තිත්ත කලුවර... හාත්පස මිදී තිබුණේ, වළාකුළු වලින් අහසේ තරු එළිය ද ආවරණය කර තිබුණු හෙයිනි. අඳුරටත් වඩා, පරිසරය අරක්ගෙන තිබූ සීතල මැද ගල් ගැසුණු දැවැන්ත ගස් කිහිපය ගංතලාවේ රටේ මහතාගේ නිවස වටකරගෙන සිටගත් යෝධයන් සේ පෙනුණි. වළව්වේ උස් පිළේ වූ දැවැන්ත ලී කණු, පරාළවලින් පහතට එල්ලුණු පිත්තල පහන් කිහිපයෙන් නැඟුණු මළාණික ආලෝකයෙන් දිළිසුණි. පිල මත ඇණ තබාගත් මුරකරුවෝ සිවුදෙනෙක් නිදි කිරමින් සිටියහ. ඔවුන්ගේ හිස් පහතට නැඹුරුව තිබුණේ යම් රහසක් අසාගෙන සිටින්නාක් මෙනි.
බකුසෙකුගේ දුර්වල හඬක් නැගුනේ වළව්ව දොරකඩ වූ ගසෙනි. ඊට පිළිතුරු සේ අසළ වූ මහ නුගයෙහි එල්ලී සිටි වවුලෝ රැළක් සට සට හඬින් අහසට නැඟ හාත්පස විසිර ගියහ. මහ නුගයේ පහත අත්තකින් ඇදුණු නුග අරළු වැලක් දිගේ උසැති සිහින් මානව රූපී සිරුරක් සීරුවෙන් පහතට ඇදී ආයේ ය. බිමට අඩිය ගැසූ හෙතෙම, මොහොතක් ගුළිගැසී හාත්පස සෑම පැත්තක් ම හොඳින් නිරීක්ෂණය කළේ ය. එකෙණෙහි ඉණතුරින් ඇදගත් සිරියක් දකුණතෙහි රඳවාගෙන, ඔහු ගස මුල තද අඳුරට මුවා විය.
මී ළඟට නුග ගසෙන් බිමට රූරා ආවේ උසැති, උසට සරිලන මහතින් යුත් පුරුෂයෙකි. දිගු කෙස්වැටිය දෑසට නොවැටෙන සේ හිස වටා පටියක් බැඳගෙන සිටි ඔහු ඉණෙහි රඳවාගෙන සිටි කෙටේරිය, ඒ අසළින් පියා හඹා ගිය කණාමැදිරියෙකුගේ එලියකින් යන්තම් දිළිසුණේ ය.
ඔහු බිමට පහත් වෙමින් නුග ගස මුලට ඇදෙද්දී, තවත් නූස් නොමිටි පුරුෂයෙක් නුග අරලුව දිගේ පොළොවට පහත් විය. ඔහු එක් වරක් පමණක් ඉහළ බලා, දිගු හුස්මකින් ළය පුරවාගෙන, හිටිවන ම අහසට පැන, පතාකයක් මෙන් දෙවිටක් කරකැවිණ. ඔහු අනුව පළමු පුරුෂයා ද කරණමක් ගැසූවෙන් එක් මොහොතකින් දෙ දෙනා ම වූයේ වළව්වේ පිල මත සිටි මුරකරුවන් අසළ ය.
"මහා පුදුමයක් නේ..." ඒ ඇඩම් ගේ සරදම් ස්වරය විය. ඒ වචන තුන පිට වූයේ මුරකරුවන් අතරිනි. විදුලියක් කොටන්නා සේ සැනෙකින් නැඟිටගත් මුරකරුවෝ තිදෙනෙක්, කරණම් කරුවන් ආපිට මිදුලට වැටෙන සේ මුෂ්ටි පහර දෙන්නට සමත් වූහ. ඇඩම් මිඳුලට පැන, බිම වැටී සිටි මිත්‍ර හෙවත් වරුණ පූර්ණ නෙල්සන් ග්‍රහණයකින් අල්ලා ගනිද්දී, ලේ රතු පැහැති දැවැන්ත වානරයෙක් බඳු අමනුෂ්‍යයෙක්, උස් පිලෙහි සිට කඩා පැන්නේ ය. ඔහුගේ ඉළක්කය වූයේ මිදුලේ උඩුකුරුව වැටී සිටි සුමන හෙවත් ගලගොඩ නිළමේ ය. ක්ෂණයකින් පිට කොන්දට වැර ගෙන, දේදුණු පිම්මක් ඉදිරියට පැන දෙපයින් සිටගත් ගලගොඩ, රීරි හනුමාගේ භයංකර ග්‍රහණය මඟහැර පසෙකට පැන්නේ ය, පනින ගමන් ම දෑත් කරකවා දුන් මුෂ්ටි පහර දෙකින් යක්ෂයා බිම වැටුණේ ය. ඒ ඇසිල්ලේ ම මිත්‍ර දෙස බැලූ ඔහු දුටුවේ ඇඩම් හා අග්නි එකතුව, සිය මිත්‍රයා වානේ දම්වැලකින් වෙළන ආකාරයයි.
සිය නාසයෙන් රූරා ආ ලේ දහර පිස දැමූ පිටි අල්ල මුවට ළං කළ රීරි යක්ෂයා, දිගු දිව එළියට දිගු කොට එය ලෙව කෑවේ ය. සිය අත මුහුණෙන් ඉවත්ව යත් ම ඔහු ගේ දෑසට ලක් වුණේ ඉතාම ආසන්නයෙන්, ඉතා ම වේගයෙන් ඇදී ආ මිට මෙළවූ වමතකි. එය වානර මුහුණේ නිකට ට මඳක් ඉහළින් වැදුණෙන්, යක්ෂයා වෙවුලුම් කෑවේ ය. සිය සමබරතාව රැකගන්නට තැත් කළ අමනුෂ්‍යයා, පියවර කිහිපයක් පසුබැස නැවතත් දෙපය ස්ථාවර ව තබා ගත්තා පමණි.
![]() |
https://s3.amazonaws.com/sicg/wp-content/uploads/sites/3/2015/12/06004300/Evil-Eyes-e1483217061816.gif |
ගලගොඩ නිළමේ ගේ වේගවත් බව ට සම වන්නට යක්ෂයාට අසීරු වූ බව ඩ්‍රේක් දුටුවේ ය. තමන් සුමන හා සටන් කළේ නම්, ලේසියෙන් මඟහරින්නට හැකිව තිබූ පහරවලට වානරරූපී අමනුෂ්‍යයා හසු වූ බවත්, ප්‍රති ප්‍රහාර එල්ල කරන්නට හැකි වූ අවස්ථා මඟ හැරී ගිය බවත්, දුටු නාවුකයා දෑත් මිට මොළවා ගත්තේ ය. වේගවත් වන්නට වූ හද ගැස්ම සමඟ නොඉවසිළිමත් නළියෑමක් ඔහුගේ පපුව මැදින් පටන් ගෙන දෙවුර හරහා දෑත් දිගේ පැතිර ගිය නමුත්, ඇඟිලිතුඩු මත තෙරපී ගිය සීතල ස්ත්‍රී ඇඟිලිතුඩු වලින් එය සංසිඳී නිවී යන්නට වූ බව දැනුණේ ය.
යටිගිරියෙන් හූ හඬක් නැඟූ රීරි යක්ෂයා, දත් විළිස්සාගෙන, මිට මෙළවූ දෑතින් තමන්ගේ ම පපුවට ගසා ගත්තේ වියරු මානසික ශක්තිය හා ධෛර්යය එක්රැස් කර ගැනීමට ය. එවිගස ම සිය හිස ඉළක්ක කරගෙන කරකැවී ආ සුමන ගේ පා පහර, හිස මඳක් ඇළ කොට වළක්වාගත් ඔහු, වමත ඔසවා තමන් හට පහර දුන් පය, වළලුකර අසළින් අල්ලා ගත්තේ ය. ගලගොඩ ගේ පා පහරේ ශක්තිය ම යොදාගනිමින් ඒ පාදය තමන්ගේ වම්පසින් පිටුපසට ඇදදමන්නට රීරි යකා සමත් විය. ඒ සමඟ ම තමන් අසළින් පිටුපසට විසි වුණු සුමනගේ දේහය ට දකුණු වැලමිටෙන් දරුණු පහරක් දී බිම වැට්ටවීමට ඔහුට හැකි විය.
වමතේ දබරැඟිල්ල හා මහපටැඟිල්ල එකතුකර මුව තුලට රුවා සිවුරුහන් රාවයක් නිකුත් කිරීමට පමණක් සුමන හෙවත් යම ට කාලය ප්‍රමාණවත් විය. රීරි යක්ෂයා හිටි පියවර අහසට පැන, පනින සැණින් ඉණතුරෙහි වූ කුඩා තිසුලවියක් ඇද, සුමන වෙත දමා ගැසුවේ ය. තුන් උල් අවිය සුමන ගේ ඇලපත සිදුරු කරගෙන කිඳී යනවාත් සමඟ ම බිමට පතිත වූ යක්ෂයා සිය දිගු දෑතින් ඔහු අල්ලාගෙන හිසට උඩින් ඔසවා ගත්තේ බිම ගැසීමට ය.
භයංකර හේෂාරවයක් නංවමින් පහත් වූ ඇත්කඳ ළිහිණියාගේ පියාපතින් නැඟුනු මහා සුළඟින් රීරි යකා ගේ සමබරතාව බිඳුනි. දැවැන්ත අත් පසුරු විහිදාගත් ඓරාවණ, ගලගොඩ නිළමේ ගේ සිරුර රීරි හනුමාගේ අතින් ඩැහැගෙන අහසට නැඟුනේ ය.
මෙතෙක් සටනට හවුල් නොවී පිල මත ඇණ තබාගෙන සිටි සිවුවෙනි මුරකරුවා නැඟිට්ටේ ඒ සියල්ලට ම පසුව ය. පොල්තෙල් පහන් ආලෝකයෙන් ඔහුගේ සම රන්වන් පැහැයෙන් දිළිසිණ. යටිකය වැසුනු ධෝතියෙන් සහ උරය හරහා ගිය නූලකින් සැරසුණු ඔහුගේ, ඉරියව්වෙහි අපූර්ව තේජසක් නිසගව ගැබ්ව තිබිණ.
ජයග්‍රාහී උඩඟු ලීලාවක් පාමින් ඔහු සෙමෙන් පිය ඔසවා මිදුල ට බැස්සේ ය. දම්වැලින් වෙළා මිදුලේ උඩුකුරුව වැතිරවා සිටි පුරුෂයා අසළට ආ හෙතෙම, එක් දණක් බිම ගසා ඔහු වෙත නැඹුරු විය. මිත්‍ර, තමන් වෙත නැඹුරු වූ නිළමක්කාරයාගේ මුහුණ හඳුනාගත්තේ ය.
“ලෙව්කේ...“ ඔහුට කීමට හැකි වූයේ එපමණකි.
වමතේ මැදැඟිල්ල සහ මහපටැඟිල්ල එක් කර, සිය හිස ට ඉහළින් දෙවරක් ගසා දැමූ ලෙව්කේ නිළමේ, ඇඟිලි තුඩු දිගුකර, මිත්‍ර ගේ නළල මත තබා තෙරපී ය. දම්වැලින් වෙලා තිබූ ස්වදේශිකයාගේ සිරුර වෙවුලන්නට විය. එසැණකින්, මිත්‍ර හෙවත් වරුණගේ නළලින් සියුම් රැස් දහරක් නැඟ එමින්, ඒ මත වූ තේජ්ස්වි පුරුෂයාගේ වමත වටා වෙළෙමින් ඉහළට නැඟෙන්නට විය.
සිදුවන දෙය වටහා ගත නොහැකිව මොහොතක් විපිලිසර වූ අග්නි සහ ඇඩම්, සිහි එළවාගත්තේ මහ නුගයේ පාමුළින් නැඟුනු සියුම් සර සරයෙනි.
නුග ගස යට පැතිරි ගණ අඳුර ඉරාගෙන, නිහඬව එහෙත් වේගයෙන් ඉදිරියට දිව ආවේ, උස් මහත් පුරුෂයා ය. ඔහුගේ දිගු ලිහිල් හිසකෙස් සුළඟේ පාවෙමින්... ඔහු දකුණතින් අමෝරාගෙන සිටි කෙටේරිය, පොල්තෙල් පහන් ආලෝකයෙන් එක් වරක් දිළිසුණේ ය. එකෙණෙහි ම එය හතරැස් ලෝහමය කුට්ටියකින් සැදුණු යෝධ කුළුගෙඩියක් බවට පත් විය.
වළාකුළින් බර වූ අහස ඉරාගෙන, දැවැන්ත අකුණක් පතිත විය. එය ඇදී ආවේ උසැති මානවයාගේ සුරතේ වූ මිටිය වෙතය. අකුණෙහි විදුලිය මිටියේ ලෝහමය හිස වටා කිහිප වරක් එතුණාක් මෙන් ඇඩම් දුටුවේ ය. ඒ විදුලියේ එළියෙන් ඔහු සිය කැබින් බෝයි ව සිටි ටිරෙල් ඕඩින්සන් හඳුනාගත්තේ, විමතියට පත් විය. සිදුවන අනපේක්ෂිත සිදුවීම් වැලින් වික්ෂිප්තව මොහොතක් හිටිපියවර සිටි ඔහු, ටිරෙල් ද, අග්නි ද, අනුව මිත්‍ර ගේ සිරුර ට නැඹුරුව සිටි පුරුෂයා වෙත කඩා පැන්නේ ය.
ටිරෙල්, සිය සුරතේ වූ කුළුගෙඩිය හිස වටා කරකවා, ලෙව්කේ නිළමේ වෙත දමා ගැසීමට ගත වූයේ තප්පරයටත් අඩු කාලයකි. විදුලියෙන් එතුණු දැවැන්ත මිටිය සිහින් සිවුරුලන් හඬක් නඟමින් ඇඩම් ගේ නාසය අසලින් වේගයෙන් ඇදී යද්දී, ඔහුගේ දෑස් නිළංකාර විය.
හිස ඔසවා බැලූ ලෙව්කේ, “මංඑ ටක්ක් ඇඩම්... ගොඩක් ස්තූතියි“ කියනවාත් සමඟ, ඔහුගේ සිරුර ගිණි පුපුරු වැනි සියුම් අංශවලට විසිරී, අඳුරු වාතස්කන්ධයට මුසුවී නොපෙනී ගියේ ය.
මීළඟට මොනව වෙයිද? දෙයියොත් දන්නෙ නෑ...
සටහන:
මංඒ ටක්ක් - Mange takk = බොහොම ස්තූතියි (නෝවීජියන්)