරනවා. ඒ වගේ ම එහි ඇත්තක් තිබෙන බව මටත් විවිධ පුවත් මඟින් අහන්නට ලැබිලා තියෙනවා.


මේ මෑතක මමත් මේ පල්ලියට ගොඩ වුණේ, මගෙ හිතේ තියෙන සිහිනයක් ගැන අධිෂ්ඨානය ශක්තිමත් කරගන්න හිතාගෙන. (මං පොර ශෛලියෙන් සඳහන් කරපු ඒ පාඨයෙ තේරුම තමයි, මාත් බාරයක් වෙන්න ගියා කියන එක) එතකොට තමයි මම දුටුවේ, වනගත ශාන්ත පාවුලු තුමාගෙ නම. එයිට කලින් මම එහෙම ශාන්තුවරයෙක් ගැන කිසි ම දෙයක් දන්නෙ නෑ.

ඉතින් මම එතුමා ගැන හොයලා බැලුවා. එතන දි දැනගන්න ලැබුණු දේ තමයි පහලින් තියෙන්නෙ.

රෝමක අධිරාජ්‍යයට අයත් වූ ඊජිප්තුවේ තීබ්ස් නගරයට ආසන්න ප්‍රදේශයක ව්‍යවහාර වර්ෂ 227 ආසන්න කාලයක දී උපත ලැබූ මෙතුමා, තීබ්ස් හි ශාන්ත පාවුලු තුමන් ලෙස ද හැඳින්වෙනවා. එතුමාට හිටියේ එක් සොහොයුරියක් පමණයි. ඔවුන් දෙදෙනාගේ මවුපියන් මිය යාමෙන් පසුව, දේපළ තනිවම උරුම කර ගන්නට සිතූ ඒ සොහොයුරියගේ සැමියා, පාවුලුතුමන් ක්‍රිස්තියානි ලබ්ධිකයෙකු යැයි චෝදනා කළා. ඒ, එතුමාට අවුරුදු 16 දී. රෝමක අධිරාජ්‍යයන් වන ඩේසියස් සහ ඔහුගේ අනුප්‍රාප්තික වැලේරියේනස් ‌ගේ පාලනය යටතේ විනිශ්චයට ලක් වුණා. මේ විනිශ්චය අතරෙ, ව්‍යවහාර වර්ෂ 250 ආසන්න කාලයක දි පාවුලු තුමා තීබ්ස් ආශ්‍රිත කාන්තාරයට පලා ගියා.

එතැන සිට එතුමා ජීවත් වුණේ කාන්තාරයේ පිහිටි පැහැදිලි උල්පතක් අසළ ගුහාවක. ඒ ගුහාව ළඟ තිබුණා එක තාල වර්ගයේ ගසක්. ඒ ගසේ කොළවලින් එතුමා තමන්ගේ ඇඳුම් සකස් කර ගත් අතර, අවුරුදු 43ක් වයස් වන තුරු එතුමා ගේ ආහාර වුණේ ඒ ගසේ ගෙඩි. එතැන් සිට දිනපතා රේවන් කපුටෙක් එතුමා ට පාන් බාගයක් ගෙනත් දුන් බව සඳහන් වෙනවා. මෙතුමා යාඤා කරමින් සහ සාමදානයෙන් මෙම ගුහාවේ වාසය කළා.


ඒ අතර, ව්‍යවහාර වර්ෂ 342 ආසන්න කාලයක දී ඊජිප්තුවේ ශාන්ත අන්තෝනි තුමන්ට සිහිනයකින් ශාන්ත පාවුලු තුමන් ගැන දැනගන්නට ලැබුණා. එතුමා ඒ අනුව කාන්තාරයට ගිහින් වනගත තාපස තුමන් මුණ ගැහුණා. ඒ වෙද්දි ශාන්ත පාවුලු තුමන්ට වයස අවුරුදු 113 ක් වූ බව ශාන්ත ජෙරෝම් තුමා ලියූ විටා පවූලි නම්, පාවුලු තුමන්ගේ චරිතාපදානයේ සඳහන්. 


ශාන්තුවරයන් දෙදෙනා එක් දිනක් සහ එක් රැයක් පුරා සාකච්ඡා කළ බව සඳහන් වෙනවා. දෙ දෙනා එකිනෙකා ට ගෞරව කිරීමක් වශයෙන් පාන් ගෙඩියට ආශීර්වාද කොට එය කැඩීමට එකිනෙකාට ආරාධනා කළ බවත්, දෙ දෙනා ම එය තම අත්වලින් අල්ලා කැඩීමේ දී හරි මැදින් කැඩී ගිය බවත් කියැවෙනවා.

දෙ වන වර ශාන්ත අන්තෝනි තුමා ශාන්ත පාවුලු තුමන් හමු වීමට ගිය විට එතුමා මිය ගොස්. අන්තෝනි තුමා තමන්ට ඇලෙක්සැන්ඩ්‍රියාහි පාප් තුමා වූ පළමුවෙනි ඇතනේසියස් තුමා තෑගි කළ ටියුනික් රෙද්දකින් පාවුලු තුමන්ගේ දේහය ඔතා භූමදාන කළා. එහි දී සිංහයන් දෙදෙනෙක් එතුමාට වළ සෑරීමට උපකාර කළ බව සඳහන්.

තාල ගසේ කොළවලින් වියන ලද, ශාන්ත පාවුලු තුමන්ගේ ලෝගුව ශාන්ත අන්තෝනි තුමා රැගෙන ආවා. එතුමා ඊට කොයිතරම් ගරු කළා ද කියතොත්, එය ඇන්දේ අවුරුද්දකට දෙවතාවක් පමණයි. ඒ පාස්කු දින සහ පෙන්තකෝස්ත දින යන දින දෙකයි.

වනගත ශාන්ත පාවුලු තුමන්ගේ මංගල්ල දිනය ජනවාරි 15 සැමරෙනවා. එතුමා ගේ ප්‍රධාන දේවස්ථානය ඊජිප්තුවේ නැගෙනහිර කාන්තාරයේ රතු මුහුද කඳුවැටිය අසළ ඉදිකර තිබෙනවා. බැතිමතුන්ගේ අදහස, එය පිහිටා තිබෙන්නේ ශාන්ත පාවුලු තුමන් වාසය කළ ගුහාව මැදි කර බවයි. 


13 වන සියවසේ දී හන්ගේරියාවේ දී පළමුවන වනගත ශාන්ත පාවුලු තුමන්ගේ නිකාය ඇරඹුනේ එතුමාට ගරු කිරීමක් වශයෙන්. සාමාන්‍යයෙන් ආරණ්‍යවාසී ශාන්ත පාවුලු තුමන් නිරූපණය කරන්නේ තාල ගසක්, සිංහයන් දෙදෙනෙක් සහ රේවන් කපුටෙක් සමඟයි. 

මූලාශ්‍ර:

https://en.wikipedia.org/wiki/Paul_of_Thebes

https://www.catholic.org/saints/saint.php?saint_id=5280

https://www.britannica.com/biography/Saint-Paul-of-Thebes

වැඩිපුර බලපු ලිපි