Tuesday, January 6, 2015

ජනාධිපතිවරණය ආශ්‍රිත ඩ්‍රැකියාවෙලී විග්‍රහය

මේ අතිශයින් දේශපාලනයයි...


(ඡායාරූපය උපුටාගතතේ: http://www.sinhayanews.com/sites/default/files/styles/grid-32/public/article_media/%E0%B6%B8%E0%B7%9B%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%20-%20%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF_2.jpg?itok=UP6oinhx)

ලංකාවේ විධායක පාලකයා පත් කර ගැනීමට ජනතාවට තවත් වාරයක් උදාවී ඇත. මේ, ජනතා පරමාධිපත්‍යය ප්‍රායෝගික ලෙස භාවිතා කෙරෙන ප්‍රධානතම අවස්ථාවයි.

ජනතා පරමාධිපත්‍යය කියන්නේ සරළවම තමන්, තමන් විසින්ම පාලනය කිරීමයි. මහා ජනගහනයකට රැස්වී තම පාලනය ගැන තීරණ ගැනීම ප්‍රායෝගිකව කළ නොහැක්කක් වන නිසා තමන් පාලනය සඳහා තමන්ගේ නියෝජිතයන් පත් කරගෙන, ඔවුන් මඟින් තමන් පාලනය කරවා ගැනීම බවට, නූතන ජාතික රාජ්‍ය වල පරමාධිපත්‍යය පරිණාමය වී තිබේ.

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රටක රාජ්‍ය පාලනය ක්‍රියාත්මක වෙන්නේ, ප්‍රධාන ආයතන තුනකිනි: (ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය) එයින් විධායකය කොටස් දෙකකට බෙදෙයි.

1. දේශපාලනික විධායකය (ලංකාවේ නම් ජනාධිපති සහ කැබිනට් මණ්ඩලය),

2. ස්ථාවර විධායකය හෙවත් රාජ්‍ය සේවය.

රටක පාලනය සඳහා පිහිටුවා ඇති කුඩා සහ විශාල රාජ්‍ය ආයතන සියල්ල, දේශපාලන විධායකයෙන් ස්වාධීනව ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය කාරියකි.

ලංකාවේ අමාත්‍යාංශ ලේකම් වරු පත් කරන්නේ ජනාධිපති විසිනි. (17 වන සංශෝධනය පරිදි එය සිදුවුනේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මතය. 18 වන සංශෝධනයෙන් මේක “පාර්ලිමේන්තු සභාවේ නිරීක්ෂණ විමසා” කියා සංශෝධනය කරන ලදි. එයින්, ජනාධිපතිවරයාට කැමති ඕනෑම කෙනෙක් අමාත්‍යාංශ ලේකම් විදිහට පත් කළ හැක. )

දෙපාර්තමේන්තු ප්‍රධානයන් පත් කරන්නේ කැබිනට් මණ්ඩලය විසිනි. (කැබිනට් ම්ණ්ඩලය පත්කරන්නේ ජනාධිපති විසින් වන අතර, ජනාධිපති කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ද වෙයි)

විගණකාධිපති පත් කරන්නේ ජනාධිපති විසිනි.

මෙකී නියමයන්ගෙන් රාජ්‍ය සේවය පරාධීන කර ඇති අතර, ජනාධිපතිවරයාට කැමති පරිදි නැටවිය හැකි රාජ්‍ය ආයතන රැසක් බිහිකර තිබේ.

කොමිෂන් සභා (මැතිවරණ, ජාතික පොලිස්, රාජ්‍ය සේවා, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂන, ශ්‍රී ලංකා මානව හිමිකම්, මුදල්, සීමා නිර්ණය) පත් කරන්නේ ජනාධිපති විසිනි.

අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපති හැර සාමාජිකයන් පත් කරන්නේ ජනාධිපති විසිනි. එහි සභාපති වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු නිල බලයෙන් වන අතර, අගවිනිසුරු පත් කරන්නේ ජනාධිපති විසිනි. ඊට අමතරව, නීතිපති, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරයන්, අභියාචනාධිකරණ විනිසුරු වරයන් පත්කරන්නේ ද ජනාධිපතිවරයා ය.

පොලිස්පති පත්කරන්නේද ජනාධිපති විසිනි.

ඇමතිවරුන්ට නොව ජනාධිපතිවරයාට පක්ෂපාතී අමාත්‍යාංශ ලේකම් වරු, කැබිනට් මණ්ඩලයට පක්ෂපාතී දෙපාර්තමේන්තු ප්‍රධානයන්, ජනාධිපති ගේ පළිගැනීමට බියෙන් කටයුතු කරන අධිකරණය, රූකඩ පොලිස්පති සහ පොලිස්පතිටත් ඉහළින් සිටින නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශ ලේකම්, ආදී රාජ්‍ය නිලධාරීන් අද ශ්‍රී ලංකාවේ පාලනය කෙරෙහි බලපා ඇති අන්දම අපි අත්දකිමු. එසේම අභ්‍යන්තර පාලන ක්‍රමයක් වශයෙන් සියලුම ආයතන එකිනෙකින් ස්වාධීනව කටයුතු කිරීමේ න්‍යාය වෙනුවට, සියලුම ආයතන එක් පුද්ගලයෙකුගේ විධානයට යටත් වී ඇත.

නිතර දෙවේලේ අපගේ සවන් පුරවන ජාත්‍යන්තර කුමන්ත්‍රණ වලින් මව්බිම බේරාගැනීමට විධිමත් සැළසුමක් නැත. ලංකාවේ විදේශ සේවය ශූර රාජ්‍යතාන්ත්‍රිකයන් හිඟ, නෑදෑයන්, ගජමිතුරන් හා වීදි සටන්කරුවන්ගෙන් පුරවා ඇති තත්ත්වයක පවතී. ජිනීවා යෝජනා වලට මුහුණ දෙන්නේ, අපේ රට අස්ථාවර කරන්නට බටහිර රටවල් බලා සිටින බවට කෑගැසීමෙනි.

චීනය තම තෙල් සැපයුම සඳහා මුහුදු සේද මාර්ගයක් තනා ගනිමින් සිටී. තම රාජ්‍යය තුළ පවතින තෙල් නිධි අනාගතයට ඉතිරිකරගන්නා චීනය, සිය රටේ පාරිසරික තත්ත්වයන් මනාව පවත්වාගැනීමට ගල් අඟුරු භාවිතය සීමා කරමින් සිටී. ඒ අනුව, තම රටෙන් ඉවත් කරන ගල් අඟුරු බලාගාර තුන්වැනි ලෝකයේ රටවලට ණය ආධාර වශයෙන් ලබා දීමත්, සිය ගල් අඟුරු ඒ සඳහා විකිණීමත් සිදු කරයි. තම දේශයේ පිහිටි තෙල් නිධි භාවිතා කරනවා වෙනුවට, සූඩානයෙන් තෙල් ආනයනය කිරීමට පෙළඹී සිටින චීනයට ඇති ප්‍රධානතම අභියෝගය වන්නේ, ඒ සඳහා භාවිතා කරන මුහුදු මාර්ගය ආරක්ෂිතව පවත්වාගැනීමයි. (විශේෂයෙන් සෝලියානු මුහුදු කොල්ලකරුවන්ගෙන් ආරක්ෂාව සළසාගැනීම) ඒ සඳහා හැකිතාක් ගොඩබිමට ආසන්නයෙන් යාත්‍රා කිරීම සඳහා ඔවුන් අලුත් වරායන් ඉදි කිරීමට, ආශ්‍රිත රාජ්‍යයන්ට ණය ආධාර දෙති. (එම වරායන් සහ, අගනුවර සිට එම වරාය තෙක් මාර්ග පහසුකම් ඇති කරවීමට) මෙය ඔුවන් හඳුන්වන්නේ මුතු වැල (string of pearls) ලෙසිනි.

http://upload.wikimedia.org/wikipedia/commons/9/94
/China%E2%80%99s_Critical_Sea_Lines_of_Communication.png

http://www.china-briefing.com/news/wp-content/uploads/2009/03/string-of-pearls1.jpg

චීනය හම්බන්තොට වරාය ඉදිකිරීමට ආධාර දුන් පසුව, මෑතකදී චීන සබ්මැරින ලංකාවේ වෙරළ තීරයට එවීම, ඉන්දියාවේ කණස්සල්ලට හේතු වී තිබේ. ජාත්‍යන්තර මුහුදු නීති උල්ලංඝනය කරන ලංකාවේ ධජය සහිත චීන ධීවර යාත්‍රා නිසා යුරෝපයේ මත්ස්‍ය වෙළෙඳපොළ ලංකාවට අහිමි වී වැඩි කලක් ගතවී නැත.

රටේ මානව අයිතිවාසිකම් ඇත්තේ පාලකයන්හට හා ඔවුන්ගේ දරුවන්ට පමණකි. නීතිය ක්‍රියාත්මක වන්නේ පාලකයන්ට ගෑවී නැති සුළු අපරාධකරුවන්ට පමණකි. බොහෝවිට අපරාධ විසඳන්නේ සැකකරුවන් ආයුධ පෙන්වීමට එක්ක යෑමෙනි. මොවුන් නියම අපරාධකරුමදැයි තීන්දු කළ යුත්තේ අධිකරණය මඟිනි. ඇතැම් විට අහිංසක මිනිසුන් මෙසේ මරා දැමෙන අවස්ථාද විය හැක. ජනතා උද්ඝෝෂණ, කැරළි මර්ධන හමුදාව යොදවා මර්ධනය කරනු ලැබේ. (පානීය ජල ප්‍රශ්නය විසඳූයේ උද්ඝෝෂණයට සම්බන්ධ වී පවා නොසිටි බාල වයස්කාරයන් තිදෙනෙකු හමුදා වෙඩි පහරින් ඝාතනය වීමෙනි. උතුරේ මානුෂීය මෙහෙයුම් කළේද මේ හමුදාවම නේදැයි සාධාරණ ප්‍රශ්නයක් ද මෙහිදී මතු වේ.)

රටේ අයවැයෙන් විශාලම කොටස වෙන් වී ඇත්තේ ජනාධිපතිවරයා, ඔහු යටතේ ඇති අමාත්‍යාංශ හා බැසිල් රාජපක්ෂ ඇමතිවරයා යටතේ ඇති අමාත්‍යාංශයටය. බැසිල් රාජපක්ෂ ඇමතිවරයා යටතේ ඇති ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයෙන් සිදු වන්නේ පහත සඳහන් ක්‍රියාකාරකම් ය:

1. ගෙවතු සඳහා බීජ වර්ග, පැල වර්ග, සතුන් බෙදාදීම, (මෙම කටයුත්ත සඳහා විශාල වශයෙන් වාර්තා කැඳවනු ලැබේ. මෙම බීජ වර්ග පැල වර්ග 100% ක් සාර්ථක ලෙස පැළ වී ඇති බව, සතුන් 100% ක්ම ජීවත් වන බව, ආදී වශයෙන් මාසිකව ලිඛිත වාර්තා කැඳවනු ලැබේ.)

2. සුළු කර්මාන්ත කරුවන් ලෙස හඳුනාගෙන ඇති, මැහුම් කටයුතු කරන ගෘහණියන්, වඩු කාර්මිකයන් ආදී අයට මිලෙන් බාගයක් අයකර උපකරණ ලබා දීම,

3. මෑත කාලීන මැතිවරණය දෙකේදී සමෘද්ධි ලාභීන්හට රු. 2,500.00 ක දීමනාවක් ගෙවීම,

4. පොළී රහිත ණය හා සහනාධාර ණය ලබා දීම, ආදී වශයෙනි.

මෙම කටයුතු ප්‍රායෝගිකව රටේ නිෂ්පාදිතය වැඩි නොකරයි (වැය කරන මුදලට සාපේක්ෂව). එසේම මෙම කටයුතු වලදී යොදාගන්නා පත්‍රිකා, පැකැට්ටු, පොත් ආදී දේ ඉහළ ප්‍රමිතියකින් (විශාල මුදලක් වැය කොට) මුද්‍රණය කර ඇති අතර, එය පැහැදිලිවම මෙම ආණ්ඩුවේ ප්‍රචාරණ වැඩපිළිවෙලක් බව පෙනේ.

මෙම පාලන ක්‍රමය වෙනස් කිරීම අවශ්‍ය කාරණයකි.

බොහෝ රටවැසියන් ගේ ඔළු වලට ඔබ්බවා ඇති විශ්වාසයන් කිහිපයක්:

1. රනිල් ගේ කොටි මිතුරු ගිවිසුම

2001 – 2002 රනිල් වික්‍රමසිංහ අගමැති වශයෙන් පාලනය කළ සමයේ, මීට පෙර චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරිය පිහිටුවා තිබූ (අනවශ්‍ය තරම්) මාර්ග බාධක බොහොමයක් ඉවත් කර, කොටි සංවිධානය සමඟ සාම ගිවිසුමක් අත්සන් කළේය. එම ගිවිසුමෙන් කොටියාට රටෙන් කොටසක් ලියා දීමක් සිදු වූයේ නැත. සැබැවින්ම වූයේ:

1. දෙපාර්ශ්වය අතර වෙඩි හුවමාරුව තාවකාලිකව නතර වීම,

2. සාම සාකච්ඡා සඳහා කියා කොටි නායකයන් විවිධ රටවලට රැගෙන ගොස්, රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ ඉඳුම් හිටුම් ලබා දීමෙන් ඔවුන්ගේ සිත් වලට “යුද්ධයෙන් එහා ගිය සුඛෝපභෝගී ලොවක් ඇති” බව හඳුන්වාදීම,

3. කොටි සංවිධානයේ දර්ශනයේ ඇති ප්‍රායෝගික නොවන හා දුෂ්කර තැන් හඳුනාගැනීමට ඉඩ සැළසීම, ආදියයි.

දැන් දේශප්‍රේමියෙකු බවට වෙස් පෙරළී ඇති කරුණා අම්මාන් කොටි සංවිධානය කඩා ගෙන ගියේ මෙහි ප්‍රතිඵල වශයෙනි. යුද්ධය නැගෙනහිරින් ආරම්භ කළ පසු ජයග්‍රහණය කරා යාමට කරුණාගේ මෙම කඩාගෙන යාම ඉවහල් විය.

2. යලි පුබුදමු ශ්‍රීලංකා (Regaining Sri Lanka) මඟින් රට බටහිරට විකිණීමට කුමන්ත්‍රණය කළ බව

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ මෙම සැළසුම රටෙහි රාජ්‍ය ආයතන නව ක්‍රමවේදයන්ට අනුව කළමණාකරණය කරවීමේ සැළසුමකි. එය ක්‍රියාත්මක වූවා නම් දැනට යථාර්ථයක්ව පවතින රාජ්‍ය ආයතන වල අකාර්යක්ෂමතාව, හා පාරිභෝගික අතෘප්තිමත්භාවය බොහෝදුරට සමනය වන්නට ඉඩ තිබුණි. (වැඩිවිස්තර සඳහා ලිංකුව)

3. රනිල් රාජ්‍ය සේවය පුළුල් නොකළ බව

ඇත්ත නම්, ඒ වන විටද රාජ්‍ය සේවය අවශ්‍ය පමණට වඩා විස්තාරණය කර තිබූ බවයි. ඒ වන විට දිනකට පැය 7 විනාඩි 45 ක සේවා කාලයක් තුළ එක් රාජ්‍ය සේවකයෙක් ඉටු කළේ සාමාන්‍ය වශයෙන් දිනකට පැය දෙකක තුනක පමණ වැඩ ප්‍රමාණයකි.

රාජ්‍ය සේවය පුළුල් කිරීමෙන් වන හාණිය ට හොඳම උදාහරණය වන්නේ මෑතදී පත්වීම් ලද සංවර්ධන නිලධාරීන්ය. මොවුන් ගෙන් ලබාගන්නා නිශ්චිත සේවයක් නැත. සතියකට දිනක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන මොවුන්, එහිදී කළ යුත්තේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ කෙරෙන ක්‍රියාකාරකම් වල ප්‍රගතිය පිළිබඳව රැස්වීම් වලට සහභාගී වීම සහ ආයතන පරිශ්‍රයේ තැන් තැන් වල රැස්වී කතා කරමින් සිටීමයි. අනෙක් දින වල ඔවුන් ක්ෂේත්‍රයට ගොස්, (බැසිල් රාජපක්ෂ ඇමතිවරයා ආරම්භ කළ අසාර්ථක මුදල් නාස්තියක් වන) ඇට වර්ග, පැල වර්ග හා සත්ත්ව පැටවුන් බෙදාදීම, කොන්ක්‍රීට් පාරවල් ඉදිකිරීම් නිරීක්ෂණය කිරීම වැනි කටයුතු ඉටු කළ යුතුය.

සෑම රාජ්‍ය ආයතනයකම පාහේ, උපාධිධාරී ක්‍රමය යටතේ (දේශපාලන ලැයිස්තු අනුව) බඳවා ගත් අය, ලිපිකාර ආශ්‍රිත සේවාවන් වල යොදවා ඇති අතර, එය විභාග සමත්වීමෙන් රැකියාව ලබාගත් ලිපිකාර සමාන්තර ශ්‍රේණිවල නිලධාරීන්ගේ අතෘප්තියට හේතු වී ඇත.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මෙවර ජනාධිපතිවරණය ජයගතහොත්, තවත් ලක්ෂ එකහමාරක් රාජ්‍ය සේවයට බඳවාගැනීමට පොරොන්දු වෙයි. මෙය රාජ්‍ය සේවය තවත් අගාධයට ඇද දැමීමකි.

කළ යුත්තේ රටේ රැකියා වියුක්තිය අඩු කිරීම සඳහා රැකියා උත්පාදනය වන ආර්ථිකයක් බිහිකිරීම මිස, සහනාධාර දීම හෝ රාජ්‍ය අංශය ට අධික ලෙස බඳවාගැනීම නොවේ.

4. බෙදුම්වාදය

බෙදුම්වාදය යනු, රටේ වැසියන් පිරිසක් එම රටෙන් වෙන් වී වෙනම රාජ්‍ය පාලනයක් ඇති කර ගැනීමට උත්සාහ කිරීමයි.

මේ ‍රටේ වෙසෙන නැගෙනහිර මුස්ලිම් මිනිසුන් හෝ උතුරේ ද්‍රවිඪ මිනිසුන්, වෙනම රාජ්‍යයක් උදෙසා සටන් බිමට බැසීමට (තම ජීවිත නැතිවීමට ඉඩ ඇති බව දැන දැනම) පෙළඹෙන්නේ ඇයි? පවතින රාජ්‍ය තන්ත්‍රය යටතේ තමන් හට විශාල පීඩනයක් එල්ල වන්නේ නම් පමණකි. කළ යුත්තේ ඔවුන්ට සාමාන්‍ය මිනිසුන් ලෙස ජීවත්වන්නට ඉඩ සැළසීමයි.

උතුරේ ජනතාව පාරම්පරිකව ජීවත් වූ බිම් කොටස් අක්කර ගණන් යටකරගත් හමුදා කඳවුරු එක්කෝ ඉවත් කළ යුතුය. නැතහොත් ජනතාවට විකල්ප බිම් කොටස් දිය යුතුය. ඔවුන්හට රෝහල්, පාසැල් ආදී ජීවත්වීමට අවශ්‍ය පහසුකම් ලබා දිය යුතුය. තවමත් අවතැන් කඳවුරු වලට ගාල්කොට ඇති ජනතාව එයින් නිදහස් කොට සිය ජීවිකාව කරගෙන ජීවත් වීමට ඉඩ සැළසිය යුතුය. ඔවුන්ගේ ධීවර කටයුතු ඉටු කරගැනීමේදී නාවික හමුදාවෙන් එල්ල වන බාධා නැති කළ යුතුය.

තැන් තැන්වල හමුදා කඳවුරු පිහිටුවීම තුළින් රට වැසියන්ගේ බෙදුම්වාදය සමනය කළ නොහැක. හමුදා නිලධාරීන් නිතර ගැවසෙන පරිසරයක මිනිසුන්ගේ ජීවිත තිරිසනුන්ටත් අන්තය.

උතුරු නැගෙනහිර තරමක් විශාල වශයෙන් ද වෙනත් ප්‍රදේශ වල සුළු ව‍ශයෙන් ද පුරවැසියන් අතුරුදහන් කරවන තත්ත්වයක් පවතී. මේවා ගැන පොලිස් පරීක්ෂණ නොමැත.

නූතන ජාතික රාජ්‍යයක ස්ථාවරත්වය ඇති වන්නේ රටේ ජනතාව සමජාතියක් බවට පත් කිරීමෙනි. එම සමාජයේ සුළු ජතියක් කියා දෙයක් නොමැත. සංස්කෘතික සම්මිශ්‍රණයක් පවතී. එහෙයින් අපි ඇති කරගත යුත්තේ තම ජාතිකත්වය හෝ කුළය හෝ ස්ත්‍රී පුරුෂ භාවය හෝ ආගම මත වෙනසකට ලක් නොවන (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මෙම අයිතිය තහවුරු කර ඇත.) සම අයිතිවාසිකම් ලබා දෙන සමාජයකි. සුළු ජාතිකත්වයන් මහා ජාතියට වඩා ඉගෙනීමෙහි දක්ෂයන් වන බැවින් ‍ඔවුන හට වෙනම ලකුණු පරාසයක් ලබා දීම වැනි ක්‍රියා මාර්ග වලින් ආරම්භ වූ ජනවාර්ගික අරගලය යුධමය වශයෙන් පරාජය කළා පමණි. එයින් තුවාල වූ මිනිස් සිත් සුවපත් කළ හැක්කේ සම අයිතීන් ලබා දෙමින්, නිදහසේ ජීවත් වීමට ඉඩ සැළසීමෙනි.

http://www.srilankanewsinternational.com/wp-content
/uploads/2013/02/jaffna_soldier.jpg

ඡන්දයක් තියෙන්නේ රටක පාලනය සහ ආර්ථික කළමණාකරණය ක්‍රියාත්මක කරවීමට මිසක් කළගුණ සැළකීම වැනි සදාචාරාත්මක කාරණා වලට නොවේ. (ජනතාව, යුද්ධය අවසන් කළ රාජ්‍ය නායකයාට කළගුණ සැළකූ නමුත්, එම යුද්ධය අවසන් කිරීමට හමුදා මෙහෙයවූ සෙන්පතියාට රාජ්‍ය නායකයා කළගුණ සැළකුවේ නැත.) අවශ්‍ය වන්නේ පහත සඳහන් කරුණු ගැන අවධානය යොමු කිරීමය:

අපේ රට ජාත්‍යන්තරය ඉදිරියේ සුරක්ෂිත කිරීමට, ශූර රාජ්‍යතාන්ත්‍රිකයන් ගෙන පිරුණු විදේශ සේවයක්, (දැනට සිටින හමුදා නිලධාරීන් හා දේශපාලකයන්ගේ පවුලේ උදවිය වෙනුවට)
රාජ්‍ය දේපළ හා රාජ්‍ය සේවකයන් පෞද්ගලික කටයුතු වලට යොදා ‍ගැනීම වළක්වා, ගෞරවණීය තත්ත්වයකින් ස්වාධීනව ජනතාවට සේවය ඉටු කිරීමට ඉඩ සැළසෙන තත්ත්වයක්,
නීතියේ පාලනය ඉදිරියේ පාලකයන් හා ජනතාව සමව සැළකෙන තත්ත්වයක්,
රාජ්‍ය සේවය හා රාජ්‍ය ආයතන ප්‍රති ව්‍යුහගත කිරීමෙන් කාර්යක්ෂම කරවීම,
රටේ පොදු පහසුකම් නූතන තාක්ෂණයෙන් දියුණු කිරීම, (අධිවේගී මාර්ග වලට වඩා, දුම්රිය හා බස්රිය පහසුකම් ආදී වශයෙන්)
රටේ නිෂ්පාදිතය වැඩි කිරීමේ සැළසුම්,
නූතන තාක්ෂණය යොදාගන්නා කර්මාන්ත බිහිකිරීම හා රැකියා උත්පාදනය,
රටේ පාරම්පරික කර්මාන්ත වන කෘෂිකර්මය, ධීවර කර්මාන්තය, ලුණු ලේවා ආදිය ප්‍රවර්ධනය කිරීමේ උපක්‍රම,
රැකියා සඳහා යොමු වූ උසස් අධ්‍යාපනයක්,
සංවර්ධනයේ ප්‍රතිඵල ජනතාව අතර සාධාරණව බෙදි යමින් ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ යාම.


රටක පාලකයන් ගෙන් බලාපොරොත්තු විය යුත්තේ මෙයයි. මේ සඳහා අඩිතාලමක් වශයෙන් මාගේ පෞද්ගලික විශ්වාසය අනුව මාගේ ඡන්දය මෛත්‍රීපාල සිරිසේන වෙත පළ කරන අතර, ඔහු සමඟ රට පාලනය කරන්නට බලාපොරොත්තු වන නියම ලිබරල් ප්‍රජාතාන්ත්‍රිකයෙකු වන රනිල් වික්‍රමසිංහ මහතා ගේ ආර්ථික සැළසුම් ක්‍රියාත්මක කරවීමේ ඉඩකඩ සැළසීම යහපත් බව මම විශ්වාස කරමි.

Friday, December 19, 2014

ලංකාවෙ යහපාලනයක් නැද්ද...?

http://www.apubb.ro/goodgovernancestudies
/wp-content/uploads/2014/01/Good-governance-V2.jpg

2010 දී හෙවත් ශ්‍රී ලංකාව තුළ පැවති සිවිල් යුද්ධය හමාර කොට ලංකාවේ සමස්ත භූමි භාගයම ශ්‍රී ලංකාණ්ඩුවේ පාලනයට යටත් කර ගත් උණුසුමේ පැවති ජනාධිපතිවරණයේදී, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට එරෙහිව තරඟ කළ, යුද්ධය දිනන විට යුධහමුදාවේ හිටපු හමුදාපති, තරු හතරේ ජනරාල් වරයෙකු තත්ත්වයට උසස් වූ, සරත් ෆොන්සේකා මහතා කියූ ප්‍රධානතම වචනය වූයේ යහපාලනයයි. (ඇතැම් මාධ්‍ය වලට අනුව නම් ෆොන්සේකා මහතා වැඩියෙන්ම කියා ඇත්තේ, වහලවල් දිගේ බඩගාන නිශාචර සිවුපා සතෙකුගේ නමකි) 

දැන් ෆොන්සේකා මහතාගේ ද සහාය ඇතිව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට එරෙහිව ජනාධිපතිවරණයට තරඟ වදින මෛත්‍රීපාල සිරිසේන මහතාද කියන්නේ ලංකාවේ යහපාලනයක් නැති බවය. ඒ අනුව එතුමා බලයට පත්වූ විට ලංකාවේ යහපාලනය ඇති කරන බවට පොරොන්දු වන බව සැළකිය හැකිය.

යහපාලනය ගැන කතා කරන මෛත්‍රීපාල මහතා සන්ධාන ආණ්ඩුවෙන් ඉවත් වන විට කලින් දැනුම් දීමක් නොකළ නිසා, එතුමා ළගත් ඇති යහපාලනයක් නැති බව ලංකාවේ ප්‍රධාන පුරවැසියන් කීප දෙනාගෙන් එක් අයෙකු බවට පත්ව සිටින නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ප්‍රසිද්ධ කතාවක් ද කළේය.

එක්සත් ජාතීන් ගේ සංවිධානයේ නිර්වචනය අනුව, යහපාලනය අංග අටකින් සමන්විතයි:

1. පොදු එකඟතාවය (Consensus Oriented)
2. සහභාගීත්වය (Participatory)
3. නීතියේ පාලනය (following the Rule of Law)
4. ඵලදායීතාව සහ කාර්යක්ෂම බව (Effective and Efficient)
5. වගවීම හෙවත් උත්තරදායී බව (Accountable)
6. විනිවිදභාවය (Transparent)
7. ප්‍රතිචාරාත්මකබව (Responsive)
8. අපක්ෂපාතීබව හා පාලනයට සියල්ලන් ඇතුළත්කරගැනීම (Equitable and Inclusive)
(උපුටාගැනීම - විකිපීඩියා)

ඒ අනුව:
1. ජනතාවගේ පොදු එකඟතාවය අනුව රටේ පාලනය ගෙනයාම, 
2. මහජන නියෝජිතයන්ගෙන් බහුතරය රටේ පාලනයට නීති සකස් කිරීම සඳහා යොදා ගැනීම,
3. නීතියේ පාලනයට සියල්ලන්ම සමානව යටත් වීම,
4. රටේ ආර්ථිකයේ සිදුවන සෑම කාර්යයකම ඵලදායිතාව (පිරිවැයට සරිලන ප්‍රතිලාභ) තිබීම සහ ඒවා කාර්යක්ෂමව (අඩු කාලයකින් වැඩි වැඩ ප්‍රමාණයක්) ඉටු කිරීම,
5. ආර්ථික කළමණාකරණයේ සහ රාජ්‍ය පාලනයේ සියළුම කාර්යයන් විගණනයට ලක් කිරීම සහ ඒවා සම්බන්ධයෙන් මහජන නියෝජිතයන් උත්තර දිය යුතු තත්ත්වයක් පවත්වා ගැනීම,
6. සිදු කරන සෑම කාර්යයක්ම නියමිත රීති කාර්ය පටිපාටි වලට අනුකූලව සිදු කිරීම,
7. දේශයේ වර්තමාන සහ අනාගත අවශ්‍යතාවන් හඳුනාගෙන ප්‍රතිචාර දැක්වීම,
8. පාලන තන්ත්‍රය සියල්ලන්ට අපක්ෂපාතී වීම සහ ඊට පක්ෂ විපක්ෂ සියල්ලන්ම ඇතුළත් කර ගැනීම.


ඉතිං මේවා ලංකාවෙ තියෙනවද / නැද්ද?

තීන්දුව ඔබේ - උපකාරය අපෙන්...!

Wednesday, December 17, 2014

දිනුවත් පැරදුනත් ජනාධිපති - බෙංගමුවේ නාලක හාමුදුරුවන්ගේ මුසාවාද

http://www.defence.lk/img/20080613_05.jpg
ජනාධිපති උපදේශක, මානෙල්මල් ව්‍යාපාරයේ පුරෝගාමි සාමාජික, තවළම සංවර්ධන පදනමේ අනුශාසක, ජාතික ත‍්‍රිරෝදරථ සංගමයේ උපදේශක, හෙළබිම සංවිධානයේ අනුශාසක, ලංකා මිතුරෝ ශිෂ්‍යත්ව සංවිධානයේ ලංකා කමිටුවේ සභාපති, දේශපේ‍්‍රමී භික්‍ෂු පෙරමුණේ ලේකම්, චින්තන පරිෂදයේ සභාපති. ශ‍්‍රී ලංකා ශිෂ්‍යෝපකාර සමිතියේ අනුශාසක හා පන්සලෙන් ගමට ඔසු උයන් ව්‍යාපෘතියේ උපදේශක හා නිර්මාතෘ, මහින්ද රාජපාක්ෂික, දේශ මාමක, පාලි භාෂාව පිළිබද විශේෂවේදී, විද්‍යාලංකාර පිරිවෙනේ සහ පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයේ හිටපු කතිකාචාර්ය බෙංගමුවේ නාලකාභිධාන ස්ථවිරයන් ඊයේ හෝ පෙරේදා මාධ්‍ය හමුවකදී දෙසා වදාළ කතාවක් ඩ්‍රැකියාගේ අවධානයට ලක් වුණේය.

“...මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ජනාධිපතිවරණය කැඳවා ඇත්තේ තවත් අවුරුදු දෙකක ධූරකාලයක් ඉතිරිව ඇති අවස්ථාවකය. ඒ නිසා බැරිවෙලාවත් මෛත්‍රීපාල සිරිසේන මහතා දිනුවත්, තවත් අවුරුදු දෙකක් මේ රටේ ජනාධිපති වෙන්නේ මහින්ද රාජපක්ෂ යි...”

බෙංගමුවේ නාලක හාමුදුරුවන්ගේ මේ ප්‍රකාශයෙන් කාරණා කීපයක් එළිවෙයි:

1. මෛත්‍රීපාල මහතා දිනන්නට ඉඩ තියෙන බව මේ උන්නැහැලා ගේ යටිහිත පිළිගන්න බව මෙයින් හෙළිවන්නේය.   

2. සමහර විට විදෙස් පුවත් ප්‍රකාශ කර ඇති ආකාරයට, මෛත්‍රීපාල මහතා දිනුවාට පසු ජනාධිපති ධූරය අත්නොහැර, ඒ මැතිවරණ ප්‍රතිඵල නිශේධ කිරීමේ අදහසක් මහින්ද මහතාගේ හිතේ ඇති බවට මේක හෝඩුවාවක් ද වන්නට පුළුවන.

3. භයාණකම ඇත්ත වන්නේ, මහරජාගේ සුභසිද්ධිය වෙනුවෙන් කටේ දිවේ නොගෑවෙන පරිදි අල්ලේ පළකර බොරු දෙසා බෑමට මෙකී දේශ මාමක සංඝ පීතෘවරුන්ට කිසි ම ආකාරයේ සීලයක්වත්, ලැජ්ජාවක් වත් නැති බවය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු වෙබ් අඩවියේ, දහඅටවන සංශෝධනය ද ඇතුළත් කොට සංශෝධනය කර ඇති අලුත්ම අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඕනෑම කෙනෙකුට බාගත හැකි පරිදි ඇතුළත් කර තිබේ. (ලිංකුව මෙන්න) ඒ අනුව මෙම ප්‍රශ්නයේදී ගන්නා ක්‍රියාමාර්ගය සඳහන් කර ඇත්තේ මේ පරිද්දෙනි:

“...**[(3අ) (අ) (i) මේ පරිච්ඡේදයේ ඉහතින් වූ විධිවිධානවලට පටහැනිව කුමක් සඳහන්ව ඇත ද, ජනාධිපතිවරයා විසින් ප්‍රකාශනයක් මගින් වැඩිදුර කාලයක් සඳහා තමා තෝරා පත් කර ගැනීමෙන් ධුරය දැරීම පිණිස වරමක් ලබා ගැනීම සඳහා ජනතාව වෙත ආයාචනය කිරීමේ තම අභිලාෂය] ***[තම වත්මන් ධුර කාලය ආරම්භ වී අවුරුදු හතරක් ඉකුත්වීමෙන් පසු යම් අවසථාවක] ****[ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කරනු ලැබිය හැක්කේ ය:

(ඈ) මේ අනුව්‍යවස්ථාව යටතේ පවත්වන ලද ඡන්ද විමසීමක දී ජනාධිපතිවරයා ලෙස තේරී පත්ව ඇතැයි ප්‍රකාශ කරනු ලැබූ තැනැත්තා

(ii) එවකට ධුරය දරන ජනාධිපතිවරයා නොවේ නම්, ඒ ඡන්ද විමසීමේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරනු ලැබූ දිනයෙන් ආරම්භ වන අවුරුදු හයක කාලයක් ධුරය දැරිය යුත්තේ ය....”

(7 පරිච්ඡේදය - 31 (3අ) (අ) (1) වගන්තිය සහ (ඈ) (2) වගන්ති)

ප/ලි


පාලි විශේෂ වේදී බෙංගමුවේ නාලක හාමුදුරුවෝ කියවන්නට ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමහර විට පාලියෙන් තිබුණු එකක් වන්නට ඇතැයි හිතී,  මං හොයා බැලූ නමුත්, හොයාගන්නට තිබුණේ නැත.

Wednesday, December 10, 2014

තුන්කල් දැක්මෙන් හඳුන්වා දෙන නව මැතිවරණ නීති...


1. සියලුම මැතිවරණ අපේක්ෂකයින් හට කටවුට් සවිකිරීම සඳහා සාධාරණ ඉඩ ප්‍රස්ථා සැළසේ:

මැතිවරණ අපේක්ෂකයන් විසින් තමන්ටඅවශ්‍ය තැන් වල ලයිට් කණු සිටුවාගත හැකි වන සේ විදුලි බල මණ්ඩලයේ ඉදිකිරීම් කටයුතු පෞද්ගලික අංශයන් වෙත මැතිවරණ සමයට සීමා වන සේ පවරා දෙනු ලැබේ.

මැතිවරණයෙන් පසු අයකරගැනීමේ පදනම මත ලයිට් කණු සිටුවීමේ සහ කටවුට් මුද්‍රණය කරවීමේ ණය ආධාර ක්‍රමයක් සමෘද්ධි හා දිවිනැගුම බැංකු හරහා ක්‍රියාත්මක කෙරේ.

ඕනෑම තැනක කටවුට් සවිකිරීමට, ඒ සඳහා ඕනෑම දේපළකට පිවිසීමට සහ ඊට එරෙහි වන්නන්ට පහර දීමට ඇති අයිතිය තහවුරු කෙරේ.

2. විරෝධතා මෙහෙයවන්නන් රක්ෂණය කෙරේ:

වීදි ගායකයන් හා විරෝධතා මෙහෙයවන්නන් හට සහනදායී ගෙවීම් ක්‍රමයක් යටතේ ජීවිත රක්ෂණ ඔප්පු ක්‍රමයක් ජාතික රක්ෂණ භාර අරමුදල මඟින් පිහිටුවේ.

පළා දමන එක් ඔළුවකට අවම වශයෙන් රුපියල් තිස් දහසක් වන්දි වශයෙන් තම තමන්ගේ මුදලින් ගෙවීමට අදහස් කෙරේ.

ඔළු පළන්නන් සහ සෙල්ලම් පිස්තෝල රැගෙන දුවන්නන් සඳහා ද, හොඳම නිර්මාණාත්මක මඩ ප්‍රහාර සඳහා ද රූපවාහිනී රියැලිටි තරඟ ආරම්භ කෙරේ.

3. පාතාල සාමාජිකයන් සහ මැරවරයන් ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි කෙරේ:

ත්‍රිවිධ හමුදාවට අමතර වශයෙන් දිවයින පුරා ලියාපදිංචි මැර හමුදාවක් ඇති කෙරෙන අතර, දැනට ක්‍රියාත්මක වන මැරයන් අත ඇති ආයුධ වල අඩු ලුහුඬුකම් හමුදා ආයුධ මඟින් පිරවේ.

ඔවුන් හට පහත සඳහන් කාර්යයන් පවරා දීමට අදහස් කෙරේ:

1.  ආණ්ඩු විරෝධී විරෝධතා පැවැත්වෙන ස්ථාන වල ආණ්ඩුවට පක්ෂපාතී විරෝධතා පැවැත්වීම,

2. ප්‍රතිවාදීන් පංසල් වලට යන විට පංසල් වටා රැස්වී හූ කීම,

3. තමන්ට දැනුම් දෙන ඕනෑම අවස්ථාවක දිවයින පුරා රතිඤ්ඤා පත්තු කර ජය ඝෝෂා කිරීම,

4. ප්‍රතිවාදීන්ගේ නිවාස සහ දේපළට ගල් සහ බෝම්බ ගසා හාණි සිදු කිරීම හා වෙඩි තැබීම.

5. කටවුට් හා මැතිවරණ කාර්යාල ආරක්ෂා කිරීම හා ප්‍රතිවාදී මැතිවරණ කාර්යාල වලට පහර දීම.

මෙම හමුදාව උදෙසා මෙරටට ගෙන්වන සුදු වෑන් සඳහා විශේෂ තීරු බදු සහන හඳුන්වා දෙනු ලැබේ.


මෙකී හමුදාවට අමතර වශයෙන් රාජ්‍ය සේවකයන්, ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සහ පොලිසියේ සාමාජිකයන් යොදවා ගැනීමට ඉඩ සැළසේ.

ප/ලි
ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සමරමු!

Friday, December 5, 2014

ජනාධිපතිවරණ ශබ්දකෝෂයෙන්...

http://afunblog.com/wp-content/uploads/2014/10/
Funny-Quotes-about-Elections-1.jpg

අර්ථ දැක්වීම්
    1. සංවර්ධනය (අලුත් වචනය - දැවැන්ත සංවර්ධනය) –
               1. අධිවේගී මාර්ග ඉදි කිරීම 
               (කිලෝ මීටරයක් සඳහා පිරිවැය රු. මි. 16කට වඩා වැය කර),
               2. කොළඹ නගරය අලංකාර කිරීමේ ව්‍යාපෘති,
               3. නීත්‍යානුකූල පාරම්පරික පදිංචිකරුවන් සහ පැල්පත් වාසීන් හමුදාව යොදවා ඉවත් කර, හෝටල් සංකීර්ණ හා වර්ග අඩි 300-400 අතර වන හුංඩු තට්ටු නිවාස ඉදිකිරීම, හා පැරණි තට්ටු නිවාස වල තීන්ත ගෑම,
               4. ගුවන් යානා නොඑන ගුවන් තොටුපොළ, නැව් නොඑන වරාය, ඉඳහිට භාවිතා කරන ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා ඉදිකිරීම,
               5. ජාතික ගුවන් සේවාවක් තිබියදී පාඩු ලබන තවත් ගුවන් සේවයක් පවත්වාගෙන යාම,

(පැරණි / තහනම් කළ අර්ථ නිරූපණය)
               1. ජාතික නිෂ්පාදිතය අවුරුදු ගණනාවක් තිස්සේ නොකඩවා වැඩිවීම,
               2. එහි ප්‍රතිලාභ සාධාරණ ලෙස සියලු රටවැසියන් අතර බෙදී යාම, සහ
               3. එයින් රටවැසියන්ගේ ජීවන තත්ත්වය ඉහළ යාම

    2. නීතියේ පාලනය - 
               1. ඇමතිවරයෙකුගේ පුතෙක් මාසයක් රක්ෂිත බන්ධනාගාර ගත කර (රෝහලේ) තැබිය හැකි වීම,
               2. මහ නගර සභා සීමාවේ අනවසරයෙන් ප්‍රචාරක පුවරු සවි කිරීම,
               3. ප්‍රචාරක පුවරු සවිකිරීමට එරෙහි වූ අයට පහර දීම,
               4. පහර දුන් අය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි වන සේ සැඟවී සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රකාශ කිරීම,
               5. රාජ්‍ය සේවකයන් යොදවා පෝස්ටර් ඇලවීම,
               6. අල්ලස් ගැන ප්‍රකාශ කරන විරුද්ධ පාක්ෂීකයන් ගැන පරීක්ෂණ පවත්වන අතර, ආණ්ඩු පක්ෂයේ ඇමතිවරු වීරයන් බවට පත්වීම,
               7. ජනතාව කුපිත කරවන ප්‍රකාශ කළ බල සේනාව රහස් පොලිසියට ගෙනවුත් ප්‍රකාශ සටහන් කරගෙන අමතක කිරීම,
               8. අගවිනිසුරු ඉතා හදිසියෙන් තනතුරින් පහ කොට අපකීර්තිමක් අයෙක් අගවිනිසුරු ලෙස පත් කිරීම.
               9. අතීතයට බලනොපාන ව්‍යවස්ථා සංශෝධනයකින් ජනාධිපතිවරණයක් කැඳවීම,
               10. ජනාධිපතිවරණය ගැන තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරන් 11 දෙනාගෙන් 10 දෙනෙක්ම අත්සන් කිරීම මඟින් ඊට විරුද්ධව නඩු පැවරීමට නොහැකි තත්ත්වයක් ඇති කිරීම,
               11. ඒ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවේ සභාගත නොකිරීම සහ ප්‍රසිද්ධියට පත් නොකිරීම,
               12. ඇමතිවරයෙක් ඝාතනය කළ අපකීර්තිමත් මන්ත්‍රීවරයෙකුට එරෙහි නඩුව දිගින් දිගටම ඇදි ඇදී යාම,
               13. සැකකරුවන් අත්අඩංගුවට ගෙන ආයුධ පෙන්වීමට එක්කරගෙන යාම,
               14. රාජ්‍ය නොවන සංවිධාන පැවැත්වීමට අදහස් කරන වැඩසටහන් වලට ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ව අනුමැතිය ලබාගත යුතු වීම,

(පැරණි / තහනම් කළ අර්ථ නිරූපණය)
               1. අධිකරණය ව්‍යවස්ථාදායකයේ හා විධායකයේ පාලනයෙන් ස්වාධීනව පවත්වාගෙන යාම,
               2. නීතිය ඉදිරියේ සියලු දෙනා සමාන ලෙස සැළකීමට භාජනය වීම,
               3. වරදකරුවෙකු, වරද කළ අවස්ථාවේ පැවති දඬුවමට වඩා වැඩි දඬුවමකට යටත් කළ නොහැකි වීම,
               4. වරදකරු යැයි ඔප්පු කරන තෙක් සැකකරු නිවැරදිකරු යැයි සැළකිය යුතු වීම.

    3. රාජ්‍ය නොවන සංවිධාන (එන්ජීඕ) -
               1. අධිරාජ්‍යවාදී ගැත්තන්,
               2. ඇමරිකානු ඒජන්තයන්,
               3. කොටි,
               4. ඩයස්පෝරා,
               5. ඩොලර් කාක්කන්,

(පැරණි / තහනම් කළ අර්ථ නිරූපණය)
               රාජ්‍යයක, ආණ්ඩුව විසින් ඉටු නොවන මහජන අවශ්‍යතා ඉටුකිරීමට පිහිටුවාගත්, ලාභ අපේක්ෂා නොකරන සංවිධාන.

   4. ප්‍රජාතන්ත්‍රවාදය -
               විටින් විට මැතිවරණ පැවැත්වීම මඟින් මහජන මුදල් කාබාසිනියා කිරීම හා රටේ ජන ජීවිතය අස්ථාවර කිරීම

(පැරණි / තහනම් කළ අර්ථ නිරූපණය)
සමාජය පාලනය කෙරෙන නීති සකස් කිරීම හා ස්ථාපනය කිරීම සඳහා
ඉදිරිපත් කෙරෙන කෙටුම්පත්: 
සහ එම කාර්යය සඳහා ආයතන පවත්වාගෙනයාම
ජනතාවගේ සෘජු ඡන්දයෙන් හෝ
ජනතාවගේ ඡන්දයෙන් පත්කෙරෙන නියෝජිතයන් මඟින් වක්‍රව
සම්මත කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම

කොටස - තහනම් කළ යුතු කුණුහරුප
    1. යහපාලනය (සමාන පද - බෙදුම්වාදය, රට අස්ථාවර කිරීම, ජාත්‍යන්තර කුමන්ත්‍රණ)

                           (විරුද්ධ පද - යුධ ජයග්‍රහණ, මාර්ග ඉදිකිරීම්, දැවැන්ත සංවර්ධනය)

ප/ලි
දොස්තර රාජිත සේනාරත්න මන්ත්‍රී වරයාගේ නිවසට කුඩු කාරයෙක් හොරෙන් ඇතුල්වී රැගෙන ගොස් ඇති බඩු:
1. අයිපෝඩ් එකක්,
2. ටැබ් එකක්,
3. දොර ජනෙල් වල සරනේරු,
4. ලිපිගොනු කිහිපයක්.

කෞතුකාගාරයට දෙවෙනි වර ඇතුල් වෙච්ච හොරා මොකුත් ගෙනිහිං නැතිලු

අපිට පිස්සු වගෙයි ද මංදා...

Thursday, October 2, 2014

කාලෙකින් ගජබින්නාලංකාරයේ තවත් දිගහැරුමක්

පහුගිය දවස් වල ඌවේ පැවතුණු, ලෝකෙ ලොකුම පළාත් සභා මැතිවරණය කියන්නෙ ඉතිං අපේ ගජබින්න කැළේ යන සෘතු විපරියාසයකි. ඒ නිසා ඩ්‍රැකියා ලියන එක තාවකාලිකව අඩු විය. පශ්චාත් මැතිවරණ බේගලුත් ඉවර වීගෙන යන අවස්ථාවේ, අපේ බාප්පාගේ පුතා සම්බන්ධ මහා ගජබින්නයක් ඇද බාන්නට හිතුවෙමි ය.

http://www.tumblr.com/photo/1280/fyeahhowtotrainyourdragon
/1577019891/1/tumblr_lbwjp09LBy1qbbz9i


බාප්පා හරි හරි වැඩ කරන සූර මිනිහෙක් බව රට පුරා ප්‍රසිද්ධ කාරණයකි. ඒක ආරංචි වුණ මරඳගහමුල යකඩයා කියන ඒ වගේම සූර වැඩ කරන මනුස්සයෙක්, ඒ කතාවල ඇත්ත නැත්ත බලාගන්න කියලා, දවසක් අපේ තාත්තලාගේ මහගෙදර හොයාගෙන ආවා. යකඩයා ආවෙ තනියම නෙමෙයි. තොටළඟ කුසුමපාල කියලා මහ චණ්ඩි මිනිහෙකුත් එක්කයි. එ් අය එනකොට බාප්පා ගෙදර හිටියේ නෑ. ඒ වෙනකොට බාප්පා පොළට ගිහිං. වත්තෙ වගා කරපු බුලක් බුලත් කඩාගෙන, කරත්ත දෙකක් පුරවලා, ඒ කරත්ත දෙක පුවක් කඳක දෙපැත්තෙ එල්ලලා ඒ කරත්ත කද කර තියාගෙන තමා බාප්පා පොළට යන්නෙ.

ඉතිං මරඳගහමුල යකඩයා එද්දි ගෙදර හිටියෙ අපේ මලයා විතරයි.

යකඩයයි, කුසුමපාලයි මලයගෙන්, "කෝ ගුණරත්න ?" කියලා ඇහුවා. (ගුණරත්න තමා බාප්පගෙ නම)

මලය කිව්වා ගත් කටටම, "තාත්තා ගිහිං පොල් මුරේ කඩවන්න" කියලා.

"කොහෙද, වත්ත පහළද?" යකඩයා ඇහුවා.

"නෑ. අපේ අනිත් ඉඩමෙ." මල්ලි කිව්වා "අම්මට දෑවැද්දට හම්බුන ඉඩමෙ"

"ගොඩක් දුරද?"

"ඒ ඉඩම තියෙන්නෙ අහසෙ..."

යකඩයගෙ ඇස් උඩ ගියා. "ඈ...? අහසෙ?"

"ඔව්..." මල්ලි වගේ වගක් නැතුව කියනවා. "තාත්තා මිදුලට බැහැලා හූවක් කියලා ඒ හූවෙ නැගලා ගියා උදෙම්ම. ආයි හවස මං මිදුලට බැහැලා හූවක් කිව්වහම, තාත්තා ඒකෙ පොල් ටිකත් පටවගෙන ආපහු එනවා..."

ඒ කතාවට බය වුණ යකඩයා වට පිට බලද්දි, තොටළඟ කුසුමපාල පණ බයේ සෑහෙන දුරක් දුවලත් ඉවරයි. යකඩයත් ඒ පස්සෙන් ඔරේ රන් එකක් දුන්නා...

බාප්පා දවල් වෙද්දි හිස් කරත්ත කදත් අරං ගෙදර ආවා, බුලත් ටික ඔක්කොම විකුණගෙන. ඇවිත් තේ කහට එකක් එහෙම බීලා ඉස්තෝප්පුවෙ වැල් ඇ‍ඳේ වාඩි වුනා විතරයි, පොඩි එකා උදේ වෙච්ච සිද්ධිය අකුරක් නෑර උන්දැට කිව්වා. ඒ කතාව අහපුවාම බාප්පා හරියට කළකිරුණා තමන්ගෙ පුතා ගැන.

"යකෝ, උඹ මගෙ පුතා වෙච්චි, තොට බැරි උනාද බොල ඔයිට වඩා හොඳ ලොකු බොරුවක් කියන්න?"

කියලා බාප්පා මල්ලිවත් අතකින් අල්ලගෙන ඇ‍දගෙන ගියා ගෙදර වතුර බොන ළිඳ ගාවට. "නෑ, මේක ගැඹුර මදි..." කියපු බාප්පා ළි‍ඳේ ලණුවත් අරගෙන, ඉඩෝරෙට වෙලේ කපපු ළිඳටම අරූව ඇදගෙන ගියා.

ළිඳ ගාවට ගිහිං, ලණුවෙ කොණක් මල්‍ලිගෙ ඉණේ ගැටගහලා, ටිකෙන් ටික ළිඳට බැස්සුවා. සෑහෙන දුරක් යටට ගියාට පස්සෙ මල්ලි කෑගහනවා, "තාත්තෙ තාත්තෙ මහ ලූලෙක්! මහ ලූලෙක්...!!" කියලා.

"ඕකව අල්ලගනිය හයියෙන්...!" කියපු බාප්පා ලණුව ආපහු උඩට අදින්න ගත්තා.

උඩට අරං බලනකොට ඇති ලූලෙක් නෑ...

"කෝ බොල ලූලා ?" බාප්පා සැරෙන් ඇහුවා.

"මට මාර බඩගින්නක් තිබ්බෙ..." මල්ලි කිව්වා. "...ඉතිං ඒ ගින්නෙන් පුච්චගෙන ලූලව ළි‍ඳේදිම කෑවා."

ඒ අතරෙ අර යකඩයයි, කුසුමපාලයි එළෝ මෙළෝ නැතුව දුවද්දි, වෙලක් හම්බුනා. ඒ වෙලේ මැද්දෙ මී හරක් බාන් දාසයක් ගැටගහගෙන සිරිපැරකුමා වගේ ගොවියෙක් තනියම සී සානවා. අර යෝදයො දෙන්නා දුවන වේගෙට ගොවියට කරගන්න දෙයක් නෑ. පොර අර හරක් බාන් දාසයම ඉණේ තිබ්බ මඩිස්සලේ ඔබාගෙන මහ නියරට ගොඩ වුණා.

අර චන්ඩි දෙන්නා වෙලෙන් එහාට ගියාට පස්සෙ අර ගොයියා මඩිස්සලේ අරල බලද්දි, හරක් නැට්ටක්වත් ඉතුරු වෙලා තිබ්බෙ නෑ, හිටියෙ එකම එක තඩි කිනිතුල්ලෙක් විතරයි මඩිස්සලේ ඇතුලෙ. ඒ කිනිතුල්ලා අර හරක් තිස් දෙන්නම කාලා ඒ ටිකට.

Tuesday, August 26, 2014

මොළයට ආහාර දන්සැලක් - හැමෝටම ආරාධනා...!!!!

සරු බීජ ලියන අපේ පර්යේෂක මහත්තයා හෙවත්, ප්‍රවීණ ලේඛක සුනිල් කුමාරසිංහ අතුකෝරළ කාලාන්තරයක් තිස්සේ දිවයින බදාදා අතිරේකයට ලියපු ලිපි වලින් තෝරාගත් ලිපි එකතු කරලා ප්‍රකාශයට පත් කරපු පොතක්, දොරට වඩිනවා.

පොතේ නම, "ශ්‍රී ලංකාවේ ජනාවාසකරණය, සංස්කෘතිය සහ සන්නිවේදනය"


ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩල ශ්‍රවනාගාරයේදී
2014-09-13 සෙනසුරාදා  උදේ 9.30 ට තමයි දොරට වඩින උත්සවය...

එදාට එහෙ යන එකේ වැදගත්කම:

මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු ගේ ප්‍රමුඛ දේශනය
මාතෘකාව - "සිංහල සංස්කෘතියේ විශේෂ ලක්ෂණ"

ඊළඟට - කෘතිය ගැන හැඳින්වීම
ශ්‍රී ලංකා සමාජ සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂිකා,
සමාජ ‍සේවා විද්‍යාලයේ කථිකාචාරිනී,
ශාමිණි අත්තනායක

මෙහෙයවීම සහ කථනය:
ප්‍රවීණ කිවි,
දෙ. වි. ගාල්ලගේ සහ
රන්බිම ප්‍රධාන කතෘ සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කථක,
රන්ජිත් ප්‍රේමතිලක

පොතේ පිදුම:
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේද අධයයන අංශයේ අංශාධිපති
ආචාර්ය ප්‍රණීත් අබේසුන්දර

පුළුවන් අය එන්න... ඔළුවට හරවත් යමක් දාගෙන යන්න...

Sunday, August 3, 2014

පරණ රසකතා

අද මා ඔබට ගෙන එන්නේ පරණ ශ්‍රී සඟර‍ා දෙකකින් උපුටා ගත් රස කතා සහ කාටුන් ටිකක්...

මෙහි කාටුන්, අපේ ජනප්‍රිය චිත්‍ර ශිල්පියෙක් වන ජනක රත්නායක ගේ. ඔහුගේ අත්සන දැකපු විට මටත් පුදුම හිතුණ‍ේ, මෙයා මෙච්චර පරණ කෙනෙක්ද කියන හැඟීමෙන්...



ඊට පස්සෙ තව ශ්‍රී සඟරාවකින් උපුටා ගත්ත විහිළු කතා දෙකක්... මුල්ම කතාවෙ නං, හිනා යන්නෙ කතාවටත් වඩා ඔසීගෙ කාටුන් චිත්‍රයට...






වැඩිපුර බලපු ලිපි