Monday, October 22, 2018

ඒ කාලෙ ගැන කියවෙන කවි ටිකක්...

https://adaderanaenglish.s3.amazonaws.com/1447658294mom2.jpg

මං මේ කතාව පටං ගන්න හිතුවා හෙණ ගහන්නා වගේ එක පාරටම... එහෙනං ඔන්න.

ඒ කාලෙ ගෙල්වල ගෑණු උදවිය තරමක් වැඩිමහල් වෙච්ච දරුවොත් ඇන්න දවාලට කාල පැයකින් දෙකකින් විතර ඇදෙනව බඩවැටියට. නැත්තං ගම වටේ තිබ්බ ළඳු කැළෑවට. නැත්තං පසුකාලීනව ගමේම පෝසත් මිනිහෙකුට හෝ ඉස්කෝලෙ මහත්තේකුට අයිති පාලුවට ගියපු ඉඩමකට. ඔය යන උදවියගෙ ඉළක්ක කීපයක් තිබුණ. දර ටිකක් කඩාගෙන මිටියක් බැඳගන්න, ළමා ළපටින්ට ගඩා ගෙඩියක් දෙකක් කඩාගන්න, පහුවදට හරි එදා හවසට හරි උයාගන්න පලා ටිකක්, අල ගෙඩියක්, දෙල්, කොස් වගේ දෙයක් හොයාගන්න, පොල් අහුලගන්න, ඇලේ හරි පොල්අතු වලේ හරි දාල පොඟවගෙන වියාගන්න පොල් අතු අහුලගන්න...

බලන්න ඔය අත්දැකීම මේ පද හතරෙ කොයිතරම් සාරාංශගත වෙලා තියෙනවද, හැබැයි සාරාංශ කළා කියල අත්දැකීමෙන් බිඳක්වත් අඩු වෙලා තියෙනවද කියල...

"...අතට වෙරළු - ඇහිඳ ගෙනේ
ඉණට පළා - නෙළා ගෙනේ
බරටම දර - කඩා ගෙනේ
එයි අම්මා - විගසකිනේ..."

අපි පොඩි අවදියෙ අපේ අම්මලත් යන්න පුරුදු වෙලා හිටියා, වැලිවිට මහත්තෙයගෙ මුරවත්තට, එහෙම නැත්තං නිළමෙගෙ වත්තට, මුරවත්තට යන උදවියට ඒක මුර කරපු මුරකාරයගෙ උදව්වත් ලැබුණ. මට මතකයි ඒ මුරකාරයගෙ පැළේ ඉස්තෝප්පුවෙ එල්ලල තිබුණ  කූඩුවක කතා කරන ගිරවෙක් හරි මයිනෙක් හරි සැළලිහිණියෙක් හරි හිටියා, කාලෙන් කාලෙට. මුරකාරයත් ඔය විදිහට කාලෙන් කාලෙට වෙනස් වුනා. අම්මල, ළමයි විතරක් නෙවෙයි, අපේ තාත්තල බාප්පලත් ඔය වතුවලට යන්න පුරුදු වෙලා හිටිය. ඒ උදලු මිටක් - පොරෝ මිටක් කපාගන්න, අපේ බාප්පනං මුරකාරයත් එක්ක හීං අඩියක් ගහන්න, හාවෙක් මීමින්නෙක් දඩයම් කරගන්න, තාත්ත ගෙවත්තෙ හිටෝගන්න පැළයක් විදිහට හරි බේතකට ගන්න හරි මූනමල්, රසකිඳ, හීරැස්ස පලු... ආදී පැළෑටි හොයාගන්න...

ඔය අවදියෙ කොළඹ යනව කියන්නෙ රට යනව වගේ වැඩක්නෙ. ගොඩක් ළමයි ලොකු මහත් වුනාම කුඹුරු කොටන්න තමා බර. අපේ බාප්පත් සූර ගොවියෙක්. අපි පොඩි කාලෙ මුලු වත්ත පුරාම එයාගෙ එළවලු කොටු, බුලත්පාත්ති ආදිය පිරිල තිබුණ. ඒවගේම හරක්, එළුවොත් හැදුව. ඉගෙනගත්ත අය කොළඹ රස්සාවලට ගියා. හැමෝම නෙවෙයි. සිංහල පාඨශාලාවල ඉගෙනගෙන අට පාස් කරපු අය ඉස්කෝලෙ මහත්තුරු වුනානෙ, ඊට පස්සෙ ආව මධ්‍ය මහා විද්‍යාල. එව්වයෙ ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගත්ත, නායකත්වයක් ඇති , රටේ තොටේ කාරණා වැඩිය දැනගත්ත ගමේ සාමාන්‍ය පවුල්වල දරුවො කොළඹ ගිහිං එක්කො ලියන මහත්තුරු වුනා, එක්කො පියුං රස්සාව, නැත්තං කඩවල, හෝටල්වල වැඩ කළා.

කොළඹ යනව කියන්නෙ ගමේ උදවියට ලොකු හපං කමක්... මේ දරු නැළවිල්ල‍ෙ තියෙන්නෙ ඒක...

"...මගේ පුතා - හරි හපනා
දවසක කොළ - ඹට යනවා
පණං තුනක් - උපයනවා
එයින් එකක් - මට දෙනවා..."

(ඔතන පණං තුනක් වෙනුවට පවුං පහක් කියලත් සමහර පැතිවල කියනව)

ඔය කවියෙන් හදපු ලස්සන ගීතයක් නිතරම ඇහුණා අපි පුංචි සන්දියෙ - රූපා ඉන්දුමතී කියන්නෙ...

(MP3 සිංදුව මෙතනින් අහන්න පුළුවන්)

දරු නැළවිලි වල තියෙන තනුව හරියටම අල්ලගත්ත ගීතයක් තියෙනව වික්ටර් රත්නායක හදපු,

"ආදරයේ උල්පත වූ අම්මා - මා ඔබගේ පුතු වූ..."

මට ඕනෙ වුනේ දරු නැළවිලි වලින් පවා දැනෙන අපේ පැරණි සමාජයෙ සුවඳ ගැන ලියන්න. මේක ගොඩ කාලෙක ඉඳන් ලියන්න හිටියත්, එකපාරටම තිලිනි ෂැල්වින්ගෙ ෆේස්බුක් පෝස්ටුවකින් උනන්දුව අලුත් වුනා. (ඒ ටීචර් නෝනට ස්තූතියි)

නැළවිලි ගී කියමින් නිදි කරවන දරුවන්ගෙ පුංචි හිත් සෞන්දර්යයට යොමු වෙයි කියල මට හිතෙනව. සොඳුරු සිත් ඇති, කුතුහලයෙන් පිරුණු දරුවන් විදිහට ඒ අය ලොකු මහත් වේවි...

මෙන්න දරු නැලවිලි වලට ආස, අලුත උපන් දරුවන්ගෙ තාත්තලට, අම්මලට... මං හොයාගත්ත දරු නැළවිලි ටිකක්, ඔයගොල්ලත් දන්න දන්න නැලවිලි කමෙන්ට් විදිහට දැම්මොත් මේ ලිපිය පෝෂණය වෙයි කියල හිතෙනව...

https://cdn-images-1.medium.com/max/1600/1*bELod_P3sm1bkWr-Wgf61Q.jpeg


කුජිරි බජිරියේ බජිරි
බජිරි කුජිරි යේ කුජිරි
කුජිරි කුජිරි යේ බජිරි
බජිරි බජිරි යේ කුජිරි

(මේ කවියෙ තියෙන්නෙ තාල රසය විතරයි...)

දොයි දොයි දොයි දොයි දෙය්යෝ
බයි බයි බයි බයි දෙය්යෝ
දොයි දොයි බයි බයි දෙය්යෝ
නින්දක්‌ නිදි ගන් දෙය්යෝ

මගේ පුතා නැලවෙන්නේ
නැලවි නැලවි නිදියන්නේ
තොටිල්ල තාලෙට යන්නේ
සැම දෙවියනි රැකදෙන්නේ

මගේ පුතා රුවට රුවයි
දැක දැක ඉන්නට පිරියයි
මට ඇති එක මැණික නුඹයි
මගෙ පුතු එය දැන නැළවෙයි

ගිරා මලිති කොවුලන්නේ
සුමිහිරි හඬ අසමින්නේ
මඳ සුළඟයි මේ එන්නේ
මගේ පුතා නැළවෙන්නේ

කපුටු කාක් කාක් කාක්
ගොරක දේන් දේන් දේන්
අමුතු වාව් වාව් වාව්
කොට කිඹුලා වැට බිඳලා
ගෑ පොල් කුඩු ඌ කාලා
පිලට ගියා පිල ඇඳිරී
උච්ච කාක්කෝ

ඔ න් න බබෝ හොරු එන වා
අ ඬ න ලමයි අල්ලන වා
ක රේ තියා ගෙණ යන වා
උ න් විකුණා රා බොන වා

උත්තම ගුණ ඇති වේවා
ලත් තැන වැඩ සෑදේවා
උවදුරු බයකුත් නේවා
රෑ සඳ නුඹ රැකදේවා

ඔන්න බබෝ ඇතින්නියා
ගල් අරඹේ සිටින්නියා
ගලින් ගලට පනින්නියා
බබුට බයේ දුවන්නියා

ඔන්න බබෝ ඇතින්නියා
ගල් පොත්තේ සිටින්නියා
රණ උණබට   තලන්නියා
අත පිඹ පිඹ     දුවන්නියා

පුතා මගේ හරි හපනා
දවසට කොළඹට යනවා
පවුම් තිහක්‌ පඩි කනවා
ඉන් පවුමක්‌ මට දෙනවා

උඹෙ අම්මත් ඉතා කළුයි
නුඹෙ අප්පත් ඉතා කළුයි
නුඹ නලවන මාත් කළුයි
නුඹ විතරයි තල එළළුයි

බාලොලි ලොලි බාලොලියේ
බාල පුංචි ළමයින්නේ
අම්මා කොයිදෝ ඉන්නේ
නිම්මාවක් නැත උන්නේ

දෑතේ වළළුත් නැතිකෝ
දෙපයේ ගිගිරිත් නැතිකෝ
අප්පා එයි දැන් හනිකෝ
නාඩන් සුරතල් මැණිකෝ

නුඹෙ අම්මා කොතැන ගියා
කොහිල විලේ පතට ගියා
පත් උදුරා එන්ට ගියා
එන්ට නැතිව පමා ගියා

අඹර කුරක්කන් කළුවේ
ගලකට පිටි කොයි කළුවේ
රොටී එකක් උය කළුවේ
අම්මට දීපන් කළුවේ

තවත් එකක් උය කළුවේ
අප්පට දීපන් කළුවේ
මටත් එකක් දිය කළුවේ
උඹත් එකක් කා කළුවේ

සුරතල් දරු බිය වෙති
කුරුළු පැටවු නො හඩති
නැළවිල්ලෙන් කම් නැති
කිරිල්ලෝද සැතැ පෙති

තොටිල්ල සැම සුව පිරි
පැද්දෙයි තාලෙට සරි
අසමින් ගී සුමි හිරි
නිදන්නෑ පුත රන් කිරී

(ඉහළ කවි දෙකේ කුමරතුඟු මුනිදස් ගේ ලකුණ තියෙනව...)

අත්තක පිපි මලක්‌ ලෙසේ
මුද්දක බැඳි රුවක්‌ ලෙසේ
සත්තක මගෙ පුතුගෙ ඇසේ
නෙත් දෙක මගෙ පුතුගෙ දෙසේ

ලොවේ  පුතුන් බොහොම ඇතා
වඩා නැලෙව්වත් හඬතා
මගේ පුතා එහෙම නැතා
නඬා නිදියන්න පුතා

ලොවේ ළමයි නඩු කියතී
ගුටි අනිමින් සිර කරතී
කැට කැබලිති දඩ ගෙවතී
මගේ පුතා එහෙම නැතී

ආඩම්බර නොකර ඉතා
පාඩම් වුණු බිළිඳු කතා
මේ දැන් කී කවින් ඉතා
නාඩන් මගෙ බිළිඳු පුතා

කන්දක්‌ ගිනි ඇවිලෙන්නේ
හැන්දක්‌ කිරි බීපන්නේ
නැන්දත් නුඹ නලවන්නේ
නින්දක්‌ නිදියා ගන්නේ

පුතේ නුඹේ ලොකු අම්මා
අතේ වළල්ලක් දැම්මා
නැතේ සෙනේ එහි නිම්මා
නිදන්න පුත දොයියම්මා..

අත්තනගලු ගල මුදුනේ
සිරිසඟබෝ රජ එමිනේ
හිස දන් දුන් එදැන ගෙනේ
සාදු කියාපන් පුතුනේ

සී මට දැන් සිතුනි පුතේ
කෑමට පොල් හකුරු ඇතේ
දීමට රුපියල් දෑතේ
මාමාට වැඳපන්න පුතේ

මේ තව අම්ම කෙනෙක්ගෙ කවි...  (උපුටා ගැනීම - අරුණ ශාන්ත උඩුගත කරන ලද යූටියුබ් වීඩියෝවකින්)


හුදෙක් ආතල් එක සඳහා පමණි

ඩ්‍රැකියා වෙසක් කළාපය ලිය ලියා ඉන්න අතරෙ, හිතේ පොදි ගැහී තෙරපි තෙරපී තිබූ ආතල් කතා වස්තු ටිකක් පොසොන් කළාපයට කලින් එළියට දාන්න ම ඕනෙ කියලා හ...