Friday, May 10, 2019

අංගුලිමාල ගැන - වෙසක් කළාපය

අංගුලිමාල සූත්‍රයෙ තියෙන්නෙ මොනවද? මේ පහළ තියෙන්නෙ ඒ සූත්‍රය මුල සිට සිංහලෙන්...

බුදු හාමුදුරුවෝ එක කාලයක සැවැත් නුවර ආසන්නයේ ජේතවන නම් උයනේ අනේපිඬු සිටුවරයා ඉදිකරවා පූජා කළ ආරාමයේ වාසය කළා.

ඒ කාලයේ ප්‍රශන්නජිත් කොසොල් රජු ගේ පාලනයට යටත් වුණු කොසොල් ජනපදයේ රෞද්‍ර වූ, ලේ තැවරුණු අත් ඇති, මැරීමෙහි සහ විනාශ කිරීමෙහි යෙදුණු, ප්‍රාණීන් ගැන කරුණාවක් නැති අංගුලිමාල නම් හොරෙක් වාසය කළා. ඔහු නිසා ගම්, නියම්ගම්, ජනපද පාලුවට ගියා. ඔහු මිනිසුන් මරා ඔවුන්ගේ ඇඟිලිවලින් බැඳපු මාලයක් දැරුවා. (මට පොඩි කාලෙ ඉඳන් තිබුණු ප්‍රශ්නයක් තමයි, දවස් කීපයක් යද්දි ඔය ඇඟිලි කුණු වෙනව නේද? එතකොට ඔය මනුස්සයට ලෙඩ හැදෙන්නැද්ද? කියන කාරණා)


ඉතින් දවසක් බුදු හාමුදුරුවෝ හවස් කාලයේ අංගුලිමාල කියන හොරා ඉන්න ප්‍රදේශයට වැඩම කරන්නට ඒ දෙසට තියෙන පාරෙ ගමන් කළා. එතුමා දැකපු ගොපල්ලෝ, සතුන් බලන්නෝ, ගොවියෝ, මගියෝ ආදී අය අංගුලිමාල ගේ රෞද්‍රකම ගැන කියලා, එතුමා වළක්වන්නට තැත් කළා. "මේ පාරෙ යනවනම්, දහදෙනෙක්, විසි දෙනෙක්, තිස් දෙනෙක්, හතළිස් දෙනෙක්, පණස් දෙනෙක් ආදී වශයෙන් කණ්ඩායම් විදිහටයි මිනිස්සු යන්නේ. ඒත් අංගුලිමාලගෙන් බේරුණු කෙනෙක් මේ වන තෙක් හිටියෙ නෑ" කියලත් කිව්වා. ඒත් බුදු හාමුදුරුවෝ ඔවුන්ට උත්තර නොදී දිගටම ගමන් කළා.

අංගුලිමාල දුරදීම බුදු හාමුදුරුවන් දැක්කා. "සාමාන්‍යයෙන් මේ පාරෙ මිනිස්සු යන්නෙ කණ්ඩායම් විදිහට. පණහක් ආවත් මගෙන් විනාශ වුණා මිසක් බේරුණු කෙනෙක් නෑ. ඒත් මේ මහණා තනියම එන්නෙ. මොකක් නමුත් බලවත් කමක් නිසා. මම මේ මහණා මරණවා" කියා අංගුලිමාල හිතුවා.

ඉතින් අංගුලිමාල කඩුවත්, පළිහත් අරගෙන, දුන්න ඇද ගෙන බුදු හාමුදුරුවන් පස්සෙ ලුහු බැන්දා. සාමාන්‍ය ගමන් විලාසයෙන් යන බුදු හාමුදුරුවන් ට, පුළුවන් තරම් වීර්යයෙන්, ශක්තියෙන් එළවන අංගුලිමාල ට කිට්ටු වෙන් බැරි වන විදිහේ සෘධියක් බුදු හාමුදුරුවෝ පෑවා.

"පුදුමයි. මම මීට කලින් දුවන ඇතෙක්, අශ්වයෙක්, රථයක් වුණත් එළවාගෙන ගිහින් අල්ල ගන්නවා. දුවන මුවෙක් උනත් මට අල්ලගන්න පුළුවන්. ඒත් මේ සාමාන්‍ය ගමනින් යන මහණා අල්ල ගන්න බෑ." අංගුලිමාල පුදුම වුණා.

"මහණ, සිටු!" අංගුලිමාල නැවතිලා, කෑගැහුවා.

"අංගුලිමාල, මම නැවතුණා. නුඹත් නවතින්න" බුදු හාමුදුරුවෝ කිව්වා.

"මේ ශාක්‍ය පුත්‍ර ශ්‍රමණයා ඇත්ත කතා කරනවලු. ඒත් මේ ශ්‍රමණයා යන ගමන්ම, "මම නැවතුණා. නුඹත් නවතින්න" කියනවා. මම මේක අහන්න ඕනෙ..." කියා අංගුලිමාලට හිතුණා.

"ඔබ යමින් සිට, මම නැවතුණා කියනවා. නැවතුණු මට නවතින්න කියනවා. ඔබ නැවතුණා කියන්නෙත්, මම නැවතුනේ නැතැයි කියන්නෙත් කොහොමද?" කියා අංගුලිමාල ඇහුවා.

"අංගුලිමාල, මම හැම විටම කිසිම සතෙකුට හිංසා නොකර සිටිමි. ඔබ සතුන්ට හිංසා කරමින් සිටියි. ඒ කාරණයෙන්, මම නැවතිලා, ඔබ නැවතිලා නෑ..." බුදු හාමුදුරුවෝ වදාළා.

"මේ ශ්‍රමණයා ඒකාන්තයෙන්ම මට කරුණවෙන් මේ කැළෑවට වැඩියේ. මටත් සෑහෙන කාලයකින් ධර්මය ගැබ්වුණු කියමනක් අසා, අකුසල් දුරු කරන්න ලැබුණා..." මෙහෙම හිතලා අංගුලිමාල නම් හොරා ආයුධ ගැඹුරු වළකට දාලා, බුදු හාමුදුරුවන්ට වැන්දා. ඒ ගමන්ම "මා පැවිදි කරන්න" කියලා ඉල්ලුවා.

බුදුහාමුදුරුවෝ එයාට, "මහණ, මෙසේ එන්න" කියා පැවිදි කළා. (ඒහි භික්ඛු භාවයෙන්... මෙහෙම මහණ වෙන්න නම් ගිය ආත්ම වල පිරිකර පූජා කරල තියෙන්න ඕනෙලු කියලා බාහිය දාරුවීරිය කතාවෙදි කියනවා... (කොහොමද මාකටින්?))

ඉන්පසු අංගුලිමාල හාමුදුරුවෝ බුදු හාමුදුරුවන් පසුපසින් සැවැත් නුවරට වැඩියා.

එදා ප්‍රශන්නජිත් කෝසල රජතුමාගෙ මාළිගාවේ දොරටුව ළඟ නගර වැසියෝ එකතු වෙලා උද්ඝෝෂණයක් කළා, අංගුලිමාල නම් හොරාගෙන් ජනපදය බේරා දෙන්න කියලා. ඒක ඇහුණු රජතුමා පන්සීයක් අශ්වාරෝහකයන් අරගෙන රථයකින් පිටත් වෙලා, ජේතවනාරාමයට ආවා. ඇවිත් රථයෙන් බැහැලා පා ගමනින් ඇවිත් බුදු හාමුදුරුවන් බැහැ දැක්කා.

"මොකද මහරජ, මගධ රටේ බිම්බිසාර රජු හෝ, විශාලාවේ ලිච්ඡවි රජ දරුවන් හෝ වෙනත්  සතුරු රජ කෙනෙක් කිපිලා ද?" කියා බුදු හාමුදුරුවෝ ඇහුවා. (මම බෞද්ධ සාහිත්‍යයේ කීප විටක්ම දැකලා තියෙනවා ඔය විදිහට උත්තරය දැන දැන, ප්‍රශ්න අහන අවස්ථා)

"හාමුදුරුවනේ, සතුරු රජ කෙනෙක් නෙවෙයි, මගේ ජනපදයේ රෞද්‍ර, අංගුලිමාල නම් ඝාතකයෙක් ඉන්නවා. මම ඔහු වළක්වන්න යන්නෙ" රජතුමා කිව්වා.

"මහරජ, ඔය කියන අංගුලිමාල: කොණ්ඩය, රැවුළ කපලා, කසාවත ඇඳලා, ගිහි ගෙයින් නික්මිලා, පැවිදි වෙලා, සතුන් මැරීමෙන්, සොරකම් කිරීමෙන්, බොරු කීමෙන් වැළකිලා, දවසට එක වේලක් අනුභව කරලා, බ්‍රහ්මචාරී වෙලා, සිල්වත් වෙලා, යහපත් වෙලා ඉන්නවා දැක්කොත් ඔබ මොකද ඔහුට කරන්නේ?" බුදු හාමුදුරුවෝ ඇහුවා.

"එහෙනම් මම එතුමාට වඳිනවා. මම ඉන්න ආසනයෙන් නැගිටිනවා, ආසන පණවනවා. පිරිකර පූජා කරනවා. ධාර්මික විදිහට එතුමාට ආරක්ෂාව සපයනවා." කෝසල රජු කිව්වා "ඒත් හාමුදුරුවනේ, ඒ වගේ දුස්සීල, ළාමක මනුස්සයෙක් ඔය කියන විදිහේ සංවරයක් ඇති කරගන්නෙ කොහොමද?"

ඒ ගමන බුදුහාමුදුරුවෝ ඒ අසළ තැනක වැඩ හිටපු අංගුලිමාල තෙරුන්ට අත දික් කරලා, "මහරජ, මේ ඉන්නේ ඒ අංගුලිමාල" කියා පෙන්නුවා. ඒ දැකපු රජතුමාට, බය හිතුණා. තැති ගැනුනා, ලොමු ඩැහැගැන්මක් ඇති වුණා. ඒක දැකපු බුදු හාමුදුරුවෝ, "මහරජ බය වෙන්න එපා." කිව්වා. ඒ වචන වලින් බය නැතිවුණු රජතුමා, අංගුලිමාල තෙරුන් ළඟට ගියා.

"හාමුදුරුවනේ, ඔබ වහන්සේ අංගුලිමාල හාමුදුරුවොද?" රජතුමා ඇහුවා.

"මහරජ, ඔව්" එතුමා කිව්වා.

"ඔබවහන්සේ ගේ පියා ගේ ගෝත්‍රය මොකක්ද, මව් ගේ ගෝත්‍රය මොකක්ද?" (මේ ප්‍රශ්නය හරියට කෝසල රජතුමාට බුදු හාමුදුරුවන්ගේ වචනය විශ්වාස කරන්න බැරි වෙලා ඇහුවා වගෙයි.)

"මහරජ, මගේ පියා ගර්ග ගෝත්‍රයේ. මව් මන්තානී නම් බැමිණිය."

"එසේනම්, ඔබ වහන්සේ ශාසනයේ ඇලී වාසය කරත්වා. මම ඔබට සිව්පසයෙන් පිදීමට උනන්දුව ඇති කරන්නම්" රජතුමා කිව්වා.

අංගුලිමාල තෙරුන් ආරණ්‍යක, පිණ්ඩපාතික, පාංශුකූලික වගේම තුන් සිවුර පමණක් දරන හාමුදුරු නමක් වූ නිසා, "මහරජ, ඒක අවශ්‍ය නෑ. මට තුන් සිවුර සම්පූර්ණයි." කිව්වා.

ප්‍රශන්නජිත් කෝසල රජතුමා බුදු හාමුදුරුවන් ළඟට ආවා. ඇවිත් වැඳලා, "හාමුදුරුවනේ, පුදුමයි. ඔබ වහන්සේ දමනය කළ නොහැකි අය දමනය කරනවා. සංසිඳුවන්න බැරි අය සංසිඳුවනවා. කෙලෙස් නිවා නැති අය නිවනවා.

"අපි දඬු මුගුරුවලින්, ආයුධවලින් උත්සාහ කරලා දමනය කරන්න අපොහොසත් වෙනවා. ඒ උදවියම ඔබ වහන්සේ දණ්ඩෙන්, ආයුධවලින් තොරව දමනය කරනවා."

මෙහෙම කියලා රජතුමා බුදු හාමුදුරුවන්ට වැඳලා ආපහු ගියා.

දවසක් අංගුලිමාල හාමුදුරුවෝ පිඬුසිඟා වැඩියා. ඒ ගිය එක් ගෙදරක ගර්භයේ හරහට පිහිටපු දරුවෙක් බිහි කරන්න වේදනා විඳින ස්ත්‍රියක් දුටුවා. පිඬු සිඟා යාමේ කටයුත්ත ඉවර වුණාට පස්සේ එතුමා බුදු හාමුදුරුවන් ළඟට වැඩියා.

"ස්වාමීනී, මම සැවැත් නුවර පිඬු සිඟා යද්දි, දරු ගැබ හරහට පිහිටීමෙන් වේදනා විඳින එක්තරා ස්ත්‍රියක් දුටුවා." අංගුලිමාල තෙරුන් කිව්වා.

"එහෙනම් ඔබ එතනට ආපහු යන්න. ගිහින් ඒ ස්ත්‍රියට, "නැගණිය, මම උපන්දා සිට සතෙකුගේ ජීවිතය දැන දැන හාණි කළ බවක් නොදනිමි. ඒ සත්‍ය වචනය නිසා ඔබට සැපක් වේවා. දරු ගැබටත් සැපක් වේවා!" කියා කියන්න." බුදු හාමුරුවෝ වදාළා. (ඒකත් අර උඩ කිව්වා වගේ දැන දැන වෙන දෙයක් කියන අවස්ථාවක්. මම හිතන්නේ පසු කාලයකදී බණකතා කාරයන් එකතු කරපු දෙබස් වෙන්නත් පුළුවන්. නැත්නම් දැනට අවුරුදු දෙදාස් හයසීයකට විතර කලින් ඉන්දියාවේ කතා කරපු විලාසය වෙන්නත් පුළුවන්...)

"ස්වාමීනී, මම එහෙම කිව්වොත් ඒක බොරුවක් වෙනවා." අංගුලිමාල හාමුදුරුවෝ කිව්වා.

"අංගුලිමාල, එහෙනම් ඔබ ගිහින් මෙහෙම කියන්න. "නැගණිය, මම ආර්ය ජාතියේ උපන් දා පටන් දැන දැන සතෙකු ජීවයෙන් තොර කළ බව නොදනිමි ඒ සත්‍ය වචනය නිසා ඔබට සැපක් වේවා. දරු ගැබටත් සැපක් වේවා!" කියා කියන්න." බුදු හාමුරුවෝ වදාළා."

ඒ අනුව අංගුලිමාල තෙරුන් ඒ ගෙදරට වැඩම කරලා, ඒ ස්ත්‍රියට, "නැගණිය, මම ආර්ය ජාතියේ උපන් දා පටන් දැන දැන සතෙකු ජීවයෙන් තොර කළ බව නොදනිමි ඒ සත්‍ය වචනය නිසා ඔබට සැපක් වේවා. දරු ගැබටත් සැපක් වේවා!" කියා වදාළා. එයින් ඒ ස්ත්‍රිය සුවපත් වුණා. දරු ගැබත් සුවපත් වුණා.

ඉන්පසු අංගුලිමාල තෙරුන්, තනිවම, විවේකීව, කෙළෙස් නැතිකිරීමේ වීර්යයෙන්, තමන් ගැන ආලය අත්හැර වාසය කරමින්, කෙටි කාලයකින්ම රහත් බව ලබාගත්තා.

ඉන්පසු දවසක, අංගුලිමාල රහතන් වහන්සේ සැවැත් නුවර පිඬු සිඟා වඩිද්දී, වෙනපැත්තකට ගහපු ගලක්, දණ්ඩක්, කැටකැබිලිති, එතුමාගේ ඇඟේ වැදුණා. ඉතින් එතුමා හිස පැළිලා, ගලන ලෙයින් නැහැවිලා, පාත්‍රය කැඩිලා, සිවුරු විසිරිලා ගිහින් බුදු හාමුදුරුවන් ළඟට වැඩියා. බුදු හාමුදුරුවෝ අංගුලිමාල රහතන් වහන්සේ ඈතදීම දැකලා, "බමුණ, ඉවසන්න. කර්මයක විපාකය නිසා අවුරුදු ගණන්, අවුරුදු සිය දහස් ගණන්, නරකාදියේ පැසෙමින් ඉන්න වෙනවා. නමුත් ඔබ ඒ විපාකය මේ ආත්මයේදීම විඳිනවා." කියා වදාළා.

එවිට අංගුලිමාල රහතන් වහන්සේ නිවන් දුටු තැනැත්තෙක් විදිහට තමන්ගේ සතුට ප්‍රකාශ කරන්න මේ විදිහට කිව්වා...

1. කලින් ප්‍රමාද වූ කෙනෙක් පසුව අප්‍රමාද වෙනවා නම්, ඒ තැනැත්තා වළාකුළෙන් මිදුණු සඳ වගේ ලෝකය බබලවයි.

2. කෙනෙක් කලින් අකුසල කර්ම කරලා, ඉන්පසු කරන කුසල් කර්මවලින් ඒවා වසා දමන්නේ නම්, ඒ තැනැත්තා වළාකුළෙන් මිදුණු සඳ වගේ ලෝකය බබලවයි.

3. තරුණ මහණෙක් බුදුන්ගේ ශාසනයේ වීර්යයෙන් යුක්තව වාසය කරනවානම්, ඒ තැනැත්තා වළාකුළෙන් මිදුණු සඳ වගේ ලෝකය බබලවයි.

4. මගේ සතුරෝ ධර්මානුකූල කතා අසත්වා, මගේ සතුරෝ බුදුන්ගේ ශාසනයේ වීර්යයෙන් යුක්තව වාසය කරත්වා, මගේ සතුරෝ ධාර්මික සත්පුරුෂයන් ආශ්‍රය කරත්වා.

5. මගේ සතුරෝ: ඉවසීම ප්‍රකාශ කරන, මෛත්‍රියට ප්‍රශංසා කරන අයගේ ධර්මය නියම කාලයේදී අසා, ඒ ධර්මයට අනුව කටයුතු කරත්වා.

6. ඔවුන් මට හිංසා නොකරත්වා, වෙනත් අයටත් හිංසා නොකරත්වා, නිවණ අවබෝධ කරගෙන කෙළස් රහිත හා සහිත සත්ත්වයන් ආරක්ෂා කරත්වා.

7. දිය මං තනන්නෝ තමන්ට උවමනා තැනට දිය බැස යාමට සළස්වති. ඊ වඩුවෝ දඬුවල ඇද අරිති. වඩුවෝ යතු ගා දඬු ඇද අරිති. එසේම නුවණැත්තෝ තමන් දමනය කරගනිති.

8. සමහරු දණ්ඩෙන්, හෙණ්ඩුවෙන්, කසයෙන් හෝ සැමිටියෙන් දමනය කරති. අටලෝ දහමින් කම්පා නොවන සර්වඥයන් වහන්සේ දණ්ඩක් හෝ ආයුධයක් නැතිව මා දමනය කළ සේක.

9. මීට කලින් මට "අහිංසක" යැයි නමක් තිබුණා. අද මම ඒ නම සත්‍ය වශයෙන් දරණවා. මම කිසිවෙකුටත් හිංසා කරන්නේ නෑ. මීට පෙර මම අංගුලිමාල කියා ප්‍රසිද්ධ වූ හොරෙක් වී සිටියා. කාම ආදී මහ වතුරෙන් ගහගෙන ගිය මම බුදුන්ගේ මාර්ගයේ ගමන් කරන්න පටන් ගත්තා.

10. මීට පෙර අංගුලිමාල කියා ප්‍රසිද්ධවී ලේ තැවරුණු අත් ඇති තැනැත්තෙක් වූ මා අද ගමන් කරන මාර්ගය බලන්න. මම භවයට ඇති ආශාව අත් ඇරියා.

11. දුගතියට පත් කරන එවැනි අකුසල කර්ම රාශියක් කරමින් ඉඳලා, කුසල් මාර්ගයට මම පැමිණියා. දැන් මම භුකිත් විඳින දේට ණයක් නෑ.

12. නුවණ නැති බාල ජනයා ප්‍රමාද වී වාසය කරති. නුවණැත්තෝ අප්‍රමාදව (එළඹ සිටි සිහියෙන් කටයුතු කරමින්) වාසය කරති.

13. ප්‍රමාද නොවන්න. පස්කම් සැපයට ඇලී නොසිටින්න. අප්‍රමාදව නුවණින් දකින තැනැත්තා සුවපත් වේ.

14. බුදුවරුන් දෙසා වදාළ ධර්මයන් අතරින් උත්තම ධර්මයට මම පැමිණියෙමි.

15. මම බුදුන් වහන්සේ අනුශාසනය කරන ලද ත්‍රිවිද්‍යාවන්ට පැමිණියෙමි.



ආශ්‍රිත මූලාශ්‍ර...
https://dahamsithum.wordpress.com/2012/09/14/86-අංගුලිමාල-සූත්‍රය/

42 comments:

  1. ඇඟිලි කුණු වෙන සින් එක නම් මටත් හිතිලා තියෙනවා. ඒ කාලේ ඕව වැඩිපුර හිතන්න ගියේ නැහැ.

    කොහොම වුනත් මේ ජාතක කතා බොහොමයක් පස්සේ ලියපුව වෙන්න ඇති.
    බුදු හාමුදුරුවෝ කවුරු හරි මිනිමරුවෙක් ඔය විදියට දමනය කරන්න ඇති . ඒ මනුස්සයාගේ දරුණු කම වැඩි කරලා බුදු හාමුදුරුවන් ගැන මිනිසුන්ට දැනෙන හැඟීම වැඩි කරන්න ඔය වගේ කතා ගොතන්න ඇති.

    බුදු හාමුදුරුවෝ ඔය විදියට උත්තර දැනගෙන කතා කිරීම අරුණු කොට රජවරුන්ගේ බොහෝ අමන වැඩ වලදී රජවරුන්ට විරුද්දව කතා කරන, හරිම ක්‍රියාකාරී චරිතයක් විදියට මම අසා තිබෙනවා. ශාන්ත ගමනින් සන්සුන්ව ඉන්න නියුට්‍රල් චරිතයක් ගැන හැඟීමක් නේ අපිට දැනෙන්නේ. හැබැයි එක එහෙම නොවන බවයි මගේ හැඟීම.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔය දාමරිකයො දමනය කරපු කතා, පණි්ඩිතයො එක්ක වාද කරපු කතා, ප්‍රාතිහාර්ය කතා, එහෙම මැටි ගුළියකට ගංවතුරක් එකතු කරල අතිශයෝක්තියට නඟල තියෙනව. ඒත් මේක සූත්‍රයක් නිසා මම මුලින් හිතුවා, බුදුන්ට සමකාලීනව ආනන්ද හාමුදුරුවො ඒ තරම් අතින් දාල හදල නැතුව ඇති කියල. ඒත් මේකත් පසුකාලීන වැඩක් බව පේනව.

      බුදුන්ගෙ කෙලින් කතාවට එයාගෙ ජන්මයත් බලපාන්න ඇති. ක්ෂිත්‍රියයයෙක් නෙ. අවුරුදු හතක් අටක් විවිධ ශාස්තෲවරු ඇසුරු කරලා කුටුම්භ ආශ්‍රයෙන් මිදිලා නෙ හිටියෙ. සමාජය එක්ක බැඳීමක් නැති මනුස්සයෙක්ට කෙළින් කතා කරන්න පුළුවන්. අනික තමන්ට හදාගෙන තිබුණු සිවිල් බලය නිසාත් එහෙම ඉන්න පුළුවන් වෙන්න ඇති. පන්සලක හිටියානම් ඒක රජෙක් හරි සිටුවරයෙක් හරි කෝටි ගාණක් වියදම් කරල හදවපු පන්සලක්ම තමයි. හැබැයි ඒ ඇර උයන්වල, කැළෑවල එහෙමත් ඉඳල තියෙනව. ඒ ගැන ඒ තරම් සළකලත් නෑ.

      මෙහෙම හිතන කොට බුදුන් ගැන වෙනම ලියන්න හිතෙනව. අර මාර්ටින් වික්‍රමසිංහ ගෙ බවතරණය වගේ...

      Delete
  2. පැතුම කිව්ව වගේ ඔය ජාතක කතා සීන්ස් ඔච්චර උඩ දාල පෙන්නල තියෙන්නෙ නං බුදු හාමුදුරුවො පිරිණිවන් පෑවට පස්සෙ වෙන්න ඇති. අර ෆිල්ම් එකේ හැටියටනං අංගුලිමාල හාමුදුරුවන්ට මිනිස්සු ගල් ගහන්නෙ බුදුන් සරණ ගිහිල්ල කියල නොදැන.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. සමහරවිට බුදුන් ජීවමාන කිලෙම අනුගාමිකයෝ අතිශයෝකිතියෙන් එතුමා වර්ණනා කරන්නැති. ඒකට ජීවමාන උදාහරණ තමයි සායි බාබා, සමන්තභද්‍ර එහෙම...

      මිනිස්සු ඇත්තටම සිවුරේ ඉඳිද්දි ගල් ගහන්ඩ ඇති. කොච්චර කේන්තියක් ඇද්ද තම තමන්ගෙ යාලු මිත්‍රයො නෑදෑයො මරපු හොරෙක් වීදියෙදි සාන්ත දාන්ත විලාසෙන් යනව දකිනකොට... කියන විදිහට සැවැත් නුවර ම නෙ ඉඳල තියෙන්නෙ. ගෞරවේට අර "අහකට ගහපු ගල් වැදුණා" කියල ලියල තියෙනව...

      Delete
  3. //අංගුලිමාල නම් හොරා ආයුධ ගැඹුරු වළකට දාලා// දැං ඒ වල තියෙන ඉඩමෙ අයිතිකාරය අනාථයිනෙ.

    ReplyDelete
    Replies
    1. පිස්සුද බං, දැන් ඉන්න බුවාලන් වල තවත් හාරයි මෙතන නිධානයක් තියෙන්නම ඕනෑ කියල

      Delete
    2. ප්‍රසා,

      අංගුලිමාල ටෝච් එක දැම්මෙ නෑලු... වෘක්ෂමූලික වෙන්න හිතාගෙනථ ආත්මාරක්ෂාවට තියාගත්තලු.

      සිරි,

      ඔහොම හාරගෙන හාරගෙන ගිහින් තමයි ප්‍රේමදාස ජනාධිපතිට බුදුපිළිම කෙලින් කරන්න වුණේ කියල අහල තියෙනව. දන්නව නේද සැලියුට් මුද්‍රාව සහිත පිළිමයේ කතාව?

      Delete
  4. හොල්මනක් වුණාට බණ කතා එහෙමත් දන්නව නේද?

    ReplyDelete
    Replies
    1. අර ආච්චි කෙනෙක් කිව්ව වගේ, "නැතුව නැතුව..."

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී, අංගුලිමාල මීටරයක් නිසා නොවේද බුදුන් ඔහු සොයා ගියේ.

      Delete
    2. අංගුලිමාල දක්ෂයෙක් කියලා මමත් විශ්වාස කරනවා. ඒත් ශාසනයට මීටර් එකතු කරන්න නෙවෙයි, අපතේ යන ඹිටරයක් යහපත් විදිහට සමාජගත කරන්න අරමුණින් එහෙම කරන්න ඇති කියා හිතෙනවා...

      Delete
  6. අපේ අලුත් සින්ඩියත් එක්කත් එකතු වෙන්න
    https://sithuvilifmsindiya.blogspot.com

    ReplyDelete
    Replies
    1. මාව ඕකට දාගෙන මට ලිංක් එකක් දෙන්න, මගෙ බ්ලොග් එකේ ඔයාලගෙ සින්ඩිය ගැන හැඳින්වෙන යමක් එල්ලගන්න...

      Delete
  7. //7. දිය මං තනන්නෝ තමන්ට උවමනා තැනට දිය බැස යාමට සළස්වති.//
    මෙච්චර කාලෙකට මට හමුවුනේ නැහැ 'උදකං හි නයන්ති නෙත්තිකා....' ධම්මපද ගාථාවේ අරුත පෙන්වන තැනක් 'දියාළුවෝ තමන් කැමති තැනට ජලය ගෙන යත්...' කියනවාට වඩා වෙනස්ව තියෙන. අපොස සාපෙට අපට නිර්දේශ වෙලා තිබ්බේ 'බුද්ධ ධර්ම සංග්‍රහය පොත' ඒකෙත් තිබ්බේ 'දියාළුවෝ' කතන්දරේමයි. ඩ්රැකී, ගොඩක් ස්තුතියි කාලාන්තරයක් තිස්සේ තිබුණු ප්‍රශ්නෙකට උත්තරේ හොයාගන්න උදව් වුණාට.

    තව පුදුමයක්. මෙහාට ආවේ 'අටම්පහුර'ට ගිහින්. අටං අද දාලා තියෙන 'තාත්තයි පුතයි- වීඩියෝ සෙන්ටර් කතා' පෝස්ට් එකට සබැඳි එකක් මගෙන් ලියවිලා තිබ්බා ගිය අවුරුද්දේ.

    මෙන්න ඔබතුමාත් අංගුලිමාල කතාව ලියලා. මාත් මේක ලිව්වා, ගිය අවුරුද්දේ ජුලි මාසයේ 'අඟුල්මල් දහනය' පෝස්ටුවෙන්. හැබැයි මට සමීප අත්දැකීමක් ගැනයි ඒකෙදී මුල් තැන දුන්නේ. දන්නවනේ, මගෙ ලියවිල්ල නම් මෙච්චර සංවර නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔය දියාළු කතාව මට මතකයි මිහිර පත්තරේ එස් ඒ දිසානායක ඇඳපු ධම්මපදයේ කතා චිතුකතාවක තිබුණා වගේ. කොහොම වෙතත් මම පහළ දාල තියෙන මූලාශ්‍රයෙත් ඕක හරියටම පැහැදිළි කරල තිබුණෙ නෑ. මට තේරුණු විදිහ මම ලිව්වා. ඔතන උපමා වැඩිහරිය ලංකාවේ ගැමි කර්මාන්ත ආශ්‍රිතයි.

      (මට "තුමා" කියන්න එපා නිදි. මට ඒක හරි අපහසුයි.) නිදි ගෙ ලියවිල්ල මට මගෑරුණා. සෑහෙන කාලයක් තිස්සේ මම බ්ලොග්වලට නිරන්තරයෙන් ආවෙ නෑ. විවේකීව කියවන්න හිතාගෙන ඉන්න බ්ලොග් ලිස්ට් එකේ එකක් ඔයාගෙ බ්ලොග් එක. (කොහොමත් ඕකෙ තියෙන මාගල් කියවන්න වෙන්නෙ විවේකයෙන් තමා... හැක්)

      Delete
    2. ස්තුතියි ඩ්රැකී, මං 'මිහිර'ට වහවැටිලා ඉන්න කාලේ මට මතක එස්.ඒ. දිසානායකගේ 'ඔන්න බබෝ ඇතින්නියා' එකයි, 'යෝධයා' එකයි.

      Delete
    3. "ඔන්න බබෝ" විතරයි ! ඇතින්නියා කෑල්ල කිව්වේ ගෙදර අම්මා නිදි!

      Delete
    4. නිදි,

      මම මිහිර බලපු මුල්ම කාලෙ තිබුණෙ "යෝධයා" සහ "කපුටුලන්ද". යෝධයා අපට දසමහ යෝධයන් ගැන කියා දුන්නා මතක හිටින්න. කපුටුලන්දෙ පුංචිත්තා, මනසට හිතන්න පුළුවන් නිර්මාණශීලීත්වයෙ ඉමක් කොණක් නැති බව පෙන්නලා දුන්නා...

      තට්ටස්,

      ඒ තරම් ඉක්මණට නින්ද යනවනං බැරියැ. අපේ මල්ලිලා පොඩිකාලෙ බාප්පට කතන්දර එක පිට එක ඈඳලා කතා කියන්න වුණා නින්ද යනකල්...

      Delete
    5. දිය මං තනන්නෝ තමන්ට උවමනා තැනට දිය බැස යාමට සළස්වති. ඊ වඩුවෝ දඬුවල ඇද අරිති. වඩුවෝ යතු ගා දඬු ඇද අරිති. එසේම නුවණැත්තෝ තමන් දමනය කරගනිති

      මේ කොටස ඇසුරින් නිර්මාණය කරපු ගීතයක් ගුණදාස කපුගේ මහතා ගායනා කරනව.

      Delete
    6. මොකද්ද ඒ කපුගේ ගෙ ගීතය?

      Delete
  8. ඔය පිරිත්වලයි සිංහල මන්තර වලයි සමානකමක් තියෙනව. මන්තර වලින් කරන්නෙ “අප ලොව්තුරු බුදුරජාණන් වහන්නේ අහවල් කාලයේ මෙන්න මෙහෙම වැඩක් කොලා. ආං ඒක ඇත්ත නං මේකත් මෙහෙම වෙන්න ඕනෑ“ කියලා ඒ කාලෙ බුදුහාමුදුරුවො කරපු හපංකමං ඇපේට තියලා තමුංගෙ වැඩේ කරගන්න එක. පිරිතෙන් කරන්නෙ “අප ලොව්තුරා සම්බුදුරජාණන් වහන්සේගේ අසුවල් ගුණය මෙහෙමයි (ඒක ඉස්තිරයි) ඒ ආනුභාවයෙන් මෙන්න මෙහෙම වේවා“ කියන එක. හැබැයි මහා මංගල සූත්‍රය කියන්නෙ ආචාර ධර්ම සංග්‍රහයක් වගේ එකක් ඒක තියෙන්නෙ කියවලා තේරුං අරං තමුං හැදෙන්න. ඒ වුනාට අපේ මිනිස්සු ඒක යොදාගන්නෙත් මන්තරයක් හැටියට.
    ඔන්න ඒ ගමන පිරිතෙං ගන්න තවත් වැඩක් මතක් වුනා. අපේ කලිං ඔපිසියෙ හිටිය පාට් ටයිම් මැනුම් සහායක ගොවියෙක්. මිනිහා තමයි අපිට වගා උපදෙස් දෙන්නෙ. මොකද්දෝ පලිබෝධ හානියකට මිනිහා දුන්නු උපදේසෙ තමයි හොඳට අඬ තියෙන කැසට්ටෙහෙක පීකරේට නූලක් අමුනලා නූලෙ අනික් කොන පැංකලේකට දාලා ඉං පස්සෙ කැසට්ටෙකේ මොකක් නමුත් ටිකක් සැර පිරිතක් රෑ එලිවෙනකං දාලා තියල බුදියගෙන, උදේට ඇහැරුණං පස්සෙ අර පැංකලේ ගෙනිහිං වගාවට ඉහින එක.

    ReplyDelete
    Replies
    1. ඕව මොනවද බං දොළුකන්දෙ උන්නාංසෙ බවුසර් පිටිං පැන් පිරිත් කරපු එකේ.

      Delete
    2. සුරංග සහ ප්‍රසන්න,

      බුද්ධාගමේ තියෙන කොයි පිරිතෙත් අරමුණ මන්තරවල තියෙන ප්‍රයෝජනේම තමා. රතන සූත්‍රයම අරං බලන්ඩකො. ඔය අතරෙ පිරිත් විදිහටත් භාවිත වෙන අතරෙම බුදුහාමුදුරුවන්ගෙ දර්ශනය අඩංගු වෙන සූත්‍ර තියෙනව. ඔය සිගාලෝවාද සූත්‍රය, මහා මංගල සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය, ආඝාත පටිවිනය සූත්‍රය එහෙම ඒ වගේ. මගෙ පරණ වෙසක් කළාප, පොසොන් කළාපවල ඔය දේවල් ගැන ලියල තිබුණා. ඒ උනාට, වතුර කළයක් මතුරගන්ට, නූලක් මතුරගන්ට, ආරක්සාව සළස ගන්ට, යක්කු එළවන්ට, දරු ගැබ ආරක්සා කරගෙන පහසුවෙන් දරුවා බිහිකරවන්ට, බුදුන්ගෙ සූත්‍ර භාව්ත කිරීම අර මුල්කාලීන ස්වභාවධර්මය දේවත්වයෙන් අදහපු අපේ මුතුන් මිත්තන්ගෙ මන්තර ශාස්ත්‍රය ම වඩා දියුණු විදිහකට භාවිත කිරීමක් ම තමයි. එහෙම නැතුව ආගමක් විදිහට ජනතාව අතරෙ පැතිරෙන්ටත්, පූජකයන්ට බඩ රස්සාව සළසගන්ටත් බෑනෙ. මොකද බුදු හාමුදුරුවො කියන්නෙ ම "අප්‍රමාදව නුවණ දියුණු කරලා නිවන් දැකීමෙන් විතරයි සසරේ තියෙන දුක නැති කරන්ට පුළුවන්" කියලනෙ. ඒ විදිහට කරලා සංඝයා වහන්සේට රජසැප භුක්ති විඳින්ටත්, අනුගාමිකයන්ට ආඩම්බර වෙන්න පුළුවන් ආගමක් පවත්වගන්ටත් බෑනෙ.

      Delete
  9. බොහොමත්ම ස්තූතියි කතන්දරේ ලිහිල් කල එක දහං ගැට හැර පියා !

    ReplyDelete
    Replies
    1. දහංගැට? එව්වනං මන්දා... මට කියන්ඩ ඕනෙ කරපු දේ තේරුණානං එච්චරයි මට ඕනෙ. වෙල්කම්. තමුන්නැහැගෙ චාරිකාවල් ගැන මම බොහොම ආසාවෙන් කියවනව...

      Delete
  10. කරුණු ටික වෙන වෙනම අහල තිබ්බට මේ වගේ සම්පූර්ණ විස්තරයක් කියෙව්වේ අද. ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. ඔව්. ඇත්ත. අපි කතන්දරේ අහල තිබුණට, සූත්‍රය කියවල නෑනෙ. කියවන්න උවමනාවක් වෙන්නෙත් නෑනෙ ඉතිං මම ඔය ලිව්වට...

      අගය කිරීමට ස්තූතියි අඟහරුස්... ජයවේවා!

      Delete
  11. https://practopian.org/blog/hbowie/religion-storytelling-and-art.html

    ReplyDelete
    Replies
    1. ඒක නං තව දාහක් වටිනව. පෙන්ග්වින් දිවයින කියවල ඇති නේ? ඒකෙත් මාර විග්‍රහයක් තියෙනව...

      Delete
  12. පොඩි මෙන්ඩාට.........
    තව කෙමෙන්ට් දෙක තුනක් කොටන්න තියනවා..පස්සේ එන්නම්

    ReplyDelete
    Replies
    1. පුතාට අංගුලිමාල කතාව කියාදෙන්ඩත් බ්ලොග් පෝස්ට් කියවන්න සිද්ධ වෙන තාත්තලා අර මිල්ටන් මල්ලවාරච්චි කියනව වගේ, "...ආයෙ නාවත් කම් නැ ඉතිං..."

      Delete
  13. අංගුලි මාල වගේ දක්ෂයෙක් ඒ තත්වයට ඇදල දැම්මේ ඔහුගේම මිතුරන් මොක ද ඔහු අතිශය තුරු භක්තියෙන් ශිල්ප ශා්සත්‍ර ඉගෙන ගත් නිසා අනෙක් අයට ඔන උනා ඔහුවයි ගුරුතුමයි කොටවන්න එදා සමාජයත් අද සමාජයත් කිසිදු වෙනසක් නෑ තමන්ගේ වාසියට ඔනැම පාදඩ වැඩක් කරනවා ගුරු දක්ණාෂිවක් සඳහායි ඔහු ඇගිලි 100 ක මාලයක් දාන්න හැදුවේ
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. ගුරුවරයාට අන්ධ භක්තියෙන් මිනී මරන්න පෙළඹුනා කියනවට වඩා, මම කැමතියි අර හැට ගනංවල ෆිල්ම් එකේ තියෙන හේතු දැක්වීමට. ගුරුවරයාගේ නපුරු සැළකීම, මිත්‍ර ද්‍රෝහය, ප්‍රේමය චපල වීම සහ බොරු චෝදනා නිසා ඔහු මිනීමරුවෙකු වුණ බව පෙන්නුම් කරනවා...

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි