Wednesday, November 11, 2020

පුනරාගමනික රාවණ...

වවුල් දොර පියන් දෑතින් තල්ලු කරමින් ජයලංකාර ඇතුල් වූයේ ය. නිදහස් මාවතේ පිහිටි පුරාවිද්‍යාඥයන්ගේ සමාජ ශාලාව මඳ අඳුරින් සහ දුමින් පිරුණු හුදෙකලාබව රජැයූ තැනක් විය. වසර ගණනාවක් තිස්සසේ සමාජ ශාලාව පවත්වාගෙන යන නිලධාරි මඬුල්ල, එහි පැවති පෞරාණික පෙනුම සහ අංගෝපාංග කිසිදු වෙනසක් නොකොට පවත්වාගෙන යාමට වගබලා ගත් හෙයින්: දුහුවිලි සහ සිගරැට් අලු වලින් පිරුණු අඳුරු මුලු, ඇදුම රෝගය ගැන බියෙන් තොරව ක්‍රියාත්මක කිරීමට කිසිවෙකුත් එඩිතර නොවූ පැරණි විදුලි පංකා, වාර්නිෂ් මැකී යමින් පැවති රවුම් මේස, මැද හරියට වන්නට තිබූ බාර් මේසය හා ස්ටූල්, ආදිය ඉතා කෞතුක චිත්‍රයක් මැවී ය.

ජයලංකාර කෙළින්ම ගියේ බාර් එක වෙතට ය. ඔහු දොරින් ඇතුලු වන විට ම බාර් කරු සීත කළ කොළ පැහැ බියර් බෝතලයක් සහ උසැති ජෝගුවක් ද, පෝක් ඩෙවල් පීරිසියක් ද, රන්වන් පැහැ සිගරැට් පැකට්ටුවක් ද බාර් මේසය මතින් තැබී ය.

සිගරැට්ටුවක් ගෙන මුවෙහි රඳවාගත් ජයා, කළිසම් සාක්කුවෙන් ගත් ඊයම් පැහැ ලයිටරයෙන් එය දල්වා ගනිමින් හාත්පස විමසිලිමත් බැල්මක් හෙළී ය. එක් මඳ අඳුරු මුල්ලක වූ මේසයක තනිවම හිඳගෙන සිටි උසැති කෙට්ටු මිනිසා ඔහුගේ නෙත ගැටුණේ එක් වරම ය. දිග කමිස අත් අගින් දෙතුන් විටක් නවන ලද, පොඩිවුණු දුඹුරුවන් කමිසයත්, මුහුණ පුරා වැවුණු අලුපැහැති රැවුළත්, මේසය මත තබා තිබූ පැරණි තොප්පියත් කෙට්ටු මිනිසා ට ලබා දුන්නේ පරිණත පෙනුමකි.

සිගරැට් පැකට්ටුව ගෙන කමිස සාක්කුවෙහි රුවාගත් ජයලංකාර, බාර් කරු වෙත නියමිත මුදල ගෙවී ය. බියර් බෝතලය වම් කිහිල්ලේ ගසා ගෙන, ජෝගුවත් කටගැස්ම පීරිසියත් දෑතින් ගෙන ඔහු අවට පිහිටි මේස අතරින් කෙලින්ම ගියේ කෙට්ටු මිනිසා වෙත ය.

"මම මෙතන වාඩිවුණාට ඔබතුමාගෙ විරුද්ධත්වයක් නෑ නේ?"

හිස ඔසවා එක් නෙත් බැල්මක් අමුත්තා දෙස හෙලූ කෙට්ටු මිනිසා හිස දෙපසට වැනී ය. 

ජයා හට සිය අඩුම කුඩුම මේසය මත තබාගෙන වාඩිවෙන්නට කාලය ලබා දුන් හෙතෙම, හඬ අවදි කළේ ය.

"මට හිතාගන්න පුළුවන් ඔහේ මේ මේසෙටම ආවෙ ඇයි කියලා... ජයලංකාර ඔබේසූරිය..."

ජයා මවිත විය. "ඔබතුමා මාව අඳුනගත්තා?"

"ඔව්. පහුගිය කාලෙ සිද්ධ වෙච්ච දේවල් එක්ක මට තමුසෙගෙ විස්තර හොඳට මතකයි."

"මම ඔබතුමා සම්බන්ධ මොනවත් පත්තරේට ලිව්වෙ නෑනෙ."

"නෑ නෑ... ඔහේ ලියන්නෙ අපි ගැනවත්, අපේ ප්‍රායෝගික පර්යේෂණ ගැනවත් නෙවෙයි නෙ. හිතට එන එන විගඩං හැම එකම ලියනවනෙ රාවණ ගැන. තමුසෙ වගේ උදවිය නිසා දැං ලංකාවෙන් බාගෙකට වැඩිය දන්නව රාවණ රජතුමා කුරුම්බ මද කන්ඩ කැමතියි වගේ චූටි චූටි විස්තර පවා..." කෙට්ටු මිනිසාගේ ඇදී ගිය මූණේ වූයේ උපහාසාත්මක සිනාරැළ්ලකි.

"මහාචාර්යතුමා, මම කරන්නෙ ඉල්ලුමක් ඇති නිෂ්පාදනයක්. පත්තරවලින් සමාජ මාධ්‍යවලින්, දේශපාලන වේදිකාවලින් පවා ඉල්ලුමක් තියෙන්නෙ අපේ රටේ පෞරාණික ශ්‍රී විභූතිය ගැන දේශානුරාගය ඇති කරවීම... ඉතින් මම පුරවන්නෙ ඒ අඩුව."

"බම්බුව..!" මහාචාර්ය ඔක්කාක පාෂාණිභූත සෙමෙන් සිය වීදුරුව ඔසවා ඒතුලින් ජයලංකාර දෙස බැලී ය. තප්පර කිහිපයක් බලා සිටි ඔහු තීරණයක් ගත්තේ ය. "හොඳයි. මං දෙන්නං තමුසෙට පත්තරේට ලියන්න හොඳ කාරණා කිපයක්...

"අපි මාස ගාණකට කලින් පටන් ගත්තා ලකේගල කන්දෙ මූල ඓතිහාසික කැණීමක්. ඒ වෙනුවෙන් අපි අවුරුදු පහක විතර ඉඳන් ලේඛන, සහ ක්ෂේත්‍ර ගවේෂණ කීපයක් කළා. කණිංහැම් ජූනියර් පවා මාත් එක්ක ඔන්ලයින් සම්බන්ධ වුණා මේ වැඩේ ට. ඒකෙන් පේනව ඇති මේ වැඩේ කොයිතරම් පුළුල් එකක්ද කියලා.

“මොකද, රටේ ආව රැල්ලත් එක්ක, ආණ්ඩුවෙ සමහර ආයතන පවා රාවණ කාලෙ ගැන හොයන්න පටං ගෙන තිබුණා. අපිට උවමනා වුනේ ඒ ගැන තියෙන ලිඛිත සාධක අනුව සාක්ෂි පුළුවන් තරම් හොයාගෙන මේක ඇත්ත නැත්ත එළිදරව් කරගෙන, තමුසෙලා අපට පටවලා තියෙන මේ හිස රදේ ඉවරයක් කරන්න.

“ලේඛන ගත සාක්ෂි සේරම පෙන්නුම් කළේ රාම රාවණ සටනෙ අවසන් අදියර ක්‍රියාත්මක වුණු ස්ථානය ගැන තියෙන ස්ථානීය ලක්ෂණ වලට සමපාත වෙන්නෙ දුම්බර මිටියාවත තමයි කියලා.

සිය ජංගම දුරකථනය ඇදගත් ජයා, එහි වොයිස් රෙකෝඩරය පනගන්වන ආකාරය මහාචාර්ය පාෂාණිභූත බලා සිටියේ ය.

“ඔව්ව රෙකෝඩ් කරගන්න එක හොඳයි. තමුසෙලාගෙ වැඩ වල ප්‍රතිඵල තමුසෙලාට ම දැනගන්න...”

“ඉතිං මහාචාර්ය තුමා, කැණීමෙන් මොනවද හොයාගන්න පුළුවන් වුනේ?”

“එක මොහොතකට තමුසෙලා කියවපු විකාරයක් හරි ගියා අයිසේ... අපට හම්බ වුණා රාවණ ගෙ දේහය...!”

ජයා ගේ මුහුණ අසල කරකැවෙමින් සිටි මැස්සෙක්, රවුමට ඇරුණු කට තුලින් ඇතුලට ගියේ පුවත්පත් ලේඛකයාට කැස්සක් ඇතිකරමිනි.

“ඇත්තට!”

“පේනව නේද තමුසෙලා ලියන දේවල් තමුසෙලාටවත් විශ්වාස නැති හැටි?” පාෂාණිභූත සමච්ඡල් කළේ ය.

“ඉතින් මොකද වුනේ? කොහොමද ඒ රාවණ මයි කියලා තහවුරු කරගත්තෙ?”

“මම මුල ඉඳං කියන්නං... ලකේගල කන්දෙ තිබුණු ගල් ලෙණක අපි කැණීම් කළේ. ඒකෙන් අපට මුලිම්ම හම්බුණේ බෙලි කටු, ඊතළ වගේ දේවල්. ඒත් පහළට කැණිම් වලක් බැස්සට පස්සෙ, අපට හම්බුනා මෙන්න මේ සළකුණ.”

https://www.tlc.lk/wp-content/uploads/2018/09/43657067_m-800x600.jpg


මහාචාර්ය වරයා තම ජංගම දුරකථනයෙන් ගත් ඡායාරූපයක් පෙන්වී ය. එහි වූයේ, කැණීම් වළක බිත්තියක් බවට පත් ව තිබූ ගල් බිත්තියකි. එහි අඩි හතක් පමණ උසැති සෘජුකෝණාස්‍රයක් ඉතාම නිවැරදි සෘජු රේඛාවලින් ගලෙහි කොටා තිබූ අතර, එහි ඇස් මට්ටමේ බ්‍රාහ්මී අක්ෂරවලින් ලියූ වගන්තියක් විය.

“ඔය ලියල තියෙන්නෙ ‘මහ රඣ රවන මල සයන’ කියලා. ඊට යටින් මන්තරයක් තියෙනව. ඒක මම මෙතන කියලා මොන මොන විජ්ජුම්බර වෙයිද දන්නෑ. මම එතනදි වැඩිය හිතන් නැතුව ඒක කියෙව්වා. කියෙව්වා විතරයි මගෙ දකුණු පැත්තෙ උන්න කම්කරුවා මැරිලා වැටුණා. ඔය සෘජුකෝණාස්‍රය අඟලක් විතර ඇතුලට ගිහිං, දොරක් වගේ ඇරුණා.

“අපි ටික වෙලාවක් ගත්තා පොඩ්ඩක් සිහි කල්පනාව හරි යන කං. මොකද එහෙම දොරවල් ඇරෙන තාක්ෂණයක් අපි දැනගෙන උන්නෙ නෑ. පස්සෙ මායි තව දෙන්නෙකුයි ගියා ඇතුලට. යනකොට ඒ වෙනකොටත් පහන් දෙකක් ඇවිලෙනව ඇතුලෙ. ඒ පහන් දෙක මැද්දෙන් ගල් ඔරුවක් තිබුණා. ඒ ඔරුවෙ, කොළ පාට තෙල් වගේ දියරයක ගිල්ලලා තිබුණා අඩි පහක් විතර උස මනුස්සයෙක් ගෙ සිරුරක්.

“ඒ මනුස්සයා හරියටම, ගෝරිල්ලෙකුත්, මනුස්සයෙකුත් අතර මැද අවස්ථාව තමයි මට සිහිපත් කළේ. මට පස්සෙයි තේරුණේ. රාවණ ඒ තරම් පරණ කාලෙකට අයිති කෙනෙක් නම්, ඒ කාලෙ මානව පරිණාමය අනුව, ඒ රූපය හරියටම හරි.

https://media.istockphoto.com/photos/homo-erectus-picture-id466243352?k=6&m=466243352&s=170667a&w=0&h=CMu4xdAZOk4Kkp_GQ_gxcaU1LJirG0PvJOd9E6I6nBk=

“ඒ ගල් ඔරුවෙ පාමුළ කොටල තිබුණා බ්‍රාහ්මී අක්ෂර වලින් තවත් වගන්තියක්. මම ෆෝන් එකේ ටෝච් එළියෙන් ලැජ්ජාවක් නැතුව ඒකත් කියෙව්වා.

“කියෙව්වා විතරයි, මගෙ දෙපැත්තෙ උන්න මගෙ පර්යේෂණ සහකාරයො දෙන්නා මැරිලා වැටුණා. මම උන් දෙන්නා දිහා බලලා ආපහු ඉස්සරහ බලනකොට අර ඔරුව ඇතුලෙ උන්න මානවයා නැගිට්ටා.”

“ඔන්න ඔහොමයි රාවණ රජ්ජුරුවන්ගෙ දේහය අපට හම්බුණේ. එයා ඇත්තටම ඉතාම දක්ෂ, වේගයෙන් ඉගෙන ගන්න කෙනෙක්. දවසක් දෙකක් මාත් එක්ක ලකේගල කූඩාරමේ ඉඳං, එයා නූතන සිංහල භාෂාව ඉගෙන ගත්තා. පොරට අමාරු උනේ, සිංහල භාෂාවට මැදට යෙදෙන ඉංග්‍රීසි දෙමල වචන තමා. ඒවා අල්ලගන්න සතියක් දෙකක් ගියා. මාසයක් විතර යද්දි එයා පත්තරේ බලන්න පුළුවන් මට්ටමට ආවා. ෆේස්බුක්, ඉන්ස්ටා එහෙමත් අතපත ගාන්න පටං ගත්තා.

“එයා ගෙ අදහස තිබුණෙ ම ලංකාව ආපහු දියුණු කරන්න. එයාගෙ තිබුණා රාජ්‍ය කළමනාකරණය ගැන මාර සරළ, දියුණු අදහස්. එව්වා ටික ක්‍රියාත්මක කළා නං අපි මේ ලෝකෙ වෙන කිසිම රටකට වඩා සංවර්ධනය වෙන්න තිබුණා.

“වෙන්න තිබුණා කිව්වෙ? මොකද වුණේ?”

“මොකද වුණේ?... වුණේ තමා! වුණේ උන්දැ ලකේගල පහලට පැනලා දිවි නහ ගත්ත එක.” 

“ඒ මොකද?”

“ඒ මොකද කියන්නෙ අයිසෙ... මිනිහා මාර උවමනාවෙන් කියෙව්වා තමුසෙලා රංචුව උන්දැ ගැන පත්තරේට ලියපු ලිපි. අන්තිමේ හැම දෙයක්ම එපා වෙච්ච මිනිහෙක් විදිහට මට කියපු අවසාන වචන තමයි... 

ඈ යකෝ!... මං වත් දන්නැති මේ වැල්වටාරං අටෝරාසියක් කොහොමද අයිසෙ මිනිහෙක් ලියන්නෙ? මුං නං එසේ මෙසේ මිනිස්සු වෙන්න බෑ. මේ වගේ පට්ට කෙබර විශ්වාස කරන, ඒ වෙනුවෙන් කුණුහරුපෙං බැණගන්න ඔළමොට්ටලයො රැළක් ඉන්න රටක් මං තියා සැක්කරය ආවත් හදන්ඩ බෑ..

-----------------------------------------

බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ රැයක් වෙනුවට මාසයක් ගත කළ කොළඹ ගමයා හෙවත් අජිත් ධර්මකීර්ති සහෘදයාගේ ලිපියකින් ආ උද්යෝගය අනුව ය...

කට්ටකාඩුවෙ ලොකු මල්ලි අජිත් අයියාගේ කතාවේ ඉතුරු ටික ලියා තිබුණා. ඒක මෙතනින් ගොස් කියවා ගන්න හැක...

පැතුම් හේරත් බිත්තියේ ලියල තිබුණු, අජිත් අයියට වෙච්ච ඇත්තම සිදුවීම මෙතනින් ගොස් කියවාගන්න ඇහක...

පුරාවිද්‍යාඥ ඔක්කාක පාෂාණිභූත සහ රාවණ රජුගේ දේහය සොයාගැනීමේ වස්තුබීජයේ මුල් අයිතිය මා හිත මිතුරු අශෝක රත්නායක කුමාර හෙවත් H’MARK සතුය.


59 comments:

  1. ඇත්තට්ම බං මේ ඉතිහාසය ජාරන එවුන් ලියන කියන එව්වා ඒ ඒ ඇත්තම උදවිය දැනගත්තොත් උන්දැලා සියදිවි නසාගන්නවා තමා... අපේ මිනිස්සුන්ට කයි කතන්දර හදන දක්ශතාවය ලැබෙන්න ඇත්තේ සහජයෙන්ම වෙන්න ඕන.. ඔය වගේම තමා පිටරටවල පදිංචි එවුන් ගැන ගමේ රටේ යාලුවෝ කියන එව්වත්.. එව්ව ඇහුවාම ඉල ඇදෙන්න හිනා...

    ReplyDelete
    Replies
    1. ඔව් බොස්... බලං උන්න වගේ කියන්නෙ. ඉල්ලන දේ දුන්නෙ නැත්තං, "මූට ඉතාලිියෙ වෙනම පවුලක් ලු. එහෙ උං කාණු හෝදනවලු..." ඔය වගේ දේවල්. දුන්නයි කියලත් ඒකෙ වැඩි වෙනසක් වෙන්නෙ නෑ.

      ඔය වගේ කෙටි කතාවක් මට කලින් කියවන්න ලැබුණා. ඒකෙ විද්‍යාඥයෙක් ශේක්ස්පියර් නූතන කාලයට ගෙන්නනව. පොර ශේක්ස්පියර් ගෙ කෘතිවලට ලියල තියෙන විචාර කියවලා කියනව, "කාලයක් ගත වෙද්දි මේ මිනිස්සුන්ට මැටි ගුලියක් මිරිකලා ගංවතුරක් වුණත් ඇදල ගන්න පුළුවන් නෙ" කියලා. පොර ආසාවට යනව ශේක්ස්පියර් ගැන ම ඉගෙන ගන්න සාහිත්‍ය පංතියකට. එතෙන්දි විභාගෙකින් ශේක්ස්පියර්, ශේක්ස්පියර් ගැන ලියලා, ෆේල් වෙනව...

      Delete
  2. නියම ට්විස්ට් එකක් කතාවට . ඔය අඩි පහේ හාදයා මම වෙන්න බැරිද. තව අඟල් දෙක නේ අඩු. අඩි පහයි අනගල් දෙක නම් මමම තමයි. කට්ටකඩුවේ මට යන්න කීවෙත් ඕක දනගෙන්ද දන්නේ නැහැ. දැක්කද කට්ට කම.
    හේ හේ නියමයි.

    ReplyDelete
    Replies
    1. බුදු සන්තානම් මෑණීයනි....... නුතන රාවණා

      Delete
    2. අනෙ අම්මෝ අජිත් අයියෙ, මගෙ තුං හිතෙන් එකක වත් තිබුණෙ නෑ ඔය විදිහෙ සමාන කිරීමක්. මට උවමනා වුනේ:

      "වාසුදේවඃ පුරඃ කෘත්‍ය - සර්වේ වාමනාච කාෂ්ඨාඃ
      මධ්‍යමස්තු විෂක්ෂණම් - අති දීර්ඝෝ මහා මුර්ඛඃ" කියන ශ්ලෝකය අනුව, මහා දක්ෂයෙක් යැයි කියන තැනැත්තා පසුකාලීන කතන්දර කාරයො කියන විදිහේ මහා උස මහත කෙනෙක් නෙවෙයි කියලා කියන්න.

      ඔය සමානකම අනුව පුනරුප්පත්තියක් හැබැයි ඉතිං වෙන්නත් බැරි කමක් නෑ. දවසක් ජයරත්න පතිරආරච්චි කිව්ව අපට එයාට මුණ ගැහුනලු ශුපර්නඛා ආපහු ඉපදිලා. තමුං රාවණාගෙ ලේකම් ලු. ඔය උදවිය ආපහු උපදින්නෙ ශතවර්ෂ ගාණක් පහුවෙලා.

      Delete
    3. අසංග, පේනව නේද ඇයි මේ මනුස්සයා මේක හදිසිස්යෙ ඇදල ගත්තෙ කියලා? සමහර විට ජොන්සන් ලොක්කට ගේමක් දීලා ලන්ඩන් පුරවරය අල්ලගනියි ද දන්නෑ?

      Delete
    4. අඟල් දෙකක් ඇත්තෙන්ම අඩුද යන සංකීර්ණ ගැටලුව සම්බන්ධයෙන් අදහස් දැක්වීමෙන් වැලකී සිටින්නේ හුදෙක් අජිත් ධර්මාතුමාට බිය නිසා බව කරුණාවෙන් සලකන්න

      Delete
    5. අජිත් ධර්ම නමැත්තා ඒ අඩු අඟල් දෙක සඟවා ගෙන සිටින බව සැලයි. ස්කොට්ලන්ඩ් යාඩ් පොලීසියෙන් අජිත් ධර්ම අල්ලාගෙන ඒ අඟල් දෙක සැඟවූ තැන සෙවීමට එක්කරගෙන ගියද, එහු එයින් ඉතා කූට ලෙස බේරී පළා ගොස්, බ්‍රිටිෂ් මියුසියමේ සැඟවී සිටින බව ද වැඩිදුරටත් දැනගන්නට ඇත.

      Delete
    6. ප්‍රා හෙවත් දික්පිටියා ගෙන් ඔය කතාව එනවා කියල ටක්කෙටම් දැනගෙන හිටියේ. ඒ කියන්නේ මට අනාගතය කියන්නත් පුළුවන්. ලන්ඩන් අල්ල ගන්න සපෝර්ට් එකක් දුන්නොත් ඔය පැත්ත ගැනත් බලන්නම්.

      Delete
    7. අනේ වඳිංන්නං මේ පැත්තනං බලන්ඩ එපෝ.

      ලන්ඩන් අල්ලන්ඩ මතකද ඇස්ටෙරික්ස් බැරල් එකක් අරං ආව? ඔ්න්නං ඒ වගේ එකක රෙසපිය හොයල දෙන්නං සුරංගගෙන් අහල... මියුසියම් එකේ මාසයක් ඉන්න එකේ මොනව හරි තියෙන්ඩත් එපැයි...

      අරුන්දැට දිප්පිටියා කාඩ් එක ලෙසටම ගැළපෙනව. කෝටුකිතයිය කිව්වත් අමනාප වෙන එකක් නෑ මයෙ හිතේ. කෝටු උනත් "අයිය" නෙව...

      Delete
    8. දික්පිටිය අයිය හේ හේ ඔය පැත්ත බලන්න වෙනව මෙහම් ගියොත් ඉතින්

      Delete
    9. හපෝ හපෝ මේ පැත්ත බලන්ඩ ඇමරිකන් සිටිසන්ලා කීප පොළක් ඉන්නව. ශ්‍රී අජිත් සිද්ධම්!

      Delete
    10. ඒස්වා පුහ් පුත

      Delete
  3. ඉතිහාසයෙන් ගත යුතු දෙය ගන්නෙ නැත
    බොරුකාරයන්ටයි කවුරුත් දෙන්නෙ අත
    සත්තයි, ඒව දැක්කාමත් හිතෙයි කැත
    දිව ඇද කාල නැහුණත් පුදුමයක් නැත!

    ReplyDelete
    Replies
    1. මේ කවි කෙරුවාව ළඟකදි පටං ගෙන
      නිදි දිගටෝම අපි අමාරුවේ දාලා
      කියන්ඩ ඇති උත්තරයත් මතක නැත
      දුකට කියන කයියට මොන අස්සර ද...?

      කොහොමද ඒක?

      Delete
    2. නිදි ගේ කයි
      අපිව කයි
      උන්නත් එකයි
      දැන්
      මලත් එකයි

      Delete
    3. අපිත්
      ලියමු
      හයිකු

      Delete
    4. ඒක හයිකුවක්ද මලා ඕවට යිතිකාරයෝ ඉන්නවා

      Delete
    5. නෑ මේ... මට කවි ලියන්ඩ බැරි හිංදු ඔය වගේ වචන තුනක් එකක් යට එකක් ලියලා, ඒකට හයිකු කවියක් කියල මං ම කියාගන්නව...

      Delete
  4. කට්ටකාඩුවෙ කතාවට වඩා වෙනස් ක්‍රමයක්. හොඳයි

    ReplyDelete
    Replies
    1. චැනල් එක වෙනස්. හැබැයි එකම කතාව කියල හිතෙනව...

      Delete
  5. එක්සලන්තේ ඩ්‍රැකී තුමා එක්සලන්තේ!!! මම මේ පෝස්ට් එකට ලින්ක් එකක් දැම්මට කමක් නැද්ද මගෙ එක් හිස් රාවණ පෝස්ට් එකේ? මට මේ කතාව කියවන කොට ආතර් සී ක්ලාක් මහත්තයගෙ 2001 මතක් උනා...මතකද ඒකෙ මුල...පෘතුවියේ වානරයන්ට පිටසක්වලින් කලු ස්ථම්භය ලැබෙන විදිහ....සමහරවිට කලු ස්ථම්භය කියල ක්ලාක් මහත්තය රැවටුනේ රාවණට වෙන්ඩ බැයිද?

    ReplyDelete
    Replies
    1. දාන්ඩ මල්ලි දාන්ඩ... නොමිලේ ප්‍රසිද්ධියක් ලැබෙනවනං පොලු පාරක් එක්ක හරි කමක් නෑ.

      කලු ස්තම්භය නං මට මතක හැටියට හතරැස් එකක්. අර යූ එන් මධ්‍යස්ථානෙ හැඩේ තියෙන. සිළින්ඩරාකාර එකක් උනා නං යමක් හිතන්ඩ තිබුණා.

      දැකල තියෙනවද වර්ගපූර්ණිකාව බ්ලොග් එක? ඒකෙ ආභාසය තමා ඉතිං...

      Delete
    2. ශ්‍රී මත් මෝ දකම්!!!

      Delete
    3. ඒක මාර බ්ලොග් එකක්. ඒ මහත්මය දැන් ලියන්නේ නැත්ද
      --
      ඒස්වා පුහ්
      ගමනේ යාහ්
      (ශ්ලෝක කාරයෝ අතරේ සෙකන්ඩ් වෙන්න බැහැ නොවැ )

      Delete
    4. වර්ගපූර්ණිකාව 2012දි නතර වුණා. පස්සෙ මී ජයා ෆේස්බුක් ගියා. මට මතක හැටියට වර්ගපූර්ණිකාව ෆේස්බුක් එකේ සෑහෙන කාලයක් ගියා. පට්ට කියන්නෙ මූ ඇඟට පතට නොදැනී කියන කතා... අර කන්‍යාවියක් ලවා පයින් ගැස්සවීම වගේ දේවල්...

      තව ශ්ලෝකයකත් දෙන්නං?

      ආනමාලුං දිගං දිගං - ඉදියාප්පං රවුං රවුං
      අග්ගලානං බෝල බෝලං - අලුව කෑලී හුරස් පරඃ

      Delete
    5. ඉස්සර කරත්ත කාරයොත් ඔය වගේ මන්තර මතුරනව. අහල තියෙනවද?

      Delete
  6. හැක්... කෝ මිනිහගෙ අනිත් ඔළුගෙඩි ටික?

    ඔය යකාව අමාරුවෙන් හරි හොයා ගත්තත් අනිවා ඕක තමා වෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. මං ලිව්වෙ යතාර්ථවාදී කතාවක්. කොයි ලෝකෙද අප්පා ඔලු දහයක් තියෙන මිනිස්සු ඉපදුනේ?

      Delete
    2. එහෙනම් ඔය කියන්නෙ...

      Delete
    3. ඔලු දහයක් තියා, එක ඇඟිල්ලක් වැඩියෙං ඉපදුනත් පවුලෙන් කොන්කරලා දාපු කාලෙක, ඔලු දහයක්ම තියෙන්ඩම ඇති. අර පාෂාණිභූත සර් කිව්ව වගේ... "බම්බුව!"

      Delete
    4. මේ... එහෙම ඔයාට ඕන ඕන විධිහට අපේ ශ්‍රේෂ්ඨ රජ වරුන්ගෙ ඔළු කපන්න දෙන්න බෑ හරිය... මේක ඉතිහාසය විකෘති කිරීමක්..අපිට ඔළු දහයම ඕනා.. එහෙනම්..

      Delete
    5. හනේ බං, මාව කන්ඩම හදන්නැතුව ඔන්නොහෙ පාර‌ෙ යන කරෝල ලොරියකිං හාල්මැස්සං ඔලු දහයක් වත් ගනිං... එහෙම නැත්තං, අජිත් අයියගෙ කතාවට ගැළපෙන්ඩ ඔලු දහයෙ කතාව අන්න අර කුරුන්ද කියල එකක් තියෙනව වේලි වේලි, ඒකෙ ලියාං...

      Delete
    6. මගේ කතාවේ ඔලු දහයක් තිබ්බද? ඕක රොබෝ ඔලු වෙන්න බැරිද , එක ඔළුවයි රොබෝ 9 යි

      Delete
    7. ඔලු දහයක් තියෙන්ඩ කොයි තරං පළල් උරහිසකුයි බෙල්ලකුයි තියෙන්ඩ ඔ්නෙද කියලා හිතුණා...

      Delete

    8. ඩ්‍රැකීNovember 12, 2020 at 1:46 PM

      හැක්....එහෙම එකක් තියෙන බව මතක බැරි කරලා ඉන්නෙ. :-)

      Delete
    9. එහෙම කරන්ඩ එපා සෙන්නා... අපි ආපහු මුල් කාලෙ තිබුණු බ්ලොග් වසන්තය උදා කරගමු. ලියාං මොනව හරි. මට දැන් සතියකට ලියවිලි දෙකක් ලියන්න වෙලා තියෙන්නෙ.

      Delete
    10. වසන්තය එනවා සත්තයි (කොරෝනා ගිය ගමන් )

      Delete
    11. උඹට කියන්න මටත් ඔය බ්ලොග් වසන්තය නෑවත උදා කරගැනීමේ සංකල්පය මේ අද මගෙ ඔළුවට ආවනෙ.. මම ආතීත බ්ලොග් මතක මතක් කරලා පෝස්ට් එකක් දාන්නත් කල්පනා කළා...

      ආයෙ එහෙම කාලයක් උදා කරගන්න එක ලේසි නෑ බන්..හැමදේටම නියමිත කාලයක් තියනවා..මම හිතන්නෙ බ්ලොග් වල කාලෙ ඉවරයි.. හරියට නිකං චිත්‍ර කතා නැතුව ගියා වගේ.. rejuvenate කරලා ගන්න එක ලේසි නෑ..

      Delete
    12. ඔය වගේ අදහසක් ඇනෝපීලසුත් කිව්වා, අපේ මළගෙදරදි. එයා යෝජනා කළේ ෆේස්බුක් පේජ් එකක් හදාගෙන ලියන්න කියලා. ඒකත් හොඳ අදහසක් තමා...

      ඒත් අපි ගෙට්ටුවක් එහෙම තියලා, අර "පැරණි හිංදි චිත්‍රපට ගීත රසික සංගමය" වගේ දෙයක් කළොත් මොකද?

      Delete
  7. කරුණාකර අසත්‍ය කරුණු ප්‍රචාරය කිරීමෙන් වලකින්න. ඔය ක්‍රියාව නිසා ලෝකයේ සියලුම ශිෂ්ඨාචාරයන්ගේ මූලයන් පිලිබඳ සත්‍යය වැලලීයයි.

    ඊජිප්තු, කාම්බෝජ, දකුණු ඇමරිකන් පිරමීඩ වැනි මහා ගොඩනැගිලි පමණක් නොව ස්ටෝන් හෙන්ජ්, ඊස්ටර් දූපත් පිලිම වැනි රාවණා අධිරාජයා ලදරු අවදියේ ප්ලේ පෙන් එකේ සිට කල නිර්මාණද, ගින්දර සිට පරිඝණක දක්වා සියලු මානව තාක්ෂණයට අදාල සොයා ගැනීම්ද, සෞර ග්‍රහ මණ්ඩලයේ සිට ඇල්ෆා සෙන්චූරි දක්වා සියලු මානව ජනපද පිහිටවීම්ද, සීතා නුවර එලිය සිට රුවන්වැල්ල දක්වා රට පුරාම ගල් ගුහාවල සැඟවීමද, ඇමරිකාවේ නාසා එකේ සිට ලංකාවේ එම් ආර් අයි එක දක්වා සියලු දැනුම් ඒ කාලයේම සොයා ගැනීමද, සිංහයින් සිට ගුරුලන් දක්වා සතුන් ජාන වෙනස් කිරීම්ද, හැම තැනම හැම දේම කර අවසන් වූ නිසා දැන් හැම දාම නිදා ගැනීමද යන සියලුදේවල සත්‍යය වසන් කිරීමට ඔබ මේ කරන හැල විරෝධී කුමණ්ත්‍රනය හෙලා දකිමු.

    ReplyDelete
    Replies
    1. මාත් යනව ලකේගලින් පහළට පනින්න, ඔලුව පහළට හිටින්ඩ... හැක්!

      Delete
    2. වැඩක් නෑ උඹේ ඔලුවෙ මොකුත් නෑනෙ. පුක පහලට හිටින්න පැනහං. හැක්...

      පුක® යනු කුණුහරුපයක් නොවේ කියල ක.කා. කියල කෙනෙක් කාලෙකට කලින් කියල තිබ්බ.

      Delete
    3. මූ යකෝ! බොගෙ ඔලුවෙ මොකවත් නැතුවට, මයෙ බෙල්ල හරියට එනකං පිරිල තියෙන්නෙ අක්මාව!

      Delete
  8. රාවණා ගැන විතරක් නොවෙයි, ලංකාවේ පත්තර වල හොරකමක්, මිණී මැරුමක්, හදිසි අනතුරක් වැනි බොහොම සංවේදී ව ලිවිය යුතු වාර්තා වල පවා සවිස්තරව ලියැවෙන කරුණු, ඒ ඒ සිද්ධීන්ට භාජනය වූ මිනිසුන් පවා දැනගන්නවා ඇත්තේ පත්තරයෙනුයි. මට පුදුම මේ පත්තර වාර්තා කාරයින්ව උසාවි වල නඩු විභාග වලදී සාක්ෂිකරුවන් හැටියට කැඳවන්නේ නැත්තේ මොකද කියලයි?
    මිණී මැරුමකට හෝ මංකොල්ලයකට යන පාතාල සාමාජිකයා එදා උදේට කෑවේ මොනවද, ගෙදරින් පිටවෙනකොට බිරිඳට උම්මා එකක් දුන්නේ නළලටද, එහෙම නැතිනම් මුහුනටද, ආයුධය තිබුණේ ඉනේද, එහෙම නැතිනම් සාක්කුවේද කියලා පවා දන්නා මේ පත්තර වාර්තා කරුවන් ඉන්නේ ලංකාවේ විතරයි.
    රාවණා රජතුමාගේ කතාව ගලපලා තියන හැටි නියමයි.

    ReplyDelete
    Replies
    1. ඔය ගැන මං බොහෝම කාලෙකට කලින් ලිව්වා මතකයි. පොඩ්ඩක් බලන්න මෙතන. ඒකෙ නලීන් ගෙ ලිපියටත් ලිංක් එකක් ඇති.

      ගොඩක් ස්තූතියි...

      Delete
  9. මදැයි අන්තිමට වෙච්ච් දේ.. අපරාදේ සිංහල කියා දුන්නේ.. ඉංග්‍රීසි කියා දුන්නා නම් ඉවරනේ..

    ReplyDelete
    Replies
    1. හැබෑට ඒකත් ඇත්තනෙ... ශ්‍රී රාවණ සිද්ධම්!

      Delete
  10. එතකොට මිස්ටර් පාෂාණෙට හම්බවෙනකොට රාවන් පණ පිටිංද ඉඳල තියෙන්නෙ.

    මිනිහ ෆේස්බුක් වැඩිය පාවිච්චි කරන්න ඉස්සර දිවි නසාගත්ත එක හොඳයි. නැත්තං තත්වෙ ඔයිට වැඩිය භයානක වෙන්න තිබුණ.

    ReplyDelete
    Replies
    1. මිස්ටර් නෙවෙයි ප්‍රොෆෙසර් කියහං... එනව මෙතන!

      Delete
  11. මේ... ඒක නෙමෙයි බොලා අර මන්තරේ දන්නෙ නැද්ද? මටත් තියෙනව එකෙක් දෙන්නෙක් උඩුකුරුඤ්ඤං කරන්න.

    ReplyDelete
    Replies
    1. මං බොට ඊමේල් කරන්නං මන්තරේ. ඒක මතුරන්ඩ ඔ්නෙ පිස්තෝලෙකට, කඩුවකට, උල් පිහියකට නැත්තං වෙන මොකක් හරි ආයුදේකට. ඒ මන්තරේ ඒ විදිහට එකසිය අට පාරක් මතුරලා, ඒ වෙනකොටත් අරූව මරන්ඩ ම කේන්තිය ඉතුරු වෙලා තියෙනව නං, දෙයියං බුදුන් සිහිකරගෙන, තමන්ගෙ අදහස ඉෂ්ට සිද්ධ වෙන්ඩ කියලා අධිස්ඨාන කරගෙන, අර මතුරපු ආයුදෙන් වැඩේ දෙන්ඩ ඔ්නෙ. ඒක කඩුවක් නං කොටන්ඩ ඔ්නෙ, උල් පිහියක් හරි උල් ආයුධයක් හරි නං අනින්ඩ ඔ්නෙ, පිස්තෝලයක් හරි තුවක්කුවක් හරි නං වෙඩි තියන්ඩ ඔ්නෙ. මෝල් ගහක් හරි ගල් ගෙඩියක් හරි නං අරූගෙ ඔලුවට පත බාන්ඩ ඔ්නෙ. අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. හරිගිය පසු ගාස්තු ගෙවන්ඩ - බැරිනං හිරේ ගිහිං පවු ගෙවන්ඩ පුළුවං.

      Delete
    2. මන්ත්‍ර ත්යනවනම් අපිටත් එවන්ඩ , ජොන්සන් කියලා එකෙක් ඉන්නවා කියන දෙයක් අහන්නේ නැහැ

      Delete
    3. @ Ajith,
      බෙන්සන් කියල එකෙක් හිටියනං ඌට ගිනිතියල හරි ඉවරයක් කරන්න තිබ්බ.

      Delete
    4. අජිත් අයියෙ, මේක හැමෝටම ඊමේල් කරන්ඩ කියලා ඉල්ලුවොත් එහෙම මන්තරේ බල බිඳෙනව. ඒ හිංදා මට කරුණාකරල බුලත් අතක පින්තූරෙයක් එවනවද ඊමේල් එකේ? පඬුරු හැටියට සතේ කාසියක පීන්තූරෙකුත් එවන්ඩ.

      නයෝ,
      ඩන් කන්දෙ සුවිච්චුවා කියල හාදයෙක් ඉන්නව මේ පැත්තෙ.

      Delete
  12. ***** මගේ කොටහත් ලගදි

    ReplyDelete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි