Sunday, November 26, 2017

තව එක්තරා ඇත්ත කතාවක්...

2000 දි විතර එක හාදයෙක් ඉපදුනා අපේ ගමේ ගෙදරක. උප්පැන්නට එයාට දාපු නම බ්‍රවුන්. එයා සහෝදරයො, සහෝදරියො හතර දෙනෙක්ගෙන් එක්කෙනෙක්. ඒ කට්ටියගෙන් දුර්වලම විදිහට හැදුනෙ එයා තමයි. මොකද, එයා කන්නෙ බොන්නෙ තෝරල බේරල. ඉතිං එයා හදාගන්න ගෙනිච්ච කීප දෙනා එයාව ආපහු ගෙදර ගෙනත් ඇරලුවා. ඔය අතරෙ තමයි එයා අපේ අම්මට හදාගන්න ලැබුණෙ. අම්ම එයා උපන්දා ඉඳන්ම ඉල්ල ඉල්ල හිටියෙ හදාගන්න.

එයා කොච්චර ළෙංගතුයිද කියතොත්, අපේ ගෙදර පදිංචියට ඇවිත් මාස ගාණක් යනකම්ම එයා සැරින් සැරේ තමං උපන්න ගෙදරට ගිහිං ඒ අය දැක බලාගෙන ආපහු ආව.

අපේ ගෙදරදි එයාට කවුරුත් කිව්වෙ චූටි කුකූ... මොකද මේ හාදය පොඩියි සයිස් එකෙන්. ඒ වගේම සෑහෙන වයසක් යනකම්ම එයාගෙ තිබුණු හුරතල්කමයි සෙල්ලක්කාරකමයි නැති උනේ නෑ.

මම ඒ කාලෙ කිසිම සත්ත්ව කරුණාවක් නැති මනුස්සයෙක්. ඇත්තට කියතොත්, අපේ ගෙදර හිටිය බල්ලො එකෙක්වත්, මං ඉන්න තැනකට එන්නෑ. මොකද, කොයි වෙලේ වදියිද දන්නෑ පාර. මං හයියෙං වචනයක් කිව්වොත්, ඒ වචනෙ තියෙන ටෝන් එකට බල්ල විසික් වෙනව ගෙයිං එළියට. ඒ වගේම මං මහ අමානුෂික විදිහට සත්තුන්ට අතට අහුවෙච්ච එකෙං ගැහුව.

ඒත් පුදුමෙ කියන්නෙ මේ හාදය, කුකූ... උන්දැ බොහෝම ටික කාලෙකිං මට පුදුම විදිහෙ කැමැත්තක් දක්වන්න ගත්ත. මං වැඩ ඇරිල ගෙදර එනකං බලං ඉන්න මේ යාළුව, ඊට පස්සෙ ඇදුං ලෙහන්නෙත් නැතුව ඇවිත් මං ඔළුව අතගානකං මගෙ පස්සෙං... ටික කාලෙකිම්ම මෙයා මගෙ දරුවෙක් ගාණට මට ෆිට් උනා. මුන්දැ දැං මං යන පස්සෙම්මයි. කාලෙයක් තිබුණ, මගෙ කම්පියුටරේ ගාව නිතරම ප්ලාස්ටික් පුටුවක් තියල තිබුණ මෙයාට ඇවිත් වැතිරිල ඉන්ඩ.

දවසක් මහරෑක මෙයා දරුණු වේදනාවකිං කෑගහන සද්දෙ ඇහිල අපි ඔක්කොම දුවගෙන ආව සාලෙට. මෙයා ඉන්නව මේං ටීපෝ එක ගාව බිම වැටිල... අම්මගෙ මහන මැෂිම උඩ ඉඳං ටීපෝ එකට පැනල, ඒකෙ රෙද්දත් එක්කම ලිස්සල බිම වැටිල, කකුලක් කැඩිල. හම්මෝ... කුකූව විඳපු වේදනාව මට උගෙ ඇස් දෙකන් පෙනුන. ඒ කකුල මං අල්ලල බලද්දි මෙයා මගෙ අත ගාවට කට ළං කළා. ඒත් කිසිම වෙලාවක හපා කෑවෙ නෑ. අපි එවෙලෙම දහයිය ලුණු වතුරෙං තම්බල (කුකුල්ලුන්ට අඬු කැඩුණම කරන අත් බේතක්), කකුලට උණ පතුරු දෙකකුත් තියල පත්තුවක් බැන්ද. දවස් ගාණක් යනකං ත්‍රී වීල් එකෙන් පැන පැන ගියපු කුකුව පස්සෙ හොඳටම හොඳඋනා.

මම ඩ්‍රැකියානිට ආදරෙයි කියපු දවසෙ හරි ඒ ආසන්න දවසක, මං එයා එක්ක මහ රෑ දහයට විතර කතා කරද්දි - අපේ ගෙදරට ඩයලොග් සිග්නල් තිබුණෙ නෑ ඒ දවස් වල මං අලුතෙං ගේ හැදුවෙ අපේ ගේ ගාවම ටිකක් උතුරු පැත්තට වෙන්න. ඒ ගේ ඇතුලට යන්තං සිග්නල් තිබුණ. ඉතිං මං ගෙදර දොර ඇරගෙන එළියට ඇවිත්, “ඇහෙනවද?“ “දැං ඇහෙනවද?“ කිය කියා ඇවිත්, අලුත් ගෙදර (බිත්තියි වහලෙයි විතරයි තිබුණෙ) සාලෙටම ආව. ඇවිත් බ්ලොක් ගල් ගොඩක් උඩිං වාඩි උනා. ටිකකිං බැලින්නං කුකුවත් මං ගාව. කොල්ල මාව හොයාගෙන ඇවිත්.

ඒ දවස්වල මුන්දැට තිබ්බ ප්‍රියතම සෙල්ලම තමයි පොල්ලෙල්ල දඩයම. ඌට පේන්ඩ අපි පොල්ලෙල්ලක් විසික් කරන්ඩ ඕනෙ. ඒක දැක්ක ගමං කුකුව දුවගෙන ගිහිං ඒක අහුල ගන්නව. අහුලගත්ත ගමං ආපහු රවුම කැරකිල දුවගෙන එන මෙයා, අපේ කකුල් ගාවිං දුවනව, ඒ දුවන ගමං ගොරවනව. එතකොට අපි පොල්ලෙල්ල උදුරන්ඩ හදන්ඩ ඕනෙ. ඔය විදිහට මිදුල වටේ වට විස්සක් විතර දුවපුවහම බල්ලට වගේ හති.

ඒ වගේම මට ඩ්‍රැකි කියල නම දාපු මහතුව කියන්ඩ පුරුදු වෙලා හිටපු කතාවක් තමයි, “ළමයින්ට හාල්මැස්සො - බල්ලට බිත්තර“... මොකද, මං කලිනුත් කිව්ව වගේ මෙයා තොරල බේරල තමයි කෑවෙ. ඉතිං අපි ඔක්කොගෙම එකඟතාවයෙන්, අපි නොකෑවත් මෙයාට මොනව හරි රසවත් දෙයක් හදල දෙනව. සමහර දවස් වල අම්ම මෙයාට බත් ගුලි කර කර කවනවත් එක්ක.

අපේ තාත්ත මියගිය දවස් වල, මළගෙදර ගත්තෙ මං අලුතෙං හදපු ගෙදර. ඒ ගෙදර කිරි උතුරවල පදිංචි වෙලා තිබුනෙත් නෑ එතකොට. ඒ දවස් ටිකේ කොච්චර ගේමක් මං තනියම ඇද්දද කිව්වොත්, කුකූව දිහා බලන්ඩවත් පුළුවන් උනේ තාත්ත භූමදාන කරල ඇවිත් ගෙදර අස් පස් කරල ඉවර වෙලා එදා රෑ. කුකුව අපේ මහගෙදර පුටුවක ගැටගහල උන්නෙ. මාව දැක්ක ගමං එයා කකුලක් උස්සගත්ත කොරගහනව වගේ. මං එවෙලෙම ඌ අරං ගියා අලුත් ගෙදරට. එවෙලෙ ඉඳං මං ආපහු මහගෙදරට ඇවිත් නිදාගන්නකම්ම කුකුව මගෙ පස්සෙං. නිදාගන්නකම්ම කිව්වට, එයා නිදාගත්තෙත් මගෙ ඇඳේ මගෙ පාමුලමයි.

කොලුවයි - බව්වයි
මං වැඩ ඇරිල එනතුරු, අලුත් ගෙදර සාලෙ තිබ්බ මේසෙ උඩට වෙලා
බලං හිටපු කුකුවගෙ කරට අත දාගෙන ගහපු සෙල්ෆියක්

තාත්තගෙ මරණෙං මාස දෙකකට විතර පස්සෙ මං ගෙදර එක කාමරේකට ජනෙල් පියන් දාගෙන, අනික් කාමර වල ජනෙල් වලට ඉටිරෙදි ගහල,  කාමරේයි, ගෙදර ඉස්සරහයි, පස්සෙයි දොර පියං දාගෙන, බඩුත් ඇදගෙන අලුත් ගෙදර පදිංචියට ආව. නැකතට කිරි ඉතිරෙව්ව එක විතරයි කළේ. අපි බඩු අදිද්දි මාත් එක්ක ගෙදරට ආව කුකුව ආපහු මහගෙදරට ගියෙ නෑ. ඒ කියන්නෙ අවුරුදු දෙකක් විතර යනකං, අර ඉස්ඉස්සෙල්ලම මළගෙයක් තිබුණු ගෙදර පදිංචි වෙලා උන්නෙ මායි කුකුවයි විතරයි. රෑ දහයට විතර අපි දෙන්නම ජනෙල් පියන් තිබුණු එකම කාමරේ දොර ජනෙල් වහගෙන නිදාගන්නව. කලාතුරකිං දවසක මහරෑට කුකුව මාව ඇහැරවනව, “මීක් මීක්“ ගාල. එතකොට මං දොර ඇරල දෙන්ඩ ඕනෙ. ටුක් ගාල එළියට දුවන කුකුව, විනාඩි පහක් යන්ඩ කලිං ආපහු දුවගෙන එනව.

ඩ්‍රැකියානි කැන්දං ආවට පස්සෙ කුකුවට තිබ්බ එක වරප්‍රසාදයක් අහිමි උනා. ඒ තමයි මගෙ ඇඳේ නිදාගන්න එක. ටික දවසකිං ඕනෙම පුටුවකට පැනල නිදාගන්න එකත්, විශේෂ ප්ලාස්ටික් පුටු දෙකකට - එකක් ඉස්සරහ වැරැන්ඩා එකේ. අනික කුස්සියෙ - සීමා කරන්ඩ උනා. (ගෑණු ළමයිගෙ පිළිවෙල...) ඒත් කුකුව කළබල කළේ නැතුව ඒවට අනුගත උනා. එයාට අපේ ඇඳ ගාව බිම නිදාගන්ඩ තිබුණනං එයා ඒකෙං සෑහීමකට පත් උනා. ඒ වගේම එයා ඩ්‍රැකියානිට විශේෂ අකමැත්තක් දැක්කුවෙත් නෑ. මං ගෙදර නැත්තං එයා ඩ්‍රැකියානි පස්සෙං...

දවසක් අපි පාන්දර නැගිටල කුස්සියෙ දොර අරිද්දි කුකුව එනව එළියෙ ළිඳ ගාව ඉඳං වැනි වැනි. “වෙරිද බං?“ කියල ඇහුවම යාන්තං කෙඳිරි ගාල කුක්ක දොර ගාව වැටුණ. බලන කොට බෙල්ල ගාව තුවාලයක්. මට දැණුන, ලොකු බල්ලෙක් මෙයාගෙ බෙල්ලෙං අල්ලල වනල කියල. ඒ තුවාලෙත් තියාගෙනම මෙයා ගෙදර ඇවිත්. ගොඩක් ලේ ගිහිල්ල තියෙනව. සාමාන්‍යයෙන් වෙනදට මෙයා අපි  දන්නැතුව දොරෙං එළියට ගිහිං තිබුණොත්, අපි දොර වහලනං, මෙයා දොර ගාවට ඇවිත් එකක් දෙකක් බුරනව. එදා එහෙම බුරාගන්ඩවත් පණ නැතුව, අපි කොයි වෙලේ හරි දොර අරිනකං ළිඳ ගාවට වෙලා ඉඳල.

මං එවෙලෙම එයාගෙ තුවාය ගෙනත් ඒකෙං ඔතල, සුදු කිරි එකක් හදල හැන්දෙං පෙව්ව. එදා සතියෙ දවසක්ද මට මතක නෑ, එහෙම උනානං වැඩට යන් නැතුව මං කුකුව බලු දොස්තර ගාවට අරං ගියා. දොස්තර මහත්තෙය ඉන්ජෙක්ෂන් එකක් ගහල, කිව්ව, “මෙයාගෙං ලේ ගොඩක් ගිහිං තියෙනව. එයිටත් වැඩිය ඔලුව තදට වැදිල කම්පණයෙන් ඉන්නෙ. මෙච්චර වෙලා හිටිය එකේ, බයවෙන්ඩ දෙයක් නෑ. හොඳ වෙයි“ කියල.

නරකම දේ උනේ පුතා ඉපදුනාට පස්සෙ. බව්වට කුස්සියෙං මෙහා එන්ඩ තහනම් උනා. ළදරුවෙක් බව්වෙක් එක්ක හදන්ඩ හොඳ නැතිය, විෂබීජ ය කියන පදනමිං. කුකුවා ඒකත් බාර ගත්ත. මටත් පියපදවියෙ රාජකාරිත් එක්ක බව්ව හුරතල් කරන්න වෙලාව මදි උනා. ඒකටත් කුකුව එච්චර සැලුන්නෑ කියල පෙනුන.

ඊටත් පස්සෙ තමයි එයාගෙ ඇහේ සුද ආවෙ. දැං කුකුව අපිව අඳුනගන්නෙ ඉවෙං විතරයි. ඒත් එයා පාරෙ එහෙම යනව. ඈත වාහනයක් එන සද්දෙයක් ඇහුනත් හොඳටම අයිං වෙනව. තමුංගෙ බලප්‍රදේශය මාක් කරන්නෙ ගෙදර හතර කොණේ විතරයි. ඉතිං හැමදාම උදේ ඩ්‍රැකියානි මැසිවිලි කිය කියා ඒ හතර කොණ හෝදනව. මොකද, පුතා පොඩියි. එයා බිම තියෙන දේවලුත් ඇරං කටේ දාගන්නව. ෂුවර් නෑ මොනව කරයිද කියල.

වෙනද වගේම අපි වැඩ ඇරිල එනකොට කුකුව ඉස්සරහ වැරැන්ඩා එකේ තියෙන එයාගෙ ප්ලාස්ටික් පුටුවෙං බැහැල ඇවිත් මීක් මීක් ගානව. මාත් අදරෙං “කුකූ...“ කියල කතා කරනව. එතකොටම පුතා ඇවිත් අපේ ඇඟේ එල්ලෙනව. එතනිං බලු හුරතලේ ඉවර වෙනව. කුකුව ආපහු පුටුව ගාවට ගිහිං බිම වැතිරෙනව.

දැං දවස් දෙකක විතර ඉඳං අම්ම වාර්තා කරන්න ගත්ත, දවල්ට කුකුව එලියට ගියාම ගොඩක් වෙලා යනකං එන්නැහැලු. අම්ම හොයන්න යනකොට එක පාරක් - වලක වැටිල ඉඳල අසල්වැසි මල්ලි කෙනෙක් ගොඩට අරං. එතනිං වෙළ පැත්තට ගියා කියල කිව්වලු. ඒ ආරංචියට අම්ම වෙළට ගියාම, වෙලේ වැටිල, වැතිරිල හිටියලු. අම්ම වඩාගෙන ඇවිත් නෑව්වලු. තව සැරයක් තව කොහෙද වැතිරිල ඉද්දි අම්ම හොයාගෙන ගෙදර ගෙනත්. අද අම්ම මාසික ක්ලිනික් එකට ගියා රාගම රෝහලේ. අපිට කුකුව ගැන හොයන්න වෙලාව තිබ්බෙ නෑ. පුතාටත් සනීප නෑ - උගුර පැසවලා. මටත් එක්ක හදන කිරි කෝපි එකෙන් කුකුවගෙ පංගුව දවල් වෙනකම්ම කුකුවගෙ පීරිසියෙ. අම්ම ආපහු ගෙදර එක්කරං ආවට පස්සෙ, පුතාට දවල් කවන අතරෙ මං ගියා කුකුව යයි කියල හිතන හැම තැනකම කුකුව හොයන්න. ඒ කොහෙවත් කුකුව හිටියෙ නෑ.හොඳටම හෙම්බත් වෙලා මං ආපහු ගෙදර අාව විතරයි, වැස්සක් කඩංහැලුන. එතකොටයි කුකුව හොයන්න ගිහිං හිටිය අම්මත් ගෙදර ආවෙ...

සත්තු තමං වාසය කරන තැනිං ඈතට යනව මැරෙන්න කිට්ටු උනාම. කුකුවටත් දැං වයස අවුරුදු දාහතක්. ඒ කියන්නෙ ඒ විදිහෙ බව්වෙක්ගෙ පරමායුෂ. ඒ වගේම ඇහේ සුද ආවට පස්සෙ එයා හිටියෙ එච්චර ෆිට් එකකිං නෙවෙයි. කලාතුරකිං මාත් එක්ක පොඩ්ඩක් සෙල්ලම් කළාට ගොඩක් වෙලාවට කළේ ඔහෙ වැතිරිලා ඉන්න එකයි.

ඒත් කුකුවට මැරෙන්න තරං ලෙඩක් තිබ්බෙ නෑ. කලිං දා රෑත් හොඳට කෑව. පහුගිය දවස් දෙකේ කුකුවගෙ හැසිරීමත් එක්ක හිතන්න පුළුවං, දැං එයා කොහෙ හරි අපිට හොයාගන්න බැරි තැනක වැතිරිලා, හිමිං හිමිං තමංගෙ මරණය එනකල් බලං ඉන්නව ඇති. අනේ... මේ වැස්ස ඒ අසරණයගෙ ඇඟට වැටෙනව ඇති. ඒකෙං බේරෙන්ඩ එයාට ඕනෙකමක්වත් ඇඟට හයියක්වත් නැතුව ඇති. හෙමිං හෙමිං එළඹෙන මරණය කොච්චර අමාරුයිද?

මගෙ තාත්තගෙ මළගෙදරිං පස්සෙ පාලු ගෙදරක තනිවෙච්ච මට තනියට හිටිය එකම යාළුව. මේ මොහොතෙ එයාගෙ මරණය බලාපොරොත්තුවෙං කොහෙ හරි තැනක වැටිල... කිසිම උදව්වක් නැතිව, කිසිම කරුණාවන්ත වචනයක් අහන්ඩ නැතුව, උදේ ඉඳං බඩගින්නෙ...

ඔයා ගොඩක් හොඳ කෙනෙක් චූටි කුකූ... ඔයා තමයි මගෙ ලොකු පුතා... යන තැනක ඔයාට හොඳක් වෙයි... පුළුවන්නං ආපහු එන්ඩ !!!

56 comments:

  1. Harima sanwedee kathawa! Eka kiyawala mage ahata kandulu inuwa!Mamath oya wagema sathunta hari adare kenek.Egollanta wachanen katha karanna bari eka witherayi wenasa.Ape wachana, hangeem, hondata therenawa.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සරත් මහත්තය...

      මේක ලියද්දි මගෙත් ඇස් බොඳ වෙනතුරු කඳුලු ඉනුව. ඔයා කියනව වගේ, කතාකරන්න බැරි එක විතරයි. අපි කේන්තියෙන් හරි දුකෙන් හරි ඉන්නකොට ළඟට ඇවිත් මොනව හරි කරල එයාගෙ පිට් එක පෙන්නනව. අපේ මානසික අපහසුතාව නැති කරල දානව. ඇත්තටම මිනිසාගේ ළඟම හිතවතා තමයි බල්ලා...

      ගොඩක් ස්තූතියි මේ පැත්තෙ ගොඩ වෙලා වචනයක් දෙකක් කතා කරල ගියාට.

      Delete
  2. Replies
    1. ගොඩක් ස්තූතියි ඉයන්...

      Delete
  3. පල ගිහින් හොයපිය. පලෙයං. හොයපං. කකුල් ගෙවෙනකං හොයපං. නැත්තං බොට පසුතැවෙන්න වෙයි. පලෙයං හොයන්න.

    ReplyDelete
    Replies
    1. හොයන්ඩ ගියා සුරංග... අද උදේ හම්බුනා, පාලු ඕවිටක තිබ්බ පොඩි ළිදක් ඇතුලෙ පාවෙවී උන්න. එහෙම්ම අත දාල උස්සල අරං, වඩාගෙන ගෙදර ගෙනාව. මංම වලක් කපල, භූමදාන කළා...

      Delete
    2. මිනිහෙක් මලාට ගානක්වත් නැති මට සතෙක් මලා කිව්වම හරි දුකයි. මටත් දවසක් හරි ටෙලිපෝන් එකෙං කතා කරනව ඇහිච්චි සතා. අන්තිමට පෙර කල අකුසලයක් ගෙවාගෙනම ගිහිං. අායි සත්තු ඇතිකරන්න එපා. මමත් මේ ඩබල මලැයිං පස්සෙ ආයි කිසි සතෙක් ඇතිකරන්නෙ නෑ. විසේසයෙං බල්ලො කියන්නෙ අසීමිතව ආදරේ කරන සත්තු ජාතියක්.

      මා විසින් මේ ජීවිත කාලයේදී කරගත් පිනක් ඇත්නම් ඒ පින චූටි කුකූට අනුමෝදන් වෙත්වා. නිවනට යන මගට කිට්ටු ආත්මයක් ලැබීමටත්, දැනටමත් ලබා උපන් ආත්මයක් ඇත්නම් ඒ අත්බවයේ සැපසේ ජීවත්වී කුසලක් කර ගැනීමටත් මේ පින හේතුවේවා.

      Delete
    3. /විසේසයෙං බල්ලො කියන්නෙ අසීමිතව ආදරේ කරන සත්තු ජාතියක්./
      ඇත්ත. මට හිටපු බල්ලො තුන් දෙනෙක්ම එහෙමයි. මේ කුක්කා ඔක්කොටම වැඩියි.

      ගොඩක්ම දැණුන සුරංග උඹෙ මුල් කමෙන්ට් එකෙම්ම, උඹෙ හිතේ ඇතිවුණ දුක ගැන.

      උඹෙ අවංක පින් අනුමෝදනාව කුකුවට අත්වේවා! මතු මනුෂ්‍යාත්මයක් ලබා සසරින් එතෙර වේවා කියල කිව්වට, පෘතග්ජනයෙක් වශයෙන් මට එහෙම හිතෙන්නෑ. මතු ආත්ම වලදී දුක අඩු දිග ජීවිත ලබා සැපවත් මරණ අත්වේවා! මටත් වඩා හොඳ හිතවතුන් කුක්කට මතු ආත්මවලදී ලැබේවා!

      ගොඩක් ස්තූතියි සුරංග. මේ වෙලාවෙ උඹ මා ළඟ හිටිය වගේ පිට්ටෙකක් දැනෙනව.

      Delete
  4. ඉතාම සංවේදී කතාවක් බල්ලන්ට කතාකරන්න බැරි එක විතරයි. උන්ට හැමදේම තේරෙනවා .අපේ ගෙදර බල්ලා තමයි සැබී. වවුනියාවේ ඉඳලා 2009 ජනවාරිවල අපේ ගෙදර ආවේ මගේ පියා සමග ක්‍රොස් වෙච්ච බීටල් වර්ගයේ බල්ලෙක් ගෙදර මිනිස්සු රට ගියනිසා මූ බලාගන්න කවුරුත් නෑ මෙහෙට එනකොට දවස් 12යි. සබී කියලා නම දැම්මට මෙයා බැල්ලියක් කියලා දැනගත්තේ පස්සේ. අපේ තාත්තා සත්තුන්ට වෙලාවකට හිංසා කරනවා අනේ මන්දා මෙයාට නම් පුදුම ආදරයක් තිබ්බේ. මූත් නිදාගන්නේ ඇඳ පාමුල තමා අපේ අම්ම පිටිපස්සේ තමා තාත්තා නැතිවුන වෙලාවේ මෙයා උද තට්ටුවේ එළියේ දාලා තිබ්බේ. එත් කාටවත් බිරුවේ නෑ. මිනිය යට කරලා ඇවිල්ල ලෙහුවාම ඉව කරකර තාත්තා හෙවුවා ඔහේ බලාගෙන දවසක් දෙකක් හිටියා අපිට තේරුණා එයාට හොන්දටතත්තා නැතිඑක තේරෙනවා කියලා. කොච්චර කන්න දුන්නත් තාත්ත කනකොට ලඟට වෙලා ඉන්නවා පිගානෙන් දාන මොනවා හරි කන්න. දැන් ඒ පුරුද්දට අපි ලඟට එනවා ඉස්සර අපි ලඟට එන්නැ. ඔබේ චූටි කුකුට හොඳ ආත්ම බවයක් ලැබේවා.
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. මගේ පියා සමග අපේ ගෙදර ආවේ කියල වෙනස් කරලා , ඩොට් එකක් හරි කමාවක් තියහං හත්තිලව්වේ , ඔය තියන විදිහට වෙන අදහසක් කියවෙන්නෙ

      Delete
    2. අම්මප අටමයියෙ මටත් ඒක දැක්ක ගමං හිතුනා. විචා මාමා හිටියනං කියන ටික අහන්න තිබ්බා.

      Delete
    3. ගොඩක් ස්තූතියි විචාරක දියණි... ගොඩ වැදිලා කණගාටුව බෙදාගත්තට. ඇත්තට සුරතල් සත්තුන්ට කතා කර්න බැරි ටික විතරයි. එයා බල්ලෙක්... පූසෙක්... ගිරවෙක්... ඔය මොන සතෙක් උනත්, සහකාරයන් එක්ක මාර බැඳීමක් ළෙංගතුකමක් ඇතිකරගන්නව. අන්තමේ ඉතාම කෙටි කාලයකින් දාල යනව...

      Delete
    4. @ අටමයි සුරංගයි...

      අයියයි මල්ලියි දෙන්න මළගෙදර ආවනං, ඔය බබලතුංගෙ ඇද කුද හොයන්නැතුව මේ මාරි බිස්කට් කාල නෙස්කැෆේ බීපියව්...

      Delete
    5. //මගේ පියා සමග ක්‍රොස් වෙච්ච බීටල් වර්ගයේ බල්ලෙක්// හපොයි විචාරක මාමේ.. :)))))

      Delete
    6. කළණ,

      ආ මේං නෙස්කැෆේ... හැක්

      Delete
    7. අෆොයි මේ ළමය, ඉස්සර ඉදන් බ්ලොග් පෝස්ට් දැම්මනම් තාත්තගෙන් හොදටම ගුටි කනව.

      Delete
    8. කම්මො, නෙස්කැෆේ එකක් බීලම කතා කරමු?

      Delete
  5. සංවේදී සටහනක් ඩ්‍රැකී. සුරතල් සත්තු එයාලව ඇතිකරන අය එක්ක ලොකු බැඳීමක් ඇතිකරගන්නව කියල අහල තිබුනට ඒ ගැන අත්දැකීම් නම් නෑ මට. මම නම් කිසිම සතෙක්ව ඇති කරන්න කැමති නෑ. පිං පවු ගැන අදහසකින් නම් නෙවි, එක විදියක ආත්මාර්ථකාමීත්වයක් - එයාලට සාත්තු සප්පායම් කරන්න, ඒ වෙනුවෙන් කරදර වෙන්න මගේ කැමැත්තක් නැති නිසා. මොකද සතෙක් හදනව නම් ඌට හොඳට සලකන්න ඕන. ඒ අතින් උඹ තියෙන තත්ත්වයන් කළමණාකරණය කරගෙන පුළුවන් හැටියට ඌට හොඳින් සලකල තියෙනව පවුලෙ කෙනෙක් වගේ. ඒ ගැන නම් මම හිතන්නෙ උඹට සතුටු වෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ඩීඩීටී... ඒ කමෙන්ට් එකෙන් මගෙ පෑරුණ හිත තරමක් දුරට හැදුණ.

      ගොඩක්ම ස්තූතියි දුක පළකරන්න මෙහෙට ගොඩඋනාට.

      Delete
  6. සංවේදී සටහනක් බං.
    සත්තු ආදරේට හදන එවුවො තමයි දන්නෙ ඒ සතා නැති උනාම දැනෙන වේදනාව. ස්වාභාවික විදියට නොවී අවසානය සිද්ද වෙනකොට තවත් ඒ වේදනාව වැඩියි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ප්‍රසා... සවාභාවිකව නොවී, මේ අන්තිම කාලෙ මෙහෙම ඇබැද්දියක් උන එක තමයි හිතට අමාරු.

      ගොඩක් ස්තූතියි ප්‍රසා...

      Delete
  7. මං ඔය හැමෝටම උත්තර දෙන්නං නිරවුල් මනසක් ඇති වුනු වෙලාවක. ඒ කියන්නෙ හෙට උදේ විතර... ගොඩක් ස්තූතියි මගෙ දුකට හවුල් වුණු හැමෝටම...

    ReplyDelete
  8. හරිම සංවේදී සටහනක් බං. උඹට තියෙන දුක මටත් ඔය ආකාරයටම ඇතිවෙලා තියෙන නිසා උඹ කියනදේ හොඳට දැනෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත හැලප අයියෙ... මට තේරෙනව ඔයාගෙ වචන වලිං. ගොඩක් ස්තූතියි දුකට හවුල් වෙන්න මෙහෙ ආවට...

      Delete
  9. :( RIP - Return If Possible

    dog's purpose

    -ඉස්සර බ්ලොග් ලියපු පක්සියෙක්-

    ReplyDelete
    Replies
    1. (අනික් අයට නැහෙන්ඩ) චන්දනවත්ද...?

      Delete
    2. ම්හු...
      හූම්..හූම්...:)

      Delete
    3. ඩීඇම්ජී නේද? පපක්සියෙක් කිව්වහම දැනගන්ඩ තිබුණ. මං දැකක් මේ ළගදි ලියල තිබුණ ආපහු?

      ආර්අයිපී එක තමා මං පෝස්ට් එකේ අන්තිමටම ලිව්වෙ. "පුළුවන්නං ආපහු එන්ඩ" කියල. අම්මප වෙලාවකට හිතෙනව හොල්මනක් විදිහට හරි ආපහු එනවනං කියල.

      Delete
  10. කිහිප වතාවක් මේක කියවලා ගියා අයියේ. මටත් ගොඩක් තැන්වලදි උණු නොවන හිත සත්තු ලඟද උණු වෙනවා. එයාලා අසරණ නිසා. බල්ලෝ බළල්ලු ගෙදර මැරෙන්නේ කලාතුරකින්.ඒවා බලා ඉන්න බෑ. දෙන දෙයක් කාලා ගෙදරටම වෙලා ඉන්න අසරණයින්ට අවසාන මොහොතේ අපි ලඟ ඉන්න ලැබෙනවා නම්...අනේ එයාට සුභ ගමන්.

    ReplyDelete
    Replies
    1. මං දන්නව ඔයාට සහකම්පණය ඇතිවෙන වග මේ සිද්ධියෙදි. ගොඩක් ස්තූතියි සුජී...

      ඇත්තට අවසාන මොහොත අපි ගාව ගත කරන්න පුළුවන්නං ඒ අයට... අපේ ඩොක්ටර් මාමගෙ එක බල්ලෙක්ට ඒ වාසනාව උදා වුනා. එයා මැරෙන බව තේරුණහම ඩොක්ටර් එයා සෙටිය ගාව බිම තියල, ටැබ් එකෙන් පිරිත් දැම්ම කිව්ව එයාට ඇහෙන්න...

      Delete
  11. ඔන්න ඔය වගෙ සිද්දි කීපයකට පස්සෙ මං තීරණය කලා බව්වෝ නොහදන්න. බව්වන්ගෙ ආදරේ කොන්දේසි විරහිතයි.. මනුස්සයින්ට කවදාවත් ඒ වගේ ආදරයක් දෙන්න බෑ.. එහෙම ඉඳලා අපිට කලින් එයාල යනවා. එතකොට විඳගන්න බොහොම අමාරුයි.. ඒ දුක විඳිනවාට වඩා අනුංගෙ බව්වෙක් දිහා බලල හිත සතු‍ටු කරගන්නවා ඩ්‍රැකියො.. සරත් ලංකාප්‍රිය

    ReplyDelete
    Replies
    1. ඔව් සරත් අයිය. මාත් එකඟයි ඒකට. බව්වො කොන්දේසි විරහිත ආදරයක් දෙනව. ඒ වෙනුවන් මොනවත් ආපිට බලාපොරොත්තු වෙන් නෑ. නිකම්ම ඌ දිහා බලල නම කිව්වත් ඇති. නැත්තං චූස් ගෑවත් ඇති. උඩ පැනගෙන දුවගෙන ඇවිත් කකුලෙ දැවටෙනව ළමයෙක් වගේ...

      Delete
  12. හප්පා ...
    තව පොඩ්ඩෙන් ඇඬෙනව බං .....

    ReplyDelete
    Replies
    1. ඇත්ත... ඇනෝපීලිස් මං වගේම බලු ලෝලියෙක් බව මං දන්නව. ගොඩක් ස්තූතියි දුක පළකරන්න ඇවිත් ගියාට...

      Delete
  13. Replies
    1. ගොඩාාාක් ස්තූතියි ලිඛි... මේ පැත්තෙ ඇවිත් දුකට හවුල් උනාට...

      Delete
  14. මං පුංචි කාලේ ඉඳලා අපේ ගෙදර හිටියේ පූසෝ විතරයි. එයාලගෙනුත් මං පුංචිම කාලේ හිටපු අය ගෙදරදීම අපිව අත ඇරලා ඇස් පියාගත්තු දුක්බර මතක මගේ හිතේ තාමත් මහා බරක් එක්ක තැන්පත් වෙලා තියෙනවා. ඊට පස්සෙ කාලේ හිටපු පූසෝ කීප දෙනෙක්ම ඩ්‍රැකීගේ මේ කුකූ වගේම එයාලාගේ අන්තිම දවස් කිට්ටු වෙද්දි හොයාගන්න නැතුව ගියා. මම ඒ කාලේදි හිතාගත්තේ එයාලාගේ අවසන් මොහොත අපිට ගොඩක් දුක්බර මතක ඉතුරු කරන බව තේරුම් අරගෙන අපිට තියෙන ආදරේ නිසාම ඒගොල්ලෝ එහෙම යන්න ඇති කියලා. හරි දුකයි. ඉන්නකල් ඩ්‍රැකී එයාව හොඳින් බලාගත්තානේ. දැන් එයා හොඳ තැනක ඇති.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සිතු... ඇවිත් හිත සැනසෙන වචනයක් කිව්ව එක ගැන. ගොඩක්ම අර මරණාසන්න අතුරුදන්වීම පරිණාමිය අවශේෂයක් කියලයි මං දන්න විදිහට නම්. ඒ කියන්නෙ රංචුවක් විදිහට එක වාසස්ථානයක ඉන්නකොට, කවුරු හරි ඒ වාසස්ථානයෙම මැරුණොත්, එයා නරක් වෙනකොට අනික් අයට එතන ඉන්න බැරි වෙන නිසා, ඒකට පිළියමක් විදිහට ඈතට ගිහිං මැරෙන්න පුරුදු වෙලා ඉන්නව කියල තමයි ඩෙස්මන්ඩ් මොරිස් කියන්නෙ.

      ගොඩක් ස්තූතියි ආයෙත්...

      Delete
  15. උඹට කොච්චර දැනුනද කියන එක තේරෙනවා.. ඩ්‍රැකී..

    ReplyDelete
    Replies
    1. ඇත්ත. මට මේක කියවන වාරයක් ගානෙම ඒක ආයෙ ආයෙ දැනෙනව...

      ගොඩක් ස්තූතියි දේශා... ඇවිත් දුකසැප බැලුවට. ඒකත් මට ගොඩක් දැනෙනව

      Delete
  16. අපේ ගෙදරත් හිටියා චන්ඩි කියල බල්ලෙක්... ඌත් මැරුණ දවසෙ මට සෑහෙන්න දුක හිතුනා. අපේ ගෙදර එක සතෙක්වත් හදන්නෑ. ඒත් අහල පහල ඉන්න එකෙක් හරි ගෙදර ඇවිත් ඉන්නවා. උන්ට කතා කරන්න බැරි උනාට හිත අපිට වඩා ප්‍රබලයි කියල හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. ඇත්ත මල්ලි. උං පෙන්නන ළෙංගතුකම 100%ක් අව්‍යාජයි - අවංකයි. ඒකයි ප්‍රබල. ගොඩක් ස්තූතියි මල්ලි මේ පැත්තෙ ඇවිත් ගියාට...

      Delete
  17. මගෙ එක්කෙනෙක් අවු 16 1/2 ක් හිටියා.
    මැරුණහම ආයිත් මේ තරම් දුක් වෙන්න බෑ කියල හිතනව, මාස කීපයකින් නැතුව බැරිවෙනවා,
    ලෝකෙ අසාධාරණම දෙයක් තමයි බල්ලන්ගේ ජීවිතකාලයේ කෙටි බව. හැම අවු 10-12 කට සැරයක් අපිට දරුවෙක් නැතිවෙනවා,

    ReplyDelete
    Replies
    1. ඇත්ත ප්‍රා... අවුරුදු 10 - 12 කට සැරයක් දරුවෙක් අහිමි වෙනව. ඒකෙන් පේනව අපි දෙන්නම එකම පාට අත්තටු තියෙන කුරුල්ලො කියල.

      ඒක දැක්කම මතක් උනේ, සික්ස්ත් ඩේ ෆිල්ම් එකේ තියෙනව ක්ලෝන් කරන බිස්නස් එකක් re-pet කියල. සුරතල් සතා මැරුණහම ක්ලෝන් එකක් හදාගත්තැකි. ඒ සංකල්පය ෆිල්ම් එකට ඇවිත් ඇත්තෙත් අපි වගේ දැනෙන උදවිය හින්ද වෙන්ඩැති කියල දැන් හිතෙනව.

      Delete
    2. අපේ ලඟදිම නැතිවුන එක්කෙනා ගේ බ්‍රීඩ් එකෙන්ම ඒ මාර්කින්ස්ම තියන පැටියෙක් මාස දෙකකින් හොයා ගත්තා. ගේන්න නුවර යන්න වුනා. පෙනුමෙන් ඒ වගේම වුනාට කැරැක්ටර් එක වෙනස්

      Delete
    3. අපේ හිතේ කොණක තියෙනව නේද, අපේ හිටපු හුරතලා ආපහු ඉපදිලා අපි ළඟට ආයෙ ඒවි කියල?

      අපේ හිිටිය ලොකු ගම් බල්ලෙක්. දුඹුරුපාටයි, කකුල් හතරෙ කෙළවරයි, පපුවයි සුදුයි. එයා මැරිල ටිකදවසකින් මේ කියන චුටිකුකුව අපිට හම්බුණේ. එයාගෙ පාට පිහිටීමත් අර වගේමයි.

      Delete
  18. ඕකනේ මං සත්තු ඇති කරන්නෙම නැත්තේ.. :'(

    මට අපේ ලකියා මතක් උනා බං.. අසු ගණන්වල මුල් කාලේ.. අපේ ගෙදර හදපු අන්තිම බල්ලා.. අපි කාපු හැම කට්ටක්ම ඒ විදියටම කාල පුදුම හිතවත්කමකින් හිටියේ.. ඔය වගේම වයසට ගිහිං අන්තිමේ හමේ රෝගයක් ආව.. අපේ අම්ම මිරිස් දිය කරලා ගානවා අත් බේතක් කියල.. මු අන්තිමට අම්ම පේන තැනකවත් ඉන්නේ නෑ මිරිස් වතුර ගාවම දානවා වෙන්න ඇති.. කොහොම හරි ලෙඩේ උස්සන්න වෙලා මූ ගෙදරින් යන්න ගියා. දවලට එන්නේ නෑ ගෙදර.. ඒත් රෑ බත් පංගුව දාල තිබ්බම පිඟානේ හොරෙන් ඇවිත් කාල යනවලු.. ඒ වෙලාවට අපි නිදි.. අම්ම තමයි දැකල තියෙන්නේ.. දවල් දවසෙම ගෙවල් වලට උඩින් තේ මංඩියේ ලැගල ඉන්නවලු.. දවසකින් දෙහෙකින් රෑ බත් ටික කාලත් නැති උන පාර අපේ අයියල ගියා බලන්න.. එතකොට හොඳටම වැහැරිලා..ගෙදර ගේන්න හැදුවට ඇවිල්ලම නෑ.. බලෙන් ගෙන්න ගියාම මුළු ඇඟේම විරිය දාල බුරල බෑ කියුවලු එන්න.. පස්සේ අපි දවසක් දෙකක් විතර ඌ හිටපු තැනටම කෑම ගිහින් දුන්න.. පහුවෙනිදා උදේ අම්ම දොර අරිද්දි කොහේදෝ ඉඳල මූ එනවලු ගාට ගාට.. ඇවිත් අම්ම දිහා බලල එහෙමම ඉස්සරහ පඩියේ කැරකිලා වැටිලා.. වැටුනා වැටුනමයි.. එදා අපි ගෙදර හැමෝම මහා හයියෙන් ඇඩුව.. එදායින් එදා ආයෙත් බල්ලෙක් නම් හැදුවේ නෑ.. :'(

    ReplyDelete
    Replies
    1. අයියෝ කළණ... පපුව කඩංවැටුණ වගේ උනා ඒ කතාව කියවල. අපි කොච්චර අඩුවෙන්ද දන්නෙ බල්ලන්ගෙ ලෙඩ ගැන? පව් අප්ප... මගෙ පළවෙනි චූටි කුකුවත් මැරුණෙ අපි ප්‍රතිකාර නොදන්න ලෙඩකිං. මට ඌව මතක් උනා. මෙතන ඒ ගැන ලියල තව තවත් කියවන අයගෙ දුක වැඩි කරන්න හිතෙන් නෑ.

      Delete
  19. මිනිස්සුන්ව අඩවන්න එපා බන් ඔහොම ලියලා. මිනිස්සු ළඟ නැති මනුස්සකන් බල්ලෝ ගාව තියෙනවා...... (පුසන්ට මෙය අදාළ නැත :-D )

    ReplyDelete
    Replies
    1. ඇත්ත නුවන්... මනුස්සකං අං ගාව තියෙන්නෙ, උං පෙන්නන හැඟීම අව්‍යාජ නිසා. උන්ට බොරු කරන්ඩ බෑ. අනික උංගෙ තියෙන පරිණාමීය කණ්ඩායම් හැඟීම නිසා අපි එක්ක මාර ලෙංගතුකමක් ඇති කරගන්නව. පූසන්ට අදාළ නැත්තෙ උං පරිණාමීයවම තනි තනිව දඩයම් කරන සත්තු නිසා. උන්ට කණ්ඩායම් හැඟිමක් නෑ. උං ගැන අප්‍රිකානු කතාවක් මං ලියල තිබුණ... ආ මේ තියෙන්නෙ ඒක...
      https://drackey.blogspot.com/2017/06/blog-post_25.html

      Delete
  20. මමත් සත්තු නම් හදන්නේ නෑ බං.. හැබැයි උඹට දැනුන දුක තේරුම් ගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඇත්ත, පැත්තා... මම දන්නව උඹ ගාව ගොඩක් සහකම්පණය තියෙන බව. ගොඩක් ස්තූතියි හිත හැදෙන්න වචනයක් කොටපු එකට...

      Delete
  21. දුක හිතුනා.. ලස්සන දුක හිතෙන කතාවක්... බල්ලා ඔයාල ලඟම නැති වෙනවා නම් දුක වැඩි... ඔහොම වුන එක හොඳයි එක අතකට ...

    ReplyDelete
    Replies
    1. ඒක සාපේක්ෂයි අරු. අපි ළඟ මැරුණනං ඒ හොඳටම වයසට ගිහිං ස්වාභාවකව. ඒත් අපි හොයා බලපු නැතිකමිං - ඒ කියන්නෙ අපේ වැරැද්දෙං - අනතුරක් වෙලා මැරුණහම වරදකාරී හැඟමත් එක්ක එන දුක ඊට වැඩියි කියල හිතෙනව.

      ගොඩක් ස්තූතියි ිත හැදෙන වචනයක් කියන්න මේ පැ්තෙ ගොඩ උනාට.

      Delete
  22. අඩෝ ඩ්‍රැකී පට්ට දුකයි බං මාත් එකෙන්ම බල්ලොන්ට ආදෙරයි.
    උෟට නිවන් යන්න බැරි උනත් මනුස්ස ආත්මයක් වත් පතමු.

    ReplyDelete
    Replies
    1. මට තේරෙනව මද්දා... ගොඩක් ස්තූතියි මචං දුක බෙදාගන්න මේ පැත්තට ආවට...

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

හුදෙක් ආතල් එක සඳහා පමණි

ඩ්‍රැකියා වෙසක් කළාපය ලිය ලියා ඉන්න අතරෙ, හිතේ පොදි ගැහී තෙරපි තෙරපී තිබූ ආතල් කතා වස්තු ටිකක් පොසොන් කළාපයට කලින් එළියට දාන්න ම ඕනෙ කියලා හ...