තාප්පයේ කතාව (දුර්ලභ ගණයේ පරණ කතාවක රිමේක් එකකි)

ගමේ බේකරියේ මුදලාලි ගජ පෝසතෙක් ය. තමන්ගේ පාඩුවේ ගුල්ලන් කැරපොත්තන් වැඩිය අඩංගු නොකර සුමිහිරි පාන්, බනිස්, කිඹුලන් ආදියත්, ඉතුරු වෙන ඒවායින් ඥාණකථා, හුළං විස්කෝතු, ඇඟිලි, විස්කිරිඤ්ඤා ආදියත් සාදමින්, ගෝලයින් ලවා ගම් කිහිපයක ම බෙදා හරිමින් පොහොසත් වූ මුදලාලි දැහැමින් සෙමෙන් සල්ලි අට්ටි ගැසූ, ටිපිකල් ගැමි මුදලාලියෙකි. බේකරියත් නිවසත් ඇතුළත් අක්කර බර ගණනක ඉඩම වටේ කටු කම්බි වැටක් ගසා තිබූ අතර, උන්නැහේ මෑතකදී පාර පැත්තේ මනරම් තාප්පයක් බැන්දෙව්වේය. එයා ඒ තාප්පෙට බොක්කෙන්ම ආදරේ ය. උදේ පාන්දරින් අවදි වන මුදලාලි, ඇඟිල්ලෙන් දත් මදිමින් පාරට බැස, හුණු පිරියමින් සුදට සුදේ බබළන තාප්පය දිහා බලාගෙන සෑහෙන වේලාවක් ගත කරන්නේය. ඊට පස්සේ රවුමක් ගසා, කෙලින්ම ගොඩ වෙන්නේ බේකරියට ය.

මේ ළඟදි කියන්නේ, ගිය අවුරුද්දේ දවසක උන්නැහැ උදෙන්ම තාප්පෙට අනිමිස ලෝචන කරන්න යද්දී තමයි ය, ඇගේ මාලු නටන සිද්දියක් දැක්කේ. තාප්පේ හරි මැද පොල්ගෙඩි අකුරෙන්,

‘සරත් පොන්සේකා නිදහස් කරනු !‘ 

කියා ලියා තිබුණේ ය.

මුදලාලි උඩ විසි වී ගිහින්, ඔලුවත් කහමින් කල්පනාවකට වැටුණා ය. (මෙගා ටෙලි වල වගේ උන්නැහැ කල්පනා කරපු දේ මට ලියා දක්වන්න නිදහසක් තිබේ.)

‘මොන සරතෙක් ද, මේ බේකරියෙ මම හිර කරන් ඉන්නෙ?‘

කෝකටත් කියා මුදලාලි තාප්පේ තිබ්බ අර වගන්තියට යටින්, පොඩි අකුරෙන් මෙහෙම ලිව්වාය,

‘සරත් පොන්සේකා මෙහේ නැත !‘

මේ වගන්ති දෙක සතියක් විතර තාප්පේ තිබී, ආයෙම පාරක් මුදලාලි ගෝලයො ලවා ගාවපු හුණු කෝට් කීපයකින් මැකුණා විතරයි, ඊළඟ දවසක පාන්දර මුදලාලි ආයෙම පාරක් උඩ යවාපු වගන්තියක් තාප්පේ ලියා තිබුණේ ය.

‘ඇමරිකන් අධිරාජ්‍යවාදය ලිබියාවෙන් ඉවත් වෙනු !‘

‘මේ මොන මගුලක් ද?‘ එහෙම හිතපු මුදලාලි, කෙලින්ම දත් මැද මැද ගියේ පොලිසියට ය. ගිහින් ඕඅයිසී මහත්තෙයාට මුල ඉඳන් කතාව කිව්වේ ය.

‘හරි. මුදලාලි යන්ඩකො. මම බලාගන්නම්‘ ඕඅයිසී මහත්තයා ඈණුමක් ඇර, පත්තරේ දිග ඇරගන්න ගමන් කීවේ ය.

මුදලාලිත් තටු කැඩිච්ච කුකුළා වගේ ආපහු හැරී ගෙදර ආවේ හුළං බැස්ස ටියුබ් එකක් වගේ හිතකින් ය. ඒ වුනත් ඊළග සතියේ පත්තරේ බලන කොට තමයි ඕඅයිසී මහත්තයා කිව්ව කාරණේ මුදලාලිට තේරුණේ.

“ඇමරිකානු හමුදා ලිබියාවෙන් ඉවත් වෙයි“ දිණමින පත්තරේ මුල් පිටුවෙම තිබ්බේ ය.

‘ඕඅයිසී මහත්තෙයත් ලේසි පුතෙයෙක් නෙවෙයි‘ මුදලාලි හිතුවෙ ය.

ඔන්න ඔහොම කාලයක් යද්දී, ගමේ ඉළන්දාරි ටික වේදිකා නාට්ටියක් හැදුවෝය. වේදිකා නාට්‍ය වල තියෙන්නෙ අමුතු නම් නොවැ. ඉතින් මුන් ටිකත් ප්‍රසිද්ධ නාට්‍ය වලට නොදෙවෙනි වෙන විදියට නමක් දැමෝය.

‘කාමරයක් කුළියට දීමට තිබේ‘

ඒක තමයි නාට්ටියෙ නම. ඉතින් ඔය පෝස්ටරයක් මුදලාලිගෙ තාප්පෙත් ගැහුවයි කියමුකො. එදා ඉදන් මිනිස්සු මුදලාලිගෙන් කුළියට කාමර ඉල්ලන්න එනවා ඉවරයක් නැත. බැරිම තැන මුදලාලි ගියේ ඇමරිකානු අධිරාජ්‍යවාදය ලිබියාවෙන් එළවා දමපු සර්ව බලධාරී වැඩකරු වන ඕඅයිසී මහත්තයා ගාවට ය.

ඕඅයිසී මහත්තයත් මුදලාලිගෙ විස්තරේ අහන් හිටියේ ය.

‘සුළු දෙයක්නෙ මුදලාලි. ඔය ගෙදර කාමරයක් කුළියට දීලා ප්‍රශ්නෙ විසඳගන්නවකො. ආදායමකුත් එනවනෙ‘ ඕඅයිසී එහෙම කිව්වේ, ප්‍රශ්නෙ ගොඩින් විසඳීමට ය. ඒ ඇසූ මුදලාලි ගේ මුහුණ ගොනා පයින් ගැසූ ලන්තෑරුම වගේ විය.

‘කොහෙ තියෙන කාමරද මහත්තයො?‘ මුදලාලි කීවේ ය. ‘කාමර ඔක්කොම ගාමන්ට් කෙල්ලන්ට කුළියට දීලා. සාලෙ බිම පැදුරක් එළාගන්න ඉඩ වලට වෙන් කරලා බේකරියෙ ගෝළයින්ට කුළියට දිලා, වෙන එකක් තියා සාලෙ මහ ජනෙල් දෙකත් බස් කොන්දොස්තරල දෙන්නෙකුට කුළියට දීල තියෙන්නෙ. උන් දෙන්නා ඒ ජනෙල් වල එල්ලිලා බුදියෙන්නෙ. ඒ මදිවට මහ රෑට ‘හා කොටුව කොටුව නගින්ඩ නගින්ඩ‘ කියලා බෙරිහන් දිදී, සාලෙ බිම බුදියගෙන ඉන්න එවුන් ඇදලා ඇරං ජනේලෙන් එළියට දානව. එක බිම් අඟලක්වත් නෑ ආයෙ කුළියට දෙන්ඩ...‘

‘එහෙනම් මෙහෙම කරන්ඩ‘ ඕඅයිසී බැරිම තැන සාමාන්‍ය දැනීම පාවිච්චි කළේ ය. ‘තාප්පෙ ලියන්ඩ “මේ තාප්පය ඔබගේ ය- එය රැකගැනීම ඔබගේ යුතුකමයි“ කියලා. ඔය හැමතැනම බේරගන්ඩ බැරී දේවල් ට ඔය වගන්තිය තමයි ගහන්නෙ. හවසට අපේ ගෙදර පාටියකුත් තියෙනව. පුළුවන්නම් කේක් කිලෝ තුනකුයි, ළඟ බාර් එකන් ගල් බෝතල් හතරකුයි එවන්ඩ කොල්ලෙක් අතේ.‘

මුදලාලිත් ඕඅයිසී ට පින් දීලා ගෙදර ගියෝය. එදාම හවස ගමේ ආට් ගුණේ මුදලාලිගේ තාප්පේ අර කී වගන්තිය පින්තාරු කර දී ගතමනාව ගත්තේ ය.

පහුවදා මුදලාලි දත් මැද මැද පාරට ගිය විට මොකද්දෝ අමුත්තක් ඇති බව දැක්කේ ය.

....  බැලින්නම් තාප්පේ එහෙම් පිටින්ම අතුරුදහන් ය.

තෙවන සියවසේ ලක්දිව පැවති බැංකු ක්‍රමය පිළිබඳ තතු හෙළි කරන තෝනිගල ගිරි ලිපිය (දිවිතියික මූලාශ්‍ර ඇසුරිනි) - මේකත් දැනට හරියටම අවුරුදු දෙකකට කලින් සඟරාවක පළ කළ එකක් නිසා, ලියා ඇති ශෛලිය කියවීමට අපහසු වන්නේ නම් කණගාටුව පළ කරමි.


පැරණි ලෝකයේ පැවති මුල්ම බැංකු, ආගමික ගොඩනැගිලි තුළ ස්ථානගත ව පැවති බව සැළකිය හැකිය. මුදල් භාවිතයට ද බොහෝ පෙර සිට පැවතුනු මේ ආයතන, ඇරඹෙන්නට ඇත්තේ ක්‍රි. පූ. තෙවන සහස්‍රයේ තරම් ඈතකදී ය. මේවායේ තැන්පතු බොහෝවිට අතිරේක ධාන්‍ය අස්වැන්න වූ අතර, පසුකාලීනව අනෙකුත් හුවමාරු ද්‍රව්‍ය වන කෘෂිකාර්මික උපකරණ, සහ රත්රන් වැනි දුර්ලභ ලෝහ වර්ග බවට මාරු විය. මෙසේ බැංකු ක්‍රමය, මුදල් භාවිතයේ පරිණාමය හා සමඟම දියුණු වූ බව පෙනේ. ආගමික ගොඩනැගිලි ශක්තිමත්ව හා කල් පවතින ලෙස තනා තිබීමත්, සොරකම් අධෛර්යවත් වන පරිද්දෙන් ඒවා වටා ගොඩනැගී පැවති සංකල්පීය විශ්වයත් හේතුවෙන් අපරදිග ලෝකයේ බැංකු ක්‍රමය, ආගමත් සමඟ අත්වැල් බැඳගෙන සංවර්ධනය විය. ජේසුතුමන් විසින් දේවස්ථානයේ සිටි මුදල් පොළී කරන්නන් පළවා හරිනු ලැබීමේ සිදුවීම මෙම තත්ත්වය පැහැදිළි කරන උදාහරණය කි.

ක්‍රි. පූ. දෙ වන සියවසේ බැබිලෝනයේ දේවස්ථාන පූජකයන් විසින් පවත්වාගෙන ගිය ණය පිළිබඳ පැහැදිළි වාර්තා දැනට හමු වී තිබේ. එසේම, ක්‍රි. පූ. 1760 පමණ කාලයට අයත් වන හමුරාබි රජුගේ නීති මගින්, බැංකු කටයුතු පාලනය කිරීමේ නීති සාධාරණීකරණය කරන්නට වෑයම් කර ඇති බව පෙනේ. මීට අමතර වශයෙන්, පුරාණ ග්‍රික සහ රෝමානු වාර්තා තුළ වඩා පැහැදිළි ලෙස ණය දිම, පොළීකරණය සහ තැන්පතු භාරගැනීම කෙරුනු ආයතනික ව්‍යුහ පිළිබඳ කරුණු දැක්වේ.
පුරාතන බැංකු ක්‍රමය අපරදිග ලෝකයට පමණක් සීමා නොවූවක් බවට, දැනට ලංකාවෙන් සොයාගෙන ඇති හොඳම සාධකය සටහන් වන්නේ තෝනිගල ගිරි ලිපිය ලෙස ප්‍රකට අභිලේබනය තුළය. මෙය පිහිටියේ උතුර, නැගෙනහිර සහ උතුරු මැද යන පළාත් වල සීමාවෙහි, තිලක්කුමලය නම් පෙදෙසේ තෝනිගල හෙවත් නාගරගල ලෙස හැඳින්වෙන ගල් තළාවෙහි ය. මෙම ස්ථානය, වවුනියාව සිට හොරොව්පොතාන ට දිවෙන මාර්ගයේ 6 වන සැතපුම් කණුවට සැතපුම් 1/2 ක් පමණ උතුරින් පිහිටා තිබේ.


මහසෙන් රජුගේ පුත් සිරිමෙවන් රජතුමා ගේ (ක්‍රි. ව. 303 - 331) තෙවන රාජ්‍ය වර්ෂයේ ලියැවුනු බව සඳහන් වන මෙහි, ඇතුළත් වන්නේ දේව නමැත්තෙකු යහිසපවය නම් නව විහාරයේ පැවැත්වෙන අරියවංශ වෘත්තිය වෙනුවෙන් දන්වැට සැපයීම සඳහා, කළහුමනක නම් නියම්ගම හි ධාන්‍ය තැන්පත් කොට ලැබෙන පොළිය යෙදවීමට නියම කිරීමකි. බැංකු ක්‍රමය, පොළී අනුපාත පිළිබඳ තොරතුරු වලට අමතරව මෙම ලිපියෙන් එවක පැවති සාමාජයේ විවිධ අංග පිළිබඳව ද තොරතුරු හෙළිදරව් වේ.


තෝනිගල ගිරිලිපියේ පෙළ

සි පුවිය මහසෙන මහරජ පුත සිරිමෙකවණ අබ මහරජහ චත ලෙගි
තක තිනවනක වසහි නකරහි උතර පසහි කළහුමනක නියම තනහි සිය අ
චිය කිණියෙනි නිකත කඩුබලගමකෙහි වසනක අමෙති පහෙජ සිවය
හ පුත දෙවයහ යහිසපවය නව වහෙරකෙහි දින අරියව
ස වටවි දෙහකඩ දසඅමණක විඉච සඅමණක
උදි ඉච බයලි දස අමණ ඉච මෙදෙහකඩ දස අ
මණක වි පිටදඩහසහි වෙඪ අකලහසහි වෙඪ ම
දෙහසහි වෙඪ පචවිසිය අමණක වීඉච මෙසඅමණක උදිහි
වෙඪ එකඅමණ දෙපෙකඩක උදි ඉච දස අමණක බයලිහි වෙඪ අ
මණ දෙපෙකඩක බයලි ඉච මෙවතක වනහි ගහෙ කිණිය චිටවය වෙ
ඪගෙණ තිණඩහකට දනවට ඉච අතරකජක වට ඉච අතරකජ
(පරි) කර යපෙනි ඉච දි මියවට පෙණිතිල ඉච බුන තෙල ඉච ලොණ ඉච
පලහවට ඉච වෙටයල ඉච වහෙරග ගසරප පවතහි
මිලිය පදිය ඉච මෙව (තක) වෙඪ වතක ගෙණ වනය ව (න) ය
අතොවසහි නිකමනිය වදපුණමස දොළසපක දිවස
(අ) රියවස කරන මහ බිකු සග හට නියත කොටු යහිසපව (තන)
ව වහෙරකහි දිනි

අර්ථය

යහපතක් වේවා! පෘථිවීශ්වර මහසෙන් මහරජුගේ පුත් ශ්‍රී මේඝවර්ණාභය මහරජු සේසත් නැගූ තුන්වන වර්ෂයෙහි නගරයේ උතුරු පස කාළ සුමන නම් නිගම් ස්ථානයෙහි තමන් පරිත්‍යාග කරන ලද බද්දෙන්, තබන ලදි. කඩුබලගමෙහි වසන අමාත්‍ය පහෙජ සිව ගේ (පහෙජ යනු පර්ෂද් යන අර්ථය යැයි සැළකේ. ඒ අනුව, මෙය අමාත්‍ය පර්ෂදයට අයත් සිව හෝ අමාත්‍ය පර්ෂද් ඇති සිව යන තේරුම ගනී.) පුත් දේව, යහිස නම් පර්වතයේ නව විහාරයට දෙන ලද ආර්යවංශ වෘත්තිය කෙසේද යත්,
දෙයාළ දස අමුණක් වී ද, සය අමුණක් උඳු ද, මුං දස අමුණක් ද යන මෙයින් මෙකී දෙයාළ දස අමුණක වීයෙන් පිටදඩහස නම් කන්නයෙහි, යළ කන්නයෙහි සහ මහ කන්නයෙහි පොළිය වන විසි පස් අමුණක වී ද, සය අමුණක උඳු වල පොළිය වන එක් අමුණු දෙපෑළක උඳු ද, දස අමුණක මුං වල පොළිය වන අමුණකුත් දෙපෑළක මුං ද යන මේතාක් වන දෙය හි මුල් තැන්පතුව තබා, පොළිය ගෙන,
ගැල් තුනක් දන්වැට ද, අතුරුපස ද, අතුරුපස සඳහා වන පරිවාර දේ ද, දී මීපැණි වෘත්තිය හා පැණි තල ද, දුන්තෙල් ද, ලුණු ද, පළා ද, කහ අල ද, විහාරයට පිවිසීමේ මූල්‍ය දීමනාව ද, යන මේතාක් දේ පොළී වෘත්තිය ගෙන, එන එන වර්ෂයෙහි නිකිණි මස පුර දොළොස්වක දවසේ ආර්යවංශ ප්‍රතිපදාව කරන මහ භික්ෂු සංඝයා හට නියත කොට යහිස පර්වතයේ නව වෙහෙරට දෙන ලදි.

විමසුම

පුරාණ ලක්දිව, නිගම ස්ථානයක් හෙවත් නියම් ගමක් යනු, යාබද ගම් කිහිපයක වැසියන් සිය වෙළෙඳ කටයුතු උදෙසා රැස්වූ ස්ථානයයි. මෙවැනි නිගම ක පරිපාලන නිති පිළිබඳව බදුලු ටැම් ලිපියේ ද සඳහන් වේ. එහි, නියම්ගම ට ගෙන එන වෙළෙඳ බඩු සහ සතුන් ගැන සහ වෙළෙඳාම ගැන මෙන්ම, අල්ලස් ගැනීම, යුක්තිය පසිඳලීම සහ අපරාධ වලට දිය යුතු දඬුවම් පිළිබඳව ද සටහන් කර තිබේ. එයින් ම, මෙවැනි ස්ථානයක කටයුතු වල සංකීර්ණ බව වටහා ගත හැකිය. මෙම ගිරි ලිපියේ සඳහන් පරිදි කාළ සුමන නම් ස්ථානය ද එවැනි ප්‍රාදේශීය වෙළෙඳ මධ්‍යස්ථානය කි.

මෙම අභිලේබනයේ සඳහන් වන දේව නමැත්තා සිය අතිරේක ධාන්‍ය කොටස් මෙකි නිගම් ස්ථානයෙහි ආයෝජනය කොට එහි පොළියෙන් දානමය පිංකමක් අවුරුදු පතා සිදු කෙරෙන සේ නියම කර ඇත. මෙය වර්තමානයේ පවතින ස්ථාවර නියෝගයක් වැනිය. ක්‍රි. ව. තෙවන සියවස වන විට ලක්දිව පැවති ආර්ථික කටයුතු වල දියුණු ස්වභාවය මෙයින් මොනවට පැහැදිළි වේ. ඊට අමතරව, මෙහි පොළී අනුපාතයන් ද, සඳහන් කර තිබේ. එහි එන කරුණු අනුව, වී, උඳු සහ මුං සඳහා වෙනස් පොළී අනුපාත හඳුනා ගත හැක. ඒ අනුව, වී සඳහා වාර්ෂික පොළිය 50%කි. උඳු සඳහා 25% ක් ද, මුං සඳහා 15% ක්ද වශයෙන් පොළිය නියම කර තිබේ. එසේම, මේවා ස්ථාවර පොළී අනුපාත වේ. නැතහොත්, මෙය අද දවසේ දක්නට ලැබෙන ස්ථාවර තැන්පතු ක්‍රමය ට සමාන බව පෙනේ.

අතිරේකව උකහා ගත හැකි කරුණූ

අභිලේබනයක මූලිකම අතුරු වැදගත්කම වන්නේ, භාෂාවයි. ක්‍රි. පූ. තෙ වන සියවසේ සිට ක්‍රි. ව. පස්වන සියවස වනතෙක් කාලය තුළ ලංකාවේ භාවිත වූ භාෂාව සිංහල ප්‍රාකෘත ලෙස හැඳින්වේ. මෙම ලේබනයේ එන වචන හා වාග් යෙදීම් ගැඹුරින් පිරික්සීමේදී, ප්‍රාකෘත සිට අද සිංහල දක්වා භාෂාව පරිණාමය වීමේ සංක්‍රාන්තික ලක්ෂණ දැකගත හැක. මෙය පාළිය සිංහලයේ මාතෘ භාෂාව වූ බවට ඇති සමහර විද්වතුන්ගේ මතය තහවුරු කිරීම සඳහා සාධක වශයෙන් ද යොදා ගැනේ. එය විවාදාපන්න මැයක් වන අතර, වෙනම ලියවිල්ලක් මඟින් සාකච්ඡා කළ යුතු තරම් පුළුල් කරුණ කි. 

සැකෙවින්,
දීර්ඝ ශබ්ද කෙටි වීම, (උදාඃ දේව - දෙව),
මහප්‍රාණ ශබ්ද අල්පප්‍රාණ වීම, (උදාඃ භික්ෂූ සංඝයා - බිකු සග),
ශබ්ද සංයුක්ත කේවල වීම (උදාඃ උත්තර පස්ස - උතර පසෙ),
ඝෝෂ ශබ්ද අඝෝෂ ශබ්ද වීම (උදාඃ නගර - නකර) මෙන්ම,
සමහර විට අඝෝෂ ශබ්ද ඝෝෂ ශබ්ද වීම (උදාඃ සකට - හකඩ) වැනි ලක්ෂණ මෙම ගිරි ලිපියෙහි ප්‍රකට ව දැකිය හැක.

දේශපාලන වාතාවරණය

මහසෙන් මහරජුගේ කාලයේ දී පැවති ආගමික වියවුල් සමථයකට පත්වීමෙන් පසු, ලංකාවේ සෑහෙන කාලයක් පුරාවට දේශපාලන සංහිඳියාවක් පැවති බව ඓතිහාසික තොරතුරු වලින් අනාවරණය වේ. වසර 27ක් මහසෙන් රජු හට ද, වසර 28 ක් සිරිමෙවන් රජු හට ද රජකම් කළ හැකි වූයේ ද, මහසෙන් රජ හට මහා වැව් පහක් ඉදි කළ හැකි වූයේ ද, සිරිමෙවන් රජහට හස්ත කර්මාන්ත රට පුරා ප්‍රචලිත කළ හැකි වූයේ ද සමකාලීන දේශපාලනික ස්ථාවර භාවය හේතුවෙනි. මෙම තත්ත්වය තහවුරු කෙරෙන සාධක තෝනිගල ගිරි ලිපියෙන් සෘජුව සපයාගත නොහැකි වුව ද, ඒ සඳහා බොහෝ අනියම් සාක්ෂි ඉන් සොයාගත හැක.
වී කන්න තුනක් වගා කළ බව මෙම ලිපියේ සඳහන් වේ. පිටදඩහස, අකළහස සහ මදෙහස යනු එකී කන්න තුන බව ට බොහෝ විද්වත්තු එකඟ වෙති. ස්ථාවර ලෙස කන්න තුනක් වගා කිරීමටත්, ලැබෙන අස්වැන්න තුළින් ස්ථාවර පොළියක් ලබා දීමටත් නිගම් ස්ථානයේ පරිපාලනය සමත් වූයේ, අහස් දිය මත යැපීමෙන් නොවන බව පැහැදිළි ය. එනම්, එම ප්‍රදේශයේ මනා ජලවහන රටාවක් පවතින සේ වාරි කර්මාන්තය සකස් කර තිබූ බව ය. දේශපාලන වියවුල් පැවතියේ නම්, වාරි මාර්ග බිඳ වැටී, කෘෂිකර්මාන්තය අඩාල වී, දන්වැට කෙසේ වෙතත්, ජන ජීවිතය පවා බිඳවැටෙනු ඇත.

නිගම් ස්ථානයේ කටයුතු ස්ථාවරව දිගු කාලයක් පවතිනු ඇති බව ගිරි ලිපිය පිහිටවූ දේව නම් ප්‍රභූ වරයා අපේක්ෂා කළ බව මෙම ලිපියෙන් පෙනේ. අභිනව විහාරයක පැවැත්ම අස්ථාවර ව්‍යාපාරයක් මත රඳාපවතින සේ දේශපාලනික ප්‍රභූ වරයෙක් කටයුතු නොකරයි. එය ඔහුගේ සාමාජීය ප්‍රතිරූපයට හාණියක් ද විය හැකි බැවිනි. මෙවැනි ව්‍යාපාරික ස්ථාන වල ස්ථාවරත්වය ද, රාජ්‍යයේ ස්ථාවරත්වය පිළිබඳ පිළිබිඹුව කි.

රජයේ තනතුරු බලාපොරොත්තු වන අය ආගමික හා සාමාජීය කටයුතු වල නියැළෙමින් සිය ප්‍රතිරූපය ගොඩනගා ගැනීමේ සම්ප්‍රදායක් පැවතුනු බවට ඉඟියක් මෙම ගිරි ලිපියෙන් සැපයේ. දේව නමැත්තා, අමාත්‍ය වරයෙකු ගේ පුතෙකු වන බව මිස වෙනත් විශේෂණයකින් තමා හඳුන්වා නොගනියි. එහි අදහස වන්නේ, ඔහු එවකට කිසිදු අයුරක පරිපාලනමය තනතුරක් නොදරන ලද බව ය. එවැනි ප්‍රභූ අංකුරයක් මෙවැනි මනා ලෙස සංවිධානය කරන ලද සාමාජීය කෘත්‍යයක් ඉටු කිරීම එක් ආකාරයකට, අනාගත රාජ්‍ය පරිපාලනමය තනතුරක් කරා ළඟා වීම ට ඔහුගේ ඇති සුදුසුකම් ප්‍රකාශ කිරීමක් ලෙස ද දැකිය හැක.

ආගමික කටයුතු

යහිසපවය ලෙස හැඳින්වෙන විහාරය අලුතින් ඉදිකරවන ලද්දක් බව මෙම ලිපියේ සඳහන් වේ. අභිනවයෙන් පිහිටුවන ලද වෙහෙරේ පිංකම් උදෙසා අවශ්‍ය වන විශාලතම ආධාරය වන්නේ දන්වැට හා ආශ්‍රිත වියදම් වන හෙයින්, එම භාරය එළඹෙන සෑම වසරක් පාසා ම ආවරණය වන සේ ස්ථාවර ක්‍රමයක් මෙම ගිරි ලිපිය මඟින් සළස්වා තිබේ.
එසේම, ආරියවංශ වෘත්තිය ක්‍රි. ව. තෙවන සහ සිවුවන සියවස් වල උත්කර්ෂවත් ලෙස පවත්වන ලද ආගමික උත්සවයක් බව මෙම ලිපියෙන් තහවුරු වේ. බුද්ධ වංශය පිළිබඳව දේශනා පැවැත්වීම සහ ආශ්‍රිත කටයුතු ආර්යවංශ උත්සවය යි. මෙම කටයුත්ත සමඟ බැඳුනු කතා පුවත් ක්‍රි. පූ. දෙවන සියවස ආශ්‍රිතව ලියැවුණු සීහලවත්ථුප්පකරණය සහ තවත් එවැනි ග්‍රන්ථ වල දැකිය හැකිය. එම උළෙල ඉන් ඉදිරියට ද පැවතුණු බව මෙම ගිරි ලිපියෙන් පෙනේ. තවද, මෙම විහාරයේ ආර්යවංශ දේශනා පවත්වන ලද දිනය, නිකිණි මස පුර දොළොස්වක ලෙස ද මෙහි නිශ්චිත වශයෙන් දක්වා ඇත.

මීට අමතර වශයෙන්, සංඝයා වහන්සේ වෙත පිරිනැමුණු දානය ට අඩංගු දේ පිළිබඳව ද මෙම ලිපියෙන් උගත හැක. ඒ අනුව, ප්‍රධාන දන්වැට ට අමතරව, අතරකජක හෙවත් අතුරුපස හා ආශ්‍රිතව, දී කිරි, මී පැණි, පැණි තළ, දුන්තෙල්, ලුණු, පළා ආදියද, සිවුරු පඬුපෙවීම සඳහා කහ අළ ද දානය ට ඇතුළත් කර ඇත. මෙම දානය සපයන්නේ, ධනවත් ප්‍රභූ වරයෙක් විසින් වන හෙයින්, මෙම ලැයිස්තුව සමකාලීන සමාජයේ උසස් යැයි සම්මත ආහාර වට්ටෝරුව ලෙස සැළකිය හැක.

සාමාජීය තොරතුරු

නිගම් ස්ථානයක කටයුතු පිළිබඳ යම් පමණක චිත්‍රයක් මවා ගැනීමට මෙම ලිපිය ඉවහල් වන බව ප්‍රකට ව පෙනෙන ලක්ෂණය යි. ඊට අමතර වශයෙන් කෘෂිකාර්මික කටයුතු, ආගමික පසුබිම හා අශ්‍රිත සංස්කෘතිය පිළිබඳවද මෙම ලිපියෙන් උකහා ගත හැකි තොරතුරු බොහෝ වේ.
මිණුම් ක්‍රම, මෙම ලිපියේ දක්නට ඇති එක් සාමාජීය තොරතුර කි. එවකද, අස්වැන්න මණින ලද්දේ, මේ දක්වා ම පැවත එන යාළ, අමුණ, පෑළ යන ඒකක වලිනි. ඒවා, මෙම ලිපියේ දක්වා ඇත්තේ පිළිවෙලින්, හකඩ, අමණ සහ පෙකඩ යන වචන වලිනි.
මෙකී මිනුම් ක්‍රමයේ චක්‍රය පහත පරිදි වේ,

යාළ 1 - අමුණු 20
අමුණු 1 - පෑල් 4

මෙකල වගා කරන ලද ධාන්‍ය වර්ග තුනක් පිළිබඳව මෙහි සඳහන් වේ. මෙයින් වී යනු ලාංකිකයන්ගේ ප්‍රධාන ආහාරය වන අතර, මුං, බර වැඩ කරන්නන් සහ අනෙකුත් අයගේ ද උදෑසන ආහාරය වන්නට ඉඩ තිබේ. මෑතක් වන තුරු ම ගැමි ගෙවල් වල ආහාර රටාව පැවතුනේ එපරිද්දෙනි. වර්තමානයේ උඳු, බහුල වශයෙන් ආහාරයට ගන්නේ ද්‍රවිඩ ජාතිකයන් බව පෙනේ. එම ලක්ෂණය මෙකී ගිරිලිපිය ට සමකාලීන වකවාණුවට ආදේශ කළ හැකි වුව හොත්, එවක සමාජයේ ද්‍රවිඩ ජාතිකයන් සිංහලයන් හා සමඟ සහජීවනයෙන් වාසය කළ බව සැළකිය හැක.

සමකාලීන ලෝකය

මෙම කාලයට අදාළව පර්සියානු සාසනිඩ් අධිරාජ්‍යය තුළ පැවති බැංකු ලෙස හඳුනාගත හැකි ආයතන මඟින් ශැක් නමින් හැඳින්වුනු ණයවර ලිපි නිකුත් කිරීම ආරම්භ කෙරුණු බව වාර්තා වේ. චීනයේ රාජ්‍යයන් තවදුරටත් විසිරී යමින් දියවී යාම ද මෙම කාලයේ සිදු වූ හෙයින්, පෙරදිග ජාත්‍යන්තර වෙළෙඳාම එතරම් ප්‍රාණවත් මට්ටමකින් නොපැවතුණු බව සැළකිය හැක. හන් වරු යුරෝපය ආක්‍රමණය කිරීම ද මෙම තත්ත්වය තවත් දරුණු කළේය. එහෙයින්, ලංකාවේ පැවති ප්‍රාදේශීය වෙළෙඳාම සහ බැංකු ක්‍රමය කෙරෙහි සමකාලීන ලෝක ප්‍රවණතා එතරම් බල නොපෑ බව සැළකිය හැක.

රෝම අධිරාජ්‍යය තුළ මෙම කාලයේ පැවතුණු කතෝලික භක්තිකයන් සංහාරය ලංකාවේ පැවති ආගමික වාතාවරණය සමඟ සැසඳිය නොහැක. ඒ වන විට, රෝම රාජ්‍යයන් තුළ කතෝලිකාගමය පැතිරී යන්නට පටන් ගත්තා පමණි. ඒ වන විට සාපේක්ෂව, ලංකාවේ බුදු දහම රාජ්‍යානුග්‍රහය ද සමඟ ස්ථාවර වී, සියවස් හතරකට වඩා ගත වී තිබුණි.

තෝනිගල ගිරි ලිපියේ වැදගත්කම මෙවැනි ලිපියකට  ලඝු කළ නොහැක. පේළි 17 කින් සහ එක් වාක්‍යයකින් යුත් ලිපියක් තුළින් තත්කාලීන සමාජය හා දේශපාලන, ආර්ථික, ආගමික යන සමාජ සංස්ථාවන් වල ක්‍රියාකාරීත්වය පිළිබඳ පැහැදිළි චිත්‍රයක් මවාගත හැකි වීම අපූරු කාරණය කි. අපේ මුතුන් මිත්තන් අප අමතමින් ඔවුන්ගේ දිවි පෙවෙත පිළිබඳ තොරතුරු නිරාවරණය කරන බව පුරාණ අභිලේබන අධ්‍යයනයේ ගැඹුරට යද්දී අපට හැඟේ.

මූලාශ්‍ර
Wickramasinghe, Don Martin de Zilva - Epigraphia Zeylanica Vol. III

අලුත් අවුරුද්ද සහ අපේ බාල කාලේ

අපි පුංචි කාලේ ඉස්කෝලේ වාර නිවාඩුව හරියටම මාසයක් ලැබෙනවා. මාර්තු මාසෙ මුළ ඉඳන්ම මට මතකයි, මම කොළ කෑල්ලක අවුරුද්දට තව දින කීයද කිය කියා ගණන් හදාගෙන තිබුණා. දැන් මතක් වෙනකොට ඒ කාලෙට ආපහු යන්න හිතෙන තරම්.

ඉස්සර අපි මේ කාලෙට ඉස්කෝලෙ යන්න කලින් උදේ ම නැගිටලා දුවන්නෙ වත්ත පහළ තියෙන කජු ගස් යටට. අපේ වත්තෙ කජු ගස් තුනක් තිබ්බා. අපේ අයියයි, මායි, මහප්පගෙ පුතාලා තුන් දෙනයි, තරඟෙට වගේ කජු ඇහින්දෙ. ඒ අහුළන කජු වලින් ලොකු ඒවා ගණන් කරලා අයින් කරනවා. ඉතුරු වෙන පොඩි ඒවා තමයි අපිට කන්න ඉතුරු වෙන්නෙ. අවුරුද්දෙන් පස්සෙ පාර දිගේ කජු ගන්න මිනිස්සු යනවා ඒකාලෙ. මට මතකයි අයියයි මමයි එක පාරක් කජු ගෙඩි දෙසීයක් විකුණලා රුපියල් 28/- ක් ගත්තා. ඒවයින් මොනවා කළා ද කියලා මට මතක නැතත්, මගෙ ‘මුල්‘ කියන පෝස්ටුවෙ කිව්වා වගේ අපි පොඩි කාලෙ හරි දුප්පත්. ඉතින් මොනව හරි අත්‍යවශ්‍ය දේකට තමයි ඒ සල්ලි ප්‍රයෝජනයට ගත්තෙ කියල මතකයි.

කජු පුච්චලා කන එකත් හරි ආශික් වැඩේ (ඒකාලෙ භාෂාවෙන් කියනව නම්). පොල් අත්තක් කඩලා ඊට උඩින් කජු දාලා, ඊටත් උඩින් පොල් අත්තේ ඉතුරු කොටස දාලා, ගිණි තියලා, පොල් කට්ටකින් තළ තළා කජු මද එකතු කරලා, අම්මටයි තාත්තටයි ත් දීලා තමයි කෑවෙ.

තව ආස කරපු දෙයක් තමයි කවඩි සෙල්ලම. අපේ ගෙදරට පහළ ගෙදර කවඩි පෙතක් තිබුණා. ඒ සාන්ති මාමගෙ ගෙදර. සාන්ති මාමා ගැන යන්තම් සඳහන් වුණා ළිඳක් කපපු කතාවෙ. සාන්ති මාමගෙ අක්කගෙ පුත්තු දෙන්නයි දුවයි. පුත්තු, එකෙක් බත් දාස, එයාගෙ අයියා සුදුවා. (ගමේ ගහපු කාඩ්) උන් දෙන්නයි, අහළ පහළ ළමයිනුයි උදේ හවස නැතුව කවඩි සෙල්ලම් කරනවා අවුරුදු නිවාඩුවට.

අපේ අයියා එක සැරයක් අවුරුද්දට උණ වෙඩිල්ලක් හැදුවා. ඒක හැදුවෙ තාත්තගෙ ඒ කාලෙ යාළුවෙක් වුණු ඥාණෙ මාමගෙන් අහගෙන. උණ බටයක් කපාගෙන, ඒකෙ පුරුක තියෙන කොණේ සිදුරක් හදාගෙන, ඒක ට යටින් ගින්දර දාලා, සිදුරට බූමිතෙල් දම දමා පැයක් විතර පිඹිනකොට, මට හිතුණා මේ මොන කරුමයක් ද කරන්නෙ කියලා. මම එක එක දේවල් කියද්දි, අයියා මට බැණ බැණ උණ වෙඩිල්ල පත්තු කරනවා. ‘බුම්‘ ගාලා සද්දයක් එනවා. ඊට පස්සෙ ආයෙ පැය බාගෙයක් විතර බූමිතෙල් දාලා පිඹිනවා. දැන් හිතෙනවා ඒකෙත් හරි ආතල් එකක් තියෙන්න ඇති කියලා. අන්තිමේ රෑට ගෙදර ලාම්පු පත්තු කරන්න තියෙනවා කියලා අම්මා බූමිතෙල් බෝතලේ උදුර ගත්තා. ඊළඟට ආව වෙසක් දවස් වල අයියම උණ වෙඩිල්ල පළලා වෙසක් කූඩුවක් හැදුවා.

අපේ මිදුලෙ තිබුණ අඹ ගහේ උඩ අත්තක ඔන්චිල්ලාවක් ගැට ගහන්නෙත් මම මයි. අයිය මට වඩා වැඩිමල් අවුරුදු හතරකින්. ඉතින් මම ඔන්චිලි පදින කාලෙ අයිය යාළුවොත් එක්ක වෙලේ එල්ලෙ ගහනව.

අවුරුදු කාලෙට ඉස්සර නම් තද පෑවිල්ලක් එනව. පෙබරවාරි ඉඳන් අප්‍රේල් මැද වෙනකම් හොඳට පායනව. ඉතින් වෙළේ නිකම් පිට්ටනියක වගේ එල්ලෙ ගහන්න පුළුවන්. ඒ කාලෙ හැම අවුරුද්දකම මහා පරිමාණ එල්ලෙ තරඟ දෙකක් තියෙනව. එකක් විවාහක විවාහක පිල් අතරෙ. අනික අපේ ගමයි අල්ලපු ගමයි අතරෙ. මට මතකයි එක පාරක් අපේ ගමේ ටීම් එකට අපේ තාත්තත් හිටියා. එයා කැච් එහෙම අල්ලන්නෙ බෝලෙ ට ස්ථාන ගත වෙලා, වටේ දුවන කෙනා දිහා බලාගෙනයි. අතට බෝලෙ ආව ගමන් ඉතින් දුවන මනුස්සය ගෙ පිට ඉවරයි.

ඉතින් මාත් කරන්නෙ මගෙ වයසෙ අයයි පොඩි උන් සෙට් එකයි අල්ලගෙන අපේ ගේ ගාව පොල් වත්තෙ එල්ලෙ ගහන එක. මැච් කීපයක් ගහලා හොඳටම හවස් වුනහම අනිත් උන් ගෙවල් වලට යනව. මායි බාප්පගෙ පුතා සුමේධ යි දෙපැත්තට බෙදිල තනියම එල්ලෙ ගහනව, බෝලෙ පේන් නැති තරම් අඳුරු වැටෙන කම්.

ගමේ අවුරුදු උත්සවයක් නම් ඒකාලෙ තියෙනවමයි. දැන් තියෙන්නෙ සිඟිති අවුරුදු උත්සව නෙ. ඒකාලෙ අපි කියන්නෙ බක මහ උළෙල කියල. ඒකෙ එනවුන්ස් කරන්න සැදී පැහැදී හිටිය එක්කෙනක්. ඒ තමයි අපේ කූඹිය මාමා. ඒත් අපේ බාප්පගෙ එහෙම හොඳ යාළුවෙක්. ගමේ හිටියා පරණ ඉස්කෝළෙ මහත්තුරු කීප දෙනෙක්. ඉන් එක්කෙනක් තමයි කටුවාලමුල්ලේ ජිනදාස කියන්නෙ. අවුරුදු උත්සවේ වුණත්, එල්ලෙ මැච් එක වුණත්, අඩුම තරමෙ මළ ගෙයක් වුණත්, එයාට මයික් එක නම් පේන් බෑ. මට මතකයි, සැරයක් එල්ලෙ මැච් එකක දි එයා
   ‘මට මහළු වයසේ
   බැරිය කවි ගායනා පෙර සේ‘ කියලා කිව්වා.

අපේ සීයත් හරි කවි කාරයෙක් ලු නේ. ඒ හැකියාව අපේ තාත්තටයි බාප්පටයි පිහිටලා තිබුණා. මේ තියෙන්නෙ ජිනදාස මහත්තයා ගැන බාප්පා ලියපු කවියක්,

කටුවලමුලු ගමටම කවි රස වැස්සූ
පවුලේ ගෞරවය බින්දුවටම බැස්සූ
දෙල් ගැට පොළොස් ගැට කැඩුමට කෙකි ඉස්සූ
වයි ජිනදාස කවියට හොඳටම පිස්සූ

ජිනදාස මහත්තයා ගැන වැඩිදුරට වෙන පෝස්ට් එකකින් කියන්නම්. මගෙ මාතෘකාව වුනේ අපි පොඩි කාලෙ අවුරුද්ද නෙ. ඉතින් ඔය වගේ, ඒ කාලෙ අවුරුද්ද හරිම ආස්වාදජනකයි. ඒ කාලෙ අපිට අවුරුදු කන්න ටීවී එකෙන්, ලොකු මුදලාලිලගෙන් උපදෙස් ලැබුණෙ නෑනෙ. දැන් ඉතින් අවුරුද්දත් හරිම කළබලයි.

කොහොම වුණත් බ්ලොග් අවකාශයෙ සැරි සරණ සියළුම දෙනාට

සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවා!

තිසා වැව ඉවුරේ සක්වල චක්‍රය (අවුරුදු දෙකකට කලින් පත්තරේකට ලියපු එකක් නිසා, වියත් සිංහලෙන් තියෙන්නෙ. සුධීහු කමත්වා !


රන්මසු උයනේ, පිහිටි සුප්‍රකට නාන පොකුණු පසුකර යන්නෙකුට, තිසා වැවේ වෑකන්දට මුහුණලා පිහිටි ගල් කුළක කැටයම් කර ඇති සංකීර්ණ ආකෘතියක් දැක ගත හැකි වේ. සිරස්ව නැගෙන ගලෙහි බටහිර මුහුණතේ, කටුවෙන් සහ මිටියෙන් කොටන ලද රේඛා මගින් සටහන් කර ඇති මෙම කැටයම ජ්‍යාමිතික වශයෙන් නිවැරදි වෘත්තයකි. මෙම ගල්කුළ ඉදිරිපිට පැතිරි ගල් තලාවෙහි කැටයම ට ඉදිරියෙන්, ආසන වැනි ව්‍යුහ හතරක් කපා තිබේ. පළමුවෙන් ම මෙම ස්ථානය ගැන වාර්තා කරන බෙල් මහතා ට අනුව, මෙය එවක සාහිත්‍යයේ සඳහන් සක්වළ සටහනක් හෙවත්, ලෝක සිතියම කි. තවත් අයෙකුට අනුව, රජවරුන්ගේ මඟුල් උයනේ පැවති තන්ත්‍ර හෝම හෙවත් සුරතෝත්සව වල භාවිත වූ තන්ත්‍ර සටහනකි, නොඑසේනම් මහායාන මන්ත්‍ර පඨනය හෝ භාවනා සඳහා උපකාර කොටගත් සටහන කි. තවත් අයෙකුට අනුව, මෙය සුවිසල් ඉංජිනේරු ඉදිකිරීමක හෝ වාරි කර්මාන්තයක සැළැසුමක් ද විය හැක. නොඑසේනම්, මිනිස් මනසේ විශ්ලේෂණාත්මක සටහනක් වන්නට පුළුවන. විශ්ව ව්‍යාප්ත චමත්කාරය සොයා යන්නෙකුට මෙය අධිමානසික ශක්තියෙන් විවර වූ ද බාහිර විශ්වය සමග සහ මිහිපිට දුර්ගම ස්ථාන සමග සන්නිවේදන සහ ප්‍රවාහන කටයුතු ඉටු කෙරුණු තාරකා දොරටුවක් හෙවත් ස්ටාර් ගේට් එකකි.

අඩි 06ක විෂ්කම්භයෙන් යුත් මෙම කැටයමෙහි, ඒක කේන්ද්‍රික වෘත්ත දෙකකින් සැකසුණු පිටත දාරය දිගේ වම් අතට පිහිනන මුහුදු ජීවීන් යැයි සැළකිය හැකි සත්ත්ව පෙළක් සටහන් කර තිබේ. ඒ අතර මත්ස්‍යයන්, හක් බෙල්ලන් වැනි රූප, මුහුදු අශ්වයෙක්, ඉදිබුවන් සහ කකුළුවෙක් දක්නට හැක. සෝඩ් ෆිෂ් සහ හැමර් හෙඩ් මෝරෙක් ලෙස අනුමාන කළ හැකි මත්ස්‍ය රූපද මෙහි වේ. සඳකඩ පහණ වැනි සාමාන්‍ය කැටයම් වල දක්නට ඇති දැඩි අනුපිළිවෙල සහිත සත්ත්වාවලියක් වෙනුවට, මෙම වටයේ දක්නට ඇත්තේ අහඹු ලෙස කරන ලද රූප සංකළනයකි. දැඩි ජ්‍යාමිතික සහ සමමිතික බව තුළ වුවද නිදහස් සහ අවිධිමත් ලෙස අහඹු රූප ව්‍යාප්ත කර තිබීම සමස්තයක් ලෙස මුළු කැටයම පුරාම දක්නට ඇති සුවිශේෂත්වය කි.

ආකෘතියේ මැද, දිග පළලින් අඩි 1 අඟල් 2 ක් වන සමචතුරස්‍රයක් වේ. එතුළ, එකක් තුළ එකක් පිහිටන සේ සටහන් කළ ඒක කේන්ද්‍රීය වෘත්ත 7 ක් වන අතර, ඒ අතරින් පිටත වෘත්තය ඉහත කී සමචතුරස්‍රයේ පාද ඇතුළතින් ස්පර්ෂ කරයි. සමස්ත ආකෘතියේ ම මැද ලක්ෂ්‍යය, මෙම වෘත්තයන්ගේ කේන්ද්‍රය වෙයි. ප්‍රධාන වෘත්තය පුරා සිරස් අතට, එකිනෙක සමාන්තර වන ප්‍රධාන රේඛා දහයක් ද, උප රේඛා දා හතරක් ද කැටයම් කර තිබේ. මෙකී ප්‍රධාන රේඛා අතර දුර අඟල් 9 සිට අඟල් 3 දක්වා වෙනස්වේ. මෙම කැටයම් ආශ්‍රිතව සෘජුකෝණාස්‍ර සෑදී තිබෙන අතර, සටහනේ මැද ඇති සමචතුරස්‍රෙය් සිට දකුණු සහ වම් අතට ද, ඉහළ සිට පහළට ද, දි‍වෙන රේඛා හතරකින්, පිටත දාරය තුළ පිහිටි මුළු සටහනම කොටස් හතරකට බෙදේ. ඉන් දකුණු පස කොටස් දෙක සෑම අතින්ම එකිනෙක සමමිතික වේ. ඒ අතර පිහිටි සෘජුකෝණාස්‍ර, ඒවා තුළ පිහිටි හතරට බෙදුනු වෘත්ත ආදී සියල්ලම සමානව කැටයම් කර තිබේ. වම්පස කොටස් දෙකේ දී මෙම සමමිතික බව එතරම් දක්නට නොලැබේ. වම්පස පහළ කොටසේ, සමචතුරස්‍රයට සමීප කොටස සෘජුකෝණාස්‍ර හතරකට බෙදා ඒවා තුළ හතරට බෙදුනු වෘත්ත සටහන් කර ඇති නමුත්, ඊට පර්යාය වන ඉහළ කොටස අසමාන ලෙස දෙකට බෙදා තිබේ. ඉන් පහත කොටස අමුතු කැටයමකින් පුරවා ඇති අතර, ඉහළ කොටසේ, ඒක කේන්ද්‍රීය වෘත්ත හතක කැටයම නැවත දක්නා ලැබේ.

මෙම ආකෘතිය, කවර කාලයකට අයත්දැයි නිශ්චය නැත. අප රටේ මෙගලිතික සුසාන ඉදිකළවුන් සහ අනුරාධපුර ජනාවාසය ආරම්භ කළවුන් වන බළංගොඩ මානවයන්ගේ කෘතියක් ලෙස මෙය සැළකීමට ද හැකියාව ඇත. ඒ, මූල ඓතිහාසික යුගයේ මානවයාගේ අක්ෂර භාවිතයට පෙර පැවති සංකේත භාවිතය ගැන මෙයින් සළකාගත හැකි වන බැවිනි. එසේ ම, පූර්ව බ්‍රාහ්මී සෙල් ලිපි පවා ඇතැම් විට වෘත්තාකාරව ලියා තිබෙනු දැකගත හැකි අවස්ථා වේ. මෙම අදහස සත්‍යයක් නම්, අපගේ මුතුන් මිත්තන් ඉතා නිවැරදි ජ්‍යාමිතික නිර්මාණ හැකියාවක් ඇතිව විසූ බව මෙයින් අදහස් විය යුතු ය. මෙම මතය විවාදාපන්න අදහසකි. ඒ, ලංකාවේ මූල ඉතිහාසයට අයත්, සුලභ රූපාක්ෂර කිසිවක් සමග මෙහි ඇති සංකේත නොසැසඳෙන බැවිනි.

එච්. සී. පී. බෙල් මහතා ගේ 1901 වසරේ උතුරු මැද සහ මධ්‍යම පළාත් පුරාවිද්‍යා වාර්ෂික වාර්තාවේ මෙම ස්ථානය ගැන සඳහන් වේ. ඔහු මෙම කැටයම එවක දැන සිටි සක්වළේ සැළසුමක් ලෙස අර්ථ දක්වයි. ඒ අනුව, විශ්වය මැද පිහිටි, සත්කුළු පවු වලින් සැදි, සත් සමුදුරෙන් වට, ගවු හතළිස් දෙදහසක් උස් වූ, අඩක් මුහුදේ ගිළී පවතින මහමෙර, මෙම සැළසුමේ මැද පිහිටි වෘත්ත හතෙන් පිළිබිඹු වේ. ඉර සහ සඳ මහමෙර දෙපසින් දෙකෙළවර සටහන් කර තිබේ. අසංඛෙය්‍ය වූ ලෝක, හතරට බෙදන ලද කුඩා කව වලින් සළකුණු කෙරෙන අතර, සියල්ල වටා පැතිරි මහා සමුදුර හා එහි සරන මිථ්‍යාමය සත්ත්වයන් පිටත කවයෙන් දැක්වේ.

අභයගිරි අධ්‍යාපනය මූලික කරගනිමින්, මහායානික, වෛතුල්‍ය සහ තන්ත්‍ර ආදී දර්ශනයන් පැතිර යාමට බොහෝ කලකට පෙර සිට පවා, රජදරුවන්ගේ උද්‍යාන ක්‍රීඩා සහ සුරතෝත්සව ලංකාවේ පැවති බව පැහැදිලි කරුණ කි. පණ්ඩුකාභය රජ චිත්තරාජ සමග එකට අසුන්ගෙන රති නළු නැරඹූ බවට වන සදහන ඊට නිදසුනක් ලෙස දැක්විය හැක. මහමෙවුනාව සඟ සතු කළ පසු රාජකීය උද්‍යානය බවට පත් වූ රන්මසු උයනේ පිහිටි පොකුණු, මණ්ඩප සහ සීතල මාළිගය සමග සම්බන්ධ කොට සමස්තය ගැන සැළකීමේ දී මෙම සටහන හඳුනාගත හැක්කේ රජවරුන්ගේ ක්‍රීඩා සමග සබැඳි යමක් වශයෙනි. සුරත ක්‍රීඩා හිදී ජල ක්‍රීඩා, උයන් කෙළි සහ තන්ත්‍රයාන භාවිත වූ අතර, තන්ත්‍ර හුදු විනෝදය උදෙසා පමණක් නොව ආගමික කේන්ද්‍රීය මුහුණුවරකින් ද ක්‍රියාත්මක විය.

විශ්ව ශක්තිය සහ ස්වභාව ධර්මය සමග ආගමික මුහුණුවරකින් සම්බන්ධ වීමේ දී, සම්භෝගය ඉතා වැදගත් තැනක් හිමිකර ගනී. සෑම ආගමකම ප්‍රාථමික අවස්ථාවේදී මාතෘ දෙවඟන, ගර්භනී බව, වාර්ෂිකව මිහිතලය සරු කෙරෙන දිව්‍යමය සම්භෝගයක් වැනි දේ දේවමය මට්ටමෙන් සංකේතනය කර වන්දනා කෙරී තිබේ. ග්‍රීක දේව මණ්ඩලයේ බාකස් හෙවත් දියොනීසියස් වයින් සහ රතිය සම්බන්ධ දෙවියන් ලෙස සැළකේ. පෘථිවියේදී මිදි බවට පත්වන්නේ ඔහුගේ ශුක්‍රය බව පුරාණ ග්‍රීකයන්ගේ විශ්වාසය විය. වසන්ත සමයේ ඔහු සමරා රති උත්සව පැවැත්වීම ග්‍රීසියේ ඇතැම් නගර රාජ්‍ය වල රාජකීය මට්ටමින් පැවැත්වින. පුරාණ බැබිලෝනියන් දේවස්ථාන වල පූජකවරියන් බැතිමතුන් සමග සංසර්ගයේ යෙදීම දේව පූජාවක් ලෙස පිළිගැනුනි. මුල් ඉන්දු නිම්නයේ මවු දෙවඟන ඇදහීම, පශුපති හෙවත් ශක්තිමත් දිව්‍යමය පුරුෂයෙකු සහ හැඩිදැඩි ගව සංකේත අඩංගු මුද්‍රා, වැනි සාධක පසුකාලීන හින්දු ආගමේ ශිවලිංග වන්දනාව, අශ්වමේධ යාග, දේව දාසීන් වැනි දේ කරා යොමුවූ බව පෙනේ. ගණන් කළ නොහැකි තරම් වන පුරාණ හින්දු දේවකථා මෙන්ම, බෛබලයේ පැරණි ගිවිසුමේ ඇතුළත් කථා ද බොහොමයක් ශෘංගාරය හා මුසු වන්නේ මෙම මූලික අදහස පෙරටු කොටගෙන ය. එම සාහිත්‍යය අද සම්මතයේ පවතින සමාජ ධර්මතා නම් රාමුව තුළ විග්‍රහ කිරිම සුදුසු නොවේ. මෙකී සෑම සාධකයකින් ම පෙනෙන එක් මූලික අර්ථයක් වේ. එය නම්, මිනිසා ආහාර වගාකිරීම සහ සතුන් හීලෑ කරගැනීම ඇරඹූ දා පටන්, පස සරු වීම, නිසි කල ලැබෙන වැස්ස සහ සත්ත්ව පට්ටි තර වීම උදෙසා විශ්වීය බලවේගයක පිහිට පතා, දිව්‍යමය සම්භෝගය සංකේතවත් කර පුද පූජා පැවැත්වූ බව ය. එය රාජකීය මට්ටමෙන් සිදු කිරීම වඩා දියුණු සමාජයේ නායකත්වයේ වගකීම විය.

තන්ත්‍රයානයේදී සෝම පානයන්, මන්ත්‍ර පඨනය මෙන්ම, විවිධාකාරයේ යන්ත්‍ර සටහන් ද භාවිත වේ. එකී සියළු යන්ත්‍ර වෘත්තාකාර ආකෘතියකින් අඳිනු ලැබේ. මෙම අදහස රන්මසු උයනේ ආකෘතියට ආරෝපණය කිරීමේ දී නොගැළපෙන එකම අවස්ථාව වන්නේ, වෘත්තාකාර බව හැරුණු කොට, දැනට සොයාගත හැකි කිසිම තන්ත්‍ර සටහනක්, ඉහත කැටයම හා සමාන නොවන බැවිනි. එකී තන්ත්‍ර සියල්ල නෙළුමක ආකාරය ගත් රටාවලින් යුක්ත වන අතර, ඉහත කැටයමෙහි පද්මාකාර සටහන් කිසිවක් ඇතුළත් නොවේ. එහෙත්, එම සටහනෙහි දැක්වෙන ජල කවයෙන් හුදෙකළා වීම, මැදට යොමු වූ ආරෝහණය හා කේන්ද්‍රය කරා නාභිගත වීම ආදී සංකල්ප තන්ත්‍රයාන රතියේ දක්නට ඇති මූලික අර්ථයන් සමග බැඳෙන බව පෙනේ. 

තන්ත්‍ර චක්‍රයක්
 තන්ත්‍ර පිළිබඳ අදහස ඇත්තක් වී නම්, මෙම කැටයම ඉදිරිපිට ඇති ආසන හතරෙහි, තන්ත්‍ර යාන ලීලාවෙන් ස්ත්‍රීන් හා පුරුෂයන් අටදෙනෙකු අසුන්ගෙන, (පිරිමින් වීරාසනයෙන් අසුන් ගෙන සිටින අතර, ස්ත්‍රීන් ඔවුන්ගේ උකුළෙහි ඔවුන්ට මුහුණලා වාඩිවී, තම දෙපා පිරිමින්ගේ ඉඟවටා වෙළාගෙන සිටීමෙන් තන්ත්‍ර ආසනය සකස්වේ.) ඉදිරියේ ඇති සටහන කෙරෙහි මනස ඒකාග්‍ර කොටගෙන, සෝම, සුරා ආදී පානයන්, ධූමනයන්, විවිධ තාරතාවයන්ගෙන් යුත් සංගීතය, සූත්‍ර පඨනය මධ්‍යයේ රතිය පිළිබඳ ගැඹුරු ධ්‍යානයක් වැනි තන්ත්‍රයන්ට සමවදින්නට ඇති බව සැළකිය හැකිය.

රන්මසු උයනේම කොටසක් හෝ ආශ්‍රිත ස්ථානයක් ලෙස සැළකිය හැකි ඉසුරුමුණියේ ඇති පෙම්යුවළ කැටයම සුරතය පිළිබිඹු කරන කැටයමක් බව පැහැදිළි ය. එසේම, මිනිසා සහ අශ්ව හිස කැටයමට පරණවිතානයන් දෙන අර්ථ කථනය අනුව, (අග්නි සහ පර්ජන්‍ය හෙවත් අකුණු සහ වැසි වළාකුළු) මේ ආශ්‍රිතව වැස්ස බලාපොරොත්තුවෙන් පූජා කටයුතු සිදු වූ බවට ඇති මතය ද ඉහත අදහස හා සමපාත වන බව පෙනේ. ඉසුරුමුණිය හඳුන්වන අපරනාමයක් වන උත්තර මේඝගිරි යන සඳහනේ ම වැස්ස උදෙසා පූජා පැවැත්වීම සංකේතවත් වේ.

මෙම ආකෘතිය යම්කිසි සැළැස්මක් විය හැකිය යන අදහස ද ඇතැමෙකු විසින් නැඟී තිබේ. ලෝක සිතියමක් බව මුලින්ම බෙල් මහතා විසින් ඉදිරිපත් වුනු බව ඉහතින් ද කියැවිණි. සාම්ප්‍රදායික බෞද්ධ කැටයම් වලින් වෙනස් වූ, වෙනත් තැනක දැකිය නොහැකි සංකේත නිසා මෙහි ඇති වෙනස් බව පැහැදිළි අතර, මෙය යම්කිසි ජලාපවහන ක්‍රමයක සැළැස්මක් හෝ නගර නිර්මාණයක සැළැස්මක් ලෙස අර්ථ දැක්වීමට ඉඩ හසර පවතී. ඉසුරුමුණි අරම නවිකරණය කිරීම්වලින් ප්‍රධානතම වැඩ පිළිවෙල සීගිරි කස්සපයන්ගෙන් ඉටු වූවක් වන බැවින්, මෙය ද එතුමාගේ සැළැස්මක් ලෙස සිතන්නට ද ඉඩ කඩ තිබේ.

මීට එරෙහිව නැගෙන මූලිකම තර්කය වන්නේ, මෙම සටහනෙහි පිටත වළල්ලේ සිටින මුහුදු ජීවීන් බවය. ඒ අනුව, මෙය නගර සැළැස්මක් නොව, එක්කෝ දිවයිනක, නොඑසේනම්, ලෝකයේ සිතියමක් විය යුතුය. එක් කාලයක ලෝකයේ හරි මැද නාලන්දා ගෙඩිගෙය පිහිටි ස්ථානය වන බවට විශ්වාසයක් ද අප රටේ පැවතුණි. නොඑසේනම්, මෙම කැටයමේ මැද සහ ඉහළ වම් පස ඇති වෘත්ත හතෙන් දැවැන්ත දාගැබ් දෙකක් ද, අනෙකුත් සළකුණු වලින් ඒ ආශ්‍රිත වෙනත් ඉදිකිරීම් ද දැක්වෙනවා වන්නට ඉඩ ඇත. මෙම මතය ප්‍රායෝගිකව නිරීක්ෂණයට ලක් වී නැත. එසේ ම, අනුරාධපුර යුගයෙන් පසුවද, ආක්‍රමණ සහ පසුකාලීන රජවරුන්ගේ ප්‍රතිසංස්කරණ ප්‍රයත්න නිසා දිවයිනේ නගර සැළසුම් බොහෝ සේ වෙනස් වී ඇති හෙයින් මෙය දුෂ්කර කාර්යයක් ද වේ.

තවත් අතකට මෙය සක්වළ පිළිබඳ සිතියමක් වන්නට ඉඩ ඇතැයි ද මතයක් පවතී. බැබිලෝනය, ඊජිප්තුව වැනි ශිෂ්ඨාචාර සමගත්, නැස්කා රේඛා සමගත් පිටසක්වළ ජීවීන්ගේ සම්බන්ධතාවයක් පවතින බවට ජනප්‍රිය අදහස් පළවී ඇති හෙයින්, මෙම සටහන ද ඊට සමරූපී සාධකයක් බව ඇතැමුන්ගේ විශ්වාසයයි. බැබිලෝනයේ සිංහයා ගේ පිළිරුව, සිංහ සිරුරු ඇති පියාපත් ඇති මිනිසුන්ගේ ප්‍රතිමා සහ ඊජිප්තුවේ සිංහ ස්ෆින්ක්ස් රූ, ලාංකිකයන්ගේ සිංහ සම්භවය පිළිබඳ සංකල්පය සමග සම්බන්ධ කිරීමට එතරම් ආයාස ගත යුතු නොවේ. අනෙක් අතට තැනිතළාවක් වන නැස්කා හි පොළොවේ සටහන් කර ඇති දැවැන්ත සටහන් අර්ථවත් ලෙස නැරඹිය හැක්කේ ඉහළ අහසට නැගුනු අයෙකුට පමණි. ඊට සමරූපී ලෙස, රන්මසු උයනේ ඇති කැටයමෙහි මැද ඇති වෘත්ත හතෙන් සෞරග්‍රහ මණ්ඩලය අදහස් වන බව ද, පිටත ඇති ඊට සමාන සටහනෙන් අප සමග සබඳතා පවත්වාගත් පිටසක්වළ ජීවීන්ගේ මන්දාකිණිය හෝ ග්‍රහ මණ්ඩලය සංකේතවත් වන බව ද මෙම මතයෙන් අදහස් වේ. ලංකාවේ ප්‍රකට ජ්‍යොතිෂ්‍යයේ ඇත්තේ භෞතික ග්‍රහ වස්තූන් හතකුත්, රාහු සහ කේතු නම් කල්පිත ග්‍රහයන් දෙකකුත් පමණි, ඉන් භෞතික ග්‍රහයන් හත සතියේ දින හත නම් කිරීමට යොදා ගැනීමෙන් ම සෙසු ග්‍රහයන් අබිභවා ඒවායේ වැදගත් කම තහවුරු වේ. එසේනම්, ඉහත සටහනේ මැද ඇති වෘත්ත හතෙන් එම ප්‍රධාන ග්‍රහයන් හත හෝ ඒවායේ කක්ෂයන් නිරූපණය වන බව අදහස් කළ හැක.

ඇතැම් විට මෙම කැටයම පැරණි කැළැන්ඩරයක් ද වන්නට ඉඩ තිබේ. මැද කව හතෙන් සතියේ දින හත පිළිබිඹු වන අතර, දෙපස ඇති ඉර සහ හඳෙන් දිවා රාත්‍රී දෙක සංකේතනය වේ. සෙසු කව සහ සමාන්තරාස්‍ර මගින් වසරකට ඇති සෂ්‍ය හෙවත් අස්වනු රටා, උදම් රටා හෝ සුමාන ගණන නිරූපණය වනවා විය හැක. කැටයමේ බොහෝ දුරට සමමිතික වන ඉහළ සහ පහළ කොටසෙන් සූර්යයාගේ දක්ෂිණායනය සහ උත්තරායනය දැක්වෙන්නට ඇත. ඉහළ වම්පස ඇති කව හතෙන්, ලෝක විනාශයෙන් පසු නැවත සිදුවන ජීවයේ සහ කාලයේ ආරම්භය අදහස් වන්නට පුළුවන. කාලය චක්‍රාකාරව ගළායන බව වටා ඇති දියවටයෙන් සංකේතනය කළා විය හැක.

තාරකා දොරටු පිළිබඳ අදහස ශ්‍රී ලාංකීය මනස ට හඳුන්වාදෙන ලද්දේ, ස්ටාර්ගේට් නම් ඇමරිකානු වැඩසටහන තුළිනි. එසේ වුවත්, එම වැඩසටහනේ දැක්වෙන තාරකා දොරටුව, මෙම කැටයමේ පිටත වළල්ල ට සෑහෙන සමානත්වයක් දක්වයි. එසේම රන්මසු උයනේ කැටයමට සමරූපී කැටයම්, පුරාණ බැබිලෝනයෙන් සහ මිසරයෙන් සොයාගෙන ඇති බව ද මෙම අදහසට රුකුල් දෙයි. 

මීට සමාන බැබිලෝනියානු කැටයමක් වන්නේ බැබිලෝනියානු ලෝක සිතියම නම් මැටි පුවරුවයි. දකුණු ඉරාකයේ, පුරාණ බැබිලන් නගරයේ සිට කි. මී. 97ක් උතුරින් පිහිටි සිප්පර් (Sippar) නම් ස්ථානයේ, යුප්‍රටීස් නදියේ නැගෙනහිර ඉවුරෙන් හමු වූ මෙය, 1899 දී ප්‍රසිද්ධියට පත් කරන ලදුව, දැනට බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තැන්පත් කර තිබේ. බැලූ බැල්මට මෙය රන්මසු උයනේ ඇති කැටයම මෙන් සංකීර්ණ සහ සමමිතික නොවන වඩා සරළ සටහනකි. ඒක කේන්ද්‍රීය වෘත්ත දෙකක් මගින් සකස් වූ පිටත වටය සහ ඒ තුළ ඇති කුඩා වෘත්ත හේතුවෙන් ලංකාවේ කැටයම ට සම වූවත්, බැබ්ලෝනීය කැටයමේ ඇති අනන්‍ය බව සහ සරළ බව පැහැදිළි ය. එපමණක් ද නොව, මෙම සිතියමේ ඇතුළත් ප්‍රදේශ පිළිබඳව සිතියමට ඉහතින් කූඤ්ඤාක්ෂර වලින් සටහන් කර ද තිබේ. 

මෙහි වෘත්තාකාර සටහන වටා ත්‍රිකෝණ හතරක් දක්නට ලැබේ. සූර්ය සටහනක මෙන් මෙහි ද ත්‍රිකෝණ හතක් තිබෙන්නට ඇත. කූඤ්ඤාක්ෂර සටහනේ මේවා දිවයින් හතක් ලෙස නම් කර තිබේ. ඒ අතර, නැගෙන හිරු ගේ ප්‍රදේශය, හිරු සැඟවුණු කිසිවක් දැකිය නොහැකි පෙදෙස, කුරුල්ලන්ගේ පියාසර සීමාවට එපිට, ආදී වශයෙන් නම් කරනලද ස්ථාන වේ. අමිහිරි නදිය (river of bitter water) ලෙස නම් කර ඇති පිටත වටය, සාගරය ලෙස සැළකිය හැක. ඉතිරි කොටස් පහත පරිදි නම් කර තිබේ. 
1.     කඳු
2.    නගරය
3.    උරර්ටු
4.    ඇසිරියාව
5.    දෙර්
6.    හඳුනාගත නොහැක
7.    වගුරු
8.    ඒළාම්
9.    ඇළ
10.   බිත් යාකින්
11.    නගරය
12.   හබ්බාන්
13.   බැබිලන්
14.   17. අමිහිරි නදිය
18.  - 22. දිවයින්
ඉහතින් ද දක්වා ඇති අයුරින් ම, බැබිලෝනීය කැටයම ද, සෞර ග්‍රහ මණ්ඩලයේ සටහනක් යැයි ද මතයක් පවතී. එහි ඇති කුඩා කව අට ග්‍රහ ලෝක අටක් ලෙස අර්ථ දැක්වීමට සමහරු පෙ‍ළඹෙති. ප්ලූටෝ විෂම වූ පරිභ්‍රමණ පථයක් ඇත්තෙක් බැවින් සෞරග්‍රහ මණ්ඩලයට අයත් නොවන බවට ඇති තර්කය මෙහිදී පදනම් කර ගැනේ.

ගුවනින් ආ සිංහ මිනිසුන් විසින් බැබිලෝනය ශිෂ්ඨවත් කරන ලද බව සඳහන් මැටි පුවරුවක් බැබිලෝනයෙන් සොයාගන්නා ලද බවට ප්‍රසිද්ධ වී ඇති නමුත්, ඒ පිළිබඳ නිශ්චය සාක්ෂි මා හට සොයාගත නොහැකි විය.

රන්මසු උයනේ කැටයමට සමාන චක්‍රාකාර කැටයමක් මිසරයෙන් සොයාගෙන තිබේ. එය පිහිටියේ දෙන්දෙරා හි හැතෝර් දේවස්ථාන සංකීර්ණයේ ඔසයිරස් හට කැප වූ දේවාලයේ පෝටිකෝවේ සීලිමේ ය. මෙම දේවාලය ඉදිකිරීම ඇරඹුනේ ටොලමි රජුගේ පාලන කාලයේ වන අතර, මෙකී පෝටිකෝව එකතු කෙරුණේ ටයිබීරියස් අධිරාජ්‍යයා විසිනි. එහෙයින් ප්‍රංශ පුරාවිද්‍යාඥයෙකු වන ශෝං ෆ්‍රාංස්වා චැම්පෝලියන් මෙය මිසරයේ ග්‍රීක රෝමානු පාලන කාලයට කාල නිර්ණය කර ඇත. එහෙත් පසුකාලීනයෝ මෙම කැටයම වඩා ඈත කාලයකට හෙවත් ක්‍රි. පූ. 50 ට පමණ කාලනිර්ණය කරති. ඒ, මෙහි දැක්වෙන තාරකා රාශි එවකට පිහිටි ස්ථානයන් මෙම කැටයමෙහි සටහන් වන බැවිනි. දැන් මෙය පැරිසියේ ලූව්ර කෞතුකාගාරයේ තැන්පත් කර තිබේ. 

මේවායේ අටකොණෙහි ඇති මානව සහ දේව රූප හැරුණු කොට, පිටතින්ම ඇත්තේ හයිරොග්ලිපික්ස් හෙවත් චිත්‍රාක්ෂර වලින් සමන්විත රවුමකි. මෙම කොටස සැකැස්ම අතින් රන්මසු උයනේ ඇති සටහනට තරමක් දුරට සමාන ය. එම වටය තුළ ඇති ඉඩ පුරවා ඇත්තේ රවුමට ගළපා කැටයම් කරන ලද විවිධ සංකේත වලිනි. අනෙක්වාට සාපේක්ෂව ප්‍රමාණයෙන් විශාලව සටහන් කර ඇති සංකේත දොළහ කි. චක්‍රයේ මැදට වන්නට සටහන් කර ඇති මේවා රාශි දොළහ නියෝජනය කරන බව පැහැදිළිව පෙනේ. අනෙක් සංකේත සමග ද විශ්ලේෂණය කර බලන විට, මෙම සමස්ත කැටයම රාත‍්‍රී අහසේ සැළැස්මක් හෙවත්, තාරකා රාශි සටහනක් හෝ තාරකා කැළැන්ඩරයක් ලෙස සැළකීමට පුළුවන.

නැස්කා රේඛා සමග රන්මසු උයනේ ඇති කැටයම ට ඇති සම්බන්ධතාවය ද සමහර ගවේෂකයන්ගේ අවධානයට පාත්‍ර වී ඇත. මේ සමග දැක්වෙන රූපය දකුණු පේරු හි නැස්කා තැනිතලාවේ කිලෝමීටර අසූවකට වැඩි භූමි ප්‍රදේශයක සටහන් වී ඇති එම දැවැන්ත සටහන් වල සිතියමකි. 


කාන්තාරයේ බිම මතුපිට ඇති රත් පැහැ වැලි සහ බොරළු ඉවත් කිරීම මගින් අඟල් 6 කට පමණ යටින් ඇති කහ පැහැති පස් මතු කර, කිලෝමීටර කිහිපයක දිග පළලින් යුතුව සියගණනක් වන මෙම සංකේත සහ රේඛා සළකුණු කර තිබේ. මිහි මත ඇති වියළිම සහ ඒකාකාර ම කාළගුණ තත්ත්වයන් මෙහි පවතින හෙයින් මේ දක්වා මෙම සටහන් ආරක්ෂා වී පවතී. නැස්කා රූප ආශ්‍රිතව හමු වූ ලී මෙවළම් කාබන් 14 ක්‍රමයට බඳුන් කිරීමෙන් මේ රේඛා ක්‍රි. ව. 400 650 අතර කාලයට කාල නිර්ණය කර ඇත. මෙම රූප පැහැදිළිව දැකගත හැක්කේ ගුවනේ සිට පමණ කි. මෙහෙයින් ම මෙකී සටහන්, ගුවනින් හෝ පිටසක්වළින් පෘථිවිය වෙත ආ කිසිවෙකු වෙනුවෙන්, එවැන්නෙකුගේ ම ආධාරය ඇතිව ඇඳ ඇති බවට මතයක් පවතී. ඇමරිකා එක්සත් ජනපදයේ වර්තමානයේ විශාල තිරිඟු යායවල සටහන් ව තිබී හමුවන වගා චක්‍ර (Crop Circles) පිළිබඳව ද මෙවැනිම අදහස් පළ වී ඇති නමුත්, ඒවා දක්ෂ ශිල්පියෙකුට පොළොවේ සිට ම නිර්මාණය කිරීමට හැකි බව ආතර් සී. ක්ලාර්ක් මහතා ඇතුළු විද්වතුන් විසින් පෙන්වා දී ඇත. එපරිද්දෙන්ම, නැස්කා රේඛා ද, ආදි කාලීන මිනිසා විසින්, තමන්ට ඉහළින් වෙසෙන දිව්‍යමය බලවේගයක් සතුටු කිරීමේ අරමුණින්, කුඩා සැළසුමක් විශාල කොට තැනිතලාවේ සටහන් කරන ලද්දක් බවට අනුමාන කරන්නට ද පුළුවන.

රන්මසු උයනේ කැටයම ට සම කළ හැකි රූප ලෙස නැස්කා සටහන් අතර ඇත්තේ, අතිශයින් සෘජු සරළ රේඛා, සමාන්තරාස්‍ර, සර්පිල සහ තල්මසාගේ සටහන පමණකි. අනෙක් සියළු රූප ඇමරිකානු කාන්තාර කළාපයේ සුලභව දක්නට ඇති දේ ය.

සමස්තය පිළිබඳ විග්‍රහ කර බැලීමේදී නිශ්චය වශයෙන් ම කිව හැක්කේ එකක් පමණකි. වෘත්ත, සමාන්තර රේඛා, සමාන්තරාස්‍ර සහ සමචතුරස්‍ර ඉතා නිවැරදි ලෙස සටහන් කළ හැකි වූද, ඒ පිළිබඳ නිවැරදි ජ්‍යාමිතික දැනුමකින් පොහොසත් වූද ශිල්පීන් අනුරාධපුර යුගයේ හෝ ඊටත් පෙර ලක්දිව විසූ බව ය. ඉහතින් සඳහන් දීර්ඝ උපකල්පන කිසිවකින් තොරව වුවද, මෙම කැටයමේ ඇති වැදගත්කම තේරුම්ගැනීමට මෙකරුණ පමණක් ප්‍රමාණවත් බව කිව හැක.

සාතිශය සංවේගය...

සිනමාවේ පරමාදර්ශී පෞරුෂයන් කීපයක්ම සමඟිනි, මා ගැටවර විය පසු කළේ. ඒ අතර, මුලින්ම මාගේ මනසට ඇතුලු වූයේ El Cid හි චාල්ටන් හෙස්ටන් ය. එම චිත්‍රප...

ගොඩක්ම කියවපු ලිපි