https://adaderanaenglish.s3.amazonaws.com/1447658294mom2.jpg |
මං මේ කතාව පටං ගන්න හිතුවා හෙණ ගහන්නා වගේ එක පාරටම... එහෙනං ඔන්න.
ඒ කාලෙ ගෙල්වල ගෑණු උදවිය තරමක් වැඩිමහල් වෙච්ච දරුවොත් ඇන්න දවාලට කාල පැයකින් දෙකකින් විතර ඇදෙනව බඩවැටියට. නැත්තං ගම වටේ තිබ්බ ළඳු කැළෑවට. නැත්තං පසුකාලීනව ගමේම පෝසත් මිනිහෙකුට හෝ ඉස්කෝලෙ මහත්තේකුට අයිති පාලුවට ගියපු ඉඩමකට. ඔය යන උදවියගෙ ඉළක්ක කීපයක් තිබුණ. දර ටිකක් කඩාගෙන මිටියක් බැඳගන්න, ළමා ළපටින්ට ගඩා ගෙඩියක් දෙකක් කඩාගන්න, පහුවදට හරි එදා හවසට හරි උයාගන්න පලා ටිකක්, අල ගෙඩියක්, දෙල්, කොස් වගේ දෙයක් හොයාගන්න, පොල් අහුලගන්න, ඇලේ හරි පොල්අතු වලේ හරි දාල පොඟවගෙන වියාගන්න පොල් අතු අහුලගන්න...
බලන්න ඔය අත්දැකීම මේ පද හතරෙ කොයිතරම් සාරාංශගත වෙලා තියෙනවද, හැබැයි සාරාංශ කළා කියල අත්දැකීමෙන් බිඳක්වත් අඩු වෙලා තියෙනවද කියල...
"...අතට වෙරළු - ඇහිඳ ගෙනේ
ඉණට පළා - නෙළා ගෙනේ
බරටම දර - කඩා ගෙනේ
එයි අම්මා - විගසකිනේ..."
අපි පොඩි අවදියෙ අපේ අම්මලත් යන්න පුරුදු වෙලා හිටියා, වැලිවිට මහත්තෙයගෙ මුරවත්තට, එහෙම නැත්තං නිළමෙගෙ වත්තට, මුරවත්තට යන උදවියට ඒක මුර කරපු මුරකාරයගෙ උදව්වත් ලැබුණ. මට මතකයි ඒ මුරකාරයගෙ පැළේ ඉස්තෝප්පුවෙ එල්ලල තිබුණ කූඩුවක කතා කරන ගිරවෙක් හරි මයිනෙක් හරි සැළලිහිණියෙක් හරි හිටියා, කාලෙන් කාලෙට. මුරකාරයත් ඔය විදිහට කාලෙන් කාලෙට වෙනස් වුනා. අම්මල, ළමයි විතරක් නෙවෙයි, අපේ තාත්තල බාප්පලත් ඔය වතුවලට යන්න පුරුදු වෙලා හිටිය. ඒ උදලු මිටක් - පොරෝ මිටක් කපාගන්න, අපේ බාප්පනං මුරකාරයත් එක්ක හීං අඩියක් ගහන්න, හාවෙක් මීමින්නෙක් දඩයම් කරගන්න, තාත්ත ගෙවත්තෙ හිටෝගන්න පැළයක් විදිහට හරි බේතකට ගන්න හරි මූනමල්, රසකිඳ, හීරැස්ස පලු... ආදී පැළෑටි හොයාගන්න...
ඔය අවදියෙ කොළඹ යනව කියන්නෙ රට යනව වගේ වැඩක්නෙ. ගොඩක් ළමයි ලොකු මහත් වුනාම කුඹුරු කොටන්න තමා බර. අපේ බාප්පත් සූර ගොවියෙක්. අපි පොඩි කාලෙ මුලු වත්ත පුරාම එයාගෙ එළවලු කොටු, බුලත්පාත්ති ආදිය පිරිල තිබුණ. ඒවගේම හරක්, එළුවොත් හැදුව. ඉගෙනගත්ත අය කොළඹ රස්සාවලට ගියා. හැමෝම නෙවෙයි. සිංහල පාඨශාලාවල ඉගෙනගෙන අට පාස් කරපු අය ඉස්කෝලෙ මහත්තුරු වුනානෙ, ඊට පස්සෙ ආව මධ්‍ය මහා විද්‍යාල. එව්වයෙ ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගත්ත, නායකත්වයක් ඇති , රටේ තොටේ කාරණා වැඩිය දැනගත්ත ගමේ සාමාන්‍ය පවුල්වල දරුවො කොළඹ ගිහිං එක්කො ලියන මහත්තුරු වුනා, එක්කො පියුං රස්සාව, නැත්තං කඩවල, හෝටල්වල වැඩ කළා.
කොළඹ යනව කියන්නෙ ගමේ උදවියට ලොකු හපං කමක්... මේ දරු නැළවිල්ලෙ තියෙන්නෙ ඒක...
"...මගේ පුතා - හරි හපනා
දවසක කොළ - ඹට යනවා
පණං තුනක් - උපයනවා
එයින් එකක් - මට දෙනවා..."
(ඔතන පණං තුනක් වෙනුවට පවුං පහක් කියලත් සමහර පැතිවල කියනව)
ඔය කවියෙන් හදපු ලස්සන ගීතයක් නිතරම ඇහුණා අපි පුංචි සන්දියෙ - රූපා ඉන්දුමතී කියන්නෙ...
(MP3 සිංදුව මෙතනින් අහන්න පුළුවන්)
දරු නැළවිලි වල තියෙන තනුව හරියටම අල්ලගත්ත ගීතයක් තියෙනව වික්ටර් රත්නායක හදපු,
"ආදරයේ උල්පත වූ අම්මා - මා ඔබගේ පුතු වූ..."
මට ඕනෙ වුනේ දරු නැළවිලි වලින් පවා දැනෙන අපේ පැරණි සමාජයෙ සුවඳ ගැන ලියන්න. මේක ගොඩ කාලෙක ඉඳන් ලියන්න හිටියත්, එකපාරටම තිලිනි ෂැල්වින්ගෙ ෆේස්බුක් පෝස්ටුවකින් උනන්දුව අලුත් වුනා. (ඒ ටීචර් නෝනට ස්තූතියි)
නැළවිලි ගී කියමින් නිදි කරවන දරුවන්ගෙ පුංචි හිත් සෞන්දර්යයට යොමු වෙයි කියල මට හිතෙනව. සොඳුරු සිත් ඇති, කුතුහලයෙන් පිරුණු දරුවන් විදිහට ඒ අය ලොකු මහත් වේවි...
මෙන්න දරු නැලවිලි වලට ආස, අලුත උපන් දරුවන්ගෙ තාත්තලට, අම්මලට... මං හොයාගත්ත දරු නැළවිලි ටිකක්, ඔයගොල්ලත් දන්න දන්න නැලවිලි කමෙන්ට් විදිහට දැම්මොත් මේ ලිපිය පෝෂණය වෙයි කියල හිතෙනව...
https://cdn-images-1.medium.com/max/1600/1*bELod_P3sm1bkWr-Wgf61Q.jpeg |
කුජිරි බජිරියේ බජිරි
බජිරි කුජිරි යේ කුජිරි
කුජිරි කුජිරි යේ බජිරි
බජිරි බජිරි යේ කුජිරි
(මේ කවියෙ තියෙන්නෙ තාල රසය විතරයි...)
දොයි දොයි දොයි දොයි දෙය්යෝ
බයි බයි බයි බයි දෙය්යෝ
දොයි දොයි බයි බයි දෙය්යෝ
නින්දක් නිදි ගන් දෙය්යෝ
මගේ පුතා නැලවෙන්නේ
නැලවි නැලවි නිදියන්නේ
තොටිල්ල තාලෙට යන්නේ
සැම දෙවියනි රැකදෙන්නේ
මගේ පුතා රුවට රුවයි
දැක දැක ඉන්නට පිරියයි
මට ඇති එක මැණික නුඹයි
මගෙ පුතු එය දැන නැළවෙයි
ගිරා මලිති කොවුලන්නේ
සුමිහිරි හඬ අසමින්නේ
මඳ සුළඟයි මේ එන්නේ
මගේ පුතා නැළවෙන්නේ
කපුටු කාක් කාක් කාක්
ගොරක දේන් දේන් දේන්
අමුතු වාව් වාව් වාව්
කොට කිඹුලා වැට බිඳලා
ගෑ පොල් කුඩු ඌ කාලා
පිලට ගියා පිල ඇඳිරී
උච්ච කාක්කෝ
ඔ න් න බබෝ හොරු එන වා
අ ඬ න ලමයි අල්ලන වා
ක රේ තියා ගෙණ යන වා
උ න් විකුණා රා බොන වා
උත්තම ගුණ ඇති වේවා
ලත් තැන වැඩ සෑදේවා
උවදුරු බයකුත් නේවා
රෑ සඳ නුඹ රැකදේවා
ඔන්න බබෝ ඇතින්නියා
ගල් අරඹේ සිටින්නියා
ගලින් ගලට පනින්නියා
බබුට බයේ දුවන්නියා
ඔන්න බබෝ ඇතින්නියා
ගල් පොත්තේ සිටින්නියා
රණ උණබට තලන්නියා
අත පිඹ පිඹ දුවන්නියා
පුතා මගේ හරි හපනා
දවසට කොළඹට යනවා
පවුම් තිහක් පඩි කනවා
ඉන් පවුමක් මට දෙනවා
උඹෙ අම්මත් ඉතා කළුයි
නුඹෙ අප්පත් ඉතා කළුයි
නුඹ නලවන මාත් කළුයි
නුඹ විතරයි තල එළළුයි
බාලොලි ලොලි බාලොලියේ
බාල පුංචි ළමයින්නේ
අම්මා කොයිදෝ ඉන්නේ
නිම්මාවක් නැත උන්නේ
දෑතේ වළළුත් නැතිකෝ
දෙපයේ ගිගිරිත් නැතිකෝ
අප්පා එයි දැන් හනිකෝ
නාඩන් සුරතල් මැණිකෝ
නුඹෙ අම්මා කොතැන ගියා
කොහිල විලේ පතට ගියා
පත් උදුරා එන්ට ගියා
එන්ට නැතිව පමා ගියා
අඹර කුරක්කන් කළුවේ
ගලකට පිටි කොයි කළුවේ
රොටී එකක් උය කළුවේ
අම්මට දීපන් කළුවේ
තවත් එකක් උය කළුවේ
අප්පට දීපන් කළුවේ
මටත් එකක් දිය කළුවේ
උඹත් එකක් කා කළුවේ
සුරතල් දරු බිය වෙති
කුරුළු පැටවු නො හඩති
නැළවිල්ලෙන් කම් නැති
කිරිල්ලෝද සැතැ පෙති
තොටිල්ල සැම සුව පිරි
පැද්දෙයි තාලෙට සරි
අසමින් ගී සුමි හිරි
නිදන්නෑ පුත රන් කිරී
(ඉහළ කවි දෙකේ කුමරතුඟු මුනිදස් ගේ ලකුණ තියෙනව...)
අත්තක පිපි මලක් ලෙසේ
මුද්දක බැඳි රුවක් ලෙසේ
සත්තක මගෙ පුතුගෙ ඇසේ
නෙත් දෙක මගෙ පුතුගෙ දෙසේ
ලොවේ පුතුන් බොහොම ඇතා
වඩා නැලෙව්වත් හඬතා
මගේ පුතා එහෙම නැතා
නඬා නිදියන්න පුතා
ලොවේ ළමයි නඩු කියතී
ගුටි අනිමින් සිර කරතී
කැට කැබලිති දඩ ගෙවතී
මගේ පුතා එහෙම නැතී
ආඩම්බර නොකර ඉතා
පාඩම් වුණු බිළිඳු කතා
මේ දැන් කී කවින් ඉතා
නාඩන් මගෙ බිළිඳු පුතා
කන්දක් ගිනි ඇවිලෙන්නේ
හැන්දක් කිරි බීපන්නේ
නැන්දත් නුඹ නලවන්නේ
නින්දක් නිදියා ගන්නේ
පුතේ නුඹේ ලොකු අම්මා
අතේ වළල්ලක් දැම්මා
නැතේ සෙනේ එහි නිම්මා
නිදන්න පුත දොයියම්මා..
අත්තනගලු ගල මුදුනේ
සිරිසඟබෝ රජ එමිනේ
හිස දන් දුන් එදැන ගෙනේ
සාදු කියාපන් පුතුනේ
සී මට දැන් සිතුනි පුතේ
කෑමට පොල් හකුරු ඇතේ
දීමට රුපියල් දෑතේ
මාමාට වැඳපන්න පුතේ
මේ තව අම්ම කෙනෙක්ගෙ කවි... (උපුටා ගැනීම - අරුණ ශාන්ත උඩුගත කරන ලද යූටියුබ් වීඩියෝවකින්)
හූ හූ...
ReplyDeleteආව නේද පළවෙනි කමෙන්ට් එක දාන්න. ඇද්ද...?? ඇද්ද...??
මහලොකුවට පළවෙනි කමෙන්ට් එක දැම්මට මොකද, රිප්ලයි කරන්න ආවෙ දවස් තුනකට පස්සෙ.
Deleteඅපි ටිකක් ලොකු වෙනකම්ම ඒ කියන්නේ පහේ පන්තියට යනකම් වගේ ලිපියේ පළවුණු සමහර කවි වලට අමතරව අපේ අම්මා අපිට නින්ද යනකම් මහින්ද හාමුදුරුවන්ගේ ජාතික තොටිල්ලෙ කවි කියන්න පුරුදු වෙලා හිටියා.
ReplyDeleteමුනි සිරිපා සිඹිමින්නේ
සමනොළ ගිරි පෙදෙසින්නේ
සඳ සුළගයි මේ එන්නේ
මගේ පුතා නැළැවෙන්නේ
නිදහස මහ මුහුදක් වේ
එහි උල්පත පුත නුඹ වේ
ඒ බව සිහි කොට මෙලොවේ
යුතුකම ඉටු කළ යුතු වේ
ස්තූතියි මේ ලිපිය වෙනුවෙන්....
https://www.youtube.com/watch?v=PEvHvXVTZ3c
Deleteසඳවතිය,
Deleteගොඩක් ස්තූතියි. පුතා උපන්න දවස්වල මං ඔය කවි පන්තිය ප්‍රින්ට් කරලා තියාලෙන හිටියා. දවසක් පුතා අත් දෙකේ තියාගෙන පද්ද පද්දා ඔය කවිපන්තිය ගායනා කළා. ඉවර වෙද්දි පුතා නිදි, අත්දෙක රිදෙනව හොඳ ගාණට.
කාට හරි ඕනෙ උනොත් කියලා ජාතික තොටිල්ල මේං...
https://ia800600.us.archive.org/1/items/niratou_gmail/%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%20%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD.pdf
ප්‍රසන්න,
ඒක ඇත්තටම ලස්සන නිර්මාණයක් තමා. මතකද, ඕකෙ අත්වැල් ගායනා කළේ ලක්ෂ්මන් විජේසේකරයි, එඩ්වඩ් ජයකොඩියි. ඒ ඔරිජිනල් වීඩියෝ එක හොයාගන්න නැද්ද?
අනික් වර්ෂන් එක සුනිල් ගවෙස්කාර්ගෙ. මේ තියෙන්නෙ...
https://www.youtube.com/watch?v=y0JoHkoEYFo
අපි පොඩි කාලේ ඔහොම යන වත්තක් තිබුනා අපි කිව්වේ නොතාරිස් හේන කියල. ඒ අපේ ලොකු අම්මලාගේ ගෙවල් කිට්ටුව. ඊට පස්සේ අපේ ගෙවල් පැත්තේ වෙලත් එක්ක තව පොඩි කැලෑවක් තිබ්බ හේන කියල... ඇත්තටම අමුතුම කාලයක් ඒක... නොතාරිස් හේන දැන් ෆැක්ටරියක්. හේනට නම් මොනවා වෙලාද දන්නේ නෑ... මිනිස්සු ගෙවල් හදල ද කොහෙද..
ReplyDeleteඅපි ට පොඩි කාලේ ඔය අත්දැකීම් ලැබිච්ච එක වාසනාවක් කියල හිතෙනවා. එන්න තව අවුරුදු 10ක් පරක්කු වුනා නම් මිස් වෙනවා... හෙහ් හෙහ්
ඇත්තට... ලොකු ඉඩම් කට්ටි කරන්න පටං ගත්තෙ ඔය කාලෙ. ඒ වගේම මිනිස්සුන්ගෙ පරිභෝජන රටාවත් වෙනස් වුනා. ඕකයි හේතුව. ගමේ පාර කාපට් කරල තියෙන්නෙ දැන්. පාර දෙපැත්තෙ හෙවණට තිබුණු කොස් ගස්, ගොඩපර ගස්, තේක්ක ගස් කපලා හයිටෙන්ෂන් ලයින් ඇදල තියෙන්නෙ. ඉස්සර පාරෙ ක්‍රිකට් ගහපු කොල්ලංගෙ ළමයි දැං කම්පියුටර් ගේම් ගහන්නෙ. ඉස්සර බයිසිකලේ නැගල වැඩ දාන අපේ යෙියලගෙ ළමයි දැං හීන මවන්නෙ FZ එකක් ගන්න.
Deleteකාලය මැව් වෙනස තමා ඉතිං... ඕකම අපේ තාත්තලත් කියන්න ඇති අපි පොඩි කාලෙ කරපු දේවල් දැකල.
මේක හරි ලස්සන සටහනක්. ඩ්‍රැකී කියලා තියෙන මේ කවිවලින් ගොඩක් ඒවා මාත් මගේ පැංචාට කියනවා. මීට අමතරව අපේ අම්මා කියනවා 'බුද්ධං සරණයි පුතු හට...' ඒ විදිහට තෙරුවන් පිහිට ලැබෙන කවියක්, නැළවිලි ගී තාලෙට. පැංචාගේ තාත්තාත් ඒ වාගේ එකක් කියනවා 'බුදු සරණ ලැබේවා...' කියලා.
ReplyDeleteඅපි පුංචි කාලේ මට මතකයි අපේ ආච්චි 'දන්නෝ බුදුන්ගේ', 'සිරිපාදේ සමනළ කන්ද පෙනේ' වාගේ පරණ සින්දු කියනවා. අපි ඒවාටත් නැළවෙනවා.
මේවාට අමතරව තව මම කියනවා ජාතික තොටිල්ලේ කවි, නන්දා මාලිනී මහත්මියගේ 'හඳ මාමා' - අපි පුංචි කාලේ අහපු ගීත එකතුවේ ගීත. තව, පැංචාගේ පුංචි දවස්වල අපේ තාත්තා හොයලා දීපු මෙන්න මේ නැළවිලි ගීත ටික. අහං ඉන්න හරිම ලස්සනයි. ඒවායෙන් මම ආසම කවිවල වචන මෙතන ලියන්නම්කෝ.
මල් සුවඳයි සුළඟ ගෙනා
කිරි සුවඳයි පුතුගෙ සිනා
අනන්ත දෙවිවරුන් ගෙනා
පුතු මාගෙයි සසර පුරා
සුදුම සුදුයි වළාකුළේ නිදියනවා පුතා මගේ
ඈත හඳේ හා පැටියා නිදියනවා පුතා වගේ
තරු නිවිලා නිල් අහසේ නිදියනවා පුතා වගේ
මගෙ පැටියා ඇහැරෙනවා හෙට උදයේ මලක් වගේ
ඔය කවි දෙක ඩ්‍රැකියානිගෙත් ප්‍රියතම කවි... ගොඩක් ස්තූතියි සඳහන් කළාට.
Deleteඔය කවි සෙට්එක අපි ෆෝන් එකේ දාලා, පුතාට නින්ද ගියාම ඇහෙන්න දානව. අපිටත් සනීපෙට නින්ද යනව... :-)
ඇත්තට මාර හෘදයංගමයි ඒ කවිය... "මගෙ පැටියා ඇහැරෙනවා හෙට උදයේ මලක් වගේ..."
මේ මම ම ලියපු එකක්, අමතක වුණානේ බෙදාගන්න. :)
Deleteසඳ වටකර රෑ අහසේ රන් තරු කැට බබළන්නේ
මඳ සුළඟේ දැවටීලා තුරු ලිය ගී මුමුණන්නේ
සුදු පාටින් බැබලි බැබලි මල් කුමරියො හිනැහෙන්නේ
ඒ මිහිරෙන් මගෙ රන්කැටි පුතු නැළැවී නිදියන්නේ
සඳ එළියේ පුළුන් වළා ඔරුවකි අර පා වෙන්නේ
එහි නැගිලා සුරංගනාවියො පොළොවට පැමිණෙන්නේ
පිණි ඉහිරුණු තණ බිස්සේ වළා ඔරුව නැවතෙන්නේ
සුරංගනා කුමරියො ඉන් බැස මේ දෙසටයි එන්නේ
හෙමිහිට රැළි නැගෙනා විල් තෙර මඳකට නවතින්නේ
දෝත පුරා කුමුදු නෙළා මල් මාලා අමුණන්නේ
ඒ මල් ගෙන සිනා සිසී හෙමිහිට පා තබමින්නේ
මා පුතු දෙස එබිකම් කර හොර රහසෙන් මුමුණන්නේ
සඳ කුමරුන් පරදන රුව ඇති මා රන් කැටි පුතුනේ
සඳ එළියක් සේ ලොවටම මිහිර ගෙනෙන මගෙ පුතුනේ
සුර ලියන්ගෙ කුමුදු මලින් කිරුළු පලන් කුමරුවනේ
නුඹේ සිනා අප ලොව නිති සුවඳ කුසුම් පුබුදන්නේ
ඒක එක හුස්මට කියව්වා... පපුව ටිකක් හිර වුනා වගේ දැනුනා. ඇත්තට ඒක මාර හැඟීමක් දරුවො ගැන මව්පියන්ට දැනෙන හැඟිම...
Deleteගොඩක් ස්තූතියි බෙදා ගත්තට. ගොඩක් පිං!
https://books.google.lk/books/about/Sinhala_Verse_kavi_Collected_by_Hugh_Nev.html?id=9WCgswEACAAJ&redir_esc=y
ReplyDeleteWow...! Hugh Nevil did that too?
Deletei met him first at the Bitter Berry by Christine Wilson. little did I knew that it was a tribute to the real man.
අපේ අම්මා කිව්වා මේ වගේ කවියක්...
ReplyDeleteදොයි දොයිය බබා,
බයි බයිය බබා..
මගේ චූටී පුතා
චූටි සමනලයින් අහසේ පියඹනවා,
පුතු එක්කලා උන් අන්න හිනැහෙනවා,
පුතුට අමතනවා,
පුතුට හිනහෙනවා,
ඉතුරු ටික මතක නැහැ.. මේ ලිපියට ස්තූතියි.
ගොඩක් ස්තූතියි... ඒකෙ තාලෙ තමයි හිතාගන්න බැරි... ගොඩක් වෙලාවට ඔයාගෙ අම්මගෙම නිර්මණයක් වෙන්නැති. ඒ කාලෙ අම්මල ගොඩක් තමන්ගෙ දරුවො වෙනුවෙන් නිර්මාණ කළා විවිධ විදිහෙ...
Deleteහිරු ගෙනවිල්ලා පුතු ළඟ
ReplyDeleteතනියට තියලා
උදේ රැයින් පිට වීලා
හවසට එන්නම්...
උසට උසේ විහිදී ඇති
වතුකරයේ තේ නිල්ලේ
බට කූඩය පිට බැඳගෙන
නිය රඳවා තේ දල්ලේ
මිහිදුම් සළු පීරාගෙන
සේවය කර කඳුලැල්ලේ
අතට ලැබෙන දෙයින් ගෙනෙමි
පුතාට කිරි රස ලොල්ලේ
පුතාට කිරි රස ලොල්ලේ...
පුතේ නුඹේ ලොකු අම්මා
අතේ වළල්ලක් දැම්මා
කුසේ දැණෙන ගිණි නිම්මා
නිවා දමයි නුඹෙ අම්මා
පියා නොමැති මගෙ පුතුගේ
කුස ගින්දර නිවාලන්න
හැම දෙවියෝ පිහිට වේවි
හැන්දෑවට ගෙදර යන්න
හැන්දෑවට ගෙදර යන්න...
හිරු ගෙනවිල්ලා......
ගායනය - ශ්‍රීමතී තිලකරත්න
සංගීතය - වික්ටර් රත්නායක
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්
http://www.infolanka.com/miyuru_gee/qqq/q106.ra
Deleteමෙන්න සිංදුව අහනවනං බාගෙන අහන්න ලිංක් එක...
ඒ වගේම ලස්සන සිංදුවක් තිලිනි ෆේස්බුක් එකේ දාල තිබුණා...
ඈත එපිට සඳ වටකර තරු පායනවා
බිංදු බිංදු රන් තරු කැට කඩා වැටෙනවා
සීත හිමේ මල් වරුසා වැස්ස වහිනවා
බිළිඳු ටිකිරි පුතා නිදා ගන්න හදනවා...//
රෝස කැලේ රෝස පොකුරු මල් හිනැහෙනවා
ඒ පෙති ගෙන රන් ඔන්චිල්ලාව බඳිනවා...//
සඳ රැස් රේඛාවෙන් ලණු දෙපට වියනවා
පදවන්නැයි සුලං කුමාරියට කියනවා...//
අරුණෝදේ පුතුගෙ පියා ගෙදරින් යනවා
රට රකින්න රන් දහඩිය කඳුලු හෙලනවා...//
හැන්දෑවට පුතුගෙ සිනා මූණ දකිනවා
රන් දහඩිය බිංදු ඉබේ මැකිලා යනවා...//
ඉන්ද්‍රාණි විජේබණ්ඩාර කට උල්කර ගයන ගීතයකි...
දැන් ඉන්න උංට කොහෙද බං නැලවිලි ගී අහන්න වෙලාවක්. මොට්ටසෝරියෙ ඉඳලම ටියුෂන් ගී තමයි අහන්න වෙන්නෙ.
ReplyDeleteඅපේ කාලෙනං ඔහොම දර අහුලන්න පොල් අහුලන්න යන්න තිබුණෙ අපේ වත්තම තමයි. හැක්..
ඒකනෙ... ඇත්තට ටියුෂන්වලින් හදන ළමයි දැක්කම අපේ ළමයින්ගෙ අනාගතේ ගැන බය හිතෙනව. උන් පාතබන්නෙ මොනතරම් තරගකාරී ආත්මාර්ථකාමී මිනිස්සු ඉන්න සමාජයකටද කියල...
Deleteඅනික, අපේ වත්තෙ னයෙකුත් නොහිටියම නෙමෙයි.
ReplyDeleteමටත් මතකයි අපේ ගමේ තිබුණු ලොකු වතු වල පොල්ගස්වල නයි ඇඳල තිබුණ, මීයො බයකරන්න...
Deletehttp://kolaputha.blogspot.com/2015/04/blog-post_7.html
ReplyDeleteමමත් ඔතෙන්ට ගියා... කවි ටිකක් අහුලගත්තා. ලිංක් දැම්මෙ නෑ... ස්තූතියි.
Deleteමට මතක් වුණේ මේවා ඇසුරෙන් හැදුනු ගී ටිකක්. 'ලොව රකිනා මුරුසුපතන්' සින්දුව නම් පරණ නිසා ගායිකාව දන්නේ නැහැ. නන්දා මාලිනී ගයන 'රුවන් වලා දුහුල් කඩින්', හෙන්රි කල්දේරාගේ 'තත් තත් තත් තාර පැටිය', ලතාගේ 'දොයි දොයි දොයි', 'සුදට සුදේ', 'අම්මලා දුක් ගන්නේ', සුජාතාගේ 'ගාමිණි මෑණි', 'නැන්දගෙ තුරුල්ලේ', සුමිත් අහංගමගේ 'සුවඳයි මුවේ මල්පැණි', ශ්‍රීමතී තිලකරත්නගේ 'වැටි වැටි ඇවිදින' එක පාරම ඔළුවට ආ ඒවා!
ReplyDeleteහොඳ එකතු කිරීමක් නිදි... අර කියල තියෙන මුල්ම සිංදුව මට හොයාගන්න බෑනෙ? අනික් එව්වයින් ගොඩක් මම පොඩි කාලෙ අහල තියෙනව. ආපහු අතීතයට ගියා එව්ව එක්ක... ගොඩක් ස්තූතියි
Deleteඔව් ඉස්සර අපේ අම්මලත් ගිය කුරුන්දෙ දර අහුලන්න.. කුරුඳු ඉපල් දරට කියාපු ජාතිය.. සට සට ගාලා ඇවිලෙනවා...
ReplyDeleteකවිනම් කියුවෙ නෑ.. ඕප දූප තමා කතා කළේ.. හෙහ් හෙහ්...
පළතුරුනම් ලොකුවට තිබුනේ නෑ.. වැටිලා තිබුනු දං ටිකක් හැරුනම.. ඉදිච්ච කොවක්කා ගෙඩියක් දෙකක් හොයා ගන්න බැරිකමක් තිබුනේ නෑ.. කජු වාරෙට කජු තිබුනා, හැබැයි කජුත් එක්ක මුර කාරයෙකුත් එනවා කුරුන්දට..
එතකොට තාත්තලගේ ගමේ, ආච්චිලා, නැන්දලා එහෙම පොල් අහුලන්න, දර අහුලන්න ගියේ රෑනගල කියන පොල් වත්තට.. එකෙනම් සීනි පේර යායක් තිබුනා.. අඹත් තිබුනා, කජුත් තිබුනා.. මුර කාරයෙක් හිටියේ නැද්ද මංදා.. කවි නම් කියුවේ නෑ.. :D
ඔය කුරුන්ද කිව්වෙ අර අවාරෙට පෝස්ට් වැටෙන අඩවිය නේද?
Deleteකවුද බං කිව්වෙ ළන්දට දර අහුලන්න ගියාම කවි කියනව කියල? ඔය වතු වල "අමු" තිබුණද?
නෑ ඒක නෙමේ.. මේක කුරුඳු වත්තක් :)
Deleteඅමු? මම දැකලවත් නෑ අමු.
https://aththammageathbeheth.blogspot.com/2017/05/paspalum-scrobiculatumvaragu.html
Deleteඈ ප්‍රසන්න, කොපිරයිට් නැතුව නේද මෙතන ලිංක් එක දැම්මෙ? ඔය යෝදි උඹට නඩු දායි...
Deleteමොනව උනත් මාර විස්තරයක් ප්‍රසන්න. මාත් දැනං උන්නෙ නෑ ඔය ගැන. කතාවට අමු, කොල්ලු, මනේරි... කියල කිව්වට, ඒ කියන්නෙ මේ අමු ගැනමයි කියල දැනං උන්නෙ නෑ.
සෙන්නො, ඔය තියෙන්නෙ ප්‍රසන්න දාලා... වේලල කාහං... :)
උගෙ ලින්ක් එක අමු නෑ, වේලිලා.. කෙටුවට වැඩකරන්නෑ...😀
Deleteනෑ වැඩ! මං දැනුත් ගිහිං ආවෙ...
Deleteසෙන්නට අමු වේලිලා කැවිල. හැක්..
Deleteඋෟත් විදානෙ වගේ සපත්තු මාරුකරල දාගෙනද කොහෙද...
Deleteවවුලට னයා ගහලද?
ReplyDeleteනෑ නයෝ... ප්‍රශ්න පිට ප්‍රශ්න...!
Deleteඔය දෙකටම නැති හයිබ්‍රිිිිඩ් ලයිෆ් එකක් ගෙවපු 90න්ටීස්ල අපි
ReplyDeleteඑයිටීස් තමයි නියම...! අපි කාටුන් කියලත් බැලුවෙ "ගනුදෙනු" වගේ අධ්‍යාපනික එව්ව.
Deleteකෙටල පටානෝ නිතරම උඩ යට යානෝ
ReplyDeleteකැළණි ගඟානෝ නිතරම වතුර ගලානෝ
උගුඩු මොටානෝ නිතරම කිතුලෙ නටානෝ
කෙඳිරි ගගානෝ නිතරම අප රවටානෝ
ඇටිකිති ජානෝ නිතරම ජෙක ජෙක ගානෝ
අඬු දිග ජානෝ දිය පිට පැන පැන යානෝ....
කෙඳිරි ගගානෝ???
Deleteඔයිට සමාන එකක් ලියන්න මතක් කළේ... මට නිතරමකවි වල දෙවෙනි හරි තුන් වෙනි හරි පදේ අමතක වෙනවා. මතක හැටියට ලියන්නං.
"මල්ලියි මමයි අමිතිරිගල ගියෙම්මා
...........................
මොණරමාලු උඩුහල්ලේ තියෙම්මා
අපට මාලු අලකොළ දෙයි කුඩම්මා"
මොණර මාළු උඩහල්ලේ නොවෙද තියෙන්නේ
ReplyDeleteඅපට මාළු අළකොල දෝ අදත් කුඩම්මේ..
කපුගේ කියන සිංදුවක්නෙ. අර කෙටල පටානෝ ගැනත් එයා සිංදුවක කියනව මට මතකයි...
Deleteආයමත් ලියන්නකෝ ඇගකිලිපොලා යන කතාවක්
ReplyDeleteඇඟ කිළිපොලා ගිහිං තියෙන්නෙ මේදවස්වල... හරිගියාම ලියන්නං...
Deleteහුගක් මහන්සිවෙලා තියෙන පාටයි ලිපිය ලියන්න . දන්න කවි වගේම නොදන්න කවි බොහෝමයි . පරියේෂනයක් කරන කෙනෙකුට ඉතා වැදගත් වෙනවා . ඇන් ඉන්න අම්මලා නම් කවි දන්නෙත් නෑ ්
ReplyDeleteවිචාරක දියණිය
ඇත්තටම මේකට නම් මහන්සි උනේ නෑ එච්චර. කාලයක් තිස්සෙ හිතේ ඩිවලොප් වෙවී තිබුණ දෙයක් තිලිණි ශැල්වින්ගෙ පෝස්ට් එකෙන් පණ ලබලා, එකහුස්මට ලියපු එකයි.
Deleteගොඩක් ස්තූතියි අගය කිරීමට. මට ඕනෙ වුනේ හැම දෙයක්ම එකතැනකට එකතු කරන්න...
අප්පා මේ පැත්තේ ආපු කල්.. කවි නම්.. දැන් ඇත්තටම ඔලුවේ නිදහසක් නෑ නැත්තම් පෝස්ට් එකක් වෙන්නම ලියන්න තිබ්බා..
ReplyDeleteගොඩ දවසක් හෙව්වා මේ කවි පංතිය..........ගොඩක් පිං
ReplyDeleteඔබට