Monday, April 25, 2022

සුවාතගේ තවත් වික්‍රමයක් - කකුල් තුනේ බීරි මුවා

ඔන්න ළමයි මේ ළඟදි ප්‍රවෘත්ති බල බලා ඉන්නකොට මට මතක් වුණා සුවතා ගේ තවත් වික්‍රමයක්. මේක ගොඩක් කෙටියෙන් ලියවෙන්න පුළුවන්. කමක් නෑ ඉතිං කියවමුකො...

සුවාතගේ අයියා තමයි විජයාතා. එයාගෙ පුතා නෙව අර ප්‍රසිද්ධ කලා භූෂණ කටුවාලමුල්ලේ වයි. ජිනදාස නම් කවියා. ඔන්න දවසක් ඔය කියන විජයාතට ලෝකෙ නැති ලෙඩක් හැදුණා. ඒක වුණේ හඳ සලබයා කියන මහා විසාල සලබයා...

පොඩ්ඩක් නැවතිලා හඳ සලබයා ගැන ඉගෙන ගෙන ඉම්මු. ගොඩක් අය දන්නැති කෘමි සතෙක් තමයි හඳ සලබයා. ඔය සතා ඒ තරම් ලොකු සතෙක් නෙමෙයි. වැඩිම උනොත් අප්‍රිකානු අලියෙක්ගෙ කන් දෙක විතර ඇති උගෙ පියාපත්. වරක් නං එයිට වඩා තුන් ගුණයක් විතර ලොකු හඳ සලබයෙක් ගැන දොස්තර ඩූලිට්ල් වාර්තා කරලා තිබුණා. ඒත් ඒ ගැන කිසිම සාධකයක් ඉදිරිපත් කරලා තිබුණෙ නෑ.

ඔය හඳ සලබයා මහ රෑ දොළහ - පාන්දර දෙක අතර කාලයෙ මහ පොළොවෙ ඉඳං, හඳට පියාඹනව. සලබයො කොහොමත් ආලෝකයට ඇදිලා යනවනෙ. උගෙ සයිස් එකට ඌ ආකර්ෂණය වෙන්නෙ හඳට ම විතරයි. 

ඔය ළමයි දැකල ඇති අපි රෑට පාරෙ බැහැල යනකොට හඳත් අපිත් එක්ක යනව. ඒ විදිහට රෑ හඳ එහෙ මෙහෙ යන නිසා සලබයට එක ඉළක්කයක් තියාගෙන පියාඹන්න අමාරුයි. ඒක නිසා තමයි හඳ සලබයා මිනිස්සු ඔක්කොම නින්දට ගියාට පස්සෙ හඳට පියාඹන්නෙ.

ඔය හඳ සලබයා දවසක් ඔහොම පියාඹද්දි උගෙ පියාපතකින් වැටිච්ච කුඩු ටිකක් අපේ විජයාත‌ගෙ ඇහැකට වැටිලා පොඩ්ඩක් රතු උනා. ඒකට බෙහෙත් විදිහට අපේ පැත්තෙ උන්නා වෙද මහත්තයෙක්, මට නම මතක නෑ. එයා කිව්වා කන් දෙක ම බීරි, කකුල් තුනේ මුවෙක් ගෙ ‌මොළේ අරං එන්න කියලා.

ඉතිං කොහොම ද ඔය විදිහෙ මුවෙක් හොයාගන්නෙ? 

ඔය වැඩේට ඉදිරිපත් වුණේ අපේ සුවාතා. කස්ටිය දැනට ම කියවල තියෙනවනෙ සුවාතගෙ දඩයම් විස්තර...

සුවාත ගෙදර ඇති කළා ඉබ්බෙක්. මූ එසේ මෙසේ ඉබ්බෙක් නෙමෙයි. ඌට සෑහෙන තරං වේගෙන් දුවන්න පුළුවන්. සුවාතා උගෙ පිටට නැගගත්තහම ඌ කොයිතරම් වේගෙන් දුවනවද කියතොත්, ඉබ්බව පේන්නෙ නැති තරම්...

ඉතින් සුවාතා අර ඉබ්බවත් අරගෙන ගියා මුව දඩයමේ. ගිහින් මුවො ඉන්න තැනිතලාවට ගොඩ වුණා විතරයි, සුවාතා දැක්කා හැතැම්ම තුනක් හතරක් ඈත ඉන්න මුවෙක්. උන්දැ මොකද කළේ... ඇහැට කන්ණාඩියත් දාගෙන, හොඳට ඉළක්කෙ අරං, වෙඩි තිබ්බා මුවාගෙ වං කණට. තියපු ගමං පැන්නා ඉබ්බගෙ පිටට. ඉබ්බා දිව්වා මුවා ගාවට. සුවාතා මුවා ගාවට ආපු ගමං, ඉබ්බගෙ පිටෙන් පැනලා, තුත්තිරි ගහක් අරං ගැහුවා මුවාගෙ දකුණු කණේ. මුවා පස්සගාතෙන් කණ කහන්ඩ පටං ගත්තා.

ආං එතකොට තමයි අර වෙඩි තියාපු වෙඩිල්ල ඇවිත්, මුවාගෙ වං කණෙං ඇතුල් වෙලා, දකුණු කණෙං පිට වුණේ, කණ කහ කහ හිටපු දකුණු කකුලත් කඩාගෙන.

මුවා ‌මැරෙද්දි, කන් දෙකම බීරියි, කකුල් තුනයි...


මේක කියවද්දි කාටහරි මොන මොනව හරි මතක් වෙනවනං ඒ ගැන මගේ කිසිම වගකීමක් නැත.


කලින් ලියපු ගජබින්න...

1. බාප්පගෙ මිරිස් වගාව

2. ඉඩෝරෙට වෙළේ ළිඳක්

3. අලිමාලය

4. සුවාරිස් මුත්තගෙ දඩයම්

5. ඉර හඳ පල්ලා බොරු නෙමේ

6. අන්දිරිස් කිත්තගෙ මුහුදු වික්‍රම

7. වට්ටක්කා සහ පතෝල

8. ලබ්බෙ කානිවල් එක

9. කන්තලේ මහ වන මැද

10 බාප්පගෙ සත්ත්ව පාලනය හෙවත් හුංගා සහ එළුවා

11 බාප්පයි පුතයි

12. විලියොං ආතගෙ කාලෙ ගජබින්නයක්

13. ඩොක්ටර් වන් ෂොට් සහ ඉලෙක්ට්‍රොනික්ස්

14. බාප්පගෙ හේනෙ විත්ති

15. අනද කිත්තගෙ බිලී බෑම

16. ලබ්බෙ මගුල

17. කෙටි කලබල ගජබින්න. 

18. අනද කිත්තා කටුවාලමුල්ලට ආ හැටි 

19. අන්දිරිස් අප්පු සහ ගොරක යකා

20. විකුම්ගෙ වික්‍රම

21. නුවරඑළියෙ වග

22. අරුම ගමන

23. කළුවර


Monday, April 11, 2022

පාස්කු හාවා සහ බිත්තර...

ජේසුස් වහන්සේ මරණින් නැගිට්ටායැයි විශ්වාස කෙරෙන පාස්කු ඉරිදා, හාවෙක් පාට කරපු බිත්තර හංගමින් කරන්නේ මොකද්ද?


හිටපු ගමන් මට ඇති වෙච්ච ප්‍රශ්නය ඒකයි. ඉතින් පටන් ගත්තා ඒ ගැන හොයන්න.

තවත් එදා අප දුටු චිත්‍රපටියකට ඔත්තුවක්

රෝමානු සංස්කෘතිය යුරෝපයේ, විශේෂයෙන් ඇංග්ලෝ, සැක්සන්, ගොත් ප්‍රදේශවල පැතිරෙන්නට කලින්, ඒ ප්‍රදේශවල මුල්බැහැගෙන තිබුණේ නෝර්ඩික් කළවමක් සහිත පේගන් ඇදහිලි. නත්තලේ පේගන් මුල් ගැනත් මේ වගේ ම හොයා බැලිල්ලක් මම මීට කලින් සිදු කළා.

ඉයෝස්ට්‍ර, ඔස්ටේර, හෝ ඇස්ටාර්ටේ නමින් ඇතැම් ප්‍රදේශවල හඳුන්වන, ඊස්ත්‍රා හෝ ඌස්ත්‍ර (Eostre) යැයි ඇංග්ලෝ සැක්සන් උච්ඡාරණය සහිත නමින් හැඳින්වුණේ, හිමිදිරියට සහ සරු බවට අධිගෘහිත පේගන් දෙවඟන. ඇය සැමරීම වසන්තයේ උදාවත් සමඟ ම හෙවත් අප්‍රේල් මාසයේ මුල් දෙසතිය තුළ සිදුවුණු පේගන් උත්සවයක්. ආදී ජර්මානු කැලැන්ඩරයේ, අප්‍රේල් මාසයට සමපාත වූ මාසය හැඳින්වුණේ ඌස්ත්‍රමානුද් හෙවත් ඊස්ටර් මාසය යනුවෙන්. 

පේගන් සූර්ය කැලැන්ඩරයට අනුව, වසන්ත සෘතුව ආරම්භ වී පළමු පුර හඳට පසුව එළඹුණු ඉරිදාව තමයි දැන් පාස්කු ඉරිදාව ලෙස හැඳින්වෙන්නේ. 

වසන්ත කාලයේ හාවුන් ඉතාම කාර්ය බහුල ලෙස තම ප්‍රජාවගේ සරුබව පෙන්නුම් කරන නිසා, සරළව කිව්වොත් ඉතාම කාර්ය බහුල ලෙස වර්ගයා බෝකිරීමේ ක්‍රියාවලියේ නිරත වෙන නිසා, සරු බව සංකේතවත් කරන  ඊස්ත්‍රා දේවතාවියගේ සංකේතය විදිහට හාවුන් යොදා ගන්නට ඇතැයි සැළකෙනවා.

අනික් අතට, ශීත සෘතුවේ ඉතාම අල්ප විදිහට කිකිලියන් බිත්තර දැමුවත්, වසන්තය උදා වීමත් එක්ක ඔවුනුත් සක්‍රිය වෙනවා.

වසන්තයේ උදාව ඉතාම වර්ණවත්. මොකද හැම තැනකම අලුත් දළු දැමූ ගස් අතු රිකිලි, වර්ණවත් මල්, අළු පැහැය වෙනුවට අහසේ දීප්තිමත් නිල් පැහැය දකින්න ලැබෙනවා. ඒ විදිහට ම තද පාටවල්වලින් බිත්තර වර්ණවත් කිරීම පේගන් සිරිතක් විදිහට හඳුනා ගැනෙනවා.

පාස්කුවට පෙර දින රාත්‍රිය ගිණිමැල දල්වාගෙන සමරන ලද බව 19 වන සියවසේ විසූ ජේකබ් ග්‍රිම් (ග්‍රිම් සොහොයුරන්ගෙන් කෙනෙක්) ලියනවා. පසුවදා උදෑසනින් ම ළිඳිකින් හෝ වෙනත් මූලාශ්‍රයකින් ලබා ගත් වතුර ශුද්ධ වූ හෝ සුවපත් කරවන බලයක් ඇති වතුරක් ලෙස විශ්වාස කෙරුණා. 

ජේකබ් ග්‍රිම් කියන හැටියට, ඊස්ත්‍රා කියන්නේ හිමිදිරියේ ගළාඑන හිරු එළිය. අරුණළු ගලන්නේ ඉහළ සිට පහළට නොවෙයි. හිරු මුලින් ම සිතිජයෙන්හි උඩට නැගෙද්දී, රතුවට හුරු පළමු ආලෝක දහර ගලාගෙන එන්නේ හරස් අතට. එහි දකින්නට තිබෙන චමත්කාරය නව ජීවනය සංකේතවත් කෙරුණා. වසන්ත සෘතුවේ මුල්ම දවස්වල දකින්නට ලැබෙන හිරු එළිය කොහොමත් ජීවය ගැන පොරොන්දු ඇතිකරවන්නක්.

ඉතින් පසුකාලීන ක්‍රිස්තියානියට ජේසුස් වහන්සේ නැවත මරණින් නැගිටීම සංකේතවත් කරන්නට ඊට වඩා හොඳ කාලයක් හිතාගන්නට බැරි වුණා විය හැකියි.

අනික් අතට, බෛබලයේ සුභාරංචි හතරට ම අනුව ජේසුස් වහන්නේ කුරුසයේ ඇණ ගසන ලද්දේ යුදෙව් කැලැන්ඩරයට අනුව නිසාන් මාසයේ (වර්තමාන මාර්තු - අප්‍රේල්) 14 වන දිනයේ වන අතර, යුදෙව්වන් අතර ප්‍රචලිත "පළමු පලවැල භුක්ති විඳීමේ උත්සවය" දිනයේ උන්වහන්සේ මරණයෙන් නැගිට්ට බව සළකා ගත හැකියි. මේ ‌තොරතුර අනුව බහුතරයක් දෙනා පිළිගන්නේ උන්වහන්සේ කුරුසිපත් කරන ලද්දේ සිකුරාදා දිනයක බවයි. මේ ගැන සොයා බැලූ අයිසෙක් නිව්ටන් කියන්නේ, පොන්ටියස් පිලාත් ගේ පාලන කාලය ඇතුළත (ක්‍රි. ව. 31 - 36) නිසාන් මස 14 වන දින සිකුරාදා දිනයක් වන්නට ඉඩ තිබෙන්නේ, ක්‍රිස්තු වර්ෂ 33 අප්‍රේල් මස 3 වන දිනයේ වන බවයි.

මූලාශ්‍ර

http://www.arcane-alchemy.com/blog/2020/3/5/all-about-eostre-the-pagan-goddess-of-dawn#:~:text=Eostre%20is%20the%20Germanic%20goddess,name%20for%20Spring%20Equinox%20celebrations.

https://www.countryliving.com/life/a41715/easter-bunny-origins/

https://www.goodhousekeeping.com/holidays/easter-ideas/a31226078/easter-bunny-origins-history/

https://en.wikipedia.org/wiki/Chronology_of_Jesus

Friday, April 8, 2022

LXG

සුප්‍රකට දඩයක්කාරයෙක් සහ ගවේෂකයෙක් වුණු ඇලන් ක්වාටමේන්, ලෝකයේ පළමුවන වරට තැනුණු සබ්මැරිනයෙන් මුහුද යටින් ලීග විසිදාහක් ගියපු කැප්ටන් නීමෝ, ටොම් සෝයර්, ඩ්‍රැක්‍යුලා පොතේ මීනා හාකර්, රොඩ්නි ස්කිනර් හෙවත් නොපෙනෙන මිනිසා, කිසි දිනක වයසට නොයන ඩෝරියන් ග්‍රේ, ඩොක්ටර් හෙන්රි ජෙකිල් සහ එඩ්වඩ් හයිඩ් එකතු වී සාදාගත් සමූහයක්... අසාමාන්‍ය මහත්වරුන්ගේ ලීගය. (league of extraordinary gentlemen) 

ඇලන් ක්වාටමේන් කොයිතරම් දක්ෂ සහ පරිණත ඉළක්කකරුවෙක්ද කියන වග මේ කොටසින් පේනවා...


ඇලන් ක්වාටමේන් චරිතයට සුදුස්සා ෂෝන් කොනරි මිස වෙන කවුරුද, කියා හිතෙන තරමට මේ චරිතය ඔහු නිරූපණය කරනවා. ඒ වගේම නෝටිලස් සබ්මැරිනය නිර්මාණය කළ කැප්ටන් නීමෝ හැටියට රඟපාන්නේ අසූව දශකයේ ඉන්දියාවේ සුප්‍රකට නළුවෙක් වුණු නසීරුද්දීන් ශා. 


කතාවට පසුබිම් වන්නේ වික්ටෝරියානු යුගය. ඒ වන විට මීනා හාකර් වැම්පයර් වරියක්. ටොම් සෝයර් ඇමරිකානු රහස් ඔත්තු සේවාවේ නිලධාරියෙක්.

ඔවුන්ට තියෙන අභියෝගය ෆැන්ටම්. කවුද මේ ෆැන්ටම්, කොහොමද ඔහු පරදවන්නේ, ඒ අතර සිදුවන සිදුවීම්වලට මේ අසාමාන්‍ය මහත්වරු මුහුණ දෙන්නේ කොයි විදිහටද යන්න 2003 දී එළිදැක්වුණු මේ චිත්‍රපටය නැරඹීමෙන් දැනගන්න.

මෙන්න පූර්ව ප්‍රචාරක පටය...



Friday, April 1, 2022

අවසානයේ අතුරු කතා... 1


ෆයර්මවුන්ට් කොළණිය ලෙසින් ඉංග්‍රීසි පාලකයන් විසින් නම් කෙරුණු, ගිණිමලේ ඉපැරණි ජනාවාසය වසරේ වැඩි හරියක් ම මීදුම සහ වළාකුළු නිසා අඳුරු වී පැවතුණේ ය. නිතර වැටෙන කුඩු වැස්ස, කඳු මුඳුන් ඉහළින් ගළා යන සුළඟ විසින් ඒ මේ අත විසුරුවන්නේ හිතු මතේ ය. රවුම් ගල් ගෙඩිවලින් ආකූල වුණු, සිඳී යමින් පැවති දියපාරවල් වංගු ගැසෙමින් පුරන් වූ කුඹුරු මැදින් ගලාගෙන යද්දී හිරිමල් කෙල්ලන් හෙමින් සිනාසෙන්නා මෙන් මුණු මුණු හඬ නැඟුනි. හේන් කෙටීමෙන් ම ලඳු කැලෑ බවට පත් ව තිබූ, කඳු මුහුණත් බොහොමයක් අලුතින් වල් කෙටී, කෝපි පැල ඉන්දවීමට යටත් වී තිබුණේ ය. කඳු මුදුන දක්වා ඒකාකාරීව පැතිරුණු කෝපි වගාව ඔස්සේ නෙත් හෙළූ ටිකිරි බණ්ඩා ගේ දෑස් හැකිළුණේ කඳු මුදුනේ සිටි අසරුවාගේ අඳුරු සේයාවෙනි.

"තුඃ...!" බිමට කෙළ ගැසූ ටිකිරි බණ්ඩා ආපිට හැරුණේ ය.

පුරන් වූ හෙල්මලු කුඹුරේ නියර පිටින් ලියද්දට බට ඔහු, අඩ දණින් වැටී, වියළි පස් හා දිරා ගිය පිදුරු අතගෑවේ ශෝකයෙනි.

"අප්පච්චී..." 

ටිකිරි බණ්ඩා නැගිට්ටේ ඇසිල්ලකිනි. තම අඩ දියණියගේ කටහඬ ඇසුණු දෙසට ඔහු දිවගියේ ය. යන්තමින් නවයොවුන් වියට එළඹෙමින් සිටි දැරිය ගොවි රාළගේ ගෙපැලේ මිදුලේ පසෙක වූ ගල්තලාව මත නැග, සිය කැපකරු පියා දිව එන දෙස බලා සිටියා ය.

"හා හා... මේ ගොම්මං වෙලාවෙ එලි පහලියට එන්ට එපා, මයෙ පුතේ..."

"ඉතිං අප්පච්චි ගියෙ...?" 

"හා හා... ඒ පණ්ඩිතකං තියාගමු. යමු පුතේ ගෙට." ඔහු දැරියගේ සුරතින් අල්ලාගෙන ගෙයි එළිපත්තට ගොඩ විය.

"මොකද අප්පච්චි? හැන්දෑවෙත් තියෙන්නෙ දවාලෙ තියෙන දේවල් ම තමා. මොන එහෙකට ද බය වෙන්නෙ?"

"උඹ නං කියයි ඉතිං..." ටිකිරි බණ්ඩා එළිපත්තේ වූ උස් පිළේ වාඩි වී, කරේ වූ ලේන්සුව දිගහැර, උරහිස් මතින් පොරවා ගත්තේ ය.

"අදත් අර වතුකාර හාම්පුතා අස්සයගෙ පිටේ නැගලා උන්නා කවුඩං ගල මුදුනෙ." ටිකිරි බණ්ඩා කීවේ ලොකු මැණිකේ හෙවත් සිය වැඩිමහල් දියණිය ගෙනැවිත් දුන් අඩි වළඳ අතට ගනිමිනි. "උන්දැල කන්දෙ කැලේ කැපුවට පස්සෙ තමා අපේ කුඹුරු වේළිලා ගියෙ. බඩ්ඩිංගක් කාගන්ට නෑ මේ සුදු හැතිකරේ හින්දා..." ඔහු අඩි වළඳේ වූ තලපයෙන් කඩා ගත් ‌බිඳක්, එහි ම වූ මිරිස් හොදි ආනම සමඟ දවටා මුවෙහි ලා ගත්තේ ය. 

"කොයි කාලෙත් එකයි." කීවේ බාල දියණිය ය. "සුද්දො නැත්තං රටේ රාළලා, නිළමෙලා... ඔය කොයි ඇත්තොත් කෙරුවේ තමුං සැප සුවන්දිරං විඳින එක මිසක්, ගම්මුයි ගොවිතැනුයි බලා හදාගන්න එක නෙමෙයි..." 

"මේ බලන්ටකො අප්පච්චි" ලොකු මැණිකේ පිළ මත කකුල් නවා වාඩි වුණා ය. "මේකිගෙ පැහිච්චකම! උඹ සුද්දට කලිං උන්නු ඔය කියන රටේ රාළලා, නිළමෙලා දැකල තියෙනවද මුතූ?"

"ඒ කාලෙ විතරක්යැ? ඔය දැනුත් ඉන්නෙ අපේ නල්ලමලේ ආරච්චිලා, විදානෙලා..." ඈ පිල මත සිටි ටිකිරි බණ්ඩා අසල දණ ගසාගෙන කට ඇරියේ, සුළු පියාගෙන් තලප කටක් කවා ගැනීමට ය.

*    *    *

ගිණිමලේ නියම්ගම පිහිටියේ කහටගස්තලාවේ ය. කඳු වළල්ලෙන් වටවූ තැනිතලා ප්‍රදේශය වෙත වැටුණු අඩිපාරවල් කඳු වටා ඇදුණු දැවැන්ත සර්පයන් වැනි ය. අනාගතයේ දී ජනාකීර්ණ වීමේ ඉරණම සැඟවී තිබූ කන්දෙ වැව ජලාශය සුළඟින් රැළි නඟමින් පැවතිණ. ඒ අසළින් පටන් ගන්නා කුඩා මඩු දහයක් දොළහක් පමණ වූ නියම් ගම කඩ මණ්ඩියට ඉදිරිපිටින් සති පොලේ තාවකාලික ඇටවුම් සවිකර තිබුණි. බඩු විකුණන්නන්ගේත් ගැනුම් කරුවන්ගේත් නිරන්තර ඝෝෂාවෙන් ආකූල වූවකි, කහටගස්තලාවේ ‌සති පොළ.

ටිකිරි බණ්ඩාත්, ලොකු මැණිකේත් තමන්ගේ ගෙවත්තෙන් නෙලාගෙන ඇවිත් තිබූ එළවලු හා පළතුරු ටික විකුණා ඉවර වෙන්නට ආසන්න ය. දැන් දැන් බඩුවල මිල කියන්නේ ඉතා ම අඩුවෙනි. ගැනුම් කරුවන් විසින් මුලින් මුලින් තෝරා, දැන් ඉතිරිව ඇත්තේ ද වටිනාකම කිව නොහැකි සිඟිති, අඩුපාඩු සහිත භෝග ස්වල්පයක් පමණකි.

එක්වරම වෙළෙන්දියන්ගේ කෑ කොස්සම මොහොතකට නතර විය. එසැණින් දකින්නට ලැබුණේ යටිගිරියෙන් කෑගසමින් ඒ මේ අත දුවන මිනිසුන්, ගැහැණුන් හා ළමයින් රැසකි. අසු කුර ගැටෙන හඬ ඒ හඬ ද මැඩගෙන පැතිර යන්නට විය. අසු කුරවල ගැටී ඒ මේ අත විසි වන ගල් කැට ඊතල මෙන් වේගයෙන් විසිරෙයි.

මිනිසුන්ගේ ඝෝෂාවෙන් සහ කලබැගෑනියෙන් කුළප්පු වූ අශ්වයෝ දෙදෙනෙක් ඉදිරි ගාත් ඔසවා හේෂාරවය කළහ. උන්ගේ පිටේ නැග සිටි අඳුරු කබා කාරයෝ දෙදෙනා අසුන් මෙල්ල කර ගැනීමට අසීරු තැතක් දැරූ හ. පිමි දෙක තුනක් පැන ආ එක් අශ්වයෙක් නතර වුනේ ටිකිරි බණ්ඩාගේ එළවලු පඩංගුව අසළ ය. නැවත නැවතත් ඉදිරි ගාත් ඔසවමින් බිම ගසමින් වටේ කැරකැවුණු අශ්වයාගේ කුරවලට හසුවූ පඩංගුව ඉවතට විසි වෙද්දී, දවසේ වෙළෙඳාම මඟින් ටිකිරි බණ්ඩා රැස්කරගෙන තිබූ දුම්කොළ, ලුණු, තුනපහ, රෙදි පිළි වැනි හුවමාරු භාණ්ඩ සියල්ල සීසීකඩ ගියේ ය.

අවට විසිරුණු බඩු බාහිරාදිය රැක ගැනීමට පියා දිව යාම වළක්වා ගැනීම, දියණියන් දෙ දෙනාට කළ හැක්කක් නොවීය. සමහර හදිසි අවස්ථාවන් හි දී කෙතරම් පැසුණු මිනිසෙකු වූව ද කටයුතු කරන්නේ ප්‍රකෘති බුද්ධිය විසින් නොව දෛවය විසින් මෙහෙයවීමෙනි. භයානක අත්දැකීමේ කම්පණයෙන් තැති ගැනුණු ලොකු මැණිකේ, සිය අඩ නැගණිය තදින් බදාගෙන කඩ මැස්සේ කොණක ගුළි ගැසී සිටියා, සිය දෑස් ඉදිරිපිට අශ්වයාගේ කුර පහරට සිය පියා හසුවෙනු දුටුවා ය. නැවත නැවතත් ඉහළ පහළ ගිය අස් කුර... බැස යන හිරු කිරණ වැදී රිදී පැහැයෙන් බැබළුණු ලාඩම්... ඊළඟ වාරයේ නැවතත් ඉහළට එසවෙද්දී ලාඩමේ වැකී තිබුණු ලේ...


වැඩිපුර බලපු ලිපි